Sunday, December 27, 2020

665. පුවක් එෂැණිං - 62 - බයියන් පාරට බැසීම, සාර්ගේ පදිරිවීම සහ අබේගේ පිණ්ඩපාත චාරිකාව...


ඉවසල ඉවසල බැරිමතැන "ඕන XXXXXක් පණං අටයි" 
කියා බයියන් පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව...


බයියන් පාරට බැසීම....
*************************

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය - ආදර්ශ ප්‍රශ්න අංක 01 

හෝමෝ බයියෙන්සිස් නොහොත් බයියන් පසුගිය ජනාධිපතිවරණයට පෙර මෙසේ පැවසූහ. "ගෝටාබට ස' උනත් වැරැද්දක් කලොත් අපි පාරට බහින එක බහිනවාමයි.." ඒ අනුව පහත දත්තයන්ද සැළකිල්ලට ගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න (ලකුණු 40)

සැළකිල්ලට ගත යුතු දත්ත :-

* 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය = 6,900,000

* සාමාන්‍ය ශරීර ප්‍රමාණයෙන් යුතු මිනිසෙකුට සිටගෙන සිටීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය = වර්ග මීටර 0.75 

* ශ්‍රී ලංකාවේ දැනට ඉදිකොට ඇති මහාමාර්ග ප්‍රමාණය = කිලෝ මීටර් 12,000 

* මංතීරු දෙකකින් යුතු මහාමාර්ගයක පළල = මීටර් 7

(1) බයියන් මේ මොහොතේ පාරට බසින්නේනම් බයියන් කොපමණ දෙනෙකුට සිටගෙන සිටිනු සඳහා ශ්‍රී ලංකාවේ වර්තමාන මාර්ග පද්ධතිය ප්‍රමාණවත් වන්නේද? 

(2) සියලුම බයියන්ට එකවර පාරට බැස සිටගෙන සිටීම සඳහා මංතීරු දෙකකින් යුතු මාර්ග තව කිලෝ මීටර් කොපමණ ප්‍රමාණයක් ඉදිකල යුතුද?

(3) සියලුම බයියන්ට එකවර පාරට බැස සිටගෙන සිටීම සඳහා මංතීරු හතරකින් යුතු මාර්ග තව කිලෝ මීටර් කොපමණ ප්‍රමාණයක් ඉදිකල යුතුද?

(4) සියළුම බයියන් එකවර පාරට නොබැස අතිගරු ජනාධිපතිතුමන්ගේ ධුරකාලයේ ඉදිරිවසර හතර තුල සමානුපාතිකව පාරට බසින්නේ නම් ඉදිරි වසර හතර තුල එක් එක් වසර සඳහා නව මහා මාර්ග කිලෝමීටර් කීයක් ඉදිකල යුතුද?



සිල් රෙදි හොරුන්ගේ දඩ මුදල ගෙවීම සඳහා සල්ලි හිඟාකෑමට
අබේ පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව...


සාර්ගේ පදිරිවීම සහ අබේගේ පිණ්ඩපාත චාරිකාව...
*******************************************************

දැං අපේ සාර් අර සබිරිය ඉස්සරහ පදිරි වෙනව පදිරිවිල්ලක් හතර විලි ලැජ්ජාවෙ බෑ...කොටිම්ම කිව්වොත් ඒ යකාට චන්දෙ නොදුන්නු අපේ ඉහේ උකුණොත් බිමට පයිනව.. 

සබිරිය මොන නැටුං නැටුවත් සාර්ට අර මොනවද කාපු රිළව වගෙ විරවගෙන ඉන්ට වෙලා තියනවයි කියන්නෙ අර සාර්ගෙ නඩු කතා කරපුවට සබිරිය සල්ලි අරං නෑ. දන්නවනෙ සබිරියල ඇවිල්ල දුරදිග බලල වැඩකරන මිනිස්සු..ඒ කාලෙ කියන්ට ඇති "ගොට්ට සෑර්..මට සත පහක්වත් එපා. ඔබතුමා වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නොමිලේ... "...ගොට්ට අහුවුනා ඒ ගැටේට..ඒක හින්ද තමයි නඩු ගාස්තු හැටියට අදිකරන ඇමති කමත් දීල මූ කියන කියන පදේට නටන්ට වෙලා තියෙන්නෙ.

හැබැයි ගොට්ටට සුට්ටක් ඔලුව පාවිච්චි කලානම් මෙහෙම දෙයක් කරන්න තිබ්බ..ගන්නව අබේට කෝල් එකක්....අබේ..අබේ..අපෙ මැදගොඩ අබේ උන්නැහෙ..

"අබේ මම ගොට්ට…"

"කියන්න සාර්.."

"මේ මයෙ මේ නඩු වලට සෑහෙන ගානක් වියදං යනවනෙ..මයෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑනෙ අබේ.."

එහෙම කිව්වනං අබේ එකත් එකටම කියනව "හරි හරි සාර් බයවෙන්ට එපා..මම හෙටම නඩුගාස්තු එකතුකිරීමේ මහා පිණ්ඩපාත චාරිකාවක් සංවිදානය කොරන්නංකො…"

එහෙම කියල අබේ නිකං ඉන්නෙත් නෑ..අර සිල් රෙදි හොර තක්කඩිංට ගහපු දඩේ ගෙවන්ට සල්ලි හිඟාකෑමේ චාරිකා සංවිදානය කරල අබේට තියනව හොඳ ඇස්පීරියන්ස් එකක්..ඒ හින්ද පහුවදාම තඩි බැනර් එකකුත් පෙරටුකොටගෙන මෙන්න අබේ යනව පිණ්ඩපාත චාරිකාවේ..

"ගොට්ටා සාර්ගේ නඩු වල පෙරකදෝරු ගාස්තු එකතු කිරීමේ මහ අසදෘශ පිංඩපාත චාරිකාව" 

ඔහොම ගිහිල්ල ඕන ගාණ එකතු කරල ගොට්ටට දෙනව්. ගොට්ට ඒ සල්ලි වලිං සබිරියගෙ ගාස්තුව ගෙවල දානව. සරලයි සුගමයි. එහෙම උනානං ගොට්ටට මේ වගෙ සබිරිය ඉස්සරහ ඇඹරෙන්නෙ නැතුව කොඳු නාරටිය කෙලිං තියාගෙන ඉන්ට තිබ්බනෙ සිංහය වගෙ..

මම නං කියන්නෙ අබේට දැං උනත් පරක්කු නෑ..මොකෝ කියන්නෙ අබේ?...දෙමුද ගේමක්?

Thursday, December 10, 2020

664. පුවක් එෂැණිං - 61 - The Speaker නොහොත් කටානායක සහ Failed State නොහොත් අසමත් රාජ්ජිය…

ඉස්පීකර් නොහොත් කටානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රදානියාය. එහෙම නැත්තං ලොක්කාය. මේඊයෙ පෙරේදා රංජා කටානායකට ලොක්කා කියා ඇමතුවාය කියා අර බදුල්ල පැත්තෙං අලුතෙං ආපු පෝට්ටුවේ මන්තිරි හාදයෙකුට මල පැනලා රංජාට ඒක මේක කිව්වා මම ටී.වී. එකේ බලාගෙනය. ඔය කටානායකට ඉංග්‍රීසියෙන් කියන "The Speaker" කියන වචනෙ හැදුනු හැටි හරි අපූරු කතාවකි...

රජ්ජුරුවො තමයි අනාදිමත් කාලෙක ඉඳල එංගලන්තෙ සර්ව බලදාරී පාලකය. ඒත් පස්සෙ පස්සෙ රජවරු පිස්සු කෙලින්ට ගත්තම මිනිස්සු එකතුවෙලා රජ්ජුරුවන්ගෙ හිතුවක්කාර වැඩ පාලනය කරන්ට උපදේසක සබාවක් පිහිටුව ගත්ත. ඒකට තමයි පස්සෙ කාලෙක පාර්ලිමේන්තුව කියල නම ලැබුනෙ. රජ්ජුරුවොත් ඉතිං කිසිම කැමැත්තකින් නෙවෙයි මේ වැඩේට ඉඩ දුන්නෙ. නොකරම බැරි හින්දයි.

පස්සෙ පාර්ලිමේන්තුව රැස්වෙලා රජ්ජුරුවන්ට විරුද්දව කතාවෙන්නෙ එහෙම මොනවදැයි කියල දැනගන්ට රජ්ජුරුවන්ට ඕන උනා. දැං වගේ නෙමෙයි සහෝදරයිනි සහෝදරියනි ඒ කාලෙ රජවරුන්ට වැඩ තිබ්බ. හාල් කඩවලට පයින එක, එතකොට අලි කඩපු ගෙවල් බලන්ට යන එක..එතනිනුත් ගියාම පාරවල් කපන එව්ව බලන්ට යන එක..ඒ වගෙ දේවල් කරන්ට වෙලාවක් තිබ්බෙ නෑ..

ඒ හින්ද අර පාර්ලිමේන්තුවෙ කතාවෙන එව්ව ගැන හැමදාම හවහට හවහට මාළිගාවට ඇවිල්ල රජ්ජුරුවන්ට වාර්තා කරන්ට රජ්ජුරුවො දැම්ම පාර්ලිමේන්තුවෙ ප්‍රදානියා විදිහට රජ්ජුරුවන්ගෙ හොඳම පක්කලියෙක් නොහොත් සට්ටඹියෙක් නොහොත් ඇම්බැට්ටයෙක්...

පාර්ලිමේන්තුවෙ අනික් උදවිය මේ "එන්ටර් ද සට්ටඹි" සීන්ස් එකට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නැති උනාට රජාගෙ බලකිරීම මත ඒකට එකඟ වෙන්ට සිද්ද වුනාලු. ඉතිං මේ සට්ටඹියා හැමදාම හවහට මාළිගාවට ගිහිල්ල රජා බැහැදැකල "පස්සාන් දාසකට බුදුවෙන්ට රාජෝත්තමයාණනි, අද පාර්ලිමේන්තුවෙ ගොබිලො ටික කතා වුනේ මේං මෙව්වයි මේං මෙව්වයි එතනිං ගිහාම මේං මෙව්වයි..." කියල රජ්ජුරුවන්ට කේළං කියනව. ඒ හින්දම පස්සෙං පහු ඒ යස්සයට පාර්ලිමේන්තුවෙ අනික් අය "The Speaker" කියල කියන්ට ගත්ත. කොහොමහරි ඒ නම එහෙම්මම රෙජිස්ටර් උනා. සිංහලෙං අපි ඔය කතානායක කියන්නෙ අන්න ඒ සට්ටැඹියට.

පස්සෙ හැබැයි එංගලන්තෙම පාර්ලිමේන්තුවෙ ස්පීකර් ගොයිය රජ්ජුරුවන්ට සට්ටඹිකං කොරන එක අතෑරල පොදු මහජනයා වෙනුවෙන් වැඩකරන්ට ගත්තලු. ඒත් අපේ සසිරිබර මෙසිරිලක පාර්ලිමේන්තුවෙ අලුතෙන් මේ ඊයෙ පෙරෙයිද පත්වෙච්චි ඉස්පීකරයනං අපරාදෙ කියන්ට බෑ අර ඉස්පීකර් කියන තනතුරු නාමය හැදිච්චි විදිහ ගැන යස අපූරුවට දන්නව වගේ පේන්ට තියෙන්නෙ. ඒ යකා ඒ කතාව දන්නව විතරක්මත් නෙවෙයි ඒ කතාවෙ කියල තියෙන විදිහට වැඩ කරන්ටත් යනව.

අපේ නන්දෙ සාර් ජනාපෙති පදවියට පත්වීමේ මහාර්ඝ පුණ්‍ය කරුමයට මේ ඊයෙ පෙරෙයිද වර්ෂ පූර්ණෝත්සව මංගල්‍යය පැවැත්වුනයි කියල ඔබ තමුන්නාන්සේලා හැමෝම දැනුම්වත් නේ? හරි...ඉතිං ඔය එතුමාගෙ වර්ස පූර්න මහෝත්සවයට ටොයියෝ සහ ජෙප්පෝ යන දෙපිරිස එකතුවෙලා අති විසාල පේස් බුක් කැම්පේන් එකක් අරගෙන ගියා ඒකෙ තීම් එක වුනේ..සාර් ෆේල් නොහොත් Sir has Failed.

ඔය කැම්පේන් එක මට පේන විදිහට සාර්ගෙ බොක්කටම වැදුන. ජනාපෙතිවරනෙට කලිං රොකට් රෝහිතගෙ ප්‍රධානත්වයෙන් තිබ්බ සාර් වෙනුවෙං බැහැල වැඩ කරපු පේස් බුක් බලකායක් තිබ්බ. අර කට්ට ඇනිච්ච ගෑණු ළමය එහෙම හිටියෙ ඒකෙ. කොහොම හරි ඡන්දෙන් පස්සෙ ඒ බලකාය ඒ හැටි කළ එළියට වැඩක් පලක් කරපු බවක් නම් පේන්ට නෑ. ඉතිං මේ සාර් ෆේල් කතාව පොහොට්ටුවො හැමෝටම වගෙ තදටම වැදුන. ඒ හින්දම ඔය පේල් කියන වචනෙ පොහොට්ටුවන්ට නයාට අඳු කොළ වගෙ වෙලයි තිබුනෙ.. 

ඔය අස්සෙ පාර්ලිමේන්තුවෙ අයවැය විවාදෙදි සජිත් ගොයිය කියනව රාජ්‍යය අසමත්ය කියල (This is A Failed State) ඒ වෙලාවෙ අපේ කටානායක කියල ඉන්න සට්ටඹිය ඒ සෙනේකින් කියනව එහෙම කියන්ට ඉඩ දෙන්ඩ බැරිය. මම ඒක හැන්සාඩ් එකෙන් අයිං කරනවයි කියල. ඒ පාර සජිත් කියනව මම කිව්වෙ "Failed State" කියල නෙවෙයි "Failed Government" කියලයි කියල. අසමත් රාජ්‍යයක් නෙවෙයි අසමත් ආණ්ඩුවක්ය කියලලු කිව්වෙ. 

ඒ කොහොම වෙතත් ඊලඟට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රී වරයා නැඟිටල කටානායකයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාස කරනව."ඇයි ෆේල්ඩ් ස්ටේට් අපිට කියන්න බැරිද? ඔබ කොහොමද එහෙම ඔබට ඕන ඕන වචන අපේ කතාවලින් අයින් කරන්නෙ? මොන ස්ථාවර නියෝග යටතෙද එහෙම කරන්නෙ? ..." කියල එයා අහනව.

ඒ කතාව ඇත්තම තමයි බලාගෙන යනකොට. ඕක සජිත්ටයි අහන්න තිබ්බෙ.." මම කිව්වෙ ෆේල්ඩ් ස්ටේට් කියල නෙවෙයි ෆේල්ඩ් ගවර්න්මන්ට් කියල. ඒත් අනික අතට මම ෆේල්ඩ් ස්ටේට් කියල කිව්වම කියමු. ඔබට තියෙන බලය මොකක්ද මගේ අදහස් ප්‍රකාශණ අයිතියට බාධා කරන්න?...අපි මහජන නියෝජිතයො. අපිට බාධාවකින් තොරව අපේ අදහස් ප්‍රකාශනයට මෙතන නිදහස තියෙන්න ඕනෙ...." අන්න එහෙමයි සජිත්ට කියන්න තිබ්බෙ. 

කොහොමහරි ඒ මනුස්සය එහෙම කිව්වෙ නෑ..ඉතිං මේ වැඩෙන් අපට පේන්න තියෙන්නෙ මේ කතානායක කියන මනුස්සය මොනතරම් නම් රාජපක්සලට ගැතිකම් කරනවද කියන එක නෙවෙයිද? තමන් දරන තනතුරේ ගෞරවයවත් රකින්න මේ මිනිහ දන්නෙ නෑනෙ..

ඔය කතානායකය කියන මනුස්සය පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ කිව්වනෙ අපි ඒ ප්‍රහාරය ගැන කලින් ඉඳලල දැනගෙන හිටිය..ඒත් ඒක වළක්වා ගැනිල්ල ආණ්ඩුවෙ වැඩක්..අපි විපක්ෂයෙ..ඒක හින්ද සද්ද නැතුව හිටිය කියල..දෙයියම්පා මේ වගෙ මිනිස්සුන්ටත් ඉර පායනව නෙව..හරිනම් පාස්කු කොමිසම ඉස්සරහට ඉස්සෙල්ලම ගෙන්නන්ට ඕන මේ යකා..ගෙන්නල අහන්ට ඕන මොකක්ද ඒ කිව්ව කතාව?  කොහෙන්ද කාගෙන්ද තොරතුරු ලැබුනෙ? කියල...කොහෙද ඉතිං මේ රටේ කවද්ද වැඩක් හරියට කෙරුනෙ?

පලි - ඔය සට්ටඹි, ඇට්ටඹි සහ ඇම්බැට්ට කියන වචනවලත් හරිම අපූරු තේරුමක් තියනව..ඔහෙල දන්නවය? සට්ටඹි කියන්නෙ රජ්ජුරුවො නානකොට කුණු අතුල්ලන මනුස්සය..එතකොට ඇට්ටඹිය කියන්න රජා රුන්නහම පස්ස හෝදන එකා..අපි පොඩි කාලෙ හිච්චි එව්වො රීල පුක හෝදන්නෙ නැතුව ඉන්න එකට කියන්නෙ ඇට්ටිම්බෙං ඉන්නව කියල..එතකොට ඇම්බැට්ටය කියන්නෙ රැවුල් කොණ්ඩා කපන මනුස්සයට..නිවට ඇම්බැට්ටය දැක්කම එළුවත් රැවුල පානවලු කියල එහෙම අහල ඇති නේද?

Thursday, December 3, 2020

663. පුවක් එෂැණිං - 60 - රනිල් වික්‍රමසිංහ සහ දේවානම්පියතිස්ස....


සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන හත්වන ප්‍රශ්නය...


එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු ආසනයට පුරා මාස තුනක් තිස්සේ කිසිවකු නම් නොකොට කල් මරමින් සිට අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාවම ඒ සඳහා නම් කිරීමට තුඩුදුන් වැදගත්ම හේතුව මින් කුමක්යැයි ඔබ සිතන්නේද?

A. රනිල් වික්‍රමසිංහ මහතා තම මන්ත්‍රී වැටුප ලබානොගන්නා බැවින් එම මුදල කෝවිඩ් මර්දනය සඳහා යෙදවිය හැකිවීම

B. යුරෝපීය ටයි කෝට් ඇඳුම රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම මනාව අඳින බැවින් පාර්ලිමේන්තුවේ ටයි කෝට් අඳින වෙනත් මන්ත්‍රීවරුන්ට නියම බ්‍රිතාන්‍ය ක්‍රමයට ටයි කෝට් අඳින අන්දම පිළිබඳව ඉගෙන ගත හැකිවීම

C. නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග, කබ්රාල් සහ වාසුදේව වැනි අපතයින් මන්ත්‍රී පදවි දරන පාර්ලිමේන්තුවක රනිල් වැන්නකු හිටියාට අහවල් දෙයක් වෙනවද කියා සිතීම

D. අගමැති පදවිය දැරීම වන් බාරදූර කාර්යයකට වඩා පුල් සූට් එකෙන් සැරසී විපක්සයේ පසුපස අසුනකට බරදී කිසිවක්ම නොකොට අලසව ගත කිරීම (Procrastination ) රනිල්ට උපතින්ම හිමිවී ඇති කුසලතාවයක් වීම

E. ජේ.ආර්.පප්පා මේ රටට කල ලොකුම අපරාධය පිළිබඳව යලි යලිත් ඔහුගේ මෑණියන්දෑගේ ගුණ ගායනා කිරීමට මහජනයාහට අවස්තාවක් ලබා දීම.





සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන අටවන ප්‍රශ්නය...

සිංහල ජාතිය අතීතයේ සිටම කිසිම දිනක මස් මාංශ ආහාරයට නොගත් බව පසුගිය දිනක ගොමා සංගමයේ සභාපති දොස්තර පාදඩදෙණිය මහතා ප්‍රකාශ කලා..ඒ අනුව මිහිඳු හිමියන් ලංකාවට සැපත්වුනු අවස්ථාවේ දෙවනපෑතිස් රජතුමා මුවෙකු පසුපස ලුහුබැඳ ගියේ කුමන හේතුවක් නිසාද?

A. මුවාගේ මැක්කන් බහුල නිසා මුවා අල්ලා මැක්කන් නාශක බෙහෙත් ඉසීමටය.

B. මුවා සමඟ සෙල්ෆියක් ගසා ෆේස්බුක් දැමීමටය.

C.මුවාට වඩා තමාට වේගයෙන් දිවිය හැකියයි බිසව සමඟ ඇල්ලූ ඔට්ටුවෙන් ජය ගැනීමටය.

D. මිහිඳු හිමිගේ මොලේ කොළොප්පං වන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවාට වඩා මුවා පසුපස දිවයාම දාහෙන් සම්පතකැයි සිතූ නිසාය.

Sunday, November 22, 2020

662. ස්නේහයේ සිහිවටන......


ඉහත ඡායාරූපයෙහි දැක්වෙනුයේ කසළ වශයෙන්
බැහැර කරනු උදෙසා මාර්ගයක් අසළවූ කසළ බහාලනයකට
හේත්තු කොට ඇති මංගල ඡායාරූප කිහිපයකි...


"මෙහෙම වෙයි කියල ඔයාට හිතුනද?"

" නෑ."

"මම ඇහුවෙ මේ නිකමටවත්…"

"නෑ නෑ..හීනෙකින් වත් එහෙම හිතුනෙ නෑ…."

"එතකොට ඇයි එහෙම උනේ? "

"මෙහෙමනෙ ..දැං ඒක වෙලා ඉවරයි..."

"ඔව්…."

"ඉතිං එහෙම උනේ ඇයිද කියල හිත කරදර කරගන්න එකේ කිසිම තේරුමක් නෑ.. "

"ඇත්ත…"

"හරි එහෙනං අපි වෙන්ව යමු…"

"අපි ආයෙම දවසක හමුවේවි..මේ විදිහටම නොවුනත්.."

"ඔව්…."

"එදාට ඔයත් වෙනස් වෙලා තියෙයි..මමත් වෙනස් වෙලා තියෙයි…"

"ඔව්…."

"එදාට අපි ආයෙම කෝපි එකක් බොන ගමං අද වගේම ජීවිතය ගැන කතා කරමු…."

"කතා කරල? "

"කතා කරල ආයෙම වෙන්ව යමු…"

ප්‍රේමයේ අම සුවය විඳිමින් සුරත් පටලා ඇවිදගිය මඟ,
ස්නේහයේ මිණි කිරුළ පළඳා ජීවිතය ජයගතිමි සිතු දින,
නොපෑහෙන සිත් දෙකක සිරවී දුක් කඳුළු හෙලනුයේ කුමටද?
සිහිවටන මහමඟ දමා යමු සමඟ රැඳි මහමෙරද හිස් මත,


Tuesday, November 17, 2020

661. පුවක් එෂැණිං - 59 - පස්ට් ඇනිමසරි පලෝ අප් නොහොත් පෙතම සන්වස්තරේ පසු විපරම...


සාර් හාල් කඩේට පැනීම නොහොත්
ප්‍රසිඩන්ට් ජම්පිං ටු රයිස් බුටික්...

සාර් පත්වෙලා අවුරුද්දකුත් ගියා නෙව..ඒ ගතවෙච්චි අවුරුද්දෙ අපේ සාර් කරපු කියපු දෙවල් ගැන පොඩි පසු විපරමක් කොරන්ට කාලෙ හරි....

1. R.M.V. එකට පැන්නා…මිනිස්සු රස්තියාදු කරවන්නෙ නැතුව වැඩ කරන්නෙ කොහොමද කියල එතන වැඩ කරන අපතයින්ට ඒ ටු ඉසඩ් කියල දීල උං ඔක්කොම නිවැරදි මාර්ගයට ගත්ත. ඊලඟ පාර මං එනකොට සිස්ටං ඔක්කොම අප්ඩේට් වෙලා තියෙන්න ඕන කියල පොඩ්ඩක් සැර මූනක් එහෙම හදාගෙන කිව්ව. අප්පට උඩු දැං බලන්ට එපාය වැඩේ...කිව්වට විස්වාස කරන එකක් නෑ. වාහනයක් ගන්නම ඕන නෑ..ගන්න ඕන කියල හිතුවත් පැය 24 ඇතුලත රෙජිස්ට්‍රේෂන් එක ගෙදරට එනව තැපෑලෙන් ..නිකම්මත් නෙවෙයි...බුලත් කොළේක දවටල..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

2. හාල් කඩේකට පැනල හාල් ගෝනියක් උඩ ඉඳගෙන හතර අතට කෝල් කරල ඒ වෙලාවෙම හාල් ගණං බැස්සුව සුටුස් ගාල...හමුදාවෙ මේජර් ජෙනරාල් කෙනෙක් යවල අර ඩඩ්ලිගෙ කණට ගැස්සුව. ඒ කරල පොර හංගං හිටපු හාල් ඔක්කොම එළියට අද්දවල මිනිස්සුන්ට නිකං වගෙ දුන්න..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

3. අන්න අර කොහෙද ඉස්කෝලෙක පිට්ටනියක් හදන්ට කියල සවේන්ද්‍රට කෝල් කරල කිව්ව…හලෝ සවේන්ද්‍ර මෙන්න මේක ගැන පොඩ්ඩක් බලන්නකො කිව්ව එච්චරයි..දවස් දෙකෙං පිට්ටනිය හදල ආමි එකේ කස්ටියයි ගමේ මිනිස්සුයි දෙකට බෙදිල එල්ලේ ගේමකුත් ගැහැව්ව..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

4. සිංහරාජෙ මැදිං පාරක් කපනවය කියල හාහෝවක් ආව..සාර් ගියා එතනට ඔන් ද ඉස්පොට් පරීක්සනේකට..හොඳට පරීක්සා කරල ඇනලයිස් කරල එහෙම දුන්න තීංදුව..පරිසරේයට කිසිම හානියක් නැතුව පාර කපාපල්ල කියල ආඥාවක් නිකුත් කලා..වැඩේ කෙරුන ඒ විදිහටම ටිප් ටොප් එකට.. 

කොටින්ම  ඒ පාර දැං හදල ඉවර වෙන්ටත් කිට්ටුයි..තවම පාර හදද්දි පරිසර හානියක් කියල වෙලා තියෙන්නෙ පොඩි ඌරු මී පැටියෙකුයි ගැඩවිල්ලු හතර දෙනෙකුයි මැරිල..එච්චරමයි....ඒ ඌරු මී පැටිය උනත් පන්නල දාල උගෙ පන බේරගන්ට එතන වැඩ කරන හමුදාවෙ කට්ටිය ෆුල් ට්‍රයි කරල තියනව හරි ගිහිල්ල නෑ පව්..ඒ ඇරුනම බැලතණ පඳුරු තුනකුයි ගිරිතිල්ල වැල් දෙකකුයි ගැලවිල තියනව...R.R.A. විරුවා....M.B.P. සැමදා..

5. ජනාදිපති වෙච්චි ගමං මහ බැංකු හොරු අල්ලල ලංකාවටෙ ගෙනල්ල හිරේ දම්මනවයි කිව්ව...ආය මොනවද? කොටිම්ම ජනාදිපතිවරන ප්‍රතිපල නිකුත් කරන දවසෙ රෑ දිස්ත්‍රික්ක 25න් 18 ක ප්‍රතිපල කියනකොට එතුමා දිනන බව ෂුවර් වුනා. ඒ වෙලාවෙම ඒ මහ රෑම මට මතක විදිහට 1.45 ද කොහෙද වෙලාව..එතුමාම කාරෙක එලවගෙන ගියා එයා පෝට් එකට සී අයි.ඩී. කට්ටිය හතර  දෙනෙක් දාගෙන යන ගමං ඇඹුල්දෙණිය හන්දියෙ සෙඩ් එකෙං  පෙට්‍රල් ගැහුවෙ එතුමාගෙ අතේ තිබ්බ සල්ලි වලිං....

ඒ කරල එතනම තිබ්බ අර කවුද ගෑණු මනුස්සයෙක් කරන චයිනීස් රෝල් කඩෙන් රෝල් දහයක් අරගෙන අර සී.අයි.ඩී. කට්ටියට දුන්න ප්ලෙන් එකට ගොඩවෙනකල් එයාපෝට් එකේදි එහෙම පොඩි බඩගින්නක් හැදුනොත් කන්ටෙයි කියල..  අන්න නායකයො..ගිහිල්ල එදා රෑම පිටත් කලා සී.අයි.ඩී. කට්ටිය සිංගප්පූරුවට..දවස් දෙකයි ගියේ සී අයි.ඩී. කට්ටිය මහේන්ද්‍රන්වල කුදලාගෙන ආවෙ ආර්.එල් ස්පිට්ල් මහත්තය ලියපු මැකී ගිය දඩමං පොතේ ගෝඹිරයි, පොරමොලයි, හඳුනයි ගමායි තඩි ගහපු ගෝනෙක් තඩලාගෙන එනව වගෙ.

ඇවිල්ල නඩු අහල අච්චු කරල මිනිහ දැං වැලිකඩ මහ උළු ගෙදර පොල් ලෙලි තලනව...මේ වෙනකොට පොල් ලෙලි කිලෝ හාරදාස් තුන්සිය පණස් හයයි ග්‍රෑම් දෙසිය දාහතරක් තලල කියලයි ආරංචිය....R.R.A. විරුවා....M.B.P. සැමදා..

6. ඊගාවට පාස්කු කොමිසම...පාස්කු ප්‍රහාරෙ ගැන සී.අයි.ඩී. එකෙන් පරීක්සන පවත්තල වැරදිකාරයොන්ට දඬුවම් දෙන එක තමයි කරන්නඕන නියම ක්‍රියා පටිපාටිය. අපේ සාර් ඇවිල්ල එහෙම නියමිත ක්‍රියා පටිපාටියට වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ. එතුමා ඇවිල්ල තියෙන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න. 

ඒ හින්ද එතුමා කලේ ඒ පොලිස් පරීක්සන පැත්තක තියල දැම්ම පාස්කු කොමිසම කියල අටමගලයක්. ඒක ඇවිල්ල අර ඒ කාලෙ රේඩියෝ ජිංගල් එකක් ගියේ..යසපාලිතගෙ වැඩක්..සිනා සාගරයක් කියල ෆිල්ම් ඇඩ් එකක්..අන්න ඒවගෙ සොමි සාගරයක්..

රනිල එක දවසක් ඇවිල්ල හිටංගෙ සරම ගලවනව..හිටං පහුවදා ඇවිල්ල රනිලගෙ කලිසම ඔලුවෙං ගලවනව...ඒ කාලෙ හිටපු ආරක්සක ලේකම් ඇවිල්ල කියනව මම ඒ ගැන දන්නෙ නෑ කියල..හිටපු පොලිස් පති ඇවිල්ල කියනව ජනාදිපති පුරුද්දක් විදිහට බොරු කියනව කියල..බුද්දි අන්සෙ ලොක්ක ඇවිල්ල කියනව මට කිසිම තොරතුරක් ලැබුනෙ නෑ කියල..තනිකර කැඳ හැලියක්...ඒ තිබිල තියන  තත්වෙ හැටියට තුන්සිය ගානක් මැරිල බේරුන එක ලොකු දෙයක්..බොහෝවිට පාස්කු කොමිසමේ තීන්දුවත් ඒකම වෙයි. තිබ්බ විදිහට ඔයින් ගියා ඇති කියල..

ඔන්න ඔහොමයි එතුමා  මේ  පත්වෙලා ගතවෙච්චි අවුරුද්දට රට ගොඩ නඟල තියෙන ආකාරය...තේරුනා නෙවද? 

Friday, November 13, 2020

151 නඟේලි - පියයුරු ඇති කාන්තාව

    නඟේලි පිළිබඳ කතන්දරය සදහට ම වැළලි යන්නට ඉඩ තිබිණ. අහම්බයකින් මුරලි ටී. නම් චිත්‍ර ශිල්පියාට කියවන්නට ලැබුණු කේරළයේ ප්‍රාදේශීය ලේඛනයක් නිසා බොහෝ දෙනෙකුට ඇය පිළිබඳ දැන ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. 

    එම ලිපිය ඔස්සේ පිය නැගූ ඔහුට නඟේලි වසර 100කට පමණ පෙර ජීවත් වූ ප්‍රදේශය සොයා ගැනීමට හැකි විය. චෙර්තලා හී ගම් වැසියන් හා සංවාදයෙන් ඔහු බොහෝ කරුණු අනාවරණය කර ගත්තේ ය. 

    “ඇගේ ගමේ නම මුලච්හිපුරම්. තේරුම ‘පියයුරු ඇති කාන්තාවගේ පුරය’ කියන එකයි. ඈ කළ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය සිහිකරනු පිණිස ඔවුන් ඒ ගම ඒ ලෙස නම් කර තියෙනවා” මුරලි ටී. පවසයි. 

    මේ කතාව ඉන්දියාවේ නිල වශයෙන් පිළිගත් ‌ඓතිහාසික වාර්තාවන් හී සටහන් වී නොමැත. 

    නමුත් ඈ විසූ ගමේ ගැමියෝ ඉතාමත් ආදර ගෞරවයෙන් ඒ බව සිහි කරති. ඒ පිළිබඳ වාර්තාවන් සකසා කේරළ ඓතිහාසික වාර්තා ගොනුවට ඇතුලත් කිරීම පිණිස රජයට ලබා දීමට මුරලි ටී. බලාපොරොත්තුවෙන් සිටියි. 

කුල ව්‍යුහය වැරගැන්වීම 

    බ්‍රිතාන්‍ය යුගයේ ඉන්දියාවේ තිබූ පාලන ප්‍රදේශ 550න් එකක් වූ ට්‍රැවන්කෝ රාජධානියේ පාලකයා විසින් පියයුරු බද්දක් පැනවෙන ලදී. 

    අඩු යැයි සම්මත ව තිබූ කුල වල කාන්තාවන්ට උඩුකය වැසෙන පරිදි ඇඳුම් ඇඳීමට අවසර නොතිබූ අතර යම් හෙයකින් කෙනෙකු එසේ ඇන්දේ නම් ඒ අයට දැඩි බදු වලට යටත් වන්නට සිදුවිය. 

    “මේ පියයුරු බද්ද පැනවීමේ අරමුණ වුණේ කුල රාමුව තවත් දැඩි කිරීමයි” කේරල, ශ්‍රී ශංකරචාර්ය සංකෘත විශ්ව විද්‍යාලයේ සහයක මහාචාර්යය කෙනෙකු වූ ආචාර්යය කේ. එම්. ශීබා පවසයි. 

    ඇඳුම් පැළදුම් පිළිබඳ සමාජ සම්ප්‍රදාය සැකසී තිබුණේ කුලය පදනම් කරගෙන ය. යමෙකු කුමන කුලයේ කෙනෙකුදැයි හඳුනා ගැනීමට හුදෙක් ඇඳුම පමණක් ප්‍රමාණවත් විය. 

    නඟේලි අයත් වූයේ ඒස්හවා කුලයටයි. තියා, නඩාර් සහ දාලිත් වැනි අනෙකුත් හීන කුල මෙන් ම ඇගේ ප්‍රජාවත් පියයුරු බද්දෙන් බැඳී මිරිකී තිබිණ. 

    නමුදු වර්තමාන ගම් වැසියන් පවසන පරිදි, ඈ බදු නොගෙවා, උඩුකය ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමෙන් විරෝධතාව ප්‍රකාශ කිරීමට තීරණය කර තිබුණා ය. එය, 1900 ගණන් වල මුල් කාලේ ජීවත් වූ හීන කුල කාන්තාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ නිර්භීත පියවරක් විය. 

    “ඈ බදු ගෙවීම ප්‍රතික්ෂේප කරන බව දැනගත් බදු පරීක්ෂක, ඇගේ නිවසට ගොස් නීති විරෝධි ව කටයුතු කිරීම පිළිබඳ දොස් නැගුවා. ඔහුගේ සහචරයින් ඇගේ උඩුකය වැස්ම ගලවා දැමුවා. ඇගේ සැමියාට වේදනාවෙන් බලා සිටිනවා හැර කළ හැකි යමක් තිබුණේ නැහැ. වේදනාවෙන්, ලැජ්ජාවෙන්, දුකින්, කෝපයෙන් පීඩා විඳි නඟේලි වහා ගෙට ගොස් කැත්තක් සහ කෙසෙල් කොළයක් ගෙන ආවා. මේ බදු මේවා නිසානේ, ආ මෙන්න ගන්න! කියූ ඈ තමන්ගේ පියයුරු දෙක ම කැත්තෙන් කපා කෙසෙල් කොළය මතට දැමුවා. ලේ ගලා යද්දී, වේදනා විඳිමින් ඈ සිය සැමියාගේ දෑත මත මිය ගියා. ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැහැ. ඇගේ චිතකය දැල් වුණු දා, සිදු වූ දේත් වියෝ දුකත් දරාගත නොහැකි වුණු සැමියා ද ඒ දැවෙන චිතකයට පැන දිවි තොරකර ගත්තා. මෙම සිදුවීමෙන් කම්පනයට පත්වුණු රජය පියයුරු බදු ක්‍රමය ඉවත් කිරීමට පියවර ගත්තා” 

    ඇගේ ඥාතීන් පසුව මුලච්හිපුරම් හැර ගොස් අසල නගර සහ ගම්මාන වෙත සේන්දු වී තිබුණි. 





පරිත්‍යාගයට නිසි වටිනාකම්

    ඇගේ සොයුරාගේ මී මුණුපුරෙකු වන මනියෙන් වේලු, සිය මී මිත්තණියගේ ශ්‍රෙෂ්ඨ පරිත්‍යාගය වැඩි දෙනෙකු නොදැන සිටීම පිළිබඳ ව බොහෝ සේ කණගාටු වෙයි. 

    “ඈ කටයුතු කළේ පරාර්ථකාමී ව, නිර්භීත ව තමන්ගේ ප්‍රජාව වෙනුවෙන්. ඒ පරිත්‍යාගයේ ඵලය ට්‍රැවන්කෝර් හී සියලුම කාන්තාවන් භුක්ති වින්දා. මගේ මී මිත්තණිය රජාට තමන්ගේ බද්ද අකුලා ගන්න සිද්ධ කළා.” ඔහු පවසයි. 

    වයස්ගත මිනිසෙකු වන මනියෙන් සතුව ඉඩම් නැත. ඔහුගේ දරුවන් ගොවිපලක කම්කරුවන් සේ කටයුතු කරයි. ඒත් ආධාර බලාපොරොත්තු නොවන ඔහුගේ එක ම උවමනාව මේ ඓතිහාසික පරිත්‍යාගය ඉතිහාස පොතේ සටහන් වීම පමණයි. 

    “අපි ඇගේ ලේ ඥාතීන්. අපි ඒ ගැන බොහොම ආඩම්බරයි. අපිට උවමනා එකම දේ ලෝකේ මිනිස්සු ඈ ගැන, ඇගේ පරිත්‍යාගය ගැන තව තවත් දැන ගන්න එකයි. මේ කළාප ඉතිහාසයේ කොටසක ඇගේ නම ලියැවීම සිදුවිය යුතු ඉතාමත් සුදුසු, වැදගත් දෙයක්” ඔහු BBC වෙත පැවසීය. 

    දැනට මුරලි ටී. එම කටයුත්තේ වගකීම සිය කරට ගෙන කටයුතු කරයි. ඔහු ඇයගේ කතාව සිතුවම් තුනකට නගා ඇති අතර ඔහුගේ ‘Amana - The Hidden Pictures of History’ නම් වූ පොතට එම සිතුවම් එකතු කොට තිබේ. 

    2019 වසරේ තිරගත වුනු ‘Aadai - ඇඳුම’ නැමති දමිළ චිත්‍රපටයේ ආරම්භයට නඟේලි පිළිබඳ වාර්තාවක් එක් කර තිබීම විශේෂත්වයකි. වර්තමාන ඉන්දීය කාන්තාව ලබා සිටින භාෂණයේ නිදහස, කැමති පරිදි ජීවත් වීමේ නිදහස ආදිය ඉතාමත් සරළ දේ සේ පෙනුන ද, ඒ්වා අතීතයේ සැඟ වී ගිය අප නොදත් බොහෝ දෙනෙකු ගෙනගිය අරගලයන් හී ප්‍රථිඵල බව එම වාර්තාවෙන් ගම්‍ය කරවයි. 

    උඩරට සමහර කාන්තාවන් උඩුකය නිරුවතින් සිටින පැරණි පිංතූර සමාජ ජාල වල වරින් වර සංසරණය වේ. එම පිංතූර දෙස බලා වික්ටෝරියානු සදාචාරයට යටත් වන්නට පෙර මෙරට කාන්තාව අසීමිත නිදහසක් විඳි බවට කෙනෙකු අර්ථ දක්වයි. නමුදු එම පිංතූර හා සමග ම නිළමේ වරුන්ගේ බිරින්දෑවරු හැට්ට ඇඳ ඔසරියෙන් සැරසී, රන් ආභරණ පැළඳ සිටින පිංතූර ද සංසරණය වන බව සිහිකරගත යුතුය. 

    කෙනෙකු විවේචනය කළ ද, තව කෙනෙකුට අඩනිරුවත හොඳ යැයි සිතෙන්නට පුළුවන. එය වඩා නිදහස් යැයි අර්ථ දැක්වෙන්නට පුළුවන. කෙනෙකුට ඒ නිදහස ලැබීම පිණිස නීතිය දිනා ගැනීමට උත්සහ කළ හැකිය. එය තෝරා ගැනීමකි. නමුදු ඒ සඳහා, සියවසකට පමණ පෙර දුගීකම නිසා නිරුවතින් සිටීම උරුමය වූ දිළිඳු කාන්තාවන් ඒ නිදහසේ ආදර්ශය කොට ඉදිරියට ගැනීම, කෙතරම් සාධාරණදැයි අතීතයෙන් එබී බලා නඟේලිලා දහසක් අපෙන් විමසනු ඔබට ඇසේ ද? ඔවුන්ගේ ලැජ්ජාවෙන් මිරිකුණු මුහුණු ඔබට පෙනේ ද?

BBC සහ වෙනත් මූලාශ්‍ර ඇසුරින්

Wednesday, November 11, 2020

660. සුබ ගමන් ඩබ්.ඩී….....

කොපි කරල පොත් ලිවිල්ල ගැන හෙණ හාහෝවක් යන මේ දවස්වලම ඩබ්.ඩී. ආරියසිංහ මහත්තය මිය ගිය එක නම් අපූරුම Coincidence එකක් නොහොත් සමපාතයක්...

මට මතක විදිහට අනූගණං වල මුල් කාලෙ වගෙ ඩබ්.ඩී. ආරියසිංහ කියල ගායකයෙක් අමරදේව මාස්ටර්ගෙ ගීත සී.ඩී. එකක් නිකුත් කරල බොහොම කෙටි කාලයකින් ජනප්‍රිය වුනා. සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම තමයි ඒ ගීතවලට සංගීතය සැපයුවෙ…

ඒ කාලෙ ඔය සන් ෆ්ලවර් සමඟ කියල සී.ඩී. ගහන රැල්ලක් ආවනෙ..සන් ෆ්ලවර් සමඟ ගුණදාස කපුගේ..සන් ෆ්ලවර් සමඟ දයාරත්න රණතුංග කියල එහෙම. සන් ෆ්ලවර් සමඟ ඩබ්.ඩී. ආරියසිංහ කියල තමයි අමරදේවගෙ ගීත අඩංගු සී.ඩී. එක නිකුත් වුනේ...

අමරදේව ලොක්ක එක්ක දාගත්ත මොකක්ද වලියකට පලිගනු වස් කේමදාස ගොයිය තමයි කියනව ඩබ්.ඩී.ආරියසිංහ ලව්ව අමරදේවගෙ සිංදු කියෙව්වෙ කියලත් කියනව...මොකද ඒ කියපු ගීත ඔක්කොගෙම සංගීතය කේමදාසගෙ. 

ආරියසිංහ ඒ කාලෙ පොඩි කොල්ලනෙ. නැඟී එන ගායකය..කේමදාස මිනිහට මෙහෙම කියන්ට ඇති..

"අයිසෙ තමුසෙ බය නැතුව ඔය සිංදු කියනව..මමනෙ කියන්නෙ..ඔව්වයෙ මියුසික් මගේ.."

"සර්..මට බය නඩුවක්වත් වැටුනොත් කියල..." ආරියසිංහ එහෙම කියන්ට ඇති...

"නඩුවක් වැටුනොත් මම උසාවියට ගිහිල්ල උත්තර බඳින්නං..."

කොහොමහරි ආරියසිංහ ඒ සිංදු ටිකත් කිව්ව..නඩුවක්  වැටුනෙත් නෑ හැබැයි...සමහරවිට අමරදේව කේමදාසගෙ හැටි දන්න හින්ද ඔන්න ඔහෙ ඕන මඟුලක් කර ගත්තාවෙ කියල නිකං ඉන්න ඇති. 

නැත්නම් නීති උපදෙස් ගත්තම දැනගන්ට ලැබෙන්ට ඇති ගීතයක අයිතිය තියෙන්නෙ ගායකයටද, තනුව නිර්මාණය කරපු සංගීතවේදිහටද එහෙමත් නැත්නම් ගීතය ලියපු පද රචකයටද කියන එක ගැන පැහැදිලි නිර්වචනයක් නැතය කියල..කොහොම හරි ඔය ආරියසිංහ කියපු අමරදේවගෙ ගීත හින්ද ගීතයේ අයිතිය ගැන පුලුල් කතිකාවතක් ඇරඹුනා. මට මතකයක් නම් නෑ අන්තිමට මොකක්ද තීරණය වුනේ කියල.. 

බලාගෙන යනකොට කේමදාස ලොක්කගෙ ඉත්තෙක් වෙලා තියෙන්නෙ ආරියසිංහ...

කේමදාසත් ආය නෑ නයා වගෙ මිනිහෙක් බලාගෙන යනකොට..ඒත් ඉතිං අනික් අතට අමරදේව ගොයිය කේමදාසට මොකක් කරලද ඔය විරසකේ පටං ගත්තෙ කියල හරියකට නොදැන එක පාරටම කේමදාසගෙ ඇඟට ගොඩවෙන එකත් වැරදියි..අමරදේව කියල නෑ ඉතිං ඔක්කොම මිනිස්සුනෙ..

කේමදාසට තව චෝදනා තියනව. මිනිහගෙ පිරිනිවන් මංගල්‍යය දයානන්ද ගුණවර්ධනගෙන් කොල්ල කාපු එකක්ය කියල. කේමදාසගෙ සිවිල් බලයට බයේ දයානන්ද ගුනවර්ධන සද්ද නැතුව හිටියලු..

ගොඩක් මිනිස්සු කපුගේට එතකොට දයාරත්න රණතුංගට එහෙම පස් පඩංගුවෙ බැන්න එහෙම සිංදු කියල එව්ව හෑල්ලු කලාය කියල. කපුගේ මළාට පස්සෙ දවසක මම දැක්ක පත්තරේක ලියල තිබ්බ කපුගේ ඔච්චර කාලයක් සිංදු කියල ලක්ෂ සංඛ්‍යාත රසිකයින් අමන්දානන්දයට පත් කලත් සන් ෆ්ලවර් එක්ක සී.ඩී. එකක් කරල ලැබුණු මුදලින් තමයි යන්තමට ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් හදාගත්තෙ කියල..හරි ඒ කතාව මේ කතාවට අදාල නෑ..මම ඔය නිකමට වගෙ කියල දැම්මෙ.

අද කියන්න යන්නෙ ඩබ්.ඩී.ආරියසිංහ ගැන. ඒ මනුස්සය අමරදේවගෙ සිංදු කියල නමක් හදාගත්තට පස්සෙ බොහොම අපූරු ගීත කීපයක්ම කිව්ව. ඉස්සෙල්ලම මා ළඟටම තව ලංවෙලා..මම සෑහෙන කාලයක් ඒ ගීතයෙ තනුව මගෙ ෆෝන් එකේ රිඟිං ටෝන් එකට දාගෙන හිටිය. එදා මෙදා තුර මම සිංදුවක තනුවක් රිඟිං ටෝන් එක විදිහට දාගෙන හිටියෙ එච්චරමයි.අනික මම දන්න විදිහට ඒ ගීතයට තැනුනු වීඩියෝ එක තමයි ලංකාවෙ ගීතයක් වෙනුවෙන්ම තැනුනු මුල්ම වීඩියෝ එක...වීඩියෝ එකේ ඉන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ සහ රොජර් සෙනෙවිරත්න...


මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළඟිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා....

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නවේ....

කල්පකාල යුග අප අතරින් ගෙවිලා

අපි යමු මේ රෑ අනාගතය සොයලා

නළමුදු සුවඳේ නිදන මලේ..

මට මල් රොනවුල් සුවඳ දැනේ ලදුනේ....


Song : W D Ariyasinghe 
Lyricist : Ajantha Ranasinghe 
Music : Tissasiri Perera 




මේ ආරියසිංහගෙ තවත් අපූරු ගීයක්...


වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ..

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ..

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ..
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ..

දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනාගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ..

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමි හිඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ..
මටද ආදරේ..
නුඹට ආදරේ..

පද: වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර

තනු: නවරත්න ගමගේ

හඬ: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා




මේකත් අර කලින් එව්ව වගේම සිත දැහැන්ගතවෙන ගීතයක්...


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා


කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල 
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට 
ඉඩහරින්න රාධා

නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි 
සඳුන් කල්ක තවරා

ගායනය | ඩබ්ලිව් ඩී ආරියසිංහ 
සංගීතය | විශාරද ගුණදාස කපුගේ 
පද රචනය | රත්න ශ්‍රි විජේසිංහ 


Wednesday, October 28, 2020

659. පුවක් එෂැණිං - 58 - මයික් පොම්පියෝ ආතල්....



එදත් ලක්ෂපති..අදත් ලක්ෂපති... මෙන්න ඔබට ලැබෙන රුපියල් මිලියනයක් දිනාගතහැකි දාහතරවන ප්‍රශ්නය...


අමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ කෝර්විඩ් උවදුර යලිත් හි ඔසවමින් තිබියදී, එම අවදානම පවා නොතකා මෙහි සංචාරයක යෙදෙන්නට තීරණය කලේ ඇයි? 


1.නොවැම්බර් මස 3 වන දින පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා ගැනීම උදෙසා පොටෝමැක් ගංගාවේ ජලය දෙබෑකොටගෙන යේසුස් වහන්සේගේ ධාතු කටින්ගෙන මතුවන ලෙස  කැළණි ගඟ දිය දෙබෑ කොටගෙන මතුවුනු නාග රාජයාගෙන් ඉල්ලා සිටිය හැකිදැයි කැළණි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා සිටීම සඳහා....


2. තවමත් කෝවිඩ් රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා නොමැති අමරිකානුු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සම්පූර්ණ සුවය ලබා ගැනීම උදෙසා සුදර්ශන පැණිය ගැළුම් දෙකක් මහචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලාගැනීම සඳහා..


3. තව සතියකින් පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් මහතා පරාජය වුවහොත් ඔහුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ගෙවිඳු කුමාරතුංග මහතා වෙනුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට පත්කොට M.C.C .කොරිඩෝ ස්ථාපනය කිරීමේ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටීමට.....


4. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුද අපරාධකරුවකු ලෙස නම් කොට  අමරිකා එක්සත් ජනපදයට ඇතුලු වීමට වීසා නිකුත් නොකිරීමට තමන් විසින් ගන්නා ලද තීරණය අවලංගු කොට එම තීරණයෙන් සිල්වා මහතාට යම්කිසි ඉතා සුළු වශයෙන් හෝ සිත් රිදීමක් හෝ කීර්ති නාමයට කැළැල්වීමක් සිදුවූයේනම් අමරිකානු රජය වෙනුවෙන් සිල්වා මහතාගෙන් සමාධිය භජනය කරන ලෙස ඉල්ලා සිටීමට...


5. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් මහතා පරාජයවී ඔහු විසින් නොගෙවා පැහැර හරිනලද බදු ගෙවන්නට සිදුවුවහොත් ට්‍රම්ප් මහතාට අයත් ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ල  වෙන්දේසියේ විකිණීම වළක්වා ගැනීම සඳහා මල්වානේ නිවස බේරාගත් අන්දම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ගැනීමට.


6. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ පුත්‍ර රත්නය වන මනෝජ් රාජපක්ෂ මහතා නාසා ආයතනයේදී හමුවූ විටෙක " අංකල් ආසියාවෙ ටුවර් එකක් යනවනං ලංකාවටත් ගිහිල්ල අපෙ තාත්තගෙං කුරහං තලප රාත්තල් හත අටක් ඉල්ලගෙන ඇවිල්ල අංකලුත් බාගයක් තියාගෙන මටත් දෙන්ට..හොඳේ..මතක ඇති කාලෙකිං කුරහං තලප කෑවෙ නෑ අංකල්" ලෙසින් කල ඉල්ලීම ඉටු කිරීමට...


7. ගූගල්, ජී මේල, කොකාකෝලා සහ පෙප්සි වර්ජනය කෙරන ලෙස වසර කීපයකට ප්‍රථම අමාත්‍ය විමල් වීරවංශ මහතා ගිරිය පුප්පා රටේ ජනතාවගෙන් කල ඉල්ලීමකට අනුව ශ්‍රීලංකා ජනයා තවමත් නොකඩවා එම සේවාවන් සහ භාණ්ඩ වර්ජනය කරන හෙයින් එම සමාගම් බංකොළොත්වී සේවකයින්ට වැටුප් පවා ගෙවාගත නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් එම සමාගම්වල අසරණ වූ සේවකයින්ගේ දරු පවුල් කෙරෙහි අනුකම්පා කොට එම වර්ජනය අත් හැර දමන ලෙස ඉල්ලා එම සමාගම්වල සභාපතිවරුන් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ අභියාචනය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම උදෙසා...


8. M.C.C. ගිවිසුම අනුව අමරිකානු හමුදාව විසින් කැපියයුතු වැටමාර ගස්, උදුරාදැමියයුතු නිදිකුම්බා පඳුරු සහ ශුද්ධ කල යුතු කාණු ඇති ස්ථාන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය හමුවී අසා දැනගැනීම උදෙසා...


9. ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා හමුවී ඔහු විසින් තම උපකාරක පංතිවලදී සිසු සිසුවියන්ට ඇඳ පෙන්වූ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන අමරිකන් කොරිඩෝවෙ සුප්‍රසිද්ධ සිතියමේ සහතිකකල පිටපතක් ලබාගෙන එහි දැක්වෙන මුළු බිම් ප්‍රමාණයම අමරිකා එක්සත් ජනපදයට සින්නක්කරවම ලබාදියයුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටීමට....


10. ගිවිසුම අනුව අනුරාධපුරය වන්දනාකිරීමට යාමට ශ්‍රී ලාංකිකයින්හට අමරිකානු වීසා ලබාගතයුතුවන බව ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු වේදිකාවල සඳහන් වූ බැවින් අමරිකානු වීසා කාර්යාලයක් දඹුල්ලෙහි පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයක් දීර්ඝ කාලීන බද්දට ගැනීම පිළිබඳව සොයා බැලීමට...


11. තවමත් අමරිකානු පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිණියට මෙවර අමරිකානු ජනාධිපතිවරණයෙහි තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදී ඔවුන්ගෙ ඡන්ද පත්‍රිකාවන් දෙක සුරක්ෂිතව තම ට්‍රැවලින් බෑගයෙහි බහා අමරිකාවට ගෙනගොස් ඡන්දය ගණනය කරනා නිලධාරීන්ට භාර දීමට කටයුතු කිරීම උදෙසා.....



Monday, October 26, 2020

658. පුවක් එෂැණිං - 57 - ක්‍රොස් ඕවර් ආතල්.......


Et tu Diana?

                                                                
මේ දවස්වල ඤූස් අහනකොට නිකං පිස්සු වගේ අප්පා..මගෙ ඔලුව නිකං අන්දොස් වෙලා තියෙන්නෙ...කොරෝනයි 20 යි දෙක ක්‍රොස් ඕවර් වෙලා තියෙන්නෙ..අර එක පාරක් දෙවෙනි ඉණිමයි සංගීතෙයි ක්‍රොස් ඕවර් එපිසෝඩ් එකක් ගියේ මතකද? අන්න ඒ වගේ...ඒ කියන්නෙ දැං මෙහෙමයි...මේ මයෙ ඔලුවට ආපු පුරස්න කන්දරාව...

1. ඩයනා කුමාරියි, සීසරුයි දෙන්නත් 20 වෙනි සංසෝදනේට පක්සයිද? 


2. ඇන්ටනි පොකුර ඇවිල්ල බ්‍රැන්ඩික්ස් පොකුරෙ ඥාතී පොකුරක්ද නැත්තං ආශ්‍රිත පොකුරක්ද? 


3. සාර්ව අතපය බැඳල මෝර ටැංකියට දැම්මෙ කවුද? 


4. මාක් ඇන්ටනි ඩයනට ඇන්නෙ වප්පිහියකිංද නැත්තං මන්න පිහියකිංද? 


5. සීසර් ලොක්ක මැරුං කෑවෙ 20 වෙනි සංසෝදනේට පක්සව කතා කරපු හින්දද?


6. අනික් එක මේ 20 වෙනි සංසෝදනේට සහ පිහි ඇනුංවලට අර ක්ලියෝපැට්රා අම්මණ්ඩිගෙ මොනම සම්බන්දයක්වත් නැද්ද?


7. එතකොට ඩයනා කුමාරි කියන විදිහට අර බුරූටස් ගොයිය සියඹලා ගෙනල්ලම නැද්ද?


8. හරි බුරූටා සියඹල ගෙනාවෙම නැහැයි කියමුකො. ඒත් අර අලි සබිරි පොලු ගහල කඩපු සියඹලා ගෝනියට අහවල් දෙයක් උනාද?


9. ගුල්ලේ ඇණවන්සයා අඹ කැඩුවෙ අලි සබිරියා සියඹල කඩන්ට ඉස්සෙල්ලද? ඊට පස්සෙද?


10. මුරුත්තෙට්ටුවා එතකොට මැදගොඩයා එහෙම කහකඩ වනල ගියපු දෙහිගහ තියෙන්නෙ ඔය සියඹල ගහ කිට්ටුවද නැත්තං අඹ ගහ කිට්ටුවද?


11. මැකලං රංජිත්ගෙ හාවක් හූවක් නැත්තෙ සීසර්ට පිහියෙං අනිනව බලන්ට ගිහිල්ල වත්ද?


12. වංකණ රත්වෙන්ට සොට් එකක් වැදුනම පංචායුදේ තැලෙන්ට පුලුවන්ද?


13. යටට අඳින්නෙ නැතුව ඉන්න වෙලාවක  සංවේදී උනොත් එහෙම මහ ජංජාලයක් නෙවද? 


14. සාර්ට තුනෙං දෙකත් හම්බ උනා..20ත් කොහොම හරි ගොඩ දාගත්ත..දැං ඉතිං කියාපු විදිහටම මේ යෝදය හෙටම රට හදන්ට පටං ගත්තම අපිට නිදාගන්ට වෙන එකක් නැතිවෙයිද  ඒ සද්ද බද්ද වලට?. ඒහින්ද හෙටම රට හැදිල්ල පටන්ගන්නෙ නැතුව අපිට නිදාගන්ට දවස් දෙකක් තුනක් විතර දෙන්ට බැයිද ලොක්කා..ප්ලීස්?


අනේ මන්දල්ලෑ අප්පා..ඔලුව විකාරවෙනව මෙව්වට උත්තර හොයන්ට ගියාම..අඩුගානෙ දෙකක් තුනක් විතරවත් ලඟ ලඟ  නවා ගන්නෙ නැතුව නං බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ...හ්ම්ම්ම්...

Friday, October 9, 2020

657. පුවක් එෂැණිං - 56 - චීන ආතල්....




ඔබද ලස්සපති මමද ලස්සපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන ඊලඟ ප්‍රශ්ණය.... 

ලොව පුරා විශාල කෝවිඩ් අවදානමක් තිබියදී සහ විශේෂයෙන් ලංකාවේ කෝවිඩ් පැතිරීම යලි උත්සන්න වෙද්දී චීනයෙන් ඉහළ පෙලේ රාජ්‍ය දූත පිරිසක හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව මින් කුමක් විය හැකිදැයි ඔබ සිතන්නේද? 

A. චීනයේ උත්තරීතර නායක සී ජිම් පිම් මහතාගේ එකම දියණියට සුදුසු මනාලයෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීම 

B. කෝවිඩ් වසංගතය හේතුකොටගෙන අමරිකාවට සිදුවූ අලාභය චීනය ගෙවිය යුතු බවට අමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇති නිසා එම වන්දි මුදල ගෙවීමේදී යම් සහනයක් ලබාගතහැකිදැයි ට්‍රම්ප් මහතා සමඟ සාකච්ඡා කරන ලෙස කීර්තිමත් ඇමරිකන් පුරවැසි බැසිල් රාජපස්ස මහතාගෙන් ඉල්ලා සිටීම 

C. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ රාජසන්තක කල චංචල දේපල ගබඩා කිරීම සඳහා ජනාධිපති තුමාගේ මිරිහානේ පිහිටි නිවසේ ගෙවත්තේ විශාල වෙයාහවුස් මාදිලියේ බඩු ගබඩාවක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම 

D. චීනය විසින් ක්‍රියාත්මක කරන බඳපටි සහ පාරවල් ක්‍රියාන්විතය (Belt and Road Initiative) අනුව ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රධාන මාර්ග දෙපස බඳපටි වෙළඳසැල් පිහිටුවීම සඳහා ආධාර සැපයීමේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කිරීම.

Sunday, September 27, 2020

656. පුවක් එෂැණින් - 55 - පොල් ආතල්....


Image From Internet

අම්මාපල්ල ඊලඟ පාර අපේ ගොට්ට මාත්තය ජනාදිපති චන්දෙට ඉදිරිපත් උනොත් මම නං චන්දෙ දෙන එකත් දෙනව. ඇයි යකෝ රට සංවර්දනේ කොරන එක කාට කොරන්ට බැයිද? (එකෙක්වත් නොකරන එක වෙනම කතාවක් හෙහ්..හෙහ්...)...ඒත් මෙහූ ආතල් දෙන්ට පුලුවං වෙන කාටද දෙයියෝ සාක්කි...මේ යක්සය නියම ජොලි බඩුවක් නෙව. අන්න අර Standup Comedy  කියන Concept එක තේරෙන්න   නැහ්නං ඒ උදවිය අපේ ගොස්ටා සේර්ගෙ කතාවක් එහෙම නැත්තං ඔය ජනහමු අරව මෙව්වට ගිහිල්ල නොමිලේම දෙන ආතල් බලාපල්ල...හොඳේ...

අලුත්ම ආතල් එක ඇවිදිල්ල හිට පොල් ආතල් එක. ඒ නියෝගෙ නිකුත් කොරල තියෙන්නෙ අර පාරිබෝගික අදිකාරියෙ සබාපති කොමට පත්කරපු පැන්සන් පලච්ච ආමිකාරය...පොරම තමයි අර එක පාරක් ඩඩ්ලි ලොක්කගෙ හාල් මෝලට පැනල යකා නැටුවෙ...ජොලි පොර…

හැබැයි ඔය පැන්සන් ගිය ආමි කාරයො එක එක තනතුරුවලට දාගත්තම තියෙන අවුල තමයි ඔය යක්කුන්ට ප්‍රායෝගික පැත්ත ගැන මේ ලෝකෙ අවබෝදයක් නැති එක..ඒක වෙන්නෙ මෙහෙමයි..ආමි එකේ ඔපිසර කෙනෙක් කියන්නෙ ඉතිං අතට පයට සියලු දේ ලැබෙන පොරක් නෙව. නෑ බෑ කියන වචනවල තේරුමවත් ඔය යක්කු දන්නෙ නෑ. 

නියෝගයක් නිකුත් කලාම ඒක එහෙම කරන්නෙ කොහොමද? ඒක කලොත් මෙහෙම වෙයි එහෙම ප්‍රස්න කරන්ට කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. කොහොමහරි වැඩේ කරනව එහෙමයි ආමි එකේ තියරිය. ඒක ආමි එකට අවුලක් නෑ. ඒත් රිඹ යන්නෙ ඔය යක්කු සිවිල් ආයතනවල සබාපතිල වෙලා අර ආමි එකේ විදිහටම නියෝග නිකුත් කරන්ට ගියාම. 

දැං අපි බලමු අර පොල් සීන් එක..වට ප්‍රමාණය අඟල් 13 පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල මෙච්චරයි...අඟල් 12 පොල් ගෙඩියක මෙච්චරයි..අඟල් 11 ගෙඩියක මෙච්චරයි කියල නියෝග නිකුත් කරන්ට ඉස්සෙල්ල එහෙම නියෝගයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්ට පුලුවන්ද කියල හිතල බලන්ට එපාය. අර මම කලින් කිව්ව ආමි මානසිකත්වය තමයි ඔතනදි එළියට එන්නෙ. ප්‍රායෝගික අපහසුකම් මට වැඩක් නෑ....කොහොම හරි කරපල්ල...හෙහ්...හෙහ්....

ඔය විදිහට  වටප්‍රමාණය අනුව තෝරල පොල් විකුණන්ඩ නං ඉතිං ඔය උඩ තියෙන ෆොටෝ එකේ වගෙ වළලු තුනක ගැජමැටික්ස් එකක් පොල් වෙළෙන්දො වෙළෙන්දියො ගාව අනිවාර්යයෙන් තියෙන්න ඕන...ඔයිට වැඩිය කොච්චර අපූරුද පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 කියල කිව්වනම්...එතකොට ලොකු පොල් ඒ ගාණට සහ ඊට පොඩි පොල් අඩු ගණං වලට වෙලෙන්දො විකුණයි මිනිස්සු ගනියි. කොහොමත් ඔය අඟල් ගාණට මිල පාලන නියෝගය එන්ඩ ඉස්සෙල්ල උනෙත් එහෙම තමයි...


Monday, September 14, 2020

655. පුවක් එෂැණිං - 54 ….සාහිත්තිය මාසේ හොයාගෙන කියවන්න සුදුසු පොත්...........



මෙන්න ළමායි සාහිත්‍ය මාසයට කියවීමට මගේ නිර්දේශ...


1. "බයියන් ඇන්දවීමේ කලාව" - ඇම්. රාජපස්ස 

මැදමුලන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රාජපස්ස මහතා වසර පණහකට අධික කාලයක සිට බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුණ කළ ප්‍රාමාණික විද්‍යාර්ථියෙකි. අද මුළු මහත් ලෝකය පුරාම එම විෂයය පිළිබඳව ඉහළම දැනුමක් ඇති ඒ විද්වතෙකු ලෙස දෙස් විදෙස් ගෞරව සම්මන ලබන ඒ මහතා මියයනතෙක්  බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුන කිරීමට අපේක්ෂා කරන බව පසුගිය දිනෙක පැවසීය.


2."ජිහ්වයෙහි අස්ථි රහිතවීමේ වැදගත්කම සහ සැපවත් අනාගතයකට ඉන් ඇති ප්‍රයෝජන" - සම්මානිත මහාචාර්ය ජී. ඇල්. පී. රිස් මහතා

තම විෂයයට පරිබාහිර වුවද දිවෙහි ඇටනැතිවීම පිළිබඳව 1994 වර්ෂයේ සිට දැඩි උනන්දුවක් දක්වන මහාචාර්ය පී. රිස් මහතා ඒ පිළිබඳව අඛණ්ඩ පර්යේෂණයන්හි නිරතවෙමින් සහ එයින් මනා ප්‍රයෝජන ගනිමින් සිටින අතර සැපවත් දිවියකට ඇට නැති දිව යොදාගන්නා ආකාරය පිළිබඳව නොමිලේ දේශන මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.


3. "අත් වැරදීම් වළක්වා ගන්නේ කෙසේද? How to avoid hand mistakes"  - කාර්ය මණ්ඩලයට උපදෙස් 

තම ආයතනයන්හි කාර්ය මණ්ඩලය උදෙසා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව  විසින් ඒකාබද්ධව ප්‍රකාශයට පත්කල උපදෙස් සංග්‍රහයකි.


4. "ඉල්ලා අස්වීමේ විවිධ ක්‍රම අනූ නමයක්" - ආර්. වික්කරමසිංහ. 

රාජකීය විද්‍යාලයේ අපකීර්තිමත් ආදි සිසුවකු වන වික්කරමසිංහ මහතා  එහි ආදර්ශ පාඨය වන ඩිස්කේ අම්මට ඩිස්කේ ඩේ   යන්න පවා අම්මට හිXX ඉබ්භේ සේ නොහොත් අම්මට අහවල් වැඩේ කලත් ඉබ්බා තිබ්බා සේ කාගෙන හිටහං ලෙස වෙනස් කල මහඟු නැණවතෙකි.


5. "දේශප්‍රේමයේ නව ප්‍රවණතා - පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත් වුවද විපක්ෂයේ බැවින් ඒ පිළිබඳව මුඛය සහ අධෝමාර්ගය වසාගෙන සිටීම" - ඇම්.වයි. අබේවර්ධන


6. "ටූල්ස් භාවිතයෙන් පැනික් වීම වළක්වා ගැනීම" - ඇන්.ජී. රාජපස්ස


7. "මව්පියන් හෝ භාරකරුවකු නොමැතිව මහමඟ අතැර දමා ගිය  ව්‍යවස්ථා සංශෝධනයක්  ඔබට හමුවුවහොත් අනුගමනයකල යුතු ක්‍රියාමාර්ගය" - ජාතික ළමාරක්ෂක අධිකාරියේ සහ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ඒකාබද්ධ ප්‍රකාශනයකි.


8. "පාර්ලිමේන්තුවේදී තම අසුනේ හිඳිමින්ම ස්නානය කරන්නේ කෙසේද?" - ඒ.ඇන්. කබ්රාල්.


9. "වයස්ගත වීමේදී කශේරුකාව සුනම්‍යව පවත්වාගැනීමට ව්‍යායාම මාලාවක්" - ජොස්තර ඒ. පාදඩදෙණිය


10. "Selfish gene and Slavery gene - A lethal combination  - A comprehensive study of the extraordinary behaviour of Bayiyas of Sri lanka" -  A research paper published by R. Dawkins Foundation


11."මහා කාරුණික මැදමුලනේ මහින්ද මහරජාණන්ගේ චරිතාපදානය" - ඇම්. අබේතිස්ස

ඇම්. අබේතිස්ස චීවරධාරී මහතාණන් විසින් රචිත ඇම්. මහින්ද නිරිඳුන්ගේ චරිතාපදානය දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා අතිරේක පාඨ ග්‍රන්ථයක් ලෙස අනුමත වී ඇත. ඇම්. මහින්ද නිරිඳානන් කොපමණ දුරට ධර්මයෙහි හැසිරෙන්නෙක්වේද යත් තමන් ඝාතනයට සතුරන්ට උපකාර කල එක් කෙළෙඹි පුත්‍රයෙකුහට පවා සමාධිය භජනය කලේ පමණක් නොව ඔහුට අමාත්‍ය තනතුරක්ද ප්‍රදානය කළේය. සියළු බෞද්ධ දුවා දරුවන්හට උදේ සවස කියවීමට සුදුසු මහාර්ඝ ග්‍රන්ථ රත්නයකි.


12. "පොළවේ පයගසා සිටිනා බාලිකාවියන් සහ පරිධිය දෙස නොබලා න්‍යාෂ්ඨිය දෙස බැලීම" - ඇස්. අරඹේපොළ මහත්මිය විසින් රචිත යොවුන් නවකථාවකි- කියත්මඟ ප්‍රකාශණයකි.


13. "Comprehensive instructions on how to use Tools without entering into panic mode" - N.G. Rajapakse


14. "I prefer Doing the impossible rather than taking the  easyway"- B.R. Rajapakse

ඉතා පහසුවෙන් කල හැකිව තිබූ අමරිකානු පුරවැසිභාවය අත්හැරීම වෙනුවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම වන් අසීරු ඉලක්කයක් තෝරාගෙන එම ඉලක්කය සාර්ථක ලෙස සපුරාගත් අපේ කාලයේ විශ්මකර්මයාගේ ජීවිත අත්දැකීම් - කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බි.ආර්. ප්‍රකාශකයින්ගේ කුටියෙන් ඔබට ටෙන් පර්සන්ට් කොමිස් එකක් සහිතව  මිළදී ගත හැක. එදිනම රාජපස්ස මහතාගේ මට මගේ නොවන මගේම මන්දිරයක් තිබුනා සහ මට මගේ නොවන මගේම වියවස්තාවක් තිබුනා යන ගීත අඩංගු සී.ඩී. තැටියද ජනගත කරනු ඇත.


15. "බුවනෙකබා රාජසබාව, ඩෝසර් සහ නගරාදිපතිගේ මයිල් ගස්"- ඉන්ද්‍රජාලික යථාර්තවාදී කෙටිකතා සංග්‍රහය - සම කතෘවරු ජේ. ප්‍රනාන්දු සහ ටී. ධම්මික 

Friday, August 28, 2020

654. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ මහදේවන් සතාසිවම්...............

ඩොන් බ්‍රැඩ්මන් දන්නව නේද? ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්..ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරු...ඊයෙ ඒ කියන්නෙ අගෝස්තු 27 වෙනිද බ්‍රැඩ්මන්ගෙ උපන්දිනේ..ඔහු උපදින්නෙ 1908 අවුරුද්දෙ...2001 පෙබරවාරි 25 වෙනිදා ඔහු මියගියා..

බ්‍රැඩ්මන් වීරකෝන් ගැනත් අහල තියනව නේද? ඔහු අගමැතිවරුන් පස් දෙනෙකුගේ ලේකම් විදිහට සේවය කරපු කෘතහස්ත පරිපාලන නිලධාරියෙක්..ඔහුගේ පියාත් ඩොන් බ්‍රැඩ්මන් ලෝලියෙක්...1930 අවුරුද්දෙ ඩොන් බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයකින් පස්සෙ ආපසු ඕස්ට්‍රේලියාවට යන අතරමඟ කොළඹට ගොඩ බැහැල තියනව. 

ඒ දවස්වල මගී ගුවන් යානා එතරම් ප්‍රචලිත නැති නිසා ඔය ක්‍රිකට් කණ්ඩායම් ගමන් කරල තියෙන්නෙ නැව් වල.ඕස්ට්‍රේලියාවෙ ඉඳල එංගලන්තෙට යන නැව් වලට අතරමඟ වැදගත් නැවතුම්පොලක් තමයි කොළඹ වරාය...දවසක් දෙකක් කොළඹ රැඳිල ඉන්න අතරෙ ලංකා කණ්ඩායම එක්ක තරඟයකත් යෙදෙනව සාමාන්‍යයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම්...Whistle stop tours කියලයි ඒ සංචාර හැඳින්වෙලා තියෙන්නෙ..ඉතිං 1930 ඔක්තෝබර් 20 වෙනිද බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක් නිම කරල ආපහු තමන්ගෙ මව් රටට යන අතරමඟදි කොළඹට ගොඩ බැහැල තියනව.

හරියටම එදාම බ්‍රැඩ්මන් වීරකෝන්ගෙ පියා එඩ්මන් වීරකෝන්ට පුතෙක් ඉපදිල..තමන්ගෙ වීරය සිහිවෙන්ට ජේෂ්ඨ වීරකෝන් පුතාට නම දාල තියනව බ්‍රැඩ්මන් කියල...එහෙම ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ආශ්‍රයෙන් තමන්ගෙ දරුවන්ට නම් දාන එක බොහොමයක් තාත්තල අම්මල කරල තියනව. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෛත්‍රිපාල කියල නම දාල තියෙන්නෙ මෛත්‍රිපාල සේනානායක ගෙ නමින්. එතකොට ඔහුගෙ බාල සහෝදරයට ඩඩ්ලි කියල නම දාල තියෙන්නෙ ඩ්ඩලි සේනානායකගෙ නමින්..ලෙනින් මොරායස් කියල චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් අහල තියනව නේද? එතකොට ජෝසෆ් ස්ටාලින් කියල කියන්නෙ ගුරු සංගම් නායකයෙක්...අපේ බිරින්දෑ තොමෝ මුලින්ම වැඩ කලේ නාවුල සහ ඇළහැර අතර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ හතේ පන්තියෙ ළමයෙක් හිටිය දිවංගත බණ්ඩාරනායක කියල...හෙහ්...හෙහ්...

මම පහුගිය දවසක අර අපේ මහගෙදර තිබිල මගෙ පරණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ ඡායාරූප අලවපු පොත් කීපයක් හම්බවුනු විස්තරයක් ලිව්ව මතකද? ඒ එක්කම තිබිල මම අරගෙන ආව  මපියාණෝ ඒ කාලෙ බ්‍රැඩ්මන්ගෙ එහෙම පත්තරවල පළවෙච්චි ඡායාරූප කපල අලවපු පොතක්. 

ඔය පොත මට හම්බවුනේ අවුරුදු 45 වගෙ ඉස්සර අපි කෑගල්ලෙ ඉන්දැද්දි පරණ පොත් පත්තර සහ අනම්මනම් ලටපට දාල තිබ්බ පරණ පකිස් පෙට්ටියක් අවුස්සද්දි...ඒ පොතට දැනට වෙනව මම හිතන්නෙ අවුරුදු 72 විතර...මම හිතන්නෙ අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා පණත යටතෙ සංරක්ෂණය කලයුතු භාණ්ඩයක්..හෙහ්..හෙහ්...

පළවෙනි ඡායාරූපයෙ තියෙන්නෙ ඒ පොත. ඩොන් බ්‍රැඩ්මන්ගෙ ෆොටෝ එකක් තමයි ඔය අලවල තියෙන්නෙ…



දෙවෙනි ඡායාරූපය: 1948 අවුරුද්දෙ බ්‍රැඩ්මන් සහභාගිවුනු අවසාන ටෙස්ට් තරඟය ගැන විස්තරයක් අඩංගු ප්‍රවෘත්ති පත්‍ර වාර්තාවක්…



තුන්වන ඡායාරූපය: ඒ යුගයේ සුප්‍රසිද්ධ හින්දි නළු නිළි යුවලක් වන රාජ් කපූර් සහ නාර්ගීස් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගිවන විස්තරයක් සහ සුප්‍රසිද්ධ ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහදේවන්  සතාසිවම් දකුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 215 ලබාගත් ප්‍රවෘත්තියක්...



සතාසිවම් කියන්නෙ කුප්‍රසිද්ධ වංගෙඩිය මිනී මැරූ නඩුවේ චූදිතයා. ඔහු පසුව නිදහස් කෙරුනා. ඔහු වෙනුවෙන් නඩුවට කතාකලේ කොල්වින් ආර්. ද සිල්වා..මිනීමරුවෙක් වෙනුවෙන් කතාකරල ඔහුව නිදහස්කරගත්තයි කියල කොල්වින් කොච්චර ජන අප්‍රසාදයට පත්වුනාද කිව්වොත්  ඒ එක්කම පැවැත්වුනු මහ මැතිවරණයෙන් ඔහු වැල්ලවත්ත- ගල්කිස්ස ආසනයෙන් පරාජය වුනා... 



Saturday, August 8, 2020

653. පුවක් එෂැණිං - 53 - දිවුරුං දීමේ මහෝට්සවේ.......

මරාගෙ දිවුරුං දීම අස්සෙ කෝමද අර දැවැන්ත නාගය ආපහු මතු උනානං කැළණි ගඟේ දිය දෙබෑ කොරගෙන. ඇවිල්ල දීපිනං සර්වඥ දාතු තුනෙං දෙකක් සහිත රං කරඬුවක් ආතල් දෙකංසෙං බේරෙයි ..


අවසර කැළණි ලොකු උන්නැහේ..බැරිවෙයිද දන්නෑ රෙනෝ ගොයිය එක්කත් කතා කරල එහෙම ආතල් වැඩ කෑල්ලක් සැට් කොරන්ඩ..අනික හිරු එකනෙව ඔපීසියල් නාලිකාවත්...


බරපැන අවුලක් නෑ..අර සේනාපතියට කිව්වනං කියන පමාව විතරයි...පොර ඇවිල්ල තනි වචනෙ මිනිහ..කිව්වොත් කිව්වම තමයි. කොහොමද මිලියන පණහක් වියදං කරනව කිව්ව ඔය හත් අටදෙනෙක් පරද්දන්ට..මිනිහ කොහොම හරි දත කාල ගැහිල ඒ කිව්ව අයගෙං තුන් හතර දෙනෙක්ම පරද්දල පෙන්නුවනෙ..අන්න එහෙමයි බුවා...වන් වර්ඩ් මෑන්...


ඔන්නං නයා ලව්ව මරාට සංදේසයක් බාර දෙව්වන්ටත් ඇහැකි මනි අක්කිත නා රජුගෙං කාරුණික ඉල්ලීමක් අනීවාරතේ හිර කොරල ඉන්න ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටා වහාම නිදහස් කොරන්ටෙයි කියල...


ඔන්නං ඒ වෙලාවෙම ඔන් ද ඉස්පොට් ගොට්ට මහත්තයට කියල ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටාට ජනාදිපති සමාව බජනය කිරීමේ Proclamation එක නොහොත් අනඥාව අස්සං කොරව ගන්ටත් පුලුහනි.


අර මනි අක්කිතගෙ දූත නාග තෙමේට කියනව පෙණේ සුට්ටක් පාත් කොරගෙන ඉන්ටෙයි කියල. පෙණේ මේසයක් විදිහට පාවිච්චි කරල පෙණේ උඩ තියලම අස්සන ගැහුවැහැකිනෙ. අස්සන ගහල පෑන පෙට්ටියට දාල පෑං පෙට්ටිය නාගයගෙ කටේ කටේ තිබ්බනම් මරු පස්සෙ යනකොට මතක ඇතුව ගන්නකං...


අස්සන ගහන වෙලාවෙ කැලනි විහාරෙ ඊස්ටර්න් බෑන්ඩ් ලව්ව පසඟතුරු වාදනේකුත් කෙරෙව්ව නම් මල් හතයි..පහං දාහතරයි..හඳුං කූරු විසි අටයි...


ඒ අතර හතර වටේ රැස්වෙලා ඉන්න සැදැහැවත් ජනතාව තම ඇඳිවත පවා උනා හිස වටා සිසාරවමින් මෙසේ පීති ගෝසා නැඟූ සේක.


රට රකින අපේ බිරුවා...
දුමියට නිදහස දැං දුන්නා...
මයින්ද නම් උටුම් සොයුර සෙවනේ...
තුනෙන් දෙක ලැබගෙන සිත් සොඳසේ...

Wednesday, August 5, 2020

652. අඩ සියවසක මැතිවරණ මතක.....



මේක මේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය කාලෙ මම ලියපු සටහනක්..සමහර කොටස් අලුතින් එකතු කරල යාවත් කාලීන නොහොත් Updated කලා.. ඒ ඇරෙන්න ඉතිං මතක සටහන්වල එහෙමට වෙනසක් නැති හින්ද එව්ව එහෙම්මම තියෙන්ට ඇරිය.

අපි කතා කරමු මැතිවරණ ගැන මගේ අත්දැකීම්. ඉස්සෙල්ලාම මට හීනෙං වගෙ මතක තියෙන්නෙ 1970 මහ ඡන්දෙ. ඩඩ්ලි මහත්තයගෙ එ.ජා.ප.ය පරදවල සිරිමා මැතිණියගෙ සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ඒ මැතිවරණය ගැන මට මතක තියෙන්නෙ අපේ ගෙදර හතර පස් දෙනෙක් වටවෙලා ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ රෑ තිස්සෙ ප්‍රතිපල අහනව විතරයි. ඒ කවුද කියලවත් මට මතක නෑ ඇත්තම කිව්වොත්. මතක තියෙන්නෙ කොහොමද මට යන්තම් අවුරුදු 6යි එතකොට. දෙකේ පන්තියෙ හිටියෙ...අප්පච්චි ඡන්ද ගණං කිරීමේ කටයුතුවලට ගිහිල්ල පහුවදා උදේ නමයත් පහුවෙලා ආපහු ගෙදර ආවෙ. අන්න ඒකනං ඔන්න මට අපූරුවට මතකයි.

ඒ දවස්වල අපි හිටියෙ කෑගල්ලෙ රේට්ටවුස් එක නොහොත් තානායම ගාවින් උඩට තියෙන පාරෙ....රේට්ටවුස් එක ගාවිං පාර දෙකට බෙදෙනව....වම් පැත්තට යන්නෙ කුරුඳුහින්න හරහා නිල්වක්ක පාර. ඒ පාර මඟක් ගිහාම ආපහු දෙකට බෙදිල එයිං වම් පැත්තට තියන පාර කෑගල්ල ටෙක්නිකල් එක එහෙම පහුකරල සියඹලාපිටිය හරහා ආපහු ටවුම මැද්දෑවට වැටෙනව. 

ඉතිං රේට්ටවුස් එක ගාවිං දකුණට තියෙන පාරට කියන්නෙ නාගොල්ල පාර..ඒ පාරෙ පොඩි කන්දක් එහෙම නැඟල යනකොට වම් අත පැත්තෙ විසාල වත්තක් මැද්දෑවෙ තියනව දිස්ත්‍රික් නඩුකාරයා නොහොත් District Judgeගෙ බංගලාව. ඊට යාර දෙතුන් සීයක් එහායිං තමයි කළුගල්ල උන්නැහැගෙ ගෙදර තියෙන්නෙ. 

කළුගල්ල උන්නැහැ කිව්වෙ 70 ඡන්දෙන් දිනල සිරිමා මැතිණි පිහිටවපු සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක කටයුතු පිළිබඳ ඇමති. ඒ වගේම කෑගල්ල ඡන්ද කොට්ඨාශයේ ජා.රා. නියෝජිත. ජා.රා. කිව්වෙ ජාතික රාජ්‍ය සභාව. 1972 නව ජනරජ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවෙ නම වෙනස් කලා. අලුත් නම උනේ ජාතික රාජ්‍ය සභාව නොහොත් National State Assembly ....ඉතිං ඔය රේට්ටවුස් එක ගාවින් දකුණට යන පාර කලුගල්ල උන්නැහෙගෙ ගෙදර පහුකරල කච්චේරි නිල නිවාස (අපි හිටියෙ අන්න එයිං එහෙක) එහෙමත් පහුකරල ආයම හෙණ වටයක් ගහල ඇවිල්ල වැටෙනව නුවර පාරට. එහෙම වැටෙන තැනට කියන්නෙ මාදෙයියාව හන්දිය.

ඊට පස්සෙ 1977 මහ මැතිවරණය. අවුරුදු පහෙන් පහට දිගටම තියාගෙන ආපු මහ ඡන්දෙ 1975 අවුරුද්දෙ තිබ්බෙ නෑ. 1972 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තු නිසා ආණ්ඩුවෙ නිල කාලය ගණං ගන්නෙ 1972 ඉඳල අවුරුදු පහක්ය කියල කොල්වින් ගොයිය ගෙනාපු කැකිල්ලේ තර්කයක් පිළිඅරගෙන (කොල්වියාගෙ අර ගොයං කොලේට මුවා වෙලා වෙඩි තියාපු කතන්දරේ එහෙම ඇත්තමදෝ කියල හිතෙන්නෙ වෙලාවකට මනුස්සයගෙ ඒ වගෙ කතා හින්ද තමයි) සිරිමක්කා කරපු වැඩේ 1975 තියන්ඩ ඕන චන්දෙ අවුරුදු දෙකක් කල්දාගත්ත. 

හැබැයි ඒ ගොං වැඩෙං උනේ ආණ්ඩුව හත්පලේ ගාගත්ත වගෙ වැඩක්. නියම කාලෙට 75 අවුරුද්දෙ චන්දෙ තිබ්බනං සමගි පෙරමුණ ඔය තරං කැත විදිහට පරදින්නෙ නෑ. 1977 දි අවුරුදු හතකට පස්සෙ චන්දෙ තියල සිරිමා නෝනට හම්බ වුනේ ආසන අටයි. ජේ ආර්. පප්පගෙ යූ.ඇන්.පී එකට මන්ත්‍රී ධුර 168 න් 140 ක් ලැබුණා. පප්පා බලෙං මත්වෙලා පිස්සු කෙලියෙ ඔය 5/6 බලය හින්දයි. එහෙම බලනවනම් පප්පා බලයෙං මත්වෙලා මේ රටට ඊට පස්සෙ කරපු විනාසෙට සිරිමා ලොක්කිත් අනියම් විදිහට වග කියන්ට ඕන.

1977 අවුරුද්දෙ මම ඉස්කෝලෙ ගියේ කොළඹ. මට හොඳටම මතකයි චන්දෙ තිබ්බෙ ජූලි 21 වෙනිදා. චන්දෙට දවස් තුනක් හෝ හතරක් ඉස්කෝල වැහැව්ව හින්ද මම කලින්ම ගෙදර ගියා. එතකොට අපි හිටියෙ අනුරාධපුරේ. එදා ඒ චන්දෙට ගෙදර ගිය ගමනෙ තවත් විශේෂයක් තියනව. ඒ වෙනකොට මම අවුරුදු දෙකක් වගෙ ගෙදරින් පිට හිටියට කවදාවත් තනියම ගමනක් බිමනක් ගිහිල්ල නෑ. වාරාවසාන නිවාඩුවට එහෙම නැත්තං දීර්ග සති අන්තයකට ගෙදර ගියේ, ඒ වහේම ගිහිල්ල ආපහු බෝඩිමට ආවෙ එක්කො අප්පච්චි එක්ක. එහෙම නැත්තං අපෙ ගෙදර හිටිය මාමා එක්ක.අම්මගෙ විවාහ නොවිච්චි අයිය කෙනෙක් අපේ ගෙදර හිටිය මම දන්න කාලෙ ඉඳල. අන්තිමට අපේ ගෙදරමයි ඒ මාම නැතිවුනෙත්.

ඉතින් ඔය 77 ජූලි මාසෙ මහ චන්දෙට ගෙදර ගිය ගමන තමයි මම හා හා පුරා කියල ඉස් ඉස්සෙලාම, නමෝ විත්තියෙන්, දෙයියනේ කියල තනියම ගෙදර ගියෙ. හවස 3.15 ට කොටුවෙන් පිටත්වෙන රජරට රැජිනෙ මම ගියෙ. ඒ යද්දි ස්ටේෂන් එක ඉස්සරහ පේව්මන්ට් එකෙන් ගත්ත චන්ද ප්‍රතිඵල සටහන් කරන්ට විශේෂයෙන් මුද්‍රණය කරපු පොතක්. මුල කවරෙ පරණ පාර්ලිමේන්තුවෙ චිත්‍රයක් තිබ්බ. ඇතුලෙ චන්ද කොට්ටාස අනුපිළිවෙලට තිබ්බ අපේක්ෂකයින්ගෙ නම් සහ ඉල්ලන පක්ෂෙත් එක්ක. ඊට අමතරව හැම චන්ද කොට්ටාසෙකම 1970 මහ මැතිවරණ ප්‍රතිපලෙත් සඳහන් කරල තිබ්බ.

ඔය පොතක මිල වුනා මට මතක විදිහට 1.50 වගෙ ගාණක්. නාවල ඉඳල කොටුවට බස් ගාස්තුව සත 30 වගෙ සහ කොටුව - අනුරාධපුර 3 වන පන්තියෙ දුම් රිය ගාස්තුව 8.50 වෙච්චි ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙකුට ඒක ටිකක් විතර ලොකු ගාණක් වුනත් මම දෙපාරක් හිතන්නෙ නැතුවම එයින් පොතක් ගත්තෙ ඒ කාලෙ ඉඳලම මගෙ තිබ්බ දේසපාලන උනන්දුව හින්දමයි.

ජූලි 21 වෙනිද රෑ ඔන්න මම ලක ලෑස්තිවුනා චන්ද ප්‍රතිපල අහන්ට. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දවල් කඩේ ගිහිල්ල එවරෙඩි රතු ලේබල් බැටරි කෑලි ගෙනාව හයක්ම. ඒ ඇවිල්ල හදිස්සියෙන් වත් ලයිට් ගියොත්ය කියල. පැන්සල් දෙකක් උල් කරල, අලුත් මකන කෑල්ලක්, පැන්සල් උල් කරන්ට කටර් එකක් එහෙම ලෑස්ති කරගත්ත. දවල්ට කාල නිදාගත්ත පැය තුන හතරක්. රෑ දහයට විතර සාලෙ තිබ්බ පොඩි වේවැල් මේස පොඩ්ඩ උඩ රේඩියෝ සෙට් එක තියල මගෙ මැතිවරණ සටහන් පොතයි පැන්සල් මකන කෑලිත් ඔක්කොම ලං කරගෙන හරි බරි ගැහිල ඉඳගත්ත.

අම්ම වඩේ වගයක් බැදල තිබ්බ. තව කඩල තම්බලත් තිබ්බ. ආ..උණුවතුර බෝතලේට කට කපල තේ එකකුත් හදල තිබ්බ. අප්පච්චි සුපුරුදු පරිදි ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට ගිහිල්ල. රෑ දොළහ වගෙ වෙනකොට අම්ම, අත්තම්ම ඇතුලු අනික් අය නිදාගන්ට ගියා. මම ඇහැරගෙන එළිවෙනකල් චන්ද ප්‍රතිපල ඇහැව්වා. මුල්ම ප්‍රතිපලේ ආවෙ සමන්තුරේ ආසනයෙ. රෑ 1.30 ට වගෙ මට මතක. එජාපයෙ අබ්දුල් මජීඩ් සමන්තුරේ දිනුව. ඊට පස්සෙ එක දිගට ආසන තිහ හතළිහක්ම දිනුවෙ එජාපෙ. ඉස්සෙල්ලම ශ්‍රී ලංකා එක දිනුවෙ කොත්මලේ. ආනන්ද දසනායක.පහට වගෙ අම්ම එහෙම නැඟිටල එනකොට එජාපෙ ජයග්‍රහනය ඉස්තිරයි.

උදේ හයාමාරට වගෙ මහ සද්දෙට අහල පහල රතිඤ්ඤ පුපුරන්ට ගත්ත. "මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. මැතිවරණ කොට්ඨාශ අංක..... අනුරාධපුර බටහිර..කේ.ඩී.එම්.සී. බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව ......." අපි ඒ දවස්වල හිටපු හරිය ඒ කිව්වෙ අනුරාධපුර නගරය අයිතිවුනේ අනුරාධපුර බටහිර චන්ද කොට්ඨාශයට. කේ.ඩී.එම්.සී. බණ්ඩාර නොහොත් චන්ද්‍රා බණ්ඩාර කියන්නෙ මේ පාර ඔය ටැලිපෝං එකෙං අනුරාදපුරේට ඉල්ලන චන්ද්‍රානි බණ්ඩාරගෙ අප්පොච්චි.

මැතිවරණ රාජකාරි ඉවර වෙලා අප්පච්චි ආවෙ උදේ දහයට වගෙ. "අත්තනගල්ල ප්‍රතිපලේ කිව්වද?" අප්පච්චි එන ගමන් එළිපත්තෙ ඉඳලම ඇහුව.

"නෑ...අප්පච්චි....තවම නෑ.. " මම දෑතම ඔලුවට උඩිං දිග ඇරල ඇඟ මැලි කඩන ගමං කිව්ව.

"මැතිණිත් පැරදෙයිද මන්ද …" අප්පච්චි එහෙම කියල ගෙට ගියා. 

"මේ යන විදිහට එහෙමත් වෙයිද මන්ද..." මමත් හෙමිහිට මටම කියාගත්ත.

ශ්‍රී ලංකා එක ආසන අටට බැස්ස ඒ චන්දෙන්. මැතිණිනම් යන්තමට දිනුව. මැතිණි, මෛත්‍රීපාල (Not the joker but මෛත්‍රීපාල සේනානායක of reasonable use of Tamil by night fame), හලීම් ඉෂාක්, අනුර, සද්ධාතිස්ස වඩිගමංගාව (ආනමඩුව), ආනන්ද දසනායක (කොත්මලේ) එස්.ඩී.බණ්ඩාරනායක (ගම්පහ) ආර්.පී. විජේසිරි (හාරිස්පත්තුව) ඒ තමයි අට දෙනා...

අපිට සමහර වෙලාවට ජීවිතේ සමහර දේවල් ආයම මතක් කරනකොට ඒ හා සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති දේවල් මතක් වෙනව නේද? දැං ඔන්න මට 1977 මැතිවරණය සම්බන්ධව එහෙම මතකයක් තියනව. ඒ තමයි සුජාතා අත්තනායක ගයන "බොලං පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්න නෙවෙයි" ගීතය. එදා රෑ මැතිවරණ ප්‍රතිපල විශේෂ විකාශයෙ ඔය ගීතය ප්‍රචාරය වෙනව මට මතකයි. ආ...ඒ එක්කම තව සිංදුවකුත් මතකයි.."සඳ මඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙලන පුතුනේ..බලා ගන්න පුත බලා ගන්න පුත ලස්සන ලක් දෙරණේ.." ඒ ඇවිල්ල හිට මාලිනී බුලත්සිංහල...

82 අවුරුද්දෙ තිබ්බ ජනාධිපතිවරණය වන් හෝස් රේස් එකක්ය, පප්පා නොවැරදීම දිනනවය කියල දැනගෙන හිටපු හින්ද මම නිකම් නිරපරාදෙ කඩල තම්බගෙන රෑ එලිවෙනකල් නිදි මරාගෙන චන්ද ප්‍රතිපල අහන්ට ගියේ නෑ. ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදියල උදේ නැඟිටල ටී.වී. එකේ ප්‍රතිපල බැලුව. ඒ වෙනකොටත් පප්පා දිනල. 

1982 ජනාධිපතිවරණෙ මට චන්දෙ තිබ්බෙ නෑ. ඒ කාලෙ ඡන්ද අයිතිය හිමි වුනේ චන්දෙ පැවැත්වෙන දවසට අවුරුදු දෙකකට එහා පැත්තෙ චන්ද හිමි නාම ලේකන අනුවයි. ඒ කියන්නෙ 1982 ජනාධිපතිවරණෙ චන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබුනෙ 1980 නාම ලේකනය අනුවයි. ඉතිං මට 80 දි 18 පිරිල නැතිහින්ද මම 82 දි චන්දෙ දැම්මෙ නෑ.

අවුරුදු පහෙන් පහට පර්ලිමේන්තු මැතිවරණ පවත්වන සම්ප්‍රදාය ජේ.ආර්. පප්පගෙ 1978 ව්‍යවස්තාවෙන් වෙනස්කලා අවුරුදු හයකට. ඒ අනුව ඊලඟ පාර්ලිමේන්තු චන්දෙ තියන්න ඕන හරිනම් 1983 අවුරුද්දෙ. ඒ වෙනකොට මම නීත්‍යානුකූල නිසි වයස සපිරුණු වැඩිහිටියෙක් සහ ඡන්ද දායකයෙක්. ඒත් පප්ප නටපු ලාම්පු කළගෙඩි නාඩගම හින්ද 1983 චන්දයක් තිබ්බෙ නෑ. නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියනවය කියල අල්ලෙ පැලවෙන පචයක් අතෑරල පප්පා චන්දෙ නොතිය මඟ ඇරියනෙ...හෙහ්,හෙහ්,

පප්පට වුනේ 5/6 ක පාර්ලිමේන්තු බලයකට හුරුවෙලා ඉඳල ඒක නැතුව බැරි වුනා. පප්ප දන්නව 1983 චන්දෙ තිබ්බනම් පප්පම ගෙනාපු සමානුපාතික ක්‍රමය අනුව යූඇන්පී එකට උපරිම ආසන 125 කට වඩා එන්නෙ නෑ කියල. ඒ හින්ද යැංකි ඩිකී කලේ අල්ලෙ පැලවෙන නැට්ටෙලයිට් (පප්පගෙ නැක්සලයිට් කුමන්ත්‍රණ කතාව ඇත්ත පත්තරේ හැඳින්නුවෙ නැට්ටෙ ලයිට් නාඩගම කියලයි) කුමන්ත්‍රණ කතාවක් ගෙනල්ල ඒ මුවාවෙන් ජනමත විචාරණයක් තියල චන්දෙ තව අවුරුදු හයකට කල්දාගත්තු එක.

ඒ අසමජ්ජාති වැඩේ කලේ කුප්‍රකට ලාම්පු කළගෙඩි සෙල්ලමෙන්. ඒක තනිකරම චන්ද මංකොල්ලයක්. ඒ දවස්වල මම අනුරාදපුරේ ටෙක්නිකල් එකේ ඉගෙන ගන්නව. අපේ පංතියෙත් හිටිය මගෙ හොඳම යාලුවෙක් තද යූඇන්පී කාරයෙක්. ඒ කාලෙ මට මතකයි මිනිහ ඇවිල්ල කියනව කළගෙඩිගෙ රැස්වීම් කඩා කප්පල් කරපු හැටි.."කළගෙඩි කාරයින්ට දුන්න බං රෙදි දාල දුවන්ට.." අපි ඒ කාලෙ වයස 20-22 වගෙ හිරිමල් කොල්ලො. ඌත් මම හිතන්නෙ එහෙම රෙදි දාල දුවන්ට ගහන එකේ බරක් පතලක් දැනගෙන නෙවෙයි කිව්වෙ..ඒත් මට මතකයි මම ඒ වෙලාවෙත් කිව්ව "යකෝ කැත වැඩ කරල තව කියවන්ටත් එන්ට එපා..." කියල.

මම ඉස්ඉස්සෙල්ලම හාහාපුරා කියල චන්දෙ පාවිච්චි කලේ 1988 ජනාධිපතිවරණෙදි. 

ඒ වෙනකොට අපි අනුරාධපුරෙන් ඇවිල්ල පිළිමතලාවෙ ස්ථිර පදිංචියට. මම රස්සාවක් කරනව. අප්පච්චි විශ්‍රාම ගිහිල්ල. අපෙ ගෙවල් පහුකරල ගම ඇතුලට කිලෝ මීටරයක් වගෙ යන්ට තිබ්බ චන්ද මධ්‍යස්තානෙට. අප්පච්චියි මායි නංගිල දෙන්නයි ගිහිල්ල චන්දෙ දාල ආව. ජේවීපී එක ඒ චන්දෙ වර්ජනය කලා. චන්දෙ දාන්ට යන මිනිස්සු මරන කතාවක් කිව්වට අපේ පැත්තෙ එච්චරම තත්වය දරුණු වුනේ නෑ. අහල පහල අපි දන්න හැමෝම වගෙ චන්දෙ දාන්ට ගියා.

මම චන්දෙ දුන්නෙ ප්‍රේමදාස මහත්තයට. ඒ වෙනකොට යූඑන්පී එක එපා වෙලා තිබ්බ වුනත් ප්‍රේමදාස ගොයිය මොනවහරි කරයි කියන විස්වාසෙ උඩයි එහෙම කලේ. අනික 70-77 කාලෙ මැතිණි එපා වෙච්චි එක, ඒ කාලෙ මම හිච්චි එකෙක් උනත් හිතෙන් මැකිල ගිහිල්ල තිබ්බෙ නෑ. ඒ එක්කම 1989 පෙබරවාරි මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදිත් මම චන්දෙ දුන්නෙ යූ.එන්.පී. එකට.

ඊට පස්සෙ ආවෙ 1994 පාර්ලිමේන්තු මැතිවරණය. ඊට කලින් දකුණු පළාත් සභා චන්දෙදි ආණ්ඩුව පැරදිලා තිබ්බ නිසා අවුරුදු 17 කට පස්සෙ මෙදා පොටේ වෙනසක් කරන්න පුලුවන් වේය කියන බලාපොරොත්තුව අපි හැමෝගෙම හිත් ඇතුලෙ තිබ්බ. ආය අමුතුවෙන් කියන්ට උවමනා නෑනෙ 1994 මහ චන්දෙදි මම චන්දෙ දුන්නෙ පොදු පෙරමුණට ඒ වගේම ඊට පස්සෙ තිබ්බ ජනාධිපතිවරණෙදි චන්ද්‍රිකාට.

ඊලඟට ආවෙ 1999 ජනාධිපතිවරණය. ඒ වෙනකොට මම බැඳල.

" මේ ඔයා කාටද චන්දෙ දෙන්ට හිතාගෙන ඉන්නෙ?" චන්දෙට සතියකට වගෙ කලින් අපෙ උන්දැ ඇහුව. ඒ වෙනකොට මම අර කාලයක් වැඩ කරපු අර්ධ රාජ්‍ය ආයතනයෙන් අයින් වෙලා පේරාදෙණිය - ගම්පල පාර හදන පෞද්ගලික සමාගමක වැඩ. 

"රනිල්ට තමයි. මට චන්ද්‍රිකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. අනූහතරෙ අපි මහමෙරක් වගෙ බලාපොරොත්තු තියාගෙන 62% චන්දෙ දීල පත්කරගත්තු අම්මණ්ඩි ඊට පස්සෙ පිස්සු කෙළින්ට ගත්තනෙ" 

"ඒක තමයි මාත් හිතාගෙන ඉන්නෙ එහෙමයි. රනිල්ට දීල බලනව" ඈ කිව්ව.

චන්දෙට කලින් මම හිතන්නෙ අන්තිම රැස්වීමෙදිද කොහෙද චන්ද්‍රිකාට බෝම්බයක් ගැහුව. මේ අම්මණ්ඩි කලේ මැතිවරණ නීති අමු අමුවෙම කඩ කරල ඇහැකුත් වහගෙන ඇවිල්ල රූපවාහිනියෙන් ජාතිය ඇමතුවා.

"පව් දෙයියනේ…" අපෙ උන්දැ දකුණු අතේ පිටි අල්ලෙන් ඇස් පිහදැම්ම.

" හ්ම්ම්ම්..මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ? චන්ද්‍රිකාටම දීල නිකා ඉන්නවද?" ජාතිය ඇමතිල්ල ඉවර වෙලා මම ඇහුව. 

" ඒක තමයි...අනේ මන්ද…" ඈ කිව්ව. " ඔයා? ……" 

" මේ අම්මණ්ඩි මේ තනිකර නීති විරෝධී වැඩක්නෙ කලේ ජාතිය අමතල. මගෙ තීරණේ වෙනසක් නෑ." 

රනිල් පැරදුනෙ ලක්ෂ හතකින් විතර. චන්ද්‍රිකාගෙ බෝම්බ සීන් එක හින්ද ලක්ෂ තුනහමාරක් අනික් පැත්ත ගැහැව්ව කියල හිතන්ට අමාරුවුනත් බොහෝවිට එහෙම වෙන්ට ඇති කියල මට හිතෙනව. එහෙම හිතුවොත් රනිල් පැරදුනෙ එල්.ටී.ටී.ඊ. බෝම්බෙ හින්ද. ආ..ගෝනි පඩංගුව අස්සට ගියාට පස්සෙ අපෙ උන්දැ චන්දෙ දුන්නෙ චන්ද්‍රිකාටද රනිල්ටද කියල මට කිව්වෙත් නෑ. මම ඇහුවෙත් නෑ. කොටිම්ම අද මේ වෙනකල් මම දන්නෙත් නෑ.

ඊගාවට ආවෙ 2000 ඔක්තෝබර් පාර්ලිමේන්තු මැතිවරණෙ. මම චන්දෙ දුන්නෙ සීනුවට. මේ දෙගොල්ලම එපා වෙලා මට හිතුන වෙනසකටත් එක්ක ජේ.වී.පී. එකට දීල බලන්ට ඕන කියල. ජේ.වී.පී එක චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් ගැහුව වුනත් කට්ටියක් කඩාගෙන ගිය හින්ද ආයෙම චන්දෙකට යන්ට වුනා. 2001 දෙසැම්බර් ඒ තියපු චන්දෙන් රනිල් අගමැතිවුනා. ජේවීපී එකට දීල හරියන්නෙ නෑ කියල හිතුනු හින්ද මම ආයම අලියට දුන්නා. ඒ වෙනකොට මම කුකුළේගඟ වැඩ.

රනිලා පිස්සු කෙලියා. පිස්සු කෙලියා කිව්වෙ ආර්ථික කළමනාකරනය පැත්තෙන් එහෙම නෙවෙයි හොඳද? ඒ ටික පොර ගානට කරගෙන ගියා. පිස්සු කෙලියා කිව්වෙ ආන්ඩුව නියමිත කාලයට කලින් විසුරුවන්නෙ නෑ කියල පොරොන්දු වෙච්චි චන්ද්‍රිකාගෙ වචනෙ විස්වාස කරපු එකටයි. ඒ යෝදි යන්තම් අවුරුදු දෙකක් යද්දි යූඇන්පී ආණ්ඩුව ගෙදර යැව්වා. ඊට පස්සෙ 2004 අප්‍රේල් මාසෙ තිබ්බ චන්දෙන් රනිල් පැරදිලා මහින්ද අගමැතිවුනා. ඒ වෙනකොට මම වැඩකලේ පස්සර. මගෙ යාලුවෙක් තේ ෆැක්ටරි එකක් හදන්ට ගත්තු කන්ට්‍රෑක්ට්  එහෙක. 

ඒ ගමනත් මම චන්දෙ දුන්නෙ අලියට. ඒ වෙනමොකවත් හින්ද නෙවෙයි අවුරුදු හයකට අපි චන්දෙ දීල පත් කරපු ආණ්ඩුව යාන්තං අවුරුදු දෙකක් යනකොට විසිරුවල චන්ද්‍රිකා කරපු අලුගුත්තේරු වැඩේට මගෙ හිතේ තිබ්බ කේන්තියට. ඒත් ඒ පාර රනිලා පැරදුනා. රනිල ගොං අලියයි කියන්නෙ ඕකනෙ. මිනිස්සු චන්දෙ දීල පත්කරල දුන්නු ආණ්ඩුව අරගෙන ගියෙ වදෙං පොරෙං වගෙ අවුරුදු දෙකයි. චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවන්නෙ නෑ කියල දුන්නු පොරොන්දුවට මිනිහ රැවටුනා.

මට මතකයි ඒ කාලෙ රාජිත, එස්.බී.එහෙම දිගින් දිගටම කිව්ව චන්ද්‍රිකාට දෝෂාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කරල තියමුය කියල. ඒ වගෙ දෝෂාභියෝගයක් ගෙනල්ල තිබ්බනම් ඇති. පාර්ලිමේන්තුව විසිරුවන්ට ජනාධිපතිට තියන බලය ඒ සැණෙන් අහෝසි වෙනව. මං හිතන්නෙ ඔය ගිණි පෙණෙල්ලෙන් බැට කාපු මිනිහගෙ සීන් එක හින්දම තමයි 2015 මෛත්‍රීපාල දිනල ගෙනාපු 19 වන සංශෝධනයට රනිල පාර්ලිමේන්තුවක් පත්වෙලා අවුරුදු 4 1/2 ක් යනකල් ජනාධිපතිට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවන්ට බැහැය කියල වගන්තියක් ඇතුලත් කලේ. 

මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම අවුරුදු 4 1/2 ක කාලසීමාවක් දැම්මෙ කියල. ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවන්ට තියන බලය එහෙම පිටින්ම නැති කරල දැම්මනම් අහවරයි නෙව. එහෙම උනානම් මේ කලින් තිබ්බ  පාර්ලිමේන්තුව අගෝස්තු දක්වා තියනව. එහෙනං මරා සහ ගොට්ටට ඔය හිතෙන හිතෙන සෙල්ලම් දාන්ට ලැබෙන එකක් නැහැ. 

ඇමරිකානු ව්‍යාවස්ථාවෙ අන්න තියනව ජනාධිපතිවරණයක් තියන්න ඕන කාලසීමාව දිනේ පවා නියම කරල. ජනාධිපති ධුර කාලසීමාවෙ වසර හතරක් ගතවූ කල එලඹෙන නොවැම්බර් මස දෙවන අඟහරුවාදාද කොහෙද...

ඔය වෙනකොට අපි දෙන්න හිටියෙ එයයි උගන්නාපු ඉස්කෝලෙම කෝටස් එහෙක. ඒ පැත්තට තියෙන චන්ද මධ්‍යස්ථානය තියන්නෙ ඒ ඉස්කෝලෙ. ගමනාගමන පහසුව සහ අදාල ප්‍රදේශයේ මැද වගෙ පිහිටා තිබීම හින්දයි හැමදාම ඒ ඉස්කෝලෙ තෝරගන්නෙ ඔය වැඩේට. ඉතිං අපි දෙන්නට පඩි පේළි දෙක තුනක් පාතට බහින එක විතරයි තියෙන්නෙ චන්දෙ ප්‍රකාස කරන්ට.

ආ..තව එකක්..නුවර ඇසළ පෙරහැර කාලෙට දුර බැහැරින් පෙරහැර රාජකාරි වලට එන පොලිස් නිලධාරීන් තිහක් හතළිහක් හැම අවුරුද්දෙම ඔය ඉස්කෝලෙ නවාතැන් ගන්නව. ඒ කාලෙට වෙනම කුස්සියක් පැත්තක හදනව තහඩු වලින්. ඉවුම් පිහුම් ඔක්කොම කෙරෙන්නෙ ඒකෙ. හවසට රෝල්ස්, එළවලු රොටී , පෑන් කේක් එහෙමත් හදනව. අපිටත් ඉතිං නොමිලේම එව්ව හම්බවෙනව හවස තේ වලට. ඒ පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.

ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය……

"කාටද මෙයා මේ ගමන චන්දෙ දෙන්නෙ?" අපෙ උන්දැ සුපුරුදු පරිදි ඇහුව.

"රනිල්ට තමයි" 

"ඇයි ඒ ?...මහින්ද හොඳ නැද්ද?" ඒ වෙනකොට මහින්ද ඔක්කොම ජාතිවාදී බලවේග එකතු කරගෙන රාජ්‍ය බලය උපරිමව යොදාගෙන කැම්පේන් එක ගෙනියනව. 

"මට ඒ මනුස්සය අල්ලන්නෙම නෑ. මහින්ද කොහොමහරි දිනන්ටයි බලන්නෙ. කිසිම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් නෙවෙයිනෙ…. පේන්නෙ නැද්ද? චන්ද දහයක් හම්බ වෙයි කියල හිතෙනව නම්  ඕනම කාපාලුවෙක් ඕනම කයිතාඩුවෙක්ගෙ පස්සත් ඉඹියි. මම කැමති නෑ එහෙම මිනිස්සුන්ට" 

නීලකාස අපුච්චියගෙ බල ලෝභයෙ දිග පළල මට සක් සුදක්සේ පැහැදිලිවුනේ අදක ඊයෙක නෙවෙයි.

2005 ජනාධිපතිවරණෙදි තමයි මම අන්තිමටම ඡන්දෙ පාවිච්චි කලේ. ඊට පස්සෙ 2010 ජනාධිපතිවරණෙ සහ පාර්ලිමේන්තු මැතිවරණෙ ඒ වගේම  2015 ජනවාරි 8 තිබ්බ ජනාධිපතිවරණෙදි සහ ඒ අගෝස්තු මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදි මම ලංකාවෙ හිටියෙ නෑ.

ගිය අවුරුද්දෙ නොවැම්බර් තිබ්බ ජනාදිපතිවරණෙදි මම චන්දෙ දුන්නෙ පුතාණෝට. ඒ පුතාණෝ ගැන තිබ්බ විශේෂ කැමැත්තක්වත් මේ යකා ඇවිල්ල මහ ලොකු දෙයක් කරයි කියල තිබ්බ කෙහෙම්මල් විස්වාසයක් හින්දවත් නෙවෙයි. ගොට්ට පරද්දන්ට ඒ වෙලාවෙ පුතාණෝට නෙවෙයි මම මර්වින් සිල්වට උනත් චන්දෙ දෙනව. ඒත් දන්නවනෙ වෙච්චි හරිය...ඇටනම ලස්සේ..ඇටනම ලස්සේ...

ඉතිං මේ අද තියන චන්දෙදි මම කතිරෙ ගහන්නෙ නිසැකවම නොහොත්  Obviously මාලිමාවට. අපේ ප්‍රියාම්බිකා තොමෝගෙ ඉතාම කිට්ටු මිත්‍රයෙක් මේ ගමන මාලිමාවෙන් ඉල්ලනව නුවරට. එහෙම නොවුනත් මම කොහොමත් මේ පාර මාලිමාවට තමයි දෙන්නෙ. අනික් එවුන් ඔක්කොම නීලකාස හොර තක්කඩි. මාලිමාවෙ විතරයි අඩුම ගණනෙ ජනතා නියෝජිතයො කියල ලැජ්ජාවක් නැතුව කියන්ට පුලුවන් ගොබිලො ටිකක් ඉන්නෙ. මේ රට වැටිල තියෙන ජරාජීර්ණ අගාධයෙන් ගොඩගන්ට පුලුවන් ජවිපාවුන්ට විතරක්මය කියලයි මගේ නම් ඒකායන විශ්වාසය...

පලි - 2015 පාර්ලිමේන්තු මැතිවරණෙදි මගෙ පුරෝකථනය අන්තිමට ආපු ප්‍රතිඵලයට බොහොම ලඟින් ගියා. මේ පාර මගෙ පුරෝකථනය මෙහෙමයි.

පෝට්ටුව - 118

ටැලිපෝං එක - 72

දෙමළ පක්ෂ - 16

මාළිමාව - 10

අලියා - 7

වෙනත් - 2

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...