Wednesday, September 24, 2014

281. පොතක්, මහ වැස්සක් සහ අවන්හලක සැඳෑවක්...1

Google Images

මත්ලෝලීන්ගෙන් සපිරුණු ප්‍රසිද්ධ සුරාසලක් තුල පවත්නා නිරතුරු ගාලගෝට්ටියට වෙනත් සමකල හැක්කක් මම නොදනිමි. 

එවන් ස්ථානයක මත්පැන් පානය කොට පළපුරුදු ඇත්තෝ මා පවසන්න එක් පැහැර වටහාගන්නා බවට සැක නැත. එසේ නොමැත්තෝ අවම වශයෙන් කාර්ය බහුල හෝරාවක සුරාසලක් ඉදිරියෙන් ගමන් කොට හෝ ඇත්නම් ඔවුනටද මේ ඝෝෂාකාරිත්වය අමුත්තක් නොවනු ඇත. 

සුරාසලක් තුල පවත්නා ගාලගෝට්ටිය මත්ලෝලීන්ගේ සුරාමත ඉහළ යන්නා හාම ඊට අනුලෝමව සමානුපාතිකව ඉහළ යයි. ඒ සමඟම අනේක සංඛ්‍යාත දුම්වැටි දවා හළු කරමින් නිකුත්වන දුමාරය හතර අතින් ඇවුරුණු කුඩා ඉඩ ප්‍රමාණය තුල කැරලි ගැසෙනුයේ හැඳ සිටිනා ඇඳුම් ඇඟලුම් ආදියෙන් පවා අමිහිරි වූ කටුක ගන්ධයක් නිකුත් කරවමිනි. 

එතෙකුදු මත්ලෝලීහු මේ කිසිදු අපහසුවක වගේ වගක් නොමැතිව කුඩා රවුම් කනප්පු වටා හිඳ මහ හඬින් දොඩමින්, වරෙක කොක් හඬලා සිනහසෙමින් බදින ලද හුරුල්ලන්, තෙම්පරාදු කොටගත් තැම්බූ කඩල හෝ වෙනත් එවන් කටගැස්මක් වරින්වර සපමින් අසෝක වීදුරුවෙහි කට්ටය මට්ටමට පුරවා සෝඩා හෝ වෙනත් මිශ්‍රකයකින් තනුක කොටගත් අරක්කු ගිල දමන්නෝය. 

මේ අපූර්ව දසුන් නරඹමින් මුහුදෙහි රළ නඟන ඝෝෂාව මෙන් වරින්වර උස්ව නැඟෙමින් යලි බැසයන මත්ලෝලීන්ගේ ගාලගෝට්ටියට සවන් දෙමින් ප්‍රසිද්ධ සුරාසැලක අඩ අඳුරින් වැසුණු මුල්ලක හිඳ සෙමින් සෙමින් පරණ අරක්කු වීදුරුවක් හෝ පරණ අරක්කු මිශ්‍ර කල බීර තඹලේරුවක් තොල ගෑමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි. 

එතෙකුදු වුව සරණ බන්ධනයට ඇතුලත් වන්නාහාම මවිසින් කළයුතු වූ කැපකිරීම් අතර එකක් වු ඒ සුරාසල් මත්පැන් පානයෙහි රුචිය මවෙතින් කෙමෙන් ගිලිහී ගියේ මා නොදැනුවත්වමය. 

ජීවිතයේ දෙවන දශකය ගෙවීයන්නාහාම ස්ථිර රැකියාවක් ලද නමුදු මත්පැන කිසිසේත් නිවසට වද්දා නොගතයුතු දුෂ්චරිතයක් සේ සැලකූ මගේ මවුපියන් හේතුකොටගෙන නිවසෙහිදී මම කිසිවිටෙක මත්පැන් පානය කොට නොමැත්තෙමි. 

එදවස මගේ පළමු රැකියාව වූයේ උතුරුමැද සහ නැගෙනහිර පළාත් මායිම් අතර හෙක්ටෙයාර දසදහසකට අධික වපසරියක් පුරා පැතිරගිය රාජ්‍ය වාරිමාර්ග සහ කෘෂිකාර්මික ජනපද ව්‍යාපෘතියක තාක්ෂණ අංශයට සම්බන්ධවය. 



හිරිමල් යොවුන් වියේ පසුවුනු එකල මම ගෙදර පැමිණියේ බොහෝවිට මසකට වරකි.වැටුප් ලද පසු සති අන්තයක් හා යාබද දින දෙකක් හෝ තුනක නිවාඩුවකට පැමිණෙන මම පුරුද්දක් වශයෙන් වරක් හෝ දෙවරක් මහනුවර නගරයට ගියේ යම් අත්‍යාවශ්‍ය දේ මිලට ගනු උදෙසාය. 


ඒ අත්‍යාවශ්‍ය දේ යනු හුදෙක් ඒ ආසන්නයේ නිකුත් වූ සිංහල හෝ ඉංගිරිසි නවකථාවන් කිහිපයකි. විජිත යාපා හෝ සරසවි පොත් හල් විවෘත කොට නොතිබුණු ඒ දිනවල පොත්ලෝලීන්හට තම මන දොල සපුරාගැන්ම උදෙසා මහනුවර නගරයේ වුයේ යටිනුවර වීදියේ පිහිටි මැකලම්,ගුණසේන හෝ සීවලී පොත්හල් සහ ත්‍රිකුණාමල වීදියෙහි වූ කේ.වී.ජී. ද සිල්වා සමාගමෙහි පොත්හල පමණෙකි. 

උදෑසන ආහාරයෙන් පසු ගෙදරින් පිටවන මම දහවල් එකොළහ පමණ වනතෙක් නුවර වීදි ඔස්සේ ඉබාගාතේ සරන්නෙමි. අනතුරුව නගර මධ්‍යයේ පිහිටි වැව අසබඩ බෝට්ටු සේවයේ මෙහෙයුම් කාර්යාලය ආසන්නයෙහි වූ දැවැන්ත කොහොඹ රුක් සෙවණෙහි පනවා තිබූ අයෝමය අසුන මත දිගඇදී මඳ සුළඟේ රැලි නඟන වැව් දිය මතින් ඈත දිස්වන දළඳා මැදුර දෙස බලා හිඳින්නෙමි. 

ඉර මුදුන්වන්නා හා සමඟම කුමන හෝ පොත්හලකට වැද පොත් කිහිපයක් තෝරා මිළදීගැන්මෙන් අනතුරුව මගේ දෙපා එසවෙන්නේ කොටුගොඩැල්ල වීථියෙහි එදවස වූ කාසල් අවන්හල වෙතටය. 

කැසමරා හෝටලය සහ මාරබැද්ද මල් ශාලාව අතර වත්මනෙහි ඩිසයින් ක්ලබ් නිමි ඇඟලුම් වෙළඳසල පිහිටි බිම් කඩෙහි එකල වූයේ තනි මහලේ සිංහල උළු සෙවිලි කල දෙපළ පියස්සකින් සෙවණ ලත් කාසල් අවන් හලය. 

කොටුගොඩැල්ල වීථියෙහි පදික වේදිකාවේ සිට ගලින් බැඳි පියගැට හතරක් හෝ පහක් නැඟ ඇතුලු විය යුතුවූ අවන් හලෙහි ඉදිරිපස වූයේ විසල් වීදුරු ජනෙල් පෙළකි. 

ඒ හා සමඟම ඔබ පිවිසෙනුයේ වසර ගණනක් මුලුල්ලේ දස දහස් සංඛ්‍යාත ජනකායකගේ පා පහසින් ඔපවත්වූ රතු පැහැ සිමෙන්තියෙන් වැසුණු විසල් බරාඳයකටය. මේ බරාඳයෙහි මෙන්ම ඉන් ඔබ්බෙහි වූ ශාලාවෙහිද ඒ වටා වූ කුඩා ලී පුටු තුනක් හෝ හතරක් සහිත කළු පැහැයෙන් ආලේපිත රවුම් කනප්පු පණහකට නොඅඩු සංඛ්‍යාවක් වූයේය. 

ලා කහ සහ දුඹුරු මුසු වර්ණයකින් යුත් අත්කොට කබා සහ සුදු සරම් වලින් සැරසුණු අවන්හලෙහි සේවකයෝ රවුම් මේස අතරින් ලහි ලහියේ එහා මෙහා ගමන් කරමින් පාරිභෝගිකයින්ගේ ඇණැවුම් ඉටු කිරීමෙහිලා යුහුසුළු වෙති. 

ඔවුනගේ කබායෙහි ඉහළ තරමක විශාල සාක්කුවකි. රතුපැහැ නූලෙන් කාසල් යන නමෙහි ඉංගිරිසි අකුරු හය එකිනෙක පසුපස හඹායන අයුරක් දිස්වනසේ ගෙත්තම්කොට තිබුණු එහි කුඩා සටහන් පොත් පිංචක් සහ පැන්සලයක් හෝ කාබන් පෑනක් නිතර දක්නට ලැබිණි.ඇණවුමක් ලද වහාම ඔවුහු වහා උඩ සාක්කුවෙන් අර සටහන් පොත ඉවතට ගෙන එහි ඇණවුම සටහන් කරගනු මම බොහෝවිට දැක ඇත්තෙමි. 

කබායෙහි පහළට වන්නට වූ සාක්කු යුගලෙහි වූයේ අත්ලක පමණ ප්‍රමාණයක් වනසේ ඉරාගත් පුවත්පත් කැබලිය.අවශ්‍ය අයෙකු අතක් ඔසවා ඇඟිලි එකිනෙක ගටමින් සංඥාකල වහාම යුහුසුළුව එකි ලඟාවන වේටර් වරයෙක් සාක්කුවෙන් ඉවතට ගත් කඩදාසි කැබලි කිහිපයක් කනප්පුව මත තබයි. 

එක් එක් වේටර් වරයාට සුපුරුදු ගණුදෙනු කරුවන්ද විය. අප්පුහාමි නම්වූ වයස හැටක් හෝ හැටපහක් පමණවූ වේටර් වරයෙක් එකල මගේ අයිතිය පවරාගෙන සිටියේය.පොත්තපිටියෙහි පදිංචිකරුවකුවූ ඔහු වැඩිවිය පත් දූදරුවන් විවාහපත්ව වෙන්ව ගිය පසු තම බිරිඳ සමඟ හුදකලාව වසන්නෙකි. දිනෙක හදිසියේම ඇද හැලුනු මහ වැස්සක් තුරල් වන තෙක් ඉදිරිපස බරාඳයෙහි ඔහු හා සාමීචියෙහි යෙදෙමින් ගතකල සවස් යාමයක ඔහුගේ ජීවිතය අප්පුහාමි ඉතා සැකෙවින් මා හා විස්තර කළේය. 

" එන්ඩ සර්..එන්ඩ...අද තෙමිල වගේ නේද? " 

හිසෙහි රැඳි වැසි බිඳු ගසා ලමින් ඇතුලත බරාඳයට පිවිසි මා දුටු සැණින් සිනහසෙමින් ඉදිරියට පැමිණියේ අප්පුහාමිය. 

" ඔව් අප්පා, උදේ ගෙදරින් එළියට බහිනකොට වහින ලකුණක්වත් තිබ්බය? හිටපු ගමන් නෙව දෙන්ට තිබා ගත්තෙ…" 

කේ.වී.ජී. ද සිල්වා පොත් හලෙහි සිටියදී අනපේක්ෂිතව ඇදහැලෙන්නට වන් ධාරාණිපාත වර්ෂාව ඉහිල් වනතෙක් අඩ හෝරාවක පමණ කාලයක් එහිම රැඳී සිට යන්තමට පොද වැස්සක් බවට පත්වුනු කෙණෙහි ත්‍රිකුණාමල වීදියෙහි කඩ පිල් වලින් මාරුවෙමින් පැමිණියද ඒ වනවිට මම සෑහෙන පමණ තෙමී සිටියෙමි. 

" යමු පිටිපස්සට….මොනවද මහත්තය ගේන්නෙ ? ඈස් යූෂුවල් නේද? " 

සාක්කුවෙහි වූ ලේන්සුව ගෙන හිස පිසදමන්නට වූ මදෙස බලා සිනාසෙමින් අප්පුහාමි විමසීය. 

තම යොවුන් වියෙහිදී මහනුවර දළඳා වීදියෙහි එකල වූ වෝකර් සහ ග්‍රිග් නම්වූ තේ වතුවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කොට බෙදාහැරීමෙහි නිරත විදේශීය සමාගමක කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ බටලේරු තනතුරෙහි වසර ගණනක් සේවය කොට ඇති අප්පුහාමි ඉංගිරිසි බස හැසිරවීමෙහි මනා පරිචයක් ඇත්තෙකි. 

" ඔව්..අප්පුහාමි දන්නවනෙ…" 

සිනහසෙමින් පවසමින් පසුපස මිදුලෙහි වූ සුදු පැහැ බෝගන්විලා පඳුර අසල බරාඳයේ කෙළවරක වූ මගේ සුපුරුදු අසුනට බර දිනිමි. 

එදින මවිසින් මිලදී ගත් පොත් කිසිවක නම් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැතිවුවද ඒ අතර ගුණදාස අමරසේකර ගේ ගමනක මුල නවකතාවෙන් ඇරඹි කතා මාලාවෙහි පොත් දෙකක් හෝ තුනක් වූ බව නිසැකව පැවසිය හැක්කේ මේ කතාව ඉදිරියෙහිදී ඒ කරුණ ඉතා වැදගත් වන බැවිනි.

අඩක් බිඳීගිය වැසිවතුර පිහිල්ලෙන් ඇද හැලෙන ජලදහරින් නැහැවෙන බෝගන්විලා පඳුරෙහි මලින් බර අතු වරෙක පොළව මට්ටමටම නැවී එක්වරම යලි කෙලින් වෙයි. කුමන වර්ගයක එවුන්දැයි පැහැදිලිව හඳුනා ගත නොහැකි කුඩා කුරුල්ලන් තුන් හෝ සතර දෙනෙකු පියාපත් පුම්බාගෙන බෝගන්විලා පඳුරින් ඔබ්බෙහිවූ කැසිකිළියෙහි අගුවෙහි ගුලි ගැසී සිටිති.රවුම් කනප්පුව මත වූ ප්ලාස්ටික් බෑගයෙන් ඉවතට ගත් ගමනක මුල පොත අතෙහි තබාගෙනම මම ඔවුන් දෙස බලා සිටියෙමි. 


මගේ දැහැන බිඳී ගියේ අප්පුහාමි ලයන් ලාගර් බෝතලය සහ බදින ලද හුරුල්ලන් පිඟාන කනප්පුව මත තබන හඬිනි. 

" තව මොකවත් ඕනද සර් ? "


කනප්පුව වෙතට පහත්ව උඩ සාක්කුවෙන් ගත් ඕපනරයෙන් බීර බෝතලය විවර කල හෙතෙම පහත් හඬින් විමසීය. 

" යස්, ඉට්ස් ටූ කෝල්ඩ් ටුඩේ..ඕල්ඩ්….ටූ හන්ඩ්‍රඩ් අප්පුහාමි…" 

මම පැවසුවේ ළයමත බැඳගත් දෑතින් යුතුව උරහිස් හකුළුවා ගනිමිනි. 

" යස් සර් ...ඔෆ් කෝස් සර්…….ඇට් වන්ස් සර්...."

ඉද්ද ගැසුවාක් මෙන් එක්වරම කෙළින්වූ අප්පුහාමි සීරුවෙන් මොහොතක් හිඳ සොල්දාදුවකුගේ පියවරින් නික්ම ගියේ මගේ ඇණවුම ඉටු කරනු පිණිසය. ඒ ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයා යටතේ සේවය කල සමයේ මතක ආවර්ජනයකි. මට එකෙණෙහිම මතකයට නැඟුනේ පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ රඟපෑ භූමිකාවයි. 

අරක්කු මිශ්‍ර කල බීර කෙමෙන් තොල ගමින් මම ගමනක මුල කතාව කියවන්නට වීමි. 



කුඩා කල සිටම ගුණදාස අමරසේකර මහතාගේ නවකථා කියවීමට මම බොහෝසේ ඇළුම් කලෙමි. 

දැඩි අවධානයෙන් යුතුව ගමනක මුලට සමවැද හුන් මට එක්වනම වැස්ස දැඩිවනු ද නොහැඟුනි. 

" සර් ඔතනට හිරිකඩ එනව නේද ඕසෙට...කනප්පුව ගමු අතන මුල්ලට " 

මා අසලටම පැමිණ අප්පුහාමි එසේ පැවසූයේ අඩක් හිස්වූ බීර බෝතලය සුරතට ගනිමිනි. 

" ෂෙහ්, ඒකනෙ මට තෙරුණෙම නෑනෙ. " 

හිරිපොදෙන් මඳක් තෙත්වූ බොහෝ කලක් නිතර භාවිතය නිසාම අවපාට වූ ඩෙනිම් කලිසමෙහි රැඳි වැහිබිඳු කිහිපයක් ගසා දමමින් මමද නැඟී සිටියෙමි. 

" මම දැක්ක....සර් පොතට වහ වැටිලනෙ උන්නෙ...." 

නොකඩවා ඇදහැලෙන වැස්ස බෝගන්විලා පඳුර මත පතිතව ඒ අසල බරාඳයේ අර්ධ කවාකාර පෙදෙසක් තෙමයි. ඒ හිරිකඩින් වැළකෙනු වස් අප්පුහාමි කනප්පුව බරාඳයෙන් මදක් එපිට අවන්හලේ මධ්‍යයෙහි ශාලාවෙහි දොර අසලට ගෙනගියේය. 

" මෙතන හොඳයිනෙ සර් ? " 

එසේ පවසමින් ඔහු දොර පසුපසවූ පැරණි මාදිලියේ ටම්බ්ලර් ස්විචය ක්‍රියාත්මක කලේ ඒ අවට අලෝකයෙන් නහවමිනි. 

මම නැවත අසුන් ගත්තේ යලි ගමනක මුලට සම වැදීමේ නොඉවසිල්ලෙනි. කියවීම ඇරඹීමට පෙර යලිත් මත්පැන් වඩියක් උගුරට හලාගෙන දුම්වැටියක් දෙතොල රඳවා හාත්පස හිස හැරවූයේ අප්පුහාමිගේ යට සාක්කුවක නොවරදින ගිණි පෙට්ටිය හෝ ලයිටරය බලාපොරොත්තුවෙනි. 

එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. වැස්ස ඇදහැලීමට පළමු මම අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් නිකුත් කරමින් දැල්වෙන ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය. 


******************************
සැප්තැම්බරේ කියන්නෙ සාහිත්‍යය මාසෙ. කෙටිකතාවක් ලිව්වොත් හොඳයි කියලයි මේක මේ ලිව්වෙ..තව කොටසක් තියනව හොඳද?...:)


******************************
Last but not least අපේ රන්දිල් නෝන මහත්තැං දන්නවනෙ නේද? නිදහස් සිතුවිලි මුල් හිමිකාරිය..මේ ඊයෙ පෙරෙයිද අර පොතක් එහෙමත් ලිව්වෙ මා බාල කාලේ අම්මාගෙ උකුලේ කියල...අන්න එතුමියගෙ සුබ උපන්දිනේ යෙදිල තිබ්බ පහුගිය සිකුරාද..සැප්තැම්බර් 19 වෙනිද...එහෙනං පහුවෙලා හරි කමක් නෑ..මගේ ලෑන්ඩ් ලේඩි තුමිය..ඔබට සුබ උපන් දිනයක්!!!

76 comments:

  1. පොත් කියන්නෙ මගේ ජීවිතයට බද්ධ වුනු කොටසක්.කියවන්නට හැකි වූයේ කවදාද , එදා සිට අතට හසු වූ හැම දෙයක්ම කියවන්නට පුරුදු උනා. හොඳ පොතක් සහ කියවන ගමන් හපන්නට යමක් ඇත්නම් එයිට වඩා යමක් කුමටද​?ලස්සන පොත් ටිකක ලිස්ට් 1ක් දාන්නකෝ. පියසේන කහඳගමගේ මහතාගේ පොත් වලට (ෙෙශලියට​) හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      පොතක් හොඳයි කියල නිර්දේශ කරන එක බොහොම අසීරු වැඩක් නෙව...හේතුව බොහොම සරලයි සහ උදෑසන හිරු එළිය වගෙ පැහැදිලියි. දහ දෙනෙක් ගත්තොත් රුචිකත්වය දහ ආකාරයක්...ඒත් ඔබ පියසේන කහඳගමගේ මහත්මයගෙ පොත් වලට කැමතියි කියල කියන නිසා ඒ කියන්නෙ වන කතා වලට කැමතියි කියන එකයි කියල උපකල්පනය කරල හොඳයි කියල මට හිතෙන පොත් කීපයක් මෙහෙමයි.

      ආර්.එල්.ස්පිට්ල් මහතා වැද්දන් ගැන ලියූ පොත් (මැකීගිය දඩමං, වන සරණ, සුදු වැද්දා, සුදු ගෝනා, වන වැදුනු දොස්තර ). මායා රංජන් ලියූ දිගාමඬුල්ලේ ආශ්චර්යය, තාඹුගල ආනන්දසිරි හාමුදුරුවන්ගෙ විසිපස් වසරක වනදිවි තොරතුරු පොත් 2

      Delete
    2. //තාඹුගල ආනන්දසිරි හාමුදුරුවන්ගෙ විසිපස් වසරක වනදිවි තොරතුරු පොත් 2//
      මගෙ වැඩකට ඉතා ප්‍රයෝජනවත් වුනා

      ඒ හාමුදුරුවො ගැන ඒ පොත්වල ඇති දේට අමතර තොරතුරු දන්නවද?

      Delete
    3. ප්‍රා,

      / මගෙ වැඩකට ඉතා ප්‍රයෝජනවත් වුනා /

      මට හිතාගත්තෑකි...:)

      / ඒ හාමුදුරුවො ගැන ඒ පොත්වල ඇති දේට අමතර තොරතුරු දන්නවද? /

      ආනන්දසිරි හාමුදුරුවො ගැන තොරතුරු දෙකක් කිව්වැහැකි. එක තාඹුගල තියෙන්නෙ වරකාපොල කිට්ටුව. අනික ඔය හාමුදුරුවො තමයි කුඩුම්බිගල ආරණ්‍යය එලි පෙහෙලි කරල අරගෙන තියෙන්නෙ. පානම පැත්තෙ පන්සලක මහණ වුනා මගෙ යාලුවෙක්ගෙ මල්ලි. පානම පහුකරල යන්ට ඕන කුඩුම්බිගලට. එක පාරක් එහෙ යන ගමන් කුඩුම්බිගලට ගිහිල්ල අපි නායක හාමුදුරුවො මුණ ගැහුන. එතකොට මම ඔය පොත ගැන එහෙම දන්නෙ නෑ. දැන් මට හිතෙන්නෙ ඒ මුණ ගැහුනෙ ආනන්දසිරි හාමුදුරුවො වෙන්න ඕන කියලයි. සමාවෙන්න..ප්‍රාට ප්‍රයෝජනවත් තොරතුරක්නම් නැතුව ඇති. මම මේ පඳුරු තැලිල්ලක්නෙ කරල තියෙන්නෙ මෙතනත්...හෙහ්,හෙහ්,

      Delete
  2. මම හිතුවා අතීත ආවර්ජනාවක් කියලා.... උඹට ඉතිං වාන් පතුල් ස්ටැයිල්, දඩයක්කාර ස්ටැයිල්, කුවණ්නා ස්ටැ‍යිල් කියලා බර ගාණක් තියනවනේ.. මම හිතුව එයින් එකක් කියලා... :)

    නවත්තලා තියන තැන අනුව නං මේක ටිකක් හොල්මං ස්ටැයිල් එකක් වගේද මන්දා... බලමු...

    ReplyDelete
    Replies
    1. තිසර,

      / මම හිතුවා අතීත ආවර්ජනාවක් කියලා..../

      බොහෝදුරට මල්ලි උඹ හරි, අතීතාවර්ජනයක් කියල කියන්නත් පුලුවන්. ඔය කාසල් බාර් එකේම වෙච්චි බොහොම සුළු සිද්ධියක් පාදක කරගෙන හිත රැහැනින් මිදිල නිදැල්ලේ දසත සැරිසැරීමක ප්‍රතිඵලයක් කියල කිව්වොත් වඩාම නිවැරදියි.ඒ සිදුවීම මේ වෙලාවෙ කිව්වොත් කතාවෙ රසයට බාධාවක් වෙනව අනිවාර්යයෙන්ම. දෙවෙනි කොටසින් කතාව ඉවර කරල මම කියන්නං නිධාන කථාව..:)

      Delete
  3. මං ඇත්තටම හිතුවෙ මේක අතීත ඇත්ත අත්දැකීමක් කියල... අර යටිං කියල තියෙන එක නැත්තං ලොවෙත් කෙටිකතවක් කියල හිතන්නෙ නැ...
    ඒ තං පණ පිහිටුවල ලියල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මොන තං ගැන ද මේ කියන්නේ :D

      Delete
    2. පැතුම්,

      උඹ ඔය මොන කෝස් ද එතකොට කපන්නෙ? :)

      Delete
    3. රවිතං නියතං
      ලියහං තියහං

      Delete
    4. Mahesh,

      / මං ඇත්තටම හිතුවෙ මේක අතීත ඇත්ත අත්දැකීමක් කියල... අර යටිං කියල තියෙන එක නැත්තං ලොවෙත් කෙටිකතවක් කියල හිතන්නෙ නැ… /

      මේ වත් ගොයියගෙ සොඳුරු සිත වියුණුවෙ වම් පැත්තෙ දාල තියන සංකල්පනාවක්...

      "Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

      බොහොම ස්තූතියි මහේෂ්...:)

      Delete
  4. මට නම් තියෙන එකම ප්‍රශ්නය මේ ඉතිරි කොටස කවදා කියවන්න ලැබෙයි ද කියන එක තමයි.. :) හීතලේ (නොබී) පොතක් කියවනකොට දැනෙන ආතල් එක යනවා මේක මැද්දට වාන්පතුල් හරි , පිළිස්සු කුකුල් හරි , අර කෝස් කපපු සීන් හරි එබුවොත්.

    මේ ලිවීමේ රටාව නම් ටොප්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / මට නම් තියෙන එකම ප්‍රශ්නය මේ ඉතිරි කොටස කවදා කියවන්න ලැබෙයි ද කියන එක තමයි.. /

      එහෙම කරන්නෙ නෑ බං...ව.ක්‍රී.ප..නොහොත් ඇසැප්... ඇසැප්..දෙවෙනි කොටස දානව ඇසැප්...:)

      / මේක මැද්දට වාන්පතුල් හරි , පිළිස්සු කුකුල් හරි , අර කෝස් කපපු සීන් හරි එබුවොත්. /

      ඔන්න කිව්ව..ඔය කිව්වෙ..පිස්සුද බං? කෙටි කතාවක් ඇතුලට පඳුරු තැලිලි ඔබන්නෙ කොහොමද බොල? එහෙම බීටිං අරවුන්ඩ් ද බුෂ් වැඩේ පටන් ගත්තනං මම තාම අර වැව් ඉවුරෙ බංකුව උඩ. .මාස දෙක තුනක් ලියන්ට එව්ව තියනව ඔය බංකු රාජයා උඩ. දෙයියම්පල්ල..

      ස්තූතියි මල්ලි...:)

      Delete
  5. නියමෙට ලියල තියෙනව රවී. මටනං මේක ෂර්ලොක් හෝම්ස්ගෙ කතාවක් කියවනව වගෙයි දැනුනෙ.
    මේකත් අර වාං පතුල් සීන් එක වගේ කොටස් කීයකින් ඉවරවෙන එකක්ද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ස්තූතියි මචං...තෑන්ක්යූ සෝ මච්...:)

      තව එක කොටසයි බං..ඊට වඩා ලියන්ට දෙයක් නෑ....:)

      Delete
  6. ලියපු එක නං ලියල තියේ චෙකොෆ් වගේම.. හැක්.. ඉතිරි සුට්ටත් ඔය එක්කම දැම්මනං මක්ක වෙනවද බං.. ලියන්නෙම මාගල් නිසා මං හිත හදාගෙන කියවන්න ආවේ.. ඒත් කෝ මගින් ඉවරයි නෙව.. ඒක නෙමෙයි රවියෝ පාං කුඩු දාල බැදපු හුරුල්ලෝ මකක් වෙන කොටත් දුවල ගිහිල්ල අඩියක් ගහන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      / ඉතිරි සුට්ටත් ඔය එක්කම දැම්මනං මක්ක වෙනවද බං.. /

      නෑ බං..මේකයි උනේ සීන්ස් එක. මේ දවස්වල ටිකක් විතර බුසී..ඒ අතර ඉඩ පාඩු ලැබෙන විදිහට මේ කතාව ලිව්ව. සැප්තැම්බර් ඇතුලත දාන්ට ඕනය කියලත් හිතාගෙනම හිටියෙ. මෙන්න මාසෙ ඉවරවෙන්ටත් ආව. ඒත් කතාව ඉවර කරගන්ට බැරි වුනානෙ. සතියකට සැරයක් පෝස්ට් එකක් දාන්ටත් එපාය. ඒ නිසා ඔන්න ඔහෙ සෙස්ස පස්සට කියල ලියපු ටික පබිලිස් කොලා...:)

      / ඒක නෙමෙයි රවියෝ පාං කුඩු දාල බැදපු හුරුල්ලෝ මකක් වෙන කොටත් දුවල ගිහිල්ල අඩියක් ගහන්න හිතෙනවා.. /

      අන්න බයිට්...මතක වෙනකොටත් ඉන්ට බෑ....බිව්වැහැකි ගැළුමක් ඇහැ පියාගෙන..අනික තමයි කාරල්ලො....

      වෙරි කෝල්ඩ් ලයන් ලාගර් එකට තකට තක යන්නෙ හුරුළු ෆ්‍රයිඩ් එක තමයි...;)

      Delete
  7. දිගින් දිගටම ඇනෝනිමස් ස්පෑම් කොමෙන්ට් පළ වන්නට වූ බැවින් ඇනෝනිමස් කොමෙන්ට් පළ කිරීමේ අවස්ථාව ටික කලකට නවත්වන්න සිදු වෙනවා. කම්මැලි නැතුව නමෙන් එන්න මෙයාලා... :)

    ReplyDelete
    Replies
    1. ඔයා කව්ද අනේ අපේ රවිගේ කොපිරයිට්ස් ගැන කතා කරන්න.. එන්න එපා ඕවට.. හරිය...!!

      Delete
    2. පස්සේ ආපු අඟ මාත් පස්සෙයි දැක්කෙ.. රවිට අද හරි මතක් උනා මදෑ. සුභ උපන්දියනයක් වේවා තුමියණි..

      Delete
    3. ඔන්න එහෙනං මාත් සුබ උපන්දිනයක් පැතුව.

      Delete
    4. රන්දිල්,

      යස් මේ ඇනෝ සීන් එක දැන් මාසයක් වගෙ වෙනව පටන් ගෙන. මෙච්චර කල් ඊ-මේල් එකෙන් ආවට පබ්ලිෂ් උනේ නෑ. ස්පෑම් එකට ගියේ. මට පේන්නෙ ඊයෙ වගෙ ඉඳල පබ්ලිෂ් වෙන්නත් පටන් අරගෙන.. :(

      Delete
    5. බෝත් ඩේ ගර්ල්/බේබි/අක්ක/ නංගි/ නැන්දා ට සුබ උපන් දිනයක් වේවා !! :D

      අර ඇනෝ කමෙන්ට් නම් එකක් ස්පෑම් කියල මාක් කලාම ඊ ලඟට වැටෙන ඒවත් ස්පෑම් වෙනව නෙ. මගෙ බ්ලොග් කට්ටෙ නම් ලින්ක් එකක් එක්ක වැටෙන හැම ඇනෝ කමෙන්ට් එකක්ම කෙලින්ම යන්නෙ ස්පෑම් එකට.

      Delete
  8. පින්තූරේ දැකපු ගමන් මම හිතුවෙ කොම්පඤ්ඤවීදියේ කාස්ට්ල් එක කියලයි. ෂර්ලොක් හෝම්ස් කතාවක තියෙන ලක්ෂණත් මේ කතාවේ තියෙනව කියල මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. Praසන්ன ත් ඒ කතාවම කියල තියෙනව නේද කියල දැක්කේ කමෙන්ට් ටික කියෙව්වේ දැන් නිසා. හෝම්ස් කතාවල එන අමුතු පරිසරයම මෙතනත් නිර්මාණය කරලා තියෙනවා අඩුවක් නැතුවම. සිරාමයි...

      Delete
    2. පිංතූරේ තියෙන්නෙ කොම්පඤ්ඤ වීදියෙ කාසල් එක තමා.

      Delete
    3. කලර් කේස් එකක්. අපෝ අර පත්තරකාර හැතිකරේ බොන්න යන තැන.. දවසක් සුරි ගොයියා මගේ ඔළුවටත් හැලුවා බියර් ඩිංගක්.. ඕකෙදි

      Delete
    4. @දේශකයා, ඒ ඔළුවට හලපු බියර් ඩිංගෙනුත් බොලාට වැටෙන්න වැදුනයි කියල ආරංචියි.

      Delete
    5. රතී,

      බොහොම ස්තූතියි....ඔබගේ ප්‍රශංසාව මට මහත් සතුටක්!!!

      Delete
    6. හැලප,

      / පිංතූරේ තියෙන්නෙ කොම්පඤ්ඤ වීදියෙ කාසල් එක තමා /

      එහෙමද බං? මම ගිහිල්ල නෑ ඒකට...කාසල් බාර් කැන්ඩි කියල ගූගල් සර්ච් කලාම ඕක තමයි ආවෙ.

      Delete
    7. දේශකයා,

      / දවසක් සුරි ගොයියා මගේ ඔළුවටත් හැලුවා බියර් ඩිංගක්.. ඕකෙදි /

      එහෙම තමයි බං ..ඉඳහිටලවත් ෂෙයාර් එක දෙන්නෙ නැතුව හැමදාටම නිකං බොන්ට ගියාම සූරිට උනත් තදවෙනවනෙ...ඔව්වයෙ ගානක් නෑ බං අපෙත් හිටිය ඔය වගෙ කස්ටිය..

      Delete
    8. //කාසල් බාර් කැන්ඩි කියල ගූගල් සර්ච් කලාම ඕක තමයි ආවෙ. //

      එතකොට මේ කාස්ල් බාර් එක්ත් ඒ කාසල් බාර් එකත් එක වගේද? ( නැත්තං මූ මේ ලියන්නෙ පට්ට "මන්දාරම් නුවර"ක්ද?

      Delete
    9. ඉන්දික,

      / එතකොට මේ කාස්ල් බාර් එක්ත් ඒ කාසල් බාර් එකත් එක වගේද?  ( නැත්තං මූ මේ ලියන්නෙ පට්ට "මන්දාරම් නුවර"ක්ද?/

      නෑ බං..මේ පින්තූරෙ තියෙන්නෙ කාසල් හොටේල් එකයි නුවර තිබ්බ කාසල් බාර් එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. මම කතාව කියනකොට මෙහෙම කිව්ව..

      / කැසමරා හෝටලය සහ මාරබැද්ද මල් ශාලාව අතර වත්මනෙහි ඩිසයින් ක්ලබ් නිමි ඇඟලුම් වෙළඳසල පිහිටි බිම් කඩෙහි එකල වූයේ තනි මහලේ සිංහල උළු සෙවිලි කල දෙපළ පියස්සකින් සෙවණ ලත් කාසල් අවන් හලය. /

      මේ පින්තූරෙ දානකොටම මම දන්නව මේ නුවර කාසල් බාර් එක නෙවෙයි කියල. ඒත් කාසල් නම තිබ්බ හින්ද ඔන්න ඔහෙ ඕන එකක් කියල හිතල දැම්ම.

      Delete
    10. හෙහ් හෙහ් හෙහ් ඒක් මිසක්. උඹට පේනවනෙ, පාඨකය අවදියෙන්...නිකං සත පාට දායට බෑ හරිද :D

      Delete
  9. බියර් ගගහ පොතක් බලන්න!!! කෝපි කෝප්පයක් එක්කනං ඔන්න හරි. මොනා උනත් ඔහොම සලකන, නිස්කලංක තැනක බීර වීදුරුවක් ගගහ තනියම පාවෙන්න යන්න හිතුන.

    කතාව ගැන අදහස් ඊලඟ කොටස සමග ලබන සැපැතැම්බරේ බලාපොරොත්තුවන්න.

    ReplyDelete
    Replies
    1. බියර් විතරක් නම් මදෑ...අරක්කු 200ක් එක්ක බියර් බෝතලයක්...පොත් කියවීම කෙසේ වෙතත්, බෙල්ල සාක්කුවේ තමයි මම එහෙම ගැහුවනම්...

      Delete
    2. Indika,

      / බියර් ගගහ පොතක් බලන්න /

      මගෙ නං මචං ප්‍රියතම වැඩක්. දැං උනත් එහෙමයි. කිං ෆිෂර් එක හරියන්නෙ නෑ ඒකට..කාල්ස්බර්ග් තුන හතරක් ෆ්‍රිජ් එකට දාල බාබකිව් චිකන් හාෆ් එකකුත් ලඟින් තියාගෙන සාලෙ පොතකුත් අරගෙන ඉඳගත්තම ආය මොනවද? මේ ස්වර්ග රාජ්‍යයයි මිහිමත මැවී ඇත්තේ...වෙන කුමටද මට ස්වර්ග රාජ්‍යයක්?

      / මොනා උනත් ඔහොම සලකන, නිස්කලංක තැනක බීර වීදුරුවක් ගගහ තනියම පාවෙන්න යන්න හිතුන. /

      කාසල් බාර් එක ඒ අතින් අන්තිම ඉහළයි. ඒ පෞරුෂත්වය, කැරැක්ටර් එක , පෞරාණික ගතිය නුවර වෙන එක බාර් එකකවත් නෑ. එතන දැං තියන ඩිසයින් ක්ලබ් ඇඳුං කඩේ දකිනකොටත් මට තරහයි. ඩිසයින් ක්ලබ් එකට යන්ට ඉස්සරම අපෙ උන්දැ මෙහෙම කියනව.

      " මේ ඒක ඇතුලට ගිහිල්ල ඒ කාලෙ මම මෙතන ඉඳගෙන බිව්ව. අතන තමයි කක්කුස්සිය තිබ්බෙ. අප්පුහාමි මෙතන තමයි හිටගෙන හිටියෙ කියල කියන්ට එහෙම බෑ ඔන්න අද දෙයියන්ගෙ නාමෙට. අර කෙල්ලො ඔක්කොම එදා හිනාඋනා කටවල් මිරිකගෙන. ලැජ්ජාවෙ බෑ."

      Delete
    3. චෙෆ්,

      200 කියන්නෙ කාලක් වගේනෙ. ඕල්ඩ් කාලයි, ලයන් ලාගර් එකයි හෙමිහිට ගැහුවම ඒ කාලෙ හොඳ ගණං. වැඩිත් නෑ..අඩුත් නෑ. යව්වන වයසෙනෙ බං...ඒකරල එතනින්ම කාල වැව අයිනෙ බංකුවෙ පැයක් වගෙ ආතල් එකේ ඉඳල ඔය කෙල්ලෙක් දෙන්නෙකුට ලයින් පාරක් එහෙමත් දාල හවස් අතේ යනව ගෙදර.

      Delete
    4. //කෝපි කෝප්පයක් එක්කනං ඔන්න හරි//

      ඉන්දික , සීතල දවසක නම් කලු කෝපි කෝප්පෙට බ්‍රැන්ඩි, රම් හෝ ඕල්ඩ් ඩෑෂ් එකක් ( ඊට ටිකක් වැඩිය ඇත්තටම ) දාල පොතක් කියවීම හෝ විඩියෝ චිත්‍රපටියක් බැලීම?

      Delete
    5. චෙෆාකි,

      අයිත් අහල, බියර් එකයි කාලයි ගහල මට පොඩි එකාගෙ හෝඩි පොත්වත් කියවගන්න බැරිවෙයි!


      Ravi,

      මගෙ නං බියර් එක්ක ප්‍රියතම බයිට් එක ඔය විවිධ වර්ගවල චීස් කෑලි ටිකක්. ඕන්නං මදි පාඩුවට ලංකාවෙ "බ්ලැක් ඇන්ඩ් වයිට්" කොම්පැණියෙ මික්ස්චර් ටිහිකුත් දාගතෑකි. මොකද බියර් බිව්වම බඩ පිරෙන නිසා මස් එහෙම බහින්නෙ අමාරුවෙං. බලනකොට මේකගෙ බීම වගෙම කෑමත් අමුතුයිනෙව!!

      ඔය "අපේ උන්දැ" කියපු වගේ කතාවක් ඉස්සර අමිතාබ් ගෙ දරුවො දෙන්න බොම්බායෙ එක පාරකට හැරෙව්වමත් කියනවලු. මොකද මිනිහ ඒ පාරෙ තමයි මුඩුක්කුවක තරුණ කාලෙ ඉඳල ෆිල්ම් කැරියර් එක පටං අරන් තීන්නෙ, ගමෙන් ඇවිත්!

      ප්‍රා,

      ඔව්, ටර්කිෂ් කොෆි එහෙකට (ගෙදර මොකාද එස්ප්‍රෙසෝ වක්කරන්නෙ) වගේ බ්‍රැන්ඩි ඇබින්දක් වක්කරල ගත්තම ඉතින් කියල වැඩක් නෑ. හැබැයි පොත් නෙමෙයි, ෆිල්ම් එකකට හරි ට්‍රැවල් ඩොක්‍යුමන්ට්‍රයක් බලන්න හරි තමා.

      Delete
  10. මේ පෝස්ට් එක පරණ පොත් කඩේකින් ගත්තු අර පරණ පුසුඹ ගහන ‍පොතක් වගේ රහයි.. අයිස් කැට දෙකක් දාලා හොඳට කලත්තලා ගත්තු අරක්කු වීදුරුවක් වගේ රහයි.. සිරාවටම රවියො, මේක පට්ට රහයි බං.. කියන්ට තේරෙන්නෙ නෑ ඇයි කියලා, ඒත් ඒ රහ මට හොඳට දැනුනා.. සමහරවිට ඒ උඹ සිද්දි විස්තර කරලා තියෙන සරල සුගම විලාසයට වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. Bura,

      බොහොම ස්තූතියි බූරා..බොහොම ස්තූතියි..බොහොම ස්තූතියි...මල්ලි උඹේ මේ ප්‍රශංසාව මට කෝටියක් වටිනව...:)

      Delete
    2. //කියන්ට තේරෙන්නෙ නෑ ඇයි කියලා, ඒත් ඒ රහ මට හොඳට දැනුනා..//

      මටනම් හොඳට තේරෙනව මට මේ පෝස්ට් එක මෙතරම් රහ ඇයි කියල

      පොත් සහ බීම !!

      Delete
  11. මටත් කියන්න තියෙන්නෙ බුරා කියාපු ටිකමයි මචං.අපට ආගන්තුක දේකුත් මේකෙ නෑ.ඒත් මාර රහයි.තලු මර මරා කියෙව්වා.දැන් සාහිත්‍ය මාසෙ ඉවර වේගන එන්නෙ.ඊළඟ අවුරුද්දෙ සාහිත්‍ය මාසෙට ඉතුරු කොටස ලියහං මතක ඇතුව ඈ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      මචං උඹටත් කියන්ට තියෙන්නෙ බූරට කියපු ටිකම තමයි..බොහොම ස්තූතියි බොහොම ස්තූතියි!!

      දෙවෙනි කොටස දානව බං ඉක්මනටම...ඉක්මනටම... හෙහ්,හෙහ්

      Delete
  12. රවි මහතුන්ගේ බ්ලොග් එක රවි මහතුන්ට ඕන විදියට නොව....හැබැයි මම කොටස් වශයෙන් පලවන නව කථා, මහ දිග කථා, තිර රචන, නාට්‍ය පිටපත් හෙම දැක කියවා බලා ඇතිමුත්, පලමුවන වරට කොටස් වශයෙන් පලවෙන කෙටිකථාවක් කියවන්නේ...ඒ ගැනත් හිතමු නේද රවි මහත්තයෝ..
    ඇත්ත ස්ථාන, චරිත සහ සිද්ධීන් පාදක කරගෙන කථාවක් ගොතන කෙනා සහ එවන් කථා කියවන අයත් විඳින්නේ හරිම සොඳුරු රසයක් කියන එක කමෙන්ට්ස් වලින්ම කියාපානව නෙව...
    පුල්වන්නම් කෙටිකථා කොටස් වශයෙන් නෙව, එක හුස්මට ලියලා අපිට කියවන්න දෙන්න මහත්තයෝ..මේක කාරුණික ඉල්ලීමක්...මම මේ ඉස්ටයිල් එකටත් ආසයි වාංපතුල් වලට වගේම....

    ReplyDelete
    Replies
    1. Chef,

      බොහොම ස්තූතියි චෙෆ්..වෙච්චි දේ මම උඩහ දේශකයට දුන්නු උත්තරේදි කිව..කොහොම උනත් ඔබ කියන දේට එක හෙලා එකඟ වෙමි. එක හුස්මට නැත්තං වන් ෂොට් කියවගෙන යන්න තිබ්බනම් හොඳයි තමයි...යස් මින් ඉදිරියට ඔබේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට සටහන් කොට ගතිමි.

      Thank you Chef…..Thank you ..:)

      Delete
  13. මේ පොස්ටුවේ මගේ කිසිම සම්බන්ධයක් නැති තැනක් තියේ නම්, ඔය කියෙන බිල්ඩින් එකේ ඇතුල විතරක් වෙන්න ඕනේ. ඔය කියන අනිත් හැම තැනකම මගේ මතකයන් පිරිලා... හ්ම්ම්... රවියෝ... දන්නේ නැහැ... මට මෙහෙම හිතෙන්නේ ඇයි කියල.. මේ කතාව මොන ජාතියේ එකක් උනත්, මගේ හිත රිද්දන එකක්

    මට පළවෙනිම ජේදයේ, පළවෙනිම වාක්‍යයේ පොඩි අවුලක් වගේ දැනෙනවා... අවුලක් නැතුව ඇති, දැනෙන දේ මම කිව්වේ...

    ReplyDelete
    Replies
    1. \\\මත්ලෝලීන්ගෙන් සපිරුණු ප්‍රසිද්ධ සුරාසලක් තුල පවත්නා නිරතුරු ගාලගෝට්ටියට වෙනත් සමකල හැක්කක් මම නොදනිමි. \\\

      මේකද අවුල උපෙක්ෂා....මේ පහත තියෙන ටිකත් එක්ක කියෙව්වාම උඩ තියෙන අවුල ලිහෙනවා..
      \\\ සුරාසලක් තුල පවත්නා ගාලගෝට්ටිය මත්ලෝලීන්ගේ සුරාමත ඉහළ යන්නා හාම ඊට අනුලෝමව සමානුපාතිකව ඉහළ යයි. ඒ සමඟම අනේක සංඛ්‍යාත දුම්වැටි දවා හළු කරමින් නිකුත්වන දුමාරය හතර අතින් ඇවුරුණු කුඩා ඉඩ ප්‍රමාණය තුල කැරලි ගැසෙනුයේ හැඳ සිටිනා ඇඳුම් ඇඟලුම් ආදියෙන් පවා අමිහිරි වූ කටුක ගන්ධයක් නිකුත් කරවමිනි.
      එතෙකුදු මත්ලෝලීහු මේ කිසිදු අපහසුවක වගේ වගක් නොමැතිව කුඩා රවුම් කනප්පු වටා හිඳ මහ හඬින් දොඩමින්, වරෙක කොක් හඬලා සිනහසෙමින් බදින ලද හුරුල්ලන්, තෙම්පරාදු කොටගත් තැම්බූ කඩල හෝ වෙනත් එවන් කටගැස්මක් වරින්වර සපමින් අසෝක වීදුරුවෙහි කට්ටය මට්ටමට පුරවා සෝඩා හෝ වෙනත් මිශ්‍රකයකින් තනුක කොටගත් අරක්කු ගිල දමන්නෝය.\\\\\

      ඇත්තටම ඔහොම තැනකට ගිහින් නැද්ද?

      Delete
    2. උපේක්ෂා,

      / මේ පොස්ටුවේ මගේ කිසිම සම්බන්ධයක් නැති තැනක් තියේ නම්, ඔය කියෙන බිල්ඩින් එකේ ඇතුල විතරක් වෙන්න ඕනේ. /

      මොකද බං සම්බන්ධයක් නැත්තෙ? දැං ඩිසයින් ක්ලබ් එක තියෙන්නෙ එතනනෙ. උඹ ගිහිල්ල නැද්ද ඩිසයින් ක්ලබ් එකට?

      / මේ කතාව මොන ජාතියේ එකක් උනත්, මගේ හිත රිද්දන එකක් /

      ඔබ හරි බොහෝවිට...:)

      Delete
    3. @චෙෆා : නෑ , විස්තරේ නෙවෙයි... වෙන මොකද්දෝ.. එක්කෝ අතෑරලා දාන්න.. මට විතරක්ද කොහෙද එහෙම මගුලක් පේන්නේ !!

      @රවී : මම කිව්වේ මේ බිල්ඩිමේ ඔය කියන වටපිටාව තියෙනකොට... අනිත් හැමතැනකම, ඒ වටපිටාව මම විඳපු විදියටම.... ඩිසයින් ක්ලබ් කියන්නේ මගේ ටවුම් රස්තියාදුවේ අනිවාර්ය පසුකිරිල්ලක්. බඩු නොගෙන කොතරම් වෙලා රස්තියාදු වෙලා ඇතිද ඕක ඇතුලේ? හ්ම්ම්.. එක්කෝ ඕක බිල්ඩිමේ ගතියක් වෙන්න ඕනේ. නැත්තම් ඔතන බොන තැනක්, රෙදි කඩයක් කියල වෙනසක් නැතුවම මත් වේවි කාලය ගතකරන්නම හිතෙන්නේ???

      රවියෝ... අඬන්න ඇහැට ඇඟිල්ලෙන් අනිනකල් මම ඉන්නේ... මම දන්නවා රවියා ඒ වගේම සියුමැලි තැන් වලින්ම අල්ලලා නිල බලල කරයි කියල... නුවර මේ තැන් එක්ක යාවුන අතීතය මට වේදනාවක්...

      Delete
  14. ඊලග කොටස එනකන් මග බලමි..
    මේ කොටස එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව...:)

      Delete
  15. ඔය කියන කාසල් එක හරියෙම තිබුන තවත් තැනක් රවිට මතකද යූ.කේ.ඩී එක.ලංකාවෙ ලූස් බියර් ගන්න පුලුවන් තැන් කීපයකින් එකක් 1980 ගනන්වල.උඩ තට්‍ටුවෙ තමයි බොන්න පුලුවන්. අපි ඒ කාලෙ කට්ටිය එක්ක පඩි දවසට යනවා.

    ReplyDelete
    Replies
    1. Kumara,

      / රවිට මතකද යූ.කේ.ඩී එක.ලංකාවෙ ලූස් බියර් ගන්න පුලුවන් තැන් කීපයකින් එකක් 1980 ගනන්වල. /

      යූ.කේ.ඩී. එක මතකයි...කොළඹ වීදියෙ නේද තිබ්බෙ? මම ඒකට ගිහිල්ල නෑ...ලූස් බියර් කිව්වෙ අර හරහ දාපු පීප්පෙං කරාමයක් ඇරල පුරවල දෙන එකද? නුවර එළියෙ තියනව එහෙම තැන් හතර පහක්ම.. ඩ්‍රාෆ්ට් බියර් කියල කියන්නෙ. මම මීපිළිමානෙ වැඩකලා අවුරුද්දක් තරම. ( මීපිළිමාන තියෙන්නෙ නුවර එළියෙන් පට්ටිපොල හෝර්ටන් එහෙම යන පරෙ ) ඒ කාලෙ දවස් දෙක් තුනකට සැරයක් එනව නුවර එළියට ඔය ඩ්‍රාෆ්ට් බියර් වීදුරුවක් දෙකක් බීල යන්ට. :)

      Delete
    2. kumara,
      දැන්නං ගොඩක් බාර්වල ඩ්‍රාෆ්ට් බියර් තීනව. ඒව දෙන්නෙ පීප්පෙන් නෙමෙයි, ඒ දෙන්නෙ ඇලුමිනියම් කෙග් එහෙක තීන බියර් මැෂින් එකකින් CO2 මික්ස් කරල සහ කූල් කරල අරගෙන.

      ඕන්නං ගෙදර තීන ෆන්ක්ෂන් එහෙකට උනත් ඔය පහසුකම ගන්න පුලුවන්. බෝතල් වලට වඩා කොලිටි.

      Delete
  16. ඉතුරු ටිකත් ලිවුව නම් නේද හොඳ ගුටි නොකා?

    ReplyDelete
    Replies
    1. සිඳු,

      ඔන්න ඉතිං ඕකනෙ බැරි ඔහෙල එක්ක…. පොඩ්ඩ බැරිවෙනකොට තඩි ගහන්ටයි යන්නෙ….හිපොක්‍රටීස් ප්‍රතිඥාවෙ එහෙමත් තිබ්බය? පොඩ්ඩ බැරිවෙනකොට ගුටි දෙනවයි කියල?....:)

      Delete
  17. මෙක ප්‍රබනධයක් හරි වෙනින් මොකක් හරි වුනා නැතා මෙකෙ කථානයකය අපෙ රවියම තමයි. ආයෙ දෙකක් නැ.
    අපෙ ලැන්ඩ්ලොඩ් තුමියටත් සුභ උපන් දිනයක් වෙවා.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මොකද්ද බං ඒ අන්ඩර දෙමලෙ? ප්‍රබන්ධයක් නම් මම ඒකෙ කතා නායකය වෙන්නෙ කොහොමද?...:)

      Delete
    2. කිසි අන්ඩර දෙමළයක් නෑ ... කතා නායකයා රවියා නම්, ඒක ප්‍රබන්ධයක් තමයි හලෝ... හෙහ් හෙහ්....

      Delete
    3. මෙකේ ඉන්න චරිතෙ තනිකරම උබ .එකයි මම කිවුවෙ.

      Delete
    4. උපේක්ෂා,

      / කිසි අන්ඩර දෙමළයක් නෑ ... කතා නායකයා රවියා නම්, ඒක ප්‍රබන්ධයක් තමයි හලෝ... හෙහ් හෙහ්..../

      අප්පට සිරි, එහෙමයි කියන්නෙ එතකොට නේද? අඩේ බොරු නෙවෙයි බං ඔය මම ලියල තියෙන්නෙ....:)

      Delete
    5. දමිත්,

      හරි බං හරි, මම කිව්වෙ මේ ඇවිල්ල සත්‍ය සිද්ධියක් ඇසුරෙන් කල නිර්මාණයක් කියල. එතකොට ඔය කාසල් බාර් එක, අප්පුහාමි එහෙම ඇත්තම ඇත්ත...

      Delete
  18. නියමයි මචං

    http://efoax.blogspot.com/p/blog-page_20.html#.U_WqN_mSxf8

    ReplyDelete
  19. කණ පලාගන්නේ නැතුව ඉතුරු ටිකත් දාපං වහාම.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      යකෝ මේක මාර වැඩක් නෙව...කෙටිකතා ලියන එකත් සෙල්ලං කෙලියක් නෙවෙයි වගෙ..අර සිඳු ගහන්ට හදනව..මූ මෙහෙ කණ පලන්ට හදනව. කෙටිකතා රචකයො අද මෙච්චර හිඟ වෙන්ට හේතුව මට හිතාගත්තෑකි දැං...අර කිකිළි කිව්ව එකේ අනික් එක තමයි මට කියන්ට වෙලා තියෙන්නෙ. දන්නවනෙ කිකිළි කිව්ව එක නේද? " සත පණහකට මොකටද නිකං යසට තියෙන ***** ඉරා ගන්නෙ? .." අන්න ඒ වගෙ මට කියන්ට තියෙන්නෙ " කෙටිකතා ලියල නිකං මොකටද මේ යසට තියෙන කණ පලා ගන්නෙ? " කියල තමයි...හෙහ්,හෙහ්,

      Delete
    2. අහල නැද්ද අනේ... එක කනකට ගැහුවොත්, අනිත් කනත් අල්ලන්න කියල? නරකද උත්සහ කලොත්?

      හෙන්රි: මෙතෙක් කරපු වැඩවල හැටියට, පලනවා නම් කන් දෙකම මෙලහට පැලිලා.. එකද මන්ද කියන දෙයක් කණකට ගන්න වගක් නැත්තේ..

      Delete
    3. උපේක්ෂා,

      / අහල නැද්ද අනේ... එක කනකට ගැහුවොත්, අනිත් කනත් අල්ලන්න කියල? නරකද උත්සහ කලොත්? /

      කණට ගහන කතාවක් නෙවෙයි බං තියෙන්නෙ " යමෙක් ඔබගේ දකුණු කම්මුලට පහර දෙන්නේද ඔහුට අනෙක් කම්මුලත් හරවන්න " අන්න එහෙම. යේසුස් වහන්සෙ කන්ද උඩ දේශනාවෙදි එහෙම කියන්නෙ...

      Ye have heard that it hath been said, An eye for an eye, and a tooth for a tooth:
      But I say unto you, That ye resist not evil: but whosoever shall smite thee on thy right cheek, turn to him the other also.
      And if any man will sue thee at the law, and take away thy coat, let him have thy cloke also.
      And whosoever shall compel thee to go a mile, go with him twain.
      Give to him that asketh thee, and from him that would borrow of thee turn not thou away.

      Delete
    4. දකුණු කම්මුලට ගහන්න යනකොට, පොඩ්ඩක් විතර අත වෙව්ලලා එහාට මෙහාට උනොත්... වදින්නැද්ද කන ගාවට? හිතල කරනවා නෙවෙයිනේ නේ? හි.. හි...

      Delete
  20. ඇ රවී ඔය ඩිසයින් ක්ලබ් ඔතන හදලා වැඩි කාලයක් නැ නේද ? මටත් යන්තන් ඔය වගේ තැනක් ගැන මතකයක් තියනවා හැබැයි බොඳ වූ. තව බීර පිප්පෙකින් අරං ලොකු වීදුරුවකට පුරවලා දුන්න තැනක් ගැනත් මතකයි හැබැයි වෙරි හින්දද මන්දා ඔක්කොම අපැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත,

      / ඇ රවී ඔය ඩිසයින් ක්ලබ් ඔතන හදලා වැඩි කාලයක් නැ නේද ? /

      අපොයි මේ මෑතක් වෙනකල් තිබ්බ කාසල් බාර් එක..ඉඳපන් බලන්ට මතක් කරල හරි..99 අවුරුද්දෙ අග වගෙ වෙනකල් නම් අනිවාර්යයෙන් තිබ්බ. ඊට පස්සෙ කවද ඕක වහල දැම්මද කියල නම් නොට් ෂුවර්,

      / තව බීර පිප්පෙකින් අරං ලොකු වීදුරුවකට පුරවලා දුන්න තැනක් ගැනත් මතකයි /

      ඔය කියන්නෙ යූ.කේ.ඩී. එක ගැන වෙන්න ඕන...කුමාර අර උඩහ කියල තියෙන්නෙ. ඒකෙ එහෙම බියර් දුන්නයි කියල. මම ඒකට ගිහිල්ල නෑ.

      Delete
  21. නියම කතාව රවීයියා,දැන් ඉතින් අර සිඳුගෙන් ගුටි නොකා හෙන්රි අයියාගෙන් කණ පලා ගන්නේ නැතුව අනිකත් දැම්මානම්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ බං... අම්මාපල්ල මටත් වෙන හෙයියම්මාරු.....:(

      Delete
  22. හරි අපූරු ලියවිල්ලක්...
    දෙවෙනි කොටසත් ඉක්මනට එනවනම් හොඳයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...