Sunday, January 31, 2021

667. පුවක් එෂැණිං - 63 - God works in mysterious ways & තණමල්විල කොල්ලෙක්...සීසන් - 2


ලික්ටන්ස්ටයින් සිතියම


God works in mysterious ways…

අපේ නන්දෙ සාර් වැඩ කරන්නෙ කාටවත් හිතාගන්ටවත් බැරි විදිහට..කුරුත හස්ත දූරදර්සී රාජ්ජිය නායකයෙක් කියන්නෙ අන්න අපේ නන්දෙ සාර් වගේ අය..

දැං බලමු එතුමා මේ පහුගිය සුමානෙ කොරපුදේ..ලික්ටන්ස්ටයින් කියල සුට්ටං රටක් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගන්ට කැබිනට් අනුමැතිය ගත්ත..දැං පොඩ්ඩක් බලමු එහෙම කරපු එකේ පල පොරෝජනේ මොකද්ද කියල..

ලික්ටන්ස්ටයින් රටේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 160යි. ජනගහනය 38,000ක්ද කොහෙද..ඉතිං ඔය හැමවෙලේම සාර්ගෙ වැරැද්දක්ම හොයන අපතයො නං එක එක කඩප්පුලි කතන්දර කියයි අහවල් දේකටද මෙහෙම සුට්ටං රටක් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගන්නෙ? ඔතන වෙන මොනව හරි යටි කූට්ටු වැඩක් තියනව..අරකද ..මේකද කියල.. නන්දෙ ඔහොම කලේ අරකටය මේකටය කියල..නෑ..එතුමා එහෙම කලේ අපේ රටේ මිනිස්සුන්ගෙ විසේසයෙන්ම සිස්ස සිස්සියාවන්ගෙ සාමාන්‍ය දැනුම එතකොට බූගෝලීය දැනුම දියුණු කිරීමේ පරම පවිත්තර චේතනාවෙං..

ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයිි..දැං ඔය ලික්ටන්ස්ටයින් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගත්ත කියල දැනගත්තම අපි කවුරුත් හොයල බලනව නෙවද මොකද්ද බොලේ මේ රට? කොහෙද මේක තියෙන්නෙ? මොකද්ද මේ රටේ වැදගත්කම කියල එහෙම නේද?

ඉතිං එහෙම හොයල බැලුවම මම දැනගත්ත ලික්ටන්ස්ටයින් කියන්නෙ Doubly landlocked countries කියන ජාතියෙ රටක් කියල. එහෙම Doubly landlocked රටවල් ලෝකෙටම තියෙන්නෙ දෙකයි..කොටිම්ම මම මේ දැං පැය බාගයක් වෙනකල්ම දැනගෙනවත් හිටියෙ නෑ Doubly landlocked countries කියල රටවල් ජාතියක් මේ ලෝකෙ තියනවයි කියලවත්.

Land locked country කියල කියන්නෙ යම් රටක සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවෙලා තියෙනවනම්... ඒ කියන්නෙ වෙන විදිහකට කිව්වොත් මුහුදක් හෝ සාගරයකට මායිම් නොවන රටක්..එතකොට Doubly land locked country කියන්නෙ ඒ රට වටේට තියන රටවලුත් Land locked countries උනහම. ලෝකෙම එහෙම රටවල් දෙකයි තියෙන්නෙ..ලික්ටන්ස්ටයින් සහ උස්බෙකිස්තානය..

අන්න බලන්න නන්දෙ හින්ද අපේ දැනුම කොයිතරං නම් දියුණු වෙනවද කියල..දැං සිරස ලස්සපති එකට උනත් බය නැතුව ගිහිල්ල අපිට උත්තර දෙතෑකි.

රැස්පොට් සාර්...ඔබට දුන් මනාපය වෙනුවෙන් කිසිදු දුකක් කණගාටුවක් මසිතෙහි කොහෙත්ම නැත.




තණමල්විල  සාර්ගේ ගැමි ආතල් එක පැවැත්වුනු
පොල් අතු මාළිගය



තණමල්විල කොල්ලෙක්...සීසන් - 2

"සාර්.."

"මොකද අයිසෙ?"

"සාර් අර නැගෙනහිර ජැටියෙ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි..වරායෙ සේවකයො අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරක් අරගෙන යනවනෙ .."

"ඉතිං..?"

"ඉතිං කියන්නෙ ඒ වැඩේ හින්ද රටට සෑහෙන පාඩුවක්නෙ.. ඒ හින්ද ඒ ගැන හෙට අපි කතාකරල අවසන් තීරණයකට එමුද?"

"පිස්සුද අයිසෙ? හෙට මට තණමල්විල යන්ට තියනව.. "

"ඒ මොකටද සාර්? "

"ඒ මොකටද කියල අහන්නෙ? එහෙ පුදුම ප්‍රස්න ගොඩක්නෙ අයිසෙ තියෙන්නෙ..එව්ව වහාම විසඳන්ට ඕන.."

"ඒ කිව්වෙ සාර්? මේ වරායෙ ප්‍රස්නෙටත් වඩා වැදගත් ප්‍රස්නද තණමල්විල එව්ව? "

"එහෙනං එහෙනං..එහෙ මිනිස්සුන්ට ගංජා නීතිගත කරල ඕනය කියනව...හෝතඹුවො කුකුළො මරාගෙන කනව කියනව..එතනිං ගිහාම මාවවුලන් රෑ පුරාම රංචු ගැහිල මීගස් යට මී වැහි වහිනවයි කියනව.."

"හරි හරි ඇත්ත නේන්නං..වරායෙ ප්‍රස්නෙ වගේද එව්ව?..."

"අන්න තමුසෙට තේරුනා..අනික මම හෙට කොහොමත් යන්න ඕන..එහෙ ගහල තියනව අලුත්ම පොල් අතු මඩුවක්..මාර ගාම්බීරයි අයිසෙ..කණුවල පිදුරු අඹරල ඔතල..ෂෙහ් බලන්ට එපාය…"

"අම්මප?....නියමයිනෙ.."

"එහෙනං එහෙනං..මම කිව්ව මට පිදුරුවලිං ඔටුන්නකුත් හදල තියන්ටෙයි කියල..ඒත් එහෙ සංවිදායක මන්ඩලේ ඒකට ඒ හැටි කැමැත්තක් නෑ…"

"එහෙමද? "

"ඒකනෙ..අනික අයිසෙ ප්‍රස්න අහන්ට කොල්ලො කට්ටියක් වෙනම සූදානං කරල තියනව.. සුම්බර එහෙම ඔලුවෙ ඔතල..ආතල්ම වැඩේ කියන්න් උං ප්‍රස්න අහන්නෙ විසාල පලු ගහක් උඩ හදපු අට්ටාලයක් උඩට නැඟල.."

Tuesday, January 19, 2021

666. උඳුපියලිය මල්….....



උඳුපියලිය මල්

අපේ ගේ ඉස්සරහ තියනව පොඩි තණකොළ පිටැන්නක්. පිට්ටනියට පිටැන්න කියන්නෙ දකුණෙ ඈයො නොහොත් ගෝල් ග්ලැඩියේටර්ස්ල. පනිට්ටුව, සාළුව එව්ව දකුණෙ ඈයො බාවිතා කරනවයි කියල හැමෝන්ම දන්න වචන නෙව. සෑනා කියල දකුණු රටේ කස්ටිය සතෙකුට කියනව අහල තියද ඔහෙල?

පිටැන්න කිව්වට මේ අඩි පහක් වගෙ පළල එතනින් ගිහාම අඩි හතළිහක් වගෙ දිග කෑල්ලක්. පර්චස් දොළහක් අරගෙන ඒකෙනුත් පර්චස් තුනක් විතර ගෙදරට එන පාරට ගියාම ඉතුරු කෑල්ලෙ ගේ හදපුවහම ඔය ඉතිං මිදුලක්ය කියල ඉතුරු වෙච්චි හරිය තමා..මක්ක කොරන්නෙයි?

ඉතිං පහුගිය දවසක උදේ අටාමාරට විතර මම ඔය පිටැන්නෙ ඇවිද ඇවිද හිටිය එහාට මෙහාට. අර සක්මන් කරනව කියන්නෙ. "සක්මන් කරන මලුවේදී බැඳි හාද...දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද?"...ඔය දස්කොන් හිටියයි කියන්නෙ හඟුරන්කෙත..පහුගිය අවුරුද්දෙ දෙසැම්බර් 22 වෙනිද මම තවත් මිතුරන් හතර දෙනෙකුත් එක්ක ගියා හඟුරන්කෙත ඔය දස්කොන් හොයාගෙන..දස්කොන් හොයාගෙන කිව්වට ඇත්තටම ගියේ ගල් බෝලයක් හොයාගෙන...හෙහ්..හෙහ්..ඒ කතාව මෙහෙමයි...

ඔය උඩරට රාජධානිය තිබ්බ කාලෙ රාජද්‍රෝහී චෝදනාවට වැරදි කාරියන් වෙන රදළ කුලයේ කාන්තාවන්ට දුන්නු දඬුවම තමයි දියේ ගිල්වා මරණයට පත් කිරීම..
අර ඇහැලේපොල කුමාරිහාමි එහෙම මැරුවෙ කකුලට ගලක් බැඳල බෝගම්බර වැඩේ ගිල්ලවල  කියලනෙ කියන්නෙ...ඉතිං ඔය එහෙම වැඩවලට පාවිච්චි කරපු ගල් බෝලයක් හඟුරන්කෙත තියනවයි කියල ඒක හොයන්නයි අපි ගියේ..

නිදිගේ පංචතන්තරේ ලියන නිමල් ගොයියයි, ප්‍රා උන්නැහෙයි, නිදිගෙ අතිජාත මිත්‍රයෙක් වන නෙවිල් ලොක්කයි..එතකොට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිරිබිරිස් මලයයි..අපි කට්ටිය තමයි ඔන්න ඔය ගල් බෝල එක්ස්පෙඩිෂන් එකට ගියේ..මාර ජොලි ගමන ඒක...ගල් බෝලයක්නං අපිට හොයාගන්ට බැරිවුනා..නිදි අවුරුදු විස්සකට වගෙ ඉස්සර එහෙම එකක් දැකල තියනව ඔය දස්කොන් ගැන හොයන්ට හඟුරන්කෙත ගියපු වෙලාවක..

සිරිබිරිස් ලංකාවට ආපු වෙලාවක (සිරිබිරිස් හොඳ එකා..ඕකා තමයි අර සිබිල් වෙත්තසිංහ මහත්මිය හම්බවෙන්න ගිහිල්ල මම පොඩි කාලෙ එතුමියගෙ තදබල රසිකයෙක්ය එහෙම කියල එතුමියගෙ කුඩහොරා පොතේ "ආදර රවි පුතාට.." කියල සටහනක් එහෙම ලියවගෙන මට ගෙනත් දුන්නෙ..) ඉතිං ගිය දෙසැම්බරේ සිරා ලංකාවට ආපු වෙලාවෙ මාව බැහැ දකින්නම ඕනය කියපු පාර නිදියි ප්‍රායි දෙන්න තමයි ඔය නුවර එන ගමන ලෑස්ති කරල තියෙන්නෙ..ඒ පාර දඹුලු සහ තලගොයි වගේ ඒත් එක්කම අර ගල් බෝල ගැනත් හොයමුකො බලන්න කියලයි හඟුරන්කෙත ගියේ.

හරි කොහොම හරි එදා තකහනියක් ගියාට ගල් බෝල හම්බවුනේ නම් නෑ. පස්සෙ අපි අපේ ගෙදර ඇවිල්ල පොඩි අඩියක් ගහන අතරෙ  උඩරට ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක්වන ප්‍රාගෙ යාලුවෙකුගෙන් කෝල් කරල ඇහුවම කිව්වෙ එහෙම දෙයක් ගැන නම් අහල නැතය, බොහෝවිට ඔය බොහොම සුමටව මට්ටම් කරපු ගල් බෝලනම් එකත් එකටම කාලතුවක්කු උණ්ඩ වෙන්ට ඇතිය කියල. පස්සෙ අපිටත් හිතුන එහෙම තමයි වෙන්ට ඇත්තෙ කියල. අනික කාගෙ හරි කකුලක බැඳල දියේ ගිල්ලපුවහම  ඔය ගල්බෝලෙ එදා ඉඳල වැවේ හරි ගඟේ හරි ඒ ගිල්ලවපු තැන ජලාසයෙ පතුලෙනෙ තියෙන්නෙ. එහෙම එකක් ඔය විදිහට සුමටව බෝලයක් වගෙ හදන එකේ කිසිම තේරුමක් නැතිය කියලත් අපි කතා වුනා.

හැබැයි අනික අතට එහෙමම කියන්ටත් බෑ. දැං බලමුකො ඔය අනුරාධපුරේ එහෙම පරණ සංඝාරාමවල තියෙන කැසිකිළි. මුත්‍රා කරන්ට පාවිච්චි කලාට එව්වයෙ තියෙන කැටයම් දැක්කම පිස්සු හැදෙනව.ඒ කාලෙ ඉතිං රාජ අණනෙ. අරම කරපිය මෙහෙම කරපිය කියල රජ්ජුරුවො කිව්වම "හා ඒ මොකටද? ඒකෙ කිසිම තේරුමක් නෑනෙ.." අය එහෙම කියන්ට පුලුවන්ය. "එහෙයි දේවයන් වහන්ස" කියල කියපු හැටියට කරන එකයි තියෙන්නෙ. 

හරි ඔය අපේ හඟුරන්කෙත චාරිකාව ගැන ලියන්ටම ඕමනය කියල එදා ඉඳලම හිතගෙන ඉන්නව ඔන්න බලමු ඒකෙත් හැටි හරියටම අවුරුද්දකුත් ගියා තාම ඒ වැඩේ කෙරුනෙ නැහැ නෙව. වෙලාවකට මට හිතෙනව ඒ කාලෙ වගෙ රජ කෙනෙක් ඉඳල "එම්බල ලියාපිය ඒ විස්තරේ දවස් තුනක් ඇතුලත. නැත්තං තගේ හිස ගසා දානවා බල දැනගිය..." කියල රාජාඥාවක් නිකුත් කලානම් ඔන්න බොහෝවිට වැඩේ කෙරෙයි..හරි හරි පුලුවන් ඉක්මනට ඒ විස්තරේ ලියන්නම්කො..

හරි ආය එමුකො අපේ ගේ ඉස්සරහ පිටැන්නට. මම කිව්වනෙ පිටැන්නෙ මම සක්මන් කරමින් හිටියයි කියල. ඔය පිටැන්නෙ අර මොනවද ඕස්ට්‍රේලියන් තණකොළද මැලේසියන් තණකොළද කියල ජාතියක් වවල තිබ්බට දැං ඒ තණකොළ අතර සෑහෙන්න උඳුපියලියත් වැවිල තියනව. ඒ අතර තව රටේ නැති වල පැල ජාතියි ඇඹුල් ඇඹිලිය එහෙමත් වැවෙනව. මම ඉතිං සති දෙහෙකට විතර සැරයක් ඇඟට ව්‍යායාමෙකටත් එක්ක හොඳයිනෙ කියල ඔය වැවිල තියෙන අනවශ්‍ය පැළෑටි අතිම්ම ගලවල දානව.පොඩි තණකොළ කපන මැසිමක් තිබ්බට අතිං ගලවල දාන එක ලේසියි. ඇඟටත් හොඳයි.

හැබැයි ඉතිං විනාඩි හතර පහක් නැමිල වල් ගලවනකොට දණිස් දෙක කැක්කුං අල්ලනව. ඒ වෙලාවට පොඩ්ඩක් කොන්ද දිගඇරගෙන එහෙම ඉඳල ආයම වැඩේ පටං ගන්නව..වැඩේ කියන්නෙ දණිස් එතකොට කොන්දට එහෙමත් මගේ වයසමනෙ..ඒකයි අවුල..මක් කරන්නෙයි ඉතිං?

හරි අර මම සක්මන් කරමින් හිටියයි කිව්වෙ උදේ පාන්දර උඳු පියලිය ගොල්ලක වැටිච්චි පිණි මතින් සක්මන් කරන එක හොඳයි කියනව නොයෙක් ලෙඩ රෝගවලට..ඇත්තද නම් මන්ද..වැඩේ ආතල් හින්ද මම ඉතිං ඔහෙ කොරනව...

ඉතිං පහුගිය දවසක මම උදේම ඔය උඳුපියලිය ගොල්ලෙ සක්මන් කරන්ට ආහම මෙන්න යකෝ මුලු පිටැන්නම දම්පාට සුට්ටි සුට්ටි මල් වලින් පිරිල..ඒ ඇවිල්ල උඳුපියලිය මල්..බලන්ට ලස්සනයි..ඒ දම්පාට මල් අතරෙ පාන්දර වැටිච්චි පිණි කැට දිලිසෙනව උදේ ඉර අව්ව වැටිල..ඔහොම පුංචි පුංචි මල් පිපිච්ච පිට්ටනියකට ඉංගිරිසියෙන් කියන්නෙ බ්ලූම්ෆීල්ඩ් (Bloomfield) කියල...(උඩ පින්තූරෙ බලන්ටලාකො...)

බ්ලූම්ෆීල්ඩ් කියල ක්‍රිකට් ක්ලබ් එකක් තියනව දන්නව නේද? 77,78,79 කාලෙ විතර අපේ ප්‍රියතම ක්‍රිකට් ක්ලබ් එක ඇවිල්ල ඔය බ්ලූම්ෆීල්ඩ් එක. ඒකට ප්‍රධානම හේතුව බ්ලූම්ෆීල්ඩ් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් බහුතරයක් ආදි නාලන්දීයයන්. බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම, ජයන්ත සෙනෙවිරත්න..අපි ඒ කාලෙ සති අන්තයෙ බ්ලූම්ෆීල්ඩ් මැච් එකක් තියනවනං කොහොම හරි ටියුෂන් ක්ලාස් කට් නොවෙන්ට පැය දෙකක් වත් ගිහිල්ල මැච් එක බලනව. අපිට ඒ කාලෙ හරිම ප්‍රශ්ණයක් තිබ්බ මේ බ්ලූම්ෆීල්ඩ් කියන වචනෙ තේරුම මොකක්ද කියන එක....

හැබැයි ඉතිං ඔය කොච්චර බ්ලූම්ෆීල්ඩ් ටීම් එක ගහන මැච් බැලුවත් බ්ලූම්ෆීල්ඩ් කියන වචනෙ තේරුම නම් අපි දැනගෙන උන්නෙ නෑ කිව්වම මොකද?

අන්තර්ජාලෙ තියා ජංගම දුරකථනවත් නොතිබිච්ච ඒ කාලෙ ඔය වගෙ නොදන්න වචනෙක තේරුම වගෙ දෙයක් දැනගන්ට තිබ්බ එකම ක්‍රමේ තමයි ඒ ගැන මනා අවබෝධයක් තියෙන වැඩිහිටියෙක්ගෙන් නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහල දැනගන්න එක. අර බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත පඬිවරු කියල පරණ පොත්වල කියන්නෙ..ආන්න එහෙම කෙනෙක් හොයල අහල දැනගන්න එක..

අන්තර්ජාලය හින්ද ඇත්තටම දැන් ඒ බොහෝ ඇසූ පීරූ බහුශ්‍රැත උදවියට තියන තැන නැතුව ගිහිල්ල..අන්තර් ජාලය - තොරතුරු සුපිරි මාවත (ඉන්ටෙර්නෙට් - Information superhighway) අන්න එහෙමයි 1993 විතර අන්තර්ජාලය ලංකාවට ආපු දවස්වල අන්තර්ජාලය කියන්නෙ මොකක්ද? ඒකෙං ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද? කියල හඳුන්වල දුන්නු ජාතික රූපවාහිනී වැඩසටහනක අන්තර්ජාලය හඳුන්වල දුන්නෙ. 

වැඩ සටහනේ නම "අන්තර්ජාලය ඔබේ නිවසට" මෙහෙයවූයේ ටී.එම්.ජී.චන්ද්‍රසේකර... ඒ දවස්වල මට මතක විදිහට රූපවාහිනියෙ වැඩ සටහන් සම්පාදකවරෙයෙක්. එයාට තමයි අර මතකද ආචාර්ය මර්වින් සිල්වා රූපවාහිනියට පැනල යකා නටල ගැහුවෙ එහෙම. ඒ වෙනකොට එයා රූපවාහිනියෙ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ද කොහෙද...

හරි ආයම බ්ලූම්ෆීල්ඩ් එකට ආවොත් අපි අන්තිමට ඒ වචනෙ තේරුම අහගත්තෙ අපේ ඒ දවස්වල ඉංග්‍රීසි මාස්ටර් මිස්ටර් නෙල්සන් මෙන්ඩිස් මහත්මයාගෙන්. අපි එක අවුරුද්දක් (අවුරුද්දක් කිව්වට මාස හතරක් විතර ඇත්තම කිව්වොත්) ඒ ලෙවල් වෙනුවට සමගි පෙරමුණු ආණ්ඩුවෙ නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව හඳුන්වා දීපු ජාතික උසස් අධ්‍යාපන සහතිකපත්‍ර පංතියෙ ඉගෙන ගත්තනෙ. ඒකට කෙටියෙන් කිව්වෙ H.N.C.E. කියල. විෂයයන් අටක් තිබ්බ. ඉංග්‍රීසිත් එක විෂයයක්. අපිට ඉංග්‍රීසි ඉගැන්නුවෙ නෙල්සන් මෙන්ඩිස් මහත්මයා. එතුමා වඩාත්ම ප්‍රසිද්ධ දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට. ඒ කිට්ටුවම වගෙ එතුමා ගුරු සේවයෙන් ඉවත්වෙලා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් කළමණාකාර වගෙ තනතුරකට ගියා. එතුමාගෙ වැඩිමහලු සහෝදරය තමයි ආනන්දෙ උගන්නපු ලයනල් මෙන්ඩිස් මහත්මයා.

ඔන්න බලමු තණකොළ පිට්ටනියෙ පිපිල තිබ්බ උඳුපියලිය මලෙන් පටන්ගත්තු කතන්දරේ අන්තිමට කොහෙ කොහෙ ගිහිල්ලද නතර උනේ? නැද්ද?..මෙහෙම කතා ලියන එකට සමහර උදවිය පඳුරු තලනවයි කියලත් කියනව.. ඒත් මම වඩාත්ම කැමති අර තිස්ස අබේසේකර මහත්මය එතුමාගෙ හරිම අපූරු පොතකට දාල තියන නම දාන්න මේ වගෙ කතන්දර ශෛලියකට.."අයාලේ ගිය සිතක සටහන්."..හෙහ්..හෙහ්...හෙහ්..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...