Monday, May 28, 2012

122. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....15




පියා ද සමඟ පළමු වරට දඩයමේ ගිය අවස්ථාව දඩයක්කාරයාගේ මතකයේ රැඳී ඇත්තේ කිසිදාක නොමැකෙන පරිදිය.


'' පුතා කවදාවත් අනවශ්‍ය විදිහට සතෙක් මරන්න එපා. වෙන කරන්න දෙයක් නැති නිසාම මෙහෙම කලාට, අපි මේ කරන්නෙ වරදක් කියන එක කිසිම වෙලාවක අමතක කරන්න එපා.වරදක් කලා උනත් ඒ ගැන පසුතැවෙනව නම් ඒ වරදෙ භාරදූර කම යම් ප්‍රමාණයක් ලිහිල් වෙනව කියලයි අපි විශ්වාස කරන්නෙ...අපෙ පරම්පරාවෙන් පැවත එන විශ්වාසය එහෙමයි.''


පියාගේ උපදෙස් වරින්වර නින්නාදව සවන් තුල රැව් දෙද්දී දඩයක්කාරයා හීං ඇලේ දිය වක්කලම අබියස වූ අතු පතර විහිද ගොස් වක්කලමට ගිනිගෙන දැවෙන දිවාකාලයේ පවා සිත සනහන සිහිලසක් දුන්, රූස්ස කෝන් ගස පාමුළ හිඳ හුන්නේ අඩක් සපිරි සඳ මඬලේ රැස් දිය මත පතිතව නෙක රටා මවනායුරු නරඹමිණි.

මහ දඩයක්කාරයා සිටියේ ඔහුට පසුපසින් වූ මහ ගල්කුළකට වාරුවී හිඳගෙනය. පියා නොදුටුවේ වී නමුදු ඔහුගේ රූපකාය දඩයක්කාරයාගේ මනස තුල රැඳී පැවතියේ දෑස් ඉදිරිපිට දෘශ්‍යමාන වන පරිදිය.


සඳ එළිය තැවරුණු වක්කලමේ ගල් කුළු අතර දිය ස්වල්පයක් රැඳි දිය වලවල් කිහිපයෙහි දඟලන මසුන්ගේ හඬින් පමණක් අඳුරු වනයේ තුරු අගිසිමතින් ඇරඹ විසල් කඳන් වෙලා ගනිමින් පොළෝ මතුපිටට බට දැඩි නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සීතල රාත්‍රියෙහි දඩයකාරයාගේ දෑස් කෙමෙන් පියවෙමින් තිබුනේ නිදිමතටද වඩා අලස කම නිසාමය.


අඩ නින්දේ ඒ මේ අත සැහැල්ලුවෙන් පාවෙමින් හුන් දඩයක්කාරයා එක්වරම තිගැස්සී අවදි වූයේ පියා විසින් කල අණකිරීමක් හේතුවෙනි. නින්දෙන් වහා අවදිවන ලෙස කල ඒ සංඥාව දඩයක්කාරයාගේ සිතට පිවිස ඔහු සැණෙකින් අවදි කිරීමට සමත් විය.


දෑස් විදාහල දඩයක්කාරයාගේ නෙතට ලක්වූයේ පියවර පසළොසකට පමණ එපිට වක්කලමේ දිය රැඳි ගල් දෙබුක්කාවක බැස දිය පානය කරන දිවියෙකි.හිස නූස්සාම තව බොහෝ වේලාවක් දිය පානය කල දිවියා දෙස දඩයක්කාරයා බලා සිටියේ වශී වූ පරිද්දෙනි.ගස් අතු අතුරින් පෙරී ආ සඳ එළිය නිශාචරයාගේ රත් පැහැ පුල්ලි විසිරුණු සම මත නොයෙක් රටා මැවීය.තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින මනුෂ්‍ය ප්‍රාණියා පිළිබඳව සවනේන්ද්‍රියකින් දැනුනා විය හැක; නිශාචරයා දියබීම එක්වරම නවතා හිස නූස්සාම මොහොතක් ගත කළේය. අනතුරුව සෙමින් හිස එසවූයේ දඩයක්කාරයාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.


මිනිසා ද තිරිසනා ද එකිනෙකාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි යම් කාල ප්‍රාන්තරයකට පසු දඩයක්කාරයාගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ලැබුණු කිසියම් විධානයක් අනුවය. දෑස් පියවන්නා හාම මහ දඩයක්කාරයාගේ මඟ පෙන්වීම අනුව නිමේශයකින් දඩයක්කාරයගේ සිත තමා ඉදිරිපිට එතෙකුදු උක්කුටිකයෙන් හිඳ දෑස් නොපියා බලා සිටිනා වන මෘගයාගේ සිතට පිවිසියේය.


අඳුරින් පිරි ගුහාවකට පිවිස හාත්පස පැතිරි මන්දාලෝකයෙන් වරින් වර එහා මෙහා දිවයන අඳුරු රූ පෙළක් නරඹනු වැනි හැඟීමක් දඩයක්කාරයාගේ සිත තුල ජනිත කරවමින් ඔහුගේ මනැසට ගෝචර වූයේ බිය රැඳි නෙතින් අවට විපරම්කාර්‍රිව නරඹමින් සිටිනා මුවදෙනක් මතට විසල් පඳුරක් පසුපස සැඟව හිඳ අයාගත් මුවින් යුතුව කඩා පනිනා දිවියකුගේ රූපකායයි.


මුව දෙනගේ ගෙල විකාගෙන සිටිනා දිවියාගේ මුව දෙපසින් ගලායන රත්පැහැ රුහිරු මෙන්ම, කිහිප වරක් මරු විකල්ලෙන් දඟලා අවසන නිසල වූ ඇගේ පසු පා යුවල තවත් නොබෝ වේලාවක් ගැහෙන අයුරු ද තුෂ්ණිම්භූතව නරඹමින් සිටි දඩයක්කාරයාගෙ සිතට පිවිසියේ අනූපම අනුකම්පාවක් මෙන්ම වික්ෂිප්ත භාවයකි.සිතෙහි හටගත් ඒ වේගය නිසාම එක් වරම ඔහුගේ දෑස් විවර විණි.


එතෙක් විශ්මයාවහ නෙතින් දඩයක්කාරයා දෙස බලා සිටි දිවියා එක් වරම පසු පස හැරුනේ, දිය වක්කලමේ ගලින් ගලට පැන අඳුරු වන ගැබ තුලට වැද අතුරුදන් විය.


සිත තුල එකිනෙක පරයා නැඟෙන නුපුරුදු සිතිවිලි සමඟ පොර බදමින් එලෙසම හිඳ හුන් දඩයක්කාරයා අබියසට පැමිණි පියා ඔහු අසල හිඳ ගත්තේ ඔහුගේ දකුණු උරහිස සිය වමත තබා ගැඹුරු ස්වරයකින් නිහඬතාවය බින්දේය.


'' පළවෙනිම පාර එහෙම තමයි පුතා, කළබල වෙන්න එපා, අනුන්ගෙ හිත් කියවන එක එච්චර ලේසි දෙයක් නොවෙනව වගේම ඒක හිත කියවන පුද්ගලයටත් පාරා වළල්ලක් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි.මනුස්සයෙක් උනත් සතෙක් උනත් ඒකෙ වෙනසක් නෑ. හිත අවුල් කරගන්ට එපා. මම ටිකින් ටික කියල දෙන්නම් ඒ ශිල්පය.''


'' මේ අපේ පරම්පරාවෙන් කාලයක් තිස්සෙ පැවත එන දැනුම් සම්භාරයක්. ඒත් මුල් කාලෙ අපෙ මුතුන්මිත්තන් භාවිතා කල දැනුමෙන් බොහෝම අංශු මාත්‍රයයයි අපි දැනට ප්‍රයෝජනයට ගන්නෙ. ඒ බොහොම ස්වල්පය උනත් ප්‍රයෝජනයට ගන්න අවසන් පුද්ගලය පුතා කියලයි මට හිතෙන්නෙ. ඒත් කමක් නෑ, කිසිම දෙයක් සදාකාලික නැහැ, හැමදේකම අවසානයක් තියෙන්න ඕන. මේ සාස්තරේ කියල ඒකෙ කිසිම වෙනසක් නෑ. මට දැනෙනව පුතා තමයි මේ සාස්තරේ ප්‍රයෝජනයට ගන්නා අවසාන පුද්ගලයා.''


එදින පටන් මහ දඩයක්කාරයා දිනපතා ඔහු මෙතෙක් රැකගෙන පැමිණි ශාස්ත්‍රය තම පුත්‍රයාට ඉගැන්වීය. ඒ අනුව දඩයක්කරයා සතකුගේ සිතට පිවිස ඒ හා ඒකාත්මික වීම , එලෙසම මරණ බිය සහ වේදනාව අවම වන පරිදි සතකු මැරීමට ද හොඳින් උගත්තේය. සතකුගේ සිතිවිළි හඳුගැන්මට වඩා බොහෝ සේ අසීරු වූ මිනිස් සිතකට පිවිසීමේ ශාස්ත්‍රය පුත්‍රයාට මහ දඩයක්කාරයා ඉගැන්වූයේ ඊට අනතුරුවය.


මෙසේ පියා සහ පුත්‍රයා තනිව ගෙපැලෙහි දිවි ගෙවූහ. බොහෝ කොට දින ගනණක් ඔවුනතර කිසිදු කතා බහක් නොවීය. එසේ වූයේ කිසිදු අමනාපයක් නිසා නොව එකේනෙකාගේ සිතුවිලි කියැවීමේ අපූර්ව හැකියාවෙහි කෙල පැමිණිපසු ඔවුන් දෙදෙනාට වදනින් කෙරෙනා අදහස් හුවමාරුව හුදු කාලය නාස්තියක් පමණක්ම වූ බැවිණි.


පිටස්තර මිනිසුන් හා ඔවුනගේ ආශ්‍රය සතියකට වරක් පමණ, මැරූ වුවකුගේ හෝ ගෝනකුගේ ගාතයක් හෝ දෙකක් කර,තබාගෙන හූ හඬ දෙකක පමණ දුරින් වූ ගම්මානයට ගොස් කුරහන්, ඉරිඟු වන් ධාන්‍ය වර්ග අවශ්‍ය පමණ හුවමාරු කොටගෙන ඒමට සීමා විය.


ලුණු, වියළි මිරිස්, පොල් තෙල් සහ රෙදි වැනි විශේෂිත ද්‍රව්‍ය ඔවුන් ලබා ගත්තේ නැගෙනහිර මුහුදුකරයේ සිට තවලම් ගොනුන් දෙදෙනකු පිට පටවාගත් භාණ්ඩ ද රැගෙන තුන් මසකට වරක් පමණ සංචාරයේ පැමිණෙන යෝනක වෙළඳ සොහොයුරන් දෙදෙනාගෙනි.


මෙසේ තමන්ටම වෙන්වූ ලෝකයක දඩයක්කාරයා සහ මග දඩයක්කාරයා දිවි ගෙවූයේ, බාහිර ලෝකය සමඟ වූ සබඳතා අත්‍යාවශ්‍ය වූ විටකම පමණක්, එවිටද හැකි පමණ අවම වූ මට්ටමක පවත්වා ගනිමිණි.


දඩයක්කාරයා කෙමෙන් යොවුන් වියට එලඹියේය. මහ වනයේ සැරිසරමින් සතුන් අතරම දිවි ගෙවූයෙන් සතුන් අතර සිදුවන රමණය ඔහුට නුපුරුදු දසුනක් නොවීය.සතුන්ගේ සිත් කියවීමේ හැකියාව හොඳින් ප්‍රගුණ කොට සිටියේ වී නමුදු රමණයෙහි යෙදෙන සතුන් දෙදෙනෙකු අතර එම අදාල අවස්ථාවේ පවා සිතුවිලි වල කිසිදු සුවිශේෂත්වයක් ඔහුට කිසිසේත් නොහැඟුණි.


එසේම මසකට වරක් හෝ දෙවරක් ගම්මානයට යන ගමනෙහිදී පවා යොවුන් වියේ පසුවූ සම වයස්ක දැරියක රූ සපුව ඔහු නෙත නොගැටුනාම සේ විය.


ඔහුගේ කඩවසම් රූපකාය කොපමණ වැඩි විය පත් ගම්වාසි දැරියනගේ නෙතට රසඳුනක් වුවද, තම ගෙපැල තුලට වැද සැඟව ගත් වනම දොර කවුළු හෝ පැළලි අතරින් එබී බැලීම හැරෙන්නට වෙනත් උකුළු මුකුළු කෙලි කවට කමක නිරතවීමට ඔවුනගෙන් එකියක හෝ නිර්භීත වූයේ නොවේ. දඩයක්කාර පිය පුතු දෙපල කෙරෙහි ගම්වාසීන් තුල අනාදිමත් කාලයක පටන් පැවතෙන බිය මෙන්ම මහ වනය තුල නිර්භයව තනිවම දිවිගෙවන ඔවුන් අමනුෂ්‍යයින් හෝ අවම වශයෙන් අමනුෂ්‍යයින් හා සමීප සබඳතා පවත්වන්නන් බවට පැවති පාරම්පරික විශ්වාසය ද මේ සඳහා හේතු විය.


මෙසේ කිසිදු හැලහොල්මනකින් තොරව නිසසලව ගලා බස්නා ගංගාවක් මෙන් ගලා ගිය දඩයක්කාරයාගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් තුනක් පමණක් මේ කාලය ඇතුලත සිදුවිය.නිසොල්මනේ ගලා යන්නාවූ දිය දහරක් එක්වනම ගල්කුළු ගහන දුර්ගයකට ප්‍රවිෂ්ඨව, පෙණ බුබුළු නංවමින් ප්‍රචණ්ඩත්වයෙන් අනූනව ගලාගොස්, යළිදු පෙර සුපුරුදු නිසල ගලායාමට පත්වන්නාසේම දඩයක්කාරයා ද මේ සිද්ධීන් නිසා කැළඹීමට පත්වූ නමුදු ඉතා ඉක්මනින් තම සුපුරුදු උපේක්ෂා සහගත නිසසල දිවියට යලි පිළිපන්නේය.


මින් පළමුව සිදුවූයේ මහ දඩයක්කාරයාගේ අභාවයයි.තමා මියයන දින පිළිබඳව මහ දඩයක්කාරයා නිශ්චිතව දැන සිටියේද යන්න පිළිබඳව දඩයක්කාරයාගේ සිත තුලද පැවතියේ අවිනිශ්චිත බවකි. ඔවුන්ගේ පාරම්පරික ශාස්ත්‍ර ඥාණය මේ වනවිට සීඝ්‍රයෙන් ඔවුගෙන් ගිලිහෙමින් පැවතීම ඊට හේතුවයි.


කෙසේ හෝ එක මධ්‍යාහ්නයක යෝනක වෙළෙඳුන් දෙදෙන පැමිණි පසු අවශ්‍ය වූ කළමනා තෝරාගන්නා දඩයක්කාරයා දෙස ගෙමිදුල කොහොඹ ගස සෙවණෙහි ඇණ තබාගත්වනම බලාහුන් මහ දඩයක්කාරයා අවසන තම පුත්‍රයා ඇමතීය.


'' පුතා, මම ගිය පාර ගේන්ට කිව්ව සුදු රෙදිකඩක් ....ඒක ගෙනල්ල ඇති, අරගෙන ගොහිල්ල අර පෙට්ටගෙමේ දාන්න,''


එබසින් තිගැස්සී ගිය දඩයක්කාරයා වහා හිස ඔසවා පියා දෙස බැලූමුත් මහ දඩයක්කාරයා ඒ වන විට ද සිටියේ දෑස් තදින් පියාගත්වනම හිස පොලොවට නැඹුරු කොටගෙනය.



මෑණියන් මියගිය දිනය එක වරම සිහියට නැඟුනු බැවින් දඩයක්කාරයාගේ සිත ශෝකයෙන් පිරීගියේය.


පියා සහ පුත්‍රයා අතර ඉන්පසු ඒ පිළිබඳව කිසිදු කථාබහක් නොවීය.


අඩ සඳ වාළිඹේ ගල මුදුනින් පෑයූ ඒ රාත්‍රිය අහස එකද වළාවකින් තොරව බැබලුණි.


රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යාමට පෙර පිළ්කඩෙහි වැතිරුනු පිය පුතු දෙදෙන සුපුරුදු ලෙස සිහිල් සුළඟේ පහස විඳිමින් ගෙමිදුල නැහැවෙන සඳ රැස් මවනා රටාවන් නරඹමින් කල් ගත කළෝය.මෙසේ ගෙවන කාලය අතරතුර ඔවුන් අතර වදනක් හුවමාරු වූයේ ඉතා කලාතුරකිනි.


එහෙත් මෙදින සුපුරුදු චර්යාවෙන් වෙනසක් සිදුවන බව දඩයක්කාරයාට හැඟුනේ එක් වරම පියා උරහිසට අතක් තබා ගැඹුරු එහෙත් සෙනෙහෙබර ස්වරයකින් ඔහු ඇමතීම නිසාය.


'' පුතා අද රෑ අර සුදුරෙදි කඩ එළියට ගන්ට වෙනවා.''


එබස් ඇසුනු දඩයක්කාරයා වහා හිස හරවා පියා දෙස බැලීය.


ඔහුගේ දෑස් දෙස එක එල්ලේ මොහොතක් බලා සිටි මහ දඩයක්කාරයා මෙසේ පැවසූයේ උරහිසෙහි ග්‍රහණය තවත් දැඩි කරමිනි.


'' කණගාටුවෙන්න දෙයක් නෑ පුතා, මේ ලෝකෙ කිසිදෙයක් ස්ථිර නෑ...ඒක තමයි ලෝක ධර්මය...දෛවය අනුව, ඉරණම අනුව, වෙන්න තියන දේ වෙයි. ඒ ගැන කණගාටු වෙලා කිසිම ප්‍රයෝජනයක් නෑ. අවශ්‍ය කටයුතු මම කියපු විදිහට කරන්න. එච්චරයි.........''


මතු සම්බන්ධයි........

Friday, May 25, 2012

99. මුල් දින ඔල්වරසන් නැගිමි පසු දින කඳුලක් සැලීමි






මෙම සිදුවීම මට දැන ගන්නට ලැබී මද කලක් ගත වුවද ඒ හා සම්බන්ධ වීඩියෝව සපයා ගැනීමේ අපහසුතාවක් වූ බැවින් අකුරු බවට පත්වන්නට කල්ගතවිය. මේ ලියන මොහොත වන විටදීද, එය ලැබේ දැයි අවිනිශ්චිතය. නමුත් මෙය පළ කරන විට එය ලැබි තිබෙනු ඇතැයි විශ්වාස කරමි. 



ප්‍රථමයෙන් කිව යුතු වන්නේ මෙය අප රටේ සිදු වූවක් නොවන වගය. මෙය මීට වසර කිහිපයකට පෙර අප අසල්වැසි, ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිදු වූවකි. නමුදු සංස්කෘතිය, සභ්‍යත්වය ආදී එකී නොකී දේ වලින් බොහෝ දුරට අංගසම වන අප දෙරටට, දෙරටේ කාරණා දැන ගැනීම වැදගත් යයි හඟිමි. එබැවින් මෙය සටහන් කොට තබමි.‍








මෙම අනුවේදනීය සිදුවීමට මුහුණදුන් පියා, තිදරු පියෙක් වන අතර ඉතාමත් දුක් මහන්සියෙන් ඉගෙනගෙන, ඉංජිනේරු උපාධිය උසස් ලෙස සමත්ව, දැනට තමන්ගේ ම ඉංජිනේරු විද්‍යාලයක අධිපතීත්වය දරන්නෙකි. ඔහුගේ වැඩිමහල් දියැණිය දොස්තරවරියක වන අතර අනෙක් දියැණිය ද දොස්තරවරියක වනු පිණිස උගෙනුම ලබමින් සිටියදීය මෙම සිදුවීම සිදුවූයේ. ඔහුගේ එකම පුතනුවන් ඔහු හා ඇතිවුනු මත ගැටුමක් හේතුකොට ගෙන සිය දිවි නසා ගත් බවට කට කථා පැතිරුනත් ඒ පිළිබඳ ව පිළිගත හැකි සාක්ෂියක් නොමැත. නමුදු එම දිවි නසා ගැනීමට පියාගේ සම්බන්ධයක් තිබිය හැකි බව තවත් කෙනෙකු පවසන්නේ ඔහුගේ ඉංජිනේරු විද්‍යාලයේ සිසුවෙක් ද ඔහුගේ තද බල නීති රීති හමුවේ අසරණව දිවි නසා ගත් බවට ඇති කථාන්දරය සාක්ෂි කොට ගනිමිනි. කෙසේ නමුදු ඒ කාරණා සියල්ල හුදු කට කථා ද සත්‍ය කාරණාද යන්න තවමත් රහසකි. ඒ පිළිබඳ ව තවදුරටත් නොපවසමි. 



මෙම ඉංජිනේරු විද්‍යාල අධිපතිවරයා මෙතැන් පටන් විරූ ලෙස හඳුන්වමි. මා මේ කියන සිදුවීම වන කාලය වනවිට ඔහුගේ වැඩිමහල් දියැණිය විවාහ පත්ව එක් දරු මවක ව සිටියාය. අනෙක් දියැණිය, ඉන්දියාව තුල මනා පිළිගැනීමක් ඇති, ධනවත්, කුලීන, ව්‍යාපාර ජාලයකට හිමිකම් ඇති, පවුලක පුතෙකු හට විවාහ කර දිමට සියලු කටයුතු සූදානම් කර තිබිණ. නමුදු බොහෝ දෙනෙකු නොදැන සිටි කාරණයක් තිබිණ. මෙම යෝජිත විවාහය තිබූ සමයේ ම ඇය, සිය පියතුමන්ගේ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක්තරා ශිෂ්‍යයකු හා පෙමින් වෙලී සිටියාය. මින් පෙර කිසි දිනෙක මෙම විද්‍යාලයේ ඔහු වන් සිසුවකු නොවූ බව විරූ සේම විද්‍යාලය පිළිබඳ දත් අනෙකුත් පිරිස ද පිළිගන්නා කරුණක් විය. නමුදු විරූ හා මෙම සිසුවා කිහිප වරක් ම ගැටුම් ඇති කරගෙන තිබුණි. කෙසේ වුවද, බාධක හමුවේ වුවද, පෙම් කථාව විද්‍යාල සමයේ සතුටින් ලියැවෙමින් තිබිණ. 

එහෙත්, කණ්ඩායමේ දක්ෂතම සිසුවා වශයෙන් අභිශේක ලැබූ මෙම සිසුවා අවසානයේ කා හටත් නොකියා ම සැඟව ගොස් තිබිණි. අවම වශයෙන් ඔහුගේ ලබැඳි මිතුරන් දෙදෙනාවත් ඔහු ගිය අතක් දැන සිටියේ නැත. කාලය සෙමින් ගෙවිණ. පෙම්වතිය ඔහු නැති සොවින් කාලය ගත කල අතර යෝජිත විවාහය කල යුතුම තැනට පත් විය. එහෙත් තමන් දමා ගිය ඔහු ගැන සිතමින් ඇය සිය ආදරණීය පියතුමන්ට පිටු පාමින්, ඔහුගේ වදනට අවනත නොවෙමින් කල් ගත කලාය. ඇයට එලෙසින් මග හරින්නට බැරි වන තැනට අවසානයේ කටයුතු සිදුවිය. පෙම්වතා නැවත එන ලකුණක් නැත. ඉඳින්, දුකින් පසුවන පියාගේ අදහසට කැමැත්ත ප්‍රකාශ කරන්නට ඇයට සිදුවිය. 

ඒ අසරණ පියතුමන් එදින කොතරම් නම් සතුටු වන්නට ඇද්ද? සිය බිරින්දෑත් නොමැතිව, දරුවන් උස් මහත් කර, ඔවුනට යහපත් අධ්‍යාපනයක් ලබා දී, රටේ වැදගත් තැනක ඔවුන් ව රඳවන්නට ඔහු කෙතරම් නම් මහන්සි වන්නට ඇද්දැයි දන්නේ ඔහු ම පමණි. ඒ අතරට එක් දරුවකු සිය දිවි නසා ගත් කල ඔහුට දැනුනු වේදනාව කෙතරම් දැයි කවුරු නම් දනීද ඔහු හැර....? අවසානයේ ඔහුගේ සිතට සතුට ගෙනෙමින් දියැණිය විවාහයට කැමැත්ත පළ කලාය. 

මේ අතර පෙර කී සිසුවාගේ මිතුරන් විසින් ඔහු සිටිනා තැන සොයා ගෙන තිබිණ. එලෙසම ඔහුට එලෙස සැඟ ව යන්නට බලපෑ කාරණය ද ඔවුන් දැනගෙන තිබූ අතර සිය මිතුරා තවමත් අවිවාහක බව දැනගත් ඔවුන් තීරණය කලේ මෙම පෙම්වතුන් දෙපල එක් කල යුතු බවය. සැඟව ගිය මිතුරාට සිය පෙම්වතිය ගෙන ගොස් දෙමින්, අසරණ පියෙකුගේ අනාගත බලාපොරොත්තු බිඳ දැමීමට මෙම දුෂ්ඨ, අධර්මිෂ්ට, නරක, නපුරු, කෲර, මිතුරන් සැලසුම් අඳින්නට විය. 

ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක විය. විවාහ දිනයේ, මනාලයා ව කාමරයක සිර කර දමා, මනාලයා සේ එක් මිතුරෙකු චාරිත්‍ර වලට සහාභාගී වී, ඒ අතරතුර දී මනාලිය සොරාගෙන පැන යාමට ඔවුන් සමත් ව තිබේ. සැබවින්ම සිය පියතුමා අමතක කර, ඔහුට සිදුවන සමාජ අවමානය අමතක කර, එයින් පසුව සිය පියා තම විද්‍යාලයට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න කල්පනා නොකර, ඒ දුෂ්ඨ, අධර්මිෂ්ට, නරක, නපුරු, කෲර, අකෘතඥ දියැණිය සිය මිතුරන් හා පලා ගොස් තිබේ. දරුවෝ නම් එලෙසය. අහුවෙන මොහොතේ පැන යන්නෝය. දෙමව්පියන් වශයෙන් ඕනෑ මොහොතක ඕනෑ ම දෙයක් කල හැකි දරුවෝ ගැන හිත හදාගෙන සිටිය යුතු බව එම වීඩියෝ ව දුටු කෙනෙකු වටහා ගනු ඇත. 

ඒ පලා යන මොහොතේ මේ කිසිත් නොදැන සිටි සංගීත කාරයින් සංගීතය වයමින් සිට ඇති අතර එය විරූ විසින් සියතින්ම නවතා දැමීමෙන් පසුව එම උත්සවය සෝචනීය ලෙස අවසන් වී තිබේ. 



මේ හා සම්බන්ධ වීඩියෝ කොටස මේ දැන් මා විසින් සොයා ගන්නා ලද අතර එය මෙතැනට අමුණා ඇත.

Thursday, May 17, 2012

121. I Just Want To Say Thank You ....



 ජීවිතේ ගැන මට මතක ඇති කාලෙක ඉඳල තිබ්බෙ අමුතුම කල්පනාවල් එහෙම නැත්නම් අදහස්.....කිසිම බරක් පතලක් නැතුව කිසිම අරමුණක් නැතුව නිදැල්ලේ ජීවිතේ ගෙවන්න පුළුවන් උනොත් මගෙ ඉහටත් උඩින් කියලයි මම හිතුවෙ. මේ......නිකම් ඔහේ නිදැල්ලෙ පාවෙනව වගේ....

පොඩි කාලෙ අපි හැමෝගෙන්ම සිය දහස් වාරයක් ඇසෙන ප්රශ්නයක් තමයි පුතා නැත්නම් දුව, ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල......මම කිසි දවසක ඔය ප්රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑ කියල මට හොඳටම මතකයි. ඒ වෙන දෙයක් හින්ද නෙවෙයි...ඒ වගෙ බොරුවට හරි හිතාගන්න මම මෙහෙම වෙනවයි කියල, ඒ කාලෙ ඉඳලම මගෙ කිසිම අදහසක් තිබ්බෙ නෑ...

ටිකින් ටික වැඩි වියට පැමිණෙද්දි උනත් ජීවිතේ ගැන මගෙ නෑ කිසිම අරමුණක්...ඉස්කෝලෙ ගියා, විභාග වලට ලිව්ව..පාස් උනා. ඒ වගේම ෆේලුත් උනා...චිත්රපට බැලුව, නාට්ය බැලුව, පොත් කියෙව්ව...පෙම් සබඳකම් ඇති උනා...ඒ වගේම නැති උනා. රස්සාවක් කලා...ඒත් ඔය එහෙකදිවත් මගෙ තිබ්බෙ නෑ ජීවිතේ මේ වගෙ වෙන්න ඕන නැත්නම් හෙට , අනිද්ද, ලබන මාසෙ, ලබන අවුරුද්දෙ, මම මෙන්න මේ තත්වෙට එනව, මෙන්න මේ ඉලක්ක ජයගන්නව, කියල අරමුණක් එහෙම නැත්නම් අධිෂ්ඨානයක් වගේ එකක්.


අපෙ අම්මල තාත්තල බොහොම මධ්යම පාංතිකයො. අඩුවක් පාඩුවක් අපිට නොකෙරුවට, සල්ලි කාරයො නම් නෙවෙයි.ඉස්කෝලෙන් අස් වෙලා ඊටපස්සෙ කරපු කාර්මික විද්යාල පාඨමාලාව ඉවරවෙන්නත් ඉස්සර මට පූරුවෙ වාසනාවකට වගේ රැකියාවක් ලැබුණ.


මගෙ ජීවිතේ හැබැයි එකක් තියනව. කවදාවත් මගෙ ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ වගේම තිබුණු බොහොම සුළු බලාපොරොත්තු කඩ උනෙත් නෑ කිසිම දවසක.


ඉතිං ඔය රස්සාව කරගෙන ඉන්දැද්දිත් මට ඒ හැටි ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ...අමතර ඔය මොනවහරි කොන්ත්රාත් එකක් කරල සල්ලි කීයක් හරි හම්බ කරගන්න, කසාදයක් කර ගන්ට, කැලෙන් එළියට ගෙවල් කිට්ටුවට ට්රාන්ස්ෆර් එකක් ගන්න...පඩි හම්බුනාම රත්තරන් බඩු ගන්ට ....ඔව්වයෙ මොනම දේකවත් මට උවමනාවක් තිබුනෙ නෑ..ඔය මම කලින් කියපු කාරණා තමයි මා එක්ක එකට වැඩ කරපු මයෙ යාළුවන්ට තිබුණු බලාපොරොත්තු, අපේක්ෂා, ජීවිතේ අරමුණු...


හවහට අරක්කු පොඩ්ඩක් දාගෙන මිදුලෙ පුටුවක් තියාගෙන හඳ තියෙන දාක නම් ඒ දිහා බලාගෙන ඉන්ට, හඳ නැතිදාකනම් කණාමැදිරි අපෙ ක්වාටස් එක වටේ තිබ්බ වීර ගස් වල අතු අස්සෙ කැරකි කැරකි නටනව බලන්ට, ඒ මොකවත්ම නැත්නම් හිත ගත යාන්තමට මත් වෙලා පුළුන් රොදක් වගෙ පාවෙන්ට තනන අතරෙ සුනේත්රගෙ පොතක් කියවන්ට...සයිමන් එක්ක මහ කැලේ විලක් අසබඩ භාවනා කරන තාපසයෙක් හම්බ වෙන්ට යන්ට....එහෙමත් නැත්නම් ජයසේන ජයකොඩි එක්ක රාහුල හාමුදුරුවො තුවක්කුවකුත් අරන් වෙඩි තියන්ට එන මනුස්සය ඉස්සරහ කිසි බයක් සැකක් නැතුව භාවනානුයෝගීව ඉන්නව බලන්ට යන්ට තිබ්බ නම් මට ඒ ඉහටත් උඩිං.


ඒ වගේම ඔය හිතට එන හිත ඇතුලෙ පැහැවන අදහස් අකුරු වලට හරවන්ට...කඩදහියකට පේළි පේලි අමුණන්ට ..අන්තිමට මාතෘකාවකුත් දාල යටින් පොඩි අත්සනකුත් ගහල දිනෙත් දාල මයෙ ලඟ තිබ්බ පයිල් එකේ දාල තියන්ට...හිතුනාම ඇදල අරගෙන කොණක ඉඳල කියවන්ට..... ඔය තමයි මගේ ලෝකෙ.....ඔයිට එහා දෙයක් මට ඕන උනේ නෑ...


අහ්..පොඩ්ඩෙන්නං අමතක වෙනව...අමරදේව මාස්ටර්ගෙ, සුනිල්ගෙ, එඩ්වඩ්ගෙ, වික්ටර්ගෙ, මර්වින්ගෙ, සනත්ගෙ සිංදුවක් දෙකක් හෙමිහිට මුමුණන්ට...


පඩි දීල ඊලඟ සති අන්තය... යාළුවො ඔක්කොම හෙට ගම් රටවල් බලායන්ට ලෑස්තිවෙනව.


'' මම දවස් තුනක් නිවාඩු දැම්ම...මචං මම අර කිව්වෙ අපෙ අම්මල මනමාලියක් හොයල...කුරුණෑගල හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්....ලස්සනයි කෙල්ලත්..වැඩේ සෙට් උනොත් මේ අවුරුද්දෙම බඳිනව...''


මූණෙ හිනාකටක් පුරෝගෙන එහෙම කියපු එකා මටත් වඩා අවුරුදු හතරක්ද කොහෙද බාලයි...


'' මම සඳුද යන්ට ඕන බෑන්ක් එකට...ඉඩං කෑල්ලක් තියෙනව අපෙ ගෙවල් ළඟම..පාර අයිනෙම..ෂෝක් තැන. හරි හතරැස්...තැනිතලාව...ලෝන් එක පාස් උනගමං ඒක අරංදාන්න ඕන...''


ඒ තව එකෙක්.ඌටනං මගෙ වයස...


'' හරි, හරි, බං මනමාලියො බලන්ට යන්නෙ... ලෝන් ගන්ට යන්නෙ... ගෙදර ගිහිල්ල නෙව. දැං මේක බීහල්ල....තව බෝතලේකුත් තියනව..''


'' ඇති බං හෙට උදේට යන්ටත් එපාය...''


මම තව එකක් වක්කරගෙන ගහල දැම්ම...


'' අඩේ මචං, උඹ මොනවද බං කරන්න හිතාගෙන ඉන්නෙ?...බලපං කෙල්ලෙක් හොයාගන්න, කසාදයක් කරගන්න උනන්දුවකුත් නෑ. සල්ලි ටිකක් ඉතුරුකරගන්න., එහෙම කල්පනාවකුත් නෑ....අනේ මම දන්නෙ නෑ උඹ මොන නැකතකින් උපං එකෙක්ද කියල....''


ඒ අර මනමාලියෙක් බලන්ට යන්ට හදන එකා...මම ඌ දිහා බලල හීනියට හිනාවෙලා වඩේ කෑල්ලක් අතට ගත්ත.


'' හිනාවෙන්ට එපා බං, ඔහොම පිස්සු කෙලල බැන්ද දවසක උඹට තේරෙයි...ඔහොම එළොවටත් නැති මෙළොවටත් නැති කිසිම දේකට උනන්දුවක් නැතිව ඉන්න කොට ගෑණු කැමති නෑ බං ''


ඌ එක්ක කතාවට යන එකේ තේරුමක් නෑ...මොනව උනත් එවුං ඔය කියන්නෙ මයෙම හොඳටනෙ. අඩු ගාණෙ එහෙම හිතාගෙනවත්නෙ ඔය කියන්නෙ. ඔය කියන දෙයක් හිනාවෙල අහගෙන හිටියම ඉවරයි...


පහුවෙනිද මම ඇහැරිනකොට නමයත් පහුවෙල.....චමරියෙ මම විතරයි...අනික් ඔක්කොම උදේම ගමේ ගිහිල්ල.ඇලට ගිහිල්ල නාකියාගෙන උදේට කැකුළු බත් ඩිංගක් කෑව පොල් සම්බෝලෙකුත් එක්ක.වැඩි වැඩකුත් නැති නිසා එහෙම්මම ඇඳේ දිගාවෙල පොඩ්ඩක් හිටිය. ඒත් මතක් වෙන්නෙම ඊයෙ අරුං කියාපු කතා....ඇත්තටම එහෙම වෙයිද?....


ජීවිතේ විවාහය කියන්නෙ බොහොම වැදගත් සන්ධිස්ථානයක්....විවාහය කියන්නෙ ඇත්තටම සූදුවක් කියල කොහෙද පොතක කියවපු කතාවකුත් මගෙ හිතට ආව...ඒ කියන්නෙ තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය ලැබුණොත් හරි. එහෙම නොවුනොත් වෙන්නෙ ජීවිතේ විඳින්න නෙවෙයි විඳවන්න...



ක්ෂණික ඡේදනය - ඉදිරි දර්ශනයකට,


කාලය - වසර විසි තුනක් අනාගතයට,


ඇය නාන කාමරයෙහි කිස නිමවා පැමිණෙන තෙක් මම සයනයෙහි දිගාවී සිටිමි. දිගහැරගත් පොතක් අතෙහි වුවද මම ඒ නොකියවමි.වසර විසිතුනක අතීතයෙහි සැරිසරන්නෙමි.


'' මොනවද කල්පනා කරන්නෙ? ''


ඇගේ හඬින් මම පියවි ලොවට පිවිසුනෙමි.


'' මොකවත් නෑ අනේ.....''


'' නැතිවෙන්න නම් බෑ....මූණෙන් කියන්න පුළුවන් මොකක් හරි බරපතල දෙයක් ගැන කල්පනා කර කර හිටියෙ කියල...''


'' ඔව් ඇත්ත...විවාහය කියන්නෙ සූදුවක් කියල ඔයා අහල තියනවද? ''


'' ඔව්, ඒ විතරක් නෙවෙයි විවාහය කියන්නෙ ජීවිතය පරදුවට තියල කරන සූදුවක් කියලයි මම අහල තියෙන්නෙ...''


ඇය මහ හඬින් සිනාසුණාය.


'' ඇයි ඔයා හිනාවෙන්නෙ? ''


'' හිනා වෙන්නෙද ? හිනා වෙන්නෙ මම ඒ සූදුවෙන් දිනපු නිසා... ''


'' මමත් .....හෙහ්, හෙහ්, ''


අපමණ සෙනෙහසකින් ඇය වැළඳ ගනිමින් මම පැවසුවෙමි.



***********************************

අප විවාහ දිවියට අදට සතළොස් වසකි. මේ ඒ වෙනුවෙන් ඇයට පිදෙන මගේ උපහාරයයි.



Thanks my dear, for putting up with me for such a long time, thanks for accepting me for what I am... I know it was not easy for you...but I also know that you enjoyed it too...and what's more be assured that you are the best that happened to me in my entire life...thank you once again...

Wednesday, May 16, 2012

120. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....14




දෙනෙත් විවර කල දඩයක්කාරයා මොහොතක් යලිත් තදින් දෙනෙත් පියාගත්වනම ගතකලේ, අවට පරිසරය වසා ගනිමින් හාත්පසින්ම පොළව කරා පතිතවන අඳුරට නෙත් හුරුවනු පිණිසය.


ඔහු මසැසට ගෝචර නොවූ නමුදු ඔහු වසාගෙන හාත්පස පැතිරි රූස්ස වනස්පතිය අතු පතර සැඟව හුන් බකමුහුණකු අවදිව හාත්පස තම විසල් අක්ෂි යුගලය භ්රමණය කරවමින් තම නිශා සංචාරය සඳහා සූදානම් වන අයුරු දඩයක්කාරයාගේ මනැසේ සිතුවම් විය. සිතුවිල්ලක් යයි ඉතා නාම මාත්රිකව වුව හැඳින්විය හැකි යමෙක් බකමුහුණාගේ සිත තුල පහළ වන්නේ නම්, එසේම යම් පරිශ්රමයක් දැරුවහොත් ඒ වටහාගැන්මටද තමන් සමත් බව දඩයක්කාරයා දැන සිටියද ඔහු සාතිශය නිශ්ඵල එවන් කාර්රකයක් උදෙසා කිසිදු උත්සාහයක් නොදැරුවේය.


මනුෂ්යයින්ගේ මතු නොව තිරශ්චීන සත්වයින්ගේ පවා සිතුවිලි හඳුනා ගැන්මට ඔහු උගත්තේ ඔහුගේ දයාබර පියාණන්ගෙනි.දඩයක්කාරයාගේ මෑණියන් මියගිය දින පිළිබඳ මවිසින් විස්තර කලා ඔබගේ මතකයට මේ අවස්ථාවේ කැඳවීමට මට අවසර, මා දයාබර සොයුරනි, සොයුරියනි.


මෑණියන්ගේ දේහය ඔසවාගෙන පියා සහ පුත්රයා පිවිසි ශ්වේත වර්ණ ගල් කුළු වටයකින් මායිම්වූ වෘත්තාකාර සමතල භූමි භාගය ද එලෙසම ඔබගේ මතකයට යළිදු කැඳවමි.එහිදී සිත එකඟ කොට දැහැනක් වැන්නකට සමවන් මහ දඩයක්කාරයා පුත්රයයා ද කැටුව මියගිය බිරිඳ/භාර්යාවගේ ආත්ම භාවය සියළු ආත්මයන්ගේ සදාකාලික අවසාන ඉසිඹුපොල වූ ආලෝකයෙන් නිරතුරු සපිරි ගූඪ වූ ස්ථානයකට හැරලීමට ඇය හා සමඟ ගිය විශ්මයජනක ගමන ද ඔබට මතකයේ රැඳී ඇතැයි එලෙසම උපකල්පනය කරමි.


ඇය හැරලවූයේ කුමන ස්ථානයකටද යන්න මතු නොව තමා එහි ළඟාවූයේ කෙලෙසකද යන්න පවා මහ දඩයක්කාරයා නොදත්තේය.පරපුරේ ආදි මුතුන් මිත්තන්ගෙන් අනුයාතව එනම් පියාගෙන් පුතාට ආදී වශයෙන් මේ සිරිත රැකගෙන පැමිණියා විනා එහි කිසිදු අරුතක් මහ දඩයක්කාරයා මතු නොව ඔහුගේ පියා හෝ පියාගේ පියා ද නොදත්තේය.යම් දුරාතීතයේ දිනෙක මේ පිළිබඳව දනුම ඔවුන් සතුවූයේ නමුදු කාලයාගේ ඇවෑමෙන් ඒ දැනුම් ඔවුන් කෙරෙන් ගිලිහී ගොසිනි.


එහෙත් පූර්වජයින් පිළිබඳ ඔබ දන්නා හෙයින් ප්රිය සොයුර, සොයුරිය, එදින දඩයක්කාරයාගේ අපූර්ව චාරිකාව පිළිබඳව මෙසේ පවසන්නෙමි. යමෙකු මියගිය පසු මනෝ කාය ගමන් කරනා ඒ අපූර්ව ස්ථානය කාලය සහ අවකාශ වියමනෙහි එක් නැම්මක පිහිටියා විය නොහැකිද?...අහෝ සමාවුව මැන..පූර්වජයින් පිළිබඳ නැවත නොලියන බවට වූ ස්වසපථය මවිසින්ම උල්ලංඝනය වූයේ නොවේද?....:( :(


පෙරළා වෘත්තාකාර අපූර්ව භූමි භාගයට පැමිණි පියා සහ පුත්රියා යළිදු වරක් හිස නමා බිරිඳගේ/මෑණියන්ගේ දේහය තැන්පත්කල මිනීවලට ආචාර කල ඉක්බිති මහ වන මධ්යියේ රාත්රි යේ ඔවුන් පියනැඟි මඟ ඔස්සේ ආපසු ගෙපැලට පැමිණියෝය.


මධ්යාහ්නය පමණ වන විට ගෙපැලට පැමිණි ඔවුහු බලවත් කුසගින්නකින් පෙලුනේ වුවද සිතට මෙන්ම ගතටද දැනෙන්නාවූ දැඩි වෙහෙස නිසාම දොර පැලැල්ල අඩවල් හෝ නොකොටම නින්දට වැටුනහ.


සවස රත්පැහැ හිරු කඳුවැටියට මුවා වෙද්දී අවදිවූ දඩයක්කාරයා දෑස් හැර බලා පියා නිදිගත් ස්ථානයෙහි නොමැති බව දුටුවේ, සෙමෙන් මිදුලට බටුයේ දෑස් පිසදමමිනි.


මිදුල මධ්යයේවූ හාත්පස වසා පැතිර ගිය කොහොඹ වෘක්ෂය පාමුළ හිඳ සිටි පියාණන් රුව දසතින් ගලා හැලෙනා අඳුර මධ්යතයේ වුවද හඳුනා ගැන්මට ඔහුට කිසිදු අපහසුවක් නොවිනි.


එදින ඒ සන්ධ්යාවෙහිදී ගෙපැල ඉදිරිපස කොහොඹ ගස සෙවණෙහි හිඳ මහ දඩයක්කාරයා සිය එකම පුත්රඒයාහට සිය ප්රෞඉඪ වූ පරපුරෙහි අතීත කථාව පැවසීය.යටත් පිරිසෙයින් එම විශ්මිත පුරාවෘත්තයෙහි ඔහුට වැටහුණු පමණ නොවළහා පැවසීය. දඩයක්කාරයා ද තම පියාගේ මුවින් ගිළිහෙන වදන් මාලාවට සවන් දුන්නේ මොහොතින් මොහොත විශ්මයෙන් විශ්මයට පත්වන තම සිත පාලනය කරගැනීමෙහිලා බලවත් උත්සාහයක යෙදෙමිනි.


පරපුරේ පුරා වෘත්තය පූර්ණ වශයෙන් පැවසීමෙහිලා හෝරා දෙකකට ආසන්න කාළයක් ගත වූයේ මහ දඩයක්කාරයා ඒ පැවසූයේ අනවතරව නොවන බැවිනි.එක දිගටම කථාව පවසන ඔහු එක් වනම නිහඬව සිව් දෙසින් ගුලි ගැසෙන අඳුර දෙස මඳක් බලා හිඳ නැවත සෙමෙන් දෑස් පියා ගනියි. ඔහු දෑස් විවර කරන තෙක් නොඉවසිල්ලේ බලා සිටිනා දඩයක්කාරයා ද අවසන පියාණන් පවසන මේ අපූර්ව වෘත්තාන්තයෙහි අතරමං වෙයි.නැවත නැවැත්වූ ස්ථානයෙහි පටන් මහ දඩයක්කාරයා වෘත්තාන්තය අරඹනුයේ බොහෝවිට දෑස් විවෘත නොකොටමය. වෘතාන්තයෙහි අවසාන භාගයට දඩයක්කාරයා සවන් දුන්නේ ඔහු ද දෙනෙත් පියාගත් වනමය.


ක්රමයෙන් ඝන වූ අඳුර දුරු කිරීමට සඳ පහන ද තවමත් පායා නොමැති බැවින් අහස පුරා දිළිසෙනා තාරකාවෝ ඒ උදෙසා දුබල උත්සාහයක් දැරුවෝය. කොහොඹ ගස සෙවණට ඒ දුබල තරු එළිය පවා පතිත නොවුනු කල ආලෝකයක් වූයේ ඒ මේ අත පියා සලන දුබල කණමැදිරි එළිය පමණකි.


'' ඔන්න ඕක තමයි පුතා කතාව, ඒ අපේ ආදිතම මුතුන් මිත්ත රාවණ රජ්ජුරුවන්ගෙ පරපුරෙන් කෙලින්ම පැවතගෙන එන අය තමයි අපි.සුද්දන්ට විරුද්දව මොණරවිල නිළමෙ තුමාගෙ කැරැල්ලට එකතු උන නිසා සුද්දො අපෙ ගම් බිම් ඔක්කොම ගිණි තිබ්බ.අන්තිමට පණ රැකගන්ට අපිට මේ වෙල්ලස්සෙ මහ කැළේට එන්ට සිද්ද උනා. ඒ ඇවිල්ලත් ගත කරන්ට සිද්ද උනේ අහිකුන්ටිකයො වගෙ නන්නත්තාර ජීවිතයක්. "


දෑස් අඩවන් කොටගත් වනම හිඳ මහ දඩයක්කාරයා එවදන් පැවසුයේ රහසක් පවසන අයුරින් හඬ බාලකොට එමෙන්ම වදනින් වදන ප්ර්වේශමෙන් උසුරුවමිනි.


තවත් දිගු නිහැඬියාවකට පසු, කොහොඹ ගසේ අතුපතර හිඳ වවුලන් නඟන තියුණු හඬින් පමණක් නිහඬත්වය බිඳීගිය කාල සීමාවකට පසු දඩයක්කාරයා පළමු වරට කථා කලේය.


'' අප්පච්චි....... ''


ඒ ආමන්ත්රණයෙන් පසු එක් වරම මුව ගොළුවීගිය පරිදි ඔහු නිහඬ විය. දඩයක්කාරයා සිය පියාණන් හට අප්පච්චි යයි මෙසේ ඇමතූයේ ජීවිතයේ පළමු වරටය. ඒ මතුද නොව ඔහු මේ පියාණන් අමතා වචනයක් පැවසූයේද මතක ඇති කලකට පසුය.'' අප්පච්චි...'' ..... ඒ වදනෙහි රැඳි නිසැක වැදගත් කම මෙන්ම ඔහු ඒ වදන පැවසූ හෘදයාංගම විලාශය ද මහ දඩයක්කාරයාගේ දෑස තෙත් කලේය.


කඳුළු පිරී බොඳවුනු දෑස තදින් පියාගත්වනම සිටි මහ දඩයක්කාරයා ඉනික්බිති සුරත දිගු කොට පුත්රයාගේ හිස සෙමෙන් පිරිමැදීය.තම හිස මතවූ පියාගේ සුරත තම සුරතින් දැඩිව ග්රහණය කොටගත් දඩයක්කාරයා ද කෙමෙන් තෙත්වන දෑස තදින් පියාගත්තේය.


'' පුතා.... මොකක් හරි අහන්න ද ලෑස්ති උනේ? ''


අසල වන බූටෑවේ කිසියම් සතකු නැඟූ හඬින් දැහැන් බිඳුනු මහ දඩයක්කාරයා එසේ ඇසූයේ කොහොඹ ගසට පිටදී වාරු වෙමිනි.


'' මම අහන්න හැදුවෙ අප්පච්චි කණගාටු වෙනවද කියල මේ වෙච්ච දේවල් ගැන ''


''පුතා අහන්නෙ අම්ම නැති වෙච්ච එක ගැනනම් ඔව් ඇත්තටම කණගාටුයි, ඒත් මම දන්නව මේ දේ මෙහෙම සිද්ධ වෙනව කියල.මට දැනුන මෙහෙම දෙයක් වෙනව බොහොම ලඟකදි කියල. ඒත් හරියටම කවදද කියන එක මම දැනගෙන හිටියෙ නෑ. අදම මම පුතාට මේ ඔක්කොම කියල මගේ හැකියාවන්..... මගේ ශාස්ත්රය කියල දෙන්න තීරණය කලේ මගේ අවසානය කවදද කියල මටම හිතාගන්න බැරි නිසයි.එක කාලෙක අපේ පරපුරට ඒ ශක්තිය තිබුන. අතීතය ඒ වගේම අනාගතයට යන්න පුළුවන් තරම් ශක්තියක් තිබුන. ඒත් ඒ ඔක්කොම අපෙන් දුරස් වෙලා ගියා.''


'' මම කිව්වෙ සුද්දට විරුද්ධව කැරලි ගහල අපිට මේ මහ කැලේට එන්ට සිද්ධ උනාය කියල. කැලේ එකතැනක පදිංචිවෙල ගොයිතැන් බතක් කරගෙන ඉන්ට අපිට අයිරුවක් තිබ්බෙ නෑ, කොයි වෙලේ සුද්දො කඩාපනියිද කියල දන්නෙ නැති නිසා. ඒ නිසා පණ රැක ගන්ට තිබ්බ එකම විදිහ තමයි සතෙක් මරාගන්න එක. ඒත් ප්රාකණ ඝාතය කියන එක අපෙ සාස්තරේ එක්ක කොහොමවත්ම යන්නෙ නෑ.ඒ නිසා උනේ ටිකෙන් ටික අපේ සාස්තරේ බලය නැතිවෙලා ගිය එක. ''


'' අනික් කාරණේ අපිට තිබුණු තවත් හැකියාවක් තමයි අනුන්ගෙ හිත් කියවීමේ ශක්තිය. ඒ වගේම සත්තු හිතන්නෙ මොනවද සත්තුන්ගෙ හැඟීම් මොනවද කියලත් අපිට දැනෙනව. ඉතින් ලොකුම අපහසුතාවය උනේ එහෙම සතුන්ගෙ හැඟීම් අපිට දැනෙද්දි සත්තු මරණ එක. ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. පණ රැකගන්න නම් ඒ අප්රමසන්න දේ කරන්නම උනා. ''


'' හැම සතෙකුටම පොදු දෙයක් පරාණ බය කියන්නෙ. ඒ නිසා සතෙක් මරන්ට කලින් ඒ සතාගෙ හිත එක්ක ඒකාත්මික වෙලා තමයි අපි ඒ වැඩේ කරන්නෙ. ඒ කියන්නෙ කොටින්ම ඒ සතා මරණ වෙලාවෙ ඒ වේදනාව අපිටත් දැනෙනව. ඒ වේදනාවෙන් කොටසක් අපිත් ගන්නව. ''


මතු සම්බන්ධයි........

Sunday, May 13, 2012

119. නීරීක්ෂකයාගේ නික්ම යාම.........



ඔබා...නැහ්....මොන පිස්සුද?...ඕකගෙ බොරු ඔය.....හෙහ්, හෙහ්, උඹලත් අහුවෙනවනෙ ඔබාගෙ ගැට වලට......


මුලිම්ම හිතුනෙ එහෙම...ඇත්තම කියනව නම් තවමත් හිතේ කොණක ඒ කල්පනාව නැත්තෙමත් නෑ.....


ජීවිතේ හැටි එහෙම තමයි......වීසා කැන්සල් උනාම යන්නම ඕන...වීසා කැන්සල් කරන්නෙ අපිට කියල නෙවෙයි. කැන්සල් උනාමයි අපි දන්නෙ දැං හිටිය ඇතිය කියල ඉහළ අධිකාරියෙන් තීරණය කරල තියනව ඒ නිසා වෙන කොරන්න දෙයක් නෑ යන්නම වෙනවයි කියල.


අපි හැමෝටම එහෙම තමයි. අපි ඔක්කොම මෙහෙ ඇවිල්ල ඉන්නෙ තාවකාලික වීසා ඇතුව. බොහෝමත්ම තාවකාලික වීසා ඇතුව....කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ක්ෂණයකින් ඒක පාර්ශ්විකව අවලංගු කල හැකි වීසා ඇතුව.


Now cracks a noble heart.
Good night sweet prince:
And flights of angels sing thee to thy rest!
— Horatio, Hamlet


උදාර හදකිය නිසල වූයේ,
සුබ රැයක් දයාබර වූ කුමරුනි,
දෙවඟනන් කැල ගයන ගී සර,
අසමින් නිදනු මැනව සදා ඔබ,

Friday, May 4, 2012

118. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....13

දඩයක්කාරයගෙ කතාවට මගෙ හිතේ තියන ආරළු බූරළු ඔක්කොම දාන්ට ගිහිල්ල වැඩේ අර කාගෙද කැඳ හැලිය වගෙ වෙලයි තියෙන්නෙ...:( :(

 දැන් මොකෝ කොරන්නෙ? වෙන මක්ක කොරන්නෙයි....බැඳ ගත්තු බෙරේ ගහනව මිසක....ඒ නිසා ළමයි, මට සමාවෙලා ඔය උන්න වගෙ තව දවස් කීපයක් ඉවසන්ට ....හොඳේ....විගහට ඉවර කරඤ්ඤංකො.... මේ කතාව අහවරයක් කොරන්ට බැරිවෙන්ට පහුගිය සුමාන දෙකේ වගෙ නොසෑහෙන්ට වැඩ කටයුතු වැඩි වෙච්ච එකත් එක හේතුවක්....

 ****************************************

හරි දැන් ඔන්න කතාව.....

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා කල නීරීක්ෂණ, ඒ ආශ්රයෙන් එළඹි නිගමනයන්, එසේම ගත යුතු ඉදිරි ක්රියා මාර්ග පිළිබඳව සිය නිර්දේශයන් ඇතුලත් සවිස්තර වාර්තාවක් උත්තරීතර මහ සභාව වෙත යැවූ නිල් ග්රහ ලොවෙහි ගවේෂණයෙහි යෙදෙන පූර්වජ කණ්ඩායම උත්තරීතර මහ සභාවෙහි ප්රතිචාරය බලාපොරොත්තුවෙන් ඉවසිලිමත්ම කල් ගත කලෝය.

අන්තිමට ඔන්න ආව පිළිතුරු පණිවිඩේ..1963 අංක දරණ ග්රහලෝකෙ ප්රමුඛ ජීවීන් නොනැසී පවත්වා ගැනීමට අවශ්ය කටයුතු අවම මට්ටමින් කරන්නට 1114 දරණ අභ්යාවකාශ යානයේ ගවේෂක කණ්ඩායමට අවසර දීල තිබුණ.

ඉතින් පූර්වජ ගවේෂක කණ්ඩායම මූලික පර්යේෂණ මධ්යස්ථානය පිහිටුවා ගත්තෙ අර එයාලගෙ දත්ත රැස්කිරීම් අනුව මොළයේ ප්රමාණය වැඩිම අර්ධ මනුෂ්යයින් කණ්ඩායම ජීවත් වෙච්චි සමකයට ආසන්න දූපතේ.

පූර්වජයො කලේ ඒ අර්ධ මානවයින් කණ්ඩායමේ මොලයෙ ඉතාම සුළු වෙනස් කමක් කරපු එක. මෙතෙක් අනේ සෑම සත්වයෙක් වගේ ජීවිතය රැකගැනීම සහ වර්ගයා බෝ කිරීම පමණක් ජීවිතේ පරමාර්ථ වුනු අඩ මිනිසා පූර්ණ මිනිසෙක් බවට පරිණාමය වීම ඇරඹුනේ ඉන් පසුවයි. හෙට ගැන, අනිද්දා ගැන, තව මාසයක් ඉදිරිය ගැන හිතන්න ඒ වගේම තම කණ්ඩායමේ අනෙකුත් සඟයින් සමඟ අද්වීතීය සබඳතා ඇතිකර ගැනීම යන සවිඥාණත්වයේ සහ දියුණුවේ ඉතා වැදගත් ලක්ෂණ මානවයා තුල පිළිබිඹු වීම ඇරඹුනෙත් මේ කාලෙමයි.

ඉතිං ඔහොම බොහොම කාලයක් ගත උනා. තමන් කරපු පර්යේෂණයෙ ප්රතිඵල ගැන අධ්යයනය කරමින් අනපේක්ෂිතව සිදුවූ දෝෂ නැවත නිවැරදි කරමින් පූර්වජයින් කාලාන්තරයක් අපේ මේ ලෝකෙ හිටිය.

දෙවියො කියන සංකල්පය මුලින්ම බිහිඋනේ කොහොමෙයි කියලද ඔයාල හිතන්නෙ?...අර්ධ වානර අර්ධ මිනිස් තත්වෙ ඉඳල එක් වරම සවිඥාණත්වය ලබා ගත්තම මිනිසාට නිසැකයෙන්ම වැටහුනා තමන්ට මේ තත්වය ලබා දුන්නෙ තමන්ගේම ස්වරූපයෙන් යුතු උනත් වඩා පැහැපත් අමුතු ඇඳුම් ආයිත්තම් වලින් සැරසුනු අද්භූත බලයකින් යුතු මේ ජීවීන් කොට්ඨාශය කියල...ඔවුන් හැඳින්වීමට සර්වබලධාරී දෙවියන් යන්නට වඩා සුදුසු වෙන කුමක්ද?

දෙවියන්ගේ ( පූර්වජයින් අපි මින්පසු දෙවියන් ලෙස හඳුන්වමු ) මූලස්ථානය පිහිටි කුඩා දිවයිනට මෙන්ම එහි වසන මනුෂ්ය කොට්ඨාශයට ඔවුහු දැඩි කැමැත්තක් දැක්වූහ.

දෙවියන්ගේ මඟ පෙන්වීම යටතේ සීග්ර දියුණුවක් ලැබ සියලු ශිල්ප කලාවන්හි අගතැන් පත් එම දිවයින් වැසියෝ එකල මුළු ලොව සතර දෙසම සිය අණසක විහිදුවා ලූහ. ලොව වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන වාරි තාක්ෂණයක් එමෙන්ම ඉතා උස් චෛත්යයන් වන් ගොඩ නැඟිලි ඉඳි කිරීමේ තාක්ෂණය එක්වර ස්වයංක්රීයව පහල වූවායයි ඔබ සිතන්නෙහිද?

එසේම මිසරයෙහි මහා පිරමීඩ, මායා, ඉන්කා ශිෂ්ඨාචාරයන්හි ඉතා උස් ගොඩනැඟිලි ඉදිකල තාක්ෂණය එක වරම අතුරුදන්ව ගියේ කෙසේදැයි ඔබ කෙදිනක හෝ කල්පනා කලෙහිද? මහ සාගරයේ ගිලී ගිය ඉතාම දියුණු ශිෂ්ඨාචාරයකින් හෙබි අත්ලාන්තිස් දිවයින එක්වරම විනාශ වී ගියේ මන්ද?..රාම රාවණ යුද්ධය පිළිබඳ ඔබ අසා ඇතිවාට මට සැකයක් නැත. එහිදී භාවිත වූයේ යයි සඳහන් ආයුධ සහ ඒවායින් සිදුවූ විනාශය පිළිබඳ කියවීමේදී නූතන න්යාෂ්ඨික යුද්ධයක වාර්තාවක් මෙසේ වියයුතුයැයි නොසිතෙන්නේද?

දෙවියන්ගෙන් උපකාර ලැබ සමෘද්ධිමත් වූ නමුදු මානව වර්ගයාට නිසර්ගයෙන්ම උරුම වූ අධිකාරිත්වයට අභියෝග කිරීමේ පෙළඹවීම මැඩගත නොහුණු නිසාම ඔවුහු දෙවියන්ට ද එරෙහි වූහ. එම ක්රියාවන්හි යුක්ති යුක්ත භාවය පසෙක තිබියේවා තම වසර මිලියන ගනනක් පවත්වාගෙන එන පරීක්ෂනය අත්හැර දැමීමට මැලිවූ දෙවියෝ තම අධිකාරියට අභියෝග කලවුන් නිර්දය ලෙස මර්දනය කලෝය.

බයිබලයෙහි සඳහන් මහා ජල ගැල්ම, අත්ලාන්තිස් දිවයින අනපේක්ෂිතව සයුරෙහි ගිලීයාම ඒ මර්දනයන්හි නිදර්ශනයෝය. දෙවියන්ගේ කෝපයට ලක්වූ මිනිස් වර්ගයා නොගිණිය හැකි පමණ සංඛ්යාවෙක් වරින් වර දෙවියන් අතින්ම විනාශයට පත්වූහ.ඔවුහු වගාබිමෙක අනර්ථකාරී වූ පිළිලයන් නිර්දය ලෙස විනාශ කරනා ගොවීන් ලෙස සැලකුවහොත් ඒ සත්යයට වඩාත් ආසන්න වනු ඇත.

රාවණ යනු ඔවුන් තම මූලස්ථානය පිහිටුවාගත් දිවයිනෙහි පසු කාලීනව බොහෝසේ සමෘද්ධිමත්ව නැඟී ආ මිනිසුන් කොටසෙහි අසහාය නායකයා විය.දෙවියන්ගේ ආධිපත්යයට විරුද්ධව අභියෝග කල ඔහු කිහිප වරක් දෙවියන් පැරද විය. එහෙත් අවසන විය යුතු ලෙසම දෙවියන්ගේ අසීමිත බල පරාක්රමය ඉදිරියේ ඔහු පරාජය විය.

රාවණ මහා දැනුමැති බුද්ධිමතකු මෙන්ම චිත්ත ශක්තිය ඉතා ඉහළ මට්ටමකට දියුණු කොටගත් සෘෂි වරෙයෙක් ද වීය.බහුලව චිත්ත ශක්තිය යොදා ගැනෙනා අංගම් සටන් කලාව ඔහුගේ නිර්මාණයකි.අංගම් කලාවෙහි පරතෙරට සැපත් වූවෙකු හට අතීත අනාගත සහ වර්තමානය යන කාලත්රය අතැඹුලකි.

අවසන් තුරුම්පුව ලෙස සීමිත න්යාෂ්ඨික අවි යොදා කල ප්රහාරයකින් රාවණ පරාජය වූ අතර රාවණ පුරයේ වැසියෝ බහුතරයක් මිය ගියහ. දිවි රැකගත්තෝ වනගත වූවාහු බොහෝ අසීරුවෙන් කල් ගෙවූහ. එහෙත් තම පාරම්පරික ශිල්ප ශාස්ත්ර කිසිසේත් අමතක නොකලාහු දිවි දෙවෙනි කොට ඒ රැකගත්තෝය.

පසුකාලීනව ඉන්දියාව ප්‍රමුඛ වෙනත් ආසන්න රටවලින් මේ දිවයිනේ සශ්රීකත්වය කණ වැකී මෙහි සැපත්වූ වෙනත් නොයෙක් ජන කොටස් හා සමඟ ඔවුහු සාමයෙන් කල්ගෙවූ නමුදු තම ශ්රේෂ්ඨ එමෙන්ම ප්රෞඩ වූ අතීතය කිසිසේත් අමතක නොකලාහුය. එලෙසම අංගම් සටන් කලාව පරපුරෙන් පරපුරට භක්තිමත්ව රැකගෙන පැමිණියෝය.

දහනවවන සියවසෙහි දිවයින ඉංගිරිසින්ට යටත් වීමත් සමඟ ඔවුනට බොහෝසෙයින් අසීරු කාලයක් උදාවිය.තම ආධිපත්යයට විරුද්ධව නැඟී සිටීම් වැළැක්වීමට ඉංග්රීසීන් කලේ පාරම්පරික සටන් කලාවන් සපුරා තහනම් කිරීමයි. සටන් කලාවන්හි යෙදීම මරණීය දණ්ඩන ලැබිය හැකි වරදක් බවට පත්විය.

ඉංග්රීසීන්ගේ මේ බිය සහේතුක බව ස්ථිර වූයේ 1818 කැරැල්ලෙහිදීය. ඉංග්රීසීන් පරාජය වීමට ඉතාම ආසන්න අවස්ථාවකට පත්වූ සිංහලයාගේ පලමු නැඟිටීමෙහිදී පාරම්පරික සටන් ක්රම පුළුල් ලෙස භාවිතයට ගැණිනි.කැරැල්ල පරාජය වූ පසු නැවත එවන් නැඟිටීමකට සියළු මං අහුරාලූ ඉංග්රීසීහු පාරම්පරික සටන් ශිල්පීන් විසූ ගම්මාන මුළුමනින්ම ගිනිබත් කලහ. සියළු පිරිමින් වයස් භේදයක් නොතකා ඝාතනය කරන ලඳී. පාරම්පරික සටන් කලාවෙහි කොපමණ පරිණත වුවද ඉංග්රීසීන්ගේ තුවක්කු හමුවෙහි පරාජය වූ සිංහලයන්ගෙන් අවසන දිවිරැකගත් අතළොස්සක් දෙනා වෙල්ලස්ස මහ වනය මධ්යයට පසුබැස වනචාරී දිවියකට හැඩගැසුණෝය.

එසේ සැඟවී වෙසෙමින් ද තම පාරම්පරික උරුමයන් නොනැසී පවත්වාගැනීමෙහිලා උත්සාහ දැරූවද වනය මධ්යයෙහි ඔවුනට ගෙවීමට සිදූවූ ජීවිතය ඒ කෙරෙහි මහත් බාධාවක්ම වීය.සුපුරුදු ගොවිතැනෙහි යෙදීම කිසිසේත්ම කල නොහැකි වූයේ එසේ ස්ථිර වාසස්ථානයක ඇතිව විසීම ජිවිතය අහිමිවීමට පවා හේතු විය හැකි වීමය.එබැවින් ඔවුනගේ දිවි රැක්මට කිසිදින නොකල සතුන් දඩයමට හැඩ ගැසිමට සිදුවූයේ දිවි රැකගැනීමට මිනිසුන් නොකරන දෙයක් නොමැතිබව නැවත ද පසක් කරවමිනි. මෙසේ විකල්පයක් නොමැතිවීම නිසාම ප්රාණ ඝාතයට යොමු වූවද එහි අනිවාර්ය ප්රතිඵලය වූයේ ඔවුන්ගේ විස්මිත හැකියාවන් එකින් එක ක්රමයෙන් ගිලිහීයාමය.එසේම සතතාභ්යාසයෙන් ( නිරතුරු පුහුණුව ) වැලකීම ද ශාස්ත්ර විනාශයයට තවත් හේතුවක් විය.

මෙසේ කාලාන්තරයක් ගත වූ කල්හි එක කලෙක දහස් සංඛ්යාත ගහණයකින් සමන්විත වූ ඒ ප්රෞඩ පරපුරෙහි අවසන් පුරුක වශයෙන් ඉතිරි වූයේ අප කථා නායක දඩයක්කාරයා පමණි.ඔබට දඩයක්කරයා පිළිබඳ මතක ඇතැයි මම සිතමි.මීට මාස දෙකකට පෙර මම මේ වෘතාන්තය ඇරඹුවේ හුදෙක් දඩයක්කාරයාගේ කතාව ඔබට පැවසීමටය.

දඩයක්කාරයා තවමත් රූස්ස වනස්පතිය සෙවණෙහි ඇණ තබාගත්වනම සිටියේය.

දිවා කල දැඩි රශ්මියෙන් මඳක් ඉසුඹුලනුවස් වනස්පතිය සෙවණට පැමිනි තලගොයින් යුවල ද අඳුරු වන බූටෑවෙහි සැඟව ගොස්ය.

 හිරු කෙමෙන් අස්තාංගගතව වනපෙතට අඳුර උදාවන මේ හෝරාවෙහි දඩයක්කාරයා එක්වනම දෑස් විවෘත කළේය.

 *******************************************

හරි, තවත් එකම කාරණයක් කියන්න ඕන...පූර්වජයන්ට නැත්නම් දෙවියන්ට මොකද උනේ?.....කාලාන්තරේකට ඉස්සර ඔවුන් පෘථිවිය අත ඇරල යන්න ගියා. එතකොට මිනිස් වර්ගයා යොදාගෙන ඔවුන් ආරම්භ කල පර්යේෂණය?..නැහැ, ඔවුන් ඒක අතඇරල දැම්මෙ නැහැ.

ඔවුන් යන්නට පෙර පර්යේෂණයේ ප්රතිඵල නොකඩවා සමාලෝචනය කරන්නට ඒ වගේම අවශ්ය තීරණ ගන්නට ඒ වගේම ඒවා ක්රියාත්මක කිරීමට සමත් ස්වයංක්රීය, ඉතාම ඉහළ මට්ටමේ කෘතිම බුද්ධියකින් යුතු යන්ත්රයකට පවරලයි ගියේ.

චන්ද්රයා...නැත්නම් සඳ.....ඒ ගැන ඔබ මොනවද හිතන්නෙ? කවියො කවි ලියල ඇති සඳ ගැන සිය දහස් ගණනක්, ඒ වගේම සඳ ගැන කතා, ගීත , කෙටිකථා ලියවිලත් ඇති නොගිණිය හැකි තරම්....මමත් ලියල තියනව කවි, සඳ ගැන....ඒ වගේම පුන් පෝදාට සඳ දිහා නෙතු යොමාගෙන අනිමිස ලෝචනයේ යෙදීම මගේ ප්රියතම කාර්යයක්....කුඩා කාලෙ ඉඳල අද දක්වාම.

ඒත් ඔය මතුපිටින් පෙනෙන සුන්දරත්වය, සිත් නිවන ස්වභාවයට යටින් තියෙන්නෙ මොකක් වෙන්න පුළුවන්ද කියල ඔයාල නිකමට වත් හිතුවද?....

සඳ කියන්නෙ ස්වාභාවික ලෝකයක්ම වෙන්න ඕනද? සඳ පූර්වජයින් නැත්නම් දෙවියන් විසින් තම පර්යේෂණය ( ඒ කියන්නෙ ඔබද මම ද ඇතුළුව මුළු මිනිස් සංහතියම ) පිළිබඳ කරුණු සහ දත්ත රැස් කිරීම සඳහාම නිර්මානය කල මෙවලමක් (Just a monitoring device ) වෙන්න බැරිද

සඳේ අපට නොපෙනෙන පැත්තෙ ( ඕකෙ එක පැත්තක් සදා කාලිකව පෘථිවියට පෙනෙන්නෙ නෑ ) මොනව තියනවද කියල අපි දන්නෙ කොහොමද? අනික සඳ ඝන වස්තුවක් නෙවෙයි කියල ඔයාල දන්නවද? සඳේ කුහරය ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල කවුද දන්නෙ?

රාවණ යුගය අවසන් වූයේ ක්රිුස්තු පූර්ව 2988 දි කියල හිතමු.පූර්වජයින්ගෙ පර්යේෂණ වල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔවුන් මනින කාල ප්රාන්තරය වසර 5000 ක්.

 එතකොට ඒ කාල සීමාව අවසානයෙ රැස්කරගත් දත්ත සියල්ල විශ්ලේෂණය කරල බලල, ඔවුන් ස්ථාපිත කරල ගිය Monitoring Device එක...අපි කියමු ඒකට ඉරණම් තීරක කියල ...ඒ ඉරණම් තීරක තීරනයක් ගන්නව මොකද කරන්නෙ කියල.

මෙතෙක් කාලයක් මිනිස් වර්ගයාගේ හැසිරීම, ආචාර ධර්මයන්ට ඒ වගේම ගුණ ධර්මයන්ට ඔවුන් කොතරම් දුරට ගරු කරනවද ඒ වගේම කොතරම් දුරකට ඒව පිළිපදිනවද කියන කරුණු මත තමයි මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය වෙන්නෙ.

විශ්වයේ සියළුම ජීවීන් සමත් වියයුතු කඩඉම් පරීක්ෂණයක් මේක. මිනිසා ඉන් සමත් වේද නැද්ද කියල බොහොම ඉක්මනටම බලාගන්න පුළුවන්....

Not only is the universe stranger than we imagine, it is stranger than we can imagine. - Sir Arthur Eddington English astronomer (1882 - 1944)

Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't. - Mark Twain

When you have eliminated the impossible, whatever remains, however improbable, must be the truth." - Sherlock Holmes

 මතු සම්බන්ධයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...