Saturday, September 21, 2019

639. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 1

මේ ගමන සී ලංකාවට ඇවිල්ල ඉස්සෙල්ලාම මුණ ගැහෙන්ට ගියේ නිදහස් සිතුවිලි වියුණුවේ මුල් හිමිකාරිය වන රන්දිකා නෝනා මහත්මිය, එම මහත්මයා සහ දරු තිදෙනාය. ඔවුන් සමඟ කොටහේනේ ඔවුන්ගේ නිවසෙහිදී දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී වුනෙමි. ඔවුන්ගේ සාලයේ කවුළුවෙන් දැකගත හැකිව තිබූ ශ්‍රී පාද සිද්ධස්ථානය දැක ගැනීමට නොහැකි වීම මහත් අභාග්‍යයක් විය. ඔවුන්ගේ නිවස්නය පිහිටි අටමහල් ගොඩ නැඟිල්ල ආසන්නයෙන් එවන් තවත් බහුමහල් ගොඩනැඟිල්ලක් ඉදිවීම එයට හේතුවයි.


රන්දිකා මහත්මියගේ බාල පුත්‍රයාගේ දිගට වැඩී තිබූ කොණ්ඩය ඊට පෙරදින ඉතා කොටවන පරිදි කපා දමා තිබිණි. මගේ තට්ටය දෙසඔහු බොහෝ උනන්දුවෙන් බොහෝවේලා ඇසිපිය නොහෙලා බලා සිටිනවා දුටු රන්දිකා මෙසේ පැවසීය. 

"මොකද මෙයා මේ හැටි බලන් ඉන්නෙ?...අඳුනනවද දන්නෙ නෑ...."

"නෑ..නෑ...පොඩි එකා බලනව ඇති කව්ද යකෝ මේ අමුතු සතා..මගේ වගේමයි කොණ්ඩෙ...ඒත් මට වැඩිය බොහොම උසමහතයිනෙ...ජීවීතේට දැක්කෙ නෑ මෙහෙම එකෙක් කියල හිතනවත් ඇති...හෙහ්..හෙහ්.." මම එසේ පවසා සිනාසුණෙමි.


රන්දිකාගේ දරු තිදෙනා සමඟ..........

රන්දිකා නෝනා සහ මම මුල් වරට මුණ ගැසුනේ මීට වසර දහතුනකට පෙර නුගේගොඩ නාවල පාරේ එකල ප්‍රධාන කාර්යාලය පිහිටා තිබූ ඉදිකිරීම් සමාගමක සේවය කරද්දීය. එදවස සිදුවූ ජීවිත කාලයක් තිස්සේ අමතක නොවන අපූර්ව සිද්ධීන් පිළිබඳව යලි ස්මරණය කරමින් අප හා සමඟ එකට සේවය කල සහෝදර නිලධාරීන් සහ ආයතනයේ පාලකයින් එමෙන්ම අප බොහෝ සතුටින් අපගේ ශක්ති ප්‍රමාණයෙන් සේවය කල ආයතනය පිළිබඳවද කතාබහ කරමින් සවස් වන තුරුම ගත කල කාලය ඉතා සුන්දරය.

ඉතිං හවස පහට වගෙ මම කොටහේනෙ රන්දිකාලගෙ ගෙදරින් පිටත් වෙලා ආව බ්ලොග් ලියලම හඳුනා ගත්තු මගෙ තවත් සහෘදයෙක් හමුවන්නට. ඒ ඉයන්...එදින රාත්‍රිය ගත කලේ ඉයන්ගෙ නිවස්නයේ...පොඩිවට කර්මාන්තයක් එහෙම කරල කාරිය රෑට කාල නිදාගත්ත.

පහුවදා උදේ මම ගියා මම අර කලින් කිව්වෙ රන්දිකායි මායි මුණ ගැහුනෙ එක්තරා ඉදිකිරීම් සමාගමක අපි දෙන්නම සේවය කල කාලෙයි කියල. අන්න ඒ ඉදිකිරීම් සමාගමේ එකල එක් හිමිකරුවකු මුණ ගැහෙන්නට. මම ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම මගෙ පරණ කොම්පැණියට ගෙහුං හිට යාළු හිත මිතුරන් සහ බොස්ලා හම්බවෙලා හලෝ ඉතිං කොහොමද? කියල සැපදුක් විමසලා හායි බායි කියල එන එක සිරිතක්.

කොහොම හරි ඉතිං සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය කිව්ව වගෙ අපේ සදාදරණීය ඉදිකිරීම් සමාගමටත් අෂ්ඨලෝක චක්‍රය අනුව පරිහානියට පත්වීමේ යුගය උදාවෙලා. දැන් ඔන්න කොටින්ම හරිහැටියට ඔෆිස් එකක්වත් නෑ.

ඉතිං දැනට මම අර කියපු ඒ කාලෙ හිටපු එක් හිමිකාර මහත්මයෙක් පමණක් වැඩේ පුළුවන් විදිහට ඇදගෙන යනව. මේ දවස්වල කෙරෙන්නෙ මිරිහානෙ එක ඉදිකිරීමක් විතරයි. ඒක මේ සරසවි පොත් හලේ පොත් ගබඩා ගොඩනැඟිල්ල. 

මම එතුමාගෙන්ම පාර අහගෙන ගියේ එතනට එතුමාව හමුවෙන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජෙන්ට්ල්මන් කෙනෙක්. ඉතිං එතන වැඩබිමේ තාවකාලික ඔෆිස් කාමරේ මම පැය තුනක් විතර සතුටු සාමීචියෙ යෙදුන.

එතන වැඩබිම බාරව හිටපු නිලධාරි මහත්මයත් ඒ කාලෙ මමත් එක්ක කෝට්ටේ රජමහ විහාර පාරෙ අපේ තවත් හිමිකාර මහත්මයෙක්ගෙ ගෙදර පිටිපස්සෙ තිබුනු නවාතැන්පොලේ අල්ලපු කාමර දෙකක හිටියෙ. ඉතිං ඒ කාලෙ අමතක නොවන රසවත් සිදුවීම් ගැන එහෙම ආයම මතක් කරමින් ගෙවුනු ඒ හෝරා තුනකට ආසන්න කාලය හරිම සුන්දරයි. 

"රවීට මතකයිනෙ නේද අපේ අසෝකය?"

ඔහොම කතාකර කර ඉද්දි හරිෂ් ඇහුව. හරිෂ් කියන්නෙ මම අර කිව්ව මාත් එක්ක එක නවාතැනේ හිටපු දැන් ඔය මිරිහාන සයිට් එකේ ඉන් චාර්ජ් ඉන්න කොලුව. කොලුව කියල කිවෙ ආදරේට. අනික් එක ඔවුං ඔය සෙට් එකම මට වැඩිය කොහොමත් අවුරුදු පහළවක් විස්සක් වගෙ බාලයි.

"ඔව් බං මොකෝ මතක නැත්තෙ? හෙහ්..හෙහ්...අසෝකය කියන්නෙ මැරිල ඉපදිලාවත් අමතක කරන්න පුලුවන් චරිතයක්ද?"

"ආය මොනවද මේ කියන්නෙ? මතකද අර උගෙ මඟුල් ගෙදර දවසෙ සීන් එක? හෙහ්..හෙහ්.."

"මම ඒ කාලෙ වෙනකොට සරසි එකට ජොයින් වෙලා නම් නෑ. ඒත් ඔහොම කතාවක් අහල තියනව..ඇත්තද බොරුද නම් දන්නෙ නෑ.." මම කිව්ව.

සරසි කියන්නෙ අපෙ කොම්පැණියෙ නම.....සරසි කන්ස්ට්‍රක්ෂන්ස්.

"බොරු නෙවෙයි.......තනිකර ඇත්ත..මමත් එතන හිටියනෙ…" හරිෂ් ඒ ගමන කිව්ව.

"හරිෂ් එහෙනම් කියන්නකො බලන්න ඒ කතාව...කලින් අහල තිබ්බට ආයම අහන්න ආසයි..." ගාමිණී මහත්තය කිව්ව. 

ගාමිණී මහත්තය කිවෙ මම අර කියපු අපේ කොම්පැණියෙ අයිතිකාරය.

"නෑ..නෑ..මම එතන හිටියට රවී තමයි ඕක කියන්න දන්නෙ…" හරිෂ් එහෙම කියල හිනාවුනා.

මම ඒ පාර ඒ කතාව කිව්ව..සරසි එකෙත් තියනව අනික් හැම ආයතනයකම වගෙ පුරාවෘත්ත. (අර Legends කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ..අන්න එව්ව) අසෝකය සම්බන්ධ ඔය වගෙ ලීජන්ඩ්ස් හතර පහක්ම තියනව. එව්වයින් ඔය උගෙ මඟුල් දවසෙ සිද්ද වෙච්චි සීන් එකට කියන්නෙ "රජ්ජුරුවො අන්නාසි ගැනීමට මාකට් යාම" කියලයි.

ඔය අසෝකයගෙ ගම ඇවිල්ල ගල්ගමුව පැත්තෙ...වල් අලි විමානෙ...අසෝකය ටෙලිෆෝන් එකෙන් වල් අලි එලවන විදිහ තමයි තවත් සරසි පුරාවෘත්තයක්. ඒක වෙන්නෙ මෙහෙමයි. මේ අලි එලවන සීන් එක නම් මම කන් දෙකෙන්ම අහල තියනව. 

මම අර කලින් කියපු රජමහාවිහාර පාරෙ බෝඩිමේ ඉන්දැද්දි හරිෂ්ගෙ කුටි සගයා නොහොත් රූම් මේට් ඇවිල්ල අසෝකය. ඕකා කාමරේ දොර වහගෙන තමයි අලි එලවන්නෙ. ඒත් දොරට කණ තිබ්බහම උගෙ අලි එළවිල්ල යස අගේට අහගත්තෑකි. අසෝකය අලි එලවන්ට ලෑස්ති වෙනකොට හරිෂ් හෙමීට දොර අඇරගෙන ඇවිල්ල අපිට පණිවිඩේ දෙනව. ආං අසෝකය අලි එළවන්ටයි ලෑස්තිය කියල. ඉතිං අපි කට්ටිය උං දෙන්නගෙ කාමරේ දොර ලඟ පොදි ගැහිල සද්ද නැතුව ඇහුංකන් දෙනව. 

මෙහෙමයි වැඩේ යන්නෙ. අසෝකයගෙ වයිෆ් ඇවිල්ල ගුරුවරියක්. ඒ කිට්ටුවම ඉස්කෝලෙකයි ඉගැන්නුවෙ. ඔය කියන කාලෙ වෙනකොට අවුරුදු හතරක තරම දරුවෙකුත් හිටිය මට මතක විදිහට. තව ඔය වයිෆ්ගෙ මල්ලි කෙනෙකුත් හිටිය එහෙ නැවතිල ඉස්කෝලෙ ගියා හරි මොකක්ද එකක්.

හරි කොහොම හරි අසෝකයගෙ "දුරකථන මාර්ගයෙන් වන අලින් පළවා හැරීමේ මෙහෙයුම" නොහොත් "Operation Wild Elephant Chasing By Telephone" යන්නෙ මෙහෙමයි.

ඔතන වෙලා තියනවයි කියන්නෙ මෙහෙමලු. වෙන කවුරුවත් නෙවෙයි උගෙ රූමා හරිෂ් තමයි ඔය විස්තරේ කියන්නෙ. අසෝකය ගේ හදල තියෙන්නෙ තනිකරම අලි මංකඩක් හරහටලු. 

ඒ අහල පහල නෑයො අසල්වාසීන් කොච්චරදෝ නම් කිව්වලු "අසෝක පුතේ..ළමයො.. ඔතන නම් ගෙයක් හදන එක ඒ හැටි හොඳ වෙන්නෙ නෑ.." කියල. ඒත් ඔය අසෝකය ඉන්නව නේද? හරිම මුරණ්ඩුයි...යමක් හිතුවොත් හිතුවම තමයි. ආය කිසි කෙනෙක් කියන එක අහන්නෙ නෑ. මූ කරල තියෙන්නෙ හොඳට අඩි හත අටක් වගෙ උසට කොන්ක්‍රීට් කණු හිටවල කටු කම්බි වැටක් ගහපු එක. ඒත් අලින්ට ඔව්වැයෙ ගාණක් තියනවය..උං අනාදිමත් කාලෙක ඉඳල ආව ගිය පාර...සුපුරුදු පරිදි උං ආයම එනව ඒ පාර දිගේ...

ඔහොම අලිංගෙ පාරම්පරික මාර්ග හරස් කරල ගෙවල් හදන එක ගැන කියනකොට මට මතක් වෙන්නෙ මම පොඩි කාලෙ කියවපු ඉතාම රසවත් පොතක්. රොබට් ස්ටැන්ඩිෂ් (මේ නම අන්වර්ථ නමක්) නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයගෙ "Elephant Walk" නම් පොතේ සිංහල පරිවර්තනය...අලි පාර පරිවර්තක කොළොන්නෙගේ කියල මහත්මයෙක්. ඒ මහත්තයගෙ පරිවර්තන වෙන එකක්වත් මම කියවල නම් නෑ. ඒත් ඒ එකම පරිවර්තනය නම් අති විශිෂ්ඨයි. ටොම් කේරි, රූත් කේරි, ජෝජ් කේරි ඒ එක්කම ජෙෆ්‍රි වයිල්ඩිං, එතකොට අප්පුහාමි, ගිලී නිරාඬ නම් ගිරවා...තාමත් මට හොඳටම මතකයි.


"අලිපාර" පොතේ කවරය.....

ආ..ඔය අලිපාර කතාවෙන් හැට ගණංවල ෆිල්ම් එකකුත් ගහල තියනව. ඒකෙ එලිසබත් ටේලර් එහෙමත් රඟපාල තියනව.

මේ අලිපාර කතාව මට මතක තියෙන අන්දමට....

මියයාමට පෙර ඇත් රැළක නායකයකු විසින් කලයුතු යුතු කමක් ඇත. එනම් තමන්ගේ මරණයෙන් පසු තම කණ්ඩායමට නිදහසේ ජීවත්විය හැකි වටාපිටාවක් නිර්මාණය කොට දීමය. මහළු නායකයා මේ පැමිණියේ එම යුතුකම ඉටු කිරීමටය. 

තමා පසුපස පැමිණි කණ්ඩායම කඳු ගැටය පාමුල වන බූටෑවේ රඳවා ඔහු පමණක් හිරුරැසින් දිලෙන එළිමහනට ඔහු පා තැබුවේ තමන් කරන්නට යන මේ කාර්යයෙහි බැරෑරුම්කම ඔහු ඉතා හොඳින් දත් බැවින්ය. වන බූටෑවේ රැඳී සිටින ලෙසත් කිසිදු අවස්ථාවක ඉන් බැහැරව එළිමහනට නො එන ලෙසත් අණකොට ඔහු එළිමහනට පිවිසු නමුත් ඔහුගේ අණට පවා අකීකරුව ඔහු සමඟ පසුපසින් එන්නට තැත් කල කණ්ඩායමේ ඔහුට අතිශය සෙනෙහෙයක් පෑ තරුණ ඇතින්න නවතා ලීමට අවසන තර්ජනාත්මක තරවටුවක් පවා අවශ්‍ය විය.

එළිමහනට පිවිසි නායක ඇතාගේ ඇස් ඉදිරියේ විරාජමාන වූයේ අනාදිමත් කාලයක සිට ඔහුගේ මුතුන්මිත්තන් සාඩම්බරයෙන් පිය නැඟූ මංපෙත හරහා ඉදිවූ මහා මන්දිරයයි. ස්වකීය පියාණන් සහ මෑණියන්හට තම ජිවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ ඒ මහා මන්දිරයයි. ඒ අභාග්‍යමත් දින තම නාසයට දැනුනු වෙඩි බෙහෙත් ගන්ධය ඔහුට මේ දැනුදු දැනෙන්නාසේ විය. 

තම පියාණන් සහ මෑණියන්හට වෙඩි තබා මරා දැමුනු පසු දිවි බේරාගනුවස් මර බියෙන් පළා යද්දී ගොඩ ගසා තිබුණු එක් කොණක් තියුණු ලෙස හුල් කල තේක්ක කොටන් ගොඩක පැටලී ඇද වැටී ඉන් ලිස්සා ආ එක් කොටයක් හුලක් ඇවිණී ඉරීගිය වම් කන් පෙත්තෙන් එදා නැඟුනු දැඩි වේදනාව මේ දැනුදු දැනෙන්නාසේ විය.

ඉක්බිති එදින මුළු රාත්‍රියම සහ පසුදිනද මුලුල්ලේ ඇත් රැළේ සෙසු ඇතින්නියන්ගේ රැකවරණ මධ්‍යයේ ඒ මාරක ඝාතකාගාරයෙන් හමනා රුධිර ගන්ධය නොදැනෙනා දුරකට කෑම බීම සහ විවේක ගැන්මකට පවා නොනැවත පළාගිය අන්දමද පසුව වැඩි වියට පත්ව රැළේ නායකත්වයට පත්ව ඒ ඈත දුර බැහැර නිල් කඳුකර වන පියසේ තම ඇත් රැළද සමඟ ජීවිතය ගෙවා මහළුවියට පත් අන්දමද ඔහුගේ මතකයට නැඟෙන්නට විය.

එලෙස ගතවූ දීර්ඝ කාල පරාසය තුල කිහිප වරක් රැළ මඟ හැර මෙම මාරක ඝාතකස්ථානය වෙත පැමිණ අසල වන බූටෑවේ ආවරණයට මුවාව හිඳ කෙමෙන් කෝපයෙන් ගිණියම්වන දෙනෙතින් යුතුව තම සදාදරණීය මව්පියන්ගේ අකල් මරණයට හේතු වූ මහා මන්දිරය දෙස බලාසිට මහ හඬින් කුංචනාදය කොට එහි වසන්නනන් හට අනතුරු හඟවා ආපසු හැරීගිය අන්දමද ඔහුගේ මතකයට නැඟෙන්නට විය.

ඇතුන් මියයනුයේ ඈත කඳුකරයේ පිහිටි ඔවුන්ටම වෙන්වූ සුසාන භූමියක් බව රැළේ මහළු ඇතිනියන්ගේ කතා බහින් ඔහු දැන සිටියද තමන් කිසි දිනෙක එවන් ස්ථානයක මිය නොයන බවද ඔහු ඒ සමඟම හොඳින් දත්තේය. දෛවයෙන් තමනට මියයාමට නියමිත වූ ස්ථානයට අද ඔහු පැමිණ සිටින්නේය. එහෙත් එසේ මියයාමට පළමු කාලාන්තරයකට ඉහත මියගිය තම දෙමව්පියන් වෙනුවෙන් එසේම තම රැළ වෙනුවෙන් ඉටුකළ යුතු අවසාන යුතුකමක් වගකීමක් කාර්ය භාරයක් ඇත්තේය.

එම යුතුකම වගකීම කාර්යභාරය ඉටුකරනු උදෙසා නායක ඇත් තෙමේ වන තීරයෙහි ආවරණයෙන් මෑත්ව එළිමහනට පිවිසියේය.

තම මාරක සතුරාවූ තම දෙමව්පියන්ගේ ඝතකයින්වූ තම වර්ගයා අනාදිමත් කාලයක පටන් නිදහසේ සැරිසැරූ තම නිජබිම තමන්ට අහිමිකොට පළවාහැරි නිර්දය මංකොල්ලකරුවන් වූ මිනිසුන්ගේ පිළිකුල් කටයුතු ගන්ධය ඔහුගේ නාස් කුහර තුලින් පිවිස ඔහු කෝපයෙන් උමතු කරවන්නට සමත්විය. ඒ හා සමඟ ඒ දුරාතීතයේ අමිහිරි මතකයන් ඔහු යලිත් තැති ගනවන්නට විය. එහෙත් ස්ථිර වශයෙන්ම මේ එවන් තැති ගැන්මකට කාලය නොවේ. ආයාසයෙන් තැතිගැන්ම සිතින් පළවා හල නායක ඇත් තෙමේ මහත් බිහිසුණු හඬින් කුංචනාද කරමින් මහා මන්දිරය ඉදිරිපිට කාලාවසානයේ පාදුර්භූතවන මහා යෝධයකුමෙන් සිය සතර පය දැඩි කොට සිට ගත්තේය.

ඔහු සිටගත් ස්ථානයේ සිට ඉදිරිපස ආලින්දයට පිවිසීමට පිය ගැට දහයකින් පියගැට පෙළකි. තම ඉදිරි ගාත්පියගැට පෙළෙහි හත්වන පඩියට පිවිසෙන්නාහාම මන්දිරයෙහි මහ පියස්ස දරාසිටි බුරුම දේශයෙන් විශේෂයෙන් ගෙන්වන ලද පදම්කල තේක්ක වලින් නිර්මිත මහා බාල්කය ඔහුගේ උරහිසෙහි ගැටීම් ඔහුගේ ඉදිරි ගමනට බාධකයක් විය. 

ඒ හා සමඟම පිට පිටම වෙඩි උණ්ඩ හයක් හෝ හතක් තම ඇළපතට කාවදිනුද ඔහුට දැනිණ. ඒ හා සමඟම නැඟුනු තියුණු වේදනාව වහා යටපත් කොටගත් හේ ඉදිරි දෙපයට වෙරයොදා තම මහත් කාය බලය කුළුගන්වා ගනිමින් ඉදිරියට පියවරක් තැබුවේය. මහත් හඬක් නඟමින් හරි මැදින් බිඳීගිය ප්‍රධාන බාල්කය සමඟම ඒ දරා සිටි මහ පියස්සේ විශාල කොටසක්ද ඔහු දෙපසින් ඇද වැටින.

ආලින්දයට පිවිසි ඔහුට හඳුනාගත හැකිවූයේ නම් ඔහු ඉදිරියේ ප්‍රධාන දොරටුව දෙපස වූයේ ඔහුගේ මව්පියන්ගේ වියළාගත් පාදයන්ය. කාලන්තරයක් තිස්සේ ඒ භාවිත වූයේ වතුර බේරෙන්නට කුඩ බහා තබන පැස් විලසිනි. 


කුඩ බහාතැබීම උදෙසා පැසක් ලෙස භාවිතා කරන
අලින්ගේ වියළාගත් පාදයක්....

එළෙසම ඉන් ඔබ්බෙහි ගෘහාභ්‍යන්තරයට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස වූයේ ඔහුගේ පියාණන්ගේ දළ යුවලයි. ඒ කිසිවක් හඳුනාගත හැකිවුවද නොවූවද ඉන් ඔහු විසින් මේ මොහොතේ ඉටුකල යුතු කාර්යයට කිසිදු බලපෑමක් නොවිනි. ඔහුට නියමිතවූ කාර්යය වනුයේ විනාශකයාගේ කාර්යයි.

ආලින්දයෙහි පියස්සේ එල්ලී දැල්වෙමින් තිබූ මහා තාම්‍රමය පහන තම හොඬ දිගුකොට කඩා ගත් නායක ඇතා එය තම හිස වටා කරකවා වීසි කලේය. පහනෙහිවූ රත්වූ තෙල් ඉසුණු හාත්පස වූ බුමුතුරුණු වියන් සහ තිර ආවරණ මහා ගිනි ජාලාවක් බවට පත්වූයේ සැණෙකිනි.

ඔහුගේ ඉදිරි ගමනට ඉනික්බිති බාධක කිසිවක් නොවූයෙන් නායක ඇත් තෙමේ මහත් හඬින් කුංචනාදය කරමින් ජයග්‍රාහී පියවරින් ඉදිරියට ඇදුනේ ඔහු ඇස ගැටෙන සියල්ල විනාශ කරමිනි. යළිදු වෙඩි උණ්ඩ වරුසාවක් ඔහුගේ උරහිස පෙදෙසට කාවැදුණු නමුදු ඒ ඔහුගේ ඉදිරි ගමනට කිසිදු ලෙසකින් බාධාවක් නොවීය. 

කෙසේ වුවද ඔහු තම දෛවෝපගත කාර්ය භාරය මේ වන විට අවසන් කොට තිබිණි. සතර අතින් නැඟි මහා ගිණි ජාලාවන් ඒ සමඟ ඔහු වට කොට ගත්තේ ඔහුගේ මව්පියන්ගේ මරණයට හේතුවුනු එසේම ඔවුන්ගේ පාරම්පරික මංපෙත් අවුරා ඉඳිවූ ඒ මහා මන්දිරයෙහි එතෙක් නැඟී සිටි අවසන් කළුගල් බිත්තියද මහත් හඬක් නඟමින් පෙරළා දමමිනි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...