Thursday, December 30, 2010

අතීතාවර්ජන නොහොත් මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක් - 2

මම එයාගෙ උපන්දිනේට වෙනුවෙන් ලියාපු, ප්‍රථම හමුවීමෙ කතාව මතකද? නැත්නම් ආයෙම බලල එන්න,

මුලින් ලියනකොට මගෙ හිතේ තිබුනෙ නැහැ තව දුරටත් කතාව ලියන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම් නිසා මට හිතුන අඩු ගනනෙ තව එක කොටසක්වත් ලියන්ඩ ඕනය කියල,අනික සමාවෙන්ඩ ඕන, අවුරුද්දෙ අන්තිමේ වැඩ රාජකාරි බොහොමයක් යෙදීම කරණ කොටගෙන මේ වැඩේ මෙච්චර පමාවීම ගැන,

දැං එයා බැහැල ගියා නෙව,

මම ඉතිං ඒ දිහාවෙ බලං හිටියය කියලත් කිව්වනෙ,වැඩි වෙලා බලන් ඉන්ඩ උනේ නැහැ, මොකද බස් එක ඇද්දුවා,

ඉම්පස්සෙ මම ඉතිං බකමූණට ඇවිත් ඒ තිබ්බ රාජකාරි ටිකත් අහවර කරගෙන එහෙම දවල්ටත් කඩේකින් කාල ගියා තව කිලෝ මීටර් දොලහක් වගෙ එහා තියෙන අත්තනකඩවලට, ඔන්න ඔය අත්තනකඩවල තමයි මම නැවතිල හිටියෙ,අභාවයට ගිය රජයේ ගොවිපොලක නිල නිවාසයක ඒ දවස්වල හිටිය මමයි තව මගෙ අතිජාත මිත්‍රයයි,

දැන්නම් වැඩේ හරියන්නෙ නැහැ, කතාවෙ කස්ටිය වැඩිවේගන එන්නෙ, ඒ නිසා මොනව හරි නමක් දෙන්ඩ වෙනව, මිත්‍රයගෙ නම සුමනෙ,ගෙවල් අලුවිහාරෙමයි, අලුවිහාරෙමයි කිව්වෙ මතකනෙ අර... අර.... අරය බස් එකට නැග්ගයි කියල මම කිව්වෙ අලුවිහාරෙන්නෙ, අන්න ඒ නිසා,

මම සතියම එක දිගට නැවතිල රාජකාරි කලාට, අලුවිහාරෙ ලඟ නිසාවෙන් සුමනෙ සාමාන්‍යයෙන් දවසක් ඇර දවසක් වාගෙ හවස ගෙදර ගිහිල්ල පහුවදා උදේ ආපහු ආවා,

සුමනෙ විවාහක, දෙදරු පියෙක්,මට වඩා අවුරුදු පහක් වගෙ විතර වැඩිමල්,ඒ වගේම ඉතාම හොඳ මනුස්සකම් වලින් පිරුනු මනුස්සයෙක්, එක අතකට ඒ කාරණේ විශේෂයෙන් කියන්ඩත් දෙයක්ය, මම වගේම තමා මගෙ යාලුවොත්,

සුමනෙ මට ගෑණු දරුවෙක්ව සෙට් කරන්ඩ බොහොම උනන්දුවෙන් කටයුතු කලා ඔය කාලෙදි, හැමදාම ගෙදර ඉඳං ආවොත් මට බේරුමක් නැහැ,ආපු ගමං පටං ගන්නව, රවී, මචං අද බස් එකේදි හම්බ උනා ලස්සන ටීචර් කෙනෙක්ය, මම කතා කර කර ආවෙය, අහවල් ඉස්කොලෙ උගන්නන්නෙය, ගෙවල් අහවල් දිහාය,මොකෝ කියන්නෙ? කියල,

මම ඉතිං කියවමින් ඉන්න පොත පැත්තක තියල හිනා වෙනව, එච්චරයි, ආයෙම පොත බලන්ඩ පටං ගන්නව," ඔහොම ඉඳහංකො, පොත් බල බල, උඹට තේරෙයි වැඩිකල් නොයා," කියල සුමනෙ නැඟිටල යනව, මම ආයෙත් හිනාවෙනව, ආයෙමත් පොත බලන්ඩ පටං ගන්නව, සුමනෙ කොච්චර උනත් උත්සාහය අත ඇරියෙත් නැහැ, මම හිනාවෙන එකයි, පොත බලන එකයි අත ඇරියෙත් නැහැ,

එදා හවස තුනට වගෙ තමයි සුමනෙ ආවෙ, මොනවදෝ රාජකාරියකට ගිහිල්ල,ඇවිත් යමං නාමු කියල දෙන්නත් එක්කම ගියා, අපේ ක්වාටර්ස් එක ඉස්සරහිම්ම ගලාගෙන යන යෝධ ඇලට,නා කියාගෙන ඇවිල්ල එලියෙ තණකොල ගොල්ලෙ පුටු දෙහෙකුත් තියාගෙන ගැහැව්ව ප්ලේන්ටියක්, ප්ලේන්ටියක් කියන්නෙ ඇත්තටම කිව්වොත් ප්ලේන්ටී දෙකක්,

දැං මේ උදේ වෙච්චි සීන් එක කියන්ඩත් එපාය,අපිට උයන්ඩ හිටපු ගෝලයත් "එන්නම් මහත්තය,රෑට කෑම බෙදල තියෙන්නෙ" කියාගෙන යන්ඩ ගියා, ටික ටික කරුවලත් වැටෙනව, මම තේ කෝප්පෙ බිමින් තියල කකුල් එහෙම දිග ඇරල පුටුවෙ දිගා උනා,

" සුමනෙ, අද එද්දි බස් එකේදි කවුරුවත් ටීචර් කෙනෙක් හෙම මුණගැහුනෙ නැතෙයි? "

" නැහැනෙ, අද මම එනකොට ටිකක් පරක්කු උනා,ඒකෙ වැඩි හරියක් ආවෙ මේ මල ගෙදරක යන කට්ටියක්,ඒක නෙවෙයි, මේක කියාපං, මොකෝ, උඹ මේ කවදාවත් නැතුව ටීචර්ල ගැන අහන්නෙ?, මට නෝන්ඩිය දානවද? "

" අනේ නෑ, පිස්සුද?, මට උදේ බස් එකේදි ටීචර් කෙනෙක් හම්බ උනානෙ " මම නිකම් ගාණකට නැතුව වාගෙ කිව්වා,

පුටුවෙ දිගා වෙලා හිටපු සුමනෙ කෙලිං උනා,

" අප්පට සිරි, නෑ........., ඉතිං ඉතිං උඹ කතා කලාද?, කොහොමද හැඩ රුව?, උසද, මහතද, කලුද?, ගෙවල් කොහෙද? උගන්නනෙ කොහෙද?" ප්‍රශ්න වැලයි,

" ඉඳහං, ඉඳහං, කලබල වෙන්ඩ එපා " මම හිනාවෙවී කිව්වා,

" කලබල නොවී බැහැනෙ, මම කොච්චර කිව්වත් ඔය ගැන උඹ හිනාවෙවී හිටිය විතරනෙ, දැං උඹම කියනවනම් ඒ කියන්නෙ හිතට අල්ලල හින්ද නිසානෙ, හරි, කියාපන්කො විස්තරේ "

" හැඩරුව විස්තරේ කියනව නම් එච්චර සුදුමත් නැහැ,ටිකක් විතර උසයි,ඒ හැටි මහතකුත් නැහැ, ගෙවල් නම් දන්නෙ නැහැ, හැබැයි නැංගෙ අලුවිහාරෙං "

" අඩේ, අලුවිහාරෙද?, එහෙනම් ප්‍රශ්නයක් නැහැ, මම හොයා ගන්නං විස්තරේ, උඹ කිසි දේකට බය වෙන්ඩ එපා, " සුමනෙ ඉස්තිරසාර හඬින් කිව්වා,

බයක්?, මගෙ හිතේ මොනව හරි බයක් තියෙනවද? මම මගෙම්ම ඇහැව්වා, පිස්සුද මොන බයක්ද?, හිතෙං උත්තර හම්බ උනා,සුමනෙ ඉතිං හිත හොඳිං කියාපු එකනෙ, මම උත්තර බඳින්ඩ ගියේ නැහැ,

" කොහේද දැං ඔය කියන ළමය උගන්නන්නෙ? "

"අන්න අර, ............. ඉස්කෝලෙ "

" ඔය තියෙන්නෙ, ඉතිං මොනවද?, අපේ අසෝකයගෙ වයිෆ් උගන්නන්නෙත් ඔය ඉස්කෝලෙනෙ, "

"ඔව්, මම ඇහුවා, නෙලුම්ව දන්නවය කිව්වා,"

මම අර ගියපාර කිව්වෙ මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඒ ඉස්කෝලෙ උගන්නනවය කියල, ඒ දෙන්නා අසෝක සහ නෙලුම්,

" ඉතිං මොනවැයි කතා කලේ, මුල ඉඳං කියාපං විස්තරේ " සුමනෙ හරි බරි ගැහුනා,

" මුල ඉඳංම කිව්වෙ මම ගෙදරිං පිටත් උන වෙලේ ඉඳංද? "

" නෑ. උඹ ඊයෙ රෑට කාපු වෙලාවෙ ඉඳං " සුමනෙටත් වෙලාවකට ෂුවර් නැහැ මම මේ කියන එව්වා කියන්නෙ විහිලුවටද ඇත්තටමද කියල

මම ඉතිං, හතර වටිං අඳුර ගලා එද්දි, අත්තනකඩවල ගොවිපොලේ අපේ නිල නිවසේ ඉදිරිපස රූස්ස සියඹලා ගස යට තණබිස්සේ පුටුවක ඉඳගෙන, සුමනෙට සම්පූර්ණ විස්තරේ ( මේකට තවම ප්‍රේම කතාව කියල නම් කියන්ඩ බැහැනෙ ) මුල ඉඳං අකුරක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, නෑර කිව්වා,

'' හරි දැං මොකක්ද නම? ''

නම?, දෙයියෝ සාක්කි, නම අහගත්තෙ නැහැ නේද?, මම උඩ බිම බැලුවා,

'' නමනම් අහගන්ඩ වෙලාවක් තිබ්බෙ නැහැ සුමනෙ '' මම සුමනෙගෙන් සමාව ඉල්ලන ස්වරයකින් කිව්වා,

'' උඹත් මාර බඩුවක්නෙ බං, එයාට රාජකාරි කොරන විදිහ ගැන දේසනයක් දෙන්ඩ වෙලාව තිබ්බ, නම අහ ගන්ඩ තමයි වෙලාවක් නැති උනේ නේද? '' සුමනෙට තරහ ගොහින්ද මංදා, ඇත්තනෙ ඉතිං මයෙනෙ වැරැද්ද, අම්මප නමක් ගැන හාංකවිසියක් මතක් උනෙ නැති හැටි බලමුකො හැබැහැට,

'' හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, යමං, අසෝකයගෙ වයිෆ් හම්බ වෙලා වැඩි විස්තර සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතා කරගමු '' සුමනෙ නැඟිට්ටා,

'' මේ දැම්මම? '' මම ඇහුවා, අසෝක ඉන්නෙ බකමූණෙ,කිලෝ මීටර් දොලහක් එහා, අනික මේ වෙනකොට සෑහෙන්ඩ කලුවර වැටිලා,

'' එහෙනං, ඔව්ව කල් දදා ඉන්ඩ ඕන නැහැ, අනික මේ වැඩේ සෙලිබ්‍රේට් කොරන්ඩත් එපාය, බකමූණෙන් එකක් ගේමු, නෙලුම් හම්බ වෙල විස්තරෙත් දැනගමු, යමං, යමං, ''

ඉතිං අපි දෙන්න සුමනෙගෙ බයික් එකේ ආව බකමූණට,

අපි ආපු පාර තියෙන්නෙ යෝධ ඇලේ බන්ඩ් එක දිගේ, ඒ පැත්ත ගැන දන්න කස්ටිය දන්නවා ඇති, ඉතිං හුළඟ බොහොම සැරයි, ඒ වගේම සීතල, ඉතිං මොකද කරන්නෙ කියල සීතලේම ආව බකමූණට,

මග දිගටම සුමනෙගෙං ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස්,

'' දැං අපි නෙලුම්ගෙං අහගමු විස්තරේ, බැඳලද, නම ගම, වාසගම, පවුලෙ විස්තර එහෙම, ඊට පස්සෙ වැඩේ හරි යන සයිස් එකක් නම් උඹ හෙට පලයං ගෙදර, ඒ කරල අනිද්දා ඒ බස් එක අල්ලල වරෙං, හරිනෙ, ''

'' පිස්සුද එහෙම කරන්ඩ බැහැ, හෙට ගෙදර ගියොත් අම්ම බලයි මොකෝ මේ කවදාවත් නැතුව සතියෙ මැද කියල, ඒක නම් මොනව හරි කිව්වැහැකිය කියමු, අනිද්ද ඒ බස් එකේ ආවොත් මෙහෙ එනකොට දොලහ වත් වෙනව, මට හෙට උදේ වැඩ වගේකුත් තියෙනව, ඔක්කටම වැඩිය එයා අනිද්දත් ඒ බස් එකේම එයිද කොහොමද දන්නෙ? '' මම කියවගෙන ගියා,

'' උඹ මුලිං අඬපු කාරණාවල නම් කිසිම වැදගැම්මක් නැහැ, එව්ව මොනව හරි කරගත්තෑකි, හැබැයි අන්තිමට කිව්ව කාරණේ නම් වැදගත්, හැමදාම එන්නෙ ඒ බස් එකේමද කියලනම් දැන ගන්ඩ වෙනවා ''

ඔන්න මේ වෙනකොට අසෝකලගෙ ගෙදරට ඇවිත්, මම බැහැල දොරට ගැහැව්වා,උන්ගෙ දොරට තට්ටු කලාට ඇහෙන්නෙ නැහැ, තඩි බාන්ඩම ඕනෙ

අසෝකය දොර ඇරිය," වරෙං, වරෙං, මොකෝ........, අඩේ සුමනෙත් ඉන්නෙ, මොකෝ බං මේ වෙලාවෙ, "

ඒ අස්සෙ නෙලුම් නංගි ආව කුස්සියෙ ඉඳල හිනාවීගෙන ,'' එන්ඩ අයිය ඇතුලට මොකද අසෝක, ගෙට එන්ඩ වත් කිව්වෙ නැද්ද? ''

තේ එකක් එහෙම ආයෙම බීල සුමනෙ බැස්ස අදාල කාරනාවට,

'' නඟෝ, අපෙ මේ රවීට අද බස් එකේදි හම්බ වෙල තියෙනව ඔයාලගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක්, ''

'' ආනේ ඒ රවි අයියද, චන්ද්‍රා අක්ක කිව්ව තමයි අසෝකගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් බස් එකේදි හම්බ උනාය කියල, මට හිතුනෙම නැහැ ඒ අයියය කියල '' නෙලුම් මගෙ කෝප්පෙ ගන්න ගමං කිව්වා,

අන්න හරි.... ඔය තියෙන්නෙ..... මෙච්චර වෙලා එයා එයා... කිය කියනෙ හිටියෙ, දැං ඔන්න නමක් තියෙනව............. චන්ද්‍රා, හ්ම්ම්ම්ම්... නමත් නරකම නැහැනෙ, සඳ.... සඳවතිය.......

'' මඟ දිගටම, පරක්කු වෙලා වැඩට යන එක ගැන දොස් කිය කිය ආවය කියල කිව්ව, අක්කට හොඳටම තරහ ගිහිල්ල හිටියෙ, '' නෙලුම් අසෝක ලඟිං ඉඳගන්න ගමං කිව්වා, හැබැයි කට පුරා හිනා වෙවී,

'' මට බැන්නද? '' මම හිනාවෙවී ඇහැව්වා,

'' ම්ම්ම්....., බැන්නෙමත් නැහැ, මෙහෙමයි කිව්වෙ, බලන්ඩකො අදමයි දැක්කෙ මගෙන් වැඩට යන වෙලාව ගැන ඇහුවනෙ කියල ''

'' ඒකනෙ බලන්ඩකො මේ මනුස්සය කරල තියෙන දේ එතන ආචාර ධර්ම ගැන දේශනයක් තියලනෙ,ඒක නෙවෙයි නංගි, චන්ද්‍රා බැඳලද? '' සුමනෙ කවදත් එහෙමයි අනම් මනම් වලට කැමති නැහැ, කෙලිම්ම වැදගත් කරුණු විතරයි,

'' නෑ, බැඳල නැහැ, අයියා, '' සුමනෙ ප්‍රශ්නෙ ඇහුවට නෙලුම් උත්තරේ දුන්නෙ මට,

හරි.... බැඳලත් නැහැ, මට දැනගන්ඩ ඕන උනේ එච්චරයි......

සුමනෙට තව ප්‍රශ්න වැලක් තියෙනව, " වයස කොහොමද?, මොකක්ද වාසගම?, ගෙවල් කොහෙද?, අම්ම තාත්ත ඉන්නවද?, පවුලෙ තව කීදෙනෙක්ද?............?...........? "

" අනේ අයියෙ ඒ මොකවත් මම නම් දන්නෙ නැහැ, නමයි බස් එකට නගින්නෙ අලුවිහාරෙන්ය කියලයි දන්නව,ආ.... තව රස..... බත් එකෙක් අරං එනව "නෙලුම් සමාව ඉල්ලනව වගෙ සුමනෙ දිහා බැලුවා,

( පස්සෙ මම දැන ගත්ත ඒ බත් එක උයන්නෙ අම්මය කියල, )

" මොනවද අප්ප, ඔයාගෙ හොඳ යාලුවලු, යාලුව ගැන කිසි දෙයක් දන්නෙ නැහැනෙ, " අසෝකට මේක නිකම් මදි කමක් වගෙ හිතිලද කොහෙද,

" අපි යාලුවො තමයි, ඒ උනාට හරියකට කතා කරන්ඩ හම්බ වෙන්නෙ දවල් කෑම වෙලාවෙ විතරයි, අනික ඒ වෙලාවෙ කනව මිසක් පවුල්වල විස්තර කතා කරන්ඩ වෙලාවක් නැහැ, " නෙලුම්ට තරහ ගිහිංද කොහෙද,

" හරි, හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, ඒ විස්තර පස්සෙ හොයා ගන්ඩ බැරිය, " මම නෙලුම්ගෙ සහායට ඉදිරිපත් උනා, මේ උන්දැ කෝකටත් ෂේප් එකේ තියා ගන්ඩම එපාය,

" හරි, මම හෙට අක්කගෙම්ම අහන්නංකො, රවි අයිය ඇහුවය කියලම ඇහුවට කමක් නැහැනෙ? "

" කමක් නැහැ, නංගි, ඒකට කමක් නැහැ, " මම නැඟිටින ගමන් කිව්වා,

අපි ඊට පස්සෙ ඒ දෙන්නගෙන් සමු අරං, බෝතලේකුත් අරගෙන ආපහු අත්තනකඩවලට ආවා,

පහුවදා කිව්ව වගේම නෙලුම් විස්තර හොයං ඇවිත් තිබුනා,ඉතිං මමත් එයත් එකම බස් එකේ යන්ඩත් පටං ගත්ත,ඉතිං ඔන්න ඔහොම කාලය සුපුරුදු ලෙස අපටද නොදැනීම ගෙවී ගිහිල්ල, තව කාලෙකට පස්සෙ අනිත් අවශ්‍ය කරන කටයුතුත් කරල, අපි දෙන්න එක වහලක් යටට ආව,

ඉතිං ඔන්න එදා ඉඳම්ම අද වෙනකල් එහෙම්මම තමයි,

එදා මා හද එකලු කල,
සඳ පහන් කැලුම් රැස,
එදා මා සිත වසඟ කල,
තරු කැලුම් ඔබ නෙත,

කාලය ද ගෙවිලාය මෙලෙසේ,
ඔබට මට නොකියාම රහසේ,
මගේ සෙනෙහස පිදුනු එදිනේ,
මිලින නොමවෙයි මතුද සසරේ,

මම හිතුවෙ මේ කතාව අර එයාගෙ උපන් දිනේ වෙනුවෙන් දාපු මුල් කොටසින් ඉවර කරන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම නිසා නොහිතූ විදිහට දිග්ගැස්සුනා නෙව, කමක් නැහැ, කතාව කියල මම ලබපු සංතෝසෙ කියවල මගෙ යාලුවොත් ලැබුවනම් මට ඒ ඉහටත් උඩිං ඇති,

Thursday, December 16, 2010

69. ජීවත් වෙන්න තිබෙන්නේ අවුරුදු 10යි !!! කිසිසේත්ම අපතේ යවන්න එපා........



අපි මිනිසුන් වෙමු. දැනට ගණනය කර ඇති අන්දමට මිනිසාගේ පරමායුෂ අවුරුදු 75-80ත් අතර පමණ වේ. කෙනෙකු තමන්ට අවුරුදු 25 දී විවාහ ජීවිතයට ඇතුලත් වූ ලෙසද, දෙදෙනාම අවුරුදු 75ක් ජීවත් වනු ඇති ලෙසද ගනිමු. එවිට විවාහ ජීවිතයේ පරමායුෂ අවුරුදු 50ක් පමණ වේ. කියවා ගැනීමේ පහසුව පිණිස පහත සඳහන් පරිදි දක්වන්නෙමි.




අවුරුදු 50 = (දළ වශයෙන්) දින 18300

අද කාලේ බොහොම දෙනෙක් පුරුෂ පක්ෂය සතියේ දින 7හිම රැකියාවක නියුතු වෙයි. එවැනි කෙනෙකු සැලකූ කල පවුලේ උදවිය සමග ගැවසෙන කාලය (මට අනුව නම් ජීවත් වෙන්න තිබෙන කාලය) දිනකට,

උදෑසන 5 සිට 7 දක්වා = පැය 2
හවස 7 සිට රෑ 10 දක්වා = පැය 3
ඒ කියන්නේ දවසටම පැය 5යි !!!

ඉතිං ඔය පැය 5 අර දින 18300න් වැඩි කලහම = පැය 91500

එයිනුත් සමහර දින වල අත්‍යාවශ්‍ය කාරණා වලට ගෙදරින් පිට ඉන්න වෙන දවස් ඕනේ තරම් තිබෙනු ඇත. එයට පැය 1500ක් වෙන් ක‍ලහොත් ඉතිරි පැය 90000යි.

පැය 90000 = දින 3750
දින 3750 = (දළ වශයෙන්) අවුරුදු 10 !!!
අවුරුදු 50ක පවුල් ජීවිතයෙන් පවුලේ උදවිය සමග ගැවසිලා තියෙන්නේ අවුරුදු 10යි !!!

ඉතිං අර උඩ හදපු පැය 5න් පැය 2ක් විතර රණ්ඩු කරන්න යොදා ගත්තහම..................
සතියට දවස් තුනක් පැය 2 ගානේ රණ්ඩු කලොත් පවුලේ උදවිය සමග සාමකාමීව ගත කරන කාලය අවුරුදු 50ට පැය 75000ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ට ම අවුරුදු 8යි !!!

හොඳයි නේද? ඉතිං ඊ ලඟ වතාවේ ඔබගේ සැමියා හෝ බිරිඳ සමඟ පැටලිල්ලක් ඇති වෙන්න අවස්ථාව උදා වෙනවිට ම මේ අවුරුදු 10 සිහියට ගන්න. මතක තබා ගන්න ඒ අවුරුදු 10 ඔබට හිමිවන්නේ ඔබ ඉහත අවශ්‍යතා සැපුරුවොත් පමණයි. ඒ කියන්නේ වයස අවුරුදු 25න් විවාහ වී දෙදෙනාම වයස අවුරුදු 75 වනතුරු ජීවත් වුනොත් පමණයි. ඔය කාලය එහා මෙහා වීමෙන් අර කාලය අවුරුදු 10ටත් වඩා අඩු වෙන්න පුළුවන් නේද?

මේ ගණනය කිරීම, දිනක් නිවසේ සිට කාර්යාල බලා එන අතරතුරේ මාත් මගේ සැමියාත් විසින් කරන ලද්දකි. ඒ ගණනයට පිං සිදු වන්නට පොඩි දෙයටත් මූණ එල්ලා ගැනීමේ මාගේ පුරුද්ද යම් දුරකට පහව ගොස් තිබේ යැයි දැන් දැන් මට සිතෙයි. විවාහ ජීවිතයේ ළදරු අවධියේදීම මෙවන් දෙයක් දැන ගැනීමට ලැබීම අපගේ වාසනාවක් යැයි මා හට සිතේ. එලෙසින්ම මේ ගණනය ඔබගේ ජීවිතයට කොතරම් දුරට අදාල දැයි මොහොතකට සිතා බලන්න.

මොනවා වුනත් ඉඳ හිටලා මාසයකට සැරයක් විතර උඩ කිව්ව කාරණා අමතක වුනාසේ කටයුතු කරන්නත් ඕනේ. එහෙම නොවුනොත් ජීවන ගඟ ගලා යන ආකාරය සෞන්දර්යාත්මක නොවේවි නේද?


****************************************************************************************

අද දින 28 වන උපන්දිනය සමරන මා දයාබර සැමියා හට උපහාරයක් ලෙසින් පළ කරන්නට යෙදුනෙමි.

සියක් ආයු ලැබ......... මගෙත් ආයු ගෙන......... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!! කියලා කියන්නේ නැහැ‍.........

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.............. සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු......... කියලා හැමදාමත් කියන්නම්...................


ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!









Monday, December 13, 2010

අතීතාවර්ජන නොහොත් මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක්





නුවර ඉඳල ආපු බස් එකෙන් මම බැස්සෙ මාතලේ අඹ ගහ යට ස්ටෑන්ඩ් එකේදි, වෙලාව අට පහු උනා විතරයි, ඒ එක්කම මම දැක්ක නවයට බකමූණ හරහා ගිරිතලේට යන ප්‍රයිවට් බස් එක ඇවිත් ස්ටෑන්ඩ් එකට ගහනව, ඕන හැටියෙ වෙලාව තියන නිසා මම ගියා පත්තරයක් ගන්ඩ, මගෙ පුරුද්දක් තමයි බස් එහෙක දුර ගමනක් යනවනම් අනිවාර්යයෙන් පොතක් නැත්නම් පත්තරයක් වත් බලන එක,

පත්තරේකුත් අරගෙන මම නැග්ග බස් එකට,කවුරුවත් වැඩිය නැහැ තාම, ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ වයසක ජෝඩුවක් විතරක් හිටිය, මම මගේ සුපුරුදු අසුන, වම් පැත්තෙ අන්තිම සීට් එකට කලින් සීට් එකේ ජනේලෙ පැත්තෙ ඉඳගෙන වීදුරුව ඇරල බෑග් එක උකුලෙ තියාගත්තා,

අවුරුදු අටක්ම මම වැඩ කලේ ආණ්ඩුවේ සුප්‍රසිද්ධ වාරිමාර්ග කටයුතු සම්බන්ධ ආයතනයක පොළොන්නරු සහ මඩකලපු දිස්ත්‍රික්ක මායිමේ තිබුනු ව්‍යාපෘතියක, ඒ මුලු කාලෙම මම ගෙදර ආවෙ මාසෙකට එක වතාවයි,වැටුප් අරගෙන දවස් තුනක් නැත්නම් හතරක් නිවාඩු දාල ඇවිත් මාසයක් වැඩ කරන්ඩ බලාගෙන ආපහු යනවා,අපේ රාජකාරි සොබාවෙ හැටියට ඉරිදා, පෝය, රජයේ නිවාඩු මොකවත්ම නැහැ,එක දිගටම වැඩ, ඒකෙ එච්චර අමාරුවක් තේරුනෙත් නැහැ, අපි යාලුවො කට්ටිය හොඳ විනෝදෙන් කාලෙ ගත කරපු නිසා,මම කසාද බැඳල නොහිටිය නිසාත්, ගෙදර වෙන ප්‍රශ්න නොතිබුනු නිසාත්, මේ වැඩ පිළිවෙලට බාධාවක් උනේ නැහැ.

ඉතිං ඔන්න ඔහොම දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවාගෙන ඉන්නකොට මට හම්බ උනා අපේ ආයතනයෙම වෙනත් අංශයකට ස්ථාන මාරුවක්, ගෙදරට වඩාත් කිට්ටු තැනකට, බකමූණට, දන්නව නේද බකමූණ, නුවර අනුරාධපුරේ පාරෙ ගිහින් නාවුලින් දකුණට හැරිල තව කිලෝ මීටර් තිස් දෙකක් ගිහාම තමයි බකමූණ තියෙන්නෙ,

තව වැදගත් කාරණාවක් තමයි මෙතන සති අන්තය නිවාඩු, සති අන්තය කිව්වට සෙනසුරාද හවස් වරුවයි, ඉරිදා දවසයි, ඒත් මදෑ ඉතිං කලිං එහෙම එකක් වත් නොතිබුනු කොට,ඉතිං මම දැං කරන්නෙ සෙනසුරාදා හවස ගෙදර ඇවිත් සඳුදා උදේ ආපහු වැඩට යන එකයි,

මේත් මේ එහෙම සඳුදා උදේ වැඩට යන දවසක්,

පත්තරේ තිබුනු මොකක් හරි වැදගත් ප්‍රවෘත්තියකට සමවැදිල හිටිය නිසාවෙන් මට බස් එක පිටත් වෙනව වත් තේරුනේ නැහැ,සීට් උනත් බාගයක් විතර තමයි පිරිල තිබුනෙ,ඊට පස්සෙ නුග ගහ ලඟ ස්ටෑන්ඩ් එකෙන් තව කීප දෙනෙක් නැග්ග, මගෙ සීට් එකයි තව ඉස්සරහම සීට් දෙක තුනකුයි වගේ තමයි හිස්ව තිබුනෙ,

ඊලඟට නවත්තන්නෙ අලුවිහාරෙ, එතෙනදි කවුද මගේ සීට් එකේ ඉඳගන්නව මට දැනුනු නිසා හෙමිහිට පත්තරේ බැලිල්ල පොඩ්ඩකට නවත්තල ඒ පැත්ත බැලුවා,ප්‍රොෆයිල් එක විතරයි පෙනෙන්නෙ, ඒ කිව්වෙ පැති පෙනුම, ම්ම්ම්............ ප්‍රොෆයිල් එක නම් නරකම නැහැ වගේ, ගුරුවරියක් කියල තමයි හිතෙන්නෙ,ඔසරිය ලා කොළ පාටයි, උකුලෙ තියෙන හෑන්ඩ් බෑග් එක දකුණතින් අල්ලගෙන ඉස්සරහ සීට් එකේ ඇන්ද උඩ පොල්ල වමතින් අල්ලගෙන කෙලින්ම ඉදිරිය බලාගෙන ඉන්නවා,

ඔයිට කලිනුත් ඕන හැටිය ගැහැණු, කෙල්ලො හම්බ වෙලා තිබුනට, බස් වල එක ලඟ වාඩි වෙලා ගිහින් තිබුනට, ඒ කවුරු ගැනවත් මගේ හිතේ විශේෂයක් ඇති උනේ නැහැ, හැබැයි මොකදෝ මංදා, මට මෙයාට කතා කරන්ඩම හිතුනා,නිකම් කලිං දැක පුරුදු ගතියක් වගේ හිතට දැනුනත් එක්ක,අර සංසාර පුරුද්දක්ද මොකක්ද කියන්නෙ, අන්න ඒක වෙන්ඩ ඇති සමහර විට,

මුලිම්ම බැලුවා මුද්දක් එහෙම දාලදෝ කියල, වමත පේන්ඩ තියෙන නිසා ඒක එච්චර අමාරුවක් උනේ නැහැ, සුලඟිල්ලෙ නම් පොඩි මුද්දක් පේනවා, ඒත් ඒක එහෙම එකක් වෙන්ඩ බැහැ, හරි ඒ වැඩේ සාර්ථකයි, දැං ඊලඟ ප්‍රශ්නෙ කොහොමෙයි කතාව පටං ගන්නෙ කියල,

අනික් ප්‍රශ්නෙ තමයි මේ පාරෙ මග දිගට ඉස්කෝල, කතා කරන්ඩත් ඉස්සරවෙලා බැස්සොත් වැඩේ හබක්, අනික කතාකරන්ඩ ගිහිල්ල සවුත්තු වෙන්ඩත් බැහැනෙ, ඔය වාගෙ මගෙ යාලුවෙකුට වුනාය කියන සිද්ධියකුත් මට මතක් උනා, මේ ඇත්තටම වෙච්ච එකක්ද, නැත්නම් හදාපු එකක් ද මන්දා, මෙන්න මෙහෙමයි කතාව, මිනිහාත් ඔය වගෙ ලඟ ඉඳං හිටපු කෙල්ලෙක්ගෙං අහල තියෙනව බස් එකේදි "මිස්, ටීච් කරනවද?" කියල, "නෑ, මම මේ බස් එකේ ඉඳං යනව" ඔන්න හම්බ උනු උත්තරේ, ඒකනෙ, එහෙම වැඩක් උනොත් නම් ඉඳල ඕන නැහැ, මේ බස් එකේ මම දන්න කීප දෙනෙකුත් ඉන්නව, එහෙම උනොත් හතර විළි ලැජ්ජාවයි නෙව,



කොන්දොස්තර ගොයියා ඔන්න ආව සල්ලි එකතු කරන්ඩ, හරි දැං දැන ගත්තහැකි මෙයා බහින තැන, මම කොන්දොස්තරට සල්ලි දුන්නා, මිනිහා මම බහින තැන දන්න නිසා ටිකට් එක දුන්නා, මෙන්න මෙයත් සල්ලි දුන්න, කොන්දොස්තර ඒ විදිහමයි, බහින තැන ඇහුවෙ නැහැ ටිකට් එක දුන්නා, ඒ කියන්නෙ මෙයා නිතර මේ බස් එකේ යන කෙනෙක්, ඒ කාරණේ හොයාගත්තට මට වැඩක් නැහැනෙ, මට ඕන බහින තැන දැන ගන්ඩනෙ, ඉතිං මොකෝ කොරන්නෙ?

මේ වෙලාවෙ බස් එක යන්නෙ ලොකු වංගු තියෙන හරියක, මේ සීට් හදල තියෙන්නෙ දෙන්නෙකුට නෙවෙයි මිනිස්සු එකහමාරකට, මම දැක්ක එයා බොහොම අමාරුවෙං වගෙ සීට් එකේ එල්ලිල ඉන්නව,හරි නැහැ නෙව, මොනව උනත් මනුස්සකම තියෙන්ඩ එපාය, මම පත්තරේ නවල බෑග් එකට දාගත්තා, ඊට පස්සෙ පුලුවන් තරම් ජනේලෙ පැත්තට වුනා, එයා මා දිහා මුල් වතාවට කෙලිං බලල තෑන්ක්ස් කිව්ව, පොඩ්ඩක් හිනා උනා, හ්ම්ම්....., ඉදිරි පෙනුමත් නරකම නැහැ,මමත් හිනා උනා,දැං අපි දෙන්නම ආයෙ ඉස්සරහ බලා ගත්ත, ඔන්න ආයෙ යනව,

ඉස්සරහට එන්නෙ ඉස්කෝල තියෙන හරිය, වහාම කතා කරන්ඩම වෙනවා, මම කතා කලා,

" මිස් ටීච් කරනවද?" එයා දිහා බලල පොඩි හිනාවකුත් දාල එහෙම,ඇහුවා,

" ඔව්" පිළිතුර ආව මද සිනහවකුත් එක්ක, නරකම නැහැ,

ඊ ලඟ ප්‍රශ්නෙ, " කොයි ඉස්කෝලෙද?"

" ........... ඉස්කෝලෙ" හරි, එතනට බස් එක යන්ඩ ටිකක් වෙලා යනව, හොඳටම වෙලාව තියෙනව,

එතකොට මට මතක් උනේ මගෙ ඔෆිස් එකේ යාලුවෙක්ගෙ වයිෆ් වැඩ කරන්නෙත් ඔය ඉස්කෝලෙ කියන එක.

"මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඔය ඉස්කෝලෙ උගන්නව, දන්නවද .........ව?"

"අපෝ, එයා මගෙ හොඳ යාලුවෙක්නෙ, ප්‍රයිමරි එකට උගන්නන්නෙ,"

"දැං එතකොට මේ වෙලාවට ගිහිල්ල ඇද්ද, දැනටම නමයහමාරත් පහු වෙලානෙ"

"ඇති, මම ෆිසිකල් ට්‍රේනිං නෙ කරන්නෙ, ඒ නිසා ප්‍රින්සිපල් මට කියල තියෙන්නෙ පරක්කු වෙලා ආවට කමක් නැහැ කියල"

ඔන්න, කතා කරන්ඩ පොටක් අහු උනා, මේ පාරෙ දිගටම තියෙන්නෙ දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝල, මුල් පත්වීම් ලැබුනු අය අනිවාර්ය දුෂ්කර සේවා කාලයක් සම්පූර්ණ කරන්ඩ ඕනෙ කියල ඒ කාලෙ නියමයක් තිබුනු නිසා, මාතලේ නුවර වගෙ පලාත් වලින් ගුරුවරු, ගුරුවරියො සෑහෙන්ඩ මේ පැත්තෙ ඉස්කෝල වල ඉගැන්නුව, ඉගැන්නුව කියනවට වඩා හොඳයි පොත අත්සන් කලා කියන එක, මොකද මේ වැඩි දෙනෙක් කලේ උදේ පරක්කු වෙලා ඇවිත් හවස පුලුවන් තරම් කලින් ගෙවල් බලා යන එක, මම ඇත්තටම හිටියෙ මේ වැඩේ ගැන හරිම තරහකින්,

"ඉතිං, එහෙම පුලුවන්ද, පරක්කු වෙලා රාජකාරියට එන්ඩ, නියම වෙලාවක් තියෙනවනෙ වැඩට එන්ඩයි, යන්ඩයි?" මම ඇහුවා,

"ප්‍රින්සිපල් මට ඒකට අවසර දීල තියෙන්නෙ,අනික ඔයා මොකටද ඒ ගැන කරදර වෙන්නෙ?, ඔයා මම දැක්කෙත් අදමයි, "

"මේකනෙ මිස්, මම දැකපු දවසෙන් වැඩක් නැහැනෙ, මම කියන්නෙ ඇත්තද, නැද්ද, කියන එකනෙ වැදගත්, බොරුද?"

"මොකක්ද දැං ඔය ඔයා කියන ඇත්ත?, මම පරක්කු වෙලා ගියාට මම හවස ඉස්කෝලෙන් පස්සෙ ළමයින්ට ක්‍රීඩා පුහුණු වැඩ කරනවනෙ, ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?"

එයා ටිකක් තරහෙන් වගේ කතා කලේ, දෙයියෝ සාක්කි, මම වැඩේ සවුත්තු කර ගත්තා වද්ද? වහාම ඩැමේජ් කන්ට්‍රෝල් මෝඩ් එකට යන්ඩ වෙයි වාගෙ, වැඩේ ෂේප් කර ගන්ඩ ඕන මොනව කරල හරි,

"නැහැ, මිස් ගැන පෞද්ගලිකව නෙවෙයි මම කිව්වෙ, ඔයා හරියට රාජකාරිය කරනව ඇති, ගොඩක් දෙනෙක් එහෙම කරන්නෙ නැහැ, ඒකයි මම කිව්වෙ"

"ඔව්, එහෙම කරන අයත් නැත්තෙමත් නැහැ "එයා මගේ දිහා බලල හිනාවෙලා එකඟ උනා,හරි යන්තම් වැඩේ ෂේප් වගේ,


මමත් එයා දිහා බලල හිනා උනා,

මේ වෙනකොට කතාවෙන් කතාවෙන් ඔන්න එයා බහින තැනටත් ආව,

"මම බහින්නම්" කියල එයා බැස්සා,

බැහැල මට හිනා වීගෙනම පාර හරහා මාරුවෙලා ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් උනා,

මමත් හිනාවීගෙන එයා දිහාවම බලාගෙන හිටියා,

ඇය හා මා හමු වූ මුල්ම දිනය පිළිබඳව මසිතේ නොමැකෙන සේ සටහන් වී ඇති සේයාවන් නැවත පෙලගැස්වුමකි මේ.

අද ඇගේ උපන් දිනය නිසාවෙන් මේ සටහන තැබූයෙමි.

Incidents occur everyday in our life,
Most of them are ordinary, everyday happenings,
But once in a blue moon, an incident may be life defining,
And you only get to realize it in retrospect,

Well, I can say with all my heart, that was my life defining moment indeed,


Friday, December 3, 2010

68. අපේ ආණ්ඩුව (රටේ ආණ්ඩුව නොවෙයි)



අපිට ආණ්ඩුවක් තිබේ. එය හරිම සිත්ගන්නා සුළුය. ඒ මන්ද යත්,

ජනාධිපති,
අගමැති,
කැබිනට් ඇමතිවරු,
කැබිනට් නොවන ඇමතිවරු,
විපක්ෂ නායක,
විපක්ෂයේ මන්ත්‍රීවරු,
සංස්ථා හා දෙපාර්තමේන්තු සභාපතිවරු හා ප්‍රධානින්,
අමාත්‍යාංශ ලේකම්වරු,
ආදී වූ සියලුම ධූරයන් පමණක් නොව පොදු මහජනතාවගෙන් අතිමහත්වූ බහුතරය
ද නියෝජනය කරනුයේ එක්
ස්ත්‍රියාවකුත් එක් පුරුෂයකුත් විසිනි.

ප්‍රධාන වශයෙන් ගත් කල,
ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයත්, වෙළඳ කටයුතු අමාත්‍යාංශයත්, ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශයත්, ගෘහ නිර්මාණ හා ගෙවතු නිර්මාණ අමාත්‍යාංශයත්,
ඇමතිතුමාට සින්නක්කරවම ලබා දී ඇත. එහෙත් ඔහු සිතන්නේ ඔහු
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. නිශ්චිත කාර්යය භාරයක් නොමැති විට අනේක විධ අමාත්‍යාංශවල කටයුතු වලට ඇඟිලි ගැසීමට සිදුවීම එයට හේතුවයි.

එලෙසම ඇමතිනියටද සිතෙන්නේ තමන්ද
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. එයටද හේතුව පූර්වයේ සඳහන් කරන්නට යෙදුනු කාරණයයි. එනමුදු ප්‍රධාන වශයෙන් ගත් කල ඇයටද සින්නක්කරව ලියා දුන් අමාත්‍යාංශ කිහිපයක් ඇත.

ගෘහ පිරිසිදු කරණය හා ගෘහ පාලන අමාත්‍යාංශය, වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන අමාත්‍යාංශය, ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශය,
අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශය
ඒවා අතුරින් ප්‍රධාන වෙයි.

මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙරම අමැතිතුමා විසින් සම්පාදනය කරගන්නට යෙදුනු රෙදිපිළි නැවත සැකසුම් යන්ත්‍රය ඇමතිනියට හරියාකාරව ක්‍රියා කරගන්නට නොහැකි නිසාවෙන්, (ඇත්තටම, නොහැකි සේ සිටින නිසාවෙන්)
පේෂ කර්මාන්ත අමාත්‍යාංශය නමින් නම් කෙරුනු එම අමාත්‍යාංශයද ඔහුට ම හිමිවී ඇත. ඒ අනුව ඇමතිතුමාට දිනපතාම එහි කටයුතු වල නිරත වන්නට සිදුවී ඇති අතර මෙයට අමතරව එම යන්ත්‍රය මගින් නැවත සකසන රෙදි පිළි ඇඟළුම් බවට පත් කර රත්කරන ලද යන්ත්‍රයෙන් කරන අවසන් නිමැවුම සිදුකිරීමේ කාර්යය භාරයද මෙම අමාත්‍යාංශයට ම අනුබද්ධව ඇත.

මේ අතර ඇමතිතුමා විසින් ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරු
කුමන අභයභුමි සංවර්ධන අමාත්‍යාංශයත්, මින්මැදුරු සංවර්ධන හා ජලජීවී අභිජනනය පිළිබඳ වූ අමාත්‍යාංශයත් පෙර පරිදිම ඔහු භාරයේ තබාගෙන තිබේ.

එම අමාත්‍යාංශයේ කටයුතු නිසා අනෙකුත් අමාත්‍යාශයන්හී කටයුතු වලට බාධා හා අවහිරතා ඇතිවන විට, එනම්
ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ කටයුතු ප්‍රමාදවී පාර්ලිමේන්තුවෙන් පිටවන වේලාව එහෙ මෙහෙ වන විට ඇමතිතුමිය විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන් සුරුස් බුරුස් ගාමින් නියම විරුද්ධ පක්ෂ නායකයකුගේ ලක්ෂණ විදහා පෑම ආරම්භ කරනා බව අසල්වැසි රාජ්‍යයේ රටවැසියන් වන ඇමතිතුමාගේ පාර්ශවයේ පිරිසද අත්දැකීමෙන් දන්නා කරුණකි. මෙවන් විට අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමියද මෙම රාජ්‍යයේ ඇමැතිතුමියට සහයෝගය පිණිස පැමිණ, මින්මැදුරු සංවර්ධනය මුවාවෙන් ජල හා විදුලිය අනිසිලෙස පරිභෝජනය කිරීමේ දෝෂ අප ඇමතිතුමා මත දමමින් හරි හරියට කරුණු දක්වනු ලබන අතර මෙම මින්මැදුරු සංවර්ධන අමාත්‍යාංශයත්, කුමන අභයභූමි සංවර්ධන අමාත්‍යාංශයත් එදා සිටම වියදම් මිස ලාභ නොලබන අමාත්‍යාංශ නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිය යුතු බවට කරුණ එකින් එක ගෙනහැර පායි. එවිට එම සංවර්ධන කටයුතු විගස නිමවා ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ යතුර අතට ගන්නා ඇමතිතුමා මෙරට පැංචිතුමිය අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමිගේ අතමත තබා, ඇමතිතුමියද ගෙන පිටවයයි.

මෙයට අමතරව
ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශයේ කටයුතු හී ඇමතිතුමිය නිරතව සිටිනා අවස්ථාවන්හී පොදුමහජනතාවගෙන් සුළුතරය වූ පැංචිතුමිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණ කරන්නට යෙදුනහොත් වහා ක්‍රියාත්මක වන ඇමතිතුමා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ වැඩකටයුතු සියතට ගෙන, ඉල්ලීම් වලට කන්දෙමින්, කියන කියන දේ කරමින් මහජනතාවගේ සිතසුව පිණිස කටයුතු ආරම්භ කරයි. මෙය අප ඇමතිතුමියට සිය කටයුතු නිසියාකාරව කරගෙන යාමට අතිමහත් රුකුලකි.‍ එසේ නොවුනා නම්, ඇමති මණ්ඩලය ම බඩගින්නේය.

තවද මේ ආකාරයටම අවස්ථානූකූලව අමාත්‍යාංශයන් හී කටයුතු හවුලේ බෙදා හදාගෙන පරිපාලනය කරන්නට සිදුවන අවස්ථා එමට තිබේ. උදාහරණයක් හැටියට,
වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ කටයුතු සඳහා ඇමතිතුමා සියලුම දේවල් අතමානයේ තබන නිසාවෙන් ඇමතිතුමියට පනුවන් සිටින පස් ගෙන පෝච්චිවලට දැමීම නම්වූ මහා භායනක, අතිභාරදූර කාර්යයේවත් යෙදීමට සිදුවන්නේ නැත. එනමුදු ඇමතිතුමිය වීරවරියක ලෙසින් මෙම අමාත්‍යාංශයේ කටයුතු ඇයගේ විනෝදාංශ ලෙසින් පවසමින් ඇමතිතුමා විසින් ම ඡායාරූපයට නගන ලද පිංතූර අන්තර්ජාලයේ පල කරයි. අප ඇමතිතුමාගේ නිහතමානී, නිරහංකාර ගුණය නිසාවෙන් ඇමතිතුමියගේ මෙම ගුණය අන්තර්ජාල වාසීන් දන්නේ නැත.

අප ඇමතිතුමා මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරූ තවත් අමාත්‍යාංශයක් වශයෙන්,
ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදිය හැකි වුවද පසුව ලද අනේක විධ අමාත්‍යාංශ ගණනාව හේතුවෙන් එම අමාත්‍යාංශයේ කටයුතු බාලගිරි දෝෂයට ලක්ව ඇමතිතුමාගේ උදරය මදින් මද එළියට නෙරා එමින් පවතින බවක් පෙන්නුම් කරයි. ඒ කෙසේ වුවද මසකට වරක් දෙවරක් ඉරු දින සන්ධ්‍යා කාලයේ දී විනෝද උද්‍යාන බලා සිදු කෙරෙන කෙටි නිල සංචාර වලදී පැංචිතුමියත් ඇමතිතුමියත්, පැංචිතුමිය කැමති ආකාරයේ කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නා අතර එක්දින ක්‍රිකට් සංචාර සඳහා පැමිණි වයස 13 පහළ පමණ වන ක්‍රීඩකයන් හට කකුල් කඩිත්තුව හැදෙන තුරු දුවමින් පන්දු සෙවීමට කටයුතු සැලැස්වීම අප ඇමතිතුමා ඉතාමත් සතුටින් නිරතවන කටයුත්තකි. මෙහි අතුරුඵලයක් ලෙස අනතුරුව එළඹෙන සතිය තුල පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේ සභා කටයුතු මදකට නවතා විවිධ බාම් වර්ග ගාමින් ඇමතිතුමාගේ ඇදුනු අතපය යලි යථා තත්ත්යට ගැනීමේ කටයුතු වල යෙදීමට ද අප ඇමැතිතුමියට සිදුවෙයි.

තවද පැංචිතුමිය මෙරට පදිංචියට ඒමට පෙර
සිනමා ශාලා සංවර්ධනය කෙරෙමින්ද, නොයෙකුත් දේශීය නිල සංචාර සංවිධානය කෙරෙමින් ද, යහමින් කටයුතු සිද්ධ වුනු විනෝදාස්වාද දෙපාර්තමේන්තුව යළි නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන ‍මේ දිනවල ඇමති මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින අතර ඒ සඳහා ඇරඹුමක් වශයෙන් එළඹෙන ඉරුදින මහනුවර ප්‍රදේශය බලා නිල සංචාරයක් සඳහා පිටත්වීමට අවශ්‍ය විධිවිධාන සිදු කෙරෙමින් පවති.

නුදුරු දිනෙකදී
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටවූ පසුව අනෙකුත් සියලුම අමාත්‍යාශ වල කටයුතු වලට වඩා එම අමාත්‍යාංශයේ කටයුතු මූලික තන්හී තබා කටයුතු කිරීමට අප ඇමති මණ්ඩලය දැන් සිටම තීරණය කොට ඇත. අනෙකුත් අමාත්‍යාංශ කොතෙක් දුරට සාර්ථක වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ සාර්ථකත්වය තරම් ඒවා නොවටිනා බව අප ඇමති මණ්ඩ‍ලයේ අදහසයි. මේ දිනවල එම අමාත්‍යාංශයේ කටයුතු සඳහා පෙරහුරුද පැවැත්වෙයි. තවද එම අමාත්‍යාංශය පිහිටු වීමේ මුල් ගල් තැබීමට මත්තෙන් තව එක් සිසුවෙක් බඳවා ගැනීමට මේ දිනවල නිල නොවන මට්ටමෙන් සාකච්ඡා පැවැත්වේ. කෙසේ වුවද ඒ පිළිබඳ කටයුතු යථා කාලයේ ථතා අයුරින් සිදුවනු ඇත.

අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශයේ කටයුතු මේ වනතුරුත් ඇමතිතුමිය යහපත් අයුරින් පවත්වාගෙන යන බව ඇමතිතුමාගේ අදහසයි. ඒත් කොයි මොහොතේ හෝ නොමනා දෙයක් සිදුවේදැයි එතුමා පරීක්ෂාවෙන් පසුවන්නේ, චිරාත් කාලයක් ති‍ස්සේ මෙවන් වූ අසල්වැසි රාජ්‍ය අතර උන්හිටි අඩියේ යුධමය වාතාවරණ ඇතිවීමේ ප්‍රවණතාවක් අප රටේ ඇති බැවිනි.

අප ඇමතිතුමියද ඒ පිළිබඳ ව සිය අවධානය නිරතුරුවම රඳවාගෙන සිටියි.
දෙරට අතර සුහදතාව වර්ධනය කරගනු වස් ඇය විසින් විවිධ ක්‍රියාමාර්ග විටින් විට අනුගමනය කරයි. එරට විශේෂ උත්සව දිනයන් මනාව සිහියේ තබාගෙන සිට, අවැසි ආකාරයෙත්, මෙරටින් ඒ සඳහා වෙන්කල හැකි ප්‍රතිපාදන ප්‍රමාණයේ හැටියටත් ගැලපෙන ත්‍යාග ගෙන එරට සංචාරයකට පිටත්වීම, එරට උප ඇමතිනියට විටින් විට අවැසි වෙන යම් යම් දේවල් ප්‍රදානය කිරීම, එරට අගමැතිතුමිය සමග සැඳෑ කාල වලදී සුහද සාකච්ඡා වල නිරත වීම ආදී වූ එකී‍ නොකී කටයතු වල යෙදෙමින් දෙරට අතර සුහදතාව වර්ධනය කර ගැනීමට අප ඇමැතිතුමිය ගන්නා උත්සහය ඇමතිතුමාගේ හිසේ මල් දහසක් පුබුදුවන සුළුය.

රත්තරං වළලු දාපු අත්දෙකකින් කෑම වේල ලබන්නට පිරිමි උදවිය මනාප බැවින් කෑම ලබාදෙන අතට රත්තරං වළලු දමන්නට ඇමතිතුමාට සිතුනා විය හැකිය. එබැවින්දෝ ඇමති මණ්ඩලය වෙත තුන් වේල නිමවා දෙන අප ඇමති තුමියගේ අතට එළඹෙන සතිය තුල රන් වළලු දෙකක් දැමීමට ඇමතිතුමා කටයුතු සිද්ධ කරමින් සිටින බවට නිල නොලත් ආරංචි මාර්ග මගින් ඇමතිතුමියගේ සවනට පතිත වීම හේතු කොට ගෙන ඇයද පසුවන්නේ ඉහේ පිපිණු මල් දහසක් දරාගෙනය.

මෙම ලිපිය සකසාගෙන යන මේ මොහොතේදී ඇත්තටම අප ඇමතිතුමියට හිතෙන්නේ ඇමතිතුමා
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙක් ය යන්න සත්‍යයක් බවයි. එලෙසම ඇමතිතුමියද කාර්යය භාරයක් නොමැති ඇමතිනියක් බවද ඇයට මෙහිදී මොනවට වැටහීගෙන එයි. එනම් මෙවන් ආණ්ඩු පවත්වාගෙන යනවිට එලෙස නිශ්චිත කාර්යය භාරයක් පමණක් භාරයට ගෙන ‘මේක මගේ, අරක ඔයාගේ’ කියමින් කටයුතු පැහැර හැරිය නොහැකි බවයි. හේතුව සියලුම අමාත්‍යාංශ වල කටයුතු කරගැනීමට තිබෙන්නේ දෙදෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් බැවිනි. එම ඇමති මණ්ඩලයේ සාර්ථකත්වය මත පොදු මහජනතාව වු පැංචිතුමි ලාගේ අනාගත දිදුලීම අනුලෝමව සමානුපාතික වන නිසාවෙන් ඇමති මණ්ඩලය නිරතුරුවම සක්‍රීයව පැවතිය යුතුව ඇත. කොටින්ම පංගු පේරුවෙන් මේ ආණ්ඩුව සාර්ථකව පවත්වාගෙන යා නොහැකිය.

ඇමති මණ්ඩලයේ දෝෂ නිසා එක් ඇමති කෙනෙකු තනි කැමැත්තට, අනෙකා ඉවත් කර හෝ නොකර වෙනත් ඇමතිවරියක හෝ ඇමතිවරයකු බඳවාගෙන පොදු මහජනතාව අගාධයට හෙලූ අවස්ථාවන් ලොව කොතෙකුත් තිබේ.

එසේ අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ නොදී, සියලු ම කටයුතු යහපත් අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට නම්, එකා මෙන් එකමුතුව සකසුරුවමෙන් ආදරණීයව කටයුතු කලයුතු බව
අපි නම් වූ ඇමති මණ්ඩලය හැමදාම සිහි කරන්නෙමු.

අපට ජය වේවා !!!

වර්ෂ 2002 ක්වූ නොවැම්බර් මස 2 වන සෙනසුරාදා එළඹෙන්නට යෙදුන අවබෝධතා ගිවිසුමට එල්ල වූ නොයෙකුත් බාධක හිරිහැර කම්කටොළු මැද, එම ගිවිසුමට හානියක් නොවන ලෙස පවත්වාගෙන ආ අප, වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 5 වන සිකුරාදා නිත්‍යානුකූලව පිහිටුවන්නට යෙදුනු අප ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය මෙම මස 5 වන ඉරු දිනට යෙදෙන අතර අද දින එදා මෙන්ම දෙසැම්බර් මාසයේ පළවෙනි සිකුරාදාව නිසාවෙන් මෙම ලිපිය මෙසේ පළ කරන්නට යෙදුනෙමි.


අවබෝධතා ගිවිසුම් සමය

පාර්ලිමේන්තුව නිල වශයෙන් පිහිටුවීම


පැංචිතුමියගේ ආගමනයට පෙර සූදානම
(මහනුවර නිල සංචාරය - 05/07/2009)


පැංචිතුමියගේ ආගමනය


වර්තමාන පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය

Monday, November 29, 2010

දරාගැනීමේ හැකියාව සහ රක්ෂණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ජීවිතය


මට හිතුන මුලින්ම මම රැකියාව කරන ක්ෂේත්‍රයේ, ඒ කියන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් ලෙස සැලකෙන කරුණු දෙකක් අපේ ජීවිත වලට, විශේෂයෙන් ජීවිතේ අපි ගොඩ නගා ගන්නා සම්බන්ධතා වලට අදාල වෙන්නෙ කොහොමද කියල විපරම් කරල බලන්ඩ,

ඕනෑම ඉදිකිරීමකට මේ කරුණු අදාල උනත් අපි ගොඩනැගිලි විතරක් සලකලා බලමු,

පළවෙනි කාරණය තමා, දරාගැනීමේ හැකියාව මැනීමේ පරීක්ෂණය, මේක ඉතාම වැදගත්, ඒ වගේම ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගන්ඩ පෙර අනිවාර්‍යයෙන්ම කළයුතු පරීක්ෂණයක්, ( Bearing Capacity Test කියල තමයි මේක හඳුන්වන්නෙ)

මේකෙන් කරන්නෙ ගොඩනැගිල්ල ඉදිකරන භූමිය ඉදිකලයුතු ගොඩනැගිල්ලේ බර දරාගැනීමට තරම් සමත්ද කියලා පරීක්ෂා කරන එක, ඉතිං කියන්ඩ දෙයක් නැහැනෙ පරීක්ෂණය අසමත් උනොත්, එක්කෝ ඒ භූමියේ දරාගැනීමේ හැකියාව වැඩි කිරීමට සුදුසු පියවර ගන්ඩ වෙනවා, එහෙම නැත්නම් එතන ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමේ අදහස අත ඇරල දාන්ඩ වෙනවා, වෙන ප්‍රතිකර්මයක් නැහැ,

මේ දරා ගැනීමේ හැකියාව පරීක්ෂාකිරීම අපි ගොඩනැගිලි වලට කලාට අපි ජීවිතේදි නම් කරන්නෙ නැහැ, ඇත්තටම බැලුවොත් එහෙම කරන්ඩත් බැහැ, ඒ කියන්නෙ අපි ජීවිතේ ගොඩ නගා ගන්නා සම්බන්ධතා බැලුවොත් එහෙම දෙයක් ආරම්භ කරන්නට පෙර මේ සම්බන්ධතාවය දරාගැනීමට, මෙතන ඇත්තටම කියන්ඩ ඕනෙ මේ සම්බන්ධතාවය බිඳ වැටුනොත් ඒ තත්වය දරාගැනීමට කියල, හැකියාවක් මට තියෙනවද කියල අපි හිතන්නෙ නැහැනෙ, එහෙම හිතනවයි කියන්නෙත් අපිටම මේ ගැන විශ්වාසයක් නැහැ කියන එකනෙ, අනික එහෙම සම්බන්ධයක් පටන් ගැම්මෙදිම සෘණාත්මක හිතන්ඩ අපි කවුරුවත් කැමති වෙන්නෙත් නැහැනෙ,

ඉතිං ඉදිකිරීමකදි මුලින්ම මේ Bearing Capacity Test එක කලාට ජීවිතේදි අපිට මේකට මුහුණ දෙන්ඩ වෙන්නෙ අපි ඉදිකරපු, එහෙම නැත්නම් වෙන කෙනෙක් අපේ හදවතේ ඉදිකරපු ගොඩනැගිල්ල, මොනයම් හේතුවක් නිසා හෝ බිඳී වැටුනට පස්සෙදියි,අපිට ඒ බිඳවැටීම දරාගත හැකිද කියන කාරණය මත තමයි අපි Test එක සමත්ද අසමත්ද කියලා තීරණය වෙන්නෙ,

මේක ඉතිං එක එක්කෙනාට හරිම වෙනස්, Bearing Capacity ඉහල අගයක් ගන්න අය ඒ කියන්නෙ ඕනම දෙයක් දරාගත හැකි අය වගේම පහළ අගයක් ගන්න ,මේ බිඳවැටීම දරාගත නොහැකි අයත් අපි අතර ඉන්නවා,

අනිත් කාරණේ තමා යම් කෙනෙක්ගෙ Bearing Capacity එක තීරණය වෙන්නෙ කාරණා කීපයක් මතයි, ඒ පුද්ගලයාගෙ මානසික තත්වය, බිඳවැටුනු සම්බන්ධතාව කොපමණ සමීප සම්බන්ධතාවයක්ද යන කරුණ, සම්බන්ධතාව බිඳ වැටීමට හේතු වු කරුණ හෝ කරුණු,ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන දිරිය මේ වගෙ කරුණු බොහෝ දුරට බල පානවා,

හැබැයි ඉතින් කියන්ඩ තියෙන්නෙ මොන හේතුවක් නිසා හරි මෙහෙම බිඳ වැටීමකට මුහුණ දුන්නොත් හැකි ඉක්මනට තමන්ගෙ Bearing Capacity එක වැඩි කරගෙන ජීවිතේට මුහුණ දෙන එක තමයි කල යුත්තේ, Bearing Capacity අඩු නම් ඉතින් එතන ඉඳං ජීවිතේ විඳවන්ඩ තමයි වෙන්නෙ,

දරාගැනීමේ හැකියාව ගැන එපමණයි, දැං දෙවෙනි කාරණාව,

දෙවෙනි කාරණාව තමයි රක්ෂනය,නැත්නම් Insure කිරීම, ඉදිකිරීමකට කලින් නොයෙක් මාදිලියේ රක්ෂණ අනිවාර්යයෙන් ලබාගතයුතු වෙනව එක එක කොටස් ආවරණය වෙන විදිහට, ඒත් මට හිතෙන්නෙ අපේ කතාවට ඉතාම අදාල වෙන්නෙ ඉදිකරන ගොඩනැගිල්ලෙ සම්පූර්ණ වටිනාකමත් සමඟ තවත් 10% අමතර ප්‍රමානයක් එකතු කරල, ඒ වටිනාකමට ලබාගතයුතු රක්ෂණයක් තියෙනවා,

මේ රක්ෂණයෙ පරමාර්ථය වෙන්නෙ ගොඩනැගිල්ල කඩා වැටී නැවත ඉඳිකිරීමට සිදුවුවහොත් ඒ සඳහා යන වියදම පියවා ගැනීමයි, අමතර 10% ක් එකතු කර ඇත්තේ කඩා වැටුනු ගොඩ නැගිල්ලේ සුන් බුන් ඉවත් කර අලුතින් ගොඩනැගිල්ල ඉදිකිරීමට සුදුසු පරිදි භූමිය සකස් කිරීමට යන වියදම පියවා ගැනීමටයි,

මේ කාරණය අපේ ජීවිතේට සම්බන්ධව කතා කලොත් අපිට ඉතාම වැදගත් වෙන්නෙ මෙන්න මේ 10% තමයි, මොකද බිඳ වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් අපේ ජීවිතෙන් අයින් නොකර අලුත් ගොඩ නැගිල්ලක් හදන එක බොරු, අලුත් ගොඩනැගිල්ලක් හදන එක කොහොම වෙතත් කඩා වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් ගොඩ ගහගෙන ඉන්න එකත් මහ වදයක් නෙව, ඒත් අපි හුඟ දෙනෙක් කරන්නෙම මේකනෙ, සුන් බුන් අයින් නොකර ඒ දිහාවෙ බලාගෙන කඩා වැටෙන්නට කලින් තිබ්බ ලස්සන මතක් කරකර දුක් වෙන එක, විඳවන එක,

ඉතිං අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නෙ මේ වගෙ අවස්ථාවක කල යුත්තෙ මුලින්ම අර 10% පාවිච්චි කරල සියලු සුන් බුන් වහාම හදවතින්/ජීවිතෙන් ඉවත් කරල නොපෙනෙන දුරකට ගිහින් දාන එක තමයි, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ නම් අපි කරන්නෙ ඒකනෙ, ජීවිතේටත් ඒ වැඩ පිළිවෙල එහෙමම අදාලයි මට හිතෙන්නෙ,

Wednesday, November 24, 2010

තනි තරුවට ලියූ කවිය...............


සඳ කැලුම් දිය අතුල ගෙමිදුලේ ඇවිදයමි,
පිපි කුසුම් ගොමු අතර පිණි වැටෙන හඬ අසමි,
වලා පට සලු පැළැඳි සුරඟනක් සේ අහිමි,
හුදෙකලා තරු කුමරි නොසිතු මොහොතක දුටිමි,

හිරු මැකී ගිය පසුව දිදුලනා රෑ අහස,
පෙර අඹර පහන්වන විට මැකෙන රූ දසුන,
උදෑසන හිරු එළියෙ කුසුම් ගොමු මත දිදුල,
පිණි බිංදු නොවේ ඒ ඔබ නෙතින් ගැලු කඳුල,

දයාබර තනි තරුව,ඔබ අහස මුදුනතය,
කඳුලු බිඳු පතිත වේ පිණි ලෙසින මා අවට,
උදෑසන පිය මනිනු නොහැක මල්ගොමු අතර,
ඔබෙ කඳුලු මතින් පියවර තබනු නොහැක මට,

සැම රැයම ඔබ හඬනු මම බලා සිටින්නෙමි,
ඔබෙ කඳුලු බිඳු අතර මගෙ කඳුලු හෙලන්නෙමි,
තනි තරුව කඳුලු පිස සිනා සෙනු පතන්නෙමි,
එතෙක් ඔබ හා එක්ව පිණි කඳුලු හෙලන්නෙමි,

Tuesday, November 16, 2010

අද පටන්, මිතුරු සිතුවිලි වෙතත් නිදහස් සිතුවිලි හී ඉඩක්...........

මාගේ ලබැඳි මිත්‍රයෙකු, මගේ බ්ලොග් අඩවියේ සම හවුල් කරුවෙකු ලෙසින් අද පටන් සිය සිතුවිලි අකුරු කරනු ඇත. පහතින් දිස් වනුයේ එලෙසින් පළවන පළමු පැදි පෙළයි.

මගේ සෙනෙහස අපරිමිත, කිසිදා මහලු නොවේමය...................


සඳලු තලයේ වැතිර ඉමි,
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,

අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,

සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?

නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති

Friday, October 29, 2010

67. ලේ නැති මස්.........

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.

(එදා: වැනීසියේ වෙළෙන්දා)
............................................................................


මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්


හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.

(අද: මනුස්සකම් වැනසී ගිය වෙළෙන්දෝ)

Friday, September 24, 2010

66. පූජියාමා ව නිසලව බලා සිටී.

කාර්යාලයේ වාර්ෂික මිතුරු හමුව මේ සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව මා දැන ගත්තේ පසුගිය සතියේය. ඒ පිළිබඳව කසුකුසුවක් පසු ගිය මාසය පුරාවටම තිබුණද නිශ්චිතව දිනයක් නම් කරන්නට යෙදුනු බව ස්ථිරව ම දැන ගත්තේ පසුගිය සතියේය. දැන් එළඹ ඇත්තේ භාර දූර ම අවස්ථාවයි.විවාහ වී වසර දෙකකට ආසන්න වුවද විවාහයෙන් පසුව මෙවන් උත්සවයක් සංවිධානය වන ප්‍රථම අවස්ථාව නිසා මෙය අපගේ යුග දිවියට අළුත් අත්දැකීමකි.එනමුදු විවාහයට පෙර ප්‍රේමවන්තයින් සේ ගෙවුනු යුගයේ නම් මෙවන් අවස්ථාවන් තුන හතරක්ම එළඹුනු අතර ඒ අවස්ථාවන් වලදී සිදුවුනු සිදු වීම් නිසාවෙන් මා සිතේ ඇත්තේ චකිතය පිරුණු තිගැස්මකි.



‘ඇය මෙය කොහොම පිළි ගනියිද?’



පෙර අවස්ථාවන් හී දී ඇයගේ හැසිරීම් සිහිවන විට නම් මා නොසන්සුන් වන අතර මේ ගමන නොගොසින් සිටින්නට සිතන්නට හැකියාවක් තිබේ දැයි මගේ සිතම පීරමි. නැත. මගේ සිත කැමති වනුයේ කෙසේ හෝ මේ ගමන යන්නටමය. ගොස් ආ පසු සිදුවන දේට ඒ වේලාවට මුහුණ දෙමි. කෙසේ වුවද ඈ මාගේ ආදරණීය භාර්යාවයි. ඇය විසින් එළඹෙන දරුණුම යුද්ධය කඳුළු සලා හඬමින් ආඩපාලි කිම පමණි. එය එවිට ඇය සනසමින් විසඳා ගැනීමට මා හට හැකියාවක් ඇති බව විශ්වාසය. එය පළපුරුද්දෙන් ලද හැකියාවකි. එබැවින් මේ ගමන මම යමි.



මා සේවය කරනුයේ සමාගම් කිහිපයක එකතුවක් වූ ආයතයනයකට බැවින් සේවක සංඛ්‍යාව 400ක් 500ක් පමණ වෙයි. පවුල් පිටින් ගෙට් ටුගෙදර් පැවැත්වීම ඉතාමත් අපහසු කාරණයක් බව මේ සේවක සංඛ්‍යාව හා සළකා බැලීමේදී ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එබැවින්, මා බිරිඳ සේවය ක‍රන කාර්යාලයේ සෑම උත්සවයකට ම මා ආරාධනා ලැබුවද ඇයව අප ආයතනයේ එකඳු උත්සවයකටවත් මේ වනතුරු සහභාගී කරවා ගැනීමට මා හට නොහැකි විය. එය මගේ සිතට කණගාටුවක් උපදවන කරුණකි.



“පොඩි වැඩක් තියෙනවා ඔයාට කියන්න” පසුගිය සඳුදා වැඩ නිමවා නිවසට එන අතරතුරේ කල් යල් බලා පැවසුවෙමි.



“ඇයි?....... මොකද්ද?”



“අපේ ඇනුවල් ගෙට් ටුගෙදර් එක තියෙනවා මේ සතියේ............ පෝය කවද්ද?” අමතර පැනයකුත් සමඟ පැවසුවෙමි.



“අනිද්දානේ. 22 වෙනිදානේ. එදාටද තියෙන්නේ?” ඇය ඇසුවාය.



“ඒකනේ වැඩේ. 24 වෙනිදා තියෙන්නේ. 24 කවද්ද?”



“24 සිකුරාදානේ. ඇයි අනේ සතියේ දවසක්?” ඇය මවිතය පළ කරයි.



“ අනේ මන්දා. මට නං යන්නත් හිතක් නැහැ.” මම අවංකවම පැවසුවෙමි.



“ඇයි ඒ?” ඇය බලාපොරොත්තු සහිතව ඇසුවාය.



“පවුල් වල අය නැහැනේ. අනේ මන්දා ඔයාලාගේ වගේ නෙමෙයිනේ, බොස්ලා හිතන්නේ නැහැනේ, ගෙට්ටුගෙදර් එකක් වුනහම පවුල් වල අයත් එනවා නං හොඳයිනේ” ඇයගේ මුහුණ පැති කණ්නාඩියෙන් නිරීක්ෂණය කරමින් පැවසුවෙමි. පැහැදිලි වෙනසක් නොදුටුවෙමි. මීට අවුරුදු 4කට 5කට පෙර නම් ඒ වදන් පෙලම ඇති ඇයට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නට. කාලයත් සමඟ ආලය වෙනස් වෙලාද?



“එහෙම කොහොමද අනේ. අපේ වගේයෑ. කොච්චර සෙනගක් ඉන්නවාද? ඔය සේරම පවුල් පිටින් ආවොත් හොඳට හිටියි” ඇය තර්කානුකූලව පවසා ආයතනයේ පැත්තට කථා කලාය.



“ෂික්.......... ඒ වුනාට............”



යතුරුපැදියට ඉන්ධන සපයා ගැනීමට ඉන්ධන හල වෙත හැරවූවෙමි.



“පන්සීයක”



මුදල් පසුම්බිය අතට ගෙන මුදල් ගන්නා ගමන් පැවසුවෙමි.



පසුම්බිය ඉරී හිල්වී ඇත. පැත්තක නූල්ද ගැලවී ඇත. කලිසම් සාක්කුවේ වදින පැත්තේ උඩු හම ගැලවී යටි හම මතුවී දම් පාටින් බබලයි. පසුම්බිය අතට ගන්නා සෑම විටම කිසිවකු එය දකීදැයි දෙනෙත් වටම සරන්නේ නිරායාසයෙනි. මේ මාගේ නොසැලකිල්ලද? දුප්පත් කමද? නැත. මේ පසුම්බිය මෙයට වසර තුනකට පෙර අපගේ ආදර සැමරුම් දිනයේදී ඇයගෙන් තිළිණ ලද්දකි. වෙළෙඳ නාමය සුපිරි වුවද, මද කලකින්ම පෙරකී දම්පාට මතුවිය. ඇයගෙන් ලද තිළිණය නිසාවෙන් ඉවත් කරන්නට හිතේ ඇතිවුනු ලෝභ කමින් තවමත් එයට මා සන්තකයේ පැවතීමට වාසනාව පෑදී ඇත.



ඇය කරනා බොහෝ දේවල් මගේ හිතට ඇති කරන්නේ ලෝභ කමක්මය. කරන්නට හිතුනොත් ඒ දේ කරන්නේමය. සැලසුම් සහගතව මගේ උපන්දිනයට යමක් කරන්නට ඇයට නොහැකී වූයේ එකම එක වරකි. ඒ අප විවාහ වූ අවුරුද්දේය. විවාහයෙන් දින 11කට පසුව මගේ උපන් දිනය යෙදුනු බැවින් ඇයට යමක් සැලසුම් කර ගත නොහැකි විය. පුංචි දෙයකින් හෝ මා සතුටු කරන්නට ඇය සෑම විටම උත්සහ දරන්නීය. මාත් එහෙමද?



ඇයට අනුව නම් ඇය මා හට දක්වන ආදරයටත් වඩා මම ඇයට ආදරය දක්වමි. ඒ ඇය සිතනා ආකාරයයි. සමහර විට මගේ හිතේ තිබෙනා වූ අකලංක වූද, ප්‍රේමණීය වූද හැඟීම මටත් වඩා හොඳින් ඇය වටහාගෙන ඇතිවා විය හැකිය. ඇය එසේ සිතනා විට මා හට සිතෙන්නේ ඇය මා කෙරේ දක්වන ආදරයට අලගු තබන්නටවත් මා හට නොහැකිය යනුවෙනි. සමහර විට එය මෙසේ විය නොහැකිද? අපගේ කුටුම්භයේ සතුට, සාමය, ආදරය මේ හැම දේම, හැම බැඳීමක්ම රැඳී රැකී තිබෙන රහස මේ දෙපැත්තට සිතනා සිතුවිලි විය නොහැකිද?



ඇය කිසි විටෙක කිසිම දෙසෙක මා නොමැතිව යාමට අකමැතිය. කන්තෝරුවේ පිරිස පමණක් සහභාගීවන යම් යම් අවස්ථාවන් වලට නිහතමානීව, තමන්ට පැමිණෙන්නට නොහැකි බව ඇය ප්‍රකාශ කරන්නේ මගෙන් විමසා බලාවත් නොවේ. පසුව එවන් අවස්ථාවන් වලට ආරාධනා අප දෙදෙනාටම පිළිගැන්වීමට ඇයගේ කන්තෝරුවේ සුහදශීලි පිරිස සැලකිලිමත්විය.



පිරිමියෙකුට ආදරය, විවාහය ජීවිතයේ කොටසක් වන විට ගැහැණියකට ජීවිතය යනු ආදරය සහ විවාහය වන බව සත්‍යයක් යැයි මට සිතේ. ආදරණීය සැමියෙකු, ආදරණීය පියෙකු වශයෙන් මා මගේ ජීවිතයේ ඒ කොටස ඉතාමත් වගකීමෙන් ලබැඳියාවෙන් ඉටු කරන බව, අප තිදෙන සතුටින් පසුවෙන විටෙක ප්‍රිතීයෙන් පිනායන මාගේ බිරිඳ මගේ සවනට කොඳුරා පවසන වදන් සාක්ෂි දරයි.



“ඔයා හරි ම හොඳයි තාත්ති”



එවන් විටෙක ප්‍රිතීය වෑහෙන දෙනෙතින් මදෙස බලා සිටින ඈ, අනතුරුව මගේ සවනට රහසින් පවසයි.



එනමුදු පිරිමියෙකු වශයෙන් මට ජීවිතයේ තවත් කොටස් ඇත. රැකියාව, මිතුරු සබඳතා, සමාජ ආශ්‍රය, සමාජයේ මාගේ පැවැත්ම, නව සබඳතා මගින් දියුණුව පිණිස නව මාර්ග මතුකරගැනීම මේවා මගේ ජීවිතයේ අනෙකුත් කොටස් අතර වේ. මාගේ කුටුම්බය ප්‍රධාන කොටගෙන ඇති මේ අනු කොටස් අමතක කල නොහේ. එසේ කලහොත් සිදුවනුයේ කණු ගැලවී ගිය කල බිමට පතිත වන ගොඩනැගිල්ලක් සේ ප්‍රධාන කොටසට අන්තරායකර අවස්ථාවක් එළඹීමය.



අනෙක් අතට මෙවන් අවස්ථාවක් මග හැරීම මදි කමක් ලෙස මට හැ‍‍ෙඟේ. සමාජයේ හැසිරීමට නොදන්නවුන් එලෙස මග හරින බව මා සිතේ පැලපදියම් වූ කරුණකි. කුඩා කල සිටම හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව සිටි මා වැන්නෙකු අතින් උත්සවයක් හිතා මතාම මග හැරීම කිසිවිටෙක නොසිදුවිය යුත්තකි. අනෙක් අතට ඉතාමත් වෙහෙසකර වූ රැකියාවට මද විරාමයක් ලැබ, ගීතයක් ගයා, නටා, මිතුරන් සමග මධුවිතෙන් මද පමණට සප්පායම් වී, නා, කා, විනෝද වීමට අවස්ථාවක් ලැබීමත් මහඟු කාරණයකි.



එහෙත් මේ හැම දේමත් පසෙකය.



'ඇය මොනවා කියාවිද?'



තවමත් අහස කළු වුනේවත් නැති නිසා වැස්සක් වසී කියා සිතීමට හැකියාවක් නැත.



එහෙත්............ මට පූජියාමා ව සිහිවේ.



“අපිට අද ටී ෂර්ට් එකක් ලැබෙනවා” ඊයේ උදේ වැඩට එන අතරතුරේ ඇයට පැවසුවෙමි.



“ෂා........ ‍ෂෝක්නේ. ගෙට්ටුගෙදර් එකට අඳින්නද?........... මටත් අඳින්න පුළුවන් වෙයි නේද?” ඇයට සතුටුය. මටත් සතුටුද? මම පැති කණ්නාඩියෙන් ඇගේ වුවන නිරීක්ෂණය කරමි. නැත. තවමත් අහස පැහැදිලිය.



“ඔව් පුළුවන් වෙයි” මම පැවසුවෙමි.



“හා.......... එහෙනං මං සැටර්ඩේ අඳින්නම්ද?” ඇයට වඩා සතුටුය. මේ මවාගත් සතුටක්ද?



මා දන්නා ඇයට අනුව නම්, ‘ඔය දෙන්නා නැතුව මං යන්නේ නැහැ’ කියා මං පවසන වදන් අසා ගන්නට ඇගේ සවන් පුල පුලා බලා සිටින බව දනිමි. ‘ඔය දෙන්නත් එක්ක යන්න පුළුවන් මේ පාර’ කියා පවසන්නට මට හැකියාවක් තිබේ නම්, අපේ මුළු කාර්යය මණ්ඩලයෙන්ම වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා මා බවත් ඔයා දන්නවාද?



දිනය ගෙවී දසත අඳුර පැතිරෙන්නට වූ විට,“ඔයා කොහේද?” ඇයට දුරකථන ඇමතුමක් දී ඇසීමි.



“මං මේ එන ගමන්. ඒක නෙමෙයි ටී ෂර්ට් එක ලැබුනාද? හෙට ඔයා ඒක නේද අඳින්නේ?” ඇය වෙනස් වී ඇත. වෙනදා නම් මෙවන් ගමනකට පෙර දින අහස බොහෝ සෙයින් අඳුරුය. වහින්නට ඔන්න මෙන්න සේය.



“ඔව් ලැබුනා. ඒක තමයි අඳින්නේ”



“කලිසම මොකද්ද?”



“ඩෙනිම් එකක් හොඳයි නේද?”



“හා.......... එහෙනම්. මං බහින්න ලං වෙලා කෝල් එකක් දෙන්නම්”



“හා...... හොඳයි”කාලය සෙමින් ගත විය.



කිහිප වරක්ම දුරකථන ඇමතුම් දුනිමි.



‘අද ඇයි දන්නේ නැහැ පරක්කු’


නැවත වරක් ඇමතිය යුතුය.



“කෝ ඔයා?”



“ ආ........... දැන් ලඟයි. තව විනාඩි තුනයි. දැන් එන්න ඔයා බස් හෝල්ට් එකට” අතීශයින් සාමාන්‍යයි. වෙනදා වාගෙමයි. අකුරක් අකුරක් පාසා හැඬුමක් සෙව්වෙමි. ඉකියක් සෙව්වෙමි. ඉඟියකුද නැත.



මට පාළුවක් වැනි හැඟීමක් දැනින. ඒ මන්දැයි නොදනිමි. මට අවැසි වන්නේ ඇය ඇ‍ෙඟේ දැවෙටෙමින් මගේ ගමන වැළකීමද? මූණ නොරොක් කරගෙන වැහිබර අහසක් මුහුණ මතට ගෙන ඒමද? මම සිතුවෙමි. නමුදු මගේ අවැසියාව මටම පැහැදිළි නැත.



“මොන පාටද ටී ෂර්ට් එක?” මගදි ඇය ඇසුවාය.



“නිල් පාටයි”


“ලස්සනයිද?”



“හොඳයි ටිකක් කල් අඳින්න පුළුවන් වගෙයි” පැති කණ්නාඩියෙන් සුපුරුදු පරිදි විමසුවෙමි. ම්හු............ පැති කණ්නාඩිය මට පැවසුවේය.



ඇත්තමට මා සොඳුරිය වෙනස් වීද? නැතහොත් කාලය සමගම ඈ පරිණත වීද? මාගේ පුරුදු ඇගේ මෘදු ගති මරා දැමුවාද? නැතහොත් සියලු හැඟීම් සඟවා මාගේ සතුට වෙනුවෙන් ඉවසනු විය නොහැකිද? මම නොසන්සුන් වීමි. හැමටම වඩා මගේ හිත පෑරෙන්නේ, ‘වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා’ වැනි හැඟීමකින් ඇය පසුවනවාදැයි මට සිතෙන කළටය. ඇත්තටම දැන් නම් ඇය හඬා, ආඩපාලි කියනවා නම් මම ඉතාමත් කැමැත්තෙමි. මේ ලෙස අනියත සිතුවිල්ලේ කාලය ගත කරනවාට වඩා ඇයව සනසමින් කාලය ගත කර දමන්නට මම අතිශයින් කැමැත්තෙමි. කල හැකි යමක් නැත. අවසාන මිනිත්තුව දක්වා විමසිල්ලෙන් පසුවෙමි.



වෙනදා සුපුරුදු ලෙසම නිවසට ලඟා වීමු.



ඇය නාන කාමරයෙන් පැමිණ සිඟිති දියැණිය තුරුලට ගන්නාතුරු, දියැණිය සමග සෙල්ලම් කරනා අතරතුරේ ගමනට අවැසි කළමනා සුදානම් කලෙමි.



“ඔයා සෝදාගෙන එන්න. කාලා ඉක්මනට නිදිය ගමු. පාන්දර නැගිටින්නත් එපෑයැ” ඇගේ වදනට අවනතව මම නාන කාමරය දෙසට ‍ගියෙමි.



මා ගිය විගස ඇය කාමරයේ දොර වසා ගත්තාය. අගුල වැටෙන හඬද මට පැහැදිලිවම ඇසුණි. සියුම් සතුටක් සිත අද්දරින් ගියා සේ එක් මොහොතකට මට දැනුනාද? මද වේලාවකින් නැවතත් මා කාමරය වෙත ගියේ අමතක වූ යම් දෙයක් රැගෙන ඒමටය. මට ඇසුණු හඬ නිවැරදිය. අගුළු දමා ඇත.



“අම්මි...........” මම දොර හැඬලය කරකවන අතරතුරේ මා බිරිඳ ඇමතුවෙමි.



“ඇයි?................ ආ..... පොඩ්ඩක් ඉන්න” විනාඩි භාගයකට පමණ පසු දොර හැරින. වෙනසක් නැත. දියැණිය සෙල්ලම් බඩු කිහිපයක් අසල තබාගෙන බිම සිටී. ටිකිරි දසන් දක්වා සිනාසුනු ඈ නැගිට මා අසලට ඇදුනාය.



“ඇයි? ටවල් එකද?” මා බිරිඳ ඇසුවාය.



“ආ......... ඔව්......... ඔව්...........” කියමින් ඇය දුන් ටවලය අතට ගෙන ගියෙමි. නැවතත් විනාඩි පහකින් පමණ යම් වුවමනාවකට කාමරය වෙත යන විට නැවත වරක් දොර අගුළු දමා ඇත. ඇය හඬනවා වත්ද?



“ඇයි මේ දොර ලොක් කරලා” ‍මම ඇසුවෙමි.



“ඇයි අනේ?....... පොඩ්ඩක් ඉන්න” විනාඩියකට පමණ පසු දොර හැරුණි. එවරද වෙනසක් නැත. අවැසි දෙය රැගෙන මම පිටවීමි.



ඇඟපත සෝදා ගෙන, පහල මාලයේ කරන්නට තිබුනු යම් යම් කටයුතු වගයක්ද අහවර කොට ගමනට ඇවැසි දෑ සූදානම් කරනු පිණිසත්, ඒ අහවරව නිදනු පිණිසත් ඉහල මාලයට ගියෙමි. බිරිඳට හඬ ගසමින් නිකමට දොර හැඬලය කැරකූවෙමි. දොර හැරින. ඇය එවර දොර අගුළු දමා නැත. අම්මාත් දූත් නින්දේ සේ පෙණින.



ගමනට සූදානම් කරගත් අත් බෑගය ඇඳ පත්තේ එල්ලා ඇත. අළුත් ටී ෂර්ටයද ඒ අසලම ඇත. මේස්, කැප් තොප්පියක් සහ ඩෙනිම් කලිසමක්ද අතමානයේ තිබේ.



“අම්මි.........” බිරිඳ නිදි සේ සිටියද නිදි නැති බව දනිමි.



“ම්.........ම්.........”



“ඔයා ටී ෂර්ට් එක ඇඳලා බැලුවාද?” මම ටී ෂර්ට් එක ඇඟට තබමින් ඇසුවෙමි.



“නැහැ අනේ............. පස්සේ බැරියෑ” මම එය ඇඳ බැලුවෙමි. වරදක් නැත.



“හොඳයි නේද? පාටත් හොඳයි නේද?”



“ම්.......ම්....... හොඳයි. ලස්සනයි. මටත් ඇති වෙයි නේද? සාක්කුව තමයි කේස් එක” බිරිඳ පැවසුවාය.



“නැහැ ඒකේ අවුලක් නැහැ. අපේ ලේඩීස්ලාටත් මේකම තමා”



“ආ........... ඇත්තද?

දන්නවාද ඔය සාක්කුව මහලා තියෙන්නේ ෆිනිෂින් වලට ලේසියට. එතකොට ෂර්ට් එක ෆිනිෂ් කරන්න ලේසිනේ. නැත්තං බැඩ්ජස් මහලා ෆ්‍රොන්ට් පාර්ට් එක ෆිනිෂ් කරන්න වැඩි කාලයක් ගත වෙනවානේ. සාක්කුවේ බැඩ්ජ් එක මැහැව්වහම ලේසිනේ”



හිතේ යමක් තිබේ නම් ඇය මෙලෙස වැල් වටාරම් කථා කියන්නේ නැත.



‘ම්..., ඔව්..., නැහැ..., හා...,’ හිතේ යමක් වේ නම් ඇගේ වදන් එසේය.



“ආ............. ඒකත් ඇත්ත තමා නේ.”



මම ඇඳ පත්තේ එල්ලා තිබූ ගමන් බෑගය අතට ගතිමි. ඇය කොට්ටය ගෙන මදක් හිස එසවෙන ආකාරයට තබා ගත් බව දැන් කල්පනා කරන විට මට සිහිවේ.



බෑගය විවෘත කරන විට ම මට අමුත්තක් දැනින. ‘ආ....... මෙයාගේ පර්ස් එකත් මේකේ දාලා’ බිරිඳට උපන් දින ත්‍යාගයක් ලෙස ලැබුනු මුදල් පසුම්බිය එම බෑගයේ තිබී ඉවතට ගෙන කණ්නාඩි මේසය මත තබන්නට ගියෙමි.



එක් වරම, ‘හැ..........’ යනුවෙන් මට කියැවිණි. මේසය මත ඇගේ පසුම්බිය ඇත. එහෙනම්........ මේ මොකද්ද?



මා දයාබර බිරිඳ මා ලෝභ කමකින් යුතුව රැකි, ඇය විසින් තිළිණ කරන්නට යෙදුන, උඩු හම ගැලවී යටි හම මතු ව දම්පාටින් බැබැලුන ඒ පසුම්බියට විශ්‍රාම දීමට තීරණය කොට ඇත. අගනා නවතම මාදිලියේ පසුම්බියකින් මා තිළිණ ලබා ඇත. පරණ පසුම්බියේ තිබූ මා සන්තක සබ්බ සකල මනාවම නව පසුම්බියේ තැන්පත්ව ඇත.



සැබවින්ම මා බිරිඳ පරිණත වී ඇතැයි ඒ මොහොතේම මට වැටහුණි. ඇය දැන් පෙර සිටි ලඳ බොලඳ යුවතිය නොවේ. පුද්ගල හැඟීම් තේරුම් ගත හැකි, ඒවා වෙනස් කරන්නට නොගොස් ඒවාට අනුගත විය හැකි මට්ටමට ඇය පරිණත වී ඇත. මම ප්‍රිතීයෙන් පිනා යමි. අද දින සතුටු සිතින් මේ ගමන යන්නෙමි.



හඬමින් ආඩපාලි කියන ඈ සනසමින් සැනසෙන, එයින් සතුටට පත්වන පෙම්වත් චරිතයෙන් ඔබ්බට මාද පරිණත විය යුතුව ඇත. මම එසේ වන්නෙමි. එහෙත් එසේ වීමට පෙර, ගමන ගොස් පැමිණ තව සතියක පමණ කාලයක් විමසිල්ලේ සිටිය යුතුව ඇත. මන්ද යත් පූජියාමා ව ද නිසලව කල් යල් බලා සිටින නිසාවෙනි.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...