Sunday, September 27, 2020

656. පුවක් එෂැණින් - 55 - පොල් ආතල්....


Image From Internet

අම්මාපල්ල ඊලඟ පාර අපේ ගොට්ට මාත්තය ජනාදිපති චන්දෙට ඉදිරිපත් උනොත් මම නං චන්දෙ දෙන එකත් දෙනව. ඇයි යකෝ රට සංවර්දනේ කොරන එක කාට කොරන්ට බැයිද? (එකෙක්වත් නොකරන එක වෙනම කතාවක් හෙහ්..හෙහ්...)...ඒත් මෙහූ ආතල් දෙන්ට පුලුවං වෙන කාටද දෙයියෝ සාක්කි...මේ යක්සය නියම ජොලි බඩුවක් නෙව. අන්න අර Standup Comedy  කියන Concept එක තේරෙන්න   නැහ්නං ඒ උදවිය අපේ ගොස්ටා සේර්ගෙ කතාවක් එහෙම නැත්තං ඔය ජනහමු අරව මෙව්වට ගිහිල්ල නොමිලේම දෙන ආතල් බලාපල්ල...හොඳේ...

අලුත්ම ආතල් එක ඇවිදිල්ල හිට පොල් ආතල් එක. ඒ නියෝගෙ නිකුත් කොරල තියෙන්නෙ අර පාරිබෝගික අදිකාරියෙ සබාපති කොමට පත්කරපු පැන්සන් පලච්ච ආමිකාරය...පොරම තමයි අර එක පාරක් ඩඩ්ලි ලොක්කගෙ හාල් මෝලට පැනල යකා නැටුවෙ...ජොලි පොර…

හැබැයි ඔය පැන්සන් ගිය ආමි කාරයො එක එක තනතුරුවලට දාගත්තම තියෙන අවුල තමයි ඔය යක්කුන්ට ප්‍රායෝගික පැත්ත ගැන මේ ලෝකෙ අවබෝදයක් නැති එක..ඒක වෙන්නෙ මෙහෙමයි..ආමි එකේ ඔපිසර කෙනෙක් කියන්නෙ ඉතිං අතට පයට සියලු දේ ලැබෙන පොරක් නෙව. නෑ බෑ කියන වචනවල තේරුමවත් ඔය යක්කු දන්නෙ නෑ. 

නියෝගයක් නිකුත් කලාම ඒක එහෙම කරන්නෙ කොහොමද? ඒක කලොත් මෙහෙම වෙයි එහෙම ප්‍රස්න කරන්ට කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. කොහොමහරි වැඩේ කරනව එහෙමයි ආමි එකේ තියරිය. ඒක ආමි එකට අවුලක් නෑ. ඒත් රිඹ යන්නෙ ඔය යක්කු සිවිල් ආයතනවල සබාපතිල වෙලා අර ආමි එකේ විදිහටම නියෝග නිකුත් කරන්ට ගියාම. 

දැං අපි බලමු අර පොල් සීන් එක..වට ප්‍රමාණය අඟල් 13 පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල මෙච්චරයි...අඟල් 12 පොල් ගෙඩියක මෙච්චරයි..අඟල් 11 ගෙඩියක මෙච්චරයි කියල නියෝග නිකුත් කරන්ට ඉස්සෙල්ල එහෙම නියෝගයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්ට පුලුවන්ද කියල හිතල බලන්ට එපාය. අර මම කලින් කිව්ව ආමි මානසිකත්වය තමයි ඔතනදි එළියට එන්නෙ. ප්‍රායෝගික අපහසුකම් මට වැඩක් නෑ....කොහොම හරි කරපල්ල...හෙහ්...හෙහ්....

ඔය විදිහට  වටප්‍රමාණය අනුව තෝරල පොල් විකුණන්ඩ නං ඉතිං ඔය උඩ තියෙන ෆොටෝ එකේ වගෙ වළලු තුනක ගැජමැටික්ස් එකක් පොල් වෙළෙන්දො වෙළෙන්දියො ගාව අනිවාර්යයෙන් තියෙන්න ඕන...ඔයිට වැඩිය කොච්චර අපූරුද පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 කියල කිව්වනම්...එතකොට ලොකු පොල් ඒ ගාණට සහ ඊට පොඩි පොල් අඩු ගණං වලට වෙලෙන්දො විකුණයි මිනිස්සු ගනියි. කොහොමත් ඔය අඟල් ගාණට මිල පාලන නියෝගය එන්ඩ ඉස්සෙල්ල උනෙත් එහෙම තමයි...


Monday, September 14, 2020

655. පුවක් එෂැණිං - 54 ….සාහිත්තිය මාසේ හොයාගෙන කියවන්න සුදුසු පොත්...........



මෙන්න ළමායි සාහිත්‍ය මාසයට කියවීමට මගේ නිර්දේශ...


1. "බයියන් ඇන්දවීමේ කලාව" - ඇම්. රාජපස්ස 

මැදමුලන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රාජපස්ස මහතා වසර පණහකට අධික කාලයක සිට බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුණ කළ ප්‍රාමාණික විද්‍යාර්ථියෙකි. අද මුළු මහත් ලෝකය පුරාම එම විෂයය පිළිබඳව ඉහළම දැනුමක් ඇති ඒ විද්වතෙකු ලෙස දෙස් විදෙස් ගෞරව සම්මන ලබන ඒ මහතා මියයනතෙක්  බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුන කිරීමට අපේක්ෂා කරන බව පසුගිය දිනෙක පැවසීය.


2."ජිහ්වයෙහි අස්ථි රහිතවීමේ වැදගත්කම සහ සැපවත් අනාගතයකට ඉන් ඇති ප්‍රයෝජන" - සම්මානිත මහාචාර්ය ජී. ඇල්. පී. රිස් මහතා

තම විෂයයට පරිබාහිර වුවද දිවෙහි ඇටනැතිවීම පිළිබඳව 1994 වර්ෂයේ සිට දැඩි උනන්දුවක් දක්වන මහාචාර්ය පී. රිස් මහතා ඒ පිළිබඳව අඛණ්ඩ පර්යේෂණයන්හි නිරතවෙමින් සහ එයින් මනා ප්‍රයෝජන ගනිමින් සිටින අතර සැපවත් දිවියකට ඇට නැති දිව යොදාගන්නා ආකාරය පිළිබඳව නොමිලේ දේශන මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.


3. "අත් වැරදීම් වළක්වා ගන්නේ කෙසේද? How to avoid hand mistakes"  - කාර්ය මණ්ඩලයට උපදෙස් 

තම ආයතනයන්හි කාර්ය මණ්ඩලය උදෙසා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව  විසින් ඒකාබද්ධව ප්‍රකාශයට පත්කල උපදෙස් සංග්‍රහයකි.


4. "ඉල්ලා අස්වීමේ විවිධ ක්‍රම අනූ නමයක්" - ආර්. වික්කරමසිංහ. 

රාජකීය විද්‍යාලයේ අපකීර්තිමත් ආදි සිසුවකු වන වික්කරමසිංහ මහතා  එහි ආදර්ශ පාඨය වන ඩිස්කේ අම්මට ඩිස්කේ ඩේ   යන්න පවා අම්මට හිXX ඉබ්භේ සේ නොහොත් අම්මට අහවල් වැඩේ කලත් ඉබ්බා තිබ්බා සේ කාගෙන හිටහං ලෙස වෙනස් කල මහඟු නැණවතෙකි.


5. "දේශප්‍රේමයේ නව ප්‍රවණතා - පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත් වුවද විපක්ෂයේ බැවින් ඒ පිළිබඳව මුඛය සහ අධෝමාර්ගය වසාගෙන සිටීම" - ඇම්.වයි. අබේවර්ධන


6. "ටූල්ස් භාවිතයෙන් පැනික් වීම වළක්වා ගැනීම" - ඇන්.ජී. රාජපස්ස


7. "මව්පියන් හෝ භාරකරුවකු නොමැතිව මහමඟ අතැර දමා ගිය  ව්‍යවස්ථා සංශෝධනයක්  ඔබට හමුවුවහොත් අනුගමනයකල යුතු ක්‍රියාමාර්ගය" - ජාතික ළමාරක්ෂක අධිකාරියේ සහ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ඒකාබද්ධ ප්‍රකාශනයකි.


8. "පාර්ලිමේන්තුවේදී තම අසුනේ හිඳිමින්ම ස්නානය කරන්නේ කෙසේද?" - ඒ.ඇන්. කබ්රාල්.


9. "වයස්ගත වීමේදී කශේරුකාව සුනම්‍යව පවත්වාගැනීමට ව්‍යායාම මාලාවක්" - ජොස්තර ඒ. පාදඩදෙණිය


10. "Selfish gene and Slavery gene - A lethal combination  - A comprehensive study of the extraordinary behaviour of Bayiyas of Sri lanka" -  A research paper published by R. Dawkins Foundation


11."මහා කාරුණික මැදමුලනේ මහින්ද මහරජාණන්ගේ චරිතාපදානය" - ඇම්. අබේතිස්ස

ඇම්. අබේතිස්ස චීවරධාරී මහතාණන් විසින් රචිත ඇම්. මහින්ද නිරිඳුන්ගේ චරිතාපදානය දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා අතිරේක පාඨ ග්‍රන්ථයක් ලෙස අනුමත වී ඇත. ඇම්. මහින්ද නිරිඳානන් කොපමණ දුරට ධර්මයෙහි හැසිරෙන්නෙක්වේද යත් තමන් ඝාතනයට සතුරන්ට උපකාර කල එක් කෙළෙඹි පුත්‍රයෙකුහට පවා සමාධිය භජනය කලේ පමණක් නොව ඔහුට අමාත්‍ය තනතුරක්ද ප්‍රදානය කළේය. සියළු බෞද්ධ දුවා දරුවන්හට උදේ සවස කියවීමට සුදුසු මහාර්ඝ ග්‍රන්ථ රත්නයකි.


12. "පොළවේ පයගසා සිටිනා බාලිකාවියන් සහ පරිධිය දෙස නොබලා න්‍යාෂ්ඨිය දෙස බැලීම" - ඇස්. අරඹේපොළ මහත්මිය විසින් රචිත යොවුන් නවකථාවකි- කියත්මඟ ප්‍රකාශණයකි.


13. "Comprehensive instructions on how to use Tools without entering into panic mode" - N.G. Rajapakse


14. "I prefer Doing the impossible rather than taking the  easyway"- B.R. Rajapakse

ඉතා පහසුවෙන් කල හැකිව තිබූ අමරිකානු පුරවැසිභාවය අත්හැරීම වෙනුවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම වන් අසීරු ඉලක්කයක් තෝරාගෙන එම ඉලක්කය සාර්ථක ලෙස සපුරාගත් අපේ කාලයේ විශ්මකර්මයාගේ ජීවිත අත්දැකීම් - කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බි.ආර්. ප්‍රකාශකයින්ගේ කුටියෙන් ඔබට ටෙන් පර්සන්ට් කොමිස් එකක් සහිතව  මිළදී ගත හැක. එදිනම රාජපස්ස මහතාගේ මට මගේ නොවන මගේම මන්දිරයක් තිබුනා සහ මට මගේ නොවන මගේම වියවස්තාවක් තිබුනා යන ගීත අඩංගු සී.ඩී. තැටියද ජනගත කරනු ඇත.


15. "බුවනෙකබා රාජසබාව, ඩෝසර් සහ නගරාදිපතිගේ මයිල් ගස්"- ඉන්ද්‍රජාලික යථාර්තවාදී කෙටිකතා සංග්‍රහය - සම කතෘවරු ජේ. ප්‍රනාන්දු සහ ටී. ධම්මික 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...