Showing posts with label පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක.... Show all posts
Showing posts with label පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක.... Show all posts

Friday, November 23, 2018

618. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 5 - බූරා මලයාගේ ඉංගිරිස් පංතිය නොහොත් A Security Breach Of Category One Status…


තවම නෑ බොලල්ලා මොකවත් ලියන්ට හිතට නිස්කාන්සුවක්……

මේ දවස්වල රාජකාරි කටයුතු එමටයි. Totally Stressful Situation එකක තමයි වැඩ කරන්ට වෙලා තියෙන්නෙ.ඒ හින්ද ටිකක් ඔහෙ එකලාසයක් වෙනකල් අදත් දාන්නං පොඩ්ඩිගෙ වලව්වෙ ඒ කාලෙ ලියපු එකක්…

මම දන්නව මම දන්නව ඝාතකයගෙ කතාව ඉවර කරන්ට තියනව....එතනින් ගිහාම අනන්‍යා දැරිවිත් අර පැත්තක ඉඳගෙන මාව කන්ට වගෙ බලා ඉන්නව... ඊට අමතරව වාං පතුල් කතාත් බරගානක් තියනව. ඒත් දෙයියනේ ඔය විසිවිත්තර ඔක්කොම කොරන්ට ඉන්නෙ මේ තනි මම විතරක් නෙව.

පහුගිය බදාදට ඒ කිව්වෙ දාහතර වෙනිදට මට පණස් පහක් උනා. ලංකාණ්ඩුවෙ නීති රෙගුලාසි අනුවනම් විශ්‍රාම යන වයස. ඒ කියන්නෙ ආණ්ඩුවෙ පිළිගැනීම අනුව මනුස්සයෙක් ඊට පස්සෙ කරන්ට ඕන දොළහ වෙන්ට කලියෙන් වතුර හට්ටියක් උණු කරල නාල වෙලපහින් බත් කාල හවහට බණ බාවනාවක් කාරිය කරගෙන ඉඳල වේලපහිං නින්දට යන එක..හෙහ්..හෙහ්..ඒත් ඉතිං අපි තවම වැඩ...

හරි හරි අර දුලීකා මාරපන මොකක්ද මේ රෙදි හෝදන කුඩු ඇඩ් එකක කිව්ව වගෙ කතා ඇති...එහෙනම් මෙන්න මම කාලෙකට ඉස්සර පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ ලියපු ඒ සටහන...

*********************************

ඔන්න පහුගිය දෙතුං දොහේම මට තිබ්බා දුර බැහැර යන්ඩ බොහෝම බරපතල රාජකාරි වගේකට. මේ අද තමයි ඔන්න ආපහු එන්නෙ.... රෑත් උනා... කාරියක් නැහැ... වලව්ව පැත්තෙ ගෙහුං පොඩි කුමාරිහාමිගෙ දුක සැප බලාලම ගෙදර ගියා නං හරි...ඒ ඇත්තිගෙ මූණ කට දැක්කෙත් නැහැ නෙව මේ ටික දොහේම... හිතටත් මහ නිකං මොකද්ද මොකද්ද වාගෙ...

ඈ?????....මේ මොකෑ බොල මේ? වලව්වෙ මහ ගේට්ටුව වහදාල. තඩි ඉබ්බෙකුත් දාල. මක්කද මේ දැන්නීමකුත් අලෝල….

High Security Zone
Access Strictly Prohibited
Trespassers will be Shot Without Warning
Survivors Would be Shot Again Repeatedly

අනේ මංදා,,, ඉංගිරිස් ඔලිං නෙව තියෙන්නෙ... වලව්වට දැං එන්නෙ හුද්දොද මංදා මේ දැන්නීං ඉංගිරිස් ඔලිං ගහන්නෙ. මේකෙ මක්ක කියනවද මංදා. මේක තේරුං ගන්ඩ එක්කො අපෙ ලොකු ඉස්කෝල මහත්තය මෙතෙන්ට එක්කං එන්ඩ වෙයි. නැත්නං මේ බෝඩ්ඩෙක ගලෝල ගුරු නිවාසෙට ගෙනියන්ඩ වෙයි. මේ ගොම්මං යාමෙ ඔය දෙකම කොරන්ඩ බැහැ නෙව....

ඔය ගේට්ටු වහදාල තිබ්බට මම දන්නව නෙව ඇතුල් වෙන විදිහ... අර තාප්පෙ අයිනෙ හැදිච්ච බෙන කොස්ගහට නැග ගත්ත නම් හෙමිහිට අලි ගාලෙ වහලට සේන්දු වෙලා එහෙම්මම බිමට බැස්සැහැකි... හෙහ්,හෙහ්, ඔව්වත් වැඩද අපිට?

හරි.........අලි ගාලෙ වහලෙට නං ගොඩ උනා,.........හරි, බිමටත් බැස්සා... අලියත් ඔය ඉන්නෙ පැත්ත වැටිච්චි ගමං... පව් අසරණයා….

මෙතනිං කෙලිම්ම ගාවිං එහා පැත්තට ගිහාම කුස්සියෙ දොර ළඟටම ගියෑකි…. පුරස්නෙ මේ ඇටපල් කරුවල නෙව... ඇහැට ඇඟිල්ලෙං ඇන්නත් පෙනෙන්නෙ නැහැ නෙව...ඒකෙ අවුලකුත් නං නැහැ... මට හිතේ හෝදිසියට ගිහෑකි…

ඔන්න පස්සා දොර පේන මානෙටත් ආවා... මේ මොකෝ බොලේ මේ?...... වලව්වෙ එකෝම එක එළියක්කත් පෙනෙන්ට නැහැ නෙව…

"Stop Right Where You Are... Do Not Move... Slowly Raise Your Arms"

එ මොකාද බොල ඒ කරුවලේ බෙරිහං දෙන්නෙ? එකත් එකටම වලව්වෙ ඉංගිරිසි පංතියක් දාල වෙන්ඩ ඕනෙ... ඒ දවස් වල පොඩි කුමාරිහාමි ඔහොම කතාවක් කිය කිය හිටිය නං තමා...ඒ ඇත්ති ඉතිං ඔය වාගෙ පිං අතේ වැඩ වලට බොහොම සමර්තයි නෙව... මමත් යන්ඩ ඕන ඔය පංතියට... අඩු ගනනෙ ඉන්ගිරිස් කවියක්කත් ලියාගන්ට පුලුහං උනොත් ඒකත් සුලුපටු දෙයක්ය?..නැද්ද මං අහන්නෙ?

ඉංගිරිස් පංතියෙ සද්දෙ ඇහුනට කෝ කවුරුවත් පේන තෙක් මානෙක නැහැ නෙව... අනික මේ ඇටපල් කලුවරේ කොහොමෙයි පංති තියන්නෙ?

බලමු, ගිහිල්ලම.......

"I warned you not to move...Stay Right Where You Are...We have Orders To Shoot to Kill…."

ෂෙහ්, ඉංගිරිස් පංතිය නැඟල යනව නෙව... අම්මප හරිම සෝක්, අදම මමත් බැඳෙන්ඩ ඕනෙ…

මේ මොකාද මේ මයෙ කර වටේ අත් දාල මාව බදාගත්තෙ? ඈ, කලුම කලු ඇඳුමකුත් ඇඳගෙන... බොලේ මහ සෝන වත්ද? එහෙම වෙන්ඩ බැහැ, ගොම්මං යාමෙ උන්නැහැ එලි බහින්නෙ නැහැ නෙව.... ඒ එකත් එකටම මම ඉංගිරිස් ඉගෙන ගන්ඩ යනව්ට ඊරිසියා කොරන එකෙක්... අම්මප ඔව්... හැබෑවම තමයි... අම්මප මේ මිනිස්සු කියන ජාතිය පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නෙ....

මොකා උනත් කමක් නැහැ උන්දැ දන්නෙ නැතුවයි මයෙ තරම…. මෙහෙම්ම බඩට දෙකක් ඇන්න නං දෙකක් හරි... අපෙ රම්බො මලයයි ඔය ගුස්ති බුස්ති එතනිං ගිහාම චීන අඩි...තුම්මුල්ල පාගල හතර මුල්ලට ඇනිලි මට කියාල දුන්නෙ... අයියෙ කවි කිය කිය ඉඳලම හරි යන්නෙ නැහැ මෙව්වත් ඉගෙන ගනිං කොයි වෙලාවෙ පොරෝජං වෙනවද කියන්ඩ බෑ කියාල... බලාගෙන ගිහාම බොරුත් නෙවෙයි තමා...

ඉඳා ඩුෂෑම්..ඉඳා ආයමත් බුෂෑම්...ආ,........ ඔය අත ඇරියෙ යස අගේට... රම්බො මලය කියාදුන්නු අඩි පුඩිත් නරකම නැහැ, ඈ........ අර මොකක්ද ඒකා ඒ පාර කොරන්නෙ?... ගඩොල් බාගයක් වගෙ එකක් අරං ඒකට කතා කොරන්නෙ….

"Alpha Two to Alpha One, Alpha Two to Alpha One, Come in...... Alpha One..... Come in.... Alpha One..... We have A Situation Here.... A Security Breach Of Category One, I Repeat ..... A Security Breach Of Category One, Over And Out,"

මූ මට පෙනෙන්නෙ ඉංගිරිස් පංතියෙ ගුරා වගේ... පෙනෙන්නෙ නැද්ද කටේ තොලේ නොගෑවි සරස් බරස් කියාල ඉංගිරිසි කියෝන අපූරුව... අනෙ අම්මප මටත් ඇත්නං ඔහොම ඉංගිරිස් කතා කොරන්ඩ...ඒත් මේකා කියන වේගෙට අපිට වචන කියන්ඩ තියා හිතාගන්ඩ වත් බැහැ නෙව…

"මේ මලේ, උඹේ ඉංගිරිස් නං මල් හතයි කොල්ලො... ඇස් වහක් කටවහක් නැහැ... ඒත් අනේ බාං උගන්නනකොට ඩිංගිත්තක් හෙමිහිට කියාහංකො අපි වගෙ එවුන්ටත් ඔය වචනයක් දෙකක් අල්ලාගන්ටවත්…"

" Don't move... Don't move...Stay Right Where You Are"

අන්න ඒ පාර නං යංතං වචනයක් දෙකක් අල්ල ගත්තා... ඩෝං මූං... ඩෝං මූං... ෂෙහ් අපූරු වචන දෙක... නිකම් බෙර පදයක් වගෙ…

ඒ පාර මේ කවුද මේ වලව්ව පැත්තෙ ඉඳල එන්නෙ... ඒත් කලුම කලු සූට් එකක් ඇඳල... 

"What's happening here? Who is this trespasser?"

හෑ?... බොලේ පුරුදු කටහඬක්... කරුවලේ හරියට පෙනෙන්නෙ නැහැ නෙව... අන්න හෝදිසි බම්බුවක් නෙවද එලිය කලේ... හපොයි යංතං ඇති…

දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මේ පස්සෙ ආපු ගොබිල අපේ බූර මලය නෙව... හප්පච්චියේ අඳුනන්ඩත් බැරුවා නෙව කලු ඇඳල පොඩි පහේ ගල්කටස් වාගෙ එකක් ඉනෙත් ගහගෙන…. ගඩොල් බාගයක් බෙල්ලෙ එල්ලාන... මේකට මේ මක් වෙලාද පහුගිය දෙතුං දොහට?...අපේ මේ රම්බො මලයගෙ අමුර්තෙ වත් පානය කලාවත්ද නිකම් මේ මාත්‍රාව වැඩිවෙන්ට වත්...

"Goodness...මේ අපේ කවිකාර අයියා නෙව... මේ මහ රෑ කොහෙ යනවද? තව පොඩ්ඩෙං මල කෙලියක් නෙව වෙන්නෙ... ඉන්ඩ විනාඩියක් ඔහොම"කියල ගත්ත ගඩොල් බාගෙ අතට…

"All Stations...This is Alpha One…. Situation Under Control... I Repeat Situation Under Control... Category A Security Alert Withdrawn"

ඉම්පස්සෙ බූර මලයයි මායි දෙන්න හෙමිහිට ගියා වලව්ව පැත්තට…

"ඈ, මලේ හරිම සෝක් වැඩේ මේ ඉංගිරිස් පංතිය.. පිං සිද්ද වෙනව මලේ, උපෝපං ජාති උඹට කිසිම............."


මට කතාව ඉවරයක් කරන්ඩ හම්බ උනේ නැහැ,

"උඹට ඔල්මාදද බං?.... මොන ඉංගිරිස් පංතියක්ද?"

"ඇයි මලේ උඹල වලව්වෙ ඉංගිරිස් පංතියක් ආරම්බ කොරලය කියලනෙ මම හිතුවෙ... එහෙම නෙවෙයි වද්ද හැබෑටම?"

"උඹට නං පිස්සු... මේ පොඩි කුමාරිහාමිගෙ ආරක්ෂක බලකාය... මම තමයි බලකායෙ අණදෙන නිලධාරී....අපි විසිහතර පැයේම එතුමියට ආරක්ෂාව සපයනවා... දැන් ඉස්සර වාගෙ හිතූ හිතූ වෙලාවට වලව්වට එන්ඩත් බැහැ තෙරුනාද අයියෙ? ඒකට කලින් Entry Request Form එකක් ඉදිරිපත් කරල පූර්ව අනුමැතිය ගන්න වෙනවා...කණගාටුයි අයියෙ... මෙව්ව පොඩි කුමාරිහාමිගෙම නියෝග"

ආහ්, එහෙමත් එකක්ද, අනේ කාලේ වනේ වාසේ කිව්වලු... හිටපු ගමං පොඩි කුමාරිහාමිටත් මොකදෑ මේ වෙලා ඇත්තෙ? සිහිය ටිකක් ඉතර එහෙ මෙහෙ වෙලා වත්ද? ඒත් ඔය වලව්වට එන එන ගානෙ පෝරං ද මොනවද පුරව පුරව ඉන්ඩ නං මට බැරුවා... ඔව්ව කොරන්ඩ ඇහැක් කාටෙයි? වෙන වැඩ නැත්තං හොඳයි…

හෙට උදෙම්ම පොඩි කුමාරිහාමි මුණගැහිල මේ ගැන කියාල කියන්ඩ ඕනෙ. මට මේ ආරස්සක වැඩ පිළිවෙල අනුව කටයුතු කොරන්ඩ අමාරුයි, ඒ නිසා මාව කවිකාර තනතුරෙන් නිදහස් කොරන්ඩය කියල….දුකයි තමයි ඒත් ඉතිං මක්ක කොරන්නෙයි?

එහෙම හිතාගෙන මම ආපු පාරදිගේ නෙවෙයි වලව්වෙ මහ ගේට්ටුව ඇරගෙනම ගෙදර යන්ඩ පාරට බැස්සා…..

Friday, November 16, 2018

617. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 4 - අංගාරක්ෂක විත්තිය නොහොත් රම්බෝ මලයාගේ කතාව....


ජෝන් රම්බෝ ලෙස සිල්වෙස්ටර් ස්ටැලෝන්...

අම්මප මමත් ඉපදිලා තියෙන්නෙ පුදුම නැකතකින් නෙව. කවියක් දෙකක් කියාගෙන නිදහසේ ඉන්ඩ නැති හැටියක් අම්මාපල්ල. රටේම තියන කුණ්ඩවාඩි පත බෑවෙන්නෙ මයෙ ඉස්මුදුනටමනෙ.

මම දහාතේ කල්පනා කොර කොර පාර දිගේ ආවෙ කවුදෑ මේ වැඩේට පංගාර්තු කොරන්නෙ කියල. ඔන්න එතකොටම පොලිස් ජීප්පෙක දූවිලි අවුස්සාන මා පහුකොරගෙන ගියා…"කසිප්පුවත් අල්ලන්ට යනව ඇති.." මට හිතුනා. ඒ කල්පනාවත් එක්කම සුරුස් ගාල මට මතක් උනා මේ වැඩේට සුදුසුම ගොබිලා….හෙහ්..හෙහ්...

වෙනින් කවුරුවත් නෙවෙයි අපේ රම්බෝ මලයා... ඔව්.....ඔව්......රම්බෝම තමයි මේකට ගැලපෙන්නෙ... මයෙ එක්කුසේ උපං බාප්පයෙ පුතා.. 

රම්බොය රම්බොය කිව්වට ඕකයෙ උප්පැන්නෙ තියන නම රම්බන්ඩා... පොඩි කාලෙ ටවුමට ගිය වෙලාවක රම්බො පිචෑර් එකක් බලල මේකට වැහිච්චි රම්බො පිස්සුව...ඔබ තමුන්නාන්සෙල රම්බො පිචෑර් බලල ඇති නෙව. අර ඉට්ටැලෝං ගොයිය ඉන්නෙ නලලෙ පටියකුත් බැඳං, කඩු පිහි කැති මන්නා කිනිසි එහෙම සම්බාරයක් ඉහිං කනිං එල්ලාන...

ඉතිං අපෙ රම්බන්ඩා මලයට රම්බො පිස්සුව ගහල ඕක කලේ ඉස්කෝලෙ යාමත් අත ඇරල කැලේ පැනල, ඌ රම්බොය කියල හිතාගෙන නොයෙක් විගඩං කොරාපු එක. ගස් ගල් පෙරලනව මඩේ බැහැල හැංගිල ඉඳල එහෙම ගමේ බබලත්තු දර කඩන්ඩ යද්දි එක පාට්ටම මතුවෙලා උංව බය කරනව. ආය නෑ ගෑණු රෙදි පාරවල් දිගේ දාලයි හූ තිය තිය දුවන්නෙ. 

තව ඊට අමතරව පන්සල ගාව හන්දියෙ මාලු ලෑල්ලෙං මාලු හොරකං කොරාන ගිහිං කැලේ මැද මැස්සක් ගහං පුච්චං කනව. නොකරපු ගිනි විජ්ජුම්බරයක් නෑ ඔන්න කොටිම්ම කිව්වොත්...

උගෙ මේ රම්බෝ ඇට් කිරිල්ල නැවතුනේ අපෙ වයලට් නැන්දම්මා ගොම්මං වෙලාවෙ දර කඩන්ඩ ගෙහුං මේකා මඩ නාගෙන ඇලක් පල්ලෙ ඉන්නව දැකල මහසෝනයි කියල බයවෙලා තොයිලෙකුත් නටන්ඩ උනායිං පස්සෙ…

උගෙ මහ එකා ඒ කිව්වෙ මයෙ බාප්පොච්ච මූව ගහක බැඳල ගහල දවස් දෙකක් සාගින්දරේ තිබ්බ. ඒ එක්කම මුගෙ රම්බෝ අවි ආවුද ඔක්කොම අත් අඩංගුවට අරගෙන ඔන්න ඔය කොහෙද පරණ පතලකට විසික්ක කලා. එදායිං කොල්ලගෙ රම්බො වැඩේ නැවතුනාට රම්බො කියන නම රැජිස්ටර් උනා.  අදත් ගමේ හැමෝටම ඌ රම්බෝ...

බත් ඩිංගිත්තක් කාරිය කාල පැයක් හමාරක් පිලේ ඇලවෙලා හීනිවට සැතපිලා එහෙම අහක්ක වෙලා හවස් කොරේ මං ගියා රම්බො මලය හම්බ වෙන්ඩ. මේ වෙලාවෙ ඕක ඇත්තෙ නොවැරදීම අක්කර සීයෙ කැලෑවට එහා දොල අයිනෙ උගෙ වාඩියෙ. 

ඉස්කෝලෙ හයේ පංතියෙදි පිංසිපල්ට ගහල තට්ට ගෙඩිය එහෙමත් පලල දාල කැලේ පැන්නට පස්සෙ ආයෙම මූ ඉකෝලෙ නොගිය නිසා පනං හතරක් හොයා ගන්ඩ දිගටම කලේ ගෘහ කර්මාන්ත තමා. ගෘහ කිව්වට එව්ව ගෙවල් වල කොරන්ඩ ඇහැකි කර්මාන්ත නම් නෙවෙයි කැලේ මැද්දාවෙ තමා කරන්නෙ. හරියටම කිව්වොත් වනාශ්‍රිත ගෘහ කර්මාන්ත..Jungle based cottage industries...

"වරෙං වරෙං මයෙ අයියෙ... වරෙං වරෙං...හපොයි උඹ දැක්ක කල්. කොහෙද ඉතිං උඹ වලව්වට පංගාර්තු උනායින් පස්සෙ මේ පැත්තෙ එන්නෙවත් නෑ නේද?"

රම්බො වාඩිය ඉස්සරහ මැස්සෙ ඉඳගෙන හිටියා වප්පිහි කොටේකිං පිට කහ කහ. ඌ ඇත්තටම මට හිත ඇති එකා...

"මම මේ ආවෙ මලේ වැදගත් වැඩකට" මම මැස්සෙම වාඩි උනා.

"හරි හරි බං උඹල වලව්වල වැඩ කොරන උදවිය වෙච්චි. වැදගත් වැඩ නෙවෙන්නම් උඹලට තියෙන්නෙ. හරි, අපි ඒ ගැන කතා කරමු...ප්‍රශ්නයක් නැහැ...ඊට කලින් මොනව හරි කරනවද? තව විනාඩි පාලහකින් බඩු ලෑස්තියි"

හප්පා, මතක් වෙන කොටත් ඇඟ රත් වෙනව... මුගෙ බඩු ඉතිං ආයෙ කියල වැඩක් නැහැ. නාගසලං තමයි…

"ආ, මේ අපෙ අයියනෙ, මම මේ කවුද බැලුව" වාඩියෙන් එලියට ආපු සිරිමලී නඟා හිනාවෙලා කිව්වා. 

සිරිමලී රම්බොගෙ පවුල. පවුල කිව්වට උං දෙන්න කසාද පොතේ අස්සං එහෙම කොරල නැහැ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නව. මම බල කොරලම ටික කාලෙකට ඉහත දෙන්නත් එක්ක ගියා රෙජිස්ටාර් කංතෝරුවට කසාදෙ අස්සං කරන්ඩ. මඟදි පොලිස් ජීප්පෙක ඈත එනව දැකල කෙල්ලත් දාල මූ කැලේ පැන්න පාර කසාද බැඳිල්ල එච්චරයි…

"අයියට තේ කෝප්පයක් ගෙනෙන්නෙයි?" සිරිමලී ඇහැව්වා.

"උඹ මේ මඟුලක් කතා කරනව. මොන තේද බං මේ වෙලාවෙ? අර දවල් උයාපු වල් ඌර ගෙනෙංකො පිඟානකට දාල. මයියොකු කෑලි හත අටකුත් ඒකටම දාහං. අයියෙ උඹ ඔහොම්ම ඉඳහං. මම සුරුස් ගාල එඤ්ඤං" රම්බො නැඟිටල දොල දිහාවට ගියා.

මම එහෙම්මම මැස්සෙ දිගාවෙලා වාඩිය ඉස්සරහ රූස්ස දෙල් ගහේ අතු අස්සෙං හඳ පායාන එනව බලාන හිටියා. මේ මැස්ස උඩ හීන්වට පාවෙන මට්ටමට යමක් කරකියාගෙන හඳ පායා එනව බලාන ඉන්දැද්දි නිකම්ම කවි සිතිවිලි පහළ වෙනවා.

බ්‍රෙඩ් පුරුට්ට්‍රී තෲ ද බ්‍රාන්චස්,
පුල් මූන් තෙම නෙවද අර පීකිං,
මයි මයින්ඩ් ඊස් කොහෙදො ෆ්ලෝටිං,
දිස් ඊස් ද ලයිෆ් අයි වෝන්ට්,

අම්මට වූඩු තාත්තට ගෝයා. කොහොමද ඒක?..දැං මට කවි කියවෙන්නෙත් ඉන්ගිරිස් ඔලිං..හෙහ්..හෙහ්..ඒකත් නරකම නෑ නෙව..වලව්වෙ ආස්සරේ තමා..වලව්වෙ කිව්වට විසේසෙං පොඩි කුමාරිහාමිගෙ..අනේ ඒ ළමය මට ඉංගිරිස් ටිකක් කියල දෙන්නෙ බොහොම ආසාවෙන්...

"අයියෙ මොකෝ කවි තනනවැයි?" රම්බො ඇවිත් බෝතලේකුත් අරං. අපි ටික ටික ගන්න ගමං මයියොකු කෑල්ලකුත් හැපුවා.

"ඉතිං මොකක්ද මේ වැදගත් කාරණේ? වලව්වට බඩුවත් සප්ලයි කරන්න මට ඕඩර් එක දෙන්නද අයියා හදන්නෙ?" ලාවට වගෙ කක්සගතවෙන මට්ටමට එනකොට රම්බො අහපි.

කකා හිටපු මස් කෑල්ල ඉස්පොල්ලෙ නොගිහිං බේරුනෙ මගෙ පූරුවෙ වාසනාවකට.

"උඹට පිස්සුද? වලව්වට මොකටද ඔව්වා? ලොකු මැණිකෙ මාව දඬු කඳේ ගහලම අලියා ලව්ව පාගවයි"

"නෑ, මම මේ කිව්වෙ වලව්වෙ පැත්තෙ කැරකෙන අර අලුත් ඩයල් දෙක ගැන. හොඳ බොන මූනු දෙකක් තියෙන්නෙ"

මේ යස්සය මේ කියන්නෙ සිරී මලයයි, බූරො මලයයි ගැන.

"පිස්සුද උඹට? ඒ වලව්වෙ ලේකං තැන නෙව"

"ලේකංද සබාපතිද නං මංදා... උංගෙ මූණු ගැනයි මම මේ කිව්වෙ...හරි එහෙනං කියහංකො ඔය වැදගත් ආරංචිය තවත් අගේ නොකර"

"පොඩි කුමාරිහාමිට බොඩි ගාට් කෙනෙක් හොයනව නෙව...මට තමයි වැඩේ පංගනාතු උනේ.. මට මතක් උනේම උඹව"

"මම? මට පුලුවන්ද එහෙම දෙයක් කොරන්ඩ?"

"මොකදැ බැරි? ඉඳහං මෙන්න මේවයි ඕන සුදුසුකං..." 

මම ඉනෙං ඇදල ගත්ත සුදුසුකං ලැයිස්තුව.

"නොම්මර එක…අඩි හයක් පමණ උස...උඹේ උස කීයද?" 

"හයක් නං නැහැ. ගිය පාර හිරෙං පනිද්දි බෝගම්බර තාප්පෙන් වැටිල කකුල කැඩුනනෙ.. ඒ පාර තුවාලෙ හොඳ වෙනකොට ඒ කකුල අඟල් දෙකක් විතර කොට උනා... නැත්නම් අඩි හය හදා ගන්න තිබුනා" 

"දෙයියෝසාක්කි ඔය බෝගම්බර කතා අතන මෙතන කියන්ට එපා වාහෙ...ලොකු මැණිකෙට ආරංචි උනොත් මාව පන පිටින් හම ගහයි. හරි හරි හරි ඒකෙ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..අනික අඩි හයක් පමණ කියලනෙ තියෙන්නෙ. හයක්ම ඉල්ලලත් නැහැනෙව. හරි ඒක හරි කියමුකො"

"ඔන්නම් අයියෙ මෙහෙමත් කල හැකි නෙව. මෙයාට නිතරම උඩ පැන පැන ඉන්ඩ කිව්ව නම් හරි නේද? එතකොට අඩි හය හරි යයි නෙ" සිරිමලීත් ඇවිත් සුදුසුකං ගැන විමර්සනේට...අනෙ අම්මප මේ ගෑණුන්ටත් එන කල්පනාවල්…

"අංක දෙක වයස තිස් පහට අඩු. ඒක නම් හරි. ඒත් ඔප්පු කොරන්නෙ කොහොමද? උඹේ නැද්ද අයිඩෙන්ටිය වත්?"

"නැහැනෙ. ගිය පාර බෝගම්බර ඉඳං එද්දි ඒක ඉල්ල ගන්ඩ අමතක උනා නෙව"

"මොකක්? අමතක උනා? ඉතිං ඊට පස්සෙවත් ගිහිල්ල ඉල්ලන් ආවෙ නැත්තෙ මොකෝ?"

"උඹත් අයියෙ මේ මොනව කියනවද මංදා...ඒ පැත්තෙ ආයෙ යන්නෙ කොහොමෙයි? මම තාප්පෙං පැනල නෙව ආවෙ"

"ඒකත් එහෙමද? හරි බැලුවම පෙනෙනවනෙ උඹ 35 ට අඩුයි කියල. ඒක හරි... ඊලඟ එක...ආරක්ෂක සටන් කෙරම පුහුණු කල…."

"හපොයි ඒක නම් තියෙනව ඕනවටත් වැඩිය... ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ තට්ටෙන් පටන් ගත්තම රාළහාමිලා අට දෙනෙක්ගෙ කකුල් කඩල තියෙනව...සාජංල පස් දෙනෙක්ගෙ ඔලු පැලුව. එතනිං ගිහාම ඉස්පෑට්ටරල............"

"ඇයි අනේ අර හිරගෙදර ගාඩ් මහත්තය…. ඔයා අර අත කැඩුවෙ..........." සිරිමලී මතක් කරල දුන්න.

හපොයි ඒ ඇති හොඳටම ෂාහ්......බලාගෙන ගිහම නියමම මිනිහනෙ වැඩේට අහුවෙල තියෙන්නෙ...පොඩි කුමාරිහාමිගෙ ආරස්සාවට මීට වඩා හොඳ කෙනෙක් කොහෙන් හොයන්නද? ලොකු කුමාරිහාමි පුදුම විදිහට සන්තෝස වෙයි... ආයෙ ඒකෙ දෙකක් නැහැ..මටත් සුවල්ප ගහුරවයක්ද හැබෑටම.

සන්තෝසෙ වැඩිකමට මම තව එකක් ගහල මස් කෑල්ලකුත් හපලම ඊලඟ සුදුසුකම ගැන හොයා බැලුවා…

"ඉලක්කයට වෙඩි තැබිය හැකි..........."

" ඒක මොකක්ද? මගෙ ගල්කටස් එකෙන් මම තිබ්බ අයියෙ හොඳ විස්සාසෙට ගනිං අර දොලේ මෙගොඩ ඉඳං එගොඩ හිටපු රාළහාමිගෙ දකුණු කකුලට එක පාරින්"

"උඹ ඉලක්කෙ ගත්තෙත් ඒ කකුලටමද?" මට දැනගන්ඩ ඕන උනේ අන්න ඒක.

"ඔන්න උඹත් පටං ගත්ත උසාවියෙ නඩුකාරය වගෙ ඕන නැති දේවල් අහන්න. එව්ව ඕන නැහැනෙ මෙතෙන්ට. හරි මොකක්ද ඊලඟ එක?"

මම ආයෙම කොලේ බැලුවා. මොකක්ද මේ ඊතල පණිවිඩ කථාව. මම දන්නෙත් නැහැ ඒක මොකක්ද කියල 

"ඔය කෝකටත් මලේ උඹ අදම හොඳ හයිය ලීයකින් දුන්නක් හදාගෙන විදින්ඩ පුරුදු වෙයන්නිං. ඒක එච්චර අමාරු වෙන එකක් නැහැ" මම රම්බො මලයට කිව්වා.

ඊලඟ සුදුසුකම ම්ම්ම්ම්.........බලමු, "හරි, මේ තියෙන්නෙ....ජංගම දුරකථනයක් පැය විසිහතරම කනේ ගසාගෙන සිටිය හැකි.....ම්...ම්....මට හිතෙන්නෙ මේකට නම් සුදුසුම අපේ තැපැල් මහත්තයා. ඒත් උන්නැහේට අනික් සුදුසුකම් නැහැනෙ...." 

"හරි, අයියා, ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජංගම දුරකථනයක් අරං දෙනවනං බැරිය කනේ ගහ ගෙන ඉන්න"

"එහෙම නං මටත් එකක් ඕන මගෙ කනෙත් ගහ ගෙන ඉන්න" ඒ පාර ඒ සිරිමලී...

හරි ඊලඟට මොනවද? මම ආයෙ ඇහැ යොමු කලා සුදුසුකං කොලේට. පැහැපත්, ජවසම්පන්න, කඩවසම්......පැහැපත් වැඩේනම් කොහොමවත් හරි යන්නෙම නැහැ. මූව හමගහල ගන්න වෙයි පැහැපත් වෙන්න නම්...

"මලේ, ජවසම්පන්න...... ඒක කොහොමද?"

"අපොයි ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගෙ පිට් එක ගැන ඔන්නම් අපෙ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තයාගෙන් අහන්න. එයා කියයි... කී පාරක් ඔය පොලිසියෙ මහත්තුරු මා පාරෙ පැන්නුවද? එකෙකුට කිට්ටු වෙන්ඩ බැරි උනා අහලකට"

හරි ඔන්න අන්තිම සුදුසුකම කඩවසම්.....හරිනෙ. කිසි අවුලක් නැහැ. රම්බොට කඩවසම් නෙවෙයි කඩ දෙකක් වසම් සුදුසුකම් තියෙනවා. 

උගෙ අප්ප ඒ කිව්වෙ අපෙ බාප්ප මූ එහෙ මෙහෙ රස්තියාදු ගගහ ඉන්න කොට සිල්ලර කඩයක් දාල දුන්නා "ඉඳා, මේකවත් කරගෙන ඉඳහංය" කියාල. කොහෙද? මේ පකිස් බූරුව මාසයක් කඩේ කලේ නැහැ. යාලුවන්ට ණයට දීල කඩේ බංකොලොත් කරල දැම්මා. බාප්ප පස්සෙ බැරිම තැන කඩේ වහල දැම්මා. 

ඔයිට මට මතක විදිහට අවුරුද්දකට විතර පස්සෙ ඔන්න ආයෙම බාප්ප, "ගිය පාර වගෙ නැතුව මේ පාරවත් මනුස්සයෙක් වෙයං" කියල රෙදි කඩයක් දාල දුන්න. මොන? ඒකටත් ඒ සන්තෑසියමයි...ඒක නිසා කඩවසම් සුදුසුකම නම් මේකට ඕනවටත් වැඩිය තියනව. 

හරි, සුදුසුකං ඔක්කොම චැක් කොරල අහවරයි. දෙගොඩ හරියටත් වෙන්ඩ ආපි. පදමත් හොඳ ගානට.... දැං පාර පුරාම ගෙදර ගියානං හරි…

"මලේ එහ්හෙන්නං මං යඤ්ඤං. හෙට උදේම නාල කියාල වරෙං වලව්වට හරිද?"

"හෝව්, හෝව් අයියංඩි. මම ඔය රාජකාරිය බාර ගන්නෙ එක කොන්දේසියක් ඇතුව...ඒ කියන්නෙ වලව්වෙ ඇතුලෙ මයෙ මේ කර්මාන්තෙ බෙදාහැරීම් මද්දියස්තානෙ පිහිටුවන්ඩ අවසර ලැබෙන්ඩ ඕනෙ. මොකද මේ වැඩේ අතෑරල බැහැ නෙව"

"හපොයි මලේ ඒක කොරන්නෙ කොහොමදෑ? ලොකු මැණිකෙ මයෙ ඔලුවත් එක්ක කයි"

"නැත්නම් මට බැරුවා...මගෙ ඉල්ලීම කෙරෙන්ඩම ඕනෙ"

දැං මොකෝ කොරන්නෙ? මේ යකා කියන දේ නොකරත් බැහැනෙ. මේ බොඩි ගාට් වැඩේට ඉන්නෙත් මූ විතරමයි නෙව. හරි මෙහෙම කලොත් හරි. මුගෙ මේ බෙදා හැරිල්ල අලි ගාලෙ කලා නම් හරි. අනික බිරී මලය, බුරා මලයලටත් ඔය රා පොලවල් ගානෙ ඇවිදින වෙලාවෙ අලි ගාල පැත්තට ඩිංගිත්තක් වහං වෙන එක විතරක් නෙව තියෙන්නෙ.  අනික වලව්වෙ තුං වේලටම පිහන කෙහෙල් මුහෙයි, පරිප්පුවයි ගිරියෙං පහලට යවාගංඩ ඉතිං මෙව්වයිං දෙකක් නොදාත් බැහැම තමයි... 

"එහෙනම් මලේ අපි මෙහෙම කරමු.. උඹේ වැඩේ අලි ගාලෙ කරමු..ඒකෙ ඉන්න අර වයසක අලියත් පැත්ත වැටිච්චි ගමම්ම නෙව ඉන්නෙ...ඒකෙ පුලුවන්."

"හරි මට කොහෙ උනත් කමක් නැහැ. මගෙ වැඩේ කෙරෙන්ඩයි ඕන. අල්ලිස් උන්නැහෙටත් අපි ඕනනං බෝතලයක් දෙකක් පොවමු. ඕනම පැත්ත වැටිල ඉන්න හස්තිරාජයෙක් මයෙ බඩු සප්පායං උනහම ආය නෑ මුචලින්දය වගේ තමයි කෙලිං වෙලා එන්නෙ…"

"මුචලින්ද කියන්න වඳුරෙක් බං...උඹ ඔය හස්තිරාජයෙක්ය කියල කියන්නෙ කන්තක නම් හස්තිරාජය ගැන...."

"හරි හරි මොකෙක් හරි එව්වයිං වැඩක් නෑ...මේ වැඩේ කෙරෙන විදිහක් කතා කොරමුකො…"

"හරි හෙට උදේ නමයට වලව්වට වරෙං එහෙනං"

"ආ, තව එකක් උඹ ගැන විපරං කරන්ඩ කවුරු හරි ප්‍රභූ වරු තුන් දෙනෙක්ගෙ නං තුනකුත් ඕනෙ. තව ටිකෙං ඒක මතක බැරි වෙනවනෙ"

"හරි, පොලිසියෙ ලොකු මහත්තයා. නඩුකාර හාමුදුරුවො. එතනින් ගිහාම හිරගෙදර ලොක්කා...ඔය තුං දෙනා මං ගැන හොඳට දන්නවා. එයාලගෙං ඇහුවනං හරි" රම්බො මළයා වැනි වැනී කිව්වා.

"අප්පට උඩි..හොඳම ඉස්තරං ප්‍රබූ කස්ටිය නෙව මලේ උඹ අඳුනන්නෙ...වෙරි ගුඩ්ය කියන්නෙ ගුඩේ ගුඩ්.."

"අන්න එහෙමයි අපි..." රම්බෝ බූරු ඇඳේ වැතිරිල ඉන්න ගමං යන්තමට ඔලුව උස්සල කිව්ව.

මම හඳපානෙම පාර පුරා ගෙදර ආවා…පාර පුරා මල් ඉහිරෙයි ඇඳපු චීත්තේ..හා..හා..ඇඳපු චීත්තේ..හා..හා.. ඇඳපු චීත්තේ…

පහුවදා හිමිදිරියෙම මම වලව්වට ගිහිල්ල ලොකු කුමාරිහාමි බැහැ දුටුවා,

"මොකද කවිකාර වැඩේ? සුදුසු කෙනෙක් හම්බ උනාද බොඩි ගාඩ් වැඩේට?" ලොකු කුමාරිහාමි සාලෙ මහ පුටුවෙ ඉඳගෙන ඇහුවා.

"එහෙනං ලොකු මැණිකෙ එහෙනං එහෙනං...වැඩේට හොඳම කෙනා මට හම්බ උනා"

මැණිකෙගෙ මූණ බලා ඉන්දැද්දි එළිය උනා. "හපොයි, කවිකාරට කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නෙ නැහැ. මගේ ඉහ උඩ තිබ්බ බරක් බිමින් තිබ්බ වගේ"

හප්පා, මට ලැජ්ජත් වගෙ මැණිකෙගෙ ප්‍රසංසාවට "ඔව්ව මොනවද මැණිකෙ" මම ඇඹරි ඇඹරි කිව්වා.

"හරි, දැං ඉතිං කෝ ඔය කියන මනුස්සය?" ලොකු මැණිකෙ ඇහුවා.

"හරියට නමයට එනව කිව්ව මැණිකේ"

ඔන්න හරියටම නමයට මම ගේට්ටුව ගාවට ගියා. රම්බො මලය වෙලාවටම ඇවිල්ලා. මේ මොකෝ මේ....... ඒ පස්සෙං සිරිමලියත් එන්නෙ…

"උඹ මොකෝ නඟෝ?" මම ඇහුව.

"අයියත් හරි කතාවක්නෙ අහන්නෙ. මේ ගෑණු විතරක් ඉන්න වලව්වට මගෙ මිනිහ තට්ට තනියම රාජකාරි කරන්ඩ එවන්ඩ මට පුලුවන්ද? මාත් ඒ නිසා ඒ එක්කම ආවා"

හපොයි, මේ මොකක්ද මේ වෙච්ච විනාසෙ? ලොකු මැණිකෙ මගෙ ඔලුවත් එක්ක කාල තමයි පස්ස බලන්නෙ.  ඒක නම් මම දන්නව සහසුද්දෙම්ම.

"හරි දැං රම්බො මලය පොඩි කුමාරිහාමිගෙ බොඩි ගාට් නෙව. ඉතිං උඹ මොකක්ද කොරන රාජකාරිය?" මම සිරිමලීගෙං ඇහැව්වා.

"මම තමයි, බොඩි ගාට්ගෙ බොඩි ගාට්" සිරිමලී ගහෙං ගෙඩි එන්නැහෙ උත්තර දුන්නා.

ඒකත් හරි තමයි බලාගෙන ගිහාම. තරකානුකූලයි ඒ උත්තරේ...ඒත් මේක දැං කියන්නෙ කොහොමද ලොකු මැණිකෙ දැක්කිං? මට තියෙන ප්‍රශ්නෙ ඔන්න ඕකනෙ...

"කවිකාර... කොයි ඔය කියාපු හාදය? ඇවිල්ල ඉන්නව නං මෙහාට එක්ක එමුකො අපිට බලාගන්ටත් එක්කල..." ලොකු මැණිකෙගෙ හඬ ඉස්තෝප්පුවෙං ඇහුනා,

Wednesday, November 14, 2018

616. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 3 - මනාල සම්ප්‍රාප්තියෙන් ඉක්බිති......


1818 කැරැල්ල අළලා නිපදවුනු "මුතුකුඩ" ටෙලි චිත්‍රපටයේ
මුතුකුඩ මැණිකේ ලෙස රඟන තිලිණි පෙරේරා...

පාන්දරිම්ම පයිංඩයක් ආපි වලව්වට එන්ඩෙයි කියල. අර ඉංගලංතෙං මනමාල මහත්තැං ඇවිත් ගිය දොහේ ඉඳං මං වැඩිය වලව්ව පැත්තෙ ගියේ නැහැ නොව.

මං හිතුව වගේම උනානෙ. ඒ කිව්වෙ මනමාල අප්පු වලව්වට අපහාස කොලාය, ඒකට උල්පංදං දුන්නෙ මමෙය, කියල ලොකු මැණිකෙ පුපුරා හැලුන නෙව. අලිය ලව්ව මාව පාගවනවය කියාලත් තර්ජනේ කොරාපි. එව්වට නං අපි බය නෑ. අපි නොදන්න මොණර තැන්න කිව්වලු. අලිය ලව්ව පාගවන්ඩ කලියෙං ඒක කෙලිං කොරාල ඉන්ඩ එපාය. දැං මේ මාස ගානක් තිස්සෙම හරහ වැටිල ඉන්න අහිංසක සතා....

ඔය අලිය මනමාල මහත්තැං එන්ඩ කලිං දවසෙ කෙලිං කොරවල, අඹ ගහට හේත්තු කොරවපු කතාව මනමාලය දන්නෙ කොහොමද? ඒක එතුමා එක්ක කියැව්වෙ මමෙය කියල තමයි ලොකු මැණිකෙ එක පයිම්ම කියා හිටියෙ.

අනෙ අම්මප, මම එව්වාගෙ අසමජ්ජාති වැඩක් කොරනවය තුං හිතකිං වත්. ලුණු ඇඹුල් කියන සජ්ජාතියක් නැති, අඩිය අල්ලාපු පරිප්පුවකුත් එක්ක හරි බෙරි වෙච්චි බත් උලක් කොටා බාන තැන වෙච්චි. මම තියා මයෙ බල්ලවත් කොරනවය එහෙම දෙයක්...

හැබැයි ඔන්න මෙහෙම දෙයක් නං උනා, අයෙ මොටෝ බොරුවක් මුසාවක් ඇදබාන්නෙ. 

ඒ කිව්වෙ මනමාලය අලිය දැකල මයෙං ඇහුව නෙව "අනේ පවු, අර අහිංසක සතා හරි අමාරුවෙන් වගෙ නේද අර නැගිටල ඉන්නෙ...ඕකා බුදි කෙරෙව්වොත් හොඳ නෙවෙද?" කියාල. 

මං කියැව්ව "අනේ ආයුබොවං ඕකට එහෙමට අමාරුවක් නැත. දැං මාස ගානක් තිස්සෙ ඕක හරහ වැටිලම තමා හිටියෙ. ඊයෙ රෑ දෙගොඩ හරියක් වෙනකල් අපෙ බූර මලයයි, බිරී මලයයි මායි තුංදෙනා ඉල ඇදෙනකල් දඟලල තමයි ඔය සතා කෙලිං කොරාල ඔය අඹ ගහට හේත්තු කොරව්වෙ" කියාල. 

ඔන්න ඔච්චරමයි මං ඔන්න කියව්වෙ...ඉතිං ඕකට තමයි අපෙ ලොකු මැණිකෙ මා කන්ට තනන්නෙ මනමාලයට වලව්ව පාච්චල් කොලාය කියාල. කාට කියන අවනඩුද හැබෑටම මෙව්ව. උඩ ඉන්න දෙයියොම බලා ගන්ට ඕන.

ඔය අලිය ගැන කියද්දි තව දෙයක්.. ඔය සතා පිටේ තමයි කියනව ඇහැලේපොල මහ නිලමේ, ඒ කිව්වෙ අපෙ පොඩි කුමාරිහාමිගෙ කිත්තද, කිරිකිත්තද, නත්තද, පනත්තද කවුද මංද, සිරි වික්කරම රාජසිංහ රජ්ජුරුවංගෙ රාජ උදහසිං බේරිල සුද්දං ගාවට පැනල ගියාය කියන්නෙ. එහෙව් අයිතිහාසික සතෙක් තමයි ඔන්න ඔය ඉන්නෙ.

කතාවෙං කතාවෙං වලව්වටත් ආපි...කිරි අප්පේ......මේ මොකදෑ?.....වලව්වෙ අද ඊස් මීස් නැහැ නෙව සෙනඟ සූ ගාල. ඉරිද පොළ පරාදයි. මොකක් හරි ලොකු කලබැගෑනියක් වගේ...

අන්න බොලේ අරුංදතීත් ඇවිත් ඉඤ්ඤං. එයයිගෙ අර නඟා කෙලී එක්ක. සිත්තංද මොකක්දෝ මහ අපූරු නමක් නෙව ඒ කෙලීට ඇත්තෙ. මං කියන්නෙ කවිකාරි කියල. කවි කියන්ඩ අප්පා හරිම දස්සි. මම ඔය නිකමට පිලේ ඉඳං කවියක් කිව්වය කියමු. සුරුස් ගාල එහෙ බලල මෙහෙ බලනකොට ඒ කෙලීත් කවියක් හදල කියාලත් ඉවරයි...

අරුංදතී දැක්කම මයෙ ඉහේ මලප්පිපුන වගෙ උනාට මම ඒක පෙන්නුවෙ නෑ. වැඩි ආලවංතකං පෙන්නුවම ගෑණු එනව නෙව කරේ නඟින්ඩ......ආ.....නෑ, කොහොමත් උන්දැල අපෙ කරේම තමයි දැනටත් ඉන්නෙ. ඒ නිසා ලීලෙ පෑවොත් නඟින්ඩයි බලන්නෙ ඔලුව උඩටම...

"මොකද උඹල දෙන්න මේ පැත්තෙ?" මම නිකම් ගාම්බීර තාලෙට ඇහුව මයෙ නිල් සාටකේ එහෙම සකස් කොරන ගමං...මොන? අරුංදතී සත පහකට ගණං ගත්තද? ඔහෙ නෑ. ගස්සල දාල මයෙ දිහා ඇස් කොණකිං විදිල්ලක් කෙටුවහෙ බලාල "යමං නංගියෙ, අපි යංඩ" කියාල නඟායෙ අතිනුත් ඇදං ගියෙ වලව්ව ඇතුලට. 

කවි කාරි අතිං කට වහගෙන හිනාවෙනව. ඒකිට ඔය මදෑ දවසක් බෙලිකටු මල්ල හොල්ලංඩ. දොරකොඩ වැලගහෙං ගෙඩියක් පත බෑවුනත් වරුවක් හිනාවෙන එකී. අනේ අම්මප මේ ගෑණු එකීලයෙ හැටි සොබාව තේරුං ගන්ඩ මට හිතෙන්නෙ මැරිල ඉපදුනත් බැරිවෙයි ඔන්න...

"මොකෝ මලේ මේ හෙයියම්මාරුව?" මම බිරී මලයගෙන් ඇහැව්වා.

"අනෙ කවුරු දන්නවද බාං? ඔය රැස්සීමක්ය කියන්නෙ. ලොකු මැණිකෙ තමයි රැස්සීම කැඳෝල ඇත්තෙ"

පහුගිය ටිකේ පොඩි කුමාරිහාමිට මනමාලයො ගජ රාමෙට හොයැව්ව එකේ එහෙම එකක් වත් තීන්දු වෙලාද මංදා. මයෙ හිතට හීං දුකකුත් කාංදු වෙනව වගෙ දැනුනා. පව්, සීදේවි කෙලී...පොඩි කුමාරිහාමි වලව්වෙං ගියොත් මම ආයෙ මේ පැත්ත පළාතෙ එන්නෙ නැහැ. මම මටම කියා ගත්තා....

ඔන්න කට්ටියම ගිහිං රැස් උනා මහ රැස්සීම් සාලාවෙ. ලොකු මැණිකෙ මැද්දෑවෙ. ඊට එහා පොඩි කුමාරිහාමි. අනේ ඇස් වහක් කටවහක් නැහැ සීදේවී කෙල්ල. මම ඒ දිහාවෙ ඇහිපිය නොහෙල බලා ඉන්නොව දැකල අරුංදතී ඇන්නෙ නැතෑ වැලමිටිං මගෙ ඇලපොතට තරු විසික්ක වෙන්ඩ. කවිකාරි පිපිරෙන්ඩ තනනව හිනාව නවත්තාගන්ඩ බරුව...

අර එහෑයිම්ම ඉන්නෙ අලුතෙං වලව්වෙ කාරිය මංඩලේට බන්දවගත්තු අබ්බගාත් නෝනෙ. ඉංදියාවෙ අරෙහෙ මෙහෙ රට රාජ්ජ වල කරග්ගහපු නෝනෙක්ය කියන්නෙ...

ඒත් මටනම් තේරෙන්නෙම නැත්තෙ නීති වැඩ ගැන උපදෙස් ගන්න වෙනම කෙනෙක් මොහොකටද කියලා. අර අපේ හිටපු ජනාදිපති තුමෙකුත් ඒ කාලෙ කියැව්වෙ "අහවල් නීතිය? මම නීතිය ඉගෙන ගත්තෙ අලුත්කඩේ උසාවියෙං විසික්කා කොරන නඩු වාර්තා කියවලා...හැබැයි ඔය ලෝයර්ලයි කියන අයට වඩා නීතිය ගැන මම දන්නවයි" කියල. ජනාදිපති කියන්නෙ රටේ අන්තිම ලොක්ක නෙව. එහූ උත්තමයෙක් කිව්වනම් බොරු වෙන්ඩත් බැහැ නෙව...

රැස්සීම නිල වසයෙං ඔන්න පටං ගත්තා. මහ කුමරිහාමි රැල් බුරුල් ඇරියා...

"හැමෝම දන්නව ඇතිනෙ පහු ගිය සතියේ සිදුඋනු සිදුවීම ගැන. මේ වලව්ව ඇතුලට කොහෙදෝ යන හෙනහුරෙක් පිටින් පාත්වෙලා, මගේ මිනිබිරීට, අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න මේ කුමාරිහාමිට අපහාස කරලා" මහ කුමාරිහාමි මං දිහා බැලුවා කන්ඩ වගේ...

මම දන්නවනෙ මයෙ පැත්තට තමයි බෝලෙ එන්නෙ කියාල. මම වහලෙ උලු ගනං කොරංඩ පටං ගත්තා බොහොම උනංදුවෙං...

"දන්නවනෙ අපෙ පරම්පරාව ඇහැලේපොල මහ නිලමේ ගෙන් පැවත එන කන්ද උඩරට ප්‍රභූන් අතර................." මහ කුමාරිහාමි දිගටම ලැච්චර් එක...

ඔන්න මගේ චෑන්ස් එක මහ කුමාරිහාමිව ෂේප් කොර ගන්ඩ.  ඇහැලේපොල මහ නිලමෙ ගැන පොඩි වර්ණනාවක් කොලානම් වැඩේ ගොඩ.

මම නැගිට්ටා...මයෙ සාටකේ එහෙම හදාගෙන රැල් බුරුල් ඇරියා "මහ කුමාරිහාමිගෙන් අවසර ලැබේනම් මම කැමතියි ඇහැලේපොල මහ නිළමේ ගැන වචන සුවල්පයක් කතා කොරන්න..."

"බොහොම හොඳයි කවිකාර...මම දන්නව නෙව ඔය ඉඳහිටල බහුබූත කලාට කවිකාර වලව්වට හිත ඇති මනුස්සය කියල"

අප්පද බොල මහ කුමාරිහාමිගෙ මූණේ හිනාව බේරෙනවා. උන්දැගෙ පරම්පරාව ගැන වර්ණනා කලොත් ගෝනි නැතුව කරෙත් ගිහෑකි. හරි...... අද දෙන්නං පොරි හැලෙන්ඩ...

"ඇත්ත වසයෙම්ම ඇහැලෙපොල මහ නිලමෙතුමාය කියන්නෙ අපේ ඉතිහාසයේ රං අකුරිං ලියැවෙනා වීර පුරුසයෙක්..........." මම හොරැහිං බැලුව මහ කුමාරිහාමි දිහා. අප්පා මූනෙ තියෙන සිරියාව. මටත් අපූරු චෑන්ස් එක අර මනමාල අප්පුගෙ සංතෑසියෙං කැපිච්චි ලකුණු ටික අපහු දාගන්ඩ... මමත් ඇරියෙ නැහැ.

"දැං බලන්න නෝනාඋරුනි මාත්තුරුනි, ඇහැලේපොල නිලමේතුමා තම පිරියාදර බාරියාව සහ දරුවං තිදෙනා සිරි වික්කරම රජුගේ රාජ උදහසට ලක් වීමට සලස්වා නියම වීර පුරුසයෙකුගේ ගති ලක්සන විදහා පාමින්...." 

මොකද මේ අරුන්දතී මගෙ කකුල කොනිත්තන්නෙ............මේ ගෑනුන්ටත් ඊරිසියාව .......වෙන මොකක්දෑ හැබෑට නැහ්නං? තමන්ගෙ ආදර වංතයාට උනත් වාසියක් වෙනවට කැමති නැහැ. අනෙ අම්මප මේ ගෑණු තමයි ගෑණු කියන්නෙ...

"කොළඹ පර සුද්දන් කරා පලායාම මොන තරම්..... " මට ඒ වාක්කිය ඉවර කොරන්ඩ හම්බ උනේ නැහැ.

"කවිකාර, නවත්තනව ඔය විකාරෙ......." 

මහ කුමාරිහාමිගෙ ගර්ජනාවට මම උඩ ගිහිල්ල වහලෙ හැප්පිල ආයෙ බිම වැටුන. මේ මොන විනම්බෑසයක්ද මේ කඩං පාත් උනේ? මහ කුමාරිහාමිට පිස්සු වත් හැදිලද? නැත්නම් දෙය්යෝ සාක්කි මොකදෑ මේ හිටපු ගමං? මට නං මේ මොකවත් තේරෙන්නෙ නැතුවා...

ඒ අස්සෙ අරුන්දතී මයෙ රෙද්දෙං අදිනව ඉඳගන්ඩ කියල. මම ඉතිං හෙමිහිට ඉඳ ගත්ත. මට නං මේ මොකොවත්ම තේරෙන්නෙ නැතුවා. මහ කුමාරිහාමි උදහස් උනේ මොකෝ හැබෑටම? මම ඇහැලේපොල නිළමෙ ගැන මම අහල තිබ්බ දේවල් අනුසාරයෙං කතාවක් පැවැත්තුවා විතර නෙව කොලේ... ඉතිං මහ කුමාරිහාමිට උදහස් වෙන්ඩ කාරිනාවක් එතන තියේද? අනේ මට නං තේරෙන්නෙ නැතුවා....

ඉඳගෙන මම පිටිපස්ස බැලුවා. අරුන්දතී මා දිහා කංඩ වාගෙ බලාන ඉන්නවා. කවිකාරිගෙ මූනත් එක්කලා රතුවෙලා හිනාව නවත්තා ගන්ඩ බැරුව...

"දයාවතී, අරං එනව මගෙ ප්‍රෙසර් පෙති, වතුර එකකුත් එක්කලා" ලොකු කුමාරිහාමි පෙති දෙකක් තුනක් බිව්ව වතුර වීදුරුවකුත් එක්කලා...

පෙති බීල ලොකු කුමාරිහාමි හොඳ හුස්මක් දෙකකුත් ගත්තා.....

"මේ කවිකාරගෙ වැඩ නිසා මම දන්නව වෙලාවක මගෙ ප්‍රෙසර් එක වැඩි වෙලා මහ විනාසයක් වෙනව, කවිකාර......මම මේ අන්තිම වතාවට කියන්නෙ ඔහොමම ඉන්නව වාඩිවෙලා.....වචනයක් කතා කලොත් බලාගෙනයි.. තේරුනාද?"

අනේ අප්පෝ මට නම් මෙව්ව අඳෝ සංසාරයක් තේරෙන්නෙ නැතුවා... මම මේ හොඳ හිතිං උදව්වක් කොරන්න ගියේ... අන්තිමට ඒකත් මටම කැරකිලා ආපි. මොනව කොරන්නද? කරුමේ.....කරුමේ...

එතනිං පස්සෙ මම සබාවෙ වැඩ මොහොකටවත් සහබාගි උනේ නැතුවා. මයෙ පාඩුවෙ  හිටියා. අන්තිමට ඔන්න ගත්තු තීරණේ නං මේං මෙහෙමයි...

"මහ වලව්වේ මහ කුමාරිහාමි විසින් එහි වාසය කරනා පොඩි කුමාරිහාමිගේ පුද්ගලික ආරක්ෂාව පිනිස 'බොඩි ගාර්ඩ්වරයෙකු' පත් කරගනීමට තීන්දු කර ඇත. අඩි හයක් පමන උස, අවුරුදු 35 ට අඩු, ආරක්ෂක සටන් ක්‍රම පරතෙරට පුහුනු කල, ඉලක්කයට වෙඩි තැබිය හැකි, ඊතල පනිවිඩ වේගයෙන් යැවිය හැකි, ජංගම දුරකතනයක් පැය විසි හතරම කනේ ගසා සිටිය හැකි, පැහැපත්, ජවසම්පන්න, කඩවසම් තරුනයෙක් මහ කුමාරිහාමි සොයයි. සියලු ඉල්ලුම් පත් ජායාරූපයක් සමග මහ කුමාරිහාමිවෙත යොමු කරන්න"

රැස්සීම අහක වෙලා තිබ්බ මහා බෝජන සංගරහයක්. කෙහෙල් මුහෙයි පරිප්පුයි කාල අපෝවෙලා හිටි කවුරු කවුරුත් බඩවැල් දිගඇරෙන්ඩ බූසෙ කෙටුවා. අපරාදෙ කියන්ඩ නාකයි බෝජන සංගරහය නං අපූරුයි. අපෙ මල්දෙණියෙ නඟායි ඉතාලියෙංද කොහෙංදෝ ගෙන්නාපු ඉස්තරං කෝකියෙකුයි දෙන්නා එකතුවෙලා තමා බෝජනේ පිළියෙල කොරාල තියෙන්නෙ...

පහුවදාම අණබෙර කාරයෙක් ඇරිය අහල ගම් දනව් ඔල හංදියක් හංදියක් ගානෙ මහ කුමාරිහාමිගෙ අනඥාව පොරකාස කොරන්න. සුමානයක් කල් දුන්න ඔය සුදුසුකං තියෙන අයට ඉල්ලුං කොරන්න.

ඔන්න ඔය කාලෙ මට ආව ආරාදනා එක දිගට ගොයං කයි, එතනිං ගිහාම මඟුල් තුලා, ඔය වාගෙ එව්වයෙ කවි කියන්න. ඒ නිසා සතියක් විතරම වලව්ව පැත්ත පලාතෙ යන්න බැරි උනා... 

දවසක්....ඔන්න අර මහා රැස්සීමෙං සතියකට විතර පස්සෙ මයෙ හිතේ....මං ගියා වලව්ව පැත්තට.

මහ කුමාරිහාමි අව්ව තපිනවා අඹ ගහ යට. පොඩි කුමාරිහාමි එහෙම් නම් පේන්න හිටියෙ නැහැ.

"ආ, කවිකාර, එමු, එමු මෙහාටම, මම මේ පයිංඩයක් යවන්ඩමයි හිටියෙ මේ පැත්තෙ එන්ඩෙයි කියල" 

ඔන්න මට ටිකක් බයකුත් ඇතිඋනා.  මුංදෑ පනිවිඩ යවන්නෙ නම් හොඳකට වෙන්ඩ බැහැ  ඒ වංගියෙ මොන මරාලයක්ද මංද මයෙ ඉහ මත කඩා පාත් වෙන්ඩ යන්නෙ?

මම සාටකෙත් අතට ඇරගෙන කෝකටත් ගියා ලඟට...

ඔන්න ඔය වෙලාවෙ පොඩි කුමාරිහාමි ආව එලියට. අප්පා බලන්ට එපාය ලස්සන. මයෙ ඇස් නිලංකාර වෙලා ගියා. අනේ මේ ඇත්තමයි...

පින්න මල් පොකුරක් වගෙ හිනාවේගන එයා අපි ලඟට ආවා...

"අත්තම්මේ, මම ජිම් යනවා" ලොකු කුමාරිහාමිගෙ මූණ ඉඹල එහෙම කිව්වා.

"කවිකාරටත් ඕනද උම්මා එකක්?" ඒ කරල මං දිහා බලල හිනාවෙවී ඇහුවා...

මයෙ මූණ විතරක් නෙවෙයි ඉහේ ඉඳන් දෙපතුල දක්වා රතු වෙලා ගියා ඔන්න...

" පොඩ්ඩි, යනව යන දිහාවක මෙතන කෝලං කරන්නෙ නැතුව......... " ලොකු මැණිකෙ ඉණට අත් දෙකත් තියාගෙන කෑගැහුවා...

පොඩ්ඩිට ගානක් වත් නැහැ. එයා හිනාවෙවී ගෙට දිව්වා,

" ඔන්න පේනවනෙ කවිකාර... තාම පොඩි දරුවෙක් වාගෙ. හුරතල් වෙන්ඩමයි බලන්නෙ. මගෙ බයත් ඒකනෙ. ඔය නිසාම තමයි මම අර බොඩි ගාඩ් කෙනෙක් පත් කරන්න තීරණය කලේ"

"ඉතිං අපි ආපු ඉල්ලුං පත්තර ඔලිං හොඳ එකක් තෝරල එහෙම කෙනෙක් පත් කොරමුකො මැණිකෙ" මම කිව්වා.

"ඒකම නෙව ප්‍රශ්නෙ. එකම ඉල්ලුම් පත්‍රයක් වත් ආවෙ නැහැනෙ...ඉතිං කාවද පත් කරන්නෙ?" ලොකු කුමාරිහාමි කනස්සලු මූණකින් කිව්වා...

අප්පට සිරි. එහෙනම් මොකද කරන්නෙ? මමත් කල්පනා කරන්න ගත්තා.

" අපි මෙහෙම කරමු. මම මේ කවිකාරට එන්නෙයි කියන්න හිටියෙත් මේක කියන්නමයි. තමුන් දන්නවනෙ මේ ගමේ හැමෝම ගැන. ඒ නිසා මේ තනතුරට සුදුසු කෙනෙක් හෙටම හොයාගෙන එන්න ඕනෙ. තේරුණානෙ? සුදුසුකම් දන්නවනෙ. එව්ව පිරිමැහෙන්ඩත් ඕනෙ"

"අනේ මැණිකෙ, මේ හදිස්සියෙ මම..........."

"මේ...මේ..... එව්වයින් මට වැඩක් නැහැ. දැන්ම ගිහින් සුදුසු කෙනෙක් ගැන හොයන්ඩ හොඳයි" ලොකු මැණිකෙ මට කතා කරන්ඩවත් දුන්නෙ නැහැ.

මහාමේරුව ඉහ මත තිබ්බා වාගෙ බරකුත් දරාන මම වලව්වෙ ගේට්ටුවෙන් පිට උනා...

To Be Continued....

Friday, November 2, 2018

613. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 2 - මනාල සම්ප්‍රාප්තිය


ඇහැලේපොල කුමාරිහාමි...
වස කම්මැලියි බොලව් මොකවත්ම ලියන්ට..... මුලු සරීරෙම නිකං වණේක දාල කෙටුවැහෙ....කාලගුණික වගේම දේශපාලනික හේතුත් මේ හෝන්දුමාන්දු ගතියට හේතුවෙලා තියනව කියල මට හිතෙනව.

කාලගුණික තත්වෙ කිව්වෙ මේ දවස්වල මෙහෙට ශීත සෘතුව පටන් ගන්න කාලෙ. ගිම්හානෙන් ශිශිරයට මාරුවෙනකොට අනිවාර්යයෙන් පොඩි වැස්සක් දෙකක් යනව. මේ පාර නම් පොඩි වැස්සක් දෙකක් නෙවෙයි සලකල වැස්ස. පාරවල් හිට යටවෙලා වාහන මහපාර මැද නතර වෙලා මහ එක ගිනි විජ්ජුම්බරයයි. 

කොටිම්ම ඉස්කෝල එහෙම මයෙ හිතේ දවස් තුනක්ද හතරක්ද කොහෙද වැහුවත් එක්ක. දෙයියම්ප මට කල්පනා වුනේ මේ දවසක් දෙකක් වැහැල මෙහෙම කෙලියක් උනානම් අපේ සිරි ලංකාවට වහින දාරානිපාත වැහි එහෙම මෙහෙ වැස්සනං රටෙං තුං කාලක්ම යට වෙලයි නතර වෙන්නෙ නේද කියල...

ඒ කාලගුණික හේතුව....දේශපාලනික හේතුව අර පොළවෙන් මතුවෙච්චි ගොබ්බය පහුගිය සතියෙ නටපු නාඩගම..කියල වැඩක් නෑ අප්ප..මිනිහෙකුට කිසිම විළි ලැජ්ජාවක් නැතුව මෙහෙමත් අසමජ්ජාති වැඩක් කරන්ට පුලුවන්ද කියල හිතෙන කොටත් පුදුම හිතෙනව...

ඒත් එහෙමෙයි කියල සතියකට සැරයක් වත් මොකවත් ලියල දාන සිරිත කඩකරන්ටත් මහ මොකක්ද වගේ.....

මගෙ වෙලාවට තමයි පහුගිය සුමානෙ අලුත් ගෙදරට එන්ට බඩු අස්කරනකොට පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ මම ලියපු මාගල් කමෙන්ට් වගයක් පරණ ෆයිල් එහෙක තිබිල හම්බවුනේ...ඒකත් ජයසිරි මංගලම් කියල මම ඉතිං කල්පනා කොලා මේ හෝන්දු මාන්දු ගතිය අකාමකා යනකල් ඒ කමෙන්ට් දෙකතුනක්වත් දාන්නම්ය කියල හුදී ජන පහන් සංවේගය උදෙසා කියල....

මේ කතාව කියන්නෙ කවිකාර...පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ හිටිය ඒ ඇත්තිගෙ කටයුතු කාරණා බලා හදාගන්ට කාර්ය මණ්ඩලයක්ම..කවිකාරගෙ රාජකාරිය කවි කියන එක..තව හිටිය පුස්තකාලෙ බාරව සිත්තමී කියල අංගනාවියක්..බූරා කියල හිටිය වලව්වෙ ආරක්සක අංසෙ ලොක්ක. ටී.ජී. තමයි නීති අංසෙ බාරව හිටියෙ. ඔය මට මතක තියන අය තමයි මම කිව්වෙ..හැමෝගෙම නම් ගම් මතක නම් නෑ....ඇයි අප්පේ කොච්චරක් කාලෙකට ඉහතද?

හරි අපි දැන් අහමු කවිකාර කියන කතාව...මේ පොඩි කුමාරිහාමි බලන්ට මනමාලයෙක් ඇවිල්ල වෙච්චි පලහිලව්වක්...

මේ කතාන්දරේ මගෙ නමින් දැම්මට මේක මම ලියාපු එකක් එහෙම නෙවෙයි ඔන්න. ඒක මුලිම්ම කියා හිටින්ඩ එපාය. 

ඔය ආපු මනමාල ඇත්තො අර මම තොරණ යට පිළිගැනීමේ වාක්කිය කියාපු වෙලාවෙ මා දිහා වපරැහිං බැලුවට පස්සෙම් පහු මා එක්ක බොහෝම හිතෙසිවන්ත උනා නෙව. ඔය සාලෙ ඉඳං ඉන්දැද්දි මට හිමීට ලඟට කතා කොරල අපෙ අරුංදතිය පෙන්නල ඇහැව්වත් එක්ක ඒ කවුදැයි කියාල.

මම ඉතින් විස්තරේ කියැව්වහම එයැයි අඳුනන ඒ වගේම ගෑණු ළමෙක් ඉන්නවාය කියාපි ඔය ඉන්නවය කියාපු දේසෙ, ඉංගලංතෙද කොහේද...

ඒ ඇත්තා යන්න කලියෙන් කිව්ව, මම මේ විස්තරේ කතාන්තරයක් වගෙ ලියල උඹට එවඤ්ඤං, උඹ වලව්වෙදි කියාහංය කියාල.

මම කිව්ව අපෙ අප්පෝ මට බැරුවා, මේ කතාන්තරේ මොකක් තියෙනවද මම දන්නෙ නැත, ඔව්ව කියල කුමාරිහාමිල උදහස් උනොත් දඬුකඳේ ගහනව නෙවෙයි මාව දංගෙඩියට යවාලයි පස්ස බලන්නෙ කියාල...

ඒ විඩේ කියැව්වා උඹ බය වෙන්න එපා, මම උඹට පුරස්නයක් නොවෙන්න කතාවෙ මුලිම්ම දාන්න ඉන්ගිරිසි වාක්කියකුත් කියල එවන්නම්ය කියල.

ඔන්න ඉතිං මේ පහලිං තියෙන්නෙ උන්නැහේ ලියා එවාපු කතාව තමා, අර වාක්කියත් එක්ක. ඔන්න මොකොවත් වැරැද්දක් එහෙම කියවිලා ඇත්නම් මට වරද පටෝනවා එහෙම නෙවෙයි... ඕං කලියෙම්ම කියැව්වා.

ඔන්න එහෙනම් මනමාල මහතැන්ගෙ කතාව,

Disclaimer - All characters appearing in this work & incidents reported herein are absolutely genuine. Any resemblance to fictitious persons, living or dead, is purely coincidental.

ශීත සෘතුව අන්තිම කාලෙ උනාට තවම සෑහෙන්න සීතලයි. තේම්ස් නදිය සිපගෙන එන සුලඟ කොහොමත් ග්‍රීෂ්මෙදි උනත් ඇඟ කිලිපොලනව. හවස සරෝ හම්බවෙලා හයිඩ් පාක් එකේ කතා කර කර ඉඳල අපාර්ට්මන්ට් එකට එනකොට රෑ දහයත් පහු උනා.

ටී.වී. එක දාගෙන ඉඳගත්ත බ්‍රැන්ඩි ටිකකුත් වක්කරගෙනම. හප්පා සීතලේ බැහැ. මල කෙලියයි එංගලන්තෙ පැරදිලා නේද අයර්ලන්තෙට. අයර්ලන්තෙ අද මඟුල් වාගෙ ඇති...

ආහ්...... ටෙලිෆෝන් එක නේද වදින්නෙ?...... කවුද මේ වෙලාවෙ?.........අද මට හවස යද්දි මොබයිල් එක ගෙනියන්ඩත් අමතක උනානෙ..

"හෙලෝ "

"පුතා?"

"මොකද අප්පච්චි මේ මහ රෑ? දැන් ලංකාවෙ වෙලාව කීයද?"

මම හිතෙන් වෙලාව ගනං හැදුවා. ලංකාවෙ දැං පාන්දර තුන හමාරයි...... මොකද මේ හදිස්සියෙ?.......මට බයත් හිතුනා.

"අප්පච්චි...ඇයි කරදරයක් වත්ද?"

"නෑ... නෑ.. මම හවස ඉඳලම පුතාට කතාකරන්න බැලුවනෙ"

"මම මේ දැන් ආවෙ.. මොබයිල් එක ගෙනියන්නත් අමතක උනානෙ"

"පුතා, ලබන සුමානෙ සෙනසුරාද අපි පොඩි ගමනක් යොදාගෙන තියෙනව. පුතාත් අනිවාර්යයෙන් එන්න ඕනෙ. නිවාඩු නැහැ එහෙම කියන්න නම් එපා ඔන්න"

මේ දවස්වල වැඩ අඩු නිසා නිවාඩු ගන්න එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.

"මොකටද අප්පච්චි මේ හදිස්සියෙ?"

"අපි පුතාට හොඳ ගෑණු ළමයෙක් බැලුවා. බොහොම වැදගත් වලව්වකින්"

"කොහෙන්? අලව්වෙන්? ඒ මොකෝ එච්චර දුර බැහැර?" මම හිනාවෙවී ඇහුවා.

"අලව්වෙන් නෙවෙයි ළමයො...වලව්වකින්...බොහොම හැඩරුව ඇති ගෑණු ළමයා"

"අප්පච්චි දැක්කද? හෙහ්, හෙහ්"

"නෑ, ඒ ළමයගෙ අත්තම්මා එක්ක තමයි කථා කලේ. ඒ දරුව ඔන්න ඔය ඔස්ට්‍රේලියාවෙද කොහේද කිව්ව ඉන්නෙ. අර කවුදෝ හින්දි නිළියක් ඉන්නෙ හරියට ආං ඒ වගේමයි කිව්ව.. මට නම මතක නැහැ"

"කවුද, ප්‍රතිභා පටිල් ද? මම හිනාවෙවී ඇහුවා" ඒ ඉන්දියාවෙ ජනාධිපතිනිය. වයස හැත්තෑ ගනනක්...

"ආ වෙන්ඩ ඇති... මට ඔය නම් මතක නැහැ ළමයො.. අනික පුතා...අලියෙකුත් දෙනවලු දෑවැද්දට"

"මොකෙක්ය කිව්වා? අලියෙක්? මට මොකටද අලියෙක් ?මට එහෙනම් වෙන්නෙ රස්සාවෙන් අස් වෙලා අලියට කිතුල් කපන්ඩ රට වටේ යන්ඩ තමයි"

"පුතා ඔන්න විහිලු කරනවා. අලියෙක් ඉන්න එක මොන තරම් නම්බුවක්ද කියල පුතාට තේරෙන්නෙ නැති හැටි"

"හරි..හරි...ඒ අලි නම්බුව පැත්තක තිබ්බාවෙකො. මම එන්නංකො" 

අපෙ අප්පච්චිලාටත් වලව්වක් කිව්වොත් ඉතිං වෙන මොකවත් ඕන නැහැ. මට දුකත් හිතෙනව වෙලාවකට. දැන් ඉතින් නොගිහින් කොහොමද? යන්ඩම එපාය, ගිහිල්ල කොහොමහරි අප්පච්චිලගෙ හිත නොතැලෙන්ඩ බැහැය කියනව. අනික මේ චාන්ස් එකත් හොඳයි එක අතකට සරෝ ගැන අම්මටයි අප්පච්චිටයි කියන්න.

හෙට සරෝ හම්බ වෙලා මේ විස්තරේ කියන්න ඕනෙ. පව්, කෙල්ලට දුක හිතෙයිද දන්නෙ නැහැ.

පහුවෙනිද සරෝ හම්බ වෙලා විස්තරේ කිව්ව,

"O.K, I understand. you have to go. I think she must be very beautiful with this talk about Hindi actresses & all........may be you would fall in love with her"

සරෝජිනී යාපනේ. එයා මට මුණගැහුනෙ අපේ ඔෆිස් එකට  වැඩකට ආපු වෙලාවෙ. සිංහල හරියට බැහැ, 

"Yeah, who knows what's in store?" මම බැරෑරුම් මූනක් මවාගෙන කිව්ව.

"OK, enough of that. This time I am going to tell my parents about you"

"Yes, anyway you have to some day...... so I also think sooner the better" සරෝජිනී කිව්වා.

ඔන්න මම ආව ලංකාවට. ඒ කරල අපෙ අම්මයි අප්පච්චියි එක්කලා ගියා ඔය කියන කුමාරිහාමි බලන්ඩ...

නුවරෙයි කිව්වට මම හිතන්නෙ මධ්‍යම පළාතෙත් අන්තිම මායිමේද කොහෙද? කොටිම්ම නුවර ඉඳනුත් ගියා හරියටම පැය දෙකහමාරකට වැඩිය...

මේ ගැන නම් මට සහතික වෙන්න බැහැ, මම හරියටම දැක්කෙ නැති නිසා. ඒත් අපෙ වාහනේ ඉස්සරහින් ඔන්න එක පාරට අලි මුවෙක්ද ගෝනෙක්ද පැන්න පාර හරහට. කොළ අතු නිසා හරිහැටි දුටුවෙ නැහැ. හැබැයි ඒ පස්සෙන් තුවක්කුවක් මානගෙන සරං කොටයක් ගහ ගත්තු වැද්දෙක් වාගෙ මිනිහෙකුත් පාර හරහ පැන්න මම හිතන විදිහට...

පාර ගැන නම් කියල වැඩක් නැහැ. වලවල් බේරල යන්ඩ හදල බැරිම තැන ඔහෙ ඕන එකක් කියල ඒ වැඩේ අත ඇරල ලොකුම වලවල් ටික බේරල තමයි ගියේ...

"මේ පාර ඔය සිංහල රජ කාලෙ ඒ වලව්වට යන්ඩම හදාපු පාරක් කියනවනෙ"

අප්පච්චි බොහොම ආඩම්බරෙන් ඉස්සරහ සීට් එකේ ඉඳගෙන වට පිට නරඹමින් යන ගමන් කිව්වා.

"ඇත්තම වෙන්ඩ ඇති. ඒ කාලෙ හැදුවට පස්සෙම අඩුම තරමෙ පස් කූඩයක් වත් දාපු බවක් නම් පෙනෙන්නෙ නැහැ" අලියෙක් නාවන්ඩ පුලුවන් වලක් බේරන ගමන් මම කිව්වා...

ඔන්න ඉතින් ගිහිල්ල ගිහිල්ල අන්තිමට වලව්වෙ ගේට්ටුව ගාවටත් ආවය කියමුකො.

ඔන්න ගේට්ටුව උඩ මහ තොරණකුත් අටවලා....

" මහා බිරිතානියේ සිට සැපත් වන අති ගහුරවාර්හ මනාල මහතා සාදරයෙන් පිළිගනිමු"

මේ මොකක්ද මේ? ලැජ්ජාවෙ බෑ...

මේ වැඩේට නම් අපෙ අප්පච්චිත් සම්බන්ධයි අනිවාර්යයෙන්ම. මග එද්දිත් තොරණ් කතාවක් කිව්ව මට මතකයි වගේ...

"මොකක්ද අප්පච්චි මේ කරල තියෙන්නෙ?" පස්සට වෙලා තොරණෙ හැඩරුව නරඹන අප්පච්චිගෙන් මම ඇහුවෙ තරහින්.

"ඒකනෙ, පුතා බලන්නකො මම මේ අයට කිව්ව තොරණ මුදුනෙ පුතාගෙ පොටෝ එහෙකුත් එල්ලන්ඩය කියල. කරල නැහැනෙ" අප්පච්චි සමාව ඉල්ලන ස්වරේකින් කිව්වා,

මම එතනින් පස්සෙ වචනයක් වත් කතා කලේ නැහැ. මොනවයි කියල කියන්නද එක අතකට.

ඔන්න ගේට්ටුව ඇරුනා. මට මතක් උනේ අර ඩ්‍රැකියුලා ෆිල්ම් වල හොල්මන් මන්දිරේ දොර ඇරෙන්නෙ "ක්‍රා......ආ......ආ....ස්ස්ස්ස්" කියල. අන්න ඒ සීන් එක. ගේට්ටුවට තෙල් ටිකක් දාල නැතුව ඇති මතක ඇති කාලෙමින්...

හපොයි, මේ කවුද අප්පේ මේ?

අර ගාන්ධි ඇඳපු අමුඩෙ වගේ මොකක්ද එකකුත් (මට නම මතක් උනේම නැහැ ඒ වෙලාවෙ) ඇඳල. නිල් පාට සාටකේකුත් පොරවගෙන...මොකක්ද මේ මනුස්සය කරන්න යන්නෙ හැබෑටම?

මෙන්න පරණ සන්නසක්ද මොකක්ද එකකුත් ඇදල ගත්ත ඉනේ තිබිල...

"නෛක ශ්‍රීන් විරාජමානවූ, හිරු නොබසින අධිරාජ්‍යයේ රාජ මහේෂිකාවුන්වූද, ඉන්දියාවේ අධිරාජිනිය වූද ගෞරවනීය වික්ටෝරියා මහා රැජිනියන්.............. "

මොකක්? වික්ටෝරියා රැජින මැරිලත් දැන් අවුරුදු සීයකට වඩා ගිහින්... මේ මිනිස්සු තාම ඉන්නෙ ඒ කාලෙද කොහෙද...

මම අප්පච්චි දිහා බැලුවා. අප්පා... උන්දැ ඇසුත් පියාගෙන මේ හෑල්ල අහගෙන ඉන්නවා. මූණෙං එකයි හිනාව...

"....................රාජ්‍ය විචාරණ ලන්ඩන් පුරවරයේ සිට මෙහි සැපත්වූ පින්වත් කුමරුවා ඇතුලු ඒ ඤාතී වර්ගයා ඉතාම ගෞරවයෙන් පිලිගන්නා වග වලව්වේ කවි කාර තැන වන මා විසින් මෙසේ ප්‍රකාශ කොට සිටුම්හ..... "

"ඔන්න දැක්කද, නියම අපේ කුල සිරිත් වල විදිහට කවි කාරයෙකුත් ඉන්නම ඕනෙ" අප්පච්චිගෙ සතුට උතුරලා යනවා.

හරි ඒ පිළිගැනීම ඉවරයි කියමුකො. ඔන්න අපි ගියා වලව්ව දිහාට... හපොයි හත් අවුරුද්දකින් තීන්ත පොදක් වත් උලල නැහැ වගේ පෙනෙන්නෙ. යන්තම් ඊයෙද, පෙරේදද කොහෙද පොල් ලෙල්ලෙකින් දිය සෙවෙල් හූරපු බවක් නම් පේනව බිත්ති වල.

"දැක්කද පුතා මේ අය අපේ ඒ පෞරාණික ලක්ෂණ ඒ විදිහටම ආරක්ෂා කරගෙන යන අපූරුව?" 

අප්පච්චිට පුදුම උවමනාවක් තියෙන්නෙ මේ වැඩේ ස්ථිර වෙනව දකින්ඩ. පව්, මම සරෝ ගැන කිව්වම මොකක් වෙයිද මට නම් තේරෙන්නෙ නැහැ...

මගේ හිතුවිල්ල බිඳිල ගියේ නහය කඩාගෙන ගිය ගඳකින්, ඒ කොහෙන්ද? හප්පා, අර අඹ ගහේ බැඳල ඉන්න අලිය ගෙන් නේද මේ ගඳ එන්නෙ? හපොයි පව් අහිංසක සතා. නාවන්නෙත් නැත්ද මන්දා. අනික හරිම වයසක අලියෙක්. ඇටයි හමයි විතරයි. අලි ඇටසැකිල්ලකට හමක් පෙරෙව්ව වගෙ ඔන්න කොටින්ම...හිටියෙත් අඹ ගහට හේත්තු වෙලා..මට හිතුනෙ අද උදේ නැගිට්ටවල අඹ ගහට හේත්තු කරලද කොහෙද?

"ඔය අර මම කියපු අලියා, සද්දන්ත කුලේ අලි  අලි ඔහොම තමයි. ටිකක් ගඳයි. ඒකට ටික දවසකින් පුරුදු වෙයි" අප්පච්චිත් නහය එක අතකින් මිරිකගෙන කිව්වා...

ආය කාටද ඉතිං අලි ගඳට පුරුදු වෙන්ට ඕන? අනේ මටනම් එහෙම කිසිම ඕන කමක් නෑ...

ඔන්න අන්තිමට වලව්වටත් ඇතුලු උනාය කියමුකො. බොහොම තේජවන්ත කාන්තාවක් ආව අපිව පිළිගන්ට. 

"ඔය මනමාලිගෙ අත්තම්මා" අප්පච්චි මගෙ කණට කෙඳිරුවා.

"එන්ට... එන්ට.. ඉඳ ගන්ට" 

අපිත් ඔන්න ඉඳගත්තා. මේ වලව්වෙ මහ සේනාවක් ඉන්නව වගේ පෙනෙන්නෙ. වයිවාරණ ගෑණු ද, පිරිමිද, කෙල්ලොද, කොල්ලොද, සැරින් සැරේ ඇවිත් එබිකම් කර කර යනවා.

 අතර සරෝගෙ හැඩ රුවම තියෙන ගෑණු ළමයෙකුත් එහෙ මෙහෙ යනව මම දෙතුන් පාරක්ම දැක්කා.

"ඔය මේ අපේ මිණිබිරීගෙ කාරිය මංඩලේ. අර එයාගෙ කවි කාරයා" අත්තම්මා අර ගේට්ටුව ගාව චූර්ණිකාවක් කියාපු සාටක ලොක්කා පෙන්නල කිව්වා.

"මේ වලව්වෙ ලේකම් සහ භාර කාර තැන. නම බිරී" ඊ ගාවට මැස්සො බීව ගොයම් කරලක් වාගෙ හාදයෙක් පෙන්නුවා.

හපොයි මේ කටයුත්ත කෙරුනොත් මනමාලි එක්ක කාර්ය මණ්ඩලෙත් කැන්දන් යන්න වෙයිද මන්දා...මම හිතාපු දේ මගෙ මූණෙන් පෙනුනද මන්දා අත්තම්මා මගෙ විචිකිච්ඡාවට උත්තර දුන්නා.

"නෑ, නෑ, බය වෙන්ඩ දෙයක් නැහැ. මේ හුරතලේට හැදිච්ච ලමයනෙ කියල මම අහක බලාගෙන හිටියට හෙට අනිද්දම මම මෙයාගෙ මේ බහුරු විගඩම් ඔක්කෝම නවත්තනවා. ඔය ලමය බය වෙන්න ඕන නැහැ"

ඔන්න ඉතින් තේ කාරිය බීල ඉවර වෙලා, ආ............ඒකත් කියන්න එපාය, තේ වලට තිබ්බ හැලප වගයක් හදල, කවුරු හැදුවද මන්දා නිකම් පිටි ගුලි විතරයි. පැණි රහක් කියන නාමයක් නැහැ. අප්පච්චි හැලප ගුලියක් උගුරෙ හිර වෙලා, හුස්ම ගන්ඩත් බැරුව, ඇසුත් උඩ තියාගෙන දඟලන කොට, මම පිටට ගහල වතුර උගුරකුත් පොවල තමයි ගොඩ දා ගත්තෙ. මේ වගෙ කැවිලි හදන්ඩ දන්නෙ නැත්නම්, බැරි කෙහෙල්මල් නොකර ඔය කඩේකින්, මොනව හරි ගෙනාව නම් ඉවරයිනෙ.

ඔන්න ඉතින් අතුරු ආන්තරාවක්, කරදරයක් නොවී කවුරුවත් අභාවප්‍රාප්ත නොවී දේව කරුණාවෙන් තේ මේසෙ වැඩේ ඉවර උනාය කියමුකො.

ඔන්න දැන් තමයි වැදගත්ම අවස්ථාව. මනමාලි එලියට වඩම්මන වෙලාව.

ඔන්න කුමාරිහාමි හෙමිහිට ආව කාමරෙන්. හෙමිහිට ආවය කියන්නෙ යන්තම් පය මාරුකර කර බොහොම අමාරුවෙන් තමයි ඒ ඇත්ති ආවෙ. බැලූ බැල්මට කිව්වැහැකි ජීවිතේටම ඔසරියක් පටලවල තියෙන්නෙ අදය කියල. මම හෙමිහිට බැලුව මූණ දිහාවෙ. හප්පා සොකරි නටන්ඩ මූණු පාට කරනව දැකල ඇති නේද? අන්න ඊටත් ටිකක් එහා. රටේ නැති මේක් අප් ඔක්කොම කොරල.

දෙපැත්තෙන් තව ගෑණු ලමයි දෙන්නෙක් එනව මේක් අප් එක හද හද. පුලුන් කෑලි අරන් පිහදානව. බුරුසු වලින් නානාප්පරකාර කුඩු ජාති ක්‍රිම් ජාති උලනව. සායම් ගානව. ඇහි බැම හදනව. එක විකාරයයි.

අත්තම්මට තරහ ගියා මේ වැඩේට... "උදේ ඉඳන් ඕක කරනව. තාමත් බැරි උනාද ඉවරයක් කරන්ඩ? හා.....දැන් ඇති, අන්ශු,........ නීතා,......... යනව යන්ඩ දෙන්නත් එක්ක පැත්තකට......." අත්තම්මා අර අංගනාවියො දෙන්න එලවල දැම්මා,

ඉස්කෝලෙ යන කාලෙ බලපු රත්මලානේ මහා පහන් කූඩු රාජයා, අර අරුමෝසම් සරුව පිත්තල කෑලි හැමතැනම එල්ලල, දිලිසි දිලිසි වටේට කරකැවෙන වෙසක් කූඩුවක්ම තමයි ඔන්න මට කුමාරිහාමි දැක්කම මතක් උනේ...

ඔන්න කුමාරිහාමි ඇවිත් බුලත් හෙප්පුව මගෙ අතට දීල ඉස්සරහ ඉඳගත්තා...

මම හෙමිහිට බැලුවා මූණ දිහා. අහිංසක පෙනුමක් තියෙන්නෙ. ඒත් තියෙන ලස්සන නැතිකරගෙන මේ හින්දි නිළියක් වෙන්ඩ ගිය එකෙන්.

මම කල්පනා කලා කවුද මේ වගේ නිළියක් ඉන්නෙ කියල. ම්ම්ම්හු, කල්පනාවට එන්නෙම නැහැනෙ.

මම දැක්ක එයත් හොරෙන් මා දිහාවෙ බලනවා.

"හා, හා, දෙන්න කතා කර ගන්නකෝ" කුමාරිහාමිගෙ අප්පච්චි කිව්වා.

මිදුලෙ අරලිය ගහ යට බංකුවට අපි දෙන්නා ඔන්න ගියා.

වෙලාවට අර වයසක අලියා කොහාටද අරන් ගිහින්. සමහරවිට මලාවත්ද මන්දා මේ ටිකට. ඒකත් කියන්ඩ බැහැ. එච්චරම වයසක අලියෙක් ඒකා.

අපි දෙන්නා මිනිත්තු දෙක තුනක් හිටියා කතා බහක් නැතුව.

මට හිතුනා කුමරිහාමිට පොඩි විහිලුවක් කරන්න, තරහ යාවිද බලන්න.

"මේ, මම පොඩි ප්‍රශ්නයක් අහන්න,තරහ වෙන්නෙ නැහැ නේද?"

"තරහ වෙන්න අපි යාලු වෙලා හිටියෙ නැහැනෙ, කමක් නැහැ අහන්න"

"ඒකත් හරි තමයි, මම මේ අහන්න හිටියෙ ඔයා හින්දි නිළියක් වගේය කියලයි මට ආරංචි උනේ? ඒ කොයි නිළියද හැබෑට?"

"ඔයා හින්දි ෆිල්ම්ස් බලනවද?" කුමාරිහාමි මගෙ දිහා ටික වෙලාවක් බලන් ඉඳල ඇහුවා.

"අපොයි ඔව් මම හින්දි ෆිල්ම්ස් එකක් වත් අත අරින්නෙ නැහැ"

"ඉතිං......මම වාගෙ නිළියක් මතක නැද්ද?"

"ඒක තමා මම මේ කල්පනා කලේ" මම නලලත් රැලි කරගෙන, ඔලුවත් ටිකක් ඇල කරල, කුමාරිහාමිගෙ මූණ දිහා හොඳට බලන අතර කිව්වා. "හැබැයි අවුරුදු විස්සකට වගෙ කලින් කට්ටිය නම් මම දන්නෙ නැහැ"

"මොකක් කිව්ව? ඔයාට පිස්සුද? නැත්නම් හැටිද?" කුමාරිහාමිගෙ මූණත් රතුවේගන ආවා. දැන්නම් හොඳ ගානට තරහ ගිහිල්ලා වාගෙයි.

"හරි, හරි, ඕකට ඔච්චර කේන්ති ගන්න ඕන නැහැනෙ. ඒ නිළියගෙ නම කිව්වනම් ඉවරයිනෙ"

එයා ටික වෙලාවක් මා දිහා කන්ඩ වාගෙ බලන් ඉඳල "Katrina Kaif " කියලා දත්මිටි කාගෙන කිව්වා

දැන්නම් හරි... හොඳ ගානට තද වෙලා ඉන්නෙ...

මම බංකුවෙ ටිකක් පස්සට වෙලා කුමාරිහාමිගෙ මූණ දිහාවෙ ඇසිපිය නොහෙලා බලන් හිටියා.

"ඒ පාර මොකද? මූණෙ පෙරහැරක් යනවද?"

"නැහැ, මම මේ බැලුවෙ ඔයා Katrina වගේද කියලා, හ්ම්ම්ම්ම්....... ටික වෙලාවක් හෝදිසියෙන් බැලුවම සමාන කමකුත් තියෙනව නම් තමා"

" හ්ම්ම්ම්......ඔව්....ඔව්.....මූණ මැද නහයක් තියෙනව. නහය දෙපැත්තෙ ඇස් දෙකක් තියෙනව. ඊටත් එහා කන් දෙකක් තියෙනව.  ඔව් එහෙම බැලුවම සමාන කමක් තියනව කියල කිව්වැහැකි තමය "

"Are you really so dense or just pretending?" හෙහ්, හෙහ්, දැන්නම් තද වෙලා අන්තිමටම.

"No, madam I was born this way & am trying my best to live up to it always" මම හෙමිහිට කිව්වා.

"කියන්ඩ ඕන නැහැ අමුතුවෙන්. ඒක නම් පෙනෙනව පැහැදිලිව"  කුමාරිහාමි අහක බලාගෙන කිව්වා,

ආයෙම පාරක් නිශ්ශබ්දතාවයෙන් මිනිත්තු කීපයක් ගෙවිලා ගියා.

එක පාරටම කුමාරිහාමි මා පැත්තට හැරුනා.

"ඔයාගේ පඩිය කීයද?" කුමාරිහාමි ඒ අහපු විදිහට මට හිනා. මම මොකවත්ම කිව්වෙ නැහැ.

"මාසෙකට කොන්ඩේ හදන්න, මූන හදන්න මට ඩොලර් පන්සීයක් විතර යනවා. වැලැන්ටයින් දවසට, උපන් දිනේට, හැම ඇනිවසරි එකකටම මල් ඕනි, තෑගි ඕනි, හැම නිවාඩුවටම රට රටවල ඇවිදින්න යන්න ඕනි...ඇඳුම්, මේක් අප්, සපත්තුවලටත් සෑහෙන ගානක් මාසෙකට යනවා"

මම කිසිම උත්තරයක් නොදී එයාගෙ මූණ දිහාම බලාගෙන හිටියා.

මෙයත් මට පේන්නෙ මේ මංගල්ලෙට කැමති නැති හැඩයි. මට අනුකම්පාවක් ඇති වේගන ආවා. මම මුල් වරට මේ ඉන්නෙත්, මම වගේම තමන් අකමැති දෙයක් දෙමව්පියන්ගෙ බල කිරීමට වෙන කරන්ඩ දෙයක් නැති කමට කරන කෙනෙක්ය යන හැඟීමෙන් එයා දිහා බැලුවා.

මේ මේක් අප් තට්ටුව යටින්, ඒ එක්කම කරන රඟපෑමට යටින් ඉන්න අහිංසක යුවතිය මම දැක්කෙ එතකොටයි.

මම සරෝ එක්ක ආදරෙන් බැඳිල නොහිටියානම් කුමාරිහාමිට ආදරය කරන්න ඉඩ තිබුනද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න මම මහන්සි උනේ නැහැ, උත්තර හොයල තේරුමක් නැති ප්‍රශ්න වලට උත්තර හොයන එක මම කොහොමවත් කැමති දෙයක් නෙවෙයි.

"ඒ වැඩේ හරි යන්නෙ නැහැ පුතා, මට ඇහුන ඒ ළමය පුතාගෙන් අහපුවා. මම කියල යවන්නම් අපි කැමති නැහැ කියල" ආපහු ගෙදර යන ගමන්අ ප්පච්චි කිව්වා.

මම මොනවත් කිව්වෙ නැහැ, මොනව කියන්නද? මම නොහිතපු විදිහට මම බලාපොරොත්තු උනු දේ ඉෂ්ඨ උනාට මොනවදෝ කියා ගන්න බැරි දුකක්, අනුකම්පාවක් වගෙ හැඟීමක් මගෙ හිතේ කොනක පැලපදියම් වෙලා කියල මට තේරුනා.

Everyone of us lives behind a facade of our own making; to love someone truly you have to see beyond that facade.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...