 |
ඇහැලේපොල කුමාරිහාමි... |
වස කම්මැලියි බොලව් මොකවත්ම ලියන්ට..... මුලු සරීරෙම නිකං වණේක දාල කෙටුවැහෙ....කාලගුණික වගේම දේශපාලනික හේතුත් මේ හෝන්දුමාන්දු ගතියට හේතුවෙලා තියනව කියල මට හිතෙනව.
කාලගුණික තත්වෙ කිව්වෙ මේ දවස්වල මෙහෙට ශීත සෘතුව පටන් ගන්න කාලෙ. ගිම්හානෙන් ශිශිරයට මාරුවෙනකොට අනිවාර්යයෙන් පොඩි වැස්සක් දෙකක් යනව. මේ පාර නම් පොඩි වැස්සක් දෙකක් නෙවෙයි සලකල වැස්ස. පාරවල් හිට යටවෙලා වාහන මහපාර මැද නතර වෙලා මහ එක ගිනි විජ්ජුම්බරයයි.
කොටිම්ම ඉස්කෝල එහෙම මයෙ හිතේ දවස් තුනක්ද හතරක්ද කොහෙද වැහුවත් එක්ක. දෙයියම්ප මට කල්පනා වුනේ මේ දවසක් දෙකක් වැහැල මෙහෙම කෙලියක් උනානම් අපේ සිරි ලංකාවට වහින දාරානිපාත වැහි එහෙම මෙහෙ වැස්සනං රටෙං තුං කාලක්ම යට වෙලයි නතර වෙන්නෙ නේද කියල...
ඒ කාලගුණික හේතුව....දේශපාලනික හේතුව අර පොළවෙන් මතුවෙච්චි ගොබ්බය පහුගිය සතියෙ නටපු නාඩගම..කියල වැඩක් නෑ අප්ප..මිනිහෙකුට කිසිම විළි ලැජ්ජාවක් නැතුව මෙහෙමත් අසමජ්ජාති වැඩක් කරන්ට පුලුවන්ද කියල හිතෙන කොටත් පුදුම හිතෙනව...
ඒත් එහෙමෙයි කියල සතියකට සැරයක් වත් මොකවත් ලියල දාන සිරිත කඩකරන්ටත් මහ මොකක්ද වගේ.....
මගෙ වෙලාවට තමයි පහුගිය සුමානෙ අලුත් ගෙදරට එන්ට බඩු අස්කරනකොට පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ මම ලියපු මාගල් කමෙන්ට් වගයක් පරණ ෆයිල් එහෙක තිබිල හම්බවුනේ...ඒකත් ජයසිරි මංගලම් කියල මම ඉතිං කල්පනා කොලා මේ හෝන්දු මාන්දු ගතිය අකාමකා යනකල් ඒ කමෙන්ට් දෙකතුනක්වත් දාන්නම්ය කියල හුදී ජන පහන් සංවේගය උදෙසා කියල....
මේ කතාව කියන්නෙ කවිකාර...පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ හිටිය ඒ ඇත්තිගෙ කටයුතු කාරණා බලා හදාගන්ට කාර්ය මණ්ඩලයක්ම..කවිකාරගෙ රාජකාරිය කවි කියන එක..තව හිටිය පුස්තකාලෙ බාරව සිත්තමී කියල අංගනාවියක්..බූරා කියල හිටිය වලව්වෙ ආරක්සක අංසෙ ලොක්ක. ටී.ජී. තමයි නීති අංසෙ බාරව හිටියෙ. ඔය මට මතක තියන අය තමයි මම කිව්වෙ..හැමෝගෙම නම් ගම් මතක නම් නෑ....ඇයි අප්පේ කොච්චරක් කාලෙකට ඉහතද?
හරි අපි දැන් අහමු කවිකාර කියන කතාව...මේ පොඩි කුමාරිහාමි බලන්ට මනමාලයෙක් ඇවිල්ල වෙච්චි පලහිලව්වක්...
මේ කතාන්දරේ මගෙ නමින් දැම්මට මේක මම ලියාපු එකක් එහෙම නෙවෙයි ඔන්න. ඒක මුලිම්ම කියා හිටින්ඩ එපාය.
ඔය ආපු මනමාල ඇත්තො අර මම තොරණ යට පිළිගැනීමේ වාක්කිය කියාපු වෙලාවෙ මා දිහා වපරැහිං බැලුවට පස්සෙම් පහු මා එක්ක බොහෝම හිතෙසිවන්ත උනා නෙව. ඔය සාලෙ ඉඳං ඉන්දැද්දි මට හිමීට ලඟට කතා කොරල අපෙ අරුංදතිය පෙන්නල ඇහැව්වත් එක්ක ඒ කවුදැයි කියාල.
මම ඉතින් විස්තරේ කියැව්වහම එයැයි අඳුනන ඒ වගේම ගෑණු ළමෙක් ඉන්නවාය කියාපි ඔය ඉන්නවය කියාපු දේසෙ, ඉංගලංතෙද කොහේද...
ඒ ඇත්තා යන්න කලියෙන් කිව්ව, මම මේ විස්තරේ කතාන්තරයක් වගෙ ලියල උඹට එවඤ්ඤං, උඹ වලව්වෙදි කියාහංය කියාල.
මම කිව්ව අපෙ අප්පෝ මට බැරුවා, මේ කතාන්තරේ මොකක් තියෙනවද මම දන්නෙ නැත, ඔව්ව කියල කුමාරිහාමිල උදහස් උනොත් දඬුකඳේ ගහනව නෙවෙයි මාව දංගෙඩියට යවාලයි පස්ස බලන්නෙ කියාල...
ඒ විඩේ කියැව්වා උඹ බය වෙන්න එපා, මම උඹට පුරස්නයක් නොවෙන්න කතාවෙ මුලිම්ම දාන්න ඉන්ගිරිසි වාක්කියකුත් කියල එවන්නම්ය කියල.
ඔන්න ඉතිං මේ පහලිං තියෙන්නෙ උන්නැහේ ලියා එවාපු කතාව තමා, අර වාක්කියත් එක්ක. ඔන්න මොකොවත් වැරැද්දක් එහෙම කියවිලා ඇත්නම් මට වරද පටෝනවා එහෙම නෙවෙයි... ඕං කලියෙම්ම කියැව්වා.
ඔන්න එහෙනම් මනමාල මහතැන්ගෙ කතාව,
Disclaimer - All characters appearing in this work & incidents reported herein are absolutely genuine. Any resemblance to fictitious persons, living or dead, is purely coincidental.
ශීත සෘතුව අන්තිම කාලෙ උනාට තවම සෑහෙන්න සීතලයි. තේම්ස් නදිය සිපගෙන එන සුලඟ කොහොමත් ග්‍රීෂ්මෙදි උනත් ඇඟ කිලිපොලනව. හවස සරෝ හම්බවෙලා හයිඩ් පාක් එකේ කතා කර කර ඉඳල අපාර්ට්මන්ට් එකට එනකොට රෑ දහයත් පහු උනා.
ආහ්...... ටෙලිෆෝන් එක නේද වදින්නෙ?...... කවුද මේ වෙලාවෙ?.........අද මට හවස යද්දි මොබයිල් එක ගෙනියන්ඩත් අමතක උනානෙ..
"හෙලෝ "
"පුතා?"
"මොකද අප්පච්චි මේ මහ රෑ? දැන් ලංකාවෙ වෙලාව කීයද?"
මම හිතෙන් වෙලාව ගනං හැදුවා. ලංකාවෙ දැං පාන්දර තුන හමාරයි...... මොකද මේ හදිස්සියෙ?.......මට බයත් හිතුනා.
"අප්පච්චි...ඇයි කරදරයක් වත්ද?"
"නෑ... නෑ.. මම හවස ඉඳලම පුතාට කතාකරන්න බැලුවනෙ"
"මම මේ දැන් ආවෙ.. මොබයිල් එක ගෙනියන්නත් අමතක උනානෙ"
"පුතා, ලබන සුමානෙ සෙනසුරාද අපි පොඩි ගමනක් යොදාගෙන තියෙනව. පුතාත් අනිවාර්යයෙන් එන්න ඕනෙ. නිවාඩු නැහැ එහෙම කියන්න නම් එපා ඔන්න"
මේ දවස්වල වැඩ අඩු නිසා නිවාඩු ගන්න එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.
"මොකටද අප්පච්චි මේ හදිස්සියෙ?"
"අපි පුතාට හොඳ ගෑණු ළමයෙක් බැලුවා. බොහොම වැදගත් වලව්වකින්"
"කොහෙන්? අලව්වෙන්? ඒ මොකෝ එච්චර දුර බැහැර?" මම හිනාවෙවී ඇහුවා.
"අලව්වෙන් නෙවෙයි ළමයො...වලව්වකින්...බොහොම හැඩරුව ඇති ගෑණු ළමයා"
"අප්පච්චි දැක්කද? හෙහ්, හෙහ්"
"නෑ, ඒ ළමයගෙ අත්තම්මා එක්ක තමයි කථා කලේ. ඒ දරුව ඔන්න ඔය ඔස්ට්‍රේලියාවෙද කොහේද කිව්ව ඉන්නෙ. අර කවුදෝ හින්දි නිළියක් ඉන්නෙ හරියට ආං ඒ වගේමයි කිව්ව.. මට නම මතක නැහැ"
"කවුද, ප්‍රතිභා පටිල් ද? මම හිනාවෙවී ඇහුවා" ඒ ඉන්දියාවෙ ජනාධිපතිනිය. වයස හැත්තෑ ගනනක්...
"ආ වෙන්ඩ ඇති... මට ඔය නම් මතක නැහැ ළමයො.. අනික පුතා...අලියෙකුත් දෙනවලු දෑවැද්දට"
"මොකෙක්ය කිව්වා? අලියෙක්? මට මොකටද අලියෙක් ?මට එහෙනම් වෙන්නෙ රස්සාවෙන් අස් වෙලා අලියට කිතුල් කපන්ඩ රට වටේ යන්ඩ තමයි"
"පුතා ඔන්න විහිලු කරනවා. අලියෙක් ඉන්න එක මොන තරම් නම්බුවක්ද කියල පුතාට තේරෙන්නෙ නැති හැටි"
"හරි..හරි...ඒ අලි නම්බුව පැත්තක තිබ්බාවෙකො. මම එන්නංකො"
අපෙ අප්පච්චිලාටත් වලව්වක් කිව්වොත් ඉතිං වෙන මොකවත් ඕන නැහැ. මට දුකත් හිතෙනව වෙලාවකට. දැන් ඉතින් නොගිහින් කොහොමද? යන්ඩම එපාය, ගිහිල්ල කොහොමහරි අප්පච්චිලගෙ හිත නොතැලෙන්ඩ බැහැය කියනව. අනික මේ චාන්ස් එකත් හොඳයි එක අතකට සරෝ ගැන අම්මටයි අප්පච්චිටයි කියන්න.
හෙට සරෝ හම්බ වෙලා මේ විස්තරේ කියන්න ඕනෙ. පව්, කෙල්ලට දුක හිතෙයිද දන්නෙ නැහැ.
පහුවෙනිද සරෝ හම්බ වෙලා විස්තරේ කිව්ව,
"O.K, I understand. you have to go. I think she must be very beautiful with this talk about Hindi actresses & all........may be you would fall in love with her"
සරෝජිනී යාපනේ. එයා මට මුණගැහුනෙ අපේ ඔෆිස් එකට වැඩකට ආපු වෙලාවෙ. සිංහල හරියට බැහැ,
"Yeah, who knows what's in store?" මම බැරෑරුම් මූනක් මවාගෙන කිව්ව.
"OK, enough of that. This time I am going to tell my parents about you"
"Yes, anyway you have to some day...... so I also think sooner the better" සරෝජිනී කිව්වා.
ඔන්න මම ආව ලංකාවට. ඒ කරල අපෙ අම්මයි අප්පච්චියි එක්කලා ගියා ඔය කියන කුමාරිහාමි බලන්ඩ...
නුවරෙයි කිව්වට මම හිතන්නෙ මධ්‍යම පළාතෙත් අන්තිම මායිමේද කොහෙද? කොටිම්ම නුවර ඉඳනුත් ගියා හරියටම පැය දෙකහමාරකට වැඩිය...
මේ ගැන නම් මට සහතික වෙන්න බැහැ, මම හරියටම දැක්කෙ නැති නිසා. ඒත් අපෙ වාහනේ ඉස්සරහින් ඔන්න එක පාරට අලි මුවෙක්ද ගෝනෙක්ද පැන්න පාර හරහට. කොළ අතු නිසා හරිහැටි දුටුවෙ නැහැ. හැබැයි ඒ පස්සෙන් තුවක්කුවක් මානගෙන සරං කොටයක් ගහ ගත්තු වැද්දෙක් වාගෙ මිනිහෙකුත් පාර හරහ පැන්න මම හිතන විදිහට...
පාර ගැන නම් කියල වැඩක් නැහැ. වලවල් බේරල යන්ඩ හදල බැරිම තැන ඔහෙ ඕන එකක් කියල ඒ වැඩේ අත ඇරල ලොකුම වලවල් ටික බේරල තමයි ගියේ...
"මේ පාර ඔය සිංහල රජ කාලෙ ඒ වලව්වට යන්ඩම හදාපු පාරක් කියනවනෙ"
අප්පච්චි බොහොම ආඩම්බරෙන් ඉස්සරහ සීට් එකේ ඉඳගෙන වට පිට නරඹමින් යන ගමන් කිව්වා.
"ඇත්තම වෙන්ඩ ඇති. ඒ කාලෙ හැදුවට පස්සෙම අඩුම තරමෙ පස් කූඩයක් වත් දාපු බවක් නම් පෙනෙන්නෙ නැහැ" අලියෙක් නාවන්ඩ පුලුවන් වලක් බේරන ගමන් මම කිව්වා...
ඔන්න ඉතින් ගිහිල්ල ගිහිල්ල අන්තිමට වලව්වෙ ගේට්ටුව ගාවටත් ආවය කියමුකො.
ඔන්න ගේට්ටුව උඩ මහ තොරණකුත් අටවලා....
" මහා බිරිතානියේ සිට සැපත් වන අති ගහුරවාර්හ මනාල මහතා සාදරයෙන් පිළිගනිමු"
මේ මොකක්ද මේ? ලැජ්ජාවෙ බෑ...
මේ වැඩේට නම් අපෙ අප්පච්චිත් සම්බන්ධයි අනිවාර්යයෙන්ම. මග එද්දිත් තොරණ් කතාවක් කිව්ව මට මතකයි වගේ...
"මොකක්ද අප්පච්චි මේ කරල තියෙන්නෙ?" පස්සට වෙලා තොරණෙ හැඩරුව නරඹන අප්පච්චිගෙන් මම ඇහුවෙ තරහින්.
"ඒකනෙ, පුතා බලන්නකො මම මේ අයට කිව්ව තොරණ මුදුනෙ පුතාගෙ පොටෝ එහෙකුත් එල්ලන්ඩය කියල. කරල නැහැනෙ" අප්පච්චි සමාව ඉල්ලන ස්වරේකින් කිව්වා,
මම එතනින් පස්සෙ වචනයක් වත් කතා කලේ නැහැ. මොනවයි කියල කියන්නද එක අතකට.
ඔන්න ගේට්ටුව ඇරුනා. මට මතක් උනේ අර ඩ්‍රැකියුලා ෆිල්ම් වල හොල්මන් මන්දිරේ දොර ඇරෙන්නෙ "ක්‍රා......ආ......ආ....ස්ස්ස්ස්" කියල. අන්න ඒ සීන් එක. ගේට්ටුවට තෙල් ටිකක් දාල නැතුව ඇති මතක ඇති කාලෙමින්...
හපොයි, මේ කවුද අප්පේ මේ?
අර ගාන්ධි ඇඳපු අමුඩෙ වගේ මොකක්ද එකකුත් (මට නම මතක් උනේම නැහැ ඒ වෙලාවෙ) ඇඳල. නිල් පාට සාටකේකුත් පොරවගෙන...මොකක්ද මේ මනුස්සය කරන්න යන්නෙ හැබෑටම?
මෙන්න පරණ සන්නසක්ද මොකක්ද එකකුත් ඇදල ගත්ත ඉනේ තිබිල...
"නෛක ශ්‍රීන් විරාජමානවූද, හිරු නොබසින අධිරාජ්‍යයේ රාජ මහේෂිකාවුන්වූද, ඉන්දියාවේ අධිරාජිනිය වූද ගෞරවනීය වික්ටෝරියා මහා රැජිනියන්.............. "
මොකක්? වික්ටෝරියා රැජින මැරිලත් දැන් අවුරුදු සීයකට වඩා ගිහින්... මේ මිනිස්සු තාම ඉන්නෙ ඒ කාලෙද කොහෙද...
මම අප්පච්චි දිහා බැලුවා. අප්පා... උන්දැ ඇසුත් පියාගෙන මේ හෑල්ල අහගෙන ඉන්නවා. මූණෙං එකයි හිනාව...
"....................රාජ්‍ය විචාරණ ලන්ඩන් පුරවරයේ සිට මෙහි සැපත්වූ පින්වත් කුමරුවා ඇතුලු ඒ ඤාතී වර්ගයා ඉතාම ගෞරවයෙන් පිලිගන්නා වග වලව්වේ කවි කාර තැන වන මා විසින් මෙසේ ප්‍රකාශ කොට සිටුම්හ..... "
"ඔන්න දැක්කද, නියම අපේ කුල සිරිත් වල විදිහට කවි කාරයෙකුත් ඉන්නම ඕනෙ" අප්පච්චිගෙ සතුට උතුරලා යනවා.
හරි ඒ පිළිගැනීම ඉවරයි කියමුකො. ඔන්න අපි ගියා වලව්ව දිහාට... හපොයි හත් අවුරුද්දකින් තීන්ත පොදක් වත් උලල නැහැ වගේ පෙනෙන්නෙ. යන්තම් ඊයෙද, පෙරේදද කොහෙද පොල් ලෙල්ලෙකින් දිය සෙවෙල් හූරපු බවක් නම් පේනව බිත්ති වල.
"දැක්කද පුතා මේ අය අපේ ඒ පෞරාණික ලක්ෂණ ඒ විදිහටම ආරක්ෂා කරගෙන යන අපූරුව?"
අප්පච්චිට පුදුම උවමනාවක් තියෙන්නෙ මේ වැඩේ ස්ථිර වෙනව දකින්ඩ. පව්, මම සරෝ ගැන කිව්වම මොකක් වෙයිද මට නම් තේරෙන්නෙ නැහැ...
මගේ හිතුවිල්ල බිඳිල ගියේ නහය කඩාගෙන ගිය ගඳකින්, ඒ කොහෙන්ද? හප්පා, අර අඹ ගහේ බැඳල ඉන්න අලිය ගෙන් නේද මේ ගඳ එන්නෙ? හපොයි පව් අහිංසක සතා. නාවන්නෙත් නැත්ද මන්දා. අනික හරිම වයසක අලියෙක්. ඇටයි හමයි විතරයි. අලි ඇටසැකිල්ලකට හමක් පෙරෙව්ව වගෙ ඔන්න කොටින්ම...හිටියෙත් අඹ ගහට හේත්තු වෙලා..මට හිතුනෙ අද උදේ නැගිට්ටවල අඹ ගහට හේත්තු කරලද කොහෙද?
"ඔය අර මම කියපු අලියා, සද්දන්ත කුලේ අලි අලි ඔහොම තමයි. ටිකක් ගඳයි. ඒකට ටික දවසකින් පුරුදු වෙයි" අප්පච්චිත් නහය එක අතකින් මිරිකගෙන කිව්වා...
ආය කාටද ඉතිං අලි ගඳට පුරුදු වෙන්ට ඕන? අනේ මටනම් එහෙම කිසිම ඕන කමක් නෑ...
ඔන්න අන්තිමට වලව්වටත් ඇතුලු උනාය කියමුකො. බොහොම තේජවන්ත කාන්තාවක් ආව අපිව පිළිගන්ට.
"ඔය මනමාලිගෙ අත්තම්මා" අප්පච්චි මගෙ කණට කෙඳිරුවා.
"එන්ට... එන්ට.. ඉඳ ගන්ට"
අපිත් ඔන්න ඉඳගත්තා. මේ වලව්වෙ මහ සේනාවක් ඉන්නව වගේ පෙනෙන්නෙ. වයිවාරණ ගෑණු ද, පිරිමිද, කෙල්ලොද, කොල්ලොද, සැරින් සැරේ ඇවිත් එබිකම් කර කර යනවා.
ඒ අතර සරෝගෙ හැඩ රුවම තියෙන ගෑණු ළමයෙකුත් එහෙ මෙහෙ යනව මම දෙතුන් පාරක්ම දැක්කා.
"ඔය මේ අපේ මිණිබිරීගෙ කාරිය මංඩලේ. අර එයාගෙ කවි කාරයා" අත්තම්මා අර ගේට්ටුව ගාව චූර්ණිකාවක් කියාපු සාටක ලොක්කා පෙන්නල කිව්වා.
"මේ වලව්වෙ ලේකම් සහ භාර කාර තැන. නම බිරී" ඊ ගාවට මැස්සො බීව ගොයම් කරලක් වාගෙ හාදයෙක් පෙන්නුවා.
හපොයි මේ කටයුත්ත කෙරුනොත් මනමාලි එක්ක කාර්ය මණ්ඩලෙත් කැන්දන් යන්න වෙයිද මන්දා...මම හිතාපු දේ මගෙ මූණෙන් පෙනුනද මන්දා අත්තම්මා මගෙ විචිකිච්ඡාවට උත්තර දුන්නා.
"නෑ, නෑ, බය වෙන්ඩ දෙයක් නැහැ. මේ හුරතලේට හැදිච්ච ලමයනෙ කියල මම අහක බලාගෙන හිටියට හෙට අනිද්දම මම මෙයාගෙ මේ බහුරු විගඩම් ඔක්කෝම නවත්තනවා. ඔය ලමය බය වෙන්න ඕන නැහැ"
ඔන්න ඉතින් තේ කාරිය බීල ඉවර වෙලා, ආ............ඒකත් කියන්න එපාය, තේ වලට තිබ්බ හැලප වගයක් හදල, කවුරු හැදුවද මන්දා නිකම් පිටි ගුලි විතරයි. පැණි රහක් කියන නාමයක් නැහැ. අප්පච්චි හැලප ගුලියක් උගුරෙ හිර වෙලා, හුස්ම ගන්ඩත් බැරුව, ඇසුත් උඩ තියාගෙන දඟලන කොට, මම පිටට ගහල වතුර උගුරකුත් පොවල තමයි ගොඩ දා ගත්තෙ. මේ වගෙ කැවිලි හදන්ඩ දන්නෙ නැත්නම්, බැරි කෙහෙල්මල් නොකර ඔය කඩේකින්, මොනව හරි ගෙනාව නම් ඉවරයිනෙ.
ඔන්න ඉතින් අතුරු ආන්තරාවක්, කරදරයක් නොවී කවුරුවත් අභාවප්‍රාප්ත නොවී දේව කරුණාවෙන් තේ මේසෙ වැඩේ ඉවර උනාය කියමුකො.
ඔන්න දැන් තමයි වැදගත්ම අවස්ථාව. මනමාලි එලියට වඩම්මන වෙලාව.
ඔන්න කුමාරිහාමි හෙමිහිට ආව කාමරෙන්. හෙමිහිට ආවය කියන්නෙ යන්තම් පය මාරුකර කර බොහොම අමාරුවෙන් තමයි ඒ ඇත්ති ආවෙ. බැලූ බැල්මට කිව්වැහැකි ජීවිතේටම ඔසරියක් පටලවල තියෙන්නෙ අදය කියල. මම හෙමිහිට බැලුව මූණ දිහාවෙ. හප්පා සොකරි නටන්ඩ මූණු පාට කරනව දැකල ඇති නේද? අන්න ඊටත් ටිකක් එහා. රටේ නැති මේක් අප් ඔක්කොම කොරල.
දෙපැත්තෙන් තව ගෑණු ලමයි දෙන්නෙක් එනව මේක් අප් එක හද හද. පුලුන් කෑලි අරන් පිහදානව. බුරුසු වලින් නානාප්පරකාර කුඩු ජාති ක්‍රිම් ජාති උලනව. සායම් ගානව. ඇහි බැම හදනව. එක විකාරයයි.
අත්තම්මට තරහ ගියා මේ වැඩේට... "උදේ ඉඳන් ඕක කරනව. තාමත් බැරි උනාද ඉවරයක් කරන්ඩ? හා.....දැන් ඇති, අන්ශු,........ නීතා,......... යනව යන්ඩ දෙන්නත් එක්ක පැත්තකට......." අත්තම්මා අර අංගනාවියො දෙන්න එලවල දැම්මා,
ඉස්කෝලෙ යන කාලෙ බලපු රත්මලානේ මහා පහන් කූඩු රාජයා, අර අරුමෝසම් සරුව පිත්තල කෑලි හැමතැනම එල්ලල, දිලිසි දිලිසි වටේට කරකැවෙන වෙසක් කූඩුවක්ම තමයි ඔන්න මට කුමාරිහාමි දැක්කම මතක් උනේ...
ඔන්න කුමාරිහාමි ඇවිත් බුලත් හෙප්පුව මගෙ අතට දීල ඉස්සරහ ඉඳගත්තා...
මම හෙමිහිට බැලුවා මූණ දිහා. අහිංසක පෙනුමක් තියෙන්නෙ. ඒත් තියෙන ලස්සන නැතිකරගෙන මේ හින්දි නිළියක් වෙන්ඩ ගිය එකෙන්.
මම කල්පනා කලා කවුද මේ වගේ නිළියක් ඉන්නෙ කියල. ම්ම්ම්හු, කල්පනාවට එන්නෙම නැහැනෙ.
මම දැක්ක එයත් හොරෙන් මා දිහාවෙ බලනවා.
"හා, හා, දෙන්න කතා කර ගන්නකෝ" කුමාරිහාමිගෙ අප්පච්චි කිව්වා.
මිදුලෙ අරලිය ගහ යට බංකුවට අපි දෙන්නා ඔන්න ගියා.
වෙලාවට අර වයසක අලියා කොහාටද අරන් ගිහින්. සමහරවිට මලාවත්ද මන්දා මේ ටිකට. ඒකත් කියන්ඩ බැහැ. එච්චරම වයසක අලියෙක් ඒකා.
අපි දෙන්නා මිනිත්තු දෙක තුනක් හිටියා කතා බහක් නැතුව.
මට හිතුනා කුමරිහාමිට පොඩි විහිලුවක් කරන්න, තරහ යාවිද බලන්න.
"මේ, මම පොඩි ප්‍රශ්නයක් අහන්න,තරහ වෙන්නෙ නැහැ නේද?"
"තරහ වෙන්න අපි යාලු වෙලා හිටියෙ නැහැනෙ, කමක් නැහැ අහන්න"
"ඒකත් හරි තමයි, මම මේ අහන්න හිටියෙ ඔයා හින්දි නිළියක් වගේය කියලයි මට ආරංචි උනේ? ඒ කොයි නිළියද හැබෑට?"
"ඔයා හින්දි ෆිල්ම්ස් බලනවද?" කුමාරිහාමි මගෙ දිහා ටික වෙලාවක් බලන් ඉඳල ඇහුවා.
"අපොයි ඔව් මම හින්දි ෆිල්ම්ස් එකක් වත් අත අරින්නෙ නැහැ"
"ඉතිං......මම වාගෙ නිළියක් මතක නැද්ද?"
"ඒක තමා මම මේ කල්පනා කලේ" මම නලලත් රැලි කරගෙන, ඔලුවත් ටිකක් ඇල කරල, කුමාරිහාමිගෙ මූණ දිහා හොඳට බලන අතර කිව්වා. "හැබැයි අවුරුදු විස්සකට වගෙ කලින් කට්ටිය නම් මම දන්නෙ නැහැ"
"මොකක් කිව්ව? ඔයාට පිස්සුද? නැත්නම් හැටිද?" කුමාරිහාමිගෙ මූණත් රතුවේගන ආවා. දැන්නම් හොඳ ගානට තරහ ගිහිල්ලා වාගෙයි.
"හරි, හරි, ඕකට ඔච්චර කේන්ති ගන්න ඕන නැහැනෙ. ඒ නිළියගෙ නම කිව්වනම් ඉවරයිනෙ"
එයා ටික වෙලාවක් මා දිහා කන්ඩ වාගෙ බලන් ඉඳල "Katrina Kaif " කියලා දත්මිටි කාගෙන කිව්වා
දැන්නම් හරි... හොඳ ගානට තද වෙලා ඉන්නෙ...
මම බංකුවෙ ටිකක් පස්සට වෙලා කුමාරිහාමිගෙ මූණ දිහාවෙ ඇසිපිය නොහෙලා බලන් හිටියා.
"ඒ පාර මොකද? මූණෙ පෙරහැරක් යනවද?"
"නැහැ, මම මේ බැලුවෙ ඔයා Katrina වගේද කියලා, හ්ම්ම්ම්ම්....... ටික වෙලාවක් හෝදිසියෙන් බැලුවම සමාන කමකුත් තියෙනව නම් තමා"
" හ්ම්ම්ම්......ඔව්....ඔව්.....මූණ මැද නහයක් තියෙනව. නහය දෙපැත්තෙ ඇස් දෙකක් තියෙනව. ඊටත් එහා කන් දෙකක් තියෙනව. ඔව් එහෙම බැලුවම සමාන කමක් තියනව කියල කිව්වැහැකි තමය "
"Are you really so dense or just pretending?" හෙහ්, හෙහ්, දැන්නම් තද වෙලා අන්තිමටම.
"No, madam I was born this way & am trying my best to live up to it always" මම හෙමිහිට කිව්වා.
"කියන්ඩ ඕන නැහැ අමුතුවෙන්. ඒක නම් පෙනෙනව පැහැදිලිව" කුමාරිහාමි අහක බලාගෙන කිව්වා,
ආයෙම පාරක් නිශ්ශබ්දතාවයෙන් මිනිත්තු කීපයක් ගෙවිලා ගියා.
එක පාරටම කුමාරිහාමි මා පැත්තට හැරුනා.
"ඔයාගේ පඩිය කීයද?" කුමාරිහාමි ඒ අහපු විදිහට මට හිනා. මම මොකවත්ම කිව්වෙ නැහැ.
"මාසෙකට කොන්ඩේ හදන්න, මූන හදන්න මට ඩොලර් පන්සීයක් විතර යනවා. වැලැන්ටයින් දවසට, උපන් දිනේට, හැම ඇනිවසරි එකකටම මල් ඕනි, තෑගි ඕනි, හැම නිවාඩුවටම රට රටවල ඇවිදින්න යන්න ඕනි...ඇඳුම්, මේක් අප්, සපත්තුවලටත් සෑහෙන ගානක් මාසෙකට යනවා"
මම කිසිම උත්තරයක් නොදී එයාගෙ මූණ දිහාම බලාගෙන හිටියා.
මෙයත් මට පේන්නෙ මේ මංගල්ලෙට කැමති නැති හැඩයි. මට අනුකම්පාවක් ඇති වේගන ආවා. මම මුල් වරට මේ ඉන්නෙත්, මම වගේම තමන් අකමැති දෙයක් දෙමව්පියන්ගෙ බල කිරීමට වෙන කරන්ඩ දෙයක් නැති කමට කරන කෙනෙක්ය යන හැඟීමෙන් එයා දිහා බැලුවා.
මේ මේක් අප් තට්ටුව යටින්, ඒ එක්කම කරන රඟපෑමට යටින් ඉන්න අහිංසක යුවතිය මම දැක්කෙ එතකොටයි.
මම සරෝ එක්ක ආදරෙන් බැඳිල නොහිටියානම් කුමාරිහාමිට ආදරය කරන්න ඉඩ තිබුනද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න මම මහන්සි උනේ නැහැ, උත්තර හොයල තේරුමක් නැති ප්‍රශ්න වලට උත්තර හොයන එක මම කොහොමවත් කැමති දෙයක් නෙවෙයි.
"ඒ වැඩේ හරි යන්නෙ නැහැ පුතා, මට ඇහුන ඒ ළමය පුතාගෙන් අහපුවා. මම කියල යවන්නම් අපි කැමති නැහැ කියල" ආපහු ගෙදර යන ගමන්අ ප්පච්චි කිව්වා.
මම මොනවත් කිව්වෙ නැහැ, මොනව කියන්නද? මම නොහිතපු විදිහට මම බලාපොරොත්තු උනු දේ ඉෂ්ඨ උනාට මොනවදෝ කියා ගන්න බැරි දුකක්, අනුකම්පාවක් වගෙ හැඟීමක් මගෙ හිතේ කොනක පැලපදියම් වෙලා කියල මට තේරුනා.
Everyone of us lives behind a facade of our own making; to love someone truly you have to see beyond that facade.