Friday, November 16, 2018

617. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 4 - අංගාරක්ෂක විත්තිය නොහොත් රම්බෝ මලයාගේ කතාව....


ජෝන් රම්බෝ ලෙස සිල්වෙස්ටර් ස්ටැලෝන්...

අම්මප මමත් ඉපදිලා තියෙන්නෙ පුදුම නැකතකින් නෙව. කවියක් දෙකක් කියාගෙන නිදහසේ ඉන්ඩ නැති හැටියක් අම්මාපල්ල. රටේම තියන කුණ්ඩවාඩි පත බෑවෙන්නෙ මයෙ ඉස්මුදුනටමනෙ.

මම දහාතේ කල්පනා කොර කොර පාර දිගේ ආවෙ කවුදෑ මේ වැඩේට පංගාර්තු කොරන්නෙ කියල. ඔන්න එතකොටම පොලිස් ජීප්පෙක දූවිලි අවුස්සාන මා පහුකොරගෙන ගියා…"කසිප්පුවත් අල්ලන්ට යනව ඇති.." මට හිතුනා. ඒ කල්පනාවත් එක්කම සුරුස් ගාල මට මතක් උනා මේ වැඩේට සුදුසුම ගොබිලා….හෙහ්..හෙහ්...

වෙනින් කවුරුවත් නෙවෙයි අපේ රම්බෝ මලයා... ඔව්.....ඔව්......රම්බෝම තමයි මේකට ගැලපෙන්නෙ... මයෙ එක්කුසේ උපං බාප්පයෙ පුතා.. 

රම්බොය රම්බොය කිව්වට ඕකයෙ උප්පැන්නෙ තියන නම රම්බන්ඩා... පොඩි කාලෙ ටවුමට ගිය වෙලාවක රම්බො පිචෑර් එකක් බලල මේකට වැහිච්චි රම්බො පිස්සුව...ඔබ තමුන්නාන්සෙල රම්බො පිචෑර් බලල ඇති නෙව. අර ඉට්ටැලෝං ගොයිය ඉන්නෙ නලලෙ පටියකුත් බැඳං, කඩු පිහි කැති මන්නා කිනිසි එහෙම සම්බාරයක් ඉහිං කනිං එල්ලාන...

ඉතිං අපෙ රම්බන්ඩා මලයට රම්බො පිස්සුව ගහල ඕක කලේ ඉස්කෝලෙ යාමත් අත ඇරල කැලේ පැනල, ඌ රම්බොය කියල හිතාගෙන නොයෙක් විගඩං කොරාපු එක. ගස් ගල් පෙරලනව මඩේ බැහැල හැංගිල ඉඳල එහෙම ගමේ බබලත්තු දර කඩන්ඩ යද්දි එක පාට්ටම මතුවෙලා උංව බය කරනව. ආය නෑ ගෑණු රෙදි පාරවල් දිගේ දාලයි හූ තිය තිය දුවන්නෙ. 

තව ඊට අමතරව පන්සල ගාව හන්දියෙ මාලු ලෑල්ලෙං මාලු හොරකං කොරාන ගිහිං කැලේ මැද මැස්සක් ගහං පුච්චං කනව. නොකරපු ගිනි විජ්ජුම්බරයක් නෑ ඔන්න කොටිම්ම කිව්වොත්...

උගෙ මේ රම්බෝ ඇට් කිරිල්ල නැවතුනේ අපෙ වයලට් නැන්දම්මා ගොම්මං වෙලාවෙ දර කඩන්ඩ ගෙහුං මේකා මඩ නාගෙන ඇලක් පල්ලෙ ඉන්නව දැකල මහසෝනයි කියල බයවෙලා තොයිලෙකුත් නටන්ඩ උනායිං පස්සෙ…

උගෙ මහ එකා ඒ කිව්වෙ මයෙ බාප්පොච්ච මූව ගහක බැඳල ගහල දවස් දෙකක් සාගින්දරේ තිබ්බ. ඒ එක්කම මුගෙ රම්බෝ අවි ආවුද ඔක්කොම අත් අඩංගුවට අරගෙන ඔන්න ඔය කොහෙද පරණ පතලකට විසික්ක කලා. එදායිං කොල්ලගෙ රම්බො වැඩේ නැවතුනාට රම්බො කියන නම රැජිස්ටර් උනා.  අදත් ගමේ හැමෝටම ඌ රම්බෝ...

බත් ඩිංගිත්තක් කාරිය කාල පැයක් හමාරක් පිලේ ඇලවෙලා හීනිවට සැතපිලා එහෙම අහක්ක වෙලා හවස් කොරේ මං ගියා රම්බො මලය හම්බ වෙන්ඩ. මේ වෙලාවෙ ඕක ඇත්තෙ නොවැරදීම අක්කර සීයෙ කැලෑවට එහා දොල අයිනෙ උගෙ වාඩියෙ. 

ඉස්කෝලෙ හයේ පංතියෙදි පිංසිපල්ට ගහල තට්ට ගෙඩිය එහෙමත් පලල දාල කැලේ පැන්නට පස්සෙ ආයෙම මූ ඉකෝලෙ නොගිය නිසා පනං හතරක් හොයා ගන්ඩ දිගටම කලේ ගෘහ කර්මාන්ත තමා. ගෘහ කිව්වට එව්ව ගෙවල් වල කොරන්ඩ ඇහැකි කර්මාන්ත නම් නෙවෙයි කැලේ මැද්දාවෙ තමා කරන්නෙ. හරියටම කිව්වොත් වනාශ්‍රිත ගෘහ කර්මාන්ත..Jungle based cottage industries...

"වරෙං වරෙං මයෙ අයියෙ... වරෙං වරෙං...හපොයි උඹ දැක්ක කල්. කොහෙද ඉතිං උඹ වලව්වට පංගාර්තු උනායින් පස්සෙ මේ පැත්තෙ එන්නෙවත් නෑ නේද?"

රම්බො වාඩිය ඉස්සරහ මැස්සෙ ඉඳගෙන හිටියා වප්පිහි කොටේකිං පිට කහ කහ. ඌ ඇත්තටම මට හිත ඇති එකා...

"මම මේ ආවෙ මලේ වැදගත් වැඩකට" මම මැස්සෙම වාඩි උනා.

"හරි හරි බං උඹල වලව්වල වැඩ කොරන උදවිය වෙච්චි. වැදගත් වැඩ නෙවෙන්නම් උඹලට තියෙන්නෙ. හරි, අපි ඒ ගැන කතා කරමු...ප්‍රශ්නයක් නැහැ...ඊට කලින් මොනව හරි කරනවද? තව විනාඩි පාලහකින් බඩු ලෑස්තියි"

හප්පා, මතක් වෙන කොටත් ඇඟ රත් වෙනව... මුගෙ බඩු ඉතිං ආයෙ කියල වැඩක් නැහැ. නාගසලං තමයි…

"ආ, මේ අපෙ අයියනෙ, මම මේ කවුද බැලුව" වාඩියෙන් එලියට ආපු සිරිමලී නඟා හිනාවෙලා කිව්වා. 

සිරිමලී රම්බොගෙ පවුල. පවුල කිව්වට උං දෙන්න කසාද පොතේ අස්සං එහෙම කොරල නැහැ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නව. මම බල කොරලම ටික කාලෙකට ඉහත දෙන්නත් එක්ක ගියා රෙජිස්ටාර් කංතෝරුවට කසාදෙ අස්සං කරන්ඩ. මඟදි පොලිස් ජීප්පෙක ඈත එනව දැකල කෙල්ලත් දාල මූ කැලේ පැන්න පාර කසාද බැඳිල්ල එච්චරයි…

"අයියට තේ කෝප්පයක් ගෙනෙන්නෙයි?" සිරිමලී ඇහැව්වා.

"උඹ මේ මඟුලක් කතා කරනව. මොන තේද බං මේ වෙලාවෙ? අර දවල් උයාපු වල් ඌර ගෙනෙංකො පිඟානකට දාල. මයියොකු කෑලි හත අටකුත් ඒකටම දාහං. අයියෙ උඹ ඔහොම්ම ඉඳහං. මම සුරුස් ගාල එඤ්ඤං" රම්බො නැඟිටල දොල දිහාවට ගියා.

මම එහෙම්මම මැස්සෙ දිගාවෙලා වාඩිය ඉස්සරහ රූස්ස දෙල් ගහේ අතු අස්සෙං හඳ පායාන එනව බලාන හිටියා. මේ මැස්ස උඩ හීන්වට පාවෙන මට්ටමට යමක් කරකියාගෙන හඳ පායා එනව බලාන ඉන්දැද්දි නිකම්ම කවි සිතිවිලි පහළ වෙනවා.

බ්‍රෙඩ් පුරුට්ට්‍රී තෲ ද බ්‍රාන්චස්,
පුල් මූන් තෙම නෙවද අර පීකිං,
මයි මයින්ඩ් ඊස් කොහෙදො ෆ්ලෝටිං,
දිස් ඊස් ද ලයිෆ් අයි වෝන්ට්,

අම්මට වූඩු තාත්තට ගෝයා. කොහොමද ඒක?..දැං මට කවි කියවෙන්නෙත් ඉන්ගිරිස් ඔලිං..හෙහ්..හෙහ්..ඒකත් නරකම නෑ නෙව..වලව්වෙ ආස්සරේ තමා..වලව්වෙ කිව්වට විසේසෙං පොඩි කුමාරිහාමිගෙ..අනේ ඒ ළමය මට ඉංගිරිස් ටිකක් කියල දෙන්නෙ බොහොම ආසාවෙන්...

"අයියෙ මොකෝ කවි තනනවැයි?" රම්බො ඇවිත් බෝතලේකුත් අරං. අපි ටික ටික ගන්න ගමං මයියොකු කෑල්ලකුත් හැපුවා.

"ඉතිං මොකක්ද මේ වැදගත් කාරණේ? වලව්වට බඩුවත් සප්ලයි කරන්න මට ඕඩර් එක දෙන්නද අයියා හදන්නෙ?" ලාවට වගෙ කක්සගතවෙන මට්ටමට එනකොට රම්බො අහපි.

කකා හිටපු මස් කෑල්ල ඉස්පොල්ලෙ නොගිහිං බේරුනෙ මගෙ පූරුවෙ වාසනාවකට.

"උඹට පිස්සුද? වලව්වට මොකටද ඔව්වා? ලොකු මැණිකෙ මාව දඬු කඳේ ගහලම අලියා ලව්ව පාගවයි"

"නෑ, මම මේ කිව්වෙ වලව්වෙ පැත්තෙ කැරකෙන අර අලුත් ඩයල් දෙක ගැන. හොඳ බොන මූනු දෙකක් තියෙන්නෙ"

මේ යස්සය මේ කියන්නෙ සිරී මලයයි, බූරො මලයයි ගැන.

"පිස්සුද උඹට? ඒ වලව්වෙ ලේකං තැන නෙව"

"ලේකංද සබාපතිද නං මංදා... උංගෙ මූණු ගැනයි මම මේ කිව්වෙ...හරි එහෙනං කියහංකො ඔය වැදගත් ආරංචිය තවත් අගේ නොකර"

"පොඩි කුමාරිහාමිට බොඩි ගාට් කෙනෙක් හොයනව නෙව...මට තමයි වැඩේ පංගනාතු උනේ.. මට මතක් උනේම උඹව"

"මම? මට පුලුවන්ද එහෙම දෙයක් කොරන්ඩ?"

"මොකදැ බැරි? ඉඳහං මෙන්න මේවයි ඕන සුදුසුකං..." 

මම ඉනෙං ඇදල ගත්ත සුදුසුකං ලැයිස්තුව.

"නොම්මර එක…අඩි හයක් පමණ උස...උඹේ උස කීයද?" 

"හයක් නං නැහැ. ගිය පාර හිරෙං පනිද්දි බෝගම්බර තාප්පෙන් වැටිල කකුල කැඩුනනෙ.. ඒ පාර තුවාලෙ හොඳ වෙනකොට ඒ කකුල අඟල් දෙකක් විතර කොට උනා... නැත්නම් අඩි හය හදා ගන්න තිබුනා" 

"දෙයියෝසාක්කි ඔය බෝගම්බර කතා අතන මෙතන කියන්ට එපා වාහෙ...ලොකු මැණිකෙට ආරංචි උනොත් මාව පන පිටින් හම ගහයි. හරි හරි හරි ඒකෙ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..අනික අඩි හයක් පමණ කියලනෙ තියෙන්නෙ. හයක්ම ඉල්ලලත් නැහැනෙව. හරි ඒක හරි කියමුකො"

"ඔන්නම් අයියෙ මෙහෙමත් කල හැකි නෙව. මෙයාට නිතරම උඩ පැන පැන ඉන්ඩ කිව්ව නම් හරි නේද? එතකොට අඩි හය හරි යයි නෙ" සිරිමලීත් ඇවිත් සුදුසුකං ගැන විමර්සනේට...අනෙ අම්මප මේ ගෑණුන්ටත් එන කල්පනාවල්…

"අංක දෙක වයස තිස් පහට අඩු. ඒක නම් හරි. ඒත් ඔප්පු කොරන්නෙ කොහොමද? උඹේ නැද්ද අයිඩෙන්ටිය වත්?"

"නැහැනෙ. ගිය පාර බෝගම්බර ඉඳං එද්දි ඒක ඉල්ල ගන්ඩ අමතක උනා නෙව"

"මොකක්? අමතක උනා? ඉතිං ඊට පස්සෙවත් ගිහිල්ල ඉල්ලන් ආවෙ නැත්තෙ මොකෝ?"

"උඹත් අයියෙ මේ මොනව කියනවද මංදා...ඒ පැත්තෙ ආයෙ යන්නෙ කොහොමෙයි? මම තාප්පෙං පැනල නෙව ආවෙ"

"ඒකත් එහෙමද? හරි බැලුවම පෙනෙනවනෙ උඹ 35 ට අඩුයි කියල. ඒක හරි... ඊලඟ එක...ආරක්ෂක සටන් කෙරම පුහුණු කල…."

"හපොයි ඒක නම් තියෙනව ඕනවටත් වැඩිය... ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ තට්ටෙන් පටන් ගත්තම රාළහාමිලා අට දෙනෙක්ගෙ කකුල් කඩල තියෙනව...සාජංල පස් දෙනෙක්ගෙ ඔලු පැලුව. එතනිං ගිහාම ඉස්පෑට්ටරල............"

"ඇයි අනේ අර හිරගෙදර ගාඩ් මහත්තය…. ඔයා අර අත කැඩුවෙ..........." සිරිමලී මතක් කරල දුන්න.

හපොයි ඒ ඇති හොඳටම ෂාහ්......බලාගෙන ගිහම නියමම මිනිහනෙ වැඩේට අහුවෙල තියෙන්නෙ...පොඩි කුමාරිහාමිගෙ ආරස්සාවට මීට වඩා හොඳ කෙනෙක් කොහෙන් හොයන්නද? ලොකු කුමාරිහාමි පුදුම විදිහට සන්තෝස වෙයි... ආයෙ ඒකෙ දෙකක් නැහැ..මටත් සුවල්ප ගහුරවයක්ද හැබෑටම.

සන්තෝසෙ වැඩිකමට මම තව එකක් ගහල මස් කෑල්ලකුත් හපලම ඊලඟ සුදුසුකම ගැන හොයා බැලුවා…

"ඉලක්කයට වෙඩි තැබිය හැකි..........."

" ඒක මොකක්ද? මගෙ ගල්කටස් එකෙන් මම තිබ්බ අයියෙ හොඳ විස්සාසෙට ගනිං අර දොලේ මෙගොඩ ඉඳං එගොඩ හිටපු රාළහාමිගෙ දකුණු කකුලට එක පාරින්"

"උඹ ඉලක්කෙ ගත්තෙත් ඒ කකුලටමද?" මට දැනගන්ඩ ඕන උනේ අන්න ඒක.

"ඔන්න උඹත් පටං ගත්ත උසාවියෙ නඩුකාරය වගෙ ඕන නැති දේවල් අහන්න. එව්ව ඕන නැහැනෙ මෙතෙන්ට. හරි මොකක්ද ඊලඟ එක?"

මම ආයෙම කොලේ බැලුවා. මොකක්ද මේ ඊතල පණිවිඩ කථාව. මම දන්නෙත් නැහැ ඒක මොකක්ද කියල 

"ඔය කෝකටත් මලේ උඹ අදම හොඳ හයිය ලීයකින් දුන්නක් හදාගෙන විදින්ඩ පුරුදු වෙයන්නිං. ඒක එච්චර අමාරු වෙන එකක් නැහැ" මම රම්බො මලයට කිව්වා.

ඊලඟ සුදුසුකම ම්ම්ම්ම්.........බලමු, "හරි, මේ තියෙන්නෙ....ජංගම දුරකථනයක් පැය විසිහතරම කනේ ගසාගෙන සිටිය හැකි.....ම්...ම්....මට හිතෙන්නෙ මේකට නම් සුදුසුම අපේ තැපැල් මහත්තයා. ඒත් උන්නැහේට අනික් සුදුසුකම් නැහැනෙ...." 

"හරි, අයියා, ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජංගම දුරකථනයක් අරං දෙනවනං බැරිය කනේ ගහ ගෙන ඉන්න"

"එහෙම නං මටත් එකක් ඕන මගෙ කනෙත් ගහ ගෙන ඉන්න" ඒ පාර ඒ සිරිමලී...

හරි ඊලඟට මොනවද? මම ආයෙ ඇහැ යොමු කලා සුදුසුකං කොලේට. පැහැපත්, ජවසම්පන්න, කඩවසම්......පැහැපත් වැඩේනම් කොහොමවත් හරි යන්නෙම නැහැ. මූව හමගහල ගන්න වෙයි පැහැපත් වෙන්න නම්...

"මලේ, ජවසම්පන්න...... ඒක කොහොමද?"

"අපොයි ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගෙ පිට් එක ගැන ඔන්නම් අපෙ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තයාගෙන් අහන්න. එයා කියයි... කී පාරක් ඔය පොලිසියෙ මහත්තුරු මා පාරෙ පැන්නුවද? එකෙකුට කිට්ටු වෙන්ඩ බැරි උනා අහලකට"

හරි ඔන්න අන්තිම සුදුසුකම කඩවසම්.....හරිනෙ. කිසි අවුලක් නැහැ. රම්බොට කඩවසම් නෙවෙයි කඩ දෙකක් වසම් සුදුසුකම් තියෙනවා. 

උගෙ අප්ප ඒ කිව්වෙ අපෙ බාප්ප මූ එහෙ මෙහෙ රස්තියාදු ගගහ ඉන්න කොට සිල්ලර කඩයක් දාල දුන්නා "ඉඳා, මේකවත් කරගෙන ඉඳහංය" කියාල. කොහෙද? මේ පකිස් බූරුව මාසයක් කඩේ කලේ නැහැ. යාලුවන්ට ණයට දීල කඩේ බංකොලොත් කරල දැම්මා. බාප්ප පස්සෙ බැරිම තැන කඩේ වහල දැම්මා. 

ඔයිට මට මතක විදිහට අවුරුද්දකට විතර පස්සෙ ඔන්න ආයෙම බාප්ප, "ගිය පාර වගෙ නැතුව මේ පාරවත් මනුස්සයෙක් වෙයං" කියල රෙදි කඩයක් දාල දුන්න. මොන? ඒකටත් ඒ සන්තෑසියමයි...ඒක නිසා කඩවසම් සුදුසුකම නම් මේකට ඕනවටත් වැඩිය තියනව. 

හරි, සුදුසුකං ඔක්කොම චැක් කොරල අහවරයි. දෙගොඩ හරියටත් වෙන්ඩ ආපි. පදමත් හොඳ ගානට.... දැං පාර පුරාම ගෙදර ගියානං හරි…

"මලේ එහ්හෙන්නං මං යඤ්ඤං. හෙට උදේම නාල කියාල වරෙං වලව්වට හරිද?"

"හෝව්, හෝව් අයියංඩි. මම ඔය රාජකාරිය බාර ගන්නෙ එක කොන්දේසියක් ඇතුව...ඒ කියන්නෙ වලව්වෙ ඇතුලෙ මයෙ මේ කර්මාන්තෙ බෙදාහැරීම් මද්දියස්තානෙ පිහිටුවන්ඩ අවසර ලැබෙන්ඩ ඕනෙ. මොකද මේ වැඩේ අතෑරල බැහැ නෙව"

"හපොයි මලේ ඒක කොරන්නෙ කොහොමදෑ? ලොකු මැණිකෙ මයෙ ඔලුවත් එක්ක කයි"

"නැත්නම් මට බැරුවා...මගෙ ඉල්ලීම කෙරෙන්ඩම ඕනෙ"

දැං මොකෝ කොරන්නෙ? මේ යකා කියන දේ නොකරත් බැහැනෙ. මේ බොඩි ගාට් වැඩේට ඉන්නෙත් මූ විතරමයි නෙව. හරි මෙහෙම කලොත් හරි. මුගෙ මේ බෙදා හැරිල්ල අලි ගාලෙ කලා නම් හරි. අනික බිරී මලය, බුරා මලයලටත් ඔය රා පොලවල් ගානෙ ඇවිදින වෙලාවෙ අලි ගාල පැත්තට ඩිංගිත්තක් වහං වෙන එක විතරක් නෙව තියෙන්නෙ.  අනික වලව්වෙ තුං වේලටම පිහන කෙහෙල් මුහෙයි, පරිප්පුවයි ගිරියෙං පහලට යවාගංඩ ඉතිං මෙව්වයිං දෙකක් නොදාත් බැහැම තමයි... 

"එහෙනම් මලේ අපි මෙහෙම කරමු.. උඹේ වැඩේ අලි ගාලෙ කරමු..ඒකෙ ඉන්න අර වයසක අලියත් පැත්ත වැටිච්චි ගමම්ම නෙව ඉන්නෙ...ඒකෙ පුලුවන්."

"හරි මට කොහෙ උනත් කමක් නැහැ. මගෙ වැඩේ කෙරෙන්ඩයි ඕන. අල්ලිස් උන්නැහෙටත් අපි ඕනනං බෝතලයක් දෙකක් පොවමු. ඕනම පැත්ත වැටිල ඉන්න හස්තිරාජයෙක් මයෙ බඩු සප්පායං උනහම ආය නෑ මුචලින්දය වගේ තමයි කෙලිං වෙලා එන්නෙ…"

"මුචලින්ද කියන්න වඳුරෙක් බං...උඹ ඔය හස්තිරාජයෙක්ය කියල කියන්නෙ කන්තක නම් හස්තිරාජය ගැන...."

"හරි හරි මොකෙක් හරි එව්වයිං වැඩක් නෑ...මේ වැඩේ කෙරෙන විදිහක් කතා කොරමුකො…"

"හරි හෙට උදේ නමයට වලව්වට වරෙං එහෙනං"

"ආ, තව එකක් උඹ ගැන විපරං කරන්ඩ කවුරු හරි ප්‍රභූ වරු තුන් දෙනෙක්ගෙ නං තුනකුත් ඕනෙ. තව ටිකෙං ඒක මතක බැරි වෙනවනෙ"

"හරි, පොලිසියෙ ලොකු මහත්තයා. නඩුකාර හාමුදුරුවො. එතනින් ගිහාම හිරගෙදර ලොක්කා...ඔය තුං දෙනා මං ගැන හොඳට දන්නවා. එයාලගෙං ඇහුවනං හරි" රම්බො මළයා වැනි වැනී කිව්වා.

"අප්පට උඩි..හොඳම ඉස්තරං ප්‍රබූ කස්ටිය නෙව මලේ උඹ අඳුනන්නෙ...වෙරි ගුඩ්ය කියන්නෙ ගුඩේ ගුඩ්.."

"අන්න එහෙමයි අපි..." රම්බෝ බූරු ඇඳේ වැතිරිල ඉන්න ගමං යන්තමට ඔලුව උස්සල කිව්ව.

මම හඳපානෙම පාර පුරා ගෙදර ආවා…පාර පුරා මල් ඉහිරෙයි ඇඳපු චීත්තේ..හා..හා..ඇඳපු චීත්තේ..හා..හා.. ඇඳපු චීත්තේ…

පහුවදා හිමිදිරියෙම මම වලව්වට ගිහිල්ල ලොකු කුමාරිහාමි බැහැ දුටුවා,

"මොකද කවිකාර වැඩේ? සුදුසු කෙනෙක් හම්බ උනාද බොඩි ගාඩ් වැඩේට?" ලොකු කුමාරිහාමි සාලෙ මහ පුටුවෙ ඉඳගෙන ඇහුවා.

"එහෙනං ලොකු මැණිකෙ එහෙනං එහෙනං...වැඩේට හොඳම කෙනා මට හම්බ උනා"

මැණිකෙගෙ මූණ බලා ඉන්දැද්දි එළිය උනා. "හපොයි, කවිකාරට කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නෙ නැහැ. මගේ ඉහ උඩ තිබ්බ බරක් බිමින් තිබ්බ වගේ"

හප්පා, මට ලැජ්ජත් වගෙ මැණිකෙගෙ ප්‍රසංසාවට "ඔව්ව මොනවද මැණිකෙ" මම ඇඹරි ඇඹරි කිව්වා.

"හරි, දැං ඉතිං කෝ ඔය කියන මනුස්සය?" ලොකු මැණිකෙ ඇහුවා.

"හරියට නමයට එනව කිව්ව මැණිකේ"

ඔන්න හරියටම නමයට මම ගේට්ටුව ගාවට ගියා. රම්බො මලය වෙලාවටම ඇවිල්ලා. මේ මොකෝ මේ....... ඒ පස්සෙං සිරිමලියත් එන්නෙ…

"උඹ මොකෝ නඟෝ?" මම ඇහුව.

"අයියත් හරි කතාවක්නෙ අහන්නෙ. මේ ගෑණු විතරක් ඉන්න වලව්වට මගෙ මිනිහ තට්ට තනියම රාජකාරි කරන්ඩ එවන්ඩ මට පුලුවන්ද? මාත් ඒ නිසා ඒ එක්කම ආවා"

හපොයි, මේ මොකක්ද මේ වෙච්ච විනාසෙ? ලොකු මැණිකෙ මගෙ ඔලුවත් එක්ක කාල තමයි පස්ස බලන්නෙ.  ඒක නම් මම දන්නව සහසුද්දෙම්ම.

"හරි දැං රම්බො මලය පොඩි කුමාරිහාමිගෙ බොඩි ගාට් නෙව. ඉතිං උඹ මොකක්ද කොරන රාජකාරිය?" මම සිරිමලීගෙං ඇහැව්වා.

"මම තමයි, බොඩි ගාට්ගෙ බොඩි ගාට්" සිරිමලී ගහෙං ගෙඩි එන්නැහෙ උත්තර දුන්නා.

ඒකත් හරි තමයි බලාගෙන ගිහාම. තරකානුකූලයි ඒ උත්තරේ...ඒත් මේක දැං කියන්නෙ කොහොමද ලොකු මැණිකෙ දැක්කිං? මට තියෙන ප්‍රශ්නෙ ඔන්න ඕකනෙ...

"කවිකාර... කොයි ඔය කියාපු හාදය? ඇවිල්ල ඉන්නව නං මෙහාට එක්ක එමුකො අපිට බලාගන්ටත් එක්කල..." ලොකු මැණිකෙගෙ හඬ ඉස්තෝප්පුවෙං ඇහුනා,

15 comments:

  1. හෙහ්.. අන්න නියම සුදුසුකං බොඩි ගාට් කෙනෙක් වෙන්න. කොටින්ම පාතාල කේස් එකක්නෙ රම්බුවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ආය මොනවද කෙලින්ම අන්ඩවර්ල්ඩ්...:)

      Delete
  2. මං හිතුවෙ මේ කතාවෙ ජෝන් රම්බෝ හා සිල් ස්ටැලෝන් ලෙස ලෝර්ඩ් බුරතීනෝ කියලයි

    ReplyDelete
    Replies
    1. ප්‍රාට පේනවනෙ, අපි කොච්චර මඩ කාලද මෙතැනට ඇවිත් තියෙන්නෙ කියලා... :D

      Delete
    2. ප්‍රා,

      බූරත් එක අතකින් රම්බොට එහා...:)

      Delete
    3. බූරා,

      මඩ කාලයි මෙතෙන්ට ආවේ..
      ඇලේ දොලේ විලේ කැලේ අපෙ කටහඬ තාම ඇහෙනවා...

      Delete
  3. Dan ekkn ynne kawada balagantat ekkala? Rambo da sirimalee da?

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      ආය ඔහෙ එක්ක යන එකක් නෑ..කතාව මෙතනින් අහවරයි...:)

      Delete
  4. සිරිමලිට පුළුවන්නේ අල්ලිස් උන්නැහේ ඉන්න මඩු කෑල්ලේ කරන්නට යෝජනා කරපු කරුමාන්තේ හොඳින් බලා කියා ගන්න. ඒ ගමන් රම්බෝගේ වැඩ කටයුතු ගැනත් සෙවිල්ලේ ඉන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      මම හිතන්නෙත් ඒ විදිහට තමයි වැඩේ සිද්ද වෙන්ට ඇත්තෙ...:)

      Delete
  5. කොහොම හිතෙන දේවල්ද මේවා? අර දෙල් ගහේ කවියත් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්..

      ඒ දෙල්ගහේ කවිය ඔරිජිනල් කතාවෙ තිබ්බෙ නෑ. මේ පාර තමයි අමතරව එකතු කලේ...:)

      Delete
  6. කෝ මේ පොඩි කුමාරිහාමි? සෑහෙන කාලෙකිං දැක්කෙ නෑ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...