Wednesday, November 14, 2018

616. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 3 - මනාල සම්ප්‍රාප්තියෙන් ඉක්බිති......


1818 කැරැල්ල අළලා නිපදවුනු "මුතුකුඩ" ටෙලි චිත්‍රපටයේ
මුතුකුඩ මැණිකේ ලෙස රඟන තිලිණි පෙරේරා...

පාන්දරිම්ම පයිංඩයක් ආපි වලව්වට එන්ඩෙයි කියල. අර ඉංගලංතෙං මනමාල මහත්තැං ඇවිත් ගිය දොහේ ඉඳං මං වැඩිය වලව්ව පැත්තෙ ගියේ නැහැ නොව.

මං හිතුව වගේම උනානෙ. ඒ කිව්වෙ මනමාල අප්පු වලව්වට අපහාස කොලාය, ඒකට උල්පංදං දුන්නෙ මමෙය, කියල ලොකු මැණිකෙ පුපුරා හැලුන නෙව. අලිය ලව්ව මාව පාගවනවය කියාලත් තර්ජනේ කොරාපි. එව්වට නං අපි බය නෑ. අපි නොදන්න මොණර තැන්න කිව්වලු. අලිය ලව්ව පාගවන්ඩ කලියෙං ඒක කෙලිං කොරාල ඉන්ඩ එපාය. දැං මේ මාස ගානක් තිස්සෙම හරහ වැටිල ඉන්න අහිංසක සතා....

ඔය අලිය මනමාල මහත්තැං එන්ඩ කලිං දවසෙ කෙලිං කොරවල, අඹ ගහට හේත්තු කොරවපු කතාව මනමාලය දන්නෙ කොහොමද? ඒක එතුමා එක්ක කියැව්වෙ මමෙය කියල තමයි ලොකු මැණිකෙ එක පයිම්ම කියා හිටියෙ.

අනෙ අම්මප, මම එව්වාගෙ අසමජ්ජාති වැඩක් කොරනවය තුං හිතකිං වත්. ලුණු ඇඹුල් කියන සජ්ජාතියක් නැති, අඩිය අල්ලාපු පරිප්පුවකුත් එක්ක හරි බෙරි වෙච්චි බත් උලක් කොටා බාන තැන වෙච්චි. මම තියා මයෙ බල්ලවත් කොරනවය එහෙම දෙයක්...

හැබැයි ඔන්න මෙහෙම දෙයක් නං උනා, අයෙ මොටෝ බොරුවක් මුසාවක් ඇදබාන්නෙ. 

ඒ කිව්වෙ මනමාලය අලිය දැකල මයෙං ඇහුව නෙව "අනේ පවු, අර අහිංසක සතා හරි අමාරුවෙන් වගෙ නේද අර නැගිටල ඉන්නෙ...ඕකා බුදි කෙරෙව්වොත් හොඳ නෙවෙද?" කියාල. 

මං කියැව්ව "අනේ ආයුබොවං ඕකට එහෙමට අමාරුවක් නැත. දැං මාස ගානක් තිස්සෙ ඕක හරහ වැටිලම තමා හිටියෙ. ඊයෙ රෑ දෙගොඩ හරියක් වෙනකල් අපෙ බූර මලයයි, බිරී මලයයි මායි තුංදෙනා ඉල ඇදෙනකල් දඟලල තමයි ඔය සතා කෙලිං කොරාල ඔය අඹ ගහට හේත්තු කොරව්වෙ" කියාල. 

ඔන්න ඔච්චරමයි මං ඔන්න කියව්වෙ...ඉතිං ඕකට තමයි අපෙ ලොකු මැණිකෙ මා කන්ට තනන්නෙ මනමාලයට වලව්ව පාච්චල් කොලාය කියාල. කාට කියන අවනඩුද හැබෑටම මෙව්ව. උඩ ඉන්න දෙයියොම බලා ගන්ට ඕන.

ඔය අලිය ගැන කියද්දි තව දෙයක්.. ඔය සතා පිටේ තමයි කියනව ඇහැලේපොල මහ නිලමේ, ඒ කිව්වෙ අපෙ පොඩි කුමාරිහාමිගෙ කිත්තද, කිරිකිත්තද, නත්තද, පනත්තද කවුද මංද, සිරි වික්කරම රාජසිංහ රජ්ජුරුවංගෙ රාජ උදහසිං බේරිල සුද්දං ගාවට පැනල ගියාය කියන්නෙ. එහෙව් අයිතිහාසික සතෙක් තමයි ඔන්න ඔය ඉන්නෙ.

කතාවෙං කතාවෙං වලව්වටත් ආපි...කිරි අප්පේ......මේ මොකදෑ?.....වලව්වෙ අද ඊස් මීස් නැහැ නෙව සෙනඟ සූ ගාල. ඉරිද පොළ පරාදයි. මොකක් හරි ලොකු කලබැගෑනියක් වගේ...

අන්න බොලේ අරුංදතීත් ඇවිත් ඉඤ්ඤං. එයයිගෙ අර නඟා කෙලී එක්ක. සිත්තංද මොකක්දෝ මහ අපූරු නමක් නෙව ඒ කෙලීට ඇත්තෙ. මං කියන්නෙ කවිකාරි කියල. කවි කියන්ඩ අප්පා හරිම දස්සි. මම ඔය නිකමට පිලේ ඉඳං කවියක් කිව්වය කියමු. සුරුස් ගාල එහෙ බලල මෙහෙ බලනකොට ඒ කෙලීත් කවියක් හදල කියාලත් ඉවරයි...

අරුංදතී දැක්කම මයෙ ඉහේ මලප්පිපුන වගෙ උනාට මම ඒක පෙන්නුවෙ නෑ. වැඩි ආලවංතකං පෙන්නුවම ගෑණු එනව නෙව කරේ නඟින්ඩ......ආ.....නෑ, කොහොමත් උන්දැල අපෙ කරේම තමයි දැනටත් ඉන්නෙ. ඒ නිසා ලීලෙ පෑවොත් නඟින්ඩයි බලන්නෙ ඔලුව උඩටම...

"මොකද උඹල දෙන්න මේ පැත්තෙ?" මම නිකම් ගාම්බීර තාලෙට ඇහුව මයෙ නිල් සාටකේ එහෙම සකස් කොරන ගමං...මොන? අරුංදතී සත පහකට ගණං ගත්තද? ඔහෙ නෑ. ගස්සල දාල මයෙ දිහා ඇස් කොණකිං විදිල්ලක් කෙටුවහෙ බලාල "යමං නංගියෙ, අපි යංඩ" කියාල නඟායෙ අතිනුත් ඇදං ගියෙ වලව්ව ඇතුලට. 

කවි කාරි අතිං කට වහගෙන හිනාවෙනව. ඒකිට ඔය මදෑ දවසක් බෙලිකටු මල්ල හොල්ලංඩ. දොරකොඩ වැලගහෙං ගෙඩියක් පත බෑවුනත් වරුවක් හිනාවෙන එකී. අනේ අම්මප මේ ගෑණු එකීලයෙ හැටි සොබාව තේරුං ගන්ඩ මට හිතෙන්නෙ මැරිල ඉපදුනත් බැරිවෙයි ඔන්න...

"මොකෝ මලේ මේ හෙයියම්මාරුව?" මම බිරී මලයගෙන් ඇහැව්වා.

"අනෙ කවුරු දන්නවද බාං? ඔය රැස්සීමක්ය කියන්නෙ. ලොකු මැණිකෙ තමයි රැස්සීම කැඳෝල ඇත්තෙ"

පහුගිය ටිකේ පොඩි කුමාරිහාමිට මනමාලයො ගජ රාමෙට හොයැව්ව එකේ එහෙම එකක් වත් තීන්දු වෙලාද මංදා. මයෙ හිතට හීං දුකකුත් කාංදු වෙනව වගෙ දැනුනා. පව්, සීදේවි කෙලී...පොඩි කුමාරිහාමි වලව්වෙං ගියොත් මම ආයෙ මේ පැත්ත පළාතෙ එන්නෙ නැහැ. මම මටම කියා ගත්තා....

ඔන්න කට්ටියම ගිහිං රැස් උනා මහ රැස්සීම් සාලාවෙ. ලොකු මැණිකෙ මැද්දෑවෙ. ඊට එහා පොඩි කුමාරිහාමි. අනේ ඇස් වහක් කටවහක් නැහැ සීදේවී කෙල්ල. මම ඒ දිහාවෙ ඇහිපිය නොහෙල බලා ඉන්නොව දැකල අරුංදතී ඇන්නෙ නැතෑ වැලමිටිං මගෙ ඇලපොතට තරු විසික්ක වෙන්ඩ. කවිකාරි පිපිරෙන්ඩ තනනව හිනාව නවත්තාගන්ඩ බරුව...

අර එහෑයිම්ම ඉන්නෙ අලුතෙං වලව්වෙ කාරිය මංඩලේට බන්දවගත්තු අබ්බගාත් නෝනෙ. ඉංදියාවෙ අරෙහෙ මෙහෙ රට රාජ්ජ වල කරග්ගහපු නෝනෙක්ය කියන්නෙ...

ඒත් මටනම් තේරෙන්නෙම නැත්තෙ නීති වැඩ ගැන උපදෙස් ගන්න වෙනම කෙනෙක් මොහොකටද කියලා. අර අපේ හිටපු ජනාදිපති තුමෙකුත් ඒ කාලෙ කියැව්වෙ "අහවල් නීතිය? මම නීතිය ඉගෙන ගත්තෙ අලුත්කඩේ උසාවියෙං විසික්කා කොරන නඩු වාර්තා කියවලා...හැබැයි ඔය ලෝයර්ලයි කියන අයට වඩා නීතිය ගැන මම දන්නවයි" කියල. ජනාදිපති කියන්නෙ රටේ අන්තිම ලොක්ක නෙව. එහූ උත්තමයෙක් කිව්වනම් බොරු වෙන්ඩත් බැහැ නෙව...

රැස්සීම නිල වසයෙං ඔන්න පටං ගත්තා. මහ කුමරිහාමි රැල් බුරුල් ඇරියා...

"හැමෝම දන්නව ඇතිනෙ පහු ගිය සතියේ සිදුඋනු සිදුවීම ගැන. මේ වලව්ව ඇතුලට කොහෙදෝ යන හෙනහුරෙක් පිටින් පාත්වෙලා, මගේ මිනිබිරීට, අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න මේ කුමාරිහාමිට අපහාස කරලා" මහ කුමාරිහාමි මං දිහා බැලුවා කන්ඩ වගේ...

මම දන්නවනෙ මයෙ පැත්තට තමයි බෝලෙ එන්නෙ කියාල. මම වහලෙ උලු ගනං කොරංඩ පටං ගත්තා බොහොම උනංදුවෙං...

"දන්නවනෙ අපෙ පරම්පරාව ඇහැලේපොල මහ නිලමේ ගෙන් පැවත එන කන්ද උඩරට ප්‍රභූන් අතර................." මහ කුමාරිහාමි දිගටම ලැච්චර් එක...

ඔන්න මගේ චෑන්ස් එක මහ කුමාරිහාමිව ෂේප් කොර ගන්ඩ.  ඇහැලේපොල මහ නිලමෙ ගැන පොඩි වර්ණනාවක් කොලානම් වැඩේ ගොඩ.

මම නැගිට්ටා...මයෙ සාටකේ එහෙම හදාගෙන රැල් බුරුල් ඇරියා "මහ කුමාරිහාමිගෙන් අවසර ලැබේනම් මම කැමතියි ඇහැලේපොල මහ නිළමේ ගැන වචන සුවල්පයක් කතා කොරන්න..."

"බොහොම හොඳයි කවිකාර...මම දන්නව නෙව ඔය ඉඳහිටල බහුබූත කලාට කවිකාර වලව්වට හිත ඇති මනුස්සය කියල"

අප්පද බොල මහ කුමාරිහාමිගෙ මූණේ හිනාව බේරෙනවා. උන්දැගෙ පරම්පරාව ගැන වර්ණනා කලොත් ගෝනි නැතුව කරෙත් ගිහෑකි. හරි...... අද දෙන්නං පොරි හැලෙන්ඩ...

"ඇත්ත වසයෙම්ම ඇහැලෙපොල මහ නිලමෙතුමාය කියන්නෙ අපේ ඉතිහාසයේ රං අකුරිං ලියැවෙනා වීර පුරුසයෙක්..........." මම හොරැහිං බැලුව මහ කුමාරිහාමි දිහා. අප්පා මූනෙ තියෙන සිරියාව. මටත් අපූරු චෑන්ස් එක අර මනමාල අප්පුගෙ සංතෑසියෙං කැපිච්චි ලකුණු ටික අපහු දාගන්ඩ... මමත් ඇරියෙ නැහැ.

"දැං බලන්න නෝනාඋරුනි මාත්තුරුනි, ඇහැලේපොල නිලමේතුමා තම පිරියාදර බාරියාව සහ දරුවං තිදෙනා සිරි වික්කරම රජුගේ රාජ උදහසට ලක් වීමට සලස්වා නියම වීර පුරුසයෙකුගේ ගති ලක්සන විදහා පාමින්...." 

මොකද මේ අරුන්දතී මගෙ කකුල කොනිත්තන්නෙ............මේ ගෑනුන්ටත් ඊරිසියාව .......වෙන මොකක්දෑ හැබෑට නැහ්නං? තමන්ගෙ ආදර වංතයාට උනත් වාසියක් වෙනවට කැමති නැහැ. අනෙ අම්මප මේ ගෑණු තමයි ගෑණු කියන්නෙ...

"කොළඹ පර සුද්දන් කරා පලායාම මොන තරම්..... " මට ඒ වාක්කිය ඉවර කොරන්ඩ හම්බ උනේ නැහැ.

"කවිකාර, නවත්තනව ඔය විකාරෙ......." 

මහ කුමාරිහාමිගෙ ගර්ජනාවට මම උඩ ගිහිල්ල වහලෙ හැප්පිල ආයෙ බිම වැටුන. මේ මොන විනම්බෑසයක්ද මේ කඩං පාත් උනේ? මහ කුමාරිහාමිට පිස්සු වත් හැදිලද? නැත්නම් දෙය්යෝ සාක්කි මොකදෑ මේ හිටපු ගමං? මට නං මේ මොකවත් තේරෙන්නෙ නැතුවා...

ඒ අස්සෙ අරුන්දතී මයෙ රෙද්දෙං අදිනව ඉඳගන්ඩ කියල. මම ඉතිං හෙමිහිට ඉඳ ගත්ත. මට නං මේ මොකොවත්ම තේරෙන්නෙ නැතුවා. මහ කුමාරිහාමි උදහස් උනේ මොකෝ හැබෑටම? මම ඇහැලේපොල නිළමෙ ගැන මම අහල තිබ්බ දේවල් අනුසාරයෙං කතාවක් පැවැත්තුවා විතර නෙව කොලේ... ඉතිං මහ කුමාරිහාමිට උදහස් වෙන්ඩ කාරිනාවක් එතන තියේද? අනේ මට නං තේරෙන්නෙ නැතුවා....

ඉඳගෙන මම පිටිපස්ස බැලුවා. අරුන්දතී මා දිහා කංඩ වාගෙ බලාන ඉන්නවා. කවිකාරිගෙ මූනත් එක්කලා රතුවෙලා හිනාව නවත්තා ගන්ඩ බැරුව...

"දයාවතී, අරං එනව මගෙ ප්‍රෙසර් පෙති, වතුර එකකුත් එක්කලා" ලොකු කුමාරිහාමි පෙති දෙකක් තුනක් බිව්ව වතුර වීදුරුවකුත් එක්කලා...

පෙති බීල ලොකු කුමාරිහාමි හොඳ හුස්මක් දෙකකුත් ගත්තා.....

"මේ කවිකාරගෙ වැඩ නිසා මම දන්නව වෙලාවක මගෙ ප්‍රෙසර් එක වැඩි වෙලා මහ විනාසයක් වෙනව, කවිකාර......මම මේ අන්තිම වතාවට කියන්නෙ ඔහොමම ඉන්නව වාඩිවෙලා.....වචනයක් කතා කලොත් බලාගෙනයි.. තේරුනාද?"

අනේ අප්පෝ මට නම් මෙව්ව අඳෝ සංසාරයක් තේරෙන්නෙ නැතුවා... මම මේ හොඳ හිතිං උදව්වක් කොරන්න ගියේ... අන්තිමට ඒකත් මටම කැරකිලා ආපි. මොනව කොරන්නද? කරුමේ.....කරුමේ...

එතනිං පස්සෙ මම සබාවෙ වැඩ මොහොකටවත් සහබාගි උනේ නැතුවා. මයෙ පාඩුවෙ  හිටියා. අන්තිමට ඔන්න ගත්තු තීරණේ නං මේං මෙහෙමයි...

"මහ වලව්වේ මහ කුමාරිහාමි විසින් එහි වාසය කරනා පොඩි කුමාරිහාමිගේ පුද්ගලික ආරක්ෂාව පිනිස 'බොඩි ගාර්ඩ්වරයෙකු' පත් කරගනීමට තීන්දු කර ඇත. අඩි හයක් පමන උස, අවුරුදු 35 ට අඩු, ආරක්ෂක සටන් ක්‍රම පරතෙරට පුහුනු කල, ඉලක්කයට වෙඩි තැබිය හැකි, ඊතල පනිවිඩ වේගයෙන් යැවිය හැකි, ජංගම දුරකතනයක් පැය විසි හතරම කනේ ගසා සිටිය හැකි, පැහැපත්, ජවසම්පන්න, කඩවසම් තරුනයෙක් මහ කුමාරිහාමි සොයයි. සියලු ඉල්ලුම් පත් ජායාරූපයක් සමග මහ කුමාරිහාමිවෙත යොමු කරන්න"

රැස්සීම අහක වෙලා තිබ්බ මහා බෝජන සංගරහයක්. කෙහෙල් මුහෙයි පරිප්පුයි කාල අපෝවෙලා හිටි කවුරු කවුරුත් බඩවැල් දිගඇරෙන්ඩ බූසෙ කෙටුවා. අපරාදෙ කියන්ඩ නාකයි බෝජන සංගරහය නං අපූරුයි. අපෙ මල්දෙණියෙ නඟායි ඉතාලියෙංද කොහෙංදෝ ගෙන්නාපු ඉස්තරං කෝකියෙකුයි දෙන්නා එකතුවෙලා තමා බෝජනේ පිළියෙල කොරාල තියෙන්නෙ...

පහුවදාම අණබෙර කාරයෙක් ඇරිය අහල ගම් දනව් ඔල හංදියක් හංදියක් ගානෙ මහ කුමාරිහාමිගෙ අනඥාව පොරකාස කොරන්න. සුමානයක් කල් දුන්න ඔය සුදුසුකං තියෙන අයට ඉල්ලුං කොරන්න.

ඔන්න ඔය කාලෙ මට ආව ආරාදනා එක දිගට ගොයං කයි, එතනිං ගිහාම මඟුල් තුලා, ඔය වාගෙ එව්වයෙ කවි කියන්න. ඒ නිසා සතියක් විතරම වලව්ව පැත්ත පලාතෙ යන්න බැරි උනා... 

දවසක්....ඔන්න අර මහා රැස්සීමෙං සතියකට විතර පස්සෙ මයෙ හිතේ....මං ගියා වලව්ව පැත්තට.

මහ කුමාරිහාමි අව්ව තපිනවා අඹ ගහ යට. පොඩි කුමාරිහාමි එහෙම් නම් පේන්න හිටියෙ නැහැ.

"ආ, කවිකාර, එමු, එමු මෙහාටම, මම මේ පයිංඩයක් යවන්ඩමයි හිටියෙ මේ පැත්තෙ එන්ඩෙයි කියල" 

ඔන්න මට ටිකක් බයකුත් ඇතිඋනා.  මුංදෑ පනිවිඩ යවන්නෙ නම් හොඳකට වෙන්ඩ බැහැ  ඒ වංගියෙ මොන මරාලයක්ද මංද මයෙ ඉහ මත කඩා පාත් වෙන්ඩ යන්නෙ?

මම සාටකෙත් අතට ඇරගෙන කෝකටත් ගියා ලඟට...

ඔන්න ඔය වෙලාවෙ පොඩි කුමාරිහාමි ආව එලියට. අප්පා බලන්ට එපාය ලස්සන. මයෙ ඇස් නිලංකාර වෙලා ගියා. අනේ මේ ඇත්තමයි...

පින්න මල් පොකුරක් වගෙ හිනාවේගන එයා අපි ලඟට ආවා...

"අත්තම්මේ, මම ජිම් යනවා" ලොකු කුමාරිහාමිගෙ මූණ ඉඹල එහෙම කිව්වා.

"කවිකාරටත් ඕනද උම්මා එකක්?" ඒ කරල මං දිහා බලල හිනාවෙවී ඇහුවා...

මයෙ මූණ විතරක් නෙවෙයි ඉහේ ඉඳන් දෙපතුල දක්වා රතු වෙලා ගියා ඔන්න...

" පොඩ්ඩි, යනව යන දිහාවක මෙතන කෝලං කරන්නෙ නැතුව......... " ලොකු මැණිකෙ ඉණට අත් දෙකත් තියාගෙන කෑගැහුවා...

පොඩ්ඩිට ගානක් වත් නැහැ. එයා හිනාවෙවී ගෙට දිව්වා,

" ඔන්න පේනවනෙ කවිකාර... තාම පොඩි දරුවෙක් වාගෙ. හුරතල් වෙන්ඩමයි බලන්නෙ. මගෙ බයත් ඒකනෙ. ඔය නිසාම තමයි මම අර බොඩි ගාඩ් කෙනෙක් පත් කරන්න තීරණය කලේ"

"ඉතිං අපි ආපු ඉල්ලුං පත්තර ඔලිං හොඳ එකක් තෝරල එහෙම කෙනෙක් පත් කොරමුකො මැණිකෙ" මම කිව්වා.

"ඒකම නෙව ප්‍රශ්නෙ. එකම ඉල්ලුම් පත්‍රයක් වත් ආවෙ නැහැනෙ...ඉතිං කාවද පත් කරන්නෙ?" ලොකු කුමාරිහාමි කනස්සලු මූණකින් කිව්වා...

අප්පට සිරි. එහෙනම් මොකද කරන්නෙ? මමත් කල්පනා කරන්න ගත්තා.

" අපි මෙහෙම කරමු. මම මේ කවිකාරට එන්නෙයි කියන්න හිටියෙත් මේක කියන්නමයි. තමුන් දන්නවනෙ මේ ගමේ හැමෝම ගැන. ඒ නිසා මේ තනතුරට සුදුසු කෙනෙක් හෙටම හොයාගෙන එන්න ඕනෙ. තේරුණානෙ? සුදුසුකම් දන්නවනෙ. එව්ව පිරිමැහෙන්ඩත් ඕනෙ"

"අනේ මැණිකෙ, මේ හදිස්සියෙ මම..........."

"මේ...මේ..... එව්වයින් මට වැඩක් නැහැ. දැන්ම ගිහින් සුදුසු කෙනෙක් ගැන හොයන්ඩ හොඳයි" ලොකු මැණිකෙ මට කතා කරන්ඩවත් දුන්නෙ නැහැ.

මහාමේරුව ඉහ මත තිබ්බා වාගෙ බරකුත් දරාන මම වලව්වෙ ගේට්ටුවෙන් පිට උනා...

To Be Continued....

21 comments:

  1. Replies
    1. ඕකේ සූටික්ස්...

      මල් සූටික්කෝ සින්දු කියාපන් මාදන් අත්තක වාඩි වෙලා..
      පිළේ ඉඳන් ඒ සින්දු අහන්නම් හිතේ කඳුළු බිඳු නෙතින් ගලා...

      Delete
  2. //ඒ නිසා මේ තනතුරට සුදුසු කෙනෙක් හෙටම හොයාගෙන එන්න ඕනෙ. තේරුණානෙ? සුදුසුකම් දන්නවනෙ. එව්ව පිරිමැහෙන්ඩත් ඕනෙ//

    අපිට බෑ ?

    කන්තොරුවට යන්ඩ ඕනේ..... පරක්කුයි යකූ....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      අර කියාපු සුදුසුකම් උඹැහෙට තියේනං බැරිවෙන එකක් නෑ...

      Delete
  3. ඕකට හරියටම හරියන හයේ හතරෙ පොරක් ඉන්නව. හැබැයි ඉතිං මිනිහගෙ කැරැට්ටුවෙ හැටියට මිනිහ ගාව ගෑණු මනුස්සයෙක් තියන එක තමයි ලොකම අවුලකට තියෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ ගිහින් හිටහං....

      Delete
    2. වෙන ඉන්නෙ අර ලැච්චරර් මහත්තය තමයි ( පත්තරමල්ලි අයියා රිටයර්ඩ් හර්ට් නෙ )

      Delete
    3. හැලපෙ අයිය හොඳ නැද්ද?

      Delete
    4. KM නම් හරියයි තමයි...ඕකගෙ පෙනුමත් හොඳයි බොඩිගාඩ් වැඩේට..හැලපෙත් නරකම නෑ..දේශකයා සහ පත්තරයටත් මේ කියන සුදුසුකම් තියනවද?

      Delete
  4. පොඩි මැණිකෙගේ මේ ලියමනෙන් තමයි සිත්තමී ඉස් ඉස්සෙල්ලාම වළව්වට පය තිව්වෙ. ජනූ අක්කණ්ඩිත් මේකට ලියමනක් ලීවා, මල්දෙණියෙ ඉවුං පිහුං එක්කලා අර ඉතාලි කෝකි අප්පුගේ ඉවුං පිහුං ගැන කියලා. ඉතාලි උන්නැහෙ අල සුද්ද කොරන්ට ගෙහුං පොත්තත් එක්ක ගෙඩියෙං බාගයක්ම හූරලා අහක් කොරන හැටි, අර මේසේ උඩ තියෙන විච්චූරණ කැටයං ගැන හෙම හරි අපූරුවට ලියලා තිවුණා. අයියණ්ඩිගෙ මේ ආපහු ලියන ලියමන් දැකලා මාත් පහුනු දොහේ පෙට්ටගං අවුස්සලා බලද්දි මාත් මේකට ලියාපු ලියමන හම්බවුණා. ඉන්ටකො, ගම් බෝතලේ හොයාන ඇවිදිං අලවඤ්ඤං මෙතන හැමෝටම කියවන්ඩ. :D

    කවිකාර අයියණ්ඩිට සුබම සුබ උපන් දිනයක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. මෙන්න ගෙනාවා... :D

      ඕං ඉතිං කලින් වතාවෙදි මට වළව්වෙන් එද්දි කේක් කෑල්ලක්වත් ගෙනාවෙ නෑ කියලා සෝලි තිව්වයි කියලා අපෙ අරුන්දතී අක්කා මෙදා ගමන මාවත් එක්කාසු කරගෙනම ගියා නෙවැ වලව්වට. මං බැලුවා වෙනදටනං අක්කා මේ හැටි වලව්වට ගොඩවදින්නෙ නෑ, මොකෝ එයැයි එහෙ රාජකාරියක් කොරනවා කියලැයි... එයාගෙ කවිකාර පෙම්බරා නෙවැ එහෙ රාජකාරි කොරන්නෙ. මං ඉතිං අක්කණ්ඩිට විහිළුත් කොලා මේ නැති රාජකාරි හදාගෙන වලව්වට දුවන්නෙ අයියණ්ඩිව හම්බුවෙන්ට නේද කියලා. මේං ඒ ගමන මයෙ ඇඟට ගොඩවෙච්චි, අල්ලපු වැටේ ඉන්න කෙනාව හම්බවෙන්ට මං වලව්වට යන්නෙ මොන ඉලව්වකටදැ, ලොකු මැණිකේ එන්ට කියාලා කීව හන්දය යන්නේ, උඹැහෙට ඕන්නං වරෙං නැහ්නං නිකා හිටු කියලා... අපෙ අප්පොච්චියේ එහෙමත් කොච්චි කරලක්! ඒ ගමන ඉතිං මාත් කට පියාගෙන ලැහැස්ති වෙලා උන්දැත් එක්කලා ගියා වලව්වට. මොකෑ අක්කණ්ඩි බැන්නය කියලා මේ වලව්වට පය ගහන්ට ලැබිච්ච වාසනාවට පයිං ගහන්ටයැ?

      ඕං ඉතිං දෙන්නත් එක්කලා ගොහිං ගේට්ටුවෙනුත් ඇතුල් වෙලා ඉස්තෝප්පුවට ගොඩ වුනා. අනෙ අප්පේ, ආසාවට ආවට බයේ බෑ, මං අක්කණ්ඩිට මුවා වෙලා හැංගිච්ච ගමංමයි හිටියේ. මෙයිට කළිං හත් අට වතාවක්ම සිංහල අවුරුද්දට ඇවිදිං තිබ්බත් ඉස්තෝප්පුවෙං එහාට ඇතුල් වෙලා නෑ නෙව. අපෙ අක්කත් ඉතිං ඔය පුරුදුකාරි වගේ දැං ගියාට මං ඉන්තේරුවෙන්ම දන්නවා මුල්ම වතාවෙදි උන්දෑ මෙයිටත් වඩා බය වෙලා ඉන්ට ඇති ඕං.

      ඊලඟට ඉතිං ඉස්තෝප්පුවෙන් වලව්ව ඇතුළට ගොඩ වුණාය කියමුකෝ. හප්පොච්චියේ, ඒ තියෙන නා නා ප්‍රකාර බඩු කන්දරාව බලාගන්න මේ ඇස් දෙක මදි කොටිංම කිව්වොත්. වටේටම කැරකි කැරකි ඔළුව හරෝ හරෝ මං ඒ තේජමාන වලව්වේ විසිතුරු නරඹන අල්ල පනල්ලේ අපෙ අක්කා එහෙට මෙහෙට එබි එබී කාවදෝ හොයනවා. මං ඉතිං දැනගත්තා ඔයි කාවදැයි හොයන්නෙ කියලා, හැබැයි ඉතිං කට පියාගෙනම උන්නා. ආයෙ තව මොකවත් අහගන්ට උනොත් හෙම. ඉතිං ඔය වලව්වේ සිරි නරඹන අතරේ අනේ මං දැක්කා නෙවැ මොකද්දෝ අළු පාටට රවුමට ජනේලෙකින් එබෙනවා. මං ඩිංගක් බලාන උන්නා, අක්කා දිහාත් බැලුවා. එයැයිට මං ගැන සිහියක් නෑ, වටේටම අර අරුන්දැව හොයනවා. මං ඉතිං ඩිංග ඩිංග කිට්ටු කළා ජනේලෙ ගාවට. අනේ එතකොටනේ දැක්කේ ඒ මොකද්දෑ කියලා. අලියෙක්! හැබෑවනේ, වලව්වක් වුණහම අලියෙකුත් ඉන්ට එපායෑ! අනේ වයසට ගෙහුං උන්නට හරි හුරතල් අලියෙක්. ජනේලෙන් ඇතුලට දාගෙන හිටපු හොඬවැල මං අතගෑවා. අලියත් ඇස් පියාගෙන සනීපෙට හිටියා. ඔය අස්සේ මේං අපෙ අක්කා ඇවිදිං මයෙ අතිං ඇද්දා. 'මක් කරනවද මෙතන්ට වෙලා? යං යං විගහිං. අහරෙ ඔක්කෝමල්ලා රැස් වෙලාද කොහෙද කවුරුවත් පේන්ට නැත්තේ...' අක්කා මාවත් ඇදං වලව්වේ බිත්ති අතරෙං කොහෙදෝ යනවා, මං තනියෙං ආවනං හෙම වංකගිරියක අතරමං උනා වගේ තියෙයි.. ඇයි අප්පේ එච්චරට කාමරයි, දොරවලුයි හැම අතේම. ඔන්න ගිහිං ගිහිං අන්තිමේදී ආවා ටිකක් ලොකු සාලාවක් වගේ තැනකට. මෙන්න ඉස්සරහිංම වාඩි වෙලා ඉන්නවා කට්ටියක් පෝලිම පිරෙන්න. මුල් ආසන ටිකනං තාම හිස්, අපි වෙලාවට ඇවිත් හොඳ වෙලාවට. මාවත් ඇදං අයිනෙං අයිනෙං ඇවිදගෙන ගිය අක්කා - අප්පේ මේ ඉන්නෙ එයැයිගෙ මනමාලයා - කවිකාර මස්සිනා ලඟින් වාඩිගත්තා. මාත් ඉතිං ඒ ලඟින්ම ඉඳගන්න ගමං කල්පනා කළා මොකද්ද හැබෑට මේ රැස්වීම කියලා. 'මොකෝ සුනංගු උනේ?' ඔය අතරේ අයියණ්ඩි අපෙ අක්කගෙං අහනවා ඇහුනා. 'මේං මෙයැයිගෙං තමයි අහන්ට ඕන..' අක්කා මයෙ දිහාවට මූන දික් කලා. මං ඉතිං අහිංසක අසරණ දැරිවි වෙච්චි බිම බලාගෙන සිල් ගත්තැහේ උන්නා.

      ඔන්න ටිකකිං එච්චර වෙලා මීමැස්සො ගුලක වගේ සද්දෙ තිබිච්ච සාලාව එක සැරේම මීයට පිම්බාහේ සද්දයක් බද්දයක් නැතිව ගියා. මාත් ඉතිං ඔලුව උස්සලා බැලුවා මේ මක්කද එක සැරේ සිද්ද වෙච්ච අරුමේ කියලා. අනෙ අප්පේ හිස් වෙලා තිබ්බ මුල් ආසන ටික පිරිලා ඉතිරිලා ගිහිං... මැද්දෙංම මේ ඉන්නේ අනෙ අප්පොච්චියේ ලොකු කුමාරිහාමි... ඒරොප්පේ මහ රැජිණින්නාන්සේවත් මේ තරමට තේජවන්තයිද මන්දා... අර එහායිං ඉන්නේ පොඩි කුමාරිහාමි, සීදේවි කෙලි පොඩ්ඩ... දෙපැත්තෙං තව දෙතුන්දෙනෙකුත් උන්නා, මං පස්සේ දැනගත්තු හැටියට ඒ ඇත්තියොත් වලව්වේ ඉහළ නිලතල දරණ ඈයො තමා...

      Delete
    2. ඉතිං ඔන්න මේ රැස්වීමද නඩුවද මොකද්ද මන්දා තියලා තියෙන්නේ පොඩි කුමාරිහාමිගෙයි වලව්වෙයි ආරස්සාව සම්බන්දෙංලුනේ... අනේ එතන කතා බහ වෙච්චි වැඩි හරියක්ම මට තේරුණෙත් නෑ ඕං.. මං මේ අහසිං පාත් උනාහේ එදාම නෙවැ වලව්වේ රාජකාරි වැඩකට සම්බන්ද උනේ... දවාලේ කෑම වේල ගැන කතා වෙද්දිනං මං ඩිංගක් ඔළුව උස්සලා බැලුවා, ඇයි අප්පේ වලව්වෙං කෑම වේලක් කන්ට හම්බවෙන එක ලේසි පාසු වැඩක්යැ... මෙන්න බොලේ ඉවුම් පිහුම් වැඩ බාර වෙලා තියෙන උත්තම උත්තමාවියො දෙන්නගෙං එක්කෙනෙක්ව මට හොඳ හැටි දැකලා පුරුදුයි... බැලුවා මං හොඳ හැටි ඇස් දෙකත් ලොකු කොරාගෙන, හප්පොච්චියේ මේ අපෙ ජනූ නොවැ... හිච්චි සන්දියෙදි මට උන්නු හොඳම යාළුවා වෙච්චි... පස්සෙ එයැයි පවුලෙ උදවියත් එක්කලා මල්දෙණියෙ පදිංචියට ගියාට පස්සෙන් පහු මං මේ දැක්කමයි... මට සන්තෝසෙ ඉහවහා ගියා, නැගිටලා කතා කරන්ට හැදුවට, කොහෙ, අපෙ අක්කණ්ඩි එක එරවිල්ලයි එරෙව්වේ මං ආයෙ ඉඳං උන්නු පුටුවෙ පතුලටම කිඳා බැස්සා... මේ ඇත්තමයි... මට ඉතිං මේ වලව් වල හැසිරෙන්ට ඕන හැටි ගැන පුරුද්දක් නෑ නෙවැ... එතැනිං පස්සේ මං ඔළුව උස්සනවා තිහා හෙල්ලෙන්නෙවත් නැතුව හිටියා ඕං අර කවිකාර මනමාල මස්සිනාගේ කටිං මොකද්දෝ හරුපයක් එළියට පනිනකං. අනෙ අප්පේ, මං ඇස් කොණිං දැක්කා අපෙ අක්කා ඇන්නා තමයි වැලමිටෙං උන්දැට එලොව පොල් පේන්නත් ඇති මයෙ හිතේ... බොහෝම අමාරුවෙං තමයි ඕං මං හිනාව යාන්තං නවත්තගෙන උන්නේ...

      ඔන්න ඉතිං පැය හතරක් පහක් ඉතර තිස්සේ ඇදිච්ච ඒ සමිතිය හමාර උනේ දවල් කෑම වෙලාවට තමයි... බඩ ගින්දරේ පිච්චි පිච්චි උන්නත් මට හම්බ උනේ පෝලිමේ අන්තිමම තැන නොවැ... මක් කොරන්ඩද ඉතිං මං කෝඩු කාරයා වෙච්චි, ජ්‍යෙෂ්ඨ උතුමොන්ට උත්තමාවියන්ට මුල් තැන දීලා අරුන්දතී අක්කගෙ පස්සෙං පෝලිමේ අගිස්සට වෙලා බලං උන්නා.. හපොයි ඉන්නවා ඉන්නවා මේ පෝලිම හෙල්ලෙන්නෙවත් නෑ නෙව... අමාරුවෙං අමාරුවෙං බෙල්ල දික් කොරලා ඩිංගක් එබිලා බැලුවා... කවුද මන්දා කෑම මේසෙ ලඟ හිටගෙන තියෙන ඔක්කෝම ජාති බෙදාගෙන බෙදාගෙන යනවා, මටනං බයත් හිතුණා පොලිමේ අගිස්සට එද්දි කෑම මොකවත් ඉතුරු වෙන එකක්වත් නැද්දෝ කියලා... ඒ අස්සේ මෙන්න අපේ කවිකාර මස්සිනත් පෝලිමේ ඉස්සරහම හරියකිං ඉන්නවා අපෙ අක්ක මෙහෙ පෝලිමේ පිටි පස්සෙම ඉන්ඩ ඇරලා, අනේ හැබෑටම! අක්කට හොඳනං ඉතිං මයෙ මොකෝ, හුම්... ඊට පස්සෙ තමා ඕං මයෙ ඇස් දෙකට පෙනුනේ කෑම මේසේ දිහා... අනෙ අප්පේ, කෑම මේසයක්ද මල් වත්තක්ද මන්දා... අර මොකද්දෑ මැද්දෙංම තියලා තියෙන්නේ කහ පාටට! හත් ඉලව්වේ, මේං ඒකෙ මූණකුත් කපලා... අපෙ ජනූනං වෙන්ඩ බෑ මේ කෑම හැදුවේ, එයා ඔහොම විච්චූරණ කොරන ළමයෙක් නෙවෙයි නෙවැ... එකත් එකටම අර අනිත් උන්දෑ වෙන්ඩ ඇති... අන්තිමේදී ඕං යාන්තං තිබ්බ අරුමෝසං පාට පාට කෑම ඩිංගක් බෙදාගෙන පැත්තකිං වාඩි වෙලා කන්ට ගත්තයි කියමුකෝ... හැබෑම රහයි නෙව... අප්පා, තව වටයක් යන්ට හිතයි කෑම මේසේ පැත්තේ... ඒත් අපෙ අක්කණ්ඩි එක්ක බෑ නෙව... එයැයිත් එක්කලා එව්වට ඉඩක් නැතුවා...

      ඔන්න ඉතිං අන්තිමේදී කාලා බීලා අහකලා හැමෝටම ආයිබොවං කියලා අපි දෙන්නත් එක්කලා ගෙදර එන්ට පිටත් උනා... ඕං ඔහොමයි වලව්වට පය තියාපු කෝඩුකාරිගෙ කතාන්දරේ...

      Delete
    3. සිත්තමී,

      අප්පටසිරි තැන්කූ තැන්කූ...කියවද්දි හිත සැණෙන් ඇදීගියා වසර අටක් වගෙ අතීතයට....

      සුබ පැතුමට ස්තූතියි නෝනා...:)

      Delete
  5. මොකක්ද බන් පරණ පෙට්ටගම් අවුස්සන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත,

      මේ දවස්වල ටිකක් වැඩ වැඩියි බං...මොකවත් ලියන්ට නෑ කිසිම කිසි ඉස්පාසුවක්..

      ඒ හින්ද ඔය මම ලියපු පරණ කමෙන්ට් ටිකක් දාන්ට කියල හිතුව..පුලුවන් ඉක්මනට ආයම ලියන්ට ඕන...ලියන්ට ඕන..Normal transmission would be commenced ASAP...

      Delete
  6. Maara lassanaine parana comments tka,,

    ReplyDelete
  7. Maara lassanaine parana comments tka,,

    ReplyDelete
  8. කලින් දැනන් හිටියනම් මාත් ඇප්ලිකේෂන් එකක් දානවා. දැන් වේකන්සි නැද්ද දන්නේ නෑ.. පාර්ට් ටයිම් කරන්න වගේ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...