Tuesday, November 28, 2017

548. The Story Of My Marriage - 51 - ලොක්කා සහ බුරුසුවා - Lokka And Burusuva…

"හරි හරි ඇත්ත තමයි කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"

මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.

"වනක්කම්..වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."

ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.

පාසානිබූතයිස්ඩ් වෙලාම ඉඳලත් හරියන්නෙ නැහැ නෙව. හෙමීට මෙතනින් මාරු උනානම් සරීර සවුක්‍යයට ඉතාම ගුණදායක බව කල්පනාවට අරගෙන මම හෙමිහිට ඔලුව දාල බැලුව ඉස්සරහ දොරකොඩ ගාව මොකදැයි සිද්ද වෙන්නෙ කියල හිට.

දොරකොඩ ගාව ඉන්නව තනිකර පිළිගැනීමේ කමිටුවක්ම. අනන්‍යාගෙ අම්මයි තාත්තයි, එතකොට ශෝභා නැන්ද....තව කංජිපුරම් සාරි වල එතිච්ච දෙගොඩහරි වයසෙ ආන්ටිල තුන්දෙනෙක්...ඒ එක්කම සෆාරි සූට් ඇඳපු අංකල්ල දෙන්නෙක්..එසේ හෙයින් මා හිතවත/හිතවතිය මෙසේ සැදුම්ලත් ඒ අෂ්ඨපුද්ගල පිළිගැනීමේ කමිටුව සිනා සපිරි මුවින් සහ විදහාගත් දෑසින් යුතුවැ යෝජිත මනාල මහතා ඇතුළු කණ්ඩායම පිළිගනුවස් උදක්ම සැදී පැහැදී සිටියෝය. ඉරකි තිතකි. මෙතන ඉරකි තිතකි කිව්වෙ විශ්මයාර්ථ ළකුණ නොහොත් එක්ස්ක්ලමේෂන් මාර්ක් එක.

කට්ටිය හරිෂ්කාරයව පිළිගත්තෙ හරියට ඉස්සෙල්ලාම හඳට පා තබල ආපසු එන පළවෙනි ඉන්දියානුවාව පිළිගන්න විදිහට. අම්මාපල්ල මගෙ ඉතිං මාලු නටනව. මට අහන්ටත් හිතුන එතනම හරිෂ් ගොයියගෙං හාවගෙ වල්ගෙ එහෙම පෑගුණෙ නැද්ද කියල. මඟුල් ගෙයක උස්නෙ වැදුනත් ඇති  මේ නාකි ආන්ටිලාටයි අංකල්ලටයි පිස්සු හැදෙනව වගෙ වෙනව. ඒක නම් දිල්ලියෙයි චෙන්නයිවලයි කියල කිසිම වෙනසක් නෑ. එහෙත් එකයි මෙහෙත් එකයි.

මම දැන් මංජුට උගන්නන්ට අනන්‍යාලගෙ ගෙදෙට්ට ඇවිල්ල ඇති මයෙ හිතේ දහ දොළොස් ගමනක් විතර. ඊට වැඩි මිසක අඩුනම් නෑ. ඒත් ඒ කිසිම දවසක මීටරේ කියවල ලයිට් බිලේ සල්ලි එකතු කරං යන්ට එන මනුස්සයට වඩා පිළිගැනීමක් මට ලැබුනෙ නෑ. විශේෂයෙන්ම අනන්‍යාගෙ තාත්ත මට සලකන්නෙම මහම කරදරකාරයෙක් විදිහට. අර ඉන්නෙ එහෙම කට්ටිය. ඇතුවත් බැරි නැතුවත් බැරි කියල. අන්න එහෙමයි මට සැළකුවෙ මෙච්චර කාලෙකට. ඒත් පුහ්.....බලන්ට එපාය හරිෂ්කාරයව පිළිගත්තෙ හරියට ලෝඩ් බකිංහැම් ආව වගේනෙ.

අනන්‍යාගෙ අම්ම හරිෂ් දිහාවෙ බලාගෙන හිටියෙ හෙණ හුරතල් අවුරුදු දෙක තුනක විතර කොලු පැංචෙක් දිහා බලා ඉන්නව වගෙ. උන්දැගෙ කට කණේ කොටිම්ම කිව්වොත්. ඒ හුරතලේ කොහොම වෙතා හරිෂ්ගෙ බුරුසුවම ඇති අවුරුදු දෙක තුනක කොලු පැටියෙක් විතර. 

බුරුසුව කියනකොට ඔන්න මට මතක් වෙන්නෙ අහ්මදාබාද්වල අයි.අයි.ටී. එකේ ෆර්ස්ට් ඉයර් එකේ මගෙ රූම් මේට්. මිනිහ ලංකාවෙන් ඇවිල්ල හිටියෙ. හොඳ බ්‍රයිටා. මිනිහට අපි ආදරේට කිව්වෙ ලොක්කා කියල. ලොක්කා කියල කියන්නෙ ලංකාවෙ බාසාවෙන් පවුලෙ වැඩිමලාය කියන එකලු. මිනිහ ලංකාවෙ යාලුවො නෑදෑයො ඔක්කොම ලොක්කයි කියපු හින්ද අපිත් කිව්වෙ ලොක්ක කියල. 

ඉතිං ඔය බුරුසු කතාවට ලොක්ක සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. අනේ ලොක්කට දාරානිපාත බුරුසුවක් තිබ්බ හින්ද එහෙම නෙවෙයි ඔන්න. ලොක්ක ඇවිල්ල නිතරම ෆුල් ෂේව් කරල ඉන්න සුදු හැන්ඩිය. ලොක්කයි බුරුසුවයි සම්බන්ධ වෙන්නෙ මෙන්න මේ විදිහටයි. ඒ දවස්වල හිටපු ලංකාවෙ ජනාදිපතිගෙ තිබ්බ මහ විසාල බුරුසුවක්. 

ආ..උඩු රැවුලට නොහොත් මුෂ්ටෑෂ් එකට ලංකාවෙ ස්ලෑංග් වර්ඩ් එකක් විදිහට බුරුසුව කියල කියනවයි කියල අපිට කිව්වෙත් ඔය ලොක්කම තමා. ඉතිං අර මම කිව්වෙ ඒ කාලෙ ලංකාවෙ හිටපු ජනාදිපති බුරුසුවා. අපේ ලොක්කට ඔය මනුස්සය පෙන්නන්ට බෑ. පුදුම තරහක් තිබ්බෙ. 


අපේ ලොක්කාගේ අතිජාත හිතවතා කරපු පව්
ගෙවන ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

අපි ඒත් ලොක්කව කුල්මත් කරන්ට කියල අහනව "මොකද්ද බං උඹ ඔච්චර ඔය මනුස්සය එක්ක තරහ? උඹට මොකක් කලාටද?" කියල. ඒ වෙලාවට ලොක්කගෙ කොණ්ඩෙ කෙලිං වෙනව. මූන රතුවෙනව. ලොක්ක සුදු කොල්ල හින්ද මල පැන්නම මූන රතුවෙනව හොඳටම හොයන්ට පුලුවනි. 

ඉතිං ලොක්ක දත්මිටි කාල කියනව. "ඒ යස්සය මට පෞද්ගලිකව කරපු දෙයක් නෑ. ඒත් ඔය තක්කඩි බුරුසුව මගේ රටට කරපු විනාසෙට ඕකට පටිසන් දෙනව. ඔන්න බලාපල්ලකො මම කියන්නෙ බොරු නං...තව වැඩි කල් යන්නෙ නෑ. ඔය පට්ට හොරාට වෙන්නෙ වැලේ වැල් නැතුව එක එකාගෙ අගුපිල්වල ගිහිල්ල ලගින්ට"

ලොක්ක එහෙම කියල බෙරිහං දෙන්නෙ දෑතිම්ම ඉසකෙස් මිටිගුටියට අරගෙන ඇද ගන්න ගමං ඒ වෙලාවෙ ලොක්කගෙ මූන මහ බයංකාර වේසයක් ගන්නව. ඔය හින්දම අපි ඔය සබ්ජෙක්ට් එක කතාකලේම නෑ පස්සෙ පස්සෙ. 

දවසක් ලොක්ක මා දැක්ක මෙහෙමත් කිව්ව. "ආ තව එකක්..මචං ක්‍රිෂ්..ඔක්කොමත් හරි මට දුක බං මේ හොඳ රටේ ලෝකෙ දැනුම් තේරුං තියෙන උගත් කොල්ලො. මෙවුංට මෙච්චර ඇස් පනාපිට පේන්ට තියෙද්දිත් අර බුරුසුව රටට කරන විනාසෙ එව්ව දැක්කෙ නෑ වගෙ ඌ මත්තෙම නහින්ට හදනවනෙ. පුදුම වැඩේ තමයි ඒක. ත්‍රස්තවාදියො පැරැද්දුවෙ බුරුසුවාලු ඒ හින්ද ඒ මනුස්සය ඔහෙ ඕන එකක් කරගත්තාවෙලු. ඔන්න ඔහොමයි කියන්නෙ. උඹ මම හිතන්නෙ ක්‍රිෂ් විශ්වාස කරන එකකුත් ලංකාවෙ ඔය වගෙ මෝඩයො රැලක් ඉන්නවයි කියල.."

"හෙහ්,හෙහ්, ඇත්තද?" මම ඇහුව…

"ඇත්තද කියලත් අහනව. එවුංට අපි කියන්නෙ බයියො කියල….." ලොක්ක එහෙම කියල බක බක ගාල හිනා වුනා.

ඔය බයියො කියන එකේ තේරුම මම ලොක්කගෙං අහගන්ට ඕනය කියලම හිටිය. කොහොමඉං කොහොමිං හරි අමතකම වුනා. ආයම දවසක අහගන්ට ඕන. කොහොමත් අනන්‍යායි මායි බඳින දවසට ඔය ලංකාවෙ මගෙ යාලුවො සෙට් එකටම ඉන්වයිට් කරන්ට ඕන....එදාට ඔය අමතක වෙච්චි පරණ කතා ඔක්කොම මට අහගත්තෑකි...හෙහ්,හෙහ්,

හැබැයි දන්නවද ඔහෙල? ලොක්ක කෑගහල කියාපු දේ හරියටම ඇත්ත වුනානෙ. ඒකට ඒ හැටි කාලයක් ගියේ නෑ. බුරුසුවාට චන්දෙං පැරදිල පැදුරු කොට්ට කරගහගෙන ආපහු ගමට යන්ට සිද්ද උනා.

ඊට දවස් දෙකකට වගෙ පස්සෙ ලොක්ක මට කෝල් එකක් දුන්න. "මචං ක්‍රිෂ්, කොහොමද මම කිව්ව වගේම උනේ නැද්ද? ඕක තමයි කියන්නෙ මචං මේ ලෝකෙ දෙයියො බුද්දු ඉන්නවනං කවදාවත් අදර්මෙට රජ කරන්ට බෑ කියල. දෙයියො එකතුවෙලයි බුරුසුවව පන්නල දැම්මෙ ආය මේ සම්ම ජාතියකට මිනිහට ලංකාවෙ නං බලය ගන්ට බෑ. මම නම් උදේ හවා දෙයියංට කියන්නෙ නඩු අහල ඔය මිනිහව හිරේම යවන්ට ඕන කියල. දෙයියම්පල්ල"

"උඹට දැං සන්තෝස ඇති නේද?" මම ඇහුව. 

"සන්තෝසයිද කියලත් අහනව. අපිට අලුත් ජනාදිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි ඉන්නව දැං. ජනාදිපති කොහොම වෙතත් අගමැති ගැන මට සීයට දෙසීයක් විස්වාසයි ක්‍රිෂ්, මිනිහට හොඳ ඔලුවක් තියනව….." ලොක්ක බෝමත්ම තංතෝසෙං කිව්ව.

හප්පේ මදැයි බුරුසුවක් ගැන කියන්ට ගිහිල්ල ගිය වට වන්දනාවක තරම. ඔය වට වන්දනාවෙ යනව කියන එකත් මට පුරුදු වුනේ ලොක්කගෙන්ම තමයි. ඒකත් මේ ඔය කරන්ට ආපු වැඩේ පැත්තක තියෙද්දි වෙන වෙන අනම්මම් කරනවට කියනවට ලංකාවෙ කියන එක්ස්ප්‍රෙෂන් එකක්ලු.

හරි හරි ලොක්ක ගැන තව කතා අනන්තවත් තියනව. හෙමිහිට කියන්නංකො හොඳද? ලොක්ක ඇරුනු කොට ලංකාවෙ කොල්ලො තව හතර පස් දෙනෙක්ම හිටිය  මගෙ බැච්මේට්ස්ල. උනුත් ආය කියල වැඩක් නෑ එළ කොල්ලො. කට්ටිය ගැනම තියනව කතන්දර වකාරෙට. කියන්නං ඉඩ ලැබෙන ලැබෙන විදිහට. එහෙම හොඳා නෙවද?

ඉතිං අර බුරුසුවා...මේ කියන්නෙ අර ලොක්කගෙ ජම්මාංතර හතුරු බුරුසුවා ගැන එහෙම නෙවෙයි හරී? මේ කියන්නෙ අනන්‍යාගෙ මනමාල බුරුසුවා නොහොත් හරිසා ගැන.

ඉතිං හරිෂ් නම්වූ ඒ බුරුසුවා තෙමේ මේ උදේ පාන්දර හතටත් කළුම කළු පාට සන්ගිලෑස් කූස්ටමක් දාගෙන උන්නෙ. පොර හිතාගෙන ඉන්නෙ රෙජින කියලද දන්නෙ නෑ. රෙජින කියන්නෙ රජ්නි කාන්ත්ට. කොල්ලො කුරුට්ටො බහුතරයක් කියන්නෙ එහෙම. රෙජින කියල. මට ඉතිං හරිසගෙ ගොන් පාර්ට් එකට මැරෙන්ට හිනා. ඒත් හිනාවෙන එක හොඳ නෑනෙ. මම බැරෑරුම් පෙනුමක් ආයාසයෙන් මවාගෙන අවස්තාවට මූන දුන්න.

කොහොම හරි මනාල මහතා ප්‍රමුක දෙමාපිය නෑදෑ හිතවතුන් ගාම්බීර පියවරෙන් ගිහිල්ල සාලෙ අසුං ගත්ත. හැබැයි දෙයියංගෙ නාමෙට බුරුසුව ඉඳගත්තු ගමං සඟ ගලවල ඇඳගෙන උන්නු අලු පාට සපාරි සූට් එකේ උඩ සාක්කුවෙ දාගත්ත. එක අණ්ඩක් එලියට පේන විදිහට. මම හිතන්නෙ ෂුවර් ඇන්ඩ් ෂොට් ඒක ඇවිල්ල රෙජිනගෙ සුප්‍රසිද්ද ඇක්ෂන් එකක් වෙන්න ඕන.

අනන්‍යාගෙ තාත්ත හරිෂ් පස්සෙම්ම ගිහිල්ල මිනිහ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගත්තට පස්සෙ අඩි දෙකක් තුනක් පස්සට අරගෙන මූනෙ හිනා කටක් පුරෝගෙන වටපිට බැලුව. මනුස්සයට මාව ඇස්සර වැටුනෙ ඔන්න ඒ වෙලාවෙ. පොඩි බූල් තුවායක් අරගෙන පිහල දැම්ම වගෙ මනුස්සයගෙ මූනෙ පිපිල තිබ්බ හිනාව එක පාරටම අතුරුදන් වුනා. ඒ එක්කම වගෙ කට බාගෙට ඇරුන. අංකල් මගෙ මූන බලල ආයම වටපිට බැලුවෙ ටෝටලි අඤ්ඤකොරොස් වෙලා. 

"ආ.......අංකල් මම මේ යන්නයි හැදුවෙ.මම උදෙම්ම ආවගෙ මංජුට ෆිසික්ස් කරන්ට"

"ආ..ආ..ආ…" අංකල් කට ඇරගෙනම මොනවද කියන්ට හැදුව. 

අන්තිමට කට වහල දිව එලියට දාල තොල් එහෙම තෙමාගෙන ගොත ගගහ කතා කලා…"මේ..මේ..මේ..තමුං..තමුං...උදේට කාල කරල එහෙමද ඉන්නෙ?"

"ආ...ආ..ආ…" ඒ ගොත ගැහීමේ මගේ වාරය.."නැන් ..නෑ..නෑ...තවම කෑවෙ නම් නෑ.."

"එහෙනං ඉන්නව කෑම ටිකක් කාලම යන්ට…"

ඒ වෙනකොට අංකල්ගෙ ගොතේ හරි ගිහිල්ල. අංකල් එහෙම කියපු විදිහට "මට බෑ මං යනව" කියල කියන්ට මට මොකක්දෝ බයක් වගෙ දැනුන. අනික මෙතනිං තොලොංජි වෙලා යන්ට මට කොච්චරනං උවමනාව තිබ්බත් ටිකක් ඉඳල මෙතන මොකද වෙන්නෙ? කොහොමද මේ නාඩගම රඟ දැක්වෙන්නෙ? එහෙම කියල ඇස්පනාපිටම බලාගන්ටත් ඊට වඩා උවමනාවකුත් තිබ්බ කිව්වම මොකද ආය? බොරුවක් නෙවෙයිනෙ.

අංකලයා මට උදේ කෑමට ඉන්ටෙයි කියල බලකරලම කිව්වෙ මොකක් හෝ යටි අදහසක් ඇතුව වෙන්න ඕන ආය ඒකෙ දෙකක් නෑ. ඔය මනුස්සය හොඳට හිතල මතල වැඩකරන්නෙ හීන් නූලෙං. සමහරවිට හරිෂ්ගෙ යසෝ කීර්තිය මගෙ දෑහැටම දැකබලා ගන්ට සලස්සල මයෙ ඇස් නිලංකාර කරවල මෙතනින්ම අනන්‍යා ගැන මගෙ තියන බලාපොරොත්තු අතෑර ගන්ට සලස්වන්ට වගෙ මොකක් හරි පැලෑනක් මිනිහගෙ හිතේ වැඩ කලා වෙන්ටත් ඇති. කවුරු දන්නවද? හුහ් ඒත් එව්ව කොහෙද මාත් එක්ක..බලමුකො...

Friday, November 24, 2017

547. පුවක් එෂැණිං 36….Current Hot Topics - හොරු, සුනාමි හොරු සහ බැඳුංකර හොරු…..

බැඳුංකර නාඩගම ගැන මොකවත්ම නොලියන්නෙමිය කියා සපත කරගෙන උන්නෙමිය. ඒත් යූඇම්පී පිස්සු හුටංලා නටන නාඩගං දැක්කම නිකං අන්නසෝත්තරය දිගේ සුට්ටං මකුලු පැටව් රොත්තක් එහාට මෙහාට දුවනව වාගේ කැසිල්ලක් එනවාය. 

ඒ අස්සේ රනිලා කොමිසම ඉදිරියේ සාක්කි එහෙම දීල එහෙම්මම ආපහු ෆ්ලවර් රෝඩ් එකට ගොහිං ඇඟපතවත් හෝදා නොගෙන ගිනිකුන්දමේ දිව්වේ තිරුපතියටය. 

එහෙදි බඩ මැදිං පටල ගන්න සුදු සරම කොමිසමට එනකොටම සියරට පත්තරේක ඔතාන ඇවිල්ල සාක්කි දීල ඉවරවෙනකල් (සාක්කි දෙන්ටය කියල දහ අට පාලියම නටල ආවට ඒ කෝණංගියා කලේ අහන අහන පුරස්නෙට "අනේ මම දන්නෙ නෑ" "අප්පේ මාව නොමඟ යැව්වනෙ බලන්ටකෝ" කියල මූනේ ලේ පොදක් නැතුව නාහෙට කෙලිං ඉස්සරහ බලාගෙන කටේ තොලේ නොගෑවී කියාපු එකය. ඒක වෙනම කතාවක්ය. කොමිසමේදි රනිලා සාක්කි දුන්නු ආකාරයේ ආතල් එක ගැන ආයම ලියන්නම්ය) කොමිසම ඉස්සරහ මුර කුටියේ තියලා තිබුනාය. ආපහු යනගමං ඒක අරගෙන එහෙම්මම තිරුපති ගියාය.

"අර්ජුන් මහේන්ද්‍රන් මා නොමඟ යැව්වා"
බැඳුම්කර කොමිසම ඉදිරියේ රනිල් සාක්කි දෙයි....

අම්මාපල්ල මේ වගේ අඳබාලයො ජාතියක් අපේ නායකයො වෙලා ඉන්න එක අපේම කරුමයක්ය. අර නීලකාසයත් අවුරුද්දට තුං හතර පාරක්වත් තිරුපති දුවන්නේය. ඒ මනුස්සය උපංගෙයි බයිය හින්ද එක අතකට ඒකට කමක් නැතය. "මම බයියා..." කියල එටුමාම කියාගත් නිසා ඒ ගැන කාටවත් විචිකිච්චාවක් තියෙන්ටත් බැරිය. ඒ හින්ද නීලකාසයා එහෙම තිරුපති ගියාට රනිලා වාගෙ තීක්සන බුද්දිමත් අපේ රට නවීන තාක්සනයෙන් දියුනු කරන්ට හදන රටේ ලෝකෙ ඇවිදලා පුරුදු නායකයෙක් එහෙම තිරුපති දුවනව දැක්කම බඩ දඟලන එක වලක්වාගන්ටම බැරිය.

කතානායක කරුවල ජයසූරිය ඒ කාලෙ නිතර දෙවේලේ සායි බාබා බලන්ට ඉන්දියාවේ දිව්වේය. එහෙම දුවපු එකෙං කරුවල ලොක්කාට ඒ හැටි හොඳක් වෙච්චි පාටක්නම් පේන්ට නැතිය. ඔය කරුවලයා එක පාරක් නීලකාසයගෙ මොකක්ද එකක් සක්තිමත් කරන්ට කට්ටියකුත් එක්ක යූඇම්පිය කඩාගෙන එහාට ගිහිල්ල එහෙං කැපිල්ල දානකොට කට්ටිය නැතුව තනියම ආපහු ආවේය. එහෙම වෙච්චි එක හැබැයි රනිලාගෙත් වැරැද්දය.

අනුර බණ්ඩාරනායකත් බක්තිමත් සායිබාබා අනුගාමිකයෙකි. බාබාගේ පිහිට කොච්චර හොඳට අනුරට ලැබුණද කිව්වොත් මුලු ලෝකෙම්ම අගමැතිවරුන් දෙන්නෙක්ගේ පුතා සහ ඒ මදිවට ජනාදිපතිනියකගේ මල්ලී වන එකම මනුස්සයා හැටියට අනුරට කතානායක කමෙන් ඉහල තනතුරකට කවදාවත්ම එන්ට ලැබුනේ නැත. 

හැබැයි නීලකාසයා නම් අනුරව අන්දවාගෙන තමංගෙ වැඩ ටික ඉතාම අපූරුවට කරගත්තේය. "ඕයි නිතරම රෙද්ද උස්සගෙන මාව බලන්ට මෙහෙ දුවගෙන එන්ට එපා. තමුසෙගෙ පස්සෙම්ම වැටිල ඉන්න අර බුරුසුවාගෙං පෙරේසං වෙනවා" කියලාවත් සායි බබා අනුර දැක්කිං කිව්වාද කියල ආරංචියක් නම් නැත.

මෙතෙක් ලිව්වේ ඇත්තම කිව්වොත් පූර්විකාවය. නැත්තං පෙරවේසයය. ඔන්න කතන්දරේ හරිහැටියට පටම් ගන්නේ දැම් ඉඳලාය.

"There are three kinds of lies. Lies, damned lies, and statistics" (බොරු වර්ග තුනකි. ඒ වනාහී බොරු, පට්ටපල් බොරු සහ සංකියාලේකන වසයෙනි) එහෙම කිව්වෙ විට්ටෝරියා මහ රැජින යටතේ දෙවරක්ම මහා බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දැරූ බෙන්ජමින් ඩිස්රායෙලී බවට බොහෝදෙනා විශ්වාස කරන්නෝය. 

ඒ වගේම අපිට ඕනනං මෙහෙම පඬි වදනක් නිර්මානේ කරන්ටත් පුලුවනිය. "හොරු වර්ග තුනකි. ඒ වනාහී හොරු, සුනාමි හොරු සහ බැඳුංකර හොරු වසයෙනි" There are three kinds of thieves. Thieves, tsunami thieves and bond thieves.

බැඳුංකර හොරකම රනිල් හාමුගේ ගේමක් බවට මුල ඉඳලාම සැකයක් නොවීය. රනිලා පාර්ලිමේන්තු චන්දෙ කරන්නට සල්ලි හොයාගත්තේ ඔය බැඳුංකර මගඩියෙනි. කොහොමත් ලංකාවේ චන්දයක් කරන්නට එක් පක්සයකට අඩුම ගානේ කෝටි තුංහාරසීයකිං මෙහා බැරිය. 

මේ රටට මහම විනාසය කරපු ජේ.ආර්. පප්පා හවහට හවහට බැරැන්ඩි සුවල්පයකුත් අරගන්නා ගමං ලාවට බාවනා පාරකුත් දාගෙන ජීවිතේ සැඳෑ සමය සුවසේ ගත කොරලා පරලෝකප්පරාප්ත වුනේ එහෙම වෙන්ට වැඩ කටයුතු සලස්සලාය. "මට රකින්ට පරපුරක් නැත" කියල පොලවේ පස් කෑවාට යැංකි ඩිකී මතු උපදිනා පරම්පරා සීයක් හමාරක්ම ලේසියෙං ගොඩ එන්ට බැරි නරා වලක දැම්මේය.

රනිලා අගමැතිවෙලා යන්තමට මාස දෙකක් යන්නටත් කලිං බය නැතුව මෙහෙම පට්ට වංචාවකට අත ගැහුවේ මේකෙං බේරෙන්ට කෙරේමෙකුත් හිතාගෙනම වෙන්ට ඕනෑය. නලුවෙක් නෙවෙයි මොලයක් කියලා විරුදාවලිලත් එතුමා එහෙම නැතුව ඔය ආවට ගියාට මගඩිවලට සම්බන්ද වෙන්නේ නැතිය. 

මෙතන වුනේ මට හිතෙන විදිහට මේ සල්ලි කන්දරාව යටි මඩි ගහගෙන ඒකෙං මහ චන්දෙ කරල සෑහෙන බහුතර බලයක් හදාගත්තානං ඔය කොයි කොයි මගඩියත් යට ගැහුවැහැකියි කියල නලුවෙක් නොවන මොලේට හිතුන එක වෙන්ට ඕනෑය. "නීලකාසයා අර අච්චර සුනාමි සල්ලි කන්දරාවක් වංචා කරලත් ඔය කිසිම අවුලක් නැතුව ඉන්න එක මට බැරි මොකද?" කියල නලුවෙක් නොවන මොලේ හිතුවා වෙන්ටත් පුලුවනිය.

ඒ උනාට අන්තිමට සිද්ද උනේ නටපු තොයිලෙකුත් නැතිය බෙරේ පලුවකුත් නැතිය කිව්ව වගෙ යන්තමට පාරලිමේංතුවේ නම් ජාම බේරගත්තට නලුවෙක් නොවන මොලෙං හිතපු විදිහට බැඳුංකර වංචාව හෙමීට වලදාල සේප් වෙන්ට බැරිඋනාය. නීලකාසයා පරද්දන්ට චන්දෙ දීපු ලස්ස හැට දෙක අපේක්සා කලේ මෙහෙම හොර වන්චා දූසන ආයෙත් කෙරෙනව බලන්ට නෙමේය කියල පුරවැසි බලෙයි, අර බලෙයි, මේ බලෙයි ඔක්කොම එක ඕසෙට කෑගහන්ට ගතිපි නැද්ද? 

නීලකාස තෙමේ නං මුල ඉඳලම බැලුවෙ බැඳුංකරේ උඩ ද දා කෑගහන්ට නොව ඒකෙනුත් වාසියක් අරගෙන රනිලා පට්ට අමාරුවෙ වැටිච්චි වෙලාවෙ මොකක් කරි තමංට වාසි ඩීල් එකක් දමා ගන්ටය. "හරි මම බැඳුංකර වංචාව යට ගහල දෙන්නං අපෙ නාමෝල් කොලුවයි සිරිලිය නෝනයි හිරේ නොයවා බේරල දෙන්ට ඕන ඇහුනද? මොකද කියන්නෙ ඔහේ කැමතිය?" අන්න ඒ වගේ ඩීල් එකකටය.

නලුවෙක් නෙවෙන මොලේ හරිහැටි කම්පනා කොරල ඔය මගඩිය කරානං මේ කපේට ඕක අල්ලන්ට බැරිය. ඒ අතිං සුනාමි තක්කඩියා රජගහේ බඩුවක්ය. එහෙං මෙහෙං සුනාමි සීන් එක බදර් වෙනකොට ඒ බුරුසුවා කලේ කෙලිම්ම ඉහලම උසාවියෙ ඉහලම තැන අල්ලපු එකය. ඒ කිව්වෙ අගවිනිසොරාට වැඩේ බාර දුන්නේය. 

ඔය අගවිනිසොරා වනාහි බුරුසුවාගේ මංගල්ලේ දෙවෙනි මනමාලයාට පවා හිටි, බුරුසුවා කොලඹ විස්ස විද්දියාලෙ පුස්තකාලෙ වැඩකරන කාලෙ ඉඳලම බුරුස්ගේ අතීසාර මිත්තරයාය. එබැවින් නීලකාසගේ ඒ අතිජාත මිත්තරයා සුටුස් ගා නඩුව වීසි කර දැම්මේ එහෙ බලල මෙහෙ බලන්ටත් කලිංය.

ඒ කරපු දහපදුරා වංචාව තමම්ම පිලිඅරගෙන ඒ අගවිනිසොරා පස්සෙ කාලෙක ජාතියෙම්ම සමාවත් ඉල්ලුවේය. ඒත් ඒ වෙනකොට වෙන්ට ඕනෑ හරිය වෙලා අහවරය. ඒ කිව්වෙ රටේ ඉහලම උසාවියෙං සුනාමි හොරා නිර්දෝසයි කියලා තීංදුව ලැබිලා අහවරය. ඊට පස්සෙ ඉතිං කිසිම කෙනෙකුට කොරන්ට කිසිම දෙයක් නැත. අපිට තියෙන්නෙ අර කොහෙද මොකද්ද ගහගෙන බුදියෙන්ට විතරය.

ඉතිං සුනාමියාගේ ආදර්සෙ අරං නලුවෙක් නෙවෙන මොලේටත් තිබ්බෙ කෝකටත් කියලා ඔය වගෙ බාරදූර අවස්තාවක තමංට පක්ස තීන්දුවක් දීගන්ට අර හිටපු අගවිනිසොරා වගේම වලවෙට්ටුවෙක් පත්කොර ගන්න එකය. 

එහෙම අලුතෙං පත්කොරගන්ට උවමනාවක් තිබ්බේද නැත. යා පාලනේ එනකොට හිටියෙත් සුනාමියා පත් කරපු ඒ වගේම හොර දෙටුවෙකි. තමං අයිං කරන්නෙ නැත්තං ඕන ඕන විදිහට තීංදු උනත් දෙඤ්ඤම්ය කියල ඒ හොර දෙටුවා ඒ කාලෙ කණිපින්දම් කියූ බව නොදන්නා කෙනෙක් මේ රටේම නැත. අන්න ඒ වගෙ ටොප් ක්ලාස් බඩුවක් අගවිනිසොර පුටුවෙ ඈඳිගෙන හිටියානං නලුවෙක් නොවන මොලේට මේ පරිප්පුව කන්ට වෙන්නේ නැත. කොමිසං ගානේ සාක්කි දිදී ඇවිදින්ට වෙන්නේද නැත.

යූඇම්පියේ කට්ටියම එකතුවෙලා කතා කරල ගහපු ගැහිල්ල අතේ කෝට් උනාට පස්සෙ දැං බලලා ගලේ රුන්නා වාගෙ විරවපට්ටං ගහගෙන දෙයියෝ පිස්සු එලෙව්වා වාගේ කටට එන දෙයක් කියනවා ඇරෙන්නට වෙන කරන්ට දෙයක්ද නැත.

හැබැයි මොනව උනත් එකක් කියන්ට ඕමනාය. නලුවෙක් නොවන මොලේ කොයි වෙලාවෙත් පට්ට ගහන ලෙච්චමි පාලනයේ මූලදර්ම අනුවම බැඳුංකර මගඩිය සිද්ද වෙලා තියන බවත් කියන්ටම ඕනෑය. කට්ටියම රැස්වෙලා සාකච්චා කරලා වැඩි කැමැත්තෙං තීරනයකට ඇවිල්ලා එහෙමලුය ඔය වැඩේ කලාය කියන්නෙ. ලෙච්චමී රජ දරුවොත් එහෙමලුය.

මේ ඔක්කොමත් හරිය. මේ මගඩියෙං සුනාමි තක්කඩියාට යම් වාසියක් යනවානම්  ඉවසන්ටම බැරිය.

ඒ හින්ද මේ මගඩියෙං වෙන මොකක් උනත් fall out එකේ Advantage එක නීලකාසයාට යන්ට දෙන්ට නම් බැරිය. එහෙම තත්වයක් එනවා වගේ පේන්ට තියනවානම් කොයිමක් කරලා හරි වහාම ඒක වලක්වා ගත යුතුය. සිම්බාබ්වේ මිනිස්සුන්ට මුගාබේ එලව ගන්ට අවුරුදු තිස් හතක්ම ගියේය. මුගාබෙත් ඒ රට නිදහස් කරගත් ජාතික වීරයෙක් වෙලා හිටි මනුස්සයෙකි. අපේ මුගාබේ ආයෙම බලයට ආවොත් මේ සම්ම ජාතියෙ එලවනවා බොරුය.


බැඳුම්කර කොමිසමට සාක්කි දෙන්ට ගිය  අගමැති තුමා
අමරිකාවේ බකිංහැම් මාලිගාව තුලදී ගත් ඡායාරූපයකි
.

Friday, November 17, 2017

546. මවකගේ ගීතය....

"අම්ම යනව...අම්ම යනව…." මම අත්දෙකත් උස්සගෙන ඇස් වල කඳුළු පුරවගෙන යටිගිරියෙං බෙරිහං දිදී අඬනව.

මට නොදැනෙන්ට රාජකාරියට යන්ට කියල නිල්පාට සුට්ටං ඉරිවැටිච්ච ලිනන් රෙද්දෙන් මහපු හෙදි නිල ඇඳුමින් සැරසිල සපත්තු අඩි සද්දෙ නෑහෙන්ට නෙලුං කොලේ කොරවක්ක යනව වගෙ උඩිං උඩිං අඩි තියල දොරකොඩිං එලියට බැහැල මිදුලෙ මඟක් ගිය මයෙ අම්ම හිටි දාරනේ එතනම නැවතිල හෙමීට ආපහු හැරෙනව.

අම්මගෙ ඇස් පුරවල තියෙන්නෙ හීතලම හීතල කඳුළු. ඇගෙ දෑස් අග ඉපදුනු සීතල කඳුළු බිඳුවක් ඇහි පිහාට්ට අග්ගිස්සෙ රැඳිල කම්මුලට වැටිල පහලට ගලා යම්දෝ එහෙමත් නැත්නම් මෙතනම ඉම්දෝ කියල හිතාගන්ට බැරුව වගෙ එකෙල මෙකෙල වෙවී ලත වෙනව. 

"අම්මට මම කියල තියනවනෙ මම ගෙදරිං දොට්ට බහින වෙලාවට පුතාව වත්ත පල්ලෙහාට හරි කොහාට හරි එක්ක යන්ට කියල…." අම්ම කසුකුසුවෙං අත්තම්මට වගපල කියනව…."දැන් බලන්ටකො ඉතිං මම කොහොමද වැඩට යන්නෙ මෙයා මෙහෙම අඬද්දි…"

"දුව යන්ට...දුව යන්ට....ආය ගෙදරට එන්ට ඕන නෑ දැනුත් පරක්කු වෙලා නේද? මම සුට්ටි පුතා පරක්කරගන්නං" අත්තම්ම එහෙම කියල අම්ම දිහාට දුවන්ට යන මාව අල්ලල නවත්ත ගන්ට හදනව.

කොහෙ නවත්ත ගන්ටද? මම තව හයියෙං උඩ පනිමිං අඬනව. කොහොම හරි වදෙං පොරෙං අත්තම්ම මාවත් උස්සගෙන වත්ත පහළට යනව.

"සුට්ටි පුතේ අඬන්ට එපා ඉතිං....අම්ම හවසට එනකොට පුහුල් දෝසි ගෙනේවිනෙ පුතාට.....අම්ම ඔය යන්නෙ පුතාට පුහුල් දෝසි ගෙනෙන්ට..වෙන මොහොකටවත් එහෙම නෙවෙයි"

ඒ දවස්වල ඉඳලම මම පුහුල් දෝසි කන්ට පුදුම තරමට ආසාවයි. ඒත් ඒ වෙලාවෙ මට ඕන ඇති පුහුලක් නෑ.

"මට ඕන නෑ පුහුල් දෝසි…" මම අත්තම්මගෙ බෙල්ල බදාගෙන අඬනව.

"පුහුල් දෝසි ඕන නැත්තං ඉතිං කමක් නෑ. හරි යංකො අපි වැහි ලිහිණියො බලන්ට"

"උං දැං ඉඳීවි නේද කූඩුවෙ?" මම ඉකි බිඳුං අතරිං වචන පැටලි පැටලි අහනව.

"ඇති ඇති අපි යංකො බලන්ට….." අත්තම්ම මගෙ ඔලුව අත ගානව.

අපේ වත්තෙ පල්ලෙහාට වෙන්ට තිබ්බ පරණ දර මඩුවක්.  ගඩොලිං අඩි තුනක් හතරක් වගෙ වෙන්ට කපරාරු නොකරපු බිත්ති බැඳල ඊට උඩිං ලී රාමුවල ගහපු කුකුල් දැල්වලිං ආවරණය කරල තිබ්බ මේ දර මඩුවෙ ටකරං වහලෙ යටි පැත්තෙ බැඳල තිබ්බ වැහි ලිහිණි කූඩුවක්. 

මැටි වලිං හදල තිබ්බ ඔය වැහිළිහිණි කූඩුවෙ ඉස්සරහ තිබ්බ පුංචි දොරටුවට එක එල්ලේ ඈත නමුණුකුල කඳු වළල්ල පැත්තෙ ඉඳල වැහිලිහිණියො පිහාඹගෙන ඇහිල්ල ඇතුල් වෙනව බලා ඉන්ට ඒ කාලෙ මම හරිම ආසයි.

ඔය මම කිව්ව සිදුවීම් උනේ අපි බදුල්ලෙ ඉන්දැද්දි. නමුණුකුළ ගැන කිව්වම ඔබ තමුන්නාන්සෙලාට තේරුම් යන්ට ඇති නේද මම මේ කියන්නෙ කොයි පළාතක වෙච්චි දෙයක් ගැනද කියල නේද?

මට ඒ කාලෙ ඕනනම් අවුරුදු තුනක් වගෙ වෙන්න ඇති උපරිම. මයෙ පොඩි නඟා මට වඩා අවුරුදු හතරක් වගෙ බාලයි. එයා ඉපදුනෙ අපි මාතර ඉන්දැද්දි. එතකොට ඔය අම්ම වැඩට යද්දි මම ඉකි ගගහ ඇඬුවයි කියල කියන්නෙ අපි කට්ටිය බදුල්ලෙ ඉන්දැද්දි. හරියටම කිව්වොත් බදුල්ලෙ ගඟ අද්දර පාරෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මට අවුරුදු තුනහමාරක් වගෙ වෙන්න ඇති.

ඊළඟට මාතර....මට වයස හතරක් වගෙ ඇති...මගෙ කොණ්ඩෙ පොඩි කාලෙ ගණ සැරේට වැවෙනව...(දැනටත් එහෙමම තමයි..හෙහ්...හෙහ්)....මාසෙකට වගෙ සැරයක් අනිවාර්යයෙන් කපන්න ඕන. අම්ම මාව එක්ක යනව මාතර ටවුමෙ තිබ්බ සැලූන් එකකට. නම කිංග්ස් සැලූන් වගෙයි මතක...

ඒකෙං කොණ්ඩෙ කපල එලියට බැහැල අපි දෙන්න යන්නෙ ඒ එක්කම තිබ්බ අයිස්ක්‍රීම් කඩේකට. ඒකෙං වේෆර්ස් බිස්කට් එකක් ගහල අර නැට්ට දිග කප් එකකට දාපු අයිස්ක්‍රීම් එකක් අම්ම මට අරං දෙනව. රිදී පාට සුට්ටි හැන්දකුත් අයිස්ක්‍රීම් එකේම ගහල තියනව.

"අම්ම කන්න ඉස්සෙල්ලම...." මම කියනව.

"බෑ ඔයා කන්නකො.."

"බෑ බෑ අම්ම කන්නකො නැත්නම් මම කන්නෙම නෑ….." මම එකෙහෙලාම කියා හිටිනව.

"හා..හා..හරි හරි ඔන්න එහෙනං මම කනව.." අම්ම හැන්දට අයිස්ක්‍රීම් ටිකක් අරගෙන කනව.."හරි අම්ම කෑව.. දැං ඔයා.."

ඒත් හැමදාම අයිස්ක්‍රීම් එක කාල ආයමත් අම්මටත් ටිකක් මම ඉතුරු කරනව අනිවාර්යයෙන්ම.

ආ..තව එකක්…...පොඩි කාලෙ මැෂින් එකෙං කොණ්ඩෙ කපනකොට මට ඉතාම දරුණු විදිහට හංකිති. ඒ හින්ද අම්ම කරණවෑමියට කියලම තියෙන්නෙ කතුරෙන් විතරක් කපන්න කියල. ඒ ගැන වැඩි විස්තර "මගේ කරණවෑමි කතා"  ලියනකොට කියන්නංකො... හාද?

අවසාන වශයෙන් තව කාරණයක් කියන්ට ඕන. අපේ ගෙදර අප්පච්චි ඇරුනු කොට අනික් හැමෝම වගෙ ගවමස් කනව. අත්තම්ම, මාමා එතකොට අම්ම එහෙමත් එහෙමයි.

අම්මගෙ අප්පච්චි ඒ කිව්වෙ මයෙ අත්ත වැඩ කරල තියෙන්නෙ රේල්ලුවෙ. අඟුරු කෝච්චිවල. සුද්දගෙ කාලෙ. එකදාස් නමසිය පොඩි ගණංවල. හෙඩ් ෆයර්මන් අන්තිමට රියටර් වෙනකොට. බොහෝ විට වැඩ කරල තියෙන්නෙ රඹුක්කන සහ නාවලපිටිය අතරෙ. අම්මගෙ මහ ගෙවල් කඩුගන්නාවෙ. ඒ කාලෙ නාවලපිටියෙ ඉස්ටේසම කිට්ටුවම මුස්ලිම් මනුස්සයෙක්ගෙ හරක්මස් කඩයක් තිබ්බලු. ඕකෙං රේල්ලුවෙ වැඩ කරපු අයට සහන මිලකට මස් දුන්නලු අර හබරල කොලේක එහෙම ඔතල ගෝණි නූලකිං ගැට ගහල.

ඉතිං අපුච්ච (අම්ම අපුච්ච කියපු හින්ද අපිත් උන්දැට කිව්වෙ අපුච්චයි කියල) ගෙදර එනකොට ඔයිං මස් රාත්තල් තුන හතරක් ගේනවලු නොවැරදීම. ආන්න එහෙම තමයි සාමාන්‍යයෙන් ගවමස් නොකන උඩරට සිංහල බෞද්ධ පවුලක සාමාජිකයො ගවමස් කන්ට පුරුදු වෙලා තියෙන්නෙ.

ඒ කොහොම හරි ඉතිං පොඩි කාලෙ ඉඳලම අපේ ගෙදර ගවමස් ඉදුන. අපේ මාම තමයි ඔය ගවමස් ඉවිල්ල කරන්නෙ. එයා උයනකොට හොඳට පහේ එහෙම දානව. මම පුංචිම කාලෙ ඉතිං අම්ම කරනවයි කියන්නෙ මස් හෝදලයි මට කන්ට දෙන්නෙ. අනික ගවමස් හයියයි. ඒ හින්ද අම්ම කරනවයි කියන්නෙ හෝදපු මස් අම්ම හපලයි මගෙ කටේ තියන්නෙ. තනියම හපල කන්ට පුලුවන් වෙනකල් මම මස් කෑවෙ අන්න එහෙමයි.

අම්මලා සහ දරුවන් අතර ඇති සෙනෙහස සදාතනිකයි. ඒ සෙනෙහසට අලගු තියන්නට හෝ ලොව අන් කිසිම බලවේගයකට නොහැකියි. අම්මයි මායි අනන්ත රණ්ඩු වෙලා ඇති. අම්ම මට පස් පඩංගුවෙ බැනලත් ඇති. පස් පඩංගුවෙ නොවුනත් මමත් අම්මට බැණලා ඇති. දවස් ගණං අපි කතා නොකර ඉඳලත් ඇති. 

"But after all She is my mother and I am her Son. That’s what matters more than anything else in this whole world. Isn't it now my friends?"

මගෙ අම්මට දැන් අසූ තුනක්...මට පණස් හතරක්...ඒත් මම තවමත් උන්දැගෙ හුරතල් පුතා...උන්දැ මගෙ සදාදරණීය අම්මා......

අම්මා ගැන මේ මතක සටහන් ලියන්ට මට හිතුනෙ නිදහස් සිතුවිලි වියුණුවේ සමාරම්භක සම රචක මගේ සදාදරණීය හිතවතිය රන්දිකාගෙ දයාබර මෑණියන්ගේ අභාවය නිමිති කරගෙන....

ඊයේ ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරුනා. ඉතිං මට ඇය කිසිම දිනෙක මුණ ගැසී හෝ නෑ. ඒත් මට හිතුනා මගේ අම්මා සහ මම අතර ඇති සෙනෙහස පිළිබඳව ලිව්වොත් ඒ ඇයට කරන හොඳම උපහාරය වේවිය කියල. මොකද කිව්වොත් ඇයත් අම්මා කෙනෙක්. මම සහ මගේ මෑණියන් අතර ඇති සෙනෙහසම තමයි ඇය සහ රන්දිකා අතර තියෙන්නත් ඇත්තෙ.....එහෙම නේද? 

ඉතිං...දයාබර මව් තුමියනි ඔබට නිවන් සුව පතන්නෙමි!!!

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා

සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින ළහිරු මඬල අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා

ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


Tuesday, November 14, 2017

545. The Story Of My Marriage - 50 - Vanakkam..Vanakkam..Most Welcome To Our Home…..

ඉතිං මංජු මට හරිෂ් නොහොත් අනන්‍යාගෙ යෝජිත මනාල මහත්තය ගැන සියලු විස්තර කිව්ව. විවාහාපේක්ෂිත දියණියකගෙ මව්පියන්වන ඕනෑම දෙමළ අම්මෙක් නැත්නම් තාත්තෙක්ගෙ සිහින කුමාරය බවට නිතරඟයෙන් පත්වෙන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් හරිෂ්ට තිබ්බ. පහුගිය අවුරුදු දෙකක් විතර තිස්සෙම අනන්‍යාගෙ අම්ම නිතරම හරිෂ්ගෙ ගුණ වර්ණනා කරල අනන්‍යාගෙ කැමැත්ත ගන්ට උත්සාහ කරල තියනව. අනන්‍යා කිසිම විදිහකින් බුරුලක් නොදුන්නට අම්ම උත්සාහය අත ඇරලත් නෑ.

"අක්කගෙ කැමැත්තක් තිබ්බෙම නෑ. ඒත් අම්මගෙන් බේරුමක් නැතිම තැනයි මම හිතන්නෙ එයා ඔය කේන්දර බලන්ට කැමැත්ත දුන්නෙ.." මංජු ඇස් ලොකු කරගෙන කිව්ව.

හරිෂ් ඇවිල්ල හිට හොඳම වර්ගයෙ දමිළයෙක්. ඒ කියන්නෙ සුප්‍රා ග්‍රේඩ්. දමිළ ජන වර්ගයෙ, බ්‍රාහ්මණ කුලයෙ,  අයියර් උප කුලයෙ. ඒ බොහොම පැහැදිලිව වර්ගීකරණ තුනක්. පන්ජාබී අපි ඔක්කොම එක කුලේ හින්ද අපිට ඔව්වයෙ ගානක් නැතිවුනාට අනන්‍යාලගෙ නෑදෑ පරපුරට ඔය කුල කේස් බොහොම වැදගත්. මට මතකයි ඉස්සොරෝම අහ්මදාබාද් වලදි අනන්‍යා මුණගැහුණු දවසෙ මම "ඔයා දකුණු ඉන්දියාවෙන් නේද?" කියල ඇහුවම ඈ මෙහෙම කිව්ව.

"එහෙම නිකම්ම දකුණු ඉන්දියාවෙන්ය කියල විතරක් කිව්වොත් ඒක එච්චර හරි නෑ. මම ඇවිල්ල දමිළ..මේ... කරුණාකරල පටලගන්ට එහෙමනම් එපා ඔන්න ..මම දමිළ ..ම්ම්ම්....ඒත් හරියටම හරි නෑ..හරියටම කිව්වොත් දමිළ බ්‍රාහ්මණ වංශික. මතකයි නේ? දමිළ බ්‍රාහ්මණ වංශික. ඒක අමතක කරනව එහෙම නෙවෙයි හොඳද?"

හෙහ්..ඒ යෝදි එහෙම කිව්වෙ නිකම්ම එහෙමත් නෙවෙයි. මස් කෑල්ලක් හත් මාසෙකිං දැකල නැති ගානට කුකුල් අණ්ඩක් හපන ගමං......

ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත්  යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි. ඇස්වහක් කටවහක් නෑ ආය ඔහෙලට කිව්වම මොකද මට ඔය තුනම නෑ.

මංජු මට හරිෂ් ගැන පරිපූර්ණ විස්තරයක් ඉදිරිපත් කලා. මනුස්සය ඉගෙන ගෙන තියෙන්නෙ චෙන්නයි අයි.අයි.ටී. එකේ. හරිෂ්ගෙ GPA එක 9.45ක්. 

(සටහන - GPA (Grade Point Average) කියන්නෙ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන වගෙ උසස් අධ්‍යාපන ආයතනවලින් සමත්වෙන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙ දක්ෂතාවය මනින මිම්මක්. අධ්‍යයන කාල සීමාව පුරා ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පරීක්ෂණ වලදි ලබා ගත් ලකුණුවල සාමාන්‍ය අගය තමයි ඒකෙන් කියවෙන්නෙ) 

හරිෂ් 10න් 9.45ක් ගත්ත කියන්නෙ අයිසෙක් නිව්ටන්ගෙ මට්ටමේ බුද්ධිමතෙක් වෙන්න ඕන. ඔය විස්තරේ අනන්‍යාගෙ අම්මට කියල තියෙන්නෙ අනන්‍යාගෙ නැන්ද. මතකයි නේද? අර ශෝභා ආන්ටි.... ආන්න එයා...

හරිෂ් එතනින් නැවතිලා නැහැ ශිෂ්‍යත්වයක් හම්බවෙලා මාස්ටර්ස් එකක් කරල ඒකත් ඉහළින්ම සමත් වෙලා දැන් වැඩ කරන්නෙ ඇමරිකාවෙ සිලිකන් වැලීවල ඉහළම ගණයෙ අයි.ටී. කම්පනි එහෙක. ඒකෙ නම සිස්කෝ සිස්ටම්ස්. හරිෂ් මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. (ඔය ඔක්කොම නොකරන මනුස්සයෙක් අහවල් දේකට ජීවත් වෙනවද කියන එකනම් මට පොඩි කාලෙ ඉඳලම තිබ්බ දැවෙන පස්නයක්) 

හරිෂ් කර්ණාටික් මූසික් එක්ස්පර්ට් කෙනෙක්. ඊට අමතරව භාරත නාට්‍යම් රසිකයෙක්. මිනිහගෙ උඩු රැවුලෙ ගණකම අඟල් බාගයක් සහ තවත් සේසයක්. 

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරබදව තදාසන්න නියම්ගමක හරිෂ්ටම අයිති තට්ටු දෙකකි ගෙදරකි. ඒ වගේම කිරිසුදු අළුත්ම හොන්ඩා එකෝඩ් එකකුත්. කොටස් වෙළඳපලේ ෂෙයාර්ස් බර ගාණක්. මේ පහුගිය මාස දෙක තුන ඇරුනුකොට හරිෂ්ට අයිති කොටස්වල වටිනාකම සෑම මිනිත්තු දොළහකට සැරයක්ම දෙගුණ උනාලු.

ඒ ඔක්කොමත් කමක් නෑ කියමුකො. හරිෂ්ට එයාගෙම ටෙලස්කෝප් එකකුත් තියනවලු. මිනිහ සති අන්තෙ පුරාම කරන්නෙ ඒකෙං මන්දාකිණීද මොනවද බලන එකලු. මංජුට ඔක්කෝටම වැඩිය හිතට අල්ලල ගිහිල්ල තියෙන්නෙ ඒ ටෙලස්කෝප් එක. 

"අක්කා හරිෂ්ව කසාද බඳින්ට කැමති වුනොත් නම් මරු. මට එතකොට ටෙලස්කෝප් එකෙං හිතේ හැටියට තරු ග්‍රහලෝක එහෙම බලන්ට පුලුවෙනි" එහෙම කියනකොටත් මංජුගෙ ඇස් දිළිසුනා.

"ම්ම්ම්..වෙන මොකවත් එපාද? එහෙමද ආස?" එහෙම තොල මතුරමින් මම මිනිහ දිහා රවල බැලුව දාලපිච්චිල යන්ට.

මංජු බයවෙච්චි පාර එහෙම්ම කට වහගත්ත. "අර මූකලං බස්ස ගැන තව විස්තර අහගන්ට නම් මේ කොලුව බයකරල බෑනෙ.." මම එහෙම හිතල කොල්ලව ෂේප් කරගන්ට කටපුරා හිනාවුනා. 

"හරි හරි ඉතිං මංජු තව මොනවද හරිෂ්ගෙ විස්තර ඔයා දන්නෙ?"

"ම්ම්ම්....තව මොනවද නේද?....ආ හරිෂ් තව මට කිව්ව එයාගෙ ටෙලස්කෝප් එකෙං සෙනසුරුගෙ වළලුවල පාට බලන්නත් පුලුවන්ය කියල"

"හුහ් ඔය කිව්වෙ..සෙනසුරුගෙ වළලුවල පාට...සෙනසුරු වළලු විතරද දන්නෙ නෑ දාගෙන ඉන්නෙ? මාලෙ පාට පෙනුනෙ නැද්ද දන්නෙ නෑ අර යස්සයට.." මම තනියම කියාගත්ත.

"මොකක්ද කිව්වෙ මංජු? හරිෂ් ඔයාට කිව්වයි කියල නේද කිව්වෙ? ඒ කියන්නෙ මීට කලින් එයා මෙහෙ ඇවිල්ල තියනවද?"

"නෑ..නෑ.....එයා අමරිකාවෙ ඉඳල තුන් හතර ගමනක් ටෙලිෆෝන් කලානෙ. ඒ වෙලාවකයි මට ඔය විස්තර කිව්වෙ….."

"අක්කත් එයත් එක්ක කතා කලාද?" මම හුස්ම අල්ලගෙන ඇහුව.

"නෑ හරිෂ් කතා කරපු එක වෙලාවකවත් අක්ක ගෙදර හිටියෙ නෑ. අනික හිටිය උනත් අක්ක හරිෂ් එක්ක කතා කරන එකක් නෑ"

"ඒ මොකෝ?"

"එහෙම තමයි අපේ චාරිත්‍ර...කේන්දර ගැලපෙනකල් කොල්ලයි කෙල්ලයි කතා කරන එක තහනම්"

"හ්ම්ම්..කොල්ලයි කෙල්ලයි.." එහෙම හිතනකොටත් මට එන කේන්තිය කියල ඉවර කරන්ට බෑ…"කොල්ලයි කෙල්ලයි...හුහ්"

"දැන්නම් ඉතිං ප්‍රශ්ණයක් නෑ. කේන්දර ගැලපෙනවනෙ. දැන් දෙන්නට කතා කලෑකි. අද ඔය එන්නෙත් එහෙම කේන්දර ගැලපුන නිසානෙ.." 

මංජු බොහොම සන්තෝසෙං කියාගෙන ගියා.

මට මගෙ අම්ම මතක් වුනා. මගෙ අම්ම මට ගෑණු ළමයෙක් ගැලපෙනවද කියල හොයල බලන්නෙ ළමයගෙ පියතුමාට අයිති පෙට්රල් ෂෙඩ් කීයක් තියනවද? එතකොට එව්වයිං කීයක් ගෑණු ළමයට දෑවැද්දට දෙනවද? කියන එක විතරයි. අනේ වාසනාවන් එහෙම අම්මල…

"මංජු ඔයා ඉගෙන ගන්නෙ විද්‍යාව. ඔයා ඇත්තටම විද්‍යාවට ගණිතයට දෙකටම එක වගෙ දක්ෂයි. ඒ වගේම සෙනසුරුගෙ වළලුවල පාට බලන්ටත් ඔයා ආසාවෙන් ඉන්නව. ඒ එක්කම කේන්දර ගැලපෙන්නෙ නෑ කියල කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරන එකත් වැරදියි කියලත් ඔයාම කියනව. මට තේරෙන්නෙ නෑ ඔයා හිතන විදිහ"

"ඒකෙ තේරුම් ගන්ට ඔය හැටි අමාරු දෙයක් නෑ. මම ඉගෙන ගන්නෙ විද්‍යාව. කවදක හරි මගෙ අනාගතය වෙන්නෙ විද්‍යාව. ඒ එක්කම මේ අපේ සංස්කෘතිය" මංජු කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

"හ්ම්ම්ම්ම්…..ඒකත් එහෙමද?" මම දිග හුස්මක් පාතට දාල හෙමීට කිව්ව.

"කරුණාකරල දැන්වත් මගෙ සටහන් පොත දෙනවද?" මංජු ඔලුව උස්සල මා දිහා බලල ඇහුව.

"හරි හරි තරහ වෙන්න එපා…." මම සටහන් පොත මංජුට දුන්න.

"දැන් හරිෂ් එනවද?"

"ඔව්..ඊයෙ අම්ම කතා කරල කිව්ව උදේ කෑමට එන්නෙයි කියල එයාලට"

"එයාලට කිව්වෙ?"

"හරිෂ්ටයි එයාගෙ අම්මටයි තාත්තටයි...තව කවුරු කවුරු එයිද දන්නෙ නෑ….." මංජු ආයෙමත් සටහන් පොතට ඔලුව නවා ගත්ත.

"හරි මංජු...මම යන්නං එහෙනං"

මම නැඟිටල මගෙ බෑග් එක අතට ගත්ත. අනන්‍යා එක්ක මට තිබ්බෙ උහුලගන්ට බැරි කේන්තියක්. "මේ අම්මණ්ඩි ආය දෙකක් නෑ මේ නාඩගම ගැන දැනගෙනම ඉන්ට එපාය. ඒත් මට වචනයක්වත් කිව්වද? කමක් නෑ මම නිවාඩු පාඩුව එයාව අල්ල ගන්නංකො" මට මේ වෙලාවෙ ලොකුවටම ඕන කම තිබ්බෙ මෙතනිං හැකි ඉක්මනට පිටවෙලා පුලුවන් තරම් දුරකට යන්ට.

"මංජු මම යනව.." මම එහෙම කියල හෙමිහිට ඉස්සරහ දොර පැත්තට ගියා.

"ක්‍රිෂ් අයියෙ...." මංජුගෙ කටහඬට මම සාලෙ මැද නැවතිල ආපහු හැරුන. මංජු ඉඳගෙන හිටපු පුටුවෙම පැත්තකට හැරිල මා දිහා ඇස් ලොකුකරගෙන බලා ඉන්නව.

"ඇයි මංජු?" මම ඇහුව.

"මේ... මම මේ..පොඩි කාරණයක් අහන්ට කියල ලෑස්ති වුනේ.."

"ඔව්..මොකක්ද?"

"මම මේ අහන්ට ආවෙ..මේ...බ්ලූ ෆිල්ම්ස් බැලුවම මොනව හරි නරක දෙයක් වෙන්ට පුලුවන්ද?"

මම උත්තරයක් නොදී මංජුගෙ මූණ දිහාම බලාගෙන හිටිය

"නෑ...නෑ.....මම මේ ඇහුවෙ.... මම ආය කවමදාකවත් බලන්නෙ නෑ…..මට නිකමට වගෙ දැනගන්ට ඕන..ඒකයි ඇහුවෙ…" කොළුව හතර අතට ඇඹරෙමිං කෙඳිරි ගෑව.

"මංජු අහන්නෙ බ්ලූ ෆිල්ම් එකක් බැලුවොත් විතරක් මොකවත් වෙන්නෙ නැද්ද කියලද?"

"ඔව්..බැලුවම විතරක්...ම්ම්ම්ම්...මෙහෙම කියමුකො. බලල ඉවරවෙලා තව මොනව හරිත් කලොත් එහෙම?" මංජු අහක බලාගෙන ඇහුව.

"මම කියන්ටද? හොඳ වෙලාවක් බලල ඔයා ඔය ප්‍රශ්නෙ ඔයාලගෙ තාත්තගෙං අහන්ට…"

"පිස්සුද අයියෙ?... අයියත් මොනව කියනවද මන්ද…" මංජුගෙ ඇසුත් ලොකු වෙලා කටත් ඇරුන. 

"මම එහෙනං ඇත්තම කියන්ටද? ඔයාගෙ ඇස් පේන්නෙ නැතුව යන්ට පුලුවන්. වෙනනම් එහෙමට දෙයක් වෙන එකක් නෑ" මම බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගෙන කිව්ව.

"ඇත්තටම?" මංජුගෙ කට ආයෙමත් ඇරුන.  "කොහොමද අයියෙ එහෙම වෙන්නෙ? ඇත්ත කියන්නකො අනේ.."

"හරි හරි ඇත්ත තමයි....කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"

මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.

"වනක්කම්.....වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."

ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.

**********************************

අසංක ප්‍රියමන්තගෙ මම කැමතිම ගීයක් මේ.....ඒකත් අහලම යන්නකො...

කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳදේවි බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

ඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුණු දාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක



Friday, November 10, 2017

544. The Story Of My Marriage - 49 - All About Harish…….

මේ දවස්වල ලංකාවෙ තෙල් කේස් එක තමයි නැඟලම යන්නෙ. හේමමාලා කුමරිය දළඳාව වඩම්මන නෞකාව එනකල් කිස්සිරිමෙවං රජ්ජුරුවො ප්‍රමුක රට වැසියො වෙරලට වෙලා පුල පුලා බලා හිටිය වගෙ තමයි අපේ කස්ටිය අර මොන ලේඩිදැයි කියන තෙල් නැව එනකල් බලා ඉන්නෙ...හෙහ්,හෙහ්......

ඉතිං මම කම්පනා කලා මේ වෙලාවෙ දළඳාව වඩම්මන සීන් කෝන් එක ගැන ගැයුණු ගීතයකට ඇහුංකං දුන්නනං  ආතල් නෙවද කියල......

මේ ධර්මදාස වල්පොල මහත්මයා ගයන උත්තම සිරි දළඳා ගීතය....



හරි ඒ ගීතය ඇහුවනං අපි යමු අනන්‍යාගේ කතාවට....

අප කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසල අනිල් ගුවන් තොටුපොල කරා ගෙනයන බී.එම්.ඩබ්ලිව්. රථය නවතා තිබිනි. අනිල් එහි පසුපස අසුනට ගොඩවූයේ අප සියල්ලන්ගේ සිත් මහත් සැනසිල්ලකින් පුරවා ලමිනි.

"බොහොම ස්තූතියි ක්‍රිෂ්..මම ඇත්තටම ඔයාට ණයගැතියි…." මම මගේ අසුනට පැමිණ අසුන්ගත් වහාම බාලා මගේ මේසය අසලට පැමිණ පැවසීය. 

"ඔව්..බාලා...අමතක කරන්න එපා...මම අද බාලා හින්ද කලේ ජීවිතේටම කිසිම කෙනෙකුට කරන්නෙ නැති උදව්වක්….." මම ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලාගෙන පැවසූයෙමි.

*****************************************

චාස් චෝස් යන අනුකරණයෙන් අනාන්‍යාලාගේ මුළුතැන්ගෙය දෙසින් නොනැවත ඇසෙන බැදුම් පිළිස්සුම් ශබ්ද කුමක් හෝ සුවිශේෂී සිද්ධියක් අද දින මෙහි සිදුවන්නට නියමිත බව මොනවට කියා පෑවේය. පසුගිය සඳු දිනට මම මංජු කොළුවාණන් නොහොත් මගේ අනාගත මස්සිණංඩිය හට ටියුෂන් දීම ආරම්භ කොට පුරා මාස දෙකකි. සත්‍යය එලෙසින්ම පැවසුවහොත් මා ඉගැන්වූ විෂයයන් අරභයා මංජුගේ දක්ෂතාවයන්හි කැපී පෙනෙන වෙනසක් දක්නට ඇත.

රූපවාහිනියේ තොර තෝංචියක් නොමැතිව පෙන්වන බෝන්විටා හෝ කොම්ප්ලෑන් වෙළඳ ප්‍රචාරණ දැන්වීම්හි පෙන්වන අල්බාත අයින්සටයිනයන්ගේ එක්කුස උපන් මහප්පාගේ පුතාගේ දුවගේ පුතා බඳු මහා බුද්ධි මට්ටමකින් යුතු කොල්ලන් කෙල්ලන්ටද කරටකර තරඟයක් දීමට තම පුත්‍රයා නිසැකවම සමත්බව සිනා සපිරි මුවින් යුතුව පසුගිය සතියේ දිනක පැවසූයේ අනන්‍යාගේ මෑණියන්ය. නිතොරවම මලබද්ධය වැළඳුනු බස්සියක මෙන් බුකවාගෙන සිටින ඇය සිනාසෙනු පළමු වරට මා දුටුයේ ඒ මොහොතේදීය.

I.I.T. වේවා Medical entrance වේවා මිනිස් වර්ගයා තම දැනුම මැනීම උදෙසා විභාග යන සංකල්පය නිර්මාණය කොටගත් දින සිට මෙතෙක් මේ මිහිතලය මත පැවැත්වුනු ඉතාම අසීරු සහ දරුණු විභාගයකින් පවා ඉතා පහසුවෙන් සමත්වන්නට මංජුට හැකියාව ඇති බව අදායම් බදු, අර්ථසාධක අයකිරීම් ආදී සකළ අවකරණයන්ගෙන් ඉක්බිති මගේ මාසික මූර්ත වැටුප (Net Salary) කිසිදු චකිතයකින් තොරවම පරදු තබා පවසන්නෙමි මා හිතවත් පාඨකය.

එළෙසම සත්‍යය එළෙසම පැවසුවහොත් ඒ හැකියාවෙන් වැඩි ප්‍රතිශතයකට හේතුවූයේ හිමිදිරි පහේ කණිසමට අවදිව නිදි මරගාතේම පැමිණ මංජුට මවිසින් ලබාදෙන අමතර අධ්‍යාපනයට වඩා මංජුගේ නිසග දක්ෂතාවයයි. 

"මොනවද මංජු අර කුස්සියෙං ඇහෙන සද්ද බද්ද? හප්පා මේ සැර ගඳ ඉවසන්නෙ කොහොමද මන්ද......හච්චීං...හච්චීං"

කුස්සිය දෙසින් හමාවිත් නාසා පුට විනිවිද කුඩා මොළයද පසුකොට මහාන්ත්‍රය දක්වා ගමන් කරනා කුළුබඩු රත්වූ තෙලෙහි බැදෙන කටුක ගන්ධය තව දුරටත් ඉවසනු නොහැකිව මහ හඬින් කිවිසුම් යවමින් මම මංජුගෙන් විමසීමි.

"ආ..ඒ අද එන විශේෂ අමුත්තන්ට කන්න බොන්න දෙන්න විශේෂ ඉවුම් පිහුම් කරනව….."

භෞතික විද්‍යා ප්‍රශ්නෝත්තර පොතකවූ ගැටළුවක් විසඳීම උදෙසා තම පූර්ණ අවධානය යොමුකොටගෙන සිටි මංජු හිස එසවීමකින් හෝ තොරව පැවසීය.

"කවුද අද එන විශේෂ අමුත්තො?......."

"ආ...අද එන්නෙද? අද එන්නෙ අර හරිෂ්නෙ...හරිෂ්……හරිෂ්…."

"කවුද හරිෂ් කියන්නෙ?"

"හරිෂ් අනේ අර හරිෂ්...හරිෂ් දන්නෙ නැද්ද?...හරිෂ් .....හරිෂ්......එයාල ඉන්නෙ ඔන්න ඔය වරායට යන පාර හරියෙ.....අර පාක් එකක් තියෙන්නෙ....ආන්න ඒ කිට්ටුව...." 

සුරත ඔසවා එහා මෙහා වනමින් මංජු පැවසීය. ඔහුගේදැඩි අවධානය තවමත් ඇත්තේ භෞතික විද්‍යා ගැටළුව කෙරෙහිය.

"චෝස් …"

අනන්‍යා ගේ මව තවත් මොනවාදෝ පැහෙන තෙලට දැම්මාය. අබ, කරපිංච සහ ලූණු තෙලෙහි බැදෙන සුවඳ අප සිටි කාමරයට ගලා ආවේ මගේ දෙනෙත් කඳුලින් නහවමිනි. 

මගේ අපේක්ෂාව රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබනා නවකථාවක් ලිවීම වන්නේ නම් නිසැකවම මම මීලඟ පරිච්ඡේද දෙක පුරා විස්තර කරනුයේ ඒ සුවඳ කොතරම් මිහිරි සුවඳක්ද යන්නය. එළෙසම එයින් මගේ සියළු රස නහර පිනා යන්නට ගතවූයේ හුදෙක් මිලි තත්පර අටක් හෝ දහයක් පමණක්ම බවද පුන පුනා සඳහන් කරන්නෙමි. එහෙත් ඇත්තවශයෙන්ම මට සිදුවූයේ කඳුළු ගලනා දෑසින් සහ දෑතින්ම වැරයේ බදාගත් හිසින් යුතුව නොනවතින කැස්සකින් පීඩා විඳින්නටය.

"හාපෝ ඔයා පොඩි ළමයෙක් වගේනෙ....."

යටි තොල පෙරළා තම අප්‍රසාදය පළකරමින් මොහොතක් මදෙස බලා සිටි මංජු එක්වරම නැඟිට කුටියේ දොර වෙත ගොස් දොර රෙද්ද මෑත්කොට හිස පිටතට රුවා මුළුතැන්ගෙට ඇසෙන පරිදි මහ හඬින් කෑගැසීය.

"ඔය කුස්සියෙ එක්ස්හෝස්ට් ෆෑන් එක දාගන්නකො අම්මෙ.......මොනව කරනවද මන්දා.."

ඉක්බිති දොර වසා දැමූ ඔහු ආපසු පැමිණ අසුන් ගත්තේය. දොර වසා දැමූවද අනන්‍යාගේ මවගේ කටහඬ පැහැදිලිව කුටිය තුලට ගලා ආවේය

"හරි හරි මම ෆෑන් එක දැම්ම.....මංජු මේ...දැන් මදැයි පාඩම් කලා. යන්න ගිහිල්ල අඩුගානෙ ඇඟපතවත් හෝදගන්න...අර ගොල්ලො දැන් මේ ලඟම එනව ඇති…"

ඒ සමඟම තීව්‍රතාවය වැඩි කොට ඇය හඬ ගෑවේ අනන්‍යාටය. 

"අනන්‍යා...ඔයා මොකද කරන්නේ ඒ ඒ ඒ....? තවම ලෑස්ති වෙලා ඉවර නැද්ද?"

"මංජු මේ….. කවුද මනුස්සයො ඔය හරිෂ් කියන්නෙ?......" 

යලි භෞතික විද්‍යා ගැටලුවෙහි කිමිදෙන්නට සූදානම්වන මංජුගේ උරහිසින් අල්ලා සොලවමින් මම විමසීමි.

"හරි හරි ඉතිං කෙන්දරත් බැලෙව්වනෙ අම්මල......එව්වත් ගැලපෙනවලු...ඉතිං ඒ හින්දයි ඒ අය අද මෙහෙ එනව කියන්නෙ...එතකොට හැබැයි තව ප්‍රශ්ණයක් තියනව…"

"ඔව්..ඔව්..මොකක්ද තියන ප්‍රශ්ණෙ?" මම නොඉවසිල්ලෙන් විමසීමි. මසිතට බලපොරොත්තුවේ යම් සේයාවක් වැන්නක් ඇතුළුවිය.

"නෑ මම මේ කියන්නෙ ගුරුත්වජ ත්වරණය තත්පර වර්ගයට මීටර් 9.8 යි. රොකට් එකේ ප්‍රවේගය ...." නළල සහ දෙබැම රැළිකොට ගත් මංජු තම සටහන් පොතට හිස ඔබා ගත්තේය.

ඔහු ඔහුගේ ප්‍රියතම විෂයය කෙරෙහි පූර්ණ වශයෙන් හිත යොමු කිරීමට සූදානම් වන්නේ මා මගේ කටුක ලොවෙහි තනිකොට දමමිනි. මගේ කටුක ලොවෙහි තව නොබෝ වේලාවකින් මගේ පෙම්වතිය දැකගැන්මට මනාලයෙක් පැමිණෙන්නේ ඔහුගේ සහ ඇයගේ දෙමව්පියන්ගේ පූර්ණ එකඟතාවය පරිදි ඇය විවාහ කොට ගැනීමේ ඒකායන අභිප්‍රායෙනි. එවැන්නකට කිසිසේත්ම ඉඩ දිය නොහැක. ඉදිරියට පහත්වූ මම සුරත දිගුකොට මංජු ගැටළුව විසඳමින් සිටින සටහන් පොත ඔහුගෙන් උදුරා වසා දමා අප අසළවූ කුඩා කනප්පුවක් මතට වීසි කළෙමි.

"මොකක්ද අනේ? ඇයි එහෙම කලේ?" මංජු දෑස් විදහාගත්වනම විමසීය.

"ඔය හරිෂ් කියන මනුස්සය කොහේ කෙනෙක්ද? කවුද? මොකද එයා කරන්නෙ? අද මෙහෙ එන්නෙ අහවල් දේකටද? මට සම්පූර්ණ විස්තරේ මේ දැන්ම කියන්න ඕන..නැත්නම්….."

"ඔව්...නැත්නම් මොකද?" මංජු තම තොල් තරව පියාගත්වනම ඇසීය. "නැත්නම් මොකද කරන්නෙ?"

"නැත්නම් මම අම්මට කියනව ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනව කියල…"

"මොකක්?..... බොරු කියන්න එපා හොඳද? මම කවදාවත් ඒ වගෙ එව්ව බලල නෑ."

මංජු බියපත් දෑසින් මදෙස බලා යලි වහා තම දෑස් ඉවතට යොමු කොට ගත්තේය. ඔහුගේ ස්වරයද බියෙන් සලිතවන අයුරක් දක්වන්නේය. මම සිනහව වලක්වා ගනු වස් දෙතොල සපාගතිමි.

"බොරු කියන්න එපා මංජු……" මම දැඩිව පැවසීමි. "මම දන්නව ඔක්කොම......"

"මේකා බොරු කියන්නෙ…….මේ වයසට බ්ලූ ෆිල්ම් එකක් බලල නැති කොල්ලෙක් ඉන්නවද? මම දන්නෙ නැද්ද ඒ ගැන...හෙහ්...හෙහ්… "  මම මටම කියාගතිමි.

"එකම එක පාරක් විතරයි මම ඒ වගෙ ෆිල්ම් එකක් බැලුවෙ......අර එහා පාරෙ ඉන්න මගෙ යාලුවගෙ ගෙදරදි.......ඇත්තම කිව්වොත් ඒක වැරදීමකින් වුනේ…" 

මංජු ගොත ගසමින් පැවසූයේ පහතට හරවාගත් මුහුණින් යුතුවය.

"හෙහ්..හෙහ්..මාර කතාවක්නෙ ඒක..........වැරදීමකින්...ඈ???...........කොහොමද මනුස්සයො වැරදීමකින් බ්ලූ බලන්නෙ?"

"ඒ බ්ලූ එක මගෙ යාලුවගෙ තාත්තගෙ එකක්.....අනේ අම්මට එහෙම කියන්න එපා.....එහෙම උනොත් අම්ම මගෙ යාලුවගෙ අම්මට කියයි. ඊලඟට මහ විනාසයක් වෙන්නෙ…"

මංජුගේ මුහුණ බියෙන් සුදුමැලිවී තිබිණ. ඔහුගේ කළු පැහැති උපැස් යුවල පවා බියෙන් සුදුමැලිවී ඇති බව මට සිතිණ. මේසය මතවූ ගණිතය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා පාඨ ග්‍රන්ථ සියල්ල එකතු කොට එක පිට එක තබා ඉවතට තල්ලු කල මම දෙවැළමිට මේසය මත තබා දෑතට මුහුණේ බරදෙමින් වාරුවී මංජුගේ මුහුණට එබුණෙමි.

"හරි මම ඒ ගැන අම්මටවත් වෙන කාටවත්මවත් කියන්නෙ නෑ. දැන් මංජු මට කියන්න ඔය හරිෂ් කියන මනුස්සය ගැන සම්පූර්ණ විස්තරේ...මුල ඉඳලම..ඒ කියන්නෙ කොහොමද මේක වුනේ? එතන ඉඳලම පටන් ගන්න…"

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...