Wednesday, July 28, 2021

162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය




එයින්ට්‍රි වීදිය-හැව්ලොක් ටවුම, කොළඹ 05


    හැව්ලොක් ටවුමේ සිට, තිඹිරිගස්යාය පාරේ මීටර 800ක් පමණ යනවිට වම් දෙසට හමුවන ඇස්කොට් ඇවනියු ඔස්සේ මීටර 100ක් ගිය තැන වම් දෙසට වන මග එයින්ට්‍රි වීදිය නම්වේ.


    එඩ්වඩ් ක්ලැරන්ස් ඩි ෆොන්සේකා යනු කෝටිපති මිනිරන් ව්‍යාපාරික එඩ්මන්ඩ් ක්ලාර්ක් ඩී ෆොන්සේකාගේ පුතුය. අශ්වයින් හතලිස් දෙනෙකුට හිමිකම් කියූ එඩ්වඩ් ක්ලැරන්ස්, ඒ සතුන් ගාල්කර තිබුණේ ජාවත්තේ පිහිටි ඔහුගේ වතුයායේ ගොඩනැගූ ස්තාලයේය. රාජකීය විදුහලට ඉදිරිපසින්, වර්තමානයේ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබුනු තුරඟ තරඟ පිටියේ එම අසුන් තරඟ පිණිස යෙදවුණි. තුරඟ තරඟ කෙරෙහිවූ සිය බලවත් කැමැත්ත ප්‍රකට කරමින් ඔහු සිය වතුයායේ කොටස් වෙත ජනප්‍රිය බ්‍රිතාන්‍ය තුරඟ තරඟයන්හී නම් යෙදුවේය. එවැනි ජනප්‍රිය තුරඟ තරඟයක් සිහි කරමින් ඔහුගේ සමස්ත වතුයායට ගුඩ්වුඩ් නම දී තිබේ. වතුයාය වෙත වූ ප්‍රධාන පිවිසුම් මග ඇස්කොට් ඇවනියු යනුවෙන් නම් කෙරුණු අතර අතු වීදි දෙක එප්සම් වීදිය සහ එයින්ට්‍රි වීදිය ලෙසින් නම් කෙරිණ.




අක්බාර් ලේන්/පටුමග-අලුත්කඩේ, කොළඹ 12


    අලුත්කඩේ වටරවුමෙන් වම් දෙසට වන මිහිදු මාවත ඔස්සේ යනවිට දකුණු දෙසට හමුවන පළමුවන මග වන සෙන් සෙබස්තියන් වීදිය ඔස්සේ මීටර 100ක් යන විට වම් දෙසට හමුවන මග අක්බාර් පටුමගවේ.



    කීර්තිමත්, ලාංකික මැලේ ජාතිකයෙකු වන, මාස් තාජූන් අක්බාර් (1880-1944) මහතා දිස්ත්‍රික් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජෙනරාල්වරයා සහ 1937-1938 කාලයේ නගර සභා සභීකයෙකු ආදී වශයෙන් ක්‍රියා කළ අතර ඊට අමතර ව මල්ලව පොර ශූරයෙකු මෙන්ම ජූඩෝ ක්‍රීඩකයෙකුද වශයෙන් කීර්තියක් ඉසිලීය. ආදී රාජකීයයෙකු වන අක්බාර් මහතා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුද වන්නේය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා වූ කොමිසමේ සාමාජිකයෙකුවූ අතර හුසායිනියා පිරිමි විදුහලත් ෆාතිමා කාන්තා විදුහලත් පිහිටුවීමේ පුරෝගාමියෙකුද විය. මේ ආකාර වූ සේවාවන් වල නියුතු වීම නිමිති කොටගෙන ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් කොළඹ වීදි දෙකක් නම් කර තිබේ. එයින් එකක් අලුත්කඩේ පිහිටා ඇති මෙම වීදිය වන අතර අනෙක පිහිටා ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ මැලේ ජාතිකයින් බහුල ව වසන පෙදෙසෙහිය. වඩා ම වැදගත් කාරණය වනුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ද ඔහුගේ නමින් නම් කර තිබීමයි.




ඇලන් මැතිනියාරාම පාර-හැව්ලොක් ටවුම, කොළඹ 05


    පොල්හේන්ගොඩ මං සන්දියෙන් වම් දෙසට විජය කුමාරණතුංග මාවත ඔස්සේ මීටර 500ක් පමණ යනවිට වම් දෙසට වන මග මෙම පාර වේ.

    පොල්හේන්ගොඩ කඳු කැටය මුදුනේ, නාවලත් කිරුලපනත් අතර මැද ඇලන් මැතිනියාරාම විහාරය පිහිටා තිබේ. කොළඹ නගරයේ උස් ම ස්ථානයක් වන මෙතැනට හිමිදිරියේ සමනල කන්ද දිස්වේ.

    මෙම විහාරය මේ නමින් හඳුන්වන්නේ ඇයි? කවුද මේ ඇලන්? විහාරවාසී ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු සපයති.

    නෙලී චාර්ලට් හෙන්රියාටා ඩී ඔලිවෙරා මහත්මිය (1869-1907) යම්කිසි මානසික රෝගයකින් පෙළුනාය. ඇයට බොහෝ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත් ප්‍රයෝජනයක් නොවීය. අවසානයේ ඇය කඳවෙල ධර්මාලංකාර තෙරණුවන් වෙත එළඹුනාය. උන්වහන්සේ ඇයට සෙත් පැතීමෙන් අනතුරුව ආයුර්වේද ප්‍රතිකර්ම නිර්දේශ කළෝය. සමහරවිට එය සුළු සම්‍ය ප්‍රයෝගයක් විය හැක. කෙසේ නමුදු සුවය ලැබූ ඇය එයින් සතුටට පත් ව තමන් මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි තෙරණුවන්ගෙන් විමසුවාය. උන්වහන්සේ විහාරයක් ගොඩ නැගීම පිණිස බිම් කඩක අවශ්‍යතාව විස්තර කළ අතර නෙලී මහත්මිය ඒ සඳහා සුදුසු වූ මෙම බිම්කඩ ලබා දී විහාරය ගොඩ නැගීම පිණිස අවශ්‍ය මුදල් ද ලබා දුන්නාය. ඈ මියගිය පසු ආදාහනයෙන් අවශේෂ වූ අළු බඳුනක බහා ගෙනවිත් විහාර භූමියේ තැන්පත් කර ඇගේ නමින් ස්මාරකයක් ගොඩනගන ලදී. විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇගේ ඡායාරූප දෙකක් දකින්නට ලැබේ. විහාරවාසී භික්ෂූන් වහන්සේ අදහස් කරන්නේ නෙලී මහත්මිය මේ වනවිට දේවදූත ආත්මයක් ලබා විහාරය ආශ්‍රිතව ම ගැවසෙන බවයි.

    ඇලන් යනු සමීපතයින් නෙලී මහත්මිය හැඳින් වූ කෙටි නාමය වන අතර ඇයට ගෞරව පිණිස ඇලන්මැතිනියාරාමය වශයෙන් එම විහාරය හඳුන්වයි.




ඇල්බට් චන්ද්‍රවංකය - කුරුඳුවත්ත, කොළඹ 07


    ජාතික කෞතුකාගාරය අභිමුව වන කේම්බ්‍රිජ් පෙදෙසේ අන්තයත්, නිදහස් මාවතේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල අන්තයත් යා කරන මග ඇල්බට් චන්ද්‍රවංකය නම්වේ.

    වික්ටෝරියා රැජණගේ වල්ලභයා ඇල්බට් කුමාරයාය. ඇගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුලදී ම (1837-1901) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය යටත් පාලනය කෙරුණු අතර 1876 දී වික්ටෝරියා රැජණ ඉන්දියාවේ අධිරාජිණිය බවට පත් වූවාය. ඔවුන්ගේ පුතුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළත් ඇල්බට් කුමරු කිසිදා මෙහි පය තබා නැත. එබැවින් මෙම නාමකරණයට සෘජු සම්බන්ධයක් පිළිබඳ සිතිය නොහැකිය. තවත් සිත්ඇදගන්නාසුලු කාරණයක් නම් ලන්ඩනයේ ලැම්බත් හී කොළඹ වීදියේ (Colombo Street) ප්‍රින්ස් ඇලබට් පබ් නමින් අවන්හලක් තිබීමයි. නමුත් ඇල්බට් කුමරු එයට ද කිසිදා පා තබා නැති බවට ලියුම්කරුට විශ්වාසය. කාලාන්තරයක් මෙරට පාලනය කළත් වික්ටෝරියා රැජණට කොළඹ ප්‍රදේශයේ උද්‍යානයක් මිස මාවතක උරුමයක් නැත.



Wednesday, July 21, 2021

161. වීදි සරන ළය 06 - අභය පෙදෙස, අභයාරාම පටුමග, අභයසිංහාරාම පාර, ඇඩම්ස් ඇවනියු, ඇඩම්ලි පෙදෙස, අධිකරණ මාවත සමග අහමඩ් පටුමග


අභය පෙදෙස - දෙමටගොඩ, කොළඹ 09

කොලොන්නාව දෙස සිට දෙමටගොඩ හන්දිය දෙසට පැමිණෙන විට දෙමටගොඩ ඇලත් දෙමටගොඩ හන්දියත් අතර මාර්ගයේදී වම් අත දෙසට වන අභය පෙදෙස හමුවේ.

අභය යනු නිර්භයභාවය වන අතර අභය මුද්‍රාවෙන් සංකේතවත් වන්නේ ආරක්ෂාව ලබා දීමටත්, බිය පලවා හැරීමටත්, හේතුවන අධ්‍යාත්මික ශක්තියයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගැනීමේදී අභය මුද්‍රාව භාවිතා කළ අතර පසුව කලහාකාරී ලෙස හැසිරුණු ඇතෙකු දමනය කරනු පිනිස ද එය යොදා ගන්නා ලදී. අභය සූත්‍ර දේශනාවේ, ‘සම්මා වාචා’ පිළිබඳ විස්තරයේදී උන්වහන්සේ කෙනෙකු කිව යුතු නොකිව යුතු දේ පිළිබඳ ව දේශනා කළෝය. ‘අප නිතර ම කතා කළ යුතු වන්නේ සත්‍ය හා අර්ථයක් ඇති දේ පමණයි. ඒ වගේ ම සතුටුදායක වුවද දුක්ඛදායක වුවද යම් දෙයක් පැවසීමට වඩා සුදුසු ම අවස්ථාව තෝරාගත යුතුය’

බොහෝ සිංහල රජවරුන්ගේ නාමයන් හී මුලට හෝ අගට ‘නිර්භය’ යන තේරුම ගෙනදෙමින් ‘අභය’ යන වදන එක්කර තිබේ. ඒ අතර අභය රජ (ක්‍රී . පූ. 474-454), අභයගිරි දාගැබ සෑදූ වට්ටගාමිණි අභය/වගලම්බාහු රජ (ක්‍රී . පූ. 88-76) සහ දුටුගැමුණු රජ (ක්‍රී . පූ. 161-137) යනාදී රජවරුන් වේ.



අභයාරාම පටුමග - හැව්ලොක් ටවුම, කොළඹ 05

නාරාහේන්පිට, ශ්‍රී අභයාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසීමට ඇති පටුමග මෙනමින් හැඳින්වේ.



අභයසිංහාරාම පාර - මරදාන, කොළඹ 10

පංචිකාවත්ත වටරවුමෙන් පංචිකාවත්ත දෙසට යන විට වම් අත දෙසට මෙම පාර හමුවේ. ඒ ඔස්සේ ගොස් අභයසිංහාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසිය හැකිය. (අභයසිංහ - නිර්භය සිංහයා යන අරුත දේ)



ඇඩම්ස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03

බම්බපිටිය හන්දියේ සිට, තුන්මුල්ල වටරවුම් ද්විත්වය පසුකර කොළඹ විශ්ව විද්‍යාලය දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන පළමු මාවත මෙනමින් හැඳින්වේ. මෙම නාමය උපන් හේතුව නිශ්චිත නැත. ආදම් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන ආදම්ජී ලුක්මන්ජී පවුලේ පිරිස දැනට ජීවත් වන්නේ ඇඩම්ස් ඇවනියු පාරට පසු ව හමුවන පටුමගට මායිම් වන සයිෆි විලා - Saiffee Villa මන්දිරයේය (පෙර ලක්ෂ්මිගිරි මන්දිරය). සමහරවිට ඇඩම්ස් ඇවනියූ නාමය ඉපදීමට මෙම සම්බන්ධය බලපෑවා විය හැකිය. කෙසේ නමුදු මෙම දේපල වල පැරණි හිමිකරුගේ නම ඇඩම්/ඇඩම්ස් විය හැකි බවට H. A. C. හුලුගල්ල විසින් රචිත, The Centenary Volume of the Colombo Municipal Council යන ග්‍රන්ථයෙන් යෝජනා කෙරේ.



ඇඩම්ලි පෙදෙස - බම්බලපිටිය, කොළඹ 04

මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල පසු කර කොළඹ දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන දෙවන මග ඇඩම්ලි පෙදෙස වේ.

බෝරා මුස්ලිම් ජාතිකයින් 1831 දී මෙම දිවයිනට ලඟා වූයේ අහම්බෙනි. ගුජරාටය බලා කරවල රැගෙන යමින් සිටි ජැෆර්ජි ඊසාජීගේ කුඩා මුහුදු යාත්‍රාව කුණාටුවකට අසු වී විනාශ වූ අතර දිවි බේරාගත් ඔහු ගාල්ල වෙරළට ලඟාවිය. මෙරට ඇති ව්‍යාපාර අවස්ථා දුටු ඔහු පසුකාලීන ව මෙරට මූලික කරගෙන ආනයන අපනයන වෙළඳාම ඇරඹීය. ඔහුගේ පුත් කරීම්ජී ජැෆර්ජි එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉංදියානු සාගරය හරහා නැගෙනහිර අප්‍රිකාවේ සිට සිංගපූරුව දක්වා වෙළෙඳ ගනුදෙනු මෙහෙයවන්නට සමත්වීය. ඔහුගේ ඥාති සොයුරු මොහොමඩ්බායි අලීබායි නැමැත්තා සිය පුතුන් වන ඉසුෆ්අලී, ගුලාම්හුසෙයින් සහ ඇඩම්ලි (Esufally, Gulamhussein and Adamaly) යන අයගේ නම් උපයෝගී කරගෙන ඊ. ජී. ඇඩම්ලි සහ පුත්‍රයෝ (E G Adamaly & Sons) යන ව්‍යාපාරය අරඹා, සීනි, භූමිතෙල්, රබර්, පිටි සහ හාල් වෙළදාමෙන් ඉතාමත් කෙටි කලකදී ඉමහත් දියුණුවක් ලබා, දිවයිනේ ප්‍රමුඛත ම වෙළඳ ව්‍යාපාරයන් අතරට එක්විය. පවුලේ තවත් සාමාජිකයෙකු වන ඊ. ජී. ඇඩම්ලි යන අය 1920-1925 අතර කාලය තුල ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අතර ඔහුගේ පුත් කුර්බාන් හුසෙයින් ඇඩම්ලි 1948 දී නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ද, 1947-1971 අතර කාලය තුල සෙනෙට් සභිකයෙකු වශයෙන් ද, කටයුතු කළේය. ඉතාමත් සිත්ඇදගන්නාසුලු බෝරා මස්ජිදය පිහිටා තිබෙන්නේ ද මෙම ඇඩම්ලි පෙදෙස කෙලවරෙහි ය.



අධිකරණ මාවත - මරදාන, කොළඹ 10

ටෙක්නිකල් හන්දියේ සිට පංචිකාවත්ත දෙසට ශ්‍රී සංඝරාජ මාවත ඔස්සේ යන විට වම් අත දෙසට හමුවන පළමු මාවත මෙය වේ.

‘අධිකරණ - සමථ ධම්ම’ යනු බෞද්ධ විනය පිටකයෙහි එන කොටසකි. එයින් පනවා ඇත්තේ භික්ෂූන් අතර ඇතිවන ආරවුල් හෝ නඩු ආදි කාරණා සමථයට පත් කරගැනීමේදී සැළකිය යුතු විනය නීති සමුදායයි. අධිකාරණික යනු විනිශ්චයකාරවරයාය. අධිකරණ මාවත, පහළ උසාවි සහ අලුත්කඩේ පිහිටා ඇති අධිකරණ අමාත්‍යාංශය වෙත දිවෙයි.



අහමඩ් පටුමග - කොම්පඤ්ඤ වීදිය, කොළඹ 02

තොරතුරු සපයන කෙනෙකු මගින් ලේඛකයාට කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙම පටුමගෙහි, පදිංචි, ටී. බී. ජයා මහතාට සමීප ඤාතියෙකු වන තුවාන් අහමඩ් හමීඩ් ඩීන් නැමැති ශ්‍රී ලාංකික මැලේ ජාතික සමාජ සේවකයෙකු හමු වී තිබේ. ඒ හැර එම පටුමග පිළිබඳ වැඩිදුර විස්තර නොමැත.

Wednesday, July 14, 2021

160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර්




පෙර ලිපි
154. වීදි සරන ළය - 01



අබ්දූල් කෆූර් මාවත - කොල්ලුපිටිය, කොළඹ 3

පැරණි නම - පෙන්ඩෙනිස් ඇවනියු

    ගාලු පාරේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට, දකුණු පැත්තේ ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමය ගොඩනැගිල්ලට පසු ඇති මග අබ්දූල් කෆූර් මාවත වේ.

    අරාබි වෙළෙඳුන් මෙරටට පැමිණ පළමුව බේරුවල ආශ්‍රිත ව පදිංචි වූයේ, අටවන සියවසයේ දී යැයි විශ්වාස කෙරේ. මෙරට පතල් කර්මාන්තය හා මැණික් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීමෙහි ලා මැණික් පිළිබඳව වූ සිය ප්‍රවීණතාව මැනවින් උපයෝගී කරගත් ඔවූහු කොළඹට පැමිණ මැණික් වෙළඳාමෙහි යෙදුණු අතර අවසානයේ එහි ම පදිංචි වූහ. 1894 දී ‘නූර්ඩීන් හාජියාර් අබ්දූල් කෆූර් හාජියාර්’ විසින් පළමු වරට කොළඹ වරායේ මැණික් වෙළඳාම අරඹන ලද අතර මද කලකින් ම ඉමහත් කීර්තියක්, ප්‍රසිද්ධියක් උපයාගත් ඔහු 1901 දී වේල්සයේ කුමර කුමරියන් මෙරටට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී මහනුවර මණ්ඩපයේ දී ඔවුනට සිය දියමන්ති සහ මුතු මැණික් එකතුව සහිත ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට ද සමත්විය. පසුකාලීන ව යුරෝපයේ සහ ඇමරිකාවේ පවත්වන ලද ප්‍රදර්ශනයන්හි දී සම්මානයට පත් වූ අබ්දූල් කෆූර් 1929 දී සිය මිල කළ නොහැකි අනර්ඝ මුතු මැණික්, දියමන්ති සහ අභරණ එකතුව ප්‍රදර්ශනය කරනු පිණිස, කොළඹ කොටුවේ, පල්ලිය වීදියේ මැණික් කෞතුකාගාරයක් විවෘත කළේය. ඒ පෙදෙසෙහි සංචාරය කරන්නේ නම්, කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ව අදටත් එම ගොඩනැගිල්ල දැකගත හැකිය.

    මෙරට මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට කැපවීමෙන් කටයුතු කළ අබ්දූල් කෆූර් මරදාන සහිරා විද්‍යාලයට, ද ගෆූරියා ඇරබික් විද්‍යාලයට සහ ද ගෆූර් අරමුදලට සිය ධනය පරිත්‍යාග කළේය. තව ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුනගේ මක්කම වන්දනාවන් සඳහා මූල්‍යමය දායකත්වයත් සැපයීය. 1949 දී අභාවප්‍රාප්ත වූ අබ්දූල් කෆූර් මහතාගේ දේහය මරදාන මුස්ලිම් පල්ලිය භූමියේ භූමදාන කරන ලදී.



අබ්දූල් හමීඩ් වීදිය - අලුත්කඩේ, කොළඹ 12

පැරණි නම - වින්සන්ට් වීදිය

    කෙසෙල්වත්තේ සිට උසාවිය පසුකොට අලුත්කඩේ වීදිය ඔස්සේ පැමිණෙද්දී හමුවන ‘Y’ හන්දියෙන් දකුණු දෙසට වන්නට ඇත්තේ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත වේ. එහි මීටර 200ක් පමණ දුරින් හමුවන සිව්මංසලින් දකුණු පසට වන මග අබ්දූල් හමීඩ් වීදිය වේ.

    1900දී ශ්‍රී ලාංකික මුස්ලිම්වරු, තුර්කි සුල්තාන්-දෙවන අබ්දූල් හමීඩ්ගේ රිදී ජුබිලිය මහ ඉහළින් උත්සවාකාරයෙන් සැමරුවේ කොඩි ලෙලවමින් සහ ගිණිකෙළි සංදර්ශන පවත්වමිනි. ඔහු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ ප්‍රධානියා මෙන් ම ඉස්ලාමීය සහයෝගීතාවේ සංකේතයක් බඳු කාලීෆ් වරයෙකුවිය. එරටෙහි පළමු සිවිල් සේවකයා වූ අමා අසීස් මෙසේ පවසයි.

    ‘සුල්තාන්වරයාගේ සෑම ප්‍රධාන කටයුත්තක් ම රාජ්‍යයේ කටයුත්තක් හා සමානයි. සෑම සතියේ ම දේවස්ථාන වල සිකුරාදා පූජාවන්හී එතුමාගේ නාමය රැව්දීම ඉතාමත් සාමාන්‍ය කාරණයක්. බොහෝ මුස්ලිම් නිවෙස් වල එතුමාගේ පිංතූරයක් තිබෙනවා. තුර්කි රාජධානිය සුල්තාන්ගේ උත්සව හා වෙනත් විවිධ අවස්ථාවන් වෙනුවෙන් උවමනාවටත් වඩා කාලය හා ඉඩ වෙන් කෙරුවා. ළදරුවන් සහ ආයතන නම් කෙරුණේ සුල්තාන්වරයාගේ නමින්’.

    සුල්තාන්වරයාගේ උරුමයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු තුර්කි තොප්පිය (Fez) පැළඳීමත්, හඳ පලුව හා තනි තරුව ප්‍රදර්ශනය කිරීමත් සිදු කළ අතර ඒවා ඔටෝමාන් අධිරාජ්‍යයේ සංකේත විය.

    I.L.M. නූර්ඩීන් හාජියාර් ඔහුගේ පියාවන ඉඩෘස් ලෙබ්බේ මාරිකාර්ගෙන් පසු 1900දී ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය-පදනමේ භාරකාරවරයා බවට පත් වූ අතර ඔහු අලුත්කඩේ පෙදෙසේ දේපළ පරිත්‍යාග කර පල්ලියේ නඩත්තු කටයුතු සැළසීය. සිය පුද්ගලික වියදමින් කොළඹ ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය භූමියේ හමීඩියා විද්‍යාලය වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකළ නූර්ඩින් හාජියාර් මහතා එය තුර්කි සුල්තාන් හමීඩ් නමින් නම් කළේය.

    ලාංකීය විද්වතුන් හා කතාබහ කිරීමෙන් මෙන් ම පුස්තකාල ආශ්‍රය කරගනිමින් සොයා බැලුව ද අබ්දුල් හමීඩ් මාවත කුමන පුද්ගලයාගේ නමින් නම් වූයේ දැයි පැහැදිළි අදහසක් ගත නොහැකි වූ අතර වියහැකි ආකාර පහත පරිදි ලඝු කොට දැක්විය හැකිය.

I.L.M. අබ්දූල් හමීඩ් - I.L.M. නූර්ඩින් හාජියාර්ගේ සහෝදරයා

    N.D.H. අබ්දූල් හමීඩ් - මරදාන මොස්ක් හී භාරකාරවරයා, නූර්ඩින් හාජියාර්ගේ පුතා, N.D.H. අබ්දූල් කෆූර්ගේ සහෝදරයා (අබ්දුල් කෆූර් මාවත)

    B.S. අබ්දුල් හමීඩ් - කොළඹ මහා නගර සභා සභික (1950-1957)



අබ්දුල් ජබ්බාර් මාවත - අලුත්කඩේ, කොළඹ 12

    ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට, M.J.M. ලෆිර් මාවත ඔස්සේ යන විට හමුවන පළමු සිව්මංසලින් දකුණු දෙසට වන මග අබ්දුල් ජබ්බාර් මාවත වේ.

    වාපු මරිකාර් අබ්දුල් ජබ්බාර් මහතා 1940-1957 දක්වා කාලය තුල මාරදාන මොස්ක් මුස්ලිම් පල්ලියේ භාණ්ඩාගාරික තනතුර හෙබවීය. ඔහුට, මාමා වන I.L.M. නූර්ඩීන් හාජියාර්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් උරුම විය. අදටත් එම වෙළඳසැල, M.J.M. ලාෆිර් මාවත-මැසෙන්ජර් වීදියත්, ගල්වල පාරත් (Quarry Road), අබ්දුල් ජබ්බාර් වීදියත් හමුවන සිව්මංසලදී දැකගත හැකිය.

    අබ්දුල් ජබ්බාර් සහ පුත්‍රයෝ (Abdul Jabbar & Sons), අබ්දුල් ජබ්බාර් නිවස (Abdul Jabbar House) යන ව්‍යාපාරය සහ නිවස අබ්දුල් ජබ්බාර් මාවතේ පිහිටා ඇත.

Wednesday, July 7, 2021

159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස







කොළඹ 11 - පිටකොටුව

    සිංහල භාවිතය අනුව පිටකොටුව-Pettah යනු ‘කොටුවෙන් පිටත’ යන්න අරුත් ගන්වන වදනකි. හොබ්සන්-ජොබ්සන් නම් ඉංග්‍රීසි-ඉන්දියානු ශබ්දකෝෂයට අනුව Pettah යනු (දමිළ බසින් පෙට්ටායි) බලකොටුවකට ඈඳුනු උපනගරයක් හෝ බලකොටුවකට යාබද නගරයකි. අතීතයේ බොහෝ ජනයා පදිංචි පෙදෙසක් වූ එහි එළිමහන් කඩ වීදියක් හා වෙළෙඳපොලක් තිබී ඇත. වර්තමානයේ වීදි, පටු මං හා මුඩුක්කු පෙදෙස් වලින් ගහන වංකගිරියක සිරිගෙන ඇති පිටකොටුව, ශ්‍රී ලංකාවේ තොග සහ සිල්ලර වෙළෙඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ව ක්‍රියා කරයි.

කොළඹ 12 - අලුත්කඩේ

    ඕලන්ද ජාතික ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් (Gerard Hulft), 1656 දී සිදු කළ, පෘතුගීසින්ට එරෙහි විජයග්‍රාහී අවසන් සටනේ දී ඝාතනයට ලක්විය. ඔහු, වසර 150කට අධික කාලයක් තිස්සේ කොළඹ අත්පත්කරගෙන සිටි පෘතුගීසින් පළවා හැරීම සඳහා එවකට කන්ද උඩරට පාලනය කළ දෙවන රාජසිංහ රජු සමග සන්ධාන ගතවිය. හල්ෆ්ට් මිය යෑමට පෙර දිනයේ ඔවුන් ත්‍යාග හුවමාරු කරගන්නා ලද අතර දෙවන රාජසිංහ රජු, ‘රන්මය කරපටියක්’ ජෙනරාල් හල්ෆ්ට්ගේ ගෙල වටා පැළඳ වූයේය. ඊට අමතර ව තමන් දෙදෙනා අතර වන මිත්‍ර සන්ධානය සංකේතවත් කරමින් තමාගේ මුදුවක් හල්ෆ්ට්ගේ ඇඟිල්ලක පැළඳවීය.

    පසුදා ජනරාල්වරයා අවසන් සටනේ දී භාවිතා කළ හැකි ඉදිරිපෙළ අගල් ගැන පරීක්ෂා කරමින් සිටියේය. ඒ අතරේ ඕලන්ද ශාලාවක ගින්නක් ඇති කිරීමට පෘතුගීසින් සමත් විය. ඔහු උදව් සොයන්නට විය. ‘යහපත් දෙවියනි!, උදව් කරන්න!’ නමුදු පමා වැඩිය. හදවත පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයක් හේතුවෙන්, ඕලන්දයින් කොළඹ අත්පත් කරගන්නා අයුරු දකින්නට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. නමුදු, ඒ ඕලන්ද සෙනෙවියා සිය නිවස ගොඩ නැගූ කඳු ගැටය සියවස් ගණනාවක් තිස්සේ Hulftsdorp (හල්ෆ්ට්ගේ ගම්මානය) නාමය දරමින් කොළඹ පදාසයක් හිමිකරගෙන සිටියි.

    වරෙක බ්‍රිතාන්‍යයින් පිටකොටුවේ වෙළෙඳපොළ මෙම කඳු ගැටයේ බෑවුම් වෙත ගෙන එන්නට දරපු උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් එම පෙදෙසට ‘අලුත්කඩේ’- New Bazar යන නාමය හිමිවිය.

    වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ වූ සියලු ම ආයතන පාහේ පිහිටා ඇත්තේ අලුත්කඩේ පෙදෙසෙහිය. ඒ අතර මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් ම අධිකරණ අමාත්‍යාංශය ද වේ. (මෙම පෙදෙස හඳුන්වන ඉංග්‍රීසි නාමයෙහි නිවැරදි අක්ෂර වින්‍යාසය, ‘Hulftsdorp - හල්ෆ්ට්ස්ඩෝප්’ වේ).

කොළඹ 13 - කොටහේන

    කුඩා ධීවර ගම්මානයක් වුණු කොටහේනට ඒ නම ලැබී ඇත්තේ එහි තිබුණු සරුසාර කොට්ටන් ගස් (Costus Speciosus) යාය (කොට්ටන් හේන) නිසා යැයි සැළකේ. පෘතුගීසි යුගයේ දී මේ පෙදෙස හැඳින්වූයේ කොට්ටන්චීන - Kottanchina යනුවෙනි. ඕලන්ද බසින් ‘Korteboam’ යනු ‘කොට ගස්’ යන්නට සමාන පදයකි. අවසානයේ බ්‍රිතාන්‍යයන් විසින් කොටහේන - කොට්න් චයිනා (Cotton China) බවට පෙරළීය.

    සිංහල ක්‍රමයට ගතහොත් කොටහේන යන්න, ‘ගස් කපා ලඳු කැලෑ ගිණි ලූ පසු ඉතිරිවන කොට සහිත හේන’ යන යෙදුමෙන් ආවා ද විය හැක. (වරක් අස්වැද්දූ පසු මෙවැනි හේන් අතහැර දැමෙන අතර වෙනත් බිම් කඩක නව හේනක් සාදා ගැනීම සිරිතයි)

    1760 පමණ සිට කොටහේනේ දේවස්ථානයක් තිබුණද, මේ කුඩා ගම්මානය කලඑළි වී නාගරීකරණය වූයේ 1838 දී ශාන්ත ලුසියාස් ආසන දෙව්මැදුර පිහිට වීමෙන් පසුවය.

කොළඹ 14 - ග්‍රෑන්ඩ්පාස්

    පෘතුගීසි යුගයේ දී කැළණි නදිය හරහා උතුරු දෙසට තරණයට තොටුපළ ඔරු (Ferries) දෙකක් විය. පෘතුගීසින් එවා හැඳින්වූයේ ‘Passo’-පැසෝ යන නමින් වන අතර බ්‍රිතාන්‍යයන් පසු කාලීන ව එවදන ‘Pass’-පාස් යනුවෙන් ඉංග්‍රීසිකරණය කරන ලදී. පළමු තොටුපළ ඔරුව වූයේ වර්තමාන නාගලගම් වීදිය කෙළවරෙහිය. එය පෘතුගීසි යුගයේදී ‘Passo Grande’ ලෙස හැඳින් වූ අතර පසුකාලීන ව ග්‍රෑන්ඩ්පාස් බවට හැරුණේ එම නාමයයි. දෙවැන්න පිහිටියේ වත්තල පෙදෙස ආසන්නයේය. ග්‍රෑන්ඩ්පාස් තොටුපළ වඩා කාර්යය බහුල ස්ථානය වූ අතර එයට ම හිමි වූ වෙළෙඳපොළක් සහ රේන්දයක් තිබූ බව සඳහන් ය. 1822 දී පාරු පාලම (Pontoon Bridge) ඉදි වූ පසු ඔරුව ඉවත් කෙරිණ. එම පාරු පාලමට බෝට්ටු 21ක් අයත් වූ අතර එහි දිග අඩි 499ක් විය. 1895 දී අඩි 26ක් පළල, ගරාදි බාල්ක යෙදූ මාර්ග පාලමක් (lattice girder road bridge) වන වික්ටෝරියා පාලම නිමවන තෙක් ගඟ තරණය සඳහා වූ ප්‍රධාන ක්‍රමය වූයේ මෙයයි. ඊට වසර 30කට පෙර කැළණි ගඟ හරහා දුම්රිය පාලම සම්පූර්ණ කර තිබිණ.

කොළඹ 15 - මුත්වාල්

    කැළණි ගඟේ සාගරයට බැඳි කොටස සාම්ප්‍රදායික ව හඳුන්වන්නේ ‘මුත්වාල් ඔය’ නමිනි. මෝය කට යන්නට දමිළ බසින් යෙදෙන ‘මුහතුවරම්’ යන වදන, පෘතුගීසින් හා ලන්දේසීන් භාවිතා කිරීමේදී ‘මුත්වාල්’ යන වදන බිහි වූ ලෙස සැළකේ. වර්තමාන මුත්වාල් ප්‍රදේශයට, උතුරු කොළඹට අයත් මට්ටක්කුලිය, මෝදර, කදිරාන සහ කාක දූපත අයත් වේ.


                         (මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)


කොළඹ කළාප නිමි

Saturday, July 3, 2021

158. පුස්තකාල පූසා සහ කළු උස මනුස්සයෙක් සමගින් ගෙදර'වට සිතියම


    හරි වැඩක් මට වුණේ. පසුගිය දවස් 40ක වගේ කාලයක් තුල පොත් 20ක් කියවලා අවසානයේ ඒ පොත් 20 මා තුල ඇති කළ සිතුවිලි ගැන සම්පිණ්ඩනයක් ලියන්න ගත්ත කටු සටහන (Draft) අන්න තවම බ්ලොගර් ලිපි ගොනුවේ සේව් කරපු ගමන්. (සගයා නම් දකින්න ඇති)

    අපේ තරුරසි අක්කයි මායි පොත් හුවමාරු කරගෙන කියනවා මේ දවස් වල. අර විස්සෙන් 5-6ක් ඒ හුවමාරුවේ පොත්. මෙදා සැරේ අක්කා පොත් 9ක් එවා තිබුණා. පොත් 20 ගැන ලියන්න ගන්න අතරතුරේ ඒ 9න් එකක් කියවන්න ගත්ත එක තමයි මට වුණු හරි වැඩේ.

    ඒ පොත 'පුස්තකාල පූසා සහ තවත් කතා'. ලියලා තියෙන්නේ ප්‍රින්ස් සේනාධීර කියලා මහතැන් කෙනෙක්. අර කතාවට කියන්නේ, "‌ශෙහ්!... අන්න පොත්!" අන්න ඒ කතාව මේ පොතටත් කියන්න පුළුවන් කිසි ලෝභ කමක් නැති ව.


    විස්තර ලියනවා නම් එක කතාවක් ගානේ ලියන්න තරම් විස්තර. අනේ මන්දා කෙටි කතා! කියලා අතට ගත්ත පොතේ කතා 8 ම එක දවසින් කියවලා ඉවර කරන්න ජවය දුන්නේ පළමු කතාවෙන්මයි. භාවිත රචනා විලාශයේ වෙනස, එක වගේ කතා කියවලා කම්මැලිකම අමාරුවෙන් දරාගෙන හිටපු හිතට ගෙනාවේ පුදුමාකාර අස්වැසිල්ලක්. මං මොකුත් වැඩියේ කියන්නේ නැහැ. ඔයාලා ම කියවලා බලන්න. මේක කියවන්න ම ඔනෑ පොතක්! කියලා විතරක් කියන්නම්.

    ඉතින් ඊ ගාවට ඒ මහතැන්ගේ ම "කළු උස මනුස්සයෙක්" පොත අතට ගම් දෝ නොගම් දෝ කියලා දෙකට දෙවාරේ හිතලා හිතලා, ඒ පොතින් කලින් පොත නිසා ඇතිවුණු ප්‍රහර්ශය නැති වේදෝ කියන බයට වෙන පොතක් අතට ගන්න හිතුවා. මොකද මේ පොත් දෙක 2020, 2021 කියන එක ලඟ අවුරුදු දෙකේ නිකුත් වෙලා තියෙන්නේ. 

    ඒ පණ්ඩිතකම් නිසා මං ඊ ගාවට අතට ගත්තේ ලියනගේ අමරකීර්ති මහතැන්ගේ "ගෙදර'වට සිතියම"

    ඒ මහතැන්ගේ සේරම පොත් වගේ මං කියවලා තියෙනවා. වෙනදාටත් වඩා නිදහසකින් ස්ත්‍රී ලාලිත්‍යය, මිනිස් සබඳතා හී මාන, රට වැටුණු තැන ආදී කාරණා ගැන ඉතාමත් සරළව, නමුත් හිසට ටොකු අනිමින් පෙන්වා දෙමින් රචනා කර තිබෙනවා.

    සිනමාවේ ‌ඛේදාන්තය, රට රැකගත් කාණ්ඩේ රණවිරුවන්ගේ ‌ඛේදාන්තය, තුන්වෙනි ලෝකයෙන් ඌන සංවර්ධිත ලැයිස්තුවට යෑමට ඔන්න මෙන්න ඉන්නා රටක ‌‌වත, ඒ රටේ අධ්‍යාපනයේ ගමන් මග වැනි කාරණා ඔස්සේත් නොවැළැක්විය හැකි ලෙස අප රට ජන ජීවිතයට බද්ධ වී ඇති 88-89 කාලයේ වේදනාවත් කතන්දර 8ක් පුරා සිතුවම් කර තිබෙනවා. ඒ කතා 8ත් එක දවසින් කියවලා ඉවර කළා.



    ඉතින් ඊට පස්සේ මම "කළු උස මනුස්සයෙක්" කියවන්න ගත්තා. එක ලඟ අවුරුදු දෙකේ පළ වුණා කියලා, කිසිම අඩුපාඩුවක් නැහැ. පොත් දෙකින් කොයි පොත ද වැඩියෙන් හොඳ කියලා හිතා ගන්නත් බැහැ. හැබැයි මේ පොතේ භාවිත රචනා ශෛලිය වෙනස්. කතා 8න් තුනක විතර ලියුම් ඔස්සේ කතාව ගොඩ නැගෙනවා. ඒ වියමන් හරි ම රසයි. වෙන වචනයක් නැහැ. එයිනුත් 'ලියුම් මාත්‍රාව' කියන කතාව පුදුමාකාර ‌වින්දනීය වේදනාවක් ඇති කරනවා. 'අසූනවයට පස්සේ' කතාවේ ලියුම ලියන මනුස්සයා අහන ප්‍රශ්න වලට ටිකින් ටික උස් මහත් වෙන දරුවෝ ඉන්න දෙමව්පියන් හැටියට අපටත් උත්තර දී ගත නොහැකි නේදැයි වරින් වර හිතෙන්න ගන්නවා. අපේ දරුවෝ එවැනි පියවර වලට ගියොත් කොයි තරම් නම් ප්‍රවේශමෙන් ඒ කාරණාවට ප්‍රවේශ විය යුතුදැයි රචකයා අපිත් සමග මානසික ගනුදෙනුවකින් සාකච්ඡා කරනවා.

    මා කියවා ඇති පොත් වල දැක නැති දෙයක් මේ පොතේ හමුවෙනවා. එක ම මාතෘකාවෙන් කතා දෙකක්. කියවලා ම බලන්න. ඒ කතා දෙක ඒ තරම් වටින කතා දෙකක්.

    බොහෝ කතා වල අමරකීර්ති මහතාගේ කතා වල වගේ ම නොවැළැක්විය හැකි 88-89 ජන ජීවිතයට ඇලී ගැලී සිටින අයුරු දක්වා තිබුණත් ඒ සියල්ල ම පාහේ වෙනදා කියවා නැති මාන ඔස්සේ දිව යනවා.

    ඇත්තම කියනවා නම් 8 වෙනි කතාව කියවන එක මදකට පසෙකින් තබා මේ ලිපිය මේ ලිය ලියා ඉන්නේ. අද නොලිව්වොත් ආයේ ලියන්න වෙන්නේ සඳුදා. ඒ වෙනකොට මේ ලියමනට මගෙන් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් (කම්මැලිකම නිසා)



    සමස්තය සළකා බලද්දි මට මේ කතා ‌සේරම එක හා සමාන හෝ එක ලඟින් යන හෝ දැනීමක් ඇති කරපු කතා ගොන්නක්. මම කැමති රීතියේ කතා. සංකේත විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා, කතාවට වඩා සංකේත උද්දීපනය වෙලා, අවසානයේ සංකේත මල්ලේ කතාව හොයා ගන්න බැරි ව යන බොහෝ කතන්දර අතර සංකේතත්, කතන්දරයත් පත අට එකට හිඳුවා සාදන ලද ඖෂධීය පානයක් වගේ මේ කතන්දර 24 (තාම 23) මහා දැනවීමක් හිතට දනවලා තියෙනවා. විශේෂයෙන් ප්‍රින්ස්ගේ පළමු කෙටි කතා පොත් දෙක වන මේ පොත් දෙකේ දි එයා ගොඩක් ප්‍රවේශමෙන් වචන එකතු කරලා, රටා මවමින් වියමන කර ඇති බව පැහැදිලියි. ඒ වගේ ම මගේ දැනීමේ හැටියට ඒ කාර්යය අතිශයින් සාර්ථකයි.

    




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...