Showing posts with label හද බැඳි ගී.... Show all posts
Showing posts with label හද බැඳි ගී.... Show all posts

Tuesday, November 14, 2017

545. The Story Of My Marriage - 50 - Vanakkam..Vanakkam..Most Welcome To Our Home…..

ඉතිං මංජු මට හරිෂ් නොහොත් අනන්‍යාගෙ යෝජිත මනාල මහත්තය ගැන සියලු විස්තර කිව්ව. විවාහාපේක්ෂිත දියණියකගෙ මව්පියන්වන ඕනෑම දෙමළ අම්මෙක් නැත්නම් තාත්තෙක්ගෙ සිහින කුමාරය බවට නිතරඟයෙන් පත්වෙන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් හරිෂ්ට තිබ්බ. පහුගිය අවුරුදු දෙකක් විතර තිස්සෙම අනන්‍යාගෙ අම්ම නිතරම හරිෂ්ගෙ ගුණ වර්ණනා කරල අනන්‍යාගෙ කැමැත්ත ගන්ට උත්සාහ කරල තියනව. අනන්‍යා කිසිම විදිහකින් බුරුලක් නොදුන්නට අම්ම උත්සාහය අත ඇරලත් නෑ.

"අක්කගෙ කැමැත්තක් තිබ්බෙම නෑ. ඒත් අම්මගෙන් බේරුමක් නැතිම තැනයි මම හිතන්නෙ එයා ඔය කේන්දර බලන්ට කැමැත්ත දුන්නෙ.." මංජු ඇස් ලොකු කරගෙන කිව්ව.

හරිෂ් ඇවිල්ල හිට හොඳම වර්ගයෙ දමිළයෙක්. ඒ කියන්නෙ සුප්‍රා ග්‍රේඩ්. දමිළ ජන වර්ගයෙ, බ්‍රාහ්මණ කුලයෙ,  අයියර් උප කුලයෙ. ඒ බොහොම පැහැදිලිව වර්ගීකරණ තුනක්. පන්ජාබී අපි ඔක්කොම එක කුලේ හින්ද අපිට ඔව්වයෙ ගානක් නැතිවුනාට අනන්‍යාලගෙ නෑදෑ පරපුරට ඔය කුල කේස් බොහොම වැදගත්. මට මතකයි ඉස්සොරෝම අහ්මදාබාද් වලදි අනන්‍යා මුණගැහුණු දවසෙ මම "ඔයා දකුණු ඉන්දියාවෙන් නේද?" කියල ඇහුවම ඈ මෙහෙම කිව්ව.

"එහෙම නිකම්ම දකුණු ඉන්දියාවෙන්ය කියල විතරක් කිව්වොත් ඒක එච්චර හරි නෑ. මම ඇවිල්ල දමිළ..මේ... කරුණාකරල පටලගන්ට එහෙමනම් එපා ඔන්න ..මම දමිළ ..ම්ම්ම්....ඒත් හරියටම හරි නෑ..හරියටම කිව්වොත් දමිළ බ්‍රාහ්මණ වංශික. මතකයි නේ? දමිළ බ්‍රාහ්මණ වංශික. ඒක අමතක කරනව එහෙම නෙවෙයි හොඳද?"

හෙහ්..ඒ යෝදි එහෙම කිව්වෙ නිකම්ම එහෙමත් නෙවෙයි. මස් කෑල්ලක් හත් මාසෙකිං දැකල නැති ගානට කුකුල් අණ්ඩක් හපන ගමං......

ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත්  යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි. ඇස්වහක් කටවහක් නෑ ආය ඔහෙලට කිව්වම මොකද මට ඔය තුනම නෑ.

මංජු මට හරිෂ් ගැන පරිපූර්ණ විස්තරයක් ඉදිරිපත් කලා. මනුස්සය ඉගෙන ගෙන තියෙන්නෙ චෙන්නයි අයි.අයි.ටී. එකේ. හරිෂ්ගෙ GPA එක 9.45ක්. 

(සටහන - GPA (Grade Point Average) කියන්නෙ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන වගෙ උසස් අධ්‍යාපන ආයතනවලින් සමත්වෙන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙ දක්ෂතාවය මනින මිම්මක්. අධ්‍යයන කාල සීමාව පුරා ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පරීක්ෂණ වලදි ලබා ගත් ලකුණුවල සාමාන්‍ය අගය තමයි ඒකෙන් කියවෙන්නෙ) 

හරිෂ් 10න් 9.45ක් ගත්ත කියන්නෙ අයිසෙක් නිව්ටන්ගෙ මට්ටමේ බුද්ධිමතෙක් වෙන්න ඕන. ඔය විස්තරේ අනන්‍යාගෙ අම්මට කියල තියෙන්නෙ අනන්‍යාගෙ නැන්ද. මතකයි නේද? අර ශෝභා ආන්ටි.... ආන්න එයා...

හරිෂ් එතනින් නැවතිලා නැහැ ශිෂ්‍යත්වයක් හම්බවෙලා මාස්ටර්ස් එකක් කරල ඒකත් ඉහළින්ම සමත් වෙලා දැන් වැඩ කරන්නෙ ඇමරිකාවෙ සිලිකන් වැලීවල ඉහළම ගණයෙ අයි.ටී. කම්පනි එහෙක. ඒකෙ නම සිස්කෝ සිස්ටම්ස්. හරිෂ් මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. (ඔය ඔක්කොම නොකරන මනුස්සයෙක් අහවල් දේකට ජීවත් වෙනවද කියන එකනම් මට පොඩි කාලෙ ඉඳලම තිබ්බ දැවෙන පස්නයක්) 

හරිෂ් කර්ණාටික් මූසික් එක්ස්පර්ට් කෙනෙක්. ඊට අමතරව භාරත නාට්‍යම් රසිකයෙක්. මිනිහගෙ උඩු රැවුලෙ ගණකම අඟල් බාගයක් සහ තවත් සේසයක්. 

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරබදව තදාසන්න නියම්ගමක හරිෂ්ටම අයිති තට්ටු දෙකකි ගෙදරකි. ඒ වගේම කිරිසුදු අළුත්ම හොන්ඩා එකෝඩ් එකකුත්. කොටස් වෙළඳපලේ ෂෙයාර්ස් බර ගාණක්. මේ පහුගිය මාස දෙක තුන ඇරුනුකොට හරිෂ්ට අයිති කොටස්වල වටිනාකම සෑම මිනිත්තු දොළහකට සැරයක්ම දෙගුණ උනාලු.

ඒ ඔක්කොමත් කමක් නෑ කියමුකො. හරිෂ්ට එයාගෙම ටෙලස්කෝප් එකකුත් තියනවලු. මිනිහ සති අන්තෙ පුරාම කරන්නෙ ඒකෙං මන්දාකිණීද මොනවද බලන එකලු. මංජුට ඔක්කෝටම වැඩිය හිතට අල්ලල ගිහිල්ල තියෙන්නෙ ඒ ටෙලස්කෝප් එක. 

"අක්කා හරිෂ්ව කසාද බඳින්ට කැමති වුනොත් නම් මරු. මට එතකොට ටෙලස්කෝප් එකෙං හිතේ හැටියට තරු ග්‍රහලෝක එහෙම බලන්ට පුලුවෙනි" එහෙම කියනකොටත් මංජුගෙ ඇස් දිළිසුනා.

"ම්ම්ම්..වෙන මොකවත් එපාද? එහෙමද ආස?" එහෙම තොල මතුරමින් මම මිනිහ දිහා රවල බැලුව දාලපිච්චිල යන්ට.

මංජු බයවෙච්චි පාර එහෙම්ම කට වහගත්ත. "අර මූකලං බස්ස ගැන තව විස්තර අහගන්ට නම් මේ කොලුව බයකරල බෑනෙ.." මම එහෙම හිතල කොල්ලව ෂේප් කරගන්ට කටපුරා හිනාවුනා. 

"හරි හරි ඉතිං මංජු තව මොනවද හරිෂ්ගෙ විස්තර ඔයා දන්නෙ?"

"ම්ම්ම්....තව මොනවද නේද?....ආ හරිෂ් තව මට කිව්ව එයාගෙ ටෙලස්කෝප් එකෙං සෙනසුරුගෙ වළලුවල පාට බලන්නත් පුලුවන්ය කියල"

"හුහ් ඔය කිව්වෙ..සෙනසුරුගෙ වළලුවල පාට...සෙනසුරු වළලු විතරද දන්නෙ නෑ දාගෙන ඉන්නෙ? මාලෙ පාට පෙනුනෙ නැද්ද දන්නෙ නෑ අර යස්සයට.." මම තනියම කියාගත්ත.

"මොකක්ද කිව්වෙ මංජු? හරිෂ් ඔයාට කිව්වයි කියල නේද කිව්වෙ? ඒ කියන්නෙ මීට කලින් එයා මෙහෙ ඇවිල්ල තියනවද?"

"නෑ..නෑ.....එයා අමරිකාවෙ ඉඳල තුන් හතර ගමනක් ටෙලිෆෝන් කලානෙ. ඒ වෙලාවකයි මට ඔය විස්තර කිව්වෙ….."

"අක්කත් එයත් එක්ක කතා කලාද?" මම හුස්ම අල්ලගෙන ඇහුව.

"නෑ හරිෂ් කතා කරපු එක වෙලාවකවත් අක්ක ගෙදර හිටියෙ නෑ. අනික හිටිය උනත් අක්ක හරිෂ් එක්ක කතා කරන එකක් නෑ"

"ඒ මොකෝ?"

"එහෙම තමයි අපේ චාරිත්‍ර...කේන්දර ගැලපෙනකල් කොල්ලයි කෙල්ලයි කතා කරන එක තහනම්"

"හ්ම්ම්..කොල්ලයි කෙල්ලයි.." එහෙම හිතනකොටත් මට එන කේන්තිය කියල ඉවර කරන්ට බෑ…"කොල්ලයි කෙල්ලයි...හුහ්"

"දැන්නම් ඉතිං ප්‍රශ්ණයක් නෑ. කේන්දර ගැලපෙනවනෙ. දැන් දෙන්නට කතා කලෑකි. අද ඔය එන්නෙත් එහෙම කේන්දර ගැලපුන නිසානෙ.." 

මංජු බොහොම සන්තෝසෙං කියාගෙන ගියා.

මට මගෙ අම්ම මතක් වුනා. මගෙ අම්ම මට ගෑණු ළමයෙක් ගැලපෙනවද කියල හොයල බලන්නෙ ළමයගෙ පියතුමාට අයිති පෙට්රල් ෂෙඩ් කීයක් තියනවද? එතකොට එව්වයිං කීයක් ගෑණු ළමයට දෑවැද්දට දෙනවද? කියන එක විතරයි. අනේ වාසනාවන් එහෙම අම්මල…

"මංජු ඔයා ඉගෙන ගන්නෙ විද්‍යාව. ඔයා ඇත්තටම විද්‍යාවට ගණිතයට දෙකටම එක වගෙ දක්ෂයි. ඒ වගේම සෙනසුරුගෙ වළලුවල පාට බලන්ටත් ඔයා ආසාවෙන් ඉන්නව. ඒ එක්කම කේන්දර ගැලපෙන්නෙ නෑ කියල කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරන එකත් වැරදියි කියලත් ඔයාම කියනව. මට තේරෙන්නෙ නෑ ඔයා හිතන විදිහ"

"ඒකෙ තේරුම් ගන්ට ඔය හැටි අමාරු දෙයක් නෑ. මම ඉගෙන ගන්නෙ විද්‍යාව. කවදක හරි මගෙ අනාගතය වෙන්නෙ විද්‍යාව. ඒ එක්කම මේ අපේ සංස්කෘතිය" මංජු කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

"හ්ම්ම්ම්ම්…..ඒකත් එහෙමද?" මම දිග හුස්මක් පාතට දාල හෙමීට කිව්ව.

"කරුණාකරල දැන්වත් මගෙ සටහන් පොත දෙනවද?" මංජු ඔලුව උස්සල මා දිහා බලල ඇහුව.

"හරි හරි තරහ වෙන්න එපා…." මම සටහන් පොත මංජුට දුන්න.

"දැන් හරිෂ් එනවද?"

"ඔව්..ඊයෙ අම්ම කතා කරල කිව්ව උදේ කෑමට එන්නෙයි කියල එයාලට"

"එයාලට කිව්වෙ?"

"හරිෂ්ටයි එයාගෙ අම්මටයි තාත්තටයි...තව කවුරු කවුරු එයිද දන්නෙ නෑ….." මංජු ආයෙමත් සටහන් පොතට ඔලුව නවා ගත්ත.

"හරි මංජු...මම යන්නං එහෙනං"

මම නැඟිටල මගෙ බෑග් එක අතට ගත්ත. අනන්‍යා එක්ක මට තිබ්බෙ උහුලගන්ට බැරි කේන්තියක්. "මේ අම්මණ්ඩි ආය දෙකක් නෑ මේ නාඩගම ගැන දැනගෙනම ඉන්ට එපාය. ඒත් මට වචනයක්වත් කිව්වද? කමක් නෑ මම නිවාඩු පාඩුව එයාව අල්ල ගන්නංකො" මට මේ වෙලාවෙ ලොකුවටම ඕන කම තිබ්බෙ මෙතනිං හැකි ඉක්මනට පිටවෙලා පුලුවන් තරම් දුරකට යන්ට.

"මංජු මම යනව.." මම එහෙම කියල හෙමිහිට ඉස්සරහ දොර පැත්තට ගියා.

"ක්‍රිෂ් අයියෙ...." මංජුගෙ කටහඬට මම සාලෙ මැද නැවතිල ආපහු හැරුන. මංජු ඉඳගෙන හිටපු පුටුවෙම පැත්තකට හැරිල මා දිහා ඇස් ලොකුකරගෙන බලා ඉන්නව.

"ඇයි මංජු?" මම ඇහුව.

"මේ... මම මේ..පොඩි කාරණයක් අහන්ට කියල ලෑස්ති වුනේ.."

"ඔව්..මොකක්ද?"

"මම මේ අහන්ට ආවෙ..මේ...බ්ලූ ෆිල්ම්ස් බැලුවම මොනව හරි නරක දෙයක් වෙන්ට පුලුවන්ද?"

මම උත්තරයක් නොදී මංජුගෙ මූණ දිහාම බලාගෙන හිටිය

"නෑ...නෑ.....මම මේ ඇහුවෙ.... මම ආය කවමදාකවත් බලන්නෙ නෑ…..මට නිකමට වගෙ දැනගන්ට ඕන..ඒකයි ඇහුවෙ…" කොළුව හතර අතට ඇඹරෙමිං කෙඳිරි ගෑව.

"මංජු අහන්නෙ බ්ලූ ෆිල්ම් එකක් බැලුවොත් විතරක් මොකවත් වෙන්නෙ නැද්ද කියලද?"

"ඔව්..බැලුවම විතරක්...ම්ම්ම්ම්...මෙහෙම කියමුකො. බලල ඉවරවෙලා තව මොනව හරිත් කලොත් එහෙම?" මංජු අහක බලාගෙන ඇහුව.

"මම කියන්ටද? හොඳ වෙලාවක් බලල ඔයා ඔය ප්‍රශ්නෙ ඔයාලගෙ තාත්තගෙං අහන්ට…"

"පිස්සුද අයියෙ?... අයියත් මොනව කියනවද මන්ද…" මංජුගෙ ඇසුත් ලොකු වෙලා කටත් ඇරුන. 

"මම එහෙනං ඇත්තම කියන්ටද? ඔයාගෙ ඇස් පේන්නෙ නැතුව යන්ට පුලුවන්. වෙනනම් එහෙමට දෙයක් වෙන එකක් නෑ" මම බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගෙන කිව්ව.

"ඇත්තටම?" මංජුගෙ කට ආයෙමත් ඇරුන.  "කොහොමද අයියෙ එහෙම වෙන්නෙ? ඇත්ත කියන්නකො අනේ.."

"හරි හරි ඇත්ත තමයි....කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"

මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.

"වනක්කම්.....වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."

ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.

**********************************

අසංක ප්‍රියමන්තගෙ මම කැමතිම ගීයක් මේ.....ඒකත් අහලම යන්නකො...

කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳදේවි බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

ඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුණු දාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක



Wednesday, December 21, 2016

466. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 9 - ළා දළු බෝ පත් සෙමින් සැළෙන සේ යසෝදරා දේවී......



යසෝදරාවෝ බුදු හිමියන් පාමුල අපමණ සෙනෙහසින් 
යුතුව වැඳ වැටෙමින්.....

ආදරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලෝකය ජීවත් කරවන්නෙ ආදරය. ආදරය කියනවට වඩා මම කැමතියි සෙනෙහස කියල කියන්න. හරි... සෙනෙහස පොදුවේ ගත්තම දාරක සෙනෙහස, මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස සහ භාතෲ සෙනෙහස ආදී වශයෙන් කොටස් කීපයකට බෙදෙනව. පති පතිනි සෙනෙහස ඒ අතර ඉතාම වැදගත් කියල කියන්නට හැකියි. ඒ කියන්නෙ ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන සෙනෙහස.

සංසාරය ගැන විශ්වාසයක් අපේ බොහෝ දෙනා තුල තියනව. බුද්ධාගමට සංසාරය කියන සංකල්පය එකතුවෙන්නෙ පස්සෙ කාලෙක කියලයි මගේ නම් විශ්වාසය. ඒ කොහොම වෙතත් හිතළුවක් විදිහට හෝ සංසාරය කියල දෙයක් පවතිනවය, මිනිසුන් වන අපි හැමෝම මරණින් මතු යලි උත්පත්තිය ලබනවය යන සංකල්පය කල්පනා කරල බලනවිට බොහොම චිත්තාකර්ෂණීයයි. අඹු සැමි යුවලක් අතර ආත්මයෙන් ආත්මයට නොනැසී පැවතෙන සංසාරගත සෙනෙහසක් බැඳීමක් ගැන උනත් එහෙමයි. ඉතාම සුන්දර සදාදරණීය හැඟීමක්.

ලංකාවෙ හිටපු අන්තිම අවුරුදු හතර මම සේවය කලේ නුගේගොඩ නගරාසන්නයෙ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබූ ඉදිකිරීම් සමාගමක. මුල් අවුරුද්දෙ වගෙ මම ගෙදර ආවෙ සති අන්තයට විතරයි. සඳුදා උදේ පහට නුවරින් පිටත්වෙන මාතර කෝච්චියට පේරාදෙණියෙන් නැංගම මරදානට එතෑකි 8.05 වගෙ වෙනකොට. එතන ඉඳල 176 බස් එකක නැග්ගම කොහොමත් නමයට ඉස්සෙල්ල මම ඔෆිස් එකේ. 

අපේ ඔෆිස් එකේ සෙනසුරාදත් වරුවක් වැඩ. දහවල් 12.30 වෙනකල්. ඒත් ඒ වෙලාවට ගියහම කෝච්චියක් නෑ. ඒ නිසා මම කරන්නෙ තුන වගෙ වෙනකල් වැඩ කරල හතරට කොටුවෙන් පිටත්වෙන සෙංකඩගල මැණිකෙට නඟිනව. ඔය කාලෙ මම ගෙදර නැති දවසට අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ තනි නොතනියට එයයිගෙ අහල පහල හිතවතියක් එනව එයාගෙ පොඩි දරුවත් එක්ක. ඒ ළමයා එතුමිය ඔය ඔයිට කලින් තුනේ පන්තියටද කොහෙද උගන්නපු කාලෙ එයයිගෙ ගෝලයෙක්. ඒ ගුරු-ගෝල ආශ්‍රය හින්ද තමයි හිතවත්කම් ගොඩනැඟිල තියෙන්නෙ.

ඉතිං ඔහොම බොහොම අගේට මේ වැඩ පිළිවෙල කෙරීගෙන යද්දි එක පාරටම වැඩේ අප්සෙට් ගියා. 

"මේ හරි වැඩේනෙ. අර චාන්දනීලට ඔයා කොළඹ ඉන්න දවසට ආය අපේ ගෙදර ඇවිල්ල ඉන්ට බැරිවෙයි"

"ඒ මොකෝ ඒ හිටපු ගමං? "

"එයාලගෙ අම්ම අසනීප ගානෙ ඉන්නෙ. නැඟිටගන්නත් අමාරුයි. ඒ අම්ම ලබන සතියෙ ඉඳල එයාලගෙ ගෙදර නවතින්න එනවලු" 

"ආ..එහෙමද? එහෙනං කොහොමත් අපේ ගෙදර ඇවිල්ල ඉන්න බෑනෙ නේද? "

"ඒක තමයි මාත් මේ කල්පනා කලේ…"

"මෙහෙම කරමු. එක දිගටම සතියක් මම කොළඹ නොඉඳ අඟහරුවාද හවස ගෙදර ඇවිල්ල ආයම බදාද උදේ ගිහිල්ල බෘහස්පතින්ද හවසත් ආපහු ගෙදර එන්නං. හැබැයි සඳුදයි, බදාදයි, සිකුරාදයි රෑට ඔයාට තනියම ඉන්ට වෙනව"

"ඒකට නම් කමක් නෑ.ඒත් ඔයාට අමාරුයි නේද ඔහොම සතියට තුන් පාරක් කොළඹ යන එක"

"මුලින් ටිකක් අමාරුවෙයි. ඒත් එහෙම කියල හරියන්නෙ නෑනෙ. මේ ප්‍රශ්ණෙට විසඳුමක් තියෙන්නත් එපාය…"

"ඔව්..ඉතිං වෙන කරන්ට දේකුත් නැහැනෙ...නේද ඒයි? "

"හ්ම්ම්ම්ම්……."

ඉතිං ඔය විදිහට අවුරුදු දෙකක් විතර මම සතියට හය ගමනක් කොටුව/මරදාන සහ පේරාදෙණිය අතර ගමනාගමනය කලා. එක අතකට ඒක මහ ලොකු දේකුත් නෙවෙයි. නුවර ඉඳල දිනපතා කොළඹ වැඩට යන මිනිස්සු අනන්ත ඉන්නව. ඔය දිනපතා කෝච්චියෙ යන අය සංගමයක් වගෙ හදාගෙන සීට් එහෙම වෙන් කරගෙන ඉන්නෙ තමන්ගෙ අයට. වෙන කාටවත්ම එව්වයෙ ඉඳගන්න දෙන්නෙ එහෙම නෑ. දවසක් මම එහෙම මනුස්සයෙකුට කචල් එකක් දාල අම්මටසිරි මාව අමුවෙං කෑවෙ නැතුව විතරයි ඔය කන්තෝරු සංගමේ සාමාජිකයො. 

සඳුදට තමයි සෙනඟ වැඩිම. එදාට තමයි ඔය සීට් ප්‍රශ්නෙ එන්නෙ. මම ඉතිං එදා ලෝඩ් වගෙ උංව ගණං නොගෙන සීට් එකේ ඉඳගෙනම ආවට ඊට පස්සෙ ඒ කන්තෝරු කාරයො අයිති කරගෙන ඉන්න පෙට්ටි දෙක මඟ ඇරල වෙන පෙට්ටියකට නඟින්ට පුරුදු වුනා. අහවල් දේකටද මේ තාවකාලිකව පැය තුනක් ඉඳගෙන යන කෝච්චි සීට් එකක් හින්ද මිනිස්සු තරහ කරගන්නෙ, එහෙම නැත්තං කුණු හරුප අහගන්නෙ නැද්ද හොඳයි?

හවස ආපහු ගෙදර යද්දි වේයංගොඩින් පස්සෙ ඕන තරම් ඉඩ තියනව. රඹුක්කනින් පස්සෙ නම් සීට් එකේ දිග ඇදිල නිදියගෙනත් ගිහෑකි. ඒත් මම කවදාවත් නිදාගත්තෙ නෑ. ඔය සතිපතා ගමනාගමනයෙදි අනිවාර්යයයෙන් පොතකුයි, සුට්ටං රීචාජබල් ටෝච් එකයි, කුඩෙයි මගෙ අතේ තියනවමයි. පොත වනාහී සීට් එකක් හම්බවුනු ගමං ඉඳගෙන කියවන්ට. ටෝච් එක ඇටපල් කලුවරේ පේරාදෙණිය ස්ටේෂන් එකෙන් බැහැල ලයිට් කණුවක්වත් නැති ගල් ගැලවිච්ච තාර පාර දිගේ කකුල් කඩාගන්නෙ නැතුව ගිහිල්ල අපි ඒ කාලෙ හිටපු ඉස්කෝලෙ ක්වාටර්ස් එකට තියෙන පඩි දෙසීය ගාන හොම්බ කට සමතලා නොවී නැඟගන්ට සහ කුඩේ උඩරට පළාතට ආවේණික කොයි වෙලාවෙ දෙන්ට තිබාගනියිද කියල විස්වාස නැති අනෝරා වැහි කෝඩ වලින් ආරස්සා වෙන්ට.

ඔය සතිපතා සය වරක් එහාට මෙහාට දුම්රිය ගමනාගමනයෙන් තව හොඳක් වුනා. ඒ තමයි පොත් ප්‍රදර්ශණ වලින්, සේල් වලින්, පේව්මන්ට් එකෙන් අරගෙන කියවගන්ට වෙලාවක් නැතුව ගෙදර පුරා බංකු උඩයි පරණ පෙට්ටි උඩයි ගොඩ ගහල තිබ්බ පොත් කන්දරාවෙන් බාගයක් විතර කියව ගත්ත.

ඒ නැණැස දියුණුවට අමතරව මිනිසුන් ගැන නිවී සැනසිල්ලේ අධ්‍යයනය කරන්ටත් මම ඔය ට්‍රැවලිං ටයිම් එක යොදාගත්ත. වඩේ කාරයො, හැළප කාරයො, හෝඩිපොත් ලිත් විකුණන්නො, ඉඳිආප්ප මුල් විකුණන වෙළෙන්දියො, හිඟන්නො ඔය වගෙ නා නා ප්‍රකාර උදවිය.

සමහර දවස්වලට කෝච්චියෙ ලයිට් යනව. ඊට පස්සෙ ආයම ලයිට් ආවත් මහ මෑලි පාට කණාමැදිරි එළියක් තියෙන්නෙ. එහෙම දවසට ඉතිං මම කරන්නෙ පොත වහල පැත්තක තියල ජනේලෙන් ඈත කඳු බෑවුම්වල හීනියට සුට්ටං මැණික් කැට වගෙ දිළිසෙන ගෙවල් වල එළි දිහා බලා ඉන්න එක. එහෙම ඉන්න කොට මට හිතෙනව දැං අර ඈත පේන ලයිට් එළිය පත්තුවෙන ගෙදර ඇතුලෙ මේ වෙලාවෙ කවුරු කවුරු ඇද්ද? එතකොට මොන මොනව කෙරෙනව ඇද්ද? කියල සමහරවිට පොඩි ලෑලි මේසයක් ලඟ ඉඳ ගත්තු අවුරුදු දහයක දොලහක වගෙ හුරුබුහුටි දැරියක් ඉස්කෝලෙදි ගෙදර වැඩට දුන්නු දීර්ඝ බෙදීම ගණං හදනව ඇති. නැත්තං උම්මග්ග ජාතකයෙන් අහපු ප්‍රශ්නයකට උත්තර ලියනව ඇති. 

උම්මග්ග ජාතකය.....මහෞෂධ පඬිතුමා සහ අමරා දේවිය....මම අර මේ ලිපිය පටන්ගන්නකොටම කියාපු සංසාරගත සෙනෙහස මතකයි නේද? එතකොට වෙස්සන්තර රජතුමා සහ මද්‍රි දේවිය...මගෙ බිසව්නේ අසාපන් නුඹ මද්‍රි දේවි නොවුනේ.... දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී….

රඹුක්කන සහ කඩුගන්නාව අතර තියනව අලගල්ල කියල දුම්රිය නැවතුම් පොළක්.

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනල කන්ද

ඒ කරත්ත කවියක්….. අහල තියනව නේද?

මීදුම නැති දවසට ඔය අලගල්ල දුම්රිය පලට බතලේගල කන්දත් පේනව යස අපූරුවට. බතලේගලට සුද්ද කිව්වෙ බයිබල් රොක් කියල. ඒ කන්ද හරියට බයිබලයක් මේසයක් උඩ තියල තියනව වගේ හින්දයි එහෙම නම තිබ්බෙ කියල මම කොහෙ හරි කියවල තියනව. ඒත් මටනම් එහෙම දෙයක් කවදාවත් පෙනුනෙ නෑ. සමහරවිට බතලේගල කියන නමෙං සුද්ද බයිබල් රොක් කියල හදාගන්ට ඇති.

එහෙම නැතුව ඒකෙ ප්‍රතිලෝමය වෙන්ටත් බැරිකමක් නෑ කල්පනාකරල බැලුවම. ඒ කියන්නෙ සුද්දගෙ බයිබල් රොක් කියන නමෙන් අපෙ මිනිස්සු බතලේගල කියල හදාගන්ට ඇති. එහෙම ඉංග්‍රීසි නම් වලින් අපි සිංහලට හදාගත්තු තව නම් ගම් බොහොමයක් තියනව. ඒ ගැන ආයම වෙලාවක විස්තර ඇතුව කතා කරමු.... හානෙ නේද? හරි..හා කිව්ව.

කෝච්චිය ඔය අලගල්ල ස්ටේෂන් එකට එනකොට කොහොමත් 7.15 වගෙ වෙනව. හැබැයි පොඩි අවුලක් වෙන්නෙ සිග්නල් නැතුව හෝ වෙන මොකක් හරි අකරතැබ්බක් වෙලා විනාඩි දහයක් පහළවක් පරක්කු උනොත්. සාමාන්‍යයෙන් සෙංකඩගල මැණිකෙ වෙලාවට ආවොත් ඔය වෙලාවට කොළඹට යන උඩරට මැණිකෙත් එක්ක මාරු වෙන්නෙ කඩුගන්නාවෙදි. ඒත් පරක්කු උනොත් එහෙම වෙන්නෙ සෙංකඩගල මැණිකෙට අලගල්ලෙදි සයිඩ් ගහල ඉන්ට වෙනව උඩරට මැණිකෙ "ඩකඩ ඩකං ඩකඩ ඩකං ඩකඩ ඩකඩ ඩකඩ ඩකං" කියාගෙන විදිල්ල වගෙ ඈ ලඟින්ම මාරුවෙලා කොළඹ පැත්තට යනකල්.

ප්‍රමාද නොවී සෙංකඩගල මැණිකෙ ආවනම් අලගල්ලෙදි අල්ලන්නෙ වේදිකා අංක එකට නොහොත් ප්ලැට්ෆෝම් නම්බර් වන්. ඒත් ප්‍රමාද වුනොත් කෙලින්ම අල්ලන්නෙ දෙවන වේදිකාවට. එහෙම දෙවන වේදිකාවට අල්ලනකොටම පළපුරුදු මගීන් දන්නව අද මෙතන අඩුම ගානෙ විනාඩි දහයක්වත් ඉන්ට වෙනවයි කියල උඩරට මැණිකෙ එනකල්. ඔන්න නිදි කිර කිර හිටපු කට්ටියම අහැරල, එහෙම නැත්තං තම තමංගෙ කතාබස් වල නිරතවෙලා හිටපු උදවිය එව්ව නවත්තල දුම්රිය රියදුරුට අම්ම මෝ නැතුව පිං අනුමෝදන් කරන්ට පටන් ගන්නව. එක අතකට එහෙම කරන එකේ අසාධාරණේකුත් නෑ ඇත්තටම වැරැද්ද රියදුරුගෙ නොවුන වුනත්. ඔය ඉන්න මගීන් බහුතරයක් ස්ටේෂන් එකේ බැහැල ආයම බස් එකකත් යන්ට ඕන. බොහෝවිට ඒක ඒ පැත්තට යන අන්තිම ලාස්ට් බස් එක. ඒක මිස් වුනාය කියන්නෙ ඉතිං ත්‍රී වීලර් එකක පිහිට තමා වැඩිපුර ගාණකුත් දීල. 

මට ඉතිං එහෙම ප්‍රශ්ණයක් නෑනෙ. කෝච්චියෙන් බැස්සට පස්සෙ පාද යාත්‍රාවෙන් ගෙදරට යන නිසා මට කෝච්චි ඩ්‍රයිවර්ට පිං අනුමෝදන් කරන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්ද මම කරන්නෙ හෙමිහිට දුම්රිය වේදිකාවට බැහැල ටිකක් එහාට යනව. අර මම කලින් කිව්ව වගෙ දුම්රිය අඳුරෙ තියන දවසක් නම් වඩාත්ම හොඳයි. දෙසැම්බර් ජනවාරි වගෙ හීතල කාලෙක නම් අහසෙ තරු පේන්නෙ කිසිම අපහසුවකින් තොරව අත උස්සල තරු අහුරක් කඩාගන්ට පුලුවනිය කියල හිතෙන තරමටම පැහැදිලිව දිළිසෙමින්.

දෙවෙනි වේදිකාවත් එක්කම එහායිං මුළු අහසම වහගෙන පැතිරිල තියෙන්නෙ මහ විසාල බෝ ගහක්. ඒ බෝගහ වටේට කවුද මන්ද වල් එහෙම උදළුගාල ගඩොල් තුන් හුලස් උඩට හිටින විදිහට තියල බොහොම අපූරුවට හදල. ඒ මැද ගල් ආසනයක් උඩ දාස්පෙතියා මල් හත අටක් එක්ක මද සුළඟෙ සැලෙන කහ පාට ගිණි සිළුවෙන් යම්තමට ආලෝකයක් නිකුත් කරන පොල් තෙල් පහනක්. 

ඒ එක්කම පැත්තකින් හරහ දාල තිබ්බෙ මහ විසාල කොටයක්. මයෙ හිතේ පෙනෙන විදිහට අඹ වෙන්න ඕන. මම කෝච්චියෙන් එලියට බහිනකොට ටෝච් එකත් අරගෙන ආවෙ. ටෝච් එක පත්තු කරල කොටය අවට හොඳට බලල මම හෙමිහිට කොටේ උඩ වාඩි වුනා. කෝච්චි පෙට්ටි ඇතුලෙ යම්තමට පත්තුවෙන විදුලි බුබුළුවල මලානික එළිය අතරින් එහාට මෙහාට යන මගීන්ගෙ අඳුරු සෙවණැළි මෙතනට යස අපූරුවට පේනව. හමායමින් තිබූ මද සුළඟ එකපාරටම පොඩ්ඩක් වේගවත් වුනේ මගෙ අත්වල හීගඩු පුබුදුවමින්.

ඒ එක්කම බෝගහේ අතුවල එල්ලෙමින් තිබූ සහක් බෝ පත් සුළඟේ නටන්නට ගත්තෙ අපූරු ලාලිත්‍යයක් සහිත සිලි සිලි හඬක් මතුකරමින්……….

ලාදළු බෝ පත් සෙමින් සැළෙන සේ යසෝදරා දේවී 
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී.....

සුළඟේ ලෙලදෙන බෝ පත් අතරින් ඈත අහසේ දිලෙන තාරකාවන් දිහා බලාගෙන ඒ සුමියුරු ගී පද මට මිමිණුනේ නිරායාසයෙන්………..

සංසාරේ පුරාවට සිදුහත් සහ යසෝදරාවන් අතරවූ ප්‍රේමය ගැන ඒ තරම් පරිපූර්ණ ලෙස වෙන කොහොම කියන්නද? ඒ අනුපමේය ප්‍රේම වෘත්තාන්තය ගැන ඇත්තටම අපේ අවධානය මෙතෙක් යොමුවෙලා තියෙනව හොඳටම මදියි කියලයි මගේ අවංක හැඟීම. පන්සිය පණහක් ආත්ම භාවයන් ගෙවී ගිය ඉක්බිති ඉපදුනු අවසාන ආත්ම භාවයේදී සිදුහතුන් බුද්ධත්වයට සහ යසෝදරාවන් අරහත් භාවයට පත්ව සසර කෙළවර කරනා තෙක් පැවත ආ ඒ අපූර්ව සෙනෙහසේ කථාව.......ලේන කුලේ සිට ආගිය මග තොට.......

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී

යසෝදරාවන් හැරදමා ගිහිගෙයින් නික්ම ගිය සිදුහතුන් බුද්ධත්වය ලබා යලි ආපසු යසෝදරාවන් දකින්නට පැමිණෙද්දී එතෙක් කිසිදු මාර්ග ඵලයක් ලබා නොසිටි පුහුදුන් ඈ සිත ඇවිලුනේ මහත් ලසෝ ගින්නකි.

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

එහෙත් අවසානයේ සිදුහතුන් තමන් හැරගියේ සකල ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් සසර දුකින් මුදවනු පිණිස බව මනාව අවබෝධ කොටගත් ඕ තොමෝ අපරිමිත සෙනෙහසින් සිදුහතුන් දෙපාමුල වැඳ වැටුණාය.

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක්සේ

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව-එච්.එම්.ජයවර්ධන


Wednesday, December 7, 2016

461. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 8 - ඇය යන්න ගියා මැකිලා....


Often in life we forget the things we should remember and
remember the things we should forget. 
ජීවිතයේ බොහෝවිට අපි මතකයෙහි රඳවාගතයුතු දේ 
අමතකකොට මතකයෙන් බැහැරකල යුතු දේ 
මතකයෙහි රඳවාගෙන සිටිමු.

අදින් අර දුම්රියේ හමුවූ යුවතියගෙ කතාව ඉවරයි. ඒ හින්ද මම හිතුව මුල් කොටස් හයට සබැඳි දාලම කතාව පටන්ගත්තනම් හොඳයි කියල.......








දුම්රිය පොල්ගහවෙල මංසන්දිය පසුකළේය. මම කිසිවක් කරකියාගත නොහී උකටලීව ආසනයේ දිගඇදී පසුවූයේ මසිත දැඩි නියං කලක වියළි පොල් අතු මිටියකින් ගිණි තැබූ තව්මැරී හේබාවීගිය කහපැහැ මානගාලක් පරිද්දෙන් සට සට යන අනුකරණයෙන් ගිණි ගනිද්දීය.

රඹුක්කන පසුකල දුම්රිය ඉතා ශීඝ්‍ර ආනතියකින් යුතුව තනා ඇති මාර්ගය ඔස්සේ කඳුකරයට පිවිසෙනු වස් සුපුරුදු ලෙස වැර වෑයමෙන් කන්ද නඟින්නට වන්නේය. කලක් මැදිරි 12-15 අතර ගණනකින් සැදි උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ වන් දුම්රියක් ඇදීමට කේවල එන්ජිමක් අසමත්වූ බැවින් රඹුක්කන සහ කඩුගන්නාව අතර ආනතිය ඉතාම ශීඝ්‍ර කොටසේදී ඉදිරියෙන් මැදිරි පෙළ අදිනා එන්ජිමට සහායවනු වස් අමතරව පසුපසින් තල්ලු කරනු උදෙසාද එන්ජිමක් යොදා ගැනිණි.

රඹුක්කන පසුකොට කිලෝ මීටර් පහක් හෝ හයක් පසුකල පසු දුම්රිය මඟ අර්ධ වෘත්තාකාර හැඩයක් ගත් සුවිසල් වංගුවක් පසුකරයි. යුගල එන්ජින් මඟින් ඇදෙනා දුම්රියක ගමන් කරද්දී මම අනිවාර්යයෙන් මේ වංගුවෙහිදී මැදිරි දොරටුවක එළිපත්ත මත සිටගෙන ඉදිරියෙන් සහ පසුපසින් ඈඳුනු යුගල එන්ජින් ආධාරයෙන් දුම්රිය ධාවනය වනු නරඹන්නෙමි. ඒ මගේ නොසිඳෙන ආශාවන්ගෙන් එකකි. එහෙත් එදින මසිත කොතෙක් කැළඹී තිබියේද යත් එසේ දොරටුවක් අසලට ගොස් ඒ මනස්කාන්ත දර්ශනය විඳීමටද මට කිසිසේත්ම සිතක් පහළ නොවූයේය.

ඉහළකෝට්ටේ සහ බලනද පසුවිය. කෝට්ටේ යන වදනෙහි අර්ථය නම් කොටුව යන්නයි. එනම් පරසතුරු ප්‍රහාරයකින් ආරක්ෂාවනු උදෙසා තැනූ බලකොටුවක් වැන්නකි. පෘතුගීසි සහ ලන්දේසි සමයන්හිදී උඩරට සිංහල රාජධානිය දක්වා වැටී තිබුණු මාර්ගය මල්වාන රුවන්වැල්ල අඟුරුවාතොට ආදි ගම් නියම්ගම් පසුකොට කන්ද උඩරටට ඇතුලුවූයේ බලන සහ අලගල්ල කඳු අතරිනි. අද ඉහළ කෝට්ටේ යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙහි එදවස වූයේ උඩරටට පිවිසෙන අවසාන මුර කපොල්ලයි. බලන යනු උඩරට රාජ්‍යය ආරක්ෂාව සලසනුවස් රැකවලෙහි යෙදී හිඳිනා මුරසෙබලුන් සතුරු සේනාවක ඡායා මාත්‍රයක් හෝ කුමන මොහොතක දක්නට ලැබේදෝයි යන අනවරත සැකයෙන් යුතුව උකුසු ඇසින් ඈත සබරගමු සීමාව තෙක් දිවයන නිම්න භූමිය දෙස නෙත් යොමාගත් වනම පසුවූ මුර කපොල්ලයි.

තවත් මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය ඉක්බිති මගේ දකුණු පසින් පහළින් දිස්වන්නට වූයේ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගය යි. දුම්රිය උපරිම වශයෙන් තවත් මිනිත්තු දහයක පමණ ගමනකින් පසු කඩුගන්නාව දුම්රිය පොලට ලඟාවනු ඇත. ඉන් පසු පිළිමතලාවට ඇත්තෙ තවත් මිනිත්තු දහයකි. පිළිමතලාවෙන් මම දුම්රියෙන් බැසිය යුතුය. මගේ ප්‍රවේශ පත්‍රය වලංගු වන්නේ පිළිමතලාව දක්වා පමණකි.

මා ඉදිරියේ හිඳ සිටිනා මව සහ දියණිය කඩුගන්නාවෙන් හෝ පිළිමතලාවෙන් දුම්රියෙන් නොබැස්සහොත් මගේ සියලු අපේක්ෂාවන් සුන්වී යනු ඇත. කඩුගන්නාවෙහිදී දුම්රිය නතර කල සැණින් වේදිකාවට පැන කඟවේනකු පසුපසින් හඹාඑන කල්හි දිවයන්නාක් මෙන් දිවගොස් මහනුවර දක්වා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ආපසු මැදිරියට දිව ඒම මගේ ගැටළුවට එකම විසඳුම සේ මම තීරණය කළෙමි. 

එහෙත් දුම්රිය නවත්වන මිනිත්තු තුනක්වන් ඉතා කෙටි කාලය තුලදී එවන් වික්‍රමයක් කිරීමට මම කාල් ලුවිස් වන් ධාවන ශූරයකු නොවන බැවින් ඒ අදහස මම අත්හැර දැමුවෙමි. වලංගු ප්‍රවේශ පත්‍රයක් රහිතව දුම් රියේ ගමන් කිරීම ඉතා අවදානම් සහගතය. සතිකිහිපයකට ප්‍රථම පේරාදෙණිය සහ මහනුවර අතර හදිසියේ ටිකට් පරීක්ෂක වරුන් (දුම්රිය මගීන් ඉතා සාදරයෙන් අමතනු ලබන පරිදි සුළුපියවරුන්) ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකොට මගීන් තිස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බව මා සමඟ පවසූයේ මගේ ලොකු අම්මාගේ පුත්‍රයකු වන සරත් අයියාය.

මා මේ සඳහන් කරනා කාල වකවානුවෙහි ජංගම දුරකථන සුලභ නොවුනු බව මම කථාව ආරම්භයෙහිදී සඳහන් කලා ඔබට මතක ඇතැයි සිතමි. ජංගම දුරකථනයන් භාවිතාවුනු සමයෙක නම් මවිසින් ගතයුතු පියවර ඉතා සරළය.

මගේ අතිජාත මිත්‍රයෙක් කඩුගන්නාව දුම්රිය පළට කිලෝ මීටර් හතරක් හෝ පහක් ආසන්නයේ වෙසෙන්නේය. බලන දුම්රිය ස්ථානය පසුවූ වහාම මම ඔහුට දුරකථන ඇමතුමක් ගන්නෙමි. රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රියේ ගමන් කරද්දී දුරකථන ඇමතුම් ගැනීම දුෂ්කරය. දුම්රිය මඟේ පිහිටි බිංගෙවල් තුලට දුරකථන සංඥා නොලැබේ. එවිට සංවාදයට බාධා පැමිණේ. ඒ බාධා කෙසේ හෝ මඟහරවාගෙන මම රංජියාට ඇමතුමක් දෙමි. 

"ඒයි රංජි..මචං.."

"ආ..වීරෙ...මොකෝ බං හදිස්සියෙ? උඹ මේ කොහෙද ඉන්නෙ? මොකද්ද බං ඔය මහ විසාල ගෝසාවක් ඇහෙන්නෙ?…."

"හරි හරි ඒ විස්තර කිය කිය ඉන්ට වෙලාවක් නෑ..ඉස්සරහ බිංගෙයක්......"

එසැනින් දුම්රිය බිම්ගෙයට ඇතුලු විය. සංවාදය ඇණහිටියේය. දුම්රිය බිම්ගෙය පසුකොට එළිමහනට පැමිණි වහාම මම යලි රංජිත් ඇමතුවෙමි. 

"හෙලෝ රංජි….."

"මොකද බං උඹ කෝල් එක කට් කලේ?"

"මම කට් කරපු එකක් නෑ යකෝ...කෝල් එක කට් වුනා…"

"හිහ්..හිහ්..එහෙනං එකත් එකටම උඹෙ ෆෝන් එකේ සල්ලි නැතුව ඇති…."

"සල්ලි නැති කෙහෙල්මලක් නෙවෙයි බං..මේ පිස්සු විකාර කියවන එක නවත්තල මම මේ කියන එක හොඳට අහගනිං..වැඩි වෙලාවක් ...."

එහෙම කියනකොටම ආයම කෝච්චිය බිංගෙයක් ඇතුලෙ....අනේ අම්මප...මට එන කේන්තියක්...අනික හයියෙන් කෑගහන්ටත් බෑ. අර ඉස්සරහ ඉන්න අම්මණ්ඩි නිදිවගේ හිටියට ඇස් පියාගෙන මම කියන එව්ව ඔක්කොම අහගෙන ඉන්නව වෙන්ටත් බැරි නෑනෙ. කියන දෙයක් බොහොම ලෝ වොලියුම් තමයි කියන්ට වෙන්නෙ. දියණියෝ තොමෝ නම් අවුලක් නෑ ඇත්තටම නිදි වගේ. මේ බිංගෙවල් සීන් එක හින්ද ඒ ළමයට එක විදිහකට පොත කියවගන්ටත් බෑනෙ. ඒ හින්ද කඩිගමුව පහුවෙලා බිංගෙවල් බහුල වෙන්ට ගත්තට පස්සෙ ඕ තොමෝ කරපු වැඩේ පොත වහල උකුල උඩ තියල ආසනේ ඇන්දට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්ත.

"හෙලෝ හෙලෝ රංජි…"

"මොකක්ද බං ඇත්තටම ඔය ඇහෙන මහ විසාල ගෝසාව? උඹ මූදක් කිට්ටුවකද ඉන්නෙ? "

"මූදක් නෙවෙයි යකෝ..මම මේ කෝච්චියෙ එනව කොළඹ ඉඳල."

"ආ..ඉතිං නියමයිනෙ..... එහෙනං වරෙං කඩුගන්නාවෙං බැහැල අපේ ගෙදර...මම අපේ උක්කුනා එවන්නද බයික් එකේ ස්ටේෂන් එකට?"

"උක්කුනා නෙවෙයි බං... උඹේ බයික් එකට මොකද වුනේ?"

"ඒකෙ ප්ලග්ස්වල කචල් එකක් බං ගැරේජ් එකේ තියෙන්නෙ"

"මේ රංජි ඉඳහං පොඩ්ඩක්…" මම ජනේලෙං එලියට ඔලු ගෙඩිය දාල බැලුව. ඊලඟ බිංගේ ලඟ ලඟම එනව. "මචං මේ... බිංගෙයක් ලඟම එනව.."

"ඉතිං බිංගෙවල් ආවම උඹට මොකද? ...උඹ කෝච්චිය ඇතුලෙනෙ ඉන්නෙ... නේද?"

"යකෝ XXXX බිංගෙවල් ඇතුලෙදි සිග්නල් නැතිවෙනවනෙ. උඹ බීලද ඉන්නෙ?"

"හීනියට වගෙ එහෙම එකකුත් නම් තමයි.. කිව්වම මොකද? හෙහ්,හෙහ්…"

"ඒක තමයි මේ එහෙනං…" එතකොටම ඔන්න ආපි ආයෙම බිංගෙයක්…"බ්ලඩි ෂිට්."

කෝච්චිය බිංගෙට ගියා වගේම ඒකෙං එළියට එන්ටත් එපාය? නැද්ද හා? නැතුව ඉතිං බිංගේ ඇතුලෙ පදිංචි වෙනවය ? නෑනෙ... 

"මේ මචං හොඳට අහගනිං හොඳද? උඹ මේ දැන්මම උක්කුනාගෙ බයික් එක අරගෙන වරෙං කඩුගන්නාව ස්ටේෂන් එකට"

"හරි බං ඒකෙ අවුලක් නෑ. ඒත් උඹව මෙහෙ එක්ක එන්ට මමම එන්ට ඕනය? මම උක්කුනාව එවන්නං.."

උක්කුනා කියන්නෙ කවුද කියල මම කිව්වද? නෑ නේද? උක්කුනා කියන්නෙ රංජියගෙ මස්සිනා...මාමගෙ පුතා...ඒකා ගුරෙක්...පිස්සු ලෝකයක්...

"මම උඹලගෙ ගෙදර එන්නෙ නෑ බං…"

"එතකොට? "

"ඒකනෙ කියනකං ඉඳහංකො. උඹ කඩුගන්නාව ස්ටේෂන් එකට ඇවිල්ල මචං නුවරට ටිකට් එකක් ගනිං.."

"ඒ මොකටද?"

"ඒ මොකටද කියල මං පස්සෙ කියන්නං..මේක අහගනිංකො දැන් තව බිංගෙයක් එන්ට ඉස්සරවෙලා…"

"හා කියපං ඉතිං.."

"උඹ ඇවිල්ල නුවරට ටිකට් එකක් අරගෙන…"

"ටිකට් දෙකක් මොකටද? උඹ විතරයි නේද කෝච්චියෙ එන්නෙ?"

"ටිකට් දෙකක් කොහෙද බං? "

"ඇයි බං උඹ කලිනුත් කිව්වෙ නුවරට ටිකට් එකක් ගන්ට කියල. ඒ ටිකට් එකයි දැං මේ ගන්ට කියන ටිකට් එකයි ටිකට් දෙකයි නෙවෙයිද?"

" ඔය ඉතිං මඟුලක් කතා කරනව. ටිකට් දෙකක් නෙවෙයි බං එක ටිකට් එකයි ගන්ට ඕන...ටිකක් සීරියස් වෙයං XXXX මේ වගෙ වෙලාවකවත්. දිස් ඊස් අ ලයිෆ් ඇන්ඩ් ඩෙත් මැටර් යූ අන්ඩස්කර්ට්? "

"යර්ස්, යර්ස්, පර්ෆෙක්ට්ලි මචං පර්ෆෙක්ට්ලි..ඉතිං ටිකට් එක අරගෙන මම මොකද කරන්න ඕන? "

"උඹ ඇවිල්ල ඉඳහං ප්ලැට්ෆෝම් එකට. කෝච්චිය ආහම මම කෝච්චියෙං බහිනව. උඹ මට ඒ ටිකට් එක දීපං."

"දීල?"

"දීල උඹ බයික් එකේ නැඟල ගෙදර පලයං….නැතුව වෙන අහවල් දෙයක් කරන්නද ආය?"

"හරි හරි දැං කියපංකො මොකටද මේ....? මොකක්ද මේ නුවරට ටිකට් එකක් ගන්න සීන් එකේ තේරුම?"

"මේ රංජි..එව්ව ගහ පහ දෙන්ට වෙලාවක් නෑ දැං..බිංගෙයක් ලඟම එනවද කොහෙද.... උඹ ඔය මම කිව්ව වැඩේ කරපංකො මම සම්පූර්ණ විස්තරේ යථා කාලයේදී කියන්නං"

"හරි...හරි...උඹ බය නැතුව ඉඳහංකො... මම වැඩේ දෙන්නං තෙල් ටිකට...."

වැඩේ දුන්න සර් තෙල් ටිකට. ඒකත් ෂෝක් කතාවක්. මම කලිං කිව්වද කියලත් මතක නෑ. කොහොම උනත් පස්සෙ වෙලාවක ආයම කියන්නං. අපේ කො.ක.ස. ගරු සබාපති තුමාට මතක ඇති ඒ කතාව මම කලින් කිව්වනං. වඩියුසේ ඔනරබල් මිස්ටර් චෙයාමන්?

ඉතිං ඔන්න ඔහොම රංජියට කෝල් එකක් දීල ඌ ලව්වා කඩුගන්නාවෙ ඉඳල නුවරට ටිකට් එකක් අරගෙන අර මා සිත්ගත් යුවතිය එක්ක නුවරටම ගිහිල්ල මව සහ දියණිය පස්සෙං ගිහිල්ල යන්නෙ කොහාටද? නඟින්නෙ මොන බස් එකේද? කියල සොයා බලල ඒ විස්තර දැනගෙන ඒ අතර අවස්ථාවක් ආවොත් මවගේ ඇස් වසාලා පියා වචනයක් දෙකක් කතාකරල එහෙම ...හෙහ්,හෙහ්, දන්නවනෙ ඉතිං වැඩි විස්තර ඕන නැහැනෙ.

ඒත් ඉතිං ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්ව වගෙ පොඩි පරහකට හිටියෙ මම ඔය කියන කාලෙ ජංගම දුරකථන ඇවිල්ල තිබ්බෙ නෑ. එක දෙක ඔය හයි ෆයි පොරවල් ගාව තිබ්බත් සුලබ නෑ. සිග්නලුත් තිබ්බෙ ප්‍රධාන නගර වලට විතරයි. ඒ හින්ද ඉතිං වෙන මක් කරන්නද හොරැහින් ඈ දිහා බල බල පිළිමතලාවට යනකල් ගිහිල්ල මම දුම්රියෙන් බැස්ස. මගෙ ගමන් මල්ලත් කරේ එල්ලගෙන ස්ටේෂන් එකේ පිටවෙන දොරටුව ලඟට ගිහිල්ල මාව පහුකරගෙන යන දුම්රිය දිහා මම ආපහු හැරිල ආයෙම පාරක් බැලුව. ඒ යුවතිය දුම්රිය කවුලුවෙන් මාදිහාවෙ බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා. දුම්රිය ඈත් රැගෙන ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. සුසුමක් හෙලල මම දුම්රිය ස්ථානෙ දොරටුවෙන් පිටවුනා.

ඒ තමයි ඒ සොඳුරු යුවතිය මා නෙත ගැටුණු අවසන් වතාව. ඊට පස්සෙ මාසයක් දෙකක් තුනක් වගෙ යනකල් නුවර පැත්තෙ ගිය හැමවෙලාවෙම මම බොහොම හෝදිසියෙන් මඟදි හම්බවෙන, පිටුපාල යන යුවතියන් දිහා බැලුවෙ ඒ මනස්කාන්ත දෑස යලි ඇස ගැටෙයිදෝ යන නොසිඳෙන අපේක්ෂාවෙන්. ඒත් එදා පිළිමතලාව දුම්රිය ස්ථානයෙදී මා වෙතින් ඉවතට ඇදී යන දුම්රියේ කවුලුවෙන් දුටුවාට පසු ජීවිතයේ මෙතෙක් දිනක ඈ මට හමුවූයේ නැහැ.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්



Tuesday, November 8, 2016

455. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 7 - අඩවන් දෑසින් පැවසූ රහස සහ කතාකළ අප දෙනෙත් යුග…


ඡායාරූපයෙහි දැක්වෙනුයේ
දුම්රියපොළක නවතා ඇති දුම්රියකි.

තම මවගේ ආචාරශීලී නොවන නොහික්මුණු ක්‍රියා පිළිවෙල යුවතියගේ සිත රිදවූසේය. ඇය මා දෙස හැරී සිනාසුණාය. "අනේ තෑන්ක්ස් මිස්ටර්...තෑන්ක් යූ සෝ මච්..." ඊට පිළිතුරු ලෙස ඇගේ මව ඇය වෙත නැවී යමක් කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසුවාය. පහත් ස්වරයෙන් කල ඒ තරවටුවෙන් මට ඇසුනේ අවසන් වදන් කිහිපය පමණි. "මම කියන්නෙ නෑ ඔන්න ආයෙ එහෙම....."

"අම්ම මේ මොනව කියනවද මන්ද?..." එසේ තොලමැතුරූ ඇය නොපහන් බැල්මක් මව දෙසට යොමුකොට ඉක්බිති අසුනෙහි හේත්තුවී දෑස් පියාගත්තීය.

මමත් ඔන්න ඔහෙ සීට් එකට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත. කියවන්ට ගත්ත පොත තාම ඔඩොක්කෙ. පිටු දෙක තුනකට වඩා කියෙව්වෙත් නෑ ඒකෙ. මම ඉතිං අර ඇස් පියාගත්තය කිව්වට පියාගෙනම හිටියෙත් නෑ. විඩෙං විඩේ ඇස් බාගෙට ඇරල බැලුව එහෙම බලන එක වෙලාවක මම දැක්ක ඇයත් ඇසි පිය අතරින් යම්තමට මා දිහා බල ඒ එක්කම ඇස් පියාගන්නව. "අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යයි විගසින්" මට ඉබේටම වික්ටර්ගෙ ඒ මන මෝහනීය ගීතය මිමිණුනා.

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: මහගමසේකර
සංගීතය: සෝමදාස ඇල්විටිගල



ටිකකින් ඔන්න කෝච්චියෙ වේගය අඩාල වෙනව දැනුන. මම ඇස් ඇරිය. ඇයත් ඒ එක්කම ඇස් ඇරල මා දිහා බැලුව. මම ඇගේ මව දිහා බැලුව. මව දුම්රිය කවුලුවෙන් ඉවතට නෙත් යොමාගෙන ඉන්නෙ. "මීරිගම" මම හඬ නොනැගෙන විදිහට යුවතියට කිව්ව. 

ඇය හිනාවෙලා "ඔබට ස්තූතියි" කියන්නා වගේ හිස යන්තමට පහත්කරල ඒ එක්කම මවගෙ කණට කරල මොනවද කිව්ව. ඒ කිව්වෙ "ඊලඟට අම්මෙ මීරිගම .... අපි බැහැල ටොයිලට් එකකට ගිහිල්ල එමුද?" කියල වෙන්න ඕන මම දන්නව අනිවාර්යයෙන්ම. ඒ එක්කම මම දැක්ක වික්ටෝරියා මහේසිකාවුන්නාන්සෙ මා දිහා කන්ඩ වගෙ බලනව. මම කෝකටත් සූදානම් පිට හිටියෙ දකුණු ඇහැ සම්පූර්ණයෙන්ම පියාගෙන සහ ඒ එක්කම වම් ඇහැ බාගෙට පියාගෙන. විට්ටෝරියා ඔලුව උස්සනකොටම මම ව.ක්‍රී.ප. වම් ඇහේ ඇරගෙන හිටපු බාගෙත් සුටුස් ගාල වහගත්ත.

ඒ එක්කම කෝච්චිය හිටෙව්ව. අපි හිටපු මැදිරියට ටිකක් වගෙ ඈතට වෙන්ට වැසිකිළිය තිබුනෙ. 

යුවතිය තොමෝ තම මවද සමඟ වහා දුම්රිය මැදිරියෙන් පිටව වේදිකාවට බැස වැසිකිළිය වෙත ලහි ලහියේ ළඟා වූවාය. රයිට් ඔන්න පුතෝ වෙලාව. දැං විට්ටෝරියා වැසිකිළිය ඇතුලට යනවනෙ. සොඳුරු ඕ තොමෝ දොර ලඟ තනියම ඉඳියි. පොඩි ටෝක් එකක් දාල විස්තර අහගන්ට ඔන්න වෙලාව. වෙන මොකවත් ඕන නෑ නම ගම ආගම ඉපදුනු දාතම එතකොට මොකද මේ දවස්වල  කරන්නෙ එහෙම ඔය දරුවා? කියල අහගත්තනං ඇති. ඊට පස්සෙ ඉතිං මුණගැහෙන විදිහක්. පොඩි පහේ කට්ටක් නම් කන්ට වෙනව. මක් කරන්ටද? මේ අද කාලෙ නම් ඔව්ව මොනවද? "රම්බරි කියපං උඹෙ නොම්මරේ, තන්දුරි කමුද නොදා බර බරේ" එහෙම කිව්ව. නොම්මරේ අහගත්ත. සාතිශය සිම්පල්.

මම මේ කියන්නෙ නයින්ටීන් එයිටි එයිට් යුගය ගැන. තේන්නාය? මොබයිල් ආපුම අලුත. බ්‍රේක් අල්ලන්නෙ නැතුව හුන්නස්ගිරිය කන්දෙ පල්ලෙහට රිවස් එකේ කඩාගෙන එන බෙන්ස් නයිලෝන් ලොරි තඩියක් නවත්තන්ට අඩේකට තිබ්බැහැකි කිසි අවුලක් නැතුව ඒ කාලෙ තිබ්බ මොබයිල් ෆෝන් එකක්. මොබයිල් කියල කියන්ට පුලුවන්දත් නම් මන්ද. (බෙන්ස් නයිලෝන් ලොරි කියල පොදු මහජනයා කිව්වෙ Mercedes-Benz 911 මොඩල් එකට)

මම හෙමීට ජනේලෙං එබිල බැලුව. හරිනෙ වැඩේ. මහේසිකාවෝ පෙනෙන්නට නැත. සිරුරු කිස පිණිස වැසිකිළිය තුලට වැඩම කලා විය යුතුය. ඒ සොඳුරු වූ වුවනින් යුතු යුවතිය තොමෝ හුදකලාවම වැසිකිළි දොරටුව අසළ සිටින්නාහ.

"Now or never my dear" I said to myself and jumped onto the platform like that guy Hanuman jumped from India to Sri Lanka long ago in that ancient classic Ramayana.

එහෙම ප්ලැට්ෆෝම් එකට පැනල කෙලින්ම යන්ට පිටත් වුනා ඒ යුවතිය තොමෝ ඉන්න තැනට. පිටත් වුනා තමයි. අඩි දහයක් යන්ට වුනේ නෑ. මෙන්න වික්ටෝරියා එලියට වැඩම කරපි ටොයිලට් එකෙං. එළියට ආවෙම මේ පැත්ත බලාගෙන. බඩු මාට්ටු කියන්නෙ ආයෙ නෑ ඔය කතාවට කියන්නෙ අතේ කෝට් කියන්නෙ අන්න එහෙම. Caught red handed. ඉන්ගිරිස් ඔලිං කිව්වොත් අන්න එහෙමයි.

ඔවැනි දරුණු අවදානම් අවස්ථාවන්හිදී සම්මා සතියෙන් එනම් යහපත් සිහියෙන් කටයුතු කල යුතුය. "මහණෙනි සෑම කල්හිමැ එලඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කල මැන" අපේ බුදු හාමුදුරුවොත් කිව්වෙ අන්න එහෙමයි. මම ඉතිං මහණෙක්ම නොවුනට එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන්ට ආය මොකෝ තහනමක්ය කියලය? 

එසේ වූ හෙයින් මම එක එල්ලේ ඉද්ද ගැසුවාසේ ඒ යුවතිය වෙතට යොමුවූ මගේ ගමන් මාර්ගය ගමනේ යෙදෙන අතරම ක්‍රමයෙන් දක්ෂිණාවෘතව අපගමනය කරන්නට වීමි.

(සම්මත අපගමනය එහෙම මතකයි නේද? ඔව්ව ඉගෙන ගත්තටම වැඩක් නෑ. එදිනෙදා ජීවිතේදි ප්‍රයෝගිකව යොදාගන්ට ඕන. විශේෂයෙන්ම මම මේ විස්තර කරන සිනාරියෝ එක වගෙ ජීවිතයත් මරණයත් අතර අර්බුදවලින් ගැලවෙන්ට. (Utilizing what you learned at school in Life and death situations) ඔහොම සිංහලෙං වාක්‍යයක් ලියල ඒකම ආයෙ වරහන් ඇතුලෙ නොහොත් විදින් බ්‍රැකට්ස් තුල ඉංගිරිසියෙන් ආපහු ලියන කප් ගහපු ආරක්සක වාර්තාකාර ඔස්තාර් කෙනෙක් හිටිය අපෙ මහරජාගෙ පාලන කාලය තුල. තාමත් මනුස්සය ආරක්සක වාර්තා කියල පට්ටන්දර හෑලි ටිකක් නං ඔන්න ඔහෙ ලියනවද කොහෙද. හැබැයි දැං අර විදින් බ්‍රැකට්ස් තුල ලියන ඉංගිරිස් කෑලි හැලිල. මම හිතන්නෙ දැං සුද්දෝ මිනිහගෙ සිටුවේසං රිපෝට් එක කියවන්නෙ නැතුං ඇති. හරි ඒ පිස්සු හුටං ගැන ඒ ඇති. ආයම වෙලාවක මිනිහ ගැන පෝස්ට් එකක්ම ලියන්නංකො හාද? හාද කිව්වම අපූරු සිංදුවක් මතක් වුනා. හාද වෙලා යමං පණේ සිරි සැප දෙඤ්ඤයි නුඹට රේන්ද රෙදියි පට කම්බයි අදිඤ්ඤ දෙඤ්ඤයි ) 

Ok, now back to Mirigama railway station , near the public toilet to be exact….

ඒ සමඟම ඇය වෙත එක එල්ලේ යොමුව තිබූ මගේ දෙනෙත රාත්‍රි යාමයෙහි මහනුවර- මහියංගණය දහඅට වංගු මාර්ගයේ ධාවනය වන බස් රථයක ප්‍රධාන විදුලි පහන් වංගුවක් ගනිද්දී ක්‍රමයෙන් ඉවතට හැරෙන්නාක් මෙන් ඉවතට හැරෙන්නට විය.

දහඅට වංගු පාර කියන්නෙ A 26 මාර්ගය. දහඅට වංගු මාර්ගය කියල පුරුද්දට කිව්වට දැං ඇත්තටම ඒකෙ තියනවයි කියන්නෙ වංගු දාහතයි. අන්තිම වංගුවට එනකොට පාර හදන්ට වෙන් කරපු සල්ලි ඉවර වුනාලු. අධීක්ෂණ නිලදාරීනුයි කොන්තරත් කාරයොයි එකතුවෙලා වංගු ගැහුවද දන්නෙත් නෑ. කොහොම හරි සල්ලි ඉවරයි. ඒ ගමන කරල තියෙන්නෙ අන්තිම වංගුව කෙලින් කරල හැදුවලු. එහෙම උනාම වියදම අඩුයිනෙ. ඒ හින්ද යාන්තමට ජාම් බේරගත්තයි කියලයි කියන්නෙ.

මහියංගණය-මහනුවර 18 වංගු මාර්ගය
ඡායාරූපය දහ අට වංගුව බ්ලොග් අඩවියෙන්

දහ අට වංගුව ගැන අපූරු ගීතයක් මතක් කරල තිබ්බ නිර්නාමික සහෘදයෙක් හෝ සහෘදිනියක් (හරි නේද වචනෙ?) 

ඒ ගීතය කලින් අහල තිබ්බට මට මතක් වුනේ එතුමා හෝ එතුමිය කිව්වට පස්සෙ. එහෙනම් ඔබට බොහෝම ස්තූතියි....:)

කඳු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ

ගීත රචනය - අශෝක කෝවිලගේ
සංගීතය සහ ගායනය - කුමා අත්තනායක



එසේ ක්‍රමයෙන් ඉවතට හැරුනු මගේ දෙනෙතට ලක්වූයේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනා කවුළුව අසල බිත්තියටම අල්ලා ඉදිකොට තිබූ පුවත්පත් සඟරා ආදිය විකුණන කුඩා කුටියකි. බොහෝ දුම්රිය ස්ථානයන් ඇතුලත වේදිකාවන්හි මෙවන් පුවත්පත් සඟරා විකුණන වෙළඳ කුටි ඔබ නිත්‍ය දුම්රිය මගියකු නම් ඔබට සුපුරුදු දසුනක් බව මට නිසැකය.

පුවත්පත් අලෙවි කුටිය වෙතට පියවර දෙකකින් ලඟාවූ මම එහි විකිණීම උදෙසා එල්ලා තිබූ පුවත්පතක් ගෙන කියවන්නට වීමි. එම පුවත්පත කුමක්ද යන්න පිළිබඳව කිසිදු මතකයක් නොමැති වුවද ප්‍රධාන පුවත වූයේ ජවිපෙ විසින් පනවන ලද නිල නොවන ඇඳිරි නීතිය කරණ කොටගෙන ජන ජීවිතය අඩාල වීමක් පිළිබඳව බව වසර තිහකට ආසන්න කාලයක් ගතවීද මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මට කෙසේවත් සිතාගත නොහැක.

බොහෝවිට ඒ පුරා දෙවසරකට ආසන්න කාලයක් මුලු මහත් දිවයිනම අරාජිකත්වයට පත්කල හිරිමල් යොවුන් තරුණ/තරුණියන් මහමඟ අයින් ඔස්සේ බල්ලන් බළලුන් මෙන් මරාදැමුණු ශෝචනීය අඳුරු කාල පරිච්ඡේදයක ආරම්භය පිළිබඳව නිකුත්වුනු සංඥාවක් වැන්නක් වීම නිසාම ඒ පිළිබඳ මතකය මගේ සිතෙහි නොමැකෙන ලෙස සටහන්ව තිබෙනු විය හැක.

"මහත්තය කරුණා කරල පත්තරේ බලනවනම් ඉස්සෙල්ල සල්ලි දීල ඉන්න" උඩුකය මේස් බැනියමකින් පමණක් වසාගෙන හුන් මැදිවියට ආසන්න පත්තර වෙළෙඳා තරමක් උස් හඬින් පැවසීය.

"හරි හලෝ දෙන්නං දෙන්නං ඉන්නව පොඩ්ඩක්" මම කලිසමේ පසුපස සාක්කුවෙන් මුදල් පසුම්බිය පිටතට ගන්නා අතර වැසිකිළියේ දොරටුව දෙසට යම්තමට හිස හරවා නෙත් යොමු කළෙමි.

ඒ වනවිටත් වික්ටෝරියා මහේසිකා තොමෝ තම දියණියද සමඟ ආපසු වැසිකිළියට ඇතුලු වෙමින් සිටියාය. තම මෑණියන් නොපහන් වතින් යුතුව පහත් හඬින් දියණිය අමතා කුමක් දෝ පවසනු හා ඒ සමඟම යුවතිය ද ඊට පිළිතුරු වශයෙන් යමක් පවසනු පත්තර වෙළෙඳා ඉතිරි මුදල් දෙන තෙක් පොරොත්තුව සිටින අතර එදෙසට යම්තමින් නෙත් යොමුකල මම දුටුවෙමි.

සියළු බලාපොරොත්තු කඩව යලි දුම් රියට ගොඩවුනු මම අවම වශයෙන් ඇගේ නම හෝ දැනගැන්මට නොහැකිවුවහොත් කුමක් කරන්නේද යන්න පිළිබඳව කල්පනා කරන්නට වූයෙමි. ඇගේ මවගේ සැඩපරුෂ හැසිරීම් රටාව සහ ගතිගුණ අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මට බැණ වැදීමට පවා නොපසුබටවන බව නිසැකවම දත් හෙයින් එවන් කිසිදු අවස්ථාවක් ඇයට ලබා නොදීමට මම ඉටාගත්තෙමි.

"කෙල්ල නම් ලස්සනයි තමයි. ඒ වගේමයි බොරු සබකෝළ, ලැජ්ජාව එහෙම මොකවත් නෑ. මම කැමතිත් එහෙම කෙනෙකුට. ඒත් එහෙමෙයි කියල නිස්කාරණේ පස් පඩංගුවෙ බැණුං අහන්ට උනොත් එහෙම. ෂෙක්. ඉඳල ඕන නෑ. එක්කොත් ඔන්න ඔහෙ අම්මටයි දුවටයි කුද ගහගන්ටෙයි කියල නිකං ඉන්නව. වික්ටෝරියා මහේසිකාව හිතාගෙන ඉන්නෙ උන්දැගෙ දූ සිඟිත්ත ඩයනා කුමාරි කියල වෙන්ට ඇති හුහ්...ආපුදෙන්කො..ඒ පැත්තවත් නොබල ජනේලෙං එළිය බලාගෙන ඉන්නව. දෙය්යම්පල්ල. අම්මල දූල ඩබල දන්නෙ නෑ මගෙ හැටි..." මම එලෙස සිහින් හඬින් මටම සපථ කොට ගතිමි.

දුම්රිය පිටත්වීමට මොහොතකට පෙර මව සහ දියණිය යලි දුම්රියට ගොඩවූවෝය. ඔවුන් දුම්රියට ගොඩවීමට පෙර වේදිකාවෙහි මෙදෙසට පැමිණෙනු දුටු වහාම මම කවුළුවෙන් පිටතට දෑස් යොමු කොට ගතිමි.

ඈ දෙස නොබැලීමට මසිතේ වූ අධිෂ්ඨානය එළෙසම පවත්වා ගැනීමට උපකාරීවන්නට මගේ ඉෂ්ඨ දේවතාවුන් කටයුතු කල සෙයකි. ඇය හිඳ සිටියේ මගේ අසුනට එක එල්ලේ ඉදිරි අසුනේ බව මා පැවසූ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙවර දුම්රියට ගොඩවූ වහාම ඇය පසුකොට වහා පැමිණි ඇගේ මෑණියෝ ඒ අසුනෙහි හිඳ ගත්තීය. මේ හදිසි ස්ථාන මාරුව පිළිබඳව ඇගේ මෑණියන් ඇයට දැනුම් දී ඇති බව කිසිදු විරෝධයක් හෝ අවම වශයෙන් නොමනාපය හඟවන බැල්මකින් හෝ තොරව ඇය යාබද අසුනේ හිඳගත් අයුරින් පැහැදිලි විය.

ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කව්ළුවෙන් ඉවත බලා සිටිනා මම ඇගේ ඉරියව් පවා මෙතරම් සවිස්තරව දැන සිටිනුයේ කෙළෙසකද යන්න මගෙන් නොවිමසන්න. එවන් පැණයන්ට පිළිතුරු නොදෙන්නෙමි.

දුම්රිය මහනුවර බලා වේගයෙන් දිවෙයි. තව ස්වල්ප වේලාවකින් එය අඹේපුස්ස සහ අලව්ව ද පසුකොට පොල්ගහවෙලට ලඟාවනු ඇත. ඉන්පසු රඹුක්කන, කඩුගන්නාව ඉන්පසු පිළිමතලාව. මම පිළිමතලාවේදී දුම්රියෙන් බැසිය යුතුය.

එසේ හෙයින් කොතෙකුත් දුම්රිය කවුලුවෙන් ඉවත බලා සිටිය නොහැක. කිසිදා නොදුටු අපූර්ව වස්තූන් දෙස තුෂ්ණිම්භූතව බලා සිටින්නකු මෙන් දුම්රිය පසුකොට පසුපසට වේගයෙන් දිවයන බෝක්කු, පාළම්, ලියදි, කමත්, ළිං සහ පොකුණු දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හැක්කේ කාටද? මම සෙමෙන් මීරිගම දුම්රියපොල වේදිකාවෙන් මිලදීගත් පුවත්පත දිගහැර ගතිමි. එදෙස ස්වල්ප වේලාවක් බලා සිට සෙමෙන් දෑස ඔසවා ඇගේ මව දෙස නෙත් යොමු කලෙමි. ඕ තොමෝ අසුනෙහි හොඳින් දිග ඇදී දෙනෙත් තරව පියාගත්වනම සිටින්නීය.

ඇය සත්‍ය වශයෙන්ම නිදන්නේද නැතහොත් ඒ නින්ද හුදු රඟපෑමක්ද යන්න මම නොදන්නෙමි. එසේ දැනගත හැකි ආකාරයක්ද නැත. හෙහ්..හේ..එසේ දැනගත හැකි එක් ආකාරයක් ඇත. එහෙත් ඒ පියවර අනුගමනය කිරීම කෙසේවත් මගේ ශරීර සෞඛ්‍යයට ගුණදායක නොවිය හැක. එබැවින් මම එම පියවර අත්හදාබැලීම පිළිබඳ අදහස මසිතින් එකහෙලාම බැහැර කොට ඇගේ මෑණියන් නිදන අයුරින් රඟපෑමක යෙදෙන්නේද යන අවදානම ගනිමින් පුවත්පත දිගහැරගත්වනම ඊට ඉහළින් ඒ සොඳුරු යුවතිය දෙස සෙමෙන් නෙත් යොමුකලෙමි.

"මාප්‍රිය සබඳිනි මාගේ මේ ව්‍යායාමය කිසිසේත් උදර පෝෂණය උදෙසා නොවන්නේය. ඒ හුදෙක් රට දැය සමයෙහි අභිවෘද්ධිය උදෙසාම වන්නේය" 

එසේ සපථ කොට ගනිමින් මම ඇය දෙස හිස හරවා බැලීමි. හරියටම ඒ මොහොතේම මා ඈ දෙස නෙත් යොමු කරනු සයවනේන්ද්‍රියකින් දැනුනක් මෙන් ඇයද කියවමින් හුන් පොතින් දෙනෙත් ඔසොවා මා දෙස බැලුවාය. අප එකිනෙකාගේ දෙනෙත් දෙස කාලාන්තරයක් බලා සිටින්නට ඇත. දෙනෙතින් කතා කල හැකිබව මම එතෙක් විශ්වාස නොකළෙමි. එහෙත් ඒ මොහොතේ සිට මා ප්‍රිය මිතුර / මිතුරිය නෙත්වලින් කතා කල හැකිබව පමණක් නොව ජීවිත කාලයක් මතකයේ රැඳී පවතින අයුරු කවි ලියන්නටද සොඳුරු වූ නෙත් සඟලකට හැකිබැව් මම එකහෙලා විශ්වාස කරන්නෙමි.

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා..කලා...

කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
නොම විමසා පෙම ඉඟිමැරුවා..
සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
වෙන්වූවා අප සුසුම් දරා...

පිපුණු මලක හැඩ...

මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා...

පිපුණු මලක හැඩ...

පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර
සංගීතය සහ ගායනය : ශාලිත අබේවික්‍රම


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...