ඉතිං මංජු මට හරිෂ් නොහොත් අනන්‍යාගෙ යෝජිත මනාල මහත්තය ගැන සියලු විස්තර කිව්ව. විවාහාපේක්ෂිත දියණියකගෙ මව්පියන්වන ඕනෑම දෙමළ අම්මෙක් නැත්නම් තාත්තෙක්ගෙ සිහින කුමාරය බවට නිතරඟයෙන් පත්වෙන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් හරිෂ්ට තිබ්බ. පහුගිය අවුරුදු දෙකක් විතර තිස්සෙම අනන්‍යාගෙ අම්ම නිතරම හරිෂ්ගෙ ගුණ වර්ණනා කරල අනන්‍යාගෙ කැමැත්ත ගන්ට උත්සාහ කරල තියනව. අනන්‍යා කිසිම විදිහකින් බුරුලක් නොදුන්නට අම්ම උත්සාහය අත ඇරලත් නෑ.
"අක්කගෙ කැමැත්තක් තිබ්බෙම නෑ. ඒත් අම්මගෙන් බේරුමක් නැතිම තැනයි මම හිතන්නෙ එයා ඔය කේන්දර බලන්ට කැමැත්ත දුන්නෙ.." මංජු ඇස් ලොකු කරගෙන කිව්ව.
හරිෂ් ඇවිල්ල හිට හොඳම වර්ගයෙ දමිළයෙක්. ඒ කියන්නෙ සුප්‍රා ග්‍රේඩ්. දමිළ ජන වර්ගයෙ, බ්‍රාහ්මණ කුලයෙ, අයියර් උප කුලයෙ. ඒ බොහොම පැහැදිලිව වර්ගීකරණ තුනක්. පන්ජාබී අපි ඔක්කොම එක කුලේ හින්ද අපිට ඔව්වයෙ ගානක් නැතිවුනාට අනන්‍යාලගෙ නෑදෑ පරපුරට ඔය කුල කේස් බොහොම වැදගත්. මට මතකයි ඉස්සොරෝම අහ්මදාබාද් වලදි අනන්‍යා මුණගැහුණු දවසෙ මම "ඔයා දකුණු ඉන්දියාවෙන් නේද?" කියල ඇහුවම ඈ මෙහෙම කිව්ව.
"එහෙම නිකම්ම දකුණු ඉන්දියාවෙන්ය කියල විතරක් කිව්වොත් ඒක එච්චර හරි නෑ. මම ඇවිල්ල දමිළ..මේ... කරුණාකරල පටලගන්ට එහෙමනම් එපා ඔන්න ..මම දමිළ ..ම්ම්ම්....ඒත් හරියටම හරි නෑ..හරියටම කිව්වොත් දමිළ බ්‍රාහ්මණ වංශික. මතකයි නේ? දමිළ බ්‍රාහ්මණ වංශික. ඒක අමතක කරනව එහෙම නෙවෙයි හොඳද?"
හෙහ්..ඒ යෝදි එහෙම කිව්වෙ නිකම්ම එහෙමත් නෙවෙයි. මස් කෑල්ලක් හත් මාසෙකිං දැකල නැති ගානට කුකුල් අණ්ඩක් හපන ගමං......
ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත් යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි. ඇස්වහක් කටවහක් නෑ ආය ඔහෙලට කිව්වම මොකද මට ඔය තුනම නෑ.
මංජු මට හරිෂ් ගැන පරිපූර්ණ විස්තරයක් ඉදිරිපත් කලා. මනුස්සය ඉගෙන ගෙන තියෙන්නෙ චෙන්නයි අයි.අයි.ටී. එකේ. හරිෂ්ගෙ GPA එක 9.45ක්.
(සටහන - GPA (Grade Point Average) කියන්නෙ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන වගෙ උසස් අධ්‍යාපන ආයතනවලින් සමත්වෙන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙ දක්ෂතාවය මනින මිම්මක්. අධ්‍යයන කාල සීමාව පුරා ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පරීක්ෂණ වලදි ලබා ගත් ලකුණුවල සාමාන්‍ය අගය තමයි ඒකෙන් කියවෙන්නෙ)
හරිෂ් 10න් 9.45ක් ගත්ත කියන්නෙ අයිසෙක් නිව්ටන්ගෙ මට්ටමේ බුද්ධිමතෙක් වෙන්න ඕන. ඔය විස්තරේ අනන්‍යාගෙ අම්මට කියල තියෙන්නෙ අනන්‍යාගෙ නැන්ද. මතකයි නේද? අර ශෝභා ආන්ටි.... ආන්න එයා...
හරිෂ් එතනින් නැවතිලා නැහැ ශිෂ්‍යත්වයක් හම්බවෙලා මාස්ටර්ස් එකක් කරල ඒකත් ඉහළින්ම සමත් වෙලා දැන් වැඩ කරන්නෙ ඇමරිකාවෙ සිලිකන් වැලීවල ඉහළම ගණයෙ අයි.ටී. කම්පනි එහෙක. ඒකෙ නම සිස්කෝ සිස්ටම්ස්. හරිෂ් මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. (ඔය ඔක්කොම නොකරන මනුස්සයෙක් අහවල් දේකට ජීවත් වෙනවද කියන එකනම් මට පොඩි කාලෙ ඉඳලම තිබ්බ දැවෙන පස්නයක්)
හරිෂ් කර්ණාටික් මූසික් එක්ස්පර්ට් කෙනෙක්. ඊට අමතරව භාරත නාට්‍යම් රසිකයෙක්. මිනිහගෙ උඩු රැවුලෙ ගණකම අඟල් බාගයක් සහ තවත් සේසයක්.
සැන් ෆ්‍රැන්සිස්කෝ නගරබදව තදාසන්න නියම්ගමක හරිෂ්ටම අයිති තට්ටු දෙකකි ගෙදරකි. ඒ වගේම කිරිසුදු අළුත්ම හොන්ඩා එකෝඩ් එකකුත්. කොටස් වෙළඳපලේ ෂෙයාර්ස් බර ගාණක්. මේ පහුගිය මාස දෙක තුන ඇරුනුකොට හරිෂ්ට අයිති කොටස්වල වටිනාකම සෑම මිනිත්තු දොළහකට සැරයක්ම දෙගුණ උනාලු.
ඒ ඔක්කොමත් කමක් නෑ කියමුකො. හරිෂ්ට එයාගෙම ටෙලස්කෝප් එකකුත් තියනවලු. මිනිහ සති අන්තෙ පුරාම කරන්නෙ ඒකෙං මන්දාකිණීද මොනවද බලන එකලු. මංජුට ඔක්කෝටම වැඩිය හිතට අල්ලල ගිහිල්ල තියෙන්නෙ ඒ ටෙලස්කෝප් එක.
"අක්කා හරිෂ්ව කසාද බඳින්ට කැමති වුනොත් නම් මරු. මට එතකොට ටෙලස්කෝප් එකෙං හිතේ හැටියට තරු ග්‍රහලෝක එහෙම බලන්ට පුලුවෙනි" එහෙම කියනකොටත් මංජුගෙ ඇස් දිළිසුනා.
"ම්ම්ම්..වෙන මොකවත් එපාද? එහෙමද ආස?" එහෙම තොල මතුරමින් මම මිනිහ දිහා රවල බැලුව දාලපිච්චිල යන්ට.
මංජු බයවෙච්චි පාර එහෙම්ම කට වහගත්ත. "අර මූකලං බස්ස ගැන තව විස්තර අහගන්ට නම් මේ කොලුව බයකරල බෑනෙ.." මම එහෙම හිතල කොල්ලව ෂේප් කරගන්ට කටපුරා හිනාවුනා.
"හරි හරි ඉතිං මංජු තව මොනවද හරිෂ්ගෙ විස්තර ඔයා දන්නෙ?"
"ම්ම්ම්....තව මොනවද නේද?....ආ හරිෂ් තව මට කිව්ව එයාගෙ ටෙලස්කෝප් එකෙං සෙනසුරුගෙ වළලුවල පාට බලන්නත් පුලුවන්ය කියල"
"හුහ් ඔය කිව්වෙ..සෙනසුරුගෙ වළලුවල පාට...සෙනසුරු වළලු විතරද දන්නෙ නෑ දාගෙන ඉන්නෙ? මාලෙ පාට පෙනුනෙ නැද්ද දන්නෙ නෑ අර යස්සයට.." මම තනියම කියාගත්ත.
"මොකක්ද කිව්වෙ මංජු? හරිෂ් ඔයාට කිව්වයි කියල නේද කිව්වෙ? ඒ කියන්නෙ මීට කලින් එයා මෙහෙ ඇවිල්ල තියනවද?"
"නෑ..නෑ.....එයා අමරිකාවෙ ඉඳල තුන් හතර ගමනක් ටෙලිෆෝන් කලානෙ. ඒ වෙලාවකයි මට ඔය විස්තර කිව්වෙ….."
"අක්කත් එයත් එක්ක කතා කලාද?" මම හුස්ම අල්ලගෙන ඇහුව.
"නෑ හරිෂ් කතා කරපු එක වෙලාවකවත් අක්ක ගෙදර හිටියෙ නෑ. අනික හිටිය උනත් අක්ක හරිෂ් එක්ක කතා කරන එකක් නෑ"
"ඒ මොකෝ?"
"එහෙම තමයි අපේ චාරිත්‍ර...කේන්දර ගැලපෙනකල් කොල්ලයි කෙල්ලයි කතා කරන එක තහනම්"
"හ්ම්ම්..කොල්ලයි කෙල්ලයි.." එහෙම හිතනකොටත් මට එන කේන්තිය කියල ඉවර කරන්ට බෑ…"කොල්ලයි කෙල්ලයි...හුහ්"
"දැන්නම් ඉතිං ප්‍රශ්ණයක් නෑ. කේන්දර ගැලපෙනවනෙ. දැන් දෙන්නට කතා කලෑකි. අද ඔය එන්නෙත් එහෙම කේන්දර ගැලපුන නිසානෙ.."
මංජු බොහොම සන්තෝසෙං කියාගෙන ගියා.
මට මගෙ අම්ම මතක් වුනා. මගෙ අම්ම මට ගෑණු ළමයෙක් ගැලපෙනවද කියල හොයල බලන්නෙ ළමයගෙ පියතුමාට අයිති පෙට්රල් ෂෙඩ් කීයක් තියනවද? එතකොට එව්වයිං කීයක් ගෑණු ළමයට දෑවැද්දට දෙනවද? කියන එක විතරයි. අනේ වාසනාවන් එහෙම අම්මල…
"මංජු ඔයා ඉගෙන ගන්නෙ විද්‍යාව. ඔයා ඇත්තටම විද්‍යාවට ගණිතයට දෙකටම එක වගෙ දක්ෂයි. ඒ වගේම සෙනසුරුගෙ වළලුවල පාට බලන්ටත් ඔයා ආසාවෙන් ඉන්නව. ඒ එක්කම කේන්දර ගැලපෙන්නෙ නෑ කියල කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරන එකත් වැරදියි කියලත් ඔයාම කියනව. මට තේරෙන්නෙ නෑ ඔයා හිතන විදිහ"
"ඒකෙ තේරුම් ගන්ට ඔය හැටි අමාරු දෙයක් නෑ. මම ඉගෙන ගන්නෙ විද්‍යාව. කවදක හරි මගෙ අනාගතය වෙන්නෙ විද්‍යාව. ඒ එක්කම මේ අපේ සංස්කෘතිය" මංජු කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..
"හ්ම්ම්ම්ම්…..ඒකත් එහෙමද?" මම දිග හුස්මක් පාතට දාල හෙමීට කිව්ව.
"කරුණාකරල දැන්වත් මගෙ සටහන් පොත දෙනවද?" මංජු ඔලුව උස්සල මා දිහා බලල ඇහුව.
"හරි හරි තරහ වෙන්න එපා…." මම සටහන් පොත මංජුට දුන්න.
"දැන් හරිෂ් එනවද?"
"ඔව්..ඊයෙ අම්ම කතා කරල කිව්ව උදේ කෑමට එන්නෙයි කියල එයාලට"
"එයාලට කිව්වෙ?"
"හරිෂ්ටයි එයාගෙ අම්මටයි තාත්තටයි...තව කවුරු කවුරු එයිද දන්නෙ නෑ….." මංජු ආයෙමත් සටහන් පොතට ඔලුව නවා ගත්ත.
"හරි මංජු...මම යන්නං එහෙනං"
මම නැඟිටල මගෙ බෑග් එක අතට ගත්ත. අනන්‍යා එක්ක මට තිබ්බෙ උහුලගන්ට බැරි කේන්තියක්. "මේ අම්මණ්ඩි ආය දෙකක් නෑ මේ නාඩගම ගැන දැනගෙනම ඉන්ට එපාය. ඒත් මට වචනයක්වත් කිව්වද? කමක් නෑ මම නිවාඩු පාඩුව එයාව අල්ල ගන්නංකො" මට මේ වෙලාවෙ ලොකුවටම ඕන කම තිබ්බෙ මෙතනිං හැකි ඉක්මනට පිටවෙලා පුලුවන් තරම් දුරකට යන්ට.
"මංජු මම යනව.." මම එහෙම කියල හෙමිහිට ඉස්සරහ දොර පැත්තට ගියා.
"ක්‍රිෂ් අයියෙ...." මංජුගෙ කටහඬට මම සාලෙ මැද නැවතිල ආපහු හැරුන. මංජු ඉඳගෙන හිටපු පුටුවෙම පැත්තකට හැරිල මා දිහා ඇස් ලොකුකරගෙන බලා ඉන්නව.
"ඇයි මංජු?" මම ඇහුව.
"මේ... මම මේ..පොඩි කාරණයක් අහන්ට කියල ලෑස්ති වුනේ.."
"ඔව්..මොකක්ද?"
"මම මේ අහන්ට ආවෙ..මේ...බ්ලූ ෆිල්ම්ස් බැලුවම මොනව හරි නරක දෙයක් වෙන්ට පුලුවන්ද?"
මම උත්තරයක් නොදී මංජුගෙ මූණ දිහාම බලාගෙන හිටිය.
"නෑ...නෑ.....මම මේ ඇහුවෙ.... මම ආය කවමදාකවත් බලන්නෙ නෑ…..මට නිකමට වගෙ දැනගන්ට ඕන..ඒකයි ඇහුවෙ…" කොළුව හතර අතට ඇඹරෙමිං කෙඳිරි ගෑව.
"මංජු අහන්නෙ බ්ලූ ෆිල්ම් එකක් බැලුවොත් විතරක් මොකවත් වෙන්නෙ නැද්ද කියලද?"
"ඔව්..බැලුවම විතරක්...ම්ම්ම්ම්...මෙහෙම කියමුකො. බලල ඉවරවෙලා තව මොනව හරිත් කලොත් එහෙම?" මංජු අහක බලාගෙන ඇහුව.
"මම කියන්ටද? හොඳ වෙලාවක් බලල ඔයා ඔය ප්‍රශ්නෙ ඔයාලගෙ තාත්තගෙං අහන්ට…"
"පිස්සුද අයියෙ?... අයියත් මොනව කියනවද මන්ද…" මංජුගෙ ඇසුත් ලොකු වෙලා කටත් ඇරුන.
"මම එහෙනං ඇත්තම කියන්ටද? ඔයාගෙ ඇස් පේන්නෙ නැතුව යන්ට පුලුවන්. වෙනනම් එහෙමට දෙයක් වෙන එකක් නෑ" මම බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගෙන කිව්ව.
"ඇත්තටම?" මංජුගෙ කට ආයෙමත් ඇරුන. "කොහොමද අයියෙ එහෙම වෙන්නෙ? ඇත්ත කියන්නකො අනේ.."
"හරි හරි ඇත්ත තමයි....කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"
මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.
"වනක්කම්.....වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."
ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.
**********************************
අසංක ප්‍රියමන්තගෙ මම කැමතිම ගීයක් මේ.....ඒකත් අහලම යන්නකො...
කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳදේවි බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුණු දාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක



