Wednesday, December 21, 2016

466. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 9 - ළා දළු බෝ පත් සෙමින් සැළෙන සේ යසෝදරා දේවී......



යසෝදරාවෝ බුදු හිමියන් පාමුල අපමණ සෙනෙහසින් 
යුතුව වැඳ වැටෙමින්.....

ආදරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලෝකය ජීවත් කරවන්නෙ ආදරය. ආදරය කියනවට වඩා මම කැමතියි සෙනෙහස කියල කියන්න. හරි... සෙනෙහස පොදුවේ ගත්තම දාරක සෙනෙහස, මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස සහ භාතෲ සෙනෙහස ආදී වශයෙන් කොටස් කීපයකට බෙදෙනව. පති පතිනි සෙනෙහස ඒ අතර ඉතාම වැදගත් කියල කියන්නට හැකියි. ඒ කියන්නෙ ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන සෙනෙහස.

සංසාරය ගැන විශ්වාසයක් අපේ බොහෝ දෙනා තුල තියනව. බුද්ධාගමට සංසාරය කියන සංකල්පය එකතුවෙන්නෙ පස්සෙ කාලෙක කියලයි මගේ නම් විශ්වාසය. ඒ කොහොම වෙතත් හිතළුවක් විදිහට හෝ සංසාරය කියල දෙයක් පවතිනවය, මිනිසුන් වන අපි හැමෝම මරණින් මතු යලි උත්පත්තිය ලබනවය යන සංකල්පය කල්පනා කරල බලනවිට බොහොම චිත්තාකර්ෂණීයයි. අඹු සැමි යුවලක් අතර ආත්මයෙන් ආත්මයට නොනැසී පැවතෙන සංසාරගත සෙනෙහසක් බැඳීමක් ගැන උනත් එහෙමයි. ඉතාම සුන්දර සදාදරණීය හැඟීමක්.

ලංකාවෙ හිටපු අන්තිම අවුරුදු හතර මම සේවය කලේ නුගේගොඩ නගරාසන්නයෙ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබූ ඉදිකිරීම් සමාගමක. මුල් අවුරුද්දෙ වගෙ මම ගෙදර ආවෙ සති අන්තයට විතරයි. සඳුදා උදේ පහට නුවරින් පිටත්වෙන මාතර කෝච්චියට පේරාදෙණියෙන් නැංගම මරදානට එතෑකි 8.05 වගෙ වෙනකොට. එතන ඉඳල 176 බස් එකක නැග්ගම කොහොමත් නමයට ඉස්සෙල්ල මම ඔෆිස් එකේ. 

අපේ ඔෆිස් එකේ සෙනසුරාදත් වරුවක් වැඩ. දහවල් 12.30 වෙනකල්. ඒත් ඒ වෙලාවට ගියහම කෝච්චියක් නෑ. ඒ නිසා මම කරන්නෙ තුන වගෙ වෙනකල් වැඩ කරල හතරට කොටුවෙන් පිටත්වෙන සෙංකඩගල මැණිකෙට නඟිනව. ඔය කාලෙ මම ගෙදර නැති දවසට අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ තනි නොතනියට එයයිගෙ අහල පහල හිතවතියක් එනව එයාගෙ පොඩි දරුවත් එක්ක. ඒ ළමයා එතුමිය ඔය ඔයිට කලින් තුනේ පන්තියටද කොහෙද උගන්නපු කාලෙ එයයිගෙ ගෝලයෙක්. ඒ ගුරු-ගෝල ආශ්‍රය හින්ද තමයි හිතවත්කම් ගොඩනැඟිල තියෙන්නෙ.

ඉතිං ඔහොම බොහොම අගේට මේ වැඩ පිළිවෙල කෙරීගෙන යද්දි එක පාරටම වැඩේ අප්සෙට් ගියා. 

"මේ හරි වැඩේනෙ. අර චාන්දනීලට ඔයා කොළඹ ඉන්න දවසට ආය අපේ ගෙදර ඇවිල්ල ඉන්ට බැරිවෙයි"

"ඒ මොකෝ ඒ හිටපු ගමං? "

"එයාලගෙ අම්ම අසනීප ගානෙ ඉන්නෙ. නැඟිටගන්නත් අමාරුයි. ඒ අම්ම ලබන සතියෙ ඉඳල එයාලගෙ ගෙදර නවතින්න එනවලු" 

"ආ..එහෙමද? එහෙනං කොහොමත් අපේ ගෙදර ඇවිල්ල ඉන්න බෑනෙ නේද? "

"ඒක තමයි මාත් මේ කල්පනා කලේ…"

"මෙහෙම කරමු. එක දිගටම සතියක් මම කොළඹ නොඉඳ අඟහරුවාද හවස ගෙදර ඇවිල්ල ආයම බදාද උදේ ගිහිල්ල බෘහස්පතින්ද හවසත් ආපහු ගෙදර එන්නං. හැබැයි සඳුදයි, බදාදයි, සිකුරාදයි රෑට ඔයාට තනියම ඉන්ට වෙනව"

"ඒකට නම් කමක් නෑ.ඒත් ඔයාට අමාරුයි නේද ඔහොම සතියට තුන් පාරක් කොළඹ යන එක"

"මුලින් ටිකක් අමාරුවෙයි. ඒත් එහෙම කියල හරියන්නෙ නෑනෙ. මේ ප්‍රශ්ණෙට විසඳුමක් තියෙන්නත් එපාය…"

"ඔව්..ඉතිං වෙන කරන්ට දේකුත් නැහැනෙ...නේද ඒයි? "

"හ්ම්ම්ම්ම්……."

ඉතිං ඔය විදිහට අවුරුදු දෙකක් විතර මම සතියට හය ගමනක් කොටුව/මරදාන සහ පේරාදෙණිය අතර ගමනාගමනය කලා. එක අතකට ඒක මහ ලොකු දේකුත් නෙවෙයි. නුවර ඉඳල දිනපතා කොළඹ වැඩට යන මිනිස්සු අනන්ත ඉන්නව. ඔය දිනපතා කෝච්චියෙ යන අය සංගමයක් වගෙ හදාගෙන සීට් එහෙම වෙන් කරගෙන ඉන්නෙ තමන්ගෙ අයට. වෙන කාටවත්ම එව්වයෙ ඉඳගන්න දෙන්නෙ එහෙම නෑ. දවසක් මම එහෙම මනුස්සයෙකුට කචල් එකක් දාල අම්මටසිරි මාව අමුවෙං කෑවෙ නැතුව විතරයි ඔය කන්තෝරු සංගමේ සාමාජිකයො. 

සඳුදට තමයි සෙනඟ වැඩිම. එදාට තමයි ඔය සීට් ප්‍රශ්නෙ එන්නෙ. මම ඉතිං එදා ලෝඩ් වගෙ උංව ගණං නොගෙන සීට් එකේ ඉඳගෙනම ආවට ඊට පස්සෙ ඒ කන්තෝරු කාරයො අයිති කරගෙන ඉන්න පෙට්ටි දෙක මඟ ඇරල වෙන පෙට්ටියකට නඟින්ට පුරුදු වුනා. අහවල් දේකටද මේ තාවකාලිකව පැය තුනක් ඉඳගෙන යන කෝච්චි සීට් එකක් හින්ද මිනිස්සු තරහ කරගන්නෙ, එහෙම නැත්තං කුණු හරුප අහගන්නෙ නැද්ද හොඳයි?

හවස ආපහු ගෙදර යද්දි වේයංගොඩින් පස්සෙ ඕන තරම් ඉඩ තියනව. රඹුක්කනින් පස්සෙ නම් සීට් එකේ දිග ඇදිල නිදියගෙනත් ගිහෑකි. ඒත් මම කවදාවත් නිදාගත්තෙ නෑ. ඔය සතිපතා ගමනාගමනයෙදි අනිවාර්යයයෙන් පොතකුයි, සුට්ටං රීචාජබල් ටෝච් එකයි, කුඩෙයි මගෙ අතේ තියනවමයි. පොත වනාහී සීට් එකක් හම්බවුනු ගමං ඉඳගෙන කියවන්ට. ටෝච් එක ඇටපල් කලුවරේ පේරාදෙණිය ස්ටේෂන් එකෙන් බැහැල ලයිට් කණුවක්වත් නැති ගල් ගැලවිච්ච තාර පාර දිගේ කකුල් කඩාගන්නෙ නැතුව ගිහිල්ල අපි ඒ කාලෙ හිටපු ඉස්කෝලෙ ක්වාටර්ස් එකට තියෙන පඩි දෙසීය ගාන හොම්බ කට සමතලා නොවී නැඟගන්ට සහ කුඩේ උඩරට පළාතට ආවේණික කොයි වෙලාවෙ දෙන්ට තිබාගනියිද කියල විස්වාස නැති අනෝරා වැහි කෝඩ වලින් ආරස්සා වෙන්ට.

ඔය සතිපතා සය වරක් එහාට මෙහාට දුම්රිය ගමනාගමනයෙන් තව හොඳක් වුනා. ඒ තමයි පොත් ප්‍රදර්ශණ වලින්, සේල් වලින්, පේව්මන්ට් එකෙන් අරගෙන කියවගන්ට වෙලාවක් නැතුව ගෙදර පුරා බංකු උඩයි පරණ පෙට්ටි උඩයි ගොඩ ගහල තිබ්බ පොත් කන්දරාවෙන් බාගයක් විතර කියව ගත්ත.

ඒ නැණැස දියුණුවට අමතරව මිනිසුන් ගැන නිවී සැනසිල්ලේ අධ්‍යයනය කරන්ටත් මම ඔය ට්‍රැවලිං ටයිම් එක යොදාගත්ත. වඩේ කාරයො, හැළප කාරයො, හෝඩිපොත් ලිත් විකුණන්නො, ඉඳිආප්ප මුල් විකුණන වෙළෙන්දියො, හිඟන්නො ඔය වගෙ නා නා ප්‍රකාර උදවිය.

සමහර දවස්වලට කෝච්චියෙ ලයිට් යනව. ඊට පස්සෙ ආයම ලයිට් ආවත් මහ මෑලි පාට කණාමැදිරි එළියක් තියෙන්නෙ. එහෙම දවසට ඉතිං මම කරන්නෙ පොත වහල පැත්තක තියල ජනේලෙන් ඈත කඳු බෑවුම්වල හීනියට සුට්ටං මැණික් කැට වගෙ දිළිසෙන ගෙවල් වල එළි දිහා බලා ඉන්න එක. එහෙම ඉන්න කොට මට හිතෙනව දැං අර ඈත පේන ලයිට් එළිය පත්තුවෙන ගෙදර ඇතුලෙ මේ වෙලාවෙ කවුරු කවුරු ඇද්ද? එතකොට මොන මොනව කෙරෙනව ඇද්ද? කියල සමහරවිට පොඩි ලෑලි මේසයක් ලඟ ඉඳ ගත්තු අවුරුදු දහයක දොලහක වගෙ හුරුබුහුටි දැරියක් ඉස්කෝලෙදි ගෙදර වැඩට දුන්නු දීර්ඝ බෙදීම ගණං හදනව ඇති. නැත්තං උම්මග්ග ජාතකයෙන් අහපු ප්‍රශ්නයකට උත්තර ලියනව ඇති. 

උම්මග්ග ජාතකය.....මහෞෂධ පඬිතුමා සහ අමරා දේවිය....මම අර මේ ලිපිය පටන්ගන්නකොටම කියාපු සංසාරගත සෙනෙහස මතකයි නේද? එතකොට වෙස්සන්තර රජතුමා සහ මද්‍රි දේවිය...මගෙ බිසව්නේ අසාපන් නුඹ මද්‍රි දේවි නොවුනේ.... දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී….

රඹුක්කන සහ කඩුගන්නාව අතර තියනව අලගල්ල කියල දුම්රිය නැවතුම් පොළක්.

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනල කන්ද

ඒ කරත්ත කවියක්….. අහල තියනව නේද?

මීදුම නැති දවසට ඔය අලගල්ල දුම්රිය පලට බතලේගල කන්දත් පේනව යස අපූරුවට. බතලේගලට සුද්ද කිව්වෙ බයිබල් රොක් කියල. ඒ කන්ද හරියට බයිබලයක් මේසයක් උඩ තියල තියනව වගේ හින්දයි එහෙම නම තිබ්බෙ කියල මම කොහෙ හරි කියවල තියනව. ඒත් මටනම් එහෙම දෙයක් කවදාවත් පෙනුනෙ නෑ. සමහරවිට බතලේගල කියන නමෙං සුද්ද බයිබල් රොක් කියල හදාගන්ට ඇති.

එහෙම නැතුව ඒකෙ ප්‍රතිලෝමය වෙන්ටත් බැරිකමක් නෑ කල්පනාකරල බැලුවම. ඒ කියන්නෙ සුද්දගෙ බයිබල් රොක් කියන නමෙන් අපෙ මිනිස්සු බතලේගල කියල හදාගන්ට ඇති. එහෙම ඉංග්‍රීසි නම් වලින් අපි සිංහලට හදාගත්තු තව නම් ගම් බොහොමයක් තියනව. ඒ ගැන ආයම වෙලාවක විස්තර ඇතුව කතා කරමු.... හානෙ නේද? හරි..හා කිව්ව.

කෝච්චිය ඔය අලගල්ල ස්ටේෂන් එකට එනකොට කොහොමත් 7.15 වගෙ වෙනව. හැබැයි පොඩි අවුලක් වෙන්නෙ සිග්නල් නැතුව හෝ වෙන මොකක් හරි අකරතැබ්බක් වෙලා විනාඩි දහයක් පහළවක් පරක්කු උනොත්. සාමාන්‍යයෙන් සෙංකඩගල මැණිකෙ වෙලාවට ආවොත් ඔය වෙලාවට කොළඹට යන උඩරට මැණිකෙත් එක්ක මාරු වෙන්නෙ කඩුගන්නාවෙදි. ඒත් පරක්කු උනොත් එහෙම වෙන්නෙ සෙංකඩගල මැණිකෙට අලගල්ලෙදි සයිඩ් ගහල ඉන්ට වෙනව උඩරට මැණිකෙ "ඩකඩ ඩකං ඩකඩ ඩකං ඩකඩ ඩකඩ ඩකඩ ඩකං" කියාගෙන විදිල්ල වගෙ ඈ ලඟින්ම මාරුවෙලා කොළඹ පැත්තට යනකල්.

ප්‍රමාද නොවී සෙංකඩගල මැණිකෙ ආවනම් අලගල්ලෙදි අල්ලන්නෙ වේදිකා අංක එකට නොහොත් ප්ලැට්ෆෝම් නම්බර් වන්. ඒත් ප්‍රමාද වුනොත් කෙලින්ම අල්ලන්නෙ දෙවන වේදිකාවට. එහෙම දෙවන වේදිකාවට අල්ලනකොටම පළපුරුදු මගීන් දන්නව අද මෙතන අඩුම ගානෙ විනාඩි දහයක්වත් ඉන්ට වෙනවයි කියල උඩරට මැණිකෙ එනකල්. ඔන්න නිදි කිර කිර හිටපු කට්ටියම අහැරල, එහෙම නැත්තං තම තමංගෙ කතාබස් වල නිරතවෙලා හිටපු උදවිය එව්ව නවත්තල දුම්රිය රියදුරුට අම්ම මෝ නැතුව පිං අනුමෝදන් කරන්ට පටන් ගන්නව. එක අතකට එහෙම කරන එකේ අසාධාරණේකුත් නෑ ඇත්තටම වැරැද්ද රියදුරුගෙ නොවුන වුනත්. ඔය ඉන්න මගීන් බහුතරයක් ස්ටේෂන් එකේ බැහැල ආයම බස් එකකත් යන්ට ඕන. බොහෝවිට ඒක ඒ පැත්තට යන අන්තිම ලාස්ට් බස් එක. ඒක මිස් වුනාය කියන්නෙ ඉතිං ත්‍රී වීලර් එකක පිහිට තමා වැඩිපුර ගාණකුත් දීල. 

මට ඉතිං එහෙම ප්‍රශ්ණයක් නෑනෙ. කෝච්චියෙන් බැස්සට පස්සෙ පාද යාත්‍රාවෙන් ගෙදරට යන නිසා මට කෝච්චි ඩ්‍රයිවර්ට පිං අනුමෝදන් කරන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්ද මම කරන්නෙ හෙමිහිට දුම්රිය වේදිකාවට බැහැල ටිකක් එහාට යනව. අර මම කලින් කිව්ව වගෙ දුම්රිය අඳුරෙ තියන දවසක් නම් වඩාත්ම හොඳයි. දෙසැම්බර් ජනවාරි වගෙ හීතල කාලෙක නම් අහසෙ තරු පේන්නෙ කිසිම අපහසුවකින් තොරව අත උස්සල තරු අහුරක් කඩාගන්ට පුලුවනිය කියල හිතෙන තරමටම පැහැදිලිව දිළිසෙමින්.

දෙවෙනි වේදිකාවත් එක්කම එහායිං මුළු අහසම වහගෙන පැතිරිල තියෙන්නෙ මහ විසාල බෝ ගහක්. ඒ බෝගහ වටේට කවුද මන්ද වල් එහෙම උදළුගාල ගඩොල් තුන් හුලස් උඩට හිටින විදිහට තියල බොහොම අපූරුවට හදල. ඒ මැද ගල් ආසනයක් උඩ දාස්පෙතියා මල් හත අටක් එක්ක මද සුළඟෙ සැලෙන කහ පාට ගිණි සිළුවෙන් යම්තමට ආලෝකයක් නිකුත් කරන පොල් තෙල් පහනක්. 

ඒ එක්කම පැත්තකින් හරහ දාල තිබ්බෙ මහ විසාල කොටයක්. මයෙ හිතේ පෙනෙන විදිහට අඹ වෙන්න ඕන. මම කෝච්චියෙන් එලියට බහිනකොට ටෝච් එකත් අරගෙන ආවෙ. ටෝච් එක පත්තු කරල කොටය අවට හොඳට බලල මම හෙමිහිට කොටේ උඩ වාඩි වුනා. කෝච්චි පෙට්ටි ඇතුලෙ යම්තමට පත්තුවෙන විදුලි බුබුළුවල මලානික එළිය අතරින් එහාට මෙහාට යන මගීන්ගෙ අඳුරු සෙවණැළි මෙතනට යස අපූරුවට පේනව. හමායමින් තිබූ මද සුළඟ එකපාරටම පොඩ්ඩක් වේගවත් වුනේ මගෙ අත්වල හීගඩු පුබුදුවමින්.

ඒ එක්කම බෝගහේ අතුවල එල්ලෙමින් තිබූ සහක් බෝ පත් සුළඟේ නටන්නට ගත්තෙ අපූරු ලාලිත්‍යයක් සහිත සිලි සිලි හඬක් මතුකරමින්……….

ලාදළු බෝ පත් සෙමින් සැළෙන සේ යසෝදරා දේවී 
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී.....

සුළඟේ ලෙලදෙන බෝ පත් අතරින් ඈත අහසේ දිලෙන තාරකාවන් දිහා බලාගෙන ඒ සුමියුරු ගී පද මට මිමිණුනේ නිරායාසයෙන්………..

සංසාරේ පුරාවට සිදුහත් සහ යසෝදරාවන් අතරවූ ප්‍රේමය ගැන ඒ තරම් පරිපූර්ණ ලෙස වෙන කොහොම කියන්නද? ඒ අනුපමේය ප්‍රේම වෘත්තාන්තය ගැන ඇත්තටම අපේ අවධානය මෙතෙක් යොමුවෙලා තියෙනව හොඳටම මදියි කියලයි මගේ අවංක හැඟීම. පන්සිය පණහක් ආත්ම භාවයන් ගෙවී ගිය ඉක්බිති ඉපදුනු අවසාන ආත්ම භාවයේදී සිදුහතුන් බුද්ධත්වයට සහ යසෝදරාවන් අරහත් භාවයට පත්ව සසර කෙළවර කරනා තෙක් පැවත ආ ඒ අපූර්ව සෙනෙහසේ කථාව.......ලේන කුලේ සිට ආගිය මග තොට.......

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී

යසෝදරාවන් හැරදමා ගිහිගෙයින් නික්ම ගිය සිදුහතුන් බුද්ධත්වය ලබා යලි ආපසු යසෝදරාවන් දකින්නට පැමිණෙද්දී එතෙක් කිසිදු මාර්ග ඵලයක් ලබා නොසිටි පුහුදුන් ඈ සිත ඇවිලුනේ මහත් ලසෝ ගින්නකි.

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

එහෙත් අවසානයේ සිදුහතුන් තමන් හැරගියේ සකල ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් සසර දුකින් මුදවනු පිණිස බව මනාව අවබෝධ කොටගත් ඕ තොමෝ අපරිමිත සෙනෙහසින් සිදුහතුන් දෙපාමුල වැඳ වැටුණාය.

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක්සේ

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව-එච්.එම්.ජයවර්ධන


55 comments:

  1. හ්ම්ම්..

    ReplyDelete
  2. ඔය කියවනවයි කියන පොත්වල තියෙන නවකතා වලට වඩා හරිම ලස්සන ලියවිල්ලක්. පොතකට ගත්තනං අනාගත කෝච්චි මඟීන් කියවයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      බොහොමත්ම ස්තූතියි ඉයන්....පොතක් ගැන ඔබ සහ ප්‍රා නිතරම කියනව....හෙහ්,හෙහ්...බලමුකො නේද? අර ජේම්ස් හැඩ්ලි චේස්ගෙ පොත්වල කියනව වගෙ never say never...:)

      Delete
  3. සංසාරගත ආදරය හඳුනාගන්නා විදිහ ගැන ලියපු මගේ ගීතයක් මෙතන

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඒ පෝස්ට් එක හොඳට මතකයි. ඒත් ආයම කියෙව්ව කමෙන්ට්ස් සමඟම...:)

      Delete
  4. රෑට පේන ඔය වගේ එලි දිහා බලනකොට මටත් හිතුනේම ඔය වගේ දේවල් තමයි... වෙලාවකට හිතාගෙන විතරක් හිටියෙ නෑ. අම්මගෙන් හරි අප්පච්චිගෙන් හරි අහනවා... ඔය ප්‍රශ්න ටික ඔය විදිහටම... ඒ පුංචි කාලෙ හොදේ...



    එක එක විදිහෙ ආදර කතා ගැන කතා කළාට නියම ආදර කතාවක් විදිහටයි මට හිතෙන්නේ... ඒ බැඳීම ගැන කියන මාත් කැමතිම ගීතයක් මේ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      /රෑට පේන ඔය වගේ එලි දිහා බලනකොට මටත් හිතුනේම ඔය වගේ දේවල් තමයි./

      මට ඔය එළි ගැන විතරක් නෙවෙයි දවල් බස් එහෙක කෝච්චියෙ යද්දි පේන ගෑණු මිනිස්සු, පොඩි එවුං ගැනත් ඔහොම එක එක විචිත්‍ර හැඟීම් හිතට එනව.මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිල බලන්ට පුලුවන් අද්භූත හැකියාවක් තියෙනවනම් මොනතරම් අපූරුද කියල.

      ඒත් අනික් අතට එහෙම හැකියාවක් තිබුනයි කියන්නෙ ශාපයක් වෙන්නත් පුලුවන්. ජීවිත කාලයම ගත කරල සිත ඉතාම දියුණු කරගෙන එහෙම හැකියාවක් ලබාගෙන ඒත් පහුවදාම දිවි නසාගත්තු මනුස්සයෙක් ගැන කෙටිකතාවක් මම කාලෙකට ඉස්සෙල්ල කියවල තියනව.

      Delete
  5. ගොයියෝ ඔය අඩරට මැණිකෙද? පොඩි මැණිකෙද?

    ReplyDelete
    Replies
    1. අඩරට උඩරට ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    2. මහානාම,

      අඩේ ඒ වෙලාවට එන්නෙ පොඩි මැණිකෙද? වෙන්න ඇති වෙන්න ඇති...කොහොම හරි බදුල්ලෙන් දහයට වගෙ පිටත්වෙන කෝච්චිය.

      Delete
  6. නියමයි රවී අයියා. ඉයං කියල තියෙනව වගේ අම්මප ඔහෙට තියෙන්නෙ මේ කතාවලින් පොතක් ගහන්න.

    //වඩේ කාරයො, හැළප කාරයො,// චැහ්... කොච්චර උනත් හැලපෙට එහෙම කතා කරන එක හරි නෑ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /නියමයි රවී අයියා. ඉයං කියල තියෙනව වගේ අම්මප ඔහෙට තියෙන්නෙ මේ කතාවලින් පොතක් ගහන්න./

      බරපැන හොයල දීහං මට පොත ගහන්න. ඇත්තම කියනවනං කමෙන්ට් කරුවන්ගේ සංගමේ යාවජීව සභාපති හැටියට උඹේ එක වගකීමක් එහෙම දේවල් සංවිධානය කරන එක.

      Delete
  7. මේ වෙලාවෙ ඔහේගෙ බ්ලොග් එක මැද අප්පච්චි වැඳගෙන ඉන්න පිංතූරයක් බොහොම ලොකුවට පේන්න තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න...........මූ මොනවා ලිව්වත් අප්පච්චිට ලව්. ඒකනේ බ්ලොග් එකෙන් බාගයක් පිරෙන්න ෆොටෝ එකක් දාගෙන ඉන්නේ :

      Delete
    2. ප්‍රසන්න,

      වර්ඩ් ප්‍රෙස් බ්ලොග්වල ඔහොම අවුලක් තියනව දැන් මාස හතර පහක ඉඳල. රූප වැටෙන්නෙ මහ විසාලෙට...:)

      Delete
    3. අරූ,

      ඇත්තම කිව්වොත් අප්පච්චි කියන කතාවලට වෙලාවකට ආදරෙත් හිතෙනව බං...:)

      Delete
    4. අරූ,

      ඒ ගල් කපාපු කතා ඒ යකාගෙ ගැලරි ටෝක්ස්නෙ.

      මම කියන්නෙ අර ලඟදි කියල තිබ්බෙ දැං අදහස් ප්‍රකාස කිරීමේ අයිතිය අහිමිවෙලාය එයයිගෙ කාලෙ ඒ අයිතිය මදි නොකියන්ට දුන්නය කියල..

      ආය කියල තිබ්බ රටේ මූල්‍ය පාලනය බිංදුවට බැහැලය එයාගෙ කාලෙ එහෙම නැත කියල.

      තව මාස කීපෙකට කලින් කිව්ව කරන්ට බැරිනං එයාට දෙන්ටය එයා කොරල පෙඤ්ඤංඤම්ය කියල.

      මට දීල බලඤ්ඤ,
      මම කොරල පෙඤ්ඤඤ්ඤා...:)

      Delete
    5. ඊයේ ඉපදුනු අයට හොඳයි නින්දට පෙර අසා ඉන්න.

      Delete
  8. සසර ඇවිද හමුවූ තැන සුපෙම්බරා
    අදර නොලැබ හැඩුවලු ඒ යසෝදරා
    නිතර ඇසෙන දුක් ගීයට දෙනෙත් පුරා
    පැතිර ගලනවා කඳුලක් මටත් හොරා......

    ලස්සන ගීයකට එක්වූ ලස්සන කතාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      මේ යස්සය එක්ක බෑනෙ යකෝ...තොප්පිය වැටුන ගමං මූ කවියක් කියනවනෙ (Writing a verse at the drop of a hat)

      මට පේන්නෙ උඹ ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නෙත් කවියෙන්ද කොහෙද....:)

      Thanks Dumee...

      Delete
    2. සිප්පි කටුත් නිතරම වෙරළට එනවා
      ගප්පි පැටව් හැම වේලෙම පිහිනනවා
      හැප්පි ගියත් වාහන දිගටම යනවා
      තොප්පි වැටෙන මොහොතෙම කවි ලියවෙනවා.......

      ජයවේවා!!!

      Delete
    3. ඩප්පි ගල් කටස් නම් නැතුවම බැරුවා
      තොප්පි වැටෙනවා සීමාවක් නැතුවා
      බප්පි ලැහිරිගේ මියැසිය සිත සැදුවා
      නප්පියටම ගහමු බං කරටිය කැඩෙනා

      Delete
  9. මේ විශ්වයේ පැවතුණු විශිෂ්ඨ ම ආදර කතාව ගැන, විශිෂ්ඨ ම පෙම් යුවළ ගැන කොයි තරම් කතා කළත් ඉවර කරන්න බැහැ.මාත් ආසම කරන ගීතයක්..!

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      ඔව් ඔබ හරි...සිදුහත්-යසෝදරා ගැන කතාවෙනව බොහොම අඩුයි. මම හිතන්නෙ අපි හැමෝටම මඟ ඇරුනු ඉතාම අපූරු ප්‍රේම කථාවක් ...:)

      Delete
  10. හෆෝ රවී අයියෙ මටත් ඔය කෝච්චි ගැනනම් බොහොම නොපැහැදීමක් තියෙන්නෙ. මහ පාරෙ ට්‍රපික් එකට අහු නොවී යන්න පුලුවන් නිසා උදේට එනව මිසක් මගෙ බල්ලවත් ඔය කන්තෝරුකාරයො එක්ක යන්ට කැමති නෑ.හැබැයි මදි නොකියන්ඩ එක එක විදිහේ චිත්‍රපටිනම් බලතැහැකි. ඔෆිස්කාරයන්ගෙ ගෑනු මිනිස්සු මේ කෝච්චිවල නොඑන නිසා හොඳා. මෙව්ව ගැනනම් පෝස්ට් ගානක් ලියන්න දේවල් මේ කාලෙට එකතු කරගත්ත.

    ඒක නෙවෙයි අර කෝච්චියෙ පෙම් පලහිලව්වට මොකෝ උනේ දන්නෑ. අර අම්මන්ඩිගෙන් මූන කට සමතලා වෙන්ඩ කාල ඇති මෙලහටත්.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      /ඒක නෙවෙයි අර කෝච්චියෙ පෙම් පලහිලව්වට මොකෝ උනේ දන්නෑ. අර අම්මන්ඩිගෙන් මූන කට සමතලා වෙන්ඩ කාල ඇති මෙලහටත්./

      ඇයි බං මම ඒ කතාව ඉවර කලානෙ..උඹට මිස් වෙන්ට ඇති එහෙනං...:)

      Delete
  11. හරිම ලස්සන පෝස්ට් එකක් රවි. මට මේ ගීතය ඇහෙනකොට මතක් වෙන්නේ මේ පැරණි ගීතය. කාලය අනුව පරණයි. ඒත් තාමත් අහන්න කැමති ගීයක්.

    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //

    නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
    දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //

    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා

    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //

    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැම දාක
    වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    ගායනය - වසන්තා සන්දනායක
    ගී පද - මර්වින් සේනාරත්න
    හින්දි තනුවක්.

    ReplyDelete
    Replies
    1. Aru,

      /නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
      මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා /

      එදා සිදුහත් යසෝදරාව දාල යනකොට නොකියා ෆෝන් එකත් දාලයි ගිහිල්ල තියෙන්නෙ. යසෝදරා මෙතන ඒකයි ඔය කියන්නෙ.අඩුගානෙ ඔයා නොකියා එකවත් අරගෙන ගියානම් මට කෝල් එකක්වත් දෙන්ට තිබ්බයි කියල.

      ඔය ගීතයෙ රචකයා මර්වින් සේනාරත්න මහත්මයා ඉතාම දක්ෂයෙක්. ලංකාවෙ තොරණ් විස්තර සහ කවි බොහොමයක් ඔහුගේ නිර්මාණ.

      ඊලඟ කොටුවෙන් පෙනෙන්නෙ ක්‍රිෂ්ණජිනා පැනදුවනව.
      ජූතකයා පරණ විස්කි XXXXX XX XXXX.

      ලබන වරත් සාල වනේ අලි XXXXX,
      ලබන වරත් සාල වනේ අලි XXXXX,
      තොරණට රුපියලකින් ආධාරය දෙන්නේ,
      දීල XXX XXX
      දීල XXX XXX

      (සැයු - X අකුරින් දක්වා ඇත්තේ අසභ්‍ය වදන් නොව මගේ මතකයෙන් ගිලිහී ඇති වදන් බව කරුණාවෙන් සළකන්න)

      මර්වින් මහත්මයා අසූ ගණං වල ලිව්ව සුගන්ධිකා කියල අයිතිහාසික ගුවන් විදුලි නාට්‍යයක්. ඒක බොහොම ජනප්‍රිය වුනා. ආ..තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙළී සහ මාගම් පුරයෙ ඉඳන්...ගීත දෙක ලිව්වෙත් ඔහු.

      Delete
    2. රවී ...මර්වින් සේනාරත්න ජාතක කතා, ඉතිහාස කතා ඔස්තාර් කෙනෙක්. අක්කේ ටිකක් ඉන්නකෝ..ඇවිදින් ඉඳගන්නකෝ, බලන්න බුදු සාමිනේ...දරන්න බැහැ සෝ ගිනි සින්දුත් නැගලා ගියානේ නේද.
      මහ රෑ යාමේ මේ ඇල් හේනේ
      තනියම සීපද කියනු අසා...////
      මේක ලිව්වෙත් මොහුමයි. මම කොහෙදි හරි කියෙව්වා ඔය ගීතය දයාරත්න රණතුංග ඉස්සෙල්ලාම ගැයුවේ එයාගේ සොයුරිය සෝමලතා රණතුංග එක්ක කියලා. පසුව තමයි බිරිඳ එක්ක කියලා ජනප්‍රිය වුනේ.

      Delete
  12. ලස්සන සටහන අයියේ. මේක කියවද්දි මට සඳකිඳුරු ජාතකයත්, ඒ කතාව ඈඳලා කාලෙකට කළින් කට්ටියක් එකතු වෙලා ලියපු ලස්සන කතාවකුත් මතක් වුණා. :)

    අයියා අක්කා වෙනුවෙන් ලියපු උපන්දින සටහනත් මට මගඇරිලා. පහුවෙලා හරි ඔන්න සුබ උපන්දිනයක් පැතුවා කියන්නකෝ මේ සිත්තමී නගා, හොඳද?

    ReplyDelete
    Replies
    1. Siththami,

      /ඒ කතාව ඈඳලා කාලෙකට කළින් කට්ටියක් එකතු වෙලා ලියපු ලස්සන කතාවකුත් මතක් වුණා. :)/

      හෙහ්, එහෙමත් කාලයක් තිබ්බ නේ? ඒ කණ්ඩායමේ කස්ටිය දැං ආගිය අතක් නෑ...උඹයි මායි විතරයි මෙහෙමවත් ඒ කණ්ඩායම ගැන කතාකරන්ට ඉන්නෙ...හෙහ්,හෙහ්..එහෙම තමයි එව්වයෙ හැටි නැද්ද? ඒ වැඩේ හාපුරා කියල සංවිධානය කරපු උන්දැ තමයි මුලිම්ම අතුරුදන් වුනේ...:)

      උපන්දින සුබ පැතුමටත් මෙනි තෑන්ක්ස්...:) Than better late never...

      Delete
  13. රවි අයියේ ඔයා අදත් හරිම ලස්සනට ලියල තියෙනවා.
    මම හැමදාමත් රවි අයියා ලියන ඒව කියවන්න එනවා.
    ඒක නෙවි රවි අයියෙ ඔයා කවදද ආයෙ ලංකාවට එන්නෙ.
    මට ඔයාව හම්බ වෙන්න ආසයි. ඔයත් එක්ක සෙල්ෆියක් ගන්න.
    ඉතින් ඔයාට බුදු සරණයි රවි අයියෙ

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි බං සෙල්ෆියක් ගන්න එක එච්චර දෙයක්ද? මම ඊලඟ පාර එන දවස බොට කියන්නංකො. වෑන් එකක් හයර් කරගෙන වරෙං කටුනායකට. ඒ කරල මාව ගෙනිහිං දාපං ගෙදරට.

      ඒ යන අතරෙ කඩුගන්නාව හරියෙ තියනව නියම පොට් සෙල්පි ගන්ට. ඔය මම ලියල තියෙන්නෙ බතලේගල. ඒකත් බොහොම අපූරුවට පේනව කඩුගන්නාව කන්ද නඟිද්දි. ඒක බෑක් ග්‍රවුන්ඩ් එකට වැටෙන්ට අපි ගහමු සෙල්පියක්.....

      මොකද කියන්නෙ? යූ ඇග්‍රී ඕ නොට්? වඩියුසේ?

      Delete
  14. අපූරු ගීයක්..ඒ වගේම දුම්රිය ගමනත් සැබෑ සුන්දර අත්දැකීමක්

    ReplyDelete
  15. ලස්සන සින්දුවක් රවීයියේ සටහනත් ඒ වගේමයි.
    මම හිතුවේ අර කෝච්චියේ ලවු එක ඉවර වුනායින් පස්සේ සින්දු පොස්ට් එක ක්ලෝස් කියලා....:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      නෑ බං ඒ ගෑණු ළමයයි අම්මයි එක්ක කෝච්චියෙ යද්දි මම ඒ අතරට මේ සිංදුවත් දාන්නයි හිතාගෙන හිටියෙ.ඒත් ආයෙම හිතුන ඒ කතාව ඇදුන වැඩියි කියල. එහෙම හිතලයි මේ සිංදුව වෙනම දැම්මෙ.

      කොහොමත් සිංදු ගැන ලියන එක නම් ඉවර නෑ. මම කාලෙක ඉඳල හිතාගෙන හිටියෙ මම කැමති ගීත ගැන මේ විදිහට ලියන්ට ඕමනාය කියල. ඉයන්ගෙ අර ගී සොළසෙ පෝස්ට් එක ඒ වැඩේට හොඳ උත්තේජකයක් වුනා...හෙහ්,හෙහ්,

      Delete
  16. ඔය පදිංචිය පැණිදෙනිය පැත්තේද? මටනම් පැණිදෙනිය ඇඹුල්දෙණියක් වුණා, 1988 දී. මම හිටියේ පැණිදෙනියෙ ඛනිජ තෙල් සංස්ථා භූමියේ තාවකාලික කඳවුරක් හදාගෙන.

    ReplyDelete
    Replies
    1. කැම්පස් කොල්ලන්ගෙ ඔලුවලින් අච්චාරු දැම්මද විචා.

      Delete
    2. විචා,

      ඔව්..මම පදිංචි පැණිදෙණියෙ. 88 කාලෙ නම් එහෙ නෙවෙයි. ඒ කාලෙ හිටියෙ අපේ මහගෙදර ඒ කිව්වෙ පිළිමතලාවෙ...

      Delete
    3. විචා,

      මේ විචත් නොහිටපු දිහාවක් නෑනෙ....හෙහ්,හෙහ්,

      Delete
    4. @ Anonymous December 21, 2016 at 1:24 PM

      චැඃ.......... ඔයා කියනතුරු මතක්වුනේ නැහැනේ ඒ වැඩේ කරන්න. අම්මප දැන් යන්න හිතෙනවා.

      Delete
  17. පේරාදෙණියේ කොහේද රවී ඔය කියන්නේ ?ස්ටේෂන් එකේ ඉඳන් ලොකු දුරක නෙවෙයි කියලා තියෙන විදිහට ... නියම ලිපිය කොහොම උනත්...වදිනවා ලෙසටම

    ReplyDelete
    Replies
    1. කොච්චි,

      මම මේ කතාවෙ කියන කාලෙ හිටියෙ අපෙ උන්දැ උගන්නපු ඉස්කෝලෙ නිල නිවාසෙ. පේරාදෙණිය ස්ටේෂන් එකේ ඉඳල මීටර් 400 වගෙ ඇති. දැනටනම් පදිංචිය ඊට තව මීටර් 400 වගෙ එහා.

      Thanks Machang...:)

      Delete
  18. හවස් වෙලාවක සෙනඟ අඩු කෝච්චි පෙට්ටියක වාඩිවෙලා ඈත බලාගෙන යන එක හරිම සුන්දර අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      ඔව් බං බස් එකක ඒ ආතල් එක කවදාවත් ගන්න බෑ. කෝච්චි ගමනෙ තියනව අමුතුම රොමෑන්ටික් මෙව්ව එකක්.

      මම පුලුවන් හැමවෙලාවෙම කෝච්චියෙම යන්නෙ අන්න ඒ හින්ද...:)

      Delete
  19. අපේ දුම් රිය සේවය දියුණු වෙන්නැති එකේ තියෙන එකම ලාබය මේ වගේ ලස්සන මතකයන්....

    ReplyDelete
  20. මේක ඔට්ටු නෑ. ඒ කිව්වෙ වච්චයි. ඇයි යකෝ ඔන්න මේ මනුස්සය කෝච්චි කබලක නැගිල කොහෙද දිහාක යනව. ඒ අතරෙ ඩැයිබරගෙ මව්ට පිං මදිවෙලා කෝච්චිය පැය බාගෙයක් ඉස්ටේසමක හිටවා තියන්න වෙනව. ඒ අතරේ මේ මනුස්සය කෝච්චියෙං බැහැලා රට ගිනිපෙනෙල්ලත් ඇරං අහල පහල තියෙන එව්ව මෙව්වා අස්සෙ රිංගන්න යනව. ඊට පස්සෙ ඒ අවට පේන්න තියෙන මොකක් හරි එක දෙයක නම ඇතුලත් වෙන සිංදුවක් දබහ් ගාල ගෙනැත්දාල වැඩේ අහවර කරනව. යකෝ එහෙම පුළුවනැයි සිංදු හිතෙන්න. ඒත් එක්කම "ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී" කිය කියා ලියාගෙන ගිහිං අන්තිමට ඔය "ඒ ගී සොලස" කියන්නෙ මොකද්ද කියල හොයන්න වෙනම කමිටුවක් තියන්න වෙනව.

    අවසං වසයෙං කියන්නෙ ආයි සිංදු ගැන ලිව්වොත් පත්තරේට දානව. එතකොට අවසානෙට හම්බුවෙයි මඩු වලිගෙං. ඔව් ඉඳගන්න හම්බුවෙන්නෙ නෑ.

    මං- යාංඈල්ල ඒරියල්ලෙකේ එකේ ශ්රංගයා

    ReplyDelete
    Replies
    1. //ඒ ගී සොලස" කියන්නෙ මොකද්ද කියල හොයන්න වෙනම කමිටුවක් තියන්න වෙනව// අපෝ ඕක මොකක්ද. මෙයාගෙ හැම කතාවකම අග මුල ‍හොයන්න කමිටුවක් තියා පාර්ලිමේන්තුවක්ම දැම්මත් බැරි වෙයි.

      Delete
  21. කෝච්චියක ගිය කාලයක් මතක නෑනේ.. හරිම කනගාටුදායකයි! මෙච්චර කාලෙකට කවුරුවත් අකැමතියි කියල අහල නැති සිංදුවක් ඕක. අහන ඕනෙම කෙනෙක් ගේ ප්‍රියතම සිංදුවක්..හෙහ්



    ReplyDelete
  22. වචනත් නිවිලා..
    තනුවත් නිවිලා..
    ගැයෙන හඬත් නිවිලා..
    ඒ සංයමය ඇතුලෙ ආදරය උතුරා යනවා.සිංහල ගීත ගොන්නේ පවතින අසමසම ගීතයක්.
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...