Tuesday, December 13, 2016

464. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 33 - ජීවිතේ සුන්දරද මෙතරම්........


"Quiet Mood"
A Painting By  C.Michael Dudash

අපි දෙන්න කසාද බැඳල ඔන්න මාස හත අටක් ගියාය කියමුකො. දවසක් හවස ඉස්කෝලෙ ඇරිල ඈ ආවෙ බොහොම දුක්මුසු මූණක් හදාගෙන. මම ඒ වෙලාවෙ අපේ ක්වාටර්ස් එකේ තිබ්බ එකම මේසෙ ඉඳගෙන රාජකාරි වැඩක් කරනව. අවුරුද්ද අන්තිම හින්ද ඒ අවුරුද්දට වෙන් වෙච්ච මූල්‍ය ප්‍රතිපාදන වලට මොන මොනව හරි ඇස්තමේන්තු හදල යවන්ට ඕන. නැත්තං ඒ සල්ලි ආපහු ඔය මහා බාන්ඩාගාරයටද මොකද්ද එකට යනව. අපේ වැරැද්ද හින්ද එහෙම උනොත් එහෙම ආය වසල හමාරයි.

මතක ඇතිනෙ නේද මම එදවස සේවය කලේ ගොවි ජනපදයක. හතළිස් ගණංවල ඩී.එස්. සේනානායක නොහොත් ජාතියේ පියා මහත්තය ආරම්භ කරපු සිරි ලංකාවෙ පුරෝමගාමී ගොවි ජනපද වලින් එකක් ඒක. ඉතිං කොහොමත් අවුරුදු පණහකට එහා පැත්තෙ ගතවෙලා හින්ද ඇළ වේළි එහෙම බොහොම අබලන් තත්වෙක තිබ්බෙ. මම මේ කියන කාලෙටත් අවුරුදු පහකට වගෙ පස්සෙ මම එහෙං අයිංම වෙලා එන්ට කිට්ටුව යුරෝපා ප්‍රජාවෙ ආධාර ඇතුව ඒ ඇළවේළි පූර්ණ ප්‍රතිසංස්කරණයට මුදල් වෙන් කෙරුනා.

ඊටත් අවුරුදු දෙකකට වගෙ පස්සෙ මම ආපහු අවුරුද්දක් විතර බකමූණ පැත්තෙ ගිහිල්ල ඒ වෙන්කෙරුනු මුදල් වලින් කරපු ඇල වේලි ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුවක මිනුම් සහ ගෙවීම් කටයුතු එහෙම සම්බන්ධව කටයුතු කලා. හරි ඒ ඔක්කෝම අනාගතයෙ සිද්ද වෙන දේවල්නෙ. ආපහු යමු කතාව පටන් ගත්තු තැනට. ඔන්න මම මේසෙ ඉඳගෙන මොකක් හරි ඇස්තමේන්තුවක කටයුතු කරනවයි කියමුකො. මෙන්න එතුමී ආපි ගේ ඇතුලට. මූණ කට ඒ තරං හොඳ පාටක් පේන්න නෑ.

"මොකෝ මේ නිකං මූණ ඇඹුල් කරගෙන? මොකෝ සීන් කෝන් එක?" මම පෑනෙ ක්ලිප් එක ගහල මේසෙ උඩ තියල ඈ දිහාට හැරුන. 

"හරි වැඩේනෙ ඒයි……"

"හරි වැඩක් නං ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? වැරදි වැඩක්නං නෙ මූණ නරක් කරගන්න ඕන…"

"ඔය ඉතිං ඕකනෙ කියන්නෙ…. කියනකල් ඉන්නෙ නෑනෙ.."

"හරි ඉතිං කියන්ටකො බලන්න.."

"මට දවස් හතරක වැඩ මුළුවකට සහභාගි වෙන්ට කියල ලියුමක් ඇවිල්ල."

"ෂහ් හරි ෂෝක්නෙ... ඒ කොහෙද? "

"මොන ෂෝක් එකක්ද? ඒක නේවාසික වැඩ මුළුවක්….."

"නැහ්?.... ඒ කියන්නෙ ඔයාට එහෙ ගිහිල්ල නවතින්න වෙනවද? "

"එහෙනං ආය? නේවාසික කියන්නෙ වෙන අහවල් එකක්ද? "

"හරි හරි කොහෙද ඉතිං ඔය වැඩ මුළුව?"

"ගුරුදෙණියෙ නේවාසික ගුරු පුහුණු මධ්‍යස්ථානෙ"

ගුරුදෙණිය තියෙන්නෙ මහනුවර - බදුල්ල අලුත් පාරෙ ඒ කියන්නෙ රන්දෙණිගල ජලාශය අසලින් යන පාරෙ නොහොත් රජ මාවතේ. නුවර ඉඳල කිලෝ මීටර් හයක් වගෙ යන්ට ඕන. ගුරුදෙණියෙ තියනව නවාතැන් ආදී සියලු පහසුකම් සහිත ගුරු පුහුණු මධ්‍යස්ථානයක්. මධ්‍යම පළාතෙ ගුරුවරුන්ට බොහෝවිට In service training programs and work shops නොහොත් සේවාස්ථ පුහුණු පාඨමාලාවන් සහ වැඩමුළු පවත්වන්නෙ ඕකෙ.

"ඉතිං දැං මොකටද ඔය වැඩමුළුව පවත්වන්නෙ?"

"පෝෂ්‍ය පදාර්ථ නොනැසෙන පරිදි ආහාර පිළියෙල කර ගන්නේ කෙසේද? අන්න ඒකයි මාතෘකාව…"

"ඈ? දෙයියෝ සාක්කි…. කෑම උයන්නෙ කොහොමද කියලත් දැන් නේවාසික වැඩමුළු පවත්වනවද? අපේ අම්මල නම් ඔව්ව කොහෙන්වත්.."

"මේ ඔහෙගෙ අම්මල කෑම උයන්ට ඉගෙන ගත්තු විදිහෙන් වැඩක් නෑ. මෙතන කියල දෙන්ට යන්නෙ පෝෂ්‍ය පදාර්ථ නිකරුණේ විනාශ නොවී කෑම උයාගන්නෙ කොහොමද කියල තේරුණාද?"

"ඒ කියන්නෙ දැන් ඔය හැමෝම උයන විදිහට ඔය පෝෂ්‍ය මොනවද විනාශ වෙනවයි කියලද? "

"නැතුව….. අද අපිට ආවා පෝෂණ විශේෂඥයෙක් මූලික දැනුවත් කිරීමකට. ඒ මනුස්සය කිව්වා අපි ඔය ගින්දර මහ ගොඩක් දාල උයන එකෙං එළවළුවල තියන පෝෂ්‍ය පදාර්ථ සීයට හැටක් විනාශ වෙනවයි කියල."

"අන්න ඒකනෙ දැක්කද ගිය සුමානෙ අර මම සැම්සන්ගෙ පාටියට ගිහිල්ල එනකොට ගෙනපු හුරුල්ලො හරියට බැදිල නෑ කියල ඔයා මෙතන හුරුල්ල පැත්තක තියල මාව කන්ට හැදුවනෙ. අපි එදා එහෙම කලේ හුරුල්ලගෙ පෝෂ්‍ය ගුණ රැකගන්ට."

"අනේ මෙහ්...කෙහෙම්මල් පෝෂ්‍ය ගුණයක් රැකගන්ට නෙවෙයි. ඔයාල එදා ඩෝප් මරගාතෙ හුරුල්ලො බාගෙට බැද්ද ...ඒකයි එතන වුනේ.."

ඔය හුරුලු සීන්ස් එක ගැන වැඩි විස්තර කිව්වොත් මෙන්න මේ ආකාරයි. සැම්සන් කියන්නෙ අපේ ඉස්ටෝරුවෙ දෙවෙනියා නොහොත් ගබඩා සහකාර. මිනිහගෙ උපන්දිනේට අපි එකතු වෙලා පොඩි සාදයක් තිබ්බ. මමත් එකොළහ වෙනකොට ආපහු එන පොරොන්දුව පිට සාදයට සහභාගී වුනා. වැඩේ නැඟල යද්දි බයිට් මදිවෙලා සැම්සගෙ ෆ්‍රිජ් එකේ තිබ්බ හුරුල්ලො වගයක් අරගෙන අපි ඩෝප් මරගාතෙම එව්ව බැද්ද. ඩෝප් හින්ද බාගෙට බැදුනෙ. ඔය වෙලාවෙ ඔව්වයෙ සිහියක් ඇත? බාගෙට බැදල නෙවෙයි වතුරෙ පීනගෙන යන හුරුල්ලො පස්සෙ පන්නල අමුවෙන් හරි කාවි කිසි කතාවක් නැතුව හෙහ්...හෙහ්...අන්න එහෙමයි ඒකෙ අවයවය...ඔය අවයවයෙ කතාව කියන්නෙ අපෙ උන්දැගෙ අප්පච්චි නොහොත් මගෙ මාමණ්ඩි...

කොහොමහරි එකොළහට විත්ඩ්‍රෝ වෙන්ට ඕන නිසා සට සට ගාල ලඟ ලඟම නවල මට අකාලයේම ඩෝප් වුනා. ඒ පාර මත්පැන් පානය අත්හිටුවල උඩ පැන පැන එහාට මෙහාට කැරකි කැරකි නටල එහෙම කොහොම හරි එකොළහ වෙනකොට යන්තං පාර පුරා ගිහිල්ල හරි අන්‍ය ආධාර උපකාර රහිතව ගෙදර යන්ට පුලුවන් තත්වයකට ආව.

මම එහෙං එන්ට පිටත් වෙද්දි සැම්සා නොහොත් බර්ත්ඩේ බෝයි "මචං වයිෆුත් ගෙදර ඉන්නව නේද? ඉඳහං මම මේ හුරුල්ලො ටිකක් ඔතල දෙන්නං" කියල අර බැදපු හුරුල්ලො හතර පස් දෙනෙක් පත්තර කඩදාසියක ඔතල දුන්න.

යම්තමට අතුරු අන්තරාවක් නොවී පාර අයිනෙ තියෙන කොහොඹ, වීර සහ පළු ගස්වල පරිධිය එතකොට එතනිං ගිහාම බෝක්කුවල පත්ලට පාරේ සිට ගැඹුර එහෙම මනින්නෙ නැතුව මම හුරුල්ලො පාර්සලෙත් පපුවට තුරුල් කරගෙන ගෙදර ආවයි කියමුකො. ආය මොනවද ආව තමයි. අමු හුරුල්ලො අරගෙන ආව කියල යන්තමට තිබ්බ ඩෝප් එකත් බහිනකල් බැන්න...හෙහ්,හෙහ්,

ඉතිං අර කියපු හුරුලු සීන් එක එහෙමයි හොඳද?

"මම මේ කල්පනා කරන්නෙ මේ වැඩ මුළුවට යනවද නැද්ද කියල?"

ඈ මේසෙට හේත්තු වෙලා කිව්ව මූණට බොහොම බැරෑරුම් පෙනුමකුත් අරගෙන. මම කලින් කිව්ව ඔය කාලෙ අපෙ ක්වාටර්ස් එකටම තිබ්බෙ එක මේසයයි එක පුටුවයි. ඒ ලියන මේසෙ උඩ තමයි අපේ හිරමණේ හයි කරල තිබ්බෙ. එතකොට රයිස් කුකර් එක තිබ්බෙ. එතකොට ඊට අමතරව තනි ලිපේ ගෑස් කුකර් එකත් තිබ්බෙ. මගෙ ඔය හදිසි ලියුම් කියුම් වැඩ එහෙම තිබ්බොත් ඔය කුකර් බුකර් ඔක්කොම බිම තියල මේසෙ පිහදාල ගන්ට ඕන. එතනිං ගිහාම එකම පුටුවයි තිබ්බෙත්. ඒකත් ලී පුටුවක්. ඒක උඩ තමයි අපේ ගෙදර අයින් කරල තිබිල අරගෙන ආපු කළු සුදු රූපවාහිනිය තැන්පත් කරල තිබ්බෙ. අපි දෙන්න ටීවී. බැලුවෙ බිම ඉඳගෙන බිත්තියට පිට දීල හේත්තු වෙලා...හෙහ්,හෙහ්,

මේ මම කියන්ට යන සිද්ධිය වෙච්චි වෙලාවෙ මම ඉඳගෙන හිටියෙ ඒ එකම ලී පුටුවෙ. ටී.වී. එක බිමට දාලයි මම පුටුවෙ ඉඳගත්තෙ. ඒ හින්දයි ඈ මේසෙට හේත්තු වෙලා කතාකලේ. ඉඳගන්ට වෙන පුටුවක් නැති හින්ද. හොඳ වෙලාවට ඔය කාලෙ අපෙ ගෙදරට අමුත්තො එහෙම ආවෙ නෑ. එනව නම් ඒ එන අයට පුටුත් අරගෙන තමයි එන්ට වෙන්නෙ...හෙහ්,හෙහ්,

"ඇයි නොයන්නෙ? ඔයා යන්ට.." මම ආයෙම පෑන අතට ගත්ත.

"නෑ ඒයි මම කල්පනා කලේ ඒ දවස් හතරට ඔයා කන්නෙ වත් කොහොමද? "

ඔන්න වැඩේ හැටි...බැඳල යන්තමට මාස හයක් හතක් වගෙ ගියෙ. මේ යෝදි හරියට කතා කරන්නෙ උන්දැ බඳින්ට කලින් මම හුළං බීල ජීවත්වුනා වගේනෙ හරියට. 

"පිස්සුද ඔයාට? ඔය දවස් හතරට මට උයාගන්ට බැරිය? ඒක මහ ලොකු දෙයක්ය? "

මම ඉතිං අර හුළං බීල ජීවත්වෙන කතන්දර කියන්ට ගියේ නෑ. ඔව්ව කියන්ට ගිහිල්ල මොකටද නිකං ගෘහස්ථ කාර්මික සාමය නැතිකරගන්නෙ? නැද්ද? කාර්මික සාමය පවත්වා ගැනීම ඕනම රටක කර්මාන්ත දියුණුවට ඒ වගේම විදේශ ආයෝජකයින්ගෙ පැමිණීමට උදක්ම හේතුවෙනව. ඔබ තමුන්නාන්සෙලා දකින්ට ඇතිනෙ නේද මේ ඊයෙ පෙරේදා කැප්ටන් හැඩොක් මාගම්පුර වරායට කඩා පැනල කරපු මහා වීරෝදාර මෙහෙයුම? ආං ඒකත් ඔය කාර්මික සාමය පවත්වා ගන්ට කරපු එකක් තමයි. හරි කාර්මික සාමය ගැන ඒ ඇති.

"නැත්තං මට පල්ලෙහා චමරියෙන් හරි කන්ට බැරිය..." මම කැල්කියුලේටරේ බොත්තං ඔබන ගමං කිව්ව ඈ දිහා නොබලම. 

"නෑ...නෑ..මම දන්නව මොකටද ඔය චමරියෙන් කන්ට හදන්නෙ කියල...එව්ව හරි යන්නෙ නෑ...මම ඔය කල් තියාගන්ට පුලුවන් මාලු ඇඹුල් තියල් වගෙ මොනවහරි හදල යන්නං. ඔයා බතක් උයාගෙන තව එකක් දෙකක් මොනවහරි හදා ගන්ට"

ක්වාටර්ස් ඉන්න කාලෙ අපිට ෆ්‍රිජ් එකක් තිබ්බෙ නෑ. 

"හරි හරි හරි ඒක මොකක් හරි බැරිය? ඔයා මේ ඒ ගැන විස්සෝප වෙන්නෙ නැතුව යන්ට ලෑස්ති වෙන්ටකො."

"හ්ම්ම්ම්…." ඈ කිව්ව. ඒත් මූණ තාම හොඳ නෑ..

"දැන් කවද්ද ඔය වැඩ මුණුවද මොකක්ද එක?"

"වැඩ මුණුව නෙවෙයි අනේ වැඩ මුළුව.."

"හරි හරි ඒක මොකක් හරි…. කවද්ද ඕක?.."

"ලබන සතියෙ නෙවෙයි ඊලඟ සතියෙ සඳුදා ඉඳල පටන් ගන්නෙ. ඉරිදා හවස ගුරුදෙණියෙ සෙන්ටර් එකට ගිහිල්ල රිපෝට් කරන්ට ඕන."

The total estimate for carrying out necessary repairs including concrete lining for FC 7 of Tract 508 ( from 0+730km to 1+560 ) would be Rs. 160,450.00 

ඇස්තමේන්තුවෙ අන්තිමට එහෙම ලියල ඊට යටින් මම Prepared by කියල මගෙ අත්සන ගැහැව්ව.

"හරි හරි ලබන ඉරිද නෙවෙයි ඊලඟ ඉරිද නං යන්ට තියෙන්නෙ තව දවස් දහයක් වගෙ තියනවනෙ. අපි බලමුකො..දැන්ම මොකටද කලබල වෙන්නෙ? ගිහිල්ල ඇඳුම් මාරු කරගන්නකො. මම හීටරේ ගහන්නං තේ එකක් බොන්ට.."

"හා…" ඈ මා දිහා බලල හිනාවුනා.

ඉතිං කොහොම හරි ඈ ඒ දවස් හතරෙ වැඩ මුළුවට සහභාගි වුනා. බෘහස්පතින්දා හවස මම ගුරුදෙණියට ගියා ඇයව එක්ක එන්න. 

"ඉතිං මොනවද ඔයාලට කියල දුන්නෙ එහෙම?" බස් එකේ නුවරට එනගමං මම ඇහුව. 

"පෝෂණ ගුණය විනාස නොවෙන්න උයන විදිහ තමයි කියල දුන්නෙ. "

"ඒ කොහොමද?"

"ඒ කියන්නෙ මෙහෙමයි.දැං අපි ඔය වෑංජන... වෑංජන කිව්වට විශේෂයෙන්ම එළවළු...එළවළු උයනකොට ගින්දර දානව හොඳටම වැඩියි. ඒකෙං වෙන්නෙ එළවළුවෙ තියන ඛනිජ, එතකොට විටමින් එහෙම ඔක්කොම නිරපරාදෙ විනාස වෙලා යන එක. අපි ගිණි ගණං දීල එළවළු ගෙනල්ල ගෑස් නැත්තං කරන්ට් එකටත් බර ගාණක් වියදම් කරල අන්තිමට කන්නෙ ඇඟට කිසිම ගුණයක් නැති පිදුරු වගෙ දෙයක්."ඈ වැඩ මුළුවෙ සාරාංශය මට කියල දුන්න. 

"ඉතිං ඔයා දැං මොකද ඒ ගැන කරන්ට හිතාගෙන ඉන්නෙ? "

"ඉන්නකො හෙට ඉඳල මම ඒ විදිහටයි උයන්නෙ" ඈ බොහොම ඉස්තිරසාර හඬකින් කිව්ව. 

"නෑ අපි මෙහෙම කරමු. මේ සතියත් පරණ පුරුදු විදිහට කාල ලබන වීක් එන්ඩ් එකට අපි ඔයාලගෙ ගෙදර යනවනෙ. ඔයාලගෙ පුංචි අක්කලත් එනව කියල තියනවනෙ. අපි ඔයාලගෙ ගෙදරදි ඔය අලුත් ක්‍රමේට උයමු. මොකද කියන්නෙ?"

"ආ එහෙම හොඳයි…" ඈ එකහෙලාම එකඟ වුනා.

ඉතිං ඒ අනුයාත සති අන්තයෙ අපි දෙන්න සෙනසුරාද හවස එයාලගෙ ගෙදර ගියා. ඒ කාලෙ මම සෙනසුරාද 12.30 වෙනකල් වැඩ. හැම සෙනසුරාදම තියන සතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමටත් ඉඳල දෙකට බකමූණෙන් පිටත් වෙන දර්ශන බස් එකේ මාතලේට ඇවිල්ල මාතලේ ටවුමෙං ඔය මොන මොනව හරි අඩුම කුඩුම ටිකකුත් අරගෙන එයාලගෙ ගෙදර යනකොට කොහොමත් හයාමාර වගෙ වෙනව. එදා ඉතිං රෑට කාල පොඩ්ඩක් සතුටු සාමීචියෙ යෙදිල නිදාගන්නව. 

පහුවදා ඉතිං අක්කල නංගිල උදේම නැඟිටල කුස්සියට වෙලා ඕපාදූප කියව කියව උයනව. උදේ දහය වෙනකොට දවල්ටත් උයල කරල ගෙදර ඔක්කෝමල පෙරහැර වගෙ යනව නාන්ට. මොකද ඒ කාලෙ එයාලගෙ ගෙදරට නල ජලය තිබ්බෙ නෑ. ලිඳක් තිබ්බ. ඒත් ඒකෙං වතුර ඇද නානවට වඩා දාහෙන් සම්පතයි ටිකක් දුර යන්ට වුනත් පීල්ලට ගිහිල්ල නාන එක.

ඔය පීල්ලට යන ගමන හරිම චමත්කාර ජනකයි. ගෙදර ඇතිකරන බල්ලා, පූසා සහ ගිරවා පවා ඔය ගමනට එකතුවෙනව. ඒ යන ගමං අපෙ උන්දල පොඩි කාලෙ කරපු එක එක විගඩං එහෙම කියව කියව යනකොට පීල්ලට තියෙන කිලෝ මීටර් දෙකක වගෙ දුර යනකල් තේරෙන්නෙ නෑ. හරි ඒ පීල්ලට යන ගමන ගැන ආයම දවසක කියන්නං. නැත්තං අද මේ කියන්ට ආපු කතන්දරේ කියල හිටින්ට වෙන්නෙ නෑ. 

ඔය ගමේ ගිහිල්ල නෑම ගැන අපූරු කතාවක් මේ ඊයෙ පෙරේද ලියල තිබ්බ අපේ වර්ෂා ලමයා. මම ඒකෙදිත් කමෙන්ට් එකක් දාල කිව්ව මගෙත් ඔය වගෙ පීල්ලට නාන්ට යාමක් ගැන බොහොම රසවත් මතක මහ ගොඩක් තියෙයිය. ඒ ගැන පස්සෙ වෙලාවක ලියඤ්ඤංය කියාල....හෙහ්,හෙහ්,

ඉතිං ඔය මම කියන ඉරිදත් අපි කට්ටියම පීල්ලට ගිහිල්ල නාගෙන ආව. ගෙදර එනකොට ඔන්න කොහොමත් දවල් දොළහමාරට වගෙ ඇති. පීල්ලෙ හීතල වතුර නාල යකෙක් කන්ට බඩගිනියි. අපෙ උන්දලගෙ ගෙදර කෑම මේසෙට ඉස්ත්‍රී පක්සෙ වාඩි වෙන්නෙ නෑ. එයාලගෙ අප්පච්චි ප්‍රමුක පිරිමි පක්සෙ මුලින්ම වාඩිවෙලා කනව. ඉස්ත්‍රී පක්සෙ කරන්නෙ බත් මාලු ගෙනත් තියනව මේසේට. අප්පච්චි මේසෙ මුල් පුටුවෙ ඉඳගෙන කාල නැඟිටල ගියායිම් පස්සෙ ඔන්න කාන්තා පක්සය ඇවිල්ල වාඩි වෙනව.

"පුතා එන්ට එහෙනම් කමු නේද?" කියල අප්පච්චි මටත් අඬ ගැහුවම "හා එහෙනං කමුකො" කියල මමත් වාඩි වුනාට මම හෙමිහිට කන්නෙ වෙලා අරගෙන. මොකද අප්පච්චි නැඟිටල ගියාම තමයි එතන විනෝද සමය. අක්කල නංගිල ඇවිල්ල වාඩිවෙලා රටේ නැති වල් පල් කියව කියව කන එක තරං ආතල් එකක් තවත් තියනවද? 

ඉතිං එදත්....එදත් කිව්වෙ ප්‍රස්තුත දවසෙත් අප්පච්චියි මායි එයාලගෙ පුංචි අක්කගෙ මහත්තයා වන ඒ අයියයි මේසෙට වාඩි වුනා. ආ..මට කියන්ට බැරිවුනා එදා දවල්ට උයනකොට අපේ උන්දෑ මට ඇහුන කුස්සියෙ එක ජෝගියක් නටනව එයයි වැඩ මුලුවෙ ඉගෙන ගත්තු අලුත් ක්‍රමේට දවල්ට උයන්ට ඕනය කියල.

"කොහොමද දැං චුට්ටි දුව ඔය උයන්ට යන්නෙ?" එයාලගෙ අම්මට එච්චර විස්වාසයක් නෑ මෙයාගෙ මේ අමුතු ඉවිල්ල පිළිබඳව. අම්මගෙ ස්වරයෙං බොහොම පැහැදිලියි ඒ බව.

"අම්මේ මෙහෙමයි. පෝෂ්‍ය පදාර්ථ නැති නොවෙන්නනම් යන්තං ගින්දර දාල උයන්ට ඕන. යංතං එළවලු වල කොළ පාට මැකෙන කොටම ලිපෙං බාන්ට ඕන. නැත්තං ඒකෙ කිසිම ගුණයක් නෑ.අම්මල ඔය ගින්දර දානව වැඩියි හොඳටම."

මුන්දැගෙ මේ වැඩමුළුවේ පරිදි ඉවිල්ල බලන්ට මමත් ඒ වෙලාවෙ කුස්සියට ගියා. "අනේ මන්දා දරුවෝ..මගෙ හිතට නම් එච්චර...." අම්ම මගෙ මූණ බලල හිනාවුනා. කොහොමහරි අන්තිමට බෝංචි මාලුව උයන්ට අපෙ උන්දැට දෙන්ට අම්ම කැමති වුනා. 

ඉතිං අපි පුරුස පාර්ස්වය මේසෙට ඉඳ ගත්තනෙ. ඔන්න අපෙ උන්දැ උයපු බෝංචි එකත් තියනව. අප්පච්චි වෑංජන බෙදා ගත්ත. මාත් අර බෝංචි එකෙන් චුට්ටක් දාගත්ත.

"කෝ ඔය පොඩ්ඩ ඇද්ද? ටිකක් දාගන්ටකො හරිය…" ඈ මට තව බෝංචි හැඳි දෙක තුනක් බෙදුව.

"අපෝ මේ ඇති..දැං අනික් අයට මදිත් වෙනව.." මම පිඟාන අතිං වහගත්ත.

" නෑ..නෑ..තව කුස්සියෙ තියනව…"

මම බත් ටිකක් අනන ගමං හොරැහිං අප්පච්චි දිහා බලාගෙන හිටියෙ. මම දැක්ක උන්දැ බතට බෙදාගත්තු බෝංචි දිහා සැකමුසු බැල්මක් හෙලනව. ඒ කරල ඔලුව උස්සල මගෙ මූණ බැලුව. මම ව.ක්‍රී.ප. ඔලුව පාත් කරගෙන බත් අනන්ට ගත්ත. ඔන්න අප්පච්චි බෝංචි කෑල්ලක් අරගෙන කටේ දාල හැපුව. කරස් ගාල සද්දයක් ආව. උන්දැ ආයම තව බෝංචි කෑල්ලක් හැපුව. ආයම කරස් ගාල සද්දයක් ආව.ඒ පාර උන්දැ කෙලිම්ම මගෙ මූණ දිහා බැලුව. 

"පුතා….."

"අප්පච්චී…" මම ඔලුව උස්සල උන්දැගෙ මූණ බැලුව…"ඇයි අප්පච්චි?"

"නෑ මම මේ කල්පනා කලේ මේ බෝංචි නිකං වැලේ තිබිල කනව වගේනෙ.."

පිපිරෙන්ට ආපු හිනහව මම බොහොම අමාරුවෙං වලක්ව ගත්ත. මතකනෙ අර මම කලිං කිව්වෙ ගෘහස්ත කාර්මික සාමය පවත්වා ගැනීමේ වැදගත්කම……..

"ඒ කිව්වෙ අප්පච්චි? …" මම උන්දැ කිව්වෙ මොකද්ද කියල නොතේරුණු ගානට ඇහුව. 

"නෑ මේ මම කිව්වෙ බත් පිඟාන බෙදාගෙන කොටුවට ගිහිල්ල බෝංචි කරල් හත අටක් වැලෙං කඩාගෙන එතනම ඉඳගෙන කන එකෙයි මේ කන එකෙයි වෙනසක් නෑ කියල. "

"හුහ්..මාමයි බෑණයි දෙන්න එහෙනං එහෙම කරගන්න එකයි ඇත්තෙ..අපෙ මොකෝ?" අපේ උන්දැ සුටු පුටු ගගා එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා.

මේ දවස්වල අපෙ උන්දැ මෙහෙ ඇවිල්ල ඉන්නව. අද රෑ තිස්සෙ මම මේක ලියනව දැකල මට පොඩි සත්තමක් දැම්ම.

"මොකද කරන්නෙ හලෝ? වැඩ ඇරිල ආපු වෙලාවෙ ඉඳල ඕකෙ කොටන්නෙ? අද නිදාගන්නෙ නැද්ද?"

"ඉන්ටකො පොඩ්ඩක් මම මේ හෙට ඔයාගෙ උපන් දිනේට පොඩි කතාවක් ලියනව"

"මොකක්ද ලියන කතාව?" ඈ නැඟිටල ඇවිල්ල මගෙ උරහිස උඩිං එබුන. 

"අර මතකද ඔයා පෝෂණ ගුණය නැති නොවෙන විදිහට කෑම උයන්නෙ කොහොමද කියල වර්ක් ෂොප් එකට ගියේ?"

"ඔව්..අර ගුරුදෙණියෙ ගිය එකනෙ.."

"ඔව්...ඔව්...ඔයාට මතකද? "

"මොකද අනේ මට මතක නැත්තෙ? "

"හරි එහෙනං මතකද ඊලඟ වීක් එන්ඩ් එකේ අපි ඔයාලගෙ ගෙදර ගිහිල්ල දවල් කෑමට ඔයා ඒ කියල දුන්නු විදිහට බෝංචි උයල වෙච්චි වැඩේ? "

"ඔව්..අර අප්පච්චි වැලෙන් කඩල බෝංචි කනව වගේ කියල කියපු එක ගැනනෙ ඔය කියන්නෙ…"

"හෙහ්.හෙහ්. ඔයාට ඒ ඔක්කොම මතකයි නේද?"

"මොකද අනේ මතක නැත්තෙ? "

ඇගේ මුහුණේ පිපී තිබුනු හිනාව මොහොතකට පස්සෙ අතුරුදන් වුනා.

"ඇයි මොකෝ?" මම ඇගේ අත අල්ලගෙන ඇහුව. 

"හ්ම්ම්ම්ම්….." ඇය දිගු සුසුමක් හෙලුවා."මට අප්පච්චියි අම්මයි දෙන්නම මතක් වුනා"

ඇගේ මෑණියන් වසර හයකට පමන පෙරද පියාණන් වසර දෙකකට පමන පෙරද මිය ගියා.

ඉතිං අද ඇගේ උපන් දිනය........

This all I have to say and this is all I need to say……ජීවිතේ සුන්දරද මෙතරම්…..සුවඳ දැනී දැනී දැනෙනවා,

සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ 
අලුත් ඉරක්දෝ මේ
හිතට ගලනවා හීන බිඳු බිඳු 
හීන් පිනි හුළගේ 
හිනස්සා හිත ගැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා 

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ 
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා 
ජීවිතේ ... සුන්දරද මෙතරම් ...
සුවඳ දැනී දැනී දැනෙනවා 

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ ..
ආදරේ ....
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ... 
බලාපොරොත්තුව දෝත දරා 
මග බලා ඉඳි ඔබ එනතුරා 
ආයේ හෙට දවසක් තියේද අද වාගේ 
ජීවිතේ සුන්දරද මෙතරම්..
සුවඳ දැනී දැනී දැනෙනවා 
උදා හිරු එළියේ 
අලුත් ඉරක්දෝ මේ
හිතට ගලනවා හීන බිඳු බිඳු 
හීන් පිනි හුළගේ 
හිනස්සා හිත ගැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා 

ගීතය නැවත ගායනය මා දයාබර සොයුරිය.....ජනූ

ඔබට බොහොමත්ම ස්තූතියි ජනූ....


74 comments:

  1. Happy birthday sanda aka priyamvhikawa.😊
    Raviyo umba thama th yahathinda?

    ReplyDelete
    Replies
    1. ඔවුලු. උපන්දිනේ හිංද අද එයැයිත් ගෘහස්ත කාර්මික සාමය පවත්වාගෙන යනවලු. හෙට බඩු හම්බවෙයි ලු. හැක්..

      Delete
    2. රංගි,

      ඇයි මොකෝ බොල? මට යහතිං ඉන්ට බැරි හේතුවක් එහෙම තියනවය?

      Delete
    3. ප්‍රසන්න,

      ඩොමස්ටික් ඉන්ඩස්ට්‍රියල් පීස්...:)

      Delete
  2. ගාට ගාට වයසට යන එක අයියෝ
    කාට වුණත් නවතන්නට බැහැ ගොයියෝ
    රෑට තෑගි ගෙටම ගෙනත් දෙයි දෙවියෝ
    ඈට සුභ පැතු බව කියහන් රවියෝ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද,

      මේ XXXX එක්ක බැරියෝ,
      ඕන එහෙකට කවි කියනවෝ,
      සුබපැතුම ගැන ඈට කිව්වෝ,
      තැන්කු කිව්වා උඹට දුමියෝ,

      Delete
    2. ඇත ඇත නරක හුරුවීමක් මට ඇතියෝ
      හිත ගිය තැනක කවි නොලියා ඉනු බැරියෝ
      ගත යුතු පාඩමක් ගැන කිව්වට තුතියෝ
      තිත මෙහි තබා මම යන්නට යමි චෙරියෝ.....

      Delete
  3. බාගයක් තම්බලා කන එකත් රසයි

    ReplyDelete
    Replies
    1. අටම්,

      ඔව් එළවළු විතරක් නෙවෙයි මස් උනත් එහෙම කන ක්‍රමයක් තියනව.

      Delete
  4. රවී අක්කට සුබ උපන්දිනයක් වේවා! මේ රවී අංකල් සමග පිස්සු හදාගන්නේ නැතිව ජිවත් වීම පිළිබඳව මේක කියවන අපගේ ප්‍රමාණය.. !

    මම නම් මම ලියන ඒවා පෙන්නන කැමති නෑ.. මම කියන්නේ ලියල ඉවර වෙලා පබ්ලිෂ් කලාම බලා ගන්න කියල.. හෙහ් හෙහ් දැන් ලියනවා දැක්කත් නොදැක්ක වගේ යනවා..

    බෝංචි ඇට තම්බල කෑම ඉස්සර අපේ තාත්තාගේ ප්‍රියතම වැඩක්..

    ReplyDelete
    Replies
    1. Pathum,

      /බෝංචි ඇට තම්බල කෑම ඉස්සර අපේ තාත්තාගේ ප්‍රියතම වැඩක්../

      මට මතකයි උඹ එක පාරක් කිව්ව බොලාගෙ තාත්තා හොරොව්පොතානෙද කහටගස් දිගිලියෙද කොහෙද ඒ.ජී.ඒ. වෙලා හිටියයි කියල. හෙහ්..මම හූන කියන්නැහෙ කියන්ටද වෙලා තියන සීන් එක? ඔය පැතිවලට ඒ කාලෙ දුප්පත් මිනිස්සුන්ට නියං ආධාර කියල දුන්න බෝංචි ඇට, කව්පී, මුං ඇට එහෙම.

      බොලාගෙ තාත්ත එව්ව තම්බල පොලුත් එක්ක කන්ට ඇති එකත් එකටම. ඒකෙං තමයි ඔය බෝංචි ඇට තම්බල කන්ට පුරුදු වෙලා තියෙන්නෙ. මම කිව්වට නිකමට අහල බලපං තාත්තගෙං...

      Delete
    2. පැතුම්,

      ස්තූති කරන්ට අමතක මතක බැරි වුනානෙ...

      Thanks Malli..thanks for the wishes..:)

      Delete
    3. බෝංචි ඇට කිරට හුඟක් රසයි

      Delete
    4. බොල රවියෝ, අපේ තාත්තා බෝංචි ඇට කෑවේ වත්තේ හිටවපු ඒවා කඩාගෙන ඇට ගලවල. පට්ට රහයි අලුත් ඒවා. බොරුනම් කාල බලන්න අක්කට කියල හදවගෙන

      ඔය ප්‍රා.ජේ කියල තියෙන්නේ. අන්න කාල තියෙන මිනිස්සු හෙහ් හෙහ්

      Delete
  5. මාර බරත් දේ සප්‍රයිස් එකක්නෙ මේක. බොලාට ඇට නැති බෝංචි කන්න හම්බවෙන්න උපන්දිනේට පස්සෙ දවසෙ. බලහං මම බොරුද කියන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමත් කියන්න බෑ තමයි...;)

      Delete
  6. ගුරුවරියගේ ජන්ම දිනයට මගේ උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
  7. මේ ඒක නෙමෙයි රවී අයිය දැක්කෙ නැද්ද අර ලෝකෙ උසම නක්කල් ගහ ආයෙ හදන්න පටං අරං තියෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      දැක්ක දැක්ක කාඩිනල් උටුමා කියල තියනව උන්දැ හිතුවෙ වියදම කෝටි විස්සයි කියලලු. කෝටි 1.2 නම් අවුලක් නැතිලු. ඒ හින්ද කැමැත්ත දුන්නලු.

      බලාගෙන යනකොට කාඩිනලුත් එකයි ආණ්ඩුවත් එකයි. දෙගොල්ලන්ටම විලි ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ...

      Delete
  8. 'ගෘහස්ත කාර්මික සාමය' ගැලපෙන වචනයක්...

    ReplyDelete
  9. Happy Bday to Ravi's better half.

    ReplyDelete
    Replies
    1. Thanks Ano, though more like bitter half now...;)

      Delete
  10. ගුරුවරීට උපන්දින සුබපැතුම්, ගනංමිණුම් නම් රවියගේ ක්‍රමේටමයි දෙකෙන් බෙදුවත් ඉතිරියක් තියනවා. //ගුරුදෙණිය තියෙන්නෙ මහනුවර - බදුල්ල අලුත් පාරෙ ඒ කියන්නෙ රන්දෙණිගල ජලාශය අසලින් යන පාරෙ නොහොත් රජ මාවතේ. නුවර ඉඳල කිලෝ මීටර්ස් දහයක් දොළහක් වගෙ යන්ට ඕන. ගුරුදෙණියෙ තියනව නවාතැන් ආදී සියලු පහසුකම් සහිත ගුරු පුහුණු මධ්‍යස්ථානයක්.//ඔතැනට තැන්නේ කුඹුරේ හන්දියේ ඉදං මී. 250 යි, දෙවන මහින්දාගමනයෙන් පස්සෙන් පහු යන්න සිද්ධ වුනු ආකාරයට මුළු වැව රවුමම පහු කරන් ගියත් කි.මි. 6යි.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      යකඩෝ එහෙමද? තැන්ක්යූ. තැන්ක්යූ..ඉඳපං හදන්නං...ව.ක්‍රී.ප.

      මට ඔය දුර ෂුවර් නැතුව ඊයෙ මේක ලියල ආපහු සමාලෝචනය කරද්දි අපෙ උන්දැ ඇහැරවල ඇහුව.

      "මේ..මේ..ඒයි.."

      "මොකද අනේ? මේ මනුස්සය නිදියන්නෙත් නෑ මට නිදියන්න දෙන්නෙත් නෑ.."

      "පොඩි කාරණයක් අහන්ට.."

      "මොකක්ද?"

      "අර ඔය ගොල්ලො ගියේ ගුරුදෙණිය ට්‍රේනිං සෙන්ටර් එකට.."

      "ඉතිං?"

      "එතනට නුවර ඉඳල දුර කොච්චරක් විතර ඇද්ද?"

      "කවුද අනේ ඔව්වගෙ දුර මැන මැන යන්නෙ? ඔන්න ඔහෙ මගෙ හිතේ කිලෝමීටර් දහයක් දොළහක් වගෙ ඇති."


      ඉතිං මම ඒ ගාන තමයි දැම්මෙ. අනික අන්තර්ජාලෙ සර්ච් කලාම එන්නෙ රිකිල්ලගස්කඩ පැත්තෙ තියන තැන්නෙ කුඹුරකට තියන දුර එහාට නුවර ඉඳල කිලෝ මීටර් 71 යි.

      Thanks Nut for your wishes!!!

      Delete
  11. Sanda akkata happy birthday ekak weewaah!!

    ReplyDelete
  12. ස්ථානය- රවීට ආසන්නම පොළ
    ස්දුවීම-රවී පොලේ සාරී,ඔරලෝසු යනාදිය විකුණමින්
    ආාා එන්න නෝනා අඩුවට සාරි ඔරලෝසු තියෙනවා අද විතරයි අද විතරයි
    චීචර් නෝනට සුභ උපන් දිනයක්.තෑගි වලට එහෙම අතක් තියන්නෑ පුතේ
    එම්.ආර් (MR බ්ලොග් ලොවට ලගදීම......)

    ReplyDelete
  13. හැපි බේත් ඩේ ටූ යූ
    හැපි බේත් ඩේ ටූ යූ
    හැපි බේත් ඩේ ඩියර් රවීනා
    හැපි බේත් ඩේ ටූ යූ

    චට පට චට පට තහ් තහ් තොහ් තොහ් චහ්

    පූස් හුස් හුස් කැහ් කොහ් කොහ්

    "මොනවද මිනිහො මේ ඉටිපංදංද විලක්කුද? මේසෙට ගිනිගන්න කලිං වතුර කෝප්පෙයක් ගහල හරි මේක නිමනවා'

    ReplyDelete
    Replies
    1. සුරංග,

      චට පට චට පට ගෑවෙ මොනවද බං ? කේක් ගෙඩිය උඩ මානා කැළයක් තිබ්බ වත්ද?

      Delete
    2. අප්පුඩි ගැහිල්ල

      Delete
  14. පීල්ලෙන් නෑම හරිම සුන්දර අද්දැකීමක්..

    අපේ කැම්පස් කැන්ටිමකත් ඔය විදිහට බෝංචි උයල දුන්න.. මට ඒක මතක් උනා...

    රවී අයියගෙ අක්කාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      පීල්ලෙන් නෑම ගැන කියල කැම්පස් කැන්ටිම ගැන ඒ එක්කම කියනකොට මට හිතුණෙම "අපේ කැම්පස් කැන්ටිමකත් ඔය වගෙ පීල්ලක් තිබ්බ... අපි දවල් කන්ඩ යන ගමං ඒකෙං නාගෙනයි හවස ලෙක්චර්ස් වලට යන්නෙ" කියල කියන්ටයි ඔහේ ලැහැත්ති වෙන්නෙ කියල.

      සුබ පැතුමට ස්තූතියි නඟේ...:)

      Delete
  15. අඩෝ මම අදටත් ගෙදර ගියාම පීල්ලෙන් නානවා. ගෙදර ඉඳල හූ බාගෙක දුර. ෂෝක් වතුර ටික. හැබැයි ඉතින් ඉඳල හිටල ගූ බෙටි දෙක තුනක් එනව පීල දිගේ. වනචර කොල්ලො සමහර වෙලාවට ඉහලට ගිහින් රෙනවා.
    රවිච්චීට සුබ වේවා!
    කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කෑගලු ඇනෝ,

      අඩේ හූ බාගෙක දුර හොයන්ට බාගෙට හූ කියන්නෙ කොහොමදෑ?

      සුබ පැතුමට ස්තූතියි!

      Delete
  16. මචං මේ සින්දුව ගයන්නේ ජනූගේ සටහන් ලියන දැරිවියමද...

    අමු බෝංචි නෝනට හැපි බර්ත්ඩේ. මාත් හරිම කැමතියි ගෑනු සෙට් එකත් එක්ක කන්න වාඩිවෙන්න. රසකතා කෝටියයි. පිරිමි සෙට් එකත් එක්ක කනකොට උන්ගේ මූණු තියෙන්නේ පිඟානේ නිසා කිසි ජොලියක් නැහැ. ඩෝප් මරගාතේ කනකොට පිඟානයි, මූණයි පැටලෙනවා.

    මිසිස් අමු බෝංචිට කියපන් බෝංචි අමුවෙන් කෑවට මෑකරල් නම් කන්න අමාරුයි කියලා.

    මචං ඔය බොන්චි කියන වචනය Papiamento කියන භාශාවෙන් Beans කියන වචනය කියලා අහලා තියෙනවා.

    Papiamento language

    ReplyDelete
    Replies
    1. Aru,

      /මචං මේ සින්දුව ගයන්නේ ජනූගේ සටහන් ලියන දැරිවියමද.../

      ආයෙ ඉතිං වෙන කවුද? ඒ අම්මණ්ඩිම තමයි...:)

      පැපියමෙන්ටෝ භාෂාව ගැන අදයි දැනගත්තෙ..ස්තූතියි අරුණ...:)

      Delete
  17. මචං ඔය අමු හුරුල්ලෝ හොඳයි. මම දවසක් ඩෝප් මරගාතේ බොම්බිලි හදලා, ගුටි නොකා බේරුනේ. ගේ හදන බාසුන්නැහේ ඩෝප් සීන් එකේම ඇහුවා හෙට කපරාරුවට වැලි ඇතිවෙයිද කියලා. එතකොටයි ක්ලික් වුනේ බඩු හෝදන්න අමතක වුනා කියලා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      අප්පේ ඔහොම වෙච්චි අලකලංචි නම් අනන්තයි අප්‍රමාණයි..:)

      Delete
  18. මං මේ කතා සීරීස් එක ආයේ පටන්ගෙන කියල හිතාගෙන පස්පඩංගුවෙ බනින්ඩයි හිතං උන්නෙ. කොහෙද බැලින්නම් මේ අක්කගෙ උපන්දිනේ නොවැ.

    මගේ සුබ පැතුමත් පිලිගන්න අක්කන්ඩි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්...:)

      Delete
  19. පළමු ව, ඈට සුබ උපන් දිනයක්.. දෙවනුව ඊළඟ භවයේ මීට වඩා හොඳ මහත්තයෙක් හම්බවේවා කියලා ප්‍රාර්ථනා කළා කියලත් කියන්න..

    වැහි වැටෙන තැන වෙනුවෙන් පළ කළ වෙළඳ දැන්වීමට ස්තූතියි.. ඒත් පීල්ලට යන ගමන ගැන තවත් ලිපියකින් කියවන්ඩ බලාපොරොත්තු වෙමි..

    ප.ලි__
    ජනූ අක්කා අර එයා බබා කාලෙ කරපු හරක් වැඩ ගැන ලියන බ්ලොග් එක දැන් ලියන්නෙ නැත්තෙ මොකෝ.. අතට අහුවෙනකං හිටියෙ මං ඕක අහන්න..!!

    ReplyDelete
    Replies
    1. Varsha,

      /පළමු ව, ඈට සුබ උපන් දිනයක්.. දෙවනුව ඊළඟ භවයේ මීට වඩා හොඳ මහත්තයෙක් හම්බවේවා කියලා ප්‍රාර්ථනා කළා කියලත් කියන්න../

      පළමුව ස්තූතියි ඔබට..දෙවනුව පිස්සුද බං? මට වැඩිය හොඳ මිනිස්සු ආය කොහෙං හොයන්ටද?

      /ජනූ අක්කා අර එයා බබා කාලෙ කරපු හරක් වැඩ ගැන ලියන බ්ලොග් එක දැන් ලියන්නෙ නැත්තෙ මොකෝ../

      ඒ යෝදි ඒ බ්ලොග් එක ලියන්නෙත් නෑ..ජනූගෙ සටහන් ලියන්නෙත් නෑ...ආ...මේ පහුගිය සුමානෙ ඔන්න එක පෝස්ට් එකක් ලියල තිබ්බ...

      Delete
    2. කම්මැලි කොම මිසක් ආයෙ අහවල් එකක්කෑ නගා... නැතුව කරපු හරක් වැඩ නැතුව නෙවෙයි :-D

      Delete
  20. මේ ලදරම් ලොරිය ඇදගන යන ඇංජිම විච්ච ගුරුවරියට සුබ උපන්දිනයක්.

    ගියපාර සුබපතලා තිබුනේ අර කහ මල් කතාවෙන් මට මතක විදිහට. මගේ ආසම කතාවක්. ඒක කියවලා අවුරුද්දක් ගියාද යකඩෝ....

    ReplyDelete
    Replies
    1. කටුසු, මොකක්ද බං ඒ කහමල් කතාව? උන්දැගෙ පහුගිය බේඩ්ඩේ එකට මම දැම්මෙ මේ අකලට වට මහ වරුසාවක්සේ
      එකනෙ.

      ලදරං ලොරි කතාව කොහොම වෙතත් සුබ පැතුමට ස්තූතියි...:)

      Delete
  21. ගුරු අක්කාට සුබබ සුබ උපන් දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      ස්තූතියි මල්ලි...:)

      Delete
  22. ඇයට සුබ උපන් දින සැමරුම් දිනයක්ම වේවා...!

    අපේ උන්දැ මට රෑ කෑමට හදල දෙනවා මේ වගේ බාගෙට තම්බපු බෝංචි...
    ඒක කාල මදි උනාම හොරාට ගිහින් ෆ්‍රිජ් එකේ තියෙන මොනවා හරි පත බාල තමයි බඩගින්න නැති කර ගන්නේ...
    ඔන්න ඔහොමයි අපි ඩයට් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොක්කා....:)

      මමත් දෙතුන් පාරක් ඔහොම රෑ දෙගොඩ හරියෙ ආයම බූසෙ කොටනව ( අපෙ උන්දැ ඕකට කියන වචනෙ ඒ ) අහුවෙලා උන්දැම ඒ ඩයට් කිරිල්ල අතෑරල දැම්ම....:)

      Delete
  23. රවී ගේ ඇඹේණියට සුභ උපන් දිනයක් and many happy returns පතමි.

    ReplyDelete
  24. සුවඳ කියන්නෙ මිනිස්සුන්ට ඈතටම දිවෙන මතකයලු......

    ReplyDelete
    Replies
    1. තිස්ස,

      ඔබ හරි..මමත් ඒ කතාව අහල තියනව..

      ආතර් සී. ක්ලාර්ක් මහත්තයගෙ ගැඹුරු මුහුද පොතේ එහෙම සීන් එකක් තියනව..... හදිසියේ ආඝ්‍රාණය වුනු සුපුරුදු සුවඳක් ආශ්‍රයෙන් යටපත්ව තිබූ අතීත මතක යලි අවදිවන අභ්‍යාවකාශගාමියකු පිළිබඳව....

      Delete
  25. // ඒ වගේම විදේශ ආයෝජකයින්ගෙ පැමිණීමට උදක්ම හේතුවෙනව. //
    සාමෙ උපරිම වෙච්ච සමහර වෙලාවල බයත් හිතෙනව විදෙස් ආයෝජකයො බලෙන්ම වගේ ආයෝජනය කරයිද කියල.

    රවී මහතාගේ නෝනාට සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  26. Replies
    1. Thanks Pra,

      Actually she is Mrs. Wijerathna but no problem as Mrs. W. is OK with that name too.

      Most of my neighbors call me Mr. Wijerathna & I don't correct them...:)

      Delete
  27. ගෙට උඩහින් තිබ්බ චමරියක නේස් නෝනල රෑනක් හිටියෙ ඔය කාලෙ වෙන්ටැ, කොහොම උනත් නෝනට මමත් සුබ උපන් දිනක් කිව්ව කියල කියමු.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අපොයි නෑ බං මේ කතාව සිද්ද වුනේ බැඳපු අලුතම වගෙ. ඒ නේස් නෝනලගෙ සීන් එක ඊට පස්සෙ වෙච්චි දෙයක්. 2003 අවුරුද්දෙ හරියටම කිව්වොත්...

      Thanks for your wishes Helapa...:)

      Delete
  28. මරේ මරු කතාවක් නේ එක....රහයි ඈ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොමා...:)

      Delete
  29. ගුරුදෙනියේ ගුරු පුහුණුව. හරියට ගැලපෙන තැනක් තමයි තෝරාගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Wicha,

      හෙහ්..හෙහ්..හරියටම හරි නේද?

      Delete
  30. //මේසෙ ඉඳගෙන රාජකාරි වැඩක් කරනව//
    ඇයි බං ගෙදර පුටු තිබුනෙ නැද්ද?

    ReplyDelete
  31. පරක්කු වෙලා නමුත් අපිත් සුබ පැතුවා කියන්න ඇයට.

    ලස්සන සින්දුවක්.ජානුගේ හඬින් කොහොමද කියලත් අහලා බලන්න ඕන.

    ReplyDelete
  32. පරක්කු වෙලා ආවේ. මිසිස් රවීට සුභ පරක්කු වූ උපන්දිනයක්. අපේ ගෙවල් වල ඉතින් බෝංචි භාගෙට තමා හදන්නේ. දැන්නම් කාලම පුරුදු වෙලා. කියල දීලා තියෙන්නේ ලංකාවේ ඔය පෝෂණ පදාර්ථ ගැන ඉගෙන ගත්තේ නංගි කෙනෙක් තමා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...