Friday, March 15, 2019

629. රබරෝසි මල් පලස........1

මහනුවර නගරාසන්නයේ ගැටඹේ ප්‍රදේශයේ
රබරෝසි මල් පිපී ඇති අයුරු -
ඡායාරූපය - මුහුණු පොතෙන්....

මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය නෑ පාරෙ යනව නෙවෙයි විදිනව. අපේ ගේ ඉඳිකඩේ ගාව ඉඳල බඹ දෙසීයක් වගෙ එපිටිං තියෙන රත්මල්තැන්න හන්දියට ඒ බස් එක එනකොට තුනයි විස්සට වගෙ වෙනව.

දෙකහමාරට එලාම් එක තියල ඇහැරිල කට්ට හීතලේම ගේ පිටිපස්සෙං ගලන ඩී හතර ඇලේ ඩ්‍රොප් එක ගාවට ගිහිල්ල මූණ කට හෝදල හිමිදිරි පාන්දර හීතලේම නාගත්ත. මගෙ නාන්ඩ අඳින නිල් ඉරි වැටිච්චි සෝට් බෑය දැන් ලූණු සිවියක් තරමටම සිනිඳු වෙලා ගිහිල්ල. වෙලාවක හරියට මැන්නොත් එහෙම ඒකෙ වා කවුළුවල වර්ග පලේ මම හිතන්නෙ කලිසමේ ඉතිරි හරියෙ වර්ග පලේට වඩා වැඩියි.

"මහත්තෙයගෙ මේ ප්‍රියතම  කොට කලිසම මහ රෑක මිසක්කා දවල් ඇහැ කණ පේන වෙලාවක නං අඳින්ට බෑ හිහ් හිහ්.."

මේ පෙරෙයිදද කොහෙදත් හවස් කරේ  පිළිකන්නෙ සේරු ගහේ ඉඳල එතන එහා පැත්තෙ තිබ්බ යකිනාරං ගහට බැඳල තිබ්බ නයිලෝං ලනු දෙපටෙ වනල තිබ්බ මගෙ ඔය සෝට් එක අතට අරගෙන ඇස් මානෙං උඩට අල්ලල හරව හරව බලන අතරෙ  වසන්ති කියාපි කට කොණකිං හිනාවෙවී.

"මේ ...හලෝ...නිකම් කෝචොක් දදා ඉන්න වෙලාවෙ  බොට නරකයි ඉදිකට්ටකුයි නූල් පොටකුයි අරගෙන නිකං ඉන්න වෙලාවක ඔය ඉරිච්චි තැං මහල දැම්මම?" 

මම රවාගෙන කිව්ව. ඒ යෝදි දන්නව ඔය මගෙ බොරු පාට් කෑලි කියල

"මහන්ට පුලුවං කමක් තියෙනවනං මම නොමහ ඉන්නවද මහත්තය? මේක මහන්ට බෑ. ඉදි කට්ටක් ගැහුවයි කියන්නෙ ආයමත් එතනිනුත් ඉරෙනව. …"

වසන්ති මට එදා ඉඳලම කියන්නෙ මහත්තය කියල..දැං අවුරුදුම මයෙ හිතේ තිස් දෙකක් වගෙ වෙනව..සෑහෙන කාලයක්..ඔව්..ජීවිත කාලෙකින් බාගයක් විතර…

කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ ඒ දවස්වල තිබ්බ පී.එච්. ඉන් එක කියල බියර් අරක්කු එහෙම තියන රෙස්ටුරන්ට් එකක්. ඕකෙ උඩ තට්ටුවෙ බිලියඩ් මේසෙකුත් තිබ්බ. බිලියඩ් ගහන්ට සාමාජික ගාස්තුවක් හැටියට ඔය පොඩි ගාණක් අය කලාට පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ යාවජීව සාමාජිකයින්ට විසේස වරප්‍රසාදයක් හැටියට බෝල මේසෙ නොමිලේම සෙල්ලං කරන්ට අවස්තාව දීල තිබ්බ.

මම එතකොට වැඩ කලේ නව නගරෙ තිබ්බ කච්චේරියෙ. කච්චේරිය කිව්වෙ පොළොන්නරුව මහ දිසාපති කාර්යාලය. ප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙලා දිසාපතිල ඔක්කොමල දිස්ත්‍රික් ලේකම්ල කරපු කාලෙ උදාවුනේ  තව අවුරුදු පහක් හයක් වගෙ අනාගතේදි... 

මගෙ තනතුර ර.ලි.සේ දෙවන පෙළ "ආ" ඛණ්ඩය රජයේ ලිපිකරු. එහෙමත් නැත්නම් ඔය ඉඩම් බලපත්‍රයක් ගන්ට නැත්නම් ඇල්.ඩී.ඕ. බලපත්තරේ වැඩුමල් කොලුවගෙ නමට හරෝල දෙන්ට කියල හිතාගෙන උදේ ඉඳං කච්චේරියෙ රස්තියාදු වෙන අහිංසක මිනිස්සු කියන විදිහට කලාක් මහත්තයෙක්.

ඒ කාලෙ සතියකට දෙතුන් සැරයක් මම ලැම්බට් අයියයි පියතුංගයි එක්ක පී.එච්. ඉන් එකට ගිහිල්ල බොනව. ලැම්බට් අයිය හක්මණට එහා වලස්ගල. එතකොටත් මයෙ හිතේ අවුරුදු හතළිස් පහක් වගෙ ඇති. ජීවිතෙං අවුරුදු විස්සක් විසිපහක් විතරම ලංකාව පුරහම තියන කච්චේරි දහයක දොළහක විතර වැඩ කරලම මනුස්සය අන්තිමටම හෙම්බත් වෙලයි හිටියෙ. දරු මල්ලො බලන්ට යන්නෙ මාස දෙහෙකට සැරයක්. පඩිය අරගෙන විස්ස විසිදෙක වගෙ ගෙදර ගිහාම ආයෙ එන්නෙ ඊලඟ මාසෙ තුන හතරවත් පහුවෙලා.

"මල්ලිලා කිව්වට විස්වාස කරන එකක් නෑ...මම ගෙදර ගිහාම මගෙ ළමයින්ට නිකං මහ අමුතු දෙයක් වගෙ. කොටින්ම මගෙ බාල කෙල්ල...දැං ඒකිගෙ වයස යන්තමට හතරක්ද පහක්ද කොහෙද... මුල්ම සතියක් හමාරක් විතර මාදිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනව වගෙ. ඒකිට මාව පුරුදු වෙන්ටයි මට ඒකිව පුරුදු වෙන්ටයි ඔන්න කොහොමත් අඩුම තරමෙ දවස් එක දහයක් දොළහක් විතරවත් යනව...."

ලැම්බට් අයිය අපි එක්ක ඔහොම කිව්වෙ වරක් දෙවරක් නෙවෙයි. ඒත් එහෙම කිව්වෙ දුකකින් කණගාටුවකින් එහෙමනම් නෙවෙයි...හිනාවෙවී..මනුස්සයගෙ හැටි එහෙම තමයි...

"ඒත් වැඩේ කියන්නෙ කෙල්ලට අයියව පුරුදු වෙනකොට අයියට ආයම මෙහෙ එන්ට කාලෙ හරි"

පියතුංගය එහෙම කියල හක හක ගාල හිනාවෙනව. පී.එච්. ඉන් එකේ කෙලවරේම මේසේ ඉඳගෙන තට්ට තනියමම ගල් බාගයක් ගහන කාකි ෂෝටක් ඇඳපු ලංසි පෙනුමක් තියන වයසක අංකල් එක විඩේම ඔලුව උස්සල බලල ආයෙම රවුම් මේසේ උඩ තිබ්බ බාගෙට හිස් වෙච්චි වීදුරුව දිහාට ඔලුව පාත් කර ගත්ත.

සති අන්තෙ සිකුරාද ඔය මධු සාදයෙන් පස්සෙ පියසේනයයි ලැම්බට් අයියයි අනිවාර්යයෙන් යන ගමනක් තියනව. පළුගස්දමන ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් තියෙන තැනකට තමයි ඔය දෙන්න යන්නෙ. ආය ආපහු අපෙ නවාතැනට ඔවුං දෙන්න එන්නෙ සෙනසුරාද දහය එකොළහ වගෙ වෙනකොට…

"ඒයි ජයේ උඹත් යමං බං...ඕක මේ ඔය හැටි සීරියස් හිතන්න ඕන දෙයක් නෙවෙයි බං...ජීවිතේට එහෙම ආතල් එකකුත් තියෙන්න ඕන.."

ලැම්බට් අයිය අනන්ත මා එක්ක එහෙම කියල ඇතිි. ඒත් මට කොහොමවත් එහෙම ගමනක් යන්ට හිත හදාගන්ට බැහැ. සුබා පිළිබඳව සොඳුරු  මතකය කාලාන්තරයක් ගත වෙලත් තවමත්  වරකපිටිය රජමහ විහාරෙ  වස් පිංකම් දා රෑ දොරගමු කන්ද ඒකාලෝක කරගෙන  පිපිරිලා යන මල් වෙඩිල්ලක් වාගෙ දවසකට හත් අට සැරයක් වත් මගේ පපුව පුරා පිපිරිලා සුවඳ හමන එකේ මම කොහොමද එහෙම දේකට හිත හදා ගන්නෙ?

ඒත් ඕනම දෙයක් වෙනස් වන සුළු අවස්ථාවක් අවසානයේදි එළඹෙනවයි කියල කියනවනෙ. එහෙමද ඒත් නැත්නම් ඒ අදාල දිනයෙදි මගේ මධුවිත ගැනීම පමණ ඉක්මවා ගියද කියල මට තව වෙනකලුත් හරියටම කියන්ට අමාරුයි. බොහෝ විට මේ කාරණා දෙකම සම සමව හෝ අඩු වැඩි වශයෙන් බලපාන්ටත් ඇති. කොහොම හරි අන්තිමේ දි සිද්ද වුනේ මම පහුවදා උදේ ඇහැරිනකොට හිටියෙ  නුහුරු නුපුරුදු සයනයක  වැතිරිලා. 

මම එහෙමමම විපිළිසර වෙලා වටපිට බලනකොට නිල්පාට මල් වැටුනු ගවුමක් ඇඳ ගත්තු තරුණියක් හිනාවීගන කාමරේට ආව. 

"ආ මහත්තය නැඟිට්ටද? මම මේ කහට එකක් හදන්ට වතුර ලිපේ තියන්ට ගියා…."

එදා ඉඳල ඒ කියන්නෙ මේ වෙනකොට අවුරුදු තිස් දෙකක් වෙනව. තවමත් වසන්ති මට කතා කරන්නෙ මහත්තය කියල..ඊට පස්සෙ මගෙ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වුනාද? 

සිරිලාල් කොඩිකාර මහත්තය ලියපු  ස්වයං ලිඛිත චරිතාපදානය එතුමා නම් කලේ "දියවැලක් ඔස්සේ ..." කියල. ඒ පොතේ ප්‍රස්තාවනාවෙ ඒ මහත්තය ලියල තිබ්බ දිය වැලකට අහු උනහම අපිට ඊට විරුද්ධව පීනන්ට බැහැ. ඔහෙ කොයිම වෙලාවක හරි දියවැලේ බලය සහ ශක්තිය හීන වෙලා යනකල් කොහොමින් කොහොමින් හරි ජීවිතේ ආරක්සා කරගෙන දිය වැලත් එක්කම ගහගෙන යන්ට ඉඩ දීල උපේක්ෂා සහගතව බලා ඉන්න එකයි කරන්න තියෙන්නෙ කියල. 

මමත් කවදක හරි මගේ ජීවිත කතාව ලියනවනම් සුදුසුම නම තමයි ඒක. "දිය වැලක් ඔස්සේ..." මොකද මගෙ ජීවිතෙත් එදා ඉඳලම සිද්ධ වුනේ දියවැල්වලට අහුවෙලා මම නොහිතූ පැති වලට ගහගෙන යන එක. මම කලේ එහෙම ගහගෙන යන්ට ඉඩ දීල නිසොල්මන්ව සන්සුන්ව උපෙක්ෂා සහගතව ඒ දිහා බලා ඉඳපු එක..

"ජයසේන මහත්තයට දිසාපතිතුමා එන්න කිව්ව …"

අපේ පියන් නොහොත් කාර්යාල කාර්ය සහායක තැන්පත් තේනබදු අයියා මගේ මේසෙ ළඟට ඇවිල්ල පහත්වෙලා රහසින් වගෙ කිව්ව. 

"හ්ම්ම්ම්ම්.....හරි තේනබදු අයිය.....මම ගිහිල්ල බලන්නම්කො.."

මම එහෙම කියල මම කර කර හිටපු ඉඩම් සංවර්ධන බලපත්‍ර නාම ලේඛණය හැදීමේ වැඩේ නතර කරල  අදාල  ලිපි ගොනුව එහෙම්මම වහල දාල අසුනින් නැඟිට්ට.

"මොකක්ද මහත්තය කේස් එක?"

තේනබදු අයිය ආයෙමත් මගෙ කණට ලංවෙලා ඇහුව. හීං මත්පැන් සුවඳක් හමාගෙන ආව. ඔය වැඩේ ඔෆිස් එකේ කාටවත්ම රහසක් නෙවෙයි. හවස දෙක පහුවෙන කොටම තේනබදු අයිය හැල්මෙ දුවන්නෙ කුසුමක්කගෙ හොර පොට් එකට. ඊට පස්සෙ තුනට ආයම යනව. හතරට වැඩ ඉවර වෙලා යන ගමං ආයමත් කුසුමක්කගෙ සැපදුක් බලල තමයි මනුස්සය ගෙදර යන්නෙ. ගෙදර තිබ්බෙ ඔන්න ඔය උණගලා වෙහෙර දිහාවෙ. දඹුල්ල පාරෙ තියෙන ජයන්තිපුර හන්දියෙන් හැරිල යන්න ඕන තවත් හැතැක්ම හත අටක් විතර.

"මම කොහොමද බං ඒක දන්නෙ?"

මම හිනාවෙලා එහෙම කිව්වට ජී.ඒ. මහත්තය කතා කරන කාරණේ මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය. අපේ ඔෆිස් එකේ ඔය ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් නොහොත් පෞද්ගලිකයි රහසිගතයි වැඩ නෑනෙ. විශේෂයෙන්ම ලැම්බට් අයියගෙ තිබ්බ ඉතාම ප්‍රබල රහස් ඔත්තු ජාලයක් නොහොත් ස්පයි නෙට්වර්ක් එකක්. ඒ රහස් ඔත්තු ජාලය හරහා ලැම්බට් අයියට ඔෆිස් එකේ වෙන දේවල් වගේම ඉස්සරහට වෙන්න යන දේවල් ගැනත් ඉතාව නිරවද්‍ය තොරතුරු අසුරු සැණෙන් ලැබෙනව.

"ජයේ මල්ලි උඹට විරුද්ධව පෙත්සමක් ඇවිල්ල තියනව ජී.ඒ.ට.."

දවස් දෙක තුනකට ඉස්සෙල්ල රෑට කාල මිදුලෙ සේරු ගහ යට පිටපළුවකින් හදපු බංකුවෙ ඉඳගෙන තෝපාවැව දිහායින් හමාගෙන එන හීතල හුළඟින් කමිස රහිත උඩුකය කිළි පොලද්දී ගෝල්ඩ් ලීෆ් එකක් අදින ගමන් ලැම්බට් අයිය මා එක්ක එහෙම කිව්ව....ඒ පෙත්සමේ තියෙන්නෙ මොනවද කියලත්  අකුරක් නෑර ඒ එක්කම මා එක්කල කිව්ව.

ජී.ඒ. මහත්තයගෙ කාර්යාල කාමරේ තිබ්බෙ මම වැඩ කරපු ඉඩම් අංශය තිබුනු තනි තට්ටුවෙ ගොඩනැඟිල්ලෙ නෙවෙයි. යාර තිහක් හතළිහක් වගෙ දුරින් තට්ටු තුනට අලුතින් හදපු ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක තුන්වන තට්ටුවෙ. තුන්වෙනි තට්ටුවට යන්ට සෝපානයක් තිබුනත් මම කවදාවත් ඒ සෝපානය පාවිච්චි කලේ නෑ. තට්ටු තුන හෙමිහිට නැඟල දිසාපති තුමාගෙ ගාම්බීර කාමරේ ඉස්සරහ මම නැවතුනා.  

සුනිල් ගුණසේකර...දිසාපති පොළොන්නරුව... ශ්‍රී ල.ප.සේ.

"ආ..ඉලන්දාරිය..එනව එනව.."

කාමරේ ඇතුලෙන් ජි.ඒ. මහත්තයගෙ ගැඹුරු කටහඬ ඇහුන. මම හිතන්නෙ වවුල් දොර නොහොත් සැලූන් දොර පලු දෙක අස්සෙන් මාව දකින්න ඇති. මම හෙමීට වවුල් දොර පළු දෙක තල්ලු කරගෙන ඇතුලට ගියා.

දිසාපතිතුමා පුටුවෙ හරි බරි ගැහිල ඉඳගෙන බිලියඩ් මේසයක් විතර විසාල මේසෙ ඉස්සරහ තිබ්බ පුටු දිහාට අතක් දික් කරල මට ඉඳගන්ට කියල සංඥා කලා. 

"ස්තූතියි සර්.." මම එහෙම කියල ඉඳගත්ත.

"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."

වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......

පසු සටහන - 

ජීවිතේ අමතක කරන්ට කියල හිතාගෙන හිතේ මුල්ලක සවිකරල තියන පරණ අනවශ්‍ය මතක සේප්පුවෙ දොරගුළු දාල වහල දාපු පැරණි සොඳුරු මතක සටහන් එක සැණෙකින් සේප්පුවෙ අගුළුත් කඩාගෙන දොරත්  බිඳගෙන එළියට ඇවිල්ල අපි ඉස්සරහ සමච්චලේට හිනා වෙවී එහාට මෙහාට සක්මන් කරන්ට පටන් ගන්නව. එහෙම වෙන්ට මහ ලොකු භූමිකම්පාවක් යමහල් විදාරණයක් වගෙ බරපතල සිද්ධියක් වෙන්ටම ඕන නෑ. මේ බොහොම සුළු දෙකයි පණහෙ කේස් එකක් සීන් එකක් හොඳටම ඇති . කොටින්ම වැඩිත් එක්ක.

ආතර් සී. ක්ලාක් මහත්තයගෙ මම කියවපු පළවෙනි පොත "Deep Range"... සිංහල පරිවර්තනය "ගැඹුරු මුහුද" පරිවර්තනය කලේ සිරිල් සී. පෙරේරා මහත්තය.

ඒ කතාවෙ ප්‍රධාන චරිතයෙ නම ප්‍රෑන්ක්ලින්. ප්‍රෑන්ක්ලින් අභ්‍යාවකාශ ගාමියෙක්. සෙනසුරු ග්‍රහයා වෙත ගිය අභ්‍යාවකාශ ගමනකදි යානයෙ අළුත්වැඩියාවකට යානයෙන් පිටතට එන ප්‍රෑන්ක්ලින් යම් අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන අභ්‍යාවකාශයෙ අතරමං වෙනව. 

එහෙම අතරමංවෙලා ඔහුට ඉන්න වෙනව පැය දොළහක වගෙ කාලයක්. ඊට පස්සෙයි ඔහුව බේරාගනු  ලබන්නෙ. මේ සිද්ධිය ඔහුගේ මානසික තත්වයට ඉතාම දැඩිව බලපානව. තමන්ව කවදා බේරාගනීවිද එහෙම නැත්නම් ඔක්සිජන් සැපයුම ඉවරයක් වෙනකල් අනන්ත තරු පිරි අභ්‍යාවකාශෙ පාවෙවී කොච්චරකල් නම් ගෙවන්ට සිද්ද වෙයිද කියල හිතෙනකොට මනුස්සයෙක්ගෙ ඔලුව නරක් උනේ නැත්නම් තමයි පුදුමෙ. 

ප්‍රෑන්ක්ලින්ව බේරගත්තට පස්සෙ ඔහු මේ මානසික අවපාතනයට ඉතාමත්ම දැඩි ආයාසයකින් මුහුණ දීල හිතපාලනය කරගෙන රෝගී තත්වයෙන් මිදෙනව.  පස්සෙ ඔහු අභ්‍යාවකාශගාමී ජීවිතයෙන් සමු අරගෙන කසාදයක් එහෙමත් කරගෙන අවුලක් නැතුව ජීවත් වෙනව. ප්‍රෑන්ක්ලින් කරන්නෙ ඒ අමිහිරි මතකය තමන්ගෙ හිතේ කොනක යතුරු දාල වහල තියල එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ කියල දැඩිවම හිතාගෙන ජීවත්වෙන එක....

ඒත් එක දවසක ඒත් එක දවසක තම පෙම්වතිය එක්ක මුහුදු වෙරළක සිටියදී ඇය වතුර උණු කිරීම පිණිස දල්වන උදුනක ඉන්ධන සුවඳින් ඔහු නැවත වාරයක්  ඒ අමිහිරි අතීතය වෙත බලෙන්ම කැඳවාගෙන යනු ලබනව. එයින් ඔහුගේ මානසික තත්වය යලි අවුල් වෙනව. ඔහු ඒ තත්වයට මුහුණදෙන ආකාරය තමයි පොතේ කථා තේමාව. තමන්ගේම අමිහිරි අතීතය සමඟ යම් එකඟතාවයකට, සමාදානයකට  එළඹීම.... Coping with your own unpleasant past....

ප්‍රෑන්ක්ලින්ට සිද්ධ වුන දේම මටත් සිද්ධ වුනා මේ පහුගිය දවස් හතර පහකට ඉස්සෙල්ල. ඒකට හේතු පාදක වුනේ හැබැයි තීන්ත සුවඳක් එහෙම නෙවෙයි. මුහුණු පොතේ පළවූ ඡායාරූප කීපයක්. මේ දවස්වල මහනුවර නගරය වගේම ඒ තදාසන්න ප්‍රදේශවලත් රබරෝසියා මල් පිපිල. ඔය රබරෝසියා මල් හැම අවුරුද්දෙම පිපෙන්නෙත් නෑ. සමහරවිට අවුරුදු හත අටකට සැරයක් වෙන්න පුලුවන්. එහෙම නුවර නගරය පුරා රබරෝසියා මල් පිපිලා තිබුනු එක්තරා දුර අතීතයේ දවසක  මතක සැමරුම් ගැන තමයි මම මේ ලියන්න ගත්තෙ....

Friday, March 8, 2019

628. The Age Of Pure Innocence




The age of pure innocence,
When your mind is free of any bias,
Your heart is filled with happiness, tolerance and love for all beings,
Oh for a world where  no one would grow up!

ඡායාරූපය ශාන්ත කේ. හේරත්ගේ "පන්තියක්ම නොවන චිත්‍ර පන්තිය" වෙබ් පිටුවෙනි.

Thursday, February 14, 2019

145. පාරාදීසය දෑස මානයේ විරාජමාන වනු පිණිස...



The Danger of a Single Story යන්න මාතෘකා කොටගෙන, නයිජීරියානු ජාතික සම්මානනීය ලේඛිකා Chimamanda Ngozi Adichie විසින් පැවැත් වූ සුප්‍රසිද්ධ ටෙඩ් කතාව ඇසුරින් රන්දිකා රණවීර ප්‍රනාන්දු - රන්දිල් විසින් සිංහලයට නගන ලද ලිපිය

"එක් පැත්තක් පමණක් දැකීමේ අනතුර" ලෙසින් මා හඳුන්වන්නට කැමති කාරණය විස්තර කෙරෙන, කතන්දර කිහිපයක් ඔබට ගෙන එන්නම්.



මම ඉගෙන ගත්තේ නැගෙනහිර නයිජීරියාවේ විශ්ව විද්‍යාලයක. මගේ අම්මා කියන්නේ මං පොත් කියවන්න පටන් ගත්තේ අවුරුදු දෙකේ දි කියලා, නමුත් මා හිතන්නේ ඒ වයස අවුරුදු හතරට කිට්ටු කාලයේ විය යුතු බවයි. වේලපහෙන් කියවන්න පටන් ගත්ත මම කියෙව්වේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ළමා පොත්. 

ඒ වගේ ම මම බොහොම පොඩි වයසෙන් ලියන්න ගත්ත කෙනෙක්. අවුරුදු හතේ දී පැන්සලෙන් අකුරු කර, චිත්‍ර ඇඳ, පාටකූරු වලින් පාට කර මා නිමැවූ කතන්දර කියවන්න අම්මා බැඳී සිටියා. මම ලිව්වේ තනිකර ම මා කියැවු දේ හා සමාන කතන්දර. මගේ සියලු ම චරිත ධවල වර්ණ හමැති, නීල වර්ණ ඇස් ඇති අය. ඔවුන් කෑවේ ඇපල්! සෙල්ලම් කළේ හිමේ! 

ඒ විතරක් ද! ඔවුන් හැමවිට ම කාලගුණය ගැන කතා කළා. 

"කොච්චර දෙයක් ද! යන්තන් ඇති ඉර පායලා!" 

ඉතින් ඔය කතන්දර මං ජීවත්වුණු නයිජිරියාවේ කාරණත් එක්ක ගැටෙනවා. මා ඒ වනවිට නයිජිරියාවෙන් පිටතට ගිහින් තිබුණේ නැහැ. අපිට කොහෙද හිම! අපි කෑවේ අඹ!. 

ඒ විතරක් නෙමෙයි, අපට කාලගුණය ගැන අමුතුවෙන් කතා කර කර ඉන්න හේතුවක් තිබුණේ නැහැ. 

මගේ චරිත නොසෑහෙන්න ජින්ජර් බියරුත් බිව්වා, මොකද මං කියවපු බ්‍රිතාන්‍ය පොත්වල මිනිස්සු බිව්වේ ඒවානේ. නමුත් ජින්ජර් බියර් කියන්නේ මොන වගේ බීමක්දැයි අදහසක්වත් මට තිබුණේ නැහැ. 

මට හිතෙන විදිහට මේ සිද්ධියෙන්, යම් දෙයක් මතුපිටින් ගැනීමෙන් කෙතරම් සාවද්‍ය සංකල්පනාවන් අපේ සිතේ මුල් බැස ගන්නවාද, එයින් කෙතරම් අගතියකට පත්විය හැකිද යනාදිය ගැන පෙන්නුම් කෙරෙනවා, විශේෂයෙන් ම කුඩා දරුවෝ. මම කියවපු පොත් වල හිටපු සියල්ල විදේශිකයින් වූ නිසා මම හිතාගෙන හිටියේ හැම පොතක ම චරිත එසේ විය යුතුයි කියලා. මා පුද්ගලික ව දන්නා කාරණා ඒවායෙහි තිබිය නොහැකියි කියලා. හැබැයි මා අප්‍රිකානු පොත් සොයාගත්ත දවසේ මේ සිතුවිලි වෙනස් වුණා. ඒවා මහා ගොඩක් තිබුණෙත් නැහැ, විදේශීය පොත් තරම් පහසුවෙන් හොයාගන්න හැකි වුණෙත් නැහැ. 

චිනුආ අචබේ සහ කමරා හොලයේ ආදී කතුවරුන් නිසා සාහිත්‍ය පිළිබඳ මගේ දැක්මෙහි දිශානතිය වෙනස් වුණා. කිසිදා පෝනිටේලයක් නොවන-ඇකිලුණු කෙස් ඇති මා වැනි චොක්ලට් වර්ණ හමැති කෙල්ලන්ටත් සාහිත්‍ය තුල ඉඩඇති බව මට වැටහුණා. එයින් පසු මා දන්නාදේ ගැන ලියන්න පටන් ගත්තා.
චිනුආ අචබේ


කමරා හොලයේ
මා කියවූ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පොත් වලට මම කැමතියි. ඒවා මගේ පරිකල්පනය කලඹන්න හේතුවුණා. ඒවා මට නව ලෝක වෙත මග විවර කළා. නමුත් එහි අනපේක්ෂිත ඵලයක් ලෙස මා වැනි මිනිසුන්ට සාහිත්‍ය තුල ඉඩක් ඇති බව ඉබේට ම මට නොපෙනී ගොස් තිබුණා. ඉතින් අප්‍රිකානු කතුවරුන්ගේ පොත් සොයා ගැනීමෙන්, මෙහි දී "එක් පැත්තක් පමණක් දැකීමේ අනතුරින්" ගැලවෙන්නට මට හැකි වුණා.


නයිජිරියානු මධ්‍යම පාංතික පවුලක් (පිංතුරය අන්තර්ජාලයෙනි)


මම එන්නේ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික නයිජීරියානු පවුලකින්. මගේ පියා මහාචාර්යයවරයෙක්. අම්මා පරිපාලන නිලධාරිනියක්. සාමාන්‍යයෙන් අපිට අපේ උදව්වට ගෙදර වැඩට මිනිස්සු හිටියා. ඒ අය බොහෝවිට පැමිණියේ අසල ගම්මාන වලින්. මට අවුරුදු අට ලබද්දි, ෆිඩේ නම් වූ පිරිමි ළමයෙකු අපේ නිවසට පැමිණියා. ඔහු ගැන මගේ අම්මා පැවසූ එකම දේ ඔවුන් ඉතාමත් ම දුප්පත් පවුලක් යන්නයි. යැම් අලත්, හාලුත් අපේ පරණ රෙදිත් ඔහු අතේ ඒ පවුලට යවන්න අම්මා පුරුදු ව සිටියා. කොයි වෙලේ හරි මා කෑම ඉතිරි කළොත් මෙහෙම කියන්නත් අම්මා අමතක කළේ නැහැ. "සේරම කන්න! ෆිඩේගේ පවුලේ උදවිය වගේ කී දාහක් නම් කන්න දෙයක් නැතිව ඉන්නවද?" මේ දේවල් නිසා ෆිඩේගේ පවුල ගැන මගේ හිතේ තිබුණේ තදබල අනුකම්පාවක්. 

එක් සෙනසුරාදාවක අපි ඔහුගේ ගමට චාරිකාවක් ගිය වෙලේ ෆිඩේගේ අම්මා, ඔහුගේ සහෝදරයා විසින් රාෆියා කෙඳි (පාම් කොල වේලා සාදා ගන්නා කෙඳි වර්ගයක්) වලින් අලංකාරව මෝස්තර යොදා සාදන ලද කූඩයක් අපට පෙන්වූවා. ලොකු පුදුමයක්!. ඔහුගේ පවුලේ කිසිවෙකුට කිසිවක් සෑදිය හැකි බව මට සිතී තිබුණේ නැහැ. "අනේ දුප්පත් මිනිස්සු, අසරණ මිනිස්සු, දෙයක් කරගත නොහැකි මිනිස්සු" ආදී මා අසා ඇති කතා නිසා ඔවුන් දුගීන් ලෙස මිස වෙනත් කිසිවෙකු ලෙස සිතීමත් මට කළ නොහැක්කක් වී තිබුණා. ඔවුන්ගේ දරිද්‍රතාව මට මෙහිදී, "එක් පැත්තක් පමණක් දැකීමේ අනතුර" වී තිබුණා.



නැවත මේ කාරණය මට සිහිවුණේ වයස 19 දී, ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට නයිජීරියාවෙන් පිටත් වුනාට පස්සේ. මගේ ඇමරිකානු කාමර සගයා මගෙන් ඇසුවා මෙච්චර හොඳට ඉංග්‍රිසි කතා කරන්නේ කොහොමද කියලා, නයිජිරියාවට රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රිසි භාවිතා කරන්න සිදු වුණා කිව්වහම ඇය වියවුලට පත් වුණා. ඇයට මගේ "ගෝත්‍රික සංගීතය" අසන්නට උවමනා වුණා. ඇය තවදුරටත් අපේක්ෂා භංගත්වයට පත් කරමින් මම මා සතු වූ "මාරියා කැරේ"ගේ කැසට් පටය වාදනය කළා. 

මා දකින්නත් පෙර මා වෙනුවෙන් ඈ වික්සෝප වෙමින් සිටියා. ඈ අවශ්‍යයෙන් ම සූදානම් ව හිටියේ අප්‍රිකානුවෙක් වුණු මා ගැන, තමන්ගේ උසස් තත්ත්වයේ සිට අනුකම්පා උපදවාගත් කෙනෙකු වන්නටයි. ඈ සතුව අප්‍රිකාව "එක් පැත්තකට කර" නිමවූ තමන්ගේ ම අදහසක් තිබුණා. මහා විනාශයක් පිළිබඳ පැත්තක්... ඒ පැත්තට අනුව අප්‍රිකානුවන්ට කිසිසේත් ම ඇයට සමාන වීමේ අවස්ථාවක් නැහැ, සෝකයෙන් බර ව ජීවත් වනවාට වඩා වෙනත් සංකීර්ණ හැඟීම් තිබීමේ හැකියාවක් නැහැ, ඔවුන් හා සම මට්ටමේ සම්බන්ධතා වලට කිසිසේත් ම ඉඩක් නැහැ. 

ඇමරිකාවට යන්නට පෙර මා කිසිදා අප්‍රිකානුවෙකු ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් ඇමරිකාවේ දී, කොයි මොහොතේ හෝ අප්‍රිකාව ගැන කතාවක් ඇදුනාද, සේරම මං දිහාට හැරෙනවා. නැමිබියාව වැනි රටවල් ගැන නොදන්නවා වුණාට මොකද, මේ අලුත් හැඳින්වීම මම කැමැත්තෙන් වැළඳ ගත්තා පමණක් නොවෙයි, දැන් බොහෝ කාරණා වලදී අප්‍රිකානුවෙකු ලෙස මා ගැන හිතන්නත් පුරුදුවෙලා. එහෙම වුණත් සමහර වෙලාවට අප්‍රිකාව රටක් හැටියට හඳුන්වද්දි දැනෙන්නේ බලවත් අපහසුවක්. ලඟම උදාහරණය දින දෙකකට එපිට දි ගුවන් යානයේ දී යම්කිසි පුණ්‍ය කටයුත්තක් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කීවේ, "ඉන්දියාව, අප්‍රිකාව සහ අනෙකුත් රටවල්"යනුවෙන්. 

ඉතින් අවුරුදු කිහිපයක්, අප්‍රිකානුවෙකු ලෙස ඇමරිකාවේ ගත කරද්දි, මගේ සගයා මා වෙනුවෙන් දක්වන ලද ප්‍රතිචාරය වටහා ගන්න මට හැකි වුණා. මම නයිජීරියාවේ ඇති දැඩි නොවුණා නම්, අප්‍රිකාව ගැන මා දන්නෙත් ලොව පුරා ජනප්‍රිය ප්‍රතිරූපයට අනුව නම්, මා වුවත් අප්‍රිකාව කියන්නේ ලස්සන භූමි දර්ශන තිබෙන, අලංකාර සතුන් සිටින, මිනිසුන්-නිරතුරු නිරර්ථක සංග්‍රාම වල පැටලී අනවබෝධයෙන් හැසිරෙන, දරිද්‍රතාවෙන් හා ඒඩ්ස් රෝගයෙන් රංචු පිටින් මියයන, තමා වෙනුවෙන් හඬක් නගන්නට නොහැකිව, ධවල වර්ණ කාරුණික විදේශිය හස්තයකින් ගලවා ගන්නාතුරු බලා සිටින රටක් විදිහට දකින්න තිබුණා. මමත් අප්‍රිකාව දෙස, කුඩා ළමයෙකු ලෙස ෆිඩේගේ පවුල දෙස බැලූ ආකාරයට බලන්න තිබුණා. 

අප්‍රිකාව ගැන මේ "එක් පැත්තකට කර නිම වූ කතාව" උපදින්න ඇතැයි මට හිතෙන්නේ බටහිර සාහිත්‍යයෙන්. වසර 1561දී ලන්ඩන් නුවර වෙළෙන්දෙකු වූ ජෝන් ලොක්, බටහිර අප්‍රිකාව බලා සිදුකළ සිය මුහුදු සංචාරය ගැන තැබූ සිත්ඇදගන්නාසුළු සටහනේ කලු අප්‍රිකානුවන් ගැන මෙහෙම සඳහන් කරනවා. "නිවාස නැති තිරිසන්නු, ඔලු නැති මිනිස්සු, ඔවුන්ගේ ඇස් හා කට ඇත්තේ පපුවේ" 

දැන් මේක කියවන හැමවිට ම මම හඬනගා සිනාසෙනවා. අපි ජෝන් ලොක්ගේ පරිකල්පනයට ප්‍රශංසා කරන්න ඕනෑ. නමුත් වැදගත් කාරණය, බටහිර දී අප්‍රිකාව ගැන කියැවෙන කතන්දර සම්ප්‍රදායේ ආරම්භය ඔහුගේ ලියැවිලි වලින් නියෝජනය වන බවයි. සහරාවට දකුණින් වන අප්‍රිකානු රටවල්, සෘණාත්මක, සපුරා වෙනස්, අඳුරු මිනිසුන් ඉන්නා රටවල් හැටියට කියැවෙන සම්ප්‍රදායක්. අපූරු කවියෙකු වන රඩ්යාඩ් කිප්ලින්ගේ වචන වලින් කියනවා නම්, "අර්ධ-යක්ෂ, අර්ධ-ළමා" මිනිසුන්! 

වරක් මහාචාර්යය කෙනෙකු මට පැවසුවේ මගේ නවකතා, "නිර්ව්‍යාජ අප්‍රිකාව" නිරූපණය නොකර බවයි. ඔව්, පොඩි පොඩි වැරදි තැන් තිබුණු බව මාත් දැන් පිළිගන්නවා. නමුත් ඒ නවකතාව "අප්‍රිකානු අව්‍යාජත්වය" පිළිඹිබු කිරීමේ දී අසමත් වූයේ මන්දැයි මට වැටහුණේ නැහැ. එහෙම නැත්නම් ඒ කියන "අප්‍රිකානු අව්‍යාජත්වය" මා දැන නොහිටියා විය යුතුයි. මහාචාර්යයවරයා මට කීවා මෙහෙම. "ඔයාගේ චරිත හරියට මං වගෙයි. උගත් මධ්‍යම පාංතික මිනිස්සු. කාර් පදිනවා. කෝ ඒ ගොල්ල බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඉතිං එතැන "නිර්ව්‍යාජ අප්‍රිකාව" නිරූපණය වන්නේ නැහැ!" 

යමක් ගැන "එක් පැත්තක් විතරක් ගෙන" කතන්දරයක් නිර්මාණය කර, මිනිසුන්ට මුළු ලෝකයට ම එය ම විතරක් පෙන්වමින්, එය ම පමණක් ඇති බව ධාරණය කරමින්, නැවත නැවතත් එය ම කරමින් යන විට එය පිටස්තරයින්ගේ සිත් තුල ඇත්තක් බවට පත් වන්නේ ඒ විදිහටයි. 

මේ එක් පැත්තක කතාව ගැන කතා කරද්දි "බලය" මග නොහැරිය හැකි සාධකයක්. ලෝක බල ව්‍යුහය ගැන සිතද්දි මට නිතර ම ඉග්බෝ භාෂාවේ වචනයක් සිහිවෙනවා. "nkali"-"to be greater than another - තවකෙකුට වඩා ශ්‍රේෂ්ට වනු පිණිස" එහි තෙරුමයි. අපේ ආර්ථික හා දේශපාලනික ලෝක සළකා බැලුවොත් මේ වචනයේ සිද්ධාන්ත මත ක්‍රියාත්මක වන බව පැහැදිලියි. කොහොමද ඒ කතන්දර කියැවෙන්නේ, කවුද කියන්නේ, කවර මොහොතේ ද කියන්නේ, කොපමණ කතන්දර කියැවෙනවාද, මේ සියලු කාරණා බලය මත රඳනවා. 

බලයෙන් හැකියාව ලැබෙන්නේ කෙනෙකු ගැන කතන්දරයක් කීමට පමණක් නොවෙයි, ඒ මිනිසාගේ කතාව ස්ථිරසාර ව ලියන්න බලය නිසා හැකියාව ලැබෙනවා. පලස්තීන ජාතික කිවියර මවුරිඩ් බාඝවුටි මෙහෙම කියනවා. "ඔබට පිරිසක් නැති කර දැමීමට අවශ්‍ය නම්, පහසු ම දේ ඔවුන් හෙලා දකිමින්, ඔවුගේ කතාව පුන පුනා පැවසීමයි". ස්වදේශීය ඇමරිකානුවන්ගේ ඊ තල වලින් මිස බ්‍රිතාන්‍යයන්ගේ ආගමනයෙන් කතාව ආරම්භ නොකළ විටත් අප්‍රිකානු රාජ්‍යයන් හී පිරිහීමෙන් මිස එහි පිහිට වූ විදේශීය කොළනි වලින් කතාව ආරම්භ නොකළ විටත් ලැබෙන්නේ සපුරා ම වෙනස් කතන්දර!. 

මා ලඟ දී දේශනයක් පැවැත් වූ විශ්ව විද්‍යාලයක සිසුවෙකු මට මෙහෙම කියනවා. "නයිජීරියානු පිරිමි ශාරීරික ව පහරදෙන මිනිස්සුවීම ලැජ්ජාවක්. ඔබේ නවකතාවේ පියාත් එහෙම කෙනෙක්". මම ඔහුට මෙහෙම පැවසුවා. "මම ලඟ දී නවකතාවක් කියෙව්වා. ඒකේ නම ඇමරිකන් සයිකෝ. හරිම ලැජ්ජාවක්, ඒකේ තරුණ ගැටවු දිගින් දිගට ම මිනී මරන්නෝ". 

ඔහු කී කාරණයෙන් අපහසුවට පත් වූ නිසා කීවා මිස එක පොතක එක චරිතයක් මිනිසුන් ඝාතනය කළා කියා ඒ චරිතයෙන් මුළු මහත් ඇමරිකාව ම නියෝජනය වනවා කියලා මා කිසිදා සිතන්නේ නැහැ.ඒ අර සිසුවාට වඩා මා හොඳ පුද්ගලයෙකු නිසා නොවෙයි. ඇමරිකාවේ සංස්කෘතික හා ආර්ථික බලය පිළිබඳ ව විවිධ කතන්දර රාශියක් මා සතුව තිබීමත්, ඇමරිකාවේ ලේඛකයින්ගේ රචනා මා කියවා තිබීමත්, ඇමරිකාව ගැන "එක් පැත්තක් දැක" නිම වූ කතන්දරයක් පමණක් මා සතුව නොමැති වීමත් නිසයි. 

කතුවරුන් බොහෝවිට, අසතුටුදායක ළමාවියක් ගතකළ අය සාර්ථක ව ජීවිතය දිනන බව ලියනු දුටුවිට, මගේ දෙමව්පියන් මට කළා යැයි ලිවිය යුතු භයානක දේවල් නිර්මාණය කරගන්නේ කෙසේදැයි මා කල්පනා කළා. 

මොකද, මගේ ළමාවිය සතුට දෝරේ ගලාගිය, සිනාහ හඬින් පිරුණු, තදින් එකිනෙකාට බැඳුනු පවුලක ගත වූවක්. 

නමුත් මටත් හිටියා සරණාගත කඳවුරුවල මිය ගිය සීයලා. මගේ ඤාති සහෝදර පෝලේ මිය ගියේ ප්‍රමාණවත් තරම් සෞඛ්‍යය සත්කාර නොලැබීමෙන්. මගේ ලඟම මිතුරෙකු ඔකොලොමා හී ගුවන්යානා අනතුරකින් මිය ගියේ අපේ ගිනි රථවල වතුර නැති කමින්. මම වැඩුණේ, උගත්කමේ අගයක් නොදන්නා, නපුරු හමුදා පාලනයක් යටතේ. ඒ නිසා සමහර වෙලාවට මගේ දෙමව්පියන්ට ඔවුන්ගේ වේතන ලැබුණේ නැහැ. කුඩා දරුවෙකු හැටියට උදේ කෑම මේසයෙන් ජෑම් බෝතලය අතුරුදන්වන හැටි, පසුව මාගරින් නොපෙනී යනහැටි, පාන් මිල අධික වූ හැටි, සලාක ක්‍රමයට කිරි ලැබුණු හැටි මා අත්දැක්කා. මේ හැමට ම ඉහළින්, සාමාන්‍යකරණය වූ දේශපාලන භිතිකාවක් අපේ ජීවිත ආක්‍රමණය කරමින් තිබුණා. 

මේ සියලු කතන්දර එකතු වී මා නමැති පුද්ගලයා නිර්මාණය කරනවා. නමුත් සෘණාත්මක කතන්දර විතරක් ගැනීම නිසා මගේ අත්දැකීම් තැලී පොඩි වී මා නැමැත්තා ගොඩ නගන්නට හේතූ වූ අනෙකුත් කතන්දර නොපෙනී යනවා. "එක් පැත්තක් දැක නිමවන" කතන්දර නිසා උපදින්නේ ඒකාකාරී බවක්. ඒ ඒකාකාරී බව පෙන්වන්නේ සම්පූර්ණ අසත්‍යයක් නොවේ, නමුත් එයින් උපදින්නේ අසම්පූර්ණ සත්‍යයක්. ඒ "එක පැත්තක් දැක නිමවූ" කතන්දරය, අවසානයේ අදාළ කාරණයෙහි සම්පූර්ණ කතාව බවට පත්වීම ඛේදයක්. 

යම් කෙනෙකු ගැන හෝ ස්ථානයක් ගැන සියලු කාරණා නොදැන හරියාකාරව සම්බන්ධතා ගොඩනැගිය නොහැකි බව මගේ අදහසයි. එක් කරුණක් විතරක් දැන සිටීමෙන්, අනෙකාගේ ගරුත්වයට හානි වෙන්න පුළුවන්. අපේ මානුෂික සමානාත්මතා නොපෙනී යන්න පුළුවන්. එමගින් අප එකිනෙකාගේ තිබෙන සමානකම් වලට වඩා වෙනස්කම් උදක් ම මතුකර පෙන්වන්නට ඉඩ තිබෙනවා. 

"ෆිඩේගේ පවුල දුප්පත් බව ඇත්ත, නමුත් ඒ අය මහන්සි වී වැඩ කරන උදවිය" බව මගේ අම්මා මට පවසා තිබුණා නම්? අප්‍රිකාවේ විවිධත්වය ලෝකය පුරා විකාශය කෙරෙන අප්‍රිකානු රූපවාහිනි නාලිකාවක් අපට තිබුණා නම්? 

මගේ නයිජීරියානු පොත් ප්‍රකාශක මුහ්ටාර් බාකරේ, ඔහුගේ සිහිනය වූ පොත් ප්‍රකාශන ආයතනය අරඹන්නට බැංකු රස්සාවක් අත්හැරිය අපූරු මිනිසෙකු බව මගේ කාමර සගයා දැන සිටියා නම්? ලෝක සම්මුතිය වුණේ නයිජීරියානුවෝ සාහිත්‍ය ඇසුරු නොකරන්නන් බවයි. නමුත් ඔහු එකඟ වුණේ නැහැ. ඔහුගේ අදහස වුණේ, ඔබ ඔවුනට කියවන්න සාහිත්‍යයක් ගොඩ නගනවා නම්, කියවන්න හැකියාව ඇති අය අනිවාර්යයෙන් කියවනු ඇති බවයි. 

මම සෑම ගිම්හානයේදී ම ලාගෝස් හී වැඩමුළු පවත්වා ලිවීම පිළිබඳ අපේ ජනතාවට උගන්වනවා. ඒ සඳහා අයැදුම් කරන ප්‍රමාණය ගැන ඇති වන්නේ සතුටුදායක පුදුමයක්. ඒ අය කතා ලියන්න, කියන්න දක්වන්නේ සතුටුදායක උනන්දුවක්. 

මගේ නයිජීරියානු ප්‍රකාශකත් මාත් එකතු වී ලාභ නොලබන අරමුදලක් පිහිටුවා ගත්තා. එහි නම ෆරෆිනා. එයින් අලුතින් පුස්තකාල ඇති කිරීම, තිබෙන පුස්තකාල වැඩි දියුණු කිරීම, සිය පුස්තකාල වල කිසිවක් නැති පාසල් පුස්තකාල වලට පොත් ලබා දීම, විශාල වශයෙන් වැඩමුළු පවත්වා කියවන්න, ලියන්න හුරු කරවා අපේ කතන්දර ලොවට කියන්න උනන්දු ඇති අයට මග පෙන්වීම ආදී කාරණ ඉටු කරගැනීමේ විසල් සිහිනයක් අපට තිබෙනවා. 

බොහෝ කතන්දර බෝහෝ ආකාර වලට බලපානවා. මනුස්සයෙකු නැති කරන්න, අවමානයට පත් කරන්න සමහර කතන්දර උපයෝගී වනවා. ඒ වගේ ම කෙනෙකු ශක්තිමත් කරන්න, කෙනෙකුට මිනිසත්කම ලබා දෙන්නට කතන්දර වලට හැකියි. මිනිසෙකුගේ ගෞරවය විනාස කරන්න කතන්දර වලට හැකිසේම, බිඳුනු අභිමානය නැවත ගොඩනගන්නත් කතන්දර වලට පුළුවන. 

"එක් පැත්තක් දැක නිමවන" කතන්දර අප විසින් ප්‍රතික්ශේප කළ මොහොතේ ම, යම් ස්ථානයක් ගැන එක කතාවක් පමණක් නොපවතින බව අවබෝධ කරගත් මොහොතේ ම, පාරාදීසය අප දෑස මානයේ විරාජමාන වන්නේ අසුරු සැනෙකින්!

2019.02.10 වන දින ඇත්ත පුවත්පතේ අලංකාරය අතිරේකයේ පළ වූ ලිපිය



Tuesday, February 12, 2019

627. Good Bye Opportunity….Until We Meet Again!!!

Artist's Impression of Opportunity On Mars

පහුගිය සිකුරාද මම අර කියන්ට ආපු කතාව කියල අහවරක් කොරන්ට බැරි වුනානෙ.

වටේට පඳුරු තලල පසුබිම සකස් කරල ඉවර වෙනකොට වචන 1500 විතර වෙන්ටත් ආව. එතකොට ඒ අල්ල පනල්ලෙ මට ඉතා වැදගත් නොහොත් වැරි වැරි ඉම්පෝටඩ් ගමනකුත් යෙදිල තිබ්බ හින්ද මම ඒ ලියපු ටික එහෙම්මම පබිලිස් කරල නිකා හිටිය.

ගෙපල කපල බවුංඩේසන් දාල ඉවර වෙනකොට ගේ හදන්ට තියාගෙන හිටපු සල්ලි ටික ඉවර වුනා වගෙ වැඩක් මටත් උනේ..

ඔය කොළඹ නිදහස් මන්දිරේට පොඩ්ඩක් විතර එහා පැත්තෙ ශ්‍රී ලංකා පදනම් ආයතනය කියල එකක් තියනව දන්නව නේද? SriLanka Foundation Institute කියලයි ඉංග්‍රීසියෙං කියන්නෙ. ඕක හැදුවෙ ඔය හැත්තෑව දසකයෙ මැද බාගෙ වගෙ. ඕකට පදනං ආයතනය කියල නම වැටුනෙත් ඔය මේ පහුගිය සිකුරාද මට උනා වගෙ සීන් එකක් හින්ද. 

ඒ කිවෙ ඕකෙ බවුන්ඩේසම දාල ඉවර වෙනකොට බිල්ඩිම හදන්ට වෙන් කරල තිබ්බ සල්ලි අහවර උනා. ඒ පාර ආයෙම සල්ලි හොයාගන්න කල් ඔතන බවුන්ඩේසම විතරක් කැළෑ වැදිල තිබ්බ අවුරුදු ගානක්ම. ඇඹුල් පේර, මාදං, වල් ඇඹිල්ල එහෙම ඔය බවුන්ඩේසම වහගෙන හැදිල තිබ්බ හොඳ සාර සුබාවට. අපි ඒ කාලෙ සෙනසුරාද ඉරිද නැත්නං පෝය දවසට නාවල ඉඳල 173 තොටළඟ බස් එකේ නැඟල ඇවිල්ල ඔතන බැහැල ඔය ගඩා ගෙඩි කඩාගෙන කාල තව මහ හුඟක් පෝර මල්ලක එහෙම දාගෙන ඇරගෙනත් යනව. ඒ කාලෙ ඔය සොපින් මලු එහෙම තිබ්බෙ නෑ. 

ඉතිං ආයම සල්ලි හොයාගෙන බිල්ඩිම අහවරක් කරන කල් ඔතන තිබ්බෙ බවුන්ඩේසම විතරක් හින්ද ඒ සිද්දිය සිහිවෙන්ට තමයි ඕකට සිරි ලන්කා පදනං ආයතනය කියල නම දැම්මයි කියන්නෙ.

හරි හරි දැං එමුකො කතන්දරේට..ඉතිං ඇලිස් අම්ම ඇවිල්ල දුවගෙන් කිසිම ආරංචියක් නැති විස්තරේ කියල ඇඬුව දෙඩුව කියල මම කලින් කිව්වනෙ.

"ඔව්,...දැං ඔය ඇවිල්ල ඉන්නෙ ඒ ළමය වැඩකරන ගෙදරට මෙහෙං කෝල් එකක් අරංවත් බලන්ටෙයි කියල..කමක් නෑ නේද? ඉන්ටර්නැෂනල් හින්ද ගානනං ටිකක් වැඩි වෙයි... " ඈ මා දිහා බලල ඇහුව..

"හ්ම්ම්ම්..කමක් නෑ...අසරණ මිනිස්සුනෙ...අනික කරදරයක් වෙලා තියන වෙලාවක්නෙ.."

"ඔව් අනේ මමත් හිතුවෙ එහෙම තමයි.."

"ඒ උනාට මම හිතන්නෙ නෑ මේ වෙලාවෙ කෝල් එකක් ගත්තට වැඩක් වෙයි කියල.."

"ඇයි ඒ?"

"එහෙ වෙලාව මෙහෙට වඩා වෙනස්නෙ අනේ.."

"අප්පටසිරි එහෙමත් එකක් නේද?"

"ඔව්..දැං වෙලාව හතට කාලයිනෙ" මම ඔරලෝසුව දිහා බලල කිව්ව."මම හිතන්නෙ ඔය මිඩ්ල් ඊස්ට් රටවල්වල වෙලාව අපිට වඩා පැය තුනක් විතර පස්සෙං ඉන්නෙ.."

එංගලන්තෙ අපිට වඩා පැය පහමාරක් පස්සෙං ඉන්නෙ කියල නම් මම ඒ කාලෙ ඉඳලම දන්නව. ඇයි ඉතිං ක්‍රිකට් තරඟ විස්තර ප්‍රචාර වෙලාවට අහන්ට නම් ඒ ඒ රටවල්වල වෙලාවෙ වෙනස්කම් ගැන මනා අවබෝදයකින් ඉන්නම වෙනව. 

ඕස්ට්‍රේලියාවෙ බටහිර වෙරළෙ ඔය පර්ත් එහෙම ගත්තම අපිට වඩා පැය 3 1/2 වගෙ ගානක් ඉස්සරහින් ඉන්නෙ. එතකොට නැගෙනහිර වෙරලෙ නගර නම් මට මතක විදිහට පැය පහමාරක් ඉස්සරහින්. මෙල්බර්න්, සිඩ්නි ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන්... නවසීලන්තය ගත්තොත් පැය හයාමාරක් හෝ හතක්. ඒ එක්කම ලෝකෙ අනික් පැත්තෙ වෙස්ට් ඉන්ඩීස් ගත්තොත් එහේ වෙලාව පැය 10 හෝ 10 1/2 අපිට වඩා පස්සෙන්. කිංග්ස්ටන්, බාබඩෝස්, පෝට් ඔෆ් ස්පේන්, ජෝජ්ටවුන්..

හරි හරි ඒ කාලෙ එක්කො මහ රෑවෙනකල් හෝ උදේ පාන්දර එලාම් එක තියල නැඟිටල හෝ පට්ට සීතලේ ඉහිං කනිං හද්ද පරණ බුලංකේට්ටුවකුත් පොරවගෙන මැච් අහපු විස්තර ආයම දවසක සවිස්තරව කියන්නං. අද ඒකට කාලය නෙවෙයි. කාලෝ නහී අයංතේ...

"එතකොට කීයට විතරද ඇලිස් අම්මගෙ කෝල් එක ගන්ට හොඳ?" ඈ ඇහුව. 

"ම්ම්ම්ම්..මෙහෙම කරමු මට හිතෙන විදිහට පැය තුනක් වගෙ ඇති ඔය මිඩ්ල් ඊස්ට් වලයි මෙහෙයි වෙලාවෙ වෙනස. අනික අද සිකුරාදනෙ..මම දන්න විදිහට එහෙ අද නිවාඩු දවසක්. එතකොට ඔය මිනිස්සු උදෙම්ම නැඟිටින එකක් නෑ. අපි හිතමු එහෙ වෙලාව උදේ දහයට වගෙ. ඒ කියන්නෙ මෙහෙ වෙලාව එකට වගෙ. ඇලිස් අම්මට කියන්ට ඒ වගෙ වෙලාවට එන්ටෙයි කියල"

"හරි එහෙම හොඳයි මම කියන්නම්කො.." ඈ නැඟිටල කාමරෙන් එලියට ගියා. 

කොහොම හරි ඒ කිව්ව විදිහට එදා දවල් වෙලා ඇලිස් අම්ම දුව කලින් දවසක දීල තිබ්බ නොම්මරේට කෝල් එකක් ගත්ත. පැය දෙකක් වගෙ ඇතුලත විනාඩි පහලවෙන් පහලවට වගෙ කෝල් ගත්තත් එහෙ රිං වෙනව විතරයි ඇහෙන්නෙ..කිසිම ප්‍රතිචාරයක් නොමැත.

අන්තිමට කොහොම හරි ඇලිස් අම්ම ඉකි ගගහම යන්ට ගියා..

"අනේ දෙයියා මට තේරෙන්නෙ නෑ මොනව කරන්නදෙයි කියල. මම ඉතිං මේ දේස දීපංකරේකට එහා ඉන්න ඒ ළමයට මොකක් උනාදැයි කියල කිසිම හෝඩුවාවක්වත් නැතුව කොහොමද දෙයියනේ හුස්මක් කටක් අරගෙන සැනසිල්ලෙ ඉන්නෙ?"

යන්ට කලින් අම්මගෙ අත්දෙක අල්ලගෙන අඬලයි ඒ අසරණ මනුස්සය යන්ට ගියේ. 

"පව් නේද?" ඇලිස් අම්ම විමලෙගෙ කඩේ ගාවින් එහා පැත්තෙ දෙවට දිගේ නොපෙනී යනකල් බලා ඉඳල ඈ දිග සුසුමකුත් හෙලල ආපහු ගෙට ගොඩ වුනා. 

"පව් නේන්නම්.. ඒත් ඉතිං මොනවයි කියල කරන්නද?" මම එහෙම කිව්ව....."එකම දේ ඉතිං කොහොම හරි පණිවිඩයක් දීගන්ට බලන එක තමයි. නැතුව ආය ඉතිං මොකෝ මොකද උනේ කියල බලන්ට එහෙ යන්ට කියලය?" 


It could be time to say goodbye to a beloved rover.

Opportunity and Spirit arrived on Mars within days of each other, at different locations along the planet’s equator, in January 2004, equipped with instruments to study the rust-colored soil. During the Martian winter, engineers directed the rovers to north-facing slopes, so that their solar panels could soak up as much sunlight as possible each day. When one of Spirit’s wheels stopped working, it kept going by driving backwards, dragging the defunct wheel behind it.

අමරිකාවෙ නාසා ආයතනය අඟහරු ග්‍රහයා ගවේෂණය කරන්නට Opportunity සහ Spirit යන නම් වලින් හැඳින්වුනු ජංගම රථ දෙක (මෙව්වා මේ රෝද හයක් තියෙන පොඩි මෝටර් රථ වගෙ එව්ව. ගොල්ෆ් ගහද්දි ගොල්ෆ් පිට්ටනියෙ එහා මෙහා යන්ට පාවිච්චි කරන්නෙ අර ගොල්ෆ් කාර්ට් කියල වාහන ජාතියක්. අන්න ඒ සයිස් කියල තමයි කියන්නෙ) එහෙට පිටත් කරල ඇරියෙ 2003 අවුරුද්දෙ අන්තිම කාලෙ. 2004 ජනවාරියෙ ඒ රථ දෙක අඟහරුගෙ සමකය ආසන්න ස්ථාන දෙකකට සාර්ථකව ගොඩ බැස්ස.


මේ රෝවර් යැවීමේ ප්‍රධාන පරමාර්ථය වුනේ අඟහරුගේ රත් පැහැති පස් පරීක්ෂා කිරීම සහ ඒ පිබඳව අධ්‍යයනය කිරීම. මේ රථ ක්‍රියා කරන්නෙ සූර්ය කෝෂ වලින් ලබාගන්නා විදුලියෙන්. 

අඟහරු පෘථිවියට වඩා සූර්යයාට දුරින් පිහිටීම නිසා ලැබෙන හිරු එළිය අඩුයි. අඟහරුගෙ ශිශිරකාලෙදි කොහොමත් බොහොම සීමා සහිත හිරු එළිය ප්‍රමාණයක් තමයි ලැබෙන්නෙ. ඉතිං නාසා ආයතනයෙ විද්‍යාඥයො කලේ අඟහරුගෙ ශිශිරයෙදි මේ රථ අඟහරුගෙ කඳුකර ප්‍රදේශ වලට යොමු කලා මොකද එතකොට ඒවට පුලුවන් ලැබෙන දුර්වල හිරු එළිය උපරිම ප්‍රමාණයක් උරාගන්ට. 

කොහොම හරි මේ අතර ස්පිරිට් රථයෙ දකුණුපස ඉදිරි රෝදය අක්‍රිය වුනා. ඒ 2006 අවුරුද්දෙ. ඊට පස්සෙ නාසා ආයතනයෙ ඉඳල ඒ රථ මෙහෙයවන උදවිය කලේ ස්පිරිට් රථය පසුපසට ධාවනය කරවීමයි. දැන් ඒ අක්‍රිය රෝදය නිකම්ම පස්සෙන් ඇදීගෙන එනව විතරයි. ඒත් ඒ වගෙ දුෂ්කරතා මධ්‍යයෙ උනත් අමාරුවෙන් හරි ස්පිරිට් ඉස්සරහටම ගියා.

මේ රථ මුලින්ම නිෂ්පාදනය කරද්දි අපේක්ෂා කලේ උපරිම දවස් 90 වගෙ කාලයක් ක්‍රියා කරයි කියලයි. ඒත් 2006 වෙනකොට ස්පිරිට් රෝවරය අවුරුදු දෙකක් අඟහරු ගවේෂණයෙ යෙදිල තියනව. ඒ නිසා දුෂ්කර පරිසරයක ඒ සා දීර්ඝ කාලයක් කිසිදු විවේකයක් නොමැතිව ගවේෂණයෙහි යෙදීම තමයි අර රෝදය අක්‍රිය වීමට හේතු වෙන්ට ඇති කියල නාසා එකේ කට්ටිය කියන්නෙ.

හැබැයි ඉතිං එහෙම බැලුවම අනික් රෝද පහත් ඒ විදිහටම වැඩ කලානෙ. 

"එතකොට හා මොකද එව්වට ආබාධයක් නැත්තෙ?" 

දෙයියම්ප නාසා එකේ ලොක්කො ඔය කතාව කියපු පුවත්පත් සාකච්ඡාවට මම ගියානම් මම අත උස්සල උඩපැනල නැඟිටල එහෙම අහන එකත් අහනව. නෑ මං අහන්නෙ එහෙම ගැටලුවක් මතු වෙන්නෙ නැද්ද තර්කානුකූලව හිතනකොට...හෙහ්..හෙහ්..එව්ව කොහෙද අපිත් එක්ක? නාසා එකේ ලුණු ගොරක මදි අපිව තම්බන්ට..අන්න එහෙමයි අපි...

"දොස්තර මහත්තයො මගෙ මේ දනිහෙ හිටපු ගමන් එනවනෙ ඉවසන්ට බැරි කැක්කුමක්…"

"කොයි දණිහෙද සීයෙ?"

"මෙන්න මේ වම් දණිහෙ මහත්තයො.."

"හ්ම්ම්ම්..ඉන්ට අපි බලමුකො..දැං සීයගෙ වයස කීයක් වෙනවද? "

"මට මේ ලබන පොසොන් මහට අවුරුදු අසූ හතක් මහත්තයො.."

"ආ...හරි හරි..මම හිතන්නෙ ඔය දණිහෙ කැක්කුම ඇවිල්ල වයස හින්ද එන එකක්.. ඒක එච්චර ගණං ගන්ට එපා හොඳද?"

"හුහ්..එහෙම වෙන්නෙ කොහොමද මහත්තයො?..මගෙ දකුණු දණිහටත් ඒ වයසමනෙ..කෝ ඒකෙ නැහැනෙ එහෙම කිසිම අමාරුවක්.."

"ඈ???..."

හැබැයි ඉතිං එක රෝදෙකුත් අද්දගෙන පස්සෙං පස්සට යමිං ගමං හරි තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කරපු ස්පිරිට් මල්ලිට 2009 අවුරුද්දෙ හරිම ඇබැද්දියක් වුනා. කොරේ පිටට මරේ කිව්වැහෙ අඟහරු මතුපිට හයියට වගෙ පෙනුන පස් තට්ටුවක් කඩාගෙන ස්පිරිට් මල්ලි ඊට යටින් තිබ්බ වැලි වගෙ සිනිඳු පාෂාණමය ද්‍රව්‍යයකින් පිරිල තිබ්බ වලක් වගෙ එකකට වැටිල එරුන.

ඉතිං මොකේදැයි දං වළඳන්නෙ? සයින්ද පීස් සකබෝනා කිව්වලු. ලොකු හමුදුරුවනේ හරි වැඩක් උනානේ පාත්තරෙ හිලක් උනානෙ..

ස්පිරිට් මල්ලිට මේ ජංජාලෙ වෙලා තියනවයි කියන්නෙ 2009 අප්‍රේල් 23 වෙනිද...ඊලඟ අවුරුද්දෙ ඒ කිව්වෙ 2010 මුල් මාස දෙක තුන වෙනකනුත් නාසා එකේ කට්ටිය ෆුල් භක්තිය දීල දහිරි දාල තියනව කොහොම හරි ස්පිරිට් මල්ලිව ගොඩ ගන්ට. ඒත් අර එක රෝදයක් අක්‍රිය වෙලා හින්ද වැඩේ සාර්ථක වෙලා නැහැ.

"අපි කොහොමත් දැනගෙන හිටිය ශිශිරෙ උදාවෙන්ට කලින් ස්පිරිට් ගොඩ අරගෙන හොඳට ඉර එළිය ලැබෙන කඳුකර ප්‍රදේශයකට අරගෙන යන්ට බැරි උනොත් ඔක්කොම හබක් තමයි කියල...." නාසා එකේ ස්පිරිට් සහ ඔපචුනිටි රෝවර් ව්‍යාපෘතියෙ ප්‍රධානියා එහෙම කිව්ව. "ඒ කියන්නෙ ඔය එරිල තියෙන තැනම ශිශිරය ගත කරන්ට සිද්ද වුනොත් ඒ තමයි ස්පිරිට්ගෙ අන්තිම ශිශිරය..."

කොහොම හරි නාසා කට්ටිය 2011 මැයි මාසෙ වෙනකල් උත්සාහ කරල තියනව ස්පිරිට් මල්ලිව අවදි කරවන්ට. ප්‍රමාණවත් හිරු එළිය ප්‍රමාණයක් නොලැබුනාම ස්වංක්‍රීයව දැඩි නිද්‍රාවකට පිවිසෙන්ට (Hibernate) තමයි ස්පිරිට් සහ ඔපචුනිටි දෙකම ප්‍රෝග්‍රම් කරල තියෙන්නෙ. 

ඒ හින්ද නාසා කට්ටිය හිතුවෙ ශිශිරයෙන් පස්සෙ එළඹෙන වසන්තයෙදි ආයමත් හිරු එළියෙන් Solar panels නැහැවුනහම ස්පිරිට් ඇඟමැලි කඩල අවදි වෙලා "හලෝ අයියලා කොහොමද?... ඔන්න මම නැඟිට්ටා ඉතිං මොකද මම දැං කරන්ට ඕන? මොනවද මගෙ අලුත් රාජකාරි?" කියල අහල නාසා එකට පණිවිඩයක් එවයි කියල.

NASA has sent its last plea to the silent rover Spirit, mired in a sand trap on the surface of Mars.

"Please phone home…."

With that, the space agency ended its efforts Wednesday to contact the workhorse robot geologist, which has been unresponsive for more than a year. Rather than spend time and money hanging onto faint hope, mission managers decided to turn their focus on Spirit's healthy twin Opportunity and prepare for the upcoming launch of the next Mars mega-rover.

ඒත් අවුරුද්දකටත් වැඩි කාලයක් ස්පිරිට් මල්ලිගෙන් හාවක් හූවක් නැති හින්ද 2011 මැයි මාසෙ නිල වශයෙන් ආයම ස්පිරිට් එක්ක සම්බන්ධ වෙන්න ගන්න උත්සාහයක් නසා ආයතනය අතෑරල දාල. දුකයි තමයි. ඒත් දෙයියනේ මොකද ඉතිං වෙන කරන්නෙ? 

"මොනවයි කියල කරන්නද මහත්තය? දැං මාස තුනකටත් කිට්ටු වෙන්ට ආව. මේ ළමයගෙන් කිසිම කිසි පණිවිඩයක් නැහැනෙ. ආයම මෙහෙට ඇවිල්ල මහත්තයලට කරදර කරන එකේ තේරුමකුත් නෑනෙ. මම ඔන්න ඔහෙ පන්සලට මලක් පහනක් පූජ කරල හාමුදුරුවන්ට දානයක් දීල හිත හදාගන්නව. මේක ඒ ළමයගෙයි මගෙයි දෙන්නගෙ පූරුවෙ කරුමයක් වෙන්න ඇති...."

"එහෙමම කියන්නත් එපා ඇලිස් අම්ම..අපි තව ටිකක් උත්සාහ කරල බලමු…" මම ඒ විදිහට කිව්ව උනාට ඒ ඒ හැටි විස්වාසෙකින් කියපු වචන කීපයක් නම් නෙවෙයි.

ස්පිරිට් මල්ලි වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කරනවනම් මරණයට හේතුව කියල ලියන්න වෙන්නෙ "ශිශිරයේදී දැඩි නිද්‍රාවට එළඹ යලි අවදි නොවීම මිය ගියේය" කියල තමයි.

එතකොට 2011 අවුරුද්දෙ ඉඳල ස්පිරිට් මල්ලි නිල වශයෙන් මිය ගියා කියලයි සැලකෙන්නෙ. ඒත් ස්පිරිට්ගෙ නිවුන් සහෝදරිය ඔපචුනිටි මේ පහුගිය අවුරුද්දෙ ජූනි වෙනකල් බොහොම හොඳට අඟහරු ලෝකෙ ජීවත් වුනා. සෙල්ෆි ගත්ත. උපන් දිනේට තමන්ටම හැපි බර්ත්ඩේ කියල කියාගත්ත. ඔපීගෙ උපන්දිනේ කියල සැලකෙන්නෙ එයා අඟහරු ලෝකෙට ගොඩ බැහැපු දිනේ. ඒ වගේම බොහොම අපූරු අඟහරු ඡායාරූප දහස් ගාණක් අරගෙන පෘථිවියට එව්ව. පස් සහ පාෂාණ සාම්පල මහ ගොඩක් අරගත්ත.

ඒත් All good things must come to an end eventually ....කිව්ව වගෙ 2018 ජූනි මාසෙ මුළු අඟහරු ග්‍රහයම වහගෙන මහ විසාල දූවිලි කුණාටුවක් ඇතිවුනා. ඔය මහා කුණාටුව හින්ද වියයුතු ලෙසම ඔපීගෙ බැටරි බැහැල ඒ යෝදි  ප්‍රෝග්‍රම් කරල තිබ්බ විදිහට හයිබර්නේට් මෝඩ් එකට ඇන්ටර් ද ඩ්‍රැගන් වුනා. අර "බට්ටි ලව්" කියන්නෙ අන්න ඒක...

චණ්ඩ මාරුතය සැප්තැම්බර් මාසෙ වෙනකල්ම පැවතුනා. සැප්තැම්බර් මාසෙ අග වෙනකොට තමයි යම්තමට ඉරු එළිය ඩිංගක් අඟහරු මතට වැටෙන්ට ගත්තෙ.

නාසා විද්‍යාඥයො හිතුවෙ ඉර එළිය වැටෙනකොට ඔපීගෙ බැටරි චාජ්වෙලා ඒ අම්මණ්ඩි ඇඟ මැලි කඩල නැඟිටල එහෙම "හලෝ ආයුබෝවන් ඔබ සැමට..." කියල නාසා එකට පණිවිඩයක් එවයි කියල. 

ඒත් කුණාටුව පහවෙලා ගිහිල්ල මාසයක් දෙකක් යනකනුත් ඔපීගෙන් හාවක් හූවක් නෑ.. ඒ පාර එයාල හිතුව සූර්ය කෝෂවල මතුපිට දූවිලි තට්ටු තට්ටු බැඳිල ඇතිය ඒ හින්දය බැටරි චාජ් නොවෙන්නෙ. මේ කාලෙ අඟහරු මතුපිට තද සුළං තියෙන හින්ද ඒ වගෙ සුළඟකින් දූවිලි ගහගෙන ගියාම ආයම ඔපී අවදි වෙයි කියල.

ම්හු ඒත් එහෙම උනේ නැහැ. ඒ හින්ද නාසා ආයතනයෙ විද්‍යාඥයො මේ පහුගිය සතියෙ අවසාන උපදෙස් නිකුත් කලා ඔපචුනිටිට. 

"Please call home..." 

බොහෝවිට ඔපචුනිටිට ඒ පණිවිඩ ලැබෙනව ඇති ඒත් ආපහු උත්තරයක් දීගන්ට බැරුව ඇති වගෙ කියලයි කියන්නෙ. අර කියන්නෙ පූර්ණ අකර්මණ්‍යත්වයට පත්වුනාය කියල. අන්න එහෙම. 

මොනව කරන්නද ඉතිං නැද්ද? ජීවිතේ එහෙම තමයි. මිනිස්සුන්ටත් පොදුයි. සත්තුන්ටත් පොදුයි. ගහකොළ වලටත් පොදුයි. ඒ වගේම රෝබෝ රෝවර් රථවලටත් අනිත්‍යය කියන ධර්මතාවය ඒ විදිහටම පොදුයි.

2024 අවුරුද්දෙ වගෙ අර ඊලන් මස්ක් ගොයියගෙ ස්පේස් එක්ස් ආයතනය ලෑස්ති වෙනවලු අඟහරුවල ජනාවාසයක් පිහිටුවන්ට. අද මම දැක්ක මනුස්සය කියල තිබ්බ දැනට ඇස්තමේන්තු කරල තියන විදිහට එක්කෙනෙකුට Earth to Mars රිටර්න් ටිකට් එකක් ඩොලර් ලක්ෂ පහක් වගෙ වෙයි කියල. 

මට කියන්න ඕන වුනේ කොහොමද ඔය ගිය ගවේෂක කණ්ඩායමක් ස්පිරිට් මල්ලියි ඔපචුනිටි නංගියි හොයාගෙන ගිහිල්ල එයාලගෙ බැටරි එහෙම චාජ් කරල අඩුපාඩු රෙපයාර් කරල නැඟිට්ටවල ගත්තනම් එහෙම කියල. "මේ මොක්කුද බොලේ මේ?..." කියල අහයිද දන්නෙ නෑ ස්පිරිට් මල්ලි ඇහැරිය ගමන්ම ..හෙහ්..හෙහ්..

Well I hope one of the explorers meeting opportunity for the first time would say "Ms. Opportunity I presume…" as Herbert Stanley said famously "Dr. Livingstone I presume…"

PS - අර අඟහරු ගඩොල් හොයාගත්තෙ මේ දෙන්නම නෙවෙයි. ඒක වෙනම රෝවර් එකක් නම කියුරියෝසිටි. ඒක අඟහරු ලෝකෙට ගියේ මෙයාලට පස්සෙ 2012 අවුරුද්දෙ. කියුරියෝසිටි ගොයියට ඉර එළිය තිබ්බත් එකයි නැතත් එකයි. උන්දැ වැඩ කරන්නෙ න්‍යාෂ්ඨික බලයෙන්.

PPS - මම මේ කතාව ලියද්දි මට මතක් වුනා අඩේ ඇලිස් අම්මගෙ දුවට මොකක් උනාද කියල මට ඊට පස්සෙ හොයල බලන්ටත් බැරි වුනානෙව. අපෙ උන්දැ දන්නවද දන්නෙ නෑ අහල බලන්ට ඕන කියල. පෙරෙයිද රෑ කතා කරද්දි ඔය වල්පල් කියවල අහක වෙලා මම ඔය ගැන ඇහුව.

"මේ ඒයි මතකද අර ඇලිස් අම්ම? ඔයගොල්ලන්ගෙ ගමේ…."

"ඔව් ඔව්..ඉතිං?"

"මතකද අර අවුරුදු ගානකට ඉස්සෙල්ල අපි ගෙදරට ටෙලිෆෝන් ගත්තු අලුත ඔය මනුස්සය ආව දුව ඩුබායිද කොහෙද ගිහිල්ල ආරංචියක් නෑ කියල කෝල් ගන්ට.."

"හැබෑටම ඔව් නේන්නං…"

"මොකද ඒකට උනේ? දුව ආපහු ආවද මොකද? ඔයා දන්නෙ නැද්ද ඒ ගැන මොකවත් ආරංචියක්.."

"මතකනම් නෑ ඒයි ..දැනගන්ට වෙන්නෙ චූටි අක්කගෙන් තමයි…"

ඈගෙ අම්මයි අප්පච්චියි දෙන්නම මිය පරලොව ගිහිල්ලනෙ. එයයිලගෙ මහ ගෙදර දැන් ඉන්නෙ එයයිගෙ චූටි අක්කයි එයාගෙ මහත්තය සහ දරු මල්ලො..

"හරි එහෙනම් අහල කියන්නකො.."

"මොකෝ මේ හදිස්සියෙ ඕක මතක් වුනේ? "

"නෑ මේ නිකමට වගේ මතක් වුනා.."

"හිහ්..හිහ්..නිකමට නම් වෙන්ට බෑ පුතෝ..මම කියන්ටද? අර ඔයයිගෙ බ්ලොග් එකේ මොකක් හරි රාජකාරියකට නේද ඔය අහන්නෙ? "

"ඔව්..ඔව්..ඔව්...එහෙම එකකට තමයි..දෙයියම්ප ඔහෙත් එක්ක බෑ නෙව කිසි දෙයක් කරන්ට…" මම හිනාවෙලා ටෙලිෆෝන් එක කට් කලා.

"ආ..මේ අර ඇලිස් අම්මගෙ දුවගෙ විස්තරේ මම අක්කගෙන් ඇහුව.." ඊයෙ කතාකරද්දි ඈ ඉස්සෙල්ලම කිව්වෙ එහෙමයි.

"ආ..ඇත්තද ? මොකද වෙලා තියෙන්නෙ?"

"ඒ දවස්වලම ඊට මාස හතර පහකට පස්සෙ ඒ කෙල්ල ගෙදර ඇවිල්ල.."

"මොකද වෙලා තියෙන්නෙ?"

"කොහොම හරි ඒ ගියපු ගෙදර ඉන්ට බෑ කරදරයි කියල මෙයා එතනින් හොරෙන්ම ගිහිල්ල... අන්තිමට එම්බසියෙ තමයි නතර වෙලා තියෙන්නෙ. ඊට පස්සෙ එතනින් ලංකාවට එවල…."

"ඉතිං දැං ගමේ ඉන්නවද? "

"නෑ කසාද බැඳල ගිහිල්ල ඔය අලවතුගොඩ දිහාවෙලු ඉන්නෙ…"

"ආ..එහෙනම් ඒකත් ලොකු දෙයක්..කරදරයක් නැතුව හොඳින් ඉන්නවනම් ඒ ඇති මම කිව්ව.."

"ඔව් අනේ ඒක තමයි.."

ඉතිං මට හිතෙන්නෙ ඒක සුබ ලකුණක්. ඇලිස් අම්මගෙ දුවත් කරදරයක් නැතුව ආවනම් ඔපචුනිටිටත් කරදරයක් නැතුව ඇති. අඩු ගනනෙ අපි එහෙම ප්‍රාර්ථනා කරමු හා ද?

PPPS -  Opportunity එකට වුනේ මොකක්ද කියල මගෙ තියනව වෙනම තියරි එකක්..ඒ ගැන හෙට අනිද්දම ලියන්නම්කො හොඳේ?...:)

Friday, February 8, 2019

626. පසුබිම් කතාවක් - ක්‍රිකට් ලෝක ශූරතාව, ෆීලියාස් ෆොග් සහ ඇලිස් අම්මා...

අපි කසාද බැඳල රජයේ නිල නිවාසයක පදිංචියට ආව. 

මම එදවස වැඩ කලේ මහවැලි අධිකාරියෙ. මුලින්ම බකමූණට කිලෝ මීටර් අටක් වගෙ ගිරිතලේ පැත්තට යනකොට හම්බවෙන අත්තනකඩවල පදිංචි වෙලා හිටිය අවුරුද්දකට කිට්ටු වෙන්ට. ඊට පස්සෙ ආව බකමූණෙ පදිංචියට. 96 අවුරුද්දෙ පෙබරවාරි මාර්තු මාසවල පැවැත්වුන ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය එහෙම මම බැලුවෙ බකමූණෙදි. ඉන්දියාව එක්ක ගහපු සෙමි ෆයිනල් එක බැලුවෙ අපෙ යාලුවෙකුගෙ ක්වාටර්ස් එකට කට්ටියම එකතුවෙලා. සෙමි ෆයිනල් එක ගැහැව්වෙ සතියෙ බදාද වගෙ දවසක. ඒත් එක්කම ඊලඟ ඉරිද ගහපු ෆයිනල් එක බැලුවෙ අපෙ ගෙදර ගිහිල්ල.


ගමරාළ තමයි ඒ කාලෙ මහවැලි ඇමති...හෙහ්..හෙහ්..අම්මප කවුද ඒ කාලෙ හිතුවෙ මේ කයිතාඩුවට මෙහෙම කලක් යාවිය කියල. එක අතකට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. මිනිස්සුන්ගෙ දෛවය කියන එක එහෙම තමයි...

හරි ගමය ගැන ඒ ඇති. ඉතිං අපි එහෙම ක්වාටර්ස් එකේ හිටිය අවුරුදු හතරකුත් මාස දෙකක් වගෙ කාලයක්. ඔහොම ඉන්දැද්දි හැම සති අන්තයකම ගෙදර ගියේ නම් නෑ. ගෙවල් දෙකකට යන්ට එපාය. එහේලගෙ ගෙදර සහ අපේ ගෙදර. සති තුනකට හතරකට වගෙ සැරයක් තමයි එහේලගෙ ගෙදර යැවෙන්නෙ. සතියක් කොහෙවත්ම නොගිහින් විවේක සුවයෙන් වැඩ වාසය කරල තව සතියක් අපේ ගෙදර ගිහිල්ල ආය ඊලඟ සතියෙ එහේලගෙ ගෙදර යන්ට යොදා ගත්තම රොටේෂන් එකේ අනු පිළිවෙල අනුව එහෙමයි දින වකවානු වැටෙන්නෙ.

ඔය ගැන එහේගෙ හිතේ යම් දුකක් කණගාටුවක් වගෙ තියනවයි කියල මට තේරුණා. ඒ හින්ද දවසක මම ඔය ගැන එහේගෙන් ඇහුව.

"ඔව් අනේ අම්ම ගැන මට දුකයි...අම්මට එච්චර සනීපෙකුත් නැහැනෙ.." උන්දැ කිව්ව මූණත් අටපට්ටම් කරගෙන. ඒ යෝදි එයාලගෙ අම්මට පණ ඇරල හිටියෙ. "සතියක් ගානෙ නොගියට නම් කමක් නෑ. කතා බහ කරල සැපදුක් බලාගන්ට විදියක් තිබ්බනම් ඒත් ඇති"

"ඉතිං කොහොමද කතා කරන්නෙ? ටෙලිෆෝන් ඒ අහලකටවත් තියන එකක්ය?" මම කිව්ව.

ඒ කාලෙ එයයිලගෙ ගෙවල්වලට හූ හත අටකට මෙහායින් වගෙ තමයි මාතලේ ඉඳල යන ටෙලිෆෝන් ලයින් එක නතර වෙලා තිබ්බෙ. චන්ද කාලෙට ඔය ටෙලිෆෝන් ලයින් එක ඇදල ටෙලිෆෝන් දෙන කතාව ඉස්ටේජ් එකක් ඉස්ටේජ් එකක් ගානෙ බෙරිහන් දීල කිව්වට චන්දෙ දිනුවට පස්සෙ එව්ව එච්චරම තමයි.

ඔය දවස්වල මොබයිල් ෆෝන් කියන එව්වත් අධි සුඛෝපභෝගී භාණ්ඩයක්. මොබයිල් කියන එව්ව ඇවිල්ලත් ඔන්නම් අවුරුදු හතර පහක් ඇති.සෙල්ටෙල් විතරමද කොහෙද තිබ්බෙත්. එව්වත් ඔය කොළඹ නුවර එහෙම විතරයි.

ඉතින් තිබ්බ එකම ප්‍රතිකර්මය ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙලා "Waiting list" එක නොහොත් පොරොත්තු ලේඛනයට නම දාගෙන බලා ඉන්න එක. ඉතිං කොහොමින් කොහොමින් හරි ඒ දවස්වලම ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙච්චි එක ටෙලිෆෝන් හම්බවෙනකොට මම මහවැලියෙන් අස්වෙලා අපි දෙන්න බකමූණෙං ඇවිල්ලත් එක්ක. 

එහෙම තමයි එව්වයෙ හැටි. ඉතිං ඇත්තම කියතොත් මම මේ කියන්ට යන්නෙ වෙනම කතාවක්. ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම තමයි මෙච්චර වෙලා මේ කලේ..හෙහ්..හෙහ්..දන්නවනෙ මයෙ පිටිය සකස් කිරීම කොහොමද කියල නේද?

ටෙලිෆෝන් එකත් ගත්තයි කියමුකො. මම කිව්ව අර හූ හත අටක දුර අපියි තව අහල පහල ගෙවල් තුන හතරක උදවියයි එකතුවෙලා හිට කණු හතකටද අටකටද කොහෙද ගානකට වියදම් දීල ලයින් එක ගත්ත. ටෙලිෆෝන් ගත්තම ඔන්න ඔය අහල ගං හතක ඉන්න ඈයො එන්ට ගත්ත හදිස්සියට කෝල් ගන්ට. ආහම බෑ කියන්ටත් බෑ. ගමක ඉන්නකොට එහෙම තමයි. යම් යම් කැපකිරීම් කරන්ට වෙනව. අපි දෙන්න තමයි දිගටම වගෙ බිල ගෙව්වෙ."අනේ ඔන්න ඔහෙ කමක් නෑ දුප්පත් මිනිස්සු නෙව..." කියල හිතල අපි දෙන්න බොහොම සද්බාවයෙන් යුතුව ඒ වැඩේ කරගෙන ආව.

ඔන්න මේ සිද්ධිය වුනේ අපි දෙන්න එහෙ හිටපු සති අන්තයක. එයයිලගෙ ගෙදර චිරාගත පුරුද්දක් තියනව අම්මල දුවල ඔක්කොමල උදේම නැඟිටල තේ එහෙම හදාගෙන බොන ගමන් කුස්සියට වෙලා මහා සාකච්චා සබාවක් පවත්වන එක. ඒ සාකච්චා සබාව පවත්වන්ට ගත්තට පස්සෙ ආය ගෙදර වෙන කිසි කෙනෙකුට නින්දක් එහෙම නෑ. ඒ දවස්වල එයයිලගෙ ගෙදර සිවිලිං ගහල තිබ්බෙ නෑ. ඒ හින්ද ගෙදර ඕනම තැනක කතා කරන දෙයක් වෙනත් ඕනම තැනක ඉන්න කෙනෙකුට කණ ගාව ඉඳගෙන කතා කලා වගෙ ඇහෙනව.

"අනේ දෙයියා...දැන් මාස තුනකට කිට්ටු වෙනව එක ටැලිපෝං එකක් මට දුන්නෙ නෑ...වෙනද එහෙම නෑ...කොහොමත් සිකුරාදට කතා කරන එක කතා කරනවමයි…"

කුස්සියෙං ඇහිච්චි නුපුරුදු කට හඬකට මට උදේම ඇහැරුනා. ඒ එක්කම ඇහුනෙ ඉකි ගහන අඬක්. මම ඇඳේ මුණිං අතට පෙරලිලා හිටපු එක උඩුබැලි අතට හැරිල ඔලුව හරවල බැලුව. එයයි නෑ ඇඳේ..කාමරේ අල්මාරියත් එක්කම ගහල තිබ්බ ඔර්ලෝසුවෙ වෙලාව හය හමාරයි.

"හරි හරි ඇලිස් අම්ම කලබල නැතුව ඉන්නකො. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියල " ඒ එයයිගෙ කටහඬ…

"තව මොනව බලන්නද දෙයියා..මම දන්නව මොකක් හරි කරදරයක් කියල ..ආය ඒකෙ දෙකක් නෑ…." ආයම හෙමීට අඬනව ඇහුන.

මම එහෙම්මම අත්දෙක ඉහ පිටිපස්සෙ තියාගෙන ඇඳේ හොඳට දිගාවුනා. නිදියනකොට මගේ ප්‍රියතම ඉරියව්ව ඒක. හැබැයි ඇහැරෙන කොට අත්දෙක හිරිවැටිල කියන්නෙ ආය ලේ ගමනාගමනය යතා තත්වයට පත්වෙන්ට මිනිත්තු දෙක තුනක්වත් යනව. එතකල් දෙහිකටු අනින්නැහෙ දැනෙන්නෙ....හෙහ්..හෙහ්..

යන්තමට අයම ඇහැ පියවේගන ආව විතරයි දොර රෙද්ද මෑත් කරගෙන ඈ කාමරේට එබුන. 

"ආ..ඔයා ඇහැරියද? තේ එකක් හදන්නද?"

"එපා මම දත් මැදලනෙ බොන්නෙ....."

මම උදේ තේ එක බොන්නෙ දත් මැදල ඉවර වෙලා.  එහෙම පුරුදු වුනේ මට ඔය "George Washington" නොහොත් දිව මැදිල්ල කියන්නෙ හෙණම සිරා වැඩක්. කොටින්ම "Medium scale project" එකක්  නොහොත් මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක්.

ඉතිං එහෙම ෆුල් සීරියස්ලි වොෂිංටං වැඩේ කරන්ට ගියාම වෙන්නෙ ඒ එක්කම වගෙ කෙටි කාලසීමාවක් තුල උදේ තේ එක එහෙම බීල හිටියොත් බඩුම තමයි ඔක්කොම ආයම කෙලිම්ම එලියට. ආය දෙකක් නෑ තේ කෝප්පෙම අජිත් නිවාඩ් කබ්රාල් තමයි...

"මේ ඒක නෙවෙයි කවුද අර ඇවිල්ල ඉන්නෙ? 

"කවුද?"

"අර අඬනව ඇහුනෙ...මාස ගානක් වෙනව එක ටෙලිෆෝන් කෝල් එකක් දුන්නෙ නෑ කියල කිව්වෙ.."

"ආ.. ඒ ඇලිස් අම්ම.."

"කවුද ඇලිස් අම්ම කියන්නෙ?"

"මේ අර කැකුලාවල පන්සල ගාවින් එගොඩ ගොඩේ ඉන්න අපි දන්න කෙනෙක්. අපි පොඩි කාලෙ අම්ම අසනීප උනහම එහෙම අපේ ගෙදර වැඩපල ඔක්කොම කලේ ඔය ඇලිස් අම්ම...."

"හරි...දැන් ඉතිං ඔය ඇවිල්ල ඇඬුවෙ මොකෝ?"

"එයාගෙ බාල දුව දැං අවුරුදු තුනකට වගෙ ඉස්සර අබු ඩාබිද කොහෙද ගියා රස්සාවකට.."

"ඉතිං?..."

"ඉතිං හැම සිකුරාදම වගෙ අනිවාර්යයෙන් එහෙ ඉඳල කෝල් එකක් දෙනවලු ඇලිස් අම්මට" 

"ඇලිස් අම්මලයි ගෙදරට ටෙලිෆෝන් තියනවද?" මම ෆුල් සීරියස් පිට ඇහුව. 

"විකාරද අනේ? මම කිව්වෙ පන්සල තියෙන්නෙ ඔය ඇලිස් අම්මලගෙ ගෙවල් කිට්ටුව. සිකුරාද කලින් කතා කරගත්ත වෙලාවකට පන්සලට එහෙ ඉඳල ඒ කෙල්ල කෝල් එකක් දෙනව. ඒ වෙලාවට මම හිතන්නෙ ඇලිස් අම්ම හරි එයයිගෙ මනුස්සය හරි ගිහිල්ල ඉන්නව...."

"ඉතිං දැං මොකද වෙලා තියෙන්නෙ?"

"දැං වෙලා තියෙන්නෙ මාස දෙකක වගෙ ඉඳල ඒ ළමය කතා කරල නෑ. ඇලිස් අම්ම හොඳටම බය වෙලා ඉන්නෙ..."

"ආ...එහෙමද?"

මම ඇඳෙන් නැඟිටල නිදාගන්ට ඇන්දපු මගෙ පරණ ෂර්ට් එක ගලවල අල්මාරිය මුල්ලෙ තිබ්බ කිලුටු ඇඳුම් දාන ප්ලාස්ටික් බාල්දියට දැම්ම. එයයිලගෙ ගෙවල් පැත්ත හරිම සීතලයි. රෑට කොහොමත් ෂර්ට් එකක් නෑඳ නිදියන්නම බෑ. කොහොමත් ඒ පැත්ත සීතලවට අමතරව මම ඔය කියන කාලෙ වහලට උළු හෙවිල්ලල සිවිලිං එහෙමත් නැතුව තිබ්බ හින්ද තවත් සීතලයි..පස්සෙ මේ පහුගිය කාලෙ උළු අයින් කරල ඇස්බැස්ටස් දාල සිවිලිනුත් ගැහැව්ව.

"ඔව්,...දැං ඔය ඇවිල්ල ඉන්නෙ ඒ ළමය වැඩකරන ගෙදරට මෙහෙං කෝල් එකක් අරංවත් බලන්ටෙයි කියල..කමක් නෑ නේද? ඉන්ටර්නැෂනල් හින්ද ගානනං ටිකක් වැඩි වෙයි..." ඈ මා දිහා බලල ඇහුව..

"හ්ම්ම්ම්..කමක් නෑ. අසරණ මිනිස්සුනෙ...අනික කරදරයක් වෙලා තියන වෙලාවක්නෙ.."

"ඔව් අනේ මමත් හිතුවෙ එහෙම තමයි.."

"ඒ උනාට මම හිතන්නෙ නෑ මේ වෙලාවෙ කෝල් එකක් ගත්තට වැඩක් වෙයි කියල.."

"ඇයි ඒ?"

"එහෙ වෙලාව මෙහෙට වඩා වෙනස්නෙ අනේ.."

"අප්පටසිරි එහෙමත් එකක් නේද?"

"ඔව්..දැං වෙලාව හතට කාලයිනෙ.." මම ඔරලෝසුව දිහා බලල කිව්ව. "මම හිතන්නෙ ඔය මිඩ්ල් ඊස්ට් රටවල්වල වෙලාව අපිට වඩා පැය තුනක් විතර පස්සෙං ඉන්නෙ.."

ලෝකෙ රටරටවල වෙලාව වෙනස් වෙන විදිහ ගැන අපිට හයේ පන්තියෙදි සමාජ අධ්‍යයනය විෂයට පණ පිහිටුවල වගෙ කියල දුන්නෙ ඒ විෂයය උගන්නපු ජයසේකර මහත්තය. අන්න නියම ගුරු දෙවිවරු. තමන් කරන රාජකාරියට අබංකව තමන් කරන්නෙ රාජකාරියක් නෙවෙයි දේව කාරියක්ය කියල හිතල ළමයින්ට උගන්නපු නියම මහත්වරු. 

(ඔය අබංක කතාව කියන්නෙ කාලෙකට ඉස්සෙල්ල ජනූගේ කතා කියල බ්ලොග් එකක් ලියපු අපේ ජානුස් ගොයිය. මීට ඔඹේ අබංක සෝමා...හෙහ්..හෙහ්.. ඒ යෝදි අපේ අර අන්දර මල්දමේත් සාමාජිකාවක්)

මම ඔය කියන ජයසේකර මහත්තය ඒ දවස්වල කියල දුන්න ලෝක ගෝලය අංශක 360 කට බෙදලයි තියෙන්නෙ ඒ එක අංශකයකට මිනිත්තු හතර ගානෙ තිබ්බම මිනිත්තු 1440ක් එනවය. ඒ මිනිත්තු 1440 / 60 = පැය 24 ක්ය. ඒ කියන්නෙ දවසක්ය. එතකොට සම්මතය හැටියට ලෝකෙ පුරා වෙලාව දක්වන්නෙ ග්‍රීනිච් මධ්‍යාහ්න රේඛාවෙ ඉඳලය. එතන තමයි 0 හැටියට ගණන් ගන්නෙය. GMT කියන්නෙ ඒකය. GMT එකට පොළවෙ අංශක 180 එහා පැත්තෙ තියන සිරස් රේඛාවට කියන්නෙ ජාත්‍යන්තර දින රේඛාව කියලය. ඒ රේඛාව ජාත්‍යන්තරව සම්මත කරගෙන තියෙන්නෙ රටක් උඩින් යන තැන් වලදි ඒ රටවල් මඟ ඇරෙන විදිහටය. ඒ එක්කම ජාත්‍යන්තර දින රේඛාව පහු කරල වමේ ඉඳල දකුණට යනවනම් දවසක් අඩුවෙනවය. ඒ වගේම දකුණෙ ඉඳල වමට යනවනම් දවසක් වැඩි වෙනවය. ඔන්න ඔය විස්තර ඔක්කොම එතුමා කියල දුන්න ආය නෑ පණ පිහිටෙව්ව වාගෙ.

ඔය ජාත්‍යන්තර දින රේඛාව ගැන ඇත්තම කිව්වොත් බොහොම දෙනෙකුට හරි අවබෝධයක් නෑ. එතනදි දවසක් එහාට මෙහාට පනින්නෙ කොහොමද? එතකොට එහෙම වෙන්නෙ කොහොමද? කියන එක බහුතරයක් උදවිය දන්නෙ නෑ. 

දැනට අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මෙහෙ තිබ්බ පොඩි සාදයකදි ඔය දින රේඛාවෙ කතාව ඇදිල ඇවිල්ල ඒකෙ තියරි එක එතන හිටපු එක පකිරින්තුවෙකුට පැහැදිලි කරන්ට ගිහිල්ල මගෙ ඔලුව නරක් උනා. කොහොමත් අපි දෙගොල්ලම දෙකක් දාලත්නෙ හිටියෙ. අන්තිමට අර හතර බීරි කතාව වගෙ වෙලා ගුටි ඇනගන්නෙ නැතුව ජාම බේරාගත්තෙ බොහොම අමාරුවෙන් ඔන්න කොටින්ම කිව්වොත්..

ආ....තව එකක් කියන්ට තියනව. ඔය ජාත්‍යන්තර දින රේඛාව ගැන අමතක වෙච්චි නිසා තව පොඩ්ඩෙන්නම් තමං අල්ලපු ඔට්ටුවකින් නිරපරාදෙ පරදින්න ගිය මනුස්සයෙක් ගැන දඔය අය දන්නවද? ඒ ඇවිල්ලා මිස්ටර් ෆීලියාස් ෆොග්. එතුමා ඉන්නෙ ජූල්ස් වර්න් නම් ප්‍රංශ ලේඛකයා ලියාපු "Around the world in 80 days" නම් වීර චාරිකා (Adventure) කතාවෙ.

ඒ කතාවෙ සිංහල පරිවර්තනයක් මම කියෙව්ව අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ තිබිල. කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ. ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල...බුද්ධදාස විතානාරච්චි එතකොට එඩ්වඩ් ජයකොඩි එහෙම අපේ ඉස්කෝලෙ කීර්තිමත් ආදි ශිෂ්‍යයො...

අර ලෝකය වටේ අසූ දවසකින් කතාව රූපවාහිනියෙ ප්‍රචාරය වුනා මට මතක විදිහට අසූව දශකයෙ අග භාගයෙ විතර. පස්පාටු කියල ප්‍රංශ ජාතික සහායකයෙක් හිටිය ෆීලියාස් ෆොග්ට. හෙණ විසාල උඩු රැවුලක් එහෙම තිබ්බ පස්පාටුට. අර "Handlebar mustache" කියන්නෙ. අන්න ඒ ජාතියෙ එකක්. සිංහලෙන් නම් බයිසිකල් හැන්ඩ්ල් උඩු රැවුල...

මේ..ළමයි..මෙහෙම කරමුද? මම මේ පසුබිම හදාගෙන හදාගෙන ආවෙ පහුගිය සතියෙ වෙච්චි ඉතාම වැදගත් සිදුවීමක් ගැන පොඩි සටහනක් ලියන්න. ඇත්තම කිව්වොත් ඉතාම වැදගත් සිද්ධියක් උනාම මම දැක්කෙ නෑ කිසිම මාධ්‍යයක ඒ ගැන එක අකුරක්වත් ලියවිලා තියෙනව. ඒක තමයි ඒකෙ අවයවය. කිසිම වැදගැම්මකට මල විකාර ගැන නම් පිටු ගනං ලියයි.පැය ගනං කියවයි. හෙහ්..හෙහ්..බලාගෙන යනකොට මම කරල තියෙන්නෙත් ඒ වගෙ එකක් නේ?..

හරි හරි ඒක මොකක් හරි..අද සිකුරාද...මට අද තියනව දිවා භෝජන සංග්‍රහයකට සබභාගි වෙන්ටත්. දිවා ආහාරය කුම් මධු සාදයක්..ඒ හින්ද මම මෙහෙම කරන්නද? අදට කතාව මේ ඇති. අනිවාර්යයෙන්ම දවස් දෙක තුනක් ඇතුලත ඇත්තටම මට ලියන්ට ඕන කරල තිබ්බ කතාව ලියල දාන්නම්ය. මොකෝ ඔහෙල කියන්නෙ? එහෙම හොඳයි නේද? හරි හරි හොඳයි හොඳයි..

පලි - පොඩි ඉඟි බිඟියක් නොහොත් "Clue"  එකක් දෙන්නං. මම ලියන්ට ආපු කතාව අර ඇලිස් අම්මගෙ කතාවට බොහොම සමානයි. ඒ කියන්නෙ බොහොම දුර බැහැරක ඉන්න ඉතාම කිට්ටු ඥාතියෙක්වගෙ කෙනෙක්ගෙන් or else හදවතට ඉතාම කිට්ටු කෙනෙක් ගෙන් දීර්ඝ කාලයක් තිස්සෙ කිසිම පණිවිඩයක් හෝ හෝඩුවාවක් නැති හින්ද උත්සාහය අතහැර දමීමක් ගැනයි මට ලියන්ට ඕමනා උනේ...

ලි මේකට දාන්ට කියල ජානුසාගෙ බ්ලොග් එකේ ලින්ක් එකක් හොයද්දි   පරණ ලියපු  බ්ලොග් පෝස්ට් එකකට මයෙ පාටකයො දාපු මරු කමෙන්ට්ස් ටිකක් හම්බ වුනා. මම අර මේ ලියන විකාර එකතු කරල පොතක් ගහන්ට හිතාගෙන ඉන්නවයි කියල කිව්වම ඒකට ආපු ප්‍රතිචාර..

Just could't resist re-posting  here ...:)

දුම දාල අරව මේව ඔක්කොම ඉවර උනාට පස්සෙ අන්තිම මොහොතෙ හරි සරෝජනී කන්ද නැග්ග මදැයි.

ඔය පොතේ අන්තර්ගතය පටං ගන්න ඉස්සෙල්ල මේකෙ කොමනේට් කරන කට්ටියගෙ අදහස් ටිකක් දාන්න වෝනිං එකක් විදියට. නැත්තං පොත කියෝන එකාටත් ICU එකේ තමයි නවතින්න වෙන්නෙ.
ReplyDelete
Replies
  1. ප්‍රසන්න,

    යස්, යස් දාන්න ඕන දැං අර සිගරට් පැකට් එකේ දානව වගේ..

    රජයේ අවවාදය - අධික රුධිර පීඩනයෙන්, ජලභීතිකාවෙන් සහ බාලක පක්ෂාඝාතයෙන් පෙලෙන්නන්ට අහිතකර විය හැක. Author's Warning - Read At Your Own Risk.
    Delete
  2. ඔහොම නෙවෙයි රවියො ඒවා දාන්ට ඕන.. දැන් ඔය paperback එකක් එහෙම ගත්තහම ඒකෙ මුල්ම පිටුවෙ දාලා තියෙන්නෙ මෙන්න මේ වගේ කෑලි..

    "The major fantasy of the decade... compulsively readable..
    -The Washington Post-

    "Such a splendid tale and such a fantostorical!"
    -Chicago Sun-Times-


    අපිත් දාමු ආන්න එහෙම කෑලි ටිකක්..

    "මූට පිස්සු නැත්තං අපට ෂෝක්!"
    -බින්දි-

    "කතාව පසෙක ලා මම නිදියෑමි. එතරම්ම උත්කෘෂ්ටය!"
    -හැලපෙ-

    "වාංපතුල දෙවන පොතේදීවත් ඒවියැයි මග බලා සිටිමු"
    -Dude-
    Delete
  3. මල් කඩන, කොස් කපන ගෑණු ළමයි ඊගාව ආත්මයේදිවත් නැවත හමුවේයැයි බලා සිටිමු.
    Delete
  4. Bura,

    " He has perfected the art of dancing around the maypole or shall I say dancing around the mulberry bush to a new height " - Bura

    " Unputdownable. I had to take it out & burn it to cinders. " - Pra Jay

    " Had to cry when I thought oh…what nonsense passes as memoirs these days" - Dude

    " I strongly recommend reading this book to anyone suffering from chronic constipation " - Thisara

    " When I reached the last page my only thought was thank God it's over" - Pathum
    Delete
  5. ප්‍රසන්න,

    ඊලඟට එන අටවෙනි ආත්මෙ ඉඳල තමයි බං ඒ කොස් කපන, මල්වලට වතුර දාන ගෑණු දරුවො ආස්සරේ කරන්න වෙන්නෙ. අපෙ උන්දැ මාව ඉසරහට එන ආත්ම හතකට බුක් කරලයි තියෙන්නෙ..:(

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...