Tuesday, November 5, 2019

643. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 5


ගලහ හන්දියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය
අසල මලින් බර වූ රබරෝසියා තුරු පෙළ....

වාර්ෂික ඉසුඹු විස්තරේ අහවරක් කරන්ට ඉස්සෙල්ල තව එක සිද්ධියක් විතරක් කියන්නං. 

දැං මම ලංකාවට ආවනෙ. ඇවිල්ල මගෙ ළඟ ටෙලිෆෝන් නොම්මර තිබ්බ මගෙ කිට්ටුම යාළු මිත්‍රයො දෙතුන් දෙනෙකුට කතා කරල කියනව ඔන්න බං මම ඇවිල්ලයි ඉන්නෙ කියල. එවුං එතකොට කරන්නෙ උං ගාව නොම්මර තියෙන අනික් එවුන්ට කතා කරල පණිවිඩේ දෙනව. එතකොට ඒ අනික් අය මට කතා කරනව. 

සාමාන්‍යයෙන් එහෙම තමයි මෙතෙක් වැඩේ වුනේ. මේ පාර කියලත් වෙනසක් නෑ  ඒ විදිහටමයි වැඩේ සිද්ධ උනේ. මම ආපු ආරංචියට බොහොම දෙනෙක් මට කතා කලා. ඒ අතර තුන් හතර දෙනෙක්  හිටිය තමන්ව අඳුන්වල දෙන්නෙ නෑ... කවුද කියල කියන්නෙ නෑ...කොමළ කරනව..

"හෙලෝ....."

"හෙලෝ ...මේ මිස්ටර් වීරසිංහද කතා කරන්නෙ?"

"ඔව්..වීරසිංහ තමයි..මේ කවුද කතා කරන්නෙ?"

"අඩේ වීරෙ..උඹට මගෙ කටහඬ අඳුරන්ට බැරිද?"

"එහෙමට මතකයක් නම් නෑනෙ..කවුද මේ?"

"බොරු නේද උඹ ඔය කියන්නෙ?"

"බොරු කියන්නෙ අහවල් රෙද්දටද බූරුවො? මට අඳුනන්ට බෑ..උඹ එක්කො නම කියපං..නැත්තං XXXXX XXXX නැතුව ෆෝන් එක තියපං.." එහෙම හිතුවට මම එහෙම කිව්වෙ නම් නෑ..කිව්වෙ මෙහෙමයි.."බොරු නෙවෙයි..මට ඔයාගෙ කටහඬ අඳුනගන්ට බෑ..කරුණා කරල කියනවද ඔය කතා කරන්නෙ කවුද කියල…"

එහෙම තදින් කිව්වමත් අහන්නැතුව තවත් ජෝගි නටන්ට ලෑස්ති වෙන එවුන් එක්කල මට ඉතිං මලම පනිනව. අම්ම මෝ නැතුව අමතන්ට තමයි ඒ වෙලාවට හිතෙන්නෙ. එකට අවුරුදු ගාණක් වැඩ කරන්ට ඇති. බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරන්ටත් ඇති. මම නෑ කියන්නෙ නෑනෙ. ඒත් දෙයියෝ සාක්කි අවුරුදු විසිපහකට තිහකට පස්සෙ උංගෙ කටහඬවල් අඳුරගන්ට  මොකෝ මගෙ වොයිස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල තියනවය? නැද්ද හා?

ඉතිං මම ආපහු මැද පෙරදිග ගියේ අගෝස්තු දාහතරවෙනිද. ඊට කලින් දවසෙ දවල් කෑමට ආරාධනා කරල තිබ්බ අපේ ප්‍රියම්බිකා තෝමෝගෙ බොහොම කිට්ටු මිතුරියකගෙ ගෙදර. ගලගෙදර කිට්ටුව. පස්සෙ දැන් ඔන්න අපි ආපහු ගෙදර එන්ට එනව කියමුකො. වැස්ස කියන්නෙ ආය නෑ පාර නොපෙනෙන තරමට වැස්ස. අනික ඊට පහුවදාද කොහෙද අන්තිම දළඳා පෙරහැර. පාරෙ ට්‍රැෆික් කියන්නෙ එක තැන විනාඩි දහය පහළව වාහන නවත්තගෙන ඉන්ට වෙනව.

දැන් ඔය කවුරුහරි වාර්ෂික නිවාඩුවට ගෙදර ගිහිල්ල ආපහු එනකොට ඔෆිස් එකේ අහල පහල ඉන්න යාලුවන්ට ඔය රසකැවිලි වගෙ මොනවහරි ගේන එක සිරිතක්. 

උඩ පේරාදෙණියෙ (උඩ පේරාදෙණියට පේරාදෙණිය කැම්පස් එක මැදින් තියන පාරෙ කිලෝ මීටර් දෙකක් වගෙ ගිහිල්ල වමට හැරිල තව කිලෝමීටර් හතරක් වගෙ යන්න ඕන) ඉන්නව අපේ උන්දැගෙ ලොකු අම්ම කෙනෙක්ගෙ පුතා. ඒ අයිය මම ආපු ආරංචියට අපේ ගෙදර එනකොට කිරි ටොෆී පැකට් දෙකක් අරගෙන ඇවිල්ල තිබ්බ. අප්පට උඩු මාරම රසයි. ඉතිං ආපහු යන්ට දවස් දෙකකට වගෙ කලින් මම අපෙ උන්දැ ඔය යනකොට මොනවහරි අරං යන චාරිත්‍රය ගැන මතක් කලා. මම කලින් ආපු හැම පාරම වගෙ ඔය මොන මොනව හරි අරගෙන ගියා කියල උන්දැට මතකයි.

"මේ දැන් ඔයා යනකොට මොනවහරි ගෙනියන්ට වෙයි නේද?"

"එහෙනං... එහෙනං...මම මේ කියන්ටමයි හිටියෙ..හෙට දිහාට නුවර ගිහිල්ල ඔය රසකැවිලි මොන මොනවයින් හරි ටික ටික අරං එන්නම්කො.."

"අර එදා උඩපේරාදෙණියෙ අයියල ගෙනාපු කිරි ටොෆී නම් ෂෝක් නේද?"

"ආ...ඒව නම් නියමයි තමයි. ෂහ්, එදා අහගන්ටවත් බැරි උනානෙ කොහෙන්ද එව්ව ගත්තෙ කියල.."

"මම ඇහුව.. ඒ ගොල්ලන්ගෙ ගෙවල් ගාව ගෙදරක හදන එව්වලු. හදල පැකට් කරල කඩ වලට දානවලු. අයිය කිව්ව පැකට් හතර පහක් ගෙනත් දෙන්නම්ය කියල. එකක සීයක්ද කොහෙද තිබ්බ නේද?"

"අඩේ එහෙනං හොඳටම ඇති...වැඩිත් එක්ක.."

ඉතිං දැන් අපි අර ගලගෙදර ඉඳන් එන ආපහු එන ගමනෙ ධාරානිපාත වැස්සෙ දබ ට්‍රැෆික් එකත් මැද්දෙ ගාට ගාට එන කොට ඔන්න අර උඩපේරාදෙණියෙ අයිය කෝල් කලා. අපේ උන්දැගෙ ලොකු අයිය වාහනේ ඩ්‍රයිව් කලේ. මම ඉස්සරහ සීට් එකේ. එතුමිය පස්ස සීට් එකේ. එතුමියගෙ ෆෝන් එකට කෝල් එක ආවෙ. 

"හෙලෝ..නංගි මම මේ කතාකලේ අර කිරි ටොෆී පාර්සලේ අද මම ගිහිල්ල ගත්ත. ඔයාල කොහොමද අද ඇවිල්ල ගන්නවද?....මල්ලි හෙට නේද යන්නෙ?"

"ඔව් අයියෙ..අපි මේ පොඩි ගමනක් ගිහිල්ල ආපහු එමින් ගමන ඉන්නෙ..තව විනාඩි විස්සකින් වගෙ ගලහ හන්දියට එන්ට පුලුවනි. පුදුම ට්‍රැෆික් එකක් අයියෙ. අයියට පුලුවන් නම් කිරි ටොෆී ටික ගලහ හන්දියට ගෙනල්ල දෙන්ට පුලුවන්ද?"

"හරි හරි නෝ ප්‍රොබ්ලම්..මම ඇවිල්ල පෝස්ට් ඔෆිස් එක ලඟ පාර අයිනෙ ඉන්නම්කො. කිට්ටු කරල මට කෝල් එකක් දෙන්ට.." පේරාදෙණිය පෝස්ට් ඔෆිස් එක තියෙන්නෙ ගලහ හන්දියෙ.

"හරි අයියෙ තෑන්ක්ස්…"

ගලහ හන්දිය කිට්ටු වෙනකොට වැස්ස තවත් තද කරපි. පෝස්ට් ඔෆිස් එකට මීටර් පණහක් වගෙ තියල අපි එක තැනම ඉබ්බ තිබ්බ වගෙ හිටිය විනාඩි පහක් විතර. 

"මේ මල්ලි... බැහැල ගිහිල්ල අර පාර්සලේ අරගෙන ආපහු ආව නම් ලේසියි නේද? වාහන මූව් උනොත් අපි හෙමීට එන්නම් ඉස්සරහට ඔයා මඟදි නගින්ට" එයාලගෙ ලොකු අයිය කිව්ව. 

"නෑ ඒයි... පොඩි කුඩේ විතරයි තියෙන්නෙත්. ..මේ දබ වැස්සෙ ඔයා තෙමිල අසනීප උනොත් එහෙම හෙට ගිහිල්ලත් ඉවරයි...ඔයා ඉන්ටකො මම ගිහිල්ල පාර්සලේ අරගෙන එන්නම්…" අපේ උන්දැ එහෙම කියල මහ වැස්සෙම කුඩෙත් අරං බැස්ස. 

අපි එතන තව විනාඩි පහක් වගෙ හිටිය. ඔන්න එතකොට වාහන ටිකක් මූව් වෙන්ට ගත්ත. 

"මල්ලි ජනේලෙ පොඩ්ඩක් පාත් කරල  බලන්ට නංගි එනවද කියල...මට මේ වැස්ස හින්ද මොකවත්ම පේන්නෙ නෑ…" ලොකු අයිය කිව්ව. 

දැන් අපි ඔන්න ටික ටික ඉස්සරහට යනව. පෝස්ට් ඔෆිස් එක පේන මානයටත් ආපි. ඒත් අපේ උන්දැ නෑ පේන්ට.

මම ඉතිං ජනේලෙත් බාගෙට ඇරගෙන ඔලුවත් එලියට දාගෙන බලනව මේ මනුස්සය කොහේ ගියාද කියල. පොඩ්ඩක්වත් ස්ලෝ කරන්ටත් බෑ පිටිපස්සෙන් එන එවුන්  එක සීරුවට හෝන් ගහනව.

ඔය අස්සෙ ඔන්න මගෙ ෆෝන් එක රිං වෙන්න ගත්ත….

"මේ මඟුල මේ වෙලාවෙම …" එහෙම කියල මම උඩ සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ආන්ස්වර් කලා. "හෙලෝ.."

"මේ මිස්ටර් රවී ද?"

"ඔව් කතා කරනවා…"

"මල්ලි මම පොඩ්ඩක් ස්ලෝ කරන්නං... බලන්ට නංගි ඉන්නවද කියල.." ඒ අස්සෙ අයිය කිව්ව.

අලි මදිවට හරක් හරක් මදිවට කිණිතුල්ලො කිව්ව වගෙ ඔලුවෙ ඉඳල කාකි රේන් කෝට් එකක් දාගත්තු රාළහාමි කෙනෙක් ඒ අස්සෙ වාහනේ ගාවට ඇවිල්ල ඇතුලට එබුන. "මොනවද හලෝ කරන්නෙ?.... පේන්නෙ නැද්ද ට්‍රැෆික් එක?.... යනවල... යනවල"

"හෙලෝ..කවුද මේ?"  මම ෆෝන් එක උරහිසට තද කරගෙන ජනේලෙන් එබිල වටපිට බලන ගමන් ඇහුව.

"අනේ..අනේ..ඔන්න යාලුවො..මාව අඳුනන්න බෑ නේද?...."

"මේ...හලෝ මට අඳුරගන්න බැරි නිසානෙ කවුද කියල අහන්නෙ?...කරුණාකරල කවුද කියනවද?.."

ඒ අස්සෙ වාහනේ දැන් ඔන්න පේරාදෙණිය පෝස්ට් ඔෆිස් එකත් පහුකරගෙන යනව. 

"මල්ලි බලන්න නංගි ඉන්නවද කියල?" ලොකු අයිය වැස්ස හින්ද පාර පැහැදිලි නැති නිසා පොඩ්ඩක් ඉස්සරහට නැවිල ඩ්‍රයිව් කරන ගමන් ඇහුව..

"මේ ඇත්තටම මාව අඳුරගන්නම බැරිද?" ටෙලිෆෝන් එකේ එහා කෙළවරේ ඉන්න කෝණංගිය ආයමත් බබාහුකුං දානව.

ඒ පාරනම් මගෙ ඉවසීමේ සීමාව ඉක්මවල කට්ට රෙඩ් සෝන් එකටම ගියා. "මේ අයිසෙ තමුසෙට මම දැන් එක පාරක් නෙවෙයි දෙතුන් පාරක්ම කිව්වනෙ. මගෙන් කුණු හරප අහගන්නෙ නැතුව තියනව ෆෝන් එක.." මම එහෙම කියල ෆෝන් එක කට් කලා.

"කවුද ඒ?" අයිය ඇහුව.

"කවුද මන්ද පිස්සු යකෙක්... කවුද කියල ඇහුවට කියන්නෙත් නෑ.. අඳුරන්ට බැරිද අඳුරන්ට බැරිද කියල අහනව…"

ඒ එක්කම වගෙ අපෙ උන්දැ දුවගෙන ඇවිල්ල වාහනේට නැග්ග.."හරි වැඩේනෙ උනේ...මම ආපහු ගියාම ඔයගොල්ලො ඉස්සරහට ඇවිල්ල.."

"ඔව් එතන නැවතිල ඉන්ට දෙන්නෙ නෑ. පොලීසියෙන් එලවනව…"

ඒත් එක්කම ආයම ෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ඒ දිහා බලල ආන්ස්වර් නොකර ආයම සාක්කුවට දාගත්ත. 

"ඇයි? කවුද කියල බලන්නෙ නැද්ද?" එතුමිය ඇහුව. 

"මේ කොහෙද යන පිස්සු හටනක්.....කවුද කියන්නෙ නෑ..අඳුරන්ට බැරිද අඳුරන්ට බැරිද කියල අහනව…"

"හරි හරි බලන්නකො ආයම..කවුරු හරි ඔයාගෙ යාලුවෙක්නෙ කතා කරන්නෙ.."

"යාලුවෙක් තමයි.." එහෙම කියල මම ෆෝන් එකට ආන්ස්වර් කලා. "හලෝ.."

"අනේ රවි අයිය තරහ වෙන්නෙ එපා..මම බන්දුල…"

බන්දුල කියන්නෙ අවුරුදු හතර පහකට ඉස්සර කටාර්වල හිටපුු මගෙ  යාලුවෙක්. දැන් මනුස්සය ලංකාවෙ ඔය මොකක් හරි ප්‍රොජෙක්ට් එකක වැඩ…

" අනේ මල්ලි වෙරි සොරි...ඔය කට්ටිය කතා කරල කවුද කියල කියන්නෙ නැතුව අඳුනන්න පුලුවන්ද කියල අහන එක මට එපා වෙලා තිබ්බෙ. ඒකයි බං උඹට බැන්නෙ...අනික අපි මේ යාලුවෙකුගෙ ගෙදර ගිහිල්ල ආපහු ගෙදර එන ගමන්..වැස්සයි..ට්‍රැෆික් එකයි..ඒ අස්සෙ වයිෆ් බැහැල ගියා පොඩි වැඩකට..එයාත් නෑ..ඔය ඔක්කොම හෙයියම්මාරු අස්සෙ තමයි උඹ කතා කලේ...වෙරිම සොරිම සොරි හොඳද?"

"හරි හරි නෝ ප්‍රොබ්ලම් මගේ වැරැද්දනෙ..මම මේ කතා කලේ කවද්ද ආපහු යන්නෙ එහෙම කියල දැනගන්ට.."

"හෙට යනව මල්ලි ආපහු…"

41 comments:

  1. "හරි වැඩේනෙ උනේ...මම ආපහු ගියාම ඔයගොල්ලො ඉස්සරහට ඇවිල්ල.."
    ලංකාවේ ට්‍රැෆික් එකට අහු උනහම නිතරම් මේ වැඩේ වෙනවා. මටත් කිහිප පාරක්ම වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      අන්න ඔබතුමාට ඒ අත්දැකීම තියනව...අනික නුවර පැත්තට මේ ටිකේම වහින්නෙ වැහි නෙවෙයි මුරුගසං වැහි...

      මම ඇවිල්ලත් දැන් සති දෙකක් වගෙ උනානෙ..ඔන්න දවස් තුනක් ඇති යම්තමකට හෙවණැල්ලක් දකින්ට අව්ව රැල්ලක් වැටිල. නිකමට හිතන්ටකො එහෙම වැස්සක් අස්සෙ ට්‍රැෆික් එහෙකත් හිර උනහම...

      Delete
  2. ගොනා පොල්පැලේ කරටියම කෑවා වාගේ අද කතන්දරේ පටන්ගත්තු තැනින් ඉවරකොරලා

    ReplyDelete
    Replies
    1. අසංග,

      ඉතිං බං ඒ සිද්ධිය එතනින් අහවරයි. ඊට පහුවෙනිද මම ආපහු ගියා...වාර්ෂික ඉසුඹු කතා මාලාවත් මෙතෙකින් සමාප්තයි

      Delete
  3. හප්පේ.... මේකත් ඇදගෙන යයි වගේ අවුරුද්දක් හමාරක්. අද පෝස්ට් එක ඇතුලෙ වාහනේ මීටර් 50 ක් විතරයිනෙ ගියේ. හැක්..

    හෙල්ලෝ. මේ මිස්ටර් වීර් සිං හද. ඔහේට අඳුනන්න බැරිද මාව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /හප්පේ.... මේකත් ඇදගෙන යයි වගේ අවුරුද්දක් හමාරක්./

      මඟුලක් කියනව..අදින් ඉවරයි...:)

      Delete
  4. //kumara November 5, 2019 at 4:39 AM

    පේන විදිහට රවි පොඩියට තේ කඩයක් පටන් ගන්න කාලේ හරි වගේ. ඇයි බං මෙතනම කීදෙනෙක් පේරාදෙණිය හරහා යනකොට තේ බොන්න බලන් ඉන්නවද//

    ඒ අදහසත් නරකම නෑ බලාගෙන යනකොට. හැබැයි ඉතිං එන එකාට වතුර උණුකරගෙන තේ එක හදාගන්න විදියට තියල තියන්න වෙයි. නැත්තං අද ඉල්ලපු තේ එක තව මාස හතර පහතින් තමයි මේසෙට එන්නෙ.

    'රවී බුෂ් ටී' කියල නම එහෙමත් දාන්න පුලුවං ඕනනං. මතක ඇතුව කොමෙන්ට් දාන්න පොත‍කුත් තියහං.

    ReplyDelete
    Replies
    1. ඔය පොත ඉක්මණටම පිරෙයි උඹ එක එක කාරණේට එක එක කමෙන්ට් දාල...

      Delete
    2. මම දැඩිව හිතාගත්ත ඒ පොතේ මොකුත් ලියන්නෙ නෑ කියල හිටං.

      Delete
    3. ඔව්වා කාටද විශ්වාස?

      Delete
    4. ප්‍රසන්න සහ ඩ්‍රැකී,

      නිදහස් සිතුවිලි තේ පැන් ශාලාව..කොහොමද ඒ නම?

      Delete
    5. රවි,

      පඳුරු ගැනත් සඳහනක් තිබ්බනං හොඳයි බෝඩ් එකේ. පස්සෙ හෙන්රිගෙන් අහල වචන කපාහරින්න පුළුවන් වෙයි...

      Delete
  5. මට මතක් උනේ, මම එකපාරක් එක්කෙනෙක්ට කතා කරල ඇහුව "මොකද්ද අහන රේඩියෝ චැනල් එක?" කියල...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඉතිං මොකෝ ඌ කිව්වෙ?

      Delete
    2. ඩ්‍රැකී,

      අවුරුදු තුනකට කලින් ආපු වෙලාවෙ මමත් ඔහොම මගෙ පරණ යාළුවෙකුට කෝල් එකක් දීල ඌව අන්දන්න ගිහිල්ල අන්තිමට ඌ පොලීසියට කෝල් කරන්න ලෑස්ති වෙලා බොහොම අමාරුවෙන් ජාම් බේර ගත්තෙ..

      මට මතක නෑ ඒ කතාව කලින් ලිව්වද කියල..ඉඳහං හොයල බලල ලියල නැත්තං ලියඤ්ඤා

      Delete
    3. //ඉතිං මොකෝ ඌ කිව්වෙ?//

      හරියටම ඒක උනෙත් අවුරුදු තුනකට ඉස්සෙල්ල. මම වෙන වැඩකට ප්‍රා ජේට කතා කළ වෙලාවක නම්බර් එකක් ඉල්ලගත්ත. ඒ නම්බරේට කතා කළහම පහත දැක්වෙන සංවාදය ඇති වුණා...

      "...
      අනිත් කෙනා: හෙලෝ
      මම: හෙලෝ, මේ මිස්ටර් වීරසිංහ නේද?
      අ. කෙ. : ඔව්. කතා කරනවා...?
      මම: මම මේ කතා කරන්නෙ ජපුරෙ යුනිවසිටි එකෙන්.පොඩි සමීක්ෂණයකට දත්ත එකතු කරන ගමං. ඔබතුමා මොකද්ද අහන රේඩියෝ චැනල් එක?
      අ. කෙ. : මම රේඩියෝ අහන්නෙ නෑ.
      මම: අඩුගානෙ ඇහෙන්නෙවත් නැද්ද, පාරෙ යන එන කොට. එහෙම නැත්තං බස් එකේදි වගේ...
      අ. කෙ.: නෑ. එහෙමවත් නෑ...
      මම: අපරාදෙ මම මේ අහවල් චැනල් එකෙන්. ඔයා අපේ චැනල් එකේ නම කිව්වනං රුපියල් *** ක් දිනාගන්න තිබුණ.
      අ. කෙ. : නෑ... මම රේඩියෝ අහන්නෑ. බොහොම කණගාටුයි..."

      ඔන්න ඔහොමයි පිංවතුනි වුණේ. මතකද දන්නෑ...?

      Delete
    4. අර කතාවත් ලියන්ඩ

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් னයාම කන්න ඕන මෙහෙම වැඩ කරනවට. ඔහේ ළඟකදි අර කම්මලය ඉන්න දිහාවෙ ගියාද?

      Delete
    2. කම්මල් ඉෆෙක්ට් එක නෙමෙයි. ඒක නයෙක්ට දාපු කමෙන්ට් එකක්...

      Delete
  7. https://www.quora.com/Why-do-Americans-dont-introduce-themselves-on-the-phone

    ReplyDelete
    Replies
    1. https://www.quora.com/Why-does-PraJay-google-before-making-a-comment-in-a-blog

      Delete
    2. https://www.quora.com/How-to-play-safe

      Delete
    3. Pra, Ian & Kalyana,

      https://www.quora.com/Why-does-lawyers-always-quote-from-internet-instead-of-expressing-their-own-opinion

      Delete
    4. https://www.quora.com/How-to-play-safe

      Delete
  8. මම නම් 'සොරි අඳුනගන්න බෑ, කවුද මේ?' කියල එක පාරක් ඇහුව තවත් වාත වෙනවනම් කට් කරා.. හැබැයි මල පැනපු වෙලාවට නම් බනින්නම හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඔව් බං...මටත් මේ මොකක් හරි සිරා වැඩක යෙදිල ඉන්නකොට ඔහොම තොඳොල් වෙන්ට ආහම යකා නගිනව.

      Delete
  9. හපොයි අර මනුස්සය තෙමෙන්ටත් ඇති. :(

    ReplyDelete
    Replies
    1. //මම ඉතිං ජනේලෙත් බාගෙට ඇරගෙන ඔලුවත් එලියට දාගෙන බලනව මේ මනුස්සය කොහේ ගියාද කියල//

      ඒ වගේද මේ මනුස්සය ඔළුව තෙමාගත්ත මදිවට වාහනෙත් තෙමල.

      Delete
    2. මානවික්ස්,

      නෑ බං ඒ අම්මණ්ඩි කුඩයක් අරගෙනනෙ ගියේ..ඒ හින්ද ඒ හැටිම තෙමිල හිටියෙ නෑ...

      Delete
  10. පුංචි මහත්තයා උඩරට රදල පවුලක මහත්තයෙක් නේද? ඒ පවුල් වල හැමෝම වගේ මහත්තයාත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නේද? මහත්මයා එක්සත් ජාතික පක්ෂ ජිවන විලාසිතාවට එතරම් ලැදි ඒ ප්‍රභූ පවුල් පසුබිම නිසා වන්නට ඇති. ඉතිං මහත්මයා ඇයි මෙවර ජන්දයේදී එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් ලිපියක් දෙකක් ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      /පුංචි මහත්තයා උඩරට රදල පවුලක මහත්තයෙක් නේද?/

      අහවල් උඩරට රදලද බං?..මගෙ අප්පච්චි පාතරට...:)

      /ඉතිං මහත්මයා ඇයි මෙවර ජන්දයේදී එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් ලිපියක් දෙකක් ලියන්නේ නැත්තේ?/

      යහපාලනය ගැන අන්තිමටම කළකිරිල බං ඉන්නෙ..ඒත් එහෙම කියල ගොට්ටට දිනන්ට දෙන්ටත් බෑ..ඡන්දෙට ඉස්සෙල්ල ලිපියක් දෙකක් ලියන්නංකො....:)

      Delete
  11. මේ ඇත්තටම මාව අඳුරගන්නම බැරිද?

    ReplyDelete
  12. ඒකනෙ මං ගත්ත ගමන් මේ මූද? කතා කරන්න පුලුවන්ද කියල අහන්නෙ. ඒ කරල කියනව මං අහවලාය කතා කරේ මේකටය කියල.
    නැත්නම් අපි කෝල් එකෙන් දන්නෑනෙ මොනව කරන ගමන් ඉන්නවද කියල.

    ReplyDelete
  13. අන්තිම පෝස්ට් හතරම කවර් කලා... ඔය විදිහට කෝල් කරන එක කට්ටියව බයිට් කරන්නත් කරනවනෙ. මටත් දවසක් රෑ ඒ වගේ කෝල් එකක් ආවා. දවස් කීපෙකට කලින් ලංකාවෙ ඉඳන් අලුතෙන් ආව ශිෂ්‍යයෙක්ව හම්බ වුණා, මට මතක් වුණේ උගෙ කට හඬ. මම ඇහුවා "උඹ xxxxx නේද?" කියලා. ඊට පස්සෙ මට ඇහෙනවා ඌ ලඟ එවුන්ට කියනවා යකෝ ඌ මාව අඳුරගත්තනේ කියලා...

    සුනිල් එදිරිසිංහගේ 'රුදුරු තුරුවදුලේ' සිංදුව තියෙන්නෙ. දැන් අපි පවුලේ අයයි සමහර විට තව කීප දෙනෙක් ඉන්න ඇති, ගමනක් යනකොට වාහනේ රේඩියෝ එකේ සිංදුව ඇහෙනවා මුල්ම වතාවට. ඔතන හිටිය හැමෝම වගේ සිංදු අහන ඒ ගැන උනන්දුවක් තිබ්බ අය, කට්ටිය කතා වෙනවා කාගේද මේ වොයිස් කියලා.. මම කියපි සුනිල් එදිරිසිංහනේ කියලා... කට්ටිය හිනා වෙලා කාරිය මාව බිංදුවටම දැම්මා.. එතන හිටපු බාලම එකත් මම. අනේ අන්තිමට නිවේදිකාව කිව්වේ නැතෑ. මම මේ පුරාජේරුව කිව්වෙ සමහර විට අර සොෆ්ට්වෙයාර් එකේ පරණ වර්ෂන් එකක්වත් ඉන්ස්ටෝල් වෙලා ඇති මට...

    ReplyDelete
  14. නියම වෙලාවටනෙ අඳුනන්න පුලුවන්ද..? කියලා අහලා තියෙන්නෙ... තව ඔය වගේ බැරෑරුම් අවස්තාවල එනවා ප්‍රමෝසන් කෝල් කියලා ජාතියක්.. ඒ වෙලාවට නම් සිම් එක හපලා කන්න හිතෙනව..😊

    ReplyDelete
  15. කිරි ටොෆි සීයක් විතර තියෙන පැකට් තියෙනව නම් මරුනෙ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...