Showing posts with label ඝාතකයකුගේ කතාව..... Show all posts
Showing posts with label ඝාතකයකුගේ කතාව..... Show all posts

Friday, September 29, 2017

534. ඝාතකයකුගේ කතාව - 3…. (අවසාන කොටස)

ස්නයිපර් වෙඩික්කරුවන් භාවිතා කරන මාදිලියේ  දුරබලන උපකරණයක්
සවිකල 
රයිෆලයක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.



එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ ස්වාමියා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

රොබීගේ රයිෆලයෙහි බඳ ඉතා ශක්තිමත් එමෙන්ම සැහැල්ලු සුවිශේෂී කාබන් තන්තු විශේෂයකින් නිර්මාණය කරන ලද්දකි. එහෙයින්ම මෙම මාදිලියේ සාමාන්‍ය රයිෆලයක බර රාත්තල් අටක් වන විට රොබීගේ රයිෆලයෙහි බර වූයේ රාත්තල් තුනක් පමණකි. ගුවන් යානයක් පොළවෙන් ඉළ්පී ගුවන් ගත වීමට එහි බර ප්‍රමාණය ඉතාම වැදගත් සාධකයක් වන්නා සේම රොබීට භාරවූ රාජකාරිය මනාසේ ඉටු කිරීමටද ඔහු භාවිතා කරන රයිෆලයේ බර ප්‍රමාණය බෙහෙවින් බලපායි. එනම් රයිෆලයේ බර අඩුවන තරමට රොබීගේ කාර්යය ද පහසු වනු ඇත්තේය.

අනතුරුව ඉතා සෙමෙන් රයිෆලයෙහි බඳෙහි වම්පසට තම දකුණු කොපුල තබා රයිෆල් බඳට සවිකොට තිබූ දුරබලන උපකරණයෙහි උපනෙතට තම දකුණු ඇස තැබූ රොබී තම ඉලක්කයවූ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තෙවන මහලේ වූ කුටිය ප්‍රවේශමෙන් නීරීක්ෂණය කලේය. දූරදර්ශක උපකරණයෙහිවූ සීරු මාරු ඉස්කුරුප්පුව වමතෙහි දබරැඟිල්ල සහ මහපට ඇඟිල්ල ආධාර කොටගෙන ප්‍රවේශමෙන් එහා මෙහා කරකවමින් ඔහු ජනෙල් කවුළුවෙහි විවරවූ තිර රෙදි අතරින් අතරවූ අවකාශය තුලින් දර්ශනය වන කුටියේ අභ්‍යන්තරය නාභිගත කොට ගැන්මට තැත් කලේය.

එක්වරම කුටිය ඇතුලත දර්ශනය ඔහුට සුරත දිගුකොට ස්පර්ශකල හැකි පමණ සුපැහැදිලි විය. මෙතරම් පැහැදිලිව දර්ශනය වන ඉලක්කයක් රොබීට චේතනාන්විතව වුවද වැරදිය නොහැක. දෙපසට ඇදුනු තිරරෙදි අතර හිඩැස එක එල්ලේම කුටිය තුල දුඹුරු පැහැ කුඩා මේසයක් විය. ඒ මත වූයේ කළු පැහැති දුරකථනයකි. ඒ වනාහී ජංගම දුරකථනයක් නොව දඟර ගැසුණු රැහැණක් සහිත පැරණි පන්නයේ ගෘහස්ථ දුරකථනයකි.

එම පැරණි මාදිලියේ දුරකථනය තවත් මිනිත්තු දෙකකට මඳක් අඩු කාලයකදී නාදවනු ඇත. මහා නෘත්‍යයට වේදිකාව සූදානම්ය. නර්තන රචනයද (Choreography) කිසිදු අඩුලුහුඬුවකින් තොරය. 

එහෙත් ඒ සමඟම කවුළුවෙන් දර්ශනය වන්නාවූ කුටියෙහි අභ්‍යන්තරය දෙස බලාසිටින රොබීගේ සිතෙහි එකවරම මහත් සැකයක් හට ගත්තේය. ඒ මේ නර්තනය රඟ දැක්වීම උදෙසා වේදිකාව කොතරම් ප්‍රවේශමෙන් සකස්කොට ඇතිද යන්න ඝාතනයවන්නා හෝ ඔහුගේ අංගාරක්ෂකයින්හට මෙතෙක් නොවැටහුනේ මන්ද යන්නයි.

තිර රෙදි විවර කල කවුලුව ඒ හා එක එල්ලේ පිහිටි මේසය මතවූ කුටියේ වූ එකම දුරකථනය....එම දුරකථනයට පිළිතුරු දෙන්නෙකු එක එල්ලේම තිර රෙදි විවර කල කවුලුව තුලින් ඉලක්කය ගන්නා වෙඩික්කරුවකුගේ පහසු ඉළක්කයකි. එසේම මාර්ගයෙන් එපිට උපරිම වශයෙන් අඩි එකසිය විස්සක හෝ තිහක පමණ මානයේ පිහිටි අත්හැර දමන ලද සිව්මහල් පාළු ගොඩ නැඟිල්ල.....තම කාර්යය මැනවින් දත් ඕනෑම ශරීරාරක්ෂකයකු හට ආරක්ෂක වැඩ පිළිවෙලෙහි මේ දුර්වල ස්ථාන එක්පැහැර වැටහී යා යුතුය. එහෙත් තම ඉලක්කයවූ තැනැත්තාගේ ශරීරාරක්ෂකයින් අතර එවන් දක්ෂයෙකු නොසිටින බව රොබී මැනවින් දත්තේය.

තිර රෙදි විවරවූ කවුළුවෙන් දර්ශනය වන කුටිය තුල වූ ශරීරාරක්ෂකයෝ දෙදෙන මේ වනවිට කුටියේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කරමින් සිටියහ. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එකකුවත් තිර රෙදි විවර කොට තිබූ කවුළුව අසලට පැමිණ මාර්ගයෙන් එපිට පිහිටි පාළු ගොඩනැඟිල්ල දෙස නොබැලුවෝය. යටත් පිරිසෙයින් මේ අඳුරු හෝරාවේ තිර රෙදි විවර කොට ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙහෙකාරිය වෙතින් විමසීමකුදු නොකළෝය. ඔවුහු වනාහී වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම අකාර්යක්ෂම නුනුවණයෝ වූහ.රොබී සේවය කල සංවිධානය මෙහෙයුම පිළිබඳ තම විමර්ශනයන්ගේ ප්‍රාරම්භක අවධියේදීම මේ අනපේක්ෂිත වාසිදායක තත්ත්වය පිළිබඳව අවබෝධ කොටගත්තෝය.

එසේ වුවද ඔවුහු තම සැලසුම් සකස්කලේ ප්‍රතිවාදීන්ගේ අකාර්යක්ෂම භාවය නොසළකා හරිමිනි. එසේ හෙයින් මෙම මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව රොබීගේ සිත තුල කිසිදු සැකයක් නොවීය. එහෙත් කිසිදු අඩු ලුහුඬු කමක් නොමැති ඉතා සාර්ථක ලෙස දිස්වන සැළසුමක් පවා සම්පූර්ණයෙන් අසාර්ථක වීමට එක් මොහොතක ප්‍රමාදයක් හෝ එකම අභාග්‍යමත් සිද්ධියක් උදක්ම ප්‍රමාණවත් වන්නේය.

තම ළය පිරී යන පරිද්දෙන් හුස්ම ඉහළට ඇදගත් රොබී අනතුරුව ඉතා සෙමෙන් හැකි තරම් කල් වේලා ගෙන හුස්ම පහළට දැමීම ආරම්භ කලේය.ඝාතනයක් උදෙසා අවශ්‍ය චිත්ත ඒකාග්‍රතාවය ඔහු ලබාගන්නේ එළෙසිණි. සත්‍යය වශයෙන්ම ඉලක්කය බිම දැමීම සඳහා අවශ්‍ය වන වෙඩිතැබීම රොබීට කිසිදු අපහසුවක් නොවනු ඇත. ගොඩනැඟිලි දෙක අතර පිහිටි පටු මාර්ගය දෙපසවූ පදික වේදිකාවද සමඟ උපරිම වශයෙන් අඩි සියයකට වඩා පළලින් යුතු නොවීය.

රොබී මෙම ඝාතනය සඳහා උප-ධ්වානික නොහොත් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ සහිත පතරොමක් (Sub-sonic round) තෝරාගත්තේද එහෙයින්මය. මෙවන් කෙටිදුර ඝාතනයක් උදෙසා ඉතාම සුදුසු වන්නේ එවන් උණ්ඩ සහිත පතරොමකි. ඔහු රැඳී සිටින්නේ සිව්වන මහළක වන අතර ඉලක්කය සිටිනුයේ තුන්වන මහලකය. එබැවින් ඔහු වෙඩි තැබිය යුත්තේ එක් මහළක් පහළට වූ ආනතියක් සහිතවය. ඔහු තෝරාගත් මාදිලියේ උණ්ඩ වලට ඒ ආනතිය ප්‍රශ්ණයක් නොවේ.

වෙඩි පහර ජනේලයේ වීදුරුව තුලින් ගමන් කළ යුතු බවද සැබවි. එහෙත් මෙවන් කෙටි දුර පරාසයක කරන වෙඩි තැබීමකදී එය කිසිසේත්ම ගැටළුවක් නොවේ. ගොඩනැඟිලි දෙක අතර මේ වනවිට එතරම් තද සුළඟක්ද නොතිබුණු අතර ඔහුට බාධා පැමිණවීමට පමන ප්‍රබල ආලෝක ප්‍රභව කිසිවක්ද පෙනෙන මානයේ නොවීය. කෙටියෙන් කිවහොත් මේ වනාහී ඉතා පහසු ඝාතනයක්ම වන්නේය. එහෙත් නිල ඝාතකයකු ලෙස ගතකල දීර්ඝ කාලයෙහි රොබී ඉතා හොඳින් උගත් එක් කරුණක් නම් පහසු ඝාතන යනුවෙන් යමක් මේ ලොව නොපවතින බවය.

ඔහුගේ කණ තුලවූ ශබ්ද විකාශණ උපකරණය යලිත් ක්‍රියාත්මක විය. ඉන් පැවසුනේ වදන් දෙකක් පමණි. "වී-වන්"

වී-වන් යනු ගුවන් යානයක් ගුවන් ගත වනු උදෙසා ගුවන් තොටුපොළේ ධාවන පථය ඔස්සේ වේගය වැඩි කරගනිමින් ධාවන වීමේදී පසු කරන යම් වේග සීමාවක් හැඳින්වීමේ සංකේත නාමයයි. වී-වන් වේගය ඉක්මවූ පසු ගුවන් යානයක් අනිවාර්යයෙන්ම ගුවන් ගතවිය යුතුය. මෙහිදී වී-වන් යනුවෙන් රොබීට දැනුම් දෙනු ලැබූයේ මේ මොහොතේ පටන් ඝාතනය අත්හැර දැමිය නොහැකි බවයි. එනම් මෙහෙයුම කෙසේ හෝ ක්‍රියාත්මක විය යුතු බවයි.

එහෙත් ගුවන් යානා නියමුවෙකුට නොමැති අවස්ථාවක් මෙහිදී රොබීට ඇත. එනම් තම සුරතෙහි දබරැඟිල්ල රයිෆලයෙහි කොකා වටා යවා කොකා තද කොට උණ්ඩය රයිෆල මුවින් නිකුත් කරනා තුරුම මෙහෙයුම නවතා දැමීමට රොබීට හැකියාව ඇත. එළෙසම ඔහු මීට පෙර දෙවරක්ම එසේ අවසාන මොහොතේදී මෙහෙයුම් නවතා දමා ද ඇත.

"තත්පර තිහයි…" සුපුරුදු පැහැදිලි සහ තියුණු හඬ යලිත් වරක් රොබීගේ කණ තුලට පැවසුවේය.

දුර දක්නා උපකරණයෙන් දකුණු ඇස මෑත් කොටගත් රොබී හිස ඔසවා ගොඩනැඟිලි දෙක අතරවී මාර්ගයේ පළමුව දකුණු පස සහ අනතුරුව වම් පස හොඳින් පරීක්ෂා කලේය. අනතුරුව යලි හිස පහත්කොට දුරදක්නා උපකරනයෙහි උපනෙතට දකුණු ඇස තැබීය. මේ මොහොතෙන් පසු ඔහුගේ අවධානය පූර්ණ වශයෙන් යොමුවන්නේ තිර රෙදි විවර වුනු කුටිය වෙතට පමණි. රොබීට දැකගත නොහැකිවුවද මේ අවස්ථාවේ කුටිය තුල හිඳිනුයේ ඉලක්කය, ශරීරාරක්ෂකයින් දෙදෙනා සහ මෙහෙකාරිය පමණකි.

විල් රොබීගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය කෙමෙන් අඩුව ගොස් එක්වරම නැවතිණි. ඒ හා සමානුපාතිකව ඔහුගේ හෘද ස්ඵන්දන වේගයද කෙමෙන් අඩුවෙමින් පැවතිණි. සිරුරේ උර කුහරයෙන් ඇරඹි සිහිලසක් ගෙල හරහා ඔහුගේ හිස තුලට පැතිරෙන්නට විය.

"තත්පර දහයයි…" පැහැදිලි සහ තියුණු හඬ අකුරින් අකුර උච්චාරණය කරමින් පැවසීය.

තව තත්පර දහයකින් තිර රෙදි විවරවූ ජනෙල් කවුළුවෙන් පෙනෙන කුටියෙහි මේසය මතවූ පැරණි මාදිළියේ ගෘහස්ථ දුරකථනයට ලැබෙන ඇමතුමකින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.

"තත්පර පහයි…."

සෙමෙන් හුස්මක් පහළ දමන අතර රොබී ඉතිරි තත්පර පහ ඉතා සෙමෙන් මුමුණමින් ගණන් කළේය. "පහයි...හතරයි..තුනයි...දෙකයි...එකයි…"

"ඇමතුම ක්‍රියාත්මකයි" පැහැදිලි සහ තියුණු හඬ පැවසුවේය. 

ඇමතුම දෙනු ලබනුයේ පරිගණක සම්බන්ධතාවයක් මඟිනි. එබැවින් ඇමතුමෙහි අනෙක් අන්තයේ කිසිදු මිනිසකු හෝ ගැහැණියක නොසිටිනු ඇත. 

මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුතු එතරම් හැඩිදැඩි සිරුරකින්ද යුතු නොවූ මිනිසකු මේසය අසලට ලඟා වනු විවරවූ තිර රෙදි අතරින් රොබීට ඉතා පැහැදිලිව දිස්විය. 

මේ ඉතාමත් සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් යුතු මිනිසා වනාහී ඉතා ආකර්ශණීය පෞරුෂයකින් යුතු ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකි. දශක අටකට පමණ පෙර විසූ ඇඩොල්ෆ් හිට්ලර් මෙන් තම කථා විලාශයෙන් අවශේෂ මිනිසුන් සහ ගැහැණුන් වශී කොට ගැන්මෙහි මනාසේ සමතෙකි. ඔහුගේ වාග් චාතූර්යයෙන් මෝහනය වන්නෝ ඔහු අණකරන්නාවූ කිසිදු දාමරික කමක් හෝ අපරාධයක් කිරීමට නොපැකිල ඉදිරිපත් වන්නෝය.

ඔහුගේ මේ හැකියාව කලාපයේ සාමයට බලවත් බාධාවක් වූ අතර එලෙසම එක්සත් ජනපදයෙහි වර්තමාන මිත්‍ර සංවිධාන නායකයින්ගේ අංක එකේ සතුරා බවට ඔහු පත්කරලීමටද හේතුවිය. එබැවින්ම රොබීගේ සංවිධානය ඔහු ඇල්ෆා ප්‍රවර්ගයේ (Category Alpha) සතුරකු ලෙස වර්ගීකරණය කලේය. ඇල්ෆා ප්‍රවර්ගයට අයත්වන්නෝ වනාහී හැකි ඉක්මනින් ඝාතනය කලයුත්තෝ වන්නෝය.

විල් රොබීගේ දකුණතෙහි දබරැඟිල්ල කෙමෙන් රයිෆලයේ කොකා වටා ගමන් කලේය. තව මොහොතකින් ඔහු වී-වන් අවස්ථාවට එළඹෙනු ඇත. රොබී සෙමෙන් කොකා තද කරන්නට විය. අවසාන මොහොතේ ඔහු ඇස් කොණකින් ඉලක්කයට දකුණු පසින් කිසියම් අනපේක්ෂිත සෙවණැල්ලක් වැන්නක් දුටු නමුදු ඔහු ඒ නොසළකා හැර කොකා අවසානය තෙක් තද කලේය.

වෙඩි උණ්ඩය නිකුත්වූ ඉක්බිති රයිෆලයේ වාංගුව (Recoil) උරහිසින් දරාගත් රොබී දුරදක්නා උපකරණයෙන් දකුණැස මෑත් කොට නොගෙන ඉලක්කය දෙසම බලා සිටියේය. වෙඩි උණ්ඩය ඉලක්කය බලා ගමන් කරන තෙක් ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටීම රොබීගේ පුරුද්දකි. ඝාතනය නිසි අයුරු සිදුවූවාදැයි නිසැකව ස්ථිර කර ගැනීමේ එකම ක්‍රමය තම දෑසින්ම දැක බලා ගැනීමයි. ඝාතනය ස්ථිර කර ගැනීමට ප්‍රථම දෑස් ඉවතට ගැනීමෙන් රොබී මීට පෙර එක් වරක් රැවටී ඇත. නැවතත් ඒ වරදම කිරීමට රොබීට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

ජනෙල් වීදුරුව බිඳී විසිරුනු කැබලි දසත විසිරී ගියේය. කංචුක වැස්මෙන් යුත් වෙඩි උණ්ඩය ඉලක්කයේ හිස පසුපසින් ඇතුලුව නාසය අසලින් නික්මිණි. සුරතින් මිරිකාගත් රිසීවරයද අතැතිව කුණාටුවකින් ගසක් ඇදවැටෙන්නාක් මෙන් ඒ ආකර්ශණීය පෞරුෂයකින් හෙබි මිනිසා ඇද වැටුනේය.

රොබී තම ඇස ඉවතට ගන්නට සූදානම් වනවාත් සමඟම මේසය පසුපස බිත්තියට හේත්තුවී උන් යමෙකුගේ ඡායාවක් වැන්නක් දුටුවේ යලි උපනෙත වෙත නෙත යොමු කලේය. මේසය පසුපස බිත්තියට හේත්තුවී සිටියේ කුඩා දැරියකි. වෙඩි තැබීමට මොහොතකට පෙර රොබී දුටු සෙවණැල්ලක් වැන්න නිසැකවම ඇය විය යුතුය.

කංචුක වැස්මෙන් යුත් වෙඩි උණඩ ඉලක්කයට වැදුනු පසු විසිරී නොයයි. ඉලක්කය හරහා ගමන් කොට ඉතා පහසුවෙන් පිටවන්නටද කංචුක වැස්මෙන් යුතු උණ්ඩ වලට හැක. රොබී තම රයිෆලය  පහලට ආනතකොට වෙඩි තැබූ හෙයින් උණ්ඩය ඉලක්කයේ හිස් කබල හරහා ගොස් කුඩා දැරියගේද ළය මධ්‍යයෙන්ම ඇතුලුවී ඇත.

රොබී බලා සිටියදීම සෙමෙන් දෙනෙත් පියාගත් ඇය මඳ වේලාවක් බිත්තියට වාරුව හිඳ ඇද වැටුනාය. 

එක් වෙඩි උණ්ඩයකි…ඝාතන දෙකකි

එක් ඝාතනයක් වනාහී මනා ලෙස සැළසුම්කල ඝාතනයකි...

එලෙසම අනෙක් ඝාතනය වනාහී සිහිනෙනුදු අපේක්ෂා නොකළ අභාග්‍ය සම්පන්න අත්වැරදීමකි.....

එහෙත් ඒ ගැන කල්පනා කරමින් පසු තැවිලිවීමට මේ කිසිසේත්ම සුදුසු කාලය නොවේ.

විල් රොබී තම ඝාතන ආම්පන්න ද රැගෙන  පසුපස පිහිටි ජනෙල් කවුළුව වෙත වහා  දිව ගියේය.

Tuesday, September 26, 2017

533. ඝාතකයකුගේ කතාව ..........2

ඉලක්කයක් වෙත තම රයිෆලය එල්ල කොටගෙන සිටිනා දුරසිට
සැඟවී වෙඩි තබන්නකුගේ  (Sniper) ඡායාරූපයක් ඉහත දැක්වේ.


ඔහු දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර අද කලයුතු කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

තමා අසළ පිහිටි කපරාරුව කැඩී බිඳී ගොස් රතු පැහැ ගඩොල් මතුවී පෙනෙන කුළුණක් පාමුලවූ දිරාගිය ලෑලි පෙට්ටියක් මත වූ කැන්වස් ගමන් මල්ලෙන් නිශා දෘෂ්ඨි දෙනෙතියක් (Night-vision binoculars) ඉවතටගත් රොබී එහි ආධාරයෙන් ඔහු රැඳීහුන් අත්හැරදැමූ ගොඩනැඟිල්ලට ඉඳුරා මුහුණලා මාර්ගයේ අනෙක්පස පිහිටි පටු ගොඩනැඟිල්ල ප්‍රවේශමෙන් නීරික්ෂණය කලේය. ඔහු රැඳීසිටි ගොඩනැඟිල්ල මෙන් නොව ඒ අනෙක් ගොඩනැඟිල්ල බෙහෙවින් ජනාකීර්ණ විය.

එහි කවුළු තුලින් දර්ශනය වන පරිදි ඇතුලත දැල්වෙන විදුලි ආලෝකයට පසුබිම්ව එහා මෙහා ගමන් කරන මිනිස් ඡායාවෝ බොහෝ වූහ. බහුතරයක් ඒ ඡායාවන්හි දකුණතෙහි දැඩිව ග්‍රහණය කොටගත් බොහෝ ප්‍රබල ගිණිඅවි පවතින බව රොබී නිසැකවම දත්තේය. එසේ වුවද ඔහුගේ වාසියට වූ ප්‍රධානතම කරුණ වූයේ ඔහු මෙහි සැඟව සිටිනා බවක් ඉදිරි ගොඩනැඟිල්ලෙහිවූ කිසිවෙකු සිහිනෙන් හෝ සැක නොකිරීමත් සහ තමනට භාරවූ කාර්යය සාර්ථකව ඉටු කරනුවස් ඔහුට අවශ්‍ය වනුයේ එකම උණ්ඩයක් පමණක් වීමත්ය.

රොබීගේ පූර්ණ අවධානයට ලක්වූ එම පටු ගොඩනැඟිල්ල මහල් සයකින් සමන්විතවූ අතර ප්‍රධාන පාරට මුහුණලා එක් මහළක ජනේල සතර බැගින් ජනේල විසිහතරක්  විය. එසේ වුවද ඔහු සැළකිලිමත් වූයේ එහි තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලය කෙරෙහි පමණය. ඔහුගේ මනසේ එම ජනේලය වටකොට ඒක කේන්ද්‍රීයව විහිදෙන වෘත්ත රැසකින් සමන්විත වෙඩි තැබීම පුහුණුවීමෙහිදී යොදාගන්නා ඉලක්කයක් (Bull's-eye) සිත්තම්ව තිබිණි.

එම ජනේලයෙහි මේ වනවිට පියන්පත් වසාතිබුණු අතර අඳුරු පැහැ තිරයකින් කිසිදු ආලෝකයක් පිටතට නිකුත්වීම වැළැකිණි. එහෙත් නොබෝ වේලාවකින් කිසිවකු හෝ විසින් මේ පියන්පත් විවෘතකොට තිරයද පසෙකට ඇදිය යුතුමය. රොබී කොතරම් අතිදක්ෂ වෙඩික්කරුවකු වුවද ඔහුට කිසිදු අයුරකින් තමනට නොපෙනෙන ඉලක්කයකට වෙඩි තැබිය නොහැක. තම වමත එසවූ රොබී පහත මාර්ගය දෙපසවූ පහන් කණුවලින් නැඟෙන දුබල ආලෝකයෙන් එහි බැඳි අත් ඔරලේසුවෙහි මුහුණත දෙස ක්ෂණික බැල්මක් හෙලීය.

ඉතිරිව ඇත්තේ තවත් මිනිත්තු පහක කාලයක් පමණි.

එම මිනිත්තු පහක කාලයෙන් පළමු මිනිත්තු හතරහමාරක කාලය ගෙවීයාමට කල්ප කාලාන්තරයක් ගතවනුසේ දැනෙනු ඇත. එළෙසම අවසාන මිනිත්තු භාගය අසුරු සැණෙකින් ගෙවී යනු ඇත. මෙවන් මෙහෙයුමකදී කාලය ගෙවීයනු මෙහෙයුමෙහි යෙදෙන්නාට හැඟෙනුයේ අනිවාර්යයෙන්ම ඒ අයුරුය. සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට තමන් අතින් තවත් මිනිසකු ඝාතනය වීමට තවත් ඇත්තේ මිනිත්තු පහක යන කාලයක් පමණකි යන සිතුවිල්ල පවා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉහළ නඟාලන්නකි. හෘදය ක්‍රියාකාරිත්වය සේම රුධිර පීඩනයද ඒ හා සමානුපාතිකව ඉහළ නඟාලන්නකි.

එහෙත් රොබී වනාහී සාමාන්‍යයෙන් එදිනෙදා මඟතොට යනෙනා කල්හි ඔබට හෝ මට හමුවන මාදිලියේ පෘථග්ජන පුද්ගලයකු නොවේ. නියමිත හෝරාව ලඟාවනවිට සත්‍ය වශයෙන්ම ඔහුගේ හෘද ස්ඵන්දන වේගය පහළ බසින්නේය. ඔහුගේ සිරුරේ සියළු මාංශපේශීහු ඉහිල් වන්නාහ. සාර්ථක සහ කාර්යක්ෂම ඝාතකයකු වීම උදෙසා අත්‍යාවශ්‍ය මෙම සාධකයන් රොබී විසින් කාලයක් මුලුල්ලේ වෙහෙසව මහත් වැර වෑයමෙන් ප්‍රගුණ කරගන්නා ලද්දෝ වන්නාහ.

රොබී තම වමත සෙමෙන් දිගහැර මඳක් පහතට නැවී ඒ අසලම පොළව මතවූ ඝන කැන්වස් රෙද්දෙන් නිමවූ සිලින්ඩරාකාර ඩෆල් බෑගය තුලවූ මේ වනවිටත් සම්පූර්ණයෙන් එකලස් කොට තුබූ ඔහු ලබාදුන් මිනුම් අනුව ඔහු වෙනුවෙන්ම නිමවූ දූර පරාස (Custom built long range) රයිෆලය තදින් ග්‍රහණය කොට ගත්තේය. 

සාමාන්‍ය රයිෆලයක් හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් සැහැල්ලු යැයි පැවසිය හැකි ඔහුගේ රයිෆලය තුල කංචුක වැස්මෙන් යුතු උපධ්වානික (Jacketed sub-sonic) එක් වෙඩිමුරයක් විය. ඔහුට ලැබෙනුයේ එකම වෙඩිල්ලක් තැබීමට එකම අවස්ථාවක් පමණි. එසේම ඔහුගේ ඝාතක දිවිය තුල ඔහුට දෙවන අවස්ථාවක් කිසිදු විටෙක අවශ්‍ය නොවිණි.

(Note - ස්නයිපර් ප්‍රහාර වලදී බොහෝවිට යොදාගනු ලබනුයේ Jacketed sub-sonic වර්ගයේ පතරොම්ය. මෙටල් ජැකටය නොහොත් කංචුකය මඟින් වෙඩි උණ්ඩය ඉලක්කය වෙත ගැටුනු පසු විහිද යාම වැළැක්වෙන අතර සබ් සොනික් එනම් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ නිසා සංධ්වනි අත්පාතය (Sonic boom) වැළකෙයි. මේ නිසා සැඟවී කරනා ස්නයිපර් ප්‍රහාරයකදී වෙඩි උණ්ඩය පැමිණියේ කුමන දිශාවකින්දැයි නිශ්චය කරගැන්ම මියගිය තැනැත්තාගේ ආරක්ෂකයින්ට බොහෝ සේ අසීරුය.)

ඔහු දකුණතින් තමා ඉදිරියේ වූ දැවමුවා ජනෙල් පඩියට සෙමෙන් තට්ටු කරමින් යලිත් වරක් තමා විසින් තවත් නිමේශයකින් ඉටුකරන්නට නියමිත කාර්යය පිළිබඳව සිත යොමු කළේය. ලෝකයේ බලවත්ම රාජ්‍යයෙහි බලවත්ම ආරක්ෂක ඒජන්සියෙහි නිල ඝාතකයකුට පවා තම කාර්යය සාර්ථකව නිම කිරීමට සෑමවිටම නොවතුදු යම් සුවිශේෂී මොහොතක වාසනාව යම් තරමකට හෝ අත්‍යාවශ්‍යය.

තව මොහොතකින් ඔහු විසින් ඝාතනය කරනු ලබන තැනැත්තාගේ තොරතුරු සහ පසුබිම මෙහෙයුම ආරම්භයේදීම ඔහුට ලැබුණු රහස්‍ය පිලිගොනුවෙහි අඩංගු විය. මීට ප්‍රථම රොබී විසින් ජීවිතක්ෂයට පත් කරන ලද බොහෝ මිනිසුන්ගෙන් ඒ වෙනස් වූයේ ඉතාම අල්ප වශයෙනි. අද රොබීගේ ඉලක්කය වන පුද්ගලයාගේ ඉලක්ක සහ අපේක්ෂාවන් එක්සත් ජනපද රජයේ ඉලක්ක සහ අපේක්ෂාවන් සමඟ සමපාත නොවීම මෙන්ම වර්තමානයේ එක්සත් ජනපද රජය හා සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන මෙරටෙහි සංවිධාන කිහිපයක් විසින් මොහු කෙසේ හෝ ඉවත් කල යුතු පුද්ගලයකු වශයෙන් නම් කොට තිබීමෙහිද අවසාන ප්‍රතිඵලය වූයේ රොබීට මෙසේ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසල සැඟව සිටින්නට සිදුවීමය.

එම ඉවත් කිරීම මෙම පුද්ගලයා ඉවත් කල යුතුයැයි තීරණය කල මෙරටෙහි එක්සත් ජනපදය හා සමඟ සුහදව කටයුතු කරන සංවිධාන විසින්ම නොකරන්නේ මන්ද යන්න රොබීගේ සිතට නිරතුරු පැන නැඟුනු ප්‍රශ්ණයකි. එහෙත් ඔහු කිසි දිනක කිසිවකුගෙන් ඒ පිළිබඳව නොවිමසූයේ පැහැදිලි පිළිතුරක් නොලැබෙන බව සක් සුදක්සේ දන්නා හෙයිනි. එසේ හෙයින් පිළිතුරු නොලැබෙන ප්‍රශ්ණ විමසනු වෙනුවට රොබී ත විශ්වාසවත් මිතුරා වන රයිෆලයද රැගෙන ජාතික ආරක්ෂාවේ නාමයෙන් තමනට පැවරුනු වගකීම ඉෂ්ඨ කරනු උදෙසා මෙහි පැමිණියේය. 

රොබීගේ කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ පැහැදිලි එමෙන්ම තියුණු හඬ යලිත් වරක් ඔහුට උපදෙස් දුන්නේය. "ඉලක්කය මේ මොහොතේ නියමිත ස්ථානයේ සිටිනවා. ඔහු සමඟ ඉන්නෙ සේවිකාව සහ බොඩි ගාඩ්ස්ල දෙන්න විතරයි. තව හරියටම මිනිත්තු තුනකින් ඔබට ඉදිරියේ පෙනෙන කවුළුවේ තිර රෙදි විවර වනු ඇති."

"අනෙකුත් සියළුම කටයුතු සැළසුමේ පරිදිම කෙරෙනවා ඇති කියල මම හිතනවා....." රොබී එසේ පැවසූයේ අවසාන මොහොතේ යම් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට ඔහු තුලවූ අකමැත්ත නිසාමය. යම් සුළු හෝ අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන වන්දි ගෙවීමට සිදුවනුයේ ඔහුටය. ඒ බොහෝවිට ඔහුගේ ජීවිතයෙන් විය හැක. 

"නැහැ සැළැස්මේ පරිදි සියල්ල සිදුවනු ඇති. එය ස්ථිරයි." තියුණු හඬෙහි වූයේ දැඩි විශ්වාසයකි.

එම කටහඬ සම්පුර්ණයෙන් වියැකී යාමටද ප්‍රථම රොබී සෙමෙන් හිස හරවා වම් උරහිසට ඉහළින් ඔහු පසුපසින් වූ ජනෙල් කවුළුව වෙත නෙත් යොමු කලේය. 

ඒ වනාහී මෙහෙයුම අවසාන වූ ඉක්බිති ඔහුගේ පළායාමේ මාර්ගයයි. පළායාමේ මාර්ගයක් වශයෙන් ඒ එතරම් විශ්වාස කටයුතු නොවූ බව සත්‍යයක් වුවද රොබී ඒ පිළිබඳව කිසිදු අයුරකින් කනස්සළු නොවීය. මීට වඩා බොහෝ සෙයින් අවදානම් සගහත පළායාමේ මාර්ග භාවිතා කොට සාර්ථකව පළායාමේ මනා පළපුරුද්දක් ඇත්තෙකි රොබී. එසේම අද දින ඔහු ක්ෂණිකව යමෙකුට මරණය ලඟාකොට වහා පළායන සෙවණැල්ලක් පමණි. සෙවණැළි දැකගැනීම මෙන්ම අල්ලාගැනීමද උගහටය. එළෙසම සෙවණැළි මරා දැමීම ඊටත් වඩා උගහටය.

ඉක්බිති රොබී තම වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කලේ තම කාර්යය ඉටුකිරීම උදෙසා කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණය හරහා තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා විසින් ලබා දුන් වේලාව හා සමඟ හරියටම සමපාත වන පරිදි තම සිතෙහි අවරෝහණ කාල ගණනය (Mental count down) ආරම්භ කරමිනි. 

ඔහු ඉදිරියේවූ අබලන් ජනෙල් කවුළුවෙහි වීදුරුව ජනෙල් පඩියේ සිට අඟල් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔසවා තිබිණි. ඉලක්කය ගන්නා අවස්ථාවේදී රයිෆලයේ බර දරාසිටීමේ ආධාරකය වශයෙන් ක්‍රියා කරනුයේ ජනෙල් පඩියයි. කැන්වස් මල්ල තුලින් රයිෆලය සෙමෙන් පිටතට ගත් රොබී එහි බටය ජනේලයේ වීදුරුව පසුකොට අඟල් තුනක පමණ දුරක් පිටතට විහිදෙන සේ ප්‍රවේශමෙන් සකස් කලේය. මේ උදෙසා රොබී රයිෆල බටයේ කෙළවර සිට හරියටම අඟල් තුනක දුරින් රතු පැහැති ඉරක් සළකුණු කොට තිබිණ. 

මේ ඝනඳුරින් වැසීගිය රාත්‍රියෙහි හාත්පස පැතිර ගිය මද ආලෝකයෙන් අඳුරු සෙවණැළි නිර්මාණය කරනු විනා වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවීය.

ඝාතනය සම්පූර්ණයෙන්ම අපේක්ෂා විරහිතව සිදුවිය යුතු අතර ඒ අනපේක්ෂිත භාවය මත රොබීගේ ජීවිතය මුලුමනින්ම රඳා පැවතියේය. එසේම තමන්ට ඉදිරිපසවූ අඳුරින් වැසුණු අත්හැරදැමූ පාලු ගොඩනැඟිල්ලේ සිව්වන මහලේ අඟල් දෙකක් එසවුණු ජනෙල් වීදුරුවක් යටින් තමන් දෙසට එල්ලවුනු අඳුරු පැහැ රයිෆල බටයක අඟල් තුනක් වූ අග්ගිස්ස දැකගැනීමට පමණ දක්ෂයකු ප්‍රතිවාදියාගේ ශරීරාරක්ෂකයින් අතර නොවන බව ද රොබී ස්ථිර ලෙසම දැන හුන්නේය. රොබීට මෙලෙස කිසිදු අපහසුවකින් තොරව ප්‍රතිවාදියා මේ වනවිට හිඳිනා ගොඩ නැඟිල්ල එක එල්ලේ ඉදිරියෙන් වූ අත්හැර දැමූ ගොඩනැඟිල්ලක අබලන් වූ කවුළුවක් අසළ රයිෆලයක්ද සුරතින් දරාගත්වනම පොරොත්තුව හිඳීමට අවස්ථාව සැළසුනේද හුදෙක් ඒ අදක්ෂතාවය නිසාමය. මෙවන් අතපසුවීමක් රුසියානුවන් හෝ ඉරාන ජාතිකයින් අතින් කිසිදා සිදු නොවනු ඇත.

රොබීට තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා පැවසූ පරිදිම හරියටම මිනිත්තු තුනක් ගතවන මොහොතේ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලයෙහි තිර රෙදි විවර විය. ජනෙල් කවුළුවක වීදුරුව විවෘත කොට හෝ නොකොට තිර රෙදි මෑත් කිරීම ඉතාම සාමාන්‍ය සිද්ධියකි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත නිවෙස් සහ ගොඩනැඟිලි රාශියක මේ සංසිද්ධිය දිනපතා සිදුවනු ලබයි. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන්නේ උදෑසන හිරු පායා එන්නාහාම ඉර එළිය විඳ ගැන්මට තිර රෙදි විවර කරන්නෝ සන්ධ්‍යාවෙහි අඳුර ගලා එත්ම තම පෞද්ගලිකත්වය රැක ගනු උදෙසා ඒ තිරරෙදි යලි වසා දැමීම විනා අඳුර ගලා එද්දී තිරරෙදි විවර කිරීම නොවේ.

කොපමණ ප්‍රවේශමෙන් සකස් කලද සෑම සැළසුමකසේම මේ සැළසුමෙහිද යම් නොවැළැක්විය හැකි දෝෂයක් තිබීම ඉතාම ස්වාභාවිකය. මෙම දෝෂය හේතුකොටගෙන සැළැස්ම එහෙම පිටින්ම අවුල්වී යාහැකි බව රොබී හොඳින් දැනසිටි බැවින් ඔහු දෑස් විදහාගත්වනම තිර රෙදි විවරකල කවුළුව දෙස බලා සිටියේය. 

තිර රෙදි විවර කල මෙහෙකාරිය ජනෙල් කවුළුවෙන් පියවරක් පසුපසට ගත්තීය. ඇගේ දෙනෙත අනවශ්‍ය පරිදි එක් නිමේශයක් මාර්ගයෙන් එපිට පිහිටි ගොඩනැඟිල්ල වෙත යොමුව පැවතිණි. ඇය වහා දෙනෙත් ඉවතට හරවාගත් නමුදු තිර රෙදි විවර කල කවුළුව ඉදිරියේ තව දුරටත් රැඳී සිටියාය.

"මොන මඟුලක් කරනවද? දෙයියංගෙ නාමෙන් ඔතනින් අයින් වෙනවා මනුස්සයෝ......" රොබී ඈ දෙස එක එල්ලේ බලාගත්වනම තොල් මතුලේ එම සිතුවිල්ල මාර්ගය හරහා තරංගයක්සේ ගමන් කොට ඇගේ හිසට ඇතුළු කරවීමට උත්සාහ ගනිමිනි. ඇය අවශ්‍ය මොහොතේ අවශ්‍ය ස්ථානයේ අවශ්‍ය පරිදි රැඳවීමට රොබීගේ සංවිධානය සමත් වූයේ ඉමහත් මුදලක් වැයකොට එමෙන්ම ඉමහත් පරිශ්‍රමක් දැරීමෙන්ද අනතුරුවය.

එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ හාම්පුතා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. 

බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වධ වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

PS - හරි හරි තව එක කොටසක් තියනව.....:)

Thursday, August 31, 2017

526. ඝාතකයකුගේ කතාව....1

ඩේවිඩ් බල්ඩාච්චි විසින් රචිත ද ගිල්ටි නවකථාවේ
පිටකවරය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

විල් රොබී අඳුරු සෙවණැල්ලක්මෙන් සැඟව සිටියේ අත්හැරදැමූ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසළය. එම ගොඩනැඟිල්ල පිහිටියේ අමරිකා එක්සත් ජනපදයේ වර්තමාන මිතුරු රාජ්‍යයක අගනුවර ප්‍රත්‍යන්ත ප්‍රදේශයකය.

රොබී මෙසේ සැඟව සිටින කාර්යය යම්හෙයකින් අසාර්ථක වුවහොත් සහ එමෙන්ම එහි රහස්‍ය භාවය හෙළිවුවහොත් බොහෝවිට හෙට දින පටන් ඒ තත්වය වෙනස්විය හැක. එනම් එක්සත් ජනපදය සහ මේ රාජ්‍යය අතර සබඳතා යලි පහසුවෙන් ගොඩනඟාගත නොහැකි පරිදි බිඳ වැටිය හැක. 

රොබී නොගිණිය හැකි පමණ වාර ගණනක් බොහෝ විදේශ රටවල මෙවන් අත්හැරදැමූ පාළු ගොඩනැඟිලිවල අබලන්වූ ජනේල අසළ දෑතෙහි රැඳි ආයුධයක්ද සහිතව සහිතව හුදකළාව ඉවසිලිවන්තව රැඳී සිට පලපුරුදු ඇත්තෙකි. පාළු එමෙන්ම අත්හැරදැමූ මෙවන් ගොඩනැඟිලි රොබීගේ රැකියාව උදෙසා ඉතාම ප්‍රශස්තය. ඉතාම නවීන දුරදක්නා උපකරණ සවිකල ස්නයිපර් රයිෆලයක් ආධාරයෙන් හිසට වෙඩි තබා ඔබට යමෙකු ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේනම් ඔබ කිසිසේත්ම එම කාර්යය දෙනෝ දාහක් මිනිසුන් නිතර ගැවසෙන ස්ථානයක සිට නොකරනු ඇත.

රොබී වනාහී සෑමවිටම සැළසුම අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්නාය. දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම සහ එහි වාසි අවාසි මැන බලා අවසන් තීරණය ගැනීම ඔහුට අණ දෙන උසස් නිළධාරීන්ගේ සහ ඊටත් ඉහළින් වූ දේශපාලනඥයින්ගේ කාර්ය භාරය විය. තීරණය දැනුම් දුන් ඉක්බිති ඉතාම නිරවද්‍ය ලෙස කිසිදු අතපසුවීමකට ඉඩ නොතබා එය ක්‍රියාත්මක කිරීම රොබීගේ කාර්යභාරය වූ අතර ඔහු එහි ඉතාම දක්ෂයෙක්ද විය. සමහරවිට එම කාර්යයෙහි මුළු මහත් එක්සත් ජනපදයෙහිම සිටින ඉතාම ප්‍රවීණයා ඔහු බවද බොහෝ තතු දත්තෝ පැවසූහ.

මෙම තීරණ ගන්නෝද එක්තරා ආකාරයක ඝාතකයෝ වූහ. එහෙත් ඔවුන් ඝාතනයට භාවිතා කලේ රොබී මෙන් වෙඩිඋණ්ඩනොව නොයෙක් අණපනත්, නීති සහ රෙගුලාසි පැනවීමය. එහෙත් එමඟින් ඔවුහු රොබීට තම ජීවිත කාලය තුල හෝ කල නොහැකි පමණ හානියක් නීත්‍යානුකූලවම කලෝය. 

රොබී හිස පහළට හරවා තට්ටු හතරකට පහළින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන වීදිය දෙස නෙත් යොමු කලේය. දැඩි නිශ්ශබ්දතාවයක් වීදිය පුරා පැතිර තිබිණි.

එහෙත් ඒ දැඩි නිශ්ශබ්දතාවය තව බොහෝ වේලා නොපවතිනු ඇත. රොබී තම කාර්යය ඉටු කල ඉක්බිති ඒ නිශ්ශබ්දතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි බිඳ වැටෙනු නියතය.

රොබීගේ දකුණු කණ තුල රැඳවූ  රැහැන් රහිත කුඩා ශබ්ද විකාශන උපකරණය අවසන් උපදෙස් නිකුත් කලේය. ඒ සමඟම රොබී විසින් කලයුතු කාර්යය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක්ද අඩංගු විය. 

සත්‍ය වශයෙන්ම මෙසේ අවසාන මොහොතේ උපදෙස් නිකුත් කිරීමෙහි කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ශෛලමය පුවරුවක කෙටූ වදන් මාලාවක් මෙන් ඒ සියල්ල රොබීගේ මනසෙහි තැන්පත්ව තිබිණි. 

එසේ අකුරින් අකුර සිහිතබා ගැනීම රොබීගේ කාර්යය සාර්ථකව ඉටුකිරීම සහ ඉක්බිති තවත් දිනයක එම කාර්යය කිරීම උදෙසා ජීවිතය රැකගැනීමට ඉතාම අත්‍යාවශ්‍යය. මෙවන් බොහෝ මෙහෙයුම් සංඛ්‍යාවකට ඉක්බිතිද රොබී තවමත් නිරුපද්‍රිතව මිහිමත වසනුයේ හුදෙක් ඒ මතක තබාගැනීමේ හැකියාව නිසාමය.

කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ හඬට සාවධානව සවන්දුන් රොබී පහත් හඬින් කිසියම් ප්‍රශ්න කිහිපයක් විමසා ඔහුට අපැහැදිලිවූ යම් කරුණු කිහිපයක් පිළිබඳ සැක දුරුකොට ගත්තේය. අවසන ඔහුට මෙහෙයුම උදෙසා සූදානම් ව සිටින්නැයි යන නියෝගය ලැබිණි. මේ සියල්ල රොබීගේ රාජකාරිය ඉටු කිරිමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි.

එම ක්‍රියාපටිපාටිය සාමාන්‍ය යනුවෙන් හැඳින්විය හැකිද යන්න සත්‍ය වශයෙන්ම මතභේදාත්මකය. එසේ වනුයේ එම ක්‍රියාපටිපාටියෙහි අවසන් ප්‍රතිඵලය වනාහී කිසිවෙකු ප්‍රචණ්ඩ ලෙස ඝාතනය වීම බැවිනි.

රොබී තම වෘත්තීය ජීවිතය ආරම්භයෙහිදී කිසිදු විටෙක තමන්ට රැකියාව වශයෙන් කිසිවකුගේ නියෝග පරිදි තමන්ට පෞද්ගලිකව කිසිදු හානියක් නොකල පුද්ගලයින් ඝාතනය කිරීමට සිදුවනු ඇතැයි සිහිනෙනුදු නොසිතීය. එහෙත් අනපේක්ෂිත සහ දෛවෝපගත සිදුවීම් කිහිපයකින් අනතුරුව ඔහුට මේ අකුරු තුනකින් සැදි සංකේත නාමයකින් ලොව පුරා කුප්‍රසිද්ධ රහස් ඔත්තු සේවයට සම්බන්ධව කටයුතු කිරීමට සිදුවිය.

ඔහු තම ඝාතක දිවිය ඇරඹූයේ පියවරෙන් පියවරය.

පළමුව ඔහු පුහුණුවූයේ ඝණ කඩදාසියෙන් නිර්මිත ද්විමාන ඉලක්කයන් සමඟය. දෙවනුව ඒ පදම්කල මැට්ටෙන් නිර්මිත ත්‍රිමාන ඉලක්කයන් බවට පත්වූහ. තෙවනුව ඔහු පුහුණු වූයේ ස්වාභාවික රුධිරයට ඉතාම සමාන දියරයක් අඩංගු කුඩා පොලිතීන් බහාලුම් උර කුහරය සහ හිස තුල රැඳවූ මිනිසකුට සර්ව ප්‍රකාරයෙන්ම සමාන වූ ආකෘති සමඟය.

මිනිසකුට ඉතාම සමාන ආකෘති සහ කෘත්‍රිම රුධිරය ස්වාභාවික මිනිසුන් සහ රක්තවර්ණ සත්‍ය රුධිරයට විකාශය වූයේ කවදා කෙලෙසකදැයි රොබී නොදත්තේය. සත්‍ය වශයෙන්ම ඔහු ඒ පිළිබඳව කිසිවිටෙක නොසිතුවේය. එසේත් නැතහොත් ඒ පිබඳව සිත් මෙහෙයවීමට ඔහුට අවශ්‍යතාවයක් හෝ කාල වේලාවක් හෝ නොවීය.

ඔහු තම අතෙහි රැඳි ගිණිඅවියෙහි කොකා තදකොට බොහෝ මිනිසුන් ඝාතනය කොට ඇත. ඒ කිසිම විටෙක එසේ කිරීමට හේතුවක් ඔහු කිසිවකුගෙන් නොවිමසීය. එසේ විමසන ඝාතකයෝ ඒජන්සිය තුල අප්‍රසාදයට ලක්වන්නෝය. ඔවුහු ඉතා ඉක්මණින් රැකියා විරහිත වන්නෝය. බොහෝවිට ඔවුන්ගේ රැකියා විරහිත දිවියද ඉතා කෙටි කාලයකට සීමා වන්නේය. ඔවුහු බොහෝවිට හදිසියේම ඝාතනය වන්නෝය.

මෑත කාලයේදී රොබීගේ සිතෙහිද යම් යම් ප්‍රශ්ණ පැණනොනැඟුනේ නොවේ. සෘජුව තමන්ට ලැබුණු නියෝග ප්‍රශ්ණ නොකළද ඔහු කෙමෙන් කෙමෙන් තම අප්‍රසාදය නියෝග ලබාදෙන්නවුන්හට හැඟෙන්නට සැළැස්වීය. එබැවින් වියයුතු ලෙසම ඔහු සේවය කල ආයතනයේ උසස් නිළධාරීන් අතර ඔහුගේ ජනප්‍රියත්වයද ඒ අප්‍රසාදය දැක්වීම් හා සමානුපාතිකව පහළ බසිමින් පැවතියේය. එහෙත් රොබී ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළේය.

රොබී දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර තමන් මේ අත්හැරදැමූ ගොඩනැඟිල්ලට පැමිණ ජනේලයක් අසල සැඟවී සිට ඉටු කිරීමට අපේක්ෂා කරනා කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

********************************

පලි - 

මේ මම මේ දවස්වල කියවන පොතෙන් පොඩි කොටසක්. 

ඩේවිඩ් බල්ඩාච්චි කියන්නෙ අමරිකානු ජාතික සුප්‍රසිද්ධ ත්‍රාසජනක කථා රචකයෙක්. විල් රොබී සහ ජෙසිකා රීල් කියන්නෙ ඔහු මැවූ ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නම සී.අයි.ඒ. සංවිධානයෙ නිල ඝාතකයො. විල් රොබී කථා මාලාවෙ හතරවෙනි පොත තමයි ද ගිල්ටි. 

පපලි - 

හරි හරි කෑගහන්ට එපල්ල. මේක දිගටම ලියන්ට බලාපොරොත්තුවක් නෑ. තව එක කොටසයි. ඒක සෙනසුරාදට දාන්නං. වැඩේ ක්ලෝස්....:)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...