Tuesday, September 26, 2017

533. ඝාතකයකුගේ කතාව ..........2

ඉලක්කයක් වෙත තම රයිෆලය එල්ල කොටගෙන සිටිනා දුරසිට
සැඟවී වෙඩි තබන්නකුගේ  (Sniper) ඡායාරූපයක් ඉහත දැක්වේ.


ඔහු දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර අද කලයුතු කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

තමා අසළ පිහිටි කපරාරුව කැඩී බිඳී ගොස් රතු පැහැ ගඩොල් මතුවී පෙනෙන කුළුණක් පාමුලවූ දිරාගිය ලෑලි පෙට්ටියක් මත වූ කැන්වස් ගමන් මල්ලෙන් නිශා දෘෂ්ඨි දෙනෙතියක් (Night-vision binoculars) ඉවතටගත් රොබී එහි ආධාරයෙන් ඔහු රැඳීහුන් අත්හැරදැමූ ගොඩනැඟිල්ලට ඉඳුරා මුහුණලා මාර්ගයේ අනෙක්පස පිහිටි පටු ගොඩනැඟිල්ල ප්‍රවේශමෙන් නීරික්ෂණය කලේය. ඔහු රැඳීසිටි ගොඩනැඟිල්ල මෙන් නොව ඒ අනෙක් ගොඩනැඟිල්ල බෙහෙවින් ජනාකීර්ණ විය.

එහි කවුළු තුලින් දර්ශනය වන පරිදි ඇතුලත දැල්වෙන විදුලි ආලෝකයට පසුබිම්ව එහා මෙහා ගමන් කරන මිනිස් ඡායාවෝ බොහෝ වූහ. බහුතරයක් ඒ ඡායාවන්හි දකුණතෙහි දැඩිව ග්‍රහණය කොටගත් බොහෝ ප්‍රබල ගිණිඅවි පවතින බව රොබී නිසැකවම දත්තේය. එසේ වුවද ඔහුගේ වාසියට වූ ප්‍රධානතම කරුණ වූයේ ඔහු මෙහි සැඟව සිටිනා බවක් ඉදිරි ගොඩනැඟිල්ලෙහිවූ කිසිවෙකු සිහිනෙන් හෝ සැක නොකිරීමත් සහ තමනට භාරවූ කාර්යය සාර්ථකව ඉටු කරනුවස් ඔහුට අවශ්‍ය වනුයේ එකම උණ්ඩයක් පමණක් වීමත්ය.

රොබීගේ පූර්ණ අවධානයට ලක්වූ එම පටු ගොඩනැඟිල්ල මහල් සයකින් සමන්විතවූ අතර ප්‍රධාන පාරට මුහුණලා එක් මහළක ජනේල සතර බැගින් ජනේල විසිහතරක්  විය. එසේ වුවද ඔහු සැළකිලිමත් වූයේ එහි තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලය කෙරෙහි පමණය. ඔහුගේ මනසේ එම ජනේලය වටකොට ඒක කේන්ද්‍රීයව විහිදෙන වෘත්ත රැසකින් සමන්විත වෙඩි තැබීම පුහුණුවීමෙහිදී යොදාගන්නා ඉලක්කයක් (Bull's-eye) සිත්තම්ව තිබිණි.

එම ජනේලයෙහි මේ වනවිට පියන්පත් වසාතිබුණු අතර අඳුරු පැහැ තිරයකින් කිසිදු ආලෝකයක් පිටතට නිකුත්වීම වැළැකිණි. එහෙත් නොබෝ වේලාවකින් කිසිවකු හෝ විසින් මේ පියන්පත් විවෘතකොට තිරයද පසෙකට ඇදිය යුතුමය. රොබී කොතරම් අතිදක්ෂ වෙඩික්කරුවකු වුවද ඔහුට කිසිදු අයුරකින් තමනට නොපෙනෙන ඉලක්කයකට වෙඩි තැබිය නොහැක. තම වමත එසවූ රොබී පහත මාර්ගය දෙපසවූ පහන් කණුවලින් නැඟෙන දුබල ආලෝකයෙන් එහි බැඳි අත් ඔරලේසුවෙහි මුහුණත දෙස ක්ෂණික බැල්මක් හෙලීය.

ඉතිරිව ඇත්තේ තවත් මිනිත්තු පහක කාලයක් පමණි.

එම මිනිත්තු පහක කාලයෙන් පළමු මිනිත්තු හතරහමාරක කාලය ගෙවීයාමට කල්ප කාලාන්තරයක් ගතවනුසේ දැනෙනු ඇත. එළෙසම අවසාන මිනිත්තු භාගය අසුරු සැණෙකින් ගෙවී යනු ඇත. මෙවන් මෙහෙයුමකදී කාලය ගෙවීයනු මෙහෙයුමෙහි යෙදෙන්නාට හැඟෙනුයේ අනිවාර්යයෙන්ම ඒ අයුරුය. සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට තමන් අතින් තවත් මිනිසකු ඝාතනය වීමට තවත් ඇත්තේ මිනිත්තු පහක යන කාලයක් පමණකි යන සිතුවිල්ල පවා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉහළ නඟාලන්නකි. හෘදය ක්‍රියාකාරිත්වය සේම රුධිර පීඩනයද ඒ හා සමානුපාතිකව ඉහළ නඟාලන්නකි.

එහෙත් රොබී වනාහී සාමාන්‍යයෙන් එදිනෙදා මඟතොට යනෙනා කල්හි ඔබට හෝ මට හමුවන මාදිලියේ පෘථග්ජන පුද්ගලයකු නොවේ. නියමිත හෝරාව ලඟාවනවිට සත්‍ය වශයෙන්ම ඔහුගේ හෘද ස්ඵන්දන වේගය පහළ බසින්නේය. ඔහුගේ සිරුරේ සියළු මාංශපේශීහු ඉහිල් වන්නාහ. සාර්ථක සහ කාර්යක්ෂම ඝාතකයකු වීම උදෙසා අත්‍යාවශ්‍ය මෙම සාධකයන් රොබී විසින් කාලයක් මුලුල්ලේ වෙහෙසව මහත් වැර වෑයමෙන් ප්‍රගුණ කරගන්නා ලද්දෝ වන්නාහ.

රොබී තම වමත සෙමෙන් දිගහැර මඳක් පහතට නැවී ඒ අසලම පොළව මතවූ ඝන කැන්වස් රෙද්දෙන් නිමවූ සිලින්ඩරාකාර ඩෆල් බෑගය තුලවූ මේ වනවිටත් සම්පූර්ණයෙන් එකලස් කොට තුබූ ඔහු ලබාදුන් මිනුම් අනුව ඔහු වෙනුවෙන්ම නිමවූ දූර පරාස (Custom built long range) රයිෆලය තදින් ග්‍රහණය කොට ගත්තේය. 

සාමාන්‍ය රයිෆලයක් හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් සැහැල්ලු යැයි පැවසිය හැකි ඔහුගේ රයිෆලය තුල කංචුක වැස්මෙන් යුතු උපධ්වානික (Jacketed sub-sonic) එක් වෙඩිමුරයක් විය. ඔහුට ලැබෙනුයේ එකම වෙඩිල්ලක් තැබීමට එකම අවස්ථාවක් පමණි. එසේම ඔහුගේ ඝාතක දිවිය තුල ඔහුට දෙවන අවස්ථාවක් කිසිදු විටෙක අවශ්‍ය නොවිණි.

(Note - ස්නයිපර් ප්‍රහාර වලදී බොහෝවිට යොදාගනු ලබනුයේ Jacketed sub-sonic වර්ගයේ පතරොම්ය. මෙටල් ජැකටය නොහොත් කංචුකය මඟින් වෙඩි උණ්ඩය ඉලක්කය වෙත ගැටුනු පසු විහිද යාම වැළැක්වෙන අතර සබ් සොනික් එනම් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ නිසා සංධ්වනි අත්පාතය (Sonic boom) වැළකෙයි. මේ නිසා සැඟවී කරනා ස්නයිපර් ප්‍රහාරයකදී වෙඩි උණ්ඩය පැමිණියේ කුමන දිශාවකින්දැයි නිශ්චය කරගැන්ම මියගිය තැනැත්තාගේ ආරක්ෂකයින්ට බොහෝ සේ අසීරුය.)

ඔහු දකුණතින් තමා ඉදිරියේ වූ දැවමුවා ජනෙල් පඩියට සෙමෙන් තට්ටු කරමින් යලිත් වරක් තමා විසින් තවත් නිමේශයකින් ඉටුකරන්නට නියමිත කාර්යය පිළිබඳව සිත යොමු කළේය. ලෝකයේ බලවත්ම රාජ්‍යයෙහි බලවත්ම ආරක්ෂක ඒජන්සියෙහි නිල ඝාතකයකුට පවා තම කාර්යය සාර්ථකව නිම කිරීමට සෑමවිටම නොවතුදු යම් සුවිශේෂී මොහොතක වාසනාව යම් තරමකට හෝ අත්‍යාවශ්‍යය.

තව මොහොතකින් ඔහු විසින් ඝාතනය කරනු ලබන තැනැත්තාගේ තොරතුරු සහ පසුබිම මෙහෙයුම ආරම්භයේදීම ඔහුට ලැබුණු රහස්‍ය පිලිගොනුවෙහි අඩංගු විය. මීට ප්‍රථම රොබී විසින් ජීවිතක්ෂයට පත් කරන ලද බොහෝ මිනිසුන්ගෙන් ඒ වෙනස් වූයේ ඉතාම අල්ප වශයෙනි. අද රොබීගේ ඉලක්කය වන පුද්ගලයාගේ ඉලක්ක සහ අපේක්ෂාවන් එක්සත් ජනපද රජයේ ඉලක්ක සහ අපේක්ෂාවන් සමඟ සමපාත නොවීම මෙන්ම වර්තමානයේ එක්සත් ජනපද රජය හා සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන මෙරටෙහි සංවිධාන කිහිපයක් විසින් මොහු කෙසේ හෝ ඉවත් කල යුතු පුද්ගලයකු වශයෙන් නම් කොට තිබීමෙහිද අවසාන ප්‍රතිඵලය වූයේ රොබීට මෙසේ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසල සැඟව සිටින්නට සිදුවීමය.

එම ඉවත් කිරීම මෙම පුද්ගලයා ඉවත් කල යුතුයැයි තීරණය කල මෙරටෙහි එක්සත් ජනපදය හා සමඟ සුහදව කටයුතු කරන සංවිධාන විසින්ම නොකරන්නේ මන්ද යන්න රොබීගේ සිතට නිරතුරු පැන නැඟුනු ප්‍රශ්ණයකි. එහෙත් ඔහු කිසි දිනක කිසිවකුගෙන් ඒ පිළිබඳව නොවිමසූයේ පැහැදිලි පිළිතුරක් නොලැබෙන බව සක් සුදක්සේ දන්නා හෙයිනි. එසේ හෙයින් පිළිතුරු නොලැබෙන ප්‍රශ්ණ විමසනු වෙනුවට රොබී ත විශ්වාසවත් මිතුරා වන රයිෆලයද රැගෙන ජාතික ආරක්ෂාවේ නාමයෙන් තමනට පැවරුනු වගකීම ඉෂ්ඨ කරනු උදෙසා මෙහි පැමිණියේය. 

රොබීගේ කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ පැහැදිලි එමෙන්ම තියුණු හඬ යලිත් වරක් ඔහුට උපදෙස් දුන්නේය. "ඉලක්කය මේ මොහොතේ නියමිත ස්ථානයේ සිටිනවා. ඔහු සමඟ ඉන්නෙ සේවිකාව සහ බොඩි ගාඩ්ස්ල දෙන්න විතරයි. තව හරියටම මිනිත්තු තුනකින් ඔබට ඉදිරියේ පෙනෙන කවුළුවේ තිර රෙදි විවර වනු ඇති."

"අනෙකුත් සියළුම කටයුතු සැළසුමේ පරිදිම කෙරෙනවා ඇති කියල මම හිතනවා....." රොබී එසේ පැවසූයේ අවසාන මොහොතේ යම් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට ඔහු තුලවූ අකමැත්ත නිසාමය. යම් සුළු හෝ අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන වන්දි ගෙවීමට සිදුවනුයේ ඔහුටය. ඒ බොහෝවිට ඔහුගේ ජීවිතයෙන් විය හැක. 

"නැහැ සැළැස්මේ පරිදි සියල්ල සිදුවනු ඇති. එය ස්ථිරයි." තියුණු හඬෙහි වූයේ දැඩි විශ්වාසයකි.

එම කටහඬ සම්පුර්ණයෙන් වියැකී යාමටද ප්‍රථම රොබී සෙමෙන් හිස හරවා වම් උරහිසට ඉහළින් ඔහු පසුපසින් වූ ජනෙල් කවුළුව වෙත නෙත් යොමු කලේය. 

ඒ වනාහී මෙහෙයුම අවසාන වූ ඉක්බිති ඔහුගේ පළායාමේ මාර්ගයයි. පළායාමේ මාර්ගයක් වශයෙන් ඒ එතරම් විශ්වාස කටයුතු නොවූ බව සත්‍යයක් වුවද රොබී ඒ පිළිබඳව කිසිදු අයුරකින් කනස්සළු නොවීය. මීට වඩා බොහෝ සෙයින් අවදානම් සගහත පළායාමේ මාර්ග භාවිතා කොට සාර්ථකව පළායාමේ මනා පළපුරුද්දක් ඇත්තෙකි රොබී. එසේම අද දින ඔහු ක්ෂණිකව යමෙකුට මරණය ලඟාකොට වහා පළායන සෙවණැල්ලක් පමණි. සෙවණැළි දැකගැනීම මෙන්ම අල්ලාගැනීමද උගහටය. එළෙසම සෙවණැළි මරා දැමීම ඊටත් වඩා උගහටය.

ඉක්බිති රොබී තම වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කලේ තම කාර්යය ඉටුකිරීම උදෙසා කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණය හරහා තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා විසින් ලබා දුන් වේලාව හා සමඟ හරියටම සමපාත වන පරිදි තම සිතෙහි අවරෝහණ කාල ගණනය (Mental count down) ආරම්භ කරමිනි. 

ඔහු ඉදිරියේවූ අබලන් ජනෙල් කවුළුවෙහි වීදුරුව ජනෙල් පඩියේ සිට අඟල් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔසවා තිබිණි. ඉලක්කය ගන්නා අවස්ථාවේදී රයිෆලයේ බර දරාසිටීමේ ආධාරකය වශයෙන් ක්‍රියා කරනුයේ ජනෙල් පඩියයි. කැන්වස් මල්ල තුලින් රයිෆලය සෙමෙන් පිටතට ගත් රොබී එහි බටය ජනේලයේ වීදුරුව පසුකොට අඟල් තුනක පමණ දුරක් පිටතට විහිදෙන සේ ප්‍රවේශමෙන් සකස් කලේය. මේ උදෙසා රොබී රයිෆල බටයේ කෙළවර සිට හරියටම අඟල් තුනක දුරින් රතු පැහැති ඉරක් සළකුණු කොට තිබිණ. 

මේ ඝනඳුරින් වැසීගිය රාත්‍රියෙහි හාත්පස පැතිර ගිය මද ආලෝකයෙන් අඳුරු සෙවණැළි නිර්මාණය කරනු විනා වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවීය.

ඝාතනය සම්පූර්ණයෙන්ම අපේක්ෂා විරහිතව සිදුවිය යුතු අතර ඒ අනපේක්ෂිත භාවය මත රොබීගේ ජීවිතය මුලුමනින්ම රඳා පැවතියේය. එසේම තමන්ට ඉදිරිපසවූ අඳුරින් වැසුණු අත්හැරදැමූ පාලු ගොඩනැඟිල්ලේ සිව්වන මහලේ අඟල් දෙකක් එසවුණු ජනෙල් වීදුරුවක් යටින් තමන් දෙසට එල්ලවුනු අඳුරු පැහැ රයිෆල බටයක අඟල් තුනක් වූ අග්ගිස්ස දැකගැනීමට පමණ දක්ෂයකු ප්‍රතිවාදියාගේ ශරීරාරක්ෂකයින් අතර නොවන බව ද රොබී ස්ථිර ලෙසම දැන හුන්නේය. රොබීට මෙලෙස කිසිදු අපහසුවකින් තොරව ප්‍රතිවාදියා මේ වනවිට හිඳිනා ගොඩ නැඟිල්ල එක එල්ලේ ඉදිරියෙන් වූ අත්හැර දැමූ ගොඩනැඟිල්ලක අබලන් වූ කවුළුවක් අසළ රයිෆලයක්ද සුරතින් දරාගත්වනම පොරොත්තුව හිඳීමට අවස්ථාව සැළසුනේද හුදෙක් ඒ අදක්ෂතාවය නිසාමය. මෙවන් අතපසුවීමක් රුසියානුවන් හෝ ඉරාන ජාතිකයින් අතින් කිසිදා සිදු නොවනු ඇත.

රොබීට තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා පැවසූ පරිදිම හරියටම මිනිත්තු තුනක් ගතවන මොහොතේ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලයෙහි තිර රෙදි විවර විය. ජනෙල් කවුළුවක වීදුරුව විවෘත කොට හෝ නොකොට තිර රෙදි මෑත් කිරීම ඉතාම සාමාන්‍ය සිද්ධියකි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත නිවෙස් සහ ගොඩනැඟිලි රාශියක මේ සංසිද්ධිය දිනපතා සිදුවනු ලබයි. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන්නේ උදෑසන හිරු පායා එන්නාහාම ඉර එළිය විඳ ගැන්මට තිර රෙදි විවර කරන්නෝ සන්ධ්‍යාවෙහි අඳුර ගලා එත්ම තම පෞද්ගලිකත්වය රැක ගනු උදෙසා ඒ තිරරෙදි යලි වසා දැමීම විනා අඳුර ගලා එද්දී තිරරෙදි විවර කිරීම නොවේ.

කොපමණ ප්‍රවේශමෙන් සකස් කලද සෑම සැළසුමකසේම මේ සැළසුමෙහිද යම් නොවැළැක්විය හැකි දෝෂයක් තිබීම ඉතාම ස්වාභාවිකය. මෙම දෝෂය හේතුකොටගෙන සැළැස්ම එහෙම පිටින්ම අවුල්වී යාහැකි බව රොබී හොඳින් දැනසිටි බැවින් ඔහු දෑස් විදහාගත්වනම තිර රෙදි විවරකල කවුළුව දෙස බලා සිටියේය. 

තිර රෙදි විවර කල මෙහෙකාරිය ජනෙල් කවුළුවෙන් පියවරක් පසුපසට ගත්තීය. ඇගේ දෙනෙත අනවශ්‍ය පරිදි එක් නිමේශයක් මාර්ගයෙන් එපිට පිහිටි ගොඩනැඟිල්ල වෙත යොමුව පැවතිණි. ඇය වහා දෙනෙත් ඉවතට හරවාගත් නමුදු තිර රෙදි විවර කල කවුළුව ඉදිරියේ තව දුරටත් රැඳී සිටියාය.

"මොන මඟුලක් කරනවද? දෙයියංගෙ නාමෙන් ඔතනින් අයින් වෙනවා මනුස්සයෝ......" රොබී ඈ දෙස එක එල්ලේ බලාගත්වනම තොල් මතුලේ එම සිතුවිල්ල මාර්ගය හරහා තරංගයක්සේ ගමන් කොට ඇගේ හිසට ඇතුළු කරවීමට උත්සාහ ගනිමිනි. ඇය අවශ්‍ය මොහොතේ අවශ්‍ය ස්ථානයේ අවශ්‍ය පරිදි රැඳවීමට රොබීගේ සංවිධානය සමත් වූයේ ඉමහත් මුදලක් වැයකොට එමෙන්ම ඉමහත් පරිශ්‍රමක් දැරීමෙන්ද අනතුරුවය.

එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ හාම්පුතා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. 

බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වධ වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

PS - හරි හරි තව එක කොටසක් තියනව.....:)

41 comments:

  1. ඔය ගෑනි වැඩේ කනවා. ඔව් ආයි දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැං වෙරි බෑලද දොරේ.

      Delete
    2. සුරා,

      හෙහ්..හෙහ්..උඹ දන්නව ටක්කෙටම නේ?

      Delete
    3. හින්දි චිත්‍රපටිවල උනත් විරුවාණන් ගුටිකන්නේ උගේ පෙන්වතිය, අම්මා, නංගී, කුඩම්මා, ලොකු අම්මා, පුංචම්මගෙ නෑනා, ලොකු අම්මගෙ බාල දුව, ආච්චිගේ නගාගෙ ලොකුදුව, ගෙදර වැඩකාර ගෑනි ආදී සාරි අඳින හැතිකරේම උගේ ගාත්‍රා හතරෙම එල්ලිලා උට අතපය හොල්ලගන්න බැරිවෙන්න වැඩේ කරලා

      "අනේ රණ්ඩු කරන්න එපා"

      "මේ මාලෝ මෑ"

      "මෑ මරිජාවුංගී"

      "මේ තුම්නේ රණ්ඩු කර්තේ ඉඩ නහී දේකෝ මේ"

      "ආප්කෝ වලී කර්තා හෝ. ඉස්කේ පවුල් හේ සප්තම් මලගෙවල් කර්තා හූ"

      කිය කියා ඒකව පස්සට අදින හිංදනේ. කොටිම්ම ඒ හැතිකරේගෙං බේරෙන්න දඟලන වෙලාවෙ උගෙ හතුරන්ට ඊස්රායලේට නැවෙං ගිහිල්ලා තුවක්කුවක් අරං පයිං ඇවිල්ලා විරුවට වෙඩි තියා දැම්මැකි.

      එහෙම බැලුවං මේ තනි ගෑනි මුටත් අබසරණ කරනවා සුවර් සොට්.

      Delete
    4. සුරං,

      දෙයියම්ප උඹ යවන්ට ඕන බොලිවුඩ් එකට තිර රචනා ලියන්ට..සංජේ ලීලා බන්සාලි හරි කරන් ජොහාර් ගාවට හරි ගියානං උඹට රජෙක් වගෙ හිටියෑකි.

      චූටි මැණිකෙටත් ඔය ෆිල්ම් එහෙක සුට්ටි පාට් එකක් අල්ලල දුන්නෑකි. දීපිකාගෙ ගෙදර බල්ලා නාවන්ට ඉන්න ලලනාවිය වගෙ සීන් එකක්. අනික උඹනෙ ස්ක්‍රිප්ට් එක ලියන්නෙ. ලියනකොටම චූටි මැණිකෙටත් සුදුසු පාට් එකක් ලියල දාපං මතක ඇතුව.

      නැත්තං මෙහෙමත් කලෑකි. උඹටත් එක්කම පාට් එකක් ලියපං...

      මෙහෙම කොහොමද? කරීනගෙ උපංදිනේට බත් මුල් පනහක් බැඳගෙන ගිහිල්ල මුම්බායිවල හිඟන්නන්ට දෙන්ට ඕන කියල කරීනට හිතෙනව.

      ඒ පාට් එක කරන්නෙ උඹල දෙන්න. ඉවුං පිහුං එතනිං ගිහාම බත් බැඳිලි...මුම්බායි පැත්තෙ බත් බඳින්නෙ කෙහෙල් කොලවල නෙවෙයි...නෙලුං කොල වගෙ තියනව ජාතියක් එව්වට කියන්නෙ පුශ්කරාවතී කොළ කියල. විල්වල හැදෙන්නෙ.

      උඹල දෙන්නම ගිහිල්ල විලේ බැහැල ඒ කොළ කඩාගෙන ඇවිල්ල බත් මාලු උයල බත් ගෙඩි බැඳල සාලෙ මේසෙ උඩ ගොඩ ගැහුවම ඔන්න කරීනා එනව. ඇවිල්ල ඒ බත් මෝටර් බයිසිකලේ පිටිපස්සෙ ගැට ගහපු පෙට්ටියට පටවා ගන්ට උඹල දෙන්නට උදව් කරනව.ඊට පස්සෙ බොලා දෙන්න බයිසිකලේ නැඟිල ගිහිල්ල හිඟන්නන්ට බත් බෙදල දෙනව.

      ඒ අතර හිඟන්නො පනහක් එක්ක මුම්බායි ටවුම මැද බොලා දෙන්න සිංදුවකුත් කියල ඩාන්ස් පාරක් දානව.

      බාත් බන්ධන් පුෂ්කරාවතී පත්‍රම්...
      නීල ජලාසම් ජගදා සත්‍යම්...
      මූම්බායි යාචකම්...පරිත්‍යගම්..
      හා..හම්..හා හම්..හා හම්...හාහම්...

      Delete
    5. මේ සෙට් එකට හිනිද්ත් පුළුවන්නේ

      Delete
  2. ඕන්න ඉතින් බලහල්ලකෝ මූ පෝස්ට් එක පටන් ගත්ත වෙලේ පටන්ම ඉලක්කේ අරන් මිසක් කෝ වෙඩි තියලද? රවියා..... දැන් ඉතින් ඔබතුමාට තමයි වැඩේ සිද්ද වෙන්නේ... එක පේළියට පේලි පහ ගානේද පරිවර්තනේ කොරන්නේ?

    ප.ලි. ඒ මොනවා උනත් පරිවර්තනේ නම් ඉස්තරම්!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      /ඕන්න ඉතින් බලහල්ලකෝ මූ පෝස්ට් එක පටන් ගත්ත වෙලේ පටන්ම ඉලක්කේ අරන් මිසක් කෝ වෙඩි තියලද? /

      ඒකට තමයි බොල පසුබිම සකස් කිරීම නොහොත් බෑග්ගරවුන්ඩ් පෙරෙපරේසං කියන්නෙ...

      කොහෙද උඹෙ කතන්දරවල එහෙම එකක් තියනවය..බහ් ගාල කියන්ට තියන එක කියල දානව...

      දැං බලපං අර මේ දවස්වල උඹ ලියන කපොලු මංකඩ ද මොකක්ද කතන්දරේ ගමු..ඒකෙ අර ඉන්න මේං කැරැට්ටස් එක කංජිද කවුද...ඒ යෝදි එයාපෝට් එකේ ඉන්න සීන්ස් එකේ බෑග්ගරවුන්ඩ් එක කොච්චර අපූරුවට ලියන්ට තිබ්බද බලාපං...

      එවුන්දැ බිම තිබ්බ ගමං මල්ල අරං ඒකට අතදාල වෙල්ල වැහුමක් අරගෙන කාල ගමං මල්ල වහල ආපහු බිමිං තියන එක උනත් ලියන්ට පුලුවනිනෙ පන පිහිටුවල. කොටිම්ම කඳුලු වැටෙන්ඩ....

      කොහෙද එච්චර එකක් තේරෙනවය...බොරු නෙවෙයි හොඳේ..එහෙම බෑග් ගරවුන්ඩ් විස්තර යහමිං දාල ලිව්වොත් බොට ඉතාම සුන අනාගතයක් තියනව නවකතා කාරියක් විදිහට...

      මම කිව්වට කේන්දෙරේ බලවගං අර මංජුල පීරිසාට හරි කාට හරි කියල...ඕනනම් සුලු සුලු අපල ගෙවිල යන්ට වාමාවුර්ත කර්න සංකයක් සහ පුං කලසක් බෙල්ලෙ එල්ල ගන්ට කියයි ඒ යෝදය.....එච්චරයි...

      ආ තව සම්ටයිම්ස් කියයි මාතෘංජය අනංරංග කුරුලු බල දොලහ ගුලි හතක් දාපු සුරයක් ඉණේ බැඳගන්ට කියල පස්ලෝ දං වැලක අමුනල...ඒත් කමක් නෑ බං සියලු අපල උපද්ද්‍රව දුරුවෙන එක ඒකාන්තයි! අත්දුටුවයි!! සත්තයි!!!...:)

      Delete
    2. Likhitha,

      Totally forgot...Thank you so much for the appreciation...:)

      Delete

    3. කොහෙද ඉතින් යන යන තැන ඔය කිව්ව 'බෑග්ගරවුන්ඩ් පෙරෙපරේසං'එක කොරනවා මිසක් හිටෝපු කැකිරි ගෙඩියක් තියෙනවද ඉතින්? මොකටද මගේ කට!

      අනේද කියන්නේ.. මගේ නම කාලා දාන්නේ නැතුව ඉන්නවද.. ඔව් තමයි ඔබතුමා ලිව්වා නම් ඉතින් ප්ලේන් එකට නගින්නත් පරම්පරා දෙක තුනක් යයිනේ. මම නොදන්නවය? මට මතකයි මමත් ඉතින් සැදී පැහැදී කියෝගෙන ආවනේ අර 'ආදර නිල් දෑසේ' කියල එකක්... අනේ ඉතින් ඒක රබර් කියන්නේ ආපිකෝ රබර් වෙලා අන්තිමට උන්දා ගෙදර හිටපු දවස් දෙක අපි කියෙව්ව අවුරුදු බර ගානක්... කොටසම මයේ හිතේ දොළහකටත් වඩා! තව ඩින්ගෙන් පරම්පරා ගානක් කියෝනවා..

      ඒ කතාව ලියලා ඉවර කොලා ඉතින්.. ඩිංගක් විතර බන්ඩි පොහොර ගැහුවා තමයි. නැතිනම් හරි නැහැනේ. ඒ උනාට එතනත් ඔබතුමාගේ ලෙඩේ ගැන පොල් ගහන්ට ලලනාවෝ ආවනේ!! ඒ හන්දා ආයේ නවනින්ගිරා විඳලා මොකටද කියල ( ඉතින් අම්මේ ඉඳල මොටද කියල ජෝන් පැන විගහට.... අතින් පයින් නෙවෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට - නෙයිනගේ සූදුව ) ලියලා දැම්මා...

      වෙල්කම් ඈ

      Delete
    4. /ඉතින් අම්මේ ඉඳල මොටද කියල ජෝන් පැන විගහට.... අතින් පයින් නෙවෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට/

      ඉතිං අම්මෙ ඉඳල මොටද කියල නෙයින පැන විජහට..එතන පනින්නෙ ජෝන් නෙවෙයි බං නෙයින...දුන්න මැතිඳ පයිං එකක්..බිව් රං කිරි මතක් වෙන්ට...ටකට ටකට ටක ටක ටක...

      දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා...අර පනාපුත්‍ර කියන සට්ටඹියයි අනුලා බුලත්සිංහලයි රබං එහෙම අරගෙන ඔය විරිදු කියන්නෙ....

      ඔය ජෝනත් සෙල්ලං පොරක් එහෙම නෙවෙයි...වයිෆ්ගෙ බූදලේ තනිකරම අයිති කරගන්ට වයිෆ්ගෙ එකම මල්ලිව කොන්ත්‍රාත් එකක් දීල මැරෙව්ව පෝරිසාදයෙක්.

      ඒ මිනීමැරුම සෙට් කරල පොර පැන්න ජපානෙට ඇලිබයි එකක් විදිහට. ඒ කාලෙ නැවෙන්නෙ යන්නෙ. ජපානෙට යන්ටම යනවලු මාසයක් විතර. එහෙම ගිහිල්ල මිනීමැරුවෙ උනුහුම එහෙම ගියාය කියල හිතල ආවුරුදු දෙකකිං වගෙ ආපහු ආවලු.

      ඒත් පොරට ගැලවීමක් වෙලා නෑ. වෙඩි තියපු මිනිහ පොලීසියට අහුවෙලා ඔක්කොම සීන් එක කියල. ජෝනා හිරේ ගියා අවුරුදු දහයකටද කොහෙද. මිනිහ හිරේදිම එල්ලිල මලා.

      මගෙ ගාව තියනව අනාදිමත් කාලෙක සන්ඩේ ටයිම්ස් එකේ පලවෙච්චි ඔය විස්තරේ සහසුද්දෙන්ම ලියාපු ලිපියක්. වෙලාවක ඒක පරිවර්තනය කරල බ්ලොග් එකේ දාන්ට ඕන.."ලංකාවේ ප්‍රථම මහා ආන්දෝලනයකට තුඩුදුන් නඩු විභාගය නොහොත් ආටිගල ඝාතනය" කියල.

      Delete
    5. Likits,

      /මට මතකයි මමත් ඉතින් සැදී පැහැදී කියෝගෙන ආවනේ අර 'ආදර නිල් දෑසේ' කියල එකක්... අනේ ඉතින් ඒක රබර් කියන්නේ ආපිකෝ රබර් වෙලා අන්තිමට උන්දා ගෙදර හිටපු දවස් දෙක අපි කියෙව්ව අවුරුදු බර ගානක්... කොටසම මයේ හිතේ දොළහකටත් වඩා! තව ඩින්ගෙන් පරම්පරා ගානක් කියෝනවා../

      අනේ ඇයි බං ඔහොම ආස පොලව නුහූලන මුසාවාද කියන්නෙ?...

      මම ඔය බ්ලූ අයිස් කතන්දරේ ඔක්කොම කොටස් 23 ක් ලිව්ව....

      මෙං බලාපං මුල්ම කොටස දැම්මෙ 2012 ජනවාරි 4....

      Her haunting blue eyes - Part 1

      මෙන්න අවසාන කොටස 2012 පෙබරවාරි 17.....

      Her haunting blue eyes - Part 23

      ඒ කියන්නෙ හරියටම දවස් 45යි ගිහිල්ල තියෙන්නෙ මුලු කතාවටම. ඒ කාලෙ මම ලිව්වෙ වලිගෙ හපාගෙන දිව එලියට දාගෙන ...

      So don't you dare defame me by making false allegations... :(

      Delete
    6. ආ.... ඔය කියන්නේ......! දවස් දෙකද කොහෙද උන්නාය කිව්වේ ඒ ගෙදර. ඒ උනාට කොටසම 23ක් ලිව්වා! කොහොමද වැඩේ!! සතියක් හිටියා නම් අපි තාමත් කියෝනව.. හරි හරි ඉතින් කතාවට කිව්වා තමයි අවුරුදු ගානක්ය කියල. මම කිව්වේ බ්ලොග් අවුරුදු! බ්ලොග් වල අවුරුදු යන්නේ වෙනම කරමෙකට නොවැ !! ( මට නම් එහෙමයි)

      වලිගෙ හපාගෙන, දිව එලියට දාගෙන නොලියා කොහොමද.. නැද්ද.. හැම කොටසේම තිබ්බනේ 'හරි හරි කෑගහන්ට එපල්ල.. තව කොටස් දෙකයි' කියල.. එහෙම කියලා ආයෙමත් එකක් දාල ඒකෙ අගටත් ඒකම !!! පුදුම ඉවසිල්ලක්නේ ඉවසුවේ අපි!!! දැන් එව්වා වැඩක් නැහැ.. මම කිව්වේ උදාහරණයක්. තව ඉතින් කට්ටිය එයි මගේ පැත්තෙන් හිටගන්න මේවට සාක්කි වලට.. ( ඕන් රීන් කට්ටු කට්ටු... සිසිනැකපෝ වරෝ.......!)

      අර මිරිස්ගල ගත්තනම් මගේ කට අතුල්ලා ගන්න!

      Delete
    7. Likits,

      /( ඕන් රීන් කට්ටු කට්ටු... සිසිනැකපෝ වරෝ.......!)/

      මන්තර කිව්වට හරියන්නෙ නෑ සිසිනැකපො එන්නෙ නෑ. උන්දැ දන්නවනෙ මේ දවස්වල වලිගෙ හපාගෙන රෝමෙ ඉස්කූටර් සවාරි යනව. අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා...:)

      Delete
    8. මං ආවෝ. :D

      ඉස්කූටරේ උඩහ පාක් කරලා ආවේ, කතන්දරේ කියෙව්වෙත් නෑ කොමෙන්ට් තමයි කියෙව්වේ. මොකදෑ කියනවානං මේ වගේ දෙබස් වෑහෙන කතන්දරවලට මං හරි මනාපයි. අර දඩයක්කාරයාගේ කතාවේ තලගොයි ජෝඩුවගෙ දෙබස් මට තාම මතකයි, ඔව්.

      දැං මොනවටද මං සාක්කි දෙන්ඩ ඕනැ? :P

      Delete
  3. අද මුලු පෝස්තුවෙන්ම ඉලක්කෙ ගත්ත ඊලඟ පෝස්ටුවෙන් කාමරේ ඇතුලෙ ඉලක්කෙ හොයල විතරක් තිබුනොත් අපි වෙඩි තියෙන්නෙ ඔහේට ඕං....

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      එහෙම කෝපාවිස්ට වෙන්ට හොඳද අප්ප මේ අළුත බැඳපු යුවතියන්?

      Delete
    2. කසුනා සද්දයක්වත් නැත්තෙ මොකදැයි කියලා තේරුං යනවැයි බොලාලට

      Delete
    3. සුරං,

      දෙයියම්ප කිව්වත් වාගෙ බඳින්ට කලිං කසුන සිහල වියුනු ලොව හොල්ලගෙන නෙව හිටියෙ. ඕන්න බොලේ අහසිං එන එකා එනව කිව්වම අපේ ඌර්න රෝම දාතු ඉර්ජු වෙලයි නවතින්නෙ..

      අහස ගුගුරුවාගෙන වර වර..
      පොළව දෙදරවාගෙන වර වර...
      නීල දිය ගැඹර දෙබෑ කරගෙන වර වර..
      කසුනාබිදාන මහා දේවේන්දරයානෝ වියුනු ලොව බැබලවීමට වර වර..

      අන්න එහෙමයි ඒ කාලෙ අපි ඉස්තෝත්‍ර ගායනා කලේ..අම්මප එහෙම හිටිය තෙජෝ බල සම්පන්න මහා වීර තෙමේට වෙච්චි දේක හැටි..

      අම්මප දුකයි! දෑස තෙමෙයි!! කඳුලු හැලෙයි!!!

      Delete
  4. නෙද්දකිං මේක කියෝනවට වැඩිය හොඳයි ස්නයිපර් එකක් අරං වෙඩි තියන්න යන එක.
    දැං ඉතිං ඔය බුලට් එක ජනේලෙන් පාරෙ අනික් පැත්තට යන්න තව මාසයක්වත් යයි මං හිතන්නෙ.

    එනිවේ, හොඳ පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ...උපරිම නෙක්ස්ට් ෆ්‍රයිඩේ වෙඩි තියන එක තියනව තියනවමයි.....අනිවාර්යයෙන්ම ...කන්ෆර්ම්ඩ්...

      Thanks Machang...:)

      Delete
  5. The Story Of My Marriage ලියන්න හිතෙන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. නිමේෂ්,

      හෙහ්..ඒකත් ලියන්න ඕන..ඒකත් ලියන්න ඕන....:)

      Delete
  6. ආතල්ම තැනට ගෙනැල්ලා කුතුහලය අවුස්සලා ආතල් කෑවා.

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      ඒක මල්ලි සෝක් මෙතඩ් එකක්...ඒකට කියන්නෙ බාල්දි ක්‍රමය....

      අර කුසුමෙ අනුගමනය කරන්නෙ ඒ ක්‍රමයනෙ...සුරතාන්තයට මොහොතක පෙර බාල්දියට පයිං ගැසීම...:)

      Delete
  7. මේක බ්ලොග් එක බලන්න අපි එන්නේ රන්දිල් නෝනා ලියන එව්වා බලන්න. ඔහේ රෙදි නැතුව යූඇන්පියට කඩේ යන එව්වා, පල් හෑලි බලන්න නෙමේ. ඒ නිසා ඔහේ ලිපියක් ලියනවා නං ටයිටල් එකේ 'රවී' කියලා දාන්න. එතකොට අපිට සින්ඩිකේටරයෙන් පොස්ට් එකේ ටයිටල් එක බලලා මේකට එනවද නැද්ද කියන එක තීරණය කළහැකි. දැනුත් මේ සිරියාවන්ත රන්දිල් නෝනා බලන්න ආවේ. නොදකින් මේ නාකි ගල් මුසලයාගේ හෑල්ලක් දැක්කේ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. Ano,

      /ඒ නිසා ඔහේ ලිපියක් ලියනවා නං ටයිටල් එකේ 'රවී' කියලා දාන්න. එතකොට අපිට සින්ඩිකේටරයෙන් පොස්ට් එකේ ටයිටල් එක බලලා මේකට එනවද නැද්ද කියන එක තීරණය කළහැකි./

      එහෙම ටයිටල් වල නංගං දාන්ට ඕන නෑ බොලේ..බෝම පහසු මෙතඩ් එකක් තියනවනෙ...

      ඒ මෙහෙමයි.....මම දැං ලියන්නෙ බ්ලොග් පෝස්ට් අංක පන්සිය ගණං එව්වනෙ. එතකොට රන්දිල් නෝන ලියන්නෙ එකසිය ගණං එව්ව.

      ඒ හින්ද බ්ලොග් පෝස්ට් අංකෙ පන්සිය ගාණක්ද එකසිය ගානක් ද කියල බලල ඔහෙට බොහොම පහසුවෙන් හිතා ගත්තෑකි ලියල තියෙන්නෙ මමද රන්දිල් නෝනද කියල...

      යූ අන්ඩස්කර්ට්?

      Delete
  8. සන්නද්ධ අරගලයකින් සමාජවාදය බිහි කරමු ! තෙරුවන් සරණයි ඔයාට !!!

    ReplyDelete
    Replies
    1. Ano,

      හරි එහෙම කරමු මම ලෑස්තියි...:)

      Delete
  9. සැම දා සැමවිට පිටකසන සෙට් එක පමණක් කොමන්ට් දමා ඇත හරවත් කිසි දෙයක් ඒවායේ නැත

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      තම තම නැණ පමණ කිව්වලුනෙ මා මිත්‍රයා.....පිට කහන සෙට් එක තමන්ට පුලුවන් විදිහට තමයි ඔය කමෙන්ට් කරල තියෙන්නෙ..

      ඔයාල ප්‍රබුද්ධ ඇනෝ සෙට් එක දාන්නකො බලන්ට හරවත් කමෙන්ට් එහෙනං....අපිට බලාගන්ටත් එක්කලා...:)

      Delete
  10. ඔය සංවිධාන ඝාතකයෝ වගේම ලේඛකයෝත් එලෙසම පුරුදුකර වැඩෙහි යොදති

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙනං එහෙනං නැතුව නැතුව ....මොනවද ලතා මේ කතා?

      Delete
  11. නියම පරිවර්තනයක්... වෙඩි තියල ඕක ඉවර කරන්න වෙන්නේ නෑ... තව කොටස් 10ක් වත් අදින්න වෙනවා අවුලක් නෑ..අපි ඉන්නවනේ. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුමාස්,

      වෙඩි තියල කතන්දරේ නම් ඉවර වෙන්නෙ නෑ තමයි. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඒත් මගේ පරිවර්තනය වෙඩි තියපු තැනට පමණයි.දොඩංගොඩ බදා ගත්තැහෙ මෙව්ව ඔක්කොම බදාගෙන බෑ බං..එකිං එක ඉවර කරන්ට ඕමනයි...හෙහ්,හෙහ්,

      Thanks Malli for your appreciation..:)

      Delete
  12. කාලෙකට පස්සෙ බං ආවෙ.. උඹ දන්නවනෙ මට තියන වැඩ රාජකාරි. ප්‍රසංගයක් කරන්න නැහුනා පහු ගිය ටිකේ. මට නිකං පොඩි ට්විස්ට් එකක් පේනවා... ඉතිං ඒ සෙද්දට මාසයක් විතර බලං ඉන්ඩ වෙයිද කියලා තමා බය. 1, 2 අතර ගැප් එක දින 26.

    ඔය රේඩියෝ කෙරුවාවෙදි අපිට කියලා තියනවා අසන්නෙකුගේ අවධානය ගුවන් විදුලි වැඩසටහනකදී එක දිගට ලබාගත හැකි කාලය විනාඩි 7 ලෙස සලකන්නය කියලා. එතනින් එහා යනවා පොඩි සින්දුවක්, ඇඩ් එකක් දාලා එහෙම අලුතෙන්ම වර කියලා. අන්න ඒ වගේ, එක කතාවක කොටස් දෙකක් අතර කාලයටත් උඹට දාගනින් ලිමිට් එකක්.

    එ.මා.කෙ.කි.අ.ත.උ.කා (එක් මාතෘකාවක් කෙරෙහි කියවන්නාගේ අවධානය තබගතහැකි උපරිම කාලය) - දින මෙච්චරයි කියලා. ඊට පස්සේ අපේ ප්‍රසන්නයා, ලිඛිතා වගේ කස්ටියට පුළුවන් අර කර්මාන්තශාලා වල සේෆ්ටි ඉන්සිඩන්ට් එකක් නැතුව ගත වුනු දවස් කවුන්ටරේ වගේ... ඝාතකයෙකුගේ කතාව - අවසන් කොටසේ සිට අදට - දින 6, Story of my marriage - අවසන් කොටසේ සිට අදට - දින 11 වගේ ගණන් කරන්න.

    ReplyDelete
  13. පළවෙනි කොටස මිස් වෙලානේ. හප්පා. ඔය ස්නයිපර් කාරයෝ දැක්ක ගමන්ම මට මතක් වෙන්නේ හින්දි චිත්රපටියි. අර රිතික් රෝසාන් බොඩි බිල්ඩින් කරලා කරලා අන්තිමට ස්නයිපරෙකින් වෙඩි තියලා හතුරව මරන එක

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...