Tuesday, September 26, 2017

140. වදනකින් පුළුවන්(ද) ජීවිතයක් රැක ගන්න

මේ ලඟදි ඉන්දික ගුණවර්ධනගේ සුළි මැද පිපි තඹර කියැවීමි. එහි සමහර කොටස් තාමත් හිතේ රැඳී තිබෙන පරිද්දෙන් කැමැත්තක් ඇති කළ බව කිව මනාය. එහි ප්‍රධාන කාන්තා චරිතය-නෙළුම් සිය ජර්මන් ජාතික මිතුරිය-ලින්ඩා හා යෙදෙන සංවාදයක කොටසක් 85 වැනි පිටුවේ තිබේ. එය මේ ආකාරයට ඇදී යයි.

‘‘මං මේවා ජීවිතේට කාටවත් කියලා නෑ ඔයාට ඇරෙන්න.’’ඈ කිව්වෙ සියල්ල කියා අවසන් කළ තැන.‘‘මං දන් නෑ ලින්ඩා, ඔයා ඉස්සරහ මට පුදුම නිදහස් ගතියක් දැනෙනවා. හරියට පාළු ගස් බෙනයක් අස්සට ඔලූව දාලා රහසක් කියනව වගේ බය නැතුව මට ඕනෙ දෙයක් ඔයත් එක්ක කියන්න පුළුවං.’’ ඈ කිව්වා. ‘‘ඇයි ඔයාගේ එහේ යාළුවො ? එයාලත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්නෙ නැද්ද?’’ ලින්ඩා ඇහුවෙ තවත් වයින් උගුරක් බොමින්. ‘‘එහෙම බෙදාගැනිල්ලක් නෑ ලින්ඩා අපේ. කවුරුවත් පුද්ගලික ජීවිතේ ගැන කතා කරන්නෙ නෑ. ඔක්කොම හංගගෙන, ඉවසගෙන, හිතේ තද කරන් ඉඳලා ඔහේ මැරිල යනව මිසක්ක.’’ නෙළුම් කිව්වා.

හිතලා බැලුවහම ඇත්තට ම අපේ රටේ මිනිස්සු යාළුවෝ එක්ක කතා කරන්නේ මොනවද? කවදාවත් තමන්ගේ පුද්ගලික වේදනාවක් යාළුවෙක් එක්ක කියලා හිත නිදහස් කර ගැනීමේ වටපිටාවක් මේ රටේ තියෙනවද? එහෙම හිතාදර මිතුරන් ඇත්තේ ම නැතිවා නොවේ. එහෙත් බොහෝ දෙනෙකු කෙනෙකුගේ රහසක් අසාගෙන එය රස කරන්නට කොයි මොහොතේ තවකෙකු හමුවේදැයි බලා සිටිනවුන්ය. කාලෙකට ඉස්සර සිව්දෙස හෝ මුතුහර සඟරාවේ කියවූ කවියක අරුත තාමත් මතකයේ තිබේ. කෙනෙක් මැරුණාට පස්සේ කනත්තේදී ම ඔහුගේ රහස් නිදහසේ පියාසලන ආකාරය ගැන ඒ කවි පංතියේ තිබුණා මතකයි. ඉතිං අපේ රටේ සමහර මිනිස්සු සියලුම රහස් හිතේ තදකරගෙන මැරෙනකම් ඉන්න තිබෙන අපහසුව නිසා දිවි නසාගන්න පෙළඹෙන අවස්ථා බොහොමයි.

‘‘නිකමට හිතන්නකො ඔන්න කිව්වයි කියලා, පුද්ගලික දෙයක් හරි වෙන ප‍්‍රශ්නයක් හරි. විනාසයි. ඊට පස්සෙ මෝල්ගසුත් පත්තුවෙනවා. ඒ නිසා ඉතිං ඔක්කොම කතා උඩින් විතරයි.’’

කොච්චර කඩවසම් වුණත්, ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටියත්, මිල මුදල් තිබුණත් ඒ නළුවාටත් කාටවත් කියන්න හිත හදාගන්න බැරි වේදනාවක් තියෙන්න ඇති. සේරම ගස් බෙනයකට කියනවා වගේ කියලා හිත හිස් කරගෙන හිත හදාගන්න යාළුවෙක් නොඉන්න ඇති. ඔහුගේ මුහුණු පොතේ පසුගිය පළකිරීම් පරීක්ෂාවෙන් බැලුවොත් මේ වුණු දේ ගැන ඉඟි බොහොමයි. ඒත් ඒ ගැන විමසන්න, හිත හදන්න යාළුවන්ට කල්පනාවට නොඑන්න ඇති.

‘‘එතකොට ඔයාලගෙ යාළුවො යාළුවො කතාවට වැටුණම මොනව ගැනද කතා කරන්නෙ?’’ ලින්ඩා ඇහුවේ කඩදාසි අත් පිස්නයකින් දෙතොලේ තෙත් ගතිය මාත්තු කරමින්. ‘‘ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි, එක එක්කෙනා හොයාගෙන එන ඕප දූපයි, වෙන වෙන ගෑනුන්ගෙ වැරදියි වගේ ඒවා තමයි ඉතින්. ඇත්තම කියනවනං මාත් එහෙම්ම තමයි.’’

දරා ගන්නම බැරි තැන කාට හෝ තමන්ගේ වේදනාව කිව්වා නම්, තම තමන්ගේ ප්‍රශ්න පසෙක තබා ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි කල්පනාවෙන් ඉන්නා අප සමාජයේ මිතුරු හවුල් වල කතාබහට තමන්ගේ වේදනාව මාතෘකා වෙතැයි ඔහු කල්පනා කරන්නත් ඇති. ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයින්ගේ රහස්, ඕපදූප පත්තර වලට, වෙබ් අඩවි වලට ලබා දෙන්නේ ඔවුන් ලඟින් ඇසුරු කරන පිරිස ම බව ඔහුත් දැනගෙන ඉන්න ඇති.



මේ ලෝකේ හැම සමාජයක ම තිබෙන්නේ එක හා සමාන ප්‍රශ්න. තව කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක්, ඕපදූපයක් වශයෙන් ගෙන පුදුම වෙන්න දෙයක් ඇත්තේ ම නැති තරම්. අනෙක් අතට ඒ ප්‍රශ්නය තමන්ටත් තව ටික කලකින් ඇති වන්න නොහැකිද? වඩා වැදගත් ජිවත් වීමයි. ඒ ජිවත් වීමට උපකාරී නොවන මිනිසුන් මරණයට උදව් වෙන හැටි!

අනෙක් අතට අද සියදිවි නසා ගන්න තරම් හිතෙන ගැටළුවක් තව සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් එහෙමත් නැත්තං දශකයකින් පසුව සමහරවිට අමතකත් වෙලා තියෙන්න පුළුවන්. ලොව සිදුවන්නේ සිදුවීම්ය. ඒවාට හොඳ හෝ නරක ලේබල් අමුණන්නේ මිනිසුන්ය. හැමදේම වන්නේ හොඳටයි යනුවෙන් හද පතුලෙන් ම සිතා ගත් කළ එය දිව ඔසුවක් වන්නේමය.

‘මැරෙනවුන් කිය කියා මැරෙන්නේ නැත‘ යි බරපතල මිත්‍යාවක් අප අතර තිබේ. පසුගිය කාලයේ දිවිනසාගත් අයගේ මුහුණු පොත් ගිණුම් පරීක්ෂාවෙන් බැලුවහොත් ඔවුන් පුන පුනා සිය තීරණය පිළිබඳ ව දන්වා තිබූ ආකාරය දැකිය හැකිය. එබැවින් අප දන්නා අයගේ හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටීම පසුව කණගාටුව ප්‍රකාශ කිරිමට වඩා යහපත් නොවේද?

ඔබේ කිනිසි වැනි වදනක් කෙනෙකුට දිවි එපා කරවන්නට පුළුවන. ඔබේ බ්‍රහ්ම දණ්ඩයටත් එය ම කරන්නට පුළුවන. එපමණක් නොව, තව කෙනෙකුගේ දිවි රැක දීමට ඔබගේ කාරුණික හැසිරීම හේතුවන්නටත් පුළුවන. ඔබට විසඳන්න අපහසු තත්ත්වයක් නම් සුදුසු ප්‍රතිකාර වෙත යොමු කරවන්න පුළුවන.

කලකට පෙර මාත් මගේ මිතුරෙකුත් ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමේ ආදිනව ගැන කරුණු කියමින්, එසේ නොකළ යුත්තේ ඇයි ද යන්න ගැන, පවුලේ අයට සිදුවන අපකීර්තිය ගැන දීර්ඝ දුරකථන සංවාද හෝ කෙටි පණිවුඩ හෝ චැට් හෝ මගින් කරුණු කියමින් (ඇත්තටම මෙයින් එක මගයි භාවිතා කළේ. එය මට දැන් මතක නැත) අනෙකාගේ සිත හදන්න කාලය ගතකළ අයුරු මතක තිබේ. නමුත් දැන් කල්පනා කරන විට අප දෙදෙනාගෙන් ගෙල වැලලාගන්නට ගියේ කවුදැයි මට හරියට ම මතක නැත. (දෙදෙනාට ම ඒ කාලයට අනුව මහා බැරෑරුම් ප්‍රශ්න තිබිණ) දැන් ඔහුට දුරකථන ඇමතුමක් දී එය විසඳාගත හැකිය. බැරිවෙලාවත් දිවිනසා ගන්නට සැලසුම් කළේ මා නම්! වස ලැජ්ජාවකි. එබැවින් නොඅසමි. සමහරවිට ඔහුටත් අමතකව තිබෙනවා විය හැකිය. හැබැයි එක් කරුණක් පැහැදිලිව කිව හැක. ඒ නම් මිතුරු වදනක් මරණයක් වැළකූ බවය.

දරුණු විශාද තත්ත්වයකදි හෝ වෙනත් මානසික රෝගී තත්ත්වයකදී කතාබහ කොට විසඳිය නොහැකි අවස්ථා මතුවිය හැකිය. ඒ පිළිබඳව දැනගැනීමටත් ඔබගේ සමීපතයින් ගැන කල්පනාවෙන් සිටිය යුතුව ඇත. ඔබට යම් හෙයකින් දිවි නසා ගැනීමේ සිතක් පහළ වුවහොත් ඒ පළමු අවස්ථාවේදීම 1333 අංකයට අමතන්න. දුරකථන ගාස්තු පවා අය නොකරමින් පූර්ණ රහස්‍යභාවය සුරකිමින් ඔබේ දිවි රැක දීමට සැදි පැහැදි සිටිනා අයෙකුගේ හඬ අනෙක් පසින් ඔබට ඇසෙනු ඇත.

31 comments:

  1. අද මටත් මහත් කම්පනයක් ගෙනදුන්න මේ සිද්ධිය. අනේ කවුරුම හරි හිටියෙ නැත්ද එයාව තේරුම් ගන්න. මගෙ සමීපම නැගනියක් මේදේ කලා කාලෙකට ඉස්සර. මම බ්ලොග් සටහනකුත් ලියා ඇති. කෙනෙක්ගෙ දුකක් වේදනාවක් හදුන ගන්න තරම් සංවේදී හදවත් තියෙන අය ඉන්නෙ කීයෙන් කී දෙනාද රන්දි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මේ ගැන බෝධිනිත් සටහනක් එක කර තිබුණා. මේ වගේ වෙලාවලදි කතා කරලා විතරක් මදි, සමහර කෙනෙක් අනිවාර්යය උපදේශන සඳහා යොමුකළ යුතුවන බව ඇය වෛද්‍යවරියක ලෙසින් සිය අත්දැකීම් මතින් පවසනවා

      Delete
  2. කතා කරන්න වගේම සවන් දෙන්නත් මිනිසුන් හුරුවිය යුතු කාලයක් මේ... ස්තූතී රන්දී මේ ගැන කතිකාවක් ගොඩ නැගීම ම මොනතරම් වටිනවා ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එරංදි අදහස් දැක්වීමට

      Delete
  3. රන්දිකා....
    මට මෙහි අන්ත දෙකක් පෙනෙනවා. එකක් තමයි අපේ ආසියාතික සංස්කෘතිය ඇතුලේ අපිව යාළුවො, පවුලේ අය අතරේ සමහර වෙලාවට දැන් කාලේ හැටියට කරදරකාරයි කියලා හිතෙන තරමට බැඳුනු නෙට්වර්ක් එකක් තියෙනවා. ඒකෙ අතුරු ප්‍රතිපලයක් විදියට අපි මොකක් හරි නසරානි වැඩක් කරලා ටවුමෙන් පිටවෙලා ගෙදර එන්න කලින් ගෙදර උන් දන්නවා සිද්දිය තාර බරත් එක්කම. ඒකේ ප්‍රතිපලයක් විදියට අපිව එක අතකින් ආරක්ෂා උනා. ( අන්න මිස් ඔයාගේ දුව/පුතා මම දැක්ක අන්න අතන ඉන්නවා අද! - දැන් ෆේස්බුක් වගේ නෙවෙයි, ලයිව් යන්නේ!!)
    තවත් අතකින් අපිව කොටු උනා. ආරංචි වෙයි කියලා අපේ හැඟීම් අපි හැංගුවා.

    බටහිරෙන් එන ආකල්ප තියෙන නූතන සිස්ටම් එක ඇතුලේ අල්ලපු ගෙදර එකා ලොතෝනි තිබ්බට එහෙම දුවගෙන යන්නේ නැහැ, වැඩිම උනොත් 119 කතා කරනවා මිසක්. ඕනේ දෙයක් කරලා ගෙදර ඇවිත් පිට්ටු කාපු පොලිස් රාලහාමි වගේ ඉන්න පුළුවන්. එතැනදී අපි අනාරක්ෂිතයි. ඒ උනාට අපි අපේ හැඟීම් පිටකලා වෙන්නත් පුළුවන්.

    නමුත් එක එක භූමිකාව ඇතුලේ අපි රඟපාන වෙලාවල් වලදී ඇත්තට මුණදෙන්න හරිහමන් යාළුවො ඉන්න එක ලොකු හය්යක්, ඔය මොන වෙලෙත්. වැටුන වෙලාවල් වලදී මාව ඉස්සුවෙත්, මාව තවත් වැට්ටුවෙත් යාලුවෝම තමයි. ඒ උනාට දැන් කාලේ යාළුවො ඇත්තටම කල්‍යාන නැති බව නම් පේන්න තියෙන දෙයක්.

    මේ සිද්ධිය නොදන්නා නිසා මට කියන්න දන්නේ නැහැ ඒක ද හේතුව කියලා. නමුත් ගොඩක් වෙලාවට එක දුරකථන ඇමතුමක් ජිවිතයක් බේරගන්න සමත් වෙනවා. ඒක නම් සහතික ඇත්ත.

    මට මැරෙන්න හිතුන වෙලාවල් වලදී ලැබුනේ නැත්තේම ඒ දුරකථන ඇමතුමම තමයි! නමුත් ඒත් මම තාම හුස්මගන්න හින්ද මට හිතෙනවා එයත් ක්‍රිටිකල් නැහැ කියලා.


    Chicken soup for the soul....

    ReplyDelete
    Replies
    1. Likhitha,

      /මට මැරෙන්න හිතුන වෙලාවල් වලදී ලැබුනේ නැත්තේම ඒ දුරකථන ඇමතුමම තමයි!/

      ඉදිරියට අවුලක් වෙන එකක් නෑ..මම දෙන්නං ඒ දුරකතන ඇමතුම...Would give you that little bit extra incentive to take the plunge with pleasure ...Ha..Ha...Ha

      Delete
    2. මැරෙන්න හිතුන ගමන් මේ බ්ලොග් එකේ රවියගේ පොස්ට් එකක් බලපු ගමන් හරි.. ඉතිරි කොටස දානකම් මැරෙන්න හිතෙන්නේ නෑ.. හෙහ් හෙහ්

      Delete
    3. @Pathum:
      නෑ පැතුමෝ .....

      ඒක බැලුවහම වෙන්නේ මරාගෙන මැරෙන්න... හත්වලාමේ මේ වෙනකොටත් සීනිගම දේවාලේ පෝලිම දික් වෙලා.. වෙන මොකටද ඉතින් අනන්‍යා කේස් එක මිසක්!

      Delete
    4. @Ravi:
      අනේ දුහුප් කිව්වේ! ආව මෙතැන ඒකත් අල කරන්න!!!

      Delete
    5. ලිඛිතා දිවිනහගන්නව නම් සුමාන අන්තිමයක් අල්ලලා ඒක කරන්න. මරණෙට එන්න නෙවෙයි. අපිට දානෙට එන්න පුළුවන් වෙන්න. ලියුමක් ලියල මැරෙනවනම් දානෙට එන අයට බොන්න දෙන්න කියල ලියන්නත් අමතක කරන්න එපා.

      Delete
    6. ආ.. එහෙමද ? හුහ්.. හිතේ ඇති...

      මැරිලා ගිහින් වැකේෂන් යනවය කියල හිතුවද? බොන්න එන එක එකාගේ බෙල්ල, ටික ටික කන්නේ!! මම ලියුමක් ලියන්නේ ඔයාවත් නම් කරලා, මේ ලින්ක් එකත් එක්ක. මාව මරණෙට පෙළඹෙව්වා කියල. ඔබතුමා ශෙයා කරලා තියෙන ලින්ක් එකේ වගේ තමයි එතකොට. ෂෝයි නේ?

      Delete
    7. ලිඛිතා,

      /නෑ පැතුමෝ ..... ඒක බැලුවහම වෙන්නේ මරාගෙන මැරෙන්න../

      ඉතිං බොල යෝදියෙ එහෙම උනත් එකයිනෙ...මරාගෙන මැරෙන්ට මාව මුණගැහෙනකල් ඉන්ට එපාය..එතකොට ඉතිං උඹේ දිවි නසාගැනීමේ අදහස නැතිවෙලා යයි නිකම්ම.

      ඔය දිවිනසා ගන්න අයගෙන් 90% ද කොහෙද අර ඒ වෙලාවෙ ඇති වෙච්ච උද්වේගකර හැඟීමක් හින්දලුනෙ දිවි නහගන්නෙ. ඒ මොහොත පහු උනොත් එයාල දිවි නහගන්න අයිඩියා එක අතෑරල දානව. ඒකයි ඔය කෘමිනාශක එතකොට වල් නාශක එහෙම කොහෙහරි ආරක්ෂා සහිත තැනක ඉබි යතුරු දාල තියන්ට කියල කියන්නෙ...

      Delete
    8. //අන්න මිස් ඔයාගේ දුව/පුතා මම දැක්ක අන්න අතන ඉන්නවා අද!// අප්පේ සහතික ඇත්ත. අපේ අම්මාගේ කන්තෝරුවේ ආන්ටිලාගේ ඇන්ටෙනා වලින් බේරිලා ඒ දවස් වල අපි දෙන්නා ගමන් බිමන් ගියේ හරි අමාරුවෙන්.

      Delete
  4. කදිමයි රන්දිල්

    ReplyDelete
  5. රන්දිල් ලියූ හොඳම ලිපිය. බ්‍රහ්ම දන්ඩනය කිව්වේ මොකක්ද කියලා මට දැන් අමතකයි. රවිවරක් ඕක කිව්වා වගේ මතකයි. ඒ කියන්නෙ silent treatment එකද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ්. බ්‍රහ්ම දණ්ඩය ගැන මං ම ලිව්ව ලිපිය ගැන වෙන්න ඇති මේ කියන්නේ. මං පස්සේ ලිංක් එක මේල් කරන්නම්

      Delete
  6. තමන්ගේ 'පෙම්වතාව' මාස ගනනක කෙටි පනිවිඩ හරහා දිවි නසාගැනීමකට යොමුකල ඇමෙරිකාවේ තරුණියක් ගැන මේ කථාව දන්නවාද?

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියේ නැහැ. මේ ලිංක් එකෙන් ගිහින් කියෙව්වා. පුදුම වැඩ මේ ගෑණු දැරිවියෝ කරන්නේ. අපට බෝර්ඩ් වෙන්නවත් බැහැ.

      Delete
  7. සියදිවි නහගන්නේ බහුතරය හිත හයිය නැති අයද? අනේ මංදා මටත් ජීවිතේ මුල් කාලෙදි මැරෙන්න හිතුන වාර අනන්තයි. ඒ වුනාට අපේ ගමේ වහබිල මැරිච්චි බහුතරය අවසානෙට විඳෝපු හැටි මතක් වෙනකොට දිවිනහගන්න බය හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම යම් පමණකට හිත හයිය වෙන්නත් එපැයි නැත්තං කොහොමද ඔය වගේ පණ යන වැඩක් කරන්න‍ේ. ඒත් ඒ හයියට තව හයිය ටිකක් එක්කාසු කරගෙන ජිවත් වීමයි වටින්නේ කියලා පහදලා දෙන්න කෙනෙක් නැති වුණාම පව් ඉතිං

      Delete
  8. සංස්කෘතිය සදාචාරය ආදරය වැනි වදන් වලට මුවා වී ගැහැනු දරුවන් දරා ගැනිමට නොහැකි තරම් "තමන්ව යටපත්" කර ගනිමින් අනෙකුත් අය වෙනුවෙන් දහසකුත් කැප කිරිම් කරමින් ද පිරිමි දරුවෙකු තනිව ගැටලුවකට කෙලින් මුහුණ දීමට නොහැකි බොළද ළදරුවන් ලෙසින් හැමදෙයම අතට පයට කර දී "තමන්ව යටපත්" කරමින් තමුන් ලඟ නොමැති පෞර්ශයක් මවා පාමින් ද දෙමාපියන් වැඩිහිටියන් විසින් හදා වඩා අවසානයේ ඔවුන් තනිව වැඩිහිටියන් ලෙස සමාජයට මුදා හැරීමේදි ඇති වන ඛේදවාචක වලට දරුවන්ට ඇඟිලි දික් කරද්දි තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දික්ව ඇති බව අමතක වී යන්නේ.. කාගේ අවාසනාවටද මන්දා...

    Everyone need to learn how to live independently... not only live HAPPILY live.. education system also should change to teach that and most importantly the way parents raise children need to be change.. children need to learn what is called "Independent life", how to face to the life independently...how to solve problems without making another problem... how to live with a peaceful mind without depending too much on others...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි. වෙන කෙනෙක් මත තම ජිවිතය යැපෙන (මුදල්මය යැපීම පමණක් නොවේ) තැනට පත් කරගත්තහ වෙන අනතුර. ස්තුතියි ඔබටත්

      Delete
  9. ඔබට මගේ ආචාරය!

    පසු ගිය අවුරුද්දේ විතරක්, ඉතාම තරුණ වයසේ පසුවූ දරුවන් තිදෙනෙකුගේ සියදිවිනසා ගැනීම් අපේ ප්‍රජාවේ සිද්ධ වුණා. එයින් එක්කෙනෙක් අපිට බොහොම කිට්ටුවෙන් හිටිය කෙනෙක්. මේ නිසා මේ ගැන දැනුවත් කිරීමේ වැඩමුළු, සාකච්ඡා බොහොමයක් පැවැත්වුණා. ඒකෙන් මම ඉගෙනගත් කරුණු කීපයක්.

    මානසික ආතතියේ අවධි;

    ආතතිය (Stress) - යම් කිසි දෙයක් අරබයා ඇතිවන මානසික ව්‍යාකූලතාවය. බොහෝ විට නිසි තීරණයක් ගැනීමට එකවරම නොහැකිවීම නිසා. මෙය නරක දෙයක්ම නෙවෙයි, යම්කිසි සිතා බැලීමකට පොළඹවන දෙයක්. යමක බරපතලකම වටහා ගැනීමට උදව් වන දෙයක්.

    ඇන්සයටි (Anxiety) - තවදුරටත් තීරණයක් ගැනීමට නොහැකිවීම නිසා වර්ධනය වූ ව්‍යාකූල තත්වය. සිද්ධිය සහ ඊට අදාල තීරණය ගැන සිතනවා වෙනුවට, තීරණය ගතනොහැකි වීම නිසා ඇතිවන ව්‍යාකූලබව සීග්‍රයෙන් වර්ධනය වේ. කෙමෙන් පිටවීමට අමාරු චක්‍රයක් තුලට ඇතුල් වෙමින් පවතී. සමහර පුද්ගලයන් පහසුවෙන් දේවල් දෙමාපියන්ට, නැදෑ හිත මිත්‍රයන්ට පවසන අතර, සමහරුන් එසේ නැත. ලක්ෂණ හඳුනාගෙන කතාබහ කලහොත් පහසුවෙන් එයින් මුදවා ගැනීමේ හැකියාවක් පවතී. සමාජයේ බොහෝ විට සිද්ධවන්නේ මේ තත්වයේ ඉන්නා කෙනෙකු විවේචනයට භාජනයවීමයි. විශේෂයෙන්ම දෙමාපියන් සහ මිත්‍රයන් අතින්. සමහරුන් 'මොකද්ද ප්‍රශ්නේ?' කියා ඇසුවත් බොහෝ විට එම ප්‍රශ්නයේ අරමුණ ඔබගේ ප්‍රශ්නය මොකද්ද කියන එක නොව, ඇයි මේක ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියන එකයි.

    ඩිප්‍රෙෂන් (Depression) - කලින් කියූ ව්‍යාකූලබව වර්ධනය වී තමන් ගැන අඩු වටිනාකමක් ඇතිවීම. බොහෝ විට කිට්ටුවන්තයන්ගේ 'අරය නම් කොහොම හරි කරගෙන ඔයාට තමයි බැරි' වගේ ප්‍රකාශ මීට බරපතල ලෙස බලපායි. තමන්ට මෙයින් ගැලවීමක් නැතැයි සිතයි. කිසිවෙකුට කියා වැඩක් නැතැයි සිතයි. තමන්ට ඇති ප්‍රශ්න වලට උත්තර නැතැයි සිතයි. ඉතා පැහැදිලි ලෙස තමන් ඉතා කැමැත්තෙන් කල දේවල් මගහරියි (පහසුවෙන් නිරීක්ෂණය කල හැකි, හඳුනාගත යුතු අවස්ථාවකි ). සුරතල් සතෙක් සිටී නම් ඌව බලා කියා ගැනීම අතපසු වෙයි, කෑම බීම නිසි වේලාවට ලබා නොගනියි. නිදිවර්ජිතව ගත කරයි. කාමරයෙන් එළියට වැඩිපුර නො එයි. මෙම තත්වයේ අන්තයට පත්වූවන් තමන්ගේ සිතුවිලි තමන්ට පිටස්තර තැනකින් උපදී යැයි සිතන්නට පෙළඹේ. එනම් තමන්ට පිටත සිට අමතන, අණ කරන හඬවල් ඇසේ යැයි කියයි. මෙවැනි දෙයක් කිසිවෙකු හෝ පැවසුවහොත් වහාම ක්‍රියාත්මක විය යුතුය. දෙමාපියන්ට දන්වා වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුකල යුතුය.

    මිත්‍යා මත
    -----
    සිය දිවි නසා ගැනීම ගැන කතා කිරීම නිසා සියදිවිනසා ගැනීම් වැඩිවේ - මෙය මිත්‍යාවක් බව කතාකල සියලු විශේෂඥයන්ගේ මතයයි. නමුත් සියදිවි නසා ගැනීමේ සිදුවීම් සිල්ලර ලෙස ප්‍රචාරය කිරීම සහ සියදිවිනසා ගැනීම යන සමාජ ප්‍රශ්නය යනු දෙකක් බව වටහා ගතයුතු බව අවධාරණය කලා.

    කිසිම ඇඟවීමක් තිබුණේ නෑ - මෙයද මිත්‍යාවක් බවත්, සියදිවි නසා ගන්න බහුතරය ඒ පිළිබඳ ඉඟි ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කලා. තමන්ගේ මරණය ගැන කතා කිරීමේ සිට, තමාගේ ප්‍රියතම උපකරණ, සුරතල් සතුන් අත හැරීම එම ඉඟියන් වීමට ඉඩ තිබේ. එසේ ඉඟි නොලැබෙන හදිසි තීරණද ඇත.

    ReplyDelete
  10. කලයුතු නොකලයුතු දෑ
    -----------
    දරුවන් අන් දරුවන් සමග සංසංදනය නොකිරීම පුරුද්දක් වශයෙන් ප්‍රගුණ කල යුතුය. ඉන්ජිනේරු, වෛද්‍ය වෘත්තීන් සහ ඊට අදාල අධ්‍යාපන කටයුතු පමණක් ගැන ඉහලින් කතා කිරීමේ පුරුද්ද ද අත්හල යුතුය.

    කෙනෙකුට කියන්නට ඇති දෑ ගැන බාධා කිරීමකින් තොරව නමුත් පූර්ණ අවධානය ඇතිව අසා සිටීමේ හැකියාව වර්ධනය කරගත යුතුය. අප බොහෝ දෙනෙක් කොටසක් අසා පිළිතුරු දීමට තැත් කිරීමෙන්, ප්‍රශ්නය පවසන්නා සැබෑ ප්‍රශ්නය නොකියා සිටීමට ඉඩ ඇත. ඔබේ අවධානය නැති බව දැනුනහොත් සිදුවන්නේ එයමය.

    එක් වරම කතා කිරීමට මැලිකමක් දක්වන අයට තමන්ගේ අදහස් ප්‍රශ්න ලියා ඉදිරිපත් කිරීමට උනන්දු කිරීම හොඳය. නමුත් අනිවාර්යයෙන් එම ලියූ දෙය වෛද්‍යවරයෙකුට හෝ විශ්වාසවන්තයෙකුට කියවීමට ලබා දීමට එකඟ කරවා ගත යුතුයි.

    ආගමික හුරුපුරුදු ගැන නැඹුරුවක් නැති පුද්ගලයින්, ප්‍රශ්නයක් ඇති අවස්ථාවක පමණක් ඊට යොමු කිරීමෙන් ඵලක් නැත. බොහෝ විට ආගමික පූජකවරුන් මානසික විද්‍යාත්මක කාරණා ගැඹුරින් හදාරා නැත. මෙය ආගම ඉගැන්වීමට වේලාවක් නොවේ, නමුත් දිනචරියාවෙහි ආගමික වත්පිලිවෙත් ඇති කෙනෙකුට එම වත්පිලිවෙත් වල යෙදීමෙන් යම් කිසි සහනයක් ලබාගත හැකිය. මෙය සංගීත භාණ්ඩයක් වාදනය කරනවා වැනිය. වාදනය ගැන හුරුවක් ඇති අයෙකුට එමගින් සහනයක් ලබා ගත හැකි නමුත් එය වාදනය ඉගෙනගැනීමට කාලය නොවේ.

    සමහර කාරණා මානසික ලෙස පෙණුණද ඒවායේ භෞතික පැත්තක් ද තිබේ. සමහර අවස්ථා ඖෂධ ගැණීමෙන් පාලනයක් සිදුකල හැක. ඒ නිසා කලයුත්තේ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමය.

    මෙවැනි දේ වලක්වාලීමට වඩා උපකාරී වන්නේ අප තුල යම් යම් පුරුදු ඇති කර ගැනීමයි. මිතුරෙකු සාමාන්‍ය ලෙස නොහැසිරේ නම් දුරකතන ඇමතුමක් හෝ ලබාදී ඒ ගැන සොයා බැලීම. සාවධානව අසා සිටීමේ පුරුද්ද ඇති කර ගැනීම. මිතුරු කවයන්, පවුලේ සාමාජිකයන් මුණගැසී කතාබහේ යෙදෙන අවස්ථාවන් සංවිධානය කිරීම. තමන්ගේ ප්‍රශ්න ඔවුන් සමග බෙදා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රශ්න බෙදාගැනීමට ඉඩ ලබාදීම සහ උනන්දු කරවීම.

    අප පැවැත්වූ ප්‍රධාන වැඩමුළුවට ආරාධිතයෙක් ලෙස සහභාගී වූ අයෙක් තමයි දිනේෂ් පලිපාන. ශිෂ්‍ය අවධියේදී රිය අනතුරක් නිසා quadriplegic (අතපය හතරටම බලපාන අංශබාග තත්වය ) තත්වයට පත් වූ ඔහු අද එම තත්වයෙන් වෛද්‍ය වෘත්තියට එළඹි ක්වීන්ස්ලන්තයේ ප්‍රථමයා. ඒ වගේම එම තත්වයේ සිට වෛද්‍ය උපාධිය ලබාගත් ඕස්ට්‍රේලියාවේම දෙවැන්නා.

    Dinesh Palipana - Video

    ** මේ සියල්ල ලියුවේ මට මතක ඇති ආකාරයට සහ මා ග්‍රහණය කරගත් ආකාරයට බැවින්, මෙහි සමහර කාරණා නිවැරදි නොවීමට ඉඩ ඇත. වඩා සුදුසු වන්නේ අවශ්‍ය නම් මේ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගැනීමයි.

    ReplyDelete
    Replies
    1. තිසර... තිසර... මෙච්චර වටින පණිවුඩයක් කොමෙන්ට් එකක අකුරු කරලා ඇතිද? මේ වචන ටික මීට වඩා සමාජගත වෙන්න ඕනෑ. මම ‍ෆේස් බුක් එකේ ශෙයාර් කරන්නම් හරිද?

      Delete
  11. මම ඔය දෙන්න ගැනම අහල තිබ්බේ නැහැ. ඒත් අර ශලනි කියන කෙල්ලට බනින්නේ මොකද කියල නම් තේරුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් කරගන්න දේවල් වලට කාටවත් බැනලා වැඩක් නැහැ කියන එක තේරුම් නොගන්නාතුරු මේ අය තව තවත් ශලනිලාට බැන බැන ඉඳියි. ස්තුතියි අයියේ අදහස් දැක්වීමට

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...