ඒ 2009 වසරේ ජනවාරියේ මැද දවසක්. දුව ලැබෙන්න ඇවිත් සති 5ක් පමණ වූ තැන ඇති වූ තත්ත්වයක් හේතුවෙන් අපි වෛද්‍ය උපදෙස් මත රෝහල් ගතවන්නට තීරණය කළෙමු. රාගම රෝහලේ පූර්ව ප්‍රසව වාට්ටුවකට මා ඇතුළත් කෙරිණ. එවැනි අවස්ථාවන් වලට මුහුණ දුන් කාන්තාවන් විසි ගණනක් පමණ ඒ වාට්ටුවේ නේවාසිකව සිටි අතර මුළු වාට්ටුවම පුදුමාකාර අඳුරු ගුප්ත ස්වභාවයක් ඉසිලුවේයැයි දැන් වුවද ඒ ගැන සිතද්දි මට සිහි වේ. සමහර කෙනෙකු හත් අට වතාව ගබ්සාවන් වලට ලක් වූවන්ය. සමහර කෙනෙකු මළ දරු උපත් කිහිපයකට මුහුණ දුන් අයය. රෝහල් ගත කළ විගස මට අදාළ එන්නත ලබා දුන්නත්, එය ලබා දුන් හෙද නිලධාරිනිය පැවසූයේ ඇමරිකාවේ ඒ වනවිටත් ස්වභාවික ගබ්සාවක් වන්නට මෙන් රුධිරය වහනය වන්නේ නම් එම එන්නත නොදෙන බවය. එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ යන කෙනා යායුතු බවත් බලෙන් නවතා ගැනීමෙන් රෝගී දරුවෙකු මේ ලොවට බිහි වන බවත්ය. රැඳෙන කෙනා කෙසේ හෝ රැඳෙන බවත්ය. නමුදු ලංකාවේ 2016 අග වනවිටත් එම එන්නත ලබාදුන් බව අත්දැකීමෙන් දනිමි.
එම වාට්ටුව ඇත්තටම ශෝකාලාපයන්ගෙන් පිරුණු වාට්ටුවකි. සිනා මුහුණක් නැති තරම්ය. නේවාසික කාන්තාවන් මෙන් ම ඔවුන්ව බලන්නට පැමිණෙන්නන්ද දුක්බර මුහුණු වලින් යුතුවිය. එක් කාන්තාවක් පැවසුවේ ඇය ගර්භනි මාස 7 හෝ 8 සම්පූර්ණ වී ගබ්සාවන් 6කට මුහුණ දුන් බවයි. එවර පැමිණ සිටියේ වැඩි පරිස්සමට රෝහල්ගත වන්නටය. ඇය වෛද්‍යවරුන්ට පවසා තිබුණේ, ‘මට අංග විකල මොංගල් දරුවෙක් හෝ කමක් නැහැ, අනේ ඉංජෙක්ෂන් එක ගහලා පරිස්සම් කරලා දෙන්න‘ කියාය. ගබ්සාවන් කරගන්නා අය කණෙන් ඇදගෙනවිත් දණගස්වා අප විඳින දුක පෙන්විය යුතු බව ඇය තවදුරටත් පැවසුවාය.
හැම කාන්තාවම අනෙක් කාන්තාවන්ට වෛද්‍යවරුන් පවසන දෑ කෙරෙහි ඇරුණු සවනින් යුතුය. මගේ දරු ගැබට ගැටළුවක් නැති බව වෛද්‍යවරුන් පවසා විනාඩි ගණනක් යන්නට මත්තෙන් වාට්ටුවේ එහා කෙළවරේ කෙනෙකුද, ‘ඔයාට නම් ප්‍රශ්නයක් නැහැ කිව්වා නේද?‘ යි දුක්මුසුව මගෙන් අසා සිටියාය. එය තමන්ගේ බෝට්ටුවෙන් කෙනෙකු බැස ගොස් දූපතකට සේන්දු වූවාට තමන්ට ඒ අවස්ථාව නැති බව දැනීමෙන් ඇතිවන දුකට සමාන වනවා විය යුතුය.
මානසික, ශාරිරික, පවුල්මය, සාමාජිය ගැටළු බොහෝ ගණනක් හා ගැටෙමින් දරු සිහිනයක එල්බ සිටි එම සොයුරියන්ට සිය බලාපොරොත්තුව ඉටු කරගැනීමට හැකි වීද? නොවීද? නොදනිමි. නමුදු ඒ අය පිළිබඳ අඳුරු පැහැගත් ගුප්ත වූ ශෝකයක් සැමවිට ම මහදේ රැඳී තිබේ.
ඉන් මාස ගණනකට පසු, දින සම්පූර්ණ වූ පසු, ද සොයිසා කාන්තා රෝහලට ඇතුලත් වීමි. එහිදි එක් කාන්තාවක් ගෙදරදි ඇද වැටීමෙන් අනතුරුව රෝහල්ගත වී මළ දරු උපතකට මුහුණ දුන්නාය. ඇය ලේ වැකි ඇඳුම් ඇඳගෙන, දුර්ගන්ධය වහනය වද්දි පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව වාට්ටු දෙක පුරා ඇවිදිමින් ළදරුවන් ඉන්නා තොටිලි වෙත එබෙමින් හූල්ලන්නට වූවා, දරුවන් ලැබෙන්න ඉන්නා මව්වරුන් වෙත පැමිණ උමතු වදන් තෙපලන්නට වූවාය. සියලුම කාන්තාවන්ගේ වැඩිහිටියන් ඇයට මුහුණ නොදී දරුවන් පරිස්සමින් රැක බලා ගන්නා ලෙස උපදෙස් නිකුත් කරන්නට විය. ඇය සිහිවන සෑම අවස්ථාවක ම උගුරට අපුලක් දනවමින්, නාසය හැකිලී යද්දි මගේ හිත හිස් බවකින් පිරේ. ඇඟ මස නලියන ලෙසක් දනවමින් නොසන්සුන් බවකින් හද රිදවෙන සෙයක් හැඟේ.
මරදාන අවට වත්තකින්, දරුවා ලැබෙන්න අමාරු වී පැමිණි ඉතාමත් තරුණ මවක් වාට්ටුව දෙවනත් කරමින් හූ තියන්නට වන්නේද ඒ දිනවලදීමය. ඇගේ කෙස්ස කිසිදා පනාවක් නොදුටු වැනිය. උකුණන්, ලේඬීන් පරම්පරා ගණනට නවාතැන් සපයා, සපයමින් සිටියාය. හෙරොයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ ඇය ආ දින ම රෑ දරුවා ප්‍රසූත කර පසුදා ඒ දරුවා වාට්ටුවේ දමා පැන ගියාය. ඒ දරුවාටත් මවටත් සිදු වූ දෙයක් නොදනිමි. එළඹුණු මේ සැප්තැම්බරයේ අට වස සම්පූර්ණ කරන ඒ දරුවා කෙරෙහිත්, දිවිමග අවුල් ව ගිය එ මව කෙරෙහිත් අනුකම්පා කරනු මින වෙන කුමක් කරන්නද?
පොඩිපුතු ලැබෙන්න ඉඳිද්දි, සති කිහිපයක් සම්පූර්ණ වූ තැන ඇති වූ තත්ත්වයක් හේතුවෙන් කාසල් රෝහලේ නේවාසික ප්‍රතිකාර වෙත යොමු වීමි. එම වාට්ටුවේ මා වැනි තවත් කාන්තාවෝ සිටියෝය. යාබද ඇඳේ සිටි කාන්තාව බැලීමට පැමිණි ඇගේ හිතවත්, රෝහල් සේවිකාවක් මෙසේ පවසනු මා අසාගෙනය.
“හෙට යනවා බබා බලන්න. ගොඩ දවසකින් යන්න බැරි වුණා“
අනතුරුව සංවාදය මෙසේ ඇදී ගියේය.
“ඇයි බබා කොහෙද ඉන්නේ?“
“ප්‍රීතිපුර“
“අනේ ඇත්තද? ඇයි අර?“
“එයා ඇබ්නෝමල්නේ උපතින්ම. අම්මෝ ගෙදර හිටියා නං මට මාර දුකක් විඳින්න වෙන්නේ. ඒ කාලේ මට ජීවිතේ එපා වෙලා හිටියේ. කොච්චර වුණත් මේ රස්සාවකුත් කරන ගමන් මට එහේ එයාව බලනවා වගේ බලන්න වෙන්නේ නැහැ. දැන් එයාත් හොඳට ඉන්නවා. මාත් මගේ වැඩටික කරගෙන ඉන්නවා. ආයේ නං දරුවෝ හදන්නේ නැහැ“ සෑහිමට පත් බවක් පෙන්වන මුවින් යුතුව ඇය පවසන්නීය.
“අපිත් යමු නේද දුව වෙලාවක බබා බලලා එන්න“රෝගී කාන්තාවගේ මව් ඇසුවාය.
“අපොයි අපොයි ඔයා එන්න එපා මේ ප්‍රෙග්නන්ට් කාලේ. පස්සේ බැරියෑ“ ඒ රෝගී දරුවාගේ මව් සිනාමුසුව පැවසුවාය.
“ඒකට මක් වෙනවද මං ආවාට පස්සෙ වෙලාවක අපි යමුකෝ“
ඔවුන් ඒ දරුවා බලන්න ගියාදැයි නොගියාදැයි යන වග මම නොදනිමි. දෙමව්පියන් සිටියදීත්, සිය ‘අසාමාන්‍ය උප්පත්ති‘ ස්වභාවය නිසා අනාථ වූවන් සේ ප්‍රිතිපුරට වී දෙමව්පියනට සැනසුම ගෙන දෙන ඒ දරුවන් පිළිබඳ, ප්‍රීතිපුරට යාබද සයුරට ඉහලින් ඇති හිස් අහස හිතේ මවමින් හිතේ ඇතිවුණු හිස් බවකින් යුතුව තවදුරටත් අකුරු කරමින් යමි.
මගේ මිතුරිය සේවය කරන රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යතුමා අත්දැකීම් සපිරි කරුණාවත් කෙනෙකු වූ නිසා එම රෝහලේ දි දරුවා ලැබීමට සිතා එහි සායන වලට සහභාගී වීමි. එම රෝහලට ආසන්නයේ තිබෙන අංගොඩ මානසික රෝහලෙන් හැමදාම පාහේ එහි නේවාසික කාන්තාවන් එක් කෙනෙකු හෝ ඒ සායනයට පැමිණ සිටියාය. ඔහේ බලාගත් අත බලාගෙන හෝ තනිව මුමුණමින් හෝ නොතේරන යම් යම් දේ පවසමින් හෝ ඔවුන් සිටියදි, ඒ හා සමග පැමිණි රෝහල් සේවිකාව වෛද්‍යවරුනට විස්තර පවසන්නීය. පියා කවුදැයි නොදන්නා කළලයක් කුසදරා උඩබිම බලමින් සිටිනා ඇය යම් දිනෙක ඒ දරුවාට උපත ලබා දෙනු ඇත. කිරි දෙන්නවත්, දරුවාගේ අනෙකුත් කටයුතු කරන්නවත්, දරුවාගේ වෙනසක් හඳුනාගන්නවත් නොතේරෙන ඒ අම්මාත් දරුවාත් සමග රෝහල් කාර්යය මණ්ඩලයට නොබෝ දිනකින් අල්ලන්න වෙන අඩව්වත්, ඉන් අනතුරුව ඔවුන් සමාජය හා ගැටෙන අයුරු, සමාජය ඔවුන් දෙපළ පිළිගන්නා අයුරු, ආදි කාරණා ඔබට මට බෙහෙවින් දුරස්තරය. නමුදු එම ක්‍රියාවලිය මේ මොහොතෙත් ක්‍රියාත්මකය. වික්ශෝපවීම හැර වෙන අන් යමක් කරන්නට නොදැනී ඊ ගාව පරිච්ඡේදයට මෙසේ යන්නෙමි.
පුතු ලැබෙන්න මාස 6 සම්පූර්ණ වද්දි උණ වැළඳුනු දියණිය හා එම රෝහලේ ම නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වීමි. යාබද ඇඳේ වූ අසාමාන්‍ය ලෙසින් කෙසඟ සිරුරක් හා ඊට සාපේක්ෂව තරමක විසල් හිසකින් යුතු වූ, පා අද්ද අද්දා ඇවිද්ද පුතු පැටියාගේ මව් මුල් දින දී මට හරියකට මුහුණ නොදුන්නාය. පසුව මගේ උවමනාවට ම වචනයකින් දෙකකින් ඇය අල්ලා ගැනීමට මට හැකිවිණි. ඊට පෙර කිසිදා මා දැක නොතිබූ නහරයක් වැනි බටයක් ඒ දරුවාගේ හිසේ සිට සමට යටින් ඇඟ දිගේ පහළට යොමුව තිබිණ. මා ඇගෙන් ඒ පිළිබඳ විමසුවාය.
“අනේ නංගී... ඔයා ඕවා අහන්න බලන්න එපා. මෙයා දිහා බලන්නත් එපා“යි ඇය දුක්බර සිනාවකින් යුතුව වැඩිහිටි සොයුරියක සේ මට අවවාද දුන්නාය.
“මං එහෙම හිතන්නේ නැහැ අක්කේ. එහෙනම් මගේ යාළුවා එයාගේ දුව ලැබෙන්න ඉද්දිත් මේ වාට්ටුවේ වැඩ කළානේ. ඕවා සේරම හිත“ ඇත්තටම මෙවැනි කාරණා සම්බන්ධයෙන් සසල වෙන හිතක් තිබුණත් මටත් උවමනා වූයේ රෝහල් කාර්යය මණ්ඩලයේ කාන්තාවන් ආදර්ශයේ තබාගෙන හිත දැඩි කරගන්නටය.
“හැමෝම එහෙම හිතන්නේ නැහැනේ නංගි. මං දැන් නෑ ගෙදරකවත් යන්නේ නැහැ වැඩිපුර“ යැයි පැවසූ ඈ දරුවා පිළිබඳ විස්තර පැවසුවාය. දරුවාගේ යම්කිසි අසාමාන්‍ය ස්වභාවයක් කුසදීම සොයාගෙන තිබිණ. අවසානයේ දරුවා මේ ලෙසින් උපත ලබා ඇත. තවත් දරුවකු හැදුවත් ඒ දරුවාත් මෙසේ වේයැයි බියෙන් සිටියත් හැකි විගස තව දරුවෙකු හදන මෙන් වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන්නේ මේ දරුවාගේ ජිවිත කාලය එතරම් දිගු නොවන නිසා විය යුතුය. නමුත් මේ දරුවා සමග නිතර දෙවේලේ රෝහල් ගත වෙමින් නිදිවරා දින දින ගෙවමින් සිටි ඇයට ස්වභාවික ගබ්සාවක් ද සිදු වී තිබිණ. මේ කියන දිනට පෙර සතියේ නැවතත් ඇය ගැබ්ගෙන සිටින බව දැනගත් පැවසූ ඇය මට රහසින් මෙන් පැවසුවේ එදින උදෑසන සිට රුධිරය වහනය වෙමින් සිටිනා බවය. වහාම මගේ කාරුණික මිතුරිය මගින් එදින පැවැත්වෙන සායනයට යොමුවන්නට යැයි ඇයට බලකර පවසා සිටීමි. ඒ අනුව ඇය මගේ මිතුරියට සිය විස්තරය පැවසුවාය. ඇය වහ වහා ක්‍රියාත්මක වී එම කාන්තාව සායනය වෙත යොමු කළ අතර එමගින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි වුවත් අවශ්‍ය තරම් විවේකයක් ලැබීදැයි නොදනිමි. කරන්නේ කුමක්දැයි කියන්නේ කුමක්දැයි නොදන්නා අසරණ දරු පැටියා හා හැපෙන ඒ අම්මාත් තාත්තාත් අතීතයක් මිස අනාගතයක් නොමැතිව ගෙවෙන දිවියේ අරුත කර්මයෙන් ම පසිඳලන්නට රිසි සමාජයක නිරුත්තරව සිටිමි.
දින සම්පූර්ණ වී පුතු ලැබෙන්න රෝහල්ගත වූ විට එක් කාන්තාවක එතරම් විසල් කුසක් නොමැතිව සිටියා, නිරතුරු කඳුළු සලමින් සිටියාය. ඇයට දරුවන් තුන්දෙනෙකු සිටින අතරේ හතරවැනි දරුවා පිළිසිඳ තිබිණ. මුලින් හිත් කලබල කරගත්තද පසුව මුළු පවුලම අලුත් අමුත්තා පිළිගන්නට සූදානම් වද්දි, අසාමාන්‍ය බඩ රිදුමකින් ඇගේ දෛනික දිවිය අවුල්වන්නට විය. කළලය පිළිසිඳගෙන තිබුණේ පැලෝපීය නාලයේය. වෛද්‍ය උපදෙස් අනුව රෝහල් ගතවුණු ඇයට ඊට පසුදින කරන ලද සැත්කමක් මගින් කළලය ඉවත් කරන ලද්දේය.
“මොනවා කරන්නද? මේ ඔපරේෂන් එක නොකළා කියලා විසඳුමක් නැහැනේ. මගේ ජීවිතේ අවධානමට දාලා මුළු පවුලම අනාථ කරන්නද?“ සැත්කමට පෙර ඇය පවසා සිටියාය. වෛද්‍ය විද්‍යාවේ අනුහසින්, සිදුවන්නට ගිය ඛේදවාචකයකින් ඒ දරු පවුල ගැලවුණත් තර්කයට කැමති කෙනෙකුට පව්, පිං, කර්මය, සසර, දේව කැමැත්ත ආදී කවරාකාර කාරණයක් හෝ ඉදිරිපත් කරගෙන වාද කළ හැකි බව හඟමින් ඉදිරියට යමි.
ගබ්සාව නීතිගත කළා වැනි ව සංවාද කරමින්, මතවාද නිමවමින්, මත ගැටුම් මවමින් සිටිනා සමාජයට අමතක වූ හෝ විහින් අමතක කළ යමක් ඇත. ගබ්සාව නීතිගත කර නැත. ගබ්සාව අනිවාර්යය කර නැත. යම් යම් තත්ත්වයන් යටතේ අවසර දීම පමණයි සිදුව ඇත්තේ. අනෙක් අතට මවගේ ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවකදි කළලය ඉවත් කිරීමට අවසරය මීට පෙර සිටම අප රටේ නීතිය තුළ ක්‍රියාත්මකය.
කළලයේ වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගත් සංකූලතාවක් නිසා මෙන්ම කළලය අතවරයක් හේතුවෙන් පිළිසිඳගත් අවස්ථාවකදි ගබ්සාවට අවසර දීම සඳහා නීති සැකසීම යනු, මේ අවස්ථා දෙකෙහිදී ම ගබ්සාව අනිවාර්යය කිරීම නොවන බැවින් විවිධාකාර කාරණා ඉදිරිපත් කරමින් මෙම නීතියට විරෝධය පළ කරන අයවලුන් හට මෙවැනි අවස්ථාවක් උදා වුවහොත් ගබ්සා නොකර සිටිය හැකිය. ආගමික විශ්වාසයන් අන් අයට හානි නොවන පරිදි පවත්වාගෙන යෑමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රජයයන් මගින් සළසා තිබේ. එබැවින් ඔබගේ පව්, පිං, කර්මය, සසර, දෙවියන්ගේ කැමැත්ත ආදී කාරණා ව්‍යාකූල කර නොගෙන පවත්වාගෙන යෑමේ අවස්ථාවට හානියක් නැත. මක්නිසාද යත් කුමන හේතුවක් යටතේ වුවද ගබ්සාවක් කරගැනීම පාපයක් වන්නේ නම් ඒ පාපය කරගන්නේ කළලය දරන තැනැත්තිය විසින් වීමය. තමන් ඒ දෙය කරනවාද නැද්ද යන්න නිදහස් මනසින් යුතුව තීරණය කිරීමේ අවස්ථාව සළසා දෙන්නට යන අවස්ථාවේ ඔබේ මතය දිනවන්නට තිබෙන හොඳම අවස්ථාව ඉහත කී කුමන අවස්ථාවක් වුවද ඔබට මතුවුවහොත් ගබ්සා නොකර සිටීම පමණි. බුද්ධ ධර්මයට අනුව විලෝපිකයෙකු ගොදුරක් ඩැහැ ගැනීමට යන අවස්ථාවේ ගොදුරට ලක්වන සත්ත්වයා බේරීමෙන් සිදුවන්නේ ද පවකි. ඒ විලෝපිකයාට ආහාර ගැනීමට තිබෙන අවස්ථාව වැළකීමේ පවයි. එබැවින් එවැන්නක් දුටුවිට ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳ සිහිකොට පසෙකට වීම වටී. විලෝපිකයාට යම් පවක් සිදුවේ නම් එය දරාගත යුත්තේ විලෝපිකයාමය. (‘මිනිසුන් විලෝපිකයින්ට සමාන නොකරමි. උදාහරණය පමණක් සළකමි.) එබැවින් එම කාන්තාව හා ඇගේ පවුලේ අය ගන්නා තීරණ මගින් අපට පව් සිදුවන්නේ නැත. පුද්ගලිකව මට මෙවැනි දේකට මුහුණ දෙන්න සිදුවුවහොත් මා කුමන තීරණයක් ගනීදැයි මේ මොහොතේ නිශ්චිතව ම පැවසිය නොහැක. එහෙත් වෙනත් අන් අයෙකු ගන්නා තීරණයන් වෙත බාධාවක් වන්නට නොයමි.
යම් සමාජ පද්ධතියක නීති රීති සකස් වන්නේ හැඟීම් මත පිහිටා නොවේ. හරි වැරැද්ද, බහුතරයකට සිදුවන යහපත, අනාගත පැවැත්ම ආදිය සළකාය. එහිදී මතු ආත්මයේ සිදුවන්නට ඉඩ ඇතැයි උපකල්පිත කාරණා සළකා බැලීමක් සිදු නොවේ. නමුදු එයින් තමන්ගේ සසර ගමන සකසා ගැනීමට බාධා පමුණුවා නැත. සසර ගමන පිළිබඳ කටයුතු කිරීම නීති පද්ධතියේ කාර්යයක් නොවේ. ඇරත් ධර්මානුකූල නීති පද්ධතීන් ක්‍රියාත්මක නම් ලොව කොතැනවත් යුධ ගැටුම් නොතිබිය යුතු නොවේද?
මේ සම්බන්ධව මට ඇති වූයේ මෙවැනි ගැටළු නොවේ.
කළලයේ මාරාන්තික සංකූලතාවක් මුල් අවස්ථාවේ හඳුනා නොගැනීමේ වැරැද්දට දරුවා උපන් පසු දෙමව්පියන් වෛද්‍යවරුන්ට විරුද්ධව නීතිය හමුවට යයිද?
එක් වෛද්‍යවරයෙක් සංකූලතා ඇතැයි පවසද්දි තව කෙනෙක් එසේ නොවේ යැයි ඔප්පු කළහොත් ඇතිවන තත්ත්වය කුමක්ද?
අතවරයක් යැයි පැහැදිලිව ඔප්පු කර අහවර වද්දි කළලය වැඩී, මාස ගණනක් සම්පූර්ණ කර තිබුණහොත් සිදුවන්නේ කුමක්ද?
පළමු පරිච්ඡේදයේ කියැවුණු කාන්තාවගේ ‘අංග විකල දරුවෙකු‘ හෝ ලබා ගැනීමේ බලාපොරොත්තුවට ගරු කරණා ආකාරයටම එවන් දරුවෙකු බිහි කිරීමෙන් වැළකී ඉන්නට දරණ උත්සහයකට ද එක සේ ගරු කරමි.
මළ දරු උපතින් වේදනාවට පත් කාන්තාව මෙන් ම මොනයම් හේතුවක් නිසා හෝ දරුවා රෝහලේ දමා යන්නට සිදු වූ කාන්තාව පිළිබඳව ද අනුකම්පා කරමි.
තමන් නොදැන තමන්ගේ කුසින් දරුවෙක් දරා සිටින්නට සිදු වූ මානසික ආබාධ ඇති කාන්තාව පිළිබඳ ව මෙන් ම දැන දැන ම ආබාධ සහිත දරුවෙකු උපද්දන්නට සිදු වූ කාන්තාව පිළිබඳ ව ද කණගාටු වෙමි.
සමහරවිට සෞඛ්‍ය සම්පන්න විය හැකි දරුවකු වන්නට තිබූ කළලය, සිය ජීවිතයට ඇති අනතුර හේතුවෙන් ඉවත් කරන්නට සිදු වූ කාන්තාවගේ දරා ගැනීමේ හැකියාව දෙස කරුණා පෙරදැරි සිතින් බලමි.
බාල පුතු ලැබෙන්න සති ගණනක් සම්පූර්ණව තිබියදි ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් අපේ බලාපොරොත්තු සුන් වූවාදැයි යන බියෙන් දරාගත නොහැකි ශෝකයට පත් වූ ආකාරයත් දැන් පුතුගේ මුහුණ දකින විට එය සිහිවද්දි දැනෙන හැඟීමත් විස්තර කරන්නට මට වචන නැත. එබැවින් එවැනි තීරණයක් ගැනීමට සිදුවන මවකට, කාන්තාවකට එය කෙතරම් වේදනාකාරී පරීක්ෂාවක්දැයි මට හොඳින් වැටහේ. එතරම් ශෝකජනක අවස්ථාවකට මුහුණ දී සිටින ඇයට අඩුම තරමින් තමන් නීති විරෝධි නොවන තීරණයක් ගන්නේ යැයි සිතාවත් සැනසීමට තිබෙන අවස්ථාවට මං ඇහිරීමෙන් වළකින්න අපට හැකි නම්...
ඉඳින් පැහැදිලි කොන්දේසි මත, ඇයට තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන්නට තීන්දු කිරීම පිළිබඳ ව විරුද්ධ නොවන්න. ගතයුතු තැනදී නිවැරදි යැයි හිතෙන තීරණය ඔබ ගන්න. මක්නිසාද යත් එය කළ යුතුමයි හෝ නොකළ යුතුමයි යැයි බල කරන කිසිවෙකු නැති බැවිනි.
මම හිතුවේ වෛද්‍ය බෝධිනී ගේ ලිපියක් කියල. රන්දිකා ගේ අත්දැකීම් කියවිමෙන් , මේ සම්බන්ධ වෛද්‍ය වරුන්ගේ අත්දැකීම් කොහොම වෙයි ද කියල හිතා ගන්න පුළුවන්. හරිම සංවේදියි
ReplyDeleteමම නම් ඔය නීති දෙකටම උඩින්ම එකගයි. ඒ ගන්න තීරණේ අයිතිය අදාළ පුද්ගලයින්ට දෙන්න ඕනේ. මම නම් හිතන්නේ නෑ ඔය වගේ අවස්ථාවකදී කලලයක් විනාශ කිරීමෙන් අකුසලයක් සිද්ද වෙනවා කියල. එහෙම අකුසලයක් වුනත් මේ ලෝකේ අපිට ඕනේ තරම් ඉඩ තියෙනවා පසුව කුසල් කර ගන්න. පව් පිං කියන දේ මිනිස්සු බය කරන්න ආගමෙන් හදපු දෙයක් හැබැයි කුසල් අකුසල් විශ්වයේ පවතින සත්‍යතාවන්. මේ විශ්වය සර්ව සාධාරණ විදියට අපිට අවශ්‍ය දේ ලබා දෙනවා ඉතින් සාධාරණ අවස්ථාවකදී කෙනෙක් ගන්න තීරණය නිසා ඒ පුද්ගලයාට හානියක් වෙන්න විදියක් නෑ කියලයි මම හිතන්නේ. චේතනාව වැදගත්.
මේ හැමදේම අකුරු කළාට අක්කාට ගොඩක් ස්තූතියි. ලේසි දෙයක් නෙවෙයි මේ තරම් සංවේදී සටහනක් ගලපගන්න එක.
ReplyDeleteහරිම සන්වේදී ලිපියක්....ඒ වගේම වටිනව...
ReplyDeleteAgreed
ReplyDeleteකඳුළු... හරිම සංවේදීයි. ඒ වගේම මැදිහත්, තර්කානුකූලව ප්‍රශ්නය දිහා බැලුව අගනා විග්‍රහයක්. ස්තූතියි රන්දි.
ReplyDeleteඔව් මත් එකඟයි අදහසට ... බොහොම සංවේදී , වටිනා ලිපියක්..
ReplyDeleteගබ්සාව පිළිබඳව ඔබ සඳහන් කරන ඔය සංවේදී කරුණු නීති හදන විශාරදයින්ගේ සැලකිල්ලට භාජන කන්නට වටිනවා
ReplyDeleteජානමය විකෘති හේතුවෙන් සුවකල නොහැකි සංකූලතාවයක් සහිත උපත ලබන දරුවෙක් ගැන අපූරු කතාවක් මම කියෙව්ව කාලෙකට ඉස්සට Jodi Picoult නම් ප්‍රකට අමරිකානු කතුවරියගෙ "Handle with care".
ReplyDeleteකතාවෙ කියවෙන විදිහට ඒ ගැහැණු දරුවට තියෙන්නෙ Osteogenesis imperfecta නොහොත් Brittle bone desease. ඒ කියන්නෙ ඇගේ අස්ථි ශක්තිමත් නෑ. සුළු වැටීමකින් උනත් බරපතල අස්ථි බිඳීයාමක් වෙන්න පුලුවන්. අන්තිමට ඒ දරුවගෙ කටයුතු වෙනුවෙන් මුදල් උපයාගන්ට දරුවගෙ අම්මා කරන්නෙ ගැබිණි සමයේ ඇය පරීක්ෂා කල ප්‍රව සහ නාරිවේද වෛද්‍යවරියට විරුද්ධව නඩු පවරනව. එහෙත් ඇය එහෙම කරන්නෙ බැරිම තැන. මොකද ඒ වෛද්‍යවරිය ඇගේ හොඳම මිතුරිය.උසාවියට පැමිණිලි කරල ඇය කියා සිටින්නෙ කලින් මේ රෝගී තත්වය දැනගන්නට ලැබුනානම් ඇය ගබ්සා කරගන්නවයි කියල.
ඒත් ඇගේ දියණිය ඇගෙන් මෙහෙම අහයි කියල ඇය දැඩි බියකින් ඉන්නෙ. "අම්මෙ, ඒ කියන්නෙ මම ඉපදෙන්නට ඉස්සෙල්ල මගේ විකෘතිතාවය ගැන දැනගත්තනම් ඔබ මාව නැති කරනව නේද?" හැබැයි මට මතක විදිහට අන්තිමට ඒ දියණිය වටහා ගන්නව කළලයක් කියන්නෙ දරුවකු නොවන බව සහ මෙවන් විකෘතියක් සහිතව ජීවත්වීමට වඩා නොඉපදීම වඩා සුදුසු බව.
ඉතාම සංවේදී මාතෘකාවක් පිළිබඳව බොහොම සංයමයෙන් සහ තර්කානුකූලව ඔබ ලියල තියනව රන්දිල්...ස්තූතියි...:)
අක්කේ,
ReplyDeleteමේ ටිකේම මුහුණු පොතේ මේ ගැන ලියවුණු සටහන් කියෙව්වා. බොහෝ සටහන්වල තිබුණේ කාඩිනල්තුමාට බැනලා, කතෝලික ආගමට බැනලා ලියවුණු ඒවා.
ඒත් ඔයා කාටවත් ඇඟිලි දිගු නොකර සරලව වගේම හිතට දැනෙන විදිහට මේ ලියපු සටහන ගොඩක් වටිනවා.
අම්මා කෙනෙක්ට ඒක ඇත්තටම දැනෙන නිසා වෙන්න ඇති මේ ලිපිය සාර්ථකව අපට දැනෙන විදිහට ලියවුණේ.
ප්‍රීති පුර කියද්දි මතක් උනේ... මීගමුවෙ මාරිස්ටෙලා එක ගාවින් හැරිලා ඒ පාර දිගේ ගියාම ඇතුලට වෙන්න හම්බවෙනවා ආනන්දපුර කියලා නිවාසයක්... ඒකෙ ඉන්නෙත් මානසික රෝගී ලමයි... මම හැම සතියෙම වාගෙ යනවා... ලමයි 45ක් ඉන්නවා... ලමයා මේ වගේ කෙනෙක් කියල දැනගත්තු හැටියෙ ඒ අම්මලා තාත්තලා පොඩි කාලෙදිම එහෙ නතර කරලා ගිහින්... එහෙ සමහර ලමයින්ගෙ අම්මලා තාත්තලා ලංකාවෙ ඉහලම තනතුරු වල ඉන්න අය... මමත් අත්දැකීමෙන් දන්නවා ඒ ලමයි විදින දුක... ඒ නිසා අක්කගෙ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි...
ReplyDeleteඅපේ රටේ වෛද්‍ය විද්‍යාව සම්බන්දයෙන් තිබෙන නෙති රීති අලුත් වියයුතු කාලය එළබි ඇතිබව පේනවා.
ReplyDeleteවිචාරක දියණිය
රන්දිල් ඔබට බොහොම ස්තූතියි. මනුෂ්‍යයෙක් හැටියට අනෙකාගේ දුක දරන්න සංවේදී විම ගැන. ඔබ ඉතා හොඳින් මේ ප්‍රශ්නයේ දෙපැත්ත තුන්පැත්ත පැහැදිලි කරනවා. මම රෝහල් තුල සසල වන වාර අනන්තයි. මම ගර්භනී සමයක් පසු කළේ ලෙඩ දරුවෝ පිරුණු විකෘති සහිත දරුවන් යන එන ළමා වාට්ටුවක නේවාසික වෛද්‍යවරිය ලෙස. ඉතින් මට ඔබ කියන මේ තත්වය හොඳින්ම තේරෙනවා. මතක ද මන්දා මම සැරයක් ඔයාට කීවා.
ReplyDelete