Friday, September 27, 2013

220. කවිකාරියකගේ ප්‍රේමය…..8

අම්මප මේ පාටකයොයි කියන ජාතිය එක්ක බෑ නෙව කිසිම දෙයක් කොරන්ට 

හෙන්රි නොම්බර එකේ පාටක තුමා, අරූස් පාටක තුමා සහ මාතලං පාටක තුමා යන තුන්බෑ පාටකයිං ගැනයි මම මේ කියන්නෙ හෙහ්, හෙහ් අර බුදු හාමුදුරුවංට අනෝතත්ත නම් පර්වතේ මුදුනෙ ඉඳගෙන ගල් පෙල්ලපු තුං බෑ ජටිලයො වගෙ තමයි මෙවුං තුං දෙනා.. රම්ය සුරම්ය සුබ තමයි ජටිලයිංගෙ නං..එවුං කරකාර බැඳල උන්නෙ අර තන්හා රතී රඟා කියන තුංදෙනා...දැං මට ලියන්ට වෙලා තියෙන්නෙත් එවුංට ඕන විදිහට..හෙහ්, හෙහ්, තරහ නෑනෙ නේද? හුදෙක් විහිලුවක් පමනි. 

උඹල කියවන්නෙ නැත්තං ඉතිං ලියන එව්ව රෝල් කරල අර කොහෙද ගහගන්ටයැ නැද්ද? ඔය එහෙ මෙහෙ ගහගන්න එක ගැන නං කතන්දර තියනව මහ හුඟක්.. අර අම්ම පොඩි එකාට කියන්නෙ ආ..ඒක සුළු දෙයක් කියල ඒ එව්වයිං කතාවක් තමයි. 

ඉතිං එහෙනං එවුංගෙ ඉල්ලීමට ගරු කිරීමක් වසයෙං ආයෙම ඊයෙ ලියාපු කතාව සයිලිය වෙනස් කොරල එහෙනං ලියල බලමුකොය කියල මම හිතාගත්ත. 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 


අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත. 

" අයියත් කවි ලියනව කිව්වනේද? " 

ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා, ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා. 

" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව. 

" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…" 

එක දිගට කියවගෙන ගිහිල්ල සුජා විජිත දිහාවෙ බලල හිනාඋනා. 

විජිතය බාගෙට ඔලුව හරවල හොරැහිං වගෙ මගෙ දිහා බලල ආපහු ඉස්සරහ බලාගත්ත.මම බෑ කියද්දිම මේ කෙල්ල මට මුණ ගස්සල ඌ කර ගත්තෙ අර බැළතණ ගහේ රුන්න වගෙ වැඩක් වත්දෝ කියල මේ ටිකටම ඌට හිතිල බව මට තේරුං ගන්ට අමාරුවක් උනේ නෑ. 

බැලතණ කේස් එක දන්නව නේද? හරි දු.දැ. ස. - බැළතණ කියන්නෙ පොඩි වල් පැලෑටි ජාතියක්. කොලේ පලලයි. බොහොම හයියයි. තෙපුල් දෙනව බොහොම අපූරුවට. තෙපුල් දෙනව කියන්නෙ ළමයි නම්‍ය ශීලී නැත්තං ෆ්ලෙක්සිබල්...වැව් පිටිවල බොග දාල නැත්තං ඉතිං ඔය බැලතණ කේස් එක ගැන දැනගන්ට විදිහක් නෑ. ඔය ගෙවල් ඇතුලෙ අර කොමෝඩ් මඟුලෙ රෙන වෙලාවෙ බොලල්ලා ඉඳහිටල ඉරිදාකවත් ළමයි බමයි ඔක්කොම එක්ක ගිහිල්ල කොහෙ හරි ඇලක් අයිනෙ, එහෙම නැත්තං බඩ වැටියක, ලන්දක, අඩුම ගනනෙ හිඟුරු පඳුරක් යටට වත් ගිහිල්ල Open Air Bogging පුරුදු කරපල්ල. 

ඒකෙ තියන ආතල් එක කියන්ට බෑ විඳලම බලන්ට ඕන. හීතල හුළඟ හමල ඇවිත් ඔන්න, අදෝ මුකය කූල් කරනව. සිහිල් සුලං රැල්ලේ...අදෝ මුකය කූ...ල්වේ ඒ ඒ….... දමනා විට බොග තුත්තිරි පිටියේ....දෙව්ලොව සැප මතුවේ..ඒ ඒ......තුත්තිරි ගාලක බොග දාන එකනං ආය කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්, 

In life some things are undescibable.They are simply undefined. They are to be felt only. ජීවිතයේ සමහර හැඟීම් විස්තර කිරීම ඉතා අපහසුය. එවන් හැඟුම් අත්විඳීමෙන්ම පමණක් වටහාගත යුතුය. ආය දෙකක් නෑ මටනම් බුදු ෂුවර් මේ පඬි ටෝක් එක දුන්නු බුවා අනිවා තුත්තිරි පිටියක බොග දාල තියනව. 

අම්මට වූඩු..තාත්තට ගෝයා..බැළතණ පඳුරු තැලිල්ල බොහොම දුරදිග ගියා නේද? තවම අරුං තුං දෙනා බස් එකට නැඟපු ගමං නේද? හරි ඩබල් එකේ එහෙනං බැළ තණ කතාව කියල ආයෙම සුජාගෙ කතාවට හරිද? 

ඉතිං ඔය වැව් පිටි මල පහ ක්‍රියාවලියෙදි බැලතණ පඳුරක් උඩට බොග දැමීමෙන් සපුරා වැළකිය යුතුයි. නැත්තං මොකද දන්නවද වෙන්නෙ? කෙළිං කටිං ඉඳගත්තම පස්චාත් බාගයට යට වෙලා බැළතණ පඳුර නැවෙනව. හැබැයි කැඩෙන්නෙ නෑ. ඉතිං ඒක උඩ බොග දාල නැඟිට්ට ගමං දුන්නෙ දුනුදිය කැඩුනැහෙ බැළතණ පඳුර කෙලිං වෙනව. ආය මොනවද ඉතිං...කැටිපෝලෙං විද්ද වගෙ අරව ඔක්කොම කෙලිම්ම පිට මැද..හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ අප්පා...වරුවක් නාන්ට උනා මට එක පාරක්... 


ඕක තමංගෙ බොගනං ඔහෙ ඕන මඟුලක් කියල ඉවසුවෑකි. දෙන්නෙක් පිටිපාල ඉඳගෙන බොග දාල එකෙක් කලිං නැඟිට්ටම තමයි වැඩේ කිරිමෙල්. හැබැයි මෙහෙම කේස් එකකුත් තියනව. ඒ වගෙ ආස පොලෝ නුහූලන අපරාදයක්  වෙන්ට තව කාරනයක් සම්පූර්නවෙන්ට ඕමනයි. අනික් එකා බොග්ලිං වැඩේට පාත් වෙද්දි බැළතණ පඳුර විරුද්ද පැත්තට නැවෙන්ට ඕන. එහෙම වෙනව බොහොමත්ම අඩුයි. ඒත් එහෙම වෙලා තියනව කියල මම දන්නව.අපෙ විමලෙ අයිය
O.A.B. වැඩේට කප් ගහපු එකා. ඕකගෙ ඒ සම්බන්ද කතා දෙක තුනක් තියනව වාං පතුල් සීරීස් එක ආයෙම පටංගත්තම එව්ව කියන්නංකො හොඳද?

ආ... ඔය කෙලිං කටිං බොග දැමීම කියන එක සරීර සවුක්කියටත් බෝම හොඳයි කියනව. ඒ කියන්නෙ බොලේ බොග දැමීමේ ස්වාබාවික ඉරියව්වනෙ ඔය කෙලින් කටින් ඉඳගෙන ඔය වැඩේ කොරන එක. මිනිස්සු කියන ජාතිය ඉතිං දන්නවනෙ. ස්වාබාව දර්මයා නියම කරල තියෙන ඉරියව්ව නැතුව වෙනත් නොයෙක් නොයෙක් ඉරියව් වලින් නෙව ඔය කොයි වැඩෙත් කොරන්ට හදන්නෙ.හෙහ්, හෙහ්... 

දැං බලන්ට කෙලිං කටිං ඉඳගත්තම කලවා දෙකට බඩ ප්‍රෙස් වෙනව අපූරුවට. එතකොට මොකක්ද වෙන්නෙ? මහ බඩවැල හොඳට ප්‍රෙස් වෙලා ඇතුලෙ තියන මල ඔක්කෝම එලියට එනව බුරූස් ගෑවිල්ලෙ. මහ බඩවැලේ මල ඉතිරිවෙන එක පිලිකා වලට හේතුවක්ය කියල කියනව.කෙලිං කටිං ඔය වැඩේ කලාම ඔය කිසි අසනීපයක් නෑ. අනික වියායාමෙ. බඩට, කලවා වලට, කෙන්ඩා වලට, වලලු කරට ඔක්කොටම හොඳයි ඒ වැඩේ. හැබැයි ඉතිං කෙලිං කටිං කොහොම වෙතත් කොමෝඩ් එකෙත් දැනටත් බොහොම අමාරුවෙං ඉඳ ගන්න උදවියටනම් කරන්ට දෙයක් නෑ.කෙලින් කටිං ඉඳගත්තොත් ඉඳගත්තම තමයි කියල හිතෙන අය දිගටම කොමෝඩ් එකම පාවිච්චි කරන්ට ..අවුලක් නෑ...හෙහ්, හෙහ් 

අර චෙන්නෙයි වල එහෙම වෙරලෙ මිනිස්සු එක දිගට ඉඳගෙන සමූහ බොග දාන්නෙ මොකද දන්නවද? ආන්න..ඒ මිනිස්සු දන්නව ඒකෙ අගේ..අපේ මේ මෝඩයො කරන්නෙ උංට පස් පඩංගුවෙ බැණ අඬගහන එක නෙව. කාගෙං උනත් හොඳ දේවල් ඉගෙන ගන්ට ඕන..නැද්ද? 

ගොමු තැලීමෙහි අවසානය..නැවතත් ප්‍රස්තුත ප්‍රධාන අන්දරය වෙතට... 

" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" 

මේ මනුස්සයගෙ ( ඒ කිව්වෙ විජිතගෙ හොඳද? අමතක නං ගොමු තැලීමට පෙර කොටස ආයම බලන්ට )..හිත හදන්ට ඕන නිසා මම එහෙම කිව්ව. කොල්ල හැරිල මගෙ දිහා බලල හිනාඋනා..පව්... 

හෙහ්,ඒකටත් එක්ක අර අම්මණ්ඩි. කිසිම ගානක් නෑ..ඔහෙ කියවගෙන යනව ගිරවි වගෙ. 

" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස්සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? " 

කොන්දොස්තර ගැටය පස්සට ආව ටිකට් ටිකට් කියාගෙන. බලු සීට්වල උන්නු එවුං ඔක්කොම නැඟිටල ඉඩ දුන්න. ඔය බොහෝ විට නගරාන්තර බස් වල තියන මැද අකුලන සීට් එකට බලු සීට් එක කියල කියන්නෙ මොකද දන්නවද? ඕකෙ ඉඳගත්තු මනුස්සය ආය පාර මැද බුදියගත්තු බල්ල වගෙ තමයි. බල්ලටත් වෙන වැඩක් නෑ වාහනයක් එනකොට පාරෙ අයිනට ගිහිල්ල ඉඩ දෙනව.වාහනේ ගියාම ආපහු ඇවිල්ල බුදිය ගන්නව. අර අකුලන සීට් එකේ ඉඳගත්තු මනුස්සයත් එහෙමනෙ. පිටිපස්සෙ කෙනෙක් නැඟිටල බහින්ට ගියත් නැඟපු කෙනෙක් පස්සට යන්ට ගියත් නැඟිටල ඉඩ දෙන්ටම එපාය. 

උකුල උඩ තිබ්බ හෑන්ඩ් බෑග් එක ඇරල අතක් ඇතුලට දාගෙනම සුජාතා පස්සට හැරුනා. 

" අයියත් කුරුණෑගලටම යනවය? " 

" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…" 


" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" සුජා මටත් එක්ක ටිකට් ගත්ත. 

" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට රුපියල් සීයක් දික්කරගෙන කිව්ව. 

" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං.

සුජා එහෙම කියල ආයෙම හිකි හිකි ගාල හිනා උනා. අනෙ අම්මප..මේ මනුස්ස දූට හිනාවෙන්ට කිසිම කාරනයක් ඕන නෑ නෙව..ගහකිං කොලයක් වැටුනත් ඇති නෙව කැකිරි පලන්ට...මට එහෙම හිතුන...මගෙ තොල් අතර හිනාවක් ඇඳුනෙත් ඉබේටම වගෙ. දෙණියෙ බෙණ කොස් ගහ යට ඉඳගෙන දවසක් හැන්දෑවෙ දොරගමු කන්ද රතු කරගෙන ඉර බැහැගෙන යනව බලාගෙන හිටපු දවසක් මයෙ හිතට ආවෙ ඒ එක්කමයි. එයා මගෙ උරෙස්සට ඔලුව තියාගෙන ඔහේ හිටිය වචනයක් වත් කියන්නෙ නැතුව.අපි ඉඳගෙන උන්නු තැනට පිටිපස්සෙ තිබුනු ගල් තලාවට ඉදිච්චි වරකයක් කොල අතු හූරගෙන ඇවිල්ල පත බෑවුනෙ ඔන්න ඔය වෙලාවෙ. මම බිරාන්ත වෙලා වරකෙ දිහාවෙ බලං හිටිය, අරය..ඔව්..එයා...එයා මොකද කලේ දන්නවද? ඇස් වලිං කඳුලු පනිනකල් හිනා උනා..මූන රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා... 

ඒ පාරනම් විජිතය සුජා දිහාවෙ බැලුවෙ රවා බැලිල්ලක් නොවෙතත් ඊට ඉතාම ආසන්න බැල්මකින්. මෙවුන් දෙන්නගෙ මොකක් හරි වලියක් ගියොත් එහෙම එව්වට ගෑවෙන්ට මට කොහෙත්ම ඕන කමක් තිබ්බෙ නෑ.අන්න ඒ නිසා මම කලේ වහාම ක්‍රියාත්මක වන පරිදි මගෙ බෑග් මල්ල ඇරල මඟදි කියවන්ට කියල හිතල ගෙනාපු පොත දිග ඇර ගන්න එක. 

පොත ඇවිල්ල ආතර් සී. ක්ලාක් මහත්මයගෙ " Songs of Distant Earth " මම එදා ඉඳල අද දක්වාම ප්‍රිය කරන ලේඛකයෙක්, පොත ගැන මට මේ හැටි විස්තර මතක කොහොමද දන්නවද? මේ පොත මීට පස්සෙත් කතාවට බොහොම සම්බන්ධයි. ඒ කොහොමද කියල ඔයාලට තේරෙයි ඉස්සරහට කියවනකොට… 

පුළුවං හැම වෙලාවෙම බස් එක වෙනුවට කෝච්චියෙ යන්ට මම ආස කරන එක ප්‍රදාන හේතුවක් ඔය නිවී සැනසිල්ලෙ පොතක් පතක් කියවගෙන යන්ට තියෙන හැකියාව. මම ඔය මීට කලිං ලියපු සියපත පතක බැඳි බත කතාවෙදි කියාපු කොලඹ කිට්ටුව ඉඳිකිරීම් සමාගමේ වැඩ කරපු කාලෙ අවුරුදු දෙකක් තරම කාලයක් සතියකට දවස් තුනක් කෝච්චියෙ ගෙදර ඉඳල කොළඹ එන්ට මට සිද්ද උනා. ඒ කිව්වෙ පේරාදෙණිය සහ මරදාන හෝ කොටුව අතර.සඳුද උදේ කොළඹ එනව. අඟහරුවාද හවස ආපහු ගෙදර යනව. බදාදා පාන්දර ආපහු එනව.බෘහස්පතින්ද හවස බෑක් ටු හෝම්..ආයෙම සිකුරාද උදේ වැඩට එනව. සෙනසුරාද හවහට ආපහු ගෙදර. ඔන්න ඔය විදිහට සතියට හය පාරක් මම එහෙ මෙහෙ ගියා අවුරුදු දෙකක් තරම කාලයක්. 

කාලාන්තරයක් තිස්සෙ පොත් ප්‍රදර්ශන, සල්පිල් වලින් එහෙමත් නැත්තං පාර අයිනෙ පේව්මන්ට් එකේ ඉටි කොලයක් අතුරගෙන පරණ පොත් විකුණන මිනිස්සුංගෙං අරගත්තු පොත් එක දෙතුං සීයක් මාලඟ තිබ්බ. කියවන්ට වෙලාවක් නැතිකම නිසාම ඔය ටික තිබ්බෙ අපෙ ඇඳ ඉහත්තාවෙ ගඩොල් හතරක් උඩ තියාපු අඹ ලෑලි තට්ටුවක් උඩ ගොඩ ගහල මදුරුවො එහෙම බිත්තර දාල ජරා කරන නිසා ඉටි කොලෙකිනුත් වහ දාල.ඔය පොත් කන්දරාවෙං සෑහෙන කොටසක් මම කියෝල ඉවර කලා අර සතියට හය පාර ගානෙ කෝච්චියෙ කොළඹ ආව ගිය අවුරුදු දෙකට. 

ඒත් ඔය අවුරුදු දෙකටම කෝච්චියෙ පොතක් පතක් කියවන කෙනෙක් මම දැක්කෙ ඇත්තම කියනවනං දෑතෙ ඇඟිලි ගානටත් අඩුවෙං..අනේ අම්මප ඇත්තම ඇත්ත. කෝච්චිවල බස් වල පොත්පත් කියවන එක ගැන මගෙ තවත් අත්දැකීමක් තියෙනව. මේ කතාවට කෙලිම්ම සම්බන්ද නොවුනත් ඉන්නකො ඒකත් කියලම ඉන්නං. 

අර මම කලිං කියාපු ඉඳිකිරීම සමාගමේ කොලඹ ප්‍රදාන කාර්යාලයට එන්ට ඉස්සරවෙලා මම අවුරුද්දක් වැඩ කලා එයාලගෙම මහනුවර මහල් ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේ ව්‍යාපෘතියක.නුවර ටවුමෙම සුප්‍රසිද්ද ඉස්කෝලෙක. 

එතන මගෙ ලොක්ක, ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර් තුමාගෙ
ගෙවල් ගම්පොල පාරෙ ගෙලිඔය. එතුමා ඉතිං උදේ කාරෙකේ යන ගමං අපෙ ගෙදර ගාවිං මාවත් දාගෙන යනව. මනුස්සයට මොකක් හරි උදේ වෙනත් වැඩක් යෙදිල තිබ්බ දවසට මම බස් එකේ යනව. මේ එහෙම දවසක වෙච්චි දෙයක්. 

උදේ දොට්ට බහිද්දි මගෙ අතේ කුඩේනං වරදින්නෙ නෑ. මොකද නුවර කියන පලාතෙ කාලගුණේ කියන එක කොහොමටවත් මායිං කරන්ට බෑ. ඔන්න මේ ගෙදරිං එලියට බහින්නෙ දාස්දෙන අව්වෙ තට්ටෙත් එක්ක රත් කොරගෙන. මෙන්න පැය බාගයක් යන්ට නෑ හෙණ ගහන්නැහෙ වහිනව. ඔය විඩෙං විඩේ වහින ආයෙ පායන වැස්සට කියන්න අපූරු නමක් තියනව...ඒ තමයි ගෑණු නටවන වැස්ස..කොහොමද දන්නවද ඒ නම හැදිල තියෙන්නෙ? ඔය ඒ කාලෙ ගෙවල්වල වී තම්බල වේලනවනෙ අව්වෙ. මාගල් වල අතුරලයි ඒ වැඩේ කරන්නෙ. අව්වෙ වී වේලනකොට වැහැගෙන එනකොට ඔන්න බබලත්තු දනිපණිගාල දුවල වී පැදුරු ගෙට ගන්නව. ආයම පෑයියම මිදුලෙ අතුරනව. ආය වහිනකොට ගෙට ගන්නව..ආන්න ඒ නිසයි ඔය ගෑණු නටවන වැස්ස කියල කියන්නෙ. 

ඒ ඒකාලෙ මහිලාවො...දැං බලන්ට එපාය...ඔන්න ඉරිදටනෙ නිවාඩු දවස..උදේම රෙදිටික හෝදනව. ඒ කරල අර රෙදි වේලන්ට තියෙන්නෙ අටමගලක්. ඕකෙ වනල මිදුලෙ තියනව අව්ව වැටෙන තැනක් බලල හුළඟට පෙරලෙනවට ගඩොල් බාග දෙකකිං බරකුත් තියල. ඔන්න විනාඩි පාලහක් යන්ට නෑ වැහැගෙන එනව..මම දුවල අරක පිටිම්ම ගෙනල්ල ඉස්තෝප්පු කෑල්ලෙ තියනව. ඒ එක්කම ඔන්න ආයම පායනව..පායනව විතරක් නම් බැරිය අව් රැල්ලකුත් වැටෙනව. 

" මේ ඒයි රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 



මතු සම්බන්ධයි...... 

Thursday, September 26, 2013

219. කවිකාරියකගේ ප්‍රේමය…..7



කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..5 

කවිකාරියකගේ ප්‍රේමය…..6 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 

අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත. 

" අයියත් කවි ලියනව කිව්වනේද? " 

ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා. 

" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව. 

" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…" 

නොනවත්වා කියවාගෙන ගිය ඈ කතාව මඳකට නවත්වා විජිත දෙස බලා සිනාසුනාය. 

විජිත යලිත් වරක් අඩක් හිස හරවා මදෙස බැලීය. ඒ බැල්මෙහි වූයේ ආයාචනාත්මක ස්වරූපයකි.සුජා හා මම මුණගැස්විම ඔහු විසින් නොදැනුවත්වම වූ බලවත් අතපසුවිමක්දැයි ඔහුට දැනටම සැක පහළ වී ඇති බව ඒ බැල්ම වටහාගත් මට රහසක් නොවීය. 

" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" මම වහා පැවසූයේ ඔහුගේ සැක දුරුකිරීමේ පරමාර්ථයෙනි. 

විජිත මා දෙස බලා කෘතඥතාපූර්වකව සිනහසුණේය. මේ කිසිවක් නොදත් සුජා දිගටම කතා කළාය. 

" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස් සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? " 

ඇය ගිරවියක මෙන් නොනවත්වා කතා කරගෙන ගියාය. 

කොන්දොස්තර තරුණයා බලු සීට් හි හිඳ සිටියවුන් නැඟිටුවමින් අප වෙතපැමිණියේය. බස් රථයෙහි ස්ථිර ආසන යුගලයට මධ්‍යයෙහි ඇති හැකිළියහැකි ආසනය බලු සීට් එක යනුවෙන් හැඳින්වෙන්නේ එහි හිඳගත්තෙකුට මහා මාර්ගයෙහි වැතිරී සිටින සුනඛයකුට අත්වන්නාවූ ඉරණමට බොහෝ සේ සමාන ඉරණමක් අත්වන්නාවූ බැවිනි.

මහමඟ වැතිරගත් සුනඛයා වනාහී පැමිණෙන සියලුම රථවාහනයන්ට ඉඩ දී මාර්ගයෙන් ඉවත්ව යලිත් මාර්ගය මධ්‍යයට පැමිණ වැතිරගනී.හකුලන ආසනයේ හිඳ සිටින්නාගේ ඉරණම ඊට දෙවෙනි නොවේ. බසයේ පසුපසට යන්නවුන් මෙන්ම බසයෙන් බැසීමට ඉදිරි දොරටුව කරා යන්නවුන් හැමට තම අසුනින් නැඟිට පසෙකට වී ඔහු ඉඩ දිය යුතුය. 

උකුල මතවූ අත්බෑගය විවෘත කල ඕ යලිදු පසුපසට හැරුණාය. 

" අයිය කුරුණෑගලටම යනවද?..." 

" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…" 


" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" ඇය මා වෙනුවෙන්ද ප්‍රවේශ පතක් මිලදී ගත්තාය. 

" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට මුදල් දීමට තැත් කලෙමි. 

" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං. " ඇය එසේ පවසා යලි හඬනඟා සිනාසුණාය. 

එවර විජිත ඇය දෙස හෙලූයේ නොපහන් බැල්මක් බව මට සහතිකය.ඔවුන් අතර කිසියම් මතභේදයකට හේතුකාරක වීමට මට කිසිසේත් අවශ්‍ය නොවූ හෙයින් බසය පරාක්‍රම සමුද්‍රය පසුකරනවාත් සම්ඟම මම ගමන් මල්ලෙන් ඉවතට ගත් පොතක් දිග හැරගතිමි. 

ඒ ඊට සුළු කලකට පෙර නිකුත් වූ " Songs of Distant Earth " නම්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. ඒ පිළිබඳව මෙතරම් විචිත්‍ර අයුරු මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හෙයින්ද යන්න කථාව කියවද්දී ඔබට වැටහෙනු ඇත. 

හැකි සෑමවිටම බස් රථයට වඩා දුම් රියෙන් ගමන් කිරීමට මම ප්‍රිය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ නිවී සැනසිල්ලේ පොතක් කියවමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.වසර දෙකකට අධික කාලයක් සතියකට තෙවරක් කොටුවේ හෝ මරදානේ සිට පේරාදෙණියතෙක් වරෙක මට ගමන් කිරීමට සිදුවිය.ඒ මින් පෙර ලියූ සියපත පතක බැඳි බත අතීත සැමරුමෙහි මවිසින් සඳහන් කල අගනගරාසන්න ඉදිකිරීම් සමාගමෙහි සේවය කල වකවානුවෙහිය.

නොයෙක් පොත් සල්පිල්, ප්‍රදර්ශන, පදික වේදිකාවෙහි බිම අතුරා පැරණි කවර ඉරීගිය පොත් විකුණන මහළු වෙළෙඳුන්ගෙන් ආදි වශයෙන් කිසිදු වරණයකින් තොරව කාලයක් තිස්සේ මවිසින් මිලයට ගනු ලැබ, කියවීමට මිඩංගු කරනු වස් විවේකයක්  අවකාශයක් නොමැතිවීම නිසාම නිඳන ඇඳ ඉහත්තාවෙහි ගෙබිම මත ගඩොල් දෙකක් මත තැබූ අඹ ලෑලි කිහිපයකින් සැදි තට්ටුවක් මත දුහුවිලි සහ මැසි මදුරුවන්ගෙන් රැකගැනීමට පොලිතීන් මීටර් කිහිපයකින් වසා තැන්පත් කොට තිබුණු, පොත් සියගණනින් බහුතරයක් මම කියවූයේ සෑම සතියකටම හයවරක් බැගින් මට යෙදෙන්නට සිදුවුණු ඒ දුම් රිය ගමන් වාර වලදීය. 

එහෙත් ඒ වසර දෙකක පමණ කාලයක් තුල දුම්රියෙහි පොතක් පතක් කියවමින් ගමන්ගන්නකු හෝ ගමන්ගන්නියක මා දුටුවේ අතලොස්සකටද අඩු වාරගණනකදීය. ප්‍රධාන කථා මැයෙන් තරමක බැහැරව යන්නක් වුවද ඒ සබැඳි මගේ අත්දැකීමක් මෙහිලා පවසන්නට හිතවත හිතවතිය මට ඔබගේ කාරුණික අවසරය… 

ඒ මම උක්ත, අගනුවරට ආසන්න සමාගමෙහි සේවයට බැඳුනු මුල් වකවානුවයි. එදවස ඔවුහු මහනුවර නගර මධ්‍යයෙහි වූ සුප්‍රසිද්ධ විද්‍යාලයක මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමෙහි ව්‍යාපෘතියක නිරතව හුන්නෝය.එහි සේවය උදෙසා මම බොහෝවිට වැඩබිමෙහි මගේ ප්‍රධානියා සමඟ ඔහුගේ මෝටර් රියෙන් ද, උදෑසන ඔහුට යම් වෙනත් කාර්යයක් යෙදුනුකල බස් රථයෙන් ගමන් ගත්තෙමි. 

උඩරට ප්‍රදේශයෙහි කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි කාළගුණය නිසා අනිවාර්යයෙන් මා සුරතෙහි රැඳෙනා කුඩය හැරුණු කල මගේ උරයෙහි රැඳි හුරුබුහුටි හම් ගමන් මල්ලෙහි උදෑසන බැඳගත් බත් මුලට අමතරව ඇත්තේ කුමන හෝ පොතකි. පැනිදෙණියෙන් බසයට නැඟී කවුළුව අද්දර අසුනකට බරවන මම ඉන්පසු පියවි ලෝකයට එළඹෙනුයේ මහනුවර පොලීසිය අසල ගමනාන්ත නැවතුම්පළට බස් රථය ළඟාවු පසුවය. 

අදාල සිද්ධිය වූ දිනද මම සුපුරුදු ලෙස එලෙස පොතක් කියවමින් පසුවුනෙමි. උදෑසන සිට පැවති පොද වැස්ස ගැටඹේ පසුවනවිට තරමක් දැඩිවිය. වැහිබිඳු වසාතිබූ ජනෙල් වීදුරුව මත පතිතව බසයේ වේගය වැඩිවන කල්හි හරහට ගමන් කොට සිඳීයනු ටික වෙලාවක් බලාසිටි මම යලි උකුළ මත තිබූ පොතට නැඹුරුවුනෙමි. 

එදින මා කියවූයේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතාගේ තීරු ලිපි සහ විචාර එකතුවකි.එසේ පැහැදිලිව මතක තිබීමට හේතුවද කතාවටම සම්බන්ධය. මුල්ගම්පොළ ආසන්නයෙහිදී මා අසල ආසනයෙහි කිසිවකු හිඳගනු දැනුනද මා ඒ තැකීමක් නොකළෙමි.එහෙත් ඒ නවයොවුන් යුවතියක බව මම දුටුවේ කිසිවෙකු මා කියවමින් සිටි පොතට එබෙමින් කොතෙකුත් ඒ කියවීමට තැත් කරනු දැනී මම හිස ඔසවා ඒ දෙස බැලූ කල්හිය. 

එක්වරම කියවීම නවතා හිස ඔසවා බැලූ ඕ විලියෙන් මිරිකී ඉවත බලා ගත්තාය 

" පොත කියවන්ට ඕන නම් ගන්න.." මම සිනාසෙමින් ඈ වෙත පොත දිගුකලෙමි. 

" තෑන්ක්ස්….." ඇය යලිත් සිනාසී පොත උකුල මත තබා දැඩි උනන්දුවෙන් යුතුව කියවන්නට වූවාය. 

බස් රථය ගමනාන්තය වන නුවර පොලිස් ස්ථානය අසල බස් නැවතුමට ආසන්න වන කල ඕ කඩිමුඩියේ පොතෙහි පිටු පෙරලන්නට වූයේ ඉතිරිව ඇති කෙටිකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඉටාගත්තාක් මෙනි.එදෙස සිනාමුසු මුවින් බලා සිටි මම ඒ සිනහවෙන් යුතුවම හිස ඔසවා ඇය ඇමතීමි. 

" ඔයාට ඕනනම් පොත තියාගන්න…" ඇය වහා මදෙස හැරී කෘතඥතා පූර්වක මඳ සිනහවක් පෑවාය. 

" ස්තූතියි …" 

උක්ත පොත මගේ මතකයේ රැඳීමට හේතුවූයේ ඉන් අනතුරුව රට පුරා නොයෙක් පොත් වෙළඳසල්හි කෙතෙක් සෙවූවද ඒ සියළු උත්සාහයක් ව්‍යාර්ථවීම හේතුකොටගෙනය. 

මේ පිළිබඳව මා බිරිඳ හා පැවසූවිට එක්වනම හඳනඟා සිනාසුනු ඇය ඉක්බිති පැවසූයේ " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " යනුවෙනි. 

ජයන්තිපුරය පසුවන තෙක් ඉදිරි අසුනේ හුන් යුවළ පහත්හඬින් කතාකරමින් සහ සිනාසෙමින් ගියහ. කථාවෙහි රසයට නෙත් සිත් දෙකම ඒකමිතික කොට සමවැදහුන් මට ඔවුන්ගේ කතාබහ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය.ඇය පසුපස හැරී මගෙන් යමක් විමසන බව මට වැටහුණේ බොහෝවිට ඇය ඒ පැණය කිහිප වරක් විමසූ පසුව විය හැක. 

රසවත් පොතකට දැඩි අවධානය යොමුකොට ඊට සමවදින මට අවට ලෝකයේ සියළු ශබ්ද නෑසීයයි. සියළු දසුන් නොපෙනීයයි." ඔයාට ඉතිං මොකද? පොතක් අස්සෙ ඔළුව ගහගත්තම ලෝකෙ පෙරලුනත් ගානක් තියද? " මා දයාබර ප්‍රියම්බිකාව සිනාසෙමින් පවසනුයේ හුදු කවටකමටම නොවන බව මම හොඳින් දනිමි. 

" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " සුජා සිනාසෙමින් ඇසුවාය. 

" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" මම බැරෑරුම් ලෙස පැවසීමි. 

ඕ හිස පස්සට වීසිකොට හඬනඟා සිනාසුණාය. මා අසල අසුන්ගෙන හුන් මැදිවියේ කාන්තාව තොල් හකුළුවා අප්‍රසාදය හඟවන බැල්මක් ඈ දෙස හෙලා ඉවත බලා ගත්තාය. ජනේලයෙන් පිටත බලා සිටි විජිත වහා ඈ දෙස බලා යලි ඉදිරියට හැරුණේය. සිරතින් මුව වසාගත් ඈ සිනහව වළක්වා ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනීය.තොල් සපාගත් මම බිම බලාගතිමි. 

" ඇත්තටම මොකක්ද ඔය පොත?.." 

" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…" 

එතැන් පටන් දඹුල්ල හෝරා ස්ථම්භය අසල මම බසයෙන් බසිනතෙක් ඇය මා හා පොත්පත්, චිත්‍රපට සහ නාට්‍ය සම්බන්ධව බොහෝ දේ කථා කලාය. කලාව සහ සාහිත්‍යය පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූ ඈ වන් යුවතියක මට හමුවූයේ බොහෝ කලකට පසුවය.විජිතද වරින් වර අපගේ කථාවට හවුල් වූයේය.දඹුල්ල නගරය ආසන්න වත්ම නැඟී සිටි මම රාක්කයෙන් ගත් ගමන් මල්ල කරේ එල්ලා ගතිමි. 

" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි සඳුදට හම්බවෙමු." 

" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...." 


ඇය මදෙස බලා සුන්දර සිනහවක් පෑවාය. ඇගේ ගෙල තෙක් කෙටිකොට කැපූ කෙස් වැටිය කොන්දොස්තර තරුණයා එකවරම විවෘත කල දොරටුවෙන් ඇතුල්ව බසය සිසාරා හමාගිට සුළං රැල්ලකට හසුව අවුල්ව ගියේය. 

" මේ මට කවි එවන්න හොඳද? " 

සුලඟ හා පොරබදන කෙහෙරල දමනය කොටගැන්මට දෑතින්ම උත්සාහගනිමින් ඇය පැවසුවාය. 

ඔවුන් හිඳසිටි ආසනය පසුකොට ඉදිරියට ගිය මම එක්වනම ආපසු හැරී කියවමින් ආ පොත ඇගේ ඇකය මතට දැමීමි. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එසේ පවසමින් මම බසයෙන් බැස ගතිමි. 

ආතර් සී. ක්ලාක්ගේ ඒ පොත සුජා විජිත අත මට ආපසු එවා තිබුණාය. එහෙත් තවත් බොහෝ කලක් ගත නොවීම ඇයට ඒ පොත සිහිවටනයක් ලෙස පරිත්‍යාග කිරීමට මට සිදුවූයේ අප සිහිනෙනුදු බලාපොරොත්තු නොවෙන දෑ නිතිපතා සිදුවීම ජිවිතයේ එක් අනවතර සංසිද්ධියක් නිසාදැයි මට අදටද වටහා ගත නොහැක. 

මතු සම්බන්ධයි...... 



Friday, September 20, 2013

218. සියපත පතක බැඳි බත නොහොත් මහඟු මිනිසුන් සහ එක්තරා සුවිශේෂී වූ යුවතියක පිළිබඳ කතාවක්...

ජීවිතේ අග්ගිස්සට එනකොට ලාබාල වයසෙ මහා ලොකු සීරියස් දේවල් කියල වර්ගීකරණය කරල ගහ මරාගන්ට ගිය එව්ව කිසිම වැදගැම්මකට නැතිදේවල්ය කියල හිතෙන එක මම හිතන්නෙ බොහොමත්ම ස්වාබාවික දෙයක්.ඒ තමයි ජීවිතේ හැටි. ඒ වගේම ලාබාල වයසෙදිම ජීවිතේ සිරා අරගෙන අර පිටි මුට්ට කරේ තියාගෙන සයිඩ් සයිඩ් කියල පිටකොටුවෙ හතරවෙනි පස්වෙනි හරස්වීදිවල එහාට මෙහාට දුවන නාට්ටාමිල වගෙ ජීවිතේ කරගහගෙන ඉන්ට ගියොත් නම් ඒකත් එක විදිහට මහ පාරුවේ පුවක්....නොහොත් පූරුවේ පවක්... 


ඔය වගෙ කස්ටිය ගැන මයෙ තියනව අද්දැකීං එකසිය ගානට. අපේ පොරක් එක පාරක් පාලොස්සකට සිල් අරං ඉන්දැද්දි සිල් රෙදි පිටිං උස්සගෙන ජීප් එකේ දාගෙන ආවෙ හදිස්සි රාජකාරියකට. ඒ අපේ බොස්ගෙ ඕඩර් එකක්. අහල ඇතිනෙ අර කතාව ..එළුවට කියපු එක...බෑ කියල බෑ මල්ලි ..මේක බොස්ගෙ ඕඩර් එකක්..හෙහ්, හෙහ්, අන්න එහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ... තේරුනා නෙවද? 

රයිට්..ජීවිතේ දසක පහක් ගෙව්වම මදි නොකියන්ට අත්දැකීං සම්බාරයක් එකතු වෙනව. ජීවිතේ දිහාවෙ උපේක්සා සහගතව බලන්ට මැදිහත් සිතින් යුතුව ජීවිතය විඳින්නට පුලුවං වෙන්නෙ ඔන්න එතකොට. 

නොයෙක් තැන්වල කරග්ගහල හැමජාතියකම මිනිස්සු එක්ක ආස්සරේ කරල විසි එක්වන සියවසේ පස් වන අවුරුද්දෙ මම එක් උනා කොළඹ කිට්ටුව මධ්‍යම පරිමාණ ඉඳිකිරීම් සමාගමක සේවයට.ඇත්තම කිව්වොත් මගෙ රාජකාරි ජීවිතේ මට මුණ ගැහුණු අන්තිම හොඳ බොස්ල වගේම අන්තිම හොඳ පැරලල් ස්ටාෆ් එකත් හිටියෙ මේ කොම්පැණියෙ.ආය මොනවද ගෙදර වගෙ තමයි. පැය දෙක තුනක් මහන්සි උනාම ඔන්න එනව දුං උගුරක් ගහන්ට මනාපයක්, අවශ්‍යතාවයක්..ආය මොනවද අල්ලපු කාමරේට යන එක විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ අපේ ආයතනයෙ අධ්‍යක්ෂ තුමෙක්.බොස් ගහමු සිගරට් එකක්... කියන එක විතරයි තියෙන්නෙ. මේ ඒ ගැන වෙනම ලියන්නං ආය දවසක... 

ආයෙම දවසක මම මරණාසන්න උනා. හාට් ඇටෑක්...විනාඩි පහලවක් ඇතුලත ළඟම තිබ්බ හොඳම ඉස්පිරිතාලෙට මාව ඇතුලත් කරල ඒ සියලුම කෙරෙන්න ඕන කටයුතු කලේ අපේ ඔය කොම්පැණිය. කොම්පැනිය කියන්නෙ ඒකෙ අයිතිකාර මහත්තුරු සහ කාර්ය මණ්ඩලය. හොස්පිට්ල් බිල සම්පූර්ණයෙන් ගෙව්වෙත් ඒ ගොල්ලො.ඊට හරියටම මාස තුනකට පස්සෙ මට විදේශ රැකියාවක් ලැබිල ඒ මහාර්ඝ මිනිසුන් සමූහයෙන් වෙන් වෙන්නට සිද්ද උනත් මගෙ හදවතින් නම් කිසිදිනක ඔවුන් අමතකව යන්නෙ නෑ. 

ඔය වෙලාවෙ මම මේ කිව්වෙ මරණාසන්න වෙලාවෙදි මගේ අත්දැකීම් ලිව්වොත් එහෙම ඔය ඔය පොත් පත්තරවල තියන එව්ව කැලේ..හෙහ්, හෙහ්...අඳුරු බිංගෙයක් ඇතුලෙං ඔන්න මම ගියා පාවෙලා..එක පාරටම නිල්/කහ පාට දීප්තිමත් ආලෝකයක් තියන බොහොම අද්බූත ඉස්තානෙකට මාව යැවුන. එතනදි වෙච්චි ඔක්කොම කියන්ට එහෙම ගියොත් අද මේක අහවරක් කොරන්න වෙන්නෙ නෑ. ප්‍රදාන සිද්දි විතරක් දැනට කියන්නං.. 

එතනදි මට හම්බ උනා අපේ මියගිය සුප්‍රසිද්ද රජවරු වගේම ඉතිහාසගත පුරුෂයින් සහ කාන්තාවන්...විජය, කුවේණි, දුටුගැමුණු, රන්මැණිකා, සාලිය, අශෝකමාලා,අනුලා, දස්කොන්, ප්‍රමිලා,ඇහැලේපොල කුමාරිහාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ....ඔය කස්ටිය පෝලිමේ ආවෙ මාව හම්බ වෙන්න. හැමෝටම කියන්න තිබ්බෙ එකම කතාවක්.. 

" එම්බා සුර්‍රයාභිධාන මහා පුරුෂය, ඉතිහාසයෙහි අප පිළිබඳව ලියැවී ඇත්තේ සත්‍ය වශයෙන්ම සිදුවූව නොව ඉතිහාසය ග්‍රන්ථකරණය කල යම් යම් පුද්ගලයින්ගේ සිතැඟි අනුව ඔවුනට අවශ්‍යදේය. එබැවින් සත්‍ය ඉතිහාසය දුහුණන් දැනුම් උදෙසා යළි ලිවීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වර්තමානයෙහි ප්‍රබලව නැඟී එයි. එබැවින් අප අතර ඒ පිළිබඳවූ කතිකාවතකට අනතුරුව ඉතිහාසය ප්‍රතිශෝධනය කොට ලිවීමේ කර්තව්‍යයට ඉතාම සුදුසු වන්නෝ තොප බව සනිටුහන් කොට ඒ පිළිබඳව දැනුවත් කිරීම උදෙසා තොප මෙහි කැඳවූයෙමු. සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න අප තොපට පවසන්නෙමු. තොප යලි මනුලොව ගොස් ඒ සත්‍ය සිද්ධීන් දුහුණන් දැනුම් උදෙසා ලියා පළකරනු මැන සූර්යාභිධානයෙනි!!! " 


රයිට්..ඔන්න ඉතින් එයාල ඔක්කොම පිළිවෙලට ඇවිල්ල හිට මා එක්ක එයාලට වෙච්චි දේවල් අකුරක් නෑර කිව්ව.ඒ කිව්ව විදිහට තමයි මම ඔය විජය-කුවේණි කතාව , එතකොට සාලිය කුමාරයගෙ කතාව එහෙම ලිව්වෙ..තව ඉස්සරහට අනික් විස්තරත් ලියන්නංකො....හෙහ්, හෙහ්,

ඉතිං ඔය මම කියන උක්ත කාලෙ අපි නැවතිල හිටියෙ පිට කෝට්ටෙ. ඒත් අපේ අධ්‍යක්ෂ තුමෙක්ගෙ ගෙදර පිටිපස්සෙ හදාපු නවාතැනක. එහෙ චමරියෙ උයන්නෙ රෑට විතරයි.උදේට සහ දවල්ට පිටිං. ඉතිං අපි කරන්නෙ දවල්ට කොහෙං හරි කෑම එකක් ගෙන්න ගන්න එක. 

අපෙ අල්ලපු කාමරේ බොස් දොලහ කිට්ටු වෙනකොට මගෙ කාමරේට ඔලුව දානව.. 

" රවි... දවල්ට මොනවද ගෙන්නන්නෙ? මස් ද මාලුද? බිත්තරද? එලවළුද?.." 

" ඕන එකක් බොස් ...මම ඇවිල්ල සර්ව භක්ෂක... පරිණාමයෙ ඉහලට එනකොට මිනිස්සු සර්ව භක්ෂක උනානෙ. ආයම ශාක භක්ෂක වෙනවයි කියන්නෙ පරිණාමයෙ ආපස්සට යනව කියන එක. මට එහෙම වෙන්ට ඕන නෑ.." 


" හරි හරි...රන්ජිත්..රවීට එහෙනං එලවළු කෑම එකක්.." 

ලොක්ක එතනම ඉඳල කෑගහනව...හෙහ්, හෙහ්,අන්න එහෙමයි අපේ බොස්ල...:) 

එක දවසක් දහයට වගෙ මේනක කියල අපෙ පල්ලෙහා තට්ටුවෙ වැඩ කරන යාලුවෙක්..ආ..ඊට කලින් කියන්ට එපාය..අපෙ කාර්යාලෙ තට්ටු දෙකයි..උඩ තට්ටුවෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අමතරව මම..දන්නවනෙ වැදගත් උදවිය ...පල්ලෙහා ඔය ඒ හැටි වැදගත් රාජකාරියක් නොකරන උදවිය...අපි ඉතිං ඒ කිව්වෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මම පඩිපෙලෙන් බැහැල පහලට එන්නෙ හරියට අර දෙව්ලොවින් බැස එන සක් දෙවිඳු විලසින... 

" මතුමහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්, ආදරයේ පියගැටපෙල පාර කියාවී.." 

ඔය ලිෆ්ට් එක කැඩිච්ච දවසක දාඩිය දාගෙන පඩිපෙල දිගේ පාතට බහින ගමං කෙල්ලෙක් පල්ලෙහා ඉන්න කොල්ලට කියාපු සිංදුවක්.. 

රයිට්.... මේනකය ඇවිල්ල මගෙ කාමරේට ඔළුව දැම්ම.. 

" ඒයි මචං..උඹ නෙළුං කොලේ බත් කාල තියනවද?.." 

" නෑනෙ බොලේ..නෙළුං කොලේ බත් ගැන අහල තිබ්බට කාල නෑ...මාර රහයිලු නේද? ඕකෙ නියම රහ එන්ට බත් එක කාල නෙළුං කොලෙත් කන්ට ඕන ඒ එක්කම.." 

" ඈ??? මම අහල නෑනෙ එහෙම කතාවක්.." මේනකයගෙ ඇස් උඩ ගියා.. 

" හරි, හරි,ඒක පැත්තක දාපං...දැං මොකෝ මේ හිටපු ගමං නෙළුං කොලයක් මතක් උනේ? " 

" මචං බයිසිකලේක පොරක් ඇවිල්ල ඉන්නව නෙළුං කොලේ ඔතපු බත් අරගෙන..උඹට ඕනද?..." 

" අම්මට උඩු ඕනදත් කියල අහනව..යමං යමං…" 


මම මේනකයත් එක්ක මතුමහලින් බැස්ස. ඔන්න අපේ ඉස්සරහ මිදුලෙ ඉන්නව නෙළුං බත් මෑන්ස්..The Lotus Rice Man......පල්ලෙහ තට්ටුවෙ ඉන්න ඔක්කොමල ඒ මනුස්සයව වට කරගෙන...මම කලිනුත් කිව්වනෙ පල්ලෙහ තට්ටුවෙ ඉන්නෙ ඔය ඒ හැටි වැඩක් නැති කට්ටිය කියල..විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට. ඉතිං නෙලුං බත් මෑන් ආහම මෙයයි නෑවිදිං ඉඳියිද? එතනට ඇවිල්ල අර මනුස්සයගෙං අහනව දාහක් ප්‍රස්න... 

" මේ ඔය නෙළුං කොල කොහෙද තියෙන්නෙ?.." 

" ඔව්ව කඩන්ට වතුරෙ කිමිදෙනවද? " 

" කිඹුල්ලු නැද්ද?..." 

" උදේ පාන්දරම වතුර හීතල නැද්ද?..." 


ඔව්වට උත්තර දීලම නෙලුං මෑන්ට අන්තිමට මල පැන්න. 

" මේ නෝන..බත් එකක් ගන්නවද නැද්ද? " 

" ආ..නෑ..නෑ..මම ගෙදරිං බත් එකක් ගෙනාව.." එවුන්දැ ඔන්න යංතං පැත්තකට උනා.. 

මම එතකල් බොහොම ගාම්බීරව පැත්තකට වෙලා හිටිය. අපි නෑනෙ ඔය අනවශ්‍ය කතා..ඔන්න මම ආව ඉදිරියට.. 

" හ්ම්ම්ම්. මට දෙන්න නෙළුං බත් එකක්….." 

" හැබැයි මහත්තය ගාන ටිකක් වැඩියි…" 


මිනිහ ගානක් කිව්ව. මට හරියටම කීයද කියල නම් මතක නෑ. ඒත් ඒ දවස්වල දවල් බත් එහෙම ගොයිං රේට්ස් වලට වැඩිය රුපියල් දහයක් විතර වැඩියි කියල නම් මතකයි. 

" ආ. ඒකට කමක් නෑ..නෙළුං කොලේ බත් කන්ට හැමදාම හම්බ වෙනවය... නැද්ද? " 

" අන්න මහත්තයට යමක් කමක් තේරෙනව…" නෙළුං බත් කරු මුව පුරා සිනාසුනේය 

අවට රැස්ව සිටියෝද හිස් සිරස්ව ඉහලට පහලට සෙමෙන් වනා මගේ අදහස අනුමත කළෝය. 

එසඳ මවිසින් මිලදී ගන්නාලද්දාවූ ඒ සියපත පතක බැඳි බත අපගේ සගයින්ගෙන් සැදුම්ලත් පෙරහරක් මඟින් වැඩමවූයේ දිවා අහර විවේකය එලඹෙනතෙක් ඛාද්‍ය ශාලාවෙහි ඉතා ප්‍රවේශමෙන් වඩා හිඳුවන ලද්දාහුය. 

" සිවා..මේ මගෙ නෙළුං කොලේ බත් එක මෙතන තියනවා.හරිද? උඹ හොඳට බලාගනිං ඒක…. ඇහුනද? " 

කාර්ය මණ්ඩලය උදෙසා තේ කෝපි යනාදිය පිළියෙල කිරීමෙහි යෙදෙන තලතුනා සේවකයා අමතා මම අණ කලෙමි.එසඳ උක්ත යුවතියගේ මුවෙහි සෝපහාස මන්දස්මිතියෙක් නැඟෙනු දුටු මම ඇය බැණවීමි. 

" මොකද හිනා වෙන්නෙ? " 

" නෑ, නෑ..මිස්ට රවී මම හිනාඋනේ නෑ.." එසේ පැවසූ ඇය එතෙකුදු නොමැකි මන්දස්මිතිය ද රඳවාගත් වනම එතැනින් නික්ම ගියාය. 

අවසන සියල්ලන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් මොහොත එනම් දිවා ආහාර විවේකය උදාවිය.අවස්ථාවෙහි අගය තව දුරටත් උද්දිපනය කරනු උදෙසාම මම දිවා ආහාරය ගන්නා සුපුරුදු වේලාව මඳක් පසුවන තෙක් රාජකාරියෙහි යෙදී උන්නෙමි.ඇය මගේ කාමරයට හිස පෙව්වාය. 

" මිස්ට රවී අර නෙලුං කොලේ බත් එක කන්නෙ නැද්ද? " මම හිස ඔසවා ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි. 

" මට තව වැඩ තියනව. ඕ ගොල්ලො කන්න මම එනකල් ඉන්න එපා.." 

" නෑ..නෑ..අපි කාල ගොඩක් වෙල.කට්ටිය ඔක්කොම පෑන්ට්‍රි එකේ බලා ඉන්නව මිස්ට රවීගෙ නෙළුං කොලේ බත් එක බලන්න…" 


" ඒ මොකෝ? ඇයි මීට කලිං දැකල නැද්ද නෙළුං කොලවල බත්? " 

" නෑනෙ . අපි කවුරුවත් දැකල නෑනෙ…" 

" හ්ම්ම්..ඒකත් එහෙමද? හරි, යංකො එහෙනං…." මම ඇය සමඟ පහත මාලයට ගියෙමි. 

ඔන්න අන්තිමට කෑම මේසෙ වටේ ඉඳගෙන කට්ටිය බලාපොරොත්තු සහගතව ඉන්න අතරෙ මම අති ගෞරවනීය නෙළුං කොලේ බත් එක විවෘත කලා. ඔතල තිබ්බ පත්තර කොලේ දිග ඇරිය කියමුකො. මම එක පාරක් බත් එක දිහා බැලුව. ඊට පස්සෙ ඔලුව උස්සල වටේ බලං ඉන්න එවුංගෙ මූණු දිහාවෙ බැලුව. උං ඔක්කොම තොල් හපාගෙන හිනාව තද කරගෙන ඉන්නව. 

" මේ මොනවද? මේ නෙළුං කොළයැ?..තේක්ක කොළ දෙකක්නෙ...හිහ්...හිහ්...හී...." යුවතිය හිරකරගෙන හුන් සිනහව අවසන පුපුරාගියේය.

එවුනුත් ඒ මොහොත බලාපොරොත්තුවෙං හිටිය වගෙ ඔක්කොමල එකට හිනාවෙන්ට ගත්ත. 

" ඔය නෙලුං විල් ගාව හරියටවත් තියනව තේක්ක ගස්. එව්වයිං වැටිච්ච තේක්ක කොල වතුර උඩ පාවෙනව බොහොම වෙලාවට. එතකොට ඒ තේක්ක කොලයි නෙලුං කොලයි මාරුවෙන එක ඒ හැටි ගනං ගන්ට දෙයක් නෙවෙයි. " 

මම ජීවිතයේ පළමු වරට එදින ඇස ගැටුණු යලි කිසිදු දිනෙක හමුවෙතැයි අපේක්ෂා කල නොහැකි සියපත පත බත් වෙළෙඳා වෙනුවෙන් විත්ති වාචකය ඉදිරිපත් කළෙමි. 

" හාකො…. අපි එහෙමවත් හිතමුකො …" ඇය සිනහසෙමින්ම නැඟිට කෑම කාමරයෙන් පිටව ගියාය. 

ප.ලි - ඊට සති දෙකකට විතර පස්සෙ දවසක..ඒත් දහයට විතර..ආයෙම මේනකය ආව කඩාගෙන මගෙ කාමරේට 

" ඒයි මචං අන්න අර නෙළුං කොලේ බත් කාරය යනව පාරෙ, වරෙං උගෙං අහන්ට මොකද්ද එදා අර කරපු කැත වැඩේ කියල.." 

" අනේ ඕන නෑ බං..ඔන්න ඔහෙ අල්ලල දාපං...ඔව්ව මොනවද?..." 

 
ප.ප. ලි - පහත මාලයෙහි එදවස වැඩ හුන් ඒ යුවතියගේ ජන්මදිනය සැප්තැම්බර් 19 දිනට යෙදී තිබිණි. මේ ඇය වෙනුවෙන් අවදි වූ මගේ මතක සටහන් සහසක් අතුරින් එකකි.ඇය කවුරුදැයි නොදන්නා වූ පාඨකයින් වෙනුවෙන් ඇය හඳුන්වාදීමට මට අවසර..... ඇය වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි මගේ සමහවුල්කාරිනිය වන රන්දිලාභිධාන ඒ සුවිශේෂී වූ මානවිකාවයි!!! 


සුබ උපන් දිනයක්..රන්දිල් !!!!!!


Wednesday, September 18, 2013

217. කවිකාරියකගේ ප්‍රේමය…..6





කවිකාරියකගේ ප්‍රේමය…..1 

ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ. 

සෝමිල් හන්දි කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා.. 

" අයියෙ මේ තමයි සුජා......." 

පූර්වජ චිත්ත රූප කියල එකක් අහල තියද? ඉංගිරිසියෙං Pre-conceived mental image කිව්වැකි මයෙ හිතේ...ඒ කිව්වෙ මෙහෙමයි. කලින් ඇස් දෙකට නොදැකපු කෙනෙක් ගැන අපෙ හිතේ ඇඳිල තියනව මනස් සිතුවමක්.කටහඬ අහල තියේනම් ඒ අනුව අපි මවාගත්තු රූපකායක් වෙන්න පුලුවන් එහෙමත් නැත්තං ලියාපු ලියවිල්ලක් කවි පෙලක් කෙටි කතාවක් නවකතාවක් අනුව අපේ හිතේ ඇඳිච්චි ආලේඛයක් ( Mind Portrait ) වෙන්න පුලුවන්. ඔය මොකක් හරි දෙයක් හීන්වට ලාවට හරි බොඳ වුනු සිතුවමක් අපේ හිතේ ඇඳිල තියනවනෙ. බොහෝ විට මගෙ හිතේ එහෙම ඇඳුනු පූර්වජ චිත්ත රූප සීයට සීයක් නොවුනත් සීයට අසූවක් තරම හරියටම හරි. 

රයිට්..දැං මේ මම ලියන එව්ව කියවන ඒ ගැන කමෙන්ට් කරන ඔහෙල ඉන්නව නේද? ඔහෙල ගැනත් මයෙ හිතේ ඇඳිල තියනව යම් යම් චිත්ත රූප..ආය මොකටෙයි බොරු කියන්නෙ? ඒත් එකක් කියඤ්ඤං ඒ චිත්ත රූප මොනවද කියල නං අහන්ට එපා...කියන්නෙ නං නෑ මැරූකොට... 

හරි..මේ වැල් වටාරං ඔක්කොම කිව්වෙ මොකටද දන්නවද? මාස හතර පහක් තිස්සෙ සුජාගෙ කවි කියවල ඒ අනුසාරයෙන් මම සුජා කියන්නෙ මේ වගෙ කෙනෙක්ය කියල යම් කිසි විදිහක චිත්ත රූපයක් මයෙ හිතේ කොණක ඇඳිල තිබ්බනෙ. අන්න ඒ මයෙ හිතේ ඇඳිල තිබ්බ චිත්ත රූපෙට හාත්පසින්ම වෙනස් නෙව බොලේ මේ මං ඉස්සරහ ඉන්න සුජා...සයින් ද පීස් සකබෝනා! නයි කයිද රෝස් පාං!! ඌරො බොයිද කැන්විටා!!! ....කිව්වලු. 

මයෙ හිතේ ඇඳිල තිබ්බ සුජාගෙ රූපෙ විස්තර කරන එක පැත්තක තියල මම ඉස්සරහ මේ ප්‍රාදුර්භූත වෙලා ඉන්න සුජාගෙ විස්තරේ කිව්වොත් ඒක වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ... 

සුජාතා කොටයි...සාමාන්‍යයෙන් ඔය රූමත් කියල පොදුවෙ පිළිගන්ට නම් ගෑණු දරුවන්ගෙ තියනවනෙ ඇඟේ හැඩයක්.. 

" හෝරාමානකයක් මෙන් වූ ඇගේ සුකොමල දේහය නෙත ගැටුණු වහා උදෑසන නිල්දියෙන් මතුව එන්නාවූ තඹරු කුසුමක් සේ පිබිදුනු පසේනදී කොසොල් රජ්ජුරු තෙමේ එකෙණෙහිම රජ පුරුෂයින් බැණවූයේ....." 

ඔන්න ඔහොමනෙ තියෙන්නෙ ජාතක කතාවල...එතකොට ආය කියන්නෙ සිසිවන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන,ඔහොම හැඩරුව තියෙන කාන්තාවියො හිටියනං මං හිතන්නෙ ජාන විකෘතියක් වෙන්න ඕන...උපමා කියන්නෙ ටිකක් ඔය ලුණු ඇඹුල් කාරිය දාල කියන එව්ව තමයි. ඒත් මොක උනත් ඒකෙ තියෙන්න ඕන තිරිත්තමක්... 

ඔය සාමාන්‍යයෙන් බරවාහන කැටගරි එකට වැටෙන ලලනාවන්ගෙ ඇඟේ හැඩෙත් හෝරාමානකයක් වගෙ කියල කියන්ට බැරිකමක් නෑ.ඒත් එහෙම හෝරා මානකයකින් මනින්ට වෙන්නෙ තත්පර තමයි.උඩ ඉඳල පහලට එකම විෂ්කම්භය තියෙන වීදුරු සිලින්ඩරේකට වැලි දාල වහල උඩු යටිකුරු කලාම සරාස් ගෑවිල්ලෙ වැලි ටික වැටෙනව පල්ලෙහට. එක තත්පරයයි ඒ විදිහට මනින්ට පුළුවං.. 

සුජාතා කොටයි. ඒ වගේම ටිකක් විතර මහත පැත්තට බරයි..අර පිරිපුන් යුවතියන්ය කියන්නෙ..අන්න ඒ මොඩල් එක.හැබැයි බොහොම හුරුබුහුටියි..පෝටබල් සයිස්...ඒත් ඒ ඔක්කොටම හරි යන්න වත පුන්සඳ සේමා...ඒත් ඒ කෙල්ලගෙ එක පාරටම බැලූ බැල්මට හිතේ ඇඳෙන්නෙ ..මොනවද දන්නවද?....වෙන මොකවත් නෙවෙයි ඇස් දෙක...සුජාගෙ ඇස් දෙක හීනියි දිගයි. ඒත් ඇස් වල හැඩේට වඩා වැදගත් එයාගෙ ඇස් ඇවිල්ල කතා කරන ඇස්...කතා කරන ඇස් දැකල තියද?...දැකල තිබ්බට විතරක් මදි ඇත්තම කිව්වොත්...කතා කරන ඇස් වලට කතාවක් කියල තියනවද?...නැත්තං කතා කරන ඇස් කියන කතාවක් අහං ඉඳල තියනවද? 

මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා... 
නුඹේ කතාකරන දෑස මතක් වෙලා... 

දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට, 
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ... 

කතාකරන ඇස් කියන කතා අහන්න මම කොහොමත් ආසයි. 
කටින් කියන කතාවලට වඩා ඇස් වලින් කියන කතා කොහොමත් හෘදයාංගමයි..ලෙන්ගතුයි..සෙනෙහෙබරයි....

ඔය වගෙ දහසකුත් එකක් කල්පනා මගෙ හිතේ ඉපදිලා ඉතිරිලා යද්දි මම ගල් පිලිමයක් වගෙ බලාහිටිය කිසිම නිනව්වක් නැතුව. 

" අයියා..මොකෝ මේ තක්කු මුක්කු වෙල වගෙ? …" විජිත කියනකොට ඔන්න මම ආපහු ආවෙ කදුරුවෙල ස්ටේසම ඉස්සරහට. 

" ආ..නෑ..මල්ලි ..එතකොට මේ..මේ.... තමයි සුජාතා නේද?..." මම සුජා දිහා බලල හිනා උනා.... 

" ඔව් මම තමයි සුජාතා…" එයත් මුව පුරා සිනාසුණා… 

" එතකොට කෝ..මේ? ……" එහෙම කියන ගමං මම වටපිට බැලුව.. 

" මොනවද?...." සුජාගෙ නලල රැලිඋනා..ඇස් හීන් උනා… 

" නෑ මම මේ බැලුවෙ කෝ කිරිපිඬු පාත්තරේ කියල...." 

" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම.... 

ඔය වාගෙම එක වංගියටම මල් වෙඩිල්ලක් පිපුරුනා වගෙ හිනැහෙන තවත් එක් කාලයක මා දැන හඳුනාගෙන සිටි තවත් එක යුවතියක් මාගෙ මතකයට ආවෙ මගෙ හිතටත් නොදැනීම.... 

නුවර බේක් හවුස්ද, ලියෝන්ස් ද වයිට් හවුස් ද කියල අනන්ත රෙස්ටෝරන්ට්ස් ඒ කාලෙ ඉඳලම තිබ්බ නම් තමයි. ඒත් මේ යන්තං ගෙදරිං ඉල්ලගන්න දෙකයි පණහෙං ජීවත්වෙන අපට කොහෙද එව්වට යන්ට විදිහක්..සිංහල ජාතික හෝටලේට ගිහිල්ල පරිප්පු වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්ට විතරයි අපි දෙන්න අතේම සල්ලි තිබ්බෙ. එහෙම කරන්නෙ ගම්පොළට කෝච්චියෙ ගිහිල්ල ආපහු එන්ට සල්ලි ඉතුරු කරගන්ට ඕන නිසා. ඉබ්බෙක් ගහන එක මහ කජ්ජක් නොවුනට කරුමෙටවත් එයයි එක්ක යනකොට බාප්පල පැනල මාට්ටු උනොත් ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්, 

ඉබ්බෙක් ගැහිල්ල , හාෆ් ඉබ්බෙක් ගැහිල්ල සහ කැස්බෑවෙක් ගැහිල්ල කියන එව්ව දන්නව නේද? හරි අපි දන්නව කියල හිතාගෙන හිටියට මේ වගෙ ඉතා වැදගත් සාස්ත්‍රීය කරුණු කාරණා උනත් දන්නෙ නැති අය අපි අතරෙ අනන්ත ඉන්නව. 

රයිට් වියුණු ලිවීමේ එක පරමාර්තයක් තමයි දුහුණන් දැනුම් උදෙසා...එබැවින් ඉබ්බා , හාෆ් ඉබ්බා සහ කැස්බෑවා ගහනව කියන්නෙ මෙන්න මෙහෙමයි.... 

ඉබ්බෙක් ගහනව කියන්නෙ විසේසයෙම්ම බස් එකේ නිකං යන එක. හාෆ් ඉබ්බ කියන්නෙ මඟට ටිකට් ගන්න එක. ඒ කිව්වෙ කොටුවෙං මරදානට ටිකට් අරගෙන බොරැල්ලට යන එක. කැස්බෑව ගැහිල්ල ඔයිට වඩා ෆුල් සිරා. ඒ වැඩේ බෑ ලේසි පාසු පුතයෙකුට.ඒකට තියෙන්ට ඕන ආත්ම ගානක ඉඳල පුරාගෙන එන වීර්ය පාරමිතාවක් සහ දහිරියක්. ඒ කිව්වෙ ළමයි කැස්බෑවො ගහන්නෙ මෙහෙමයි. ඔය ටිකෙට් නොදෙන බස් වල තමයි ඕක කරන්ට පුලුවං..ඔන්න ඉබ්බෙක් ගහගෙන ඇවිල්ල බහින්ට යද්දි යනව කොන්දොස්තර ගාවට. 

" මේ මම ඉස්සරහ බහිනව..මගෙ විස්සෙ ඉතුරු දෙනවද? …" කිසිම බයක් හැකක් නැතුව කෙලිම්ම කොන්දගෙ මූණ බලාගෙන ඔහොම කිව්වම අනිවාර්යයෙං කොන්ද ඉතුරු දෙනව.. 

" කොහෙන්ද නැග්ගෙ? " 

" රාජගිරියෙං….." 


" ඒයි අද යමං තෝස පාරක් දාන්ට. එකසිය හැත්තැ හයේ අද මට කැස්බෑවෙක් වැඩ කලා…" 

අද අපෙ ගෙදර තියෙන්නෙ නුවර - ගම්පොළ රේල් පාර පේනතෙක් මානෙ...අවුරුදු ගානකට ඉස්සරවෙලා සතියකට සැරයක් දෙසැරයක් ගම්පොලට කෝච්චියෙ යද්දි එද්දි ඒ කිට්ටුවම මට පදිංචියට එන්ට වෙයි කියල කවුද හීනෙකිංවත් හිතුවෙ...ජීවිතේ හැටි එහෙම තමයි... 

මම ඔය කැළේ මැද රස්සාවට තේරිලා ලියුම ආවෙ බදාද වගෙ දවසක. සතියෙ මැද කියලනම් හොඳටම මතකයි. ඊළඟ සඳුදා සේවයට වාර්තා කරන්න කියලයි තිබ්බෙ. බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ කාලෙ තිබ්බෙ නුවර ඔරලෝසු කණුවට උඩ පැත්තෙ. 

සිකුරාද ඕකෙ තිබ්බ ඔය තරුණ වයසෙ යව්වන යව්වනියන්ට ඉංග්ලිෂ් ක්ලාස් එකක්. අරය ඕකට ආව එක දවසක්වත් වරද්දන්නෙ නැතුව.එයයිගෙ මේ ඉංගිරිසි පංතියට තිබ්බ ආසාව කොච්චරද කියනවනං මම ඉන්ටඇති වරු ගණං නුවර මාර්කට් එක ඉස්සරහ එයයි ක්ලාස් ඉවර වෙල එනකල්. 

" ඔයත් එන්ටකො අනේ අපෙ ක්ලාස් එකට…" 

" අනේ...මේ මට ඔය කට උල් කොරගෙන තොල් අඹර අඹර ඉංගිරිස් කියන්ට ඕනෙ කමක් නෑ කොහෙත්ම. මම මේ දන්න හරිය ඇති හොඳටම…." .ක්ලාස් එකට මටත් එන්ටෙයි කියල එයයි ආරාදනා කරපු හැම වෙලාවෙම මම උත්තර බැන්දෙ එහෙමයි. 

" ඔව් ඉතිං ඔයා නම් මොකද? ඕන එකක් කියාපං මොනවා හරි කියයි... අර කිතුලට ගියයි කියන්නෙ හැබෑටම ඔහෙලගෙ කිරි අත්තෙක්වත්ද?..." එයා ගස්සල අහක බලා ගන්නව ඒ වෙලාවට...හෙහ්,හෙහ්. 

ඉතිං අර රක්සාවට එන්ටේ කියල පත්තීං ලියුං කරදහිය එහෙම හම්බවෙලා ඊළඟ සිකුරාදත් එයයි ආව නුවර. ඔරලෝසු කණුව ගාවා බස් එකෙං බහිනකොට මම එතන. 

" මේ අද නං නෑ, බෑ, මොකවත්ම බෑ ඔන්න, මම සඳුද ගියහම ආය එන්නෙ මාසෙකිනුත් පස්සෙ වෙන්ටත් පුළුවනි බොහොම වෙලාවට... ඔහෙට ඕන තරං කල් තියෙනව කට අඹරන්ට උල් කරන්ට හිතේ හැටියට..ඒ නිසා අද වැඩ කෙරෙන්ට ඕන මම කියන විදිහට..තේරුණාය?..." 

" එසේය මහරජතුමණි...ඔබ තුමාගේ අණ කුමක්වේද? ඒ එකහෙලා පිළිගැනිමට මේ ගැත්තිය තනි පයින් සූදානම්බව ඔබ නොදන්නෙහිද? වහා පවසනු මැන ඔබ තුමාගේ රුචිය…" 


වක්කඩ කඩච්චාවෙ මේකි කියාගෙන කියාගෙන ගියෙ නැද්ද?...මේ දෙනෝ දාහක් ගැවසෙන මහ ටවුම මැද්දෑවෙ...ආය හෙමිහිට එහෙමත් නෙවෙයි...අහල පහල ගෑණු මිනිස්සුත් හැරිල බලන්ට ගත්ත මේ මොකද මේ කෝලම කියලද කොහෙද....එහෙම කියල නිකා හිටපිය..අර ජපන්නු ආචාර කරනව දැකල තියනව නේද? අන්න එහෙම පපුව දිහාට අතක් තියල ඉණෙං ඉස්සරහට නැමිල ආචාරත් කරපි. 

මට නේද?...උන්න මලා පේන්නෙ නැතුව ගියා තද වෙච්ච පාර...ඇයි දෙයියෝ සාක්කි..අඳුරන කවුරු හරි දකීය කියල මම මේ බයේ දඟලනව මේ අම්මණ්ඩිට කිසිම ගාණක් නෑ මේ සෙනඟ තලේ අස්සෙ විකාර කරනව.. 

මම රවපු පාරට වෙන කෙල්ලෙක් එහෙමනං බිරාන්ත වෙල එතනම කලංතෙ දාල වැටෙනව සිකුරුයි..මොන? මේ අම්මණ්ඩි හරියට මල් වෙඩිල්ලක් පිපුරුවැහෙ කැකිරි පලන්ට ගත්තෙ නැතෑ.. 

" මෙන්න මෙහෙ එනව යන්ට….." මම උන්දැගෙ අතිං ඇදගෙන ගියා ස්ටේෂන් එක දිහාවට...හිනාවෙවීම ඒ යෝදිත් මයෙ පස්සෙම ආව මිසක අත අතෑරියෙ වත් නෑ... 

" A penny for your thoughts " සුජාතගෙ කටහඬට මම ආපහු පියවි ලෝකෙට ආව… 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 

අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

මතු සම්බන්ධයි...... 

Friday, September 13, 2013

216. කවිකාරියකගේ ප්‍රේමය…..5

Image - Dominique Amendola.com


කවිකාරියකගේ ප්‍රේමය…..1

කවිකාරියකගේ ප්‍රේමය…..4 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 

මිදුලෙ ටිකක් එහාට මෙහාට ඇවිදල පිට පැත්තෙංම ගිහිල්ල පිටිපස්සෙ ටැංකියෙං මූණත් ටිකක් හෝදං කාරිය ආපහු මම සාලෙට ගියා. විජිත අර මම බල බල උන්නු පොත පෙරල පෙරල හිටිය. 

" ඉතිං මලේ?..මොකෝ දැං කෙරෙන්න ඕන?.." 

" ආයෙම අයිය ලව්ව කවියක් දෙකක් ලියව ගන්න ඕනෙ කියල හිතලයි මම මේ ආවෙ අයියෙ.." ඌ ඔලුව උස්සල මගෙ මූණ දිහාවත් නොබල බිම බලාගෙනයි ඔය ටික කිව්වෙ... 

" කවියක් දෙකක් ලියන එක නම් ඒ හැටි දෙයක් නෙවෙයි බං ..ඒත් මම අර කලිම්ම උඹට කිව්වෙ...මයෙ හිතට හරි නෑ බං...කොහොම උනත් මොන චේතනාවෙන් උනත් කවුරුහරි රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි කියලමයි මට හිතෙන්නෙ…" 

" නෑ අයියෙ මම දිගටම මෙහෙම කරන්නෙ නෑ...ඉක්මනටම එයාට ඇත්ත කියනව. අනේ අයියෙ...මට මේ උදව්ව කරල දෙන්නකො…" 


ඇත්තටම මයෙ හිතේ කොණක පොඩි පහේ විචිකිච්චාවක් තිබ්බ නම් තමයි. ඒත් කාලෙකට පස්සෙ කවියක් ලියන්ට මේ අහම්බෙන් ලැබිච්චි අවස්තාව පැහැර හරින්ටත් මගෙ හිතේ තිබ්බෙ ලෝබ කමක්. 

කවි කියන එව්ව ඔය නිකම්ම හිත අයාලේ යනකොටත් ලියවෙනව.ඒත් බොහොම හැඟීම්බර කවි ලියවෙන්නෙ හිත එක අරමුණක තියාගෙන ලියනකොට. සුබා එක්ක සෙනෙහෙන් බැඳිල ගෙවපු කලෙ මගෙ අතින් කවි ලියවුනෙ දුන්හිඳෙන් වතුර ගලන්නැහෙ. ඒ ලෙංගතුකම මැකිල ගියත් හරි මගෙ කවි හිතත් හිඳිලම ගියාද කොහෙද?..ඒ නිසා ආයෙම අරමුණක් ඇතුව කවි ලියන්න ලැබිච්ච අවස්තාව මඟ නොඅරින්න මම තීරණය කලා, අරමුණ මගේ පෞද්ගලික අරමුණක් නොවුනත්. අනික සොඳුරු යුවතියක් එක්ක කවි ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්නෙ මොන මෝඩයද? 

වසන්තය දෝතට රැගෙන විත්, 
කණක තරුවක් දිලි විලාසෙන, 
අනන්තය තෙක් ඇවිද යමු සිත්, 
මලක රැඳි රොන්සුණු සිනාසෙත, 

සියපතක ඉසි පිණි බිඳක රැඳි, 
හිරු කිරණ ඉඳුසැව් මැවෙන්නේ, 
වැහිපොදක නිරුදක කතර බිඳි, 
පිරූ සෙනෙහස හද පිරෙන්නේ,
 
කතාකරනා දෑස අබියස, 
විපිලිසරවී මහද ගොළුවෙත, 
තොලග රඟදෙන සිහින් මදහස, 
මිහිරි කවියකි සිත්පහන්වෙත,

බවකතර දුර ගෙවා ආ මඟ, 
සොඳුරු ළඳ නුඹ හමුවුනේ, 
නතර වූයෙමි ඔබේ නෙතුලඟ, 
තමරු විල්තෙර පිබිදුනේ, 


මේ එදා මම ලිව්ව කවිය...මත්පැන් ගැන විජිත ඇහුවෙත් නෑ..මට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ....කවි සංකල්පනා බිහිවෙන්න හිත බාගෙට මත්වෙන්න ඕනය කියන කියමන මම අහල තියනව. ඒ කතාවෙ යම්තාක් දුරට ඇත්තකුත් තියෙනව. හැබැයි එක කාරණයක් තියනව. මත්වෙනව කියන්නෙ මත්පැන් වලින්ම වෙන්න ඕන නෑ..ආදරෙන් සෙනෙහසින් මත්වෙනව කියන්නෙ මත්වීමක් තමයි. බොහොම වෙලාවට ආදරෙන් සෙනෙහසින් මත්වීම මත්පැන්වලින් මත්වීමට වැඩිය බලගතු වෙන්න පුලුවන්. 

ඊට පස්සෙත් සුජාගෙ කවි වලට මම පිළිතුරු කවි ලිව්ව...ඒ ලියපුව ඔක්කොම මෙතන ලියන්ට ගියොත් මේක කවි මඩුවක් වෙනව තනිකරම... ඒ නිසා කවි දැං ඔය මදැයි නේද? විජිතයගෙං ඊට පස්සෙ හැමදාම නම් අපි බොන්ට ලෑස්ති උනේ නෑ...ඒත් ජයේගෙ විමලෙගෙ අතේ සල්ලි නැතිඋනාම " ඒයි මල්ලි මේ...අරං වරෙං බෝතලයක්..නැත්තං අද උඹට කවි නෑ..හරී? " ඔන්න ඔහොම පොඩි තර්ජනයක් දාල උං බෝතලයක් දෙකක් මරාගත්ත.ඒත් ඒ වෙනකොට ඒ බොන සිහියක් නම් මට තිබ්බෙම නෑ. අර කෙල්ල සුජා එක්ක කවි ගනුදෙනුවට මම වහ වැටිල හිටියෙ. 

ඔය විදිහට මාස තුන හතරක් ගියයි කියමුකො. ඊට පස්සෙං පහුත් දෙතුං පාරක්ම මම විජිතයට අර වැඩේ මතක් කලා. වැඩේය කිව්වෙ මේ කරන බහුරූ කෝලම ගැන ඇත්තම විස්තරේ ගෑණු ළමය එක්ක කියන එක..හා අයියෙ මම කියඤ්ඤංකො මම කියඤ්ඤංකො කිව්ව මිසක ඒක එහෙම කියනව තියා ඒ ගැන තුං හිතකිංවත් හිතන පාටක්වත් පේන්ට නම් තිබ්බෙ නෑ... 

ඔහොම ඔන්න එක දවසක මයෙ කාමරේ මේසේ ඉඳගෙන මම කවියක් ගලපමින් හිටිය. 

" ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට...."' මම හෙමිහිට තොල මැතුරුවෙ ඊලඟ පදේ ගැන අදහසක් ගන්න හිතාගෙන. 

විජිත මගෙ ඇඳේ ඉඳගෙන මා දිහා බලා උන්න යන්තමට හිනාවීගෙන. 

" අයියෙ මම අයියගෙන් කාරණාවක් අහන්න මට ඇත්තම කියනවද?..." 

" ම්ම්ම්..ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට කිව්වොත්ද වඩා හොඳ ගඟුල ගැලු ඉම් කොණක් නොම දැක කිව්වොත්ද?...ඉම් පෙදෙස් පසුකොට..ඉම් කොණක් නොම දැක…" 


පස්සට වෙලා පුටුඇන්දට හේත්තුවෙලා අත්දෙකත් පපුවට බැඳගෙන මම කල්පනා කරන්ට ගත්ත. 

" අයියෙ මේ?....මම කියපු එක ඇහුණද? " 

" ඉම් පෙදෙස් පසුකොට කියල දැනට ලියමු. පස්සෙං පහු එන විදිහක් බලල වෙනස් කරන්ට බැරුවය ඕන්නං?..." මම මටම කියාගත්ත හෙමිහිට. 

" ආ..මලේ උඹ මොකවත් කිව්වය?...මම විජිතය දිහාවට හැරුන.." 

" කිව්ව නේන්නං ..මම ඇහුවෙ අයියට සුජාගැන මොකද හිතෙන්නෙ කියලයි… " 

එක පාරටම උත්තරයක් දීගන්ට බැරුව මම ඒකගෙ මූණ දිහා බලා ඉන්ටැති මයෙ හිතේ එක විනාඩි බාගෙයක් විතර. 

" ඇයි මලේ...ඇයි උඹ එක පාරටම ... එහෙම ඇහුවෙ? …" මම අන්තිමට කියා ගත්ත. 

" නෑ අයියෙ මම ගොඩක් දවසක ඉඳල හිටියෙ අයියගෙන් මේ ගැන අහන්ට…" 

හ්ම්ම්ම්ම්.......ඇත්තටම මගෙ හිතේ සුජා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?...මාස තුන හතරක් වගෙ කාලයක් තිස්සෙ මම එයාට කවි ලියනව..එයා මට කවි ලියනව..නීතියෙ තියනව පෙරකලාසි කියල එකක්..ඉංගිරිසියෙන් කියන්නෙ By Proxy කියලයි. ඒ කියන්නෙ කවුරු හරි වෙනුවට අදාල කටයුතු කරන්ට නීත්‍යානුකූලව අවසර දුන්නයි කියන එක.එතකොට මම කවි ලියන්නෙත් එහෙමද? පෙරකලාසියක් මත කවි ලියමි..හෙහ්, හෙහ්..ඒකත් නරකම නෑ...මට හිනහවකුත් ගියා. 

ඔබේ නමින් ලියවුනු කව්,
අකුරු කලේ මමයි ලඳුනි,
එනමුදු කිසි දිනෙක එබැව්,
හඟවනු නොහැකිව ලතවෙමි....

" සුජා කැමතියි කිව්ව අයියව මුණ ගැහෙන්ට…"එක පාරටම විජිතය කියාපි. 

මම නේද...අර කරකෝල අතෑරිය කියන්නෙ..අන්න ඒ වගේ උනා.. 


" ඈ...ඒ කියන්නෙ මලේ උඹ මම ගැන ඒ කෙල්ලට කිව්වද? " 

" කිව්වයි කියන්නෙ ඔය කවි ලිවිල්ල ගැන මොකවත් නං කිව්වෙ නෑ තාම..මම එයාට කිව්වෙ මෙහෙමයි., මගෙ හොඳ යාලුවෙක් ඉන්නව..එයත් ඔය කවි එහෙම ලියනව ...එහෙම කිව්වම තමයි එයා කිව්වෙ අඳුනගන්න කැමතියි කියල..මොකද අයිය කියන්නෙ? …" 

එක පාරටම මට උත්තරයක් දෙන්න බැරුව මම ටික වෙලාවක් ඇස් දෙකත් පියාන කල්පනා කලා අත් දෙකත් පපුවට බැඳ ගත්තු ගමංම. 

සුජා මුණ ගැහිල කතා කරන්ට හිතේ කොණක පොඩි ආශාවක් නොතිබුනේම නැති උනත් ආයම නිකං බයක් වගෙ හැඟීමකුත් ..බයක්මත් නෙවෙයි මේ දෙගිඩියාවක් වගෙ හැඟීමකුත් මගෙ හිතේ පිරිල උතුරන්න ගත්ත. 

" ඕන නෑ මල්ලි..පස්සෙ බලමුකො.." මම එහෙම කියල ප්‍රශ්නෙං මඟ ඇරිය එදා. 

ඊට පස්සෙං පහුත් තුං හතර පාරක් ඔය සුජා මුණගැහෙන එක ගැන විජිත මතක් කලත් මම ඔය ඒ වෙලාවට මොනවහරි කියල ඒක මඟඇරියා. 

ඔය වෙනකොට අපි කට්ටිය හතර පස්දෙනෙක් අර්ධ කාලීන කාර්මික විද්‍යාල පාඨමාලාවකුත් කලා අපේ වෘත්තියට සම්බන්ධවම.සති අන්තයෙ පාඨමාලාව පැවැත්වුනේ. අපි බොහෝවිට සිකුරාදා හවස් වෙලා ජීප් එහෙකින් කදුරුවෙලට ඇවිල්ල කොහෙහරි කිට්ටු යාලුවෙකුගෙ ගෙදර රෑ නතර වෙලා පහුවදා උදෙන්ම යනව අර කිව්ව පාඨමාලාවට. 

විජිතය බොහොම වෙලාවට සිකුරාද හවස ගෙදර යනව….සිකුරාද ඉස්කෝලෙ ඇරිල එහෙම්මම සුජාත් එක්කම එකට බස් එකේ යන්ට පුලුවන් නිසා මනුස්සය මොක කරල හරි සිකුරාද හවස පනිනවමයි..... 

දවසක් හෙනහුරාදාවක පාන්දර මම ලෑස්ති වෙලා කදුරුවෙලට යන්ට ජීප් එකට නඟිනකොට මෙන්න ව්ජිතයත් ඉන්නව ජීප් එකේ පිටිපස්සෙ. 
" ඇයි බං උඹ සිකුරාද හවහට නේද වෙනද ගෙදර යන්නෙ?..." 

වාඩි වෙලා කරේ එල්ලං තිබ්බ මගෙ ට්‍රැවලිං බෑග් එක අතට අරගෙන උකුල උඩ තියාගන්න ගමං මම ඇහුව… 

" නෑ අයියෙ ඊයෙ මට හදිස්සි වැඩක් තිබ්බ.." ඌ හිනාවෙන ගමං කිව්ව. 

" එතකොට අර ළමය? …." මම හීං සැරේ විජිතයගෙං ඇහුව. 

" ආ..එයා ඊයෙ යන්ට ඇති.." විජිත ඕනවට එපාවට වගෙ කිව්ව… 

කදුරුවෙල ස්ටේෂන් එක ඉස්සරහ අපි බහිනකොට හයට තරම ඇති..යාන්තමට වටපිට එලිපෙහෙලි වේගන එනව.බස් එකින් එක ඇවිල්ල පටවං ආපු සෙනඟ බස්සනව. තඹාල, ඕනෑගම, සේවාගම..ඔය අතරෙ එනව බී.ඕ.පී 400, බී.ඕ.පී. 317 කියල බෝඩ් ගහගත්තු බසුත්. 

අපි රස්සාවට ගිය අලුත ඔය B.O.P. කේස් එක අපිට මහ හිනා කන වැඩක්. මොකද ඊට කලිං අපි දන්නෙ BOP කියල අර තේ වර්ගය විතරයි.Broken Orange Pekoe...ඔය බී.ඕ. පී කියන අකුරු තුනට අපේ එවුං හදල තිබ්බ මරු නමක්. මෙතන කියන්ට නම් බෑ ඕන්න ඒක...පුළුවන් කට්ටිය හිතාගන්ටකො...හෙහ්, හෙහ්, 

හරි ඉතිං දන්නවය ඔය B.O.P. කියල ගං වලට නං වැටුනෙ කොහොමද කියල?...තිස් හතළිස් ගනංවල ඩී. එස්. සේනානායක මහත්තය කෘෂිකර්ම ඇමතිකාලෙ ඔය රජරට පුරාම ගොවි ජනපද පිහිටෙව්වනෙ.එතකොට පදිංචි කරපු මිනිස්සුන්ට කුඹුරු සහ ගොඩ ඉඩං මැනල වෙං කරල දීල තියෙන්නෙ කට්ටි කැඩීමේ පිඹුර අනුව.ඒ පිඹුරු කතා ආවෙ මේ ඊයෙ පෙරෙයිද නෙව. ඒ කාලෙ ඔය සිංහල නං තිබිල නෑ..ඉංගිරිසි නම විතරයි. Blocking out Plan..... 

අන්තිමට උනේ බ්ලොකිං අවුට් ප්ලෑන් එකේ නොම්මරේ අනුව ඒ ගමටත් ඒ නමම වැටිච්ච් එක.තව ඔය යාය කියල කියන්නෙත් ඒ වගෙ ජනපදවල ගම් හඳුන්වන්ට යොදාගත්තුනම්...යාය කියල සිංහලෙං කියන්නෙ ට්‍රැක් කියන වචනෙට..ට්‍රැක් 8, ට්‍රැක් 16, ට්‍රැක් 32, ට්‍රැක් 41 අන්න ඒ වගෙ. 

යාය කියනකොට මට මතක් වෙනව අපූරු සිංදුවක්..ගායකය එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි..උපාලි රන්තිලක...ඒත් අපූරු සිංදුව...කාලෙං කාලෙට මගෙ ප්‍රියතම ගීත තිබ්බ...දෙදාස් දෙකේ විතර මම නිදාගන්න වෙලාව ඇරුනු කොට අනික් හැමවෙලේම , නානකොට..කන බොනකොට විතරක් නෙවෙයි සරීර කෘත්තිය කොරන එකත් කලේ මේ සිංදුව කියන ගමං...හෙහ්, හෙහ්, 

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි 
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි 


ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ. 

සුජා ඉගැන්නුවෙ බී.ඕ.පී. 317 ඉස්කෝලෙ...

සෝමිල් හන්දි, කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා.. 

" අයියෙ මේ තමයි සුජා......." 

මතු සම්බන්ධයි......



Thursday, September 5, 2013

215. කවිකාරියකගේ ප්‍රේමය…..4



කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

පහුවදා පාන්දරම මට ඇහැරුනා...මයෙ හිතේ පහට වාගෙ..කලින් දවසෙ රෑ ටිකක් විතර වැඩිවෙන්ට බිව්වම මට ඔය වගෙ පාන්දර ඇහැරෙනව දරුණු තිබාසෙකුත් එක්ක. 

මයෙ ඇඳ ලඟ අතට අහුවෙන මායිමේ කොයි වෙලාවෙත් ටෝච් එකක් තියනවමයි.අපි ඔය කැළේ මැද්දෑවෙ ගතකරපු කාලෙ වැඩි හරියක් නිල නිවාස වලට ලයිට් තිබ්බෙ නෑ. ජෙනරේටරයක් දානව හවස හයේ වගෙ ඉඳල රෑ එකොළහ වගෙ වෙනකල්. ඊට අමතරව කට්ටිය දවල් කෑමට ආපහු එන වෙලාවට ඒ කිව්වෙ දොළහෙ ඉඳල දෙක දක්වා වගෙත් ජෙනිය දානව. 

ඊට අමතරව ඉතිං ඔය නැඟල යන පාටියක් වගෙ වෙලාවට ලොක්කට කියල පර්මිෂන් අරගෙන පැයක් වාගෙ ජෙනිය දාගන්නත් පුලුවන්.රෑ ඇහැරෙනකොට පට්ට කලුවර නිසා මගෙ ඇබ්බැහියක් වෙලා තිබ්බෙ ඉතිං ඔය ටෝච් පොල්ල අතට අහුවෙන මානෙ තියාගන්න එක.තව හේතුවක් ඇවිල්ල සරපයො..

ඔය අපි හිටපු දිහාවල සරපයො කියන ජාතිය ඕසෙට. කැලෑව මැද්දෑවෙ සරපයො ඉන්න එක ඉතිං කියන්ටත් දෙයක්ය ආය ..නැද්ද? අර ලේ මාපිල්ලු එහෙමත් එහෙ හිටියයි කියනව...ඇත්තම කිව්වොත් මම නම් දැකලම නෑ. ඒත් දැකපු එවුං කියන විස්තර මම අහල තියනව. 

ඔය ලේ මාපිල්ලු කියන ජාතිය එනවයි කියන්නෙ හත්දෙනා ගානෙ. එකා පස්සෙ එකා වැඩිමහළු අනුපිළිවෙලට.ඇවිල්ල නඟිනව වහලට. වහලෙදි එවුං එකා එකා අනුපිළිවෙලට වලිග හපාගන්නව එකිනෙකාගෙ.... අන්තිමටම හත්වෙනියගෙ වලිගෙ හපාගන්නව මුල් එකා. දැන් මාපිල්ලු හත්දෙනා ඉන්නෙ රවුමට .... 

කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නව ඇති නේද බෙන්සීන් අණුවෙ ව්‍යුහය..අන්න ඒ වගේ...අර කවුදමේ?? ......ආ, හරි කෙකුලේ නෙ ඒ වැඩේ හොයාගත්තෙ...කෙලුලේට ඔය දාම අණුවක ව්‍යුහය පිළිබඳ අයිඩියානන්ද එක ආවය කියන්නෙ ඔය අපි වගේම ටිකක් අත වැඩිවෙන්ට දාගෙන හතරගාතෙ දාල බුදියං ඉන්නකොට පෙනිච්චි හීනෙකිං කියනවනෙ...අහල ඇති නේද?...හරි...කලිං අහල නැතත් කිසි අවුලක් නෑ..දැං ඇහුවනෙ....හෙහ්, හෙහ්,... 

හරි බෙන්සීන් සහ කෙකුලේ ගැන ඒ ඇති..බෑක් ටු මාපිලාස්.....ඊට පස්සෙ වෙන්නෙ පල්ලෙහා කවුරුහරි නිදාගෙන ඉන්න කෙනෙකුගෙ හරියටම බෙල්ල කෙලින් පරාලෙක අර එක මාපිලෙක් වල්ගෙ පටලෝ ගන්නව.ඊළඟට මාපිල්ලු රෝදෙම දිගඇරීගෙන වැටෙනව පල්ලෙහාට..අන්තිම එකා නිදාඉන්න මනුස්සයගෙ බෙල්ලෙ බල නහරෙට විදල ලේ බොනව. 

ඔය මාපිල්ලු ලේ බොනවයි කියන්නෙ බල නහරෙං විතරලු. බල නහරෙ නැත්තං එහෙම කිසි අවුලක් නෑ. ඔය මුල්ම කාලෙ අපේ ඔය වියාපූර්ති පටංගත්තු මුල්ම කාලෙ.... මම මේ කියන්නෙ හැත්තෑවෙනි දසකයෙ මුල් බාගෙ.... බඳව ගත්තයි කියන්නෙ බල නහරෙ නැති උදවිය විතරයි. උප්පැන්න සහතිකේ, අධ්‍යාපන සහතික ඊළඟට බල නහරෙ රහිතයි කියල වෛද්‍ය සහතිකේකුත් අනිවාර්යයයිලු ඒ දවස්වල.විමලෙය තම්යි ඕව කියන්නෙ...ඉන්නකො විමලෙගෙ වාං පතුල් කතාවලදි ඒ විස්තරේ කියන්නංකො....හෙහ්, හෙහ්, 

අඩේ පඳුරු තලන්නෙම නෑ නෑමයි කියල එක හිත් හිතාන හිටියට පොඩි පඳුරකුත් තැලුන නේද? හරි එකොළොස්වෙනි සිල්පදේ සමාදං වෙන්න ඕන ව.ක්‍රී.ප.ගෞමාන්වික මණ්ඩලීකරණං වේරමණී සික්ඛා පදං සමාදියාමී..... කථා අවසන්කිරීමෙහිලා බෙහෙවින් බාධා පමුණුවන ගොමු මැඩලීමෙන් මම වැළකෙමි....අන්න දැං හරි...ඒ ඇවිල්ල එකොළොස්වන සිල් පදය. 

රයිට් ආපහු ටෝච් එකේ කතාවට....මම කිව්වනෙ ඔය ටෝච් එකේ වැඩේ මට පුරුද්දකට ගිහිල්ලයි තියෙන්නෙ කියල. ඒ වගේම තමා කුඩෙත්.ඔය අපෙ ගෙවල් පැත්තට වහින්නෙ මේ හිටපු ගමං...ගෙදරිං දොට්ට බහිනකොට නිල්ම නිල් පාට ආකහේ...එක වළාකුලක් නෑ ආසාවට...මෙන්න විනාඩි පාළහක් යන්ට වෙන්නෙ නෑ..කළු කරගෙන වහිනව මොර හූරන්ට....වැස්සට තෙමෙන එක වගෙ මට විඳින්ට බැරි දෙයක් නෑ මේ තුංලෝකෙ..ඒ නිසා මම කොහෙ ගියත් කුඩයක් අරං යනවමයි. 

අපි බැඳපු අලුත එක පාරක් අපෙ උන්දැගෙ ගෙදර ගිහිල්ල ආපහු එන්ට පිටත් වෙද්දි එයයිගෙ අප්පච්චි දැක්ක මයෙ කුඩෙයි ටෝච්චෙකයි.. 

" පුතාගෙ අතේ ටෝච් එකයි කුඩෙයි නැතිවෙන්නෙම නෑ නේද? " උන්දැ හිනැහිලා එහෙම මයෙං ඇහුව. 

" එහෙම නැතුව කොහොමෙයි අප්පච්චි?......අර පරණ කතාවක් තියෙනවනෙ බින්න බහින්ට යනවනං තල අත්තයි හුළු අත්තයි වහලෙ ගහල තියාගන්ටෙයි කියල.බින්න නොබැස්සත් මම ඉතිං මේ කාලෙ තල අත්තටයි හුළු අත්තටයි තියෙන්නෙ කුඩෙයි, ටෝච් එකයි නෙව..ඒ දෙක නං අරගෙනම තමයි මෙහෙ එන්නෙ. " මම ඔහොම කිව්වම උන්දැ හක හක ගල හිනා උනා. 

" මොක උනත් ඒක නං නුවණට හුරු කල්පනාව තමා, ඔය ඉස්ත්‍රී පක්සෙ ඉන්නව නේද? සත පහකට බැරුවා මායිං කොරන්ට…" එහෙමත් කිව්ව කෝකටත් වටපිටත් හෝදිසි කරල කාරිය ...හෙහ්, හෙහ්, 

ඉතිං විජිතට කවි ලියල දුන්නුදාට පහුවදා පාන්දර පහට වගෙ මට ඇහැරුනා. ඇඳ ඉහ අද්දරම තිබ්බ වතුර බෝතලේ අරගෙන එක දිගට තුන් කාලක් වගෙ බිව්වෙ තිබහ නිසාමයි.වතුර බිව්වත් එක්කම ඊළඟට එන උවමනාව මොකක්ද කියල දන්නවනෙ… 

අපේ කම්බි වැට අයිනෙ තිබ්බ තරමක පලු ගහක්.ඕක යට තමයි අපේ එළිමහන් කැසිකිළිය වෙලා තිබ්බෙ. ඒත් ඒ පායන කාලෙ ඔය වැඩේ හින්දම අහල ගංහතක නහය කුණු වෙච්චි නැති එකෙකුටවත් ඉන්ට බැරි සයිස් එකක් තමයි වෙලා තිබ්බෙ. 

ඒ හින්දම අපි සුහද එකඟතාවයකට ඇවිල්ල තිබ්බ අඩු ගානෙ වැස්සක් දෙකක් වැටෙනකල් නියමිත වැසිකිළිය පාවිච්චි කරන්ට. ඒ අනුව මම ඒ වැඩෙත් කරල සීතල හුළං පාරක් වදින්ටත් එක්කල සරමත් කැහිපොට ගහගෙන මිදුලෙ ජෑම්ගහ යට පිටපළුවකින් හදල තිව්ව ලෑලි බංකුවෙ ඉඳගත්ත. 

මයෙ හිතේ අහුමුල්ලක මොකක් හරි වද දෙනව උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලම. ඇත්තම කිව්වොත් ඊයෙ රෑ මත් වෙලා හිටිය උනත් කොච්චර සිංදු කිව්වත් නැටුවත් මොනවහරි වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවය කියන හැඟීම මගෙ හිතේ කොණක පැළපදියම් වෙලා ඉඳගෙන මට වද දුන්නෙ හීතල කාලෙ මිදුල මැද අපි ගිණි තපින්ට ගහන ගිණි මැලේ නිවිල ගියාට පස්සෙං පහු උනත් එකපාරටම කොහේද ඉඳල හමාගෙන එන හුලං රැල්ලකිං අළු අයිංවෙලා ගිණි දැල්ලක් මතුවෙලා දිලිසෙන්නැහෙ. 

ජෑම් ගහ යට පිටපළුව උඩ ඉඳගෙන හීතලට අත්දෙකත් පෙරවාගෙන ඉන්නකොට ඔන්න මයෙ හිතට එක පාරට ආව මේ දෙගිඩියාවට හේතුව මොකද්ද කියල. 

ඊයෙ අර ලියාපු කවි .......ඒ වෙලාවෙ ජොලියට වගෙ වැඩේ කලාට මේ කරන්නෙ වැරැද්දක්ය අසාධාරණයක්ය කියල මගෙ හිත මට වද දුන්න. .කිසිම කෙනෙක් මාව රවට්ටනවට මම කැමතිනෑ වගේම තමයි කවුරු උනත් කැමති නෑ කිසිම කෙනෙක් තමන්ව රවට්ටනවට… 

මේ කිසිම දෙයක් නොදන්න අහිංසක යුවතියක්…. ආදරය සෙනෙහස හොයාගෙන ජීවන මංපෙතේ හුදකලාව පියමනින සොඳුරු යුවතියක්, මුලාවෙ දමන්ට රවට්ටන්ට මමත් හවුල් උනාය කියන හැඟීම මගෙ හිතෙං කොහොමටවත් අයිං කරගන්ට මට බැරි උනා. 

විජිතය හිටියෙ කෑම්ප් එකේ මහ හේට්ටුව ලඟම කොහොඹ ගහ යට ක්වාටස් එකේ. එළිය වැටෙනකල් වත් ඉන්නෙ නැතුව මම ටෝච් එකත් ගහගෙන ඌ හම්බ වෙන්ට ගියා. දොරවහල උගෙ කාමරේ… 

" මලේ..විජිත...ඒයි මේ දොර ඇරපං….." දොරට හත් අට පාරක් තඩිබානකොට විජිතය සරමත් ඇඳ ඇඳ ඇවිල්ල දොර ඇරිය. මාව දැක්ක ගමං උගෙ ඇස් ලොකු උනා.. 

" ඇයි අයියෙ මේ පාන්දරම? කාටවත් අසනීපයක් වත්ද?.." 

" නෑ..නෑ එහෙම එකක් නෙවෙයි…" 


කාටහරි අසනීපයක් නං ඉස්පිරිතාලෙ අරං යන්නෙ නැතුව උඹට කියන්ට එන්නෙ උඹ මොකෝ දොස්තරද? එහෙම තොල මතුරමින් මම කාමරේට ඇතුල් වෙලා ලියන මේසෙ ගාව තිබ්බ පුටුව ඇදල අරගෙන වාඩි උනා. විජිතයත් අතිම්ම කොණ්ඩෙ හද හද උගෙ ඇඳේම ඔන්න වාඩිඋනා කෙලවරට වෙන්ඩ.. 

" ඇයි අයියෙ?..." ඌ ආයෙම ඇහුව.. 


" මල්ලි මේ……." මම ඔලුව උස්සල උගෙ මූණ දිහාවෙ බැලුව.. 

" අර මම ඊයෙ ලියපු කවි පෙල ……" 

" ඔව් ඉතිං? " 

" මේ ඒක අර ගෑනු ළමයට යවන්න එපා මල්ලි." 


කොල්ලගෙ මූණ කළු උනෙ බලාගෙන ඉන්දැද්දි.. 

" අනේ ඇයි අයියෙ ඒ?.." 

" අර ඊයෙ ජයේ කියාපු හින්දයි උඹේ මූණ බලාගෙන බෑ කියන්ට බැරිකමටයි මම ඔය කවි දෙක තුන ලියල දුන්න නං තමයි. ඒත් මල්ලි අපි මේ අර ළමයට ලොකු වංචාවක් රැවටිල්ලක් නේද කරන්නෙ කියල මට හිතෙනව බං…" 

හීංවට නළල ඇතුලෙං කැක්කුමක් මතුවෙන්ට ගත්ත හින්ද දෑතෙ ඇඟිලි වලින් නළල දෙපැත්ත මසාජ් කරන ගමන් මම කිව්ව...... 

" එහෙම වෙන්නෙ නෑ අයියෙ මම සුජාට ආදරෙයි..එහෙම හිතල බලනකොට මේක එක විදිහක වංචාවක් නම් තමයි. ඒත් ඒ ආදරේ හින්දම කරන වංචාවක්..මම හිතන්නෙ සුජා මට ඒකට සමාව දෙයි.." 

මගෙ හිස රුදාව ටික ටික වැඩිවේගන එනව ඔන්න..මේ ඔය ආදරේ ගැනවත් වංචා ගැනවත්...ආදරේ නිසා කරන වංචා නියම විදිහට ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන් වංචා රැවටිලි ගණයට ගැනෙනවද නැද්ද කියලවත් කෙස් පලන තර්ක ගෙනල්ල සාකච්ඡා විමර්ශන කරන වෙලාවක් නෙවෙයි 

" හරි මල්ලි එහෙනං ඕන එකක්...උඹ එහෙනං ඒ ළමයට වැඩි කල් නෑර මේ විස්තරේ ඔක්කොම කියනව නේද? " මම ඔලුව අල්ලගෙනම නැඟිට්ට. 

" හරි අයිය බය වෙන්න එපා..එහෙම රැවටිල්ලක් කෙරෙන්නෙ නෑ. මම ඒ ඔක්කොම බලාගන්නං.." විජිතය හිනාවෙලා එහෙම පොරොන්දු උනා. 

සතියකට වගෙ පස්සෙ...සිකුරාද නැත්තං සෙනසුරාද දවසක්...මට එහෙම මතක සති අන්ත වල අපේ චමරියෙ ඔය පවුල් පන්සල් වෙච්චි කට්ටිය කොහොම කොහොම හරි යනව ගෙවල් බලා..මමයි තව කවුරුහරි..මට හරියටම නම නම් මතක නෑ..විතරයි ඉතුරු වෙල හිටියෙ. සමරෙද කොහෙද..හරි කවුරුහරි හිටපු එකත් හවස කදුරුවෙල ගියා කොණ්ඩෙ කපාගෙන එන්නෙයි කියල.. 

හවහ පොඩ්ඩක් ඇලට් එකක් කාරිය ගහල නැඟිටල පිටිපස්සෙ ටැංකියෙං ඇඟපත කාරිය හෝදගෙන සැමී ගෙනත් දුන්නු කහට එකත් ගහන ගමන් මම පොතක් කියෙව්ව සාලෙ ඇඳි පුටුවෙ දිගාවෙලා අර කනප්පුව උඩ කකුල් දෙක එහෙමත් තියාගෙන. පොත ඇවිල්ල ගුණදාස අමරසේකර මහත්මයගෙ " ගල් පිළිමය සහ බොල් පිළිමය "'.... එතුමගෙ දේශපාලන මතිමතාන්තර මට පෙන්නන්න බැරි එක වෙනම කතාවක්. ඒත් ලංකාවෙ අද ඉන්න දක්ෂම නවකතාකාරයෙක් අවිවාදයෙන්ම... 

" සැමී..මහත්තය ඉන්නවද?..." කුස්සිය පිටිපස්සෙං ඇහුනෙ ඒ විජිතයගෙ කටහඬ.. 

සැමීත් මොනවද කිව්ව මට හරියකට ඇහුනෙ නෑ...සමහරවිට කියන්න ඇති සාලෙ ඉන්නව කියල...විජිතය කඩාගෙන සාලෙට ආවෙ පුරඟනහලකට පොලිසියෙං පනිනව වගෙ.. 

පොලිසියෙං පනිනව කිව්වම මතක් උනේ මේ පහුගිය ඉරිද ලංකාදීපෙ මරු කාටුන් එකක් තිබ්බ.පොලිස් ජීප් එකක් පාර අයිනෙ නවත්තල රාලහාමිල දඩබඩ ගෑවිල්ලෙ බහිනව එළියට බැටං පොළු එහෙම අරගෙන...බල්ලො ජෝඩුවක් ඉන්නව ඒ කිට්ටුව. පොලිසිය දැක්ක ගමං බල්ල පණ කඩාගෙන දුවනව ඒ ළඟම තියෙන බෝක්කුවක් යටට. බැල්ලි කියනව " හැංගෙන්න ඕන නෑ අනේ...ඒ ඇවිල්ල තියෙන්නෙ අපිව කසාද බන්දවන්න නෙවෙයි.කසිප්පු අල්ලන්න " පියල් උදය සමරවීරගෙ කාටුන් එකක්. බොහොම දක්ෂ විකට චිත්‍ර ශිල්පියෙක්.. 

ඉතිං විජිතය කඩාගෙන ඇවිල්ල මං ඉස්සරහ දඩස් ගාල ඉඳ ගනිපි පුටුවක.. 

" මොකද බං මේ? අර පුකට අයිස් පලං ගහපු හරක වගෙ? …" මම ඇහුවෙ කකුල් දෙක කනප්පුවෙං බිමට ගන්න ගමං.. 

හෙහ්, හෙහ්..ඒකගෙ මූණ කට රතු උනේ බලාඉන්දැද්දි...බිම බලාගත්තු ගමං ටික වෙලාවක් ඌ එහෙම්මම හිටිය. මමත් පොත වහල කනප්පුව උඩ තියල පුටු ඇන්දට දිග ඇදිල හේත්තුවෙලා එහෙම්මම හිටිය විජිතයගෙ මූණ දිහාවෙම බලාගෙන. මට හිනායන්ටත් එනව, ඒත් බොහොම අමාරුවෙන් වලක්කගෙන හිටිය සද්ද නැතුව. 

විජිතය ඔලුව උස්සල බලපු පාර එක පාරම දැක්කෙ අර කනප්පුව උඩ තිබ්බ පොත. 

" මොකද්ද අයියෙ මේ? ගල් විහාරෙ ගැන ලියපු එකක්ද? …" විජිත ඇහුවෙ පොත අතට ගන්න ගමං..

ගල් පිළිමය සහ බොල් පිළිමය පොතේ මුල් පිටුවෙ තිබ්බෙ ගල් විහාරෙ සැතපෙන පිළිමෙ චිත්‍රයක්.. 

" මේ මෙහාට දීපං ඕක...උඹ දැං මේ අර මම කලිං කියපු මොකක්ද එක ගහපු ඒ කලිං කියාපු සතා වගෙ දුවගෙන ආවෙ මේ පොත ගැන අහංටද?....නෑනෙ...ආපු කාරණේ කියාල හිටපං ඔක්කොටම කලිං..පිළිම ගැන බැරිය පස්සෙ කතා කරන්ට." මම පොත උදුරගත්ත. 

" සුජා ලියුමක් එවල…" විජිතය කිව්වෙ ඔලුව උස්සල බලල යන්තමට හිනාවෙන ගමං.. 

" ආ...ඒකනෙ..මම හිතුව..ඉතිං මොකෝ කේස් එක?..." 

" නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..අර අපි යවපු කවි වලට උත්තරයක් එවල…" 

" එහෙමද? ඉතිං ගනිංකො බලන්ට…" මම අත දික්කලා… 

විජිතය ආයෙම හිනාවෙල සාක්කුවෙං අරගත්තු ලියුම මට දුන්න.. 

කවි හතරක් පහක් නම් තිබ්බද කොහෙද..ඒත් මට ඒ ඔක්කොම මතක නං නෑ බොලල්ලා...ඔන්න මතක තිබ්බ කවි දෙකක් නං මෙහෙමයි... 

කතර තනිමඟ තැබුණු පියවර, 
පෙලට එක්වුනු ඔබෙ සිනාවයි, 
සතර අත පිස හමා එන මඳ, 
සුලඟ ගෙනෙනුයෙ ඔබේ සුවඳයි, 

නෙතට ලංවී කඳුළු පිසලන, 
මඳහසිනි තොල් මත වෙලෙන්නේ, 
සතුට සැනසුම මවෙත ගෙන එන, 
සෙනෙහසිනි පදවැල් ගෙතෙන්නේ, 


මම හෙමිහිට දෙතුං පාරක් කවි පෙල කියෙව්ව..මම ලියපු කවියකට පිලිතුරු විදිහට ඔය කවුරුහරි කවියක් ලිව්වමයි. සුබාට මම කවි ලිව්වට එයා කවදාවත්ම මට කවි ලිව්වෙ නෑ...කවි ලිව්ව විතරක්නං බැරිය මම ලියන කවි එයාට ඇහෙන්ට කියන්ට උනෙත් අන්තිමට මටමයි. 


" මොකක්ද අනේ මේ?..." 

" ඔයා ගිය සුමානෙ එව්ව ලියුම…" 


" මම ඒකෙ කවි හතර පහකුත් ලියල එව්ව... කියෙව්වද?..." 

" ආ තිබ්බ තිබ්බ..ඒත් ඒ හරියට එනකොට මයෙ ඇස් දෙක කඩා වැටෙන්ට වගෙ නිදිමත . ඒ පාර ලියුම පැත්තක දාල මම නිදාගත්ත. " 


අනෙ අම්මාපල්ල මට ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යන්නෙ ඔය වෙලාවට තමයි.මූනත් එක්ක රත් වීගෙන එනව තේරෙනකොට මම අහක බලාගත්ත. 

" ෂෙහ්..තද උනහමනෙ ඔයාගෙ අර පවුරු…. මොකක්ද අනේ ඒ ඔයාලට තියනවයි කියන්නෙ? …" 

තියනවයි කියන එක මම කියන්නෙ නෑ මෙතන..මම අහක බලාගෙනම තොල් මතුරනව.. 

" ආ හරි පවුරු වලලු..පවුරු වලලු..ආන්න ඒක මතුවෙලා පේන්නෙ.." 

මම අහක බලාගෙනම ඉන්නව....ටිකකිං මූණ රත්විල්ල අඩුවෙල යන්තමට හිනාවක් ආවට මම අහක බලාගෙනම ඉන්නෙ එයාට මගෙ හිනාව පෙනෙයි කියල.ඒත් එයා දන්නව මට වැඩි වෙලාවක් එයයි එක්කලා තරහ වෙලා ඉන්න බෑ කියල. 

" කෝ ඔය මදැයි..පවුරු වලලු පෙන්නුව දැං මදැයි..හොඳ ළමය වගෙ මේ පැත්තට හැරිල මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන මං වෙනුවෙන්ම ලියාපු මේ කවි කියන්නකො ලස්සනට.මම ඔයාගෙ උකුලෙ ඔලුව තියාගෙන ඔයාගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන අහගෙන ඉන්නං…" 

ඇහැ ආයෙම තෙත් වීගෙන ආවෙ මටත් නොදැනීම...විජිතයට පෙනෙයි කියල මම එකපාරටම පුටුවෙන් නැඟිට්ට. 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 


මතු සම්බන්ධයි...... 

පලි - අර හරකගෙ පස්චාත් බාගෙ අයිස් පලං ගහන සීන් එක මොකක්ද දන්නවද?.ඕක මම දැක්කෙ අපෙ අප්පච්චිලගෙ ගමේ ( උන්දැ ඇවිල්ල දකුණෙ ) අවුරුදු කාලෙක ගිය වෙලාවක තිරික්කල රේස් එකක් බලන්ට ගිහිල්ල. 

ආය මොනවද අයිස් පලම හරකගෙ නියමිත ස්තානයෙ ගැහුවම ඒක දුවනව පණ එපා කියල.. අයිස් පලම දියවෙනකොට කොහොම ඉවසන්ටද? පව් නං තමයි ඒත් මොකදෑ කොරන්නෙ? 

රිජිෆෝම් පෙට්ටියක දාල අයිස් පලං හත අටක් තිරික්කලේ පැත්තක තියනව. තිරික්කල කාරය " ජඃ කොටියා....හර් ර් ර් ර් ර් රේහ්.." කියල අයිස් පලමක් අරං කටේ ගහගන්නව ....ඒ එක්කම තව එකක් අරං අරූගෙ අතන ගහනව. ඒක දියවෙලා කෝට්ට වැටුනම " ජඃ මඃ යමං පුතා ර් ර් ර් ර් රේහ් " කියල තව පලමක් අරං අදාල ස්තානයෙ ගහනව. 

ඔහොම වැඩේ දිගටම යනව. එක්කො තරඟය ඉවරයක් වෙනකල්, එක්කො අයිස් පලං ඉවරයක් වෙනකල්,නැත්තංඅර සතාගෙ පස්චාත් බාගය හිරිවැටිල ඌට මොකවත්ම නොදැනී යනකල්... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...