Sunday, October 28, 2018

612. සඳවතිය හන්තාන මත එබෙයි....



කොඳ මල්..........

සතිදෙකකින් විතර මොකවත් ලියන්ටත් බැරිඋනානෙ...සාමාන්‍යයෙන් මම අනිවාර්යයෙන් සතියකට සැරයක් පෝස්ට් එකක් දාන එක දානවාමයි. මේ පාර ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්ට බැරිවුනේ පහුගිය බෘහස්පතින්ද අපි අලුත් ගෙදරකට ආපු හින්ද. 

අලුත් කිව්ව්වෙ අපිට අලුත්. නැත්නම් අවුරුදු පහ හයක් පරණ එපාර්ට්මන්ට් එකක්.ඉතිං ඔය සුලු සුලු අලුත්වැඩියා කිරිලි, තීන්ත ගෑවිලි ටයිල් බයිල් එහෙම සුද්ද පවිත්‍ර කෙරිලි තිබ්බ ඕසෙට. පහුගිය සති අන්තෙ තනිකරම කලේ ඒ වැඩ කටයුතු. ඒ හින්ද තමයි සිකුරාද කොහොමත් මම දාන පෝස්ට් එක දාන්න අතපහු උනේ. දැන්නම් අවුලක් නෑ. 

ඉතිං ඔය පරණ ගෙදරින් එන්න ඉස්සෙල්ල අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කලා.එහෙම හොයා බලද්දි පරණ ෆයිල් එකක් ඇතුලෙ තිබිල හම්බ වුනා කියමුකො මම කාලෙකට ඉස්සෙල්ල ඒ කියන්නෙ හරියටම කිව්වොත් එයිට් ඉයර්ස් එගෝ ලියපු කවි කීපයක්. යටින් දිනෙත් තිබ්බ. 2010 ඔක්තොබර් 08. පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් විදිහට ලියපු කවි පෙළක්...

මම බ්ලොග් ලිවිල්ලට අත්පොත් තිබ්බෙ පොඩි කුමාරිහාමිගෙ වියුණුවෙන්. ඒක කියන්න ඕන කිසිම සැක සංකාවකින් තොරව. ඒ වගේම බොහොම දක්ෂ නිර්මාණශීලි රචකයො රචිකාවියො කීප දෙනෙකුත් මම අඳුනගත්තෙ පොඩ්ඩිගෙ වළව්වෙදි. ඒ බහුතරයක් දැන් ලියන්නෙ නෑ..ඒකයි මට කණගාටු..ඒකයි මට කණගාටු..ජානුස් ගොයිය..අමාරිස් ..ටී.ජී...ඒ දැනට නොලියන මොඩල් එකේ අංගනාවියො. සිත්තමී නම් තාමත් ලියනව දිව විකාගෙන...හෙහ්..හෙහ්...

හරි එහෙනම් මෙන්න ඒ කවි පෙළ...

සඳවතිය හන්තාන මත එබෙයි
පුබුදුවූ කොඳ කැකුළු මඟ සැලෙයි
සඳ කැණින් තෙමුණු නුඹ වත දිලෙයි
අපරිමිත සෙනෙහෙ මා හද පිරෙයි

නදීතෙර ළවැළි තල පා තබා
පිය නගමු දෙපා රිදෙනා තුරා
මේ හැඟුම් විඳිමු මුලු සිත පුරා
එපමණකි පැතුම දිවි ඇති තුරා

නුඹෙ කිකිණි සිනා හඬ අසන්නට මනාපයි
සිනහසෙනවිට දෑස සිහින්වෙන හැටි අගෙයි
පෙර සසර මෙලෙස අප සිටියදෝ මට හැඟෙයි
නිල් නයන විලට වැද ගිලෙන්නෙමි එද සැපයි

කතර වුව නුඹ අසල නම් සදෙව් ලොව වගෙයි
අතරමඟ නවාතැන් මේ මඟෙහි බොහො තිබෙයි
කල්ප සුවහසක්වුව නුඹ අසල නම් අගෙයි
සසර සරනා තුරා නුඹ මගෙයි මම නුඹෙයි

Friday, October 12, 2018

611. පුවක් එෂැණිං 51 - මහා ඇසට් නාඩගම, යුක්තිය මී පුකක් තරමටවත් ගණන් නොගන්නා ගෞරවාර්හ හස්ති පශ්චාත්භාග සම්ප්‍රාප්ත වෛද්‍ය උතුමාණන් වහන්සේලා නොහොත් ආ..ආ...ආ….එහෙමද ආස?


මේ මහා ඇසට් නාඩගම කරළියට ඇවිදින් දවස් තුන හතරක්ම ගත වෙලාය. ඒ හින්දා ඇත්තටම පරණ කතාවකි. අනික ජොස්ත්‍රලා ගැන ලියන එකත් ඇඟේ ලේ කෝප කරවන්නකි. මම ඇත්තම කිව්වොත් ජොස්ත්‍රලා ගැන ලියන්නේ හිටපු ගමං ලෝ බ්ලඩ් පැසර් ආහමය. එවිට බෙහෙත් නැතුවම ලෙඩේ හොඳවනවාය.

මහා ඇසට් නාඩගම ගැන නොලියන්නම හිටියට ලියන්නම වුනේ මේ ඊයෙද කොහෙද කරාපිටියෙ ඉස්පිරිතාලෙ පොඩි ඇසට්තුමාලා දෙන්නෙකුයි ලොකු ඇසට්තුමෙකුයි අතර කාර් පාක් එකේ ඉඩකඩ පිලිබඳව ගැටිමක් ඇතිවී ඇසට්ලා ඇසට්ලා අතරම මහා ගුටි කෙලියක්ද එහෙමත් නැත්නම් මහා බැණ අඬගහ ගැනීමක්ද ඇතිවුනැයි පත්තරේ දුටුව පසුවය. එතන වලිය ඇතිවුනේ ඇසට්ලා ඇසට්ලා අතර උනාට පහුවදාම ඇසට්ලා වර්ජනය කොට දඬුවම් දුන්නේ අසරණ රෝගීන්ටය.

ගොමා සංවිධානයේ ඉන්නේ සීයට අනූවක්ම කෝණංගියෝ  බම්මන්නෝ සහ මහන්තත්වය ඉහට ගැහූ උද්දච්ච මානසික රෝගීන් බව අපි දැන සිටියෙමු. පොඩි කාලෙ ඔහොම අයට අපි කිව්වෙ "පුහ් එයාගෙ ගණං බලහල්ලකො නිකං හිතාගෙන ඉන්නෙ අලි පුකෙං ආවයි කියලද කොහෙද" කියාය.

ඊට අමතරව එහි සාපරාධී මනුෂ්‍ය ඝාතන සාධරණීකරණය කරන ආලවකයින්ද සාමාජිකත්වය දරණ බව මේ වනවිට සක්සුදක්සේ ඔප්පු වී තිබේ. ඒ ගොමා එකේ අම්පාරේ කැඳවුංකරු ජොස්තර පැදුරුආරච්චි නම් වාහේ කියූ අහස පොළව නුහූලන කතාවක් නිසාය. එහි නිධාන කථාව ඔබ සැම දන්නා බැවින් යළි සඳහන් කිරීමෙහිලා කිසිදු අවශ්‍යතාවයක් නැත.

ජොස්තර පැදුරු ආරච්චි කිව්වේ බීමතින් රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කලද ඒ වරද කරන්නේ විසේසඅඥ ජොස්තරෙක් නම් ඔහුට හෝ ඇයට ජනාදිපති සමාව දියයුතු බවය. එලෙසම තමන්ද මත්පැන් පානය කරන බවත්, වේගයෙන් වාහනය පදවන බවත් ඊටත් අමතරව තමන් යුක්තිය මී පුකක් තරමට හෝ ගණන් නොගන්නා බවටද ඔහු පාරම් බා ඇත.

පැදුරු ගොබිලා කියූ මේ නුහුගුණාපිත පොර ටෝක් එක පැදුරාගෙම හිතේ පහල වුනු ජෙම් ඔෆ් ඇන් අයිඩියා එකක්ද එහෙම නැත්නම් ගොමා එකේ පොදු මතයදැයි පැහැදිලි නැත. 

හැබැයි වත්පොතේ තම වර්ගයා වෙනුවෙන් රෙදි කරට අරගෙන සටනට බැසීමට සූදානම් සරීරෙන් ඉන්නා ජොස්ත්‍රලා කීප දෙනෙක් ඔන්න ඔය වගේ කතාවක් ඒ කියන්නෙ ඒ කියලා තියෙන්නේ ජොස්ත්‍ර පැදුරාගේ පවුද්ගලික මතය බැවින් ඒ ගැන කලබල විය යුතු නැතය වගෙ කතන්දරයක් කණින් කොණික් කියලා තිබෙනු දුටුවෙමි. 

ඒත් එහෙම ප්‍රකාසයක් කල යුත්තේ ගොමා අනුත්තර නායාක පාදඩ තුමාය. එතුමා තම ස්‍රී මුකය විවර කොට එහෙම දෙයක් කොහෙවත්ම කියා තිබෙනු මම නොදුටුවෙමි. 

ඇත්තම කිව්වොත් පැදුරාගේ කතාවෙන් වත්පොතේ ජොස්ත්‍රලා වැටුනේ අලි අමාරුවකය. පැදුරාගේ කතාව  අර දකුණේ බාසාවෙන් කිව්වොත් තනිකර කුප්පම කතාවක් නිසා මොන විදිහෙන් වත් ඒ වෙනුවෙන් පෙනී හිටින්ඩ නම් බැරිය. එහෙම කලොත් සායම යන්නේ තමංගේ ජොස්ත්‍ර පට්ටමේ නොව මනුස්සකමේය.

අනික් අතට මොන දහ බලු කතාවක් කිව්වත් ඌ අපේ එකා නිසා අංකොංඩිසනලි ඌ ආරක්සා කල යුතුය. උබතෝකෝටික කියලා කියන්නේ මෙන්න මෙව්වාටය.

ඔය තමංගෙ එකා නිසා මොන විදිහෙං හෝ වැරදි වහගෙන ආරක්සා කරන ක්‍රියා පටිපාටිය හෙවත් ගෝත්‍රික භාවය ඉතාමත් සාර්ථකව රැකගෙන එන්නේ අපේ මේ ගොමා සංගමය විසින් බව මුලු ලෝකයම දන්නා කාරණයකි. 

මීට වසර හත අටකට පෙර අප්‍රිකාවේ දකුණට වන්නට තිබෙන කුඩා රටක (ඔය රුවන්ඩා සහ බුරුන්ඩි තියෙන්නෙ...අන්න ඒ රටවල් කිට්ටුව. මට මේ වෙලාවෙ නම හරියට මතක් වෙන්නෙ නෑ) මහ චන්දෙන් අලුත් අගමැතිවරයෙක් පත් වුනේය. ඔහුට ඕනෑ කලේ තම රටේ කාලෙකට ඉහත පැවති ගෝත්‍රික අදහස් යලි ස්ථාපිත කිරීමටය.

ඒ සඳහා උපදෙස් ගත යුත්තේ කවුරුන්ගෙන්දැයි තතු දත්තන්ගෙන් විමසූ කල පිලිතුරු ලැබුනේ මුලු මහත් ලෝකයේම තවමත් ගෝත්‍රික අදහස් නොනැසී  ඉතාම සාර්තකව පවත්වාගෙන එන්නේ  සී ලන්කාවේ ගොමා සංගමයේ බවය. ඔහු වහාම ගොමා සබාපති සහ ලේකම්ට තම රටට පැමිණ තම රට වාසීන්ට ගෝත්‍රික කටයුතු කරගෙන යන ආකාරය පිලිබඳව උපදෙස් ලබාදෙන මෙන් ආරාදනා කල බව මට මතකය. ගොමා කස්ටිය ඒ ආරාදනාව පිලිගෙන එහේ ගියේද යන්න පිලිබඳව නම් මම නොදනිමි.

හිපොක්‍රීටස් ප්‍රතිඥාවේ සඳහන් වන්නේ මෙලෙසය.

First, do no harm. As an important step in becoming a doctor, medical students must take the Hippocratic Oath. And one of the promises within that oath is “first, do no harm”

දැන් මේ පැදුරු ජොස්ත්‍ර කියන ආකාරයට හිපොක්‍රටීස් ප්‍රතිඥාව මෙසේ සංශෝධනය කල යුතුය.

First do no harm but you have the right to ask for a presidential pardon after killing a maximum of two nobodies if you are driving a vezel after having a social drink. Furthermore you are allowed not to care ratass for justice too.

ඒක තමයි අලුත් පැදුරු ආරච්චි ප්‍රතිඥාව...අර කෝටිපතියෝ එකේ ලාරා කුමාර නිතරම කියන්නා වගේ "ආ..කොහොමද ඒක?" ලාරා කුමාර නිතරම කියන තවත් කතාවකුත් බලාගෙන යනකොට මෙතනට ඉතාම අදාලයි. "එහෙමද ආස?"

පැදුරු ජොස්ත්‍රගේ ඇසට් වලට ජනාදිපති සමාව අනිවා ලබා දියයුතු කතාවේ පොඩි අඩු පාඩුවක් ඇත්තේ එතන ඇසට් යනු කුමක්දැයි නිර්වචනයක් නොතිබීමය. රටේ පොදු නීතියට යම් එකතුකිරීමක් කරනකොට එහෙම ආවට ගියාට බැරිය. හරියටම අර්තකතනය කල යුතුය. 

ඒ නිසා ජොස්ත්‍ර පැදුරුට ඔය ඔකේෂනලි සෝෂල් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන ඉන්න ගමන් ඇසට් ප්‍රසිඩෙන්ෂල් පාඩන් ලෝ එකට ඩෙෆිනිෂන් එකක් ලිවිය හැකිනම් ඒ වනාහී ජාති ජාතිත් වෙස්ල් එකක් හැප්පී මියයාමට හේතුබූත නොවන මහඟු පුන්ය කරුමයකි.

මේ බී සම්තිං ලයික් දිස්....ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන්නේය. එහි ජනාධිපතිවරයෙක් සිටින්නේය. ඔහුට ජනාධිපති සමාව දිය හැක්කේය. ඒ මෙවන් අවස්ථාවන්හි විය යුත්තේය. ඇසට් ලෙස නිර්වචනය කලහැකි විසේසඅඥ ජොස්තර වරයෙකු හෝ වරියක මත්පැන් පානය කොට වැරදි මංතීරුවෙහි වෙස්ල් වර්ගයේ රියක් ධාවනය කොට මාරාන්තික මාර්ග අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් කල විටක කොන්දේසි විරහිතව ව.ක්‍රී.ප. සමාධිය භජනය කල යුත්තේය. 

මෙතන හැබැයි පොඩි අවුලක් තියෙන්නෙ ඇසට් එකක් කියන්නෙ කවුද කියල හරිහැටි පැහැදිලි නැති එකයි. අද පාස් අවුට් උන ජොස්තරත් ඇසට් එකක්ද? නැද්ද? එහෙම නැත්තං ඇසට් එකක් වෙන්නෙ අවුරුදු කීයක් වෙදකම් කලාමද? 

එහෙමත් නැත්තං චැනල් සෙන්ටර් කීයක සිමල්ටේනියස්ලි වැඩ කරල තියෙන්න ඕනද? ඇසට් එකක් වෙන්නෙ විසේසඅඥ ජොස්තර කෙනෙක් විතරක් නම් ඒ මොන මොන අංගෝපාංගය සම්බන්දව වෙදකම් කරන ජොස්ත්‍ර ගොල්ලොන්ද? උගුර කන නහේට වෙදකං කරන අය විතරද? නාරිවේද අයත් ඇසට්ද නැද්ද? 

සෙල්ලං නෑ නේද වැඩේ? ඔව්ව ඔය සීක්‍රට් ගූරූප් වල හුටස්ගාල ලියල දානව වගේ ලේසි නෑ පැදුරු ගොබිලො ඔහෙට තේරුණාද? Definitely not easy as having a little drink and driving a vezel on the wrong lane...

අනික තව පස්නයක් එනව. ඇසට් කෙනෙක් ඇවිල්ල තව ඇසට් කෙනෙක්ව හප්පල මැරුවොත් කොහොමද? එතකොටත් මිනීමරු ඇසට්ට ජනාදිපති සමාව දෙනවද නැද්ද? මෙව්ව්ව ඇවිල්ල වයිද්දිය ආචාර දාර්මික පස්න..සෙල්ලං නෑ....ගොමා සංගොමේ ඇක්සකටිව් කොමිටුවට රැස්වෙලා දීර්ග වසයෙන් සාකච්චා කරන්න වෙනව තීරනයක් ගන්ට ඉස්සරවෙලා...

ඊගාවට අර කරාපිටියෙ ඇසට් කාපාක් නාඩගම..එතන පස්නෙට සම්බන්ද දෙපාර්ස්වයම ඇසට්ලද? එහෙම නැත්තං පාකිංවල ප්‍රමුකත්වය හිමිවෙන්නෙ ඇසට් ජොස්තරටද? නන් ඇසට් ජොස්තරටද? මෙව්ව නිකම් මේ විකාර පස්න වගෙ පෙනුනට ඇත්තම කිව්වොත් මහ බැරෑරුම් වහාම ක්‍රියාත්මක වන පරිදි විසඳාගත යුතු පස්න. මෙව්වගෙ දැවෙන පස්න විසඳාගන්නෙ නැතුව අපිට බෑ අපෙ හාන්දුරුවනේ ආසියාවෙ ඈස්චර්ය වෙන්ට..එහ්හෙන්නං...

PS - Politicians are the most hated professional category in Sri Lanka. No doubt there at all. But It seems Doctors are not far behind and they are doing their level best to catch up and beat the politicians…

Way to go Docs..way to go…Three hearty cheers for Justice ratass doctors..Hip hip hooray!...Hip hip hooray!!...Hip hip hooray!!!

ශ්‍රී ලාංකික පොදු ජනයා අතර ඉතාම පිළිකුලට භාජනය වී ඇති වෘත්තිකයින් කොට්ඨාශය නම් දේශපාලකයෝය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැත. එලෙසින්ම වෛද්‍යවරුද මෙහිදී දේශපාලකයින්ට කරට කර තරඟයක් දෙමින් සිටින බව ඉතා පැහැදිලිය.

අපේ සුබපැතුම්! වෛද්‍යවරුනි…... අපේ හෘදයාංගම සුබපැතුම්!!

Friday, October 5, 2018

610. නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව....


දැල්වෙන පොල්තෙල් පහන් දෙකක්
ඉහත සේයාරුවෙහි දැක්වේ.
Google Images

ඊයෙ රෑ යාමෙ ඔය පොඩි එකක් ගන්න ගමං යූ ටියුබ් එකේ ඉබාගාතෙ සැරිසරද්දි අසංක ප්‍රියමන්ත සහ මාලිනී බුලත්සිංහලගෙ "සඳ දිය දෙවුනුසේ සිනහව පිපුනාම...." ගීතය ආයෙම ඇහුව. සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්....

ගීතය අහද්දි මට හිතුන ඒ ගැන කතාවක් ලිව්ව නම් කොතරම් අපූරුද කොතරම් අපූරුද කියල...ඒ ගමන මගෙ හිතට ආවෙ ජයසේන සහ චුට්ටි මැණිකෙ..මගෙ සදාදරණීය පෙම් යුවල...හෙහ්,හෙහ්

*******************************

"ආහ්..ජයසේන මාම...මොකෝ මේ සමන්පිච්ච මල් වට්ටියකුත් අරගෙන?"

"අද පසළොස්වක පෝයනෙ පොඩි මහත්තය...."

"හරි හරි...මට අමතක උනානෙ....මමත් මේ පෝය නිවාඩුවට ගෙදර ආව…"

"කවදද ආවෙ? අද වෙන්න ඇති..ඊයෙ හවස්කරේ මම මේ පැත්තෙ ඇවිල්ල ගියා දැක්කෙ නෑනෙව.."

"ඔව්..ඔව්..අද උදේ ආවෙ…"

"නෝන එහෙමත් ආවය?"

"නෑ..නෑ..මේ එක දවසට ඒ ගොල්ලො එක්ක එන එකේ තේරුමක් නෑනෙ…"

"පොඩි මහත්තය අදම යනවද?"

"ඔව්...නමයට දහයට  වගෙ පිටත් උනහම පැය තුනකින් වගෙ ගිහෑකි. රෑට පාරෙ වාහනත් අඩුයිනෙ…"

"ආ..ජයසේන ආවද? මම මේ ඒත් බැලුවෙ මොකෝ පරක්කු කියල... මල් අරං ආව නේද? මම පොල්තෙලුයි පහන්තිරයි ගත්ත"

චුට්ටි මැණිකෙ එහෙම කියාගෙන වලව්වෙ ආලින්දෙට ගොඩවෙන පඩි හත අට බැහැගෙන ආවෙ පාළොස්වක හඳ වගේම හිනාවීගෙන. චුට්ටි මැණිකෙට මේ ලබන බිනර මහට පණස් තුනක් වයස. මමත් ඒ පළෝලෙ. මට පණස් තුන ලැබුනෙ පොසොන් මහේ.

"ලොකු පුතා රෑට කාලනෙ යන්නෙ නේද?"

"ඔව් අම්මෙ …"

"මම පන්සලට ගිහිල්ල විගැහින් එන්නම්කො…"

"හරි හරි අම්මල ගිහිල්ල එන්නකො...ආ...මම ඕනනම් කාර් එකේ ගිහිල්ල දාන්නම් පන්සලේ මකර තොරණ ගාවටම…"

චුට්ටි මැණිකෙ මගෙ මූණ බලල ඒ එක්කම ආපහු පොඩි මහත්තය දිහාට හැරුන.

"නෑ..ඕන නෑ..ජයෙයි..නෑ මේ ජයසේනයි මායි ඉම නියර දිගේ ගිහිල්ල සපත්තු පාළමෙන් එගොඩ වෙලා යන්නම්.එහෙමට දුරක් නෑනෙ.."

"හරි හරි අම්මගෙ කැමැත්තක්...මම කොහොමත් දන්නව අම්ම බැහැයි කියල කියනව කියල. මම මේ නිකමට වගෙ ඇහුවෙ.."

පොඩි මහත්තය එහෙම කියල මා දිහා බලල හිනාවෙලා පඩි පෙළ නැඟල වලව්ව ඇතුලට ගියා.

ඉම නියර පුරාවට පාළොස්වක හඳ එළිය දෝරෙ ගලල තිබ්බෙ යටිපහු කරගෙන යන්ට ලෝබ හිතෙන විදිහට. 

"පොඩි මහත්තය මොකවත් හිතුවද මන්ද…" ඉම නියරෙං එගොඩ වෙලා ජේමිස් බාප්පලගේ වත්ත ඉමේ හැදිල පාරත් එක්ක වහගෙන වැඩ වසන මහා නුග ගස් රාජය ගාවින් පන්සල පැත්තට හැරෙනවත් එක්කම මම ඇහුවෙ ඔලුව හරවල චූටි මැණිකෙ දිහාවෙ බලන ගමන්.

"හිහ් හිහ් …" චුට්ටි මැණිකෙ හිනාවුනා.

ඒ හිනහව තාමත් අවුරුදු හතළිහකට ඉස්සෙල්ල හිනහවමයි. ඇරපු අතක් නෑ. ඒ දවස්වලත් ඔහොමමයි. මොනව හරි පොඩි දෙයක් ඇති චුට්ටි මැනිකෙට කැකිරි පළන්ට…

"මොකද අනේ ඔය හිනාවෙන විදිහ?" මම නලල රැළිකරගෙන අහනව. 

"ඇයි මොකක්ද මම හිනාවෙන විදිහෙ වැරැද්ද?"

"නෑ..මම මේ කිව්වෙ වළව්වක මැණිකෙ කෙනෙක් නේද? ඔහොම හිනාවෙන එක හොඳද?"

"ආය මැණිකෙලට කියල වෙනම හිනාවෙන්ට විදිහක් නෑ මනුස්සයො..වළව්කාරයොයි අනික් අවසේස මිනිස්සුයි ඔක්කොම හිනාවෙන්නෙ එකම විදිහට.."

"හ්ම්ම්ම්...ඒ උනාට.."

"මේ කට වහගන්නවද මාව තරහ ගස්සන්නෙ නැතුව...තමුං අපේ අම්මටත් එහානෙ..අපෙ අම්මවත් මට ඔහොම නීති දාන්න එන්නෙ නෑනෙ…"

"ඇයි මම නීති දාන්න ආවොත් මොනවද මට කරන්නෙ?" මම කට කොණකින් හිනාවීගෙන ඇහුවෙ හම්බවෙන උත්තරේ දැනගෙනමයි…

"කරන්නෙද? කරන්නෙ අපේ අලිය ලව්ව පාගවන එක...හිහ්..හිහ්...හිහ්…"

"අර කැහැටු අලිය ලව්ව? හුහ්...ඌට මිනිහෙක් පාගන්න තියා ඇඟේ වහන මැස්සෙක් එළව ගන්ට පණක් තියන එකක්ය…"

ඒ වෙනකොටත් හොඳටම අබල දුබල වෙලා හිටිය කණ්ඩුලයා ඒ කිව්වෙ වලව්වෙ අලියා වලව්වෙම පිටිපස්සෙ ඌටම හදපු මඩුවක මරණාසන්නව හිටියෙ. ඌට වෙදකම් කරන්ට මහ නිළමෙ ඔන්න ඔය හෙම්මාතගම පැත්තෙන් ගෙන්නපු නම් දරාපු අලි වෙදෙක් ඒ දවස්වල වළව්වෙම නැවතිල ඌට පහිණිපත් කලා.

"හිහ්..හිහ්..ජයේට බයවෙන්ට දෙයක් නෑ..ලොකු පුතා දන්නව…"

"මොකක්ද දන්නෙ?" මම ඇසුත් ලොකු කරගෙන ඇහුව.

"දන්නෙද? දන්නෙ දැනගන්ට ඕන එව්ව ඔක්කොම…" චුට්ටි මැණිකෙගෙ හිනහව ආයමත් පිං කනත්තෙ දෙණිය පුරහට විහිදුනා.

පන්සල පාවුල ඇළේ ඒ කාලෙ වගෙ එහෙමට වතුරක් නෑ. අවුරුදු විස්සකට විතර එහා තරම ප්‍රාදේසීය සබාවෙන් ඇළ හරහට සපත්තු පාළමක් දැම්ම. ඊට කළින් මයෙ මතක ඇති කාලෙක ඉඳල අපි එගොඩ මෙගොඩ වුනේ දියවරණ කොට දෙකකින් දාපු ඒ දණ්ඩකින්. යම්තමට වගෙ අත්වැලකුත් තිබ්බ උනාට ඒ ඒ දණ්ඩෙන් එගොඩ වෙන එක නුපුරුදු කෙනෙකුට ලේසි නෑ. 

නුවර කොන්වන්ට් එකට ගිය චුට්ටි මැණිකෙ වළව්වෙ අඟහිඟකම් හින්ද අස් කරගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙට දාල නිළමෙ අපෙ අප්පච්චිට පණිවිඩයක් එවල තිබ්බ වළව්වට එන්ටෙයි කියල. ඉතිං අප්පච්චි තකහණියක් වළව්වට ගිහාම මහ නිළමෙ කිව්වලු චුට්ටි මැණිකෙත් මගෙ පංතියෙ හින්ද පාර තොට ඩිංගක් පුරුදු පුහුණු වෙනකල් මට වළව්වට ඇවිල්ල චුට්ටි මැණිකෙව ඉස්කෝලෙට එක්කල යන්ටෙයි කියාල.

ඉතිං ඔන්න චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්ක යන මුල්ම දවස. උදේ පානු පැයට මම වළව්වට ගියහම චුට්ටි මැණිකෙ මා එක්ක ආවෙ මට රටේ නැති ආඩපාලි කිය කිය. මගෙ කොණ්ඩෙ දිග වැඩියි කිව්ව. එයයිගෙ ඇස් දෙක දිහා කෙලින් බලල කතා කරන්ට තහංචියි කිව්ව. 

"අපෙ අප්පච්චිටත් පිස්සුද කොහෙදනෙ..අපේ ගමේ ඉස්කෝලෙට යන්ට මට මොකටද මාර්ග උපදේසකයො..ඊටත් ඒ වැඩේ පංගනාතු කොරල තියෙන්නෙත් මේ යස්සයටනෙ..හැටි විතරක්..." ඔන්න ඔහොම මට ඇහෙන්ටම තොල මතුර මතුරයි චුට්ටි මැණිකෙ මා එක්කලා ආවෙ. 

ඒ දවස්වල අපි පිරිමි ළමයි ඉස්කොලෙට ඇන්දෙ සුදු බැනියමයි සරමයි. ගෑණු ළමයි ළමා සාරිය.

ඔන්න ඉතිං අපි දෙන්න ඒ දණ්ඩ ගාවටත් ආවය කියමුකො. චුට්ටි මැණිකෙ මඟ දිගටම සුටු පුටු ගගා මට ආඩපාලි කිය කිය ආවෙ. මම නෑහුනා වගෙ අහක බලාගෙන ආව. අහක බලාගෙන ආවෙ ඒ ආඩපාලි අහල මට හිනායන හින්ද. ආය හිනා වෙනව දැක්කොත් මට දමල අනින්ටත් බැරි කමක් නෑ මේ අම්මණ්ඩි කියල මට බයහිතුන. 

ඇළේ එදා වතුර පාර අඩුයි. යාය පුරාම මහ කන්නෙ අස්සැද්දුං පටන්ගෙන හින්ද ඇළ දිගටම ඇනිකට් හරස් කරල ගොවියො වතුර හරව ගන්නව. වතුර අඩු ඒකයි.

"චුට්ටි මැණිකෙ ඇළට බැහැල එගොඩ වෙනවද? අද ඒ හැටි වතුරකුත් නෑ.." මම අහක බලාගෙනම ඇහුව…

"ඇයි මට ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ට බෑයි කියල හිතුවද? මේ එකක් මතක තියාගන්නව..මට මේ තමුන්ල කියන කරන එව්ව ඔක්කොම පුලුවන් දන්නවද? වළව්වල මැණිකෙල කියන්නෙ මොකවත් කර කියාගන්ට බැරි අත දරුවො කියලද තමා හිතාගෙන ඉන්නෙ?" චුට්ටි මැණිකෙ මට පිප්පුව.

චුට්ටි මැණිකෙට මේ තමා කතාව කොහෙන් පුරුදු වෙලාද මන්ද..නුවර කොන්වන්ට් එකේදි එහෙමද මන්ද ළමයි ලමයි කියාගන්නෙ..වෙලාවක අහල බලන්ට ඕන...මම එහෙම හිතුව..ඒ එක්කම අප්පේ ඔව්ව අහන්ට ගිහිල්ල ආයම බැණුං අහන්ට වෙයි කියලත් හිතුන.

පස්සෙ දවසක මම ඇත්තටම් චුට්ටි මැණිකෙගෙන් ඕක ඇහුව..

"මේ ඔයා අර මුලම දවස්වල මට තමා කියල කිව්වෙ..මතකද?"

"ඔව්..ඉතිං?" චුට්ටි මැණිකෙ හිනාවුනා.

"කොහෙන්ද ඒ වචනෙ පුරුදු වුනේ හැබෑට? මම හිතුවෙ නුවර කොන්වන්ට් එකෙන්ය කියල.."

"පිස්සුද මනුස්සයො..ඔන්න කිව්ව එකක්..ඔය අපෙ අප්පච්චි ගමේ මිනිස්සුන්ගෙ සුලු සුලු පැමිණිළි විබාග කරනකොට ඒ මිනිස්සුන්ට කතා කරන්නෙ තමා තමා කියල..තමා මොකද එහෙම කිව්වෙ? තමාට කොහෙන්ද ඒ සල්ලි? අන්න ඒ වගෙ..අප්පච්චිගෙන් තමයි මම ඒ වචනෙ පුරුදු වුනේ.."

"ඔන්න බලාගන්නව මම ඒ දණ්ඩෙන් එගොඩ වෙන හැටි…"

එහෙම කියල චුට්ටි මැණිකෙ ඒ දණ්ඩට පය තියල අඩි පහක් හයක් විතරයි යන්ට හම්බවුනේ...සමබරතාවය නැතිව ගිහිල්ල අත්දෙක එහාට මෙහාට වනල බොහොම අමාරුවෙන් ඇළට නොවැටි බේරිල ආපහු මෙගොඩට පැනගත්ත. මූණකටත් එක්ක රතුවෙලා තිබ්බෙ මහිතේ ලැජ්ජාවටද කෙන්තියටද මන්ද..ඒ දෙකටමත් වෙන්ට ඇති බොහොමයක් වෙලාවට...

"මොකද මනුස්සයො හිනාවෙන්නෙ?" මෙන්න මේ අම්මණ්ඩි මෙගොඩට ආපු ගමං මගෙ ඇඟට ගොඩ උනේ නැතැයි..

"අනේ මම නම් හිනා උනේ නෑ.." මම විගහට කිව්ව.

ඇත්තම කිව්වොත් මට හිනාගියානම් තමයි. කාටද අප්පා හිනා නොයන්නෙ එහෙම වෙලාවකට. ඒත් මම විගැහිං හිනාව මූණෙං අකාමකා දැම්ම. ඒ හින්ද චුට්ටි මැණිකෙ මට බැණ අඬගැහැව්වෙ ඒ හිනාව දැකල වෙන්ට බෑ. ලැජ්ජාව වහගන්ට වෙන්ට ඕන.

පස්සෙං පහු මම එයයිට ඒ දණ්ඩෙන් සමබරව එගොඩ වෙන හැටි කියල දුන්න. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ජීවිතේ සමබරව ගෙනියන අන්දම ගැන තවත් බොහෝ දේවල් එයැයි මටත් මම එයැයිටත් කියල දෙන තරමට අපි දෙන්න කිට්ටු වෙලා හිටියෙ...

සපත්තු පාළමෙන් එගොඩ වෙන හැමදාකම අපි දෙන්නටම ඔය ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ඩ ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව මතක් වෙනව. අදත් එහෙමයි. මම හොරැහින් චුට්ටි මැණිකෙ දිහා බැලුවෙ හරියටම එයැයිත් මා දිහා බලන මොහොතෙමයි. ඊලඟ මොහොතෙ අපි දෙන්නගෙම හිනහ පිපිරුනේ එකටමයි.

පන්සලේ එහෙමකට කියල සෙනඟක් හිටියෙ නෑ. නුවර කොළඹ දිහා රස්සාවල් කරන කොල්ලො කෙල්ලො නම් පෝයට ගෙදර ආවත් පන්සලට එන්නෙම නෑ. පෝයට වතාවතක් වගෙ පන්සලට ඇවිල්ල මලක් පහනක් පූජා කරන චාරිත්තරේ මම හිතන්නෙ අපේ පරම්පරාවෙන්ම ඉවර වෙලා යාවි.

මම අපේ මිදුලෙ සමන් පිච්ච පඳුරෙන් කඩාගෙන ආපු මල් අපි දෙන්නම බුදුගෙයි මලසුන උඩ තිබ්බ. ඊට පස්සෙ පස්සට වෙලා දෑත් එක්කරල බුදු පිළිමෙ වන්දනා කලා.

පන්සල් වත්ත වටේටම තිබ්බෙ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කරවපු දැවැන්ත ගල් ප්‍රාකාරයක්. ඒ ගල් ප්‍රාකාරෙ තැනින් තැන තුන් හුළස් හැඩේට හදල තිබ්බ පොල්තෙල් පහන් පත්තු කරන්ට පුලුවන් විදිහට කවුළු. 

චුට්ටි මැණිකෙයි මමයි එක ආසන්නෙම ඒ පහන් කවුළු දෙකක පහන් දෙකක් තියල පත්තුකලා. තිරේ පොල්තෙල් උරාගත්තම දැල්ල එක විඩේම වැඩි උනා. ඒ කහපාට පහන් එළියෙන් මම දැක්ක චුට්ටි මැණිකෙගෙ මූණ රත්තරන් පාටට දිළිසෙනව. 

"බුදු හාමුදුරුවන්ට මල් තියල වැඳල ඔයා මොනවද ජයේ ප්‍රාර්තනා කලේ?" චුට්ටි මැණිකෙ පහන් දැල්ල දිහා බලාගෙනම යම්තමට ඇහෙන නෑහෙන හඬින් ඇහුව. 

"ඔයා කරපු ප්‍රාර්තනාවම තමයි සුබා.." මම දිග සුසුමක් හෙලල හෙමිහිට කිව්ව...

*******************************

සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම 
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැලපෙමු ද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම 
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන 
ඒ හඳ ඇයි ද දියවක වී ගොළු රෑක 
දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ 
සෝදා හළ හැකි ද ගැරහුම් රළ ගාව 
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම 
මට අත වනාපන් නළියන නල සේම... 

අසංක ප්‍රියමන්ත පීරිස් - මාලිනී බුලත්සිංහල 
නිලාර් එන්. කාසිම් / සමන්ත පෙරේරා


Monday, October 1, 2018

609. මගේ කරණවෑමි කතා - 3 - භීෂණ සමය…..


කරණවෑමිහලෙහි බාග දොර..Google Images

ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.

අපගේ ඔත්තුකරුවන් කොපමණ විපරම් කලද සතියක පමණ කාලයක් ගතවනතුරු අපට ඔවුන්ට කුමක් සිදුවීද යන්න පවා සොයාගත නොහැකි විය. 

ඉක්බිති වැසි වළාකුලින් අහස මුලුමනින්ම වැසීගිය එක් උදෑසනක අප වාසය කල ගම්මානය පසුකොට ඈත කඳුකරය දක්වා දිවෙන බොරළු ඇතිරූ පාර අසල ගම්මානයේ එක් අන්තයකට වන්නට හුදකලාව ජීවත්වන මහල්ලෙක් වේගයෙන් හුස්ම ගනිමින් දිවගෙන පැමිණ සැලකලේ ඔහුගේ නිවස අසල දියපාරෙහි වැල් ගොල්ලක පැටලුනු මළසිරුරු කිහිපයක් ඇති බවය.

ඒ ආරංචිය කණ වැකුණු වහාම මගේ සිත මහත්වූ භීතියකින් පිරී ඉතිරී යන්නට වූයේ නිතැනිණි.

අප උපකල්පනය කල ලෙසම දිය පහරෙහි වූයේ සතියකට පමණ පෙරාතුව පැහැරගන්නා ලද අපගේ ක්‍රියාධරයින්ගෙන් පස් දෙනෙකුගේ මළ සිරුරුය. දැඩි වධබන්ධන පණවා තිබූ බවට සාක්ෂි වශයෙන් සිරුර පුරා තුවාල කැළැල් දක්නට වූ අතර ඔවුන් මරා දමා තිබුනේ ගෙල සිර කිරීමෙනි. 

මළසිරුරු දෙකක ගෙල වටා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට යොදාගත් පියානෝ කම්බි භාවිතාකොට තනාගත් මළ පුඩු දක්නට ලැබිණි. අපගේ සගයින් මරාදැමීමෙන් ඉක්බිති මලපුඩු ගෙල වටා තව දුරටත් තිබෙන්නට හැරීමෙන් ඝාතකයින් අපේක්ෂා කලේ නිසැකවම කැරළි කරුවන් අතර භීතිය පැතිරවීම බවට කිසිදු සැකයක් නොවූ අතර ඔවුන්ගේ ඒ අපේක්ෂාව එළෙසින්ම ඉටුවිය.

අපගේ විමුක්ති හමුදාව සටන් කලේ කිසේත්ම වෙනම පාලන තන්ත්‍රයක් වෙනුවෙන් හෝ එවන් අන් මහා බරපතළ යමක් උදෙසා නොවේ. අපගේ පරමාර්ථය වූයේ අප අඳ ගොවියන්ලෙස දවස පුරා දහදිය වගුරන වගාබිම්හි අයිතිය ලබා ගැනීමය.

මේ ප්‍රදේශය පුරා ඇසට අසුවන මානය තෙක් පැතිර ගිය කළු පැහැති සාරවත් පසින් යුතු වගාබිම්වල හිමිකරුවෝ බහුතරයක් ජීවිතයේ එක් වරක් හෝ අවම වශයෙන් තම ඉඩ කඩම් දැක හෝ නැත.

ඔබ ජීප් රථයක ගමන් ගන්නේනම් හෝරා පහක හෝ හයක පමණ දුරකින් පිහිටි ප්‍රාන්ත අගනුවර අලංකාර තණබිම් සහ මල් උයනින් වටවූ දෙතුන් මහල් මන්දිරයන්හි වාසය කල ඔවුහු මසකට වරක් පමණ සුළු වැටුපක් වෙනුවෙන් සේවය කල කළමණාකාරවරයෙක් තම වගාබිම් වෙත එවා ඔහු ලවා තොරතුරු සොයා බැලූහ. 

තොරතුරු යනු හුදෙක්ම මෙවර කොපමණ අස්වැන්නක් පොළවෙන් ලබාගත හැකිද යන්න පමණක්ම විය. අස්වැන්න පැසීගෙන එන සමයේහි සතියක් පමණ ගම්මානයේ මුලාදෑනියාගේ නිවසෙහි නවාතැන් ගන්නා කළමණාකාර වරයා සියළු අස්වැන්න එකතුකොට අඳ පංගුව වශයෙන් ඉන් හතරෙන් එකක් වගාකල ගොවියන්ට ලබාදී ඉතිරිය එතනදීම විකුණා වෙළෙඳුන්ගෙන් ලැබුණු මුදල්ද පොදි බැඳගෙන නගරය බලා පිටත්ව යන්නේය.

වසරකට පමණ පෙර අඳගොවීන් සංවිධානය වී උද්ඝෝෂණයේ යෙදීමට තීරණය කල අවස්ථාවේදී අපගේ ඉතාම සාධාරණ සහ යුක්තිසහගත අරගලය ආයුධ සන්නද්ධ කැරැල්ලක් දක්වා ව්‍යාප්තවනු ඇතැයි උද්ඝෝෂණයේ පුරෝගාමීන් කිසිවෙකු නොසිතූ බවට මම නිසැකවම දනිමි. ඒ මම ද එවන් පුරෝගාමියකු වූ නිසාය.

අපගේ උපකල්පනය වූයේ උපරිම වශයෙන් මාස තුනක් පමණ ගතවන කල්හි රජය මැදිහත්ව අපවෙත යම් සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇති බවය. එහෙත් අප කිසිසේත්ම අපේක්ෂා නොකල අයුරු ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අනුකම්පා විරහිත මර්දනයක් දියත් කිරීමෙනි. ඊට පිළිතුරු ලෙස අපටද ආයුධ සන්නද්ධ වනු හැර වෙනත් කිසිදු විකල්පයක් නොවිණි.

ඉක්බිති නොවැළැක්විය හැකි අයුරු දෙපාර්ශ්වයෙන්ම මිනිසුන් බොහෝ දෙනෙකු මියගිය අතර ඒ මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වය අප සංවිධානයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් අතර සමහරවිට දරුණු මතභේදයන් හටගැන්මට පවා තුඩුදුන්නේය. 

දිනෙන් දින ඉහළයන මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව කෙසේ හෝ වැළැක්විය නොහැකිනම් අරගලය අත්හැර දැමියයුතු බවට සුළු තරයකගේ මතය විය. එහෙත් බහුතරය එකහෙලාම පවසා සිටියේ කෙසේ හෝ අපගේ අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවිය යුතු බවය.

නායකත්ව මණ්ඩලයේ නිල නොලත් ප්‍රධානියා ලෙස කටයුතු කල මා තම පාර්ශ්වයට එක්කොට ගැන්මට දෙපාර්ශ්වයම බලවත් සේ උත්සාහ කල නමුදු මේ ප්‍රශ්ණයේදී අපක්ෂපාත වන්නට මවිසින් කලින්ම ගනු ලැබූ තීරණය වෙනස් කරවීමෙහිලා දෙපක්ෂයම අපොහොසත් වූහ.

සත්‍යය එළෙසම පැවසුවහොත් මගේ අපක්ෂපාතිත්වයට හේතු වූයේ දෙපාර්ශ්වයම මගේ සගයින් වීම නිසාම නොව එක් තීරණයකට එළඹීමට වූ නොහැකියාව නිසාය. 

කාලාන්තරයක් මුලුල්ලේ අපහට විඳින්නටවූ බලවත් අසාධාරණයන් තව දුරටත් විඳින්නට අපගේ මතු පරම්පරාවට ඉඩ නොතබා ආරම්භකල අරගලය ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමට මගේ සිතෙහි එක අර්ධයක් මට අණකරන අතර අනෙක් අර්ධය නෙත පිරි කඳුළෙන් යුතුව මගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ තවත් තරුණ ජීවිත රාශියක් නිකරුණේ විනාශ වන්නට ඉඩ නොතබා අරගලය අත්හිටුවන්නට කටයුතු කරන ලෙසය.

ඝාතකයා අප අතරට සැපත්වූයේ එළෙස අප අරගලය පිළිබඳව දෙගිඩියාවෙන් යුතුව කල් ගත කරද්දීය.

ඝාතකයාගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ මළසිරුරක් හෝ දෙකක් අතුරු මාර්ගයක් ආසන්නයේ හෝ ළඳු කැළෑවක් මධ්‍යයේ තිබී හමු නොවුනු උදෑසනක් වූයේ එහෙමත් දිනකය. ක්‍රමයෙන් ඝාතකයා අපේක්ෂා කල පරිදිම මරණ බිය අපේ ක්‍රියාධරයින්ගේ මෙන්ම ඔවුන්ගේ අඹු දරු දෙමව්පිය ඥාතී හිතවතුන්ගේද සිත් සතන් පුරා පැතිර යන්නට වූයේය.

මේ අතර එක් දිනක හිරු උදාවූයේ මගේ බාල සොහොයුරන් දෙදෙනාද අතුරුදන්ව ඇති බව දන්වන අමිහිරි පණිවිඩය ද සමඟය. ශෝකයෙන් ඇලලීගිය මම අනුයත සතියක පමණ කාලය ගත කලේ මගේ සගයින්ද සමඟ ඔවුන් පිළිබඳව කිසියම් ආරංචි මාත්‍රයක් හෝ පිළිබඳව සොයා බලමින් දවස පුරා මෙන්ම මධ්‍යම රාත්‍රිය ඉකුත්වන තුරුම තදාසන්න ගම්මානයන්හි මෙන්ම කැළෑබද ප්‍රදේශයන්හිද සැරි සරමිණි.

කිසිදු සැකයකින් තොරව ඔවුන් රඳවාගෙන ඇත්තේ ඝාතකයාගේ කඳවුරේ බව මගේ සගයින් බහුතරයකගේ මතය වූ අතර රාත්‍රි අඳුරට මුවාවී කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමටද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් යෝජනා කළහ. එහෙත් මගේ සහෝදරයින් වෙනුවෙන් තවත් තරුණ ජීවිත ගණනාවක් බිලි දීම මම තරයේ ප්‍රතික්ෂේප කලෙමි.

තවත් දින කිහිපයක් මෙලෙස ගෙවී ගියේය. මේ වනවිට මම මගේ සොහොයුරන් යලි පණ පිටින් දැකීමේ අදහස අත්හැර දමා සිටියෙමි. කොතෙකුත් නිවසෙහි සයනයෙහි දිගාවී වහළ දෙස නෙතු යොමාගත්වනම කල්පනා කරමින් පසුවීම තව දුරටත් කල නොහැකි වූ කල්හි මම කඩ මණ්ඩියෙහි මගේ කරණවෑමි හල උදෑසන විවෘත කොට එහි රැඳී සිටින්නට වීමි. 

පළමු දිනයෙහි කිසිදු ගනුදෙනු කරුවෙකු නොපැමිණි නමුදු දෙවන දිනයෙහි එක ගණුදෙනු කරුවෙකුද තෙවන දිනයෙහි ගනුදෙණු කරුවන් තිදෙනෙක්ද මගෙ සේවය ලබා ගැනීම උදසා පැමිණියහ. ඔවුන් සියල්ලන්ම මා කුඩා කල සිට හොඳින් හඳුනන්නෝ වූ නමුදු කිසිවෙකු සතුටු සාමීචියෙහිලා එක වදනක් හෝ දෙඩීමට පමණ නිර්භීත නොවීය. මම ද නිහඬව ඔවුන්ට අවශ්‍ය පරිදි කෙස් සහ රවුලු බෑමෙහි නිරතවූයේ ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව මට හොඳින්ම වටහාගත හැකි වූ නිසාය.

කිසිදු වදනක් නොබිණූවද අවම වශයෙන් ඔවුන් මා වෙත පැමිණීම පිළිබඳව සත්‍යය වශයෙන්ම මම ඔවුන්ට ස්තූති කල යුතුබව මට කල්පනා වූයේ සවස සෙමෙන් සෙමෙන් මගේ නිවස වෙත ඇවිදගෙන යද්දීය. 

සිව්වන දිනය ද උදාවිය. එදින මධ්‍යාහ්නය ලඟාවන තුරුම කිසිවෙකු මගේ කරණවෑමි හලට නොපැමිණියෝය. එහෙත් කිහිප දෙනෙක් කරණවෑමි හල ඉදිරිපස වූ කැන්වස් රෙද්දකින් සැදි ආවරණය යටටවිත් දෙපළු බාග දොර ඉහළින් එබී බලා ඒ සමඟම යම් වැදගත් කාර්යයක් සිහිපත් වූවාක් මෙන් ඉක්මන් පියවරින් නික්ම ගියෝය.

මේ අසාමාන්‍ය චර්යාව පිළිබඳව මසිතෙහි යම් කුකුසක් හටගත්තේ වුවද මම මා හිඳසිටි අසුනේම දිග ඇදී සිටියේ නැඟිට ගොස් ඒ පිළිබඳව සෝදිසි කිරීමට පමණ උනන්දුවක් පහළ නොවූ බැවිනි.

බොහෝ විට එලෙසම දිගාවී හුන් මගේ දෑස අඩ නිදිමතේම පියවෙන්නට ඇත. 

එක්වරම මම ගැස්සී අවදිවූයේ කරණවෑමි හලේ දෙපළු බාග දොර පියන් පත් මහත් හඬින් පැද්දී විත් යලි උළුවස්සේම ගැටෙනා හඬිනි. යලි පොළා පැනුනු පියන් පත් තම සුවිසල් දෑතින් තදින් ග්‍රහණය කොටගත් වනම දොරටුව මධ්‍යයේ සිටගෙන සිටියේ අඩි හයකට අධික උසකින් යුතු දැවැන්ත පුරුෂයෙකි. 

කිසිදා දැක නොතිබූ නමුදු මේ ඝාතකයා බව මම කිසිදු සැකයකින් තොරව එක් පැහැර හඳුනා ගතිමි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...