Friday, March 31, 2017

497. විමලෙගේ වාං පතුල් කතා - 46 - චන්දරේගේ මළගෙදර විත්ති - 5 - අරක්කු මූඩි ප්‍රක්ෂේපනයෙහි ආදීනව සහ උපායමාර්ගික පසු බැසීමෙහි වැදගත්කම


සතාසිවම් ඝාතන නඩුවිභාගය අලලා
මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ලියූ ග්‍රන්ථය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. එක අතකිං බෝතලේ තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

සමරෙට ආයෙ අහවල් කොන්ට්‍රෝල්.....ඌ මළටත් එක්ක කෙළල ඇරියෙ නැද්දෙ බෝතලේ අඩියට ඇති වීරියෙං..

"ඒයි යකෝ බලාගෙන…" කියල මට කෑගැස්සුන.. 

කෑගැස්සුන තමයි. වැඩක් නෑ...ඒ වෙනකොටත් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන්ද රැගෙන සඳ බලා ගමන් කිරීමට නියමිත ඇපලෝ - 11 අභ්‍යාවකාශ යානයද සමඟ පෘථිවියේ ගුරුත්වාකර්ශණයෙන් මිදී කක්ෂ ගතවනු උදෙසා ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුවෙන් ගුවන් ගතවුනු සැටර්න් රොකට්ටුව වගෙ ගුවන් ගත වෙලා අහවරයි.

මම ඔය අපි මත්පැන් පානය කරපු කාමරය ගැන කියනකොට කලින්ම කිව්ව මතකද ඒ කාමරේ ලී සීලිමක් තිබ්බ හැබැයි ඒක තිබ්බෙ කාමරෙන් බාගයයි කියල. ඒ විස්තරේ මම කලින්ම කිව්වෙ හේතුවක් ඇතුව. ඒ කියන්නෙ අපි හිටපු කාමරේ සාලෙ පැත්තට වෙන්ට තිබ්බ කොටසෙ උඩ සිවිලිමක් නහී. සමරය ආය නෑ දෙවෙනි ලෝක යුද්ධෙ ඩන්කර්ක් සටනෙදි බ්‍රිතාන්‍ය හමුදාවන් ඉලක්ක කරල හරියට කිරල මැනල නියමිත ප්‍රක්ෂිප්තයට අනුකූලව වෙඩි තියන ජර්මන් කාලතුවක්කු සෙබලෙක් වගෙ හරියටම බෝතලේ ඉලක්ක කලේ අර සීලිම නැති කොටසට.

බෝතලෙන් මිදුනු මූඩිය එක සැණෙකින් අර සිවිලිම නැති කොටසෙන් ඉහළට ගිහිල්ල බිත්තියේ මුදුනත් පහු කරල ඊලඟට තිබ්බ ඝණ අඳුරට මුහුවෙලා අතුරුදන් වුනා. අපි හුස්ම ඉහළට නොගෙන අහගෙන හිටිය "ටලාං" යන අනුකරණයෙන් මූඩිය සාලෙ බිමට වැටෙන සද්දෙයි ඊට පස්සෙ එතන ඇතිවෙන ගාලගෝට්ටියයි අහන්ට. තත්පර දහයයි...විස්සයි...තිහයි...හතළිහයි...පණහයි...මිනිත්තුවයි....මිනිත්තු දෙකයි....තුනයි....ම්හු එහෙම සද්දයක් නම් නෑ. ඒත් සාලෙන් මෙච්චර වෙලා ඇහිච්චි කතාබහ කරන සද්දෙ නම් ඔන්න නැවතුනා. ඒත් ඒ එක්කම ආයම ඒ සද්දෙත් පටන් ගත්ත.

අන්න එතකොටයි අපි හැමෝම උඩට අල්ලගෙන උන්නු හුස්ම ආපහු පල්ලෙහාට දැම්මෙ.

"දෙයියංගෙ පිහිටෙං අවුලක් නෑ වගේ" මම හෙමිහිට කියල තාමත් පාසානිබූත වෙලා වගෙ බෝතලෙත් අතේ අරං ඉන්න සමරෙගෙං බෝතලේ ගන්ට කියල හැදුවා.

"ඒයි..මූඩිය කොහ්හා..ට්ටද බං වැට්ටු...නෙ?" සමරෙ රහසිං වගෙ ඇහුවෙ බෝතලෙත් හයියෙං අල්ලගෙන.

"අනේ මේ…..ඇති ඔයිං ගියා...තව ලැජ්ජ නැතුව මූඩියක් ගැන අහනව...මෙන්න මෙහෙ දියං ඔය බෝතලේ…" මම සමරෙගෙං බෝතලේ උදුරගෙන මගෙ වීදුරුවට එකක් වක්කරගත්ත. 

"එතකොට මූඩියට මොකද බං කරන්නෙ?" ගුණේ ඇහුව..

"මූඩියට ආය අහවල් දෙයක්ය කියල කරන්නද? ඒක වැටුන සද්දයක් ඇහුනෙ නෑනෙ. ඔය උඩ කොහෙ හරි රැඳෙන්ට ඇති. මේ......ඒකෙං වැඩක් නෑනෙ දැං...ගනිං විජහට ගන්න හරියක්...ඊටපස්සෙ බත් ටිකක් කාල යන්ට යමු"

ඔක්කොමල ඒ පාර ෂොට් එක ගානෙ දාගත්ත. ඔහොම මිනිත්තු පහක් හයක් තරම ගත වෙන්ට ඇති මහිතේ. මෙන්න එක පාරටම  බොහොම කළබලෙං දොරට ගහන සද්දයක් ඇහුන. අනිවාර්යයෙන්ම චන්දරේ වෙන්ට එපාය.

"මේකා මොකද මේ ඒ පාර දොර කඩන්ට හදන්නෙ? මූම නේද අපිට කිව්වෙ අනේ මචංලා සද්ද කරන්ට නම් එපාය කියල..මූමනෙ ඒ පාර දොර කඩන්ට හදන්නෙ.." මම දොර දිහාට හැරිල එහෙම කියල අතේ තිබ්බ වීදුරුව කනප්පුව උඩ තියල නැඟිටින්ට ලෑස්තිවුනා.

"හරි හරි ඉඳහං ඉඳහං මේ එනවා මේ එනවා….." මට කලිං ගුණේ ගිහිල්ල දොර ඇරිය. 

චන්දරේ දාඩියත් දාගෙන කාමරේට ආව නෙවෙයි කඩා පැන්න. "යකෝ උඹලට කොච්චර නම් මං කිව්වද? කෝ උඹල සතපහකට ගණං ගත්තද? දැං බලපං ඔක්කොම ඉවරයිනෙ…"

"ඇයි ඇයි බං? මොකද වෙලා තියෙන්නෙ?" මට ඇඳෙං නැඟිට්ටුනා උගෙ විලාසය දැක්කම. 

"මොකද වෙලා තියෙන්නෙ?.... වෙලා තියෙන්නෙ උඹලගෙ අරක්කු මූඩියක් සාලෙට විසිවෙලා.. දැං වැඩේ නෝන්ඩි වෙලා තියෙන්නෙ ඔක්කෝටම. අයියෝ හතර විලි ලැජ්ජාවයි. අපේ ලොකු මාමයි නැන්දයි ඒ ඔක්කොමත් සාලෙ ඉන්නව"

චන්දරය බඳින්ට කතා කරල තිබ්බෙ උගෙ ලොකු මාමගෙ දුව. ඒ කෙල්ල උපාධි ගුරු. ඔන්න ඔය හාලිඇල සෙන්ට්‍රල් එකේද කොහෙද ඉගැන්නුවෙ. හොඳ හුරුබුහුටි කෙල්ල. චන්දරය මට ෆෝටොස් එහෙම පෙන්නල තියනව.

"හරි හරි බං පැහැදිලිව කියාපංකො වෙලා තියෙන්නෙ මොකක්ද කියල?" කරුණෙ අයිය ඇහුව..

"හරි..ඉඳපංකො මෙතන වෙච්චි දේ කියන්ට ....බෝතලේ කඩද්දි මූඩිය කැඩුණෙ නෑ... කැරකෙන්ට ගත්ත. ඒ පාර මේ සමරෙ අඩියට ගැහුව පාරක්. ඒ ගමන මූඩිය ඔය බිත්තියට උඩිං සාලෙ දිහාට විසිවුනා නම් තමයි. ඒත් බං අපි අහගෙනනෙ හිටියෙ.. මූඩිය බිමට වැටෙන සද්දයක් ඇහුනෙ නෑනෙ" මම වෙච්චදේ බොහොම සහසුද්දෙං චන්දරේට පැහැදිලි කලා.

"ඇහුනෙ නෑ තමයි..ඇහුනෙ නැත්තෙ මූඩිය බිමට වැටුනෙ නැති හින්ද" චන්දරය දත්මිටි කාගෙන කිව්ව.

"ඉතිං බං එහෙනං අවුලක් නෑනෙ.." මම සැනසුම් සුසුමක් හෙලුව.

"අවුලක් නැත්තෙ නෑ ...අවුලක් තියනව... මූඩිය වැටිල තියෙන්නෙ කෙලින්ම අප්පච්චිගෙ බඩ උඩට"

"මොකක්????? හුටා....." ඇස් දාසයකුයි කටවල් අටකුයි ඇරුනෙ එක විඩේ..

"මළ කෙළියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි….." යංතං සිහි එලවාගත්තු හැටියෙ මට කියවුනා.

"ඉතිං බං දැං මොකද එතන සීන් එක? ෆුල් අප්සෙට්ද? උඹ ෂේප්මන්ට් එකක් දැම්මෙ නැද්ද?"

"උඹල මේ මඟුලක් කතා කරනව..මොන ෂේප්මන්ට්ද? මාමල බාප්පල නැන්දල ආතල ඔක්කොම අහන්ට ගත්තෙ නැද්ද කොහොමද මේ අරක්කු මූඩියක් මිනිය උඩට වැටුනෙ කියල."

"ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම කිව්ව ඔය මීයෙක්වත් අරං යන ගමං වැටෙන්ට ඇති කියල"

"ඒකෙං වැඩේ ෂේප් උනාද?"

"නෑ බං ඒක හරි ගියේ නෑ. අපේ අර දියවරකාවෙ ආතා කියල ඉන්නව අප්පච්චිගෙ බාප්ප වෙන මනුස්සයෙක්. ඒ මනුස්සය හෙණ රෙගුලාසි කාරය. ඔය තරුණ කාලෙ බණ්ඩාරවෙල ටවුමෙ පෙරකදෝරුවෙක් ලඟ ලියන්න විදිහටත් ඉඳල තියනව අවුරුදු විස්සක් විතර. තාම ගමේ මිනිස්සු ඔය ඉඩ කඩං නඩු හබ වලදි ඉස්සෙල්ලම උපදෙස් ගන්නෙ මිනිහගෙං"

"ඉතිං... ඉතිං?"

"ඉතිං මිනිහ මගෙං හරස් ප්‍රශ්ණ අහන්ට ගත්තෙ නැද්ද අර කොල්වින් සතාසිවම් නඩුවෙදි ඇහුව වගෙ"

(සටහන 1 - සතාසිවම් නඩුව යනු පණස් වන දශකයේදී මෙරට පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත්වූ අපරාධ නඩුවකි. තම බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම් මහතා ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දක්ෂ හරස් ප්‍රශ්න ඇසීම සහ නවසීලන්ත ජාතික ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතාගේ අධිකරණ වෛද්‍ය සාක්ෂිමත නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මෙම නඩු විභාගය අලලා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මීට වසර කිහිපයකට පෙර "A Murder In Ceylon" නමින් අගනා ග්‍රන්ථයක් රචනා කලේය.) 

"මොනවද ඉතිං ඇහුවෙ?"

"ඉස්සෙල්ලම ඇහුව මීයෙක් අරං යන්ට උනත් මේ ගෙදරට අරක්කු මූඩියක් ආවෙ කොහොමද? මෙහෙ කවුරුවත්ම රා අරක්කු බොන්නෙ නෑනෙ කියල"

"ඉතිං?"

"ඉතිං මම කිව්ව ඔය අහල පහළ කොහෙං හරි මීය ඔය අරක්කු මූඩිය ගේන්ට ඇති කියල"

"ඒ පාර ඒක ෂේප්?"

"මොන ෂේප්ද? මේ මනුස්සය ගොඩ පෙරකදෝරුවනෙ. ඒ පාර මිනිහ ඇහුව මීයෙක් යනවනං යන්නෙ බිත්තිය උඩින්නෙ. එතකොට කොහොමද මේ සාලෙ මැද තියල තියන මිනියෙ බඩ උඩට මේ මූඩිය වැටුනෙ කියල"

"අම්මට උඩු, කොහොමද ඒ ලෝ පොයින්ට් එක? මේ මනුස්සය අමර පොරක්නෙ...ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම මොනව කියන්ටද? කට වහගෙන හිටිය."

"උඹට කියන්ට තිබ්බෙ මීය බිත්තිය උඩිං යන ගමං එක පාරට නැවතිලා අර රොමාරියෝ ෆ්‍රී කික් එකක් ගහනව වගෙ අරක්කු මූඩියට පා පහරක් එල්ල කරන්ට ඇතිය. ඒ පා පහරේ ප්‍රබලත්වය නිසාම අරක්කු මූඩිය වීසි වෙලා ගිහිල්ල මිනිය උඩට වැටෙන්ට ඇතිය කියල…." මම හිනාවෙවී කිව්ව.

(සටහන 2 - එදවස අපගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයකු වූයේ බ්‍රසීල කණ්ඩායමට ක්‍රීඩාකල රොමාරියෝය.) 

"මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව හිටහං හරිද?" චන්දරේ මට රවාගෙන කෑගැහුව.

"හරි හරි...චන්දරේ කලබල නොවී ඉඳහංකො. වීරෙ උඹත් ඔය අනම් මනං කියවන්නෙ නැතුව මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරහං පොඩ්ඩක්.." කරුණෙ අයිය සාම දූතයා නොහොත් එරික්  සෝල්හයිම්ගෙ පාට් එකට එන්ටර් වුනා.

(සටහන 3 - හැබැයි ඇත්තම කියනවනම් එරික් සෝල් හයිම් ගැන අපි දැනගත්තෙ මීට ගොඩක්ම පස්සෙ) 

"හරි හරි චන්දරේ වෙරි සොරි මචං වෙච්චි වැඩේට. තනිකරම අපි අතිං මිස්ටේක් එක වුනේ..අපි මෙහෙම කරමුද? උඹලගෙ ඥාතී පරම්පරාවට ඇත්තම කතාව කියමු" මම චන්දරේට කිව්ව. 

"බෑ..බෑ..උඹට පිස්සුද? ඒක හරියන්නෙ නෑ"

"එතකොට උඹේ විසඳුම මොකක්ද කියපංකො"

"මෙහෙම කරමු. මම කොහොම හරි එතන කට්ටිය ෂේප් කරගන්නං. උඹල කුස්සිය පැත්තෙං එළියට බැහැල පිළිකන්න දිගේ ගිහිල්ල ජීප් එකට නැඟල ෂේප් එකේ පලයල්ල. කෝ මුතුබණ්ඩා? "

මුතුබණ්ඩා කිව්වෙ ජීප් එකේ රියදුරු. මතකයිනේ?

"මුත්තා කාල එහෙම ජීප් එකේ නිදි."

"හරි එහෙනං අවුලක් නෑ..මම හෙමීට ගිහිල්ල කුස්සිය පැත්තෙ දොර ඇරල ජනේලෙං උඹලට කියන්නං. එහෙනම් එකා එකා සද්ද නැතුව ගිහිල්ල ජීප් එකට නැඟහල්ල"

ඉතිං වෙන මොකද කරන්නෙ? ඉතුරු බයිට් සුට්ට කොලේක ඔතාගෙන විජේ අතට ගත්ත. අරක්කු බෝතලේ කටට ඇඟිලි දෙකක් ඔබාගෙන ඒක මම ගත්ත. අපි එකා පස්සෙ එකා සිංගල් ෆයිල් පිළිකන්න දිගේ ටොප් සීක්‍රට් ඔපරේෂන් එකකට ගිහිල්ල වැඩේ වැරදිල උපාය මාර්ගිකව පහුබහින (Tactical Withdrawal) දිගු දුර විහිදුම් බලකායෙ (L.R.R.P.) ප්ලැටූන් එකක් වගෙ ගිහිල්ල ජීප් එකට නැග්ග. ඒ කරල මුත්තත් ඇහැරවගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි මළගෙදරිං විත්ඩ්‍රෝ වුනා.

පාරට දාල ටික දුරක් යද්දි සමරය කෑගැහුව "යකෝ...බෝතලේ දාලනේද ආවෙ?" කියල 

"කෑනුගහ ඉඳු..මාගාව බෝතලේ තියනව" මම කිව්ව. 

"අඩේ ඕකෙ මූඩිය නෑ නේද? ඕක හැලෙයි…" ඌ ආයෙම කෑගැහුව.

"නෑ බං මම මේ ඇඟිලි දෙකක් දාගෙන ඉන්නෙ... හැලෙන්නෙ නෑ"

"ෂක් අපරාදෙ අපිට චන්දරයගෙං මූඩිය ඉල්ලං එන්ට තිබ්බෙ" ඌ ආයෙම කිව්ව….අපි ඔක්කෝටම බකස් ගාල හිනා ගියා…

ඊට පස්සෙ අපි බණ්ඩාරවෙල ටවුමට කිට්ටු කරල පාලු තැනක නතර කරල බෝතලේ ඉවරයක් කලා. ඒ කරල කලිං බයිට් ගත්තු කොත්තු කඩෙන්ම කොත්තුත් කාල දෙයියනේ කියල පිටත් වුනා ආපහු එන්ට…. පාන්දර එක විතර වුනා කෑම්ප් එකට එනකොට..

ඒ එද්දි මනම්පිටියට පොඩ්ඩක් මෙහාදි අපි ජීප් එක නැවැත්තුව කට්ටියටම පම්ප් එකක් කාරිය දාල, ෂියේට් එකක් එහෙම ගහල, කොඳු එහෙම දිග ඇරගෙන එහාට මෙහාට සුට්ටක් විතර ඇවිදල කකුල් අතපයේ හිරි ඇරගන්ට. 

"හැබැයි එකක් තියනව චන්දරය උගෙ අම්ම මළ දවසටනං පරණ පැදුරක ඔතල කැළේ ගහනව මිසක මළ ගෙදරක් නං ගන්න එකක් නෑ."

එතන තිබ්බ බෝක්කුවක් උඩ වාඩිවෙලා ගෝල්ඩ් ලීෆ් එකක් ඇද ඇද හිටපු ගුණෙය එක පාරටම කිව්ව. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා .

චන්දරය සතියකිං විතර වැඩට ආව.

"මොකද බං අරක්කු මූඩි කේස් එකට වුනේ? අප්සට්ද?" ඌ ආහම මම ඇහුව.. 

"නෑ...වැඩේ වුනේ අර දියවරකය...ඌට ඕන නැති මඟුලක් නෑ. පස්සෙ මම කලේ ලොකු මාමට ඇත්තම සීන් එක කිව්ව. මනුස්සය පස්සෙ දියවරකයවත් ෂේප් කරගෙන වැඩේ යට ගහල දැම්ම. එතනිං ඒක ඉවරයි"

ඊටත් අවුරුදු හතර පහකට පස්සෙ චන්දරේ අර උගෙ නෑනව බැන්ද. ඒ වෙනකොට මම එහෙං ට්‍රාන්ස්ෆර් වෙලා දියබෙදුමට ගිහිල්ල. ඒ හින්ද මට උගෙ මඟුල් ගෙදරට යන්ට උනේ නෑ. සමරෙ එහෙම ගිහිල්ල තිබ්බ මඟුල් ගෙදර. 

"දැං චන්දරයගෙ ගෙදර සීලිං ගහල ඒ හින්ද උගෙ අප්පච්චිගෙ මළගෙදරදි උනාවගෙ සීන් එකක් නම් කොහොමවත් වෙන්ට විදිහක් නෑ"

පස්සෙ දවසක නුවරදි අහම්බෙං වගෙ හම්බවෙලා වයිට් හවුස් එකේ තේ එකක් බොද්දි සමරෙ මා එක්ක හිනා වෙවී කිව්ව.

Wednesday, March 29, 2017

496. විමලෙගේ වාං පතුල් කතා - 45 - චන්දරේගේ මළගෙදර විත්ති - 4 - පියාණනී මා නැවත උපන්නොත් ......



පියාණනී මා නැවත උපන්නොත්
ගීතය ගයනා අබේවර්ධන බාලසූරිය

චන්දරේ ඇවිල්ල ඇඳක කොණේ ඉඳගත්ත. "අනේ බං සද්දෙ නං හොඳටම වැඩියි. සාලෙටත් ඇහෙනව. එතන හිටපු අපෙ අර නැන්දම්ම කෙනෙකුත් ඇහුව මොකද්ද පුතේ ඔය සද්දයක් ඇහෙන්නෙ? කියලත්"

"ඉතිං උඹ මොකක්ද කිව්වෙ?"

"මොන පිස්සුද නැන්දම්මෙ අහවල් සද්දයක්ද? කියල මම එතනිං හෙමිහිට මාරුවුනා. ඉතිං අනේ මචංලා ඒ හින්ද සද්දෙ අඩුකරපල්ල දෙයියන්ගෙ නාමෙන්……" චන්දරේ බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිය.

"හරි බං හරි හරි උඹ කිසිම දේකට බයවෙන්ට එපා..හොඳද? කොහොමත් තව ටිකකිං අපි කතා කරන එක ෂම්පූර්ණෙංම නවත්තනව..තේරුණේ?"

"ඈ..ඒ කොහොමද?"

"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"

"ඈහ්හ්හ්..සිංදු කියන්ට? උඹල දැං හදන්නෙ මේක ඇතුලෙ සිංදුත් කියන්ටද?"

"එහෙනං ආය? මචං උඹ දන්නවනෙ පොඩි එකක් ගත්තම සුට්ටං ෂින්දුවක් කියන එක අපේ අනාදිමත් කාලයක ඉඳල පැවත එන චාරිත්තරයක්ය කියල"

"ඒත් යකුනේ මේක මළ ගෙදරක්..අනික වෙන කාගෙවත් නෙවෙයි අපේ අප්පච්චිගෙ මළ ගෙදර…"

"හරි හරි බාං අපි දන්නව ඒක..අපි ඒ හින්ද කියමු පියගුණ ගීත..හරිනෙ... අවුලක් නෑනෙ.." මම කිව්ව. 

"අන්නහරි....ඕ...පියා...පියා...ඕ...පියා...පියා....අ...ප්..පි..කි..ය..මු..ඔය....තිත්.......තියෙන්නෙ.......පිප්පිය.......ගුන ගීත....." සමරෙ තව එකක් වක්කරගත්ත. 

"මේ සමරෙ මෙතන මරු කියවන්ට එපා බං..පිප්පිප් පියගුණ ගීත කෙහෙල්මල...ඕ..පියා පියා කියල සිංදුවක් නෑ ගස් ගෝනො.... ඕ ප්‍රියා ප්‍රියා කියල හින්දි සිංදුවක් නම් තියනව.." මම කිව්ව.

"ඕහ්..ඉ...ෂ්දැට්ෂෝ?...රි..ය..ල්ලි...ෂො..ෂ්...ෂො..රි…" සමරෙ ගොත ගැහි ගැහි සමාව ඉල්ලුවා.

ඔය සමරයට දෙකක් බඩට යනකොට කඩුව අතට එනව. අමුවෙං ඉන්න වෙලාවට ඕක මැරුවට කඩු වචනයක් දාන්නෙ නෑ කටිං එළියට. කොටිම්ම උදේට ගුඩ් මෝනිං කියල කියව ගන්ට ඕකගෙ බෙල්ල මිරිකන්ට ඕන.

(සටහන - ඕ ප්‍රියා ප්‍රියා ගීතය එන්නෙ 1990 විතර තිරගතවුනු "දිල්" චිත්‍රපටයෙ. හින්දියෙන් දිල් කියන්නෙ හදවත. චිත්‍රපටයෙ රඟපෑවෙ මධුරි ඩික්සිට් සහ අමීර් ඛාන්. ඒ කාලෙ ඔය දීපිකාල, ප්‍රියංකල එතකොට අයිෂ්වර්යාල ගැන අපි අහලවත් නෑ)



"හරි හරි චන්දරේ…. සමරෙට වැඩියිද කොහෙද උඹ ඌ කියන එව්ව ගණං ගන්ට එපා..අපි කියමු පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා…" මම චන්දරයව අස්වසන්ට ට්‍රයි කලා.

ආය අහවල් අස්වැසිල්ලක්. උගෙ ඇස් දෙකෙං ගින්දර විසිවුනා. "ඔය ඉතිං ඕකනෙ කියන්නෙ මොන රෙද්දක්වත් කියන්ට එපා යකුනේ..තොපිට මම කියන එක තේරෙන්නෙ නැද්ද හැබෑටම. ....උඹලට මෙතන හයියෙං කතාකරන්ට වත් එපාය කිව්වම ඒ පාර ලෑස්තිය සිංදු කියන්ට..." චන්දරේ දෑතින්ම ඔලුව බදා ගත්ත. 

චන්දරයට හිතුවට වඩා සද්දෙං කෑගැහුන ඒ ටික කියනකොට.  කිව්වනෙ අපි ඉන්න කාමරේට සාලෙ ඉඳගෙන ඉන්න කට්ටිය ඔය කතාවෙන එව්ව යම්තමට වගෙ ඇහෙනව කියල. චන්දරෙයගෙ කෑගැහිල්ලට එක පාරට සාලෙං ඇහිච්ච සද්දෙ නතර වුනා. අපිත් මූණිං මූණ බලාගෙන හිටිය අර මොනවද කාපු මොක්කුද වගේ. දෙයියංගෙ පිහිටෙං ටිකකිං ආයම සද්දෙ ඇහෙන්ට ගත්ත. ඒ කියන්නෙ අවුලක් නෑ.

"අන්න දැක්කද ඕක තමයි මං කීවෙ...හරිනෙ..මෙතන කතාවෙන එව්ව සාලෙට ඇහෙනව. ඔය අපිට සාලෙ කතාවෙන එව්ව ඇහෙනව වගේම තමයි. ඒ ඔක්කොමත් තියෙද්දි උඹලගෙ ලෑස්තිය මෙතන සිංදු කියන්ට…."

"හරි බං අවුලක් නෑ. ඒ කියන්නෙ කාමරේ ඇතුලෙ ඉඳල සිංදු කියල සාලෙට ඇහුනොත්නෙ අවුල..අපි මෙහෙම කරන්නං ...හොඳට අහගනිල්ල දැං මෙහෙමයි වැඩේ කෙරෙන්නෙ..අපි වැඩේ ලස්සනට කරමු..." මම චන්දරය ලඟින් ඉඳගෙන උගෙ උරහිසට අතක් තියල මිරිකුවා.. 

"අර මුල්ම කොටස තියනවනෙ. පියාණනී මා නැවත උපන්නොත් කෑල්ල...මම ඒ කෑල්ල කියාගෙන දොර ඇරගෙන යනව සාලෙට. ගිහිල්ල සාලෙට වෙලා ඔලුව බිමට හරවගෙන ඉන්නව මිනිය ලඟ බොහොම දුක්බර විලාසෙං ....ඊට පස්සෙ කරුණෙ අයියයි සමරෙයි ඊලඟ කෑල්ල කියාගෙන එනව සාලෙට.... ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා.....ඊලඟට අන්තිමට විජෙයි ගුණෙයි එනව අන්තිම කෑල්ල කියාගෙන ...මොකක්ද බං ඊලඟ කෑල්ල..ඔන්න මට ඒක අමතකම වුනානෙ"

"හිත මිතුරන් මා හැරගිය දවසේ…" විජේ මට මතක් කරල දුන්න. 

"අන්න හරි...අන්න හරි..හිත මිතුරන් මා හැරගිය දවසේ...ලොවම එරෙහිවී තනිවුනු මොහොතේ...පස්සෙ අන්තිමට අපි ඔක්කොමල එකටම අර සිංදුවල ඔය තියෙන්නෙ අන්තරාසර්ග ග්‍රන්ථිය ද අන්තරා භවයද කොහෙද කියන්නෙ අන්න ඒ කෑල්ල... ඒ කිව්වෙ මේ සිංදුවෙ නම් පියාණනී මා කොටසනෙ. ඉතිං අපි ඔක්කොමල එකට පියානනී මා කෑල්ල කියල සිංදුව හමාර කරනව...සිංදුව ඉවර වෙනවත් එක්කම අපි ඔක්කොම අප්පච්චිගෙ මිනියට දණගහල වඳිනව....කොහොමද නියමයි නේද? බලාපං උඹලගෙ අප්පච්චිට දෙන්ට පුළුවන් ඊට වඩා ගෞරවයක් තියනවද?"

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා...
ඔබේම පුතු වේවා...

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ...

පියාණනී මා...

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ...

පියාණනී මා...

පද රචනය : සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසුරිය
සංගීතය: වික්ටර් රත්නායක.



චන්දරය ඔලුව උස්සල බැලුව. උගෙ ඇස් දෙකේ ඒ වෙලාවෙ කඳුළුත් තිබ්බද කොහෙද...මට හිතෙන්නෙ ඌටම ෂුවර් නෑ ඩෝප් මරගාතෙ අපි ඔය කියපු විදිහටම කරයිද කියල. ඇයි ඕකත් දන්නවනෙ බීල කරපු නාඩගංවල දිග පළල හෙහ්,හෙහ්, 

කරුණෙ අයිය මට කට ඇද කරල ඉඟියක් කලා. ඒකෙං කිව්වෙ මම හිතන්නෙ ඔය ඇති කියල වෙන්ට ඕන. මම චන්දරයගෙ මූණට එබුන. "උඹ බයවෙන්ට එපා බං. අපි මේ පොඩි ජෝක් එකක්නෙ දැම්මෙ. එහෙමත් කරනවද බං උඹේ නම සවුත්තු වෙන්ට?...හෙහ්,හෙහ්, "

ඉතිං ඊට පස්සෙ ආයම පාරක් අපි සිංදු කියන්නෙ එහෙම නැතිය සද්දෙට කතාකරන්නෙ එහෙම නැතිය කියල හගිස්සවාගෙන චන්දරය කාමරෙං පිටවෙලා ගියා. අපි ඉතිං ඔහෙ හෙමිහිට වැඩේ කරගෙන ගියා. ඔන්න ග්‍රැජු ග්‍රැජුවලි දෙවෙනි බෝතලෙත් ඉවර වෙන්ට වගෙ ආව. 

"මේ අඩේ මේ කාමරේ මොනවට හදපු එකක්ද? බලාපං අර ජනේලෙ පොඩි....ඒ හින්ද බෙඩ් රූම් එකක් වෙන්නත් බෑ" හිටපු ගමං ගුණෙය ඇහුව. ඔය ගුණය අපි වාගෙ කොයි වෙලෙත් වක්කඩ කැඩුව වගෙ කියවන්නෙ නෑ. අවට වටපිටාව ගැන බොහොම සෝදිසියෙං ඉන්නෙ කොච්චර ගැහුවත්.

"මේක මචං බොහෝවිට කිළි කාමරේ වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ එහෙමයි" මම කිව්ව. 

"මොකක්ද කිළි කාමරේය කියන්නෙ?" ඒ කරුණෙ අයිය. 

"මෙහෙමයි අයියෙ, ඔය පරණ වළව්වල තිබ්බලු කළුවර කාමරයක් කිළි කාමරේ කියල. එක්කො ජනේලයක් නෑ. තිබ්බත් බොහොම පොඩි ජනේලයක්. වළව්වෙ බබලත් උදවිය කිළි උනහම ඒ කියන්නෙ ඔසප් උනහම ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ ඒ දවස් පහු වෙනකල්"

"අඩේ මම ඔය ඔහොම කතාවක් ඇහුවමයි. වීරෙ දන්නෙ කොහොමද?" කරුණෙ අයිය ආයම ඇහුව. 

"මම ඔය මේ මාස දෙක තුනකට ඉස්සෙල්ල කියවපු පොතක ඔය විස්තරේ තිබ්බ. අර ඔසප් කේස් ඇරුණම ළමයි හම්බ වෙන්ටත් පාවිච්චි කරයි කියන්නෙ ඔය කිළි කාමරේ. ආ..තව එකක්. ගෑණු ළමයි ලොකු උනහමත් ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ"

අනික් එවුං කට ඇරගෙන අහගෙන හිටියෙ මගෙ විස්තරේ. "ඉතිං? ඉතිං?..."

"ආ..තව එකක් කියන්න තියනව. ඔය කිළි කාමරේ බාල්කෙක වගෙ හයිය තැනක ගැට ගහල පල්ලෙහාට එල්ලෙන්ඩ දාල තිබ්බලු හොඳ හයිය ලණු දෙපොටක්. හරියට අර ඔංචිල්ලාවක් වගෙ. දරුවෙක් ලැබෙන කොට ඒ අම්ම අර ලණු දෙපොට අල්ලගෙනලු වාරු ගත්තයි කියන්නෙ" 

"ඉතිං බං කෝ මේ කාමරේ එහෙම ළණු දෙපොටක් නෑනෙ.." ගුණේ වටපිට බලල කිව්ව. 

"පිස්සුද බං උඹට? මම ඔය කිව්ව කරුණු කාරණාවලට ඒ කිළි කාමර පාවිච්චි කලේ දැනට අවුරුදු තිහ හතළිහකට වගෙ ඉස්සර. දැං කවුරුත් එහෙම දේවල් වලට කිළි කාමර පාවිච්චි කරන්නෙ නෑ. ඉතිං ඒ ළණු පොටවල් තියෙයිද මෙච්චර කල්?"

"ඒකත් ඇත්ත..අපි චන්දරේගෙං අහමුකො ආහම මේ කාමරේ ඒ විදිහෙ ළණු දෙපොටක් බාල්කෙක වගෙ ගැට ගහල තිබ්බද කියල"

"හරි..හරි..අහපං අහපං..ඕකට මේ වෙලාවෙ මාරාවේස වෙලා ඇත්තෙ. උඹට අම්ම මෝ නැතුව දෙකක් අහගත්තෑකි. හෙහ්...හෙහ්…" කරුණෙ අයිය එහෙම කියල හිනාවුනා.

ඕක තමයි කියන්නෙ මේ මත්පැන් පානයට ඔය හැමෝම , විශේෂයෙන් අපේ කාන්තා පාර්ශ්වය විරුද්ධ වුනාට ඔන්න බලන්ටකො ඒ නිසාම කොපමණ දැනුම් සම්භාරයක් එකතු වෙනවද කියල...හෙහ්,හෙහ්,

අනික දැන් මේක කියවන ඔබ තමුන්නාන්සේලා උනත් කී දෙනෙක් දැනගෙන හිටියද ඔය කිළි කාමර ගැන?..බොරුද මං කියන්නෙ? 

අන්න ඒකයි කියන්නෙ විනෝදය, සතුට සමඟ දැනුම ලබාදීම කියල. අර පහුගිය සෙනසුරාද උදක තොංගලේදි කියවපු හේතුපාටෙ උනත් තිබ්බයි කියන්නෙ. "දැනුම , විනෝදය, ජුගුප්සාව ලබාදෙන සහ ඒ සමඟම විළිබිය නැතිකරවන......" අන්න එහෙම. කොහොම උනත් ඒ හේතු පාටෙ ගැන මගේ නෑ කිසිම පැහැදීමක්. අපේ අර කළ්‍යාණයයි කියනවනෙ ඔය හේතු පාටෙ ලිව්වෙ..අනෙහ්..එයයි මායි දන්න හේතුපාට...එයයි දනී ගිරීස්මෙ ඉහිං කණිං දාඩිය දානකොට අහිංසක කම්කරුවෙක් හෙල්මට් එක සුට්ටකට අයිං කරල ඔලුවෙ දාඩිය නිවාගන්නව දැක්කොත් ඒ අහිංසකයගෙ දවසෙ පඩිය කපන්ට බෙල්ල කැපුවැහෙ....

හරි ඒ යස්සය ගැන ඔය ඇති..... ආපහු කතාවට.......

මේ වෙනකොට තුන්වෙනි බෝතලෙත් ඉවරයි...දැන් නං හොඳ ගණං.. චන්දරය ඔය වෙනකොට තව දෙපාරක් විතර ඇවිල්ල තත්වය බලාගෙන ගියා..අවුලක් නෑ..වැඩේ යනව මල් හතට…

"දැං කීයද බං වෙලාව?" ගුණේ ඇහුව බොහොම අමාරුවෙං ඇස් ඇරගෙන…

"තුනහමාරයි" මම කිව්ව…

"අඩේ අද යන්ටත් ඕන නේද? මොකද කරන්නෙ? එහෙනං ඔය තියන දෙයක් කාල පිටත් වෙමුද? කොහොමත් පැය හත අටක්වත් යයිනෙ ආපහු කෑම්ප් එකට යනකොට.." කරුණෙ අයිය ඇහුව.

බලනකොට තව බෝතලයකුත් තියනව. බයිටුත් ඉතුරුයි..අපරාදෙ කියන්ට බෑ කොත්තු පොට් එකේ පොර සළකල කොත්තු දෙක දාල දීල තියනව. 

"මේ මේකත් ගහලම යමු බං..මොනවද ආය දෙපාරක් වටේ යනකොට ඕක ඉවරවෙයි" ගුණේ ඇස් තද කරල පියාගෙන කිව්ව. 

"හරි එහෙනං එහෙම කරමු…" මම එකඟ වුනා.

රථාචාර්ය තැන්පත් මුතුබණ්ඩා මහතා පාන්දරම කට කපල ෂොට් දෙකක් ලඟ ලඟ නවාගෙන ගිහිල්ල බතුත් කාල ජීප් එකට වෙලා නිදි. රෑ දෙගොඩ හරියක් වෙනකල් සුක්කානම කරකවන්ට ඕන හින්ද අපි සාමාන්‍යයෙන් ඔය වගෙ දුර බැහැර ගමනක් ගියාම රියදුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය එහෙමයි. අනික එහෙම උනහම අපිට බය නැතුව ආතල් එක ගන්ටත් පුලුවෙනි.

ඒ පාර "හරි එහෙනං මේකත් ගහමු... මම කඩන්නං" කියල සමරය බැරි බැරි ගාතෙ ගත්ත බෝතලේ අතට...ඌට තමයි දැං බලනකොට වැඩිම..

"සමරෙ මේ දීපං ඕක මෙහාට මම කඩන්නං" මම අත දික්කරා බෝතලේ ගන්ට. 

"ඇයි? උම්බ හිත්තුවෙ මට ඩෝප් කියලද? ඉඳහං..ඔන්න..බල්ලපං මම බෝතලේ කඩන හැටි" එහෙම කියල සමරෙ ඇති වීරියෙං ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය කැරකුවා.

ඔය අරක්කු බෝතල් වල මූඩිය කඩන්ට එක ක්‍රමයක් තියනව. හෙමිහිට තද වෙන්ට මූඩිය ඇඟිලිවලින් අල්ලගෙන බෝතලේ කටට තෙරපගෙන කරකවන්ට ඕන. එහෙම නැතුව ඇති වීරියෙං කැරකුවොත් වෙන්නෙ මූඩිය කැඩෙන්නෙ නෑ නිකම්ම බෝතලේ කට වටේ කරකැවෙනව. සමරෙ අල්ලපු ඇල්ලිල්ලට මූඩිය නිකම්ම කැරකෙන්ට ගත්ත.

"හරිනෙ…. ඔන්න උඹ කරා වැඩේ..දැං හරිනෙ..දැං හරිනෙ" ගුණේ කෑගැහුව.."දැංවත් ඕක මෙහාට දීපං පුලුවං එකෙකුට…"

සමරෙ ඌ දිහා රවල බැලුව.."අනෙහ් මේ..කැක්..කෑනුගහ ඉන්දහං උඹ මෙතන. මමයි මේ බෝතලේ කඩන්නෙ.."

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. බෝතලේ එක අතකින් තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

To be continued....Next episode would be the last..God promise....:)

Sunday, March 26, 2017

135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...

අප දුටු/නුදුටු නෙළුම් යාය

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016, 2017 මාර්තු මස 25 වන සෙනසුරාදා වන ඊයේ දිනයේ අපගේ සිත් ඇදගන්නාසුලු ආකාරයට පවත්වනට කටයුතු යොදා තිබුණා.



අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ වගේ ම මෙම උත්සවයේ ඒ අංශය ගැනත් සොයා බැලීමක් මගෙන් වන්නේ නැහැ ඔන්න! හැබැයි එකක්!, රජයේ වැඩක් නොවන නිසා, ඒ සංවිධායකයින් තමන්ට කැමති කෙනෙකු ගෙන්වා, තමන්ට කැමති තැනක උත්සවය පවත්වා, කැමති වියදමක් දැරීම ගැන ඒ හැටි දෙයක් හිතන්න නැති බවයි රන්දිල්ගේ හැඟීම.

නොකඩවා තෙවැනි වරටත් සංවිධානය කෙරුණු එහි, අංශ දෙකක් යටතේ අපගේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය ද නාම යෝජනා වී තිබෙන බව දින කිහිපයකට උඩදි අපට දැනුම් දුන්නේ, උත්සවයට පෙරත් උත්සවය පුරාමත් නොසෑහෙන වෙහෙසක් දරා කටයුතු කළ අපේ සුමිතුරු සුමිත් කළණසිරි විසින්. ඔහුගේ කැපවීම, උනන්දුව මේ අවුරුදු තුන පුරාම අපි හොඳින් ම අත්දැක්ක දෙයක්. (නැතිව බැහැනේ ඩොලර් කුට්ටිලු ලැබෙන්නේ :D )

ඉතිං මාත් මගේ මුලු පවුලමත් ලෙසින් අපි ඒ උත්සවයට සහභාගි වුණා. උත්සවයක් වුණාම එහි උත්කර්ෂවත් බවක් තිබීම සහභාගි වන්නන්ගේ සිත සතුටු කරවන්නක්. ඊයේ උත්සවයේ උත්කර්ෂවත් බවින් පැමිණි සිටි බොහෝ දෙනෙකු සතුටු වූ බව ඔවුන්ගේ අදහස් වලින් අපි දැන ගත්තා.

ආරම්භක දේශනය කරපු මහින්ද දේශප්‍රිය මහත්මයා ඉතාමත් තර්කානුකූලව, මාතෘකාවට ආදාළව වැදගත් කාරණා බොහොමයක් අප ඉදිරියේ ගෙන හැර පෑවා. කරු මහත්මයාගේත් රාජිත මහත්මයාගෙත් කතා තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳවත්, ඖෂධ පනත පිළිබඳවත් මූලික කරගනිමින් දිව ගියා.




නාලක මහත්මයාගේ කතාව කවදත් වගේ අපි වෙනුවෙන්ම කරපු, වැදගත් කතාවක් වුණා. අන්තර්ජාල පිවිසුම් වෙනුවෙන් ගෙවන්න වී ඇති අධික බදු පිළිබඳ ව දේශපාලකයින් දෙදෙනා ඉදිරිපිට කරුණු ඉදිරිපත් කිරීම ම වැදගත් දෙයක්. අපි මේ රට ගැන, රටේ ක්‍රියාත්මක වන දේවල් ගැන දරණ අදහස් ඔවුන්ට දනවන්නට මෙවැනි අවස්ථා හොඳ වේදිකාවක් කරගැනීමට අපට හැකියාව තිබෙද්දි දේශපාලකයින් කැඳවීම පිළිබඳ ව නොරොක් වීම ඵලක් නැති දෙයක් හැටියටයි මට හිතෙන්නේ.

දේශන අතරතුරේ විවිධ අංශ යටතේ සම්මාන බෙදා දීම සිදු කෙරුණා. උත්සවයට පෙර සිට ම සුමිත් හා ලක්මාල් (අටම්) සම්මානලාභීන් සම්බන්ධ කරගනිමින් මනා වූ ජාලයක් ගොඩ නගා ගනිමින් සිටි බව අපට දැනුනත් සම්මාන ලබා දෙන අවස්ථාවේ ඒවා ලබා ගන්න කිහිප දෙනෙකුට එන්න බැරි වී තිබුණා පමණක් නොව ඒ වෙනුවෙන් සහෘදයකු නම් කරන්නට පවා ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ. එය සංවිධායකයින්, සම්මාන ප්‍රදානය කරන්නට වේදිකාවට පිවිස සිටි ආරාධිතයින් හා අනෙකුත් පිරිස යම් පමණකට අපහසුතාවට පත් කළ කාරණයක් වුණා. 

විටින් විට දැනුම්දුන් පරිදි ඔබට සම්මාන පිළිබඳ පිරියක් නොවේ නම් කලින් ම දැනුම් දීමේ පහසුකම තිබුණා. නැතහොත් වෙනත් කෙනෙකු නම් කර එය ඒ අවස්ථාවේ ලබා ගැනීමේ අවස්ථාව උදාකර තිබුණා. මොන හේතුව නිසා හෝ කිහිප දෙනෙකු ම ඒ අවස්ථාව අහිමිකරගෙන තිබුණු අතර ජීවන ප්‍රනාන්දු සහෝදරයා ඉදිරි පෙළ අසුනක සිට ඒ බොහෝ සම්මාන ලබා ගැනීමට ඉදිරිපත් වී අවස්ථාවේ වූ කඨෝර බව සමනය කළ බව කිව යුතුයි. (ඔහු ඒ බර ඔසවාගෙන ගෙදර ගියේ කෙසේ දැයි පසුව අසා දැනගත යුතුය)

අපි මචං කණ්ඩායම, ජනයි ප්‍රියයි දෙදෙනා, ඔපෙරා නාට‍්‍යය, වේදිකා නාට්‍යය හා භාරත නර්තනය ආදී වූ විවිධාංග මැදින් උත්සවය දිව ගියා. සමහර අංග දිගු වැඩි වූ බවත් අවස්ථාවට නොගැලපෙන බවත් සමහර කෙනෙකුගේ අදහස වුණා. ඒ කතාවේ යම් සත්‍යයක් තිබුණා සේම, ‘සම්මාන ගන්න ආවා නං ඒවා අරගෙන යෑම‘ විනා එයින් එහාට නිස්කාංසුවේ වාඩි වී අනෙකුත් අංග රසවිඳීමේ නුහුරු ගතියත් ඒ අදහස් දැක්වීමට හේතුවන්නත් ඉඩ නැතිවා ම නෙමෙයි.



ඇත්තටම හවස 2 පමණ සිට රාත්‍රි 8 වනවිටත් කෑමට බීමට යමක් නොලබා සිටීම අපහසුකාරී දෙයක්. අතරමැද විවේක කාලයක් යෝජනා කරන්නටද අපහසුවන්නේ කෑමෙන් බීමෙන් පසු සතා සරුපයාවත් රඳන්නේ නැතැයි යන කියමන අකුරට ම ඉෂ්ට කරන පිරිසක් ද සිටින නිසයි. :D මී ලඟ වර උත්සවය සංවිධානය කිරීමේ දී මේ කාරණා ගැන සංවිධායකයින් අවධානය යොමු කරනු ඇතැයි අපට සිතේ.

බ්ලුක්ස් (බ්ලොග් වලින් ආ බුක්ස්-පොත්) සඳහා අළෙවි ස්ථානයක් සුදානම් කර තිබෙන බවක් පෙර සිටම දැනුවත් වී සිටියත් එම ස්ථානයට පොත් බර ඔසවාගෙන ගිය පසු එවැන්නක් නැති බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වුනු බෝධිනි සමරතුංග (අනිත්කොන බ්ලොග් අඩවිය) හා තරුරසි ප්‍රනාන්දු (තරුරසි බ්ලොග් අඩවිය) යන අේ මිතුරියන් ඒ සඳහා තැනක් සූදානම් කරගෙන පොත් සියල්ල ස්ථානගත කොට මුලු කාලය පුරා ම එම කාර්යය කරගෙන යෑමට උර දුන්නා. අප හැමට ම අමතක වූ කාරණය නම් නිවේදක කටයුතු කළ දෙදෙනා අතින් ඒ පිළිබඳ ව සභාව දැනුවත් කිරීමයි. එයින් බොහෝ දෙනෙකු බ්ලුක්ස් තිබූ බව නොදැන පිටව ගිය බව පසුව දැනගන්නට ලැබුණා.




නාලක ගුනවර්ධනයින් ගිය වරත් මේ වරත් පැවසූ පරිදි බ්ලොග් අවකාශය යනු ‘ගරුසරු නැති තැනකි‘. ඉතිං අපි ඒ වචනයට ගරු කරන්නත් එැපැයි. නැද්ද මං අහන්නේ! ඒ නිසා සභාව පැවැත්වීගෙන යද්දී ම රාජිත ආමාත්‍යවරයාට විවර කළ කෑම මේසය දිගට ම විවර ව පවත්වාගෙන ගොස් එය හිස් කිරීමට උදව් දීමට සෑම දෙනාම පාහේ එකාවන් ව පෙළ ගැසුණා. :D රසවත් කෙටි කෑම මාලාවකින්, පළතුරු සලාද වලින්, මෘදු බීම හා තේ පැන් වලින් සමන්විත වූ ඒ සංග්‍රහය අප සියලු දෙනා ම කිසිඳු අවලාදයකින් තොරව රසවිඳි බව සටහන් කළ යුතු වනවා. (තව ලස්සන ලස්සන පිංතූර තිබුණත් මගේ පිංතූරයෙන් විතරක් සෑහීමට පත්වන්නට මට සිදු වනවා :D )




පරිවර්තන අංශය වෙනුවෙන් යෝජනා වී තිබූ මගේ ලිපිය ඒ අං‍ශයෙන් තෙවන ස්ථානය ලබා සම්මානයට පාත්‍ර වූ අතර අපේ සුමිතුරු, සදාදරණීය බ්ලොග් රචක, මගේ බ්ලොග් සහකරු රවී වීරසිංහ වසරේ බ්ලොග්කරු ලෙස අබිසෙස් ලැබුවා. කවදත් වගේ ඒ සම්මානයත් මගේ දෑතින් ලබා ගැනීමට මම වාසනාවන්ත වුණා. ඒ වගේ ම මා සම්මාන ලබා ගන්නා දර්ශන ඊයේ දිනයේ හිරු ටීවි රාත්‍රි 9 30 ප්‍රවෘත්ති විකාශනයෙන් රටට ම පෙන්වීම නිසා මගේ දුරකථනය හා අනෙකුත් පණිවුඩ මාර්ග අවිවේකි කරන තරමට සුභ පැතුම් ලබන්නට මා වාසනාවන්ත වුණා.



ඉතිං සමස්තයක් ලෙස ගත්තහම රන්දිල්ගේ හා ඇගේ මිතුරියන්ගේ අදහස මේ සම්මාන උළෙල ඉතාමත් හොඳ මට්ටමක තිබුණු බවයි. මේ සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳ ව අජිත් ධර්මකීර්ති, සුමිත් කළණසිරි හා ලක්මාල් කන්දෙවිදාන යන සොයුරුන්ට අපගේ ස්තුතිය හිමිවිය යුතුවා සේම එයට අමතරව මේ කටයුත්තට උරදෙන, මා නමින් නොදන්නා සියලු දෙනාටඒ ස්තූතිය නොඅඩුවම හිමිවනවා.



කාන්තාවන් හැටියට ආටෝපයට සාටෝපයට කැමති අපට ලස්සන ලස්සන පිංතූර සෑහෙන ප්‍රමාණයක් ගන්නත් මෙය හොඳ අවස්ථාවක් වුණා. (හැබැයි ඉතිං හැම උත්සවයක් අවසානයේදී ම ‘අනේ අහවල් අයත් එක්ක පිංතූරයක් ගන්න බැරි වුණා නේද?‘ යනුවෙන් ඉතිරි වන සිතුවිලි නම් නොඅඩුව ඉතිරි වෙලා තියෙනවා) අපි මිතුරු මිතුරියන් හමු වී කතාබස් කොට විනෝදයක් ලැබුවා. මෙතෙක් නොදුටු අය දැක හඳුනා ගත්තා. ඉතිං තව වෙන මොනවද? 



.........................................................................
 
රන්දිල් නෝනා මහත්මිය (ග.ක.) විසින් ලියන ලද නෙළුම්යාය සම්මාන උළෙල පිළිබඳ ඉහත සටහනට එකතුකරනු ලබන මගේ අදහස් දැක්වීමයි මේ........

ඊයේ පැවැත්වුනු නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වන්නට නොලැබීම මගේ ජීවිතේ ඉතාම කණගාටුදායක අවස්ථාවක්. අපි හැමෝගෙම ජීවිතවල වගේම මගේ ජීවිතෙත් එහෙම කණගාටුදායක අවස්ථාවන් කීපයක් තියනව. ඉතිං නිසැකවම ඊයෙ එයින් එකක්....

මක්කෙයි කොරන්නෙ? එහෙම තමයි ජීවිතේ හැටි...

ඉතිං ඉස්සෙල්ලාම නමෝ විත්තියෙන්ම හා හාපුරා කියල රන්දිල්ට ස්තූති කරලා ඉන්න ඕනමයි...

"මිස්ටර් රවී...මගෙ බ්ලොග් එකේ ලියන්නකො ඔය කතන්දර..."

2010 අවුරුද්දෙ මුල කාලෙ වගෙ දවසක චැට් එකකදි රන්දිල් එහෙම කිව්වෙ අපි දෙන්න කාලයක් එකට වැඩ කරපු කොම්පැණියෙ වෙච්චි අපූරු සිද්ධියක් මම ඇයට කිව්වට පස්සෙ. 

ඒ කතාව මම තවම ලිව්වෙ නෑ. ඒක මේ රෙජී රණතුංග මහත්මය මතකයි නේද? අන්න ඒ මහත්මයගෙ මරණය හා සම්බන්ධ කථාවක්...

මම ඒ වෙලාවෙ කිව්වෙ "පිස්සුද ළමයො. ඔය වගෙ මේ එලොවටත් නැති මෙලොවටත් නැති කතන්දර වලින් කාටද වැඩක් තියෙන්නෙ? ඔව්ව හොඳයි ඔය පොඩි ආතල් එකක් ගන්න වෙලාවට කියන්ට..අනික ඒ වගෙ එව්ව උනත් ඕනනම් බ්ලොග් පෝස්ට් දහයක් ලියන්ට තියෙයි. එච්චර තමයි" අන්න එහෙම......... 

ඒ වෙලාවෙ රන්දිල් කිව්ව "හරි,හරි... ඒ පෝස්ට් දහය හරි කමක් නෑ ලියන්නකො ඔන්න මම ඔයාව ඇඩ් කරනව බ්ලොග් එකට" කියල. 

ඒ පාර ඉතිං මොනව කරන්නද? "හා..හා..ඉතිං ඕන කෙහෙල්මලක්...ලියන්නම්කො බලන්න මොනවහරි" කියල මාත් හාංය කිව්ව. නැත්තං ආය මේකෙ වසන්ටය කණක් ඇහිල?

ඉතිං කොහොමින් කොහොමින් හරි ඔන්න ඔයාකාරයෙනුයි මම නිදහස් සිතුවිලි බ්ලොග් එකේ පාට්නර් කෙනෙක්, නොහොත් කෝ-රයිටර් කෙනෙක් විදිහට පත්වීම් ලැබුවෙ. ඒ 2010 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ...අවුරුදු හයහමාරකට වගෙ ඉස්සර...බලාගෙන යනකොට එච්චර කාලෙකුත් නෙවෙයි. අනික් අතට සෑහෙන කාලයකුත් තමයි...

හැබැයි ඉතිං එකක් තියෙන්නෙ ලියන්ට දේවල් නැතිය කියල හිතුවට ලියන්ට ගියාම තමයි තේරුනෙ දෙයියෝ සාලෙ..කොච්චරක් නම් දේවල් තියනවද ලියන්ට කියල. විශේෂයෙන්ම මේ ඉර හඳ තරු යට, මහ පොළවෙ පය ගහල අඩ සියවසකට අධික කාලයක් ජීවත් වෙච්චි කෙනෙකුට කොයිතරම් නම් අත්දැකීම් තියනවද බෙදා හදා ගන්ට කියල මට සක්සුදක්සේ, අතැඹුලක්සේ පැහැදිලි වුනේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන කී බෝඩ් එකට කොටන්ට ගත්තට පස්සෙ.

හරි වැඩි විස්තර ඕන නෑ.අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු වැල්වටාරං කියවපු, එව්වට කමෙන්ට් කරපු ඔබ තමුන්නාන්සෙලා දන්නව ඇතිනෙ ඒ විස්තර මට වඩා හොඳට. හරි එහෙනම් මේ අවස්ථාවෙ මගේ පාඨක ජනතාව වන ඔබ තමුන්නාන්සේලා හැමෝටම මගේ ගෞරවාදර භක්ති පූර්වක, සාතිශය ස්තූතිය පිරිනමමි!

මේ වෙලාවෙ අනිවාර්යයෙන්ම ස්තූති කරන්ට ඕන දැනට බ්ලොග් නොලියන අංගනාවියන් කීපදෙනෙකුට. 

එක පොඩි කුමාරිහාමි. ඒ යෝදිගෙ බ්ලොග් එකේ මාගල් වගෙ කමෙන්ට් ලියල තමයි මම දැනගත්තෙ යකෝ මටත් මොන මොනවහරි ලියන්ට පුලුවන් නේද කියල. 

ඊට පස්සෙ මායි අපේ තව දිගැසියන් කීප දෙනෙකුයි එකතුවෙලා අන්දර මල් දම කියල සාමූහික බ්ලොග් එකකුත් ලිව්ව. ඒක දැනට නැවතිලා තියෙන්නෙ. අන්න ඒ මල්දමේ කට්ටියටත් ස්තූති කරන්ට අවශ්‍යමයි.

ඊලඟට නෙළුම්යාය සම්මාන උළෙල සංවිධායක මණ්ඩලයට. බ්ලොග් වලට සම්බන්ධ අයගෙන් ම දන්නෙ අජිත්, කළ්‍යාණ, තරුරසී සහ අටම් ගැන විතරයි...Thanks My Friends!

පලි - මම මගෙ ජීවිතේට ප්‍රසිද්ධ වේදිකාවකට නැඟල දේශපාලනඥයෙක්ගෙන් තෑග්ගක් අරගෙන තියෙන්නෙ එකම පාරයි. ඒ 1974 අවුරුද්දෙ කෑගල්ල නගර සභා ශාලාවෙදි. 

1972 මැයි 22 වෙනිද ඒ කාලෙ තිබ්බ සමගි පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් සහමුලින්ම වෙන්වුනු ජනරජයක් කියල ප්‍රකාශයට පත් කලානෙ.ඊට පස්සෙ දිගටම හැම අවුරුද්දෙම මැයි 22 වෙනිද ජනරජදින සැමරුම් උත්සව පවත්වාගෙන ආවා රාජ්‍යානුග්‍රහයෙන්. ඒ වෙනුවෙන් පාඨශාලාන්තර නැටුම්, ගැයුම්, වාදන තරඟ පැවැත්වුනා. 

74 අවුරුද්දෙ නැටුම් අංශයෙන් පළවෙනි ස්ථානය ලැබුනෙ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට. ඒ නැටුම් කණ්ඩායමේ මමත් හිටිය දෙවෙනි පෙළේ. අපි නැටුවෙ ගජගා වන්නම....."දෙව්පූර ඇතේකී..කුඹු දහසයකී..දිගදළ ආටකී..සත් ගෑබකී.." අන්න එහෙමයි ගජගා වන්නම. ඔය කියන්නෙ සක්කර ගොයියගෙ ඇතා ගැන. ඓරාවණ ඒ ඇතාගෙ නම.......

ඉතිං අපිට තෑගි දුන්නෙ ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී, නාවික සහ සංචාරක ඇමති පී.බී.ජී. කළුගල්ල මහත්මය. අපි නැටුම් කණ්ඩායමම (දොළහක්ද කොහෙද හිටිය මට මතක විදිහට) ස්ටේජ් එකට එකපාර ගිහිල්ල සහතිකපත් ගත්ත. 

ඉතිං මට කියන්න තියෙන්නෙ ඊයෙ රන්දිල් නෙළුම්යාය වේදිකාවට නැඟල කරු ජයසූරිය මැතිතුමා අතින් තෑග්ග ගත්තට ඒ වෙලාවෙ ඔබ තමුන්නාන්සේලා සියළු දෙනාම ඒ කියන්නෙ මේ අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු දේවල් කියවල, ඒ ගැන කමෙන්ට් කරල, විවේචනය කරල, ප්‍රශංසා කරල, අනේක අයුරින් මාව දිරිමත් කරපු මගේ සහෘදයින් සහ සහෘදිනියන් හැමෝම රන්දිල් එක්ක වේදිකාවට නැග්ග කියලයි මම හිතන්නෙ...එපමණයි!!!

Thanks Again All Of You!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...