131. බ්‍රහ්ම දණ්ඩයෙන් වදින පහර
ඉස්සර අපි පොඩි කාලේ අපේ අම්මා අපි වරදක් කළා ම පාරක් දෙකක් ගහනවා. අම්මා මට කැටේට දාන්න දීපු සල්ලි වලින් කොටසක් කැටේට දාලා ඉතිරි කොටස කිරිටොෆි කන්න කොලේක හංගලා තිබිලා අහුවුණු දවසේ කාපු ගුටියෙන් හොරකම කියන හැසිරීම මගෙන් සදහට ම තුරන් වෙලා ගියා කියන එක මං හොඳට ම දන්නවා.
ඒ වගේ ම සමහර නොහොබිනාකම් වලට අම්මා මාත් එක්ක දවසක් දෙකක් කතා නොකර ඉඳලා තියෙනවා. ඒ වැඩිහිටියෝ මැද පැනලා උත්තර දීපූ වෙලාවක්, නංගිලා එක්ක වෙච්චි රණ්ඩුවක් වගේ වැරදි තමයි ඉතිං.
හැබැයි මං ‘අම්මේ... අම්මේ...‘ කියද්දිත් මාව දැක්කේ නැහැ, පෙනුනේ නැහැ වගේ අම්මා හිටපු එක මට හරියට හිතට වැදුණා. හිත රිදුණා. ඒක හරි ම මානසික පීඩාවක්. සමහරවිට මං ඊට පස්සෙ ඒ වරද කරන්න නැතිව ඇති.
අම්මා ම පස්සේ පැහැදිලි කරපු විදිහට ඒ පනවලා තියෙන්නේ “බ්‍රහ්ම දණ්ඩය“. එය වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් වුවත් පොඩි ළමයෙකුට ගලපන්න අමාරු දෙයක් බව අම්මාට වැටහුණේ නැහැ.
ඇත්තට ම වරද කරපු ගමන් ඩෝං ගාලා පිට හරහා පාරක් වැදුණා නම් මට ඒ හැටි නොරිදෙන්න තිබුණා. පස්සේ කාලෙක සමාජගත වත්දි අනිත් මිනිසුන් අතින් නොසැළකීම් වෙද්දි මට ඔය සිද්ධිය බලපාන හැටි දැනිලා තිබුණා. මං බය වුණා මාත් එක්ක ඒ අය තරහා වෙයිද කියලා. මහත්තයාගේ අම්මා එක්ක වුණත් කටයුතු කරද්දි මං ඕනෑවට වඩා පරිස්සම් වෙන්න ගියෙත් ඔය සිද්ධිය නිසා කියලා මට දැන් තේරෙනවා.
අපි කාවවත් ආශ්‍රය කරද්දි එහෙම අමාරුවෙන් පරිස්සම් වෙවි ආශ්‍රය කරන එක අපේ හිතට වදයක්. අනිත් කෙනාටත් ඒක අපහසුවක් වගේ දැනෙනවා ඇති. මේ මොකද මෙයා මෙච්චර චාටු කියලා හිතෙන්නත් පුලුවන්. අපි අපි ම වෙලා ඉන්න තරම ට යම් සිද්ධියකදි මුලින් ගැටලු සහගත වුණත් පස්සේ සමාජය අපි කවුද කියන එක වටහාගෙන කටයුතු කරන්න ඉගෙන ගන්නවා කියලා දැන් මං දන්නවා. ඒ මං මේ සිදුවීම ගැන හිතල හිතලා ම වටහාගෙන, හිත බයවෙන අවස්ථා වලට “අනේ මගේ මොකද“ කියලා කටයුතු කරන්න පුරුදු වුණු නිසා. එහෙම පුරුදු වෙන්න මට පුලුවන් වුණු නිසා. එහෙම නොවී තැවි තැවී ඉන්න අය ඕනෑතරම් මේ සමාජයේ ඇති.
ගිය සතියේ මගේ යාලුවෙක් මගේ දුවගේ වයසේ එයාගේ පුතාට ‘බ්‍රහ්ම දණ්ඩය‘ පනවන හැටි කිව්වහ ම මට ආයෙත් මේ සිද්ධි මතක් වුණා. එයා කිව්වා, ‘අපේ පුතා හරි බයයි මං කතා නොකර ඉන්නවාට, එහෙම කළාට පස්සේ ඒ වැරැද්ද ආයේ කවදාවත් කරන්නේ නැහැ‘ කියලා. මං ඉක්මනින් මගේ ළමා කාලේ මගේ හිතට වෙච්චි දේ එයාට පැහැදිලි කරලා දුන්නා. මං කියන දේවල් හරි කියලා එයාගේ පුතාගේ හැසිරිීමත් එක්ක සංසන්දනය කර කර එයා පිළිගත්තා.
ඉතිං ළමයින්ට ගුටි පාරක් දීම ගැන විවිධ අදහස් සමාජයේ තිබුණත්, මගේ අදහස ‘බ්‍රහ්ම දණ්ඩය‘ට යටත්වීමට වඩා ගුටියක් කෑම දාහෙන් සම්පතක් බවයි.
*****
පසු ලිවීම
විශ්ව විද්‍යාල සිසුන් නොයෙකුත් අරගල කරමින් පාරේ පෙළපාලි යද්දි එක් එක් පාර්ශ්ව වලින් පහර ලබන හැටි අපි අත්දැක තියෙනවා. මට පුදුමයි ගෙදරදි, පාසලේදී ගුටියක් නොකා හැදුණු හමකට ඒවා කොහොම දැනෙනවා ඇතිද කියලා? ඒ හිතක් ඒවා කොහොම පිළිගන්නවා ඇතිද කියලා? තමන් අතින් යම් වරදක් වුණා හෝ නොවුණා ඒක අනෙක් පාර්ශ්වය දුටු ආකාරය අනුව කෑ පහරක් ලෙස ගෙන අනෙක්වර ගතයුතු වඩා නිවරද ක්‍රියා මාර්ග ගනියිද? නැත්නම් වෛරී සිතුවිලි වර්ධනය කරගෙන මොන අතක යාද?
*****
පසු පසු ලිවීම
බ්‍රහ්ම දණ්ඩය
යම්කිසි භිකෂුන් වහන්සේ නමක අතින් එක ම ඇවැත කිහිපවර සිදුවන විට විහාරවාසී අනෙක් භික්ෂූන් වහන්සේ, උන්වහන්සේ සමග කලකට කතාබහ අත්හැරීම. මෙය බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද්දක් බව පැවසේ.
*****
පසු පසු පසු ලිවීම
මේ වචන ටික කියවලා සුමිත් කලණසිරි ලබා දී තිබුණු ඇමිණුමත් කියලා බලන්න වටිනවා
***************************************
මෙය ප්‍රථම පුරුෂයට දමා අහවල් අහවල් අයට මෙහෙම වෙලා තිබෙනවා කියා ලියන්නත් මට පුලුවන්කම තිබුණා. ඒත් මං ඇත්ත ඇති සැටියෙන් ලිව්වේ ඒ හැඟීම පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නැති නිසාමයි. මේ ලිපියෙන් මගේ අම්මාට අපහාසයක් නොවන බව කියවන බුද්ධිමත් ඔබට වැටහෙනවා නේද? අම්මා, අම්මාට හැකි උපරිම අයුරින් අපව යහපත් පුරවැසියන් කරන්නට ගිය ගමනේදි අම්මාත් නොදුටු දෙයක් තමයි මේ. ඈ ඒ බව වටහාගත්තා නම් කිසිදිනෙක නැවත එය නොකරන වග මට විශ්වාසයි.
බ්‍රහ්ම දන්ඩනයෙන් පාලනය කරන්න පුලුවන් සීමාවක් තියනවා... මමත් ඉස්සර ඕක පුතාට දඩුවමක් හැටියට දුන්නා... මුලදි මුලදි ඒකට බය වෙච්ච පුතා පස්සේ නොතකා හැරියා...
ReplyDeleteදඩුවම් නොදී ළමයි හදන එකනම් ඔවුන්ට කරන බරපතල වරදක්..
පිරිමි ළමයින්ට ඒ හැටි මේක බලපාන්නේ නැතිව ඇති.
Deleteපුංචි කාලේ අම්මා තාත්තාගෙන් දඬුවම් විඳලා ලොකු මහත් වෙච්චි අයමනේ කියන්නේ දඬුවම් කිරීම බරපතල වරදක් කියලා අයියෝ.
බ්‍රහ්ම දණ්ඩනය බලපානුයේ දෙවි ගැන විශ්වාසයක් නැති වුන්ටයි.
ReplyDeleteදෙවි අදහන්නන්ට මෙසේ සිතාගත හැකියි.
(මේ වාක්‍ය උපුටා ගනත්තේ යෙහෙව්වා පොතකින්)
"මාගේ හිතවතුන් හා ඥාතීන් මා හැර ගියහ, එහෙත් (යෙහෝවා) දෙවි මා තනි නොකලේය."
පොඩි උන් දන්න දෙවි ලා... ලොකු උන්ට උනත් තමන්ගේ ළඟින්ම හිටපු කෙනෙක් එක පාර කතා නොකර හිටියම බොක්කටම වදිනවා... දෙවිලා දාහක් ළඟින් හිටියත්...
Deleteයොහෝවාත් බ්‍රහ්ම දණ්ඩය දන්නවා නේද එහෙනම්!
Deleteමෙන්න රවී ගේ බ්ලොගයට ෆේස්බුක් රීසයික්ලින්කාරියක් ඇවිත්.
ReplyDeleteමේකනේ ඊයේ මේක ලියලා බලද්දි රවී මහත්මයා පෝස්ට් එකක් දාලා. ඉතිං මං එෆ් බී දාලා, අද මේක පෝස්ට් වෙන්න හදලා තිබ්බා
Deleteළමයින්ට නම් නෙමෙයි (ළමයි තාම නැහැනෙ ) අනිත් අය වෙනුවෙන් නම් මේක පාවිච්චි කරන වෙලාවල් තියනව.මේක කියවපු එකෙන් අනාගතේදි වෙන්න තිබුණු වැරැද්දක් නිවරදි වුනා කියල හිතනව. ස්තූතිය !
ReplyDeleteබුදු හාමුදුරුවොත් මේක පනවලා තියෙන්නේ වැඩිහිටියන්ටනේ.
Deleteඔබටත් ස්තුතියි
පින් ඇති මවක් ලබනට වාසනා ඇතී
ReplyDeleteමින් වැටහෙනා පාඩම වටිනවා නිතී
දුන් දඬුවමෙන් වරදක් සිදුවෙන්නෙ නැතී
රන්දිල් කියන්නේ කවුදැයි දන්නෙ නැතී.....
ජයවේවා!!!
පින් ඇති මවක් ලැබුවා වාසනා ඇතී
Deleteපින් ඇති දුවක් වූවා වාසනා ඇතී
සැමියාගේ නමත් වාසනා වෙලා ඇති
අහෝ දුකකි! මෙතුමා රන්දිල් දන්නේ නැතී
:)
අහෝ දුක් නොවී සතුටින් සිටින්නේ
Deleteසහෝදරියගේ කවියත් රහයිනේ
බොහෝ සිතූ පසු නිකමට අහන්නේ
සහෝදරී රවි හාමිද කියන්නේ.......
ජයවේවා!!!
දුමින්ද,
Deleteරන්දිල් යනු නිදහස් සිතුවිලි වියුණුවේ සමාරම්භක හිමිකාරියයි. ඇය සහ මම කලකට පෙර එකම ආයතනයක සේවය කළෙමු. එසේම මම එම ආයතනයෙන් ඉවත්ව කලක් ගතවූ පසු ඇගේ ආරාධනය පරිදි නිදහස් සිතුවිලි වියුණුවේ හවුල් කරුවකු ලෙස ලියන්නට එක් වූයෙමි.
රවී...
Deleteපිළිතුරට ස්තූතියි. ඒ වගේම රවීගෙනුත් රන්දිල්ගෙනුත් සමාව ඉල්ලනවා මගේ වැරදි නිගමනයෙන් දෙන්නම අපහසුතාවෙට පත්වුණානම්.
ජයවේවා!!!
දුමින්ද ඔබ තනි නැත. මමද මීට වසර ගනනාවකට පෙර ඔය ප්‍රශ්ණයම අසා නාගත්තෙමි. සමාවද ගත්තෙමි. මේ ප්‍රශ්ණය අසන පළමු හෝ අවසාන පුද්ගලයා දුමින්ද හෝ මා නොවේ. ඒත් දැනට අවසාන පුද්ගලයා දුමින්දය. :D
Deleteදුමී,
Deleteවරදවා වටහාගැන්මක් වෙනුවෙන් සමාව ඉල්ලීමක් කිසිසේත්ම අවශ්‍ය නොවේ.එසේම රන්දිල් සහ මම කිසිසේත්ම අපහසුතාවටද පත්නොවූයෙමු....:)
Dude,
Delete/මමද මීට වසර ගනනාවකට පෙර ඔය ප්‍රශ්ණයම අසා නාගත්තෙමි./
එය කිසිසේත්ම නාගැනීමක් නොවේ.නා ගැනීම යනු තම පාණ්ඩිත්වය පෙන්වීමට ගොස් උපහාසයට ලක්වීමක් හෝ නොදන්නාදේ ගැන හොඳින් දන්නාමෙන් කතාකිරීමට ගොස් අපහසුතාවයට පත්වීමකි. ඔබ එසේ නොකල බවට සැකයක් නැත.
"එසේම රන්දිල් සහ මම කිසිසේත්ම අපහසුතාවටද පත්නොවූයෙමු"
Deleteචැහ්.... මුන්ව අපහසුතාවයට පත් කොරන්න ක්‍රමයක් කල්පනා කරහල්ලකෝ... :D
පුරුද්දට පටලවා ගන්නවා නෙමෙයිනේ. කිසිඳු අපහසුවක් වූයේ නැත. නවම් මාවත මහතා 2011 අවුරුද්දේ දුෂාන් අයියලාගේ පැදුරු පාටියේදි සැමිතුමාට රවී කියලා අතට අතත් දුන්නු කොට :D
Deleteමෙන්න රන්දිකා ඇහැරිලා...
ReplyDeleteඅපි ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්නකොට බ්‍රහ්ම දණ්ඩය පාවිච්චි කලා සමහර යාළුවන්ගෙ වැරැදිවලට දඬුවම් කරන්ට. හැබැයි මේක සිද්දවුනේ තනි මතයට නෙවෙයි. ඩෝම් එකේ බහුතර මතයට අනුව, බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව.
අඩේ උඹ ඉස්කෝලෙත් ගිහින් තියනවා එතකොට ඈ.....? හරි පුදුම ජනකයි..! :D
DeleteI was born intelligent, but education ruined me! :-D
Deleteමට හිතුනා, මට හිතුනා ඉස්කෝලෙ නොගියනම් උඹ ඔයිට වැඩිය බොහොම ලොකු තැනක ඉන්න තිබුනා... :D
Deleteපිටස්තර පුද්ගලයින්ගේ බ්‍රහ්ම දණ්ඩ වලින් හැදෙනවා. ගෙදර අය බ්‍රහ්ම දණ්ඩ පැනෙව්වහම රිදෙනවා.
Delete//ඒ වැඩිහිටියෝ මැද පැනලා උත්තර දීපූ වෙලාවක්//
Deleteබුර් සහ සෙන්නා ඉන්නව. මං එහෙනම් කමෙන්ට් නොකර ඉන්නම්
වැඩිහිටියන්ට ගරු කරන හොඳ දරුවෝ! :)
Deleteමට හිතුන අයිතිකාරි මෙතනට බැහැල ඇතියි කියල. අර මනුස්සයනං මෙහෙම එකක් ලියන්නෙ නෑනෙ. හැක්..
ReplyDeleteඅපිත් ඉස්කෝලෙදි ඔය වගේ පන්තියෙ එකෙකුට ඔය දඬුවම දීල තියෙනව.
ප්‍රසා කියන්ට හැදුවෙ "අර මනුස්සයා නං මෙහෙම වැදගත් දෙයක් ලියන්නෙ නෑ නෙ" කියලා නේ ද? ;-)
Deleteඅර මනුස්සයා ම ඇවිත් උත්තර දුන්නාවේ
Deleteබුරා, අන්නේක තමයි කියන්න හැදුවෙ. ඒත් ඉතිං කොච්චර උනත් කනට ගහනව වගේ කියල දාන එක හරි නෑනෙ. හැක්..
Deleteප්‍රසා සහ බූරා,
Delete/ප්‍රසා කියන්ට හැදුවෙ "අර මනුස්සයා නං මෙහෙම වැදගත් දෙයක් ලියන්නෙ නෑ නෙ" කියලා නේ ද?/
මල්ලිලා සිරා දේවල් ලියන්ට ඕන හැටිය ඉන්නවනෙ ඒ ඒ විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතුන් ඉහේ කෙස් ගානට.
ඒ හින්ද මම කල්පනා කලා ඔය මෙලෝ යකෙකුට වැඩක් නැති සම්ප්‍රප්පලාප ටිකක් ලියමුය කියල. ඒක තමයි මගේ අඤඤ්ඤතාවය...තේරුණා නේද? යූ අන්ඩර්ස්කර්ට්?
ස්කොලේ යන කාලේ පන්තියේ එකෙකුට දුන්නා බ්‍රග්ම දණ්ඩනය ..ඌ ට ඒක කොච්චර වැදුනද කියනවනම් ආයි අපේ බෑග් අවුස්සුවේම නෑ
ReplyDeleteශිෂ්‍ය නයකයෙක්ද? :D
Deleteමාත් ඔය බ්‍රහ්ම දණ්ඩෙ වින්දා පොඩි කාලෙ ඉඳන්ම...මගෙ අම්මා බොහොම තදින් අපිව හැසිරෙව්වා..එදා ඒක දැනුනෙ වැරදියට,...අද ඒකෙ අගය හොඳින්ම දැනෙනවා...මාත් කාලයක් බ්‍රහ්ම දණ්ඩෙන් වැඩගත්තා...ඒත් මටත් පසුව හිතුණා...ගොඩක්ම නැතත්..ලාවට වගේ ඒකෙ සැර අඩු කරලා පාවිච්චි කල යුතුයි කියලා....මගෙ ඉලන්දාරි දෙන්නා දැන් ගුටියක් දීලා හදන්න පුලුවන් වයසකුත් නෙවෙයි නෙ...
ReplyDeleteහම්මේ මට හිතා ගන්න පුලුවන් ඉලංදාරි දෙන්නාට පාන බැල්ම මොන වගේ ඇතිද කියලා :D
Deleteබුරක්ම දණ්ඩෙ ගැන මගේ අත්දැකීම් පෝස්ට් එකකින්ම ලියඤ්ඤංකො..හොඳේ?...:)
ReplyDeleteආන් හොඳයි. :)
Deleteබ්‍රහ්ම දණ්ඩනේ සංවේදී ළමයෙකුට ගැලපෙන්නේ නෑ, සහතික ඇත්ත. කුණුහරුප නොවුනත්, සමහර වචන වලින් ළමයින්ට බනින එකත් සුදුසු නැති වෙන්න පුළුවන්. පොඩි පොඩි සිද්ධි වලට අම්මා මට ආත්මාර්ථකාමියා කියල බැනපු නිසා මම උත්සාහ කළේ පරාර්තකාමියෙක් වෙන්න, හැබැයි එකෙන් උනේ ජීවිතේ හැමදාම හැතැම්ම ගාණක් පස්සට යන එක විතරයි.
ReplyDeleteඅපේ අම්මා මට කාලකණ්නියා කිව්වා.. මම අද වෙලාවට වැඩ හෙහ් හෙහ්...
Deleteහරි සංකීර්ණයි. සමහර දරුණු දේවල් අමතක වෙනවා. ඒත් සමහර සුලු දේවල් දරුණුවට මතක තියෙන්න ඉඩ තියෙනවා.
Deleteමං දන්න යාලුෙවක්ට ඒයා ඒක්ක හිටපු අයත් බ්‍රහ්ම දණ්ඩනය දීලා තියනවා... වැරදි වැටහීමක් නිසා.. ඉතින් පස්ෙස ඒක හරිගිහින්. ඒත් අර කෙනාට මාස ගානක් බ්‍රහ්ම දණ්ඩනය ලැබුණු නිසා ඒ දවස්වල ගොඩක් මානසිකව වැටිලා... එයාා ඉන් පස්සේ හොඳම යාලුවෙක් කියලා කෙනෙක් ඇසුරු කරන්නෙ නෑ... කා එක්කහරි හිතවත්කමක් ඇති වෙනකොට එයාට කලින් සිද්ධි මතක් වෙනවලු..
ReplyDeleteනොහිතා කරන පුංචි පුංචි දේවල් නිසා අපි නොහිතන ලොකු දේවල් වෙන්න පුලුවන්...
මේක කියවනකොට පියාපත් ලැබුවෙමි කියන පොත මතක් උනා අක්කේ.. ඉංග්‍රීසි පරිවර්තනයක්... නම මතක නෑ...
වැදගත් සටහනක්...්
ඒක තමයි නංගි. හිතේ වලක් හෑරිලා වගේ. හරි අමාරුයි ඒක වහලා දාන්න. ඒත් උත්සහ කළොත් බැරි වෙන්නේ නැහැ. බ්‍රහ්ම දණ්ඩය මට දැනෙන්නේ කෙනෙක්ට වරදක් පහදලා දීමකට වඩා ඉතා තදබල ලෙස නොසලකා හැරීමක් ලෙසයි. "ඔයාව කවුද ගණං ගන්නේ? අනේ මේ සද්ද නැතිව පැත්තකට වෙලා ඉන්න" කියලා නොකියා කීමක් ලෙස.
Deleteමෙච්චර වචන තියෙද්දි, වචන වලින් පහදලා දෙන්න බැරිව, වචන රහිතව කරන දරුණු දඬුවමක් ලෙස.
පියාපත් ලැබුවෙමි හොයාගෙන කියවන්න ඕනෑ.
ළමයින්ට බ්‍රහ්ම දණ්ඩනය දෙන එක නරක බව මමත් හිතනවා...
ReplyDeleteඅපිත් අපේ පංතියේ හිටපු අනිත් උන් එක්ක වලියටම බර එකෙකුට ඔය දඬුවම දුන්නා...
ඌ ඒකෙන් හැදුනේ නැහැ, ඉස්කෝලෙන් අහක් වෙලා කාලෙකට පස්සේ හමුවෙන මිතුරු සාද හෝ වෙඩින් වලට පවා ඔහු සම්බන්ධ වෙන එකට අපි එච්චර කැමති නැහැ, ඒකට හේතුව හැම පාටියකින් පස්සෙම ඔහු කාට හෝ නිකරුණේ ගහන එක සහ ගහන්න පනින එක...
ඒ වගේ සමාජ විරෝධි, කාණ්ඩ විරෝධි හැසිරීමකට නම් මක් වෙනවද? ඒත් අවුරුදු 15කට අඩු වයස ළමයෙකුට ගෘහස්ත අත්වැරැද්දකට නම් සුදුසු නැහැ කියලා තමයි මාත් හිතන්නේ.
Deleteravi, pl check ur email
ReplyDelete///////අපි කාවවත් ආශ්‍රය කරද්දි එහෙම අමාරුවෙන් පරිස්සම් වෙවි ආශ්‍රය කරන එක අපේ හිතට වදයක්. //////////////
ReplyDeleteඅනේ අම්මපා සහතික ඇත්ත. මට වෙලාවකට හිතෙනවා ඊට වඩා හොඳයි රඟපාන එක කියලා.
අනේද කියන්නේ! ඒ වෙලාවට තමයි සේරම අමතක කරලා 'අනේ මට පාංදෑ!' කියලා ඉන්න වෙන්නේ
Deleteඕනෑම දණ්ඩනයක් එක සීමාවකින් එහාට නිෂ්පලයි.විශේෂයෙන්ම ළමයි ලොකු වෙන කොට බුද්ධියෙන් මුහුකුරා යනකොට දැනගන්න ඕන මේ දේ හරි,මේ දේ වැරදි කියලා.ඒ සඳහා වන මග පෙන්වීම ලැබෙන්න ඕන දෙමව්පියන්ගෙන්.
ReplyDeleteඒ නිෂ්ඵල වීම විටෙක දරුවාගේ බුද්ධිය මුහුකුරා ගොස් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීම නිසා වන්න පුලුවන්. නැත්නම් හිත තලාගෙන, මුරන්ඩු ස්වභාවයක් ඇති ව ඇතිවූවක් වෙන්න පුලුවන්. නැත්නම් කළකිරීමක් එක්ක ආ එකක් වෙන්නත් පුලුවන්. දඬුවම දෙන කෙනා පිළිබඳ අවසානයට හිතේ ඇතිවන චිත්‍රය පිළිබඳ කතාවක් තමයි මේක.
Deleteමගේ ලොකු උන් දෙන්නට දැන් අවුරුදු එකොළහයි හයයි. මම තාම දෙන්නගෙන් එකෙකුටවත් ගහලා නෑ.. මම කියල තියෙන්නේ මගෙන් ගුටිකාපු දවසට ඔක්කොම ඉවරයි කියල.. දැන් උන් දෙන්න වැරදි කරන්න බය 'අප්පච්චිගෙන් ගුටියක් කන්න' වෙයි කියල.. ඒ වගේම හැබැයි පොඩි පොඩි සිද්දි වලදී උන් මාව කෙයාර් කරන්නෙත් නෑ. දන්නවානේ අප්පච්චි ගහන්නේ නෑ කියල.. හැක්. මේක හිම සංකීර්ණ හෙවත් බොන්න ඕනි ප්‍රශ්නයක් අප්පා.. :))
ReplyDeleteඅපේ තාත්තාත් කවදාවත් අපිට ගහලා නැහැ. තාත්තා කියන්නේ ගහන්නේ නැති කෙනෙක්, ගුටි දෙන එක තාත්තාට අදාළ නැති දෙයක්, වගේ තමයි අපිටත් තේරිා තිබුණේ. වාසනා නම් වෙලාවක් ආවොත් ගහයි මං හිතන්නේ. ඒත් එහෙමට අවස්ථාවක් ආවේ නැහැ. එන්නත් එපා අයියෝ.
Deleteඅප්පච්චිලා, තාත්තලා, අප්පලා, ඩැඩාලාට ඉතිං මොනවද සංකීර්ණ නැත්තේ බොන්න ඕනෑ වුණාම. නැද්ද මං අහන්නේ? :D
ලිපියේ කියන්න අමතක වෙච්චි දෙයක්.
ReplyDeleteඔය දණ්ඩය පනවන අවස්ථාවේ අම්මා දුකින් හිටියා නම් සමහරවිට මේ විදිහට මට නොහිතෙන්න ඉඩ තිබුණා. ඒ වෙලාවට අම්මාගේ මූණේ තිබුණු විදුහල්පති පෙනුම, ඒකාධිකාරි පෙනුම, ගණං නොගන්නා බව පෙන්වන පෙනුම තමයි මගේ හිත අවුල් කළේ කියලා කියන්න පුලුවන්. අම්මා දුකින් හිටියා නම්, මගේ හිතත් අම්මා එක්කම දුක්වෙලා මගේ වරද හදාගන්න තැනට එන්න පහසු වෙන්න තිබුණා.