Sunday, March 26, 2017

135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...

අප දුටු/නුදුටු නෙළුම් යාය

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016, 2017 මාර්තු මස 25 වන සෙනසුරාදා වන ඊයේ දිනයේ අපගේ සිත් ඇදගන්නාසුලු ආකාරයට පවත්වනට කටයුතු යොදා තිබුණා.



අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ වගේ ම මෙම උත්සවයේ ඒ අංශය ගැනත් සොයා බැලීමක් මගෙන් වන්නේ නැහැ ඔන්න! හැබැයි එකක්!, රජයේ වැඩක් නොවන නිසා, ඒ සංවිධායකයින් තමන්ට කැමති කෙනෙකු ගෙන්වා, තමන්ට කැමති තැනක උත්සවය පවත්වා, කැමති වියදමක් දැරීම ගැන ඒ හැටි දෙයක් හිතන්න නැති බවයි රන්දිල්ගේ හැඟීම.

නොකඩවා තෙවැනි වරටත් සංවිධානය කෙරුණු එහි, අංශ දෙකක් යටතේ අපගේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය ද නාම යෝජනා වී තිබෙන බව දින කිහිපයකට උඩදි අපට දැනුම් දුන්නේ, උත්සවයට පෙරත් උත්සවය පුරාමත් නොසෑහෙන වෙහෙසක් දරා කටයුතු කළ අපේ සුමිතුරු සුමිත් කළණසිරි විසින්. ඔහුගේ කැපවීම, උනන්දුව මේ අවුරුදු තුන පුරාම අපි හොඳින් ම අත්දැක්ක දෙයක්. (නැතිව බැහැනේ ඩොලර් කුට්ටිලු ලැබෙන්නේ :D )

ඉතිං මාත් මගේ මුලු පවුලමත් ලෙසින් අපි ඒ උත්සවයට සහභාගි වුණා. උත්සවයක් වුණාම එහි උත්කර්ෂවත් බවක් තිබීම සහභාගි වන්නන්ගේ සිත සතුටු කරවන්නක්. ඊයේ උත්සවයේ උත්කර්ෂවත් බවින් පැමිණි සිටි බොහෝ දෙනෙකු සතුටු වූ බව ඔවුන්ගේ අදහස් වලින් අපි දැන ගත්තා.

ආරම්භක දේශනය කරපු මහින්ද දේශප්‍රිය මහත්මයා ඉතාමත් තර්කානුකූලව, මාතෘකාවට ආදාළව වැදගත් කාරණා බොහොමයක් අප ඉදිරියේ ගෙන හැර පෑවා. කරු මහත්මයාගේත් රාජිත මහත්මයාගෙත් කතා තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳවත්, ඖෂධ පනත පිළිබඳවත් මූලික කරගනිමින් දිව ගියා.




නාලක මහත්මයාගේ කතාව කවදත් වගේ අපි වෙනුවෙන්ම කරපු, වැදගත් කතාවක් වුණා. අන්තර්ජාල පිවිසුම් වෙනුවෙන් ගෙවන්න වී ඇති අධික බදු පිළිබඳ ව දේශපාලකයින් දෙදෙනා ඉදිරිපිට කරුණු ඉදිරිපත් කිරීම ම වැදගත් දෙයක්. අපි මේ රට ගැන, රටේ ක්‍රියාත්මක වන දේවල් ගැන දරණ අදහස් ඔවුන්ට දනවන්නට මෙවැනි අවස්ථා හොඳ වේදිකාවක් කරගැනීමට අපට හැකියාව තිබෙද්දි දේශපාලකයින් කැඳවීම පිළිබඳ ව නොරොක් වීම ඵලක් නැති දෙයක් හැටියටයි මට හිතෙන්නේ.

දේශන අතරතුරේ විවිධ අංශ යටතේ සම්මාන බෙදා දීම සිදු කෙරුණා. උත්සවයට පෙර සිට ම සුමිත් හා ලක්මාල් (අටම්) සම්මානලාභීන් සම්බන්ධ කරගනිමින් මනා වූ ජාලයක් ගොඩ නගා ගනිමින් සිටි බව අපට දැනුනත් සම්මාන ලබා දෙන අවස්ථාවේ ඒවා ලබා ගන්න කිහිප දෙනෙකුට එන්න බැරි වී තිබුණා පමණක් නොව ඒ වෙනුවෙන් සහෘදයකු නම් කරන්නට පවා ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ. එය සංවිධායකයින්, සම්මාන ප්‍රදානය කරන්නට වේදිකාවට පිවිස සිටි ආරාධිතයින් හා අනෙකුත් පිරිස යම් පමණකට අපහසුතාවට පත් කළ කාරණයක් වුණා. 

විටින් විට දැනුම්දුන් පරිදි ඔබට සම්මාන පිළිබඳ පිරියක් නොවේ නම් කලින් ම දැනුම් දීමේ පහසුකම තිබුණා. නැතහොත් වෙනත් කෙනෙකු නම් කර එය ඒ අවස්ථාවේ ලබා ගැනීමේ අවස්ථාව උදාකර තිබුණා. මොන හේතුව නිසා හෝ කිහිප දෙනෙකු ම ඒ අවස්ථාව අහිමිකරගෙන තිබුණු අතර ජීවන ප්‍රනාන්දු සහෝදරයා ඉදිරි පෙළ අසුනක සිට ඒ බොහෝ සම්මාන ලබා ගැනීමට ඉදිරිපත් වී අවස්ථාවේ වූ කඨෝර බව සමනය කළ බව කිව යුතුයි. (ඔහු ඒ බර ඔසවාගෙන ගෙදර ගියේ කෙසේ දැයි පසුව අසා දැනගත යුතුය)

අපි මචං කණ්ඩායම, ජනයි ප්‍රියයි දෙදෙනා, ඔපෙරා නාට‍්‍යය, වේදිකා නාට්‍යය හා භාරත නර්තනය ආදී වූ විවිධාංග මැදින් උත්සවය දිව ගියා. සමහර අංග දිගු වැඩි වූ බවත් අවස්ථාවට නොගැලපෙන බවත් සමහර කෙනෙකුගේ අදහස වුණා. ඒ කතාවේ යම් සත්‍යයක් තිබුණා සේම, ‘සම්මාන ගන්න ආවා නං ඒවා අරගෙන යෑම‘ විනා එයින් එහාට නිස්කාංසුවේ වාඩි වී අනෙකුත් අංග රසවිඳීමේ නුහුරු ගතියත් ඒ අදහස් දැක්වීමට හේතුවන්නත් ඉඩ නැතිවා ම නෙමෙයි.



ඇත්තටම හවස 2 පමණ සිට රාත්‍රි 8 වනවිටත් කෑමට බීමට යමක් නොලබා සිටීම අපහසුකාරී දෙයක්. අතරමැද විවේක කාලයක් යෝජනා කරන්නටද අපහසුවන්නේ කෑමෙන් බීමෙන් පසු සතා සරුපයාවත් රඳන්නේ නැතැයි යන කියමන අකුරට ම ඉෂ්ට කරන පිරිසක් ද සිටින නිසයි. :D මී ලඟ වර උත්සවය සංවිධානය කිරීමේ දී මේ කාරණා ගැන සංවිධායකයින් අවධානය යොමු කරනු ඇතැයි අපට සිතේ.

බ්ලුක්ස් (බ්ලොග් වලින් ආ බුක්ස්-පොත්) සඳහා අළෙවි ස්ථානයක් සුදානම් කර තිබෙන බවක් පෙර සිටම දැනුවත් වී සිටියත් එම ස්ථානයට පොත් බර ඔසවාගෙන ගිය පසු එවැන්නක් නැති බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වුනු බෝධිනි සමරතුංග (අනිත්කොන බ්ලොග් අඩවිය) හා තරුරසි ප්‍රනාන්දු (තරුරසි බ්ලොග් අඩවිය) යන අේ මිතුරියන් ඒ සඳහා තැනක් සූදානම් කරගෙන පොත් සියල්ල ස්ථානගත කොට මුලු කාලය පුරා ම එම කාර්යය කරගෙන යෑමට උර දුන්නා. අප හැමට ම අමතක වූ කාරණය නම් නිවේදක කටයුතු කළ දෙදෙනා අතින් ඒ පිළිබඳ ව සභාව දැනුවත් කිරීමයි. එයින් බොහෝ දෙනෙකු බ්ලුක්ස් තිබූ බව නොදැන පිටව ගිය බව පසුව දැනගන්නට ලැබුණා.




නාලක ගුනවර්ධනයින් ගිය වරත් මේ වරත් පැවසූ පරිදි බ්ලොග් අවකාශය යනු ‘ගරුසරු නැති තැනකි‘. ඉතිං අපි ඒ වචනයට ගරු කරන්නත් එැපැයි. නැද්ද මං අහන්නේ! ඒ නිසා සභාව පැවැත්වීගෙන යද්දී ම රාජිත ආමාත්‍යවරයාට විවර කළ කෑම මේසය දිගට ම විවර ව පවත්වාගෙන ගොස් එය හිස් කිරීමට උදව් දීමට සෑම දෙනාම පාහේ එකාවන් ව පෙළ ගැසුණා. :D රසවත් කෙටි කෑම මාලාවකින්, පළතුරු සලාද වලින්, මෘදු බීම හා තේ පැන් වලින් සමන්විත වූ ඒ සංග්‍රහය අප සියලු දෙනා ම කිසිඳු අවලාදයකින් තොරව රසවිඳි බව සටහන් කළ යුතු වනවා. (තව ලස්සන ලස්සන පිංතූර තිබුණත් මගේ පිංතූරයෙන් විතරක් සෑහීමට පත්වන්නට මට සිදු වනවා :D )




පරිවර්තන අංශය වෙනුවෙන් යෝජනා වී තිබූ මගේ ලිපිය ඒ අං‍ශයෙන් තෙවන ස්ථානය ලබා සම්මානයට පාත්‍ර වූ අතර අපේ සුමිතුරු, සදාදරණීය බ්ලොග් රචක, මගේ බ්ලොග් සහකරු රවී වීරසිංහ වසරේ බ්ලොග්කරු ලෙස අබිසෙස් ලැබුවා. කවදත් වගේ ඒ සම්මානයත් මගේ දෑතින් ලබා ගැනීමට මම වාසනාවන්ත වුණා. ඒ වගේ ම මා සම්මාන ලබා ගන්නා දර්ශන ඊයේ දිනයේ හිරු ටීවි රාත්‍රි 9 30 ප්‍රවෘත්ති විකාශනයෙන් රටට ම පෙන්වීම නිසා මගේ දුරකථනය හා අනෙකුත් පණිවුඩ මාර්ග අවිවේකි කරන තරමට සුභ පැතුම් ලබන්නට මා වාසනාවන්ත වුණා.



ඉතිං සමස්තයක් ලෙස ගත්තහම රන්දිල්ගේ හා ඇගේ මිතුරියන්ගේ අදහස මේ සම්මාන උළෙල ඉතාමත් හොඳ මට්ටමක තිබුණු බවයි. මේ සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳ ව අජිත් ධර්මකීර්ති, සුමිත් කළණසිරි හා ලක්මාල් කන්දෙවිදාන යන සොයුරුන්ට අපගේ ස්තුතිය හිමිවිය යුතුවා සේම එයට අමතරව මේ කටයුත්තට උරදෙන, මා නමින් නොදන්නා සියලු දෙනාටඒ ස්තූතිය නොඅඩුවම හිමිවනවා.



කාන්තාවන් හැටියට ආටෝපයට සාටෝපයට කැමති අපට ලස්සන ලස්සන පිංතූර සෑහෙන ප්‍රමාණයක් ගන්නත් මෙය හොඳ අවස්ථාවක් වුණා. (හැබැයි ඉතිං හැම උත්සවයක් අවසානයේදී ම ‘අනේ අහවල් අයත් එක්ක පිංතූරයක් ගන්න බැරි වුණා නේද?‘ යනුවෙන් ඉතිරි වන සිතුවිලි නම් නොඅඩුව ඉතිරි වෙලා තියෙනවා) අපි මිතුරු මිතුරියන් හමු වී කතාබස් කොට විනෝදයක් ලැබුවා. මෙතෙක් නොදුටු අය දැක හඳුනා ගත්තා. ඉතිං තව වෙන මොනවද? 



.........................................................................
 
රන්දිල් නෝනා මහත්මිය (ග.ක.) විසින් ලියන ලද නෙළුම්යාය සම්මාන උළෙල පිළිබඳ ඉහත සටහනට එකතුකරනු ලබන මගේ අදහස් දැක්වීමයි මේ........

ඊයේ පැවැත්වුනු නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වන්නට නොලැබීම මගේ ජීවිතේ ඉතාම කණගාටුදායක අවස්ථාවක්. අපි හැමෝගෙම ජීවිතවල වගේම මගේ ජීවිතෙත් එහෙම කණගාටුදායක අවස්ථාවන් කීපයක් තියනව. ඉතිං නිසැකවම ඊයෙ එයින් එකක්....

මක්කෙයි කොරන්නෙ? එහෙම තමයි ජීවිතේ හැටි...

ඉතිං ඉස්සෙල්ලාම නමෝ විත්තියෙන්ම හා හාපුරා කියල රන්දිල්ට ස්තූති කරලා ඉන්න ඕනමයි...

"මිස්ටර් රවී...මගෙ බ්ලොග් එකේ ලියන්නකො ඔය කතන්දර..."

2010 අවුරුද්දෙ මුල කාලෙ වගෙ දවසක චැට් එකකදි රන්දිල් එහෙම කිව්වෙ අපි දෙන්න කාලයක් එකට වැඩ කරපු කොම්පැණියෙ වෙච්චි අපූරු සිද්ධියක් මම ඇයට කිව්වට පස්සෙ. 

ඒ කතාව මම තවම ලිව්වෙ නෑ. ඒක මේ රෙජී රණතුංග මහත්මය මතකයි නේද? අන්න ඒ මහත්මයගෙ මරණය හා සම්බන්ධ කථාවක්...

මම ඒ වෙලාවෙ කිව්වෙ "පිස්සුද ළමයො. ඔය වගෙ මේ එලොවටත් නැති මෙලොවටත් නැති කතන්දර වලින් කාටද වැඩක් තියෙන්නෙ? ඔව්ව හොඳයි ඔය පොඩි ආතල් එකක් ගන්න වෙලාවට කියන්ට..අනික ඒ වගෙ එව්ව උනත් ඕනනම් බ්ලොග් පෝස්ට් දහයක් ලියන්ට තියෙයි. එච්චර තමයි" අන්න එහෙම......... 

ඒ වෙලාවෙ රන්දිල් කිව්ව "හරි,හරි... ඒ පෝස්ට් දහය හරි කමක් නෑ ලියන්නකො ඔන්න මම ඔයාව ඇඩ් කරනව බ්ලොග් එකට" කියල. 

ඒ පාර ඉතිං මොනව කරන්නද? "හා..හා..ඉතිං ඕන කෙහෙල්මලක්...ලියන්නම්කො බලන්න මොනවහරි" කියල මාත් හාංය කිව්ව. නැත්තං ආය මේකෙ වසන්ටය කණක් ඇහිල?

ඉතිං කොහොමින් කොහොමින් හරි ඔන්න ඔයාකාරයෙනුයි මම නිදහස් සිතුවිලි බ්ලොග් එකේ පාට්නර් කෙනෙක්, නොහොත් කෝ-රයිටර් කෙනෙක් විදිහට පත්වීම් ලැබුවෙ. ඒ 2010 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ...අවුරුදු හයහමාරකට වගෙ ඉස්සර...බලාගෙන යනකොට එච්චර කාලෙකුත් නෙවෙයි. අනික් අතට සෑහෙන කාලයකුත් තමයි...

හැබැයි ඉතිං එකක් තියෙන්නෙ ලියන්ට දේවල් නැතිය කියල හිතුවට ලියන්ට ගියාම තමයි තේරුනෙ දෙයියෝ සාලෙ..කොච්චරක් නම් දේවල් තියනවද ලියන්ට කියල. විශේෂයෙන්ම මේ ඉර හඳ තරු යට, මහ පොළවෙ පය ගහල අඩ සියවසකට අධික කාලයක් ජීවත් වෙච්චි කෙනෙකුට කොයිතරම් නම් අත්දැකීම් තියනවද බෙදා හදා ගන්ට කියල මට සක්සුදක්සේ, අතැඹුලක්සේ පැහැදිලි වුනේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන කී බෝඩ් එකට කොටන්ට ගත්තට පස්සෙ.

හරි වැඩි විස්තර ඕන නෑ.අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු වැල්වටාරං කියවපු, එව්වට කමෙන්ට් කරපු ඔබ තමුන්නාන්සෙලා දන්නව ඇතිනෙ ඒ විස්තර මට වඩා හොඳට. හරි එහෙනම් මේ අවස්ථාවෙ මගේ පාඨක ජනතාව වන ඔබ තමුන්නාන්සේලා හැමෝටම මගේ ගෞරවාදර භක්ති පූර්වක, සාතිශය ස්තූතිය පිරිනමමි!

මේ වෙලාවෙ අනිවාර්යයෙන්ම ස්තූති කරන්ට ඕන දැනට බ්ලොග් නොලියන අංගනාවියන් කීපදෙනෙකුට. 

එක පොඩි කුමාරිහාමි. ඒ යෝදිගෙ බ්ලොග් එකේ මාගල් වගෙ කමෙන්ට් ලියල තමයි මම දැනගත්තෙ යකෝ මටත් මොන මොනවහරි ලියන්ට පුලුවන් නේද කියල. 

ඊට පස්සෙ මායි අපේ තව දිගැසියන් කීප දෙනෙකුයි එකතුවෙලා අන්දර මල් දම කියල සාමූහික බ්ලොග් එකකුත් ලිව්ව. ඒක දැනට නැවතිලා තියෙන්නෙ. අන්න ඒ මල්දමේ කට්ටියටත් ස්තූති කරන්ට අවශ්‍යමයි.

ඊලඟට නෙළුම්යාය සම්මාන උළෙල සංවිධායක මණ්ඩලයට. බ්ලොග් වලට සම්බන්ධ අයගෙන් ම දන්නෙ අජිත්, කළ්‍යාණ, තරුරසී සහ අටම් ගැන විතරයි...Thanks My Friends!

පලි - මම මගෙ ජීවිතේට ප්‍රසිද්ධ වේදිකාවකට නැඟල දේශපාලනඥයෙක්ගෙන් තෑග්ගක් අරගෙන තියෙන්නෙ එකම පාරයි. ඒ 1974 අවුරුද්දෙ කෑගල්ල නගර සභා ශාලාවෙදි. 

1972 මැයි 22 වෙනිද ඒ කාලෙ තිබ්බ සමගි පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් සහමුලින්ම වෙන්වුනු ජනරජයක් කියල ප්‍රකාශයට පත් කලානෙ.ඊට පස්සෙ දිගටම හැම අවුරුද්දෙම මැයි 22 වෙනිද ජනරජදින සැමරුම් උත්සව පවත්වාගෙන ආවා රාජ්‍යානුග්‍රහයෙන්. ඒ වෙනුවෙන් පාඨශාලාන්තර නැටුම්, ගැයුම්, වාදන තරඟ පැවැත්වුනා. 

74 අවුරුද්දෙ නැටුම් අංශයෙන් පළවෙනි ස්ථානය ලැබුනෙ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට. ඒ නැටුම් කණ්ඩායමේ මමත් හිටිය දෙවෙනි පෙළේ. අපි නැටුවෙ ගජගා වන්නම....."දෙව්පූර ඇතේකී..කුඹු දහසයකී..දිගදළ ආටකී..සත් ගෑබකී.." අන්න එහෙමයි ගජගා වන්නම. ඔය කියන්නෙ සක්කර ගොයියගෙ ඇතා ගැන. ඓරාවණ ඒ ඇතාගෙ නම.......

ඉතිං අපිට තෑගි දුන්නෙ ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී, නාවික සහ සංචාරක ඇමති පී.බී.ජී. කළුගල්ල මහත්මය. අපි නැටුම් කණ්ඩායමම (දොළහක්ද කොහෙද හිටිය මට මතක විදිහට) ස්ටේජ් එකට එකපාර ගිහිල්ල සහතිකපත් ගත්ත. 

ඉතිං මට කියන්න තියෙන්නෙ ඊයෙ රන්දිල් නෙළුම්යාය වේදිකාවට නැඟල කරු ජයසූරිය මැතිතුමා අතින් තෑග්ග ගත්තට ඒ වෙලාවෙ ඔබ තමුන්නාන්සේලා සියළු දෙනාම ඒ කියන්නෙ මේ අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු දේවල් කියවල, ඒ ගැන කමෙන්ට් කරල, විවේචනය කරල, ප්‍රශංසා කරල, අනේක අයුරින් මාව දිරිමත් කරපු මගේ සහෘදයින් සහ සහෘදිනියන් හැමෝම රන්දිල් එක්ක වේදිකාවට නැග්ග කියලයි මම හිතන්නෙ...එපමණයි!!!

Thanks Again All Of You!!!

117 comments:

  1. ලේඛකයෙකුට එකම නිර්මාණයකින්, දැනුම, සාහිත්‍යය, ප්‍රහසනය, දේශපාලනය, කලින් සිදුවීම් ආදී සියල්ල එකවර ඉදිරිපත් කල හැකිනම්.. එසේම එකම ලේඛකයෙකුට මේ හැම ආකාරයේම ලිපි එකම පරිචයකින් ලිවීමට හැකිනම්.. ඇත්තටම එය අපුරුම හැකියාවකි. ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල මෙවැනි බ්ලොග් රචකයින් ඉතා සීමිත පිරිසක් වෙති. ඒ සැවොම අපේ බ්ලොග් අවකාශය දැනුමෙන් විනෝදයෙන් පුළුල් කිරීමට සිය ධනය, ශ්‍රමය හා කාලය නොමසුරුව කැප කරති. එසේම සිය සහෝදර බ්ලොග් රචක රචිකාවියන් ගේ නිර්මාණ අගය කරමින් ඒ සඳහා උපදෙස් දෙමින් හා ඒවා තුල වටිනා සංවාද මතුකරමින් පෙරගමනේ යෙදෙති. මේ අතර ඔහු.. ඔහු විශිෂ්ටය. ඔහුගේ රචනා තුල කියවන සැමට යමක් තිබේ.. ඒවා විවිධය.. ඒ සමඟම එහි බොහෝ දැනුම අඩංගු වේ. ඕනෑම කාරණයක් තුල හාස්‍යය මෙන්ම උපහාසය මතු කිරීමට හපනෙකි. ඒවා ඉතා රසවත්ය. එමෙන්ම අතිශය නිර්මාණ ශිලිය. ඔව්. ඒ ඔහුමය..
    වසරක් තුල මේ සියලු අංගවලින් පොහොසත් නිර්මාණ 90ක් සමඟින් ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය පහන් කිරීමට සිදු කළා වූ ඒ අත්‍යන්ත මෙහෙය වෙනුවෙන් 2016 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ අනභිබවනීය ජයග්‍රහණය -වසරේ බ්ලොග්කරු ලෙස සම්මානයට පාත්‍රවනු ලබන්නේ- - නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ- රවී වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. ඔය එතන කියවපු සයිටෙෂන් එක. ඒකත් කියෙව්වම කතාව සම්පුර්ණයි. :)

      ජයවේවා! නිදහස් සිතුවිලි දිනේවා!

      ප.ලි. අපි වැඩ.. මාස ගානක් තිස්සේ අතපහු වෙච්චි වැඩ ටික කරන්නත් එපැයි. මාසයක් හමාරක් ඉස්සරහට බ්ලොග් වල දැක්කේ නැතොත් හොයන්න එපා.. :)

      Delete
    2. මාසයක් හමාරක් ඉස්සරහට බ්ලොග් වල දැක්කේ නැතොත් හොයන්න එපා.. :)

      බයවෙන්න එපා ඔච්චර ඉක්මනට FCID එක උඹලව හොගෙන එන්නේ නෑ ...

      2020 පස්සේ තමයි ඕවගේ රිටන් එක එන්නේ එතකොට ගොතන්න ලස්තිවුනාම ඇති

      Delete
    3. කළ්‍යාණ,

      සැක්..මොකක්ද බං ඒ හේතුපාටෙ? කිසි ගතියක් නෑනෙ.. උඹ මට කිව්වනං මමම ලියල දෙනව ටොප් ක්ලාස් හේතු පාටයක් ...බලාපංකො මේක කොහොමද කියල..අන්න හේතුපාට....හෙහ්,හෙහ්,

      "ඕනෑම ලේඛකයකුට තමන්ගේ නිර්මාණයක් වෙනුවෙන් ප්‍රශංසා, ඇගයීම් මෙන්ම ගැරහුම් සහ විවේචනද ලැබිය හැක. එය සනාතන ලෝක ධර්මයයි.

      ලේඛන කලාවෙහි මතුනොව එදිනෙදා ජීවිතයෙහිදී පවා කිත් පැසසුම් මෙන්ම නින්දා අපහාසයන්ටද අප නොපැකිල මුහුණ දියයුතු බවට වසර දෙදහසකට අධික කාලයකට පෙර දේශනා කලෝ මහා මුනිවර ගෞතම බුදු රජාණෝය.

      එසේ වුවද තම රචනාවන් මඟින් ලේඛන කලාවට කිසිදු අයුරකින් සම්බන්ධ නොවන්නාවූ කර්තව්‍යයන්හි නිරතවන්නෝ ඉතාම දුර්ලභය. මොහු කිසිදු සැකයකින් තොරව එවැන්නෙකි.

      ඔහුගේ රචනාවෝ පාඨකයාහට ඉවසීම මනාසේ ප්‍රගුණ කරවයි. තම හිසකෙස් දෑතින් ඇදගෙන හෝ දත්මිටිකමින් හෝ පාඨකයෝ ඉවසන්නෝය.

      දෙවනුව ඉවසීමේ රතු ඉර පැන්නෝ කාලයේ වැලිතලාවෙන් වැසීගිය දැනට භාවිතයේ නොමැති අසභ්‍ය වදන් සොයන්නෝය.ඒ ඔහුට පස් පඩංගුවේ බැණ වැදී තම ආවේගය පිටකර ගැනීම උදෙසාය.

      තෙවනුව ඔහුගේ වයස්ගත මෑණියෝ නිරතුරුව සෙම් රෝගයෙන් පෙළෙන්නෝය. ඇයට උදෑසන ඉතා තදින් කිවිසුම් පිටවීම විශාල සහනයක් ගෙනදෙයි.

      එසේ හෙයින් තම වියුණුව පළමුව පාඨකයින්හට ඉවසීම පුරුදු පුහුණු කරවන සිද්ධස්ථානයක්, දෙවනුව සිංහල භාෂාවේ සැඟවුනු අසභ්‍ය වදන් සොයා යලි භාවිතයට ගැනීමට තැත් කරනා පර්යේෂණාගාරයක් සහ තෙවනුව සෙම් රෝගයට ප්‍රතිකාර ලබාදෙන බෙහෙත් ශාලාවක් ලෙස භාවිතා කරමින් අනූපම මෙහෙයක නිරතවීම වෙනුවෙන් මෙවර සම්මානය හිමි වන්නේ..."

      Delete
    4. හම්මට.... මේකනෙ යකෝ හේතු පාටෙ... කමියා කිව්ව එක මොකක්ද?

      Delete
    5. හයියෝ... සිනා කා දිවි නහගනිමි. මෙහෙමත් හේතු පාඨ...

      නිදහස් සිතුවිලි සම්මානයට පාත්‍රවීම ගැන අප්‍රමාණ සන්තෝෂයි... රවී අයියාටත්, රන්දිටත් සුබ පැතුම්!!!

      Delete
    6. හම්මේ මෙහෙමත් හේතු පාඨ

      Delete
  2. ජයවේවා! නිදහස් සිතුවිලි දිනේවා!

    ReplyDelete
  3. ජයවේවා! නිදහස් සිතුවිලි දිනේවා!// 3

    ReplyDelete
  4. ඉතින් මමත් ආවා ඔය සැඳෑවට
    නෙතින් ඔබව බැරි වුණි මට දැකගන්ට
    රනින් වටින නිදහස් සිතුවිලි වලට
    හදින් සුභ පතමි රවි රන්දිල් ඔබට.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      එන්ට බැරිවුනානෙ බොලේ...

      එන්නට නොහැකිවිය උළෙලට දුකම තමා,
      ටාරර ටරර ටර ටර ටර ටරට ටටා,
      ටාරර ටරර ටර ටර ටර ටරට ටටා,
      ටාරර ටරර ටර ටර ටර ටරට ටටා,

      Delete
  5. උණුසුම් සුබ පැතුම් රවී ලොක්කා...

    ඒ වගේම රන්දිල් නෝනටත් ඔබගේ ජයග්‍රහණයට සුබ පැතුම්...

    ReplyDelete
  6. රන්දිල්... අපෙ මිතුදම බ්ලොග් ඔස්සේ පැරණි වුවත් හඳුනාගෙන අවුරුදු කිහිපයකි. ඔබේ මේ ලියවිල්ල අපූරුය. රවී මහතාගේ ලියැවීම් හැමදාම මිහිරිය... පුදුමාකාර සිදුවීම් මතක් කරමින් මේලෙස ලියන්න අපූරු හැකියාවක් තිබිය යුතුමය. ඇත්තටම මට සතුටුය. බ්ලොග් කරුවන් ලෙස අපි.. අවුරුදු 10 පමණ මේ ලියන ලියමන් කිසි විටක ඇගයීමට පාත්‍ර වූයේ නැත. ඉතින් ඔවුන් පිරිසක් මෙලෙස තම ශ්‍රමයෙ වෙහෙස කැප කර අප වෙනුවෙන් ඊයේ පවත්වන්නට යෙදුන මේ උළෙල ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. අපි වැනි බ්ලොග් කරුව්න්ට එය බොහෝ සුපසන් හැඟීමක් ගෙන දුන්නා. ස්තූතියි සැමට. ඔබේ ලියමන විශිෂ්ටය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනිත්කොන, මගේ ලබැඳි මිතුරිය ඔබේ අදහස් දැක්වීමට

      Delete
  7. අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ......බ්ලා..බ්ලා... බ්ලා

    ඔයාට
    තෝරන් වගේද සම්මාන...පුහ්. ඔව් එකත් නරකම නෑ ඕන ජාතකයක් තෝරා ගන්න පුලුවනේ ප්‍රධාන චරිතේ බෝසත් සත්ගුණවත් .....

    ReplyDelete
    Replies
    1. සම්මාන දෙනවනම් අපිට... කන්නන දෙනවනම් අපිට...
      මොන කෙන්ගෙඩියද තව ඕනේ කියන්නේ //
      (සිරිකොතින්) කියනදෙයක් ඒ විදිහට ලියන්නම්
      අනේ අපිට ලීකෙලි ටික ලැබේනවනම්

      Delete
    2. සම්මාන නෙමෙයි සම්මාන උළෙල තමයි තොරණ :)

      Delete
  8. සුභ පැතුම් රවී අයියාට සහ රන්දිකා නැන්දාට.

    ReplyDelete
    Replies
    1. Pathum,

      නැන්දා?? තෝ මැලේසියාවෙ ඉන්න හින්ද බේරුණා කියල හිතාගං...හෙහ්,හෙහ්,

      Thanks, Malli...:)

      Delete
    2. ඔය කියන්නේ නෑදෑකොමට නැන්දා වෙන එක ගැන. මට ඉන්නවා මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමහල් පුතාලයි, මට වඩා අවුරුදු 20ක් විතර බාල මුණුපුරාලයි :D

      Delete
  9. //අනික ඒ වගෙ එව්ව උනත් ඕනනම් බ්ලොග් පෝස්ට් දහයක් ලියන්ට තියෙයි. එච්චර තමයි// හොඳ දහය. මේ මනුස්සය කතාවක් පටං ගන්න එන්ටර් වෙන්නම පෝස්ට් දහයකට එහා ගන්නව මං හිතන්නෙ. හැක්..

    ලැබුන සම්මානෙට රන්දිකා නෝනටයි රවී මහතාටයි දෙන්නටම මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගරු සභාපතිතුමා,

      බොහොම ස්තූතියි...:)

      Delete
  10. http://slash-dev-slash-null.blogspot.com.au/2017/03/blog-post_26.html

    මේකවත් බලලා කොමට් එකක් දැම්මනන් දෙපොලම

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ සුජීවගෙ අදහස,..එච්චරයි...:)

      Delete
    2. මටත් කියන්න තිබෙන්නේ එපමණයි :)

      Delete
  11. ඉතසිතින් සුභ පැතුම් රවී රන්දිල් දෙදෙනාටම..
    තවත් පෝස්ටු සියගනන් ලිවීමට ශක්තිය ලැබේවා..
    (අපි වගේ පාඨකයෝ හැමෝටම ඒවා සියල්ල කියවා කොමෙන්ටු දැමීමට ඉවසීම ලැබේවා..!!)

    ReplyDelete
    Replies
    1. හප්පේ රූ..මදැයි දැක්ක කල්...ස්තූතියි ස්තූතියි...:)

      Delete
  12. දෙදෙනාටම හෘදයංගම සුබපැතුම්!

    ReplyDelete
  13. සංයුක්ත පෝස්ට් එකක් :)
    දෙන්නටම සුබපැතුම් ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට

      Delete
    2. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks...:)

      Delete
  14. බ්ලොග් කියවන්නෙකු ලෙස සිටින කාලයේ ඇබ්බැහි වූ බ්ලොග් තුනෙන් එකක් වූ සහ පසුව මගේ ප්‍රියතම බ්ලොගය වූ නිදහස් සිතුවිලි බ්ලොගය වසරේ හොඳම බ්ලොගය වීම ගැන හද පත්ලෙන්ම සුභපැතුම්.

    ReplyDelete
  15. හද පත්ලෙන්ම සුභ පැතුම්

    ReplyDelete
  16. එල ද බ්‍රා ....සුබ පැතුම්

    ReplyDelete
  17. සම්මාන උලලෙ අවයවේ සම්බන්ද ගැටලු තිබ්බට සම්මාන ලබපු බොලා දෙපොලටත් අනෙක් උන්ටත් මගේ හදපිරි මෙව්ව එක.. පිට් තමයි.

    ReplyDelete
    Replies
    1. අවයව වල නං ගැටලු කොහෙද නැත්තේ නේද? ස්තුතියි ඔබටත්

      Delete
    2. ඇස් පෝටර්,

      /සම්මාන උලලෙ අවයවේ සම්බන්ද ගැටලු තිබ්බට .../

      උඹ ඒ ගමන මගෙ මාමණ්ඩි උනාද? අවයව කියන එව්ව ඔහොම තමයි බං. වයසට යනකොට ටිකක් විතර එහෙ මෙහෙ වෙනව. එව්ව ගණං ගන්ට හොඳ නෑ...හෙහ්,හෙහ්,

      Delete
  18. සුදුස්සාටම අයිති විය..
    රවි,රන්දිල් දෙදෙනාට උණුසුම් සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  19. "...අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ..."

    ඒවුනාට මේ තොරණට අනුග්‍රහය දක්වපු පිනෙන්, හන්දියේ මස්කඩ මුදලාලිටත්, රේස් බුකියේ මුදලාලිටත්, බාර් එකේ මුදලාලිටත් අමාමහ නිවන් සුව ලැබේවා!!!

    සාදු කියන්න පින්වතුනි.....

    ReplyDelete
    Replies
    1. කවුරුත් කිව්ව පළියට පින් පව් ඩිපෝසිට් වන්නේ නැහැ. ඒවා ගාණට රීතියට සිද්ධ ඕනෑ පිළිවෙලට ඉෂ්ට සිද්ධ වෙයි. අපි මොකට කලබල වෙනවද?

      Delete
  20. සුබ පැතුම් රවී අයියාටත් ( ඔය කිව්වට මාමා මයෙ හිතේ )රන්දිකා අක්කාටත්, නිදහස් සිතිවිලි වලට ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි

      Delete
    2. සඳවතී,

      ස්තූතියි සඳා නංගි (ඔය කිව්වට ලේලි මයෙ හිතේ)

      Delete
  21. Heartiest congratulations to my loving brother and sister for the well deserved achievements! :)

    ReplyDelete
  22. ලබන පාර අපි දෙමුකෝ බැටේ
    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. කාටද අනේ? :)

      ස්තුතියි ඔබටත්

      Delete
  23. Replies
    1. ඇයි සිස් හැලුනද? :D

      ස්තුතයි දමිත්

      Delete
  24. දෙන්නටම හද පිරි සුභ පැතුම්!

    මීට අර නැවතිලා තීන මලදානේ - අහ් නෙවෙයි- මල්දමේ යාවජීව සාමාජිකා අමා.

    ප ලි: //74 අවුරුද්දෙ නැටුම් අංශයෙන් පළවෙනි ස්ථානය ලැබුනෙ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට. ඒ නැටුම් කණ්ඩායමේ මමත් හිටිය දෙවෙනි පෙළේ.//

    දෙයියෝ සාක්කි. රවී අයියට වන්නම් නටන්නත් ඇහැක? බැරිද දහ අට සන්නිය හෙම නටන්න?
    ඔය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය තියෙන්නේ ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇල්ම බැල්ම දාන මානේ නේද? මන් තුමියට මතකයි ඔය පැත්ත... :D මේ ඇත්තටම ඇයි පිරිමි විද්‍යාලෙට ගැහැණු නමකුත්, ගැහැණු විද්‍යාලෙට පිරිමි නමකුත් දාල තීන්නේ?

    ReplyDelete
    Replies
    1. අමා,

      /මීට අර නැවතිලා තීන මලදානේ - අහ් නෙවෙයි- මල්දමේ යාවජීව සාමාජිකා අමා./

      අප්පටසිරි ගජ නැන්දට කජුමද..මෙන්න බොලේ අපේ අමාවතී...අයිබෝං ..අයිබෝං...ඔබ දැකුමද බවලත් සතුටක්වේමය...

      /ඔය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය තියෙන්නේ ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇල්ම බැල්ම දාන මානේ නේද? මන් තුමියට මතකයි ඔය පැත්ත... :D මේ ඇත්තටම ඇයි පිරිමි විද්‍යාලෙට ගැහැණු නමකුත්, ගැහැණු විද්‍යාලෙට පිරිමි නමකුත් දාල තීන්නේ?/

      ඔව් ඔව්...සෙම්මේරිස් එක තියෙන්නෙ සැන්ජෝසප් කොන්වන්ට් එකට මුහුණලා තමයි. කොළඹ-නුවර A-1 මාර්ගය දෙපැත්තෙ. අඩෙහ්..උඹත් සැන් ජෝසප් ගියාද? අර පහනේ බාලිකාවට යන්ට ඉස්සරවෙලා?

      අපේ සෙම්මේරිස් එකේ අදි සික්සයො තමයි එඩ්වඩ් ජයකොඩි එතකොට බුද්ධදාස විතානාරච්චි එහෙම.

      ඔය ගෑණු පිරිමි නම් වල ප්‍රශ්නෙ අපිටත් ඒ දවස්වල තිබ්බ.

      Delete
  25. Replies
    1. Thanks Asanga and best wishes to you too...

      Delete
  26. උණුසුම් සුබ පැතුම් දෙන්නටම..

    හැබැහින් දැක්කට කතා කරන්න නම් අවස්ථාවක් ලැබුනෙ නෑනේද ..

    ReplyDelete
    Replies
    1. තුශානි,

      මම නම් ආවේ නැත.

      ඔබටත් ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම්!

      Delete
  27. ඔබ දෙදෙනාටම මුළු හදවතින්ම සුබ පැතුම් ! ඉස්සර ඉඳන් තාමත් ආසාවෙන් කියවන බ්ලොග් එක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවි,

      මතකද අර ඉස්සොරෝම ඇනෝ ඇවිල්ල මගෙං රන් රෝස පොත ගැන ඇහුව?

      Delete
    2. අය්යට මතකය් නේද ඒක. මට ලඟදි පොත හම්බුණා. මන් මුලින්ම මෙහෙට ගොඩ බැස්සේ සචිනිගේ කතාව පටන් ගනිද්දී..ලේසි නෑ අවුරුදු 6ක් ම කියවලා. තව චිරාත් කාලයක් අපි වෙනුවෙන් ලියන්න ලැබෙන්න ඕනේ . (කොහොමත් ඔය කතා ටික ඉවරවෙන්න චිරාත් කාලෙටත් ටිකක් එහා යයි මයේ හිතේ ) මට මැවිලා පෙනුණා අය්යා වයස 80ක් විතර වෙලා ඇඟිලි වෙව්ල වෙව්ල වාන් පතුල් කතාව කොටද්දී අපිත 60 පැනල සැන්දෑ සුවයෙන් ටැබ් එකක අකුරු ලොකු කරගෙන මේ යෝදයා දැන්වත් වාන් පතුල් කතාව කියය්ද බල ඉන්නවා.

      Delete
    3. mekuwi,

      /මට මැවිලා පෙනුණා අය්යා වයස 80ක් විතර වෙලා ඇඟිලි වෙව්ල වෙව්ල වාන් පතුල් කතාව කොටද්දී අපිත 60 පැනල සැන්දෑ සුවයෙන් ටැබ් එකක අකුරු ලොකු කරගෙන මේ යෝදයා දැන්වත් වාන් පතුල් කතාව කියය්ද බල ඉන්නවා./

      ඔය ගැන මම කලෙකට ඉස්සර කතාවක් ලිව්ව. ඒත් උඹේම කමෙන්ට් එකකට උත්තරයක් විදිහටද කොහෙද...

      it goes somewhat like this...Heh, heh

      "ලොකු දුද්..දුවේ...අනේ මෙහෙට එන්ටකො ටිකකට.."

      "අ..ම්මේ..මොකද මේ නැඟිටගෙන කරන්නෙ? අම්මට ඩොක්ටර් කිව්වනෙ නේද ඇඳෙං නැඟිටින්නත් එපාය කියල? කොහෙද ඉතිං වයස හැටපහක් කියල ගාණක්වත් තියේය?"

      "අනේ දුවේ..මම මේ නැඟිට්ටෙ.."

      "ආ...මම දන්නව...අදත් බැරි මරගාතෙ ලැප්ටොප් එක ඔන් කරගෙන අර මොකක්ද බහුබූත කතාව කියවන්ට නේද ඔය හදන්නෙ? "

      "හරි..හරි ඉතිං කෑගහන්ට එපා..අනේ...හොඳ කෙල්ල වගෙ එහෙනං ඔයාවත් අර ලැප් එක ඔන් කරල බලනටකො අර යෝදය අදවත් අර මොන පතුලද..."

      "...වාං පතුල්නෙ අම්මෙ.."

      "අන්න හරි වාංපතුල් තමයි..බලන්නකො අදවත් අර වාංපතුල් කතාව ලියලද කියල.."

      "අනේ මන්ද මේ අම්මටත් කොච්චර කීවත් අහන්නෙ නෑනෙ. ඔය කියන ආතටත් මයෙ හිතේ දැං අසූපහක් වත් ඇති නේද? උණු වතුර ටිකක් නාල දෙයියනේ කියල බණක් බාවනාවක් කරගෙන ඉන්නෙ නැතුව මොන කෙහෙල්මලකට ඔය වැල් වටාරං ලියනවද මටනං තේරෙන්නෙ නෑ."

      "හරි..හරි ඔයා ඔය ලැප් එක ඔන් කරල බලන්නකො..."

      "හා..හා..ඉන්ටකො එහෙනං..ම්ම් බලමු.. අලුත් කොටසක් නම් දාල තියනව...විමලෙගෙ වාංපතුල් කතා - 1678..ම්ම්ම්..ඉන්ට බලන්ට කියවල...ම්ම්ම්ම්..නෑනෙ අම්මෙ අදත් වාංපතුල් ගැන ලියල නෑ..මේ කොහෙද මඟුල් ගෙදරක ගිහිල්ල බීල වැඩිවෙලා මනමාලිව උස්සල උඩ දාපු කතාවක්නෙ අද ලියල තියෙන්නෙ...අම්මට ඇහෙන්ට කියවන්ටද?"

      "හා..මම එහෙනං ඇඳේ දිගාවෙලා ඉන්නං..ඔයා මට ඇහෙන්ට කියවන්ටකො ඔය කතාව.."

      Delete
    4. ඔව්මය්නේ .. හිහ් හිහ් (හෙහ් හෙහ් එකේ female version)

      Delete
    5. ඒ කාලේ වෙද්දි අපේ නිර්මාණි භාවිතා කරන සොෆ්ට් වෙයාර් එක වගේ ඇඩ්ඩාන්ස් සොප්ට්වෙයාර් ඇවිත් තියෙයි. එතකොට දූලාට කරදර කරන්න වෙන්නේ නැති වෙයි මයේ හිතේ.

      Delete
  28. ජයෙන් ජයම වේවා

    ReplyDelete
  29. උණුසුම් සුබ පැතුම් රවී සහ රන්දිල් දෙදෙනාටම !!!

    ReplyDelete
  30. ඩබලටම ජයීන් ජයම වේවා

    ReplyDelete

  31. ඕක මෙහෙමලු උණාය කියන්නේ...

    "අපි මේ සැරේ හොඳම බ්ලොග් අඩවියට දෙන සම්මානේ දෙමු දේශපාලනේ, වල්පල්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික අත්දැකීම්, ඒ අස්සෙ කයි, විචාර, පරිවර්තන මෙකී නොකී හැමදේම දාලා ආච්චාරු කරලා නැති හොඳ වැදගත් බ්ලොග් එකකට"

    "එහෙමද? ඒත් මේ ලකුණු පිළිවෙල අනුව උඩින්ම තියෙන්නේ රවියයි රන්දිලුයි ලියන 'නිදහස් සිතුවිලි' බ්ලොග් එකනේ"

    "ඉතිං ඕකේ දේශපාලනය තියනවද?"

    "හප්පේ නැතිව. දෙන්නෙ එෂැනිං"

    "එතකොට වල්පල්?"

    "ඒක නම් මෙහෙමයි... ඔය වල් පඳුරු එහෙම තියනවා... හැබැ‍යි මේ රවී එහෙම ඔවා නිතර නිතර තලනවා. කොච්චර තලනවද කිව්වොත් ඕක කියවන්න එන වෙනම සෙට් එකක් ඉන්නවා ඔය තැලිච්ච පඳුරු අහුලන්න."

    "ඒකත් එහෙමද? අපි දැනට වල්පල් නෑ කියලා ලකුණු කර ගමුකෝ. එතකොට පුද්ගලික අත්දැකීම් නම් නැතුව ඇති නේද?"

    "හෙහ් හෙහ්.... හෙහ් හෙහ් හෙහ්... වැඩිය නෑ හෙහ් හෙහ්.. ඔය ගුරුවරියක් එක්ක කතාවක් තියනවා...එතකොට... පිළිස්සුණු කුකුලා, අභයගිරි මතක... හෙහ් හෙහ්... එතකොට තව තියනවා.... හෙහ් හෙහ්... ඒකෙ නම මේ වාං..."

    "හරි හරි... තේරුණා, තේරුණා... හ්ම් එතකොට පරිවර්තන...?"

    "ඔය රවියා ලියන අර බගත් ගෙ කතාව පරිවර්තනයක් කියන්නම බෑ නේද? ඌ අතින් දාලනෙ ලියන්නෙ."

    "හරි බං, ඒක පරිවර්තන නෙවෙයි කියමුකෝ, ඔය රන්දිල් නෝනා වැඩි හරියක් ලියන්නෙම පරිවර්තනනේ"

    "අප්පට සිරි, ඔවුනේ... රවියත් ඉතිං ඌ ලියනවා මදිවට තව අහක ඉන්න අයටත් අඬගහලා ලියන්න දීලා.. ඌට පිස්සුද මන්දා"

    "ඔන්න කවි නම් තියනවා කියලා කියන්න එපා. කවි කියන එක ඉතිං හැමෝටම බෑනෙ."

    "එතනත් පොඩි පරහක් තියනවනේ... රවී ඉතිං ඔය ඉඳලා හිටලා දෙකක් දාගන්න මනුස්සයා... නියම පදමට ආවහම මිනිහා අති ලියවෙන්නෙම කවි.. ෂා බලන්න එපායැ ඒ කවි... හැබැ‍යි එළිසමය එහෙම ටිකක් අඩුයි... අපිට ඕන්නං කියන්න පුළුවන් ඒ කවි නෙමෙයි කියලා."

    "දැන් මොනවද මේ මනුස්සයා නොලියන්නේ?"

    "අන්න එහෙම කල්පනා කලොත් ලේසියි... පොර ඔය ක්‍රිකට් ගැනත් එහෙම ලියනවා.. ඒ කියන්නේ ක්‍රීඩා... කොටස් වශයෙන් යන නවකතා එහෙමත් තියනවා මං හිතන්නේ.. අර දඩයක්කාරයාගේ කතාව කියල තාමත් මිනිස්සු කතා වෙන්නේ. මේකා ඉඳලා හිටලා ඉංග්‍රීසියෙනුත් ලියනවා. සිංදු, ඉතිහාසය... යකෝ නැති දෙයක් නෑනේ"

    "ඉතිං ඔච්චර ජාති ගොඩක් එකම බ්ලොග් එකක් ඇතුලේ තියනවා නම්, ඔන්න ඔහෙ මේ සම්මානෙ ඕකටම දීලා දැම්මහම ඉවරයිනෙ. ඕන්නං හේතුපාඨයට ලියනවා දේශපාලනය, සාහිත්‍යය, කලාව, කාලීන සංවාද සියලු දේම මනා පරිචයකින් ලිවීමට හැකි, මේ සියලු දේ පිළිබඳව එක සේ ලිවීමට දස්කම් පාන වගේ කෑලි ටිකක්."

    "ඔව් ඉතිං එහෙනං, එහෙම කරමු "

    ----

    සතුට නිසාම කලකට පසු දිගු කමෙන්ටුවක් ලියවුණි. රවී රන්දිල් දෙපලටම මගේ හෘදයාංගම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තිසර,

      අඩේ ඒක මරු....හේතුපාටෙටත් නියමයි..කොහොමද ඔය වගෙ දෙබසක් ලියල කරූටයි රාජිතටයි කියන්ට කියල බාරදුන්නනං...අජිතයට ලඟට ගිහිල්ල ඔලුවත් එහෙම පොඩ්ඩක් කහල මෙහෙම කිව්වැහැකි.."සර්...තරහ නැතුව දෙන්නත් එක්කලා අපේ මේ හේතු පාටෙ කියනවද?..."

      එහෙම කියන එකේ අවුලකුත් නෑ මම හිතන්නෙ..නාලක ගුණවර්ධන කිව්වයි කියන්නෙ බ්ලොග් කියන්නෙ කිසිම ගරු සරුවක් නැති තැනක්ය කියල.ඉතිං ඒ විදිහට තියෙන්ට එපා නැද්ද?

      තිසර..Thanks so much dear, You just made my day...:)

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මේකා අනිවා කොහෙන් හරි අපි කතා කරපුව අහං ඉඳල තියෙනවා :)))

      Delete
    4. හොඳම කමෙන්ට්කරු සම්මානය ඔව් පිළිගන්න තිසර...

      හයියෝ ප්‍රා...... ඉරි කෑලි ගහල හරියන්නෑ මොනව හරි ලියන්න.

      Delete
    5. තරූ, ඒ කොටු කොටු පේන්නෙ කොමෙන්ට් එකක් වාරණය කලාම. මුලින් තිබ්බේ "මරුණත් හොඳම කමෙන්ට්කරු සම්මානය නම් වෙන කාටවත් දෙන්නෙ නෑ" කියලා.

      Delete
    6. මට හිතෙන්නෙ ප්‍රා බියපත්ව පළා ගිහින් වගේ...

      Delete
    7. Thisara & Tharu,

      මේ පාර හොඳම කමෙන්ටර් තෑග්ග ගන්ට කැන්වසිං පාරක් දාගන්ටයි ඔය ප්‍රා කාටත් කලිං වෝටර්ස් එජ් එකට ඇවිල්ල හිටියයි කියන්නෙ.

      නැත්තං කෝ ගියපාර තෑග්ග හම්බ වෙච්චි අර ප්‍රසන්නයත් එන්ට එපාය? ඌ ඇවිල්ල ප්‍රතිපත්තිගරුක පොර..ඒ හින්ද ඌ ආවෙ නෑ ඔතනට....

      Delete
  32. සම්මානෙ නොලැබුනත් මගෙ හිතේ ඉහලින්ම වැජඹෙන බ්ලොග් කරුවෝ කීපදෙනාගෙන් එකෙක් උඹ තමයි රවී. මට දුක උඹට මරාගෙ අතින් සම්මානෙගන්න සෙට් කරන්න බැරිවෙච්ච එකයි.

    රවී රන්දිල් දෙපලටම චිරාත්කාලයක් බ්ලොග් ලොව රසවත් කිරීමට වරම් ලැබේවා.

    මගේ ඩෙනිමෙන් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      /මට දුක උඹට මරාගෙ අතින් සම්මානෙගන්න සෙට් කරන්න බැරිවෙච්ච එකයි./

      මගෙ නම් එහෙම අවුලක් නෑ බං..මරා දුන්නත් සම්මානෙ දෙන්නෙ මටනෙ..

      අනික ඔය සමහර අය කියනවනෙ දේසපාලුවන් ගෙන්නන්ට එපා කලාකාරයෙක් නැත්නම් අදාල ක්ෂේත්‍රයෙ ප්‍රවීණයෙක් ගෙන්නන්ට කියල. සමහර ක්ෂේත්‍රයෙ ප්‍රවීණයො කරන මගෝඩි දහදුරා වැඩ බැලුවම දේසපාලුවො තව හොඳයි කිව්වැහැකි. ඒ හින්ද සර්ව නිර්දෝෂී අවංක මිනිස්සු අතින් සම්මාන ගන්ට හිටියොත් එහෙම ජීවිතේට ඒ වැඩේ කෙරෙන්නෙ නෑ.

      අනික එහෙම සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරනවය කියන්නෙ මං පොරක් කියල හිතාගෙන ඉන්නවය කියන එකනෙ.අන්න ඒ මමත්වය ඉස්සෙල්ලම නැතිකරන්ට ඕන කියල කිව්වෙ ගෞතම බුදු හාමුදුරුවො.

      Thanks so much dear Henry dear Henry thanks so much..:)

      Delete
  33. සුභ පැතුම් R & R !

    ReplyDelete
    Replies
    1. Pra,

      R & R කිව්වම මට මතක් වෙන්නෙ R.I.R. කියන කුකුළො වර්ගය.අපි පොඩි කාලෙ අපෙ මාමා ඔය කුකුළු පාලනය කලා. ඒ හින්ද ඔය කුකුළු වර්ග ගැන මමත් ටිකක් දන්නව.

      R.I.R. = Rhode Island Reds

      Thanks Pra.....:)

      Delete
  34. රංදිකා අක්කට නම් මුණගැහිලා සුභපැතුවා... ඉතින් අයියටත් සුභපැතුම්.. මොකද මං ගොඩක් කැමති බ්ලොග් එකක් මේ... නිකමට වගේ හිතුනා හොඳම බ්ලොග් එක නිදහස් සිතුවිලි වේවි කියලා.... එහෙනම් ඉතින් තව තවත් වැල්වටාරම් ලියවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි!!

      Delete
  35. තොරණට කලින් ෆැලෑෂර් කොටෙයි, වයර් ටිකයි හොදට බලල තොරණෙ රටා ටික හිතින් මවාගන්න පුළුවන් එවුන්ට තොරණ් රසවිදින්න අමාරු උනාට ෆෑලෑෂර් කොටේට තහඩු ගහපු , වයර් අමුනපු එවුන් ගැන අප්‍රමාණ සන්තෝෂයි.
    රවි මාමටත් , රන්දිල් නංගිටත් රසවත් බ්ලොග් පෝස්ට් වැඩියෙන් ලිවීමට වාසනා වේවා.
    ලබාගත්තාවූ සම්මාණයට සුභ පැතුම් !!

    ReplyDelete
  36. මගෙ අම්මේ කමෙන්ට්වලින් පොතක් ගැහුවැකි... මගේ අදහස් පසුව ලියන්නම්.

    කෙටි නාට්‍යය හොයල දුන්න ඇරෙන්න මම නම් මේ වැඩේට කළ උදව්වක් නෑ. කොළඹ ගමයා, කළණෙ, අටම්ලගෙ කැපවීම් එක්ක බලද්දි මම මෙලෝ දෙයක් කරල නෑ... ඒ නිසා ඒ ගෞරවය මුළුමනින්ම බ්ලොග් තේරීම සහ සම්මන උළෙල සඳහා මූලික කටයුතු සූදානම් කිරීමේ ගෞරවය එයාලට හිමිවෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. තරුරසි,

      ඔහේ සංවිධාන කටයුතු වලට සහභාගි නොවිච්ච එක තමයි සංවිධායක මණ්ඩලයට කරපු ලොකුම උදව්ව කියල කමිය කිව්ව කියල ඉයන් කිව්වයි කියල ප්‍රා කිව්වවගේ මතකයි

      Delete
    2. කතාව ඇත්ත.. කවුරු කිව්ව වුණත්...

      Delete
  37. එන්ට පරක්කු උනා.....

    දෙන්නාටම ජය වේවා.....

    ReplyDelete
  38. සුබ පැතුම් නිදහස් සිතුවිලි වලට...

    ReplyDelete
  39. සුභ පැතුම්..
    දිගු ගමනක්...

    ජ ය වේ වා
    !!!

    ReplyDelete
  40. පින්තූරෙ මාත් ඉන්නෝ... සම්මානයට සුබපැතුම්...!

    ReplyDelete
  41. රවීයියා,රන්දිල් අක්කා දෙදෙනාටම හද පිරි සුබ පැතුම්...!

    ReplyDelete
  42. Ravi ayya subapathum...oyage Blog Post aniwa balanawa..eth Comment karanawa adui..

    ReplyDelete
  43. පෝස්ට් එක කියවලා කමෙන්ට් කියවලා මෙතැනට එන්න සෑහෙන්න වෙලා ගියා! සුභ පැතුම් රවී, රන්දිල් දෙන්නාටම! well deserved කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
  44. සුභ පැතුම් :)

    ඔබ දෙදෙනාටම දිගටම ලියන්නට දිරි පතමි :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...