Monday, January 30, 2017

477. ස්වර්ණාගේ ස්වර්ණ ජයන්තිය සහ 70 වසක් සපුරන සිංහල සිනමාව...

දඩයම චිත්‍රපටය - ස්වර්ණාගේ
රංග කෞශල්‍යයේ අග්‍ර ඵලය

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ගැන මොනවත්ම හරි ලියඤ්ඤම්ය කියල හිතාන මම ඉඳගත්ත නෙව. කොහොමින් කොහොමින් හරි මට ලියාගන්ට වුනේ පසුබිම විතරයිනෙ. පස්සෙ මම ඒ සටහන ඉවර කලේ ස්වර්ණා නම් ගැහැණිය සහ රංග ශිල්පිණිය ගැන ඊළඟට ලියන්නම්ය කියල පොරොන්දු වෙලා. දැන් මේ ඉටු කරන්ට යන්නෙ අන්න ඒ පොරොන්දුව..හොඳද?

ස්වර්ණා මුලින්ම රඟපෑවෙ සත්සමුදුරේ වුනාට ස්වර්ණගෙ ෆිල්ම් එකක් කියල මම මුලින්ම බැලුවයි කියන්නෙ හන්තානේ කතාව. දැන් ඔය බැලුවයි කියන්නෙ කියල මම ලිව්වෙ මොකද කියල පොඩි පැහැදිලි කිරීමක් නොහොත් ක්ලැරිෆිකේෂන් එකක් කරන්න ඕන. එහෙම ලිව්වෙ මෙන්න මේ හින්ද. ඔය සුට්ටි එකා සන්දියෙ බොහොම සිද්ධීන් තියනව මට ෂුවර් නෑ ඇත්තටම එව්ව මට මතක තියන එව්වද එහෙම නැත්තං අම්මල අප්පච්චිල අත්තම්මල නැත්තං වෙන කවුරුවත් හරි වැඩිහිටියො මට කිව්ව එව්වද කියල.

මම දැනට අවුරුද්දකට වගෙ ඉස්සරවෙලා පටන්ගත්ත මගේ ජීවිතේ ගැන ලියන්ට. දැනටම ඔය වාංපතුල් කතා එතකොට අභයගිරිකතා, කුකුළේගඟවිත්ති ආ..ගුරුවරියක සමඟ මගේ ජීවිතය එහෙම ලියල මම ඒ සිද්ධීන් වලින් සීයට පණහකට වඩා ලියල තියෙන්නෙ. ඒත් මට හිතුන ආයම මුල ඉඳල එක පිළිවෙලකට මට වෙච්චි දේවල්, මම කරපු දේවල් එහෙම ලියාගෙන යන්ට.

හැබැයි ඉතින් නමෝ විත්තියෙන්ම එකක් කියල තියන්ටම ඕමනයි. මෙලෝ යකෙකුට ආදර්ශයක් නම් ගන්ට බැරිවෙයි මයෙ කතාවෙන්. කතන්දරේ ලියල අන්තිමට මෙහෙම වියාචනයක් (Disclaimer) දාන්ට වෙයි අනිවාර්යයෙන්ම. "මගේ මෙම ජීවිත කථාවෙන් කිසිවකුට ගත හැකි කිසිදු ආදර්ශයක් උදක්ම නැත. ඉන් කිසියම් ආදර්ශයක් ගෙන කටයුතු කොට ඔබගේ ජීවිතයේ ඇතිවන සියළු අර්බුදයන්ට, අක්‍රමිකතාවයන්ට සහ අවදානම් තත්වයනට මගේ කිසිදු වගකීමක් ද නැත්තේමය."

ඉතින් ඔය ජීවිත කතාව ලියද්දි මට ඇතිවෙච්චි එක ගැටළුවක් තමයි අර කලින් කිව්ව වගෙ මට මතක සමහර බොහොම පුංචි කාලෙ සිද්ධීන් ඇත්තටම මගෙ මතකයේ තියනවද එහෙමත් නැත්තං පස්සෙ කාලෙක අම්මල අත්තම්මල එහෙම "සුට්ටි පුතේ පුතා පුංචි කාලෙ මෙන්න මෙහෙම උනාය මෙහෙම උනාය" කියල කියපු හින්ද මගෙ මතකයෙ තියනවද කියන එක.

දැන් මෙහෙම ගමු. මම ඉපදුනෙ සහ ජීවිතේ මුල්ම අවුරුදු තුන ගතකලේ බදුල්ලෙ. ඒ කාලෙ අපි හිටියෙ බදුල්ලෙ රේල්වේ ස්ටේෂන් එක පහු කරල ටිකක් දුරක් ගිහාම තියෙන රිවර්සයිඩ් රෝඩ් නැත්නම් ගඟ අද්දර පාරෙ. ගඟ අද්දර චිත්‍රපටය මතකද? ගඟ අද්දර චිත්‍රපටයෙ තිබ්බ අපූරු ගීතයක්. "ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී "...ඉතිං බදුල්ලෙ අපි හිටියය කිව්වෙ ගඟ අද්දර පාරෙ ගෙදරකනෙ. එතන ගඟ කිව්වෙ බදුලුඔයට. අපේ ගේ පහුකරල තවත් කිලෝ මීටර් පහලවක් විස්සක් වගෙ ගියාම ඔය බදුළුඔයම තමයි දුන්හිඳ දිය ඇල්ල වෙලා බොහොම අපූරුවට පහළට ඇද වැටෙන්නෙ.

බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න

දීපිකා එහෙම කියල මෙහෙමත් අන්තිමට කියනව.

කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සණ කිරිගරුඬින් කවිය වුණේ

එහෙම කියන්නෙ දුන්හිඳ දියණිය කියන්නෙ බදුළු ඔය මෑණියන්ගෙ දරුවෙක් හින්ද.

හරි දැන් මම මේ කියන්න ආවෙ තද වැහි කාලෙට බදුළුඔය පිටාර ගලනව. ඉතින් අපි ඔය රිවර්සයිඩ් ඉන්න කාලෙත් එක පාරක් බදුළුඔය පිටාර ගැලුවලු. අපි හිටපු ගෙදරත් අඩියක් වගෙ වතුරෙන් යට වුනාලු. ඒත් දවසකින් වගෙ වතුර බැහැල ගිය හින්ද වැඩි කරදරයක් වෙලා නෑ. ඉතිං මගෙ පොයින්ට් එක මේකයි. ඔය වතුර ගලපු සීන් එක මට මතකයි වගෙ. ඇඳක් උඩ නැඟල අත්තම්මට තුරුලුවෙල ගේ ඇතුලෙ පිරිල කැරකෙන වතුර දිහාවෙ බලා හිටපු මතකයක් මට තියනව. 

ඒත් මට ෂුවර් කරල කියන්ට බැරි මට ඇත්තටම එහෙම දෙයක් මතකද නැත්තං අම්මල අත්තම්මල පස්සෙ කාලෙක කිව්ව හින්ද එව්ව මගෙ මතකයෙ තියනවද කියන එකයි. ඒ වෙනකොට මගෙ වයස උපරිම අවුරුදු තුනක් ඇති. අවුරුදු තුනක දරුවෙකුට එහෙම මතකයක් තියෙන්න පුලුවන්ද කියල ඒ ගැන දන්න ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල තමයි දැනගන්න වෙන්නෙ. 

ඉතින් කෑගල්ලෙදි හන්තාන කතාව බලපු මතකයක් තියනව උනාට මට සහතික කරලම කියන්න බෑ ඒ මතකය ඇත්තක්මද කියල. බොහෝවිට ඇත්තක් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ අපි පොඩි එවුං කාලෙ අලුත් චිත්‍රපටයක් ආවම (එක්කො ඡායා නැත්නම් ටාසන් , ඒ කාලෙ කෑගල්ලෙ ටවුන් එකේ ඒ චිත්‍රපට ශාලා දෙක විතරයි තිබුනෙ. මිලානෝ හැදුවෙ පස්සෙ) ඒ ෆිල්ම් එක බලන්ට යන එක ඇත්තම කිව්වොත් මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක් (Medium scale project) ඉන්ටර්වල් එකේදි කන්ඩ සැන්ඩ්විචස් එහෙම හදාගෙන, බොන්ඩ නෙක්ටො එහෙම නැත්තං ෂැරෝනා එහෙමත් නැත්තං අලියා ක්‍රීම් සෝඩා බෝතල් හතර පහක් අරගෙන එව්ව බොන්ඩ වීදුරුත් ලොකු මල්ලක දාගෙන (ඒ කාලෙ ඔය ඩිස්පෝසබ්ල් කෝප්ප පිඟන් ගැන අපි අහලවත් තිබ්බෙ නෑ) අපි කට්ටියම එක්කෙනා පස්සෙ එක්කෙනා යනව පෙරහැරක් වගෙ. ගෙදර ඉන්න බල්ලො හතරදෙනත් එනව මඟක් දුරක් වෙනකල්. මිලී, රෝවර් ජම්බෝ සහ බිංගෝ... ඒ අපේ බල්ලන්ගෙ නම්.

හරි හරි දැන් ඒ අනවශ්‍ය කතන්දර ඇති. පහුගිය පෝස්ට් එකේදිත් හෙන්රි කියල තිබ්බ (හෙන්රි කිව්වට අර මාලදිවයිනේ පොඩි එවුං දන්න ඉංගිරිසි ටිකත් අඤ්ඤකොරොස් කරන්ට එහෙ ගිහිල්ල ඉන්න පිස්සු බුවා එහෙම නෙවෙයි හොඳද? අර අපේ ගත් කතුවර හෙන්රි) සුවර්නා කියල නම තිබ්බම ස්වර්ණා මල්ලවාරච්චි ගැන කියවන්ට කියල හිතාගෙන ආවට මේ ලියල තියෙන්නෙ වෙන ස්වර්ණෙක් ගැනනෙ කියල. ඒ හින්ද දැන්වත් ස්වර්ණා ගැන ලියමුකො.

හන්තානේ කතාව අධ්‍යක්ෂණය කලේ සුගතපාල සෙනරත් යාපා. චිත්‍රපටය ගැනනම් ඒ තරම් කිවයුතු දෙයක් නෑ. හන්තානේ කතාවත් එක්කම පෙන්නුව මතකයි මිනිසා සහ කපුටා කියල කෙටි චිත්‍රපටයක්. "හන්තානේ කතාව සමඟ නවදිල්ලි සිනමා උළෙලේ රජත මයුර සම්මාන දිනූ සුගතපාල සෙනරත් යාපාගේ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය" එහෙමයි ගුවන් විදුලියෙ එහෙම ප්‍රචාරය කලේ.

ඒ කාලෙ චිත්‍රපට පෙන්නනකොට විවේක කාලයෙන් පස්සෙ ආයම චිත්‍රපටය පටන්ගන්න ඉස්සර රජයේ චිත්‍රපට අංශයෙන් නිපදවපු වාර්තා චිත්‍රපට සහ ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් අඩංගු දර්ශන පෙන්වනවා. මේවා බොහොමයක් අමරිකන් තානාපති කාර්යාලයෙන් ලැබුනු එව්වා. ප්‍රථම සඳ ගමන පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපටයක් පෙන්නුවා බිනරමලී චිත්‍රපටය සමඟ. "බිනරමලී සමඟ මිනිසා ප්‍රථම වරට සඳ තරණය කල ජයග්‍රාහී මොහොත නරඹන්න" රේඩියෝ එකේ එහෙම ප්‍රචාරය කරල චිත්‍රපටයෙ නිෂ්පාදකයො වැඩිපුර ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට අද්ද ගත්ත. 

ඕක ඇහෙනකොට ඒ කාලෙ මම හිතුවෙ බිනරමලිත් නීල් ආම්ස්ට්‍රෝංල එක්ක හඳට ගිහිල්ලය කියල. ඒ වාර්තා චිත්‍රපටියෙ පෙන්නුව නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් නිකං හුළඟෙ පාවනව වගෙ හඳේ  එහෙ මෙහෙ ඇවිදිනව. එයාල ඒ ගොඩ බැස්සෙ හඳේ නිසල මුහුද (Sea of Tranquility) කියන ප්‍රදේශයට. මම ගෙදර ඇවිල්ල ඒ විදිහට ඇවිද්ද සෑහෙන කාලයක් යනකල්.

හන්තානෙ කතාවෙන් පස්සෙ සෑහෙන කාලයක් ස්වර්ණා අතුරුදන් වෙලා හිටිය මයෙ හිතේ අවුරුදු අටක් නමයක් තරම. ඒ කාලෙ එංගලන්තෙද කොහෙද ගිහිල්ල හිටිය කියල තමයි ආරංචිය. ස්වර්ණා ඔය කාලෙ හර්බට් රංජිත් පීරිස්ව කසාද බැඳල හිටිය වගෙ මගෙ මතකයක් තියනව. හර්බට් රංජිත් පීරිස් මතකයි නේද? එක්ටැම්ගේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ. කපුගේගෙ උන්මාද සිතුවම් ගීතය එන්නෙ ඒ ෆිල්ම් එකේ. "බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේ එක්ටැම්ගේ".....ඊට පස්සෙ මනුස්සය (මනුස්සය කිව්වෙ කපුගේ එහෙම නෙවෙයි හොඳද? හර්බට් රංජිත් පීරිස්) ප්‍රසිද්ධ වුනේ හිරුට මුවාවෙන් ටෙලි චිත්‍රපටය නිර්මාණය කරල. අර ඉඳිආප්ප කතාව...හැබැයි මට කිසිම මූලාශ්‍රයක් හොයාගන්ට බැරිවුනා මේ දෙන්න විවාහ වෙලා හිටියයි කියල...මගේ මතකය පමණයි...හෙහ්,හෙහ්

ඊට පස්සෙ ආයම ස්වර්ණා ආවෙ හංස විලක්..ධර්මසිරි බණ්ඩාරනායකගෙ හංස විලක් සමඟ...."හෙමින් සැරේ පියා විදා සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත්..සිතුම් සියොතුන්".....අසම්මත පෙම් සබඳතාවයක අනිවාර්ය අවසාන ඉරණම...එක්දාස් නමසිය අසූව වගෙ කාලෙක හංස විලක් කියන්නෙ සිංහල සිනමාවෙ ගතානුගතික පදනම් පුපුරවා හල සිනමා පටයක්. 

මම හංසවිලක් බැලුවෙ අනුරාධපුරේ සිත්තම්පලම් හෝල් එකේ. 1983 ජූලියෙදි ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා ආචාර්ය නලියන ද සිල්ව මහත්තයගෙ ගෝල බාලයො කියන විදිහට යුදෙව් ක්‍රිස්තියානි සහ බටහිර අධිරාජ්‍ය වාදීන්. ඔව් එයාල කියන්නෙ 83 ජූලි මිනිස් ඝාතන බෞද්ධයින්ට විරුද්ධව කල කුමන්ත්‍රණයක් කියලයි. එහෙම කලේ සිංහල බෞද්ධයින් අපකීර්තියට ලක් කරල ද්‍රවිඩ ජාතිවාදීන්ට ලොව පුරා පිළිගැනීමක් ලබාදෙන්ටලු.අනේ XX නන්නානේ...මේ වගෙ මෝල් කතා විස්වාස කරන මිනිස්සුත් ඉන්නවනෙ හැබෑටම...

ආ..ඊට කලින් මම බැලුව සත් සමුදුර....සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් 79 අවුරුද්දෙ කොළඹ රීගල් සිනමා හලේ තිබ්බ එතෙක් තිරගතවූ විශිෂ්ඨම චිත්‍රපට දහය තිරගත කෙරෙන සිනමා උළෙලක්. සත් සමුදුර, ගම් පෙරළිය, නිධානය, පරසතුමල්, රේඛාව, වැලිකතර ඔන්න ඔය චිත්‍රපට ඇතුළුව තවත් එව්ව. සිනමා උළෙල ආරාධිතයින්ට පමණයි. ඒත් චිත්‍රපට ප්‍රදර්ශනයට පැය බාගෙකට ඉස්සෙල්ල හිස් අසුන් තියනවනම් සාමාන්‍ය ගාස්තුව ගෙවල චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයින්ට පුලුවන්. මමයි මගෙ යාලුවෙකුයි ගිහිල්ල පෝළිමේ මුලටම වෙලා ඉඳල සත් සමුදුර සහ පරසතු මල් බැලුව. සත් සමුදුර අධ්‍යක්ෂණය ආචාර්ය සිරි ගුණසිංහ. නාලන්දෙ එවකට ප්‍රාථමික අංශයෙ විදුහල්පති ධර්ම ගුණසිංහ මහත්මයාගෙ වැඩිමහල් සහෝදරය.

ස්වර්ණට තිබ්බෙ අමුතුම හැඩයෙ මූණක්. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායනුකූල පිළිගැනීම අනුව ස්ත්‍රී රූපසම්පත්තිය මනින වැදගත් මිනුම් දණ්ඩක් වන සිසිවන වුවන නෙවෙයි. "පුරසඳ ලෙස ඔබ සමකල මගේ මූණේ..."  ගීතය ගයන්නේ මායා දමයන්ති පෙරේරා. අනෝජා වීරසිංහගෙ වැඩිමහල් සහෝදරිය.

මම පොඩි දවස්වල ඉඳලම ප්‍රියකලේ ස්වර්ණගෙ වගෙ හැඩයේ ස්ත්‍රී මුහුණු වලට. අර පුන්සඳ වගෙ මූණු වලට මගෙ කොහොමත් කැමැත්තක් තිබ්බෙ නෑ. කව කට්ටෙං රවුමක් ගැහුව වගෙ තියන මූණු මට අල්ලන්නෙම නෑ. මම ස්ත්‍රී රූප සෝබාව නිර්ණය කරන තවත් එක ලක්ෂණයක් තියනව. ඒ තමයි පාදයේ ඇඟිලි. හෙහ්..හෙහ්..ඒ ගැන වෙනම දවසක කතා කරමුකො හොඳද?

හංස විලෙන් පස්සෙ මම ස්වර්ණගෙ ෆිල්ම්ස් වලින් කතා කරන්න යන්නෙ දඩයම ගැන විතරයි. කැඩපතක ඡායා ගැන කතා කරන්නම දෙයක් නෑ. කතා නොකරන තරමට වසන්ත ඔබේසේකරටයි ස්වර්ණාටයි කරන ගෞරවයක් ඒක.

සුද්දිලාගේ කතාවෙත් මට හිතෙන්නෙ ස්වර්ණගෙ හොඳම රඟපෑම් දකින්නට ලැබුනෙ නෑ. ඊට පස්සෙ ස්වර්ණගෙ කිසිම චිත්‍රපටයක් මට බලන්නට ලැබුනෙ නෑ. ඒත් කමක් නෑ දඩයමෙන් පස්සෙ වෙන ඕනම රඟපෑමක් ඊට පහළ මට්ටමක මිසක් ඉහළ මට්ටමක තියෙන්න නම් බෑ. මට ඒක සහතිකයි.

දඩයම මම බැලුවෙ අනුරාධපුරේ විජේන්ද්‍ර හෝල් එකේ. ඒ 1984. දැන්නම් කොහොමද මන්දා ඒ කාලෙ විජේන්ද්‍ර හෝල් එක වටේටම මහල තිබ්බෙ ටකරං වලින්. මම එතකොට මගෙ පලවෙනි රස්සාව කරන්න ගමන්. අභයගිරි ව්‍යාපෘතියෙ. සේනක ගැන මම කලින් කියල තියනවනෙ අභයගිරි මතක සටහන් ලියද්දි. අන්න ඒ සේනක එක්ක තමයි මම දඩයම බැලුවෙ. ඒකෙ මට හොඳටම මතක දර්ශනය රත්මලී (ස්වර්ණාගේ චරිතයෙ නම රත්මලී) රවීන්ද්‍ර නොහොත් ජයනාත්ගෙ මෝටර් රථයෙ ඉස්සරහ වීදුරුව සුණු විසුණු වෙලා යන පරිදි දර ලීයකින් පහර දෙන අවස්ථාව.

ඊට පස්සෙ ජයනාත් ටික දුරක් ගිහිල්ල කාර් එක නවත්තල ආපහු හරව ගන්නව. ඊලඟට කැඩුණු වීදුරුව අස්සෙන් රත්මලී දිහා බාලගෙන ඉන්නව යකෙක් වගෙ. රත්මලී අතේ තියන දරලීය උස්සගෙන ඇසිපිය නොහෙලා බලා ඉන්නව "වරෙං උඹට ආයෙමත් දෙන්නම් මම" කියනව වගෙ. විජේන්ද්‍ර හෝල් එක මීයට පිම්බවගෙ. අපි ඔක්කොම සීට් වල අගිස්සටම වෙලා ඇසිපිය නොහෙලා බලා ඉන්නව තිරය දිහාවෙ. ජයනාත් ගියර් එක දානව. ඊට පස්සෙ කාර් එක රේස් කරල වේගයෙන් ගිහිල්ල රත්මලීව හප්පනව. ඇගේ අතේ තියන දරලීය පැත්තකට විසි වෙලා වැටෙනව. ඇය පාර අයිනෙ තණකොළ බිස්සක් මත මුනින් වැටෙනව. ජයනාත් ආපහු කාරෙක හරවගන්නව. ඊට පස්සෙ අයෙමත් වේගෙන් ගිහිල්ල රත්මලීව ආයෙම යට කරනව. අපි විජේන්ද්‍ර එකෙන් එලියට එන්නෙ හීනෙන් ඇවිදිනව වගෙ.

රත්මලී ජයනාත්ගේ මෝටර් රියේ ඉදිරිපස
වීදුරුව සුණු විසුණුවී යන පරිදි දර ලීයකින්
පහරදෙන ජවනිකාව

ඉතින් මේ සටහන සහ පසුගිය සටහන මම ලිව්වෙ ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට වසර පණහක් පිරීම නිමිත්තෙන්.

හැබැයි ඉතිං ඇත්තම කිව්වොත් මේ සටහන් දෙකේම ස්වර්ණා ගැන ලියවුනෙ බොහොම අඩුවෙන්. වැඩිපුරම ලියවුනෙ මගෙ ඔය වැල් වටාරං. ඒකෙ ඉතිං අමුතුවෙන් කියන්ට දේකුත් අය තියනවය ආය. නැද්ද? හැමදාම වෙන්නෙ ඔය ටිකනෙ. අනික ඉතිං ස්වර්ණා ගැන අපි වගෙ නෙවෙයි ඔය ඕන හැටිය ප්‍රබුද්ධ විචාරකයො ලියයිනෙ මාගල් වගෙ. ඒ හින්ද අපි ඔය පල්හෑලි ටිකක් ලිව්වට ස්වර්ණා තරහ වෙන එකකුත් නෑ. මෙව්ව කියවන ඔබ තමුන්නාන්සෙල තරහ වෙන එකකුත් නෑ.. එහෙමනෙ නේද? එහෙනං හාද?

ස්වර්ණා ගැන පහත සටහන මම උපුටා ගත්තෙ ශ්‍රී ලංකාවේ සිනමාව යූ ටියුබ් අඩවියෙන්

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වූ උපහාර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි.

වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකේය සිනමාවට සිදු කළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

“සිනමාවේ ගැහැණිය ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය” සමරු ග්‍රන්ථය ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකික රසිකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තරව ද ආදරය දිනාගත් විශිෂ්ට සිනමා චරිතයක් බවයි. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තවත් විශිෂ්ට සේවාවක් ඉටුකිරීමට එතුමියට හැකිවේවායි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.


ඉතිං තව වැදගත් සිද්ධියක් මතක් කරන්න ඕන. මේ පහුවෙච්චි ජනවාරි 21 වෙනිදට සිංහල සිනමාවට වසර හැත්තෑවක් පිරෙනව. පලමුවන සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව තිරගත වෙලා තියෙන්නෙ 1947 ජනවාරි 21 වෙනිද. මේ ඒ වෙනුවෙන් නිමවුනු වාර්තා වැඩ සටහනක්.....


Saturday, January 28, 2017

බැඳුම්කර හොරකම ගැන ටිකක් පැහැදිලි කරගමු




දර්ශන හඳුන්ගොඩ මහතාණනි, ඔබට බොහොම ස්තූතියි!!!

Wednesday, January 25, 2017

476. පුවක් එෂැණිං 24 - Sri Lanka Goes down on Global Corruption Index. Government Vehemently Protests....


Sri Lanka has gone down to no. 95 out of 176 countries
in Global Corruption Index
- Image courtesy of Daily Mirror on line

ඊයේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලොව අන්ත දූෂිත රාජ්‍ය දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2015 වසරේ ලබාගත් 83 වන ස්ථානයේ සිට ස්ථාන 12ක් පහළටගොස් 95 වන ස්ථානය ලබා ඇති බවයි. සමාලෝචනයට ලක්වූ ලෝකයේ රටවල් 176 ක් අතුරින් ඒ අනුව රටවල් 81ක් ශ්‍රී ලංකාවට වඩා දූෂිත රටවල් ලෙස සැළකේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනුයේ මේ වාර්තාව කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනුයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙවර සමාලෝචනයට උපයෝගී කොටගත් කරුණු පිළිබඳව රජය කිසිසේත්ම සෑහීමට පත් නොවන බවයි. පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩුදුන් රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් රජයට අහිමි කල මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ආයතනය ප්‍රමාණවත් සැළකිල්ලක් දක්වා නැතැයිද එබැවින් ශ්‍රී ලංකාවට සත්‍ය වශයෙන්ම හිමිවියයුතු ස්ථානය අහිමිවී ඇතැයිද එම ප්‍රවෘත්ති නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

ඒ කෙසේ වුවද පරාජිත මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයෙහි කිසිදිනෙක ශ්‍රී ලංකාව මෙවන් ඉහළ ස්ථානයකට පත්නොවූ බවද එම රජය සමයේ ලැබූ ඉහළම ස්ථානය 2014 වසරේ ලබාගත් 85 වන ස්ථානය බවද රජය පවසයි.

එබැවින් දූෂිත රජයක්ම අපේක්ෂා කරන හිටපු ජනාධිපතිතුමාගේ අනුගාමිකයින්ට වර්තමාන රජයට සහය පළකිරීමේ කිසිදු ගැටළුවක් පැන නොනඟින බවද එහි සඳහන්ය.

"යහපාලන රජයක්ය කියන්නෙ ඒකයි. අපි ටොයියන්ට විතරක් නෙවෙයි බයියන්ටත් හරියන ආණ්ඩුවක්. බයියො ඉල්ලන්නෙ දූෂිත ආණ්ඩුවක් නම් අපි එහෙම එකක් දෙන්ටත් ලෑස්තියි. ඒ හින්ද ඔය පරණ හොරු පස්සෙ යන්නෙ නැතුව රට ජාතියෙ අභිවෘද්ධිය වෙනුවෙන් අලුත් හොරු එක්ක එකතුවෙන්ටය කියල මම සියලුම හොර තක්කඩියන්ගෙන් ඉතාමත්ම ඕනෑකමින්  ඉල්ලා සිටිනවා" රජයේ ප්‍රකාශකයෙක් පුවක් එසැණිං අමතා දැඩි උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කලේය. 

එලෙසම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ බලධාරීන් හමුවී දූෂිත රාජ්‍ය නම්කිරීමේ ඔවුන්ගේ ක්‍රමවේදය යලි සමාලෝචනය කිරීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත්කිරීම උදෙසා මූල්‍ය වංචාවන් පිළිබඳව හසල දැනුමැති අමාත්‍ය වරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ උපදේශකවරුන්ගෙන් සැදි ඉහල පෙලේ නියෝජිත පිරිසක් එහි මූලස්ථානය පිහිටි ජර්මනියේ බර්ලින් නුවර කරා පිටත් කොට යැවීමට ගරු අග්‍රාමාත්‍ය තුමා තීරණය කොට ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිස සඳහා රවි කරුණානායක, මලික් සමරවික්‍රම, සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නම් කොට ඇත.

"හිටපු මහ බැංකු අධිපතියි එයාගෙ බෑණයි දෙන්නත් මේ දූත පිරිස එක්ක යැව්වනම් හුඟක් හොඳයි. මේ මගඩිය කලේ කොහොමද කියල සහසුද්දෙන්ම දන්නෙ ඒ දෙන්නනෙ. Those two would have been very convincing, Actually they are the perpetrators of this abominable and heinous crime. ඒ වුනාට හදිස්සියෙවත් මහ බැංකුව ආයම බැඳුම්කර නිකුත් කරන්ට තීරණය කළොත් ආයම ඔය වංචාව කරන්ට ඒ දෙන්න ලංකාවෙ ඉන්ට ඕන. ඇත්තම කියනවනම් මමත් බර්ලින් යන්ට කැමතියි. ඒ කියන්නෙ ඔය වංචාව යට ගැහුවෙ කොහොමද කියල හරියටම දන්නෙ මමනෙ. ඉස්සෙල්ලම අර හිරිකොතේ වේලි වේලි ඉන්න පෙරකදෝරුවො තුන් දෙනෙක්ගෙ කමිටුවක් දැම්ම. ඊට පස්සෙ කෝප් වාර්තාව යට ගහන්ට කරපු දේවල්....ඊටත් පස්සෙ මේ ඊයෙ පෙරේද කෝප් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදෙ නවත්වන්ට අපේ අර පාලිත උන්නාන්සෙ ලව්ව නඩුවක් පයිල් කෙරෙව්ව. ඇත්තම කියනවනම් ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එක දූෂිත රාජ්‍ය නම් කරනකොට දූෂණ ගැන විතරක් නෙවෙයි ඒ දූෂණ යට ගහන්ට ආණ්ඩුවෙ ලොකු ලොක්කො කරන මහ පොළව නුහූලන මගඩි ගැනත් ළකුණු දෙන්ට වටිනව. මම බය නැතුව කියන්ට කැමතියි එහෙම කලානම් ශ්‍රී ලංකාවේ ස්ථානය 95 නෙවෙයි අඩු ගානෙ 150 වත් වෙනව" ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාම හැඟුම්බරව ඉදිරියට නැවී තම නිල් සහ කහ පැහැති ටයි පටිය සුරතට ගෙන දෑස් අග නැඟි කඳුලක් පිසදමමින් පැවසූ බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට මෙවන් පෙර නොවී වීරූ කීර්තියක් ලබාදීමට පුරෝගාමී වූවන් උදෙසා මුළුමහත් ජාතියේම ගෞරවය පුදනු උදෙසා සම්මානනීය ගෞරව නාම ප්‍රදානය කිරීමට ගරු ජනාධිපතිතුමා තීරණය කොට ඇත. මෙම පෙබරවාරි හතරවන දිනට යෙදෙන නිදහස් සමරු උළෙලේදී නිදහස් චතුරශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් මෙම ගෞරව සම්මාන පිරිනැමෙනු ඇත. 

මේ අනුව හිටපු මහ බැංකු අධිපතිතුමාට "සමස්ථ ශ්‍රී ලංකාද්වීප පශ්චාත්භාග අරිට්ඨ - පළමුවන පන්තිය" ගෞරව නාමය පිරිනැමෙන අතර ඔහුගේ බෑණනුවන් හට එහිම දෙවන පන්තියේ සම්මානය පිරිනැමෙනු ඇත.

ගරු අග්‍රාමාත්‍ය තුමාහට "සමස්ථ ශ්‍රී ලංකාද්වීප පශ්චාත්භාග අරිට්ඨ - පළමුවන පන්තිය" ගෞරව නාමය සහ ඊට අමතරව "ශ්‍රී ලංකා මූල්‍ය බැඳුම්කර වඤ්ඡා ආවරණික මගඩි සම්පාදක" ගෞරව නාමයද පිරිනැමීමට ජනාධිපතිතුමා තීරණය කොට ඇත.

Tuesday, January 24, 2017

475. සුවර්නා මලවිආරච්චි...........

මහනුවරට නොදුරු බතික් නිෂ්පාදනාගාරයක
බතික් කර්මාන්තයෙහි යෙදෙන ළඳුන්....

සුවර්නා මලවිආරච්චි කියන නම දෙමුහුං. දෙමුහුං කියන්නෙ ඉංගිරිසියෙන් හයිබ්‍රිඩ්. මේ දවස්වල දෙමුහුං අධිකරණ ගැන රටපුරා මහ විසාල හාහෝවකුත් යනව නෙව. 

සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කෑල්ලෙ නිර්මාතෘ අපේ අත්තම්මා. 

අපි අනුරාදපුරේ ඉන්දැද්දි අත්තම්ම ජයසිරිමා හාමුදුරුවං ගාව පල්ලෙහා වැලි මලුවෙ හැම පාලොස්වකටම සිල් ගත්ත. සිල් ගත්තට අත්තම්ම රැකපු සීලයක් නෑ. ඔය සිල් ගැනිල්ල උන්දැ කලේ වෙන මොහොකටවත් නෙවෙයි ගෙදරටම කොටුවෙලා ඉඳල ඇතිවෙලා මාසෙකට පාරක් තමන්ගෙ සම වයසෙ මිතුරියො හම්බවෙල පොඩි ආතල් එකක් ගන්ට. හෙහ්,හෙහ්, 

ඔය සිල් ගැනිල්ල ගැන උන්දැ කොච්චර උනන්දුද කියනවනං එක පාරක් සිල් අරගෙන ඇවිල්ල සතියක් ගතවෙන්ට කලින් ඔන්න පටන් ගන්නව මගෙ පස්සෙං එන්ට.

"මේ සුට්ටි පුතේ අර ලිතේ බලන්ටකො ඊලඟ පෝය කවදද කියල.."

උන්දැට මලපොතේ අකුරක් බෑ. මට ඉතිං වෙලාවකට තරහක් වගෙත් යනව මුන්දැගෙ මේ කරදරේට…

"මේ අත්තම්මට මොනව වෙලාද මන්ද...මේ එක පාරක් සිල් අරගෙන ඇවිල්ල ඔන්නං දවස් පහක් නැත්තං හයක් යන්ට ඇති. ආයම ලෑස්ති සිල් ගන්ට යන්ට.." ඔහොම කට ඇතුලෙං කියව කියව මම ගිහිල්ල ලිත බලනව.

"අත්තම්මෙ ……..ආය සිල් තියෙන්නෙ ලබන මාසෙ විසි දෙවෙනිදට.."

"ඒ කියන්නෙ අද මොනදාද?"

"අද ඇවිල්ල තිහනෙ. තව දවස් විසි තුනක් තියනව."

"සුට්ටි පුතා ඔන්න මට මතක් කරන්ට ඕන හොඳද?"

"හරි හරි මම මතක කරන්නංකො…. තව කල් තියෙන්නෙ ඔය ඕන හැටි" මම හෙමීට එතනිං ලිස්සල යනගමං උරහිස උඩිං ආපහු බලල කියනව.

සිල් කණ්ඩායමේ අවසේස සාමාජිකාවෝ අතරින් අපෙ අත්තම්මගෙ හොඳම යාලුව වුනේ සිල් මාතාවක්. ඇය කහ සිවුරක් ඇන්දට උපසම්පදාවෙලා නැහැ. ඒ කියන්නෙ භික්ෂුණියක් නෙවෙයි. දැනට ලංකාවෙ තියෙන තත්වය අනුව හික්ෂුණියක් ආයම කවදාවත් ඇතිවෙන්න බැහැ. උපසම්පදා ශික්ෂා පද අනුව එහෙමලු. පුරුස පක්සෙ උපසම්පදා නොවිච්ච අයට කියන්නෙ සාමනේර. ඉස්ත්‍රී පක්සෙ එහෙම අයට කියන්නෙ සිල් මාතාව. අත්තම්මගෙ හිතවත් සිල් මාතාවගෙ නම ස්වර්ණා. අත්තම්ම ඇයට ඇමතුවෙ සුවර්නා මෑණියො කියල.

හිටපු ගමං සුවර්නා මෑණියො අපෙ ගෙදරත් එනව. අත්තම්ම එක්ක වරුවක් විතර ධර්ම සාකච්ඡා එහෙම පවත්වල දවල් දානෙ එහෙමත් වළඳල හවස්කරේ අව්ව බැස්සම ආපහු වැඩම කරනව. ඔන්න ඔය කොකා පිළිමෙ පැත්තෙ ආරාමයක වැඩ හිටියෙ. 

අනුරාධපුරේ හිරගෙදරට යන පාර අයිනෙ තිබ්බ දැවැන්ත හිටි පිළිමයක්. ඒකෙ මුද්‍රාව "කොක්ඛ ප්‍රදර්ශන මුද්‍රාව". ඒ කියන්නෙ බුදු හාමුදුරුවො දකුණු අත නවල පාරෙ යන එන සැදැහැතියන්ට කොකා පෙන්නනව වාගේ බැලූ බැල්මට පේන්නෙ. ඒක හින්ද හැමෝම ඒකට කිව්වෙ කොකා පිළිමෙ කියල.

ප්‍රේමදාස මහත්තය මැරිච්ච තැන පස්සෙ හදපු ප්‍රේමදාස පිළිමෙත් ඔය වගෙ සීන් එකක් තිබ්බ. දකුණු අතේ මැදගිල්ල උඩට උස්සල අනික් ඇඟිලි හතර නවාගෙන හිටියෙ. ඉංග්‍රීසියෙං ඒ මුද්‍රාවට කියන්නෙ "Up yours mudra" කියල. සිංහලෙන් නම් අපිට කිව්වැහැකි "පශ්චාත්භාග අභ්‍යන්තර මුද්‍රාව" කියල.

හරි වැඩි විස්තර ඒ ඇති. ඒ මම පැහැදිලි කලේ සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කියන කොටස ආපු විදිහ නොහොත් නිදාන කතාව නොහොත් ට්‍රෙෂර් ස්ටෝරි.

දැන් ඔන්න මලවිආරච්චි කොටස ආපු අන්දම. මම   වයස හතරෙ  ඉඳල වයස දොළහ වගෙ වෙනකල් හිටියෙ කෑගල්ලෙ. අපි හිටියෙ කච්චේරියෙ නිලනිවාසවල. අපෙ ගෙදර තිබ්බෙ ටිකක් විතර බෑවුමක. 

ඊට උඩහිං තිබ්බ ගෙදර පදිංචි වෙලා හිටියෙ ඒත් අප්පච්චි එක්ක කච්චේරියෙ එකට වැඩකරපු සහෝදර නිලධාරියෙක්. මිස්ටර් සිල්වා නොහොත් සිල්වා අන්කල්. සිල්ව අංකල්ට තිබ්බ කළුපාට ස්කෝඩා කාර් එකක්. 4 ශ්‍රී එකක්. නොම්මරේ මට මතක විදිහට 474 හෝ 4174. ස්කෝඩා කියන්නෙ චෙකොස්ලෝවෙකියාවෙ නිෂ්පාදිත මෝටර් රථයක්. ඒ කාලෙ ලංකාවට රුසියන් වාහනත් ගෙන්නුව. ලාඩා එහෙම ගෙන්නපු රුසියන් කාර් ජාතියක්.

සිල්ව අන්කල්ගෙ පුතාල එක්ක තමයි මම ක්‍රිකට් එහෙම ගැහුවෙ. මිසිස් සිල්වා නොහොත් සිල්වා මහත්මිය බොහොම සාර්ථක බතික් ව්‍යාපාරයක් කලා. ඒ කාලෙ බතික් සරං, කමිස, දොරරෙදි එහෙම සුලභ නැහැ. ඒ නිසා සිල්වා මහත්මියගෙ ව්‍යාපාරයට හොඳ ඉල්ලුමක් තිබ්බා. ඇය මට මතක විදිහට කෑගල්ලෙ නගර සභාව ඉස්සරහ තිබ්බ ලක්සලට එහෙමත් බතික් ඇඟලුම් සැපයුවා.

සිල්වා ආන්ටිගෙ බතික් ව්‍යාපාරයෙ තව ගැහැණු ළමයි හතර පස් දෙනෙක් සේවය කලා. අපි මිදුලෙ ක්‍රිකට් ගහද්දි එතනම එහා කොස් ගහ යට මහ විසාල ඇලුමිනියම් කල්දේරම් දෙකක වතුර පැහෙනව. ඒ වතුරට රස්නෙ පිටම සායම් දාල බතික් කල යුතු රෙදි දානව. එහෙම මට මතක විදිහට එක එක පාටට වෙන වෙනම රෙද්ද දාන්ට ඕන. 

ටයි ඇන්ඩ් ඩයි කියන්නෙ ඒ එක බතික් කරන ක්‍රමයක්. තව ක්‍රමයක් රෙද්දෙ කොපිං පැන්සලේකින් මෝස්තරේ අඳිනව. ඊට පස්සෙ ඩයි නොවිය යුතු හරිය ඉටි රත් කරල වහල දානව. ඊට පස්සෙ ඩයි කරනව. අන්තිමට ඉටි අයින් කරල ආයෙම අවශ්‍ය පාටින් ඩයි කරනව.

කෑගල්ලෙ ඒ කාලෙ තිබ්බ සුප්‍රසිද්ධ බතික් ව්‍යාපාරය තමයි පර්ල් බතික්. ටවුන් එක පහු කරල නුවර පැත්තට යනකොට මීපිටි පල්ලමේ තිබ්බෙ. අපේ විචා නම් දැනගන්ට ඕන අනිවාර්යයෙන්ම. අනේ මනුස්සය මේ දවස්වල ගිලන්ව වැඩ වාසය කරනව කියල තමයි ආරංචිය. මේ එක්කම එහෙනං අපි අපේ විචා තුමාට ඉක්මන් සුවය පතමු!

විචා ඉන්නවයි කියන්නෙ ආමි හොස්පිට්ල් එකේ. එතන යකා නටනවයි කියලත් ඔන්න ඔය කවුද ලියල තිබ්බ. බට් අයි තින්ක් දැට්ස් සිම්ප්ලි මඩ් ස්ලිංගිං...මඩ වෙන්න ඕන..විචා එහෙමත් පිස්සු කෙලියිද මං අහන්නෙ... හෙහ්,හෙහ්, 

කෝකටත් මම මේ ටිකේ පත්තර එහම උනන්දුවෙන් බලනව. ටී.වී. ප්‍රවෘත්තිත් බලනව. හැබැයි තාම දැක්කෙ නම් නැහැ "යුද හමුදා රෝහලේ දැඩි අර්බුදයක්...සියළුම දොස්තරවරු වැඩ වර්ජනය කරති" වගෙ ප්‍රවෘත්තියක්. එහෙම නැත්තං "යුද හමුදා රෝහල තාවකාලිකව වසා දැමෙයි" එහෙමත් නැත්තං "යුද හමුදා රෝහල හදිසි නීතිය යටතට" එහෙම ප්‍රවෘත්තියක් නෑ කියන්නෙ තාම නම් අවුලක් නෑ කියන එක. "නෝ නිව්ස් ඊස් ගුඩ් නිව්ස්" කියලත් කියමනක් තියනවනෙ.

හරි මම අර කලින් කිව්ව සිල්ව ආන්ටි කතෝලික. කොහෙ හරි ප්‍රසිද්ධ කොන්වන්ට් එකක ඉංග්ලිෂ් වලින් අධ්‍යාපනය ලබපු හින්ද වෙන්න ඕන මම හිතන්නෙ සිංහල නම් එහෙම අමුතු විදිහට උච්චාරණය කලේ. රෙක්ස් කොඩිප්පිලිට කිව්වෙ රෙක්ස් කොඩිපිල්ලෙ කියල. එතකොට මල්ලවාරච්චි කියන නම එයා කිව්වෙ මලවිආරච්චි කියල.

"මිල්ටන් මලවිආරච්චිගේ සෝංග්ස් වලට මම බොහොම කැමතියි රවී.." අන්න එහෙමයි සිල්වා ආන්ටි කිව්වෙ . 

ඒ දවස්වල මිල්ටන්ගෙ අර "ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ ...කොටියෙකි මා මේ සීතල වතුරේ" සිංදුව එහෙම බොහොම ජනප්‍රිය වෙලයි තිබ්බෙ. මම ඒ කාලෙ ඔය සිංදුව කිව්වෙ එහෙමයි. අපේ නෑදෑ සනුහරේ කට්ටිය එකතු උනහම අනිවාර්යයෙන් මට කියල ඔය සිංදුවෙ මුල් පද කීපය ගායනා කරවනවාමයි. ඒත් කට්ටියම ඒ එක්කම මහ හයියෙං හිනාවෙන්නෙ මොකද කියල මට ඒ සුට්ටි එකා කාලෙ තේරුමක් තිබ්බෙම නෑ.

හරි දැන් පැහැදිලියි නේද මාතෘකාව හැදුනු විදිහ. එහෙනම් දැන් අපි යමු මුඛ්‍ය තේමාවට. ඒ තමයි ස්වර්ණා මල්ලවාරච්චි.... මෙතෙක් මේ ලියපු ඔක්කොම ඇවිල්ල පසුබිම හැදීම නොහොත් බෑක්ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන්....ඔහෙලට ඕනනම් පඳුරු තැලීම කියල ගෞරවාන්විතව හඳුන්වන්නත් පුලුවන්. ඒත් මම ඇවිල්ල ඔය ගරු නම්බු සත පහකට ගණං ගන්න මනුස්සයෙක් නෙවෙයි. ඒ හින්ද අපි පසුබිම සකස්කිරීම කියලම කියමු. ඒ ඇති හොඳටම. "ප්‍රිපෙයාරින් ද බෑක් ග්‍රවුන්ඩ් මෙටිකියුලස්ලි ඊස් අ ජොබ් හාෆ් ඩන්" කියල අර කවුදෝ කියලත් තියනවනෙ. මට මතක විදිහට ඇල්ෆ්‍රඩ් හිච්කොක් හෝ ස්ටැන්ලි කුබ්රික් වෙන්න ඕන.

එහෙනම් ස්වර්ණා නම් ගැහැණිය සහ රංගන ශිල්පිණිය ගැන අපි ඊලඟට කතා කරමු.

Thursday, January 19, 2017

474. The Story Of My Marriage - 31 - කර්ණාටක සංගීතයෙන් රසවත්වුනු සැඳෑවක්.....

තාම්පූරාව වයන ඉන්දීය යුවතියක්

"මේ ඕක ආයෙ හදන්න බෑ අයිසෙ. තමුසෙ හදන්නෙ ඕක තවත් විනාස කරල දාන්න. ඔතනින් නැඟිටල මෙන්න මෙහෙ එනව. ඇවිල්ල ඉඳ ගන්නව" අනන්‍යාගේ පියා මා මෙතෙක් ඔහු හා ගතකල මේ ඉතා අල්පවූ කාල සීමාව තුල තෙවන වරටත් කෑගැසීය.

නිහඬව හිස පහත්කොටගත් මම අනන්‍යාගේ පියා පසුපසින් ඔවුන්ගේ සාලයට ඇතුලුවූයේ කොහේ හෝ ඇඳ ඇති රංගෝලි රටාවක් මගේ දෙපයට පෑගී සුනුවිසුණු වී යාදෝයි බියෙන් තැතිගෙන ගැහෙනා හදවතින් යුතුවය. ඒ යන අතරද මට කල්පනාවූයේ කෙදිනක හෝ අනන්‍යා සමඟ විවාපත්ව මේ නිවසේ රාත්‍රිය ගත කරනා දිනයෙක උදෑසන අවදිවනවිට සයනය වටා රංගෝලි රටාවන් ඇඳ තිබුණහොත් මුළු දවසම සයනය මත ගතකරන්නට සිදුවේද යන්නයි. ඒ පිළිබඳව අනන්‍යාගේ පියාගෙන් විමසා සැකහැරගතයුතු බව මම තීරණය කළෙමි.

"මේ සර්....." මම පහත් හඬින් අනන්‍යාගේ පියා ඇමතීමි. 

ඒ වනවිට අප සාලයට පිවිස සිටියෙමු. ඔවුන්ගේ සාලයෙහි එක් පසෙක බොහෝසේ තුනී කුලිච්චම් අතුල ඉතා සරල ලෙස නිමැවුනු සෝපාවන් කිහිපයක් විය. පම්මි ආන්ටිගේ නිවසේ වූ රත් පැහැ විල්ලූදයෙන් පෝරු දැමූ මහා සෝපා රාජයින් සිහිව මගේ දෙතොලට සිහින් සිනහවක් නැඟුණි. 

ලා කොළ පැහැ  ඩිස්ටෙම්පර් තීන්ත ආලේප කල බිත්තිවල දකුණු ඉන්දියානු දෙවිවරුන්ගේ රාමුකල ඡායාරූප විශාල සංඛ්‍යාවක් එල්ලා තිබිණි. සාලයට ඔබ්බෙන්වූ ආහාර ගන්නා කොටසෙහි පුටු නොතිබුණු අතර ආහාර ගන්නාවිට හිඳ ගැන්ම උදෙසා තුනී හතරැස් මෙට්ට වැන්නක් බිත්තිය දිගට එලා තිබිණි.

මීට අමතරව ආහාර ගන්නා කොටසෙහි එක් කෙළවරක හැකිළිය හැකි පටු ඇඳක් වැන්නක්ද විය. ඒ මත බිත්තියට හේත්තුකොට සිතාරය වන් සංගීත භාණ්ඩයක්වූ තම්පුරාවක් විය. එමෙන්ම මුහුණ පුරා සම රැළි වැටුනු මහළු මිනිසෙක් කිසිදු අරමුණකින් තොර හිස් බැල්මක් දෙනෙතෙහි රඳවාගත්වනම එම ඇඳ මත හිඳ සිටියේය.

තාම්පුරාව සහ ඒ අසල හිඳ හුන් මහළු වාදකයා දුටු වහාම මසිතට නැඟුනේ මහත් විශ්මයකි. අනන්‍යාගේ දෙමව්පියන් රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් රසවත් කරනු පිණිස සජීවි පසුබිම් සංගීත වාදනයක් ද සංවිධානය කරනු ඇතැයි මම සිහිනෙනුදු නොසිතීමි. "හෙහ්,හෙහ්, මේ යෝදිගෙ අම්මයි තාත්තයි අදහන්ට වටිනවනෙ. මෙන්න බලාපල්ලකො ලයිව් තාම්පූරා රෙසයිට්ල් එහෙකුත් ලෑස්ති කරලනෙ ඩිනර් එකට පසුබිම් සංගීතෙ හැටියට" මම මටම තොල මතුරා ගතිමි.

ඒ පිළිබඳව අනන්‍යාගේ පියාහට ස්තූති කිරීම මගේ යුතුකමකි. එබැවින් මම සෙමෙන් ඔහු වෙත ළංවීමි. " සර්...මම මේ සර්ට…"

"ඉඳගන්නවා…" අනන්‍යාගේ පියා මදෙස හැරී බැලීමට හෝ වෙහෙසනොවී ඒ අසල වූ සෝපාව වෙත සුරතේ දබරැඟිල්ල දිගුකලේය. මම කොපමණ තැතිගත්තේද යත් ඔහු පෙන්වූ සෝපාවෙහි හිඳගත්තා නොව ඒ මතට නිරායාසයෙන් ඇද වැටුනෙමි.

එවර මදෙස හැරී බලා කුමක් හෝ පවසන්නට සූදානම්වූ ස්වාමිනාදන් මහතා යලි එම අදහස වෙනස්කොට හිස සෙමෙන් දෙපසට කිහිපවරක් සලා සුසුමක්ද හෙලා අසල වූ කනප්පුව මතවූ පුවත්පතක් අතට ගෙන මා ඉදිරියේ වූ සෝපාවෙහි හරිබරි ගැසී හිඳගත්තේය.

ඒ ජීවිතයේ පළමු වරට මම අනන්‍යාගේ පියාණන් සමඟ මුහුණට මුහුණ හිඳගත් අවස්ථාවයි. මේ ලැබුණු අවස්ථාව අපතේ නොහැර යම් වැදගත් මාතෘකාවක් පිළිබඳ ඔහු හා සමඟ විද්වත් සාකච්ඡාවක යෙදිය යුතුයැයි තරයේ සිතාගත් මම සුදුසු මාතෘකාවක් පිළිබඳව මොළය වෙහෙසමින් සිතන්නට වීමි.

මිනිත්තු තුනක් හෝ හතරක් පමණ මෙසේ ගත වූවද කිසිදු සුදුසු වැදගත් මාතෘකාවක් මසිතට නොනැඟිණි. අවසන මම අනන්‍යාගේ පියාණන් දෙසට හැරී සෙමෙන් උගුර පෑදීමි.

"මේ පළාත නම් පදිංචියට හරිම අපූරුයි නේද?" අනන්‍යාගේ පියාණන්ගේ චිත්ත සන්තුෂ්ඨියට හේතුවිය හැකි මාතෘකාවක් ලෙස මසිතට අවසානයේ පිවිසියේ ඔවුන්ගේ නිවසේ පිහිටීමේ ප්‍රශස්ත බව පිළිබඳව සාකච්ඡා කිරීමයි.

"මොන විකාර කතාවක්ද ඒ? මේ පළාතෙ හරියකට වතුර ටිකක් නෑ. සමහරවෙලාවට නනා ඉන්නකොට වතුර කපනව හුටස් ගාල. එහෙම තියෙද්දි තමුං කියනව පදිංචියට හොඳ පළාතක්ය කියල. ඔලුව හොඳ නැද්ද මන්දා...." කියවමින් සිටි පුවත්පත වහා පහත්කල ස්වාමිනාදන් මහතා සතුරු බළඇණියක් වෙත මැෂින්තුවක්කුවකින් වෙඩි මුරයක් නිකුත් කරනා සෙබළෙකු මෙන් එසේ පවසා යලි පුවත්පත ඔසවා ගත්තේය.

මේ ප්‍රදේශයෙහි එනම් මයිලපෝර් හි පදිංචිකරුවන්ට උග්‍ර ජල හිඟය හේතුකොටගෙන විඳින්නට සිදුව ඇති අපහසුතා පිළිබඳව වරදකරු මම බව කොන්දේසි විරහිතව පිළිගත් අයුරින් මම දුක්මුසු මුහුණින් යුතුව හිස පහතට හරවාගතිමි. එසේ සිටිමින් ඒ පිළිබඳව ස්වාමිනාදන් මහතාගෙන් සමාව ඉල්ලා සිටියයුතුද යන්න පිළිබඳව කල්පනා කරන්නට වීමි.

අප තිදෙන මෙසේ ගල් පිළිම මෙන් නොසෙල්වී තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය. මම සෝපාවෙහි හිඳගත්වනම හිස පහතට හරවාගෙන දුක්මුසු මුහුණින් යුතුව පසුවෙමි. ස්වාමිනාදන් මහතා මා ඉදිරියේ වූ සෝපාවෙහි හිඳගෙන පුවත්පත ඔසවා මුහුණ වසාගෙන ඒ කියවයි. මුහුණෙහි රැළි වැටුනු මහළු තාම්පූරා වාදකයා මුල්ලෙහිවූ පටු ඇඳෙහි හිඳගත්වනම හිස් බැල්මකින් කොහේදෝ අරමුණකින් තොරව බලා හිඳියි.

තවත් මේ දරුණු නිශ්ශබ්දතාවය ඉවසනු නොහැකි සඳ මම මහළු වාදකයා දෙස බලා හෘදයංගමව සිනාසුණෙමි. ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සුපුරුදු හිස් බැල්මෙන් බලා සිටියේ මගේ සිනහව නොදුටුවා සේය.

තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය. සාලයෙහි පමණක් නොව මුළු නිවසෙහිම පිරී පැවතියේ ගැඹුරු නිශ්ශබ්දතාවයකි. පන්ජාබී නිවෙසක නිවැසියන් සියල්ල නින්දට වන් රාත්‍රී කාලයක වුව කිසිසේත්ම මෙවන් නිශ්ශබ්දතාවයක් නොපවතින බව දෑස් පියාගත්වනම සිත අයාලේ දුවවමින් හුන් මට සිතිණි.

ස්වාමිනාදන් මහතා සත්‍ය වශයෙන්ම පුවත්පත කියවන්නේද නැතහොත් ඔහු මා මඟහැරීමෙහි උපායයක් වශයෙන් එසේ රඟන්නේද යන්න පිළිබඳව මසිත සැකසහිත වූයේය. මම සෙමෙන් ඉදිරියට නැවී ඔහු මුහුණට ඉදිරියෙන් අල්ලාගෙන සිටිනා පුවත්පතට ඉහලින් එබී බැලුවෙමි. ඔහු කියවමින් සිටියේ ද හින්දු පුවත්පතේ සංස්කාරක සටහනයි (Editorial ) 

(සටහන - එඩිටෝරියල් යනු කතුවැකිය ලෙස බොහෝවිට යෙදුනද ඒ සඳහා වඩාත් නිවැරදි යෙදුම සංස්කාරක සටහන යන්නයි.)

ආරක්ෂක අමාත්‍යවරයා විසින් නාවික හමුදාපතිවරයා තනතුරෙන් පහ කිරීම පිළිබඳව ඉන්දීය රජය විසින් වහාම අපක්ෂපාත පරීක්ෂණයක් ආරම්භ කල යුතුයැයි තමිල්නාඩුවේ AIADMK පක්ෂය කල ඉල්ලීමක් අරභයා ලියැවුනු ඒ සංස්කාරක සටහන පත්‍රයේ එක් පිටුවක් පුරා ලියැවුණකි. ඉතා හරබර ලෙස ලියැවුනු එවන් දේශපාලනයට සම්බන්ධ ලිපි අප පවුලේ හෝ හත්මුතු පරපුරේ කිසිවකු හෝ හිසට පිස්තෝලයක් එල්ල කොට තර්ජනය කරනු ලැබූවද නොකියවන බව මට හෙට නැගෙනහිරින් හිරු උදාවනලෙස විශ්වාසය.

ඒ පිළිබඳව මම ගැඹුරින් සිතමින් සිටියදී ස්වාමිනාදන් මහතා එක්වරම පුවත්පත පහත්කොට "මොකද මනුස්සයො එබිල බලන්නෙ?" යනුවෙන් ඉතා සුහදව විමසීය.

"නෑ..නෑ..සර් මොකවත් නෑ…" මම වහා සෝපාවේ සෘජුව හිඳගෙන දෑත උකුල මත තබා ගාම්භීර පෙනුමක් මුහුණට නඟා ගතිමි. එසේම මෙලෙස දරුණු වරදක් කලාසේ වරදකාරී හැඟීමක් මසිත පහළ වූයේ කුමක් හෙයින්ද යන්න වටහාගැන්මට පවා මම අපොහොසත්වීමි.

ස්වාමිනාදන් මහතා තවත් මිනිත්තු පහක පමණ කාලයක් නිහඬව පුවත්පත කියවීය. ඔහු ඊලඟ පිටුව පෙරලන්නට පුවත්පත පහත් කල විට මම වහා ඔහු ඇමතූයෙමි. "මේ... මේ...සර්?"

ඔහු කිසිවක් නොපවසා පහත්කොටගත් පුවත්පත එලෙස තබාගත්වනම මා දෙස බලාසිටියේ "මොකද මනුස්සයො? මොකක්ද මේ මල කරදරේ? ඔහේ මට මේ පත්තරේ නිදහසෙ කියවගන්ට දෙනවද නැද්ද?" යන්න නොඅසා අසමිනි.

"ගෙදර වෙන කවුරුවත් නැද්ද සර්?" මම සුහද සිනහවක් නඟාගනිමින් විමසීමි. 

"නැතුව ආය? ගෙදර ඉන්නෙ නැතුව වෙන කොහෙ යන්ටද ඒ ගොල්ලො?" ස්වාමිනාදන් මහතාගේ මුව මඳක් විවර වූයේ මම එවන් ප්‍රශ්ණයක් විමසීම පවා ඔහුට මහත් විශ්මයක් ගෙන දුන් සේය.

"නෑ මම මේ ඇහුවෙ වෙන කවුරුවත්ම පේන්ට නැති හින්ද…"

"ඒ ගොල්ල උයනව. ඇයි ඔහෙට ඇහෙන්නෙ නැද්ද ඔය ග්‍රයින්ඩරේ සද්දෙ?" අනන්‍යාගේ පියා නිරන්තරයෙන් මෙසේ කිසිවකු නොරුස්සන ස්වභාවයෙන් කල්ගත කරන්නේද නැතහොත් අද ඔහු විශේෂයෙන් කෝපාවිෂ්ඨ මනෝභාවයකින් කල්ගත කරන්නේද යන්න මට ගැටලුවක් විය. 

"ඊලඟ පාර අනන්‍යා හම්බවුනාම ඒ ගැන අහල දැනගන්ට ඕන මතක ඇතුව. සමහරවිට මේ මනුස්සයට මම මෙහෙ ආපු එක රුස්සන්නෙ නැතුව වෙන්න ඇති" මම තොල්මතුරා ගතිමි.

"ඔහේ මොකවත් එහෙම කිව්වද?" අනන්‍යාගේ පියා පුවත්පත පහත් කොට විමසීය. 

"ආ..නෑ..නෑ..සර් මම මොකවත් කීවෙ නෑ……….."

"හ්ම්ම්හ්…" ඔහු යලි පුවත්පතින් මුහුණ ආවරණය කොට ගත්තේය. මම ගැහෙන හදින් යුතුව පුවත්පත දෙස බලාසිටින්නට වීමි. එවර මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර ඔහු යලි පුවත්පත පහත් කලේය. 

"ඔහෙට වතුර ඕනද? "

"නෑ..නෑ..සර්..මට වතුර එපා.."

"මොකක්? වතුර එපා? ඒක මහ පුදුම කතාවක්නෙ....මොකද ඔහෙට වතුර එපාය කියන්නෙ?" ඒ ප්‍රශ්නයට මට දියහැකි තාර්කික පිළිතුරක් නොවීය.

මිනිත්තු භාගයක පමණ වේලාවක් කල්පනා කොට මට සිතාගත හැකිවූ එකම පිළිතුර නම් මේ නිවසෙහි සහ නිවැසියන්ගේ අද්භූත ගති ලක්ෂණ හේතුකොටගෙන ජලය උගුරක් හෝ නොපෙවෙන තත්වයට මම බියෙන් ත්‍රස්තවී සිටින බවකි. එහෙත් කෙලෙසකවත් මට එසේ පැවසිය නොහැක්කේමය. 

"හරි... හරි... සර් කියනවනම් එහෙනං වතුර එකක් බොමුකො" මම අවසානයේ සෙමෙන් පැවසුවෙමි.

"රාධා……………….." ස්වාමිනාදන් මහතා පුවත්පත කනප්පුව මත තබා නැඟිට මහහඬින් කෑගැසීය. "වතුර එකක් ගේනවද? "

"ම්ම්ම්...මේ..මේ... අර ඉන්නෙ අනන්‍යාගේ සීයද?" මම තාම්පූරාව අසල හිඳගෙන තවමත් හිස් බැල්මෙන් බලා සිටිනා මහලු මිනිසා වෙතට ඇඟිල්ලක් දිගුකොට විමසීමි.

"නෑ" ස්වාමිනාදන් මහතා එසේ පවසා යලි අසුන් ගත්තේය.

අනන්‍යාගේ පියා පිළිතුරු දෙනුයේ හුදෙක් විමසනු ලැබූ ප්‍රශ්නයට පමණක් බව මට මේ වනවිට වැටහී තිබිණි." එහෙනං කවුද ඒ?" මම වදනින් වදන උසුරුවමින් විමසීමි.

"ඒ රාධාගෙ කර්ණාටක සංගීත ගුරුවරයා. අද ඇවිල්ල තියෙන්නෙ රාධාට උගන්වන්න. ඒත් ඔහේ මේ හදිස්සියෙ රෑ කෑමට එනවයි කියපු හින්ද රාධා අන්න කුස්සියෙ උයනව. ඉතිං වෙන මොනව කරන්නද? ගුරුතුමා මෙතන ඇඳේ ඉඳගෙන ඉන්නව"

මම මද සිනහවකින් යුතුව හිස සළමින් ඔහු හා සම්පූර්ණයෙන් එකඟවන බව හැඟවීමි.

රිදී පැහැ බන්දේසියක් මත තබන ලද වතුර වීදුරුවක් සහ තෙලෙහි බදිනලද යම් කටගැස්මක් රැගෙන අනන්‍යාගේ මව සාලයට ඇතුළු වූවාය. සර්පිලාකාරව දඟර ගැසුණු දුඹුරු පැහැ එම කටගැස්ම පොසිලගතවුනු ආදිකාලීන කුඩා නාගයින් රැසක් මට සිහි ගැන්වීය. ඇත්ත වශයෙන්ම මම කිසි දිනෙක පොසිලගතවුනු නාගයින් දැක නැත්තෙමි. එහෙත් යම් දිනෙක එවැන්නක් දැකගන්නට හැකි වුවහොත් ඒ මෙසේ වියයුතුයැයි මම සිතා ගතිමි.

"හෙලෝ ආන්ටි..ඉතිං කොහොමද?" මම සෝපාවෙන් නැඟිට ඇය වෙත හැරී සිනහසෙමින් විමසීමි.

"හෙලෝ ක්‍රිෂ්" 

"සමාවෙන්න මම වැරදි වෙලාවක ඇවිල්ල ඔයාලව අපහසුතාවයකට පත්කලා නම්" මම සංගීත ගුරුවරයා දෙස බැල්මක් හෙලා පැවසීමි. 

"නෑ....නෑ... ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. අනන්‍යානෙ ඔයාට ආරාධනා කලේ. අනන්‍යා සාමාන්‍යයෙන් එහෙම තමයි. මගෙන් අහල නෙවෙයි ඕනම දෙයක් කරන්නෙ. ඒ හින්ද ඔයා ඒ ගැන හිත කරදර කරගන්ට අවශ්‍ය නෑ කොහෙත්ම….."

"නෑ ආන්ටි…... මම කියන්නද? අපි ඔක්කොම රෑ කෑමට කොහෙ හරි යමු හොඳ රෙස්ටුරන්ට් එහෙකට"

"නෑ..නෑ..ඕන නෑ...රෑ කෑම මම ලෑස්ති කරලයි තියෙන්නෙ" එසේ පැවසූ ඕ තම සැමියා දෙසට හැරුනාය. "මට සංගීත පාඩමට පැය බාගයක් දෙන්න"

සංගීත ගුරුවරයා වෙත ගිය ඕ පහත්ව ඔහුගේ දෙපා ස්පර්ශ කලාය. ඉක්බිති ඇඳ මත බිත්තියට හේත්තුකොට තිබූ තාම්පූරාව සුරතට ගෙන ගුරුතුමාද කැටුව සාලයෙන් පිටව ගියාය.

"ඉතිං? එතකොට සිටි බැංකුව ඔහේව දැම්ම චෙන්නයි වලට…….. එහෙමද?" ස්වාමිනාදන් මහතා මා අමතා සුහදව වදනක් දෙඩූයේ ඒ පළමුවරටය.

"ඔව් සර්"

"මට තේරෙන්නෙ නෑ මොන කෙහෙම්මලකටද ඔය මිනිස්සු උතුරු ඉන්දියාවෙ අය මේ දකුණට එවනවද කියල?"

"ඒකනම් මමත් හරියටම දන්නෙ නෑ සර්" මම හිස නවාගත්වනම පාපොච්ඡාරණය කලෙමි.

"පිස්සු මරගාත……" තමන්ටම එසේ පවසාගනිමින් ස්වාමිනාදන් මහතා යලි පුවත් පතෙහි හිස ඔබා ගත්තේය.

මම සිතට ධෛර්යය වඩා ගනිමින් උගුර පාදාගනිමින් ස්වාමිනාදන් නිවසට ඇතුළු වූ මොහොතේ පටන් මට අසන්නට අවශ්‍ය වූ ප්‍රශ්ණය විමසීමි. "සර්, මේ....මේ....කෝ අනන්‍යා?"

ස්වාමිනාදන් මහතා වහා ප්‍රවෘත්ති පත්‍රය පහත් කොට මා දෙස දෙනෙත් විදහා බලා සිටියේ මම ඔහු ඔහුගේ අසභ්‍ය චිත්‍රපට එකතුව සඟවා ඇත්තේ කොතැනකදැයි ඇසූ කලෙක මෙනි.

"අනන්‍යා නාන්ට ගියා. නාල ඉවරවෙලා එයා සන්ධ්‍යා දේව යාඥාවත් ඉවරවෙලාම ඒවි" ඔහු යලිත් මදෙස අප්‍රසාදය කැටිවූ බැල්මක් හෙලා යලි පත්‍රය වෙත නෙත් යොමාගත්තේය.

මම හිස සලමින් සිනාසුනෙමි. අනන්‍යා මා හා සමඟ අහ්මදාබාද්හි ඉන්දීය කළමණාකරණ ආයතනයෙහි අධ්‍යාපනය ලැබූ දෙවසර තුල කිසි දිනෙක සන්ධ්‍යා දේව යාඥාවක නොයෙදුණීය. 

ඒ සමඟම එක්වරම යාබද කාමරයකින් ඇසුණු දීර්ඝ වැළපිල්ලකින් මම තිගැස්සුණෙමි. කිසිවෙකු තවකෙකුගේ ගෙල තරව ගෙන ඉතා සෙමින් ග්‍රහණය දැඩිකරනා විටෙක නික්මෙන්නාවූ ළය විනිවිදයන විලාපයක් බඳුවූ ඉන් මා හදවත කම්පා වූයේ නිතැනිණි.

අඩක් විවරවූ මුවින් යුතුව වේගයෙන් ආශ්වාස කරමින් මම ස්වාමිනාදන් මහතා දෙස නෙත්යොමු කලෙමි. ඔහුද හිස ඔසවා මදෙස බලා සිටියේ රැළිකොටගත් දෙබැමින් යුතුවය. 

"ඇයි බය වුනාද? ඒ තමයි කර්ණාටක සංගීතය. තමුන් කලින් අහල තියනව නේද?" මම යටිතොල පෙරළා හිස දෙපසට සොලවා නැතැයි හැඟවීමි.

"මොනවද ඔහේ දන්නෙ එහෙනම් හැබෑටම?" එසේ පවසමින් ඔහු යලි පුවත් පත දෙසට නෙත් යොමුකොට ගත්තේය. 

ගිරිය යටින් කෑගසමින් හිසකෙස් දෑතින්ම සිඳගනිමින් උමතුවූවකු මෙන් මේ නිවසින් ඉවතට දිවයාමට මසිතේ පැනනැඟුනු අභිප්‍රාය මම මැඩපවත්වා ගත්තේ බලවත් අසීරුවෙනි. "මොනවද ක්‍රිෂ් උඹ මේ පිස්සන් කොටුවෙ කරන්නෙ? මොකටද උඹ මෙහෙ ආවෙ?" මම දත්මිටිකමින් මගෙන්ම විමසා ගතිමි. 

ඒ සමඟම කිසිවකු ගෙතුල සිට සාලය වෙත ලඟාවන පියවර හඬක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් මවිසින් මගෙන්ම විමසාගත් දෙවන පැණයට පිළිතුර සාලයට ඇතුලුවන දොරටුවෙහි එළිපත්ත මත පාදුර්භූත වූයේ දහසක් හිරු එක් අහසක නැඟියාක් මෙන් හාත්පස ආලෝකමත් කරවමිනි.

Sunday, January 15, 2017

473. පුවක් එෂැණිං 23 - පචායුධ කුමාරයාගේ විත්ති


පචායුධ තුමා මාරාන්තික උපවාසයෙහි යෙදෙමින්..... 
"ජොකා ඇඳලද? නින්ද ගිහිල්ල මල්ලි ඇහැරුනොත්?" 
යනුවෙන් වේදිකාවේ දිගාවී සිටින එතුමා වෙත තම හිස 
පහත්කොට නැවී විමසනුයේ පචායුධ තුමාගේ 
හිතවත් පාක්ෂිකයෙකි.

"මව්බිමේ පචායුධය" නමින් විරුදාවලී ලැබූ ඒ ධීර වීර ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තම තෙම පසුගියදා රිමාන්ඩ් භාරයට පත්වූ බව පුවක් එෂැණිං ඉතාම සංවේගයෙන් යුතුව නාසයෙන් වැගිරෙන්නාවූ කඳුළු සහ දෑසින් වැගිරෙන්නාවූ සොටු දියර දහරාවන් දෙකට නැවී හැඳ සිටිනා අමුඩ ලේන්සුවේ කොණකින් පිසදමමින් වාර්තා කර සිටී.

ජාතියේ පිනට පහළවූ, උසස්පෙළ විභාගය සමත්වීම පවා සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතවූ රාත්‍රියේ බඩු වැඩිවීම නිසා උණ්ඩුකපුච්ඡයේ පත්ලේ සිට නැඟ එන්නාවූ අමියාව වත්ත පහළ සියඹලා ගස යටට ගොස් කරන්නාවූ ඔක්කාරයක්සේ ඉවත හල මේ මහා වීර පුරුෂයා වනාහී සීගිරියට නැරඹීමට යෑමට පවා ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනම කටයුතු කිරීම නිසා කාල වේලාවක් නොමැතිවූ යුග පුරුෂයෙකි. සුප්‍රසිද්ධ ගද්‍රභයෙකි. 

උහු වනාහී වරෙක සාකල්‍යයෙන් විනාශ මුඛයට ඇද වැටීමට ඔන්න මෙන්න කියා තිබූ ශ්‍රී ලාංකික ස්වෛරීත්වය රැකගනු වස් "ලැමන පාෆ" නම්වූ විස්කෝතු පමණක් ආහාරයට ගනිමින් මාරාන්තික උපවාසයක පවා නිරතවූ විරෝදාර මහීෂයෙකි. ඒ මහා උපවාසය අවසන්වූයේ ශ්‍රී ලංකාද්වීපයේ එවකට කිරුළ දැරූ රාජ රාජෝත්තමයාණන් වූ එසේම මෙතුමාටම නොදෙවෙනි ගද්‍රභයකුවූ නමවන මහින්දාභිධාන නරපතියාණන් පැමිණ අප වීරයාහට රසවත් සිසිල් පැන් කුසලානක් පෙවීමෙන් අනතුරුවය. 

එසේ නොයෙක් විකුමන් පාමින් සමස්ත ශ්‍රී ලංකා වාසී , කපාලය තුල අබැටක් පමණකුදු මස්තිෂ්කයක් සහ විචාර බුද්ධියක් සහිත සියළු මෙදිවයින් වාසීන්ගේ හාස්‍යයට සහ ජුගුප්සාවට ලක්වූ මෙතුමෝ ශ්‍රී ලංකාද්වීපය ජාත්‍යන්තරය තුල උසුළු විසුළුවල ලක් වීමටද උදක්ම හේතුවූවෝය. කෙසේ හෝ කලියුග කාලයෙහි කළුගල් ජලයෙහි ගිලී ගොමරිති ඉලිප්පෙන්නේය යන්න පරම සත්‍යයක් බැව් සනාථ කරමින් උසස් පෙළ හෝ නොසමත් මෙතුමෝ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාර අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබුවෝය.

ඒ වනාහී බොහොඬ ගෙලෙහි රන් බැන්දාක් සේය. නැතහොත් තුරඟකුට අං මෝදුවූවාසේය. ඉන් මහත්සේ උදම්වූ පචායුධයාණෝ ඉදින් මාහට මෙවන් යස ඉසුරු සහ වරදානයන් ප්‍රදානය කල අප චෞර මහරජාණෝ කිසිදිනෙක යළි පරාජය කල නොහැක්කේය එබැවින් මේ තනතුරු කිසිදිනෙක මා හැර නොයන්නේය සිතා ලා පියා මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වූයේ තම අමාත්‍ය ධුරයේ බලතල අනිසිලෙස යොදාගන්නේ තම භාර්යාවගේ සියළු ඥාතී මිත්‍රාදීන්හට, මහජන මුදලින් රාජ්‍ය සේවය පිණිස ආනයනය කල සුඛෝපභෝගී වාහන කිසිදු වග විභාගයකින් තොරව රිසිසේ ප්‍රදානය කළෝය.

එහෙත් කලකම් නම් ගලගා ගෙවිය නොහැක්කේය, දුක්විඳම ගෙවිය යුත්තේය යන පඬිවදන සනාථ කරමින් බොහෝ කලක් ඉක්ම යෑමට පළමු අප මහා රාජෝත්තමයාණෝ බලයෙන් පහකරන ලද්දාහුය. එසැණින් අප කථා නායක වීර පුරුෂයෝද සියළු පදවි බලතල අහිමිව නිවට නියාළු සුනඛයකුගේ තත්වයට පත්වූවෝය. හිටපු රාජෝත්තමයාණන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙවරක් ඉටුකලෝ අප පචායුධයාණෝය. සිය කෙළතොළු කමින් උපරිම ප්‍රයෝජන ගත් උහු මහරජාණන්ට විරුද්ධව ඉදිරිපත්වූ හිටපු ඇමැත්තාහට ඉතාම සාහසික ලෙස නොයෙක් අන්දමින් අපහාස උපහාස කලෝය. "අයියෝ සිරිසේනෝ...අයියෝ සිරිසේනෝ" යනුවෙන් උඩුබුරමින් වේදිකා දෙදරවූවෝය.

බලයට පැමිණි නව රජයේ බලධරයෝ මහරජාණන්ගේ පාලන සමයේහි සිදුවූ දූෂිත මුදල් වඤ්ඡාවන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළෝය. පරීක්ෂණ කටයුතු පමාවන කල්හි පචායුධයෝ "අහෝ තෙපි එදවස අප දූෂිතයෝය, වඤ්ඡාකාරයෝය යනුවෙන් චෝදනා කළාහුය. එහෙත් බලව අප කිසිදු උපද්‍රවයකින් තොරවැ සුවසේ සිටින්නාහුය" යනුවෙන් වේදිකා දෙදරවමින් ගර්ජනා කළාහුය. අනතුරුවැ පචායුධයෝ දිනෙක විදේශගතවීම් වස් අහස්යාත්‍රා තොටුපොළට පැමිණෙන්නෝ අවලංගුවූ විදේශ ගමන් බලපත්‍රක් ඉදිරිපත්කොට බලධරයින්ගේ අත් අඩංගුවට පත්වූවෝය. එකල උහු අග්‍රාමාත්‍යයන්ගේ සරණින් බන්ධනාගාර ගත නොවී නිදහස් වූවෝය.

එසේ වුවද ඉන් යම් පාඩමක් ඉගෙන නොගත් හෙතෙම යලිත් නොයෙක් මුසාබස් දොඩමින් වේදිකා දෙදරවමින් රටවටා යන්නාහුය. යහ පාලන බලධරයෝද පචායුධයන් අමාත්‍යව සිටියදී රජයේ වාහන අවභාවිතා කල අන්දම පිළිබඳව පරීක්ෂණ කරන්නෝ පචායුධයන්හට වහා එම නිලධරයින් හමුව කරුණු පැහැදිලි කරන්නැයි දන්වා යැවූහ. තමනට කිසිසේත්ම සාධාරණ කරුණු පැහැදිලි කීරිමක් කළ නොහැකිබැව් සහ එනිසාම අත් අඩංගුවට අනිවාර්යයෙන්ම පත්වන බැව් අතැඹුලක්සේ දත් පචායුධයෝ වහා තම සට්ටඹියන් උසි ගන්වා සංවිධානය කොට අධිකරණය ඉදිරිපිට මහත් කළබැගෑනියක් ඇති කිරීමට කටයුතු කළෝය.

එකල්හි උහු භාර්යාවන්ගේ සහෝදරියෝද, සහෝදරයෝද, උන්ගේ දූ දරුවෝද පැමිණ බන්ධනාගාර ගත කිරීමට පොලිස් රිය වෙත ගෙනයන පචායුධයන්ගේ දෑතෙහි එල්ලී එසේ රැගෙන යාම වැළැක්වීමට තැත් කළෝය. එහෙත් පොලිස් නිලධාරීහු ඒ ව්‍යාර්ථ කොට මහත් වෑයමකින් පචායුධයන් ගෙනගොස් බන්ධනාගාර ගත කළෝය. අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ පචායුධයන්ගේ ඥාතීහු පොලිස් නිලධාරීන් හට රොස් පොරොස් බසින් බැණ වැදුනෝය. මේ අසාධාරණයට විරුද්ධව අපද දේශපාලනයට එළඹෙනා බව පැවසූවෝ පචායුධයන්ගේ භාර්යාවන්ගේ සහෝදරියය. ඇගේ දියණියෝ පොලිස් නිලධාරීන් තමන්ට බැණ වැදුනු බව පවසමින් හඬා වැටුණෝය.

බන්ධනාගාර ගතවූ පචායුධයෝ තුන් වේලටම ආහාර නිවසින් ගෙන්වා ගැනීමට බලධරයින්ගේ අවසර ඉල්ලා ඇත. ජනතාව වෙනුවෙන් විදුලි පුටුවට යාමට පවා සූදානම් බවට සිංහනාද කල පචායුධයන්ගේ මේ ඉල්ලීම පිළිබඳව විමසූවෙකුට දැනගන්නට ලැබුණේ මහජන මුදලින් සපයන බන්ධනාගාර බත් වේලක් හෝ ආහාරයට ගැනීමට පචායුධයන් නොකැමැති බවකි. ඉදින් එපමණ සද්භාවයෙන් කටයුතු කරන්නෙකු වාහන වඤ්ඡා චෝදනාවන් එල්ල කොට බන්ධනාගාර ගතකිරීම කොපමණ සාධාරණදැයි සිතාබලන ලෙසද එම පවුලේ ඥාතියා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර පචායුධයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන රැසකින් රජය කෙරෙහි දැඩි විරෝධයක් එල්ලවී ඇත. ප්‍රංශයේ ගී ද මෝපසං පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පචායුධයන් වන් විද්වතකු මෙසේ අත් අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ බවකි. තමන්ගේ කෘතියක් බව ගී ද මෝපසං පවා දැන නොසිටි "මහල්ලා සහ මුහුද" ගී ද මෝපසංගේ නිර්මාණයක් බව පළමු වරට සොයාගනිමින් සාහිත්‍ය ලෝකයේ නොයෙක් ගරු බුහුමනට ලක්වූ මහා පඬිරුවනක් මෙසේ සිරගත කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකින බව එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අන්තර්ජාතික ව්‍යාඝ්‍රා අලෙවි කරන්නන්ගේ සංගමයද, එලෙසම ආසියා පැසිෆික් අවලංගු ගමන් බලපත්‍ර භාවිතා කරන්නන්ගේ සංගමයද, ශ්‍රී ලංකා විස්කෝතු නිපදවන්නන්ගේ සංගමයේ ලෙමන් පෆ් අනු කමිටුවද, සීගිරිය නරඹන්නට නොහැකිවූවන්ගේ සංසදයද පචායුධයන් වහාම නිදහස් කරගැන්මේ සටනට එක්ව සිටින බව ද පුවක් එෂැණිං වෙත වාර්තාවේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...