Monday, January 30, 2017

477. ස්වර්ණාගේ ස්වර්ණ ජයන්තිය සහ 70 වසක් සපුරන සිංහල සිනමාව...

දඩයම චිත්‍රපටය - ස්වර්ණාගේ
රංග කෞශල්‍යයේ අග්‍ර ඵලය

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ගැන මොනවත්ම හරි ලියඤ්ඤම්ය කියල හිතාන මම ඉඳගත්ත නෙව. කොහොමින් කොහොමින් හරි මට ලියාගන්ට වුනේ පසුබිම විතරයිනෙ. පස්සෙ මම ඒ සටහන ඉවර කලේ ස්වර්ණා නම් ගැහැණිය සහ රංග ශිල්පිණිය ගැන ඊළඟට ලියන්නම්ය කියල පොරොන්දු වෙලා. දැන් මේ ඉටු කරන්ට යන්නෙ අන්න ඒ පොරොන්දුව..හොඳද?

ස්වර්ණා මුලින්ම රඟපෑවෙ සත්සමුදුරේ වුනාට ස්වර්ණගෙ ෆිල්ම් එකක් කියල මම මුලින්ම බැලුවයි කියන්නෙ හන්තානේ කතාව. දැන් ඔය බැලුවයි කියන්නෙ කියල මම ලිව්වෙ මොකද කියල පොඩි පැහැදිලි කිරීමක් නොහොත් ක්ලැරිෆිකේෂන් එකක් කරන්න ඕන. එහෙම ලිව්වෙ මෙන්න මේ හින්ද. ඔය සුට්ටි එකා සන්දියෙ බොහොම සිද්ධීන් තියනව මට ෂුවර් නෑ ඇත්තටම එව්ව මට මතක තියන එව්වද එහෙම නැත්තං අම්මල අප්පච්චිල අත්තම්මල නැත්තං වෙන කවුරුවත් හරි වැඩිහිටියො මට කිව්ව එව්වද කියල.

මම දැනට අවුරුද්දකට වගෙ ඉස්සරවෙලා පටන්ගත්ත මගේ ජීවිතේ ගැන ලියන්ට. දැනටම ඔය වාංපතුල් කතා එතකොට අභයගිරිකතා, කුකුළේගඟවිත්ති ආ..ගුරුවරියක සමඟ මගේ ජීවිතය එහෙම ලියල මම ඒ සිද්ධීන් වලින් සීයට පණහකට වඩා ලියල තියෙන්නෙ. ඒත් මට හිතුන ආයම මුල ඉඳල එක පිළිවෙලකට මට වෙච්චි දේවල්, මම කරපු දේවල් එහෙම ලියාගෙන යන්ට.

හැබැයි ඉතින් නමෝ විත්තියෙන්ම එකක් කියල තියන්ටම ඕමනයි. මෙලෝ යකෙකුට ආදර්ශයක් නම් ගන්ට බැරිවෙයි මයෙ කතාවෙන්. කතන්දරේ ලියල අන්තිමට මෙහෙම වියාචනයක් (Disclaimer) දාන්ට වෙයි අනිවාර්යයෙන්ම. "මගේ මෙම ජීවිත කථාවෙන් කිසිවකුට ගත හැකි කිසිදු ආදර්ශයක් උදක්ම නැත. ඉන් කිසියම් ආදර්ශයක් ගෙන කටයුතු කොට ඔබගේ ජීවිතයේ ඇතිවන සියළු අර්බුදයන්ට, අක්‍රමිකතාවයන්ට සහ අවදානම් තත්වයනට මගේ කිසිදු වගකීමක් ද නැත්තේමය."

ඉතින් ඔය ජීවිත කතාව ලියද්දි මට ඇතිවෙච්චි එක ගැටළුවක් තමයි අර කලින් කිව්ව වගෙ මට මතක සමහර බොහොම පුංචි කාලෙ සිද්ධීන් ඇත්තටම මගෙ මතකයේ තියනවද එහෙමත් නැත්තං පස්සෙ කාලෙක අම්මල අත්තම්මල එහෙම "සුට්ටි පුතේ පුතා පුංචි කාලෙ මෙන්න මෙහෙම උනාය මෙහෙම උනාය" කියල කියපු හින්ද මගෙ මතකයෙ තියනවද කියන එක.

දැන් මෙහෙම ගමු. මම ඉපදුනෙ සහ ජීවිතේ මුල්ම අවුරුදු තුන ගතකලේ බදුල්ලෙ. ඒ කාලෙ අපි හිටියෙ බදුල්ලෙ රේල්වේ ස්ටේෂන් එක පහු කරල ටිකක් දුරක් ගිහාම තියෙන රිවර්සයිඩ් රෝඩ් නැත්නම් ගඟ අද්දර පාරෙ. ගඟ අද්දර චිත්‍රපටය මතකද? ගඟ අද්දර චිත්‍රපටයෙ තිබ්බ අපූරු ගීතයක්. "ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී "...ඉතිං බදුල්ලෙ අපි හිටියය කිව්වෙ ගඟ අද්දර පාරෙ ගෙදරකනෙ. එතන ගඟ කිව්වෙ බදුලුඔයට. අපේ ගේ පහුකරල තවත් කිලෝ මීටර් පහලවක් විස්සක් වගෙ ගියාම ඔය බදුළුඔයම තමයි දුන්හිඳ දිය ඇල්ල වෙලා බොහොම අපූරුවට පහළට ඇද වැටෙන්නෙ.

බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න

දීපිකා එහෙම කියල මෙහෙමත් අන්තිමට කියනව.

කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සණ කිරිගරුඬින් කවිය වුණේ

එහෙම කියන්නෙ දුන්හිඳ දියණිය කියන්නෙ බදුළු ඔය මෑණියන්ගෙ දරුවෙක් හින්ද.

හරි දැන් මම මේ කියන්න ආවෙ තද වැහි කාලෙට බදුළුඔය පිටාර ගලනව. ඉතින් අපි ඔය රිවර්සයිඩ් ඉන්න කාලෙත් එක පාරක් බදුළුඔය පිටාර ගැලුවලු. අපි හිටපු ගෙදරත් අඩියක් වගෙ වතුරෙන් යට වුනාලු. ඒත් දවසකින් වගෙ වතුර බැහැල ගිය හින්ද වැඩි කරදරයක් වෙලා නෑ. ඉතිං මගෙ පොයින්ට් එක මේකයි. ඔය වතුර ගලපු සීන් එක මට මතකයි වගෙ. ඇඳක් උඩ නැඟල අත්තම්මට තුරුලුවෙල ගේ ඇතුලෙ පිරිල කැරකෙන වතුර දිහාවෙ බලා හිටපු මතකයක් මට තියනව. 

ඒත් මට ෂුවර් කරල කියන්ට බැරි මට ඇත්තටම එහෙම දෙයක් මතකද නැත්තං අම්මල අත්තම්මල පස්සෙ කාලෙක කිව්ව හින්ද එව්ව මගෙ මතකයෙ තියනවද කියන එකයි. ඒ වෙනකොට මගෙ වයස උපරිම අවුරුදු තුනක් ඇති. අවුරුදු තුනක දරුවෙකුට එහෙම මතකයක් තියෙන්න පුලුවන්ද කියල ඒ ගැන දන්න ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල තමයි දැනගන්න වෙන්නෙ. 

ඉතින් කෑගල්ලෙදි හන්තාන කතාව බලපු මතකයක් තියනව උනාට මට සහතික කරලම කියන්න බෑ ඒ මතකය ඇත්තක්මද කියල. බොහෝවිට ඇත්තක් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ අපි පොඩි එවුං කාලෙ අලුත් චිත්‍රපටයක් ආවම (එක්කො ඡායා නැත්නම් ටාසන් , ඒ කාලෙ කෑගල්ලෙ ටවුන් එකේ ඒ චිත්‍රපට ශාලා දෙක විතරයි තිබුනෙ. මිලානෝ හැදුවෙ පස්සෙ) ඒ ෆිල්ම් එක බලන්ට යන එක ඇත්තම කිව්වොත් මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක් (Medium scale project) ඉන්ටර්වල් එකේදි කන්ඩ සැන්ඩ්විචස් එහෙම හදාගෙන, බොන්ඩ නෙක්ටො එහෙම නැත්තං ෂැරෝනා එහෙමත් නැත්තං අලියා ක්‍රීම් සෝඩා බෝතල් හතර පහක් අරගෙන එව්ව බොන්ඩ වීදුරුත් ලොකු මල්ලක දාගෙන (ඒ කාලෙ ඔය ඩිස්පෝසබ්ල් කෝප්ප පිඟන් ගැන අපි අහලවත් තිබ්බෙ නෑ) අපි කට්ටියම එක්කෙනා පස්සෙ එක්කෙනා යනව පෙරහැරක් වගෙ. ගෙදර ඉන්න බල්ලො හතරදෙනත් එනව මඟක් දුරක් වෙනකල්. මිලී, රෝවර් ජම්බෝ සහ බිංගෝ... ඒ අපේ බල්ලන්ගෙ නම්.

හරි හරි දැන් ඒ අනවශ්‍ය කතන්දර ඇති. පහුගිය පෝස්ට් එකේදිත් හෙන්රි කියල තිබ්බ (හෙන්රි කිව්වට අර මාලදිවයිනේ පොඩි එවුං දන්න ඉංගිරිසි ටිකත් අඤ්ඤකොරොස් කරන්ට එහෙ ගිහිල්ල ඉන්න පිස්සු බුවා එහෙම නෙවෙයි හොඳද? අර අපේ ගත් කතුවර හෙන්රි) සුවර්නා කියල නම තිබ්බම ස්වර්ණා මල්ලවාරච්චි ගැන කියවන්ට කියල හිතාගෙන ආවට මේ ලියල තියෙන්නෙ වෙන ස්වර්ණෙක් ගැනනෙ කියල. ඒ හින්ද දැන්වත් ස්වර්ණා ගැන ලියමුකො.

හන්තානේ කතාව අධ්‍යක්ෂණය කලේ සුගතපාල සෙනරත් යාපා. චිත්‍රපටය ගැනනම් ඒ තරම් කිවයුතු දෙයක් නෑ. හන්තානේ කතාවත් එක්කම පෙන්නුව මතකයි මිනිසා සහ කපුටා කියල කෙටි චිත්‍රපටයක්. "හන්තානේ කතාව සමඟ නවදිල්ලි සිනමා උළෙලේ රජත මයුර සම්මාන දිනූ සුගතපාල සෙනරත් යාපාගේ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය" එහෙමයි ගුවන් විදුලියෙ එහෙම ප්‍රචාරය කලේ.

ඒ කාලෙ චිත්‍රපට පෙන්නනකොට විවේක කාලයෙන් පස්සෙ ආයම චිත්‍රපටය පටන්ගන්න ඉස්සර රජයේ චිත්‍රපට අංශයෙන් නිපදවපු වාර්තා චිත්‍රපට සහ ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් අඩංගු දර්ශන පෙන්වනවා. මේවා බොහොමයක් අමරිකන් තානාපති කාර්යාලයෙන් ලැබුනු එව්වා. ප්‍රථම සඳ ගමන පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපටයක් පෙන්නුවා බිනරමලී චිත්‍රපටය සමඟ. "බිනරමලී සමඟ මිනිසා ප්‍රථම වරට සඳ තරණය කල ජයග්‍රාහී මොහොත නරඹන්න" රේඩියෝ එකේ එහෙම ප්‍රචාරය කරල චිත්‍රපටයෙ නිෂ්පාදකයො වැඩිපුර ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට අද්ද ගත්ත. 

ඕක ඇහෙනකොට ඒ කාලෙ මම හිතුවෙ බිනරමලිත් නීල් ආම්ස්ට්‍රෝංල එක්ක හඳට ගිහිල්ලය කියල. ඒ වාර්තා චිත්‍රපටියෙ පෙන්නුව නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් නිකං හුළඟෙ පාවනව වගෙ හඳේ  එහෙ මෙහෙ ඇවිදිනව. එයාල ඒ ගොඩ බැස්සෙ හඳේ නිසල මුහුද (Sea of Tranquility) කියන ප්‍රදේශයට. මම ගෙදර ඇවිල්ල ඒ විදිහට ඇවිද්ද සෑහෙන කාලයක් යනකල්.

හන්තානෙ කතාවෙන් පස්සෙ සෑහෙන කාලයක් ස්වර්ණා අතුරුදන් වෙලා හිටිය මයෙ හිතේ අවුරුදු අටක් නමයක් තරම. ඒ කාලෙ එංගලන්තෙද කොහෙද ගිහිල්ල හිටිය කියල තමයි ආරංචිය. ස්වර්ණා ඔය කාලෙ හර්බට් රංජිත් පීරිස්ව කසාද බැඳල හිටිය වගෙ මගෙ මතකයක් තියනව. හර්බට් රංජිත් පීරිස් මතකයි නේද? එක්ටැම්ගේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ. කපුගේගෙ උන්මාද සිතුවම් ගීතය එන්නෙ ඒ ෆිල්ම් එකේ. "බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේ එක්ටැම්ගේ".....ඊට පස්සෙ මනුස්සය (මනුස්සය කිව්වෙ කපුගේ එහෙම නෙවෙයි හොඳද? හර්බට් රංජිත් පීරිස්) ප්‍රසිද්ධ වුනේ හිරුට මුවාවෙන් ටෙලි චිත්‍රපටය නිර්මාණය කරල. අර ඉඳිආප්ප කතාව...හැබැයි මට කිසිම මූලාශ්‍රයක් හොයාගන්ට බැරිවුනා මේ දෙන්න විවාහ වෙලා හිටියයි කියල...මගේ මතකය පමණයි...හෙහ්,හෙහ්

ඊට පස්සෙ ආයම ස්වර්ණා ආවෙ හංස විලක්..ධර්මසිරි බණ්ඩාරනායකගෙ හංස විලක් සමඟ...."හෙමින් සැරේ පියා විදා සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත්..සිතුම් සියොතුන්".....අසම්මත පෙම් සබඳතාවයක අනිවාර්ය අවසාන ඉරණම...එක්දාස් නමසිය අසූව වගෙ කාලෙක හංස විලක් කියන්නෙ සිංහල සිනමාවෙ ගතානුගතික පදනම් පුපුරවා හල සිනමා පටයක්. 

මම හංසවිලක් බැලුවෙ අනුරාධපුරේ සිත්තම්පලම් හෝල් එකේ. 1983 ජූලියෙදි ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා ආචාර්ය නලියන ද සිල්ව මහත්තයගෙ ගෝල බාලයො කියන විදිහට යුදෙව් ක්‍රිස්තියානි සහ බටහිර අධිරාජ්‍ය වාදීන්. ඔව් එයාල කියන්නෙ 83 ජූලි මිනිස් ඝාතන බෞද්ධයින්ට විරුද්ධව කල කුමන්ත්‍රණයක් කියලයි. එහෙම කලේ සිංහල බෞද්ධයින් අපකීර්තියට ලක් කරල ද්‍රවිඩ ජාතිවාදීන්ට ලොව පුරා පිළිගැනීමක් ලබාදෙන්ටලු.අනේ XX නන්නානේ...මේ වගෙ මෝල් කතා විස්වාස කරන මිනිස්සුත් ඉන්නවනෙ හැබෑටම...

ආ..ඊට කලින් මම බැලුව සත් සමුදුර....සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් 79 අවුරුද්දෙ කොළඹ රීගල් සිනමා හලේ තිබ්බ එතෙක් තිරගතවූ විශිෂ්ඨම චිත්‍රපට දහය තිරගත කෙරෙන සිනමා උළෙලක්. සත් සමුදුර, ගම් පෙරළිය, නිධානය, පරසතුමල්, රේඛාව, වැලිකතර ඔන්න ඔය චිත්‍රපට ඇතුළුව තවත් එව්ව. සිනමා උළෙල ආරාධිතයින්ට පමණයි. ඒත් චිත්‍රපට ප්‍රදර්ශනයට පැය බාගෙකට ඉස්සෙල්ල හිස් අසුන් තියනවනම් සාමාන්‍ය ගාස්තුව ගෙවල චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයින්ට පුලුවන්. මමයි මගෙ යාලුවෙකුයි ගිහිල්ල පෝළිමේ මුලටම වෙලා ඉඳල සත් සමුදුර සහ පරසතු මල් බැලුව. සත් සමුදුර අධ්‍යක්ෂණය ආචාර්ය සිරි ගුණසිංහ. නාලන්දෙ එවකට ප්‍රාථමික අංශයෙ විදුහල්පති ධර්ම ගුණසිංහ මහත්මයාගෙ වැඩිමහල් සහෝදරය.

ස්වර්ණට තිබ්බෙ අමුතුම හැඩයෙ මූණක්. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායනුකූල පිළිගැනීම අනුව ස්ත්‍රී රූපසම්පත්තිය මනින වැදගත් මිනුම් දණ්ඩක් වන සිසිවන වුවන නෙවෙයි. "පුරසඳ ලෙස ඔබ සමකල මගේ මූණේ..."  ගීතය ගයන්නේ මායා දමයන්ති පෙරේරා. අනෝජා වීරසිංහගෙ වැඩිමහල් සහෝදරිය.

මම පොඩි දවස්වල ඉඳලම ප්‍රියකලේ ස්වර්ණගෙ වගෙ හැඩයේ ස්ත්‍රී මුහුණු වලට. අර පුන්සඳ වගෙ මූණු වලට මගෙ කොහොමත් කැමැත්තක් තිබ්බෙ නෑ. කව කට්ටෙං රවුමක් ගැහුව වගෙ තියන මූණු මට අල්ලන්නෙම නෑ. මම ස්ත්‍රී රූප සෝබාව නිර්ණය කරන තවත් එක ලක්ෂණයක් තියනව. ඒ තමයි පාදයේ ඇඟිලි. හෙහ්..හෙහ්..ඒ ගැන වෙනම දවසක කතා කරමුකො හොඳද?

හංස විලෙන් පස්සෙ මම ස්වර්ණගෙ ෆිල්ම්ස් වලින් කතා කරන්න යන්නෙ දඩයම ගැන විතරයි. කැඩපතක ඡායා ගැන කතා කරන්නම දෙයක් නෑ. කතා නොකරන තරමට වසන්ත ඔබේසේකරටයි ස්වර්ණාටයි කරන ගෞරවයක් ඒක.

සුද්දිලාගේ කතාවෙත් මට හිතෙන්නෙ ස්වර්ණගෙ හොඳම රඟපෑම් දකින්නට ලැබුනෙ නෑ. ඊට පස්සෙ ස්වර්ණගෙ කිසිම චිත්‍රපටයක් මට බලන්නට ලැබුනෙ නෑ. ඒත් කමක් නෑ දඩයමෙන් පස්සෙ වෙන ඕනම රඟපෑමක් ඊට පහළ මට්ටමක මිසක් ඉහළ මට්ටමක තියෙන්න නම් බෑ. මට ඒක සහතිකයි.

දඩයම මම බැලුවෙ අනුරාධපුරේ විජේන්ද්‍ර හෝල් එකේ. ඒ 1984. දැන්නම් කොහොමද මන්දා ඒ කාලෙ විජේන්ද්‍ර හෝල් එක වටේටම මහල තිබ්බෙ ටකරං වලින්. මම එතකොට මගෙ පලවෙනි රස්සාව කරන්න ගමන්. අභයගිරි ව්‍යාපෘතියෙ. සේනක ගැන මම කලින් කියල තියනවනෙ අභයගිරි මතක සටහන් ලියද්දි. අන්න ඒ සේනක එක්ක තමයි මම දඩයම බැලුවෙ. ඒකෙ මට හොඳටම මතක දර්ශනය රත්මලී (ස්වර්ණාගේ චරිතයෙ නම රත්මලී) රවීන්ද්‍ර නොහොත් ජයනාත්ගෙ මෝටර් රථයෙ ඉස්සරහ වීදුරුව සුණු විසුණු වෙලා යන පරිදි දර ලීයකින් පහර දෙන අවස්ථාව.

ඊට පස්සෙ ජයනාත් ටික දුරක් ගිහිල්ල කාර් එක නවත්තල ආපහු හරව ගන්නව. ඊලඟට කැඩුණු වීදුරුව අස්සෙන් රත්මලී දිහා බාලගෙන ඉන්නව යකෙක් වගෙ. රත්මලී අතේ තියන දරලීය උස්සගෙන ඇසිපිය නොහෙලා බලා ඉන්නව "වරෙං උඹට ආයෙමත් දෙන්නම් මම" කියනව වගෙ. විජේන්ද්‍ර හෝල් එක මීයට පිම්බවගෙ. අපි ඔක්කොම සීට් වල අගිස්සටම වෙලා ඇසිපිය නොහෙලා බලා ඉන්නව තිරය දිහාවෙ. ජයනාත් ගියර් එක දානව. ඊට පස්සෙ කාර් එක රේස් කරල වේගයෙන් ගිහිල්ල රත්මලීව හප්පනව. ඇගේ අතේ තියන දරලීය පැත්තකට විසි වෙලා වැටෙනව. ඇය පාර අයිනෙ තණකොළ බිස්සක් මත මුනින් වැටෙනව. ජයනාත් ආපහු කාරෙක හරවගන්නව. ඊට පස්සෙ අයෙමත් වේගෙන් ගිහිල්ල රත්මලීව ආයෙම යට කරනව. අපි විජේන්ද්‍ර එකෙන් එලියට එන්නෙ හීනෙන් ඇවිදිනව වගෙ.

රත්මලී ජයනාත්ගේ මෝටර් රියේ ඉදිරිපස
වීදුරුව සුණු විසුණුවී යන පරිදි දර ලීයකින්
පහරදෙන ජවනිකාව

ඉතින් මේ සටහන සහ පසුගිය සටහන මම ලිව්වෙ ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට වසර පණහක් පිරීම නිමිත්තෙන්.

හැබැයි ඉතිං ඇත්තම කිව්වොත් මේ සටහන් දෙකේම ස්වර්ණා ගැන ලියවුනෙ බොහොම අඩුවෙන්. වැඩිපුරම ලියවුනෙ මගෙ ඔය වැල් වටාරං. ඒකෙ ඉතිං අමුතුවෙන් කියන්ට දේකුත් අය තියනවය ආය. නැද්ද? හැමදාම වෙන්නෙ ඔය ටිකනෙ. අනික ඉතිං ස්වර්ණා ගැන අපි වගෙ නෙවෙයි ඔය ඕන හැටිය ප්‍රබුද්ධ විචාරකයො ලියයිනෙ මාගල් වගෙ. ඒ හින්ද අපි ඔය පල්හෑලි ටිකක් ලිව්වට ස්වර්ණා තරහ වෙන එකකුත් නෑ. මෙව්ව කියවන ඔබ තමුන්නාන්සෙල තරහ වෙන එකකුත් නෑ.. එහෙමනෙ නේද? එහෙනං හාද?

ස්වර්ණා ගැන පහත සටහන මම උපුටා ගත්තෙ ශ්‍රී ලංකාවේ සිනමාව යූ ටියුබ් අඩවියෙන්

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වූ උපහාර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි.

වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකේය සිනමාවට සිදු කළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

“සිනමාවේ ගැහැණිය ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය” සමරු ග්‍රන්ථය ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකික රසිකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තරව ද ආදරය දිනාගත් විශිෂ්ට සිනමා චරිතයක් බවයි. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තවත් විශිෂ්ට සේවාවක් ඉටුකිරීමට එතුමියට හැකිවේවායි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.


ඉතිං තව වැදගත් සිද්ධියක් මතක් කරන්න ඕන. මේ පහුවෙච්චි ජනවාරි 21 වෙනිදට සිංහල සිනමාවට වසර හැත්තෑවක් පිරෙනව. පලමුවන සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව තිරගත වෙලා තියෙන්නෙ 1947 ජනවාරි 21 වෙනිද. මේ ඒ වෙනුවෙන් නිමවුනු වාර්තා වැඩ සටහනක්.....


47 comments:

  1. අම්ම තාත්තා දැක්කවගේයි රවියෝ... ඔන්න ඔහොම බෝ ඔය දේශාපාලානේ ට එහා ඒවා ඒවා ලියපන්කෝ මේ අපිටත් කියවන්න...
    ස්වර්ණා කියන්නේ මගෙත් ප්‍රියතම වර්ගයේ කාන්තාවක්. නිළියකට එහා ගිය කාන්තා චරිතයකුත් ඇයට තියෙනවා නෙව. මම දැක්ක අර කසුන් පුස්සෙවෙලලා මේ ගැන සාකච්චාවක් කරලා ඊයේද කොහෙද. ඒකේ වීඩියෝ එකත් තියෙනවලු. ආවම උඹටත් ගෙනත් දාන්නම්කෝ මෙතන.

    ReplyDelete
    Replies
    1. Rangi,

      /ඔන්න ඔහොම බෝ ඔය දේශාපාලානේ ට එහා ඒවා ඒවා ලියපන්කෝ මේ අපිටත් කියවන්න.../

      හරි හරි බං හැමදෙයක් ගැනම ලියන්ට එපාය..එහෙම අයට කියන්නෙ "සර්වභක්ෂක" කියල...පොඩි කාලෙ උඹ ඉගෙන ගත්තෙ එහෙම නැත?

      /මම දැක්ක අර කසුන් පුස්සෙවෙලලා මේ ගැන සාකච්චාවක් කරලා ඊයේද කොහෙද. ඒකේ වීඩියෝ එකත් තියෙනවලු. ආවම උඹටත් ගෙනත් දාන්නම්කෝ මෙතන./

      අන්න වෙරි ගුඩ්...වේටිං ෆො ඉට්...තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්...:)

      ඒ ටික සිංහලෙන් නම් මෙහෙමයි

      වෙරි ගුඩ් = බඩු හොඳයි

      තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් = ඇඩ්වාන්ස් ලෙවල් ෆේල් උනාට ස්තූතියි

      Delete
  2. "එක්කො ඡායා නැත්නම් ටාසන් , ඒ කාලෙ කෑගල්ලෙ ටවුන් එකේ ඒ චිත්‍රපට ශාලා දෙක විතරයි තිබුනෙ."
    ඇයි බොල රංවල පරාක්‍රම හෝල් එක.
    රෑ 12.30 ටත් ෂෝ එකක් තිබුනා මට මත විදියට.
    වැඩිපුරම දෙමළ ඒවා.
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. Kegalle Ano,

      /ඇයි බොල රංවල පරාක්‍රම හෝල් එක./

      පරාක්‍රම එක තිබ්බ තමයි. ඒත් මම කිව්වෙ ටවුන් එකේ හෝල්ස් ගැන. ඒ කාලෙ අපි කෑගල්ල ටවුන් එක කියල සැලකුවෙ A1 මාර්ගයෙ 48 කණුව සහ 49 කණුව අතර කොටස විතරයි. 48 කණුව තිබ්බෙ අපේ ඉස්කෝලෙ ගාව. එතකොට 49 කණුව තිබ්බෙ පොලිස් ග්‍රවුන්ඩ් එක ගාව.

      පරාක්‍රම එකේ අපි බැලුව Crazy Boys ෆිල්ම්ස් දෙකක්. Crazy boys of the Games & Crazy boys at the super market.

      Delete
  3. ඇහැට දැනෙන රැඟුමන් ඇගෙ පිරී ඇතේ
    නැහැ තව දක්ෂයෙක් ඈ පමණක්ම වෙතේ
    බැහැ හඳුනන්න ඇගෙ දස්කම නිමක් නැතේ
    ගැහැණිය ඇයයි හෙළ සිනමා කතා පොතේ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      කවිකාර දුමියා,
      හැමදාම කවි ලිව්වා,
      කවි ලියන උගෙ අතට පෙම්මා,
      තිසරණ සරණ ලැබ නිදුක් වෙම්වා!

      Delete
  4. යසපාලිත හැදු රස සාගයක් වුණු අංජානාත් මට හොඳයි.
    ස්වර්ණා-රොබින්, විජය-ගීතා!

    ReplyDelete
  5. හප්පේ ඇති යංතං ස්වර්ණ ගැන වචන දෙකක් හරි ලියල තියෙනවනෙ.

    මමනං ඔය දඩයම බලල තියෙන්නෙ ටීවී එකේ. මටත් හොඳට මතකයි ඔය අන්තිම සීන් එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /හප්පේ ඇති යංතං ස්වර්ණ ගැන වචන දෙකක් හරි ලියල තියෙනවනෙ./

      උඹට ස්වර්ණා ගැන වැඩි විස්තර දැනගන්න ඕනනං ඔය ඕන හැටිය තියෙන්නෙ බං ජාලෙ පුරහම..ආව මෙතන ස්වර්ණා ගැන විස්තර කියවන්ට..හුහ්...

      Delete
  6. //ඒත් මට හිතුන ආයම මුල ඉඳල එක පිළිවෙලකට මට වෙච්චි දේවල්, මම කරපු දේවල් එහෙම ලියාගෙන යන්ට.// එතකොට ඔහේ මේක ලියන්නෙ ලබන ආත්මෙ ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ..දැනට සෑහෙන්ට ලියල තියෙන්නෙ...ඔක්කොම එකට දාන්ටයි ඉන්නෙ...සෑම දින තුනකටම සැරයක් පෝස්ට් එකක් පලකරන්ටයි මම හිතාගෙන ඉන්නෙ..කොහොමද? වෙරි ගුඩ් නෙවද?

      Delete
  7. රවීයියා "කැඩපතක ඡායා" චිත්‍රපටියට අකමැතිද?මට නම් ස්වර්ණාගේ මතක හිටිනම රංගනයක් එය.විජය කුමාරතුංග රෝහල් ඇඳේ ඉන්නා විට ඇසිඩ් කෝප්පය අතින් අරන් එන ස්වරණාගේ වියරු මුණ මට මේ දැනුත් මැවී මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නෙ මනෝජ් ඉන්න තැන...
      ඉස්කෝලෙ ළමයෙක් වගේ ඇඳල "අපිව චෙක් කරන්නෙ නැද්ද අපි ගාවත් බෝම්බ තියනව" කියල සනත්ට කියන තැන අපූරුයි...

      Delete
    2. මනෝජ් සහ තිස්ස,

      මම හිතන්නෙ ළමයි එතන මමත් වැටුනෙ අර අම්මල සුපිරි චෙෆ් ල උනාම පුත්තු වැටෙන අමාරුවෙ.

      අම්මගෙ රස මසවුලු තුන් වේලටම කාල පුරුදු උනහම කට දිව රස නහර ඒකටම හුරුවෙනව. ඉතිං වෙන්නෙ පෙළවහක් කරගෙන ගියාම බිරින්දෑ තොමෝ මොනතරං ජිම්නාස්ටික් දාල ඉව්වත් රහ නෑ. එක කටක් කාපු ගමං මූණ ඇඹුල්වෙනව. "අපෙ අම්මනං මෙහෙම නෙවෙයි හතු මාළුව උයන්නෙ.." ඉබේම එහෙම කියවෙනව.

      ආය මොනවද අර උදේ ඉඳල නැගීගෙන උයපු උන්දැට උතුර දකුණ මාරු වෙනව. "ආ..එහෙමද? අම්මගෙන්ම කාල ඉන්ටනෙ තිබ්බෙ..මොකටද කසාදයක් කරගත්තෙ?" කියල පුපුර පුපුර මේසෙං නැඟිටිනව.ඒ ටිකක් නිවුණු සැණහුනු අර විසාකාව වගෙ බිරින්දෑ කෙනෙක් හිටියොත් නැත්තං එහෙම බත් කෑම පැත්තක තියල ඩෙටෝල් දාල නාකියාගන්ට වෙනව ඔලුවෙ පුරා තියෙන හතු හොද්ද යවාගන්ට.

      මේ..වරදවා හිතන්ට එහෙම එපල්ල. මට එහෙම හතු මාලුව හෝදන්ට නාන්ට උනාට කියනව එහෙම නෙවෙයි හොඳද? අපරාදෙ කියන්ට බෑ අපේ ප්‍රියම්බිකා තොමෝ ඒ අතින් අදහන්ට වටිනව. මට නාන්ට වුනේ අඹ මාලුවක් හෝදල යවන්ට.

      ඉතින් මෙතනත් වුනේ එකයි. ඉස්සෙල්ල දඩයම බලල ඒකට වහ වැටිල හිටපු හින්ද මම කැඩපතක ඡායා බලන්ට ගියෙ වසන්තයි ස්වර්ණයි එකතුවෙලා තවත් සුපර් වැඩක් කරල ඇති කියන බලාපොරොත්තුවෙන්. ඒත් ඒ බලාපොරොත්තු කඩවුණා.

      Delete
    3. කැඩපතක ඡායා තමයි වසන්ත ඔබේසේකරගේ චිත්‍රපට මම නොහිතපු විදිහට එපා වෙන්න ගත්ත තැන. ඒත් ස්වර්ණාගේ රඟපෑම් ෆිල්ම් එක ඇදගෙන දිව්වා.

      Delete
  8. ලිපිය පීරල පීරල ස්වර්ණා ගැන ඩිංගිත්තක් හොයා ගත්ත...

    ReplyDelete
    Replies
    1. තරු,

      අන්න එහෙමනෙ නෝනෙ..අමාරුවෙන් පීරල හොයාගන්න දේවල් වල තමයි අගය වැඩි...:)

      Delete
  9. ඇයි බං ගොපළු හඬ සමග චීන සර්කස් මතක නැද්ද? උඹ හරි ස්වර්ණා බැඳල හිටියෙ හර්බට් රංජිත් පීරිස් තමා. පොර මැරෙනකල්ම ඒ කසාදෙ තිබුනා කටුගෑවේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහෙට බ්ලොග් එකක් තියෙනව කියල මතක නැද්ද?

      Delete
    2. හැලප,

      /ඇයි බං ගොපළු හඬ සමග චීන සර්කස් මතක නැද්ද?/

      හරි නෙ...ගොපළු හඬ සමඟ චීන සර්කසුත් පෙන්නුව නේන්නං...හරූන් ලන්ත්‍රා මගෙ නාමලී බැඳි ආදරේ කිව්වෙ ගොපලු හඬේ නේද?

      /උඹ හරි ස්වර්ණා බැඳල හිටියෙ හර්බට් රංජිත් පීරිස් තමා. පොර මැරෙනකල්ම ඒ කසාදෙ තිබුනා කටුගෑවේ නෑ./

      හප්පේ ඇති යාන්තං...ජාලෙ කොහෙවත් ඒ ගැන කිසිම සඳහනක්වත් තිබ්බෙ නැති හින්ද මම ඒ කතාව නොලියන්ටත් හදල ඒත් මට සීයට අනූවක්ම ෂුවර් හින්ද ලිව්ව....ස්තූතියි මචං....:)

      Delete
    3. හැලපෙගේ කතාව හරි. හර්බට් රංජිත් පීරිසුත් හොඳ බුවෙක් කියලා කස්ටිය කියනවා. උඹලට මතකද නන්දන ඩෙප් වීරසිංහ කියන සිනමාකරුවා...

      රවී මම පෝස්ට් එක කියවලා එන්නම්....මගේ ලව් එක ස්වර්ණා බං. හප්පේ ෆිල්ම් එකක් බලලා ආවට පස්සේ නින්ද යන්නේ නැහැ..

      Delete
  10. දැං කෝ සුවර්ණ :-D :-D
    අවුලක් නෑ. මෙහෙම තමා හොඳ. මොකද හෙන ගල් කෙබර අතාරින කලු බූසන විසාරද අයගෙ කොර වෙන පොර ටෝක්ස් වලට වඩා මේ වගේ ලිපියකින් පොඩි ගැම්මක් තියේ


    හේහේ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඒකනෙ බං... නෑ මම කියන්නෙ ස්වර්ණා කවුද කියල අපි හැමෝම දන්නවනෙ. අනික ඒ ගැන නොදන්න කෙනෙකුට උනත් හොයල බලන්ට කිසිම අමාරුවක් නෑනෙ. ඒ හින්ද මම හිතුවෙ එකම දේ ආයම ලියනවට වඩා වෙන ක්‍රමයක් බලමු කියල..හෙහ්,හෙහ්,

      මේකට කියන්නෙ බං "පඳුරු තලා උපහාර පිදීමේ ක්‍රමය" කියල ඉංගිරිස් වලින් කිව්වොත් "Appreciating by beating around the bush method"

      Delete
    2. What Bush? Not 'Rose Bush' I suppose... ;-)

      මම මේ තාම කල්පනා කරන්නෙ උඹ ඔය කියන ගඟබඩ පාර මොකක්ද කියලයි. ස්ටේෂන් එක පහුකරලා යන්ට කියන්නෙ කණුපැළැල්ල පැත්තට ද නැත්තං ටවුන් එක පැත්තට ද? මට මතකයි බොලා කණුපැළැල්ලෙ හිටියය කියලා මීට කලින් කොහෙදෝ කියලා තියෙනවා. ස්ටේෂන් එක ළඟම තමා ඒ කාලෙ බස් ස්ටෑන්ඩ් එක තිබුනෙත්. පස්සෙ කාලෙ තමා ඔය දැන් තියෙන තැනට ගෙනාවෙ.

      Delete
  11. සිංහල සිනමාවේ හොඳම කාලෙ අපි ඉපදිලත් නෑනොවැ :(

    සුදු අරලියාගමේ අලුත්ම එක දැක්කෙ නැතෙයි ? පණ ගියා මේක බලලා:)
    https://www.youtube.com/watch?v=kR7D1-5rfk4

    ReplyDelete
  12. ඒ වෙන හෙන්රි කෙනෙක් වෙන්න ඕනෙ. මොකද මම ඕවගෙ පයිත්තියං කතාවක් කියපු බවක් මට මතක නෑ.

    මචං පොඩිම කාලෙ වෙච්ච දේවල් මටත් මතක තියෙනවා. අපිට කිසිම දෙයක් අමතක නෑ. නමුත් ඒවෑ ඉන්ඩෙක්සිං අප්සෙට් නිසා හොයාගන්න බැරි කමයි තියෙන්නෙ. අර අපිලිවෙලට තියෙන ස්ටෝරු කාමරයක් වගෙ.

    උඹ සඳාගෙ මූණට අකමැතියි කියලා නොකියා කියලා තියෙන්නෙ දත් නැතුව බත් කන්න හිතිලද නැතිනම් උඹ ආයෙ ගෙදර යනකොට එයාට ඕක අමතක වෙයි කියලද?

    ReplyDelete
    Replies
    1. Henry,

      /ඒ වෙන හෙන්රි කෙනෙක් වෙන්න ඕනෙ. මොකද මම ඕවගෙ පයිත්තියං කතාවක් කියපු බවක් මට මතක නෑ./

      උඹ නෙවෙයි තමයි බං...ඒකනෙ මම එතන කිව්වෙ..ඒක කිව්වෙ අර නොකී කතා ලියන හෙන්රියා...:)

      /උඹ සඳාගෙ මූණට අකමැතියි කියලා නොකියා කියලා තියෙන්නෙ දත් නැතුව බත් කන්න හිතිලද /

      නෑ..නෑ..අපෙ උන්දැගෙ මූණෙ ප්‍රොෆයිල් එක ස්වර්ණගෙ වගේ තමයි..මම ඔය බස් එකේ එක සීට් එකේ ඉඳගෙන යද්දි යම්තමට හැරිල බලපුවාම දැක්කෙ ඉස්සෙල්ලම ප්‍රොෆයිල් එකනෙ. ඒක හින්දයි මම එක පාරටම කැමති වුනේ. ඔය කතාව මම කිව්ව බ්ලොග් ලියන්ට පටන් ගත්ත අලුතම වගෙ...:)

      Delete
  13. දවසක් සෙට් වෙන්ඩ හම්බුනා කේ ඒ විජේරත්න මහත්තය එක්ක ... පොර රෑ එලිවෙනකං ස්වර්ණ ගැන තමා කිව්වෙ ... මේ මොන ජීවිතද .. ඒවනෙ හලෝ ජීවිත ...

    ReplyDelete
  14. සුවර්ණා ගැන කලින් ලියල ස්වර්ණා ගැන ලිව්ව එක අගෙයි.
    මාත් මේ කතාබහට පොඩි ඌනපූර්ණ ටිකක් ලියන්නම්.
    ස්වර්ණා අතුරුදන් වුණේ (එංගලන්තතය හරහා ඕස්ට්‍රේලියාවට ගියේ) හන්තානෙ කතාවෙන් පස්සෙ නොවේ. අහස් ගව්ව, මාතර ආච්චි, ගොපළු හඬ එහෙම රඟපාලයි.
    හර්බට් රංජිත්ව බැන්දෙ ආපහු ලංකාවට ආවමයි.
    ජෝ ඇයව ලංකාවට ගෙන්න ගත්තෙ සිංහබාහු ෆිල්ම් එකට.
    හංසවිලක් රඟපෑවෙ තවත් චිත්‍රපටි කීපයක රඟපෑවට පස්සෙයි. ඒත් දෙවෙනි ගමනෙදි මුලින්ම හිට් වුණේ හංසවිලක්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි..ස්වර්ණා යන්න ඉස්සෙල්ලා විනෝදාත්මක ෆිල්ම්ස් කීපයකුත් කරලා තිබුනා කියලා මට මතකයි. මම හරිද මන්දා.....

      Delete
    2. හෙන්රි,

      බොහොම ස්තූතියි ඌන පූර්ණයට...:)

      Delete
  15. මේ අතරින් චිත්‍රපට කීපයක්ම බලලා තියනවා... ඒ අතරින් හන්ස විලක්, දඩයම, කැඩපතක ඡායා වල ස්වර්ණගෙ රගපෑමට මං ගොඩක් කැමතී...

    ගන්න ආදර්ශයක් නෑ කියන එක වැරදී... දැනටම එක ආදර්ශයක් අරන් තියෙන්නේ්... මොකක්ද දන්නවද... මොකක්හරි කියන්න යනකොට සියලු අටුවා ටීකා ටිප්පනි කියන එක:D

    ReplyDelete
  16. රවී අයියා ස්වර්ණා ගැන ලියයි කියලා අරූ මල්ලිට හිතුනා. එක පාරක් රැවටුනා සුවර්ණා ගැන කියවලා. මචං..ස්වර්ණා ගැන මෙහෙම ලියවෙන්නේ, ඒ ගැහැණිය තුල යම් තාක් දුරට මහා ගාම්භීරත්වයක් තිබුන නිසානේ. සිනමා චරිත තුල විතරක් නෙමේ පෞද්ගලික චරිතය තුලත් මේ යකඩ ගෑණි හිටියා කියලා මට හැඟෙනවා.

    වරක් ඒයාගේ ඉන්ටවිව් එකකදි කියනවා" මට කොහොමහරි ඔහුගෙන් දරුවකු ලබා ගැනීමේ උවමනාවක් තිබුනා" කියලා. ඇය තමයි නරේන්ද්‍රා. ඔහු තමයි ධර්මසිරි. මේ සාකච්ඡාව මම කියෙව්වා ඒ කාලේ. මට දැන් හොයා ගන්න බැහැ.

    මම ස්වර්ණාගේ කටහඬට තමයි වඩාත් කැමති. ඒක මහා යමක් ඉල්ලන කට හඬක්. තව ලියන්න බොහෝ දේ තිබෙනවා. එකක් තමයි ඇයගේ වේදිකා භූමිකාව පිලිබඳ. එය එතරම් සාර්ථක යැයි මම සිතන්නේ නැහැ. අනික ඇය ගතකල මවගේ භූමිකාව. මට හිතෙන්නේ ඒ භූමිකාව පිලිබඳත් කවුරු හෝ ලිවිය යුතුයි. දිරිය ගැහැණියක්...

    මමයි, මගේ මිතුරියයි දෙන්න එකට ඉස්සෙල්ලාම බැලුවේ දඩයම. මහරගම නැශනල් එකේ.

    ReplyDelete
    Replies
    1. Aru,

      /සිනමා චරිත තුල විතරක් නෙමේ පෞද්ගලික චරිතය තුලත් මේ යකඩ ගෑණි හිටියා කියලා මට හැඟෙනවා./

      මගෙ මාමණ්ඩි කියනව වගෙ අන්න ඒකයි ඒකෙ අවයවය...:)

      Delete
  17. ස්වර්ණා මගෙත් ප්‍රියතම නිළිය. ඒ වගේ ටැලන්ට් එකකට අපේ සිනමාව කුඩා වැඩියි. මම ස්වර්ණාට කැමති වෙන්න තව හේතු කිහිපයක් තියෙනව..

    ReplyDelete
  18. //ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල තමයි දැනගන්න වෙන්නෙ. // හත්වලාමෙ Paedeophile කෙනෙක් ගෙන් අහල උඹ හිරේ පලයං අයියණ්ඩි... :P
    (උඹේ අයිරනිය මට නොතේරුණා නොවේ...)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...