Thursday, January 19, 2017

474. The Story Of My Marriage - 31 - කර්ණාටක සංගීතයෙන් රසවත්වුනු සැඳෑවක්.....

තාම්පූරාව වයන ඉන්දීය යුවතියක්

"මේ ඕක ආයෙ හදන්න බෑ අයිසෙ. තමුසෙ හදන්නෙ ඕක තවත් විනාස කරල දාන්න. ඔතනින් නැඟිටල මෙන්න මෙහෙ එනව. ඇවිල්ල ඉඳ ගන්නව" අනන්‍යාගේ පියා මා මෙතෙක් ඔහු හා ගතකල මේ ඉතා අල්පවූ කාල සීමාව තුල තෙවන වරටත් කෑගැසීය.

නිහඬව හිස පහත්කොටගත් මම අනන්‍යාගේ පියා පසුපසින් ඔවුන්ගේ සාලයට ඇතුලුවූයේ කොහේ හෝ ඇඳ ඇති රංගෝලි රටාවක් මගේ දෙපයට පෑගී සුනුවිසුණු වී යාදෝයි බියෙන් තැතිගෙන ගැහෙනා හදවතින් යුතුවය. ඒ යන අතරද මට කල්පනාවූයේ කෙදිනක හෝ අනන්‍යා සමඟ විවාපත්ව මේ නිවසේ රාත්‍රිය ගත කරනා දිනයෙක උදෑසන අවදිවනවිට සයනය වටා රංගෝලි රටාවන් ඇඳ තිබුණහොත් මුළු දවසම සයනය මත ගතකරන්නට සිදුවේද යන්නයි. ඒ පිළිබඳව අනන්‍යාගේ පියාගෙන් විමසා සැකහැරගතයුතු බව මම තීරණය කළෙමි.

"මේ සර්....." මම පහත් හඬින් අනන්‍යාගේ පියා ඇමතීමි. 

ඒ වනවිට අප සාලයට පිවිස සිටියෙමු. ඔවුන්ගේ සාලයෙහි එක් පසෙක බොහෝසේ තුනී කුලිච්චම් අතුල ඉතා සරල ලෙස නිමැවුනු සෝපාවන් කිහිපයක් විය. පම්මි ආන්ටිගේ නිවසේ වූ රත් පැහැ විල්ලූදයෙන් පෝරු දැමූ මහා සෝපා රාජයින් සිහිව මගේ දෙතොලට සිහින් සිනහවක් නැඟුණි. 

ලා කොළ පැහැ  ඩිස්ටෙම්පර් තීන්ත ආලේප කල බිත්තිවල දකුණු ඉන්දියානු දෙවිවරුන්ගේ රාමුකල ඡායාරූප විශාල සංඛ්‍යාවක් එල්ලා තිබිණි. සාලයට ඔබ්බෙන්වූ ආහාර ගන්නා කොටසෙහි පුටු නොතිබුණු අතර ආහාර ගන්නාවිට හිඳ ගැන්ම උදෙසා තුනී හතරැස් මෙට්ට වැන්නක් බිත්තිය දිගට එලා තිබිණි.

මීට අමතරව ආහාර ගන්නා කොටසෙහි එක් කෙළවරක හැකිළිය හැකි පටු ඇඳක් වැන්නක්ද විය. ඒ මත බිත්තියට හේත්තුකොට සිතාරය වන් සංගීත භාණ්ඩයක්වූ තම්පුරාවක් විය. එමෙන්ම මුහුණ පුරා සම රැළි වැටුනු මහළු මිනිසෙක් කිසිදු අරමුණකින් තොර හිස් බැල්මක් දෙනෙතෙහි රඳවාගත්වනම එම ඇඳ මත හිඳ සිටියේය.

තාම්පුරාව සහ ඒ අසල හිඳ හුන් මහළු වාදකයා දුටු වහාම මසිතට නැඟුනේ මහත් විශ්මයකි. අනන්‍යාගේ දෙමව්පියන් රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් රසවත් කරනු පිණිස සජීවි පසුබිම් සංගීත වාදනයක් ද සංවිධානය කරනු ඇතැයි මම සිහිනෙනුදු නොසිතීමි. "හෙහ්,හෙහ්, මේ යෝදිගෙ අම්මයි තාත්තයි අදහන්ට වටිනවනෙ. මෙන්න බලාපල්ලකො ලයිව් තාම්පූරා රෙසයිට්ල් එහෙකුත් ලෑස්ති කරලනෙ ඩිනර් එකට පසුබිම් සංගීතෙ හැටියට" මම මටම තොල මතුරා ගතිමි.

ඒ පිළිබඳව අනන්‍යාගේ පියාහට ස්තූති කිරීම මගේ යුතුකමකි. එබැවින් මම සෙමෙන් ඔහු වෙත ළංවීමි. " සර්...මම මේ සර්ට…"

"ඉඳගන්නවා…" අනන්‍යාගේ පියා මදෙස හැරී බැලීමට හෝ වෙහෙසනොවී ඒ අසල වූ සෝපාව වෙත සුරතේ දබරැඟිල්ල දිගුකලේය. මම කොපමණ තැතිගත්තේද යත් ඔහු පෙන්වූ සෝපාවෙහි හිඳගත්තා නොව ඒ මතට නිරායාසයෙන් ඇද වැටුනෙමි.

එවර මදෙස හැරී බලා කුමක් හෝ පවසන්නට සූදානම්වූ ස්වාමිනාදන් මහතා යලි එම අදහස වෙනස්කොට හිස සෙමෙන් දෙපසට කිහිපවරක් සලා සුසුමක්ද හෙලා අසල වූ කනප්පුව මතවූ පුවත්පතක් අතට ගෙන මා ඉදිරියේ වූ සෝපාවෙහි හරිබරි ගැසී හිඳගත්තේය.

ඒ ජීවිතයේ පළමු වරට මම අනන්‍යාගේ පියාණන් සමඟ මුහුණට මුහුණ හිඳගත් අවස්ථාවයි. මේ ලැබුණු අවස්ථාව අපතේ නොහැර යම් වැදගත් මාතෘකාවක් පිළිබඳ ඔහු හා සමඟ විද්වත් සාකච්ඡාවක යෙදිය යුතුයැයි තරයේ සිතාගත් මම සුදුසු මාතෘකාවක් පිළිබඳව මොළය වෙහෙසමින් සිතන්නට වීමි.

මිනිත්තු තුනක් හෝ හතරක් පමණ මෙසේ ගත වූවද කිසිදු සුදුසු වැදගත් මාතෘකාවක් මසිතට නොනැඟිණි. අවසන මම අනන්‍යාගේ පියාණන් දෙසට හැරී සෙමෙන් උගුර පෑදීමි.

"මේ පළාත නම් පදිංචියට හරිම අපූරුයි නේද?" අනන්‍යාගේ පියාණන්ගේ චිත්ත සන්තුෂ්ඨියට හේතුවිය හැකි මාතෘකාවක් ලෙස මසිතට අවසානයේ පිවිසියේ ඔවුන්ගේ නිවසේ පිහිටීමේ ප්‍රශස්ත බව පිළිබඳව සාකච්ඡා කිරීමයි.

"මොන විකාර කතාවක්ද ඒ? මේ පළාතෙ හරියකට වතුර ටිකක් නෑ. සමහරවෙලාවට නනා ඉන්නකොට වතුර කපනව හුටස් ගාල. එහෙම තියෙද්දි තමුං කියනව පදිංචියට හොඳ පළාතක්ය කියල. ඔලුව හොඳ නැද්ද මන්දා...." කියවමින් සිටි පුවත්පත වහා පහත්කල ස්වාමිනාදන් මහතා සතුරු බළඇණියක් වෙත මැෂින්තුවක්කුවකින් වෙඩි මුරයක් නිකුත් කරනා සෙබළෙකු මෙන් එසේ පවසා යලි පුවත්පත ඔසවා ගත්තේය.

මේ ප්‍රදේශයෙහි එනම් මයිලපෝර් හි පදිංචිකරුවන්ට උග්‍ර ජල හිඟය හේතුකොටගෙන විඳින්නට සිදුව ඇති අපහසුතා පිළිබඳව වරදකරු මම බව කොන්දේසි විරහිතව පිළිගත් අයුරින් මම දුක්මුසු මුහුණින් යුතුව හිස පහතට හරවාගතිමි. එසේ සිටිමින් ඒ පිළිබඳව ස්වාමිනාදන් මහතාගෙන් සමාව ඉල්ලා සිටියයුතුද යන්න පිළිබඳව කල්පනා කරන්නට වීමි.

අප තිදෙන මෙසේ ගල් පිළිම මෙන් නොසෙල්වී තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය. මම සෝපාවෙහි හිඳගත්වනම හිස පහතට හරවාගෙන දුක්මුසු මුහුණින් යුතුව පසුවෙමි. ස්වාමිනාදන් මහතා මා ඉදිරියේ වූ සෝපාවෙහි හිඳගෙන පුවත්පත ඔසවා මුහුණ වසාගෙන ඒ කියවයි. මුහුණෙහි රැළි වැටුනු මහළු තාම්පූරා වාදකයා මුල්ලෙහිවූ පටු ඇඳෙහි හිඳගත්වනම හිස් බැල්මකින් කොහේදෝ අරමුණකින් තොරව බලා හිඳියි.

තවත් මේ දරුණු නිශ්ශබ්දතාවය ඉවසනු නොහැකි සඳ මම මහළු වාදකයා දෙස බලා හෘදයංගමව සිනාසුණෙමි. ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සුපුරුදු හිස් බැල්මෙන් බලා සිටියේ මගේ සිනහව නොදුටුවා සේය.

තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය. සාලයෙහි පමණක් නොව මුළු නිවසෙහිම පිරී පැවතියේ ගැඹුරු නිශ්ශබ්දතාවයකි. පන්ජාබී නිවෙසක නිවැසියන් සියල්ල නින්දට වන් රාත්‍රී කාලයක වුව කිසිසේත්ම මෙවන් නිශ්ශබ්දතාවයක් නොපවතින බව දෑස් පියාගත්වනම සිත අයාලේ දුවවමින් හුන් මට සිතිණි.

ස්වාමිනාදන් මහතා සත්‍ය වශයෙන්ම පුවත්පත කියවන්නේද නැතහොත් ඔහු මා මඟහැරීමෙහි උපායයක් වශයෙන් එසේ රඟන්නේද යන්න පිළිබඳව මසිත සැකසහිත වූයේය. මම සෙමෙන් ඉදිරියට නැවී ඔහු මුහුණට ඉදිරියෙන් අල්ලාගෙන සිටිනා පුවත්පතට ඉහලින් එබී බැලුවෙමි. ඔහු කියවමින් සිටියේ ද හින්දු පුවත්පතේ සංස්කාරක සටහනයි (Editorial ) 

(සටහන - එඩිටෝරියල් යනු කතුවැකිය ලෙස බොහෝවිට යෙදුනද ඒ සඳහා වඩාත් නිවැරදි යෙදුම සංස්කාරක සටහන යන්නයි.)

ආරක්ෂක අමාත්‍යවරයා විසින් නාවික හමුදාපතිවරයා තනතුරෙන් පහ කිරීම පිළිබඳව ඉන්දීය රජය විසින් වහාම අපක්ෂපාත පරීක්ෂණයක් ආරම්භ කල යුතුයැයි තමිල්නාඩුවේ AIADMK පක්ෂය කල ඉල්ලීමක් අරභයා ලියැවුනු ඒ සංස්කාරක සටහන පත්‍රයේ එක් පිටුවක් පුරා ලියැවුණකි. ඉතා හරබර ලෙස ලියැවුනු එවන් දේශපාලනයට සම්බන්ධ ලිපි අප පවුලේ හෝ හත්මුතු පරපුරේ කිසිවකු හෝ හිසට පිස්තෝලයක් එල්ල කොට තර්ජනය කරනු ලැබූවද නොකියවන බව මට හෙට නැගෙනහිරින් හිරු උදාවනලෙස විශ්වාසය.

ඒ පිළිබඳව මම ගැඹුරින් සිතමින් සිටියදී ස්වාමිනාදන් මහතා එක්වරම පුවත්පත පහත්කොට "මොකද මනුස්සයො එබිල බලන්නෙ?" යනුවෙන් ඉතා සුහදව විමසීය.

"නෑ..නෑ..සර් මොකවත් නෑ…" මම වහා සෝපාවේ සෘජුව හිඳගෙන දෑත උකුල මත තබා ගාම්භීර පෙනුමක් මුහුණට නඟා ගතිමි. එසේම මෙලෙස දරුණු වරදක් කලාසේ වරදකාරී හැඟීමක් මසිත පහළ වූයේ කුමක් හෙයින්ද යන්න වටහාගැන්මට පවා මම අපොහොසත්වීමි.

ස්වාමිනාදන් මහතා තවත් මිනිත්තු පහක පමණ කාලයක් නිහඬව පුවත්පත කියවීය. ඔහු ඊලඟ පිටුව පෙරලන්නට පුවත්පත පහත් කල විට මම වහා ඔහු ඇමතූයෙමි. "මේ... මේ...සර්?"

ඔහු කිසිවක් නොපවසා පහත්කොටගත් පුවත්පත එලෙස තබාගත්වනම මා දෙස බලාසිටියේ "මොකද මනුස්සයො? මොකක්ද මේ මල කරදරේ? ඔහේ මට මේ පත්තරේ නිදහසෙ කියවගන්ට දෙනවද නැද්ද?" යන්න නොඅසා අසමිනි.

"ගෙදර වෙන කවුරුවත් නැද්ද සර්?" මම සුහද සිනහවක් නඟාගනිමින් විමසීමි. 

"නැතුව ආය? ගෙදර ඉන්නෙ නැතුව වෙන කොහෙ යන්ටද ඒ ගොල්ලො?" ස්වාමිනාදන් මහතාගේ මුව මඳක් විවර වූයේ මම එවන් ප්‍රශ්ණයක් විමසීම පවා ඔහුට මහත් විශ්මයක් ගෙන දුන් සේය.

"නෑ මම මේ ඇහුවෙ වෙන කවුරුවත්ම පේන්ට නැති හින්ද…"

"ඒ ගොල්ල උයනව. ඇයි ඔහෙට ඇහෙන්නෙ නැද්ද ඔය ග්‍රයින්ඩරේ සද්දෙ?" අනන්‍යාගේ පියා නිරන්තරයෙන් මෙසේ කිසිවකු නොරුස්සන ස්වභාවයෙන් කල්ගත කරන්නේද නැතහොත් අද ඔහු විශේෂයෙන් කෝපාවිෂ්ඨ මනෝභාවයකින් කල්ගත කරන්නේද යන්න මට ගැටලුවක් විය. 

"ඊලඟ පාර අනන්‍යා හම්බවුනාම ඒ ගැන අහල දැනගන්ට ඕන මතක ඇතුව. සමහරවිට මේ මනුස්සයට මම මෙහෙ ආපු එක රුස්සන්නෙ නැතුව වෙන්න ඇති" මම තොල්මතුරා ගතිමි.

"ඔහේ මොකවත් එහෙම කිව්වද?" අනන්‍යාගේ පියා පුවත්පත පහත් කොට විමසීය. 

"ආ..නෑ..නෑ..සර් මම මොකවත් කීවෙ නෑ……….."

"හ්ම්ම්හ්…" ඔහු යලි පුවත්පතින් මුහුණ ආවරණය කොට ගත්තේය. මම ගැහෙන හදින් යුතුව පුවත්පත දෙස බලාසිටින්නට වීමි. එවර මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර ඔහු යලි පුවත්පත පහත් කලේය. 

"ඔහෙට වතුර ඕනද? "

"නෑ..නෑ..සර්..මට වතුර එපා.."

"මොකක්? වතුර එපා? ඒක මහ පුදුම කතාවක්නෙ....මොකද ඔහෙට වතුර එපාය කියන්නෙ?" ඒ ප්‍රශ්නයට මට දියහැකි තාර්කික පිළිතුරක් නොවීය.

මිනිත්තු භාගයක පමණ වේලාවක් කල්පනා කොට මට සිතාගත හැකිවූ එකම පිළිතුර නම් මේ නිවසෙහි සහ නිවැසියන්ගේ අද්භූත ගති ලක්ෂණ හේතුකොටගෙන ජලය උගුරක් හෝ නොපෙවෙන තත්වයට මම බියෙන් ත්‍රස්තවී සිටින බවකි. එහෙත් කෙලෙසකවත් මට එසේ පැවසිය නොහැක්කේමය. 

"හරි... හරි... සර් කියනවනම් එහෙනං වතුර එකක් බොමුකො" මම අවසානයේ සෙමෙන් පැවසුවෙමි.

"රාධා……………….." ස්වාමිනාදන් මහතා පුවත්පත කනප්පුව මත තබා නැඟිට මහහඬින් කෑගැසීය. "වතුර එකක් ගේනවද? "

"ම්ම්ම්...මේ..මේ... අර ඉන්නෙ අනන්‍යාගේ සීයද?" මම තාම්පූරාව අසල හිඳගෙන තවමත් හිස් බැල්මෙන් බලා සිටිනා මහලු මිනිසා වෙතට ඇඟිල්ලක් දිගුකොට විමසීමි.

"නෑ" ස්වාමිනාදන් මහතා එසේ පවසා යලි අසුන් ගත්තේය.

අනන්‍යාගේ පියා පිළිතුරු දෙනුයේ හුදෙක් විමසනු ලැබූ ප්‍රශ්නයට පමණක් බව මට මේ වනවිට වැටහී තිබිණි." එහෙනං කවුද ඒ?" මම වදනින් වදන උසුරුවමින් විමසීමි.

"ඒ රාධාගෙ කර්ණාටක සංගීත ගුරුවරයා. අද ඇවිල්ල තියෙන්නෙ රාධාට උගන්වන්න. ඒත් ඔහේ මේ හදිස්සියෙ රෑ කෑමට එනවයි කියපු හින්ද රාධා අන්න කුස්සියෙ උයනව. ඉතිං වෙන මොනව කරන්නද? ගුරුතුමා මෙතන ඇඳේ ඉඳගෙන ඉන්නව"

මම මද සිනහවකින් යුතුව හිස සළමින් ඔහු හා සම්පූර්ණයෙන් එකඟවන බව හැඟවීමි.

රිදී පැහැ බන්දේසියක් මත තබන ලද වතුර වීදුරුවක් සහ තෙලෙහි බදිනලද යම් කටගැස්මක් රැගෙන අනන්‍යාගේ මව සාලයට ඇතුළු වූවාය. සර්පිලාකාරව දඟර ගැසුණු දුඹුරු පැහැ එම කටගැස්ම පොසිලගතවුනු ආදිකාලීන කුඩා නාගයින් රැසක් මට සිහි ගැන්වීය. ඇත්ත වශයෙන්ම මම කිසි දිනෙක පොසිලගතවුනු නාගයින් දැක නැත්තෙමි. එහෙත් යම් දිනෙක එවැන්නක් දැකගන්නට හැකි වුවහොත් ඒ මෙසේ වියයුතුයැයි මම සිතා ගතිමි.

"හෙලෝ ආන්ටි..ඉතිං කොහොමද?" මම සෝපාවෙන් නැඟිට ඇය වෙත හැරී සිනහසෙමින් විමසීමි.

"හෙලෝ ක්‍රිෂ්" 

"සමාවෙන්න මම වැරදි වෙලාවක ඇවිල්ල ඔයාලව අපහසුතාවයකට පත්කලා නම්" මම සංගීත ගුරුවරයා දෙස බැල්මක් හෙලා පැවසීමි. 

"නෑ....නෑ... ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. අනන්‍යානෙ ඔයාට ආරාධනා කලේ. අනන්‍යා සාමාන්‍යයෙන් එහෙම තමයි. මගෙන් අහල නෙවෙයි ඕනම දෙයක් කරන්නෙ. ඒ හින්ද ඔයා ඒ ගැන හිත කරදර කරගන්ට අවශ්‍ය නෑ කොහෙත්ම….."

"නෑ ආන්ටි…... මම කියන්නද? අපි ඔක්කොම රෑ කෑමට කොහෙ හරි යමු හොඳ රෙස්ටුරන්ට් එහෙකට"

"නෑ..නෑ..ඕන නෑ...රෑ කෑම මම ලෑස්ති කරලයි තියෙන්නෙ" එසේ පැවසූ ඕ තම සැමියා දෙසට හැරුනාය. "මට සංගීත පාඩමට පැය බාගයක් දෙන්න"

සංගීත ගුරුවරයා වෙත ගිය ඕ පහත්ව ඔහුගේ දෙපා ස්පර්ශ කලාය. ඉක්බිති ඇඳ මත බිත්තියට හේත්තුකොට තිබූ තාම්පූරාව සුරතට ගෙන ගුරුතුමාද කැටුව සාලයෙන් පිටව ගියාය.

"ඉතිං? එතකොට සිටි බැංකුව ඔහේව දැම්ම චෙන්නයි වලට…….. එහෙමද?" ස්වාමිනාදන් මහතා මා අමතා සුහදව වදනක් දෙඩූයේ ඒ පළමුවරටය.

"ඔව් සර්"

"මට තේරෙන්නෙ නෑ මොන කෙහෙම්මලකටද ඔය මිනිස්සු උතුරු ඉන්දියාවෙ අය මේ දකුණට එවනවද කියල?"

"ඒකනම් මමත් හරියටම දන්නෙ නෑ සර්" මම හිස නවාගත්වනම පාපොච්ඡාරණය කලෙමි.

"පිස්සු මරගාත……" තමන්ටම එසේ පවසාගනිමින් ස්වාමිනාදන් මහතා යලි පුවත් පතෙහි හිස ඔබා ගත්තේය.

මම සිතට ධෛර්යය වඩා ගනිමින් උගුර පාදාගනිමින් ස්වාමිනාදන් නිවසට ඇතුළු වූ මොහොතේ පටන් මට අසන්නට අවශ්‍ය වූ ප්‍රශ්ණය විමසීමි. "සර්, මේ....මේ....කෝ අනන්‍යා?"

ස්වාමිනාදන් මහතා වහා ප්‍රවෘත්ති පත්‍රය පහත් කොට මා දෙස දෙනෙත් විදහා බලා සිටියේ මම ඔහු ඔහුගේ අසභ්‍ය චිත්‍රපට එකතුව සඟවා ඇත්තේ කොතැනකදැයි ඇසූ කලෙක මෙනි.

"අනන්‍යා නාන්ට ගියා. නාල ඉවරවෙලා එයා සන්ධ්‍යා දේව යාඥාවත් ඉවරවෙලාම ඒවි" ඔහු යලිත් මදෙස අප්‍රසාදය කැටිවූ බැල්මක් හෙලා යලි පත්‍රය වෙත නෙත් යොමාගත්තේය.

මම හිස සලමින් සිනාසුනෙමි. අනන්‍යා මා හා සමඟ අහ්මදාබාද්හි ඉන්දීය කළමණාකරණ ආයතනයෙහි අධ්‍යාපනය ලැබූ දෙවසර තුල කිසි දිනෙක සන්ධ්‍යා දේව යාඥාවක නොයෙදුණීය. 

ඒ සමඟම එක්වරම යාබද කාමරයකින් ඇසුණු දීර්ඝ වැළපිල්ලකින් මම තිගැස්සුණෙමි. කිසිවෙකු තවකෙකුගේ ගෙල තරව ගෙන ඉතා සෙමින් ග්‍රහණය දැඩිකරනා විටෙක නික්මෙන්නාවූ ළය විනිවිදයන විලාපයක් බඳුවූ ඉන් මා හදවත කම්පා වූයේ නිතැනිණි.

අඩක් විවරවූ මුවින් යුතුව වේගයෙන් ආශ්වාස කරමින් මම ස්වාමිනාදන් මහතා දෙස නෙත්යොමු කලෙමි. ඔහුද හිස ඔසවා මදෙස බලා සිටියේ රැළිකොටගත් දෙබැමින් යුතුවය. 

"ඇයි බය වුනාද? ඒ තමයි කර්ණාටක සංගීතය. තමුන් කලින් අහල තියනව නේද?" මම යටිතොල පෙරළා හිස දෙපසට සොලවා නැතැයි හැඟවීමි.

"මොනවද ඔහේ දන්නෙ එහෙනම් හැබෑටම?" එසේ පවසමින් ඔහු යලි පුවත් පත දෙසට නෙත් යොමුකොට ගත්තේය. 

ගිරිය යටින් කෑගසමින් හිසකෙස් දෑතින්ම සිඳගනිමින් උමතුවූවකු මෙන් මේ නිවසින් ඉවතට දිවයාමට මසිතේ පැනනැඟුනු අභිප්‍රාය මම මැඩපවත්වා ගත්තේ බලවත් අසීරුවෙනි. "මොනවද ක්‍රිෂ් උඹ මේ පිස්සන් කොටුවෙ කරන්නෙ? මොකටද උඹ මෙහෙ ආවෙ?" මම දත්මිටිකමින් මගෙන්ම විමසා ගතිමි. 

ඒ සමඟම කිසිවකු ගෙතුල සිට සාලය වෙත ලඟාවන පියවර හඬක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් මවිසින් මගෙන්ම විමසාගත් දෙවන පැණයට පිළිතුර සාලයට ඇතුලුවන දොරටුවෙහි එළිපත්ත මත පාදුර්භූත වූයේ දහසක් හිරු එක් අහසක නැඟියාක් මෙන් හාත්පස ආලෝකමත් කරවමිනි.

35 comments:

  1. රවී.
    මේ කතාව රසෙන් ඉහලයි. ඒ වගේම ඉන්දියාව ගැන පොඩි දැණුමකුත් අපට ලැබෙනවා. එපා නොවී කියවගෙන යන්න පුලුවන් විදිහට රවී ලියන එකටත් ස්තූතියි.
    ආදා පළමුවර තම පෙම්වතිය සොයා
    බාධා වැලක්දෝ එන්නේ ක්‍රිෂ්ව සොයා
    රාධා ආන්ටිව ඔය අතරේ දුටුව නියා
    පාදා සතුට ක්‍රිෂ් හිටියා ඉවත නොයා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. මං පළවෙනි ආපු හින්දා.....
    රවීට හරි ආස හිතිලා......
    දෙනවා කිවුවා තෑගි ගෙනල්ලා....
    දාමු කිවුවා දිගට නො නවතා......

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි කාලෙකට පස්සෙ අපේ ජෙනරාල් ඇවිල්ල..

      වෙල්කම් බෑක්..වෙල්කම් බෑක්..:)

      Delete
  3. අයියෝ... දෙක වෙලානෙ.....

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      හරි හරි දෙක උනාට මොකද බං? ගණං ගන්ට එපා...

      Delete
  4. පපුවෙ අමාරුවක් හැදිලා ඉන්දියාවෙ සැත්කමක් කරන්න ලුනුගල පලාතෙ මනුස්සයෙක් ට සිද්ද වෙනවා. දුප්පත් මනුස්සයට හැමෝම ආදාර කරනවා.

    සන්විදානාත්මක ඇල්බට් අන්කල් කෙනෙක් ඒ මනුස්සයගෙ වෛද්ය වාර්තා අරගෙන කොලඹ ඇවිත් ලැමිනේට් කරපු දැන්වීම් පොදු ජනතාව ගැවසෙන තැන් වල බෙදලා ඒවා එකතු කොරන ගමන් සල්ලිත් එකතු කරනවා...

    ඒ ලැබිච්චි සල්ලි වලින් කොටසක් අර ලුනුගල පපුවෙ අමාරුකාරයටත් ලැබිලා මනුස්සයා ඉන්දියාවට ගිහින් සැත්කම සාර්තකව කරගෙන ඇවිත් දැන් සන්තෝසෙන් ජීවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බලාගෙන යනකොට ඇල්බට් අංකල් දාහක් හොඳයිනෙ බං අර දෑවුරුද්දකට කලිං පයිං ගහල එලවපු හොර තක්කඩියට වැඩිය.

      ඇල්බා අඩුගානෙ අර මනුස්සයගෙ ඔපරේෂන් එකට සල්ලිදීල තියනවනෙ. අර තක්කඩිය කලේ උගේ හැත්ත බුරුත්තට සල්ලි බෙදපු එකනෙ.

      Delete
  5. අම්මෝ කර්ණාටක සංගීතෙ මිහිර.... හොඳ වෙලාවට අනන්යා ආවේ:D


    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      හැබෑටම ඒ වෙලාවෙ අනන්‍යා ආවෙ නැත්තං ක්‍රිෂ් අර ලොක්කගෙ බෙල්ල මිරිකල මෙලහටත් එහෙනං වැලිකඩ වෙන්ටත් පුලුවන්...:)

      Delete
    2. ඉන්දියාවේ වැලිකඩ ද ?

      Delete
  6. ගැහැණු දැරිවියක් නිසා උහුලන දුක් කනදරාවක තරම...

    කතන්දරේ රහයි රවී...අර දුමි කිව්වා වගේ ඉන්දියාවේ සංස්කෘතිය ගැනත් අදහසක් ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. Thanks so much Cluster rains...:)

      Delete
    2. පොකුරු,

      /ගැහැණු දැරිවියක් නිසා උහුලන දුක් කනදරාවක තරම.../

      ඔව් බං වෙලාවකට මට හිතෙනව මේ ක්‍රිෂ් ගොයියට ඔලුවෙ අමාරුවක්වත් තියද කියල..මම එහෙමනං දමල ගහල යනව යන්ට...

      හෙහ්,හෙහ්..ඒත් එක අතකට "ෂංෂාරඝථ ෆ්‍රේමය" කියන්නෙ ඔන්න ඕකට වෙන්ටැ...:)

      Delete
  7. hemadama asawen kiyawanawa eth commet danne ne...ape office 1 sihnala kotanna be.

    ReplyDelete
  8. හොදැයි කර්නාටක සංගීතේ

    ReplyDelete
    Replies
    1. රස්ටා,

      මොනවද ලතා මේ කතා?

      Delete
  9. අච්චර ලස්සන කර්නාටක සංගීතෙටත් බගට් ගොයියා දීලා ඇදලනෙ :)

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඇත්ත තමයි.....මෙන්න බලපං කර්ණාටක සංගීතය මොන තරම් ආතල්ද කියල. මෙතන වෙලා තියෙන්නෙ භඝට් ටිකක් අතිශයෝක්තියෙන් ලියල තියනව.

      මමත් ඉතින් ඇත්තම කිව්වොත් තව ටිකක් පලිප්පු දාල ලිව්ව නම් තමයි...හෙහ්,හෙහ්,

      Delete
  10. යකෝ මේ ස්වාමිනාදන්ගේ තියෙන පල්පාට් එක කොහොම ඉවසගෙන ඉන්නද මන්දා..

    ReplyDelete
    Replies
    1. නැන්දම්මා නම් සීදේවි පාටයි වගේ නෙහේ.

      Delete
    2. අරූ,

      මචං උඹේ මාමණ්ඩියගෙ ඒ කාලෙ කොහොමද හැසිරීම? අති විශිෂ්ඨයිද?...හෙහ්,හෙහ්,..

      උඹ නම් මම හිතන්නෙ පොඩි එකක් එහෙම දාල පොර එක්ක සෙට් වෙන්න ඇති පාන්දරම...:)

      Delete
    3. මනෝජ්,

      ඒ නැන්දම්ම සීදේවී පාටයි කියල බොට හිතෙන්නෙ මාමණ්ඩියට සාපේක්ෂවනෙ..හෙහ්.හෙහ්..ඉඳහංකො ඉස්සරහට ඒ අම්මණ්ඩිත් අර බකබුස්සට දෙවෙනි නෑ..:)

      Delete
  11. Indian film ekaka seen ekak nedha macho......ඔයගෙ වගේ දාල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න රවි අයියෙ ඔහේ එක දිගට එකක් දාන්නැති එකේ ප්‍රතිඵල ඇස් පනාපිටම ඔප්පුවෙන දුක්බර අවස්තාවක්. හැක්..

      Delete
    2. තරිඳු,

      මේක චේතන් භඝට්ගෙ පොතක පරිවර්තනයක්...ඒ පොතෙන් හදපු ෆිල්ම් එකකුත් තියනව නම් තමයි...:)

      Delete
    3. ප්‍රසන්න,

      අහෝ දුකකි! බේදයකි!! ලේබකයා ලඩකා බැංකුව අසලදී මලේය.

      Delete
  12. මං හිතන්නෙ ඔහේ වැරදිලා ගිහිල්ල තියෙන්නෙ දේවාලෙකට ද කොහෙද හිටං.

    දැං ඉතිං දෙයියො වැඩ්ඩනෙ කොහොම හරි.

    අම්මප ඔහෙට හිතුන්නැද්ද මාම කාරයගෙ බෙල්ල මිරිකන්න අර කංකලු සංගීතෙත් දීල තියෙන එකේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /මං හිතන්නෙ ඔහේ වැරදිලා ගිහිල්ල තියෙන්නෙ දේවාලෙකට ද කොහෙද හිටං./

      ලස්සන ගීතයක් මතක් වුනෙමි.

      දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
      සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

      මලකින් මලකට ඇදෙමින් නොඉඳුල්
      නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
      එක මලෙකින් පමණක් රොන් ගන්නම්
      අන් මල්මත නොතබා උණු කඳුළැල්

      පවසට පල නැත සයුරේ රළවැල්
      දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
      පීඩිත වී සිටිනා සඳ අඳුරේ
      ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

      ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
      ගී තනු - එච්. එම්. ජයවර්ධන
      ගායනය - සුනිල් එදිරිසිංහ

      කැමතිනම් ගීතය අහන්න.....:)

      /අම්මප ඔහෙට හිතුන්නැද්ද මාම කාරයගෙ බෙල්ල මිරිකන්න අර කංකලු සංගීතෙත් දීල තියෙන එකේ/

      ක්‍රිෂ් විපිලිසර වෙලානෙ ඉන්නෙ බං මොනව කරන්නද කියල හිතාගන්න බැරුව...මාමණ්ඩියගෙ බෙල්ල මිරිකනවද? කනප්පුව උස්සල ඔලුවට පත බානවද? කුනුහබ්බ වැලක් කියල බනිනවද? එහෙමත් නැත්තං සෝපාවෙ ඉඳගෙන තමන්ගෙම බෙල්ල මිරිකගෙන මැරෙනවද? විකල්ප හතරක් තියනව....:)

      Delete
  13. ඔය ක්‍රිස් කාරයා තරම් නම් ඉවසන්නෙක් නොවෙමි.
    ජයවේවා..!!

    ReplyDelete
  14. මට මේ "කිරිස්" මළපෙරේතය එක්ක තියෙන මළටම කමෙන්ට් එකක් දාන්න හිතුනෙම නැහැ බං...
    මොන මුහුදු @#%නෙක්ද...

    ReplyDelete
  15. හපොයි... අනන්‍යා නිසා ක්‍රිෂ් විදින දුකක්...

    ReplyDelete
  16. මට දැනුනේ මං මේ සිදුවීම දකිනවා වගේ.. :) ඉතා සුමිහිරි කර්ණාටක සංගීතයෙන් පසු , සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය ඇසීමෙන් පියවි සිහිය ලදිමි.
    හරිම ලස්සන ලියවිල්ලක්..

    ReplyDelete
  17. //
    "අනන්‍යා නාන්ට ගියා. නාල ඉවරවෙලා එයා සන්ධ්‍යා දේව යාඥාවත් ඉවරවෙලාම ඒවි" ඔහු යලිත් මදෙස අප්‍රසාදය කැටිවූ බැල්මක් හෙලා යලි පත්‍රය වෙත නෙත් යොමාගත්තේය.// ස්වාමිනාදන් අන්කල් ගැහුවේ නැහැනේ .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...