Tuesday, September 29, 2015

354. The Story Of My Marriage - 7 - She moved into my room & brought her sweet smile and...............

Painting - Raymond Leech
තත්පර තුනක කාලයකට සීමාවූ යන්තමින් තොලට තොල ගැටුනු ඒ සමාරම්භක සිපගැනීමෙන් අනතුරුව " ආයම මොකවත් බලාපොරොත්තු වෙන්ට එහෙම එපා ඔන්න. මම මේ බොහොම පැහැදිලිව කියන්නෙ.." යැයි ඇය මට එකහෙලා පැවසූවද මනුෂ්‍ය වර්ගයා ද අනෙක් සියලුම සත්ව වර්ගයන් සේම තම පැවැත්ම උදෙසා කළ හැකි සියල්ල කිරීමට ස්වභාවයෙන්ම හැඩගැසී ඇත. ඕනෑම සත්ව වර්ගයක අනාගත පැවැත්ම රඳා පවතිනුයේ හුදෙක් ගැහැණු සහ පිරිමි සත්වයින් අතර සිදුවන කායික සබඳතා මඟිනි. මේ සනාතන ධර්මතාවයට විරුද්ධව උඩුගං බලා පිහිනීමට අනන්‍යාට කොතෙක් අවශ්‍යවූවද, ඒ සඳහා ඇය කෙතරම් තහනම් නියෝග පැනවූවද අවසානයේ අනාදිමත් කාලයක සිට අනිවාර්යයෙන්ම සිදුවන පරිදි ස්වභාව ධර්මයා ජයග්‍රහණය කළේය.

සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මයා එසේ කිරීමට කිසිදු උත්සාහයක් නොදැරූවා වුවද, අනන්‍යා වන් රූමත් එලෙසින්ම මේ ඉර හඳ යට පවතින සෑම දෙයක් පිළිබඳවම තමන්ගේම වූ ස්වාධීන අදහස් දරන්නාවූ යුවතියක සහ ඈ වෙත බැඳුනු ප්‍රේමයෙන් මුසපත්වූ මා වැනි තරුණයකු අඩි දොළහ දොළහ ප්‍රමාණයේ කුටියක හුදකලාව දිනකට අවම වශයෙන් පැය හතරක කාලයක් සූක්ෂම ආර්ථික විද්‍යාව වන් නීරස විෂයයක් හදාරද්දී එවන් ගිණි පුළිඟු ජනනයක් අනිවාර්යයෙන්ම බොහෝ කඩිනමින් සිදුවිය යුතුමය.

" මම මේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ…" ඇඳෙහි විට්ටමට කොට්ටයක් තබා ඊට හිසතබාගෙන හුන් ඈ සුරත ඔසවා ඇගේ මවගේ ඡායාරූපය දෙසට දබරැඟිල්ල දිගු කලාය. මගෙ අම්ම දැනගත්තොත් එහෙම පිස්සු වැටෙයි. " 

" අපි මේ වැඩේ කරද්දි ඔය ෆොටෝස් ටික ගලවල පැත්තකට දාන්ට ඕන. ඔයාලගෙ පවුලෙ කට්ටියගෙ ඔය ෆොටෝස් දකිද්දි මගෙ ඇඟ හිරිවැටෙනව. " 

අනන්‍යා හඬනගා සිනාසුණාය." ඔයාගෙත් මේ පළවෙනි පාරද?" 

" මම කැමති නෑ ඒ ගැන කතා කරන්න." 

" ඔයාට IIT එකේදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? " ඇය විමසූයේ ඇඳෙහි හිඳගෙන ඇය මද වේලාවකට ප්‍රථම හැඳසිටි ටී ෂර්ටය අතට ගනිමිනි. මම ඉවත බලාගෙන නිශ්ශබ්දව පසුවුනෙමි. 

" දෙයියෝ සාක්කි, ඒ කියන්නෙ ඔයා එහෙදි කොල්ලෙක් එක්ක වත්....." ඇගේ දෙබැම ක්‍රමයෙන් ඉහල ගියේය. 

" පිස්සුද හලෝ? …." මම මොරගැසුවෙමි. " ඔයත් මහ පුදුම ප්‍රශ්නනෙ අහන්නෙ? මම එහෙම සම ලිංගික කෙනෙක් නම් ඔයත් එක්ක...." මම ඉතිරිය ගිලගෙන ඇය දෙස විදහාගත් දෙනෙතින් බලා සිටියෙමි.

" ආ...එහෙම ඔය දෙකම කරන කට්ටිය ඔය කොච්චරවත් ඉන්නෙ..අනික මම අහල තියනව IIT එකේ රැග් එකේදි කොල්ලන්ට බොහොම නරක විදිහෙ දේවල් කරනව කියල." 

එවර මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. " මේ පිස්සු විකාර කියවන්ට එපා අනන්‍යා. මට එහෙදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. " 

" ආ..ඔය එන්නෙ එළියට…" ඇය මදෙස බලාගත්වනම ඇසිපිය ගැසුවාය. " මොකද මෙච්චරකල් මට ඒක කිව්වෙ නැත්තෙ? " 

" කියන්ට ඔයා ඇහුවය? අනික මම කොහොමත් ඒ ගැන කතා කරන්ට කැමති නෑ.ඒ එෆෙයාර් එක මම IIT එකෙන් අයින් වෙනකොටම ඉවර වුනා.දැං අවුරුදු දෙහෙකටත් කලිං…" 

" ඒ මොකෝ එහෙම වුනේ? කවුද එයත් ඔයාගෙ ක්ලාස් එකේමද? " 

" නෑ අපේ ප්‍රොෆෙසර්ගෙ දුව…" 

" අප්පටසිරි...මෙයත් ලේසි නෑ එහෙනං?..හිහ්..ප්‍රොෆෙසර්ගෙ දුව ඈ? නරකම නෑ වැඩේ " ඇගේ මුවග සිනහවක සේයාවක් වූවද ඒ සිනහව දෙනෙත්හි දක්නට නොවීය. " එයා ලස්සනයිද? ම්ම්..මේ මටත් වඩා? "

මම අනන්‍යා දෙස නොපහන් බැල්මක් හෙලා නැඟී සිටියෙමි. ගැහැණුන් එකිනෙකා මැනීමෙහිදී රූප ලාවණ්‍යයට පිළිබඳව මෙතරම් වැදගත් කමක් දෙන්නේ මන්ද යන්න මට කිසිදා වටහා ගත නොහැක.

" ඔය දෙන්නම එක වගේ. " 

" එක වගේ??? …." 

" හරි, හරි, ඇත්තටම ඔයා එයාට වඩා ලස්සනයි. " එවන් ප්‍රශ්ණයක් අසන යුවතිය අනිවාර්යයෙන්ම වඩා රූමත් විය යුතුය. එලෙස නොවූවද ඇය බලාපොරොත්තු වන්නේ ඒ පිළිතුරය. එබැවින් ඔබ එලෙස පැවසිය යුතුය.

" තෑන්ක්ස්…" ඇඳ අසල බිම තිබූ ඇගේ කලිසම ගෙන හැඳගන්නා අතර ඇය පැවසුවාය." කොහොමද ඒ එෆෙයාර් එක නැවතුනෙ? " 

"  එයාගෙ තාත්ත මම එක්ක කතා කරල පොඩි එකඟතාවයකට ආව. " 

" තාත්ත එක්ක? හිහ්.. ඒ මොකක්ද තාත්ත එක්ක කතා කර ගත්තු එකඟතාවය? එයා ඔයාට සල්ලි ගොඩක් දුන්නද? නැත්තං බ්ලෑන්ක් චෙක් එකක්වත් දුන්නද අර සමහර ෆිල්ම්ස් වල තියනව වගේ? " 

" මොන විකාරද? එහෙම සල්ලි ගනුදෙනුවක් වුනේ නෑ. ප්‍රොෆෙසර් මට ප්‍රශ්ණයක් නැතුව උපාධිය ගන්න ඉඩ දුන්න. ඇත්තටම එහෙම නොවුනනම් මට මෙහෙට ඇතුල්වෙන්ට ලැබෙන එකක් නෑ. ඒ වුනාට එහෙම උදව් කරල ප්‍රොෆෙසර් බලාපොරොත්තුවුනේ මම එයාගෙ දුවගෙ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙයි කියල. එහෙම කෙලින්ම නොකිව්වට ඒ ගනුදෙනුවෙ කොන්දේසි එහෙම තමයි.ඉතිං මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මම එහෙම කලා. එයාගෙ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් වුනා. " 

ඇය මහාචාර්යවරයාගේ දියණිය, මගේ හිටපු පෙම්වතිය මතකයට නැඟෙනා විට සුපුරුදු පරිදි මගේ ළයෙහි යමක් සිරවන්නාසේ මට දැනිනි. කෙතෙක් කලක් ගතවුවද කලක් පෙම්කල යුවතියක ඔබට කිසිදාක සම්පූර්ණයෙන් සිතින් අකා මකා දැමිය නොහැක.ඒ මතක සිතෙහි කොණක තැන්පත්ව සදාකල්ම රැඳී තිබෙනු නිසැකය.මෙසේ කිසිවකු හෝ ඒ මතක ඇවිස්සූ සඳ ඒ යලි හද මතුපිටට ඉපිල එනුයේ සිත කීරිගස්වමිනි.

" මේ ඒ ගැන දැන් ඇති නේද කතා කලා? " සුසුමක් හෙලමින් මම ඇසූයෙමි. 

" එයා දැන් කොහෙද? තාම ඉගෙන ගන්නවද? " 

" නෑ..  ප්‍රොෆෙසර් ඒ දවස්වලම අමරිකා ගියා MIT එකේ හොඳ තනතුරක් හම්බ වෙලා. " 

( MIT යනු Massachusetts Institute of Technology නොහොත් මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයයි. එය අමරිකා එක්සත් ජනපදයේ අග්‍ර ගණ්‍ය තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැළකේ. )

" ඉතිං ඊට පස්සෙ? " 

" එයාත් එහෙ ගියා තාත්ත එක්ක.එහෙදි එයාට හම්බවුනා එහෙ ඉගෙන ගන්න අපේ රටේම කෙනෙක්. බොහොම දක්ෂ Software Programmer කෙනෙක්. මාස හයකින් දෙන්න එන්ගේජ් වුනා.අවුරුද්දක් ගියේ නෑ කසාද බැන්ද. එතනින් එහාට මම මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ එයා ගැන. දැන් නම් ඒ ගැන විස්තර හොඳටම ඇති. මම දන්නව විනාඩි දහයකට ඉස්සෙල්ල අපි දෙන්න කොහොමද හිටියෙ කියල..හෙහ්..එහෙම හිටිය වුනත් මම හිතන්නෙ මටත් තියෙන්න ඕන එක්තරා දුරකට පෞද්ගලිකත්වයක්. " 

" හරි මම එකඟයි. ඒත් මම මේ ගැන මෙච්චර අහන්නෙ ඔයා එයා ගැන තවම හිතනව නම් ඒක මට ප්‍රශ්නයක් වෙන හින්දයි…. එහෙමනම් ඒක මට බලපානව." 

" නෑ මම දැන් එයා ගැන හිතන්නෙ නෑ.ඇත්තම කිව්වොත් එයාව මගෙ හිතෙන් අයින් කරන්ට මට සෑහෙන කාලයක් ගියා. හැබැයි දැන් එව්ව ඔක්කොම ඉවරයි." 

" ඔයා එයාට ඇත්තටම ආදරේ කලාද? " 

" ඔව්, ඇත්තටම මම එයාට ආදරේ කලා. ඒ හින්දම එයාගෙ තාත්තට එකඟවෙලා ඒ සම්බන්ධෙ නවත්තපු එක ගැන මම පස්සෙ හුඟක් පසුතැවිලි වුනා. ඇත්තටම මට ඒ වෙලාවෙ එයාගෙ තාත්තට විරුද්ධ වෙන්න ධෛර්යයක් තිබුනෙ නෑ. " කෙස් අතරින් අතැඟිලි යවා හිස පිරිමදිමින් මම පැවසුවෙමි.

" හරි දැන් අපි ඔය කතාව නවත්තමු. ආයම ඒ ගැන කතාකරන එකේ කිසිම තේරුමක් නෑ. " මගේ පියා සහ මගේ පැරණි පෙම්වතිය පිළිබඳ කිසිවකු හෝ සමඟ කතාබහ කිරීම මම අත්‍යන්තයෙන්ම අප්‍රිය කළෙමි. 

" හරි අන්තිම ප්‍රශ්නෙ.. එයා දකුණු ඉන්දියානු කෙනෙක් නේද? " 

" ඇත්තටම ඔව්, ඔයා කොහොමද හරියටම එහෙම අනුමාන කලේ? " 

" තාත්ත IIT හිටිය කිව්ව. පස්සෙ MIT ගියාය කිව්ව. එයා බැන්දෙ Software Programmer කෙනෙක්ය කිව්ව. ඉතින් ඔය ඔක්කොම එකතු කලාම මට ඒ හැටි අමාරුවක් වුනේ නෑ හරියටම අනුමාන කරන්න. " ඇය සිනහසෙමින් පැවසුවාය.

හිත සැහැල්ලු කොට ගැනීම උදෙසාම මම හඬ නඟා සිනාසීමි.

" මගෙ අම්මයි තාත්තයි දෙන්නත් බොහොම සාම්ප්‍රදායික කට්ටිය." ඇය නැඟිට මට පිටුපා සිට විදුලි කේතලයට ජලය පුරවා එහි ස්විචය ක්‍රියාත්මක කලාය.

" ඉතිං? මොකෝ ඔයා හිටපු ගමන් එහෙම දෙයක් කිව්වෙ?...අපි තවම කසාද බඳින්ට කියල කතා කරල වත් නෑනෙ. " අනන්‍යා වහා ආපසු හැරී මදෙස බලා සිටියාය. මවිසින්  වැරදි යමක් පැවසිණිදැයි මම කල්පනා කළෙමි. නැත. මම පැවසූයේ සත්‍යයයි. එහෙත් සත්‍යය පවා පැවසිය යුත්තේ සුදුසු අවස්ථාවෙහිදී බවද ඒ හා සමඟම මසිතට නැඟුනි.

" ඇයි අනේ මම මොනව හරි වැරදි දෙයක් කිව්වද? " තවත් ඇගේ බැල්ම ඉවසනු නොහැකිව මම ඇසූයෙමි.

" නෑ, නෑ, ඔයා හරියටම හරි, අපි යාළුවො විතරයිනෙ.හරි හරි..යාලුවො කියන්නෙ... අවශ්‍ය වෙලාවට එතනින් ටිකක් විතර එහාට යන්ට පුලුවන් යාලුවො. Friends with benefits එහෙම නැත්නම් Fuck buddies…. එහෙම කිව්වොත් හරි නේද? " ඇය දැඩි ආවේගශිලී ලෙස කියවාගෙන ගියාය. 

පිරිමියකු සහ ගැහැණියක අතර ඇතිවන්නාවූ සම්බන්ධයක ප්‍රමුඛස්ථානය හෝ බලපෑම් කිරීමේ හැකියාව ලිංගික සබඳතාවයෙන් අනතුරුව වහාම ගැහැණිය වෙතින්  පිරිමියා වෙත මාරුවන අන්දම ඇත්තෙන්ම විශ්මය ජනක බව මම කල්පනා කළෙමි. 

" අනන්‍යා..අනේ..මේ………." 

ඇය ඇතක් ඔසවා මා වැළැක්වූවාය. " සොරි සොරි, මම මොනව කියනවද කියල මමවත් දන්නෙ නෑ. ඒ කතාව අල්ලල දාමු. ආ..මේ තේ එක බොන්නකො " 

ඇය දුන් තේ කෝප්පය සෙමෙන් පානය කරමින් මම කල්පනා කරන්නට වූයෙමි.. ඇය හා ආලිංගනය කෙතරම් ආශ්වාද ජනක වුවද අප අධ්‍යාපන කටයුතු අඩාල කරගත යුතු නොවේ. 

" අපි අර මිනිස් අයිතිවාසිකම් කේස් එක පොඩ්ඩක් ඇනලයිස් කරල බලමුද? එතන තියෙන්නෙ හෝටලේක සිද්ද වෙන වැඩ වර්ජනයක් ගැන." 

අනන්‍යා ඉවත බලාගෙනම හිස වනා එකඟත්වය පළකලාය. ඇගේ සිත පෑරුණු සිත සමනය කරනු වස් කුමක් පැවසියයුතුදැයි මම දෑස් තදින් පියාගත්වනම කල්පනා කළෙමි. 

" මම ඔයාට ආදරෙයි…." මම පැවසූයෙමි.

ඇය උකුල මතවූ තමන් කියවමින් හුන් පොත ප්‍රවේශමෙන් වසා මේසය මත තබා හිස සෙමින් ඔසවා මදෙස බැලුවාය." ඇත්තටමද?.............." ඇගේ ඇස් තෙත්වන්නට වූ හෙයින්දෝ ඕ දෙතුන් වරක් වේගයෙන් ඇසිපිය ගැසුවාය. 

" ඔව්...අනන්‍යා....ඇත්තම ඇත්ත. " 

" ඔයා ඔහොම කියන්නෙ මාව ෂේප් කරගෙන ආයම පාරක් අර වැඩේට ලෑස්ති වෙන්ට එහෙම නෙවෙයිනෙ නේද? " ඇය රැළි කොටගත් දෙබැමින් යුතුව විමසුවාය. 

මට එක්වරම සිනහ පහළ විය. " නෑ..නෑ.. එහෙම නම් නෙවෙයි...ඒත් ඔයා කියන්න හදන්නෙ……" 

" නෑ..නෑ...නෑ මම කිසීමදෙයක් කියන්න හැදුවෙ නෑ..මේ..ඔහෙගෙ හිතේ තියෙන්නෙ ඒ ගැන විතරක්ද හැබෑටම.. ඈ? " 

" අපි දෙන්නා එකට පාඩම් කරන්නෙ,එකට කන්නෙ බොන්නෙ,එකට ඇවිදින්න යන්නෙ ,පංතියෙ ඉඳගෙන ඉන්න ගමනුත් ඔයා මා දිහා බලනව මම ඔයා දිහා බලනව කොයි වෙලෙත්, ඇත්තම කිව්වොත් අපි දෙන්න වෙන්වෙලා ඉන්නෙ නිදාගන්න වෙලාවෙයි ටොයිලට් යන වෙලාවෙයි විතරයි..ඒකෙන් කියන්නෙ.." මම මදකට කතාව නවත්වා ඇය දෙස බලා සිටියෙමි

" ඔව්..ඉතින්?...මොකක්ද ඒකෙන් කියන්නෙ? " ඇය ඇසුවාය.

" මම ඔයාට ආදරෙයි, ඒකෙන් කියන්නෙ ඒකයි..වෙන කෙහෙම්මලක් නෙවෙයි...ඇයි ඔය ඔලු ගෙඩියට ඒ ටික තේරෙන්නෙ නැත්තෙ? " මම මොර ගැසුවෙමි.

" අන්න ඒ පාර හොඳයි " ඇය ප්‍රීතියෙන් සිනාසෙමින් හිස ඉහළ පහළ සොලවන්නට වූවාය. " ඒ පාර බොහොමත්ම හොඳයි, මට දැන් ඔයා කියන එක විශ්වාස කරන්ට පුලුවනි. ඔහොම බෙරිහන් දීල කියනවයි කියන්නෙ ඒක ඔයාගෙ පපුව ඇතුලෙන්ම එන දෙයක්..බොහොම හොඳයි, බොහොම හොඳයි.." ඇය දිගටම හිස සොළවමින් සිනාසෙන්නට වූවාය.

" මතකද අපි පොඩි දවස්වල ම්ම්ම්..තුනේ පන්තියෙ වගෙ ඉද්දි උදේම පන්තිය පටන් ගන්ට ඉස්සෙල්ල ඔක්කොමල කෑගහල කියන්ට ඕන මම හොඳ ළමයෙක් වෙමි, මම හොඳ ළමයෙක් වෙමි, මම හොඳ ළමයෙක් වෙමි කියල  තුන් පාරක් යටිගිරියෙන්.ඔයාට මතකද? " 

" මට මතක නෑ..අනික මතක තියෙන්ට මම එහෙම කෑගහන්ට එපාය. මම එහෙම කෑගැහුවෙ නෑ.." මම නොමනාපයෙන් පැවසූයෙමි. " හරි ඒක පැත්තක තිබ්බාවෙ. මොකක්ද ඔයා මේ කියන්ට හදන්නෙ? " 

" මම කියන්ට හදන්නෙ අපිට ඒ කාලෙ කිව්ව එහෙම යම් දෙයක් කෑගහල කිව්වම ඒක හොඳට හිතේ ධාරණය වෙනවයි කියල." 

" ඉතින්? " 

" ඉතින් මම කියන්නෙ ඒ කතාවෙ ප්‍රතිලෝමයත් ඇත්ත. කෑගැහුවම හොඳට හිතේ හිටිනව වගේම හිතේ තදින්ම තියෙන දේ තමයි කෑගහල කියවෙන්නෙ. ඉතින් මගෙ අවසාන තීරණය ඔයා මට ඇත්තටම ආදරෙයි කියල මම පිළිගන්නව. " 

" හ්ම්ම්ම්.. යන්තම් ඇති...හරි..හරි..ඒ මොක වුනත් මා ගැන විශ්වාසය තියපු එකට ස්තූතියි. දැන් මා ගැන ප්‍රශ්නෙ හරිනෙ.දැන් ඔයා මොකද කියන්නෙ? ඔයත් මට ආදරේද? " 

" ම්ම්ම්ම්..ඒ ගැන මම තව ටිකක් හිතල බලන්ට ඕන.." 

" මක් කිව්වා? "

" නෑ මෙහෙමනෙ..මම ඔයාව අර වැඩේ කරගන්ට විතරක් යොදාගන්නව වෙන්ටත් පුලුවනි නේද? මේ..එහෙමමයි කියලම නෙවෙයි ඔන්න….මම කියන්නෙ එහෙම වෙන්ට බැරිකමකුත් නෑනෙ…" 

" මොකක්? …" ඇයට ආදරේයයි පැවසූ අයුරෙන්ම මම යලිත් මොර ගැසුවෙමි.

ඇය හඬනඟා සිනාසුනාය. මගේ අතට අසුවූයේ කොට්ටයක් පමණි. මම එය ඇය වෙත දමා ගැසීමි.

" මම කිව්වනෙ . මට ඒ ගැන තව ටිකක් හිතන්ට ඕන…." ඇය යලිත් පැවසුවාය.

මම ඔයාට ආදරෙයි කියා කිසිම විටක වචනයෙන් නොපැවසූ නමුදු ඊට සතියකට පමණ පසු දිනෙක අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය පැමිණ මගේ කුටියෙහි ස්ථිරව පදින්චි වූවාය.රාත්‍රියට අවශ්‍ය ඇඳුම් කිහිපයක් දැමූ කුඩා ගමන් මල්ලක්ද පිටේ එල්ලාගෙන ඈ එසේ පැමිණි පළමුදින මම මහත් වික්ෂිප්තභාවයකට පත්වීමි.මෙවන් ක්‍රියාවකින් ඇතිවියහැකි ආන්දෝලනයට අමතරව ටෙස්ටස්ටරොන් හෝමෝනයෙන් සංතෘප්ත තරුණයින් විසිදෙනෙක් නිවැසි පිරිමි නේවාසිකාගාරයක වසන එකම යුවතිය බවට ඇය පත්වනු දකින්නට මට කිසිසේත්ම අවශ්‍ය නොවීය. එහෙත් මගේ කුටියට ඈ පැමිණීම වෙනුවට ඇගේ කුටියට මට පැමිණිය හැකියැයි මම යෝජනා කලද ඈ එය ප්‍රතික්ෂේප කලාය.

" ඒ මොකටද? මට මෙහෙ හොඳයි …" ඇය පැවසූයේ එපමණකි.

මගේ සැක සංකා එසේම තිබියදී වුවද ඇය මා හා වාසයට පැමිණීම මගේ ජීවිතයට මරු කතරක දාහයෙන් පීඩිතව වූ මගියකු ලද සිසිල් පැන් දෝතක් බඳුවිය.ඇය පමිණියේ හිස් අතින් නොවේ. ඇගේ විදුලි කේතලය, මැගී ක්ෂණික නූඩ්ල්ස් පිළියෙල කිරීමට ඈ තුල වූ දක්ෂතාවය හා සමඟ ඇගේ පියකරු සිනහව ඇය පැමිණෙන විට රැගෙන ආවාය.ඒ සමඟම මගේ ජීවිතයටද යම් සංවිධානාත්මක බවක් නිතැනින්ම එක්විය. ගැහැණියක ඔබේ ජීවිතයට ඇතුළුවන්නේ යම් විනයක් සහ නිශ්චිත කාර්ය පටිපාටියක් ද සමඟය.

හිමිදිරියේ මම අවදිවීමට පැය භාගයකට පළමු ඇය අවදිවන්නීය. කඩිමුඩියේ මීටර් සීයකට පමණ එපිටින් පිහිටි ඇගේ නේවාසිකාගාරයට දුවන ඈ එහිදී ස්නානය කිරීමෙන් අනතුරුව හැඳ පැළඳගත් ඉක්බිති භෝජනාගාරයට පැමිණෙන්නීය. ඒ වනවිට මම ද ඇය අපේක්ෂාවෙන් භෝජනාගාරයට පැමිණ සිටින්නෙමි. 

" ක්‍රිෂ්.. මේක ඔයාගෙ අද එසයින්මන්ට් එක. මේක මගේ එක. ආ..මේ මගෙ ප්‍රස්ථාර වගු සටහන්..ම්ම්ම්ම්..මේ ටික මගෙ.." පෙරදින රාත්‍රියෙහි අප විසින් අවසානකල පැවරුම් සහ අද දින අධ්‍යයන කටයුතු උදෙසා අවශ්‍ය සටහන් ඇය ප්‍රවේශමෙන් තෝරා වෙන් කරන්නීය. අනතුරුව අපි දේශනාගාරය බලා අත් පටලාගෙන යන්නෙමු.

දේශණාගාරයෙහිදී මා අසල හිඳ සිටින කන්‍යාශ්‍රී ඒ සඳහා එකඟ වුවහොත් අනන්‍යා ඇය හා ආසන මාරුකොටගෙන මට යාබද අසුනෙහි හිඳගන්නීය. කන්‍යාශ්‍රී මේ ආසන මාරුව උදෙසා එකඟවීම හෝ නොවීම රඳාපවතිනුයේ හුදෙක් ඇගේ එදින චිත්ත ස්වභාවය අනුවය.ප්‍රීතිමත් සිතකින් පසුවන දිනයන්හි ඕ ස්වේච්ඡාවෙන්ම මේ ආසන හුවමාරුව උදෙසා ඉදිරිපත් වූවාය. කන්‍යාශ්‍රීගේ චිත්ත ස්වභාවය එතරම් යහපත් නොවූයේවී නම් අපි අපේ සුපුරුදු අසුන් වලම හිඳ දේශණය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුල එකීනෙකා දෙස බලා සිටින්නෙමු. මගේ වම්පසින් හිඳහුන් මොහිට් පස් කට්ටුව අපගේ මේ ප්‍රේමාන්විත හැසිරීම පළමුව මහත් ආශ්වාදයෙන් සහ උනන්දුවෙන් නැරඹූ නමුදු කාලයාගේ ඇවෑමෙන් ඔවුනටද ඒ නොවැදගත් සාමාන්‍ය කරුණක්ම විය.පසු කලෙක ඔවුන් අප දෙස හොරැහින් හෝ බලන්නට වූයේ දේශණය අසා ඉන්නට නොහැකි මට්ටමට නීරස වූ විටය.

අනන්‍යා දිනපතා මගේ කුටියෙහි රාත්‍රිය ගතකිරීම පළමුව යම් තරමක ආන්දෝලනයකට තුඩු දුන්නේය. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවන්හි සිදුවන පරිදි මම රොමියෝ හෝ කැසනෝවා වන් පුද්ගලයෙකු ලෙස සන්නාම ලත් අතර අනන්‍යා ආදරය වෙනුවෙන් සියල්ල කැපකිරීමට සූදානම්වූ අඥාණ ස්ත්‍රියක සිට කාමයෙන් අන්ධවූවක තෙක් වූ විරුදාවලි කීපයකට හිමිකම් කීවාය.

( රූමත් කාන්තාවන් වශීකොට ගැන්මෙහිලා සහජයෙන්ම දක්ෂතා දක්වන පුරුෂයින් රොමියෝ හෝ කැසනෝවා යන අපර නාමයන් ගෙන් හඳුන්වනු ලබයි.රොමියෝ යනු ෂේක්ස්පියර්ගේ සුප්‍රසිද්ධ රෝමියෝ - ජුලියට් නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වන අතර කැසනෝවා යනු 18 වන සියවසේ ඉතාලියේ විසූ ස්ත්‍රී ධූර්තයකු ලෙස චිර ප්‍රසිද්ධ ගියාකොමෝ කැසනෝවාය. )

අපහාසාත්මකව හෝ උපහාසාත්මකව ඇය හැඳින්වීමට යෙදෙන විරුදාවලීන් පිළිබඳව අනන්‍යාට කිසිදු හැඟීමක් හෝ කල්පනාවක් නොවීය. සත්‍ය වශයෙන්ම ඇය ආදරය වෙනුවෙන් සියල්ල කැපකිරීමට සූදානම්වූ අඥාණ ස්ත්‍රියක වන්නට ඇත. 

දේශණාගාරයේ දේශණ පැවැත්වෙන අතර වාරයේ පවා මවෙත අතින් ලියන ලද පණිවිඩ අඩංගු කඩදාසි කැබලි එවීම ඇගේ පුරුද්දක් විය. 

" මට ඔයා නැතුව හරිම පාළුයි.මම මේ ලෙක්චර් එක ඉවරවෙන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ ඔයාට තුරුල් වෙලා ඔයාගෙ නළල ඉඹින්න " එම පණිවිඩය සඳහන් කඩදාසිය මවෙත පැමිණියේ අංකූර්, අනූප්, බිපින්,භූපින්,භානු, තවත් සිසුන් සිසුවියන් දස දෙනෙක් සහ අවසානයේ කන්‍යාශ්‍රී හරහාය. අප දෙදෙන එකම කුටියක දවසේ අවම වශයෙන් පැය දහහතරක් එකට ජීවත්වන්නෝ වෙමු. එහෙත් දේශණාගාරයේ පේලි හයකට ඔබ්බෙහි සිට ඇය මා නොමැතිව පාළු බව පවසා සිසුන් සිසුවියන් දහසයදෙනෙකු හරහා පණිවිඩ එවන්නීය. 

" මේ.. ඔය වගෙ එව්ව ලියල පණිවිඩ එවන්ට එපා. කවුරුහරි ඔව්ව දිගඇරල බැලුවොත් එහෙම මේකෙ වසල හමාරයි " මම ඇයට පිළිතුරු වශයෙන් ලියා යැවීමි. 

" ඔයා නම් මහ බුම්මට්ටෙක්. කිසිම වැඩකට නැති මූකලං බස්සෙක්…Actually you are no fun at all...." කට විරවාගත් අඬන මුහුණු රැසක්ද සමඟ ඈ මට පිළිතුරක් එව්වාය. ඒ පණිවිඩය බිපින් මවෙත ලබා දුන්නේ යම්තමට සිනහසෙමිනි. 

" මේ අම්මණ්ඩි එක්ක නම් බෑ මේ රාජ්ජෙ කොරන්ට " තොල් තදින් පියාගනිමින් මම මටම එසේ පවසා ගතිමි.

Sunday, September 27, 2015

353. සඳගිරෙහි, වෘන්දාවෙහි සහ දෙව්දුරු මඬුලු සෙවණෙහි……..

Painting - Raymond Leech

සඳගිරි පව්ව අබියස,
රැයක් එලිවන තුරා වැලපුණ,
සඳකිඳුරියක නොමවන,
පිසදා තෙමුනු දෙකොපුල,
නැඟෙමි මසිතට දිරිගෙන,
හිරු නැඟෙන සඳ පෙර'ඹර.

ගෝපිකා ඇකයෙහිම නැළවෙන,
ක්‍රිෂ්ණාට සමුදුනිමි මදහසින,
හෝපළු මඬුලු සෙවණැළි ද මැඩ,
මාලතී මාලාව පළඳමින,
වෘන්දාව හැරපියා නික්මයන,
වස්දඬුරාව මතක පමණක්ම අරගෙන,

දෙව්දුරු පත්ය සුළඟට සැලෙන,
සකුරාසෝ* කළඹ බිහිදොර අබියස,
නෙතඟ ඉනු කඳුලුදිය වියලෙත,
බලාහිඳිනෙමි නෙතුපිය නොපියාම,
පෙත්මඟ සෙමෙන් පියමංකොට,
නික්මයන ඔබ රුව දෙස,

සඳකිඳුරියමි සඳගිරෙහි වැලපුන,
රාධා ද වෙමි වෘන්දාව අතැරගිය,
නොරිකෝ මි වැළපෙනා ළසොවින,
හදපුරා පිරි සංතාප උසුලන,



Friday, September 25, 2015

352. The Story Of My Marriage - 6 - A Kiss Of Only Three Seconds But…..

එදින එනම් ඇය හා වදනක් හෝ නොදොඩා ගෙවීගිය පස්වන දින රාත්‍රී නමයට අනන්‍යා මගේ කුටියෙහි දොරට තට්ටු කළාය.

ඒ වනවිට රාත්‍රී ආහාරයෙන් පසු මම යලි අධ්‍යයන කටයුතු ආරම්භ කලා පමණි. මෙහි ශිෂ්‍ය නේවාසිකාගාරයන්ට ශිෂ්‍යාවන් පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. මින් පෙර ඇය මගේ කුටියට පැමිණ ඇත්තේ එකම වරකි.එදින ඇගේ ඒ අනපේක්ෂිත සම්ප්‍රාප්තිය කරණකොටගෙන මගේ අසල්වැසි නේවාසිකාගාර මිතුරෝ කොතෙක් අමන්දානන්දයට පත්වීදයත් ඔවුහු ක්ෂණිකව සංවිධානය කොටගත් කන් රිදුම්දෙන තරමේ මහත් හඬ සංගීතය පසුබිම් කොටගත් ෆ්‍රිස්බි ක්‍රීඩාවක මගේ කුටිය ඉදිපිට බරාඳයෙහි එහා මෙහා දුවමින් නිරතවූහ.

ෆ්‍රිස්බී යනු අඟල් 10 පමණ විෂ්කම්භයෙන් යුතු එක්වරම අත ගස්සා පොළවට සමාන්තරව වීසිකලවිට වේගයෙන් භ්‍රමණය වෙමින් ගුවනේ පාවීයන බොහෝවිට ප්ලාස්ටික් වන් ද්‍රව්‍යයකින් නිවැමූ සුනම්‍ය තැටියක් උපයෝගී කොටගෙන කෙරෙන එළිමහන් ක්‍රීඩාවකි. )

ෆ්‍රිස්බියක්

" ඔයා හරියටම භාග්‍යාශ්‍රී වගේමයි " තම සගයින්හට වඩා එඩිතරවූ වූවෙක් මගේ කුටියෙහි වසා තිබූ දොර ඉදිරියෙහිම හිඳ මුරගෑවේ ඔවුන්ගේ නොමේරූ කෙළි කවටකම් හේතුකොටගෙන නොරිස්සුමෙන් අඳුරුවූ මගේ මුහුණෙහිද සිනහවක් මතුකරමිනි..

භාග්‍යාශ්‍රී පත්වර්ධන් යනු එකල ඉතා ජනප්‍රියවූ රූමත් යොවුන් නිළියකි. ඇය ඒ වනවිට ඒ ආසන්න කාලයක ප්‍රදර්ශනය ඇරඹි " මෙයින් ප්‍යාර් කියා "  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිස අපේ යොවුන් හදවත් එක් පැහැර ආක්‍රමණය කොට සිටියාය.)

භාග්‍යාශ්‍රී

තවත් මිනිත්තු කිහිපයක ඇවෑමෙන් භාග්‍යාශ්‍රී රඟන යථෝක්ත චිත්‍රපටයේ තේමා ගීතය නේවාසිකාගාරය පුරා පැතිර යන්නට විය.පරවියකුට ප්‍රේම දූතයකු වන්නැයි කරන ආයාචනයක් අඩංගු එම ගීතයට මම ද රුචි කළෙමි.

" මේක මහ විකාරයක් වුනානෙ.මේකෙ ඉන්නෙ MBA කරන ඔලුවක් තියෙන වැදගත් ළමයි ද නැත්තං එහෙම පිස්සං කොටුවෙනුත් සනීප කරන්ට බෑ කියල දොට්ට දාපු මොලේ අර්ශස් කාරයොද? ආයෙම ජීවිතේට මම එන්නෙ නෑ ක්‍රිෂ් ඔයාගෙ කාමරේට පාඩම් කරන්න. " කෝපයෙන් රතුවූ මුහුණින් යුතුව අනන්‍යා තමා ගෙන ආ සටහන් පොත් ගොනු කොටගනිමින් තෙපළාය. 

ඇය දැඩි කෝපයෙන් යුතුව පිටව යාමට දොර විවර කරද්දී ද මගේ නේවාසිකාගාර සගයින් අට දෙනෙක් බරාඳයේ මහත් ප්‍රීතියෙන් ඉපිළෙමින් ෆ්‍රිස්බි ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියහ. " ඔහෙලයි ඔහෙලගෙ භාග්‍යාශ්‍රීයි.පිස්සු ද නැත්තං හැටිද? " ඔවුන් දෙනෙත් සමඟ මුවද විවරකොටගෙන බලාසිටිද්දී පුපුරා හැලුණු ඈ ගම්බිම් වනසාලමින් ඇදී යන්නාවූ කුණාටුවක් සේ අපේ නේවාසිකාගාරයෙන් නික්ම ගියාය. දොරටුව අසළදී එක්වරම නැවතුනු ඈ ආපසු හැරුණාය. " ආ..තව එකක්..මට පෙන්නන්ට බෑ ඔහෙලගෙ ඔය භාග්‍යාශ්‍රී. අදක ඊයෙක එහෙම නෙවෙයි එදා ඉඳලම. " 

එසේ නැවත ජීවිතයේ කිසිම දිනෙක මගේ කුටියට නොපැමිණෙන්නේ යයි සපථ කොට නික්ම ගිය ඈ යළිදු පැමිණ සිටින්නීය. මම දොර විවර කලෙමි.මද සිනහවකින් විකසිත ඇගේ මුහුණ මගේ නේවාසිකාගාර සගයින් එදා මෙන් නොව අද නියැන්ඩර්තාල් මානවයින් මෙන් හැසීරි නොමැති බවට හොඳම සාක්ෂියයි. ඇය හැඳ සිටියේ භෝජන ශාලාවෙහි ඈ මා හමුවූ මුල් දිනයෙහි ඇය හැඳ හුන් නිල් සහ සුදු වර්ණ මිශ්‍ර සල්වාර් ඇඳුමයි. ඔබ යම් අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබන්නෙකුනම් එසේම ඔබ හොඳ නීරීක්ෂකයකුනම් අවශේෂ සිසුන් හෝ සිසුවියන්ගේ ඇඳුම් ඇඳීමේ රටාවක් නිර්ණය කරගැනීම එතරම් අපහසු නොවේ. අනන්‍යා තම සුදු සහ නිල් පැහැති සල්වාර් ඇඳුම සෑම සති තුනකටම වරක් ඇන්දාය.

ඇගේ සුරතෙහි ෆෲටි ඇසුරුම් දෙකක් විය.( එකල තරුණපෙල අතර බොහෝසේ ජනප්‍රියවූ ෆෲටී නම් වූ අඹ යුෂයෙන් සකස්කල පානයක් විය.) 

ෆෲටී

" මම ආවට කමක් නෑ නේද? ඔබතුමාගේ අධ්‍යාපන කටයුතුවලින් විනාඩි දහයක් අපතේ ගියාට කමක් නෑ නේද මා වෙනුවෙන්? " 

ඇගේ කුටිය මෙන් නොව මගේ කුටියෙහි කිසිදු සිත් ඇදගන්නාසුලු බවක් නොවීය.මවිසින් කිසිදු සැරසිල්ලක් නොකල කපරාරු රහිත ගඩොළු බිත්ති බන්ධනාගාරයක බිත්ති සිහිගැන්වූයේ නිතැනිනි.මගේ දයාබර මව විසින් නිවසින් පිටත්වන විට ගමන් මල්ලට බහාලූ සුදු වන් ඇඳ ඇතිරිල්ල කාලාන්තරයක් මුලුල්ලේ නේවාසිකාගාර ලොන්ඩරියෙහි ඇසිඩ් මිශ්‍ර සේදුම් කුඩු මිශ්‍රණයෙහි බහා සේදීම හේතුකොටගෙන කිසිවකුට හඳුනාගත නොහැකි අළු, දුඹුරු සහ නිල් මිශ්‍ර පැහැයක් ගෙන තිබිණි.සුවඳ ධූම දවනයන්, නොයෙක් විසිතුරු ආම්පන්න සහ නැවුම් මල් පොකුරක් බහාලූ වීදුරු බඳුනක් කිසිදිනක නොවැරදුනු අනන්‍යාගේ මේසය මෙන් නොව මගේ මේසය මත වූයේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් පමණකි.

" පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න..." එසේ පවසා මම ආපසු හැරී කුටිය සිසාරා යනපරිදි පරීක්ෂාකාරී බැල්මක් හෙලුවෙමි.නැත. කිසිදු යට ඇඳුමක් ඇඳ මත අතුරා නොමැත.නැත. කිසිදු කටුක ගන්ධයෙන් යුතු මේස් කිසිවක් පුටු ඇන්ද මත වනා නොමැත. නැත. නිරුවත් නිරූපිකාවන්ගේ ඡායාරූපයන්ගෙන් හැඩවුණු මුල්පිටු සහිත අශ්ලීල ගණයේ සඟරා කිසිවක් ද මේසය මත නොමැත.

" හරි එන්න…." මම දොර සම්පූර්ණයෙන් විවර කොට ඇයට කුටියට ඇතුළු වීමට ඉඩ හළෙමි. 

මගේ මේසය පුරා විසුරුනු පොත් දෙස ඇය මොහොතක් බලා සිටියාය. " හිහ්...හිටු කියල පාඩම් කරනව නේ? " මගේ ඇඳ මත හිඳ ගනිමින් ඇය විමසුවාය. 

" වෙන මොනව කරන්නද?" පුටුව පසුපසට අදිමින් මම පිළිතුරු දුනිමි.

" මම හිතන්නෙ දැන් ඔයා තනියම පාඩම් කරන හින්ද ලකුනුත් වැඩිපුර ගත්තෑකි. " 

" එහෙම දෙයක් නෑ කියල මම ඔයාට කිව්වනෙ. " 

" එහෙනං? කරුණාකරල කෙලින්ම කියනවද මොකක්ද කාරණේ කියල? ක්‍රිෂ් ඔයා පංතියෙදි අඩු ගණනෙ මා දිහා බලන්නෙවත් නෑ.මොකක්ද මේ පොඩි එවුං වගෙ හැසිරෙන එකේ තේරුම? " 

සුසුමක් හෙලූ මම ඉවත බලා ගතිමි. " මේ ක්‍රිෂ්, මගෙ මූණ දිහාවෙ, මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන කතා කරනවද තරහ නැතුව.Eye Contact Please " 

මම හිස ඔසවා ඇගේ විසල් දෑස දෙස බලාසිටියෙමි. ඇය කෙරෙහි මා තුලවූ සෙනෙහස ඒ මොහොතේ කෙතෙක් නැඟී ආවේද යත් ඇයට කිසිදිනෙක පිටව යාමට නොහැකිවන අයුරු මගේ කුටියෙහි දොර අගුළු දමා යතුර සැඟවීමට පමණ මට අවශ්‍ය විය.

" මට මේක කරන්ට බෑ අනන්‍යා. " 

" මොකක්ද ඔයාට කරන්ට බැරි? " 

" මට ඔයා එක්ක නිකම් යාලුවො වගෙ ආශ්‍රය කරන්න බෑ.සමහර අය ඇති ගෑනු ළමයි එක්ක එහෙම ආශ්‍රය කරන්න පුලුවන් අය. මම නෑ කියන්නෙ නෑ. ඒත් මට බෑ. විශේෂයෙන්ම කිව්වොත් මට ඔයා එක්ක බෑ. " 

" මොකක්?...." ඇය උඩුකය කෙලින් කොට ඇඳමත පස්සටවී හිඳගත්තාය.

" මම දන්නව මම ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඔයා හිතනව වෙන්න පුලුවන්..ඒකට මම ඔයාට කිසිම දොසක්... "

" මොනවද අනේ මේ ඔයා කියවන්නෙ? " ඇගේ රැලි වැටුනු දෙබැම සහ නළලත ඇය සැබැවින්ම දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇති බව නිසැකවම කියා පෑවේය.

" ඒක අමතක කරල දාන්න. ෆෲටී එකට බොහොම ස්තූතියි. " ඇසුරුමෙහි වූ අවසාන අඹ යුෂ ස්වල්පය ශබ්ද නගමින් පානය කොට අවසාන කල මම ඇසුරුම වේගයෙන් මේසය මතට දමා ගැසුවෙමි. කලකට ඉහත නැරඹූ චිත්‍රපටයක ප්‍රේමයෙන් පරාජිතවූ කථා නායකයා අවසාන මත්පැන් බිඳ ද පානය කොට හිස් වූ වැට් 69 බෝතලය සිය දහස් කඩකට සුණු විසුණු වනසේ පොළවේ ගසන දර්ශනයක් ඒ හා සමඟම මගේ මතකයට නැඟුනි. " යන්න අනන්‍යා කරුණාකරල යන්න. මට තනියෙන් ඉන්න දෙන්න. මගේ හිත පෙලන මේ දුක් ගින්න අඹ යුෂයේ ගිල්වා හෝ නිවාගන්න මට ඉඩ දෙන්න " මම නිහඬව එසේ සිතුවෙමි.

" ක්‍රිෂ්..මේ ……….." ඇය ඉදිරියට නැවී මගේ උරහිස මත සුරත තබා මා ඇමතුවාය. 

" කරුණාකරල මාව අල්ලන්න එපා " ඇගේ ස්පර්ශයෙන් හටගත් සහසක් කුඩා විදුලි සැර මගේ ගෙල අසලින් ආරම්භව උඩු කය ඔස්සේ පහළට දිවයද්දී මම වේගයෙන් පැවසූයෙමි.

" හරි හරි සමාවෙන්න " ඇය වහා සුරත ඉවතට ගත්තාය." හැබැයි ඔයා කියන මේ කතාව හරිම අසාධාරණයි. අපි දෙන්න කතා කරල එකඟතාවයකට ඇවිල්ලනෙ නේද තිබුණෙ? මතක නැද්ද? " 

" කෙහෙම්මල් එකඟතාවය………" මගේ මුවින් එවදන් පිටවූයේ මේසය මතවූ අඹ හිස් යුෂ අසුරණය සුරතට ගෙන හැකි වීරියෙන් මිරිකන අතරදීය.

මම හිස ඔසවා ඇගේ මුහුණ බැලූවෙමි. ඇයද එවිටම හිස එසවූයෙන් අපගේ දෑස් එකිනෙක ගැටිනි. මොහොතක් එකිනෙකා දෙස බලා සිටි අපි එක්වරම යලි ඉවත බලා ගතිමු. දැඩි නිහඬතාවයේ වෙලී මිනිත්තුවක් ගෙවී ගියේය.ඉක්බිති එය මිනිත්තු දෙකක්, තුනක් බවට පත්විය. 

" ක්‍රිෂ්, ඔයාට මොනවද ඕන? What do you want from me exactly? tell me please…" අවසානයේ ඇය සිහින් හඬින් විමසුවාය. 

" මට ඔයාට ආදරය කරන්න ඕන. අපි දෙන්න පෙම්වතුන් වෙන්න ඕන. ඒකයි මට ඕන. හැබැයි මේක ප්‍රොපෝසල් එකක් නම් නෙවෙයි. ඔයාට ප්‍රේම යෝජනාවක් ගේන දාහතරවෙනිය වෙන්න මට කිසිම ඕන කමක් නෑ." 

" ඉතිං ඔයා දැන් මේ ගෙනෙන්නෙ ප්‍රොපෝසල් එකක් නෙවෙයි නම් වෙන මොකක්ද? " 

" නෑ මේක වෙනස්. ඔයයි මගෙ කාමරේට ආවෙ.ඔයයි මගෙන් ඇහුවෙ මට ඕන මොනවද කියල. ඒ හින්ද මේක වෙනස්. " 

" හරි හරි දැන් ඔයාට ඕන අපි දෙන්නා ආදරවන්තයො වෙන්නනෙ. ඉතින් අපි මෙච්චර කල් හිටියෙ ඒ වගේනෙ.අපි එකට පාඩම් කලා. ගෙවල් වලට කෝල් ගන්න එකට කමියුනිකේෂන් එකට ගියා. මෙස් එකේ එකට කෑවා. " 

" එව්වයින් වැඩක් නෑ අනන්‍යා, එව්ව ඔයාට වෙන ඕනම කෙනෙක් එක්ක කරන්න පුලුවන්නෙ. " 

" මට ඔයා කියන එක තේරෙන්නෙ නෑ. " 

" හරි මම බොහොම සරලව පැහැදිලි කරන්නං " මම මෙතෙක් හිඳසිටි අසුනින් නැඟිට කුටිය මධ්‍යයට ගොස් ඇය දෙසට හැරුණෙමි." මම බොහොම සරළව පැහැදිලි කරන්නං ඔයාට හොඳාකාරවම තේරුම් යන විදිහට.ඔන්න පස්සෙ ආයම කියන්න ඔට්ටු නෑ හරියට තේරුණේ නෑ කියල. " 

" හරි හරි කියන්නකො බලන්න" ඇගේ දෙතොලගට නැඟ ආ සිනහව එකෙනෙහිම මැකී ගියේය.

" ඔයා එක්ක එකට ඉඳගෙන පාඩම් කරන්න මට මොනතරම් අමාරුවුනාද කියල ඔයා දන්නෙ නෑ. එකක් මේ නිකටීන් රහිත සිගරට් ගැනයි, මාකටිං ගැටළු ගැනයි හිත එකඟ කරල හිතන්න ඕන. ඒකත් කොහොම හරි කලාය කියමුකො. මට ඊටත් වැඩිය අමාරු වුනේ ඔයා දිහා නොබල පාඩම් කරන්න හිත එකඟ කරගන්න එක." ය විසල්වූ දෑසින් මදෙස බලා සිටියාය.

" අනන්‍යා ඔයාගෙ මූණ දකින හැම වෙලාවෙම මට හිතෙන්නෙ අතේ තියෙන පොත අල්ලල විසි කරල දාල ඔයාගෙ මූණ ඉඹගෙන ඉඹගෙන යන්න. ඒත් එක්කම මට මතක් වෙනව අපි දෙන්න අතරෙ තියෙන හිතවත්කමේ එකඟතාවය. ඔයාටනම් ඒ ගැන කිසි අවුලක් නෑ බොහොම කූල්පිට ඉන්නව සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ. ඒත් මම? ඒ එකඟතාවය කඩන්න බැරිකම හින්දම මට සිද්දවුනේ හිත ඇතුලෙං බුබුලු දාගෙන එන හැඟීම් ඔක්කොම බලෙන්ම තද කර හිරකරල දාගෙන මොකවත් අවුලක් නෑ වගේ ඉන්න.එතකොට ඔයාගෙ ඔය යටිතොලට පහලින් දකුණු පැත්තෙ තියෙන පුංචි උපන් ලපේ..." 

" ඔයා... දැක්කද... ඒක? මම... හිතුවෙ ..නෑ ඔයා.. ඒක......හිහ්..ඒක ..බොහොම.. පුංචි.. එකක්නෙ.." ඇය වදන් එකීනෙක නවතමින් සෙමෙන් පැවසූයේ සුරතේ දබරැඟිල්ලෙන් උපන් ලපය පිරිමදිමිනි. 

" ඒක පුංචි වෙන්න පුලුවන්. ඒත් ඒක මම දකිනව හැමදාම. ඒත් ඒ උපන් ලපයවත් ඊය ඉහලින් තියෙන ඔයාගෙ දෙතොල්වත් මට සිප ගන්න බෑ. මම හි..ත..ව..තෙ..ක් විතරයි. " හිතවතෙක් යන වදන අකුරෙන් අකුර උච්ඡාරණය කරමින් පවසා මම මඳක් වේලා ගැඹුරින් හුස්ම ගත්තේ සිත සමනය කරගැන්ම උදෙසාය.

අනන්‍යා මදෙස මදක් වේලා බලා සිටියාය.ඇගේ දෑසෙහි දඟකාරී බවක් මතුව සැණෙකින් අතුරුදන්ව ගියේය. ඉන්පසු ඇය මහත් හඬින් සිනාසුනාය.

" මේ මේක විහිලුවක් එහෙම නෙවෙයි හොඳද?..ඔයා දන්නෙ නෑ පහුගිය කාලෙ මම විඳපු... " 

" ඔයා කතාකරනව වැඩියි. " ඇය බැරෑරුම් ලෙස පැවසුවාය. 

" මොකක්ද කිව්වෙ? " මම දෑස් අයාගෙන ඈ දෙස බලා සිටියෙමි. 

" ඔව්. ඔයා කතාකරනව බොහොම වැඩියි. දන්නවද තොල් කියන එව්ව තියෙන්නෙ කතා කරන්නම විතරක් නෙවෙයි. "

ඇගේ හඬෙහි තාරතාවය එක්වරම වෙනස් විය. ඒ සමඟම ඇය නැඟී සිටියාය. මම කුටිය මධ්‍යයේ මෙතෙක් සිටගෙන සිටි අයුරින්ම පාෂානිභූතව ඇය දෙස බලා සිටියෙමි. සමදුරින් තැබූ පියවර තුනකින් ස්වාමිනාදන් මෙනෙවිය මවෙත ළඟාවූවාය. ඇගේ දෙතොලෙහි වූ අඹ යුෂ රසය මගේ දෙතොලට තත්පර තුනක් පුරා දැනිනි.

" හරි දැන් මම මේ කරපු මෝඩ වැඩේ බරපතලකම මටම තේරෙන්ට ඉස්සර මම මෙතනින් යන්ට ඕන " එසේ පවසමින් ඇය දොර වෙත ගොස් එය විවර කළාය. විෂ්මයෙන් සහ අධික කම්පනයෙන් පාෂාණිභූත වූ මට හැකිවූයේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් විවරවූ මුවින් යුතුව ඈ පිටව යන දෙස බලා සිටීම පමණකි.

මගේ නේවාසිකාගාර අසල් වැසියෝ සිව් දෙනෙක් ඈ දොර විවර කරනු හා සමඟම දොරට පිටතින් සවිකොට තිබූ තම කණ් ඉවත් කොටගෙන සෘජුව සිටගත්හ. " ආ...අපි මේ අපේ ෆ්‍රිස්බි එක හොයන්ටයි ආවෙ. " ඉන් එකෙක් මොහොතකට පසු ධෛර්යය උපදවාගෙන පැවසුවේය. 

" මෙහෙ නෑ ඔහෙලගෙ ෆ්‍රිස්බි එකක්. මේ කාමරේ ඉන්නෙ  ඉගෙනගන්ට විතරක් තමන්ගෙ මුලු කාලෙම යොදවන වැදගත් මහත්මයෙක්. " එසේ පවසා නහයට කෙලින් ඉදිරිය බලාගෙන ඇය ඉක්මන් ගමනින් ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් නික්ම ගියාය.

*******************************************

" ඕක ගැන කොයිවෙලෙත් කියවන්ට ඕන නෑ. දැන් මදැයි " ඇය පැවසූයේ පසුදින උදෑසන තේ විවේකයේදීය. හරියටම හෝරා දහතුනකුත් මිනිත්තු විසි දෙකකට ප්‍රථම මගේ තොල් සිපගැනීම උදෙසා යෙදවූ ඇගේ තොල් මේ වනවිට ඇය යොදවා තිබුනේ තේ පානය කිරීම උදෙසාය.

" හරි හරි ආය මොකවත්ම කියන්නෙ නෑ මම ඒ ගැන. " ඒ වනවිටත් මම ඇයට හත්වරක් ස්තූතිකොට තිබිණි. 

මාතෘකාව වෙනස් කලයුතුයයි මම සිතූයෙමි. " සාමාන්‍ය අපගමනය ගැන අපි අවධානය යොමුකරනවා බොහොමත්ම වැඩියි. " එදින අප සහභාගීවූ සංඛ්‍යාලේඛණ විද්‍යාව දේශණය පිබඳව මගේ නීරීක්ෂණය මම ඉදිරිපත් කළෙමි.

" ආයම මොකවත් බලාපොරොත්තු වෙන්ට එහෙම එපා ඔන්න. මම මේ බොහොම පැහැදිලිව කියන්නෙ.." අනන්යා අනපේක්ෂිතව පැවසුවාය.

" මොනවද මොකවත් කියන්නෙ?" මම ඇසූයෙමි. තහනම් මාතෘකාවට යලි ප්‍රවිෂ්ට වූයේ මම නොව ඇයමය. 

" මොකවත් කියන්නෙ මීට පස්සෙ වැඩිපුර මොකවත් එහෙම නෑ කියලයි. හරි ඒ කතාව එතනිං ඉවරයි . දැන් ආපහු පාඩමට. සාමාන්‍ය අපගමනය ගැන මොකක්ද අර ඔයා කිව්වෙ?

" සමාවෙන්න මැඩම්, එකම එක පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. වැඩිපුර නෑ කියල ඔබතුමිය කිව්වෙ අර ඊයෙ එව්ව ආයම වැඩිපුර නෑ කියලද එහෙමත් නැත්තං ඊයෙ එව්වට අමතරව තව මොකවත් එහෙම වැඩිපුර නෑ කියලද? " 

" මේ හලෝ..ඔය විකාර නවත්තනවද? අපි මේ ඉන්නෙ බොහොම වැදගත් දේශනයක් මැද්දෙ. ඒක අමතක කරන්ට එපා..තේරුණාද? " 

" ඒක එහෙම වෙන්ට ඇති. ඒත් මම මේ ඉන්නෙ මගෙ ජීවිතේ අර්බුදයක් මැද්දෙ. අනේ ඒ ගැන හිතල මට අනුකම්පා කරල උත්තරයක් දෙන්න. " 

" මේ ...පිරිමින්ට ඔය ගැන ඇරෙන්න වෙන හිතන්න දෙයක් ඇත්තෙම නැද්ද දෙයියම්පල්ල? අනික අපිට අද රෑ අර Normal curve problems ගැන ස්ටඩි කරන්න තියෙනව. මතකයිනෙ නේද? " 

මම ඇය දෙස බලා පියකරු ලෙස සිනාසීමි. 

" මම දන්නව ඔහේ ඔහොම හෝතඹුවෙක් වගෙ හිනාවෙන්නෙ මොකද කියල. මේ එකක් කියන්නම් දැන්මම. Curves ගැන අනවශ්‍ය විහිලු කරගෙන ආවොත් මම එල්ලුං ගහට ගියත් කමක් නෑ කියල මිරිකනව බෙල්ලම " 

ඇගේ ඒ ඉතා චිත්තාකර්ෂණීය වූ පොරොන්දුවත් හා සමඟම තේ විවේකය අවසන් බව සනිටුහන් කරමින් සීනුව නාදවිය.

Thursday, September 24, 2015

351. පිළිසඳරක්, අහඹු සම්පතනයක් සහ පොතක් පිළිබඳ යමක් - A Chat , A Coincidence & Something About a Book.

සිකුරාදා මෙහෙ නිවාඩු දවසනෙ. පහුගිය සිකුරාද ඔය සුපුරුදු ෆ්‍රයිඩේ ස්පෙෂල් අතුපතු ගෑවිලි, මොප් කිරිලි, රෙදි පෙරෙදි හේදිලි එහෙම ඉවරයක් කරල කම්පියුටරේ ඉස්සරහ ඉඳගත්ත. අපේ ලෑන්ඩ් ලේඩි තුමිය ඔන් ලයින් ඉන්නව දැකල නිකමට වගෙ හායි කිව්ව. හායි මෙයාලා යනවද බායි කියාලා...ඔහොම එක කාලෙක ජනප්‍රිය සින්දුවකුත් තිබ්බ මට මතකයි. 

" හායි මැඩම්.."

" ආ කොහොමද? මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕන පොත්? " 

" මොකවත් එපා අනේ.." ඊයෙ පෙරෙයිද පිටවෙච්චි අලුත් පොත්, කියවිය යුතු හොඳ පොත් ගැන මම හාංකවිසියක් වත් නොදනිමි.

" ඒ කියන්නෙ පොත් එපා? " 

" එපා අනේ...සුනේත්‍රගෙ, සුමිත්‍රගෙ වගෙ අලුතෙන් පොතක් පිටවුනෙ නෑ නේද? ඔය අනික් අයගෙන් නම් වැඩක් නෑ…" 

මම එහෙම කියන එකත් අසාධාරණයි එක අතකින්. අවුරුදු හතකට කලින් විප්‍රවාසී වෙන්ට සිද්ද වුන දවසෙ ඉඳල සිංහල නවකථා කෙටිකතා එක්ක මගෙ ආශ්‍රය බොහොම දුරස්ථ වුනා. ඒ හින්දම කලින් ඉඳලම දන්න කියන අය ඇරුනු කොට අලුත් ලේඛක ලේඛිකාවො ගැන මගේ දැනුම ඕල්මෝස්ට් සීරෝ. ශූන්‍යයට ඉතාම ආසන්නයි. ඒ කියන්නෙ සිංහල ලේඛකයො ලේඛිකාවො පිළිබඳ මගේ දැනුම සත් වසක් පැරණියි . එහෙමත් නැත්තං පසුගිය සත්වස තුල යාවත්කාලීන කොට නැත.

" එහෙනම් මෙහෙම කරමු. 28 වෙනකල් එක්සිබිෂන් එක තියනවනෙ. ඊට කලින් මොනවහරි හොඳ පොතක්, කියවන්ට ඕනමය කියල හිතෙන පොතක් ගැන දැනගන්ට ලැබුණොත් කියන්ට. මම ගන්නං…" 

" ඕකේ මැඩම් "  මම එහෙම කියල සංවාදය අහවරක් කලා.

Coincidence නැත්නම් අහඹු සම්පතනයන් ගැන දන්නව නේද? ඒ කියන්නෙ එකකට එකක් සම්බන්ධ සිදුවීම් දෙකක් හෝ කීපයක් ඒ අතර අන්තර් සම්බන්ධයක් නොමැතිව එකම වෙලාවට නැත්නම් කෙටි කාල පරතරයක් සහිතව සිදුවීම.

රයිට් ඊලඟට පැය බාගයක් වගෙ ඇතුලත අන්න එහෙම Coincidence එකක් වුනා. සරසවි පොත්හලේ නිව්ස් ලෙටර් එකට මම සබ්ස්ක්‍රයිබ් කරලයි තියෙන්නෙ. ඉතින් එදා මගේ ඊ-මේල් එකට ආපු සරසවි නිව්ස් ලෙටර් එකේ තිබ්බ එයාල අලුතෙන් නිකුත් කරපු පොතක් ගැන.

මේ ඒ පොතේ මුල් පිටු තුන නැත්නම් හතර....

උපුටා ගැනීම /

මරණයේ අබිමුවට ගොස් නැවත පැමිණෙන පුද්ගලයින් ජීවිතය දෙස බලන්නේ අන් අයට වඩා වෙනස් අන්දමටයැයි මා අසා ඇත.ගත වෙන සෑම දිනක්ම ප්‍රාතිහාර්යයකැයි සිතන්නට මට ඉඩ ලැබුණේ ඒ හේතුවෙනි.ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් එකතු කරගත් සියල්ල මරණය අද්දරදී ශූන්‍යත්වයට පත් වන්නේ කිසිදු අනුකම්පාවකින් තොරව බවත්, ඒ මොහොතෙන් ඔබ්බට තවත් දවසක් නැතැයි යන අවබෝධය ජීවිතය ගැන සිතන්නට ඉඩ දෙන බවත් දැන් මම දනිමි. සැබෑවටම අපිට ජීවිතයෙන් ඇවැසි කුමක්ද කියා වටහා ගත හැක්කේ එවිටය.

සෑම කෙනෙකුටම පවසන්නට තමන්ගේ කියා ජීවිත කතාවක් ඇත.මා දැනුවත්ව මගේ කතාව තවත් අයෙකුගේ කතාවට වඩා රසවත් බවින් වැඩි හෝ අඩු වන්නේ නැත.අප උපන්නේ මහා සාගරයෙන් වටවුණු දූපතකය. අප මුහුණ දෙන්නේද ඒ දූපතේම උපන් මිනිසුන් සමූහයකටය.මගේ කතාවේ ජීවත්වන පුද්ගලයින් අන් අයගේ ජීවිත කතාවලද චරිත රඟදක්වන්නන් බව මම දනිමි.

මගේ කතාවේ මුල පටන්ගන්නේ මගේ ආදරණීය තාත්තාගෙනි.ඔහු ඔහුගේ ජීවිතය ගවේෂණය කරන්නට උත්සාහ ගත් අයෙකි.එළෙසම ඔහු මගේ ජීවිතයද මහා නෞකාවක් සේ හසුරුවන්නට මට කියාදෙන්නට ද සූදානම්ව සිටියේය.කුඩා කල පටන් මා පොත් කියවීමට ඇබ්බැහි කරන්නට ඔහු උනන්දු විය.මගේ වයස අවුරුදු දහයක් වූ කල මට චෙස් ක්‍රීඩාව උගන්වමින් ඔහු එහි පරතෙරට මා රැගෙන ගියේය.එතෙකින් නොනැවතී රාත්‍රී අහසේ තරු රටා සමඟ ගනුදෙනු කරන සැටි ඔහු මට කියා දුන්නේය. ජීවිතයේ කෙදිනක හෝ මුණ ගැසෙන හුදකලාවට විසඳුම මින් එකක් වන බව ඔහු මට කල්තියා කියාදී තිබිණි.

තාත්තා සතුවූ මේ අදහස් පවුලේ අනෙක් දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාවට නඟන්නට ඔහුට අවස්ථාවක් නොලැබුණේ මගේ අම්මාගේ අප්‍රමාණ බලාපොරොත්තු නිසාය.වැඩිමල් දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් වෙගෙසට පත්විම නිසා අම්මා විසින් අතහැර දැමූ පවුලේ බාලයා වූ මට ඒ අදහස් කාවද්දන්නට තාත්තාට හැකිවිය.එය තාත්තා ලැබූ ජයග්‍රහණයක් බව පසු කලෙක ඔහුගේ කියමන් වලින් මට පසක් විය.ළමා වියේ පටන් මට කියාදුන් නොයෙක් පාඩම් වලින් පසු තාත්තා මගේ ජීවිතයට ඊළඟට එක් කරන්නට සිටියේ කුමක්ද කියා මා දන්නේ නැත. මගේ අවාසනාවට නොසිතූ මොහොතක මරණය ඔහු සොයාගෙන පැමිණියේය.

උතුරු නැගෙනහිර යුද්ධය පැතිරයමින් තිබූ ඒ කාලයේ ආණ්ඩුවට විරුද්ධ මත දැරූ දකුණේ තරුණයින්ගේ ක්‍රියා කලාපය නිසා රට තුල භීෂණ වාතාවරණයක් හටගෙන තිබිණි. එය නාඳුනන තුවක්කු කරුවන්ගේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් බවට පත්වූ කාල වකවානුවක් විය.රට වැසියන් තම තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු වූ කාලයක මගේ තාත්තා ඒ ගැන අමතක කළේය.තුවක්කුවකට, එක් මූණිස්සමකට කිසි දිනයක මුණ නොගැසුනු පුද්ගලයෙකුට තවත් ජීවිතයක් නිමා කිරීමට ඇති හැකියාව මා දැනගත්තේ තාත්තාගේ මරණයත් සමඟය.

තාත්තා දේශපාලන පළිගැනීමකට ලක්වූ බව කාගේත් අදහස විය.ඔහුට වෙඩි තැබුවේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදුනු තරුණයින්ද,නොමැතිනම් කැරළිකාර කණ්ඩායම් මුවාවෙන් විරුද්ධවාදීන් මර්දනය කරමින් සිටි ආණ්ඩුවට හිතවත් පුද්ගලයින්ද කියා කීමට කිසිවකුට හෝ නොහැකි විය.නාඳුනන තුවක්කු කරුවකු සිදු කල වෙඩි තැබීමක් ගැන මිනිසුන් එළිපිට කතා කිරීමට බිය වුනු කාල වකවානුවක තාත්තාගේ මරණයට පැහැදිලි හේතුවක් සෙවීමට වඩා එය අමතක කර දැමීම වඩාත් පහසු දෙයක් විය.එහෙත් තාත්තා නොමැතිව ලෝකයට මුහුණ දීමට මා දැනසිටියේ නැත.ඔහුගේ මරණය නොනවතින අභාග්‍යයක් වෙත මා කැඳවාගෙන යන්නට සමත් විය.

මගේ තාත්තා මට නර්මදා යයි නම් තැබුවේ කෙදිනක හෝ මා ඔහුගේ ජීවන මංපෙත හරහා ගලා බසිනා මහා ගංගාවක් බවට පරිවර්තනය වනු ඇතැයි සිතාගෙනය.මගේ උත්පත්තිය සිදුවන කාල වකවානුවේ මගේ පියා ඔහු මුහුණ දුන් සියලු කඩඉම් පසුකරමින් සාර්ථකත්වයේ ඉහළට ගමන් කරමින් සිටි නිසා මගේ අනාගතය ගැන අප්‍රමාණව සිහින මවන්නට ඔහුට හැකිවිය.එදා ඔහු සතුවූ බුද්ධියෙන් සහ ධනයෙන් මා ප්‍රීතිමත් දැරියක කරන්නට සැබෑවටම ඔහුට හැකියාව තිබිණි.එහෙත් තාත්තා මා කෙරෙහි තැබූ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටු වුනේ නැත.මගේ ඇස් ඉදිරිපිට ඔහු මියගිය විට ඒ සමඟ සැබෑ ලෝකය හඳුනාගන්නට මටද සිදුවිය.

එදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරු මුලින්ම වෙඩි තැබුවේ තාත්තාටය.ඒ නිමේෂයේ තුවක්කුව අතැතිව මා ඉදිරිපිට සිටි පුද්ගලයා දෙස මම හිස ඔසවා බැලුවෙමි.ඒ දෑස්වල තිබුණේ කෝපයක හෝ ද්වේෂයක ලකුණක් නොව තමන් කරන්නට පැමිණි කාර්යය නිමාකල අයකුගේ සැනසුම් සහගත බැල්මකි.තුවක්කුකරු මටද වෙඩි තබනු අතැයි මා සිතූ නමුත් ඔහු සන්සුන්ව අතේ ඇති පොහොර උරයට තුවක්කුව ඔබා ගත්තේය.ඉන් ඔබ්බට අප අතර පැවතියේ මොහොතක නිහඬතාවයකි.එලෙස සදකාලිකවම මට විඳවන්නට ඉඩ තබා තුවක්කුව අතැති පුද්ගලයා ඔහු පැමිණි මෝටර් සයිකලයේ පිටුපසට නැඟගත්තේය. තාත්තාගේ පපුවේ පැත්තකින් ලේ ගලමින් තිබිණි.මගේ කෑගැසිල්ල අතර තාත්තාට වෙඩි තබන්නට පැමිණි දෙදෙනා මෝටර් සයිකලයට නැඟී එය ගේට්ටුවෙන් හරවාගෙන මහපාරට පදවාගෙන යනවා මම බලාගෙන සිටියෙමි.

/ උපුටා ගැනීම අවසන්



ඇගේ මීට පෙර ලියපු පොත් හතරක්ම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන අදියරට නිර්දේශ වෙලා තියනව.පොත් හතක් මීට පෙර ප්‍රකාශයට පත් වෙලා තියනව. පාරාදීසයක දරුවෝ,වැව් පතුලේ කිඳුරිය, නිරුවත් හදවත්, ගැහැනු ළමයාගේ මරණය,පියාපත් ලත් දෝණිය, රෝසමාලි සහ යලි උපන් ගැහැණිය ඒ පොත්. 

අනන්ත දේශය පොතේ මුල් පිටු කීපය කියවපු වහාම මට හිතුන මේ පොතේ ගතයුතු දෙයක් තියනවයි කියල.. රන්දිල් තාම ඔන් ලයින් ඉන්නව..මම කතා කලා.

" මේ ඔන්න බලන්න පුදුම වැඩේ කියන්නෙ. ඔයා මට කිව්ව නේද හොඳයි කියල හිතෙන පොතක් ගැන දැනගත්තොත් කියන්නෙයි කියල…" 

" ඔව්..ඔව්..ඇයි? " 

" හෙහ්, එහෙම කියල පැය බාගයක් යන්ට වුනේ නෑ. මට ආව සරසවි නිව්ස් ලෙටර් එක." 

" ඉතිං? " 

" හෙහ්, ඒකෙ තියනවනෙ මගෙ හිතට අල්ලල යන පොතක්." 

පොතක් නිර්දේශ කරන එක බොහොම අසීරු වැඩක්. ඒකට හේතුව ඉතාම පැහැදිලියි. මම කැමති පොතකට ඔබ අකමැති වෙන්න පුලුවන්.ඒකෙ ප්‍රතිලෝමයත් එහෙමමයි. ඔබ කැමති පොතකට මම අකමැති වෙන්න පුලුවන්.  ඉතිං ඒ හින්ද පොතේ මුල් පිටු කීපය කියවල බලල හොඳයි කියල හිතෙනව නම්…...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...