Friday, September 25, 2015

352. The Story Of My Marriage - 6 - A Kiss Of Only Three Seconds But…..

එදින එනම් ඇය හා වදනක් හෝ නොදොඩා ගෙවීගිය පස්වන දින රාත්‍රී නමයට අනන්‍යා මගේ කුටියෙහි දොරට තට්ටු කළාය.

ඒ වනවිට රාත්‍රී ආහාරයෙන් පසු මම යලි අධ්‍යයන කටයුතු ආරම්භ කලා පමණි. මෙහි ශිෂ්‍ය නේවාසිකාගාරයන්ට ශිෂ්‍යාවන් පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. මින් පෙර ඇය මගේ කුටියට පැමිණ ඇත්තේ එකම වරකි.එදින ඇගේ ඒ අනපේක්ෂිත සම්ප්‍රාප්තිය කරණකොටගෙන මගේ අසල්වැසි නේවාසිකාගාර මිතුරෝ කොතෙක් අමන්දානන්දයට පත්වීදයත් ඔවුහු ක්ෂණිකව සංවිධානය කොටගත් කන් රිදුම්දෙන තරමේ මහත් හඬ සංගීතය පසුබිම් කොටගත් ෆ්‍රිස්බි ක්‍රීඩාවක මගේ කුටිය ඉදිපිට බරාඳයෙහි එහා මෙහා දුවමින් නිරතවූහ.

ෆ්‍රිස්බී යනු අඟල් 10 පමණ විෂ්කම්භයෙන් යුතු එක්වරම අත ගස්සා පොළවට සමාන්තරව වීසිකලවිට වේගයෙන් භ්‍රමණය වෙමින් ගුවනේ පාවීයන බොහෝවිට ප්ලාස්ටික් වන් ද්‍රව්‍යයකින් නිවැමූ සුනම්‍ය තැටියක් උපයෝගී කොටගෙන කෙරෙන එළිමහන් ක්‍රීඩාවකි. )

ෆ්‍රිස්බියක්

" ඔයා හරියටම භාග්‍යාශ්‍රී වගේමයි " තම සගයින්හට වඩා එඩිතරවූ වූවෙක් මගේ කුටියෙහි වසා තිබූ දොර ඉදිරියෙහිම හිඳ මුරගෑවේ ඔවුන්ගේ නොමේරූ කෙළි කවටකම් හේතුකොටගෙන නොරිස්සුමෙන් අඳුරුවූ මගේ මුහුණෙහිද සිනහවක් මතුකරමිනි..

භාග්‍යාශ්‍රී පත්වර්ධන් යනු එකල ඉතා ජනප්‍රියවූ රූමත් යොවුන් නිළියකි. ඇය ඒ වනවිට ඒ ආසන්න කාලයක ප්‍රදර්ශනය ඇරඹි " මෙයින් ප්‍යාර් කියා "  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිස අපේ යොවුන් හදවත් එක් පැහැර ආක්‍රමණය කොට සිටියාය.)

භාග්‍යාශ්‍රී

තවත් මිනිත්තු කිහිපයක ඇවෑමෙන් භාග්‍යාශ්‍රී රඟන යථෝක්ත චිත්‍රපටයේ තේමා ගීතය නේවාසිකාගාරය පුරා පැතිර යන්නට විය.පරවියකුට ප්‍රේම දූතයකු වන්නැයි කරන ආයාචනයක් අඩංගු එම ගීතයට මම ද රුචි කළෙමි.

" මේක මහ විකාරයක් වුනානෙ.මේකෙ ඉන්නෙ MBA කරන ඔලුවක් තියෙන වැදගත් ළමයි ද නැත්තං එහෙම පිස්සං කොටුවෙනුත් සනීප කරන්ට බෑ කියල දොට්ට දාපු මොලේ අර්ශස් කාරයොද? ආයෙම ජීවිතේට මම එන්නෙ නෑ ක්‍රිෂ් ඔයාගෙ කාමරේට පාඩම් කරන්න. " කෝපයෙන් රතුවූ මුහුණින් යුතුව අනන්‍යා තමා ගෙන ආ සටහන් පොත් ගොනු කොටගනිමින් තෙපළාය. 

ඇය දැඩි කෝපයෙන් යුතුව පිටව යාමට දොර විවර කරද්දී ද මගේ නේවාසිකාගාර සගයින් අට දෙනෙක් බරාඳයේ මහත් ප්‍රීතියෙන් ඉපිළෙමින් ෆ්‍රිස්බි ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියහ. " ඔහෙලයි ඔහෙලගෙ භාග්‍යාශ්‍රීයි.පිස්සු ද නැත්තං හැටිද? " ඔවුන් දෙනෙත් සමඟ මුවද විවරකොටගෙන බලාසිටිද්දී පුපුරා හැලුණු ඈ ගම්බිම් වනසාලමින් ඇදී යන්නාවූ කුණාටුවක් සේ අපේ නේවාසිකාගාරයෙන් නික්ම ගියාය. දොරටුව අසළදී එක්වරම නැවතුනු ඈ ආපසු හැරුණාය. " ආ..තව එකක්..මට පෙන්නන්ට බෑ ඔහෙලගෙ ඔය භාග්‍යාශ්‍රී. අදක ඊයෙක එහෙම නෙවෙයි එදා ඉඳලම. " 

එසේ නැවත ජීවිතයේ කිසිම දිනෙක මගේ කුටියට නොපැමිණෙන්නේ යයි සපථ කොට නික්ම ගිය ඈ යළිදු පැමිණ සිටින්නීය. මම දොර විවර කලෙමි.මද සිනහවකින් විකසිත ඇගේ මුහුණ මගේ නේවාසිකාගාර සගයින් එදා මෙන් නොව අද නියැන්ඩර්තාල් මානවයින් මෙන් හැසීරි නොමැති බවට හොඳම සාක්ෂියයි. ඇය හැඳ සිටියේ භෝජන ශාලාවෙහි ඈ මා හමුවූ මුල් දිනයෙහි ඇය හැඳ හුන් නිල් සහ සුදු වර්ණ මිශ්‍ර සල්වාර් ඇඳුමයි. ඔබ යම් අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබන්නෙකුනම් එසේම ඔබ හොඳ නීරීක්ෂකයකුනම් අවශේෂ සිසුන් හෝ සිසුවියන්ගේ ඇඳුම් ඇඳීමේ රටාවක් නිර්ණය කරගැනීම එතරම් අපහසු නොවේ. අනන්‍යා තම සුදු සහ නිල් පැහැති සල්වාර් ඇඳුම සෑම සති තුනකටම වරක් ඇන්දාය.

ඇගේ සුරතෙහි ෆෲටි ඇසුරුම් දෙකක් විය.( එකල තරුණපෙල අතර බොහෝසේ ජනප්‍රියවූ ෆෲටී නම් වූ අඹ යුෂයෙන් සකස්කල පානයක් විය.) 

ෆෲටී

" මම ආවට කමක් නෑ නේද? ඔබතුමාගේ අධ්‍යාපන කටයුතුවලින් විනාඩි දහයක් අපතේ ගියාට කමක් නෑ නේද මා වෙනුවෙන්? " 

ඇගේ කුටිය මෙන් නොව මගේ කුටියෙහි කිසිදු සිත් ඇදගන්නාසුලු බවක් නොවීය.මවිසින් කිසිදු සැරසිල්ලක් නොකල කපරාරු රහිත ගඩොළු බිත්ති බන්ධනාගාරයක බිත්ති සිහිගැන්වූයේ නිතැනිනි.මගේ දයාබර මව විසින් නිවසින් පිටත්වන විට ගමන් මල්ලට බහාලූ සුදු වන් ඇඳ ඇතිරිල්ල කාලාන්තරයක් මුලුල්ලේ නේවාසිකාගාර ලොන්ඩරියෙහි ඇසිඩ් මිශ්‍ර සේදුම් කුඩු මිශ්‍රණයෙහි බහා සේදීම හේතුකොටගෙන කිසිවකුට හඳුනාගත නොහැකි අළු, දුඹුරු සහ නිල් මිශ්‍ර පැහැයක් ගෙන තිබිණි.සුවඳ ධූම දවනයන්, නොයෙක් විසිතුරු ආම්පන්න සහ නැවුම් මල් පොකුරක් බහාලූ වීදුරු බඳුනක් කිසිදිනක නොවැරදුනු අනන්‍යාගේ මේසය මෙන් නොව මගේ මේසය මත වූයේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් පමණකි.

" පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න..." එසේ පවසා මම ආපසු හැරී කුටිය සිසාරා යනපරිදි පරීක්ෂාකාරී බැල්මක් හෙලුවෙමි.නැත. කිසිදු යට ඇඳුමක් ඇඳ මත අතුරා නොමැත.නැත. කිසිදු කටුක ගන්ධයෙන් යුතු මේස් කිසිවක් පුටු ඇන්ද මත වනා නොමැත. නැත. නිරුවත් නිරූපිකාවන්ගේ ඡායාරූපයන්ගෙන් හැඩවුණු මුල්පිටු සහිත අශ්ලීල ගණයේ සඟරා කිසිවක් ද මේසය මත නොමැත.

" හරි එන්න…." මම දොර සම්පූර්ණයෙන් විවර කොට ඇයට කුටියට ඇතුළු වීමට ඉඩ හළෙමි. 

මගේ මේසය පුරා විසුරුනු පොත් දෙස ඇය මොහොතක් බලා සිටියාය. " හිහ්...හිටු කියල පාඩම් කරනව නේ? " මගේ ඇඳ මත හිඳ ගනිමින් ඇය විමසුවාය. 

" වෙන මොනව කරන්නද?" පුටුව පසුපසට අදිමින් මම පිළිතුරු දුනිමි.

" මම හිතන්නෙ දැන් ඔයා තනියම පාඩම් කරන හින්ද ලකුනුත් වැඩිපුර ගත්තෑකි. " 

" එහෙම දෙයක් නෑ කියල මම ඔයාට කිව්වනෙ. " 

" එහෙනං? කරුණාකරල කෙලින්ම කියනවද මොකක්ද කාරණේ කියල? ක්‍රිෂ් ඔයා පංතියෙදි අඩු ගණනෙ මා දිහා බලන්නෙවත් නෑ.මොකක්ද මේ පොඩි එවුං වගෙ හැසිරෙන එකේ තේරුම? " 

සුසුමක් හෙලූ මම ඉවත බලා ගතිමි. " මේ ක්‍රිෂ්, මගෙ මූණ දිහාවෙ, මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන කතා කරනවද තරහ නැතුව.Eye Contact Please " 

මම හිස ඔසවා ඇගේ විසල් දෑස දෙස බලාසිටියෙමි. ඇය කෙරෙහි මා තුලවූ සෙනෙහස ඒ මොහොතේ කෙතෙක් නැඟී ආවේද යත් ඇයට කිසිදිනෙක පිටව යාමට නොහැකිවන අයුරු මගේ කුටියෙහි දොර අගුළු දමා යතුර සැඟවීමට පමණ මට අවශ්‍ය විය.

" මට මේක කරන්ට බෑ අනන්‍යා. " 

" මොකක්ද ඔයාට කරන්ට බැරි? " 

" මට ඔයා එක්ක නිකම් යාලුවො වගෙ ආශ්‍රය කරන්න බෑ.සමහර අය ඇති ගෑනු ළමයි එක්ක එහෙම ආශ්‍රය කරන්න පුලුවන් අය. මම නෑ කියන්නෙ නෑ. ඒත් මට බෑ. විශේෂයෙන්ම කිව්වොත් මට ඔයා එක්ක බෑ. " 

" මොකක්?...." ඇය උඩුකය කෙලින් කොට ඇඳමත පස්සටවී හිඳගත්තාය.

" මම දන්නව මම ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඔයා හිතනව වෙන්න පුලුවන්..ඒකට මම ඔයාට කිසිම දොසක්... "

" මොනවද අනේ මේ ඔයා කියවන්නෙ? " ඇගේ රැලි වැටුනු දෙබැම සහ නළලත ඇය සැබැවින්ම දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇති බව නිසැකවම කියා පෑවේය.

" ඒක අමතක කරල දාන්න. ෆෲටී එකට බොහොම ස්තූතියි. " ඇසුරුමෙහි වූ අවසාන අඹ යුෂ ස්වල්පය ශබ්ද නගමින් පානය කොට අවසාන කල මම ඇසුරුම වේගයෙන් මේසය මතට දමා ගැසුවෙමි. කලකට ඉහත නැරඹූ චිත්‍රපටයක ප්‍රේමයෙන් පරාජිතවූ කථා නායකයා අවසාන මත්පැන් බිඳ ද පානය කොට හිස් වූ වැට් 69 බෝතලය සිය දහස් කඩකට සුණු විසුණු වනසේ පොළවේ ගසන දර්ශනයක් ඒ හා සමඟම මගේ මතකයට නැඟුනි. " යන්න අනන්‍යා කරුණාකරල යන්න. මට තනියෙන් ඉන්න දෙන්න. මගේ හිත පෙලන මේ දුක් ගින්න අඹ යුෂයේ ගිල්වා හෝ නිවාගන්න මට ඉඩ දෙන්න " මම නිහඬව එසේ සිතුවෙමි.

" ක්‍රිෂ්..මේ ……….." ඇය ඉදිරියට නැවී මගේ උරහිස මත සුරත තබා මා ඇමතුවාය. 

" කරුණාකරල මාව අල්ලන්න එපා " ඇගේ ස්පර්ශයෙන් හටගත් සහසක් කුඩා විදුලි සැර මගේ ගෙල අසලින් ආරම්භව උඩු කය ඔස්සේ පහළට දිවයද්දී මම වේගයෙන් පැවසූයෙමි.

" හරි හරි සමාවෙන්න " ඇය වහා සුරත ඉවතට ගත්තාය." හැබැයි ඔයා කියන මේ කතාව හරිම අසාධාරණයි. අපි දෙන්න කතා කරල එකඟතාවයකට ඇවිල්ලනෙ නේද තිබුණෙ? මතක නැද්ද? " 

" කෙහෙම්මල් එකඟතාවය………" මගේ මුවින් එවදන් පිටවූයේ මේසය මතවූ අඹ හිස් යුෂ අසුරණය සුරතට ගෙන හැකි වීරියෙන් මිරිකන අතරදීය.

මම හිස ඔසවා ඇගේ මුහුණ බැලූවෙමි. ඇයද එවිටම හිස එසවූයෙන් අපගේ දෑස් එකිනෙක ගැටිනි. මොහොතක් එකිනෙකා දෙස බලා සිටි අපි එක්වරම යලි ඉවත බලා ගතිමු. දැඩි නිහඬතාවයේ වෙලී මිනිත්තුවක් ගෙවී ගියේය.ඉක්බිති එය මිනිත්තු දෙකක්, තුනක් බවට පත්විය. 

" ක්‍රිෂ්, ඔයාට මොනවද ඕන? What do you want from me exactly? tell me please…" අවසානයේ ඇය සිහින් හඬින් විමසුවාය. 

" මට ඔයාට ආදරය කරන්න ඕන. අපි දෙන්න පෙම්වතුන් වෙන්න ඕන. ඒකයි මට ඕන. හැබැයි මේක ප්‍රොපෝසල් එකක් නම් නෙවෙයි. ඔයාට ප්‍රේම යෝජනාවක් ගේන දාහතරවෙනිය වෙන්න මට කිසිම ඕන කමක් නෑ." 

" ඉතිං ඔයා දැන් මේ ගෙනෙන්නෙ ප්‍රොපෝසල් එකක් නෙවෙයි නම් වෙන මොකක්ද? " 

" නෑ මේක වෙනස්. ඔයයි මගෙ කාමරේට ආවෙ.ඔයයි මගෙන් ඇහුවෙ මට ඕන මොනවද කියල. ඒ හින්ද මේක වෙනස්. " 

" හරි හරි දැන් ඔයාට ඕන අපි දෙන්නා ආදරවන්තයො වෙන්නනෙ. ඉතින් අපි මෙච්චර කල් හිටියෙ ඒ වගේනෙ.අපි එකට පාඩම් කලා. ගෙවල් වලට කෝල් ගන්න එකට කමියුනිකේෂන් එකට ගියා. මෙස් එකේ එකට කෑවා. " 

" එව්වයින් වැඩක් නෑ අනන්‍යා, එව්ව ඔයාට වෙන ඕනම කෙනෙක් එක්ක කරන්න පුලුවන්නෙ. " 

" මට ඔයා කියන එක තේරෙන්නෙ නෑ. " 

" හරි මම බොහොම සරලව පැහැදිලි කරන්නං " මම මෙතෙක් හිඳසිටි අසුනින් නැඟිට කුටිය මධ්‍යයට ගොස් ඇය දෙසට හැරුණෙමි." මම බොහොම සරළව පැහැදිලි කරන්නං ඔයාට හොඳාකාරවම තේරුම් යන විදිහට.ඔන්න පස්සෙ ආයම කියන්න ඔට්ටු නෑ හරියට තේරුණේ නෑ කියල. " 

" හරි හරි කියන්නකො බලන්න" ඇගේ දෙතොලගට නැඟ ආ සිනහව එකෙනෙහිම මැකී ගියේය.

" ඔයා එක්ක එකට ඉඳගෙන පාඩම් කරන්න මට මොනතරම් අමාරුවුනාද කියල ඔයා දන්නෙ නෑ. එකක් මේ නිකටීන් රහිත සිගරට් ගැනයි, මාකටිං ගැටළු ගැනයි හිත එකඟ කරල හිතන්න ඕන. ඒකත් කොහොම හරි කලාය කියමුකො. මට ඊටත් වැඩිය අමාරු වුනේ ඔයා දිහා නොබල පාඩම් කරන්න හිත එකඟ කරගන්න එක." ය විසල්වූ දෑසින් මදෙස බලා සිටියාය.

" අනන්‍යා ඔයාගෙ මූණ දකින හැම වෙලාවෙම මට හිතෙන්නෙ අතේ තියෙන පොත අල්ලල විසි කරල දාල ඔයාගෙ මූණ ඉඹගෙන ඉඹගෙන යන්න. ඒත් එක්කම මට මතක් වෙනව අපි දෙන්න අතරෙ තියෙන හිතවත්කමේ එකඟතාවය. ඔයාටනම් ඒ ගැන කිසි අවුලක් නෑ බොහොම කූල්පිට ඉන්නව සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ. ඒත් මම? ඒ එකඟතාවය කඩන්න බැරිකම හින්දම මට සිද්දවුනේ හිත ඇතුලෙං බුබුලු දාගෙන එන හැඟීම් ඔක්කොම බලෙන්ම තද කර හිරකරල දාගෙන මොකවත් අවුලක් නෑ වගේ ඉන්න.එතකොට ඔයාගෙ ඔය යටිතොලට පහලින් දකුණු පැත්තෙ තියෙන පුංචි උපන් ලපේ..." 

" ඔයා... දැක්කද... ඒක? මම... හිතුවෙ ..නෑ ඔයා.. ඒක......හිහ්..ඒක ..බොහොම.. පුංචි.. එකක්නෙ.." ඇය වදන් එකීනෙක නවතමින් සෙමෙන් පැවසූයේ සුරතේ දබරැඟිල්ලෙන් උපන් ලපය පිරිමදිමිනි. 

" ඒක පුංචි වෙන්න පුලුවන්. ඒත් ඒක මම දකිනව හැමදාම. ඒත් ඒ උපන් ලපයවත් ඊය ඉහලින් තියෙන ඔයාගෙ දෙතොල්වත් මට සිප ගන්න බෑ. මම හි..ත..ව..තෙ..ක් විතරයි. " හිතවතෙක් යන වදන අකුරෙන් අකුර උච්ඡාරණය කරමින් පවසා මම මඳක් වේලා ගැඹුරින් හුස්ම ගත්තේ සිත සමනය කරගැන්ම උදෙසාය.

අනන්‍යා මදෙස මදක් වේලා බලා සිටියාය.ඇගේ දෑසෙහි දඟකාරී බවක් මතුව සැණෙකින් අතුරුදන්ව ගියේය. ඉන්පසු ඇය මහත් හඬින් සිනාසුනාය.

" මේ මේක විහිලුවක් එහෙම නෙවෙයි හොඳද?..ඔයා දන්නෙ නෑ පහුගිය කාලෙ මම විඳපු... " 

" ඔයා කතාකරනව වැඩියි. " ඇය බැරෑරුම් ලෙස පැවසුවාය. 

" මොකක්ද කිව්වෙ? " මම දෑස් අයාගෙන ඈ දෙස බලා සිටියෙමි. 

" ඔව්. ඔයා කතාකරනව බොහොම වැඩියි. දන්නවද තොල් කියන එව්ව තියෙන්නෙ කතා කරන්නම විතරක් නෙවෙයි. "

ඇගේ හඬෙහි තාරතාවය එක්වරම වෙනස් විය. ඒ සමඟම ඇය නැඟී සිටියාය. මම කුටිය මධ්‍යයේ මෙතෙක් සිටගෙන සිටි අයුරින්ම පාෂානිභූතව ඇය දෙස බලා සිටියෙමි. සමදුරින් තැබූ පියවර තුනකින් ස්වාමිනාදන් මෙනෙවිය මවෙත ළඟාවූවාය. ඇගේ දෙතොලෙහි වූ අඹ යුෂ රසය මගේ දෙතොලට තත්පර තුනක් පුරා දැනිනි.

" හරි දැන් මම මේ කරපු මෝඩ වැඩේ බරපතලකම මටම තේරෙන්ට ඉස්සර මම මෙතනින් යන්ට ඕන " එසේ පවසමින් ඇය දොර වෙත ගොස් එය විවර කළාය. විෂ්මයෙන් සහ අධික කම්පනයෙන් පාෂාණිභූත වූ මට හැකිවූයේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් විවරවූ මුවින් යුතුව ඈ පිටව යන දෙස බලා සිටීම පමණකි.

මගේ නේවාසිකාගාර අසල් වැසියෝ සිව් දෙනෙක් ඈ දොර විවර කරනු හා සමඟම දොරට පිටතින් සවිකොට තිබූ තම කණ් ඉවත් කොටගෙන සෘජුව සිටගත්හ. " ආ...අපි මේ අපේ ෆ්‍රිස්බි එක හොයන්ටයි ආවෙ. " ඉන් එකෙක් මොහොතකට පසු ධෛර්යය උපදවාගෙන පැවසුවේය. 

" මෙහෙ නෑ ඔහෙලගෙ ෆ්‍රිස්බි එකක්. මේ කාමරේ ඉන්නෙ  ඉගෙනගන්ට විතරක් තමන්ගෙ මුලු කාලෙම යොදවන වැදගත් මහත්මයෙක්. " එසේ පවසා නහයට කෙලින් ඉදිරිය බලාගෙන ඇය ඉක්මන් ගමනින් ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් නික්ම ගියාය.

*******************************************

" ඕක ගැන කොයිවෙලෙත් කියවන්ට ඕන නෑ. දැන් මදැයි " ඇය පැවසූයේ පසුදින උදෑසන තේ විවේකයේදීය. හරියටම හෝරා දහතුනකුත් මිනිත්තු විසි දෙකකට ප්‍රථම මගේ තොල් සිපගැනීම උදෙසා යෙදවූ ඇගේ තොල් මේ වනවිට ඇය යොදවා තිබුනේ තේ පානය කිරීම උදෙසාය.

" හරි හරි ආය මොකවත්ම කියන්නෙ නෑ මම ඒ ගැන. " ඒ වනවිටත් මම ඇයට හත්වරක් ස්තූතිකොට තිබිණි. 

මාතෘකාව වෙනස් කලයුතුයයි මම සිතූයෙමි. " සාමාන්‍ය අපගමනය ගැන අපි අවධානය යොමුකරනවා බොහොමත්ම වැඩියි. " එදින අප සහභාගීවූ සංඛ්‍යාලේඛණ විද්‍යාව දේශණය පිබඳව මගේ නීරීක්ෂණය මම ඉදිරිපත් කළෙමි.

" ආයම මොකවත් බලාපොරොත්තු වෙන්ට එහෙම එපා ඔන්න. මම මේ බොහොම පැහැදිලිව කියන්නෙ.." අනන්යා අනපේක්ෂිතව පැවසුවාය.

" මොනවද මොකවත් කියන්නෙ?" මම ඇසූයෙමි. තහනම් මාතෘකාවට යලි ප්‍රවිෂ්ට වූයේ මම නොව ඇයමය. 

" මොකවත් කියන්නෙ මීට පස්සෙ වැඩිපුර මොකවත් එහෙම නෑ කියලයි. හරි ඒ කතාව එතනිං ඉවරයි . දැන් ආපහු පාඩමට. සාමාන්‍ය අපගමනය ගැන මොකක්ද අර ඔයා කිව්වෙ?

" සමාවෙන්න මැඩම්, එකම එක පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. වැඩිපුර නෑ කියල ඔබතුමිය කිව්වෙ අර ඊයෙ එව්ව ආයම වැඩිපුර නෑ කියලද එහෙමත් නැත්තං ඊයෙ එව්වට අමතරව තව මොකවත් එහෙම වැඩිපුර නෑ කියලද? " 

" මේ හලෝ..ඔය විකාර නවත්තනවද? අපි මේ ඉන්නෙ බොහොම වැදගත් දේශනයක් මැද්දෙ. ඒක අමතක කරන්ට එපා..තේරුණාද? " 

" ඒක එහෙම වෙන්ට ඇති. ඒත් මම මේ ඉන්නෙ මගෙ ජීවිතේ අර්බුදයක් මැද්දෙ. අනේ ඒ ගැන හිතල මට අනුකම්පා කරල උත්තරයක් දෙන්න. " 

" මේ ...පිරිමින්ට ඔය ගැන ඇරෙන්න වෙන හිතන්න දෙයක් ඇත්තෙම නැද්ද දෙයියම්පල්ල? අනික අපිට අද රෑ අර Normal curve problems ගැන ස්ටඩි කරන්න තියෙනව. මතකයිනෙ නේද? " 

මම ඇය දෙස බලා පියකරු ලෙස සිනාසීමි. 

" මම දන්නව ඔහේ ඔහොම හෝතඹුවෙක් වගෙ හිනාවෙන්නෙ මොකද කියල. මේ එකක් කියන්නම් දැන්මම. Curves ගැන අනවශ්‍ය විහිලු කරගෙන ආවොත් මම එල්ලුං ගහට ගියත් කමක් නෑ කියල මිරිකනව බෙල්ලම " 

ඇගේ ඒ ඉතා චිත්තාකර්ෂණීය වූ පොරොන්දුවත් හා සමඟම තේ විවේකය අවසන් බව සනිටුහන් කරමින් සීනුව නාදවිය.

82 comments:

  1. //මගේ තොල් සිපගැනීම උදෙසා යෙදවූ ඇගේ තොල් මේ වනවිට ඇය යොදවා තිබුනේ තේ පානය කිරීම උදෙසාය//
    මේ යොදවා කියන වචනෙට වඩා වෙන ගැලපෙන වචනයක් මතක් උනේම නැද්ද?..... මම හිතන්නෙ මේ අර්ථයම දෙන්න මේ වාක්ය මීට වඩා සුමටව ලියන්න ඔබට පුළුවන්

    ReplyDelete
    Replies
    1. අයියෝ මහත්තයෝ....නිර්මාණකරුවට මවන්නට ඉඩ දෙන්න.... පසෙකට වී රස විඳින්න...

      Delete
    2. සඳ වියමන්,

      ම්හු..එන්නෙ නෑනෙ බං අයිඩියානන්ද එකක්. කල්පනා කරල කියන්නකො බලන්න හොඳ එකක්...:)

      ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි...:)

      Delete
    3. ඉන්දික,

      නෑ ඉන්දික එහෙම විවේචනය කරන එකේ කිසිම අවුලක් නෑ. මන්දා..මම නම් හිතන්නෙ එහෙමයි.ඒ වගෙ අදහස් දැක්වීම්, විවේචන වලට මම බොහොම කැමතියි.ඒකෙන් කියන්නෙ නෑ මම ඒ කියන ඔක්කොම පිලිගන්නවයි කියල. ඒ කියන්නෙ මොකක්ද කියල හිතල බලල ඒ අනුව මේ පෝස්ට් එක සංශෝධනය කලයුතුයි කියල මට හිතුනොත් මම එහෙම කරනව. එච්චරයි.

      Delete
  2. රවී....
    සුපිරියි.... කෙටියි..... ස්තූතියි...

    ReplyDelete
  3. මැරියං ප්ලීස්.... අහියූ. සමහර වෙලාවට මේක ඉදිරියේදී 'ලතාවක්' , ඒ කිව්වේ මේ 'වැලක්' වගේ වෙන්නත් පුලුවන.

    ඒ කොහොම උනත් නියම පරිවර්තනය . කියවීමෙන් සැනසීම ලැබේ .

    ReplyDelete
    Replies
    1. සුරංග,

      / සමහර වෙලාවට මේක ඉදිරියේදී 'ලතාවක්' , ඒ කිව්වේ මේ 'වැලක්' වගේ වෙන්නත් පුලුවන. /

      හෙහ්..එව්ව කියන්ට බෑ බුදු මලේ..හෙහ්,හෙහ්, දන්නවනෙ මම මේ පඳුරක් දෙකක් නොතලත වැඩේ ගෙනියන්නෙ බොහොම අමාරුවෙං. පෙලක් වෙලාවට දෙන්ඩ පටං ගති දෙන්ඩ පටං ගති කියල මෙලෝ සිහියක් නැතුව පඳුරු අටෝරාසියක් තලාගෙන තලාගෙන තලාගෙන ගියාට පස්සෙං පහු තමයි හිටපු ගමං මතක් වෙන්නෙ ජලා හුටා..මේකෙ මෙහෙම පඳුරු තලන්ට බෑ නෙවද? මේක මේ අනුංගෙ කතාවක් නෙවද කියල.

      ඒ පාර ඉතිං මොකෝ කොරන්නෙ අර පඳුරු තලාපුව ඔක්කොම ඩිලීට් කොරල දානව හිත හයි කොරගෙන. ඒත් ඔය ලතා කේස් එක ගැනනම් බොහෝවිට මෙහෙමත් වෙන්ට ඇහැකි. චේටන් භගට්ට බම්බු ගහගන්ටෙයි කියල මයෙ අතිං ලියවෙන්ටත් බැරිම නෑ මුං දෙන්නගෙ ඒ කිව්වෙ කිරිස් සහ අනන්නියාගෙ පේම වුතාන්තෙ පැත්තක තියල අර උඹ කිව්වත් වගෙ ෆුල් ලතා ටයිප් කතන්දරයක්..හෙහ්, එව්ව කියන්ට බෑ..එව්ව කියන්ට බෑ..

      අ..මලේ...ඒක නෙවෙයිය….මේ මම මේ අහන්ට මයිය හිටියෙ...මේ ක්‍රිෂ් සහ අනන්‍යා ජෝඩුව බොලාගෙ ගමට ආවොත් ගමේ එවුං කොහොමද මලේ එවුංට කතා කරනව ඇත්තෙ? එතකොට අර භාග්‍යාශ්‍රී, කන්‍යාශ්‍රී ඒ බබලත්තුනට කොහොම ආමන්තරනේ කරයිද උඹලගෙ ගමේ උදවිය?

      / ඒ කොහොම උනත් නියම පරිවර්තනය . කියවීමෙන් සැනසීම ලැබේ . /

      හෙහ්..ඒකනෙ බාං...පෙරලෙන ගල රවුං වේ...රවුං ගල පෙරලේ...

      බහුතරයක් බ්ලොග් කියවීමෙන් ඉවසීම ප්‍රගුණ කරගත හැක...:)

      Delete
    2. ///කියවීමෙන් සැනසීම ලැබේ////

      ආච්චිගෙ කියවීමෙනුත් එයාට සැනසීමක් ඇති නේද සුරංගම්ල්ර් ? අහන් ඉන්න උන් වැනසුනාට. :-D

      Delete
    3. උඹ පඳුරු නොතැලුවට පඳුරු කීපෙකට පයිං ගහගෙන ගිහිං තියෙනව.

      Delete
  4. අදනං පැහැදිලි කිරීම් වලට අදාල ඡායාරූපත් යොදාගෙන තියෙන්නෙ.

    දේශකය බලාපොරොත්තු උන සෙක්සි කෑල්ල ඊගාව කොටසට ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. මේ කොටසින් බලාපොරොත්තු විය හැකි එකම සෙක්සි කෑල්ල තැන තමා මම කිව්වේ.. පෘටි ලිප්ස් ගැන දන්න එකෙක් එපායැ මට කොචා්ක් දානන්. හැක්

      Delete
    2. Prasanna,

      / අදනං පැහැදිලි කිරීම් වලට අදාල ඡායාරූපත් යොදාගෙන තියෙන්නෙ. /

      මොකෝ බොල පොළොස් කොට්ටෝරුවො අදනං කියන්නෙ? පළවෙනි කොටසෙ මම දැම්ම සම්බාර් එකකයි රස්ගුල්ලා එකකයි පෝටොස් කෑලි දුහුනන් දැනුම් උදෙසා.

      දෙවෙනි කොටසෙ දැම්ම ටෝපැස් රෙස්ටුරන්ට් එකේ, තන්දූරි චිකන් සහ රුමාලි රොටී වල පිංතූර.

      තුන්වන කොටසෙ දැම්ම දුපාදාවක පින්තූරයක්. ඉතිං බලපං පාටක ජනයාගෙ බුද්දිමය නිම් වලලු පුලුල් කිරීම උදෙසා එහෙමට වෙහෙස මාංසි වෙලා මම වැඩ කටයුතු කරද්දි උඹ මෙහෙම කිව්වම මලේ මගෙ අග්නියාසෙ පත්තුවෙලා ගියා..දෙයියම්ප.

      / දේශකය බලාපොරොත්තු උන සෙක්සි කෑල්ල ඊගාව කොටසට ගිහින් වගේ. /

      අනේ බං ඌයි මායි දන්න සෙක්සි..ඕකා ඔය සෙක්සි සෙක්සි කියල පොලවෙ පස් කන්ට තනල තියෙන්නෙ ඔය තප්පර තුනේ යන්තං තොලට තොල ගෑවෙන හාචියට...හෙහ්,හෙහ්,

      Delete
    3. ඒක නං ඇත්ත තමයි ඉතිං. නැති කමට තත්පර තුනත් මදිය බං. හැක්..

      Delete
    4. දේශා,

      / ඇගේ දෙතොලෙහි වූ අඹ යුෂ රසය මගේ දෙතොලට තත්පර තුනක් පුරා දැනිනි. /

      මේ බගට් දන්න ඉටිගෙඩිය බං...සිපගැනීමක නියම ආහ්ලාදය, ආතල් එක ලබන්ට නම් ඌරල් කට්ට කරවල හොද්දක් එක්ක බත් කාපු ගමම්ම වතුරවත් බොන්නෙ නැතුව සිපගන්ටෝන...

      Delete
    5. මේකත් අර Style of Jack Cutting Lady ගියානං තොල ගෑවෙනකොටම නවත්තල අවුරුද්දක් විතර වැඩේ අැදෙන්න දෙන්න තිබ්බ.

      Delete
    6. ඔය තියෙන්නෙ කෙලල ඇරල තාප්පෙටම. අම්මාපල්ල මාත් කියවන්ට ගියාම ඕන එකයි එපා එකයි ඔක්කොම...ෂික්...

      දැන් විනාඩි පාළහකට කලිං ආව කෝල් එකක්. බලනකොට අපේ එතුමී..

      " හලෝ හලෝ යස් මැඩම් මොකද මේ වෙලාවෙ? හදීස්සියක්ද?"

      " හදිස්සියක් තමයි එක අතකට. මොනවද අර බ්ලොග් එකේ ලියල තියෙන්නෙ කට්ට කරවල කටු හොදි කතාවක්? "

      " ආ..හෙහ්..හෙහ්..දැක්කද ඒක? මම ඉතිං මේ නිකමට වගෙ ඒක ලිව්වෙ? ඒක එච්චර ගණං ගන්ට එපා.. "

      " ගණං නොගෙන ඉන්ට තිබ්බ මම කට්ට කරවල හොදි කනවනං "

      " ඈ?? "

      " ඈහ් තමයි...ඔච්චර මතක නැද්ද මනුස්සයො?... මම කට්ට කරවල කන්නෙම නෑනෙ..අපේ අම්මල එහෙම කවුරුවත් කන්නෙත් නෑ...කට්ට කරවල අපි ගෙදරට ගේන්නෙත් නෑනෙ "

      ජලා හුටා..ඔන්න එතකොටනෙ මතක් වුනේ ඇත්ත නේන්නං..මෙවුන්දැ කට්ට කරවල කට හරියෙ තියන්නෙ නෑ නේන්නං...

      " මේ..මේ... "

      " හරි හරි මේ..මේ වලින් වැඩක් නෑ....ඔය කරවල කටු සීන් එක ගැන මට සවිස්තර වාර්තාවක් ඕන හොඳද පැය විසිහතරක් ඇතුලත....කවුද ඒ කරවල කටු අංගනාව ?..ඒ ඔක්කොම...අන්ඩර්ස්ටෑන්ඩ්? "

      " යස් මැඩම්...ඔෆ් කෝස් "

      ඔහොම වැඩක් එක පාරක් වුනා අපේ නවමටත් ( නවම මතකයි නේද?...නවම් මාවත කියල අපූරු බ්ලොග් එකක් ලිව්වෙ..අන්න ඒ පුඟුලා )

      නවා දවසක් චූටි මැණිකෙ එක්ක කතා කර කර ඉද්දි සත්තෝද්දියානෙ ගැන කතාවක් ඇදිල ආවලු. ඒ පාර නවම කිව්වලු " ඔයාට මතක නැද්ද අනේ අපි දෙන්න අර එක පාරක් සූ එකේ අලි සෙල්ලං බලන්ට ගිහිල්ල ඉද්දි ඔයාගෙයි මගෙයි ඔලු දෙකටම එක පාර කපුටෙක් ජරා කලේ…"

      " ඈ? ඒ මොකක්ද ඒ කතාව? මම ජීවිතේට සූ එකේ අලි සෙල්ලං බලල නෑනෙ.."චූටි මැණිකෙ කිව්වලු..

      .හෙහ්,හෙහ්, එදයිං පස්සෙ තමයි මම හිතන්නෙ නවමා බ්ලොග් ලියන එක නවත්තලම දැම්මෙ.

      පලි - කරවල කටු සීන් එකේ අනාගත කතාව මම වෙනම පෝස්ට් එහෙකිම්ම ලියන්නම්කො හොඳද?

      පපලි - නවමගෙ බ්ලොග් එකට මෙතනින් යන්න . ඉයන් මම හිතන්නෙ ඔබ නවමගෙ බ්ලොග් එක කියවල නෑ. අන්න බ්ලොග්...:)

      Delete
    7. හි හි හි හි හි හි හි හි හි හි හි

      Delete
    8. නවමට ලොග් ලිවිල්ල එපා වුනේ එහෙම වුනත් ඌට කමෙන්ට් කියවිල්ලත් එපා වුනේ උඹ අර නවමව බලන්න ඔෆීස් එකට ගිහිල්ල කෑම කන්න ගිහිල්ල ඌ බිලත් ගෙව්වට පස්සෙ ඌ උඹේ ගානෙ බල්ලටත් කෑම එකක් ගත්තයි කියලා ගහපු කාඩ් එකට පස්සේ.

      Delete
    9. හෙන්රි,

      හෙහ්..උඹට තාමත් ඒ සීන් එක මතකයි නේද?.....:)

      ඒත් පොඩි ඌණ පූරණයක් කරන්න ඕන. උඹ කෑල්ලක් අඩුවෙං කිව්වෙ...ඔය නවමා චූටි මැණිකෙටයි බල්ලටයි දෙන්නටම බත් ගත්තයි කියමුකො. ඊට පස්සෙ මම එතනම තියන විජිත යාපා එකට ගියා අලුත් පොත් මොකවත් තියනවනම් ගන්න කියල. මූත් මගෙ පස්සෙං ආවනෙ.

      " අනේ අයියෙ මේ පොත මම හොය හොය හිටියෙ සෑහෙන කාලෙක ඉඳල " කියල ඔන්න සුජීව ගොයියගෙ පොතක් ගත්ත. ඒ එක්කම " අනේ අපේ චූටි මැණිකෙට මේ පොත ගිහිං දුන්නොත් ඉහේ මලක් පිපෙයි නොවැරදීම " කියල ගනිපි " හෙද විද්‍යාවේ මූලධර්ම " කියල තව මහ තඩි පොතක්. ඒ කරල මම ගත්තු පොත් දෙකත් එක්කම ඌ ගනිපු පොත් දෙකත් දුන්න කවුන්ටරේට. " ඔය ගමන්ම ඕකත් ගෙවල දාපං අයියෙ ...පස්සෙ අපි මොනවහරි කරගමුකො " කියල. ඉතිං මක් කොරන්ටද? ගෙව්ව ඒ පොතෙ දෙකටත් එක්ක.

      Delete
    10. දේශා කැමති පැය ගාණක් කට කන්න. මේ සුසිනිඳ දෙතොල් සිපගැනීම් මූට වැඩක් නෑලු.

      Delete
    11. රවී, නවමට මෙසේජ් එකක් යවපංකෝ ලින්ක් එක දාලා. පව්නේ ඌ නැතිව අපි ඌ ගැන ආතල් ගන්න එක.

      Delete
    12. හෙහ් හේහ් .... බොලල්ලට තාම මතකෙයි ....

      Delete
    13. අම්මට උඩු නයා!!! ඔය ඉන්නෙ නවමා ඇවිල්ල....ෂුවර් එකටම හෙන්රිය කියල යවන්ට ඇති අන්න බොල අර කූතාඬියා උඹේ රැස්පොට් එක නැතිබංගස්තාන කරනව මෙලෝ සිහියක් නැතුව. විජගට ගිහිල්ල බලාපිය කියල.

      කොහොමහරි කමක් නෑ උඹ දැක්ක එකත් මදෑ බං...හෙහ්...හෙහ්...

      Delete
    14. ඕං බලහංකෝ බුලත් දීලා ආරාධන කොරලත් නවමා දාල තියෙන කමෙන්ට් එකේ හැටි. මේකෙන්ම ඔප්පු වෙන්නේ නැද්ද ඕකට බ්ලොග් කලාවම එපාවෙලා කියලා උඹ කරපු වැඩෙන් රවි?

      Delete
  5. මේ කොටසට කව්රුත් කැමති වේවි. හැක්.. සමාර තැන් වල මට හිතෙනවා උඹ කිදාබැස්සා මදි කියල. ඇගට වැඩිපුර දැනේනේ නැත්නං මම වගේ කටින්ම උච්චරානය කරල බලහං ඒ වාක්‍ය හරි වචන හරි..

    ReplyDelete
    Replies
    1. උඹ අද කනව දේශිකාගෙන්.

      Delete
    2. දේශා,

      / සමාර තැන් වල මට හිතෙනවා උඹ කිදාබැස්සා මදි කියල. /

      ආය තවත් අහවල් කිඳා බැහිල්ලක්ද බං...බගටා හීනෙං වත් නොහිතපු ආරලු බූරලු අතිං පයිං දාලයි මම මේ කතාව ලිව්වෙ...

      / මම වගේ කටින්ම උච්චරානය කරල බලහං ඒ වාක්‍ය හරි වචන හරි /

      මම වගේ කටින්ම කියල කියන්නෙ උඹ හිතාගෙන ඉන්නෙ අපි උච්චාරනය කරන්නෙ වෙන කොහෙං හරි කියලද?......:)

      Delete
    3. මේකත් එක්ක වසන්න බෑ.. මම ආයිත් සිර්සපාට ආසාත්මිකතාව හදාගන්නවා හිටං.හැක් හැක්.. ආරලු බුරලු නං බෝම හොදයි. ඒත් මං කලින් වතාවකත් කිව්වා කොල්ලෝ සෙට්, කෙල්ලෝ සෙට් ඉන්න වෙනම සමාජයක කියවෙන හොද හොද වචන සැට් බොට අල්ලගන්න පුලුවන් දෙයියනේ කියල කතාව ඇතුලේ ජීවත් වෙයංකෝ.. හැක්..

      Delete
    4. දේශා@ බබී ඔයත් ආසද අඹ රස උම්මා එකකට

      Delete
    5. දේශක යාSeptember 25, 2015 at 10:00 AM

      මේ කොටසින් බලාපොරොත්තු විය හැකි එකම සෙක්සි කෑල්ල තැන තමා මම කිව්වේ.. පෘටි ලිප්ස් ගැන දන්න එකෙක් එපායැ මට කොචා්ක් දානන්. හැක්

      Delete
  6. දත් මිටි කාගෙන හිනාව තද කරගෙන ෆුල් සීරියස් ඩොකියුමන්ට් එකක් කියවනවා වාගේ කියෙව්වා. චේතන් භගත්ගේ ඔරිජිනල් කතාව ලස්සනට ගලාගෙන යන්නේ ඒක දෙබස් වලින් පිරිලා හින්දා. ඒත් අයියගේ මේ පරිවර්තනය ඊටත් වඩා ලස්සන වෙන්නේ ඒ මුඛරි දෙබස් තව ආලවට්ටම් දාලා හැඩ කරලා තියෙන නිසා. අර අනන්‍යා අන්තිමට කරපු මරණ තර්ජනය තමයි හොඳම උදාහරණේ. :)

    අනිත් එක, අයියගේ පරිවර්තනයේ රස හින්දාම මම ගිය සතියේ ඔරිජිනල් පොත හොයාගත්තා. ඒක කියවද්දි ඔය ෆ්‍රිස්බි, ෆෘටී ගැන හරි අදහසක් තිබ්බෙ නෑ. ඒත් ඉතින් මහන්සි වෙලා හොයලා බලන්න ගියෙත් නෑ, අයියා මේ වගේ පැහැදිලි කරලා දෙනවා කියලා දන්න හින්දා. බොහෝම ඉස්තූතියි. :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      / ඒත් අයියගේ මේ පරිවර්තනය ඊටත් වඩා ලස්සන වෙන්නේ ඒ මුඛරි දෙබස් තව ආලවට්ටම් දාලා හැඩ කරලා තියෙන නිසා. අර අනන්‍යා අන්තිමට කරපු මරණ තර්ජනය තමයි හොඳම උදාහරණේ. :) /

      ඒකනෙ බං කියල වැඩක් නෑ...මේ බගට් ගොයියට තේරෙන්නෙ නැති හැටියක් ටිකක් ලුණු ඇඹුල් දාල තෙල් සුට්ටක් දාල එහෙම කරකෝල ගන්ට...අනේ මන්ද කවදක නම් මිනිහෙක් වෙයිද කියල...:)

      හෙහ්... සීරියස්ලි ස්පීකිං, ඔයා කිව්ව වගෙ භගට් ගෙ කතාවල හිත් ඇදගන්නා ප්‍රධාන ලක්ෂණය ප්‍රබල දෙබස්. වචන දෙකයි තුනයි ඒත් ඒ දෙක තුන ඇතුලෙ කතාවක් කියවෙනව.මමත් බලන්ට ඕන එහෙම ට්‍රයි කරල...හෙහ්,හෙහ්,

      / මේ වගේ පැහැදිලි කරලා දෙනවා කියලා දන්න හින්දා. /

      එහෙම රචකයා කියන්ට අදහස් කලේ මොකක්ද කියල අයිඩියා එකක් නැත්තං හරියට වදින්නෙ නෑ කතාව. දැං භාග්‍යාශ්‍රී කිව්වම ලංකාවෙ ඒ හැටි ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. ඒ හින්ද ඒ කවුද කියල පොඩ්ඩක් දැනගන්නම වෙනව පාඨකයො හැටියට. ෆෲටි ගැනත් එහෙමයි. අපි ෆෲටි කියන්නෙ මොනවද කියල දන්නෙ නෑනෙ.

      As always thanks do much…Dear Madam…:)

      Delete
  7. ගිය කොටසයි,මේ කොටසයි දෙකම එක විටෙ බලලා ආවේ රවීයියේ.
    තත්පර තුනක උම්මා එකක් ගන්ට කප්පරක් බලන් ඉන්ට උනා වගේ නේ...:)

    ReplyDelete
    Replies
    1. මනොජ්,

      එහෙම තමයි බං එව්වයෙ හැටි..හාචියක් ගන්න එක සෙල්ලං නෑ කොල්ලෝ...හෙහ්,හෙහ්,

      Delete
  8. ඇගේ දෙතොලෙහි වූ අඹ යුෂ රසය මගේ දෙතොලට තත්පර තුනක් පුරා දැනිනි.

    උපේක්ශා මැතිණිය ගේ ආයාචනය පොඩ්ඩක් වත් අහල නැහැ නේ. මේ දෙන්නගේ කුළුඳුල් ප්‍රේමවන්ත, ප්‍රේමාන්විත සුරම්‍ය ස්පර්ශය විස්තර කළේ අඹ යුෂ රසයක් කියල විතරද? උපේක්ශට ඕන වුනොත් මේක ගැන විශ්වාශ භංගයක් ගේන්න ඒක කළයුත්තේ රවීට විරුද්ධවද භගට්ට විරුද්ධවදද?

    ඉතාමත් අනර්ඝ පරිවර්ථනයක් රවි.

    ReplyDelete
    Replies
    1. ආයාචනය? මම කියන්නේ නෑ ... ආයාචනේ !! කටුස්සෙක් එවනවා දැන් හොඬේ බලාගන්න හරිද?

      Delete
    2. ඉයන්,

      ඔය උපේක්ෂා කියන කියන දහ අට පාලි නටන්ට බෑ බොලේ...හෙහ්,හෙහ්,

      විස්වාස බංගයක් ගේනෝනං ගේන්නෙ වෙන්නෙ මට විරුද්දව තමයි ඉතිං...

      බොහොමත්ම ස්තූතියි ඉයන් ඔබේ ප්‍රශංසාවට...:)

      Delete
  9. ඔහොම තමා රවී සහෝ................... අපි ජීවිතේ ම බලාන ඉන්නේ ඔ්කටනේ.....

    ReplyDelete
    Replies
    1. කුරුටූස්,

      ආය මොනවද ඕක තමයි ඉතිං ඔක්කෝටම වඩා ප්‍රමුඛ.....:)

      Delete
  10. මට හරිම අණ්ඩර දෙමළයි මේ කෙල්ල එහෙම කලේ ඇ‍යි කියලා.... කොල්ලව යූස් කරනවද මන්දා....

    ReplyDelete
    Replies
    1. තිසර,

      එහෙම කොල්ලව තමන්ගෙ වාසියට පාවිච්චි කලා වෙන්නත් පුලුවන් මුලදි..ඒත් පස්සෙ කෙල්ල කොල්ලට ඇත්තටම ආදරේ කරනව මම හිතන්නෙ...

      කොහොමහරි කතාව දිගහැරෙන විදිහට උපකල්පනය කරන්න වෙන්නෙ චේටන් භගට් උනත් එහෙම තමයි හිතල තියෙන්නෙ කියලයි.

      Delete
  11. හරියන්නෑ. මේ පොත ගන්ඩම වෙනවා. මගෙ බුද්ධියෙ නිම්වළලු පුළුල් වෙලා කුතුහලේ උතුරා ගිහින් තියෙන්නෙ.

    හොඳ වෙලාවට මේ කොලුවා අඹ රහට කැමති වෙලා හිටියෙ. :)

    ReplyDelete
    Replies
    1. //හොඳ වෙලාවට මේ කොලුවා අඹ රහට කැමති වෙලා හිටියෙ.//
      ඌ කොල්ලෙක්ද.
      //සිපගැනීමක නියම ආහ්ලාදය, ආතල් එක ලබන්ට නම් ඌරල් කට්ට කරවල හොද්දක් එක්ක බත් කාපු ගමම්ම වතුරවත් බොන්නෙ නැතුව සිපගන්ටෝන..//
      ඔන්න ක්‍රමේ.

      Delete
    2. ගන්න එපා බං වැඩක් නෑ. දෙපාරක් කියෙව්වාම ඒක ඉවරෙටම ඉවරයි. පිඩීඑෆ් එකක් හොයාගෙන කියවපං. ආයි මොනාද හොදටම ඇති..

      Delete
    3. බස්සි,

      PDF Version එක ඕනනම් පළවෙනිම කොටසට අජිත් දාපු කමෙන්ට් එකේ ලින්ක් එකක් තියනවා....:)

      Delete
  12. විදේශ රටවල පදිංචි සමහර අයත් දෙසැම්බර් මස මවුරටට පැමිණෙන බැවින් සිංහල බ්ලොග් කරුවන් එකතුවීමට දෙසැම්බර් මසදී සාදයක් සංවිධානය කිරීමට හැකියාවක් ඇත. මේ සඳහා සහ අනාගතයේ එවන් සංවිධාන කටයුතු සඳහා උපකාරී වීමට sinhala bloggerෆේස් බුක් පිටුවට එක් වන්න. සියළුම සාමාජිකයන් ඇඩ්මින් වරුන් ලෙස පත්කෙරෙන බැවින් සියළුම අයට එක හා සමාන අයිතිවාසිකම් ඇතිවනු ඇත. මෙය ඔබේ බ්ලොග් එකේ කමෙන්ටුවක් ලෙස කොපි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මගේ සුබපැතුම්!!!

      Delete
  13. //හිහ්...හිටු කියල පාඩම් කරනව නේ?// ..//බොහොම කූල්පිට ඉන්නව සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ.//
    ලොක්ක.. මට කියනවද මේවා ඉංග්‍රීසියෙන් කොහොමද තිබ්බේ කියල.. හැක.. ඕකනේ මං කියන්නේ චෙටන් භගට් මේක කියවනවා කියලා..
    තත්පර තුන නම් හොඳටම මදි ඉතින්.. එත් නිකම්ම උන්නු මට අහල ගියත් මදැයි නෙව..
    ඌරලු කරවල නඩුවේදී ඔබට ජය පතමි! (නැත්නම් මේකේ ඉතුරු ටික කියවන්න හම්බ වෙන්නේ නෑ නොවැ!)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හිහ්...හිටු කියල පාඩම් කරනව නේ? = It looks like you are studying saying stop there

      බොහොම කූල්පිට ඉන්නව සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ. = You are on cool Like a very peaceful pot of ink eh?

      Delete
  14. සෑහෙන ජනතාවක් කලින්ම ඇවිත් ගිහින්නේ.කතාව අනර්ඝයි,විශිෂ්ටයි,
    උත්කෘෂ්ටයි

    ...///එල්ලුං ගහට ගියත් කමක් නෑ කියල මිරිකනව බෙල්ලම///..
    අපෝ බෙල්ල මිරිකන්න ඔන නැ.වැලක් ලග තබා ගැනීම එල්ලා මැරිය හැකි වරදකි.

    ReplyDelete
    Replies
    1. මනෝ,

      ස්තූතියි....:)

      Delete
  15. තත්පර තුන අතර මුගේ අතපය ගල් වෙලාද තිබ්බේ එහෙම්ම අල්ලගන්න තිබ්බා, අනන්‍යා කිස් එක දෙන අතරේ මු පිළිමේ වගේ ඉද්දි ඉතින් වෙන මොනා කරන්නද ක්ෂණික අපහු හැරිලා යනවා මිසක්.

    //" මෙහෙ නෑ ඔහෙලගෙ ෆ්‍රිස්බි එකක්. මේ කාමරේ ඉන්නෙ ඉගෙනගන්ට විතරක් තමන්ගෙ මුලු කාලෙම යොදවන වැදගත් මහත්මයෙක්. "//

    මේ කොටස මට පේන්නේ ක්‍රිෂ්ට වදින්න කිවුවා වගේ. මගේ අදහසක් විතරයි... කොල්ලා අර විස්තර ටික කියෝගෙන යද්දී කෙල්ල හිත ඇතුලෙන් හිනා වෙන්න ඇති. (මේ මගේ කැත හිතට දැනිච්ච එකක් ඈ)

    මේ සඳ විනිවිද එකේ මිනිස්සු වචනයක් කියන්න කට අරින්න ගන්න වෙලාව අනේ මට එපා වෙනවා, අර ඉන්දියාවේ මෙගා වගේ එක එක මියුසික් එක්ක එක එක මුණු වෙන වෙනම ෆෝන් එක රින්ග් වෙලා වෙලා අන්ස්වර් කරලා කනට ගන්නේ එතන ඉන්න වුන් ඔක්කොගෙම මුණුවල හැඟීම් ටික පෙන්නලා මට දැන් කේන්ති ඒ කතාව බලන්න :(

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔය හිංදි කතා බලල මට යකා නගිනව. හුක්

      Delete
    2. Oma,

      / තත්පර තුන අතර මුගේ අතපය ගල් වෙලාද තිබ්බේ එහෙම්ම අල්ලගන්න තිබ්බා, අනන්‍යා කිස් එක දෙන අතරේ මු පිළිමේ වගේ ඉද්දි ඉතින් වෙන මොනා කරන්නද ක්ෂණික අපහු හැරිලා යනවා මිසක්.  /

      ඔව්, බං ක්‍රිෂ් ගල් වෙලා තමයි හිටියෙ..මෙන්න මෙහෙම...

      " විෂ්මයෙන් සහ අධික කම්පනයෙන් පාෂාණිභූත වූ මට හැකිවූයේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් විවරවූ මුවින් යුතුව ඈ පිටව යන දෙස බලා සිටීම පමණකි."

      / මේ කොටස මට පේන්නේ ක්‍රිෂ්ට වදින්න කිවුවා වගේ. මගේ අදහසක් විතරයි... /

      යස් ඒ ටික කිව්වෙ තනිකරම ක්‍රිෂ්ට නෝන්ඩියට...හෙහ්,හෙහ්,

      / මේ සඳ විනිවිද එකේ මිනිස්සු වචනයක් කියන්න කට අරින්න ගන්න වෙලාව අනේ මට එපා වෙනවා, අර ඉන්දියාවේ මෙගා වගේ එක එක මියුසික් එක්ක එක එක මුණු වෙන වෙනම ෆෝන් එක රින්ග් වෙලා වෙලා අන්ස්වර් කරලා කනට ගන්නේ එතන ඉන්න වුන් ඔක්කොගෙම මුණුවල හැඟීම් ටික පෙන්නලා මට දැන් කේන්ති ඒ කතාව බලන්න :( /

      ඔන්න බලාපංකො ඉතිං.... පාන්දර තුන වෙනකල් සඳ විනිවිද බැලුවය, ආතල් කතාවය කියල මට පොළවෙ හැපි හැපි ඉස්තූති කලෙත් බං උඹ ඔය කටින්ම නේද මේ වැඩි දොහක් නෑ පළමුදාද කොහෙද?

      ඉතිං බොලත් එක්ක කොහොමෙයි මේ රාජ්ජෙ කොරන්නෙ? ( ඒ වචන අපෙ අත්තම්මගෙ )

      Delete
    3. අනේ ඔමායෝ....... මොකක්ද බං මේ සඳවිනිවිද? අනේ මටත් කියහංකො.... අවංකෙන්ම නොදන්න කමටයි මේ අහන්නේ......

      Delete
    4. raවී අයියේ ඔව් ඔව් ඔය උපුටලා තියෙන දේවල් ලියපු වර්දකාරයා ඔයානේ ඉතින්. :(

      කොටස් 45 ක් මං එහෙම බැලුවේ විනාඩ් 18 කොටස් නිසා.. ඒත් දැන් ඉතින් ලංකාවේ අද යන එකනේ අද බලන්නේ එතකොට ඉවසුමක් නෑ අඩුපාඩු පේන්න ගන්නවා :(

      ඉන්දික අයියේ @ යු ටුබ් එකේ කොටස් සේරම තියෙනවා ලස්සන කථාවක් . එක කොටසක් බැලුවොත් ඔයා ඔක්කොම බලයි,,, රූපවාහිනී එකේ 9 ට යන්නේ.

      තව එකක් මං බලනවා " කවිය නුඹ " ඒකත් ලස්සනයි

      Delete
    5. ඔමා,

      / කොටස් 45 ක් මං එහෙම බැලුවේ විනාඩ් 18 කොටස් නිසා.. ඒත් දැන් ඉතින් ලංකාවේ අද යන එකනේ අද බලන්නේ එතකොට ඉවසුමක් නෑ අඩුපාඩු පේන්න ගන්නවා :(  /

      සංබාවිය ටෙලි වුතාන්ත එහෙම තමයි බං...එව්වයෙ චරිත හොඳට කිරල මැනල පස්මහ බැලුං බලල එහෙම තමයි වචනයක් කටිං පිට කරන්නෙ..තේරුණෙයි? මේ බොලා අපි වගෙ කටට ආපු එක කිසි වගවිබාගයක් නැතුව ලබ්බ ගලේ ගැහුවහෙ කියල දාන්නෙ නෑ..

      මම අර උඹ කලිං ඔය ටෙලිය හොඳයි කියල කිව්වය, දැං මොකද මේ පුරස්නෙ කියල ඇහුවෙ උඹව ටිකක් අවුස්සන්ට..එහෙම තමයි නැද්ද? හොඳයි කියල හිතුනම හොඳයි කිව්ව. අප්සෙට් නම් එහෙම කිව්ව. ඉතිං මොකෝ නැද්ද?

      Delete
    6. ඉන්දික,

      මේ සබැඳි වලින් ගිහිල්ල බලන්න,

      කවිය නුඹ

      සඳ විනිවිද සහ තාරා

      Delete
  16. උඹලා Three second rule එක ගැන අහලා තියෙනවද?
    Three second rule ගැන අදහසක් නැති උන්ට ඒ ගැන කියනවා නම්, කෑමක් බිම වැ‍ටුනාම තප්පර තුනක් යන්න කලින් ඒක අහුලගත්තොත් ඒකෙ විෂබීජ නෑ කියලා මතයක් අපි සමහරෙක් අතර තියෙනවා. ඒකෙ ඇත්ත නැත්ත මම දන්නේ නෑ කියලත් කියන්න ඕනෙ.
    හරි. එතකොට මම යෝජනා කරන්නේ Three second rule එක තමයි මේ කෙළ හුවමාරුවෙදිත් පාවිච්චි වෙලා තියෙන්නේ කියලයි.

    කවුද මේ යෝජනාව ස්තිර කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හුරේ... මං නොදැන වුණත් අද වෙනකල් රස දෙයක් බිම වැටුනොත් ක්ෂණික ගත්තා පූස් පූස් ගාලා තුන් පාරක් පිම්බා කටේ දාගත්තා.

      Delete
    2. හෙන්රි,

      ෂුවර් එකටම එහෙනං භගට් ගොයිය ඔතන තත්පර 3 ක කාලයක් ගැන කියල තියෙන්නෙ ඔය Three Second Rule එක හින්ද වෙන්න ඕන.

      KISS = Keep It Simple, Stupid.

      Delete
    3. Oma,

      / පූස් පූස් ගාලා තුන් පාරක් පිම්බා කටේ දාගත්තා. /

      ඔන්න ඉතිං ඔය කරල තියෙන්නෙ වැඩක්..බොල කෙල්ලේ...බොගෙ කටේ ඉන්නව බැට්ටීරියා ජාති හත්සීයක්...සෙල්ලං නෑ හොඳේ? ඉතිං උඹ පූස් පූස් ගාල පිඹපු ගමං ඒ විසබීජ ඔක්කොම අර අහුලගත්තු මොකක් හරි කෑමෙ...

      පලි - අපිට තමයි පූස් පූස් කියල තම්බි මුදලාලිත් කිව්වලු.

      Delete
    4. ඉතිං රවියයියෙ කොහොමත් ආපහු කටටමනෙ යන්නෙ. ආයි විසබීජ එකතුව වෙනසක් වෙනවයැ.

      Delete
    5. උන් කටේ හිටපු වුන්නේ අවුලක් නෑ :D

      Delete
    6. මධුමාධවී,

      ඔය කටේ අනන්ත අප්‍රමාණ ඉන්න විසබීජ හින්දම දැං ළමයිංට පුරුදු කරනවයි කියන්නෙ කෙලිම්ම කෑම උගුරට දාගෙන ගිලින්ට.

      Delete
    7. ඔමා.

      / උන් කටේ හිටපු වුන්නේ අවුලක් නෑ :D /

      ඒ වුනාට බං කටේ නෙවෙයි කොහෙ හිටියත් මට නං මහ වස අප්පිරියයි වගෙ.නිකමට හිතහං බැට්ටීරියා හත්සීයක් කටේ ඉන්නව කිව්වම. මම මේ කල්පනා කලේ හාචියක් දුන්නයි කියන්නෙ බැට්ටීරියා එකදාස් හාරසීයක් වෙනව. තව හාචියක් දුන්නම බැට්ටීරියා දෙදාස් එකසීයක්..තව එකක්....අපෙ අම්මෝ ඔලුව නරක් වෙනව. ඒ ගණං හැදිල්ලෙං වැඩක් නෑ ඒක අල්ලල දාමු.

      මම ඒ බැට්ටීරියා ලිංක් එකත් එක්ක ඊ.මේල් එකක් යැවුව අපෙ උන්දැට.. " මේ දැක්කයි මේ විස්තරේ?... මීට පස්සෙ ඔන්න හාචි ගනුදෙනු සපුරා තහනං හොඳද? "

      Delete
  17. කීවෙනි කෙල්ල වුණත් ඉස්සෙල්ලම හාදුවක් හුවමාරුකරගන්නකොට ඔහොම එක වාක්‍යයෙන් ලියලා දාලා ඇයි අයියෙ අපේ හිත් පාරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      හෙහ්, ඇත්තම කියනවනම් මගෙත් කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ ඒ වගෙ උද්වේගකර සදානුස්මරණීය අවස්ථාවක් ඔහොම ලුහුටල අරින්න. ඒත් මොකෑ කොරන්නෙ? මේ බගටය එක්ක බෑනෙ...:)

      Delete
  18. මට අපේ බැචෙක්ට ඒ දවස්වල ගහල තිබුණු කාඩ් එකක් මතක් වුණා.

    අපේ බැචා උගේ ගෑල්ලමයාව උදේ හවා හොස්ටල් එකට ඇරලවීම, පාඩම් කියාදීම, කඩේ ගිහින් බඩු ගෙනත් දීම ආදී මෙකී නොකී කටයුතු සියල්ල දේව කාරියක් වගේ කරනවා. ගෑල්ලමයි ඉතිං මෙහෙම කොල්ලන්ට කැමතියිනේ. මේ ගෑල්ලමයාත් තමන්ට මේ තරම් උදවු උපකාර කරන අපේ බැචාට ප්‍රතිඋපකාරයක් කරන්න මේ දැන් මොනව හරි යමක් ඉල්ලයි කියලා බලා හිටියත් ඕක කවදාවත් වෙන්නේ නෑ. මාස ගානක් බලා ඉඳලා බැරිම තැන ගෑල්ලමයාම මුල් වෙලා කවුරුත් ළඟ පාතක නැති වෙලාවක බැචාගෙන් මෙහෙම ඉල්ලීමක් කරනවා.

    "බලන්නකො [බැචාගේ නම], ඔයාගේ ඔය තොල් දෙක කොයිතරම් ලස්සනද? ඕකෙන් මොනව හරි කරන්න බැරිද අනේ."

    අපේ බැචා පොඩ්ඩක් කල්පනාවට වැටෙනවා. ඊට පස්සේ තොල් දෙක එකතු කරලා ඉස්සරහට දික් කරලා අතේ දබර ඇඟිල්ලෙන් තොල් වේගයෙන් පිරිමදිනවා.

    "බ්ර් බ්ර් බ්ර් බ්ර් බ්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්......"

    ReplyDelete
    Replies
    1. මේක හැමෝම දන්න ජෝක් එකක්නේ අනේ. ඒක වුනේ ඔයාලගේ බැචෙක්ටද .. මං අහලා තිබ්බේ ෆිල්ම් එකක් බලන්න ගිහින් වුනා කියලා

      Delete
    2. වෙන්ඩ ඇති ඔමා. ඔය කොහෙන් හරි හොයා ගන්න එකක්නේ කාඩ් එකක් වෙන්නේ. පරණ කාඩ් අළුතින් තව කාට හරි වැදෙනවා. ඕක අපේ කාලෙටත් වඩා ගොඩක් පරණ කතාවක් වෙන්න ඇති.

      Delete
    3. ඉකොනොමැට්ටා.

      ඔය වගෙ කතන්දර කාලයක් පැවතගෙන එන එව්ව. ඒ වගේම කතාවෙ මූලාරම්භය ඔය ඉකොනො කියන බැචා වෙන්නත් පුලුවන්. ඉකොනොගෙ වයස අනුව තමයි අපිට එහෙම ඒ පිළිබඳව දළ අනුමානයකට උනත් එන්න වෙන්නෙ...හෙහ්...හෙහ්..

      Delete
  19. අදත් හරිම ආසාවෙන් කියෙව්වා. ඒවගේම කමෙන් ටිකෙනුත් නොමද ආශ්වාදයක් ලැබුවා. ඔබ සාර්ථකයි රවි.

    ReplyDelete
    Replies
    1. Naleen,

      Thanks So much again Naleen...:)

      Delete
  20. good job boss, keep it up! මම නම් තාම chapter 4. එක හුස්මට කියවන්න බොහොම වුවමනා වුනත් ඉඩ කඩ හිඟයි අප්පා! :( එක්කෝ මේකෙම කියෝනවා. මෙහෙම පඳුරු නොතලා ලියනකොට පොතම ඉවරකරයි නේ බලන් ඉන්දැද්දී.

    ReplyDelete
    Replies
    1. Malithi,

      අඩේ තාම Chapter 4 ද?... මම මේ ලිව්වෙ Chapter 6…

      / මෙහෙම පඳුරු නොතලා ලියනකොට පොතම ඉවරකරයි නේ බලන් ඉන්දැද්දී. /

      Heh…I hope so too…

      Delete
  21. මීට වසර 42 කට පෙර, මගේ පාසල් පෙම්වතිය, මහා වැස්සක් මැද, පාලු රබර් වත්තක් මැදින්, මා ඇයව ඇගේ නිවසට ඇරලන්න යද්දී, අනපේක්ෂිතව මගේ දෙතොලට හාදුවක් දුන් අයුරු සිහිවුනා. අකාලයේ බිඳී ගිය ඒ ප්‍රේමය සිහිවී, හදේ කොනක වේදනාවක් ඉපදුණා.

    කතාව හරිම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      අප්පටසිරි ගජ ඉතිං විචා මොකෝ කිව්වෙ ගෑණු ළමයා ගෙදෙට්ට ඇරලනකොට?

      " Thank you so much for your 700 bacterias " කියල කියන්ටනෙ තිබ්බෙ...:)

      Thanks Wicha...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...