2 States චිත්‍රපටයේ අනන්‍යා ලෙස රඟන - Alia Bhatt |
ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය වෙත මම ළඟාවන විට වේලාව රාත්‍රී අටට ආසන්න විය. එම සතිය තුල ඉදිරිපත් කලයුතු නිබන්ධන උදෙසා අප වෙත ලබාදුන් ආධාරක ලිපි ලේඛන සහ අදාල පාඨ ග්‍රන්ථ, අනන්‍යා උපදෙස් දුන් පරිදි මා කරමත නොවූවද මගේ දෑත සහ ළයට සිරවී තිබිණි. ප්‍රාන්ත දුරකථන නාමාවලීන් හයකට හෝ හතකට සමාන විශාලත්වයෙන් හා ඒ හා සමානව බරින් යුතුවූ ඒ මුද්‍රිත පාඨ ග්‍රන්ථ සමූහය ඔසවාගෙන ශිෂ්‍ය නේවාසිකාගාරයෙහි සිට ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය දක්වා පියගැට සියයක් පමණ නැඟීම කිසිසේත් පහසු කාර්යයක් නම් නොවීය.
මම ඇගේ කුටියෙහි දොරට සෙමින් තට්ටු කළෙමි." තත්පරයක් ඉන්න. මම ඇඳුම් මාරු කරනවා." කුටිය තුලින් අනන්‍යාගේ හඬ ඝනකමැති දොර ලෑල්ල හේතුකොටගෙන යන්තමින් ඇසිණි.
තත්පර තුන්සියයකට පසු දොර විවර විය. ඇය රතු සහ සුදු පැහැයෙන් යුතු ක්‍රීඩිකාවන් අඳිනා Track Suit නමින් හැඳින්වෙන ඇඳුම් කට්ටලයක් හැඳ සිටියාය. " සමාවෙන්න පරක්කු වුනාට..." ඇය පැවසූයේ දිගු කෙස් වැටිය හිස ඉහළට කොට බඳිමිනි." එන්න එන්න අපි ඉක්මනට වැඩේ පටන් ගමු. සෑහෙන්න තියනව අද ඉවර කරන්න."
ඇගේ කුටියෙහි වූ එකම අසුන මා වෙත ළංකොට ඕ සයනය මත හිඳගත්තාය.රතු-දුඹුරු පැහැ ඇඳ ඇතිරිල්ල කුටියෙහි කපරාරු නොකළ ගඩොළු බිත්තිවල පැහැයට මනා ලෙස ගැලපුණි.සයනය අද්දරම පාහේ බිත්තියෙහි සවිකොට තිබූ ඝන කාඩ්බෝඩ් කඩදාසියකින් නිමවූ පුවරුවක ඡායාරූප විස්සකට ආසන්න සංඛ්‍යාවක් එක්තරා රටාවකට අනුව අලවා තිබිණි.
" අර මගෙ පවුලෙ අය…." ඈ ඒ දෙසට සුරත දිගුකලේ දෙදණ නවා ඇඳ මත පසුපසට වී පහසුවෙන් හිඳගනිමිනි." අර මැද ෆොටෝ එකේ ඉන්නෙ මගෙ තාත්තා. එයා හරිම ප්‍රියමනාපයි...නේද? "
ඇගේ බොහෝ සෙයින් ප්‍රියමනාප පියාණන් හොඳින් දැකබලා ගැන්ම උදෙසා මම හිඳ සිටි අසුනින් නැඟිට පුවරුව වෙත වඩාත් ආසන්න වීමි.නූස් නොමිටි, එකද කෙස් ගසක් හෝ එහා මෙයා නොයන පරිදි ඉතා ප්‍රවේශමෙන් හිස පීරූ මැදිවියේ මිනිසෙක් තොල් තදින් පියාගෙන, යම්තමට සිනාසීමට අසාර්ථක උත්සාහයක් දරමින්, කැමරාව දෙසම එක එල්ලේ බලා හිඳියි. බොහෝ ඡායාරූපයන්හි ඔහු හැඳ සිටින්නේ අත්කොට කමිසයක් සහ දෝතියකි.
සවස් යාමයෙහි මිතුරන් හා ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පන්දුව අසල වූ නිවසේ මිදුලට පතිතවූ කල්හි ඔබ පන්දුව යලි රැගෙන ඒමට නිවසෙහි වසා ඇති ගේට්ටුව විවෘත කොට ඇතුලුවූ කල ගෙහිමියා පන්දුව ද රැගෙන ඔබ වෙත ඉක්මන් පියවරෙන් පැමිණෙන දර්ශනයක් සිතෙහි මවාගන්න. අනන්‍යාගේ පියාගේ මුහුණෙහි සෑමවිටම වූයේ එවන් ගෙහිමියකුගේ මුහුණෙහි දක්නට ලැබෙන කෝපාවිෂ්ඨ පෙනුමයි. " හෙහ්, යකාගෙ ප්‍රියමනාප කමක් ඒක..." මම තොල මතුරාගතිමි." මේ මෙයාගෙ ප්‍රියමනාප මූඩ් එකනම් තරහ ගියහම බලන්ට ලස්සන ඇති."
" ඔයා මොකවත් කිව්වද?" අනන්‍යා ඇසුවාය.
" ආ..නෑ..නෑ..මේ ඉන්නෙ ඔයාගෙ මල්ලිද? "
" ඔව්…. ඔය බීච් එකේ අරගෙන තියෙන එකේ නේද? ඒකෙ මා ගාවම ඉන්නෙ මල්ලි තමයි. " එහි වූ බොහෝ ඡායාරූප ඔවුන් උත්සව දිනයන්හි, මංගල්‍ය උත්සව අවස්ථාවන්හි හෝ උපන් දිනයන්හි ගත් ඒවාය.
මුහුදු වෙරළෙහි ගත් ඡායාරූපයෙහි අනන්‍යා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් සීරුවෙන් සිටගෙන සිටියේ සෘජුවූ කයින් යුතුවය. එදෙස මොහොතක් බලා සිටින විට ඉන්දීය ජාතික ගීය පසුබිමින් වාදනය වනු ඇසුණු බවට ඔබ සහතික කොට පවසනු ඇත.
" ඔය චෙන්නායිවල මරීනා බීච් එක. ක්‍රිෂ් දන්නවද ඒක තමයි මුලු ලෝකෙම නාගරික වෙරළ වලින් දෙවෙනි දිගම එක " අනන්‍යා මා පසුපස ඇඳෙහි හිඳිමින් පැහැදිළි කලාය. ඇගේ සොහොයුරා වයස දහහතරක් පමණවූ උපැස් පැළඳි, හොඳින් තෙල් ගා හිස පීරූ, ඉගෙනුම හැර ලොවෙහි වෙනත් කිසිවක් කෙරෙහි උනන්දුවක් නොදක්වන්නකු බව තම ඉරියව් වලින් කියාපානා කොළු ගැටයෙකි.
" අර අම්ම නේද?...." මම විමසූයෙමි.
අනන්‍යා හිස සොලවා ඒ එසේයයි හැඟවූවාය. ඇගේ මව හා සසඳන කල අනන්‍යාගේ පියා සහ සොහොයුරා ඉතා ප්‍රියමනාප යයි නිසැකවම පැවසිය හැක. ඡායාරූපවල පවා ඇගේ මුහුණෙහි වූ නොරිස්සෙන පෙනුම ඔබ නොදැනුවත්වම හෝ යම් බරපතල වරදක් කොට ඇති බවට බලවත් සැකයක් සිතතුල නිරායාසයෙන් ජනිත කරවන්නේය. එලෙසම ප්‍රාථමික පාසලෙහි මට ඉගැන්වූ ඉතාම සැරපරුෂ ගුරුවරියක මසිතට නැඟුනේ ද නිරායාසයෙනි.ඇගේ දියණියගේ කුටියට ඇගේ අවසරයකින් තොරව ඇතුළුවීම පිළිබඳ ඉහවහාගිය බලවත් වරදකාරී හැඟීමක් ද ඒ හා සමඟම මසිත පෙලන්නට විය. ඇය තව මොහොතකින් ඡායාරූපයෙන් බැස විත් මා ගලග්‍රහයෙන් ගෙන ඇගේ දියණියගේ කුටියෙන් පිටමං කරනු අතැයි යන හැඟීම ඉතා බලවත්ව මසිතෙහි නැඟෙන්නට වූයේ මා සිරුරෙහි රෝමෝද්ගමනය කරවමිනි.
" අම්මා..අම්මා..අම්මා...හ්ම්ම්ම්ම්ම්ම්…" අනන්‍යා එසේ පවසමින් පපුව හිස්වීයන තරමේ දිගු සුසුමක් හෙලුවාය.
" ඇයි එහෙම කිව්වෙ? " මම විමසූයේ අනන්‍යා දෙසට හැරෙමිනි. ඡායාරූප අතරින් අවසානයට වූයේ ඔවුන් මංගල්‍යෝත්සවයන්හිදී ගත් ඒවාය. අඳුරු පැහැගත් ඡවි වර්ණයෙන් යුතු අනන්‍යාගේ ඥාතීහු මුව විවරකොට සිනාසෙද්දී ඔවුන්ගේ සුදුවන් දත් දිලිසුනේ කෑලි තුනේ විදුලි පන්දමක් දැල්වූ පරිද්දෙනි. සියලු වයස්ගත කාන්තාවෝ කොන්ද පහත්නොවී ඔවුනට පැළඳිය හැකි උපරිම ස්වර්ණාභරණ ප්‍රමාණය පැළඳ සිටියහ. එලෙසම ඔවුන් හැඳ හුන් සාරි දිලිසුනේ අහමදාබාද් - දිල්ලි අධිවේගී මාර්ගය දෙපස මාර්ගාරක්ෂිත වැටෙහි සවිකොට ඇති පරාවර්තක පුවරු රාත්‍රී කාලයෙහිදී වාහන ප්‍රධාන ලාම්පු එලිය පතිතව දිළිසෙන්නාක් මෙනි.
" ඇයි අර විදිහට අම්මා.. අම්මා... අම්මා... කියල කිව්වෙ? " මම යළිදු අනන්‍යා අමතා විමසූයෙමි.
" නැහැ මොකවත් නෑ...ඒත් මම කැමතියි අම්ම එක්ක මීට වැඩිය කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට තිබ්බ නම්..ම්ම්ම්ම්..මම මේ කියන්නෙ යාලුවො වගෙ…." එසේ පැවසූ අනන්‍යා යලි සුසුමක් හෙලුවාය.
" ආ..මේ ඒක නෙවෙයි... ඔයාගෙ පවුලෙ අයගෙ ෆොටෝ ඔයා ලඟ තියනවද? "
නැතැයි හඟවනු වස් මම හිස දෙපසට සෙලවූයෙමි. මගේ පවුලේ සාමාජිකයින්ගේ සමූහ ඡායාරූපයක් ගැනීමට වඩා පියාඹන පීරිසියක ඡායාරූපයක් ගැනීම පහසු විය හැක. එහෙත් මම ඒ බව අනන්‍යාට නොපැවසුයෙමි. අපගේ නිවසෙහි කිසිදිනක කැමරාවක් තිබෙනු පවා මම දැක නොමැති බව ද මට ඒ හා සමඟම සිහියට නැඟුනි.
" ඉතින් ඔයගොල්ලන්ගෙ පවුලෙ වෙන කවුද ඉන්නෙ? " ඇය මා ඔසවාගෙන ආ පොත් තොගය අතරින් අදාල සටහන් ගොන්න තෝරමින් විමසුවාය.
" අම්මයි තාත්තයි මමයි...එච්චර තමයි.."
" ඉතින් මට තව විස්තර කියන්නකො. එයාල මොකද කරන්නෙ? ඔයා වඩා කිට්ටු කාටද? අම්මටද නැත්තම් තාත්තටද? "
" මේ හලෝ..මම මේ පොත් කැටියකුත් උස්සගෙන මෙතනට ආවෙ පාඩම් කරන්න.." ඇගේ මේසය මත ඇති මම ඔසවාගෙන ආ පොත් තොගය පෙන්වමින් මම පැවසුවෙමි.
" හරි... හරි.. හරි... මම දන්නව. පාඩම් කරන්ට පටන් ගන්න කලින් පොඩ්ඩක් ඔයා ගැන විස්තර දැනගන්ටයි මම ඇහුවෙ. ප්‍රශ්නයක් නෑ. ඔයා විස්තර කියන්ට අකමැතිනම් මට දැනගන්ට ඕනෙ නෑ. " අනන්‍යා හිස ඔසවා ඇගේ විසල් නෙතු විදහා පැවසුවාය. ඇගේ ඇසිපිය වේගයෙන් සැලිනි.රත් පැහැගත් වතින් ඇගේ රූසපුව වඩාත් කැපී පෙනුනි. නෙත් කොණකින් ඇගේ මව්පියන්ගේ ඡායාරූප දෙස බලමින් මම කල්පනා කලේ එවන් කිසිදු අයුරකින් සිත් ඇදගන්නාසුළු යැයි කිව නොහැකි යුවලකට දාව ඇය වන් රුවැත්තියක් මෙලොවට බිහිවූයේ කෙළෙසකද යන්නයි.
" හරි මම විස්තර කියන්නංකො. හැබැයි ඊට පස්සෙ ෆුල් ටයිම් අධ්‍යාපනය හොඳද? ඕපදූප බෑ අඩුම ගණනෙ පැයකටවත්.. " මම දබරැඟිල්ල ඔසවා අනතුරු හැඟවූයෙමි.
" හරි... හරි... මේ මම දැනටමත් පොත දිගඇරල තියෙන්නෙ. " ඇය පසුපසට ඇදී බිත්තියට වාරුවී හොඳින් හරි බරි ගැසුණාය.
" ඔන්න අම්ම ගැන කියනකොටයි මතක් වුනේ. අද අනිවාර්යයෙන් මම අම්මට කෝල් එකක් දෙන්න ඕන.තව ටිකකින් අර අතන හතරමං හන්දියෙ කමියුනිකේෂන් එකට යන්ට වෙනව."
" හරි යමු...දැං කියන්නකො ඔයාගෙ විස්තර.."ඇය ඉල්ලා සිටියාය.
" මගෙ අම්ම රස්සාවක් කරන්නෙ නෑ. මම අම්මට තමයි කිට්ටු. ඒත්.. ඒත් එක අතකින් බලනකොට ඒ හැටිමත් නෑ කියලත් කිව්වැහැකි. " මව හා මා අතර ඇති බැඳීම පිළිබඳව මම කිසි දිනෙක ගැඹුරින් කල්පනා කොට නොතිබුණු බැවින් මම එසේ පැවසූයේ අඩමානයටය.
" එතකොට ඔයාගෙ තාත්ත? මම නම් අපේ තාත්තට බොහොම කිට්ටුයි."
" මේ...අපි පාඩම් කරමුද?..." මම වහාම මේසය මතවූ පොත දිගහැරියෙමි.
" ඒ කියන්නෙ ඔයා ඔයාගෙ තාත්තට ඒ තරම් කිට්ටු නෑ?..."
" මම දැන් එක පාරක් කිව්වනෙ. ඔයාට විභාගෙ ෆේල් වෙන්නද ඕන? "
" ෂ්ෂ්ෂ්…….." ඇය තම දෙතොල මත සුරතේ දබරැඟිල්ල තබා ඉන්පසු ඇඳ මත වූ පොත අතට ගත්තාය. අනතුරුව ගෙවුණු දෙපැයක කාලය අපි නිශ්ශබ්දව ඉගෙනීමේ යෙදුනෙමු.
නිශ්ශබ්දව ඉගෙනීමේ යෙදුණායයි පැවසීම පූර්ණ වශයෙන් නිවැරදි ද නොවේ. මේ කාලය තුල ඉගෙනීමට අමතරව අනන්‍යා නොයෙකුත් විප්‍රකාරයන්හිද අනලස්ව නිරතවූවාය. වරෙක ඇය කොට්ටයෙහි උරය ඉවත්කොට අලුතෙන් උරයක් දැම්මාය.වරෙක හිස ඔසවා මදෙස ක්ෂණික බැල්මක් හෙලා ඇඳ ඉහත්තාවේ වූ මේස ලාම්පුවෙහි කඳ නවා සකස් කළාය.තවත් විටෙක මේසය මතවූ පෑන් රඳවනයේ වූ පෑන් සියල්ල ඉවතට ගෙන වෙනත් රටාවකට යලි තැන්පත් කලාය.
ඇගේ මේ සියළු විගඩම් නුදුටුවාසේ මම දැඩි අවධානය බිඳී යා නොදී අධ්‍යයන කටයුත්තෙහි යෙදුණෙමි. IIT ආයතනයෙහි ඉගෙනුම ලැබූ මුල් වසර දෙකෙහි මම බොහෝසේ කාලය අපතේ හැරියෙමි. IIMA හිදී ද ඒ වරද එළෙසම සිදුවීමට ඉඩ නොහැරීම මගේ දැඩි අධිෂ්ඨානය විය.
" ෂහ්, ඔයා නියමයිනෙ.කිසි කතාවක් නැතුව ගල් බමුණෙක් වගෙ එක දිගට පාඩම් කරන්ට පුලුවන්නෙ ඔයාට. මරු ඈ…" පැය දෙකකට පසු ඇය දෑත ඔසවා ඇඟ මැලි කඩා පැවසුවාය.
" මොකෙක් වගේ? " මම දෙබැම රැළිකොටගෙන ඈ දෙස නොපහන් බැල්මක් හෙලූයේ සිනහව වළකා ගනිමිනි.
" හරි හරි…" ඇය සිනාසුනාය." දහයත් පහුවෙලා. දැන් කෝල්ස් ගණං අඩුයි. "
" ආ..මතක් කරපු එක හොඳයි. මම යන්න ඕන එහෙනම්. "
" ඉන්න මාත් එනව ඔයා එක්ක. මටත් ගෙදරට කතා කලොත් හොඳයි. " ඇය ඇඳෙන් බිමට පැන පාවහන් යුවල පැළඳ ගත්තාය.
" ෂරි, ෂරි, ෂරි, අම්මා ෂරි, …" සෑම අනුයාත ෂරියක්ම ඊට පෙර ෂරියට වඩා ශබ්දයෙන්, තීව්‍රතාවයෙන් මෙන්ම කණස්සල්ලෙන්ද වැඩි වෙමින් කුඩා දුරකථන කුටිය තුල පැතිර ගියේය. ඇය තම නිවසට ඇමතුමක් ලබාගෙන මව හා කතාබහක නිරතව සිටියි.
රාත්‍රී දහයෙන් පසු ඇමතු ගාස්තු සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ යන බැවින් බොහෝ සිසුහු තම නිවෙස් වලට ඇමතුම් ලබාගනු උදෙසා ආයතනයෙහි සිට මිනිත්තු පහක පාගමනින් ලඟාවියහැකි මේ දුරකථන කුටිය ඉදිරිපිට පෙළගැසී සිටියෝය. ඔවුන් බහුතරයක අත සූක්ෂම ආර්ථික විද්‍යා සටහන් පොත් විය.අනන්‍යා තම ඇමතුම අවසන් කොට පිටතට පැමිණි පසු මම දුරකථන කුටියට ඇතුළු වීමි.
" මේ දෙන්න යාලු වෙලාද? " පෝළිමෙහි සිටියකු තවත් අයෙකුගෙන් විමසනු මට ඇසිණි
" මම හිතන්නෙ නෑ. අර කෙල්ල මෙයාට සලකන්නෙ සහෝදරයෙකුට වගෙ. ඔය කෙල්ලො ඔය වැඩේ හරියට කරනව. කලනය, සංඛ්‍යානය ,වීජ ගණිතය වගෙ එව්වට IIT ගිය කොල්ලෙක් අල්ලගෙන අයිය අයිය කියල වැඩේ ගොඩ දාගන්ට කෙල්ලො යස අගේට දන්නව. " ඔවුන්ගේ සිනා හඬ නෑසුණාක් මෙන් මම දුරකථන කුටියෙහි දොර වසා ගතිමි.
අනන්‍යාට මේ කථාබහ බොහෝවිට නොඇසෙන්නට ඇත. ඒ ඇය ඒ වනවිට තම ඇමතුම් ගාස්තුව ගෙවනු උදෙසා අයකැමි වෙත ගොස් සිටි බැවිණි.
" හෙලෝ? " දුරකථනය සිව්වරක් නාදවූ ඉක්බිති මපියාගේ හඬ ඇසිණි. මම නිහඬ වූයෙමි. දුරකථන ගාස්තුව සටහන් වන ගණක යන්ත්‍රය ක්ලික් හඬකින් ගාස්තුව ගණනය කිරීම ඇරඹීය.
" හෙලෝ? හෙලෝ?" මපියා යලිත් නොඉවසිල්ලෙන් කථා කලේය.මම ඇමතුම ක්‍රියා විරහිත කළෙමි.ගණක යන්ත්‍රයෙන් බිල්පත නිකුත් විය.
" කථාකරන්න බැරිවුනා නේද? ඒත් ඔයාට බිල ගෙවන්න වෙයි." දුරකථන මධ්‍යස්ථානයේ අයකැමිවරයා පැවසීය.
" හරි ඒකෙ ප්‍රශ්නයක් නෑ " මම හිස සොළවා එකඟත්වය පළකොට යලි ගෙදර අංකය කරකැවීමි.
මෙවර දුරකථනයට පිළිතුරු දුන්නේ මගේ මවය." අම්මා " මම කෝපයෙන් කෑගැසීමි." මම කියල තියනව නේද රෑ දහය පහුවුනාට පස්සෙ ටෙලිෆෝන් එක කිට්ටුව ඉන්න කියල? "
" හරි හරි ළමයා. මම කුස්සියෙ හිටියෙ, අනික තාත්තට ඔයාට කතාකරන්න ඕනය කියල කිව්ව. ඒකයි එයා ෆෝන් එක ගත්තෙ. මොකද කියන්නෙ? තාත්තට කතා කරනවද? "
" අම්ම දන්නවනෙ…. මට බෑ එයා එක්ක කතා කරන්න."
" හරි ඒක අමතක කරල දාමු එහෙනං..කොහොමද ඔහෙ? අහ්මදාබාද් හොඳයිද? "
" ප්‍රශ්ණයක් නම් නෑ. ඒත් කලින්ටත් වඩා පාඩම් කරන්නනම් වෙයි වගෙ. "
" කෑම කොහොමද? "
" අපොයි අන්තිමයි. මම හොස්ටල් එකේනෙ ඉන්නෙ. ආය අහන්ටත් දෙයක්ය."
" මම ඔයාට එවන්නං හොඳ අච්චාරු ටිකක් හදල. "
" එපා එපා..මෙහෙ හොඳ රෙස්ටුරන්ට් කීපයක්ම තියනව."
" එව්වගෙ කුකුල්මස් තියනවද?" ඇගේ හඬ කණස්සල්ලෙන් පිරී තිබුනි.ජලය වාතය විදුලි බලය වන් ජීවිතයට අත්‍යාවශ්‍ය තවත් අංගයක් ලෙස ඕ කුකුල්මස් සැළකුවාය.
" දෙක තුනක තියනව."
" මට තවම තේරෙන්නෙ නෑ ඇයි ඔයා දිල්ලියෙ MBA කරන්නෙ නැතුව ඔහෙ ගියෙ කියල. "
" අම්මෙ මම මෙහෙ ආවෙ මගෙ අනාගතයට හොඳම දේ IIMA එකේ ඉගෙන ගන්න එක හින්ද. මෙහෙ කුකුල්මස් තියෙනවද නැද්ද කියල මම කල්පනා කලේ නෑ." ගණක යන්ත්‍රය මේ වනවිට මගේ ගාස්තුව ලෙස රුපියල් දහ අටක් පෙන්නුම් කළේය. " මම එහෙනම් තියන්නම්. "
" ඉන්න ඉන්න ටිකක්. ඉතිං? ඔහෙ ඔයාට යාලුවො කවුරුවත් එහෙම නැද්ද තවම?"
" ම්ම්ම්..ඉන්නව..ඒත්..ඒත්...යාලුවෙක්මත් නෙවෙයි...." මම කුටියෙහි දොර වීදුරුවෙන් දිස්වන අනන්‍යාගේ මුහුණ දෙස බැලුවෙමි. ඇය මා දෙස බලා සුන්දර ලෙස සිනහවූවාය.
" කවුද යාලුවො?...මොනවද ඒ ගොල්ලන්ගෙ නම්? " අම්මා නොඉවසිල්ලෙන් විමසුවාය.
" මේ..අන්..අන්..අනන්ට්. "
" එයා පන්ජාබ්ද පුතා? "
" අම්මෙ මේ...මෙහෙ ඉන්න ඔක්කොම…."
ඇය මට බාධා කලාය. " හරි හරි ඉතිං කෑගහන්න එපා..මම හිතුවෙ ඔයාට පන්ජාබ් යාලුවෙක්ම හිටියනම් හොඳයි කියල. ඔයා කැමති කෑමවලටම ආස කරන……"
" හරි හරි එහෙනං මම තියන්නං..හෙට මට විභාගෙකුත් තියනව…."
" ඇත්තටම? මතක ඇතුව විභාගෙට වාඩි වෙන්ට ඉස්සරවෙලා යාඥා කරන්න..හොඳද? "
" හරි හරි ඒක බැරිය..ඒත් ඊට ඉස්සෙල්ල මට පාඩං කරන්ට ඕන…." ඇමතුම අවසාන කල මම රුපියල් විසිපහක් වූ ගාස්තුව ගෙවීමි.
" ක්‍රිෂ්, ඔයා මොකද පළවෙනි පාර ෆෝන් එකට උත්තර නොදී කට් කලේ? ඔයාගෙ තාත්ත ෆෝන් එක ගත්තෙ..නේද? " අප ආපසු ඇගේ නේවාසිකාගාරය කරා පිය නඟද්දී අනන්‍යා විමසුවාය.
මම එකෙනෙහිම නැවතී ඇය දෙස හැරුනෙමි. " ඔයා කොහොමද දන්නෙ? "
" මට නිකමට හිතුන.අපෙ අම්ම එක්ක තරහ උනහම මාත් ඔහොම කරනව.ඒත් මම නම් ෆෝන් එක තියන්නෙ නෑ. ..අම්ම තියන්නෙත් නෑ. අපි දෙන්නම රිසීවර් එක කණට තියාගෙන වචනයක්වත් කතා නොකර ඉන්නව...හිහ්..හිහ් "
" ඒ කරල….? බිල ගෙවනව? "
" ඔව්..අම්ම එක්ක මම තරහෙන් කියල මම අඟවන්නෙ එහෙමයි. සෑහෙන්න වියදම් යන ක්‍රමයක් නම් තමයි ඇත්තම කිව්වොත්. ඒ හින්ද මම නිතරම එහෙම කරන්නෙ නෑ. හොඳටම තරහ ගියහම විතරයි. " ඇය හඬ නඟා සිනාසුනාය.
" මම අපෙ තාත්ත එක්ක කවදාවත් කතා කරන්නෙ නෑ." ටික දුරක් නිහඬව පැමිණි ඉක්බිති මම පැවසූයෙමි.
" ඇයි ඒ?..." ඇය ඇසුවාය.
" ඒක දිග කතාවක්. මේ වෙලාවෙ කියන්නනම් බෑ…..ම්ම්ම්..අද නෙවෙයි මම කවදාවත් ඒක කියන එකක් නෑ බොහෝවිට. "
" ඕකේ..ඔයාගෙ කැමැත්තක් "
නිහඬතාවයේ වෙලී අප ඇවිද ගිය තවත් නිමේෂයකට පසු ඇය යලිත් කථා කලාය." ඉතිං? ඔයා පවුලෙ එකම දරුවා...ඔයාගෙ අම්මයි තාත්තයි ඔයා ගැන බොහොම බලාපොරොත්තු තියාගෙන ඇති නේද? මොනවද ඔයා කරන්න හිතාගෙන ඉන්නෙ? ෆයිනෑන්ස්? මාකටිං නැත්තං අයිටී? "
" ඒ එකක්වත් නෙවෙයි ඇත්තටම. ඒත් මම හිතාගෙන ඉන්නෙ ඉස්සෙල්ල මොකක් හරි හොඳට අතට ගානක් හම්බ වෙන රස්සාවක් කරල කීයක් හරි හම්බ කරගෙන ඉන්න. මොකද මම හිතාගෙන ඉන්න වැඩේ කරන්න අතේ කීයක් හරි තියෙන්නම ඕන. "
" ඒ කිව්වෙ? එතකොට ඔයා මොනව කරන්නද ඇත්තටම කැමති? " ඇය විමසූයේ මා දෙනෙත් දෙස එක එල්ලේ ඇගේ දෙනෙත් යොමුකොටගෙනය.
ඇයට මුසාවක් පැවසීමට මට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නොවිණි. " මට ලේඛකයෙක් වෙන්නයි ඕන."
ඇය මහ හඬින් අවඥා සහගතලෙස සිනාසෙනු ඇතැයි මම අපේක්ෂා කලෙමි. එහෙත් නැවතී වරක් මදෙස හැරී බැලූ ඇය මඳ සිනහවකින් යුතුව හිස දෙවරක් සොලවා යලි පෙත් මඟ ඔස්සේ සෙමෙන් පියවර තබන්නට වූවාය.
" මොන වගේ ලේඛකයෙක්ද? " ඇය ඇසුවාය.
" ම්ම්ම්..මෙහෙමයි. එදිනෙදා ජීවිතය ගැන සැහැල්ලුවෙන් ලියන කෙනෙක්, ඒත් ඒ යටින් යම් ගැඹුරකුත් තියෙන්නෙ ඕන. ඒ ලියන එව්ව කියවන අයගෙ ජීවිතේ යම් වෙනසක් වෙන්නත් ඕන. ඔය කියන්නෙ පෑන කඩුවට වඩා බලවත් කියල. ඒක අපි එදා ඉඳල දන්න ප්‍රස්ථාව පිරුළක්නෙ. " ඇය හිස හරවා මදෙස මොහොතක් බලා සිටියාය. " නිකං පිස්සු විකාර වගේ කියල හිතෙනවද? "
" අනේ නෑ..මම එහෙම හිතන්නෙ නෑ.." ඇය වහා පැවසුවාය.
" හරි ඒ මගේ අනාගත අපේක්ෂානෙ. දැං ඔයා ගැන . ඉතිං ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ? " මම ඇසූයෙමි.
ඇය සිනාසුනාය...." ම්ම්ම්ම්...ඇත්තම කිව්වොත් මම දන්නෙ නෑ.මගෙ අම්ම දැනටමත් හිතන්නෙ මම මේ වෙනකොටත් ඕනවට වැඩිය හිතුවක්කාරයි ඒ වගේම ජීවිතේ මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවයි කියල. අන්න ඒ හින්ද මම අනාගතය ගැන වැඩිය හිතන්නෙ නෑ. මේ මොහොත වෙන කොට මට ඕන හෙට තියෙන විභාගෙ හොඳට කරල පාස් වෙන්ටයි මගෙ අම්මව සතුටු කරන්නයි විතරයි. හැබැයි එකක් තියනව. ඒ දෙකම එච්චර ලේසි දේවල් නම් නෙවෙයි. "
ඇගේ කුටිය වෙත ළඟාවූ අපි තවත් පැය දෙකකට ආසන්න කාලයක් සංඛ්‍යානය ගැටළු විසඳීමෙහි යෙදුනෙමු.
" ඔයා මෙහෙම ආපු එකට බොහොම ස්තූතියි . ඔයා නැත්නම් මට මේ එකක්වත් තේරුම් ගන්ට බැරිවෙයි ෂුවර් එකටම." අසීරු ගැටළුවක් විසඳන අන්දම මම ඇයට පැහැදිලි කල ඉක්බිති ඇය කෘතඥතා පූර්වක සිනහවකින් පැවසුවාය.
" ඔයා මාව අන්දනව එහෙම නෙවෙයි නේද? "
" මොකක්? "
" නෑ මම මේ කිව්වෙ ඔයා මා එක්ක හිතවත් කියල, මට කැමතියි කියල පෙන්නන්නෙ මට කියල අමාරු දේවල් අහගන්ට විතරක් එහෙම නෙවෙයි නේද? "
" පිස්සුද ඔයාට?..." ඇය ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියේ තම කන් අදහා ගත නොහැකි පරිදිය. " මොනවද මේ කියවන විකාර? "
" ඒ මොනව උනත් මම ඔයාගෙ වීජ ගණිත ගුරුවරය නෙවෙයි. කලනය කියල දෙන ලොකු අයියත් නෙවෙයි හොඳද? "
" මොන අයිය කිව්ව? මොනවද ක්‍රිෂ් මේ කියවන්නෙ? ඔයා ඔය කියන එක මට නම් තේරෙන්නෙ නෑ. ඒ මොක වුනත් මට ඔයා ඔය කිව්ව ජාතියෙ එක්කෙනෙක්වත් නම් නෙවෙයි. ඒක සහතිකයි. අපි හොඳ යාලුවො..එහෙම නේද? " ඇය මවෙත සිය සුරත දිගු කළාය.
මම ඇගේ නෙත් දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඇගේ ඇස් අවංකත්වයෙන් පිරී තිබිනි. එසේය ඒ ඇස් මට කිසිදු අයුරකින් රැවටිල්ලක් වංචාවක් නොකරන බව මම සැකයකින් තොරව ස්ථිර කොට ගතිමි.
" සුබ රාත්‍රියක්…." එසේ පවසා මම ඇගේ සුරත ගතිමි.
" ඒයි මේ..ක්‍රිෂ්……….." ඇගේ කුටියෙන් පිටවීමට දොර විවර කරද්දී ඇය යලිත් මා ඇමතුවාය.
මම ආපසු හැරුනෙමි. " ඇයි? "
" අර ඔයා කලින් කිව්වෙ...සැහැල්ලු ඒත් මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනසක් කරන ලේඛකයෙක් වෙන්න හිතේ තියෙනව කියල…."
" ඉතිං?..."
" මම මේ කියන්න ආවෙ ඒක ඇත්තටම මාරයි….නියමයි...අර It's Absolutely Cool කියල කියන්නෙ... අන්න එහෙම. මම මේ ඇත්තටමයි කියන්නෙ. මට හිතෙනව එහෙම කෙනෙක් නිකම් මේ.. නිකම් මේ... පරමාදර්ශී චරිතයක් වෙයි කියල. මම දන්නෙ නෑ ඒ වචනෙ හරියටම හරිද කියල..ඒත් මම හිතන්නෙ ඔයාට තේරෙනව ඇති මම කියන්නෙ මොකක්ද කියල." මම කිසිවක් නොපවසා සිනාසුනෙමි.
" සුබ රාත්‍රියක්…." එසේ පවසා ඇය කුටියෙහි දොර වසා දැමුවාය.
සූක්ෂම ආර්ථික විද්‍යා සටහන් ද අතැතිව නේවාසිකාගාරයෙහි කොරිඩෝ ඔස්සේ සක්මන් කරමින් උන් නිදි නොමැති යුවතියෝ කිහිප දෙනෙක් මා දෙස සැක මුසුව නෙත් යොමු කළෝය.
" මම ආවෙ පාඩම් කරන්ට විතරයි " එසේ පවසා මම හැකි විගස ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයෙන් පිටවුණෙමි.ඔවුන් වෙත නිදහසට කරුණු ඉදිරිපත්කිරීමට මට සිත්වූයේ කුමන හෙයින්දැයි මගේ කුටියට පැමිණ සයනයෙහි වැතිර නින්දට වැටෙන තුරුද මට වටහාගත නොහැකිවිය.
ස්තූතියි ස්තුතියි ස්තූතියි ඊළග කොටස ඉක්මන්ට දැම්මට. මම හිතින් බැන බැන හිටියෙ විසිහතර පැයේ පරණ පෝස්ට් එකට රචනා වගේ කමෙන්ට් කොට කොට ඉන්නකොට දැන් ඉතින් මේ මනුස්සයාට කමෙන්ට් කොටනවා ඇරෙන්න ඉතිරි ටික පරිවර්තනය කරන්න වෙලාවක් නෑනෙ කියලා.
ReplyDeleteඅදනම් වේගය වගේම පරිවර්තනයත් අති විශිෂ්ඨයි.
අවුරුදු දහ අටකට විතර කලින් ඔය වගේම ඩිප්ලෝමාවක් කරන්න නේවාසිකාගාරයක හිටිය කාලෙ අපිත් ඔහොම කෝල් ගන්න පෝලිමේ හිටිය හැටි මතක් උනා. වෙනස ඒ රෑ නෙවෙයි හවස. හය වෙනකොට කිකිඛියො කුඩුවට දානවා වගේ නම් ලකුණු කරලා දොරවල් වලට ඉබි යතුරු දාන නිසා අඩුම ඇමතිම් ගාස්තු වලට කතා කරන්න අපිට බැරි උනා
මොනා උනත් මේකෙ මුල් පොත කියවද්දි මට ඒ අතිතෙ මතක් උනේ නෑ මේක කියවනකොටයි මතක් උනේ. අන්න ඒකයි පරිවර්තකයාගේ දක්ෂතාවය
සඳ වියමන්,
Delete/ විසිහතර පැයේ පරණ පෝස්ට් එකට රචනා වගේ කමෙන්ට් කොට කොට ඉන්නකොට …/
හෙහ්..එව්ව්ට කියන්නෙ බන් " මාගල් සදිසි කමෙන්ට් " කියල...මම ඇවිල්ල ඔය වැඩේට බොහොම සමර්තයි. පෝස්ට් එකට වඩා දිග කමෙන්ට් නොහොත් සතාට වඩා දිග වලිගෙ...:)
/ අදනම් වේගය වගේම පරිවර්තනයත් අති විශිෂ්ඨයි. /
හප්පා.... ඒ මදැයි..:)
/ හවස. හය වෙනකොට කිකිඛියො කුඩුවට දානවා වගේ නම් ලකුණු කරලා දොරවල් වලට ඉබි යතුරු දාන නිසා../
ඒ බොලාගෙ කැරැට්ටුව දන්න හින්ද වෙන්ටැ...:)
Thanks so much Madam….:)
//ක්‍රීඩිකාවන් අඳිනා ධාවන ඇඳුම් කට්ටලයක්//
ReplyDeleteඅයිසෙ රවි, උඩින් ලියලා තියෙන විදිහට මට මැවෙන්නෙ කොට කලිසමකුයි, තුනී දුවන්ඩ අඳින උඩ කෑල්ලකුයි ඇඳන් ඉන්න ලමයෙක්. හරි විදිහට නම් මේක ක්‍රීඩා කරන්ඩ කලින්, ඇඟ උණුසුම් කරන්ඩ අඳින අත් කකුල් දිගට තියෙන, සිල්ක් හෝ ගොරෝසු රෙද්දකින් හෝ මහපු tracksuit කියන එකක් කියලා හැඟවෙන විදියට වෙනස් වෙන්ඩ ඕනෙ නේද?
ඇනෝ,
Deleteස්තූතියි ඔබ හරි, ධාවන ඇඳුම කිව්වම සුදුසු නෑ තමයි. එතන ට්‍රැක් සූට් එකක් ගැන හිතට එන්නෙ නෑ තමයි. මම එතන හැදුවා..ආයෙමත් ස්තූතියි...:)
මහ රෑ ගෑණු ළමයින්ගේ හොස්ටල් එකකටත් රිංගන්න වුණා. It's Absolutely Cool.
ReplyDeleteඉකොනොමැට්ටා,,
DeleteNow what's absolutely cool ?... මහ රෑ ගෑණු ළමයින්ගෙ හොස්ටල් එකට රිංගන්ට වෙච්චි එකද?..:)
/*මගේ පවුලේ සාමාජිකයින්ගේ සමූහ ඡායාරූපයක් ගැනීමට වඩා පියාඹන පීරිසියක ඡායාරූපයක් ගැනීම පහසු විය හැක.*/
ReplyDeleteඅපේ ගෙදරත් ඔය වගේ තමා! :D
/*" ම්ම්ම්..මෙහෙමයි. එදිනෙදා ජීවිතය ගැන සැහැල්ලුවෙන් ලියන කෙනෙක්, ඒත් ඒ යටින් යම් ගැඹුරකුත් තියෙන්නෙ ඕන. ඒ ලියන එව්ව කියවන අයගෙ ජීවිතේ යම් වෙනසක් වෙන්නත් ඕන. ඔය කියන්නෙ පෑන කඩුවට වඩා බලවත් කියල. ඒක අපි එදා ඉඳල දන්න ප්‍රස්ථාව පිරුළක්නෙ. "*/
මේක මාරයි. හප්පා, මගේ ඇඟේ හිරිගඩු පිපුනා ඒ ටික කියවද්දි.
මේ පරිවර්තනය නියමයි අයියේ. මේක පරිවර්තනයක්ම නොවී අයියගේ අතිනුත් කෑලි දාලා තවත් රසවත් කරලා ලියන හින්දා හුඟාක් ලස්සනයි. :)
Siththami,
Delete/ මේක මාරයි. හප්පා, මගේ ඇඟේ හිරිගඩු පිපුනා ඒ ටික කියවද්දි. /
මට හිතාගත්තෑකි ඒ මොකද කියල...හෙහ්,හෙහ්,
/ මේ පරිවර්තනය නියමයි අයියේ. මේක පරිවර්තනයක්ම නොවී අයියගේ අතිනුත් කෑලි දාලා තවත් රසවත් කරලා ලියන හින්දා හුඟාක් ලස්සනයි. :) /
ඒකනෙ බන් කියන්නෙ, මේ බගට් ගොබිල පිස්සු යකෙක්නෙ.මිනිහගෙ පොත් මිලියන් ගණන් විකිනෙන්නෙ. මොකා මේ හැටි ඔයි යකාගෙ පොත් කියවනවද මන්ද....හෙහ්...නෑ මම මේ කියන්නෙ ටිකක් සුට්ටි පඳුරක් දෙකක් තලල, වැල්වටාරමක් දෙකක් ලියල, පොඩ්ඩක් ඔට්ටපාලු වගෙ ඇදල කතන්දරේ ලස්සන කරල ගන්ට එපාය. මේ හම්බාව එහෙමද? කෙලිම්ම හොම්බට ඇන්න වගෙ කියල දානව.
අනේ මන්ද මිනිහට ඉතින් අපිම ඉන්න හින්ද හොඳයි මිනිහගෙ කතන්දර රේන්ද කාරිය අල්ලල ලස්සන කරල ගන්ට. මම මේ හිතාගෙන ඉන්නෙ මම ලියපු මේ ආරලු බූරලු සහිත කතන්දරේ ආපහු ඉන්ගිරිස් වලට පරිවර්තනය කරල බගටයට යවන්ට. පොඩි ලියුම් කෑල්ලකුත් එක්ක. මෙන්න මේ වගෙ….:)
Dear Mr. Bhagat,
I don't care about you being the best selling English language writer in India or such nonsense. Just let me give you a piece of my mind. If giving you a piece of my mind would compel you to lose peace of your mind, so be it. I don't care and moreover I don't give a damn one way or the other Mr. Bhagat.
Let me give you some free advice regarding the latest genre in writing. It's called BAB style. That’s an acronym for beating about the bush. As the name itself is self explanatory it's really about not writing about something while giving the impression that you are..Ha...ha..ha.
So if you care to visit Sri Lanka I am ever ready to initiate you into this BAB style writing.
Bye for now.
Sincerely wishing you would improve your writing style,
Ravi
( Self appointed improver of your writing )
PS - If you come to Sri Lanka I would arrange you to meet another very talented up and coming young writer who would most graciously give you very valuable advice on how to improve the substance of your writing. She is non other than my very good friend Ms. Siththmi.
අද තමයි අයියා ඉංග්‍රීසියෙන් හිනා වෙන හැටි දැක්කේ. මෙච්චර කල් දැකලා තිබ්බේ 'හෙහ් හෙහ්' කියලා සිංහලෙන් හිනාවෙන හැටි විතරයිනෙ. ඉංගිරිස් හිනාවත් නරක නෑ ha...ha..ha. :D
Deleteමේ, මං ගැන ලියනවනං ඔය පී එස් කෑලි අස්සෙ නැතුව කෙළින්ම ප්‍රධාන කොටසෙම ලියන්ඩ හරිද! නැත්තං නොලියම ඉන්ඩ! තේරුණාද???
ගල් බමුණට කියන ඉංග්‍රීසි වචනේ ගැන හිතලා මටත් ඉංග්‍රීසියෙන් හිනා ගියා.
Deleteමේක මාරයි රවි! අර It's Absolutely Cool කියල කියන්නෙ... අන්න එහෙම. :)
ReplyDeleteBash,
DeleteThanks. thanks, thanks...:)
හැම ඡේදයක් ගානෙම කුතුහලය රඳවාගනිම්න් ලියැවුණු කතාවක්. අපුරු පරිවර්ථනයක්. ඇත්තටම මේ පරිවරථනය තුළ ඒ ඒ චරිතයන් අපට ආරුඩ වෙනවා වගේ හැගුමක් ඇති වුණා.
ReplyDeleteමරිනා බීච් ඇත්තටම මාර තැනක්. හැබැයි හොර ගුහාවක්. අපේ ගාලු මුවදොර වගේ 20 ගුනයක් විතර ලොකුයි කියලයි හිතුණෛ්.
නලීන්,
Deleteමාත් තුන් හතර පාරක් ගිහිල්ල තියනව මරීනා බීච්....:)
බොහොමත්ම ස්තූතියි නලීන් ඔබට....:)
හුදෙක් අධ්‍යාපනය කරණකොටගෙන තමයි බොහෝ කපල්ස් මුලින් සෙට් වෙන්නේ. පස්සේ ඉතින් වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙනවා.
ReplyDeleteනියමයි රවී. බොහොම රසවත්. හැබැයි බොට හොඳ වැඩේ. ඉස්සර වගේ පඳුරු තලන්නත් බැහැනේ අනුන් ලියපු එකක් නිසා ...හේ හේ
බින්දි,
Delete/ හුදෙක් අධ්‍යාපනය කරණකොටගෙන තමයි බොහෝ කපල්ස් මුලින් සෙට් වෙන්නේ. පස්සේ ඉතින් වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙනවා./
පළමෝත අත්දැකීම් ...හෙහ්
/ හැබැයි බොට හොඳ වැඩේ. ඉස්සර වගේ පඳුරු තලන්නත් බැහැනේ අනුන් ලියපු එකක් නිසා ...හේ හේ /
හුහ්..එව්ව කොහෙද මාත් එක්ක...අනුන්ගෙ එකක් කියල අරින්නෙමත් නෑ. සුට්ටන් පඳුරු තැලිල්ලක් ( එහෙමමමත් නෙවෙයි ඇත්තම කිව්වොත් . මගෙ අතින් මේ පොඩි පහේ සිරා බිරා කෑලි දෙක තුනක් දැමිල්ලක් එතන කෙරෙන්නෙ ) කරගෙන යනව චානස් එකක් ආහම....:)
Thanks so much Bindi…:)
රවි ඔයාගෙ කථාව නිසා මට සල්ලි වියදම් උනා. ඒ කියන්නේ මම පොත ඩවුන්ලෝඩ් කරගත්තා. ඇමසන් එකට කියන්නම් ඔයාගෙ ප්‍රමෝශනල් ෆී එක ගෙවන්න කියල. ඒ උනාට ඔයාගෙ පරිවර්ථනය තරම් ගතියක් නැහැ. ඒක නිසා මේක කොහොමත් කියවනවා, බොහොම ස්තූතියි. වෙලාවක් ඇතිවිට ඉයන්ගෙ අඩවිය පැත්තෙත් ඇවිත් යන්න
ReplyDeleteඉයන්,
Deleteදෙවෙනි කොටසෙදිද කොහෙද අජිත් කමෙන්ට් එකක මේ පොතේ PDF වර්ෂන් එකක ලින්ක් එකක් දාල තිබ්බනෙ...:)
ඉයන්ගෙ අඩවිය බලන්න එන්නම් හැකි විගස...:)
මම ගත්තෙ ඇමසන් එකෙන් කින්ඩ්ල් වර්ෂන් එක. 'අනූශා සූර්යනාරායන්' සර්ච් කරල බලන්න අනන්යාගේ ඇත්ත පින්තූර තියෙනවා. ඊලඟ පොස්ට් එකට ගන්න.
Deleteඅනන්‍යා ගෙ චරිතය ඇත්තටම චේටන් භගට්ගෙ පෙම්වතිය / බිරිඳ අනූෂා සූර්යනාරායන් ඇසුරින් ගොගනැඟිල තියෙන්නෙ. ස්තූතියි ඉයන්...:)
Deleteවෙනද වගේම නියමයි රවි අයියා.
ReplyDeleteනියම උපමා සෙට් එකක්නෙ පාවිච්චි කරල තියෙන්නෙ.
මම කල්පනා කරන්නෙ මේ විදියට මේක කැලේ පනින් නැතුව ලියාගෙන ගිහිල්ල පුරුද්දට මේ මනුස්සය අවුරුදු ගානක් ඇදගෙන ආපු වාං පතුල් කතාවත් දවසෙන් ඉවර කරයිද කියලයි.
/මම කල්පනා කරන්නෙ මේ විදියට මේක කැලේ පනින් නැතුව ලියාගෙන ගිහිල්ල පුරුද්දට මේ මනුස්සය අවුරුදු ගානක් ඇදගෙන ආපු වාං පතුල් කතාවත් දවසෙන් ඉවර කරයිද කියලයි./
Deleteමාත්... එහෙනං රවියගෙ අවසානය.
ප්‍රසන්න,
Delete/ මම කල්පනා කරන්නෙ මේ විදියට මේක කැලේ පනින් නැතුව ලියාගෙන ගිහිල්ල පුරුද්දට මේ මනුස්සය අවුරුදු ගානක් ඇදගෙන ආපු වාං පතුල් කතාවත් දවසෙන් ඉවර කරයිද කියලයි. /
අර දොස්තරගෙ කතාව වගෙ. අවුරුදු ගානක් ටවුමෙ ඩිස්පැන්සරියෙ ඩෙදකම් කරපු දොස්තරගෙ පුතා ඔන්න මිනිහත් දොස්තර විබාගෙ පාස් වෙලා ආව. දොස්ත්‍ර කරපු වැඩේ පුතාට ඩිස්පෙන්සරිය බාර දීල වයිෆුත් එක්ක ගියා මාස දෙහෙක විදේස සන්චාරයක්.... ආපහු ඇවිල්ල දැන් පුතාගෙන විස්තර අහනව.
" කොහොමද පුතා වැඩ කටයුතු එහෙම? "
" ආ..තාත්තෙ අර ටවුමෙ ඇල්බට් මුදලාලි අර තාත්තගෙන් මම දන්න කාලෙ ඉඳලම බෙහෙත් ගන්නෙ. එයා ආව. තාත්තගෙන් දණහිස ඉදිමිල්ලකට දැන් සෑහෙන කාලෙක ඉඳල බෙහෙත් ගන්නවය. අඩුවක් නෑය කිව්ව. මම චෙක් කරල බැලුවම මේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් විතරයි දෙන්න තිබ්බෙ. "
" ඉතින් උඹ මොකද කලේ? ඒ ඉන්ජෙක්ෂන් එක දුන්නද? "
"දුන්න... දුන්න ...දැන් මිනිහට හොඳටම සනීපයි. මට තේරෙන්නෙ නැත්තෙ තාත්ත ඇයි මෙච්චර කාලයක් එහෙම නොකලෙ කියන එක? "
" හෙහ්..එහෙම නොකලෙද? එහෙම නොකලෙ උඹ දැනගනින් පුතා ඔය ඇල්බට් මුදලාලිගෙ දණිහ තමයි උඹට මෙඩිකල් කොලේජ් ගිහිල්ල ඉගෙන ගන්ට සම්පූර්ණ වියදම් කලේ. එහෙම නොකලෙ අන්න ඒ හින්ද. දැන් තේරුණාද? "
උපැස් පැළඳි, හොඳින් තෙල් ගා හිස පීරූ, ඉගෙනුම හැර ලොවෙහි වෙනත් කිසිවක් කෙරෙහි උනන්දුවක් නොදක්වන්නකු බව තම ඉරියව් වලින් කියාපානා කොළු ගැටයෙකි.<<
ReplyDeleteමේ nerd හෝ geek වල උඹේ පරිවර්තනයද නැතිනම් මෙහෙමද ඒක තිබුනේ කොහොමත්?
අර පින්තූර විස්තර කරන එක නම් මරු.
හෙන්රි,
Deleteමචන් පොතේ තියෙන්නෙ මෙහෙමයි..
" I saw her brother, around 14 years of age. The oiled hair, geeky face and spectacles made him look like an IITian embryo. His lack of interest in the word expression told me he would make it."
ඔය පොටෝ ගැහිල්ලනං ඒ විදිහම තමා. මේ ළඟදි මායි මගෙ යාලුවෙකුයිත් ඔය විදිහෙ පොටෝ එකක් ගත්ත. අන්තිමට අපිටම හිනා අපි ඉන්නහැටි දැකල. චූටි මැණිකෙත් කිව්ව ඒකනං “මහ විගඩමක්‘ කියල.
ReplyDeleteමටත් ජීවිතේට මේවගේ එකම එක කාලයක් තිවුන. ඒ දියතලාවෙ මැනුං හා සිතියං ගතකොරන ආයතනේ ඉඳිද්දි. ඒ උනාට මෙහෙම කෙල්ලංගෙ හොස්ටල් ගානෙ යන්නනං බෑ රෑ හතෙං පස්සෙ.
අපේ හිටිය මැරීගෙන පාඩං කරන දෙතුං දෙනෙකුත්. උන්ට අපි එක එක ලනු දෙනව. ඒ කියන්නෙ විෂයං දෙකක් එකට එකතු කරල අමුතුම මාතෘකාවක් හදනව. ඉං පස්සෙ අර පාඩං ලෝලියාගෙං අහනව ඒක පාඩං කලාද කියල. උදාහරණයක් විදිහට ‘ගුවන්ඡායාරූපකරණයේ ලුහුඬුකරණය“ කියල එකක් ගනිමුකො. මෙතන ගුවන්ඡායාරූපකරණය කියන්නෙ සිතියං අඳින්න ගන්න ගුවන් ඡායාරූප ගැනීම. එතකොට ලුහුඬුකරණය කියන්නෙ සිතියම් ඇඳීමෙදි කුඩා ඉඩක විස්තර ගොඩක් දැක්වීමෙදි ඒක සරල කරන ක්‍රමයක්. මේ දෙකේ කොහෙත්ම සම්බන්ධයක් නැති උනත් අපි කියපු වචනෙ විස්සාස කරන එකා පන දමාගෙන නෝට් පොත් ගොඩේ කිමිදිල ඔය කියන ‘ගුවන්ඡායාරූපකරණයේ ලුහුඬුකරණය“ හොයනව. නැතුවහං පුස්තකාලෙටත් යනව. ඒත් නැතුව කෙල්ලංගෙ පස්සෙං වැඳගෙන යනව ඒක කියා දෙන්ට කියල. අංතිමේදි උට අපි කීවෙ බොරුවක් කියල ඒත්තුගන්නංනම පැය ගානක් යනව. එයිං පස්සෙ කියල මොටද.
අපේ එකෙක් හිටිය ඌ විබාගෙට ලියද්දි සේරම නෝට් චූටිවට ලියල සරීරෙ එක් එක් අංගෝපාංග වල හංගගන්නව. ඉං පස්සෙ එව්ව තියෙන තැං පටුනක් විදිහට අල්ලෙ ලියාගන්නව.
“ලුහුඬුකරනය-ඉනේ වම“
“සංකේත-කොලර් දකුණ“
ආදී වසයෙං. ඉං පස්සෙ ප්‍රශ්ණය බලනව. අල්ල බලනව. ඉන අතගානව ලියනව. සමහර විභාග කාලවලදි කට්ට අව්ව පායල දාඩිය දාන සයිස් උනත් කෙල්ලො විසාල ජර්සි එහෙමත් ඇඳං එනව. ආයි මොකටද කියල අහන්න එපා.
අත්දැකීම් ඇත.එකපාරක් ගස්ලබ්බගෙ අතට ආපු ඤාන පටිය පෙඟිලා.. ඒක කෙල්ලෙක් අරන් ආවෙ.* එක අස්සෙ දාගෙන.ෆෑන් එක වැඩ කලේ නෑ.. දාඩිය.. අකුරුත් බොඳ වෙලා.. හපෝයි..
DeleteSuranga,
Deleteඅපිට මේ ලඟදි තිබ්බ පොත් බලාගෙන ලියන්ට ඉඩදෙන විබාගයක්. එහෙම වෙලත් හුඟක් එවුන් කලේ පරන විදිහට ජොකා අස්සෙ හිටන් කූඹි කකුල් වගෙ නෝට් කෑලි ගහගෙන ඇවිල්ල එව්ව බල බල ලියපු එක...:)
මට මතක් උනේ ටීන් වුල්ෆ් ෆිල්ම් එක. මේ වගේ කෙල්ලයි කොල්ලයි පාඩම් කරන්න ගියා නං. පළවෙනි දවසෙම දෙන්න තාරුණ්‍යය හොඳටෝම රසවිඳින්න ඉඩ තිබුණා.
ReplyDeleteඩ්‍රැකී,
Deleteටීන් වුල්ෆ් බලල නෑ බන්...:(
මාත් බලල නෑ. මේක වෙන දෙන්නෙකුට වෙච්ච දෙයක් මයෙ හිතේ...
Deleteසිංහලට පරිවර්තනය කරල තියෙන පොත කියවල තියෙන හංද කියෙව්වෙ නැ.. බොරු කියන්නෙ මක්කටෙයි.. ආපහු කියවන්න කම්මැලී...
ReplyDeleteදවසක මේක ඉවර වෙද්දි ආපහු එන්නං...
පරිවර්තනය සාර්තකව කරගෙන යන්න හැකිවේවා
ජයවේවා
මහේෂ්, හරි මල්ලි නෝ ප්‍රොබ්ලම්. & Thanks.....:)
Delete//ගල් බමුණෙක් වගෙ//
ReplyDeleteගල් බමුණට ඉංග්රීසියෙන් කියන්නේ මොකක්ද? :P
ඔක්කොමලාම කියනවා වගේ පින්තූරු විස්තර කරලා තියෙන හැටි හරිම අපූරුයි. කොල්ලෝ හිතන විදියත්, කෙල්ලෝ හිතන විදියත් හොඳට කැපිලා පේනවා. පින්තූරු දිහා බලලා හිතන දේවලිනුත්, ෆෝන් කෝල්ස් වලිනුත්.
දැන් නම් ලඟයි නේ? :D :D
ගල් බමුණා - stone Brahmin
Delete@ Ravi
පරිවර්තනය නම් සුපිරියි, ඒත් ඇයි අර මුල්ම කොටස අත්හැරියෙ? ක්‍රිෂ්, psychiatrist මුණගැහෙන කොටස
Poddi,
Delete/ දැන් නම් ලඟයි නේ? :D :D /
මොන විකාරද? තව මාසයක්වත් යාවි එතෙන්ට එන්න . එතකල් ඉවසන්ටම බැරිනම් එව්වගෙ ආතල් කෑලි විචිත්‍ර ලෙස විස්තර කරන ( Graphically described ) වෙබ් සයිට් හත අටක ලින්ක් දෙන්නද?
නරි,
Deleteමම මේ කතාව මෙහෙම දිගටම පරිවර්තනය කරන්ට හිතාගෙන හිටියෙ නෑ. මුලම දාපු කොටසයි තව එක කොටසකුයි දාල අත පිහිද ගන්ට හිටියෙ. ඒකයි ඒ පූර්විකා තොමෝ අත ඇරල දැම්මෙ...:)
දැන් නම් හිතෙනව මේකෙන් ටෙලියක් කරන්න.
ReplyDeleteඅගේ අැති දර්ශන තලයි, කොමඩි කෑලියිත් මැවෙනව.
ඊ ලඟ එක ඉක්මනිනම පල කරන්න ලැබේවා.
ජයවේ
තෙලිදිය,
Deleteඅන්න වැඩේ කරමු කරමු...අනන්‍යාගෙ තාත්තට ඉන්නෙ ඔන්න මම…. නොකිව්වයි කියන්න එපා හොඳද?
රවිගේ පරිවර්ථන කියවීමෙන් ඇතිවූ උනන්දුවෙන් පසු සොයා බැලීමෙන් දැනගත්තා මේ කථාව කතෘ චේටන් බගට් සහ අනූෂා සූර්යනාරායන් කියන දෙන්නගේ කථාව කියලා. මේ දෙන්නගේ ෆොටෝස් නෙට් එකේ තියෙනවා. මෙම කථාව 2 States නමින් බොලිවුඩ් චිත්‍රපටියක් 2014 දී නිකුත්වෙලා තියෙනවා. ඒකෙ රඟපාල තියෙන්නේ ආලියා භාට් සහ අර්ජුන් කපූර්.
ReplyDeleteඉයන්,
Deleteකතාව පරිවර්තනය කරන්ට පටන් ගන්ට ඉස්සර මම ඒ විස්තර හොයල බැලුව ඉයන්, මේ පෝස්ට් එකේ මම දාල තියෙන්නෙත් චිත්‍රපටයෙ අනන්‍යාගෙ භූමිකාව රඟන ආලියා භාට්ගෙ ෆොටෝ එකක්.
//" ම්ම්ම්..මෙහෙමයි. එදිනෙදා ජීවිතය ගැන සැහැල්ලුවෙන් ලියන කෙනෙක්, ඒත් ඒ යටින් යම් ගැඹුරකුත් තියෙන්නෙ ඕන.// ක්‍රිෂ් ව රවී අයියට තදටම දැනෙනවා නේද?
ReplyDeleteහ්ම්ම්.. වැඩිය හොඳ කියන්න යන්නේ නෑ.. එකක් ෂුවර්. චේටන් බගට් ට සිංහල කියවන්න පුළුවන් උනානම් අයි ලොවෙත් අකුරක් නෑර කියවනවා..
කොටස් තුනම බැලුවේ එක දිගට.. මේක ලියන එක පරක්කු කරෝත්නම් කිසිම සමාවක් නෑ..
කළ්‍යාණ,
Delete/ ක්‍රිෂ් ව රවී අයියට තදටම දැනෙනවා නේද? /
Aye, aye Captain...
තෑන්ක්යූ සෝ මච් මලේ...:)
ලෙසටම අයියෙ ලෙසටම... මම කඩ්ඩ පොත කියවලා නෑ.ඒ නිසා මේක හොඳට නැවුම් ව දැනෙනවා...
ReplyDeleteජයවේවා..!!
Thanks Gus Labs...:)
Deleteඅම්මා එක්ක කතා කලාට පස්සේ මං කෝල් එක කට් කරන්නෙත් කොල්ලා වගේ.. අපේ අම්මට සද්ද නොකර ෆෝන් එක කනේ තියන් ඉන්න බෑ කෙල්ලගේ අම්මට වගේ.. කොල්ලා එදා අනිවා එළිවෙනකල් නිදි නෑ.. පව් අසරණයා.
ReplyDeleteඔමා,
Delete/ කොල්ලා එදා අනිවා එළිවෙනකල් නිදි නෑ.. පව් අසරණයා. /
උඹට වගෙ අසනීපයක් නෑ බොල ක්‍රිෂ්ට....:)
හරි බලමුකෝ ඉස්සරහට :((
Deletehttp://nelumyaya.com/?p=4277
ReplyDeleteThanks Ajith...:)
Deleteතව ටිකක් කැම්පස් ලයිප් එක ගැන කල්පනා කරානං තව අගේ ඇති වචන සැට් එකක් දාගනන් තිබුනා. ජය වේවා.. කාලෙකින් මම එක දිගටම කියවන්න ගත්තා උඹගේ අටමගලේ.. ශිර්සපාඨ අසාත්මිකතාවයක් නැතිව.. හැක්
ReplyDeleteබබී ඔයා ගත්ත පොත කියෝලා ඉවරද :D
Deleteඔමා,
Deleteඋඹටත් මේ දේශා කියන මුසාවාද ඔක්කොම ඇත්ත. අනෙ මෙහ්..ඕකයි මායි ගන්න පොත්..:)
කියවල ඉවරයි.. මම ටක්කෙටම හිතුවා මේ ලමයා ඔබරි පාලා පොත ඉල්ලාවි කියලා. ඉතිං මං ඒක විසික් කලා හිටං.. නැ ඔව් ඉදගෙන.. හැක්
Deleteඅම්බානක් වැඩ නිසා නිදහසේ කියවන්න බැරි වුණා. ඔක්කොම ටික මුල ඉඳන් පිළිවෙලට කියවන ගමන්..
ReplyDelete