Friday, September 4, 2015

344. විමලෙගෙ වාංපතුල් කතා - 35 - පිවිතුරු සිතින් එනු මැන ළඳේ......


Google Images

" අසෝකා නංගි.." මම හෙමිහිට කිව්වෙ ඔලුව උස්සන්නෙ නැතුවම..

" ම්ම්ම්ම්..ඇයි? …………." මගෙ ස්වරයෙ වෙනසක් තේරිලද කොහෙද එයත් ඇහෙන නෑහෙන ගානට ඇහුව. 

" මම මේ කිව්වෙ මේ පෙට්ටගම ගැන මම කැමතියි ඒක මට තෑග්ගක් විදිහට ලැබෙනවනම්.."

මම බොහොම අමාරුවෙන් කියල දැම්ම. වෙන රටේ නැති බහුබූත ගැන කටකමසෙයියාවක් නැතුව දෙඩෙව්වට ඔය වගෙ ඕනම කියන වෙලාවල් වලදි මට මුඛ පූට්ටු බන්ධනය මැතිරුව වගෙ වෙනව. 

" ම්ම්ම්..පෙට්ටගම ගැනනං නැන්දම්මගෙං අහන්ට වෙයි.පෙට්ටගමත් එක්ක තව මොකවත් ඕනනං අපෙ අප්පච්චිගෙං අහන්ට වෙයි…"

ඈයි මායි දෙන්නම ඔලුව පාත්කරගෙන උන්නත් ඈ හිනාව ගිලගන්ට උත්සාහ කරමින් එහෙම කිව්ව බව මට ඒ ස්වරයෙන්ම තේරුණා.

" හරි මම ඔයාලගෙ අප්පච්චිගෙං අහන්නංකො……………." මම ඔලුව උස්සල අසෝකගෙ ඇස් දෙක දිහා බලල හිනාවුනා.

ඊට පස්සෙ අපි දෙන්න වැඩි කතා බහක් නැතුව කොස් ව්‍යාපෘතිය කරගෙන ගියා. ඒ කිව්වෙ මම කොසේ ඉරි එහෙම අයින් කරල මදුළු ගලවල අසෝක ගාව තිබ්බ වට්ටියට දානව. ඒ ළමය එව්ව අරගෙන උඩුබැලි අතර හරවල මිට එක පයකින් පාගගෙන උන්නු කැත්තෙන් ඉස්සෙල්ල දෙකට කපනව. හිවිඩ්ඩ පිටිම්ම කොස් ඇටේ දානව ටිකක් එහායින් තිබ්බ පොඩි බේසමකට. කොස් ඇටේ අයින් කරපු මදුල කිසිකිසි ගාල කැත්තෙම්ම කපල වතුර කොරහකට වැටෙනව. 

කොස් මදුලු සුද්ද කරන අතරෙ මම හෙමිහිට ඔලුව උස්සල බැලුව මොකද මේ යෝදිගෙ ඉරියව් කියල. ම්හ්ම්...මොකවත් නෑ දැනගන්ට. ගල් ඉබ්බි වගෙ ඔහෙ වගේ වගක් නැතුව කොස් කැපිල්ල කරගෙන යනව.

" කොස් ඇට වලට මොකෝ කරන්නෙ? " මම බිම බලාගෙනව ඇහුව. 

" ආ...එව්වත් සුද්ද කරල ගන්ට ඕන. කොස් කැපිල්ල ඉවර වෙලා බැරියැ ඒ වැඩේ…." 

" හ්ම්ම් ...හොඳයි.." ආයම නිශ්ශබ්දව විනාඩි තුන හතරක් වගෙ ගතවුනා වෙන්ඩැ.

" අලි එහෙමත් ඉන්නවද දන්නෙ නෑ මේ ගොල්ලොන්ට.." මම හෙමිහිට මටම කියාගත්ත. ම්හු..නෑ සද්දයක් බද්දයක්...ඔබ ඇමතූ දුරකථන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න. ආයෙම මම යන්තමට ඔලුව උස්සල බලනකොට මෙන්න මේ යෝදි තොල් හපාගෙන ඉන්නව.

" අර සරෝජිනීලගෙ නම් අලි දෙන්නෙක්ද කොහෙද ඉන්නවලු." ප්‍රතිචාරය තවත් තදින් තොල් සපාගැනීම උනත් මම ඔහෙ දිගටම කතාකරගෙන ගියා කොස් මදුලු සුද්ද කරල වට්ටියට දාන අතරෙ.

" ඔව්..සරෝජිනීලට අලි දෙන්නෙක් ඉන්නවය කියල මට කිව්වෙ ඒ ගොල්ලන්ගෙ අම්මමනෙ. ඉතින් කොහොමත් බොරුවක් වෙන්න බෑ. මොකක්ද ඒ නැන්දම්මගෙ නම ? ආ...ආ..මේ..මේ..සුරවීර ...හරි හරි සුරවීර තමයි.මිසිස් සුරවීර...අන්න නියම සිහල කුල කතුන්. දැක්කත් බඩ පිරෙනව...තේජස..පුහ්...මට එක අලියෙක් ගන්ටම ගන්ට දෙන්ට පොරොන්දුත් වුනා.. හප්පා බලන්ට එපාය බොහොම අපූරු කඩවසම් අලිය. අලිය කිව්වට ඇත්තටම නම් ඇතෙක්. නුවර පෙරහැරේ කරඬුව ගෙනියන ඇතාවත් නෑ එච්චර ගාම්බීර කමක්. දළ දෙක දිගයි ඔහොම මෙහෙම."  මම අයිනක තිබ්බ අර පෙට්ටගම දිහාට අත දික්කරල කිව්ව. 

" ඔව්... සරෝජිනී ඔය ඕෆ් වෙලා එහෙම ගෙදර ගිහාම දළ දෙකේ එල්ලිල ඔංචිලි පදිනවලු. " 

" හිහ්..හිහ්..නුහුගුණේද කොහෙද?..." අසෝකා හිනාව තද කරගෙන කියනව මට ඇහුන.

නෑහුනා වගෙ මම තනියම කියවගෙන ගියා කොස් මදුලු සුද්ද කරන ගමන්.අර අම්මණ්ඩිගෙන් කිසිම සද්දයක් බද්දයක් එහෙම නෑ ඒ පාර. මම ඒ දිහා බැලුවෙත් නෑ. " මට දෙන ඇතාගෙ පිට හරහට මයෙ නමත් ගහලමය කිව්ව දෙන්නෙ. ඇතා බලාගන්ට රස්සාවෙන් අස්වෙන්ට වෙන හින්ද මම දෙගිඩියාවෙන් හිටියෙ. අජිතයගෙන් ඇහුව මචං උඹට බැරිද රස්සාවෙන් අස්වෙලා ඇතාගෙ පහිණිපත් කරන්ට, සෑහෙන ගාණකුත් මම ගෙවන්නම්ය උඹට පාඩු නොවෙන්ට කියල.කොහෙද ගත් කටටම අම්ම මතක් කරල මට බැණපි ඒකා. ඔන්න අපේ යාලුවො. " 

කොස් කපන කොට එන කිරිස් කිරිස් සද්දෙ නැවතිල කියල මට තේරුණෙ ඔන්න ඔය වෙලාවෙ. මදුලු සුද්ද කරන්ට අතට ගත්තු කොස් වහල්ල එහෙම්ම ආපහු වට්ටියටම දාල මම ඔලුව උස්සල බැලුව. අසෝකා කොස් කැපිල්ල නවත්තල ඇස් දෙකත් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව. තොල හපා ගත්තු එකත් එහෙමමයි.

" මොකද හලෝ? …" මම ඇහුවා.

" මොකද තමයි..මට මේ වැඩේ හිත එකලාසයක් ඇතුව කරගන්ට දෙනවද නැද්ද? "

" ඈ?.... ඇයි දෙයියෝ සාක්කි..මාර කෙළියක් නෙව මේක...මොකක්ද මම දැන් කරපු වැරැද්ද? "

" වැරැද්ද? වරැද්ද තමයි මට මේ වැඩේ කරගන්ට නොදෙන එක. තව පොඩ්ඩෙන් ඇඟිල්ලක් වෙන් වෙලාම යනව. " 

" අනේ ඉතින් මම මොකක් කරන්නද ඔයාගෙ නොසැලකිල්ලට ?. ඔය මන්න, කැති, පිහි පාවිච්චි කරනකොට පරීස්සම් වෙන්ට එපාය. අනික මම ඔය නිකම් ඉන්න ගමන් එක එක එව්ව කියවනව. ඒක මගෙ පුරුද්දක්. අපෙ ගෙදර ඔක්කොමලට ඔය පුරුද්ද තියෙනව."

" හිහ්..බලන්ට වටින වැඩේ ඒකනං.....ගෙදර ඔක්කොමල තැන් තැන් වලට වෙලා තනියම කියවන එක... "

" හෙහ්..අන්න හරි යමු වෙලාවක...මේ ඒක නෙවෙයි මේ වැඩේ අද ඉවරයක් කරන්නෙ නැද්ද? ඔන්න තව ටිකකින් සුජිත අක්කත් එයි මේ පැත්තට කොස් කැපිල්ල ඉවරදැයි අහගෙන."

" හරි එහෙනම් ආයම බූත කියවන්නෙ නැතුව ඔය වැඩේ කරන්ටකො…" අසෝකා ආයම කොස් කැපිල්ල පටන් ගත්ත.

" ඕකේ මැඩම්……" මමත් එහෙම කියල ආයම රාජකාරිය පටන් ගත්ත..ඔහොම විනාඩි පහක් තරම නිස්සද්දව වැඩේ කෙරීගෙන ගියාය කියමුකො.

" මේ අයියෙ....." අසෝකා ඔලුව උස්සන්නෙ නැතුවම ඇහුව.

" ඔය ඉතින්?... දැන් මමද වැඩේට බාදා කරන්නෙ? " 

" හරි... හරි... සොරි…" ඈ එහෙම කියල සුරතින් කටත් වහගත්ත.

" ආ..කමක් නෑ...එහෙනම් අහන්ට ගිය එක අහලම ඉන්ටකො...."

" මම මේ අහන්ට ගියේ…" අසෝකා එහෙම කියල ඔලුව උස්සල බැලුව..

" ඔව් මොකද්ද?......." 

" අර සරෝජිනීලගෙ අම්ම අලියෙක් දෙනව කියලත් අයිය අකමැති වුනේ මොකද කියල…" ඈ අහක බලාගත්ත. 

අසෝකා අහන්ට ගියේ නම් ඒක නෙවෙයි කියල මට සහසුද්දෙන්ම තේරුණා. පස්සෙ ලැජ්ජ හිතිල හරි මොකක් හරි අලි ගැන කතාව ඇදල ගත්ත කියලත් පැහැදිලියි. ඒත් මම ඒ පස්සෙ පැන්නුවෙ නෑ..

" ආ..ඒකද මේ? ඒක මේකයි මැඩම්..මට කිතුල් ඇලර්ජික්. කිතුල් කොළවල තියෙන අර බූව වගේ එක නහයට ගිහාම මට පණ යනකල් කිඹුහුං යනව. ඒකයි මම අලිත් එපා සරෝත් එපා කියල හෙමිහිට මාරු වෙලා ආවෙ…" 

" හිහ් හිහ් හිහ්..ඒකත් එහෙමයි එහෙනං ඈ...." අසෝකා කොස් කපන ගමන්ම මා දිහා බලල හිනාවුනා.

කොස් කැපිල්ල ගැන ඊට පස්සෙන් පහු කියන්ට දෙයක් නෑ. ඒ වැඩේ ඉවරයි.

එදා රෑත් සුපුරුදු පරිදි අජිතයයි මායි මිදුලෙ කෙළවරක ගහල තිබ්බ තාවකාලික මඩුවෙ මුල්ලකට වෙලා පොඩි ආතල් එකක් ගත්ත. හෙට මඟුල් ගෙදරට එන අමුත්තන්ට වාඩි වෙලා ඉන්ට කියල ඒ මඩුව ගැහුවෙ අජිතයලගෙ ගමේ අන්‍යෝන්‍යාධාර  සමිතියෙන්.

" උඹ මල්ලි අද හොරටනෙ ගහන්නෙ? මොකෝ? බයිට් මදිද? " අජිතය එහෙම ඇහුව. 

එදා බයිට් එකට තිබ්බෙ පපඩං. සැවුල් තෙමේ තාම උයන්ට පටං අරං නෑ. ගේ පිටිපස්සෙ ඒකටම හදපු මඩුවෙ මේ වෙනකොට ඒ වැඩේට ගජරාමෙට ලෑස්ති වෙනව. රෑ එකොළහ දොළහ වෙනකොට තමයි පහුවදා තියන මඟුල් ගෙදරට උයන්ට ලෑස්ති වෙන්නෙ. කේටරිං සර්විස් ඒ වෙනකොට නුවර එහෙම තිබ්බට ගම්බදට වෙන්ට එච්චරම ජනප්‍රිය නෑ. 

" ඒක හරි නෑනෙ දරුවො. තමන්ම බත් කටක් උයල දෙන්ට එපාය නෑදෑ සනුහරේට..." අත්තම්මලගෙ වයසෙ කට්ටිය එහෙම තමයි කිව්වෙ. ඒත් ඒ වෙනකොටත් ඇත්තටම බහුතරයක් මඟුල් ගෙවල් වල ඉවුම් පිහුම් කලේ පිටින් කෝකියො ගෙනල්ල. විශේෂයෙන්ම අජිතයගෙ අක්කගෙ වගෙ නෑදෑ හිතවත්තු තුන් හාරසීයක් බලාපොරොත්තු වෙන මඟුල්වල. නැත්තං ගෙදර මිනිස්සුයි අහල පහල ඉන්න නෑදෑයොයි ඔය සුමේ කොහොම නම් කොරන්ටද?

" පිස්සුද බං? ආය අහවල් බයිට්...කඩල ඇට දෙකක් කාල අපි කොච්චර නම් මේ වැඩේ කරල තියනවද? " 

" හරි එහෙනං ඉතිං මොකද කේස් එක? " 

" උඹට මචං පොඩි කාරණයක් කියන්ට තියනව. මේ...මේ..මේ....අසෝකා නංගි ගැන ………….." අජිතය මගෙ බොක්කෙම යාලුව වුනත් උගෙ මූණ බලාගෙන එහෙම කියන්ට අමාරු ගතියක් මට දැනුන.

අජිතය ඒක අහල ටික වෙලාවක් සද්ද නැතුව හිටිය. " මොකද බං? මොකද උඹ කියන්නෙ? " මම ඇහුවෙ බැරිම තැන.....

" මචං උඹ මගෙ එදා ඉඳලම අතිජාත මිත්‍රය ……" 

" අජිත් අයියේ..අජිත් අයියේ...ලොකු නැන්දම්ම කතා කරනෝ......" මඟුල ගෙදරට ඇවිල්ල ඉන්න හැටහුටහමාරක් අජිතයගෙ පවුලෙ පොඩි එවුංගෙං එකෙක් මිදුලට බැහැල මඩුව පැත්තට හැරිල කෑගහල ආයම හැරිල ගෙට දිව්ව. 

" මචං අම්ම කතා කරනව... මම බලල එන්නං " අජිතය නැඟිටල මඩුවෙං එළියට බැස්ස. 

මදැයි...මේ මහ සමුදුරෙහි මෙවුන් දමෙහි යෙදෙන්නා කිසි දෙයක් කිව්වෙ නෑනෙ. යකෝ මම හිතුවෙ අනේ බං කිසි ප්‍රශ්නයක් නෑ. මම කැමතියි කියල මාව ඉඹල ...අජිතය ඔය ඩෝප් වැඩිවුනාම අහල පහල ඉන්න එවුං ඔක්කොම අල්ලල ඉඹින්ට ගන්නව. හප්පා..ඩෝප් මරගාතෙ ඕකා ඉම්බහම මූණ පුරහම කෙළ වකාරයයි. ආය මූණ හෝදන්ට වෙනව ඒ වෙලාවෙම. 

මම ඒ කාලෙ පාටි වාත වෙනකොට කරන්නෙ " ඒයි අජිත් අනේ ඉඹින්ට නම් එපා බං..අනේ ඔය..නිකං ඉඳහංකො " කියල කාටත් ඇහෙන්ට කෑගහන එක. අම්මට උඩු නයා! ආය මොනවද බොල් වී අහුරු මඳසුලඟේ ගියසේම තමයි පාටි කාරයො පස්ස නොබල දුවන්නෙ. ඉතිං අජිතයගෙ ඔය සීන් එක දන්න හින්දම මම කෝකටත් වතුර බාල්දියකුත් කලිම්ම ගෙනල්ල මඩුවෙ පිටිපස්සෙ තියලයි වැඩේට බැස්සෙ.....සික්...මදැයි මූ මලබද්ධය හැදිච්ච මූකලං බස්සෙක් වගෙ බලා ඉඳල ගෙට යන්ට ගියානෙ...අම්මපල්ල මේ වෙලාවට තමයි...

මම ඒකපාත්‍ර භාෂණයෙහි යෙදෙමින් කට්ට කපල ෂොට් එකක් දාගත්ත. පපඩං කෑල්ලකුත් හැපුව...කරුස් කුරුස්

ඔහොම විනාඩි පහළවක් වගෙ ගියා. අඹ ගහේ කොල සර සර ගෑවිල්ලෙ හීතල හුළඟකුත් හමාගෙන ආව. සැරින් සැරේ මම කර පොවල බැලුව මිදුල දිහාවෙ මේ හෝතඹුව එනවද කියල..හුහ්..ඔහෙ නෑ...තව එකක් දාගන්ටත් හිතයි..ඒත්..ඒත්...ආය කෙහෙල්මලක්...කට්ට කපල තව එකක් දාගත්ත.දැන් නම් හිතට පොඩ්ඩක් ගටක් ආව ඔන්න..බලලු ආයම මේ උඩුම්බූරුව කොහෙද ගියේ කියල.නැඟිටල මඩුවෙං එළියට බහිනකොටම මෙන්න මේකා බැහැපි මිදුලට. මම ආයම දනි පනිගාල මඩුවට රිංගල ඉඳගත්ත.

ඉඳගන්ට තිබ්බෙ අර පස්ස තියන්ට ලෑලි කෑල්ලයි, පිට හේත්තු කරන්ට ලෑලි කෑල්ලයි, ලෑලි කෑලි දෙහෙකට යකඩ කම්බි රාමුවක් ගහල හදපු ඉස්කෝල වල තියන පුටු. අන්‍යෝන්‍යාධාර සමිතියෙන් ඒ කිට්ටුව තියන ඉස්කෝලෙන් පුටු ඉල්ලගන්නව ඔය වගෙ ඕන උනහම. ඔය පුටුවල යකඩ කකුල් නිසා වැළි පොළවෙ ගිලා බහිනව. මම ඉඳගෙන හිටපු පුටුවත් ඇදවෙලා රුයිතෙට තිබ්බෙ. කකුලෙම්ම වැලි එහා මෙහා කරල පොළව මහී කාන්තාව ටිකක් ලෙවල් කරල පුටුව පට්ටල වෙන්ට තියල ආයම මම ඉඳ ගත්ත.

" සොරි මචං අම්ම දන්නෙ නැද්ද? දැං තමයි පොල් මල් මතක් වෙලා තියෙන්නෙ."

" පොල් මල්? ඒ මොකටද? "

" ඇයි බං අර පෝරුව දෙපැත්තෙ තියන්නෙ අළුත් මුට්ටි දෙකක දාල…"

" ආ...හරි..හරි...මට මතකයි..මට මතකයි..ඉතිං මොකෝ පොල් මල් සීන් එකට කලේ? "

" ආ..ඒක හරි උඩහ වත්තෙං කපාගෙන එන්ට අර ගෝලයෙක් පිටත් කලා. රයිට් වරෙං එහෙනං නවත්තපු තැන ඉඳල පටං ගමු. " අජිතය මගෙ ඉස්සරහ පුටු පුංචෙ ඉඳගත්ත.

" මෙව්ව බැලන්ස් නෑනෙ..සික්…" ආයම නැඟිටල පුටුව පොළවට තද කලා වැල්ලෙ ගිලා බැහැල සමතුලිත වෙනකල්.

" උඹ කිව්වෙ අසෝකා ගැන නේද? මචං අසෝකා කියන්නෙ මගෙම නංගි වගෙ. මට නංගි කෙනෙක් නැති අඩුව පිරෙව්වෙ අසෝකා. ඒ කෙල්ල මට පණ ඇරල. මාත් එහෙමයි. ඒ හින්ද මචං උඹ මගෙ හොඳම යාලුව තමයි..ඒත් ඇත්ත කියන්ට එපැයි. "

මොකක්? මොකක්ද මේ කුළුමීම ඒ පාර කියන්ට දත කන්නෙ? මම දාගත්තු ෂොට් එක උගුරට හලාගෙන වීදුරුව ආපහු කනප්පුව උඩ තිබ්බ.මඩුවෙ වහලෙ එල්ලල තිබ්බ පෙට්‍රෝමැක්ස් එළියට ගිණිකණ වැටිච්චි පොල් කුරුමිණියෙක් දෙතුන් පාරක් වහළෙ හැප්පිල මගෙ කකුල් දෙක ගාවම උඩුකුරුඤ්ඤං වෙලා වැටිල කකුල් හොල්ල හොල්ල හිටිය. කුරුමිණියො වගෙ සත්තුංගෙ කකුල් වලට කියන්නෙ කකුල් කියල නෙවෙයි. වෙන මොකක්දෝ නමක්,

මොකක්ද?...... මොකක්ද? ...ෂෙක්... මට දැං මතක නැති හැටියක්. ඉස්කෝලෙ යන කාලෙ අපිට සත්ව විද්‍යාව උගන්නපු කුලවංශ සර් කොහොමද කිව්වෙ? " සන්ධිපාදිකයින්ගේ සංචලන වයවයන් හැඳින්වෙනුයේ ...........නමිනි. " ම්හු .. ඒ නම මතකයට එන්නෙම නෑ. හරි ඒකෙ අවුලක් නෑ..සමහර දේවල් එහෙම තමයි ඕන වෙලාවට කොච්චර මතක් කලත් මතක් වෙන්නෙම නෑ. පස්සෙ ඒ ගැන තුන් හිතකින්වත් නොහිතන වෙලාවට ඔන්න එස් එම් එස් එකක් ආව වගෙ හිතට එනව එක පාරටම.

පව්...කුරුමිණියා...එළිය දැකල ආවට ඌ හීනෙකින්වත් හිතන්ට නැතුව ඇති වහළෙ වැදිල මෙහෙම උඩුබැල්ලෙං වැටෙයි කියල. ඒ ලඟම බිම තිබ්බ රීප්ප කෑල්ලක් අහුලල මම කුරුමිණියව ආපහු පෙරලන්න හැදුව. 

" මොකද උඹ කතා නැත්තෙ? " අජිතය ඇහුව.

" නෑ බං.. උඹ කියල ඉවර වෙනකල් මම මේ ඉන්නෙ. "

යකෝ මේ කාලකන්නි කුරුමිණිය රීප්ප කෑල්ල බදාගෙන ඉන්නව මිසක අනික් පැත්ත හැරෙන්ට ඌට කිසිම උවමනාවක් නෑ වගේනෙ. 

" අසෝක නංගිට අපෙ පවුලෙ ඔක්කොමල හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳල හැදුනෙ අපිත් එක්කමයි…"

මේ උඹට අනික් පැත්ත හැරිල ඉගිලිල යන්ට උවමනාවක් නැත්තං ඔහොම්මම ඉඳහං ඇයි යකෝ මොන මඟුලක්ද මේ? මම මොකටද මේ හැටි වද වෙන්නෙ? උඹට ඕන නැත්තං මටත් ඕන නෑ. එහෙම හිතල මම වැඩේ අල්ලල දානට හදන කොටම කුරුමිණියා ආපහු නියම විදිහට පෙරලුනා. එහෙම්මම තත්පර තිහක් වගෙ වෙලාවක් ඉඳල එක පාරටම පියාඹලා ගියා. මේ පාර පෙට්‍රෝමැක්ස් ලාම්පුව දිහාට නෙවෙයි මඩුවෙං පිටවෙලා මිදුලෙ අඹ ගහ දිහාවට.

මම කනප්පුව උඩ තියපු වීදුරුව අතට ගත්ත.

" මචං මම මේ උඹට කියන්ට ආවෙ……" අජිතය හෙමිහිට වීදුරුව පුරව ගත්ත.

දෙයියම්පල්ල..මේ යක්සය කියන මංගල්ලයක් කෙලින් කියන්නෙ නැතුව කෙකර ගාන කොට තමයි මට.....තව සුට්ටක් විතර වැදිල හිටියනං එහෙම ආය දෙකක්  නෑ මිරිකන එකත් මිරිකනව මුගෙ බෙල්ලම අතිජාත මිත්‍ර සන්ථවය දෙපිටිං යන්ට.

" චියර්ස්….." අජිතය වීදුරුව උඩට ඉස්සුවා.

හිස් වීදුරුවෙං චියර්ස් කියන සිරිතක් ඇත? " ඉඳපං පොඩ්ඩක්….." මම ආයම එකක් දාගත්ත. වීදුරුව ඉස්සුව…." චියර්ස්... "

අජිතය ෂොට් එක ගසල දාල නැඟිට්ට." මචං මම කැමතියි බං මම කැමතියි....." අජිතය මාව බදාගෙන ඉඹින්ට ගත්ත. අජිතයගෙ සහෝදරත්වයේ, සහෘදත්වයේ උණුසුම මට වෙන කවදාටත් වඩා දැනුනෙ ඒ මොහොතෙ.

" හරි මචං උඹ කිසි දේකට බය වෙන්ට එපා. හෙට මංගල්ලෙන් පස්සෙ මම මේ ගැන කියන්නං මාමටයි නැන්දම්මටයි. එයාලට අකමැති වෙන්ට හේතුවක් නෑ.අනික මම කියන දේකට එයාල බෑ කියන්නෙ නෑ. ආ..ඒක නෙවෙයි..අසෝකා උඹට කැමතිද? "

" ඔව්……" මම බිම බලාගෙන කිව්ව..

" හෙහ්, එහෙනං එච්චරයි..ඔන්න බලාපං මල්ලි හෙට උඹේ ජීවිතේ මෙතෙක් කාලෙකට ලස්සනම දවස…"

මඩුවෙන් එළියෙ ගණ අඳුරෙ ඉඳල හූනෙක් ඇඬුවෙනම් නෑ වෙන්ට ඇති ඒ වෙලාවෙ. ඒත් පස්සෙන් පහු සිය දහස් වාරයක් ඒ මොහොත මතක් වෙන හැම වෙලාවෙම අජිතයගෙ ඒ වචනත් එක්කම පසුබිමින් චික් චික් චික් ගාල හූණෙක් අඬනව මට ඇහෙනව ඇහෙනව වාගෙ දැනෙනව. බොහෝවිට ප්‍රත්‍යාවලෝකනයෙදි හිත් හෝදිසියට වෙන්ට ඇති.

පිවිතුරු සිතින් එනු මැන ළඳේ
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්...

ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී...//
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී...

තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ...//
මනසින් ලබන්න හැකි සුවේ 
අප ලං වුණොත් දුරස් වෙතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න


63 comments:

  1. මම අහන්නේ මේ වගෙ අපොයින්ට් එකකට අපිව ගෙනත් ඕක නතර කරනවද බ්‍රේක් ගැහුවා වගේ බැරිවෙලාවත් හදවතක් හෙම තිබුනා නම් කෑලිත් නෑ අපිට. ;)

    කෝ දැන් ඔය අශෝකාවෝ?

    ReplyDelete
    Replies
    1. රංගි,

      හෙහ්..හොඳ වෙලාවට හදවතක් නොතිබ්බෙ ...නැද්ද?

      ඒ ළමයත් ඔය කොහේ හරි ඇති බං මේ ඉර හඳ යට...:)

      Delete
  2. adoooooowu baaavanawa umbawa.......hetama daaapan.... naaa adama daapan ithuru tika ....hariya

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      යකෝ බෑව්වම කොහොමද ඉතුරු කොටස ලියන්නෙ?..:)

      Delete
  3. /මහ සමුදුරෙහි මෙවුන් දමෙහි යෙදෙන්නා/

    මේක පට්ට වචනෙ. මීට සමාන එකක් අපේ පැත්තෙ භාවිතා වෙනව. “යෝනක මෙවුන් දමෙහි යෙදෙන්නා“ හෙවත් “පාර සාමුද්‍රික සංසර්ගිකයා“

    /උඩුම්බූරුව/ මේ මොන විදිහෙ සතෙක්ද රවි?

    /සන්ධිපාදිකයින්ගේ සංචලන අවයවයන්/

    මං මේක ගැන දෙයියංගෙං ඇහුවම මේං දෙන උත්තරේ....

    /ඔබගේ සෙවීම - සන්ධිපාදිකයින්ගේ සංචලන අවයවයන් - කිසිදු ලිපික් සමග ගැලපේන්නේ නැත./

    මාර කතාව රවි... හිත කීරි ගැහිලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      උඩුම්බූරුව කියන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ පාවිච්චි කරපු උග්‍ර අපහාසාත්මක වචනයක්...:)

      සන්ධිපාදිකයො කියන්නෙ ආත්‍රොපෝඩා වංශයෙ සත්තු..

      හිත කීරි ගැහිල ගියා ?????....හෙහ්,හෙහ්

      Delete
  4. තුහ් නොදකින් ගල් මුසලයා...
    නොකිය බැරි කමටමයි මේකනම් කිව්වේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      සන්සුන් වන්න, පිංවත.... සංසුං වන්න, කරුණාකර දෑස සෙමෙන් පියාගන්න. දැන්...සෙමෙන් හුස්ම ඉහලට ගන්න. වකුගඩු පුරා පිරිසිදු වාතයෙන් පුරවා ගන්න. හෙමිහිට...හෙමිහිට..හෙමිහිට..ඔව් ...දැන් හරි..දැන් වකුගඩු පුරා ඉහලට ගත් හුස්ම හැකිතරම් වේලා රඳවාගෙන සිටින්න..තව ටිකක්..ඔව්..තව ටිකක්..හොඳයි...ඉතාම හොඳා..ආ..ආ..ආ.යි. දැන් හුස්ම සෙමෙන් පිට කරන්න..හැකිතරම් කල් වේලා ගන්න..හැකි තරම්..පිංවත හැකිතරම්...අන්න දැන් ඔබට ඉමහත් පහසුවක් දැනේවි.. එසේ දැනෙනවා නොවේද..ලොකු පුතා නම්වූ පිංවත? එසේ දැනෙනවා නොවේද?..., එසේ නොදැනෙන්නේනම් එසේ දැනෙන තුරු යලි යලිත් එසේ කරන්න..ඔබට නාථ දෙවිසමිඳුන්ගේ පිහිටයි! ආරක්ෂාවයි!!

      Delete
    2. Hitahan unicode labenakal...
      Wakugadu deka galawala athata deelath husma aragena pennanna bolaata...

      Delete
    3. ///වකුගඩු පුරා පිරිසිදු වාතයෙන් පුරවා ගන්න. ///
      හුස්ම ගන්න එකත් වකගඩු දෙකෙන්ම කරගන්න පුළුවන් එකේ මම බැලුවේ පෙනහළු දෙක කාටහරි දන් දෙන්න කියලා...
      හැබැයි ඊට කළින් ඒ ක්‍රමය මට කියල දීපන් අයියේ.

      එහෙම හුස්ම ගන්න ක්‍රමවේදය හොයල දුන්නේ නාථ දෙයියෝ වෙන්න ඕනේ...
      වෙන පුතයෙකුට එහෙම දෙයක් කරන්න බැහැ, බලාගෙන යනකොට රවී අයියටත් උන්නාන්සේ සුළුපටු උපකාර නෙමෙයිනේ කරන්නේ...
      අනේ වාසනාවන්. හෙහ් හෙහ්...

      Delete
  5. දෙකක් දාල හිටියනං එහෙම ආය දෙකක් නෑ මිරිකන එකත් මිරිකනව මුගෙ බෙල්ලම අතිජාත බ්ලොග් මිත්ර සන්ථවය දෙපිටිං යන්ට මේ තවත්තල තියෙන හැටියට.

    ඉතිං කොස් ටික උයාගන්න හම්බඋනේ නැත්තෙ මොකෝ කියල කියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කොස් ඉව්ව බං මොකෝ නො ඉව්වෙ? ඉව්ව...ඉව්ව..:)

      Delete
  6. Replies
    1. Alaya,

      හෙහ්..මොකොයි?

      Delete
  7. //අසෝකා අහන්ට ගියේ නම් ඒක නෙවෙයි කියල මට සහසුද්දෙන්ම තේරුණා. පස්සෙ ලැජ්ජ හිතිල හරි මොකක් හරි අලි ගැන කතාව ඇදල ගත්ත කියලත් පැහැදිලියි. ඒත් මම ඒ පස්සෙ පැන්නුවෙ නෑ..//
    මන් නම් දන්නවා මොනවද අසෝක ගියේ ....අය්යේ මූනේ ඇලුන කොහොල්ලේ කොහොමද යවන්නේ කියල...(හේතුව : හරි... හරි... සොරි…" ඈ එහෙම කියල සුරතින් කටත් වහගත්ත)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      අසෝකගෙ අතේ කොහොල්ලෑ ගෑවෙන්නෙ කොහොමද බොල? මම කොස් මදුරු සුද්ද කරලනෙ ඒ අම්මණ්ඩිට දෙන්නෙ. කොස් මදුළුවල ආය කොහෙන්ද කොහොල්ලෑ?

      Delete
  8. මම මේ ඇලර්ජික් ලිස්ට් එකක් හද හද හිටියේ

    උඹට අනුව මට
    ක්‍රිකට්
    දේශපාලනය
    .. LIST LOADING. PLEASE WAIT

    ඇලර්ජික්.

    වෙනියට අනුව මට
    මුහුද
    .. LIST LOADING. PLEASE WAIT

    ඇලර්ජික්.

    මට හිතෙන හැටියට උඹට

    මහින්ද රාජපක්ෂ
    කිතුල්
    ... LIST LOADING. PLEASE WAIT

    allergic.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      අපි හැමෝටම මොන මොනව හරි ඇලර්ජික් තමයි නේද?...:හෙහ්,හෙහ්,

      උඹට තව ඇලර්ජික් එකක් තියනව..එක්කොත් ඕන නෑ ..ආය මොකටද..නේද?

      Delete
  9. අශෝක මල් මාල නෙලාලා.. අශෝක මල් උයනට වැදිලා... ශෝක නිවන ගීත ගයාලා... ඔබ කවුරුද කියන්න මාලා

    ReplyDelete
    Replies
    1. තෙලිදිය,

      / ඔබ කවුරුද කියන්න මාලා /

      " හරි අවසාන අකුර ලා..දැන් පටන්ගන්න බලන්න අලුත් ගීතයක් ලා යන්නෙන්.."

      "ලා..ලා..ලා...ලා..ල...ල..ලා...ලා..ලා..ලල්ලල..ලා...ලා..ලා..ලාලල..ලල්ලා..ලල්ලා...ලා..ලා..ලා...ලා..ලා...ලල...ලා.."

      " හරි..හරි...ඇති....ඇති...ඇති…"

      Delete
    2. ලා සඳ එළියේ සඳට හොරා
      ලා තණ නිල්ලේ නිලට හොරා //
      ඔබෙ හද පිපි මල ඔබට හොරා
      නෙලා ගතිමි මම මටද හොරා
      ලා සඳ එළියේ සඳට හොරා

      හිමිදිරි උදයේ හිරැට හොරා
      සමනල විහඟුන් සැමට හොරා //
      ලා තණපත් මත මුතු පිණි කැට මත
      ඔබ කැන්දා එමි මහද කරා

      ඇති කීව නේ.. එහෙනං ඇති ඈ

      Delete
    3. ඒ පැත්තෙ ඇව්ත් යන්න එන්නෙ නැතෙයි?

      Delete
    4. තෙලිදිය,

      / ඇති කීව නේ.. එහෙනං ඇති ඈ /

      " හරි අවසාන අකුර ඈ..පටන් ගන්න බලන්න ගීතයක් ඈ අකුරෙන්....."

      " ඈරපිය ඈරපිය ලුසිය දොර,
      මාළු කඩේ ජොරා මම,
      සුරුට්ටුව සුරුට්ටුව පත්තුකර ගන්ට මට
      ඈරපිය ඈරපිය ලුසිය දොර, ……."

      Delete
    5. තෙලිදිය,

      සමාවෙන්න, සමාවෙන්න, කලින් පාරක් ඇවිත් ගියා. ඊට පස්සෙ අමතක මතක බැරි වුනානෙ. :(

      Delete
  10. ඔය කියන සීන් එකට කීප වතාවක් මූණ දුන්න බුවෙක් මම.

    Join the club!

    Like a capsized beetle, huh!

    ReplyDelete
    Replies
    1. Henry,

      Really Dude?....no kidding? eh?

      Delete
  11. http://thedragonflywoman.com/2010/12/10/insect-legs/

    ReplyDelete
    Replies
    1. Pra,

      ස්තූතියි ප්‍රා සබැඳියට...ඒත් ඔය අඬු පඬු වලට වෙනම සිංහල නම් තියනව. පාරිභාෂික සබ්ද කෝෂයෙත් මම බැලුවා. අවාසනාවට ඒකෙ තියෙන්නෙ සිංහල වචනෙ ඉස්සෙල්ල දීල ඊට පස්සෙ ඒකෙ ඉංග්‍රීසි වචනෙ. ඒ නිසා ඒකෙනුත් වැඩක් වුනේ නෑ.

      Delete
  12. යන්තං කොස් ටික කපල ඉවර උන එකම ලොකු දෙයක්. පෙට්ටගං ගැන අහන්නැතිව කොස් ටික කිරල කතාව පටං ගත්ත නම් ,අද මේ කතාව අපිට වෙනස් විදිහකට අහන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. කොස් කිරුවනම් තාම රවී අය්යා ගුටි කනවා .........................:)

      Delete
    2. කම්මල සහ Sacheera,

      සික් විතරක්!!

      Delete
  13. අනෙ අම්මාපල් මට මෙව්ව දැක්කම ඌරු ජුවල් කටිං එකයි. ඇයි හත්තිකේ මෙතන කොස් ගෙඩ්ඩක් රැස්ස අවුරුද්දෙං බාගෙයක්. හොඳ වෙලාවට මේ බ්ලොග්වල ඡේද අතරෙං ඇඩ් දාන්නැත්තෙ. එහෙම දෑවනං මං වයසට යනකනුත් මේක වියරයක් වෙන එකක් නෑ.

    අනික ඕනෑවට වඩා පාටක, පාටිකාවංගෙ කුතුහලය අවුස්සන්ට නාකයි. එහෙම කරල ඒ අයගෙ හිතේ ඉවසීම නැති කිරීම ඉතා විසාල පාපකර්මයක්. මෑත කාලීනව එහෙම කරපු බ්ලොග් ලියන්නියක් ඒ පව මෙලොවම පඩිසන් දීමෙන් ඇයට ‘හා‘ කියාලා කැමැත්තෙං හිටපු අයියලා කීප පොලකගේම ‘බෑ‘ කීමට ලක්වූයේලු.

    ඒ හිංදා මේ කතාව ලබන සැරෙං අවසං කරන ලෙස කාර්මිකව දන්වමි. එසේ නොකලොත් අධිකරණයෙන් තහනං නියෝගයක් අරං මේ බ්ලොග් මාගල තහනං කිරීමට කටයුතු කරන බවද බැගෑපත්ව ශාසනාලයෙන් දන්වමි.

    බොන වෙලාවට කෙළ පෙරාගෙන ඉඹින එවුන්ට නං මාත් ආස නෑ. සමහර එවුං සිකරැට්ටෙක කටේ තියාගෙන ඉඹින්න ගිහිං කමිස හිටං ගිනි තියනව. ඒ අතරෙ බයිට්ටෙකේ තෙල් සේරම පිටේ පිහිනව.

    ReplyDelete
    Replies
    1. //එසේ නොකලොත් අධිකරණයෙන් තහනං නියෝගයක් අරං මේ බ්ලොග් මාගල තහනං කිරීමට කටයුතු කරන බවද//
      ඒක කරන්න ලේසි වෙන්නෑ පුතෝ මේ බ්ලොගේ නිසි බලධාරි වෙන කෙනෙක්. එහෙම කොරන්න ගියොත් රන්දිල් නෝන බොගේ කලිසම ඔලුවෙන් ගලවයි.

      Delete
    2. සුරංග,

      නෑ..නෑ..කුතුහලය ඔහොම්මම තියාගනිං තව එක කොටසකින් වැඩේ අහවරයි...:)

      Delete
    3. ප්‍රසන්න,

      / ඒක කරන්න ලේසි වෙන්නෑ පුතෝ මේ බ්ලොගේ නිසි බලධාරි වෙන කෙනෙක්. එහෙම කොරන්න ගියොත් රන්දිල් නෝන බොගේ කලිසම ඔලුවෙන් ගලවයි. /

      අන්න ඒකනෙ බොල...හෙහ්,හෙහ්..කියල දීපං..කියල දීපං මේ ඊයෙ පෙරේදා ආපු හිච්චි එවුංට...සුරංගය අපෙ රන්දිල් මැඩම්ගෙ වග විස්තරේ නොදැනයි ඔය නඩු දාන්ට තනන්නෙ...ඕකා හිතාගෙන ඉන්නෙ මම අර කාටත් ඔලුව පාත් කොරගෙන ඉන්න අහිංසකය හින්ද ඉඳහං ගෝනි නැතුවම මුගෙ කරෙත් ගිහෑකිය කියල වෙන්ට ඕන....හෙහ්,හෙහ්,

      Delete
  14. ඔන්න ඔය පහල තියෙන් ලින්ක් එක බැලුවනං. මේක අහංට ඕනේ බොහෝම නිවී සැනසිල්ලේ හාංසි පුටුවක ඈඳිලා අතීතාවර්ජනයක යෙදෙන ගමන්. එතකොට හාන්සි පුටුව යට මතක පැං බාගයක්, පුටු අත උඩ හපන්ට රතුළූනු ගෙඩියක්, උම් බලකඩ කෑල්ලක් එහෙම තියාන තව එතකොට දුං වලලු යවන්ට අවැසි දේත් තියෙනවං හොඳයි.
    https://www.youtube.com/watch?v=UOZiXa0ctxo
    හිංදි සිංදුවේ තේරුම ගූගල් මහත්තැන්ට අනුව මෙහෙමයි...
    Male
    if you’re not here, then what surrounding is it?
    the flowers have not bloomed even though i waited for u
    my heart beats and wants you to come here
    don’t try and hide yourself from me, promise me u'll come

    Female
    my heart beats and tells you always
    I’m yours already, I’m close to you always
    from you itself my life is so decorative and beautiful
    I’m alive cos I’m in love with u

    ReplyDelete
  15. කට්ටියම උඹට බැන අඬගහල නේද රවී.මම නං කියන්නෙ උඹ එක දවසෙන් කොස් කැපිල්ල ඉවරකරපු හැටිම ලොකු ඈස්චරියක්.කොස් කපන තැනට එන්ටම අවුරුද්දකටත් වැඩියෙ ගතකළ එකේ එක දවසෙන් කොස් ටික කැපුවා කියන්නෙ ලේසි පාසු වැඩක්ද.කවුරු මොන තරං බැන්නත් මම උඹව අගය කරන්නෙ ඒ නිසාවෙන්.මට නං ඉතිං දැන් ඉතුරු හරිය කිව්වා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඒකනෙ බං බලාපංකො..අපි පොඩි කාලෙ අහල තියෙන්නෙ වැදූ මවටත්, අහසටත් බැණුං අහලනං ඉවරයක් නෑ කියලනෙ. දැං ඒකට තව කෑල්ලක් එකතු කරන්ට වෙනව. වැදූ මවටත්, අහසටත්, නිදහස් සිතුවිලි ලියන අර පව්කාරයාටත් කිසි දාක බැණුං අහලනං ඉවරයක් නෑ කියල...:)

      Delete
  16. හත්තිලව්වේ හරියටම අවුරුද්දක් නේද හෙටට මේ කොස්ගෙඩිය කපන්න අරන් ? ? ? මතකේ හැටියට නම් මගෙ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕන මේ.ඒ ගැන සමාව අයදින ගමන් ජයම වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. නිගම්බු,

      / හත්තිලව්වේ හරියටම අවුරුද්දක් නේද හෙටට මේ කොස්ගෙඩිය කපන්න අරන් ? ? ? /

      අම්මාපල්ල ඇත්තම නෙවෙන්නං..මේකා කිව්වට මාත් ගිහිල්ල බැලුව. හෙහ්..හෙහ්..හරියටම සුජිතා අක්කා මට අනේ මල්ලි අන්න අර අසෝකා කොස් වගයක් කපනව ගිහිල්ල ටිකක උදව් වෙන්ටකො කියල දනුම් දීල තියෙන්නෙ හරියටම අවුරුද්දකට කලිං.. 2014 සැප්තැම්බර් 5 වෙනිදා.

      හෙහ් මෙන්න හැලපය ඒකට දාපු කමෙන්ට් එක. අම්මප මූට නම් දිවැස් තියනව. මූ හරියටම කිව්වවෙ එදා තව අවුරුද්දකිං තමයි අපිට ඔයි කතාව කියවන්ට හම්බ වෙන්නෙ කියල..හෙහ්...කන්ග්‍රැජුලේෂන්ස් මචං...

      / Helapa kadeSeptember 5, 2014 at 12:29 PM

      එළකිරි,මීළඟට බලාපොරොත්තුවන්න ඔබ පුල පුලා බලා සිටි පිළිස්සු සැවුලෙකු කරණකොටගෙන අහිමිවූ මගේ ආදරය!!!(හැබැයි මීළඟට කිව්වට තව අවුරුද්දක් හමාරක් යාවි.අවුරුදු දෙකක් බලං හිටපු අපිට ඔය අවුරුද්ද බලං ඉන්න එක මහ කෙංගෙඩියක්වැ නැද්ද මචං.) /

      නිගම්බු..ආයෙමත් ස්තූතියි සංවත්සරය මතක් කලාට..ඇත්තටම පුදුම අහඹු සිදුවීමක්...:)

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් මේ කොස්ගෙඩිය කපන්න පටන්ගනිද්දි මන් බොහොම
      කලබලෙන් ලන්කාවෙන් පිටවෙන්න සුදානම් වෙවී හිටියෙ. පිටරටකට
      ඇවිත් අවුරුද්දකුත් ගෙවලා ආයෙත් ලන්කාව පැත්තෙ ගොහින් එන්න සුදානම් වෙද්දිම කොස් කපලා ඉවර කොරාපු එකනෙ කාරණාව.

      ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ මේ කාලේ වගෙයි නේද කුකුළගේ කතාව ඉවර වෙන්න. හෙහ් හෙහ් හෙහ්

      Delete
  17. #" හිහ්..හිහ්..නුහුගුණේද කොහෙද?..." සරෝජිනී හිනාව තද කරගෙන කියනව මට ඇහුන.#

    මෙතන 'සරෝජිනි' කියන එක 'අසෝකා' වෙන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. bonna kalinma veri da koheda

      Delete
    2. Ian,

      බොහොම ස්තූතියි ඉයන්..වරද නිවරද කළෙමි....:)

      Delete
    3. Ano,

      නෑ බං ..බොන කේස් එකක් නෙවෙයි..මේ කෙල්ලො එක්ක බෑනෙ..උංගෙ නං ගං මට පැටලෙනව...රෑ හීනෙං ඔය එක එක අංගනාවියංගෙ නං කියවල මම බැණුං අහල තියන තරමක් බොට කිව්වට මොකද?

      මම පස්සෙ ඒකට පොඩි සූත්තරයක් හොයා ගත්ත. නිකං බොරුවට නිදිවගේ ඉන්න ගමං ඔය කාගෙ හරි නමක් කියනව. ඒ කරල ඇස් ඇරල හිනාවෙනව.." හෙහ්..ඔයා රැවටුනා නේද? මම ඔයාගෙ මල පන්නවන්ට හිතලමයි එහෙම කිව්වෙ " එහෙම කියනව. දැං අවුලක් නෑ. ඇත්තටම හීනෙං ඔය බබලතෙක්ගෙ නමක් දෙකක් කිව්වත් ඒකත් අර පිට දාල ජාම් බේරගත්තෑකි.

      Delete
  18. හප්පේ... ඔය ආදරේ ප්‍රකාස කොරනවා කියන එක තරම් අමාරු දෙයක් හැබෑට.. ගස්ලබ්බට ඕක ප්‍රකාස කොරන්න පැයකට වඩා කාලය ගියා මතක හැටියට.. හෙන ගේමක් දීලා කියාගත්තට පස්සෙ ගස්ලබ්බි ගත් කටටම ඇහුවෙ
    'ගස්ලබ්බෝ.. ඔයා විහිලුවක්ද කරන්නෙ?' කියලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඒකනෙ බං ඒ ඇත්තිට එක පාරට හිතෙන්ට ඇති මෙහෙම..." මූනම් මේ කරන්නෙ විහිලුවක්ම වෙන්ට ඕන. නැත්තං මේ වගෙ ගෙම්බෙකුට කොහොමද එක පාරට මේ වගෙ ගටක් ආවෙ මං වගෙ ඉස්තිරී රත්නෙකට ආදරේ ප්‍රකාස කරන්ට " .. කියල

      Delete
  19. අනේ හැබෑටම කට්ටිය බැනලා තියෙන හැටියට මුකුත්ම ඒ ගැන නොකියමි.. මේක මේ පොයින්ට් එකෙන් වත් නැවැත්තුවා මදැයි.. තව කෑල්ලක් යනකන් එහෙම කොස් කැපුවනම් එහෙම, නෑ එක්කෝ ඒ හරිය ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒකනෙ මල්ලි බලාපන්කො. හැමෝන්ගෙන්ම බැණුම් අහන එක මගෙ සන්සාර පුරුද්දක්ද කොහෙද?...;(

      Delete
  20. හ්ම්... එක පාරටම සතුටක් දැනිල, නැතුව ගියා..

    කසකාරයෝ කියල තියන විදියට, (මතක් කරද්දී හිතේ හූනෙක් චික් චික් ගානව නම්) වැඩේ හරියන්නෙ නැහැ නේ ඉතින්..

    එකාතකට, හැමදාම රෑට මඩුවට වෙලා බොනකොට, අසෝකා හිත හදාගෙන කැමති උන එකත් පුදුමයි :)

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      / කසකාරයෝ කියල තියන විදියට, (මතක් කරද්දී හිතේ හූනෙක් චික් චික් ගානව නම්) වැඩේ හරියන්නෙ නැහැ නේ ඉතින්.. /

      ප්‍රත්‍යක්ෂ ලෙසම හරියන්න විදිහක් නෑනෙ බොලේ...හෙහ්,හෙහ්,..It's obvious , isn't it?

      / එකාතකට, හැමදාම රෑට මඩුවට වෙලා බොනකොට, අසෝකා හිත හදාගෙන කැමති උන එකත් පුදුමයි :) /

      එතන පුදුම වෙන්න දෙයක් නෑ මානවී, ඕනම දෙයක් ගැන අපේ ආකල්ප පදනම් වෙන්නෙ අපේ අත්දැකිම්, ඒ ගැන අපි කියවල තියෙන දේ ඒ වගේම අපි හැඩ ගැහිල තියෙන විදිහ අනුව. මත්පැන් පානයත් එහෙම තමයි. අසෝකගෙ තාත්ත ඉඳහිට මත්පැන් ගත්ත කෙනෙක්. එතකොට අජිත්ට අසෝකගෙ තිබ්බෙ ලොකු ගෞරවයක්. අජිත් ඔය යාලුවො එක්ක එහෙම ආවම ගෙදර හෙමිහිට පොඩ්ඩක් බොනව. ඒත් කවදාවත් අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන්නෙ නෑ. ඒ හින්දම මත්පැන් පානය ගැන අසෝකගෙ හිතේ ලොකු අපැහැදීමක් තිබ්බෙ නෑ.කැමතියි කියල මම කියන්නෙනෑ. මොන කෙල්ලෙක්ද බොනවට කැමති වෙන්නෙ?...

      අනික ඔය පිරිමින්ගෙ තමන් අකමැති පුරුදු නතර කරන් ගන්න එක ඔලුව තියෙන බිරිඳකට කජු කනව වගෙ. හෙහ්..එහෙම දෙයක් කරගන්ට බෑ කියන්නෙ ඒ ගෑණු මනුස්සය විවාහ ජීවිතයකට තවම සුදුසු නෑ.

      ඔයා කිව්වට විස්වාස කරයිද මන්ද..මගෙ යාලුවෙක් හිටිය ගම්පොල. හිටියයි කියන්නෙ තවම ඇති මම හිතන්නෙ. අම්මයි පුතයි විතරයි හිටියෙ. අම්ම පෙන්ෂන් ගිය සන්ගීත ගුරුවරියක්. අපූරුවට සින්දු එහෙම කියන්ට පුලුවන්. අපි ඔය වීක් එන්ඩ් එකට එහෙම ආවම එහෙ යනව හතර පස් දෙනෙක්. රෑ මිදුලෙ පුටු තියාගෙන පොඩ්ඩක් එහෙම අරගෙන උගෙ ගිටාර් එකක් තිබ්බ. ඕකත් ගගහ සින්දු කියනව පාන්දර වෙනකල්. අනේ අර අම්මත් අපි එක්ක ඉන්නව සින්දු අහගෙන.

      දවසක් කට්ටිය එහෙ සෙට් වුනාට කවුරුවත් අතේ එහෙමකට නෑ නිල් කොළ. අපි ඉතින් එහෙනම් අද කාල නිදියමු කියල හිතාගෙන ඔහෙ හිටිය කයියකුත් ගහගෙන. මම පස්සෙ මොකක් හරි එකකට මයෙ හිතෙ වතුර එකක් බොන්ටද කොහෙද කුස්සියට ගියා. අම්ම උයනව ගජ රාමෙට.

      " අප්පච්චියේ..අම්ම උයනවනෙ මඟුල් ගෙදරකට වගෙ..හප්පා, මාලු බැදපු එකේ සුවඳත් එක්ක බත් පිඟානක් කෑහැකි. "

      " එහෙම නැතුව පුලුවනිය? ඔයාල හැමදාම එනවය? කෝ අපේ පුතා? "

      " අර ඉන්නෙ කාමරේ.."

      " ආ..ඒක නෙවෙයි මොකෝ අද සන්ධවනිය නැද්ද? " අපේ සින්දු කිවිල්ලට අම්ම කිව්වෙ සන්ධවනිය කියල..:)

      " අද සන්ධවනි අත්හිටවන්ටයි වෙන්නෙ අම්මෙ...අපි කවුරුවත් ගාව ප්‍රතිපාදන නෑනෙ.."

      " හිහ්..ඒකත් එහෙමද?...හරි..හරි… පුතා ගිහිල්ල අපේ පුතාට එන්ට කියනවද? "

      මමත් ගිහිල්ල කිව්ව. " ඒයි අන්න බන් උඹට අම්ම එන්න කිව්ව " කියල. මූත් ගියා කුස්සියට. විනාඩි දෙකක් ගියේ නෑ. නටාගෙන ආවෙ කාමරේට.

      " ඒයි වීරෙ..අර මගෙ ලෙදර් බෑග් එක ගනින් හොයල. යමන් ගම්පලට විජහට. "

      " ඇයි බන් මේ හදිස්සියෙ. ? "

      " මේන් බලපන්…" ඌ සල්ලි කොල වගයක් පෙන්නුව.

      " කොහෙන්ද බොලේ ඔය? "

      " හෙහ්,හෙහ්, අම්ම දුන්න. "

      පලි - එදා තනිකරම කිව්වෙ මව් ගුණ ගීත..ආදරයේ උල්පත් වූ අම්මා..අන්න ඒකෙන් පටන් ගත්තම පිණිබර යාමේ සැවුලන් හඬලනවා...මේ නොනිමෙන දිවිකතරේ නිවනේ මඟ පෙනෙන තුරා....ඔය ඔක්කොම……... අම්ම ඔය මදැයි බොලව් කියල බණිනකල්ම කිව්වෙ මව් ගුණ ගීත....හෙහ්,හෙහ්.

      Delete
  21. අර කුරුමිණිය ගැන තියෙන කෑල්ලට තමයි වැඩියෙන්ම කැමති.

    ReplyDelete
    Replies
    1. බින්දි..

      හෙහ්, කුරුමිණි කේස් එක ඔය ළමයට තේරුණා නේද?....හෙහ්,හෙහ්,

      Delete
  22. කොස් කැපිල්ල මෙච්චර ඉක්කනට ඉවර කරපු එකට මගේ විරුද්දත්තය.. සක්.. ඔය ටිකනේ ලව් එහෙක හොඳම හරිය.. තව ටිකක් අදින්න තිබ්බේ නැද්ද ඕක?
    පස්සෙවත් ඇහුවේ නැද්ද අසොකගෙන් අර මොකක්ද අහන්න ගිහින් සරෝජිනියෙක් ගැන අහල වෙනස් කරේ කියල..
    'උඩුම්බූරුව' කියුවම මං හිත ගත්තේ උඩම- බූරුව හෙවත් බූරුවන්ගේත් උඩින්ම ඉන්න සුපර් බූරුවා වගේ එකක් කියල.. ඒක හරි හරි වගේද?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      පස්සෙ ඔව්ව අහන්ට වෙලාවක් තිබ්බෙ නෑ බන්...ඊට පස්සෙ මට හම්බවුනෙත් එක දවසක් හරි දෙකක් හරි.....:(

      Delete
  23. හෙහේ රවීයියා,තමන්ගේ හොඳම යාළුවෙක්ගේ නංගි කෙනෙක් ගැන තමන්ගේ හිතේ තියෙන කැමැත්ත ඒ යාළුවාට කියනවා කියන්නේ ඉතින්..මමත් ඔහොම වතාවක් මගේ හොඳම යාළුවෙක්ගේ නැන්දාගේ දුව ගැන යාළුවාගෙන් ඇහුවා.ඇහුවා කිව්වාට වඩා ඌ මගෙන් ඒ ගැන ඇහුවා කිව්වොත් හරි.කොහොම වෙතත් ඒ ඇත්තීගේත් හොඳ වේලාවට මට ඒ හැටි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හෙහ් උඹ ගැන ඒ කාලෙම ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්න ඇති..:)

      Delete
  24. අඩේ මම මේකට කොමෙන්ට් එකක් දාල නෑනේ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අම්මප ඇත්තම නෙවෙන්නම්..දාල නෑ නෙව...:)

      Delete
  25. අඩේ මමත් මේකට කමෙන්ට් එකක් දාල නෑනේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...