සිකුරාදා මෙහෙ නිවාඩු දවසනෙ. පහුගිය සිකුරාද ඔය සුපුරුදු ෆ්‍රයිඩේ ස්පෙෂල් අතුපතු ගෑවිලි, මොප් කිරිලි, රෙදි පෙරෙදි හේදිලි එහෙම ඉවරයක් කරල කම්පියුටරේ ඉස්සරහ ඉඳගත්ත. අපේ ලෑන්ඩ් ලේඩි තුමිය ඔන් ලයින් ඉන්නව දැකල නිකමට වගෙ හායි කිව්ව. හායි මෙයාලා යනවද බායි කියාලා...ඔහොම එක කාලෙක ජනප්‍රිය සින්දුවකුත් තිබ්බ මට මතකයි.
" හායි මැඩම්.."
" ආ කොහොමද? මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕන පොත්? "
" මොකවත් එපා අනේ.." ඊයෙ පෙරෙයිද පිටවෙච්චි අලුත් පොත්, කියවිය යුතු හොඳ පොත් ගැන මම හාංකවිසියක් වත් නොදනිමි.
" ඒ කියන්නෙ පොත් එපා? "
" එපා අනේ...සුනේත්‍රගෙ, සුමිත්‍රගෙ වගෙ අලුතෙන් පොතක් පිටවුනෙ නෑ නේද? ඔය අනික් අයගෙන් නම් වැඩක් නෑ…"
මම එහෙම කියන එකත් අසාධාරණයි එක අතකින්. අවුරුදු හතකට කලින් විප්‍රවාසී වෙන්ට සිද්ද වුන දවසෙ ඉඳල සිංහල නවකථා කෙටිකතා එක්ක මගෙ ආශ්‍රය බොහොම දුරස්ථ වුනා. ඒ හින්දම කලින් ඉඳලම දන්න කියන අය ඇරුනු කොට අලුත් ලේඛක ලේඛිකාවො ගැන මගේ දැනුම ඕල්මෝස්ට් සීරෝ. ශූන්‍යයට ඉතාම ආසන්නයි. ඒ කියන්නෙ සිංහල ලේඛකයො ලේඛිකාවො පිළිබඳ මගේ දැනුම සත් වසක් පැරණියි . එහෙමත් නැත්තං පසුගිය සත්වස තුල යාවත්කාලීන කොට නැත.
" එහෙනම් මෙහෙම කරමු. 28 වෙනකල් එක්සිබිෂන් එක තියනවනෙ. ඊට කලින් මොනවහරි හොඳ පොතක්, කියවන්ට ඕනමය කියල හිතෙන පොතක් ගැන දැනගන්ට ලැබුණොත් කියන්ට. මම ගන්නං…"
" ඕකේ මැඩම් " මම එහෙම කියල සංවාදය අහවරක් කලා.
Coincidence නැත්නම් අහඹු සම්පතනයන් ගැන දන්නව නේද? ඒ කියන්නෙ එකකට එකක් සම්බන්ධ සිදුවීම් දෙකක් හෝ කීපයක් ඒ අතර අන්තර් සම්බන්ධයක් නොමැතිව එකම වෙලාවට නැත්නම් කෙටි කාල පරතරයක් සහිතව සිදුවීම.
රයිට් ඊලඟට පැය බාගයක් වගෙ ඇතුලත අන්න එහෙම Coincidence එකක් වුනා. සරසවි පොත්හලේ නිව්ස් ලෙටර් එකට මම සබ්ස්ක්‍රයිබ් කරලයි තියෙන්නෙ. ඉතින් එදා මගේ ඊ-මේල් එකට ආපු සරසවි නිව්ස් ලෙටර් එකේ තිබ්බ එයාල අලුතෙන් නිකුත් කරපු පොතක් ගැන.
මේ ඒ පොතේ මුල් පිටු තුන නැත්නම් හතර....
උපුටා ගැනීම /
මරණයේ අබිමුවට ගොස් නැවත පැමිණෙන පුද්ගලයින් ජීවිතය දෙස බලන්නේ අන් අයට වඩා වෙනස් අන්දමටයැයි මා අසා ඇත.ගත වෙන සෑම දිනක්ම ප්‍රාතිහාර්යයකැයි සිතන්නට මට ඉඩ ලැබුණේ ඒ හේතුවෙනි.ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් එකතු කරගත් සියල්ල මරණය අද්දරදී ශූන්‍යත්වයට පත් වන්නේ කිසිදු අනුකම්පාවකින් තොරව බවත්, ඒ මොහොතෙන් ඔබ්බට තවත් දවසක් නැතැයි යන අවබෝධය ජීවිතය ගැන සිතන්නට ඉඩ දෙන බවත් දැන් මම දනිමි. සැබෑවටම අපිට ජීවිතයෙන් ඇවැසි කුමක්ද කියා වටහා ගත හැක්කේ එවිටය.
සෑම කෙනෙකුටම පවසන්නට තමන්ගේ කියා ජීවිත කතාවක් ඇත.මා දැනුවත්ව මගේ කතාව තවත් අයෙකුගේ කතාවට වඩා රසවත් බවින් වැඩි හෝ අඩු වන්නේ නැත.අප උපන්නේ මහා සාගරයෙන් වටවුණු දූපතකය. අප මුහුණ දෙන්නේද ඒ දූපතේම උපන් මිනිසුන් සමූහයකටය.මගේ කතාවේ ජීවත්වන පුද්ගලයින් අන් අයගේ ජීවිත කතාවලද චරිත රඟදක්වන්නන් බව මම දනිමි.
මගේ කතාවේ මුල පටන්ගන්නේ මගේ ආදරණීය තාත්තාගෙනි.ඔහු ඔහුගේ ජීවිතය ගවේෂණය කරන්නට උත්සාහ ගත් අයෙකි.එළෙසම ඔහු මගේ ජීවිතයද මහා නෞකාවක් සේ හසුරුවන්නට මට කියාදෙන්නට ද සූදානම්ව සිටියේය.කුඩා කල පටන් මා පොත් කියවීමට ඇබ්බැහි කරන්නට ඔහු උනන්දු විය.මගේ වයස අවුරුදු දහයක් වූ කල මට චෙස් ක්‍රීඩාව උගන්වමින් ඔහු එහි පරතෙරට මා රැගෙන ගියේය.එතෙකින් නොනැවතී රාත්‍රී අහසේ තරු රටා සමඟ ගනුදෙනු කරන සැටි ඔහු මට කියා දුන්නේය. ජීවිතයේ කෙදිනක හෝ මුණ ගැසෙන හුදකලාවට විසඳුම මින් එකක් වන බව ඔහු මට කල්තියා කියාදී තිබිණි.
තාත්තා සතුවූ මේ අදහස් පවුලේ අනෙක් දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාවට නඟන්නට ඔහුට අවස්ථාවක් නොලැබුණේ මගේ අම්මාගේ අප්‍රමාණ බලාපොරොත්තු නිසාය.වැඩිමල් දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් වෙගෙසට පත්විම නිසා අම්මා විසින් අතහැර දැමූ පවුලේ බාලයා වූ මට ඒ අදහස් කාවද්දන්නට තාත්තාට හැකිවිය.එය තාත්තා ලැබූ ජයග්‍රහණයක් බව පසු කලෙක ඔහුගේ කියමන් වලින් මට පසක් විය.ළමා වියේ පටන් මට කියාදුන් නොයෙක් පාඩම් වලින් පසු තාත්තා මගේ ජීවිතයට ඊළඟට එක් කරන්නට සිටියේ කුමක්ද කියා මා දන්නේ නැත. මගේ අවාසනාවට නොසිතූ මොහොතක මරණය ඔහු සොයාගෙන පැමිණියේය.
උතුරු නැගෙනහිර යුද්ධය පැතිරයමින් තිබූ ඒ කාලයේ ආණ්ඩුවට විරුද්ධ මත දැරූ දකුණේ තරුණයින්ගේ ක්‍රියා කලාපය නිසා රට තුල භීෂණ වාතාවරණයක් හටගෙන තිබිණි. එය නාඳුනන තුවක්කු කරුවන්ගේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් බවට පත්වූ කාල වකවානුවක් විය.රට වැසියන් තම තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු වූ කාලයක මගේ තාත්තා ඒ ගැන අමතක කළේය.තුවක්කුවකට, එක් මූණිස්සමකට කිසි දිනයක මුණ නොගැසුනු පුද්ගලයෙකුට තවත් ජීවිතයක් නිමා කිරීමට ඇති හැකියාව මා දැනගත්තේ තාත්තාගේ මරණයත් සමඟය.
තාත්තා දේශපාලන පළිගැනීමකට ලක්වූ බව කාගේත් අදහස විය.ඔහුට වෙඩි තැබුවේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදුනු තරුණයින්ද,නොමැතිනම් කැරළිකාර කණ්ඩායම් මුවාවෙන් විරුද්ධවාදීන් මර්දනය කරමින් සිටි ආණ්ඩුවට හිතවත් පුද්ගලයින්ද කියා කීමට කිසිවකුට හෝ නොහැකි විය.නාඳුනන තුවක්කු කරුවකු සිදු කල වෙඩි තැබීමක් ගැන මිනිසුන් එළිපිට කතා කිරීමට බිය වුනු කාල වකවානුවක තාත්තාගේ මරණයට පැහැදිලි හේතුවක් සෙවීමට වඩා එය අමතක කර දැමීම වඩාත් පහසු දෙයක් විය.එහෙත් තාත්තා නොමැතිව ලෝකයට මුහුණ දීමට මා දැනසිටියේ නැත.ඔහුගේ මරණය නොනවතින අභාග්‍යයක් වෙත මා කැඳවාගෙන යන්නට සමත් විය.
මගේ තාත්තා මට නර්මදා යයි නම් තැබුවේ කෙදිනක හෝ මා ඔහුගේ ජීවන මංපෙත හරහා ගලා බසිනා මහා ගංගාවක් බවට පරිවර්තනය වනු ඇතැයි සිතාගෙනය.මගේ උත්පත්තිය සිදුවන කාල වකවානුවේ මගේ පියා ඔහු මුහුණ දුන් සියලු කඩඉම් පසුකරමින් සාර්ථකත්වයේ ඉහළට ගමන් කරමින් සිටි නිසා මගේ අනාගතය ගැන අප්‍රමාණව සිහින මවන්නට ඔහුට හැකිවිය.එදා ඔහු සතුවූ බුද්ධියෙන් සහ ධනයෙන් මා ප්‍රීතිමත් දැරියක කරන්නට සැබෑවටම ඔහුට හැකියාව තිබිණි.එහෙත් තාත්තා මා කෙරෙහි තැබූ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටු වුනේ නැත.මගේ ඇස් ඉදිරිපිට ඔහු මියගිය විට ඒ සමඟ සැබෑ ලෝකය හඳුනාගන්නට මටද සිදුවිය.
එදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරු මුලින්ම වෙඩි තැබුවේ තාත්තාටය.ඒ නිමේෂයේ තුවක්කුව අතැතිව මා ඉදිරිපිට සිටි පුද්ගලයා දෙස මම හිස ඔසවා බැලුවෙමි.ඒ දෑස්වල තිබුණේ කෝපයක හෝ ද්වේෂයක ලකුණක් නොව තමන් කරන්නට පැමිණි කාර්යය නිමාකල අයකුගේ සැනසුම් සහගත බැල්මකි.තුවක්කුකරු මටද වෙඩි තබනු අතැයි මා සිතූ නමුත් ඔහු සන්සුන්ව අතේ ඇති පොහොර උරයට තුවක්කුව ඔබා ගත්තේය.ඉන් ඔබ්බට අප අතර පැවතියේ මොහොතක නිහඬතාවයකි.එලෙස සදකාලිකවම මට විඳවන්නට ඉඩ තබා තුවක්කුව අතැති පුද්ගලයා ඔහු පැමිණි මෝටර් සයිකලයේ පිටුපසට නැඟගත්තේය. තාත්තාගේ පපුවේ පැත්තකින් ලේ ගලමින් තිබිණි.මගේ කෑගැසිල්ල අතර තාත්තාට වෙඩි තබන්නට පැමිණි දෙදෙනා මෝටර් සයිකලයට නැඟී එය ගේට්ටුවෙන් හරවාගෙන මහපාරට පදවාගෙන යනවා මම බලාගෙන සිටියෙමි.
/ උපුටා ගැනීම අවසන්
ඇගේ මීට පෙර ලියපු පොත් හතරක්ම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන අදියරට නිර්දේශ වෙලා තියනව.පොත් හතක් මීට පෙර ප්‍රකාශයට පත් වෙලා තියනව. පාරාදීසයක දරුවෝ,වැව් පතුලේ කිඳුරිය, නිරුවත් හදවත්, ගැහැනු ළමයාගේ මරණය,පියාපත් ලත් දෝණිය, රෝසමාලි සහ යලි උපන් ගැහැණිය ඒ පොත්.
අනන්ත දේශය පොතේ මුල් පිටු කීපය කියවපු වහාම මට හිතුන මේ පොතේ ගතයුතු දෙයක් තියනවයි කියල.. රන්දිල් තාම ඔන් ලයින් ඉන්නව..මම කතා කලා.
" මේ ඔන්න බලන්න පුදුම වැඩේ කියන්නෙ. ඔයා මට කිව්ව නේද හොඳයි කියල හිතෙන පොතක් ගැන දැනගත්තොත් කියන්නෙයි කියල…"
" ඔව්..ඔව්..ඇයි? "
" හෙහ්, එහෙම කියල පැය බාගයක් යන්ට වුනේ නෑ. මට ආව සරසවි නිව්ස් ලෙටර් එක."
" ඉතිං? "
" හෙහ්, ඒකෙ තියනවනෙ මගෙ හිතට අල්ලල යන පොතක්."
පොතක් නිර්දේශ කරන එක බොහොම අසීරු වැඩක්. ඒකට හේතුව ඉතාම පැහැදිලියි. මම කැමති පොතකට ඔබ අකමැති වෙන්න පුලුවන්.ඒකෙ ප්‍රතිලෝමයත් එහෙමමයි. ඔබ කැමති පොතකට මම අකමැති වෙන්න පුලුවන්. ඉතිං ඒ හින්ද පොතේ මුල් පිටු කීපය කියවල බලල හොඳයි කියල හිතෙනව නම්…...
මේ නෝනගෙ පොත්වල කතා ටිකක් සුරංගනා කතා වගේ.කියවලම බලන්නකො.මම එයාටත් කියල යැව්වා ඒකට නම් සතුටු නෑ වගේ.
ReplyDeleteකුමාර,
Deleteපොතක් දෙකක් කියවල බලන්ටම වෙනව බං...:)
//අවුරුදු හතකට කලින් විප්‍රවාසී වෙන්ට සිද්ද වුන දවසෙ ඉඳල සිංහල නවකථා කෙටිකතා එක්ක මගෙ ආශ්‍රය බොහොම දුරස්ථ වුනා//
ReplyDeleteඉංග්‍රීසි නවකතා ළං වුණා?
තිසර,
Deleteඊට කලින් වුනත් කොහොමත් මම ඉංග්‍රීසි පොත් කියෙව්ව පොඩි කාලෙ ඉඳම්ම. විලියම් බ්‍රවුන්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා වලින් පටන්ගෙන හැඩ්ලි චේස්, ආතර් සී.ක්ලාක්, අයිසැක් ඇසිමෝව්, හැරල්ඩ් රොබින්ස්, විල්බර් ස්මිත්, අගතා ක්‍රිස්ටි, කොනන් ඩොයිල්, ෆ්‍රෙඩ්‍රික් ෆෝසයිත්,කෙන් ෆොලේ ඔන්න ඔය විදිහට. එහෙම වුනත් හොඳ සිංහල පොත් අතෑරියෙ නෑ. ඒත් මෙහෙදි සිංහල පොත් නැති නිසා By Default ඉංග්‍රීසි පොත් විතරක්ම කියවන්න සිද්ද වුනා.
මම ඉංග්‍රීසි කතා කියවන්න පටන් ගත්තේ විප්‍රවාසී වුනාට පස්සේ හෙහ්
Deleteඅද කියවන්න හොඳ පොතක් තෝරාගැනීම ඉතාම අපහසුයි මටනම්. කුරුනෑගල තියන සරසවි, ගුණසේන, ඇතුළු පොත් කඩවල වුවක් ගතකරලා මොකුත් නොගෙන අපහු එන අවස්ථා තියනවා. සෑමවිටම ඉච්ඡාභංගත්වය, සමාජය එපාවීම, දෙපාලනය, සම්බන්ධ පොත් තමයි දකින්න ලැබෙන්නේ. පරිවර්තන කෘති පවා ඒ රටාවේ ඒවා.
ReplyDeleteවිචාරක,
Deleteඅපේ පරම්පරාවෙ අයට ඒ ප්‍රශ්නෙ තියනව විචාරක...:)
හොඳ පොතක් මනින්ට අපිම හදාගෙන තියෙන නිර්නායක වලින් දැන් පලවෙන පොත් සීයට අනූනමයක්ම අසමත්.අන්න ඒකයි පුරස්නෙ...:)
තාම පොත් ගත්තේ නෑ.... බලමු මේ ගැනත්...30ට කලින් ගන්න ම ඕන. නැතිනම් කෝටා එක කැන්සල්.
ReplyDeleteනලින්,
Deleteහෙහ් බොට සරසවියෙන් කෝටා එහෙකුත් තියනවද?..නියමයි..නියමයි...:)
නෑ ලේක්හවුසියේන් සාහිත්‍ය මාසයට පොත් ගන්න රු 5000ක් දෙනවා. මං හිතන්නේ ලංකාවේ ආයතනයක් තම සේවකයන්ට කියවීමට පොත් ගන්න මුදලක් දෙන එකම ආයතනය මේක.
Deleteහොඳයි හොඳයි පොත අරන් කියෝලම බලන්නකො.
ReplyDeleteයකෝ මේ මනුස්සය අර උපන්දිනේ සමරපු නෝනට තෑගි දීල තියෙන හැටිනං මාරයි. :D
ප්‍රසන්න,
Delete/ හොඳයි හොඳයි පොත අරන් කියෝලම බලන්නකො. /
ඒ කියන්නෙ උඹත් පොත රෙකමන්ඩඩ්ඩඩ් කරන්නෙ නෑද?
/ යකෝ මේ මනුස්සය අර උපන්දිනේ සමරපු නෝනට තෑගි දීල තියෙන හැටිනං මාරයි. :D /
අය අහවල් තෑගිද බං? මං වාගෙ පුග්ගලයෙක් වෙනුවෙං කඩේ ගිහිල්ල පොතක් ගන්ට අවස්තාවක් ලබාදුන්න එකට වඩා තව මොන උපන්දින තෑගිද?
//ඒ කියන්නෙ උඹත් පොත රෙකමන්ඩඩ්ඩඩ් කරන්නෙ නෑද?//
Deleteහපොයි මම ඔය පොත ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :D
ප්‍රසන්න,
Deleteඋඹ මල්ලි එතන කියාල තියෙන විදිහට එහෙම තේරුම් ගන්නත් පුලුවන්. ඒ කියන්නෙ උඹ පොත කියවල තියනව. පොත ගැන පැහැදීමක් නම් නෑ ඒත් මටත් පොත කියවලම බලන්නකො කියල කියනව වගෙ....:)
මාත් පොත් වලින් ඈත් වෙලා. මේ පොත ඇතුලේ කියවන්න දෙයක් ඇති කියලා මටත් හිතෙනවා..
ReplyDelete//මගේ කතාවේ ජීවත්වන පුද්ගලයින් අන් අයගේ ජීවිත කතාවලද චරිත රඟදක්වන්නන් බව මම දනිමි./// ඒක හරි ලස්සන අදහසක් .
ඉස්සර මං කැමරාව ගන්න වෙබ් සයිට් වල එක එක කැමරා බල බල ඉන්න කාලේ ඔය වගේ අහඹු සම්පතන යක් වුණා. ඒක හරි පුදුමයි.
Oma,
Delete" ඇය ප්‍රධාන චරිතය කොට මගේ ජීවන නවකථාව ලිවීමට අපේක්ෂා කලද මට අවසන සිදුවූයේ ඇගේ ජීවන කෙටි කථා සහසකින් එකක එක් අවශේෂ චරිතයක් රඟ දැක්වීමටය." පහුගිය දවස්වල මම ලියන්ට පටන් ගත්තු පොඩි කතන්දරේක එනව එහෙම වාක්‍යයක්...හෙහ්,හෙහ්,
අහඹු සම්පතනය මොකද්ද ආය.... ඔයයි කැමැත්තෙන් හිටපු කැමරාවම කවුරුහරි ඔයයිටම ප්‍රසන්ටඩ් බයි කරන්න ඇති….:)
තැන්ක්ස් රවී.මේ කතුවරියත් ඇගේ පොතුත් මට ආගන්තුකයි.පොත ගැන නිවැරදි අදහසක් ගන්නට දීල තියෙන පිටු කීපය නම් මදියි කියලයි කියන්න තියෙන්නෙ.
ReplyDeleteඋඹ ඔය කිව්ව සංතෑසියමයම තමයි මටත් වෙලා තියෙන්නේ. වෙනස උඹ වගේ දෙගුණෙක කාලෙක ඉඳන් පොත් ගැන මෙලෝ දෙයක් නොදන්න කම.
ReplyDeleteසාහිත්‍ය මාසයට වැදගත්..... බුක් ෆෙයා යන අයට හොදයි.....
ReplyDeleteමෙයාගෙ පොත් නම් කියවලා නෑ...
ReplyDeleteරවි අය්යගෙ රෙක්මන්ඩ් එකට 50% ක් දීල ඉතුරු ටික මගෙ කැමැත්තට යටත්ව මාත් ගොහිං බලන්නංකො.. 50% කිය්නෙ ඉතිං ඉතුරු ටික 25% ක් වත් හම්බුනොත් පොත ගත්ත වගේ තමා
හැක්
ජයවේවා
පහුගිය අවුරුදු හත ඇතුලේ ලංකාවේ ලියන්නෝ ගොඩක් බිහිඋනා. 'විශේෂ' වගේම රැල්ලට යන සෙට් එහෙකුත් ඉන්නවා.. ඔය ලෑන්ඩ් ලේඩි ත් 'විශේෂ' පොතක් ලියුවනේ.. රවී අයිය ඒක කියෙව්වෙත් නැද්ද? එයා විතරක් නෙවෙයි තව බ්ලොග් කාර/ කාරියෝ ම ගොඩක් පොත් පළ කරා..
ReplyDeleteමේ නෝනා ගේ ලියවිලිනම් හොඳයි. හැබැයි විමල් විරවංශ ගේ කතා වගේ.. දෙකක් තුනක් අහනකොට එකම වගේ කියල මට හිතුනේ.. අනික එයා තනියම ගමනක් යන කෙනෙක්.. බැන බැන හරි මමත් ඉතින් කියවනවා.. :)
ස්තූතියි! රවි,
ReplyDeleteමෙතන කියවුන එක පොතක්වත් කියවලා නෑ. බලන්න ඕනෙ කියවන්න ඉදිරියට. මේ සටහනින් පොත කොහොමද කියල කියන්න නම් බැහැනෙ.