Monday, October 29, 2012

142. එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය නිමා විය......They were giants who walked the earth like colossus

විශාලා මහනුවර තුන් බිය ඔබට මතකද?...රෝග, දුර්භික්ෂ සහ අමනුෂ්ය.....එයින් අමනුෂ්ය බිය දහම් ද්වීපය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරගිය සමයක් මතකද?...අමනුෂ්ය කිව්වට අමනුෂ්යමත් නෙවෙයි අමනුෂ්යයන්ටත් වැඩිය අමනුෂ්ය තත්වයට පත්වුණු මනුෂ්යයින් ගැනයි මම මේ කියන්නෙ.....

සමාවෙන්න..මට සහතිකයි මේ කියවන ඔයාලගෙන් බහුතරයක් ඒ කාලෙදි ඉපදිලාවත් නැතුව ඇති.හරි...වටේ ගියා මදෑ...කෙලින්ම කාරණේට බහිමු.මම මේ කියන්න ආවෙ 88/89 භීෂණ සමය ගැන.යටගිය දවස විශාලා මහනුවර වගෙ හන්දියක් හන්දියක් ගානෙ තරුණ මළකඳන් ( අමු අමුවේ හෝ පිළිස්සුණු ) දර්ශනය පාර අයිනෙ උදේම කුණු මල්ලක් එහෙමත් නැත්නම් කපුටු මළකුණක් දකිනව වගෙ හුරුපුරුදු සාමාන්ය දර්ශනයක් වෙලා තිබුණු සමයක්...

දේශප්රේමීන්ගෙ අණසක අනුව රට පුරා ජන ජීවිතය එකතැනම නැවතිලා තිබුණු ඒ යුගයේ රජයේ, ඒ වගේම පෞද්ගලික අංශවල යම් තරමකටත්, කාර්යාලවලින් කෙරුනු කටයුතු කිසිම දෙයක් කෙරුනෙ නෑ...ජීවිතයට තර්ජන තිබියදී ඒ නොසළකා හැර සේවයට වාර්තා කරන්නෙ කවුද?....සියලු සත්වයෝ මරණයට භිය ඇත්තෝය. ජීවිතයට ආශා කරන්නෝය.

'' මේ වැඩේ මෙහෙම කෙරෙන්න දෙන්න බෑ....මේ ත්රස්තවාදියන්ට ඕන විදිහට රට ගෙනියන්ට දෙන්න පුළුවන්ද?.....කරුණාකරල මම මේ කියන ටික හොඳින් අහගන්ට....එක කෑම්ප් එකක්වත් වහන්ට බෑ...ඔෆිස් දිගටම ඇරල තියන්ට ඕන නෑ...වරුවක් ඇරියම හොඳටම ඇති..ඒත් පොත අත්සන් කරන්ට ඕන හැමෝම..ඔය කවුරුත් දන්නව අද රටේ තියන තත්වය.මම කොහොම හරි අවශ්ය ඩීසල්....එතකොට කෑම බීම නැත්නම් මට කියන්න.... එව්වත් මම එවන්ට පිළිවෙලක් කරන්නම්...එතකොට වැටුප්...වැටුප් නියම දිනට ගෙවන්ට මම වැඩ පිළිවෙලක් යොදන්නම්..කරුණා කරල හැමෝම පුරුදු විදිහට තමගෙ කෑම්ප් වලම ඉන්න. ''

උතුරු මැද හා නැගෙනහිර පළාත් මායිමට ආසන්න රජයේ ව්යාපෘතියක ප්රධාන කාර්යාලයක්..එහි රැස් වූ එවකට එම ව්යාපෘතියෙහි සේවය කල නිලධාරින් සහ සේවකයින් සිය ගණනක්...ඒ අතර මම ද පසුපස අසුනකට බරදී සිටියෙමි.

ඒ රැස්වූවන් අමතා ඒ කථා කලේ ඔහුය.මාතෘකාව දෙසට ආපසු ඔබේ නෙත් යොමු කරනු මැන.එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය අවසන් විය. They were giants who walked the earth like colossus .....
මම සඳහන් කරන ඒ මහා පුරුෂයා ඔහුය...ගාමිණී දිසානායක....ගාමිණී ලයනල් දිසානායක....මගේ කියැවීම අනුව ශ්රී ලංකාවේ මහා පුරුෂයෙකැයි කිව හැකි අවසන් දේශපාලනඥයා ඔහුය.කරුණාකර හොඳින් සිතට ගන්න. දේශපානඥයා යන්න මම මෙහිදී යෙදීම කොතරම් නිවැරැදි දැයි මම නොදන්නෙමි.වඩා සුදුසු වන්නේ රාජ්යය තාන්ත්රිකයා යන්න යැයි හඟිමි.අද දෙශපාලනඥයා යන වදන තරම් අත පල්ලෙන් වැටුනු නිග්රහයට පත් වුනු තවත් වදනක් සොයා ගැනීම පවා අසීරුය. රාජ්ය සේවකයන් ගස් බඳින්නෝ ද දේශපාලකයෝය. දෙනෝ දාහක් ඉදිරිපිට විදේශීය කාන්තාවන් දූෂණය කරන්නෝ ද දේශපාලකයෝය. මහ මඟ බටහිර ගොපළු චිත්රපට රඟ දක්වමින් එකිනෙකා මරාගන්නෝ ද දේශපාලකයෝය.

එවන්නවුන්ද දේශපාලකයන් ලෙස සැලකෙන මේ දහම් දිවයිනේ, බුදුන් උපන් දේශයේ, පහල වූ අවසන් රාජ්ය තාන්ත්රිකයා ඔහු බව මම පවසන කල ඔබ කෙතෙක් දුරට මා හා එකඟ වේදැයි මම නොදන්නෙමි. එහෙත් ඒ මගේ අවංක අදහසයි.

ඔහු තමන් පැවසූ දෙය එලෙසම ඉටු කිරීම ශුද්ධවූ කාර්යයක් ලෙස සැළකීය.මම ඔබට පැවසූ ඒ භීෂණ සමයේ පැවැත්වුනු රැස්වීමෙහිදී ඔහු පැවසූව එලෙසින්ම ඉටු විය. ඉන්ධන හිඟය රටපුරා පැතිරී ගමනාගමනය බිඳවැටී සමස්ත දේශයම අකර්මන්ය වූ එසමයෙහි අපගේ වැටුප් සෑම මසකම නියමිත දිනට ලැබුණේ හුදෙක් ඔහුගේ කාර්යක්ෂමතාව සහ පෞරුෂය නිසාමය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර මඟින් අපගේ වැටුප් කොළඹ සිට එවිණි.

අපගේ කඳවුරු බිම් ඉහළින් මාසයේ 25 වන දින වන විට ඉගිළීයන හෙලිකොප්ටරය දෙසට අත් වනා ජයඝෝෂා පැවැත්වීමට, පිළී හිස සිසාරා ඔල්වරසන් නැඟීමට හෝ හිස් වැසුම් අහසට වීසිකොට ප්රීතියෙන් ඔකඳ වීමට උදෑසන සිට නිමග්නව සිටි මත්පැන් සාදයෙන් මොහොතකට ඉවත්ව නිල නිවාසයේ ගෙමිදුලට අප බමන මතින් පැන්නේ එක් වරක් දෙවරක් නොවේ.

'' ජය වේවා!!!, ජය වේවා!!!...මොර මල්ල ආවෝ...මොර මල්ල ආවෝ.....'' කඳවුරු බිම පුරා සෑම නිල නිවසකින්ම නැඟ ආවේ ඒ ජය ඝෝෂා නාදයයි..එකල අපි වැටුප හැඳින්වූයේ මොර මල්ල යන ගෞරව සම්ප්රයුක්ත මෙන්ම සදාදරණීය ආමන්ත්රණයෙනි.

එලෙස කියූ වචනය වෙනස් නොකල දුන් පොරොන්දුව කඩ නොකල නායකයෝ අද මෙන්ම එකල ද කළුනික මෙන් විරල වූහ. ඔහු එවන් විරල වූ නායකයෙක්ම විය.

හෙලිකොප්ටරයේ හඬ මැකී යන්න හාම අපි යලි මධු පානයට එක් වන්නෙමු. බොහෝ වේලාවක් ගත නොවීය. නිරුවත් උඩු කයින් සහ වළාපොට ගසාගත් සරමින් පමණක් වැසුනු යටිකයින් යුතුව හදිසියේ ප්රධාන දොරටුවෙන් නොයා කඳවුරෙන් පිටවීමට කම්බිවැටෙහි කම්බි හතරක් කපා අප සාදාගෙන තිබූ හොර පාරෙන් දිව එන්නේ කඳවුරට අල්ලපු වැටේ වූ ගුරු නිල නිවාසයෙහි පදිංචි සම වයසේ වූ ගුරු තරුණයෝ තිදෙනෙකි.ඔවුහු ප්රථම පත්වීම් ලෙස අනිවාර්ය දුෂ්කර සේවය සඳහා මේ වන මැදට පැමිණි නුවර , මාතලේ හෝ කුරුණෑගල ප්රදේශවාසීහු වෙති.

'' ඒයි..හෙලිකොප්ටරේ ආව නේද?...'' ඔවුහු වැට අසල සිටම මහ හඬින් විමසති.

'' ඔව් ආව තමයි ඉතිං උඹලට මොකද?....'' මම මිදුලට බසිමින් අසමි.

'' අඩේ එහෙම කියන්ට එපා බං...පහුගිය මාසෙම ගෙදර ගියේ නෑ... ''

රජයේ සේවාවන් සියල්ල පූර්ණ වශයෙන් බිඳ වැටීම හේතුකොටගෙන ඔවුන්ට පසුගිය මස වැටුප තවමත් ලැබී නොතිබිණි.

'' හරි හරි බං, වරෙං... වරෙං.... මොනව හරි කරමු අවුලක් නෑ ''

වැටුප් නොලැබුනු ඔවුන් නිවෙස් බලා යාමට යම් මුදලක් ලබා ගත්තේ අප කිසිවකුගෙනි.

'' උඹලගෙ මිනිස්ටර් හැබැයි කිව්වොත් කිව්ව දේ කරනව මොන දහංගැටේ ගහල හරි, ඔය වගෙ මිනිස්සු තව කීප දෙනෙක් හිටියනං අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. ''

ඒ දශක දෙකහමාරකට ආසන්න කාලයකට ඉහත ඒ දිනවලට පසු නැවත කිසිදිනෙක මට හමු නොවූ තරුණ ගුරුවරයා පැවසූව එදාටත් වඩා වලංගු වන්නේ අදට බව මම තරයේ විශ්වාස කරන්නෙමි.

අද අපට අවශ්යව ඇත්තේ ඔහු වැන්නවුන්ය. අද නැත්තේද ඔහු වැන්නවුන්ය.දේශපාලනයේ නිරත වන්නකුට, එහි හිණි පෙත්තටම සැපත් වීමේ නොතිත් අධිෂ්ඨානයක් සිත දරාගත්තකුට අත්‍යාවශ්‍ය ගුණාංග කිහිපයකි. ජන ප්රසාදය දිනා ගැන්මේ හැකියාව ( Charisma ) සහ පෞරුෂය ඉන් ප්රධානය. ඔහු ඒ ගුණාංගයන්ගෙන් නොඅඩුව පරිපුන් මිනිසෙක් විය.

ශ්රී ලංකාවේ මෙතෙක් ක්රියාත්මක කෙරුනු විශාලතම සංවර්ධන ව්යාපෘතිය වූ මහවැලි ව්යාපෘතිය ඔහුගේ නායකත්වය රහිතව කිසිලෙසකින් සාර්ථක ලෙස නිමාකරනු නොහැකි වනු ඇත.
එසේම අපේ ජනප්රියතම ක්රීඩාව වූ ක්රිකට් ක්රීඩාවට ටෙස්ට් ක්රිට් වරම් ලබාදීම උදෙසා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ඉදිරියේ 1981 ජූලි මාසයේදී ඔහු ඉදිරිපත් කල කරුනු දැක්වීම බෙහෙවින් ඉවහල් විය. එහෙත් 1996 මාර්තු මස ශ්රී ලංකාව ලෝක ශූරයින් වනු දක්නට ඔහු ජීවතුන් අතර නොවීය.
ඉදිරි දර්ශනයක් තිබූ නායකයෙක්........යමක් කල යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් සියළු බාධක පරයා තම ගමන් මඟ, තම ඉලක්කය කරා නොසැලී ඉදිරියට ගමන් කල ඔහු වන් යුග පුරුෂයෙක් අපහට අකාලයේ අහිමි වූයේ අපගේම අවාසනාවටය.

ඉන්දු -ලංකා ගිවිසුම සකස් කිරීමෙහි මෙන්ම ඒ ක්රියාත්මක කිරීමෙහිදීත් ඔහු නියාමක කාර්ය භාරයක් ඉටු කලේය.අවසන ඔහු ඝාතනය උදෙසා එල්.ටී.ටී. ඊ. සංවිධානය මෙහෙයවූ එක් ප්රධාන සාධකයක් ලෙස ඉන්දියාව සමඟ ඔහුගේ වූ සමීප සබඳතා සහ 1994 නොවැම්බර් ජනාධිපතිවරණය ඔහු ජයග්රහණය කලහොත් යන සැකය ද එකසේ බලපාන්නට ඇත.

එල්.ටී.ටී. ඊ. ත්රස්ත වාදය පරාජය කලද ඔවුන් විසින් මේ රටට කල හානිය කිසිදා පිරිමැසිය නොවනු හැක. ගාමිණී වන් රටකට විශේෂයෙන්ම නැඟී සිටීමට වෙර දරන තුන්වන ලෝකයේ ඌන සංවර්ධිත අප වන් රටකට අවශ්ය ඉදිරි දැක්මක් මෙන්ම නොසැලෙන අධිෂ්ඨානයක් සහිත නායකයන් බොහෝ දෙනෙක් සාහසික අන්දමින් ඝාතනය කිරීම ඔවුන් අපට කල විශාලතම හානියයි.

පසුගිය දිනවල මා කියවූ ඉතාම චිත්තාකර්ෂණීය පොතක් පිළිබඳ සඳහන් කොට මේ සටහන නිමා කරන්නෙමි. Robert Cowley නම් ඉතිහාසඥයා විසින් සංස්කරණය කල එය '' What If? '' නම් වේ.

ලෝකය වෙනස් කල ඓතිහාසික සිදුවීම් අප දන්නා අයුරු සිදුනොවී වෙනත් ආකාරයකට සිදුවිනි නම් ලෝකය කෙසේ වෙනස් වන්නට තිබුණුද?


මනඃකල්පිත අනුමාන කිරීම් සහයකොටගෙන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් අලලා ලියැවුනු ඉතාම සිත් ඇදගන්නා සුලු සටහන් මාලාවකි ඒ.

පොන්ටියස් පිලාත් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත මරණයට නියම නොකොට නිදහස් කලේ නම්?

15 වන සියවසේ දී චීන ගවේෂක Zheng He අද්මිරාල් වරයා විසින් උතුරු අමෙරිකාව සොයාගන්නා ලද්දේ නම්?

හිට්ලර් දෙවන ලෝක සංග්රාමය ජයග්රහණය කලේ නම්?

මේ එහි සාකච්ඡා කෙරෙන මාතෘකා කිහිපයකි.

මේ පොත කියවද්දී මසිතට නැඟුනු එක් සිතිවිල්ලක් වූයේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව මෙවන් මනඃකල්පිත නිබන්ධනයක්  ගොනු කිරීමටට අපේ ඉතිහාසඥයින්ට නොහැකිවීම හෝ ඔවුන් ඒ පිළිබඳව උනන්දු නොවීම කොතරම් අභාග්යයක්ද යන්නයි.

දුටුගැමුණු පරදා එළාර ජයග්රහණය කලේ නම්?

පෘතුගීසීන් ලංකාවට ගොඩ නොබැස්සේ නම්?

1815 ඉංග්රීසීන්ට කන්ද උඩරට අල්ලාගත නොහැකි වූයේ නම්?

1818 කැරැල්ලෙන් ඉංග්රීසීන් මුලුමනින්ම පරදවා කැප්පෙටිපොල ජයග්රහණය කලේ නම්?

1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනය නොවුනි නම්?

1993 මැයි 1 වනදා ජනාධිපති ප්රේමදාස ඝාතනය නොවුනි නම්?

1994 ඔක්තෝබර් 24 වනදා ගාමිණී ලයනල් දිසානායක තොටළඟ දී බෝම්බ ප්රහාරයකට ගොදුරුව ඝාතනය නොවිනි නම්?

ලංකාවේ ඉරණම / ඉතිහාසය කෙතෙක් වෙනස් වීමට ඉඩ තිබිණිද?

What might have been?...Oh What might have been?......Alas.....We can only speculate......

Monday, October 22, 2012

141. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....23

,.,

ඒ හා සමඟම ඈ නෙත් එක් වරම යොමුවූයේ කොහොඹ රුක් සෙවණෙහි එකිනෙකා හා වෙලී මාතෘ සහ දාරක සෙනෙහස විඳිනා මුවැත්තිය සහ මිග පෝතකයා දෙසටය.

ඈ වතෙහි දිස්වූ වෙහෙස වහා අතුරුදන් වූයේ අනපේක්ෂිතව හමා ආ දැඩි සුළඟක් ඉදිරියේ ඊට මුහුණ දිය නොහැකිව සතර අත පලායන වැහි වළාකුලක් පරිද්දෙනි.

යුවතියගේ මුවින් පිටවූ අව්‍යාක්ත නාදය කුමක් වුවද ඒ දැඩි සන්තුෂ්ඨිය පළකරනු වස් නැගූවක් හෝ වඩා නිවැරදිව පැවසුවහොත් අනිච්ඡානුගතව මුවින් පැණ නැඟුනක් බව දඩයක්කාරයා එක්පැහැර දත්තේය.

මෙතෙක් ඈ වත පෙලූ හේබා ගිය වෙහෙස කර ස්වභාවය අමතක වූ සෙයක් පලකල ඕ තොමෝ පිල්කඩින් ගෙමිදුලට බටුයේ කෙලි ලොල් දැරියකසේ ප්‍රීතියෙන් සිනාසෙමිනි.ඇය මීට ස්වල්ප වේලාවකට ප්‍රථම පලකල දුර්වල ස්වභාවය මතකයට නැඟුනු දඩයක්කාරයා වහා පිල්කඩින් පැන නැංගේ සිතෙහි උපන් චකිතයක් වන් හැඟීමක් නිසාමය. එහෙත් එසේ කලබල වීමක් කිසිසේත් අනවශ්‍ය බව ඔහුට නිසැකවම හැඟුනේ ඈ කිසිදු අප්‍රාණික ස්වභාවයක් රෝගී තත්වයෙක් හෝ යටත් පිරිසෙයින් විඩාවෙක් හෝ හෝ ප්‍රදර්ශනය නොකොට හැසිරුණු කෙළිලොල් ස්වභාවය හේතු කොටගෙනය.

දුනු දිය ඇද මුදාහල හීයක් මෙන් ඈ දිවගියේ කොහොඹ වනස්පතිය සෙවණෙහි එතෙකුදු එකිනෙකා හා වෙළෙමින් සෙනෙහස ප්‍රදර්ශනය කරනා මව සහ පුත්‍රයා වෙතටය. ඔවුන් වෙත ළඟාවූ ඇසිල්ලේ දෙදණ නවා ඒ අසළ හිඳගත් ඇය මව සහ පුත්‍රයා තම දෑතින්ම තුරුළු කොට ගත්තී හඬනඟා සිනාසෙමිනි.

තිරිසනුන් දෙදෙන සිප වැළඳ ඔවුනගේ සැඳෑ රත් හිරු එළියේ දිදුළන සුමුදු සම සෙනෙහසින් පිරිමදිමින් හිස් මත තම කොපුල් තබා ඔවුන් සුරතල් කරමින් බොහෝ වේලාවක් ගෙවූ යුවතිය එක් වරම නැඟීසිට ඇගේ මේ විප්‍රකාර මඳ සිනහවෙන් යුතුව නරඹමින් හිඳ හුන් දඩයක්කාරයා දෙස හැරුණාය.

'' මට කීවෙවත් නෑ නේද මේ දෙන්න මෙහෙ ඉන්නව කියල? ''

දෑතද ඉණට ගෙන චෝදනාත්මක ස්වරයෙන් ඔහු ඇමතූ ඇය ඒ සමඟම ඔහු ඊට කුමක් කියන්නේද යන්න දැන ගැන්මට පවා පමා නොවූවා යළි සත්වයින් දෙදෙන වෙත නැඹුරුව ඔවුන් හා සුරතල් වන්නට වූවාය.

දඩයක්කාරයා කොපමණ විශ්මයට පත් වූයේද යත් ඔහුගේ මුඛය ඔහු නොදැනුවත්වම විවර විය. ඔහුගේ යටි හණුව ඊට ප්‍රමාණවත් සේ දිගුවුනි නම් අනිවාර්යයෙන් ඒ පපුවෙහි ගැටෙනු නියතය. මේ සුවිශේෂී වූ යුවතියගේ හැසිරීම් මතු නොව කථාව ද ඔහු තුල ඇති කලේ නොමද චමත්කාරයකි. ඒ චමත්කාරයෙන් වශීවී ගිය දඩයක්කාරයා ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේ සිත් උපන් අති මහත් ප්‍රහර්ෂයකිනි.

මුවැත්තිය ඇගේ ආලිංගනයෙන් මිදෙනු වස් යම් නොඉවසිලිමත් හැසිරීමක් පළකරන බව දැනුනු පසුවය යුවතිය ඔවුන් මුදාහැර නැඟී සිටියේ.

යුවතියගේ ආලිංගනයෙන් මිදුනු ඇය සෙමෙන් සෙමෙන් වන පෙත කරා ඇදෙන්නට වූවාය. එහෙත් කුඩා පෝතකයා ඈ හා නොගොස් යුවතිය හා රැඳුනු හෙයින් වන රේඛාව අසල මොහොතකට පොරොත්තු වූ මුවැත්තිය ආපසු හිස හරවා නොඉවසිලිමත්ව ඔහු කැඳවන රාවයක් නැඟුවාය. එකල්හි පුත්‍රයා ද වහා දිවගොස් මව හා එකතුවූයේ නැවත වරක් ආපසු හැරී ඒ ඉරියව්වේම නැවතී ඔවුන් දෙස බලා සිටිනා යුවතිය දෙස එක් වරක් බලා තම මව සමඟ වන පෙත තුල වැද ක්ෂණයකින් අතුරුදන් විය.

ඔවුන් වනපෙතට ඇතුළු වූ ස්ථානය දෙස තවත් මොහොතක් බලා සිටි ඇය සුසුමකින් ළය සහැල්ලු කොට ගත්තී ආපසු හැරී ගෙපැල වෙත පිය මැන්නීය.

ඈ දෙසම මෙතෙක් ඇසිපිය නොහෙලා බලා සිටි දඩයක්කාරයා ඇය ආසන්නවන්නා හා සමඟම දෙනෙත් ඉවතට යොමු කලේ ගලා හැලෙන මඳ අඳුරට පසුබිම්ව වනරේඛාව ඔබ්බෙහි සරනා කණමැදිරි එලි දෙස බලා සිටින්නට වූයේ මින් පෙර ජීවිතයේ කිසි දෙනෙක නොදුටු අපූර්ව ආශ්චර්යයක් දුටු පරිද්දෙනි.

යුවතිය ගෙපැලට ඇතුල් වීමට මෙන් දොරටුව වෙත ළඟා වූවා එක්වරම යමක් සිහිවූවාක් මෙන් එළිපත මත නැවතුනාය. ඉන්පසු මඳක් කල්පනාවේ නිමග්නව සිට සෙමෙන් පිය මනිමින් පැමිණ දඩයක්කාරයා හිඳ සිටි පිල් කඩෙහි හිඳ ගත්තී ඔහු ආසන්නයේම නොවතුදුද එපමණ දුරකින්ද නොවේ.

ඇය දෙස එක් වරක් හිස හරවා බැලූ දඩයක්කාරයා නැවත කොහොඹ රුකට එපිටින්වූ වනපෙත අඳුර කැටිගැසෙනයුරු බලා සිටින්නට වූයේය. හාත්පස වෙලාගත් දැඩි නිශ්ශබ්දතාවය එක් වරම බිඳී ගියේ කොහොඹ අතුපතර සිට වේගයෙන් පියාපත් සලමින් එක්වරම කොහේදෝ ඈතකට ඉගිල ගිය එපමණ කුඩා නොවූ යම් නිශාචර පක්ෂියකුගේ හඬිනි.ඉන් සමවැදහුන් දැහැන බිඳී ගියා සේ දඩයක්කාරයා වහා යුවතිය දෙස හිස හරවා බැලීය.ඇය ද ඒ මොහොතේම ඔහු දෙස බැලූ හෙයින් ඔවුන්ගේ දෑස් එකට හමුවිය. ඒ බැල්මෙහි බන්ධනය ගිලිහී යා නොදී ඇය හඬ අවදි කලේ වදනින් වදන ප්‍රවේශමෙන් තෝරා ගනිමිනි.

'' මට හිටියෙ අම්මයි අපුච්චයි විතරයි.අපි හිටියෙ මේ දිය පාර උඩහ පැලක් අටවගෙන.ඒ අහල පහල මිනිස් පුලුටකට හිටියෙ අපි විතරයි.අපුච්ච හේනක් කෙටුව.මනුස්සයෙක් කියල මට ඇහැ ගැටුනෙ තවලං දක්කගෙන ආපු මට්ටයෙක් විතරයි. උංගෙං තමයි අපි ඕන බඩු හුවමාරු කරගත්තෙ.... ''

කොතෙකුත් ඈ දෑස දෙසම එක එල්ලේ බලා සිටිය නොහුණු දඩයක්කාරයා ඇගේ දෑසින් වෑයමින් මුදාගත් සිය දෑස අඩවන් කොට ගත්තේ මඳක් පසුපසට ඇදී ගෙපැලෙහි ලී දඬු වලින් නිම වූ බිත්තියට හේත්තු විය.

මේ මොහොත වන විට අඳුර දැඩි වී හාත්පස වසා පැතිර තිබූ අතර වාළිඹේගල තුඟු ගිරි හිස මතින් අඩ සඳක් පායා ඒමට තැත්කරමින් සිටියේය. එක්වරම හමා ආ සිහිල් සුළං රැල්ල දඩයක්කාරයාගේ නිරුවත් උඩුකයෙහි හිරිගඩු නැංවීය.එහෙත් මධ්‍යාහ්නයෙහි දැඩි හිරුරැසෙහි ගත දවන දාහය මෙන්ම මධ්‍යම රාත්‍රියෙහි හමා එන සිසිල් පවන් රොදක රැඳි සිරුර ප්‍රකම්පිත දැඩි ශීතයද එකසේ විඳ දරා ගැන්මට සුපුරුදු ඔහු ඒ නොතකා හලේ අවම වශයෙන් දෑත පොරවා ගැන්මට හෝ උත්සුක නොවීය.

එහෙත් සිහිල් සුළඟ හා පැමිණි දැඩි ශීතය යුවතියට ඔරොත්තු නොදුන් බව ඈ හැඳ සිටි ශ්වේත වර්ණ රෙදි කඩ තවත් සිරුරටම තද වනමෙන් සකසා දෑත ද ළයමත බැඳගත් අයුරු කියා පෑවේය.

'' ඔය අපි හිටපු තැනට පදිංචියට ඇවිල්ල තියෙන්නෙ මම හුඟක්ම කුඩා කාලෙ වෙන්න ඕන.මට එහෙම එනව වත් ආවෙ කොහෙන්ද කියලවත් කිසිම මතකයක් නෑ.අපුච්චවත් මයෙ අම්මවත් කිසි දවසක ඒ ගොල්ල ආවෙ කොහෙන්ද?...මොකක් නිසාද එන්ට සිද්ද උනේ කියල කිව්වෙ නෑ.....''

'' ඉතිං ඔයා ඒ ගැන එයාලගෙන් කවදාවත් ඇහුවෙත් නැද්ද? '' දඩයක්කාරයා ඈ දෙස නොබලාම විමසූයේය.

'' හිහ්......හිහ්, .....'' යුවතිය අත් පොළසන් නඟා කිකිණි හඬින් සිනාසුණාය.

මොකද වෙලා තියෙන්නෙ?...මොකටද හිනා වෙන්නෙ?....ඔහු ඒ ප්‍රශ්න දෙක ඇසුවේ නැත. නළලත නැඟුනු රැල්ලෙන් සහ දෙබැම එක් වූ විලාශයෙන් මෙන්ම ඈ වෙත හෙලූ ක්ෂණික බැල්මෙන් ද ඈ ඒ වහා වටහා ගත්තීය.

'' නෑ....අයිය ඔය වචනයක් කතා කලාමයි. ඒකයි මට හිනා ගියේ...මම ඒත් හිතුව අයිය ගොළුවෙක් වත්ද කියල....'' ඈ නැවත වරක් හඬ නඟා සිනාසුණීය.

ඇගේ කෙලිලොල් දඟකාර හැසිරීම ඉදිරියේ කොතෙකුත් නිශ්ශබ්දව සිටිය නොහැකි වූ කල්හි දඩයක්කාරයාගේ මුවඟට ද සිනහවක් නැඟිනි. ඒ යුවතියගෙන් වසන් කරනු උදෙසා ඔහු වහා හිස ඉවත හරවා ගත්තේ යටි තොල සපාගනිමිනි.

ඇගේ සිනහව කෙමෙන් වියැකී ගියේය. ඈ යලි තම කථාව පැවසීම අරඹන තෙක් දඩයක්කාරයා ඉවසිළිවත්ව පොරොත්තු වූයේය.

අඩ සඳ අහස මුදුනත ආසන්නයටම ළඟා වී තිබිණ. සඳ දෙස බලනු වස් මුහුණ ඉහලටම හැරවූ දඩයක්කාරයා යුවතියගෙන් බොහෝ වේලාවක සිට කිසිදු හඬක් නොමැති හෙයින් එලෙසින්ම හිස හරවා ඈ දෙස බැලීය.

ඈ හිස මඳක් ඉහලට ඔසවාගත් වනම කිසිදු ඉලක්කයකින් තොරව හිස් බැල්මෙන් කොහොඹ අතු පතර අඳුර අතරේ නිවෙමින් දිලෙනා කණමැදිරි සැණෙලි දෙස බලා සිටියාය. ඇගේ විසල් දෙනෙතෙහි යටි ඇසිපිය අසල පිරීගිය කඳුළු බිඳුවක් සඳ එළියේ දිලෙනු දුටු ඔහු සිත ඈ කෙරෙහි හටගත් අනුකම්පාවකට බොහෝ සේ සමාන එහෙත් හුදු අනුකම්පාවක්ම නොවන නුපුරුදු හැඟීමකින් පිරී ගියේය.

නෙත පිරි කඳුලු මිරිකා හරිනු වස් දෙනෙත් තදින් පියාගත්වනම මොහොතක් ගත කල ඕ යලි දෑස් හැර බැලූයේ ඉතා පහත් සොවින් පිරි ස්වරයකින් හඬ අවදි කලාය.

'' මම අපුච්චගෙ ඇහැව්ව...උන්දැ කිව්වෙ මම මයෙ දූට නියම වෙලාව ආහම ඒ ඔක්කොම කියල දෙන්නම්කො ..'' එහෙම කියල මයෙ ඔලුව අත ගෑව...'' උන්දැ මට මයෙ පණටත් වැඩිය විස්සාසයි. උන්දැ කියපු දෙයක් කොයි මක් කරල හරි නොකර ඉන්නෙ නෑ...ඒත් හැම දෙයක්ම සිද්ද උනේ හීනෙකිංවත් නොහිතපු විදිහට මයෙ අයියෙ...''

මයෙ අයියෙ...යුවතියගේ ඒ ඇමතුම මෙන්ම ඒ ඇය ඒ පැවසූ අන්දමෙහි ගැබ්වූ හෘදයාංගම ස්වරය දඩයක්කාරයාගේ සිතට එක්කලේ ඈකෙරෙහි හටගත් අනුපමේය වූ සෙනෙහසකි. ඒ හැඟීම හඳුනා ගැන්මට හෝ තිර ලෙස ඒ මෙසේ යයි විස්තර කිරීමට හැකියාවක් ඔහුට නොවූ නමුදු දඩයක්කාරයා එක කරුණක් දැන සිටියේය. ඒ එසේමය. කොහොඹ ගස ඉහලින් එදා පායා තිබූ අඩ සඳ හිමිදිරියට පෙර බැසයන බව සහතික යම් සේද, හෙට හිමිදිරියේ ගෙපැල අසල ගල් තලාවට නැඟී නැගෙනහිර මුහුදු තීරය දෙසින් පිහිටි කඳු වලල්ල දෙස බලන කල්හි ලහිරු මඬල ඒ මතින් නැඟී එනු දකිනු හැකි බව සහතික යම් සේද ඒ හැඟීම තමන් ළය පුරා පිරී ගත මෙන්ම සිත ද ප්‍රබෝධමත් කරනා බවද එසේම තමන් ඒ හැඟීමට වදනින් විස්තර කල නොහැකි ලෙස ප්‍රිය කරන බවද දඩයක්කරයා එලෙසම ඉඳුරාම දැන සිටියේය.

මතු සම්බන්ධයි........

Tuesday, October 16, 2012

140. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....22

,.,

දැඩි කුසගින්න සහ සිතෙහි පාවෙන්නක් බඳු සැහැල්ලුව යනු එකිනෙකට හාත්පසින්ම විරුද්ධ සංජානනයන් දෙකක් බව ඔබ එකහෙලා පවසනු මට නිසැකය.( සංජානනය = හැඟීම, Perception )

ඔබ හා එකඟවීමට මම කිසිසේත් නොපැකිලෙමි.එහෙත් දඩයක්කාරයා එදින ඒ පිල්කඩ මත ඒ ඉඳුරාම විරුද්ධවූ සංජානනයන් මුවග තැවරි මන්දස්මිතියකින් ද යුක්තව විඳිමින් වැතිර සිටි බව මම පවසනවිට ඊට ඔබ විරුද්ධ වන්නේ නම් ඔබට කරුණු පැහැදිලි කිරීමෙහිලා මට අවසර...


එදින ඒ එසේ සිදුවූ බව පමණක් ඔබේ විරුද්ධතාවයට ප්‍රතිතර්කය ලෙස පවසා මම නිහඬ වෙමි. එසේය, ඒ එසේම එදින සිදුවිය.


මධ්‍යාහ්නය ගෙවී හිරු සිය අවරගිර තෙක් වූ අස්තංග ගමන අරඹා හෝරාවක් පමණ ගෙවී තිබිණි.පසුගිය දින කිහිපය පුරා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවන් පිළිබඳ ව යටත් පිරිසෙයින් සළකුණක් පවා නොමැතිව නිල් අහස බැබලියේ ඇස් හැර ඒ දෙස එක එල්ලේ බැලීම පවා අපහසු කාර්යයක් බවට පත් කරමිනි.


වර්ෂාව නොකඩවා ඇදහැලුනු දින කිහිපයේ තුරු ගොමුවල පියාපත් පෙරවාගෙන තෙමී බත්ව හුන් සියොත්හු කලකට පසු උදාවූ මේ හිරු රැසින් දිදුලන පැහැදිලි දිනයේ උදෑසනම අහර සොයාගොස් කුස පුරවාගත්තාහු ප්‍රීතිනාද නඟමින් කෙලි දෙලෙන් එහා මෙහා පියැඹූහ.


නිරතුරු දෑස් පියාගත්වනම පිල්කඩ මත සෙල් රුවක් සේ නිසොල්මනේ හිඳිනා දඩයක්කාරයා ගෙමිදුල කොහොඹ ගස තම නිත්‍ය වාසස්ථානය කොටගත් දෙමලිච්චන් කැළට කිසිසේත්ම නුපුරුදු හෝ බිය ගෙන දෙන දසුනක් නොවූ බැවින්ම ඔවුහු දඩයක්කාරයාගේ දෙපා අසලම දුව පැන ඇවිද්දේ මහත් ඝෝෂාවක් නඟමිනි. උන්ගේ අතොරක් නැති ඝෝෂාවට දායක නොවූ නමුදු අඳුරු රත්වන් පියාපතින් හෙබි කොණ්ඩ කුරුලු යුවලක් ද ඒ අතර නොවුනේ නොවේ.


සියොත් රාවයට සවන් දෙමින් හෝ නොදෙමින් දඩයක්කාරයා පිල්කඩෙහි වැතිර හුන්නේය.එක් වරම මෙතෙක් නැඟූ ඝෝෂාව එකවරම නැවැත්වූ දෙමලිච්චෝ වහා ඉගිල ගියෝ කොහොඹ ගහේ පහතම අතුපතරෙහි හිඳ සැඟවුණෝය.


කණට පුරුදුව පැවති ඝෝෂාව එක්වරම ඇණහිට දසත පැතිර ගිය දැඩි නිශ්ශබ්ද තාවය දඩයක්කාරයා මෙතෙක් ගැලීසිටි අකර්මන්‍ය සම්මෝහයෙන් ඔහු සැනෙකින් මුදවාලීමට සමත්විය.


සවනේන්ද්‍රියකින් මෙන් දැනුනු යම් චිත්තාවේගයකින් ලත් පෙළඹවීමෙන් දඩයක්කාරයා සෙමෙන් හිස හරවා ගෙපැලෙහි දොරටුව දෙස බැලීය. උළුවස්සෙහි දෙපස සිරස් කණු යුවලට දෑත තබා ඊටම වාරුවි ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා හුන්නී ඒ යුවතියමැයි.


එකිනෙකාගේ දෑස් දෙස එක එල්ලේ බලාසිටිමින් ගතවූ මොහොතකට පසු ඇය උලුවස්සට වාරුවී හුන් එක් අතක් අත්හැර පියවරක් ඉදිරියට ඒමට තැත් කලාය.එහෙත් දෙපා අවසඟ වීම කරන කොටගෙන වෙලෙවි වී ගිය ඕ නැවත වහා දෑතින්ම උළුවස්ස තරව ගෙන ඊටම හිස වාරු කොට ගත්තීය. මෙතෙක් සෙල් රුවක් පරිද්දෙන් ඈ දෙස බලාසිටි දඩයක්කාරයා වහා නැඟිට ඈ වෙත සිව් පියවරකින් ලඟාවූයේ උරහිස වටා යැවූ තම සුරතට ඈ වාරු කොට ගත්තේය.


එක් වරක් හිස ඔසවා ඔහු දෙස බැලූ ඇය දිගු සුසුමක් හෙලා ඔහුගේ පපුවට වාරු වූවාය.


ඇයද සමඟ එළෙසම ගෙපැලට ඇතුළු වූ දඩයක්කාරයා ඇය මෙතෙක් නිදාසිටි මුවසම මත ඇය සීරුවෙන් හිඳුවා යලි නැඟී සිටියේය.ඇය දෙනෙත් පියාගත් වනම හිස පහතට නැඹුරු කොටගත් වනම නොසෙල්වී හුන්නාය.දෙදණ නවා වම් පසට විහිදුවා හිඳ සිටි ඇගේ දිගු කෙස් කළඹ වත අඩක් වසාගත්තේ ළැම මතද පැතිර ගියේ තවමත් සිඳී නොගිය දියබිඳක් ඒ මත පතිත කරවමිනි.


මඩක්කුවට පරිප්පු හා මුසු වූ බත බෙදාගත් දඩයක්කාරයා යුවතිය ආසන්නයේ ඇණ තබා හිඳගත්තේ බත් කටක් ඇගේ මුවග තැබීමට උත්සාහ කලේය.එහෙත් ඇගේ කඩාහැලෙන දිගු කෙස් කළඹ ඊට බාධාවක් වූ හෙයින් ඔහු පළමුව ඇගේ මුහුණ ඉදිරියේ වූ කෙස් වමතින් ඉවත් කිරීමට තැත් කලේය. ඔහුගේ මුදු ස්පර්ශයෙන් එක් වරම පිබිදුනාක් මෙන් දෑස් විවර කල ඇය දෑතින්ම මුහුණ වසා වැටුනු කෙස් කලඹ උරහිසින් පසුපසට තල්ලු කොට ඔහු දෙස බලා වෙහෙසකර සිනහවක් පෑවාය.


මඩක්කුවෙහි වූ පරිප්පු හා මිශ්‍ර බත දැඩි සාගින්නෙන් මෙන්ම වෙහෙසින්ද පීඩිතව හුන් යුවතිය ගිල දැම්මේ දඩයක්කාරය සියතින් ඇනූ බත් පිඬු ඇගේ මුවග තබනා ඇසිල්ලෙනි.කොපමණ සාගින්නෙහි පසුවුවද ඇය මඩක්කුවෙහි වූ බත අඩක් පමණ අවසන් වන කල්හි ඔහුගේ සුරත අල්වාගෙන දැස් දෙස බලාගත්වනම මොහොතක් සිටියේ තොලගට නැඟි මද සිනහවකින් යුක්තව හිස සෙමෙන් දෙපසට වනා තව දුරටත් අහර ගැන්ම ප්‍රතික්ෂේප කලාය.දඩයක්කාරයා ගෙපැලෙහි මුල්ලකවූ මැටි කළයෙන් එක් අඬුවක් කැඩී ගිය මැටි කෝප්පයකට නවා දුන් ජලය එක් හුස්මට පානය කල ඕ ඉන්පසු පෙට්ටගමට හේත්තු වූවා ඔහු මඩක්කුවෙහි ඉතිරි බත ගිල දමනු සෙනෙහසින් බලා සිටියාය.


එහෙත් දඩයක්කාරයා අහර ගෙන අවසන් වන්නට ද පළමු ඇය නොදැනුවත්වම නිදි ලොව වෙත පිවිසියේ තොලග රැඳි සිනහව ද නොමැකී පවතිද්දීය.


අහර ගත් ඉක්බිති දඩයක්කාරයා ඇය සීරුවෙන් එතැනම තිබූ මුවසම මත දිගාකලේ ඇය අවදි නොකිරීමට ප්‍රවේශම් වෙමිනි.


ඇය අසල දණ ගසාගත් ඔහු ඇය දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදෙමින් ගැඹුරු නින්දකට පිවිසෙනු බලාසිටියේ සිතෙහි උතුරායන සහසකුත් එකක් නුහුරුවූ හැඟුම් වටහාගැන්මෙහිලා අසාර්ථක උත්සාහයක යෙදෙමිනි.


ඔහු දැහැන් බිඳී ගියේ ගෙමිදුල දෙසින් ඇසුණු කිසියම් සතකුගේ දැඟලීමට හඬිනි.තවත් මොහොතක් ඇය නිදන දෙස බලා සිටි දඩයක්කාරයා සෙමෙන් නැඟිට ගෙපැලෙන් පිටතට පැමිණියේය.


ගෙමිදුල මධ්‍යයේවූ කොහොඹ ගස සෙවණේ, ගෙපැලට පිටුපා වනපත දෙස සුවිසල් දෑසින් බලාසිටියේ හොඳින් වැඩුණු මුව දෙනකි.


ඇය බොහෝසේ නොඉවසිලිමත් ස්වභාවයක් පළකරමින් සෘජුව ඔසවාගත් කන් සහිතව පියවර කිහිපයක් එහා මෙහා ඉදිරියට සහ ඒ සමඟම පසුපසට ඇදුනේ දැඩි ආතතියකට ලක්ව සිටිනා බවක් පලකරමිනි.


ඇගේ රන්වන් සම මතුපිට කොහොඹ අතුපතරින් පෙරී ඇදහැලුනු හිරුරැස් මැවූ රටාවන් ඇය නොඉවසිල්ලෙන් එහා මෙහා පියවර තබද්දී වරෙක මැකී යලි ඇඳී යන අයුරු දඩයක්කාරයා නිසොල්මන්ව බලා සිටියේය.


වනයෙහි නිසොල්මන්ව සරද්දී නොයෙක් වර මහ ගසක් සෙවණෙහි ඇණතබාගෙන හෝ නො එසේවීනම් ගල කුලක් මතුයෙහි එරමිණිය ගොතා සෙල් රුවක් මෙන් නිසලව සිටිනා කල්හි කුතුහලයෙන් මඬිනා ලද බොහෝ ලොකු කුඩා වන සත්තු දඩයක්කාරයා අසළටම නිර්භයව පැමිණ ඔහු ඉව කොට පවා ආපසු යන අවස්ථා නොගිනිය හැකි තරම් යෙදුනේ වී නමුදු මතක ඇති දිනෙක ඔහුගේ ගෙපැල සතර මායිමට කිසිදු වන සතෙක් පැමිණියේ වී නොවේ.

 
ඔහුට මතක ඇති කලෙක පටන් ඒ එසේ වූ හෙයින් දඩයක්කාරයා කිසිදිනෙක ඒ පිළිබඳ සිත වෙහෙස කිරීමට තැත් නොකලේය. පියාණන් මියයාමට පෙර පැවසූ පරිදි ඒ සිදුවීමට නියමිත දෙයකැයි යන සිතුවිල්ලෙන් සැනැහුනු ඔහුට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් ද නොවීය. එහෙත් අපේක්ෂා රහිතවම වූ මේ මිගාංගනාවගේ ආගමනය ඔහු සිත තුල කුතුහලයක් ඇති කලේය.

සැළකිය යුතු කලෙක සිට තිරශ්චීන සත්වයින් හා ඒකාත්මික වීම ඔහු අතැර දමා තිබුනද තම ගෙමිදුලටම පැමිණි මේ මෘග ධේනුවගේ අභිප්‍රායන් පිළිබඳව දැන ගැන්මට දඩයක්කාරයා ඉටා ගත්තේය.


ඔහු පලමුව ප්‍රත්‍යක්ෂ කලේ ඇය නොඉවසිල්ලෙන් වනය දෙස නෙතු යොමා සිටිනුයේ වන රේඛාවේ සැඟවී මව වෙත නොපැමිණ හැංගිමුත්තම් ක්‍රීඩාවේ නිරත සිය පුත්‍රයා තමන් වෙත පැමිණෙන තෙක් බවය.

 
අපරිචිත ( නුපුරුදු ) ස්ථානයකට එක්වරම පිවිසීමෙහිලා දක්වන කුළෑටි බව හෝ තම මව වික්ෂිප්ත කරවීමෙහිලා දරුවන් තුල පවතින නෛසර්ගික ( සහජ, ආවේණික ) රුචිය කරණකොට හෝ වේවා ඔහු මව වෙත නොපැමිණ ගෙපැල එපිට වන මායිමේ හරිතවන් පතින් ගැවසි පඳුරු අතර සැඟව සිටියි.
 
අවට වන රොද සිසාරා තම සිත් විහිදවූ දඩයක්කාරයා ඇසට අසුවන ...සමාවන්න...සිතට හසුවන මානයේ මුව පොව්වාහට අනතුරක සේයාවකුදු නොමැතිබව සැකහැර දත්තේ මේ ජවනිකාව සිත්පුරා නරඹනු වස් හරිබරි ගැසී හොඳහැටි සැප පහසුවෙන් පිළෙහි ඈඳිගත්තේය.

අවසන තම මව වික්ෂිප්ත කරවූවා ප්‍රමාණවත් යැයි ඔහුට සිතුනිද එසේ නොමැත්තේනම් මෙතෙක් වේලා යෙදුනු ක්‍රීඩාවෙන් එක්වරම විඩා විණිදැයි එකහෙලා පැවසිය නොහැකි වූවද එක්වරම තමන් සැඟව සිටි වන රේඛාවෙන් ඉවතට පිනූ මුව පොව්වා කෙලි දෙලෙන් නටමින් කරකැවෙමින් තම මව වෙත දිව ආවේය.


මවකගේ සහ පුත්‍රයකුගේ සෙනෙහස විද්‍යාමාන වන්නාවූ සාතිශය හැඟුම්බර අවස්ථාවකට සි‍යැස් සාක්ෂිකරුවකු වූ දඩයක්කාරයා මහත් ආශාවෙන් ඒ දර්ශනය දෙස බලා හුන්නේ සිය චිත්ත සන්තානයද මිහිරි එමෙන්ම සැහැල් වූ හැඟුම් දහසකින් පිරවී යනු මොනවට අත්විඳිමිනි.


ඔහු සමවැද හුන් දැහැන අනපේෂිතව බිඳී ගියේ...........


'' අයියා............. ''


ඒ ඇගේ හඬයි. ඔහු සැඩපහරින් දිවිගලවාදුන් ඒ යුවතියගේ හඬයි.ගෙපැලේ මුවසම මත වැතිර ගැඹුරු නින්දකට වැදහුන් ඒ යුවතියගේ හඬයි..

 
ඔහු සෙමෙන් හිස හරවා බැලීය.ගෙපැලෙහි දොරටුව පසුබිමෙහි ඇය නැඟීසිටියේ ඔහු දෙස දීප්තිමත් දෙනෙතින් එක එල්ලේ බලා හිඳිමිණි.

මතු සම්බන්ධයි........

Monday, October 8, 2012

139. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....21


ඇය අවසිහියෙන් කරනා තොල මැතුරුමට එතැන සිටගෙනම සවන්දුන් දඩයක්කාරයා වහා යමක් සිහිපත් වු පරිදි පෙට්ටගම විවෘත කලේය. එහි අඩියේම තැන්පත් කර තිබූ එදවස මහ දඩයක්කාරයා ජීවත් වූ සමයෙහි ගැල් ගොනුන් දෙදෙනෙකුගේ සිරුර දෙපසට එල්ලෙන පරිදි මොල්ලිය පසුපස තරව සිර කල ගෝණි මළු දෙකක පුරවා මුහුදු බඩ සිදාදියෙහි සිට මසකට වරක් පමණ වන මං ඔස්සේ කරක් ගසමින් සංචාරක වණික් කර්මාන්තයෙහි යෙදුනු යෝනක වෙළෙඳාගෙන් ලබාගත් ශ්වේත වර්ණ රෙදි කඩ කාලයාගේ ඇවෑමෙන් කහවන් වී තිබිණ. 

කසාවන් රෙදිකඩ පෙට්ටගමෙහි තැන්පත් ව බොහෝ කල් ගත වූ නමුදු ඉස්තරම් වූ නිමාවෙන් යුත් එහි සවිමත් බවට මෙතෙක් කිසිදු හානියක් නොවීණි. රෙදි කඩ දිගහල දඩයක්කාරයා එහි සතරෙන් කොටසක් පමණවූ ප්‍රමාණයක් සිය සවිමත් දෑතින් ඉරා වෙන් කලේය. 

යලි යුවතිය අසල දණගසාගත් ඔහු ඉරාගත් රෙදිකඩින් ඇගේ සිරුර ඉතා ප්‍රවේශමෙන් මෙන්ම පරීක්ෂාකාරීවද තෙත මාත්තු කොට පිසදැමීය. 


ඇගේ තුඟු ළය මඬල සහ දඟ යුග රෙදි කඩින් පිස දමද්දී යලි කුඹුක් තුරු සෙවණෙහි සිදුවූ ඒ සදානුස්මරණීය සිදුවීම ද එදා අත්විඳි අශ්වාදයද යලි චිත්තාභ්‍යන්තරයෙහි කරළියට ප්‍රවිෂ්ඨව රංගනයෙහි යෙදෙන්නට වු හෙයින් දඩයක්කාරයා මොහොතක් කාර්‍යය අත්හිටුවා සිත දමනය කර ගැනීමේ උත්සාහයක යෙදුණේය. 


දෑස් තරව පියාගත්වනම පෙනහළු පිරීයනසේ කල ආශ්වාසය ද ඉනික්බිති ඉඳුරාම පිරීගත් වායුව මුළුමනින්ම බැහැරවනසේ කල ප්‍රශ්වාසයද යන සිත් දමනය කිරීමෙහිලා නොවරදින ප්‍රතිකර්මයෙහි කිහිප වරක් යෙදුනු අනතුරුවය ඔහුගේ චිත්තාවේගයන් යම් පමණකට පාලනයට නතු වූයේ. 


යුවතියගේ දේහය හොඳින් තෙත මාත්තු කල දඩයක්කාරයා රෙදි කඩෙන් ඉතිරි කොටස ගෙන ඇය එහි දැවටුවේය.දඟ යුග මධ්‍යයේ පටන් ගෙල දක්වාම ප්‍රවේශමෙන් රෙදිකඩින් ඇය එතූ ඔහු ඉන්පසු නැඟිට සිටියේ ගෙපැලේ පසුපස බිත්තිය අසල රැස්කල තිබූ වියළි දර ඉපල් රැසකට ගිණි අවුළුවා ඇය අසල ගිණි මැළයක් ඇවිලවූයේය. 


ගෙපැල තුල හෙයින් බොහෝ කොට ගිණි දළු නැඟනොයනසේ දර ඉපල් කිහිපයක් පමණක් යෙදීමට වගබලාගත් හෙතෙම ගින්දරට පා රත් කරගත් තම යුගතින් ඇගේ කොපුල් තල පිරිමැද උණුසුම් කලේය.ඇගේ වත සුදුමැළි පැහැ මැකී ගියේ ප්‍රාණවත් වන්නට ඇරඹි වහාම ගිණි මැළයට තවත් දර ඉපල් කීපයක් ලංකල දඩයක්කාරයා නැඟී සිටියේය.ආහාරයට ගත හැකි කිසිදු දෙයක් තබා අහරක් පිළියෙල කිරීමට සුදුසු කිසිදු දෙයකුදු ගෙපැලේ නොමැති බැව් ඉඳුරාම දත් හෙතෙම ගෙපැල දොරකඩ බට දඬු කිහිපයකින් වියන ලද පැලැල්ලෙන් ආවරණයකොට මඟට පිලිපන්නේය. 


මතක ඇති කාලයක් මුලුල්ලේ වෙල්ලස්සේ වනගත ගම්වාසීන්ට හුවමාරුව උදෙසා භාණ්ඩ රැගෙන ආ යෝනක වෙලඳ දෙබෑයින්ගේ සංචාරක වෙළඳාම එක්වනම ඇණ සිටි ඉක්බිති ඒ රික්තය පිරවීම උදෙසා නොපැකිල ඉදිරිපත් වූයේ ගම් නායකයාය.ඔහුගේ දියණිය හා සම්බන්ධ දඩයක්කාරයාගේ පළහිලව්ව හේතුකොටගෙන ඔවුන් දෙදෙන අතර සබඳතාවයන්හි යම් පමණකට ඇල් මැරුණු සහ දුරස්ථ ස්වභාවයක් විද්‍යාමාන වුවද ඒ හේතුකොටගෙන දඩයක්කාරයා හට සැලකිය යුතු තරමේ බලපෑමක් නොවිණි. ඊට හේතුව වූයේ දකුණු දිශාවෙහි සිට ආගමනිත ඝණව වැඩුනු ඇස් බැමි යුගලයකින් අඩක් වැසීගිය තියුණු දෙනෙතකින් යුතු මැදි වයසැත්තෙකු ගම්මානය කෙලවරෙක කුඩා කඩ බක්කියක් විවෘත කොට පවත්වාගෙන යාමට තීරණය කිරීමයි. 


විය යුතු ලෙසම ගම් නායකයා තම වෙළඳ ඒකාධිකාරයට එකහෙලාම බලවත් තර්ජනයක් වන මේ නව ව්‍යාපාරය කෙරෙහි කිසිදු රුචියක් නොදැක්වූ නමුදු ගම්වාසීහු ඝණව වැඩුනු ඇස් බැමි යුගලයකින් අඩක් ආවරණිත තියුණු දෙනෙතකින් සමන්විත මැදිවයසැත්තාගේ චිත්තාකර්ෂණීය කථා විලාශය කෙරෙහි මෙන්ම අසක්කුවකදී අතමාරුවක් කර ගැන්මේ පහසුකම කෙරෙහිද තදින් බැඳී ගිය බැවින් විවෘතවම එදිරි ක්‍රියාමාර්ගයක් ගත නොහැක්කේ, සිය අන්තේවාසිකයින් සමඟ දින කිහිපයකට වරක් නව ව්‍යාපාරිකයාගේ මෙන්ම ඔහුගේ ගනුදෙනුකරුවන්ගේ ද මාතෘ ගුණ මහිමය සිහිපත් කිරීමෙන් සෑහීමට පත්විය. 


යථෝක්ත වෙළෙඳා හමුවීමටය උදක්ම දඩයක්කාරයා ගෙපැල දොරටුව බට පැලැල්ලෙන් ආවරණය කොට ලා පියා මේ කඩිනමින් පිටත්වූයේ. 


වදන් භාවිතා කිරීමෙහිදී තම ආවේණික අරපරෙස්සම නැතහොත් කුසීත භාවය නැවතත් ප්‍රදර්ශනය කරමින් ඔහු සහල් ස්වල්පයක් සහ තියුණු දෙනෙත් ඇත්තා විසින්ම ගම්වාසීන්හට පුරුදු කොට වර්තමානයෙහි ඔවුන්ගේ අහර වේලෙහි ප්‍රධාන තැනක් ගන්නා කහ වන් ලොකු ඇට පරිප්පු විශේෂයක් තමනට අවශ්‍ය බව පැවසූයේ අභිනයෙනි.කිසිදිනෙක නොවූ පරිදි දඩයක්කාරයාහට සහල් සහ පරිප්පු අවශ්‍ය මන්දැයි අභිනයෙන්ම විචාරන නියායෙන් වෙළෙඳා ද දඩයක්කාරයා දෙස තම ඝණ ඇහිබැම තව දුරටත් හකුළුවා මොහොතක් බලා සිටියේ, ප්‍රතිචාරයක් නොවූ කල මුවින් නොබැණම ඔහුට අවශ්‍ය භාණ්ඩ ලබාදුන්නේය. 


සහල් සහ පරිප්පු රැගෙන ගෙපැලට ඇතුළුවූ හෙතෙම පළමුව කෙමෙන් නිවි යමින් අළු අතර දිලෙන ගිණි පුළිඟු කිහිපයකට සීමා වී තිබූ ගිණි මැළය යලි වියළි දර ඉපල් කිහිපයක් යොදා ඇවිලවීය. 


යුවතිය මේ වන තෙක්ම දැඩි නින්දක ගැලී සිටියාය. එහෙත් ඇය මිට පෙරාතුව සිටි අවසිහි තත්වයෙන් මිදී ඇතිබැව් කිසිදු සැකයකින් තොරව කියාපෑවේ සෙමින් ලතාවකට උස් පහත්වන ඇගේ ළය මඬලයි. 


අනතුරුව හේ මතක ඇති කාලයකට අහරක් නොඉදුනු ගෙපැලෙහි පසුපස දකුණු මුල්ලෙහි වූ ළිපෙහි පැරණි ලිග්ගල් තුන පට්ටල වන පරිදි හොඳින් සකස් කලේ, ඒ මධ්‍යයෙහි කාලාන්තරයක් මුලුල්ලේ එකතුවී වැසි සමයෙහි බලල්ලෑව අතරින් ගෙතුලට කඩා වදින හිරිපොද පතිත වී ඝණ වී ගිය අළු සම්භාරය පලමුව ඉවත්කල අනතුරුවය. 


කලකින් අහරක් නොපිස්සේ වුවද වරක් ප්‍රගුණ කල ශිල්පයක් කිසිදා යලි සිතෙන් මැකී නොයන බව ඇත්තෙන්ම සැබෑවකි. බත ලිපෙහි තබා ඊටම සේදූ පරිප්පුද යොදා අවස්ථාවෝචිත පරිදි පෙට්ටගම පතුල අතගා බොහෝ අසීරුවෙන් සොයාගත් ලුණු මිරිස් යනාදියද දඩයක්කාරයා ඊටම එකතු කලේ සහල් සහ පරිප්පු ගෙනෙනා විට අවශ්‍ය අනෙකුත් අඩුම කුඩුම ගෙන ඒමට සිහි නොවීම පිළිබඳව තමාටම දොස් පවරා ගනිමිනි. 


බත සහ මිශ්‍ර පරිප්පු ඇතිළියෙන් නිකුත් වන සුවඳ ඔහුගේ නාසා පුඩු තුලින් ඇතුලුව පුරා දිනකට අධික කාලයක් නිරාහාරව හුන් ඔහුගේ නොඉවසිලිමත් භාවය දැඩි කලද වැර වෑයමෙන් ඒ ආශාව ඔහු මැඩගත්තේ යුවතිය නිදා සිටිද්දී තනිව ආහාර ගැනීම නොමනා යැයි ඔහු සිත කොඳුරා පැවසූ හෙයිනි. 


මෙතෙක් ගතවූ දඩයක්කාරයාගේ ජීවිතයේ කිසිම දිනක , විශේෂයෙන් මහ දඩයක්කාරයා මියගිය පසු වෙනත් කිසිවෙකු වෙනුවෙන් ඔහු සිත්හි මෙවන් හැඟීමක් ඉපිද නොමැතිබව එක් වරම සිහියට පැමිණි දඩයක්කාරයා ඒ කුමනාකාර හැඟුමක්දැයි වටහා ගැනීමට උත්සාහ කලේය. අවසන ඔහු තීරණය කලේ ඒ ගම් නායකයාගේ දියණිය කෙරෙහි ඔහු තුල ඇතිවූ උද්වේගකර හැඟීමට යම් තරමකින් සමාන වූද එසේම යම් තරමකින් අසමාන වූද හැඟීමක් බවය.එහෙත් ඒ හැඟීම කුමක්දැයි හරිහැටි වටහාගන්නට අසමත්වූවද ඔහු එක් කරුණක් තිර ලෙසම දැන සිටියේය. එනම් ඒ හැඟීම ඔහුගේ ගත පුරා පිරී සැහැල්ලුව අවකාශයේ පාව යන තත්වයකට ඔහු පත් කොට ඇති බවයි. 


ඒ දැඩි ආශ්වාදයෙන්ම ජීවිතයේ පලමු වරට තමා සමඟම සිනාසුනු දඩයක්කාරයා ලිපෙහි ගිනි පෙණෙළි නිවා දමා තවමත් නිදන ඇය දෙස මොහොතක් පහත්ව බලා සිටියේය. එක වරම අපැහැදිලි යමක් තොල මැතුරූ ඇය වමැලයෙන් දකුණැලයට මාරු වූවාය.ලිහිල්ව දවටා තිබූ රෙදිකඩ මඳක් මෑත්ව අගේ ළය මඬල මඳක් නිරාවරණය විය. සුරත දිගු කල දඩයක්කාරයා ඉතා සීරුවෙන් රෙදිකඩ සකස් කලේ ඇගේ මුහුණ සෙමින් අතගාමිනි. එක් වරම දෙනෙත් විවර කල ඕ තොමෝ දඩයක්කාරයා දෙස මොහොතක් විදහාගත් දෑසින් බලා සිට සුරත ඔසවා යමක් පැවසීමට තැත් කලාය. එහෙත් ඒ සමඟම නැවත ඇගේ දෑස් පියවුණි. 


ඇගේ ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයට සවන් දෙමින් තවත් නිමේශයක් එහි ගත කල දඩයක්කාරයා ගෙපැලෙහි දොරටුව වසා ඉන් පිටව පිල්කඩ මත ඉදිරි බිත්තියට පිටදී හිඳගත්තේ කොහොඹ ගසේ අතු රිකිළි සොලවමින් සුළඟ හමනායුරු බලා සිටියේ දෙතොලඟ තැවරි මද සිනහවක් ද සහිතවය. 


මතු සම්බන්ධයි........

Thursday, October 4, 2012

107. බෝනික්කෝ... (ළමා ගීයක මා දුටු වැඩිහිටි අරුත) - අවසන් කොටස

106. බෝනික්කෝ... (ළමා ගීයක මා දුටු වැඩිහිටි අරුත)


(තීරණාත්මක දුරකථන ඇමතුමක් ලැබුනු තැනින් පෙර කොටස අවසන් වුනානේ. අද එතැන් සිට............)

එයට පිළිතුරු දුන්නේ නදී විසිනි. 

“හෙලෝ“ 

“හෙලෝ. මම හෙක්ටර් කථා කරන්නේ. අක්කට දෙන්න ෆෝන් එක“ 

“හා මාමා. හෝල්ඩ් ද ලයින් මාමා.“ ඔහුගේ ගාම්භීර හඬින් නදී වෙව්ලා ගියාය. 

“අම්මා... අම්මා... මාමා කථා කරනවා“ 

සිරිවර්ධන මහත්මිය කාමරයේ සිට විගස පැමිණ දුරකථනය අතට ගත්තාය. 

“හෙලෝ මල්ලි... කියන්න.“ ඇය කණ්නාඩිය සකසා ගනිමින් නදී දෙසට නළල රැලි කර ගනිමින් පැවසුවාය. නදී සෙමින් පසු බා කාමරය වෙතට ගියද, දොර රෙද්ද අසලට ම වී අසා සිටියාය. 

“අක්කා... මේක කරන්න බැහැ මේ විදිහට. සඳුන්ට මොන පිස්සුවක් වැහිලද? දවසක් ඇර දවසක් එනවා. එන දවසෙත් වේලාසන යනවා. මිනිහා මෙතැන ඉන්න නිසා, මං එළියට යනවා. මං ගිහින් අනිත් අතට මිනිහාත් යනවා. බාර දෙන්න තිබ්බ සයිට් 4ක් මාස 3ක් 4ක් ඩිලේ වෙලා. මං තාම මිනිහාට මේ ගැන කථා කලේ නැහැ. කථා කරන්න කලින් අක්කාව දැනුවත් කලේ“ හෙක්ටර් වීරසේකර සිය සොයුරිය හමුවේ සිය ගාම්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍භීර හඬින් ගුගුරන්නට වූයේය. 

“අනේ මල්ලි. මං මොනවා කරන්නද? දැන් මං කියන විදිහට නෙමෙයි කාරණා සිද්ධ වෙන්නේ. මල්ලීම කියලා බලන්න. ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලානේ. ඒ මදිවට දැන් අඟේ ඉඳන් කණ කන්නත් පටන් අරං නේද?. මං නං මොකුත් කියන්නේ නැහැ මල්ලී. මල්ලී හොඳ තීරණයක් ගන්න“ යුවලගේ නිදන කාමරය දෙසට නෙත් යොමමින් කණ්නාඩිය මුහුණට තද කරමින් සිරිවර්ධන මහත්මිය පැවසුවාය. 

“මගේ නැහැ ඔය අවවාද දිදි ඉඳිලි. මෙච්චර හරි ඉවසුවේ නෑ කම නිසා. අක්කා මට තීරණය ගන්න කිව්ව හින්දා මං කියන්නම් මගේ තීරණය. සඳුන් ව ටික කාලෙකට යවන්න වෙනවා නුවරඑළියේ ඔෆිස් එකට.“ 

“අනේ හොඳයි මල්ලි. යවන්න යවන්න. රස්සාව ගැන සැලකිල්ලක් නැහැ කියන්නේ ලොකු විනාශයක්නේ. මගේ එකා වුනත් වැරදි නං වැරදි තමයි. ඒක තමයි මගේ තීරණේ. යවන්න මල්ලී“ සිරිවර්ධන මහත්මිය පවසා සිටියේ ජයග්‍රාහී ලීලාවෙනි. ඉමහත් වූ සතුටක් ඇගේ හඬෙහි ගැබ් වී තිබිණ. 

“හැබැයි එයාට වයිෆ් ව ගෙනියන්න බැහැ. සති දෙකකට සැරයක් වීකෙන්ඩ් එකට ගෙදර එන්න විතරයි පුළුවන් වෙන්නේ.“ 

“ආයේ මොනවා කියනවද මල්ලී? පවුල් පිටින් ගිහින් රස්සා කරන්න පුළුවන්ද? ආයේ දරුවෝ ඉන්නවා කියලැයැ, තාත්තාව නොදැක ඉන්න එක නරක් වෙන්න. එයා මෙහේ හිටපුවාවේ. පුතා විතරක් අරින්න. මල්ලී කවදත් ගන්නේ හරි තීරණ කියලා දන්න නිසානේ, මං මගේ දේපළ විකුණලා කොම්පැනියට වියදම් කලේ“ සිරිවර්ධන මහත්මිය සිය අයිතිවාසිකම පිළිබඳ වගන්තියද සිය කථාවට ඇතුලත් කිරීමට අමතක නොකලාය. 

“කොම්පැනියේ ෆිෆ්ටි පසෙන්ට් ‍ශෙයාර්ස් කවදා හරි සඳුන්ට තමයි අයිති වෙන්නේ කියලා මට අමතක වෙලා ක‍‍ථා කලා නෙමෙයි අක්කේ. නමුත් මේ කොම්පැනිය රැකුනොත් තමයි බෙදා ගන්න ශෙයාර්ස් ඉතිරි වෙන්නේ කියන එක මතක තියා ගන්න. හරි, වැඩේ ස්ථිරයි. එහෙනං මං තියනවා. තෙරුවන් සරණයි“ 

“හොඳයි මල්ලී. මේ යන විදිහට එයාට අයිති දේවල් දෙනවද නැද්ද කියලා මට ආපහු හිතන්න වෙලා තියෙන්නේ. ඒවා පස්සට. දැනට මල්ලී කියපු විදිහට කටයුතු කරමු. තෙරුවන් සරණයි“ සිරිවර්ධන මහත්මිය සඳුන්ට නොදී, යන දෙසක ගෙනියන්නට හැකියාවක්ද නැති දේපොළ වලට කෙරුමට යන්නේ කුමක්දැයි කා හටවත් පැහැදිලි නොවීය. අවම තරමින් ඇයටවත්. 

*******************************************************************************

“ඉතිං, සඳුන් ගියාද?“ මෙතෙක් නැමී තිබුණු කොන්ද කෙලින් කර ගන්නා ගමන් වරුණි ඇසුවාය. 

“ඔව් ගියා. එයාට නොගිහින් බැරි වුනා. මාව එක්කගෙන යන්න විදිහක් තිබුනේත් නැහැ. පෙරේදා නිවාඩු ඇවිත් ගියා. ආයේ එන්නේ සති දෙකකින්“ කඳුළු පිරි දෙනෙත් පිස දමමින් නදී පැවසුවේ, ගඟේ එහා ඉවුර තරම් දුරට බොඳවූ දෙනෙත් යොමු කරමින්. 

“මොනවද බං ඒ කථා? සඳුන්ට බැරිද කෙලින් තීරණයක් ගන්න? සේරම බොරු? උඹ මෙතැනට හිර වෙලා. ඕනෑ නං ඔය රස්සාව දමලා ගහලා වෙන එකක් හොයා ගන්න බැරිද?“ 

“ප්ලීස් එයාට මොකුත් කියන්න එපා. මං හොඳටම දන්නවා එයා එහෙම කලේ නොකර ම බැරි නිසා. කොම්පැනියේ එයා සේවකයෙක් නෙමෙයි. එයා ඩිරෙක්ටර් කෙනෙක්. මාමා චෙයාර්මන්. ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ තීරණය මාමාගේ තීරණයට වෙනස් එකක් වෙන්නේ නැහැ. සඳුන් රස්සාව අත් හරිනවා කියන්නේ නිකම් ම නිකං රස්සාවක් අත් හරිනවා නෙමෙයි. අපේ මුළු අනාගතය වෙනස් කරගන්නවා කියන එක“ නදී පුළුවන් තරම් සඳුන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කලද, මිතුරියන්ගේ උපහාසය මුසු වුනු සිනා මුහුණු මදින් මද ඇය මැඩ පවත්වන්නට විය. 

“හරි. එහෙනං ඇයි සඳුන්ට බැරි වුනේ ඩිරෙක්ටර් පවර්ස් යූස් කරලා තමන්ගේ වයිෆ්ව තමන් ලඟට ගන්න?“ වරුණි ඇසුවාය. 

“එහෙම බැරි නම් ඇයි උඹව අම්මලාගේ ගෙදර ඇරලුවේ නැත්තේ? මේ වගේ ගිණි ගොඩක ඉන්නවාට වඩා උඹ ගෙදර ඉන්න කැමති බව එයාට අමුතුවෙන් කියන්න ඕනෑද?“ චමරි කීවාය. 

ඒ යෝජනාව සඳුන්ට තබා තමන්ටවත් සිහි නොවුනු බව නදීට දිව්රා පැවසිය හැකිය. නමුදු එය වඩා යහපත් යෝජනාවක් සේ ඇයට හැඟිනි. චමරි පිළිබඳ කෘතඥ පූර්වක හැඟීමකින් ඇගේ සිත පිරිණි. 

“තෑන්ක්ස් චමරි............... තෑන්ක් යූ වෙරි මච්. දැන් වෙලාව කීයද?“ සිය මිතුරියගේ මුහුණේ සහන් එළියක් ඇඳී යනු දුටු මිතුරියෝ පුදුමයෙන් පුදුමයට පත් වූහ. 

“වෙලාව? වෙලාව 5.10යි. ඇයි මොකද එක පාරම වෙලාව ඇහැව්වේ?“ තමන් කී දෙයින් මිතුරියගේ හැඬුම් වැඩි විය යුතු වුවද ඒ වනවිට ඇය සතුටින් පසුවන බවක් පෙනෙන්නට වීම චමරි හට පුදුමයක් විය. 

“සඳුන්ට ක‍ථා කරන්න පුළුවන් 5න් පස්සේ. ඒකයි“ යි පැවසු නදී සිය ජංගම දුරකථනයෙන් සඳුන්ට ඇමතුමක් ගන්නට උත්සහ දැරුවද ඔහුගේ දුරකථනය සම්බන්ධ කරගත් නොහැකි විය. 

“එයාට සිග්නල් නැහැ වගේ. කමක් නැහැ. පස්සේ කෝල් කරලා කියනවා. ඔයා කිව්වා හරි. මං හරිම මෝඩයි. මෙච්චර දවසක් මෙතැනට හිරවෙලා දුක් වින්දා. මං දැන් යනවා අපේ ගෙදර. සඳුන් ආවහමත් එහෙට එන්න පු‍ළුවන්නේ. කොච්චර දෙයක්ද අනේ ‍ඔයාලා ආපු එක“යි සිනා සලමින් පැවසූ නදී මිතුරියන් සමගින් නිවස දෙසට පිය මනින්නට වූවාය. 

ඇති වූ අනපේක්‍ෂිත තත්ත්වය ගැන සිතා ගත නුහුනු මිතුරියෝ තමන් අනගි උදව්වක් කල කලන මිතුරියන්සේ මුව මවාගෙන ඈ සමගින් යන්නට වූවෝය. 

“ඉන්නවද ටිකක්. ගන්න දේවල් ටිකක් තියෙනවා. මං අරගෙන එන්නම්. ට්‍රයි ‍ෂෝ එකක් අරං යමු.“ නදී පැවසුවේ නිවස ආසන්නයේදීය. 

“මෙහෙම කරමු. අර දෙන්නා ටවුන් එකේ ඉන්නවානේ. අපි එහෙට යන්නම්. ඔයා ටවුන් එකට එනකොට කෝල් එකක් දෙන්න. එතනින් අපි නගින්නම්. අපි ගෙදර ගිහින් කථා කරමු. අපිට උඹ ගැන ගොඩක් දුකයි. නේද චමරි? අපි ඒ ගැන කරන්න පුළුවන් මොනවද කියලා ගෙදර ගිහින් බලමු“ වරුණි වහා පැවසුවේ, යමක් සිදු වුවහොත් ඒ රණ්ඩුවට තමන්ටත් සහභාගි වෙන්න සිදුවන නිසාවෙනි. 

“හා එහෙනම්. බායි. සී යූ. ටවුමෙදි මීට් වෙමු“යි පැවසූ නදී නිවසට යන ගමන්ද සඳුන් සම්බන්ධ කරගන්නට උත්සහ දැරුවාය. 



********************************************************************************* 

“අම්මේ මං ගෙදර යනවා. අපේ අම්මා ගාවට“ නිවසට ගිය නදී අවැසි කලම‍නා සූදානම් කර ගැනීමෙන් අනතුරුව සිරිවර්ධන මහත්මියගේ කාමරයට ගොස් පවසා සිටියාය. එවිට ඇගේ මුහුණෙහි පලව තිබූ ජයග්‍රාහී පෙනුම සිරිවර්ධන මහත්මියගේ සර්වාංගයම කුපිත කරවන සුළුවිය. 

“මොනවද කිව්වේ? ගෙදර යනවා? පුතා දන්නවද?“ ඉද්ද ගැසුවාක් මෙන් ඇඳෙන් කෙලින් වූ සිරිවර්ධන මහත්මිය ඇසුවාය. 

“මං එයාට කියන්නම්. එයාගේ ෆෝන් එක වැඩ නැහැ. මං යනවා“යි පැවසූ නදී ඒ ගොම්මන් අඳුරේ ම පිටව ගියාය. 

********************************************************************************* 

“පුතා.......................“ සිරිවර්ධන මහත්මිය හඬන්නට වූවාය. 

“ඇයි ඇයි අම්මා? මොකද? නදීට කරදරයක්ද?“ සඳුන් හොඳටම බියපත් වූ සේය. 

“කරදරයක්? කරදරයක් තමයි, ඒත් එයාට නෙමෙයි අපට. එයා මාත් එක්ක රණ්ඩු වුනා. මට නොසෑහෙන්න කථා කීවා. කියලා කොහිද මන්දා යන්න ගියා.“ සිරිවර්ධන මහත්මිය තව දුරටත් හඬන්නීය. 

“ගියා............. කොයි වෙලේද ගියේ? ඇයි මට කිව්වේ නැත්තේ?“ 

“මේ දැන් ගියේ.......... මං කිව්වා යන තැනක් පුතාට කියලා යන්න කියලා. ඇහුනේ නැහැ වගේ මේ රෑ කළුවරේ ම යන්න ගියා“ 

“ශිට්..................................... 

. එයා එහෙම කලා එහෙනං.......................“ සඳුන්ට බොහොම කලෙකට පසු සිය දත් දෙපෙල තදින් එකිනෙක ගැටෙන හඬ ඇසිණි. 

*******************************************************

“ආ දෙන්නා.............. දැන් ද එන්න මතක් වුනේ?“ එක් පෙම්වතකු තාලයට ඇසුවේය. 

“ඔව් අනේ... යාළුවා මීට් වුනේ ගොඩ කාලෙකින්නේ... ඉතිං කථා කරන්න දේවල් ගොඩක් තිබුනා“ එක් පෙම්වතියක පිළිතුරු දුන්නාය. 

“අනේ අනේ ‍ඔයාලාගේ කථා. අපි නොදන්නවැයැ නේද මචං?“ එක් පෙම්වතකු අනෙකාට ඉඟි මැරුවේය. 

“ආයේ මොනවද? එහෙං හොඳට කාලා බීලා, ඒ කෙල්ලගේ පවුලත් කැඩෙන තැනට වැඩක් සෙට් කරලා එන්න ඇති ෂුවර් එකටම“ පිරිමින්ටත් ඉවක් ඇතිවාද? 

“අනේ යන්න අනේ යන්න. තේ ටිකක්වත් බිව්වේ නැහැ. දැන් යාළුවා එනවා එයාගේ ගෙදර යන්න. එයාත් එක්ක අපිත් එහේ යනවා. ඔයාලා හරි නරකයි අපිට අරක මේක කියනවා මෙතැන“ එක් පෙම්වතියක නෝක්කාඩු කීවාය. නමුදු ඔවුන් පැවසූ දෙය මොන තරම් දුරකට ඇත්තක්ද යන්න ඇය සේම අනෙකියද සිතින් මිණුම් ගත්තාය. 

“හරියට හරි මචං. මුං දෙන්නා තේ ටිකක්වත් නොබී පවුල කාලා වගේ.“යි එකෙකු පැවසු විට දෙදෙනාම කොක් හඬලා සිනාසෙන්නට වූහ. 

“නැහැ අනේ. එයාට ලොකු ප්‍රශ්නයක්. අපි එයාට උදව් කරන්න ඕනෑ. පව් අනේ. ඔයාලාට කොහිද ඕවා තේරෙන්නේ“ 

අනතුරුව දෙමිතුරියන් සිද්ධිය කෙටියෙන් පහදා දෙන්නට වූ අතර, මේ අතරේ පසු පසින් බැටරි පෙට්ටිය බැඳගෙන පා පැදියෙන් ස්වීප් වෙළඳාමේ යන මිනිසෙක් ගීතයක් ගුවනට මුසු කරමින් ‍ඔවුන් අසලින් ඇදෙන්නට විය. 

ගීතයට කන්දුන් දෙමිතුරෝ, මද වේලාවකින් වෑයමින් නවතාගත් සිනාවෙන් යුතු මුහුණින් එකිනෙකා දෙසත් දෙමිතුරියන් දෙසත් බලන්නට වූහ. අනතුරුව ඔවුන්ගේ සිනහව පුපුරා ගියේ අවට සිටියවුන්ද පුදුමයට පත් කරවමිනි. 

“අන්න ඔයාලාගේ දවසේ ගීතය යනවා. අසරණ මිතුරිය ආවහම තාලේ නොවරදවා තුන්දෙනා එක්ක ම ගායනා කරනවා! අපිට පරක්කු වුනා අපි යනවා“යි එක් අයෙකු පැවසූ අතර අනතුරුව ඔවුන් පිටව යන ලදී. 

*******************************************************

මේ හොඳ ලස්සන බෝනික්කා 

තනි වී හඬනා හැටි දැක්කා 

ඒකයි විල ඉවුරේ ඉඳලා අපි 

එක්කර ගෙන ආවේ // 



කඳුළු වලින් කම්මුල් පෙඟිලා 

ලස්සන රතු සායම් මැකිලා 

බෝනික්කා අපි එක්කලා කිව්වා 

රහසක් ඉකි බිඳලා 



පුංචි බබා මං හිටි නිවසේ 

සෙල්ලමටයි හිත මු‍ළු දවසේ 

පාඩම් වැරදීලා මේ පාරත් 

පංතියේ අන්තිමයා 



ඔක්කෝටම මුල බෝනික්කා 

කියලා බනිනවා ලොකු අක්කා 

ඒ හින්දා මං යනවා යන්නට 

එනවද මා එක්කා 



මකුළු දැලෙන් රුවලක් බැඳලා 

පුවක් කොලෙන් ඔරුවක් හදලා 

බෝනික්කා නලවන්නයි යන්නේ 

අපි ඔක්කොම නැගලා // 

Wednesday, October 3, 2012

106. බෝනික්කෝ... (ළමා ගීයක මා දුටු වැඩිහිටි අරුත)



දිය රළ පෙල එක පසුපස එක පැමිණෙමින් ඉවුරේ වදියි. විටෙක ඉවුරේ නිරාවරණය ව පවතින පස් ස්ථරය පෙඟවීමෙන් පම‍‍‍ණක් දිය රළක් සෑහීමට පත් වන අතර තවත් විටෙක මදක් තදින් වැදී පස් කැබැලි ගලවා දිය කර ගැනීමට ද තවත් රළක් උත්සහ කරනු පෙනේ. ඉවුර දිගට මද දුරක් නෙත් යොමන විට එවැනි උත්සහයන් නිසා පස් පදාසයන් ගැලවී ගොස් වත්තෙන් කොටසක් ගඟට දිය ව ගොස් ඇති බව කෙනෙකුට වටහා ගත හැකිවනු ඇත.

දිග සුසුමකින් ලය සැහැල්ලු කරගත් නදී, අගේ ගුලි කරගෙන සිටි ගල් අහුරින් පුංචි ගල් කැටයක් වැඩි වෑයමක් නොගෙන ගග දෙසට විසි ක‍ළාය. මහා ජල කදක් රැගෙන ගලා බසින ගංගා තුමූ ඒ පුංචි ගල් කැටය කිසි හා හෝවක් නැතුව ම ගිල දැම්මෝය. 
,.,


**********************************************************************************

“ආන්ටි නදී ඉන්නවද?“

සීනුව කිහිප වරක් නාද කිරීමෙන් පසු ව නිවසෙන් පිටතට ආ කාන්තාවගේ මුහු‍ණ දුටු සැනින් චමරිගේ ඉනට වැලමිටින් සන් කල වරු‍ණි, සිතට වෙර ගෙන අසා සිටියාය.

විමසුම් සහගත නොරිස්සුම මුව මතින් ඉවතට පලවා හැරීමට උත්සහයක් නොගෙන ම සිරිවර්ධන මහත්මිය ඔවුන් දෙස බලා සිටියාය.

“හ්ම්............... කවුද ඔය ළමයි?“

“ආ... ආන්ටි අපි එයාගේ ඉස්කෝලේ යා‍ළුවෝ. දැන් මෙහෙ නෙමෙයි ඉන්නේ. මේ දවස් වල කැම්පස් නිවාඩු නිසා ගෙදර ආ ගමන් නදී ව බලලා යන්න හිතුවා“ වරුණි පැවසුවාය.

“මට මතක නැහැනේ වෙඩින් එකට ආවා කියලා..............“ තවමත් තරුණියන් දෙදෙනා ගේට්ටුවෙන් එපිටය. මුහුණින් මුහුණ බලාගත් මිතුරියන්, ‘මහ පුදුම ගැහැණියක්නේ‘ යනුවෙන් සිතුවා විය යුතුය.

“එන්න හිටියේ ආන්ටි. ඒ දවස් වල කැම්පස් එකේ එග්සෑම් වැටිලා තිබුනා. ඒකයි එන්න බැරි වුනේ“

“හ්ම්............... එන්න ඇතුලට............. ‍ඔයාලාගේ යාළුවා නං මේ වෙලාවේ ගෙයි නැහැ“

ගේට්ටුව හැර ඔවුන්ට නිවසට එන්නට මග පෙන්වූ සිරිවර්ධන මහත්මිය විසිත්ත කාමරයට පිවිසෙන දොරටුව ඇහිරෙන පරිද්දෙන් සිටගන්නා ගමන් පැවසුවාය. ‘ඉඳින්, ඉඳගන් ඉස්තෝප්පුවෙන්‘ යැයි නොකියා කීවා සේය. අසුන් ගන්නවාද නැද්ද යන දෙගිඩියාවේ මොහොතක් ගතවුණි.

“ඇයි ආන්ටි? ගමනක් ගිහින්ද?“ අසුන් ගන්නට පෙර විස්තරය දැන ගත යුතුව තිබේ.

“හ්ම්........... එයාට මොන ගමන්ද? සැපට කාලා බීලා ගෙදෙට්ට වෙලා ඉන්නනේ තියෙන්නේ. මං කිව්වේ ගෙදර නැහැ කියලා නෙමෙයි. ගෙයි නැහැ කියලා. අන්න අරහේ ඉඩම කෙලවරේ ගලක් උඩට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා ඇති. දැන් කාලේ ගෑණු එහෙමනේ. උඩ බලාගෙන දවල් හීන බලන්න තමයි වැඩියෙම කැමති.“ සිරිවර්ධන මහත්මිය එදා ම දුටු ඔවුන් හමුවේ ඇගේ අදහස් නොවලහා ඉදිරිපත් කරමින් සිටියාය.

සිහින් සතුටක් සිත තුල මතු වී සැඟ වී යනු මිතුරියන් දෙදෙනාට ම දැනී නොදැනි ගියා වැනිය.

“ඔන්න ඔය පැත්තෙන් අන්න අරහේට යන්න. ටිකක් දුරට යද්දි පෙනෙයි“ යි පැවසු සිරිවර්ධන මහත්මිය ගස්සාගෙන නිවස තුලට ඇදුනාය.

ගෙනා ත්‍යාගය කනප්පුවක් වැනි මේසය මත තැබූ ඔවුහු ඈ පෙන් වූ දෙසට සෙමින් පිය මනින්නට වූවෝය.

“මොකද බං ඒ ගෑණිට වෙලා තියෙන්නේ?“ නැගී ආ සිනාව යටපත් කරගෙන චමරි අසා සිටියාය.

“අනේ මන්දා බං. දැනටම දෙන්නා පැටලෙන්න අරං වගේ.“ වරුණි ද සිය සැබෑ සිතුවිලි සඟවා දුක්බර මුහුණින් යුතුව පැවසුවාය.

“ආ.......... අර ඉන්නේ. කිව්වා හරි තමයි. ගඟට පනින්න හිතනවද මන්දා“

“පව් බං. ගිහින් කථා කරලා බලමු“ මුවින් පිටවන වදන් සෑම විට ම සිත නියෝජනය නොකරන බව, මිනිසුන්ගේ දිව අග එල්ලී එල්ලී ඉන්නා ‘පව්....‘ යන වදන දෙස් දෙයි.

“මොකෝ මොකෝ අලුත ගෙනා මනමාලි, අහස පොළොව ගැට ගහලා ගඟේ ඔබන්නද කල්පනාව?“ එකියක නදීරානිගේ දෙනෙත් දෙඅතින් වසන අතර අනෙකිය කම්මුල් මිරිකමින් ඇසුවාය. අනතුරුව කැකිරි පැලෙන ටිකිරි සිනා පාමින් අසල තිබූ ගල් තලාව මත හිඳ ගත්තේ ඔවුන්ගේ කෙලිලොල් සමය පිළිබඳ අධි රංගනයක නියැලෙමින් බව ඔබටත් මටත් වැටහෙනු ඇති වුවත් නදී ට නොවැටහුණි. එබැවින් ම තමන් පසු කර ආ එසමය පිළිබඳ ව සිත තුල සිහින් ව නැගී ආ වේදනාව දිගු සුසුමකින් පිට කරන්නට සිතුවාය.

“මොකෝ මොකෝ මේ සුසුම් හෙලන්නේ? ඔහොමද අලුත ගෙනා මනාලියෝ? ඇයි යකෝ අපිටත් බය හිතෙනවානේ“

“අලුත ගෙනා කෑල්ල දැන් කොහිද බං............. මාස 7කුත් පහු වෙලානේ. ඉතිං ඉතිං මොකද දෙන්නාට මාව මතක් වුනේ?“ සිය පාසල් සමයේ මිතුරියන් හමුවේ දුක්බර මුහුණක් පෙන්වීම ඔවුනද දුකට පත් කිරීමට හේතුවක් සේ සිතුනු නිසාවෙන් නදී සිනාවකින් මුව සරසා ගත්තාය.

“මාස 7කුත් ගෙවුනා නේද? දැනුනේවත් නැහැනේ. කැම්පස් යනවා එනවා. දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ.“ චමරි ද අහුලා ගත් ගල් කැටයක් ගඟ දෙසට විසි කරමින් පුදුම වූවාය.

“වෙඩින් එකට එන්නත් බැරි වුනානේ නදී. මෙච්චර යාළුවෝ තුන්දෙනා වෙලා, අපි දෙන්නා වෙඩිං එකට ගියේ නැහැ කියලා අනිත් අයට කිව්වහම මාර විදිහට පුදුම වෙනවා. ඉතිං කොහොම හරි වෙලාව හදාගෙන ආවා ඔයාව බලලා යන්න. මේ දවස් වල දින නියමයක් නැති වැකේෂන්“ වරුණි ඇගේ අතින් අල්ලා ගනිමින් පැවසුවාය.

“ආ........... එහෙනං පාළු ඇති නේද? දැන් දෙන්නාට හරි ගිහිල්ලා වගේ මට පේන්නේ“ නදී වරුණිගේ පිටි අල්ල කොනිත්මින් චමරිගෙන් ඇසුවාය.

“හරි ගිහිල්ලා නං තමයි බං. ඒත් ‍ඕවා කෙරෙයිද කවුද දන්නේ? කැම්පස් එකේ පාඩම් වැඩ කරගන්න නං හරිම උදව් ඉතිං. දෙගොල්ල දෙගොල්ලන්ට උදව්. කෙරුනත් කවදා හරි පාඩුවක් නැහැ. නොකෙරුනා කියලා එච්චර දුකකුත් නැති වෙයි. අදත් දෙන්නා ආවා. ටවුන් එකේ යාළුවෙක් ඉන්නවා කියලා එහේ ගියා. අපි මෙහේ ආවා. හවස ආපහු මීට් වෙලා, එයාලා අද ම යනවා“ වරුණි පැවසුවාය.

ඔවුන් දෙදෙන බොහෝ සෙයින් වෙනස් වීද, පරිණත වීද, වෙන යමක් වීදැයි නදීට සිතා ගැනීමට අපහසුවිය. ඇය පෙම් කල යුගයේ ප්‍රේමය යනු මුළු හිතින් ම කල යුතු පරම පවිත්‍ර දෙයක් වශයෙන් සියලුම යොවුන් ප්‍රේම කථා වලින් උවදෙස් දී තිබිණ. සිය මිතුරියන්ද එම කථාවන් කියැවූ මුත් ඔවුන් මෙලෙස වෙනස් වී ඇත්තේ සමහරවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ලද සමාජ ගැවසීම නිසා හෝ දැන් දැන් ලියැවෙන නවකථා වෙනස් ආකාරයක වන නිසා විය යුතුය.

“කොහිද උඹ ජනක සර්ගේ පංතියේ හිටපු හොඳ කොල්ලෝ සේරම පිස්සු වට්ටලා, හිටපු හොඳ ම කොල්ලාව අල්ලා ගත්තානේ. උඹේ යාළුවා නිසා, හැලිච්ච හාල් කෑලිවත් අපි දිහා බැලුවේ නැහැනේ“ චමරි පැවසුවේ සැබෑවක් වුවද, එදින වනතුරු තිබුනු එම සිතුවිල්ල ඒ වනවිට අතුරුදන්ව ගොස් තිබුනි. ‘ඇද්ද උඹට? හිතුවේ විලියම් කුමාරයා සෙට් වුනා කියලානේ. දැන් කොහොමද මදර් කුයින්ගේ සැලකිල්ල‘ සිත යටින් ඇය සිනා පෑවාය.

ඇගේ වදන් වලින් තිගැස්සි ගිය නදී වහ වහා නිවස දෙසට නෙත් යොමු කලාය.

“මොනවද බං ඔය කියන්නේ? මං මොනවද කලේ? උන්ට උපතින් ගෙනා පිස්සුවක් තිබුනාට මං මොනවා කරන්නද? ඔව්වා අම්මාට එහෙම ඇහුනොත්, තවත් මට දෙහි කපයි“ ඇය වෙව්ලමින් මෙන් පැවසුවේ නැවත නැවතත් නිවස දෙසට නෙත් යොමමිනි.

“ඇයි මොකද මදර් කුයින් අවුල්ද?‘ කල් යල් බලා වරුණි පැන විමසීමට පිවිසුනාය.

නිවස දෙසින් කිසිවකු එදෙසට පැමිණ නැති බව පැහැදිලි ව දැකබලාගත් නදී නැවතත් ගඟ දෙසට හැරුණාය. කුඩා කල සිට එකට ම සිටි, සෑම කෑමක් ම සේම සෑම රහසක් ම බෙදා හදාගත් මිතුරියන් හමුවේ කිව නොහෙන යමක් තමා සතුව තිබේද? ඇය සිතමින් සිටියාය. මිතුරියෝ ඉතාමත් උනන්දුවෙන් මෙන්ම දුක්බර වළාවකින් වැසීගියාසේ පෙනුනු මුහුණින් ඇය දෙසට නැ‍ඹුරු ව මුවින් වැටෙන පළමු වදනේ සිට එකතු කරගන්නට බලා සිටියෝය.

“අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ජොබ් එකක්වත් කලා නං දවල් වරුවේ වත් සැනසිල්ලේ ඉන්න තිබුනා“ අවසානයේ සිය මිතුරියන් හා දුක බෙදා ගන්නට නදී හිත හදා ගත්තාය.

“ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?“

“වෙලා තියෙන්නේ නෙමෙයි වෙලා නැත්තේ මොනවද කියලායි මං කල්පනා කරන්නේ?“

“මේ............ හරස් පද ප්‍රහේලිකා විසඳන්න උඹට තරං අපට බැහැ කියලා දන්නවානේ. කියහං කියන දෙයක් පැහැදිලිව“ මේ බහු පද සමීකර‍ණයට තිබිය හැකි සියලුම විසඳුම් සහිත මල්ලක් තමා සතුව ඇත්තා සේ ඔවුන් පෙලෙන්නේ අසීමිත උනන්දුවකිනි.

**********************************************************************************

“අද ඉන්නකෝ අනේ ගෙදර“ මුහුණ පුරා සබන් තවරා සීරුවට රැවුල බාමින් සිටි සඳුන්ගේ පිටු පසින් පැමිණි නදී, දෙ ඇලපත හරහා දෙඅත් යවමින්, ඔහු වැළඳ, පිටට කම්මුල තබා ගනිමින් සුරතල් වෙන්නට වූවාය.

“ඔය ඉතිං කෝලං කරනවා. තව ටිකෙන් කම්මුලත් කැපෙනවා“ සඳුන් සෙනේ සිතින් නෝක්කාඩු පවසයි.

“ආනේ ඉතිං හොඳයිනේ. රේසරේට මූණ කැපුනා. අසාධ්‍යයි, නිවාඩු දෙන්න කියලා මාමාට කෝල් එකක් දාලා කියන්න පුළුවන්නේ“ එයද විහිළුවකට ගෙන නදී පැවසූ වදනින් සඳුන්ටද සිනහ නොවී සිටිය නොහැකි විය.

“හොඳට තියෙයි. මාමා නිසා හොඳයි. වෙන තැනක් වුනා නං මෙහෙම නිවාඩු ගන්න ගියා නං රස්සාවත් නැති වෙනවා.“ අවශේෂ සබන් සෝදා හැර මුහුණ පිසදාන ගමන් සඳුන් පැවසුවේ සිනා විරහිතවය.

“ම්ම්.............. ඉතිං අනේ ඔයා බඳින්න කලින් මෙහෙම නිවාඩු ගත්තේ නැහැනේ. මේ මුල් අවුරුද්දට එච්චර ගණං ගන්නේ එකක් නැති වෙයි මාමා.“ ඒ නදී සිතන ආකාරය. මාමා වුවද පාලකයෙකි. ඔහු සිතන ආකාරය ස‍ඳුන් දනියි. නමුදු සිය ප්‍රිය බිරිඳගේ ඉල්ලීම පිට ඔහු එම මාස 5ට නිවාඩු බොහෝ ප්‍රමාණයක් ගෙන තිබිණ.

“එහෙනං අද වේලාසන එන්නකෝ. අපි කැළණි යං. සති දෙකකින් විතර ගියෙත් නැහැනේ.“ එවර ඉල්ලීම නව ආකරයකට ඉදිරිපත් වෙයි.

“බලමු. මාමා අද ගම්පහ යනවා කිව්වා හවස් වරුවේ. එහෙම වුනොත් එන්නම්කෝ.“යි පැවසු සඳුන්, නදීගේ බඳ වටා සුරත යවා තුරුලට ගෙන වමතින් නහය මිරිකුවේය.

“ආව්................. රිදෙනවා අනේ“යි කීවද, අනතුරුව ඇය කිංකිණි සිනා නගන්නට වූවාය.

එක්වනම මුළුතැන්ගෙයි ඇලුමීනියම් භාජනයක් තදින් දෙවුම් බේසම හා ගැටෙන හඬක් ඇසි‍ණි.

“මොකෝ කමලා උඹට වෙලා තියෙන්නේ. මදන කුලප්පුව හැදිලා වගේ මේ ලෝකේ සිහියක් නැහැ. මං උඹට කිව්වේ අද සම්බා උයන්න කියලා. කැකුළු නෙමෙයි. කොහිද ඔළුවේ තියෙන්නේ වෙන වෙන ඒවානේ“ සඳුන් කල්පනාකාරී ව ඒ බසට ඇහුම්කන් දී සිටින විට, නදී ඔහුගේ මුව දෙස බලා සිටියාය.

“අපි යං“ රහසින් මෙන් පැවසූ සඳුන් ඉස්සර විය. නදී පසු පසින් ඇදුනාය. එදින සඳුන් වරුවෙන් පැමිණි අතර සිරිවර්ධන මහත්මියත්, අඹු සැමි යුවලත් මෝටර් රථයෙන් කැළණි වෙහෙර බලා පිටත් වූවෝය.

“සඳුන්, බාරයක් වත් වෙන්න පුතා.“ පිටුපස අසුනේ සිටි සිරිවර්ධන මහත්මිය කිරිබත්ගොඩ නගරයේ වාහන තදබදය අතරතුර පැවසුවාය.

“ට්‍රැෆික් නැති වෙන්න කියලද අම්මා?“ සඳුන් සිනහවෙමින් ඇසුවේය.

“ඔව් ඔව් ට්‍රැෆික් නැති වෙන්න කියලා තමයි! දැන් බැඳලාත් මාස 6ක් වෙන්න ආවානේ. තාම නැහැනේ කිසි වෙනසක්!“ සිරිවර්ධන මහත්මිය ගස්සා ඉවත බලා ගනිමින් පැවසුවාය. නදී සෙමින් ජනේලයෙන් පිටත බලා ගත්තාය. තමන් දෙදෙනා කථාකර ගත් තීරණයක් නිසා වෙනස පමා වන වගක් සඳුන් අම්මාට පවසා නැතුවා සේය. මොන දේ කීවද ඉවසා සිටිමි‘යි යන තීරණයේ ඇය එල්ලී සිටියාය.

තවත් මාසයක් පම‍ණ විවිධ කථා හා සිදුවීම් අතරේ කාලය ගතවිය. මොන දේ වුවද සඳුන් සෙවනැල්ල සේම ආලෝකය ද වෙමින් තමන් අසලම දැවටෙන නිසාවෙන් ඒ සියල්ල මැදහත් සිතින් දරා ගන්නට නදීට හැකිවිය. සතියට දිනක් පමණ සඳුන් වේලාසන පැමිණෙන අතර ඉඩම කෙලවරින් ගලා යන කැළණි ගඟ අසබඩට වී හෝ කැළණි විහාරය අසලින් ගලා බසින කැළණි ගඟ අසබඩට වී හවස් වරුව ගත කිරීම ඔවුන්ගේ පුරුද්ද විය. කැළණි ගිය බොහෝ දිනවල රෑ කෑම පිටින් ගෙන සිරිවර්ධන මහත්මියටද ගෙන ඒම තවත් පුරුද්දක් විය.

ඒ අතර දිනක් දහවලේ තීරණාත්මක දුරකථන ඇමතුම ලැබිණ.

මතු සම්බන්‍ධයි (අවසන් කොටස සිකුරාදාට)

Monday, October 1, 2012

138. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....20

,.,

ගම්මානයට ගිය පසුගිය කිහිපවරම අනෙකුත් දැරියනට වඩා ගම් නායකයාගේ දියණිය ඔහු සමඟ ඉඟි බිඟි පෑමෙහි අනලස් වූ බව දඩයක්කාරයාට සිහියට නැඟිනි.

එසේම ඇය සම වයස් අන් සියළු දැරියනට වඩා පැහැපත් වූවා මතු නොව සිරුරෙන් ද වැඩුනේ වී දඩයක්කාරයාගේ උරහිස පමණට උස් වූවාය.

එදවස කටාක්ෂ නිරීක්ෂනයෙහිදී* ඇගේ දිගු නෙත් යුගලයෙන් නික්මුනු මහ වැසි සමය ඇරඹීමට පෙර පෙරදිග වෙරල ඉහලින් අහස් කුස සිසාරා විහිදයන විදුලි ධාරාවන් බඳු මදහස හා මුසු වුනු සරාගී බැල්ම දඩයක්කාරයාගේ තුරුණු සිත් විලට වැද ඒ කළඹාලූයේ ඔහු අන්ද මන්ද කරවමිනි.

( *කටාක්ෂ නිරීක්ෂණය - ඇස් කොණින් බැලීම, ogle, side glance )

අවසන් වරට ඇය හමුවුනු දිනය ඔහුට කිසිසේත්ම අමතක කල නොහැක.එදින ගනුදෙනු පිළිබඳ එකඟතාවයකට එලඹි ඉක්බිති හුවමාරු භාණ්ඩ ගෙන එනු වස් ගම් නායකයා ගෙතුලට වන් වහා ජලය පිරවූ ලබු කැටයක් ද රැගෙන පසුපස ද්වාරයෙන් නික්මුණු ඕ තොමෝ දෙතුන් වරක් සංවිභාගශීලීවැ අවට නීරීක්ෂනයෙන් අනතුරුව යුහු යුහුවැ කඩුල්ල අසල වූ සුවිසක් පළු රුක් සෙවණෙහි ඇණ තබාගෙන හුන් දඩයක්කාරයා වෙත එලඹියාය.

( * සංවිභාගශීලීව - පරීක්ෂාකාරීව )

'' අයියට දිය පිපාසෙ හේමයි? මම මේ දිය ඇබිත්තක් ඇන්න ආව..''

රත් වන් දෙතොල් විවර කොට එසේ පවසමින් ඈ ඔහු වෙත දිය බඳුන පාමින් නැමී සිටියාය. ඇගේ තොල් වෙව්ලනු හා සමඟම උඩු තොල මත නැඟි දා බිඳු පෙල ද දුටු දඩයක්කාරයා ඒ දෙස බලා සිටියේ දෑස ඉවතට ගත් නොහුනු පරිද්දෙනි.

ඔහුගේ බැල්ම කොතෙකුත් ඉවසනු නොහුනු ඈ දෙනෙත පහතට යොමුවූයේ ද කන්පෙති වලින් ඇරඹී ගෙල පෙදෙස පසුකොට පිරුණු ලැම කරා ලේ පුරා ආවේද එක්වරමය.

ජීවිතයේ කිසිදිනෙක අත් නොවිඳි උණුසුම් හැඟුම් සමුදායකින් සපිරුණු සිතක් මෙන්ම ගතකින්ද ඔදවැඩී ගිය දඩයක්කාරයා සිය දෑතම දිගුකොට දිය සපිරි ලබු කැටය රැගත් ඇගේ දෑත තරව ග්‍රහණය කොට ගත්තේය.

ඇගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය එක් වරම වේගවත් විය. ඒ සමඟම වෙලෙවිව ගිය ඇගේ දෑතින් උගේ* ගිලිහුනු ලබු කැටය බිම පතිත වූයේ එහි රැඳි දිය වියළි පොළොව මත විසිරුවා හරිමිනි.

( * උගේ යනු ලබු කැටයක ආරක්ෂාව උදෙසා මෙන්ම දිය හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් පිරවූ පසු ඔසවාගෙන යාමේ පහසුව සඳහා ඒ වටා හැර කිහිපයක් වෙලා ඔසවා ගැන්මට කාදුවක් ද සහිතව සකස් කරගන්නා සැකිල්ලක් වැනි යමකි. වියලා පදම්කරගත් වේවැල් හෝ එවන් අනෙක් සවිමත් වැල් වර්ගයක් මේ සඳහා භාවිතා කෙරේ. )

ඒ ශබ්දය ඔවුන් දෙදෙන දැහැනින් මිදවීමට සමත් විය. වහා පහත නැමුනු ඔහු ලබු කැටය ගෙන නැඟී සිටියේ ද මහත්සේ කලබල වූ ඇය කෙලින් වී සිටගත්තේද ගෙතුලින් අඩක් පිරුණු කඩ වැස්මක් සහිත ගෝණි පඩංගුවක් ද උරයේ රුවාගෙන ගම් නායකයා ඉදිරි දොරින් මිදුලට බසින්නා හා සමඟමය.

මිදුල මධ්‍යයෙහි නැවතී ඇය දිවයන දෙස මොහොතක් බලාසිටි ගම් නායකයා ඉනික්බිති සෙමෙන් පියනගමින් දඩයක්කාරයා වෙත එලඹියේ දැඩි කල්පනාකාරී බවකිනි.

කිසිදු කතාබහකින් තොරව ගණුදෙනු හමාර වූ ඉක්බිති දඩයක්කාරයා ආපසු යනු පිණිස කඩුල්ල පනිද්දී එක්වරම හදිසියේ මතක් වූවා මෙන් ගම් නායකයා ඔහු ඇමතීය.

'' මට බොහොම දොහකට සිදාදිය අහ කරක් ගහන්ට වෙන්නෙ නැතුං, ....ආයෙම අඩුම කුඩුම ගෙනාහම මං කොල අත්තක් එල්ලඤ්ඤා*.....''

( * දඩයක්කාරයා බොහෝවිට ගෙපැලෙහි නොවූ බැවින් හුවමාරුවට භාණ්ඩ රැගෙන ආ පසු ගම් නායකයා හෝ ඔහුගේ අත වැසියෙක් ඒ බව දැනුම් දීම උදෙසා ගෙපැල ඉදිරියේ වූ කොහොඹ ගසෙහි අත්තක් එල්ලා තබන සිරිතක් පැවතිණි. )

ඒ පණිවිඩයේ නොකියා කියවුණු ඇඟවීම දඩයක්කාරයා හොඳින් වටහා ගත්තේය. එනම් එතෙක් ගම් නායකයා හමුවීමට පැමිණීමෙන් වැළකිය යුතුය යන්නය. සුපුරුදු ලෙස මුවින් නොබැන ගම් නායකයා පැවසූවට සවන් දුන් දඩයක්කාරයා මඳක් හිස සලා ආපහු හැරී කඩුල්ලෙන් පැන්නේ හුවමාරු කල භාණ්ඩ පිරි ගෝණි පඩංගුවද කර තබාගෙන වන පෙතට වැද නොපෙනී ගියේය.

ඉනික්බිති කෙසේවත් ඇය අමතක කරනු නොහුනු දඩයක්කාරයා, එදිනට පසු කිහිප දිනක්ම ගම් නායකයාගේ ගෙපැල අද්දර වනයෙහි සැඟව හුන් නමුදු ඇය දැකගැන්මට හෝ අවස්ථාවක් නොලද්දේය.වන වාසී දැරියන් බොහෝ විට නිදැල්ලේ තම සිතැඟි පරිදි දවස මුලුල්ලේ සරන අතර වැඩිහිටියන්ගෙන් ඊට බාධාවක් එල්ල වනු නැති තරම්ය. එබැවින් ගම් නායකයාගේ දියණිය දින කිහිපයක් මුලුල්ලේ නිවසින් බැහැරව නොයාම වනාහී ඈ පිළිබඳව ඇතිවූ සැකය නිසාම ඇගේ පියා විසින් පැනවූ තහංචියක් නිසාම වන්නට ඇතැයි අවසන දඩයක්කාරයා තීරණය කලේය. සත්‍ය වශයෙන්ම ඔහුගේ ඒ තීරණය නිවැරැදි විය. ඒ එසේම විය.

පූර්වෝක්ත සිද්ධිය වූ දින දඩයක්කාරයා පිටත්ව ගිය වහාම ගෙතුලට පිවිසි ගම් නායකයා දියණිය ඇමතුවේය.

'' තී මිං මනත මේ ගෙයිං එක අඩියක් එලියට බැස්සොත් බලාගං..... තිගෙ මහ එකී මියෑදුනු දා ඉඳල මම තී ලොකු මහත් කලේ කැලේ ඉන්න සතෙක් වගෙ එකෙකුට දෙන්ට නෙවෙයි බොල, හෙටම මම නිල්ගල ඉන්න මයෙ නගාට පයිංඩයක් යවනව ඒකිගෙ පුතංඩියට තී සහේ ගන්ට කටයුතු සූජානං කරන්ටෙයි කියල ''

ඇය මුවින් නොබැන ඔහු කියන්න අසා සිටියේ ඉරිඟු කරල් කිහිපයක ඇට ගලවා මඩක්කුවකට දමනා අතරය.එහෙත් ගම් නායකයාට පිටුපා සිටි ඇගේ යටි තොල සැපෙනු මෙන්ම දෑත් මිට මෙලවෙනුද දෙනෙත් විශාලව දීප්තිමත් වනුද ඔහු නොදුටුවේය.

ඒ මීට සතියකට පමණ ඉහතදීය. එදිනට පසු ඇය ඔහු නෙත ගැටුනේ මේ මොහොතේදීය.මේ හිරු බැස යන සමයෙහි ඇය මෙතැන කුඹුක් ගස සෙවනෙහි කුමක් කරන්නේද යන්න පිළිබඳ කුකුස දඩයක්කාරයාගේ සිතට නැඟුනු නමුදු ඒ මොහොතකට පමණි. ඇය මෙහි පැමිණි හේතුව ඔහුට සක් සුදක් සේ වැටහිණි.

ඇගේ වත රත්පැහැයෙන් ගැන්වී තිබුණු බව සැබෑය. එහෙත් ඒ කුඹුක් වනස්පතියට පසුබිම්වැ නිල් අහසට නැඟුනු, තුඟු විසල් වාළිඹේගල පර්වතය පසුපස සැඟව අස්තංග ගතවන සූර්යයාගේ අවසන් රන්පැහැ කිරණ කදම්බයන් හේතු කොටගෙනද, එසේත් නැතහොත් සිත් කළඹවනසුලු ආවේගයන් සමුදායක් එකිනෙක පරයා නැඟී සිටීමට තැත් දරණ කල්හි නිතැනින්ම සිදුවන්නාවූ ලේ පුරාඒම නිසා වූවක්ද යන්න අවිනිශ්චිතය. ඒ කෙසේ වුවද ඇගේ වතෙහි රත් පැහැය හෝ එක්වනම වනයේදී මඟට කඩා පිණූ දරුණු වන මෘගයකු වෙතින් දිවි රැකගෙනැ ගැලැවී ගනු වස් පවනට බඳු වේගයෙන් දිවගිය පසුව අශ්වාස ප්‍රශ්වාසයෙහි නිතැනින්මැ සිදුවන වේගවත් බව මෙන් වූ ඇගේ තුඟු ලය මඬලෙහි උච්චාවචනය පිළිබඳ කල්පනාවෙහි යෙදීමට දඩයක්කාරයා හට කිසිදු ඉඩ ප්‍රස්ථාවයක් උදක්ම නොලැබිණි.ඒ එකෙනෙහිම ඔහු වෙත දෙපියවරෙකින් ළඟා වූ ඇය ඔහු ගෙල වටා යුගත් පටලා තරව වැළඳ ගත් හෙයිනි.

දඩයක්කාරයාට කිසිවක් සිතාගැන්මට හෝ කාලවේලාවක් නොතිබිණි. එසේ කාල වේලාවක් තිබුණ ද කුමක් සිතාගන්නටදැයි නොදැන ඔහු විපිලිසර වීම ඒකාන්ත හෙයින් එයින් කිවයුතු අන්දමේ වෙනසක්ද නොවිනි.

අව්‍යාක්තවූ කෙඳුරුම් හඬකින් මුමුණන වදනක් හෝ දෙකක් ඇගේ මුවඟින් නිකුත් විය.ඒ සමඟම ඈ ඔහුහේ දෙතොල තම වෙව්ලන දෙතොලින් සිප ගත්තීය. තරව දෑස් පියාගත් දඩයක්කාරයාද තම සිතැඟි වලට ඉඩ දී මේ මොහොතේ චමත්කාරය විඳීමට ගත සිත දෙකම කැප කලේය.

ඇගේ උණුසුම් සුසුමෙක පහස දැනුනු තම ගෙල පෙදෙස රතු වී ලේ පුරායනු දැනුනු ඔහු තව සවිමත් දෑතින් ඈ උඩුකය සිරකොට ඈ තම ළයට තෙරපා ගත්තේ ඇය තම සිරුරේම කොටසක් කර ගැන්මට අදිටන් කර ගත් සෙයකිනි.

මොහොතකට ඔහු මුවින් මිදුනු ඈ දෙතොලගින් කෙඳුරුමක් පිටවූයේ ඔහුගේ දැඩි ග්‍රහණය නිසා වූ වේදනාවෙන් ද එසේත් නැතහොත් ඒ අනුරාගයෙහි පිවිසුම් දොරටුවෙන් ඇතුළුවන කල්හි නිරායාසයෙන් නැඟෙනා ධ්වනිතාර්ථයක් ද? නැතහොත් මේ සංජානනයන් දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසාවෙන්ද?...ඒ පිළිබඳව සිහි එලවීමට ඔහුට හෝ ඇයට කිසිදු අවශ්‍යතාවයක් හෝ ඉඩ ප්‍රස්ථාවයක් එකෙලාම නොවීය.ඔවුහු අනුරාගයේ පරතෙර වෙත යුහුවැ ලඟා වෙමින් සිටියෝය.

ඇගේ ආක්‍රමණශීලී ආගමනය නිසා නිතැනින්ම පසුපසට පිය මාරුකිරීමට සිදුවූ දඩයක්කාරයා අවසන කුඹුක් ගසට පිටදී ඊටම වාරු වී සිට ගත්තේය. නිරුවත් පිටි උරය ප්‍රදේශයේ තරව දැවෙටෙනා කුඹුක් කඳෙහි වියළි රළු පොතු සුඹුල් හේතු කොටගෙන පිට ප්‍රදේශය පුරා පැතිර යන වේදනාව පවා කිසිසේත් නොදැනෙනා මානසික තත්වයකට ඔහු පත්ව සිටියේය.

ආශාවේ ගිණිදැලින් වෙලී රාගයේ මං පෙතෙහි සක්මනෙහි යෙදෙනු වස් නිරායාසයෙන්ම යොමු වූ තරුණිය සහ තරුණයා එක් වරම සිහිල් දිය දහරකින් හිසෙහි සිට දෙපතුල් දක්වා නැහැවී ගිය බඳුව පියවි ලොවට පැමිණියේ ඒ ආසන්නයෙන්ම ඇසුණු මිනිස් හඬකිනි.

එකෙණෙහිම තරුණයාගෙන් මිදුනු හෝ තරුණයා මුදා හැරි තරුණිය... ... මේ කෙසේ පැවසුවද එහි සැලකියයුතු වෙනසක් නොමැති අතරම මෙහිදී සිදුවූයේ ඉහත කරුනු දෙක අතරින් කුමක්ද යන්න දෙවියන් පවා හරිහැටි දැන සිටියේද යන්න ද විවාදාපන්නය......වහ වහා විසුරුණු දල රෙදිකඩින් උඩුකය වසාගත්තී දෙවුර පුරා විසිරුණු අවුල් වූ කෙහෙරල හිස් මුදුනට කොට බැඳ ගනිමින් කුඹුක් සෙවණින් පිටමංව ගම්මානය කරා දිවෙන මංපෙතට අවතීර්ණ වන්නට සූදානම් වූවාය.එහෙත් මේ සියළු අපකලංචි මධ්‍යයේ වුවද පුරා ජීවිත කාලයක් පුරුදු පුහුණු කල ශිල්පය ඔහු අතැර නොගිය හෙයින් උඩු සුළඟ හමනා දිශාව අනුව ඒ අනපේක්ෂිත මිනිස් හඬ නිකුත් වූයේ මංපෙත ඔස්සේ ගම්මානය දෙසින් පැමිණෙන්නෙකු හෝ දෙදෙනෙකුගෙන් බවට දඩයක්කාරයා හොඳින් දැන සිටියේය.

යුවතියගේ දසරුවට තම සුරත තැබූ හෙතෙම වමතේ දබරැඟිල්ල ඇගේ දෙතොල මත තබා නිශ්ශබ්ද වන ලෙස සංඥාකලේ කුඹුක් ගස ඉහත්තාවේ හීං ඇල ඉවුර ඔස්සේ ගොස් මෙදෙසට පැමිණෙන මිනිසුන් මඟ හරවා යලි ගම්මානය කරා දිවෙන මංපෙතට පිවිසිය හැකි මාර්ගය ඇයට දක්වා ලූයේය.තම දෙතොල් මත වූ දඩයක්කාරයාගේ දබරැඟිල්ල එක්වරක් තදින් සැපූ ඒ යුවතිය යලිත් රත්වන් දෙතොල් මෑත්කොට ඔහු හා එක් වරක් සිනාසුනී කුඹුක් ගස වටා මුවැත්තියකගේ කඩිසර පියවරින් දුවහොස් වනපෙතට වැද අතුරුදන් වූවාය.

ඇය දිවගිය දෙස මන්දස්මිතියකින් යුතුව මොහොතක් බලා සිටි දඩයක්කාරයාට ආපසු හැරීමට සිදුවූයේ මංපෙත ඔස්සේ පැමිණි මිනිසුන් දෙදෙනා මේ අවස්ථාවෙහිදී මේ ජවනිකාව රඟ දැක්වෙන රංග භූමිය වෙත පිවිසි හෙයිනි. මැදිවියේ පසුවූවද හැඩි දැඩි රළු පරළු පෙනුමකට උරුමකම් කී ඔවුන් ගම් නායකයාගේ බව බෝග වගා කටයුතු මෙන්ම වෙළඳාම කටයුතු වලදී ඔහුට සහාය වන්නා වූ අන්තේවාසිකයින් දෙදෙනා බව දඩයක්කාරයා එකෙනෙහිම හඳුනා ගත්තේය.

එකෙකු මංපෙත අසල රැඳී සිටියදී දඩයක්කාරයා ඉදිරියට, ඔවුන් අතර පරතරය පියවර දහයකට පමණ සීමාවනතෙක් ඉදිරියට පැමිණි ඔවුනතරින් වඩාත් හැඩි දැඩි දේහධාරියා ඔහුගේ ඝණ ඇහිබැමින් වැසීගිය බොර පැහැ දෑස දඩයක්කාරයාගේ දෑස දෙස එක එල්ලේ යොමුකොට මොහොතක් දෙකක් තුනක්...බලා සිටියේය. ඇසිපිය හෙලීමකිනුදු තොරව දඩයක්කාරයා ද ඒ බොර පැහැ දෑස දෙසම බලා සිටියේ පළමුව දෑස ඉවතට ගන්නා වු අය කවරකු හෝ ඔහු පරාජයට පත්වන අන්දමේ ක්‍රීඩාවක යෙදෙන ලෙසිනි.

අවසන බොර පැහැ දෑස් හිමියා පරාජය භාරගත්තේ, දෑස් ඉවතට ගෙන සෙමෙන් ඉවතට ගොස් තම සඟයා හා එක්වූයේය. ඔවුන් දෙස තවත් මොහොතක් බලාසිටි අප තරුණයා වනයට වැදෙනු පිණිස එතැන පියමං කරනට සැරසුනා පමණි. මිනිසුන් දෙදෙනාගෙන් එකෙකු නැඟි විස්මයාහව රාවයක් හේතු කොටගෙන හිටිපියම නැවතුනේ ආපසු හැරී බැලීය.හැඩි දැඩියා නොව අනෙකා තම සුරත දිගුකොට කුඹුක් ගසෙහි මුල් අතර සැඟවී අඩක් පමණක් දිස්වන යමක් අනෙකාට පෙන්වූයේය. ඒ ඔසේ දෑස් යොමුකල ඔහුට දැකගත හැකිවූයේ ලබු කැටයකි. ඒ පෙර දින ඇය තමාට දිය ගෙන ආ ලබු කැටයම බව ඔහු එක පැහැර හැඳින ගත්තේය.

ඒ ලබුකැටය ගම් නායක අන්තේවාසිකයින් දෙදෙනා ද හඳුනා ගත් බවට සැකයක් නොවීය. මෙවර ඔවුන් දෙදෙනාම ඉදිරියට පැමිණියෝය.පහතට නැවී ලබුකැටය අසුලාගත් සඟයාගේ අතින් ඒ උදුරාගත් හැඩි දැඩියා කෝප දීප්ත නේත්‍රයෙන් යුතුවූයේ දඩයක්කාරයා දෙසට ලබු කැටය ඔසවා පා බිරුසන් දුන්නේය.

'' කොහොමද යකෝ මේ ලබුකැටේ මෙතෙංට ආවෙ? ''

හැඩි දැඩියාගේ කෝපය හෝ ඔහුගේ බිරුසන් දීම කිසිදු ගනනකට නොගත් දඩයක්කාරයා සුපුරුදු ලෙස නොසැලී බලා සිටියේය.

තවත් මොහොතකට පසු තම සඟයා පහත් හඬින් පැවසූ යමකට සවන් යොමුකල හැඩි දැඩි දේහ ධාරියා තවත් වරක් දඩයක්කාරයා දෙස ගිණි පුළිඟු නික්මෙන දෑසින් බලාසිට මංපෙතට ප්‍රවිෂ්ඨ වූයේ ගම්මානය දෙසට ගමන් කරන්නට වූයේය. ඔවුන් නොපෙනී යනතෙක් හිටි දාරනයේම රැඳී හුන් දඩයක්කාරයා තම ගෙපැල බලා යනු උදෙසා වන පෙතට වැදුණේය.

ඉන්පසු කිසිම දිනෙක දඩයක්කාරයාට ඒ සොඳුරු යුවතිය හමු නොවීය. ඉනික්බිති ගෙවීගිය සති කිහිපයක් පුරාවට ඔහු ගම් නායකයාගේ නිවෙස අසල වන ගහනයෙහි සැඟවී හුන්නද කිසි දිනෙක ඇගේ ඡායා මාත්‍රයක් හෝ දැක ගැන්මට ඔහුට භාග්‍යයක් නොවීය.

එම සදානුස්මරණීය සිද්ධියෙන් කලක් ගතවන තුරු දඩයක්කාරයා කුඹුක පසුකරන කල්හි එතැන මඳක් නැවතී ඈ හා ගෙවූ ඒ ක්ෂණික සොඳුරු නිමේෂය යලි ආවර්ජනය කිරීමෙහි යෙදුනේය. එහෙත් කාලයක් ගතවන විට මිනිස් සිත් සතන්හි අනිවාර්යයෙන්ම සිදුවන්නාසේම ඒ සොඳුරු මතකයද දඩයක්කාරයාගේ සිතෙහි අගු පිලෙක අඳුරු සෙවනැලි අතර සැඟව ගියේය.

සැඩ පහරින් බේරාගත් මේ නාදුනන යුවතියගේ නිරුවත් දේහය විසින් දඩයක්කාරයාගේ සිත තුල අවදි කරවනු ලැබූයේ ඒ කාලයේ අඳුරු සෙවණැලි තුල සැඟව ගිය අතීත සොඳුරු මතකයන්ය.

ඇය එක වරම සිහින් කෙඳිරියක් නඟා නැඟී සිටීමට උත්සාහ කලාය. එහෙත් උඩුකය මඳක් හෝ ඔසවා ගැන්මට තරම් සවියක් නොතිබුණු හෙයින් ආපසු මුව සම මතටම ඇද වැටුනු ඕ තොමෝ අවසිහියෙන් මෙන් කොඳුරන්නට වූවාය.

අතීතාවර්ජනයෙන් එකෙනෙහිම බැහැරවූ දඩයක්කාරයා වහා පහත්ව ඇගේ හිස සෙමෙන් අතගා දෙදණ කෙලින් කොට නැඟී සිටියේය.

මතු සම්බන්ධයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...