Tuesday, October 16, 2012

140. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....22

,.,

දැඩි කුසගින්න සහ සිතෙහි පාවෙන්නක් බඳු සැහැල්ලුව යනු එකිනෙකට හාත්පසින්ම විරුද්ධ සංජානනයන් දෙකක් බව ඔබ එකහෙලා පවසනු මට නිසැකය.( සංජානනය = හැඟීම, Perception )

ඔබ හා එකඟවීමට මම කිසිසේත් නොපැකිලෙමි.එහෙත් දඩයක්කාරයා එදින ඒ පිල්කඩ මත ඒ ඉඳුරාම විරුද්ධවූ සංජානනයන් මුවග තැවරි මන්දස්මිතියකින් ද යුක්තව විඳිමින් වැතිර සිටි බව මම පවසනවිට ඊට ඔබ විරුද්ධ වන්නේ නම් ඔබට කරුණු පැහැදිලි කිරීමෙහිලා මට අවසර...


එදින ඒ එසේ සිදුවූ බව පමණක් ඔබේ විරුද්ධතාවයට ප්‍රතිතර්කය ලෙස පවසා මම නිහඬ වෙමි. එසේය, ඒ එසේම එදින සිදුවිය.


මධ්‍යාහ්නය ගෙවී හිරු සිය අවරගිර තෙක් වූ අස්තංග ගමන අරඹා හෝරාවක් පමණ ගෙවී තිබිණි.පසුගිය දින කිහිපය පුරා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවන් පිළිබඳ ව යටත් පිරිසෙයින් සළකුණක් පවා නොමැතිව නිල් අහස බැබලියේ ඇස් හැර ඒ දෙස එක එල්ලේ බැලීම පවා අපහසු කාර්යයක් බවට පත් කරමිනි.


වර්ෂාව නොකඩවා ඇදහැලුනු දින කිහිපයේ තුරු ගොමුවල පියාපත් පෙරවාගෙන තෙමී බත්ව හුන් සියොත්හු කලකට පසු උදාවූ මේ හිරු රැසින් දිදුලන පැහැදිලි දිනයේ උදෑසනම අහර සොයාගොස් කුස පුරවාගත්තාහු ප්‍රීතිනාද නඟමින් කෙලි දෙලෙන් එහා මෙහා පියැඹූහ.


නිරතුරු දෑස් පියාගත්වනම පිල්කඩ මත සෙල් රුවක් සේ නිසොල්මනේ හිඳිනා දඩයක්කාරයා ගෙමිදුල කොහොඹ ගස තම නිත්‍ය වාසස්ථානය කොටගත් දෙමලිච්චන් කැළට කිසිසේත්ම නුපුරුදු හෝ බිය ගෙන දෙන දසුනක් නොවූ බැවින්ම ඔවුහු දඩයක්කාරයාගේ දෙපා අසලම දුව පැන ඇවිද්දේ මහත් ඝෝෂාවක් නඟමිනි. උන්ගේ අතොරක් නැති ඝෝෂාවට දායක නොවූ නමුදු අඳුරු රත්වන් පියාපතින් හෙබි කොණ්ඩ කුරුලු යුවලක් ද ඒ අතර නොවුනේ නොවේ.


සියොත් රාවයට සවන් දෙමින් හෝ නොදෙමින් දඩයක්කාරයා පිල්කඩෙහි වැතිර හුන්නේය.එක් වරම මෙතෙක් නැඟූ ඝෝෂාව එකවරම නැවැත්වූ දෙමලිච්චෝ වහා ඉගිල ගියෝ කොහොඹ ගහේ පහතම අතුපතරෙහි හිඳ සැඟවුණෝය.


කණට පුරුදුව පැවති ඝෝෂාව එක්වරම ඇණහිට දසත පැතිර ගිය දැඩි නිශ්ශබ්ද තාවය දඩයක්කාරයා මෙතෙක් ගැලීසිටි අකර්මන්‍ය සම්මෝහයෙන් ඔහු සැනෙකින් මුදවාලීමට සමත්විය.


සවනේන්ද්‍රියකින් මෙන් දැනුනු යම් චිත්තාවේගයකින් ලත් පෙළඹවීමෙන් දඩයක්කාරයා සෙමෙන් හිස හරවා ගෙපැලෙහි දොරටුව දෙස බැලීය. උළුවස්සෙහි දෙපස සිරස් කණු යුවලට දෑත තබා ඊටම වාරුවි ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා හුන්නී ඒ යුවතියමැයි.


එකිනෙකාගේ දෑස් දෙස එක එල්ලේ බලාසිටිමින් ගතවූ මොහොතකට පසු ඇය උලුවස්සට වාරුවී හුන් එක් අතක් අත්හැර පියවරක් ඉදිරියට ඒමට තැත් කලාය.එහෙත් දෙපා අවසඟ වීම කරන කොටගෙන වෙලෙවි වී ගිය ඕ නැවත වහා දෑතින්ම උළුවස්ස තරව ගෙන ඊටම හිස වාරු කොට ගත්තීය. මෙතෙක් සෙල් රුවක් පරිද්දෙන් ඈ දෙස බලාසිටි දඩයක්කාරයා වහා නැඟිට ඈ වෙත සිව් පියවරකින් ලඟාවූයේ උරහිස වටා යැවූ තම සුරතට ඈ වාරු කොට ගත්තේය.


එක් වරක් හිස ඔසවා ඔහු දෙස බැලූ ඇය දිගු සුසුමක් හෙලා ඔහුගේ පපුවට වාරු වූවාය.


ඇයද සමඟ එළෙසම ගෙපැලට ඇතුළු වූ දඩයක්කාරයා ඇය මෙතෙක් නිදාසිටි මුවසම මත ඇය සීරුවෙන් හිඳුවා යලි නැඟී සිටියේය.ඇය දෙනෙත් පියාගත් වනම හිස පහතට නැඹුරු කොටගත් වනම නොසෙල්වී හුන්නාය.දෙදණ නවා වම් පසට විහිදුවා හිඳ සිටි ඇගේ දිගු කෙස් කළඹ වත අඩක් වසාගත්තේ ළැම මතද පැතිර ගියේ තවමත් සිඳී නොගිය දියබිඳක් ඒ මත පතිත කරවමිනි.


මඩක්කුවට පරිප්පු හා මුසු වූ බත බෙදාගත් දඩයක්කාරයා යුවතිය ආසන්නයේ ඇණ තබා හිඳගත්තේ බත් කටක් ඇගේ මුවග තැබීමට උත්සාහ කලේය.එහෙත් ඇගේ කඩාහැලෙන දිගු කෙස් කළඹ ඊට බාධාවක් වූ හෙයින් ඔහු පළමුව ඇගේ මුහුණ ඉදිරියේ වූ කෙස් වමතින් ඉවත් කිරීමට තැත් කලේය. ඔහුගේ මුදු ස්පර්ශයෙන් එක් වරම පිබිදුනාක් මෙන් දෑස් විවර කල ඇය දෑතින්ම මුහුණ වසා වැටුනු කෙස් කලඹ උරහිසින් පසුපසට තල්ලු කොට ඔහු දෙස බලා වෙහෙසකර සිනහවක් පෑවාය.


මඩක්කුවෙහි වූ පරිප්පු හා මිශ්‍ර බත දැඩි සාගින්නෙන් මෙන්ම වෙහෙසින්ද පීඩිතව හුන් යුවතිය ගිල දැම්මේ දඩයක්කාරය සියතින් ඇනූ බත් පිඬු ඇගේ මුවග තබනා ඇසිල්ලෙනි.කොපමණ සාගින්නෙහි පසුවුවද ඇය මඩක්කුවෙහි වූ බත අඩක් පමණ අවසන් වන කල්හි ඔහුගේ සුරත අල්වාගෙන දැස් දෙස බලාගත්වනම මොහොතක් සිටියේ තොලගට නැඟි මද සිනහවකින් යුක්තව හිස සෙමෙන් දෙපසට වනා තව දුරටත් අහර ගැන්ම ප්‍රතික්ෂේප කලාය.දඩයක්කාරයා ගෙපැලෙහි මුල්ලකවූ මැටි කළයෙන් එක් අඬුවක් කැඩී ගිය මැටි කෝප්පයකට නවා දුන් ජලය එක් හුස්මට පානය කල ඕ ඉන්පසු පෙට්ටගමට හේත්තු වූවා ඔහු මඩක්කුවෙහි ඉතිරි බත ගිල දමනු සෙනෙහසින් බලා සිටියාය.


එහෙත් දඩයක්කාරයා අහර ගෙන අවසන් වන්නට ද පළමු ඇය නොදැනුවත්වම නිදි ලොව වෙත පිවිසියේ තොලග රැඳි සිනහව ද නොමැකී පවතිද්දීය.


අහර ගත් ඉක්බිති දඩයක්කාරයා ඇය සීරුවෙන් එතැනම තිබූ මුවසම මත දිගාකලේ ඇය අවදි නොකිරීමට ප්‍රවේශම් වෙමිනි.


ඇය අසල දණ ගසාගත් ඔහු ඇය දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදෙමින් ගැඹුරු නින්දකට පිවිසෙනු බලාසිටියේ සිතෙහි උතුරායන සහසකුත් එකක් නුහුරුවූ හැඟුම් වටහාගැන්මෙහිලා අසාර්ථක උත්සාහයක යෙදෙමිනි.


ඔහු දැහැන් බිඳී ගියේ ගෙමිදුල දෙසින් ඇසුණු කිසියම් සතකුගේ දැඟලීමට හඬිනි.තවත් මොහොතක් ඇය නිදන දෙස බලා සිටි දඩයක්කාරයා සෙමෙන් නැඟිට ගෙපැලෙන් පිටතට පැමිණියේය.


ගෙමිදුල මධ්‍යයේවූ කොහොඹ ගස සෙවණේ, ගෙපැලට පිටුපා වනපත දෙස සුවිසල් දෑසින් බලාසිටියේ හොඳින් වැඩුණු මුව දෙනකි.


ඇය බොහෝසේ නොඉවසිලිමත් ස්වභාවයක් පළකරමින් සෘජුව ඔසවාගත් කන් සහිතව පියවර කිහිපයක් එහා මෙහා ඉදිරියට සහ ඒ සමඟම පසුපසට ඇදුනේ දැඩි ආතතියකට ලක්ව සිටිනා බවක් පලකරමිනි.


ඇගේ රන්වන් සම මතුපිට කොහොඹ අතුපතරින් පෙරී ඇදහැලුනු හිරුරැස් මැවූ රටාවන් ඇය නොඉවසිල්ලෙන් එහා මෙහා පියවර තබද්දී වරෙක මැකී යලි ඇඳී යන අයුරු දඩයක්කාරයා නිසොල්මන්ව බලා සිටියේය.


වනයෙහි නිසොල්මන්ව සරද්දී නොයෙක් වර මහ ගසක් සෙවණෙහි ඇණතබාගෙන හෝ නො එසේවීනම් ගල කුලක් මතුයෙහි එරමිණිය ගොතා සෙල් රුවක් මෙන් නිසලව සිටිනා කල්හි කුතුහලයෙන් මඬිනා ලද බොහෝ ලොකු කුඩා වන සත්තු දඩයක්කාරයා අසළටම නිර්භයව පැමිණ ඔහු ඉව කොට පවා ආපසු යන අවස්ථා නොගිනිය හැකි තරම් යෙදුනේ වී නමුදු මතක ඇති දිනෙක ඔහුගේ ගෙපැල සතර මායිමට කිසිදු වන සතෙක් පැමිණියේ වී නොවේ.

 
ඔහුට මතක ඇති කලෙක පටන් ඒ එසේ වූ හෙයින් දඩයක්කාරයා කිසිදිනෙක ඒ පිළිබඳ සිත වෙහෙස කිරීමට තැත් නොකලේය. පියාණන් මියයාමට පෙර පැවසූ පරිදි ඒ සිදුවීමට නියමිත දෙයකැයි යන සිතුවිල්ලෙන් සැනැහුනු ඔහුට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් ද නොවීය. එහෙත් අපේක්ෂා රහිතවම වූ මේ මිගාංගනාවගේ ආගමනය ඔහු සිත තුල කුතුහලයක් ඇති කලේය.

සැළකිය යුතු කලෙක සිට තිරශ්චීන සත්වයින් හා ඒකාත්මික වීම ඔහු අතැර දමා තිබුනද තම ගෙමිදුලටම පැමිණි මේ මෘග ධේනුවගේ අභිප්‍රායන් පිළිබඳව දැන ගැන්මට දඩයක්කාරයා ඉටා ගත්තේය.


ඔහු පලමුව ප්‍රත්‍යක්ෂ කලේ ඇය නොඉවසිල්ලෙන් වනය දෙස නෙතු යොමා සිටිනුයේ වන රේඛාවේ සැඟවී මව වෙත නොපැමිණ හැංගිමුත්තම් ක්‍රීඩාවේ නිරත සිය පුත්‍රයා තමන් වෙත පැමිණෙන තෙක් බවය.

 
අපරිචිත ( නුපුරුදු ) ස්ථානයකට එක්වරම පිවිසීමෙහිලා දක්වන කුළෑටි බව හෝ තම මව වික්ෂිප්ත කරවීමෙහිලා දරුවන් තුල පවතින නෛසර්ගික ( සහජ, ආවේණික ) රුචිය කරණකොට හෝ වේවා ඔහු මව වෙත නොපැමිණ ගෙපැල එපිට වන මායිමේ හරිතවන් පතින් ගැවසි පඳුරු අතර සැඟව සිටියි.
 
අවට වන රොද සිසාරා තම සිත් විහිදවූ දඩයක්කාරයා ඇසට අසුවන ...සමාවන්න...සිතට හසුවන මානයේ මුව පොව්වාහට අනතුරක සේයාවකුදු නොමැතිබව සැකහැර දත්තේ මේ ජවනිකාව සිත්පුරා නරඹනු වස් හරිබරි ගැසී හොඳහැටි සැප පහසුවෙන් පිළෙහි ඈඳිගත්තේය.

අවසන තම මව වික්ෂිප්ත කරවූවා ප්‍රමාණවත් යැයි ඔහුට සිතුනිද එසේ නොමැත්තේනම් මෙතෙක් වේලා යෙදුනු ක්‍රීඩාවෙන් එක්වරම විඩා විණිදැයි එකහෙලා පැවසිය නොහැකි වූවද එක්වරම තමන් සැඟව සිටි වන රේඛාවෙන් ඉවතට පිනූ මුව පොව්වා කෙලි දෙලෙන් නටමින් කරකැවෙමින් තම මව වෙත දිව ආවේය.


මවකගේ සහ පුත්‍රයකුගේ සෙනෙහස විද්‍යාමාන වන්නාවූ සාතිශය හැඟුම්බර අවස්ථාවකට සි‍යැස් සාක්ෂිකරුවකු වූ දඩයක්කාරයා මහත් ආශාවෙන් ඒ දර්ශනය දෙස බලා හුන්නේ සිය චිත්ත සන්තානයද මිහිරි එමෙන්ම සැහැල් වූ හැඟුම් දහසකින් පිරවී යනු මොනවට අත්විඳිමිනි.


ඔහු සමවැද හුන් දැහැන අනපේෂිතව බිඳී ගියේ...........


'' අයියා............. ''


ඒ ඇගේ හඬයි. ඔහු සැඩපහරින් දිවිගලවාදුන් ඒ යුවතියගේ හඬයි.ගෙපැලේ මුවසම මත වැතිර ගැඹුරු නින්දකට වැදහුන් ඒ යුවතියගේ හඬයි..

 
ඔහු සෙමෙන් හිස හරවා බැලීය.ගෙපැලෙහි දොරටුව පසුබිමෙහි ඇය නැඟීසිටියේ ඔහු දෙස දීප්තිමත් දෙනෙතින් එක එල්ලේ බලා හිඳිමිණි.

මතු සම්බන්ධයි........

24 comments:

  1. හනේ වාසනාවං...!! මං මෙහෙම කියන්නෙ අර ගැටිස්සිට සිහිය ආව හන්ද විතරක් කියල උඹ හිතනව නං එහෙම ඕං වැරදියි...
    මං එහෙම කියන්නෙ යාන්තං මේ කතාවෙ දෙබසක් ඇති වෙන්ඩ යන බව මට පේන හන්ද...

    ReplyDelete
    Replies
    1. උඹත් ජනූ ආස පොලෝ නුහූලන කතා නෙව කියන්නෙ...යකෝ..දඩයක්කාරය කියන්නෙ හද්ද කැලෑවෙ තට්ට තනියම ජීවත්වෙන එකෙක්..ඒකා ආයෙ කැලේ ගස් ගල් එක්ක කතා කොරන්ටද බොල?

      අම්මප මම ගොළුවෙක් ගැන කතාවක් ලිව්වත් උඹ මයෙ ඇඟට ගොඩ වෙයි '' අනේ බං ඒක අතිං පයිං වත් කතා කරනව දාපංය '' කියල...( හස්ත මුද්‍රා ගැන කියනකොට ඔන්න ආයෙම මතක් වෙන්නෙ කවුද?....)

      ඕක වෙලා තියෙන්නෙ ඔය උඹ උදේ පාන්දර අප්පල්ලෙ වාගෙ කට ඇර ගත්තු ගමන ආයෙ රාත්තිරියෙ ඇඳට ගොඩ වෙලා නෙව යන්තමට වහ ගන්නෙ...ඉතිං උඹ හිතන්නෙ අනික් එවුනුත් උඹ වගේම තමා කොයි වෙලේත් කතා කොරන්ට ඕමනාය කියල...එහෙම හිතන එක වැරදියි...තේරුණාය?

      ප..ලි. - අනික් පුදුම වැඩේ කියන්නෙ උඹ මොන බහුබූතයක් කිව්වත් මට පස් පඩංගුවෙ බැණ අඬගැහැව්වත් මට කතාවක් මතක් වෙන එක නෙව..

      ඔන්න ගස් ගල් කතාකොරනව කිව්වම මට මතක් වෙච්චි කතාව...

      ඔන්න එක හාමුදුරු කෙනෙක්ට හම්බුනාලු පංසලේ පොත්ගුලේ තිබිල බොහෝම වටින පරන පුස්කොල පොතක්...මේකෙ තිබ්බලු ඕනම ගල් පිලිමෙකට උනත් පණ ගන්ට පුලුවන් බලසම්පන්න තෙලක් හදා ගන්න විදිහ..

      හාංදුරුවො බෝම මාංසිවෙල තෙල හිඳල එහෙම කම්පනා කොරාලු මේ බලසම්පන්න තෛල රාජයාගෙන් රට ජාතියට මම කොහොමද උපරිම සේවයක් කරන්නෙ කියල...

      '' හරි, අද මේ රට ගොඩ ගන්ට නම් ජාතියේ පියාටම තමයි වැඩේ බාර දෙන්ට ඕන '' කියල හිතල...රෑ වෙන්ට ඇරල හෙමීට ගියාලු නිදහස් චතුරස්‍රෙ ඩී. එස්. පිලිමෙ ගාවට...ඒ කරල වටපිට එහෙම බලල අර තෙල් ටිකක් ඉස්සලු පිළිමෙට...

      අම්මප කිව්වට විස්වාස කරපං මෙන්න ඩී. එස්. ට පණ ආවලු...ඒත් අවුරුදු හැටක්ම එක විදිහට ඔය ගල් කුළුන උඩ හිටගෙන ඉඳල කකුල් කඩෙත්තුව එහෙමත් නැතෑ මදි නොකියන්ට...සෑහෙන වෙලාවක් එතනම ඉඳල දණිස් එහෙම අතගාල හෙමීට බැස්ස කියාපංකො බිමට...ඒ කරල නැමිල වැංද හාංදුරුවංට...

      '' බොහොම ඉස්තුතියි අපෙ හාංදුරුවනේ..ඔබ වහන්සෙ තමයි මට පණ දුන්නෙ..කියමු බලන්ට ඔබ වහන්සෙ කියල ඕනම දෙයක් මම කරන්නං...''

      '' ඩී. එස්. මහත්තයො ඔබ තුමා අපේ ජාතියේ පියා...පේනවනෙ අද මේ රටට වෙලා තියෙන දේ...මම මේ ඔබ තුමාට පණ දුන්නෙම ඔබ තුමා අපේ රට ජාතිය බේරා....''

      හාංදුරුවංට කියන්ට හම්බ උනේ එච්චරයි.ඩී. එස්. අතක් උස්සල හාමුදුරුවංගෙ කතාව නතර කෙරෙව්ව.

      '' හරි අපෙ හාංදුරුවනෙ...මම කලිනුත් කිව්වනෙ ඔබ තුමා තමයි මට පණ දුන්නෙ...ඒ නිසා ඔබතුමා කියම ඕනම දෙයක් මම කරනව..හරි මම රට ජාතිය බේරල දෙඤ්ඤං..ඒක ඒ හැටි දෙයක් නෙවෙයි...ඒත් ඊට කලිං මට කරන්ඩම ඕන දෙයක් තියනව...''

      හාංදුරුවංගෙ කටත් ඇරුන.. '' ඒ මොකද්ද අප්පේ රට ජාතිය බේර ගන්නවටත් වඩා වැදගත් වැඩේ? ''

      ඩි. එස්. ඉස්සෙල්ලම පාත් වෙලා හමුදුරුවන්ට වැන්ද...ඊට පස්සෙ නැඟිටල මිනිහගෙ අර බොහොම ගාම්බීර කටහඬින් මෙහෙම කිව්ව..

      '' මොකක්ද දන්නවද ඒ වැඩේ?....මම ඔක්කොටම කලිං මේ කොළඹ ඉන්න කාක්කො ඔක්කොම මරල දාන්ට ඕන...ඒ වැඩේ කලාට පස්සෙ මම එන්නං රට ජාතිය බේර ගන්ට...මට අවසර...''

      ඔන්න ඔහොම කියල ඩී. එස්.තඩි පොල්ලකුත් හොයාගෙන එතනම අර ක්‍රීඩා අමාත්‍යාංශයෙ පිට්ටනිය වටේ තියන මාර ගහකට නැඟල ඒකෙ රෑට වහල හිටිය කාක්කො ඔක්කොටම පොළු පාර දීගෙන යන්ට පටං ගත්ත.

      '' දෙයියෝ සාක්කි මදෑ..මාත් රට ජාතිය බේරගන්ට හැදුව..'' කියල හාංදුරුවො කම්බුලේ අතකුත් තියාගෙන ඒ දිහාවෙ බලං හිටිය.....

      Delete
    2. රවි අයියෙ, මේ කතාවට දෙබස් එකතු කරලා ලියන්ට පුළුවන්නං අයියා තව කොටස් පණහක් ලිව්වත් ඔන්න මං දොසක් කියන් නෑ. :D :D :D මතකයිනෙ, මායි ජනූ අක්කයි මේ කතාවෙ දෙබස් ඕනෙ කිව්වෙ අයියා කතාව පටන්ගත්තු මුලම කාලෙ.

      Delete
    3. // ඕක වෙලා තියෙන්නෙ ඔය උඹ උදේ පාන්දර අප්පල්ලෙ වාගෙ කට ඇර ගත්තු ගමන ආයෙ රාත්තිරියෙ ඇඳට ගොඩ වෙලා නෙව යන්තමට වහ ගන්නෙ //

      උඹට හරියටම ෂුවර්ද මේ අම්මණ්ඩි එතකොටවත් කට වහගන්නවා කියාලා..?? කෝකටත් අපි අර යජිත් කොළුවගෙනුත් අහලා දැනගම්මු.. ;)

      Delete
    4. @ සිත්තමී,

      හෙහ්, දෙබස් ලියන්ට බැරිකමක් නම් නෑ බොලේ..ඒත් දඩයක්කාරයගෙ චරිතෙ මම ගොඩනැඟුවෙ බොහොම නිශ්ශබ්ද භූමිකාවක් හැටියටයි..

      ඒ නිසාවෙන් එක පාරටම ඒකනම් වෙනස් කොරන්ට බෑ නඟේ...ඉන්නකො මෙහෙම කොරමු...බොලා දෙන්න ඒ කිව්වෙ මේ ජනුවයි උඹයි යමක් කිව්වම කොරන්ටත් එපාය..නැත්තං මෙතන වසලා හමාරයි...ඒ නිසා මම මෙහෙම කරඤ්ඤං හොඳේ...අර කෙලි පැටික්කිට කියල දෙබස් ( අනේ මංද එහෙම එව්වට දෙබස් කියල කියන්ට පුලුවන්ද කියාල...එක්බස් කියමුද?....Monologue කියන අදහසිනුයි මම මේ කියන්නෙ...මදුර ගොයිය නං කියන්නෙ ස්වාගතය කියල..ඒක නම් එච්චරම මයෙ හිතට හරි නෑ ) කියවන්නං...දඩයක්කාරය ඔහෙ තුස්නිම්බූතව අහගෙන ඉඳියි..උඹල දෙන්නට ඒ හැටි වෙනසක් තේරෙන එකක් නෑ...මොකෝ බොලාගෙ ගෙවල්වල කෙරෙන්නෙත් ඔය ටික නෙව...සිත්තරයි පෙම්බරායි තුස්නිම්බූත වෙලා අහං ඉන්නව ඇති බොලා දෙන්න කට කමසෙයියාවක් නැතුව කියෝනව ඇති...ඇත්තම කිව්වොත් අපේ ගෙදර නං වෙන්නෙ එහෙම තමයි...

      බොහොම වෙලාවට ඔන්න ලොක්කියි මායි පැය දෙක තුනක් කතා කොරනව රටේ තියන දේවල් ඔක්කොම...මම ඔය මුලු කාලෙම කතා කොරල තියෙන්නෙ මේං මෙච්චරයි...

      '' අම්මප?''

      '' නෑ?''

      '' හෙහ්, හෙහ්,''

      '' අනේද කියන්නෙ...''

      '' එහෙනං , එහෙනං, ''

      '' නෑ, නෑ, මම අහගෙන ඉන්නෙ, ඔව් අනේ ඇත්තමයි... ''

      Delete
    5. @ සිත්තමී: කතා කරහං නංගියෙ ආං එහෙම??
      @ රවි අයිය: :-p

      Delete
  2. ලස්සන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමිල...:) :)

      Delete
  3. නෙද්දකිං විතරක්.. අදත් දවසම ගත්තා අර දැරිවිට බත් දෙකටක් කවන්ට.. යකඩෝ මේකනං අර මෙගා නාට්ටිය පරද්දන මෙගාවක් බොලං.. :@

    ReplyDelete
    Replies
    1. කාටද බං කියන්නෙ??

      Delete
    2. @ Buratheno,

      ෂික් බං දක්ස කිරිකැට් කිරීඩකයෙක් වෙලත් බලාපං උඹ කියන කතාව...යකෝ..ටුවෙන්ටි ටුවෙන්ටි කියල ගහනව තමයි..එව්ව බලන්ට ලස්ස ගානක් මිනිස්සු පොදි කනවත් තමයි...අර කාං මේ කාං...ප්‍රීති සින්ටා, කට්‍රිනා ඔය නලු නිලියොත් ඔක්කොම ඒකට වහ වැටිල ඉන්නවත් තමා...ඒත් බොල ටෙස්ට් මැච් එහෙක ගතිය තියනවද ඔය පැය දෙකේ මැච් වල...එන එන බෝලෙට හතර අතර නෙලුව වැඩේ ඉවරයි...ටෙස්ට් මැච්නෙ බං නියම ක්ලැසික් ක්‍රිකට්...

      අන්න ඒ වගේ තමයි බාං...මට ඔන්නං එක කතාවෙං දඩයක්කරයටයි අර යුවතියටයි වෙන සංතෑසි ඔක්කොම ලියල ඉවර කරල අත පිහදා ගත්තෑකි. ඒත් එහෙම නෙමෙයි ක්‍රමේ කියල මට හිතෙනව...:) :)

      අනික බලාපං '' Eleven Minutes '' මිනිත්තු එකොලහේ කතාව ...ඒක පිටු දෙසිය ගානක පොතක් උනාට ඒකෙ ඔක්කොම සිද්ද වෙන්ට යන්නෙ මිනිත්තු එකොලහයි...ආන්න කලා කෘති...එතනිං ගිහාම හිච්කොක්ගෙ ''The Thirty Nine Steps '' ........පැය දෙකහමාරක ෆිල්ම් එහෙක තියෙන්නෙ මනුස්සයෙක් පඩි තිස්නමයක් තියෙන පඩි පේලියක් නඟින එක විතරයි...ආන්න කලා කෘති...

      එහෙම තියෙද්දි උඹ මෙතන මාව කන්ට හදනව අද දවසටම දඩයක්කාරය කලේ අර කෙලි පැංචිට බත් කටවල් දෙකක් කවාපු එක විතරයි කියල..එහෙම තමයි බාං අග්‍ර ගන්‍ය කලාකෘති කියන එව්ව...:) :)

      Delete
    3. යකඩෝ! මාත් පිළිගන්නවා ටෙස්ට් මැච් තමා ක්ලැසික්.. ඒත් බං ටෙස්ට් මැච් එකක් වුනත් දවස් පහකින් ඉවර වෙනවනේ (හරි හරි ආදි කාලෙ timeless tests ගැහුවා තමා යලට-මහට වගේ)..

      Delete
  4. ඔන්න මේක කියවලා බතුයි, පරිප්පුයි කන්ට ආසාවක් ආවා.:D

    මම මේ අහන්ට හැදුවා විතරයි ඔය දෙන්නා කතා කලේ හිතෙන් විතරද කියලා. මෙන්න එතකොටම ඒ ගෑනු ලමයා 'අය්යා' කියාගෙන ආවානේ.

    අර වගේ වෙඩික්කාරයෙකුගේ හිතක් මෙල්ල කරන්ට හැකි උනු ඈ සුලු පටු කෙනෙක් නම් වෙන්ට බෑ.:)

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියාපං ..බොට ආවෙ බතුයි පරිප්පුයි කන්ට ආසාවක්ද අමුඩයක් විතරක් ගහගෙන අඩ නිරුවතින් ඉන්න දඩයක්කාරය වගෙ ඌර්ණ රෝම ධාරී පාංසුකූල දේහදාරී හරි හතර රියං පුරුසයෙක්ගෙං පරිප්පුයි බතුයි මඩක්කුවක දාල අනාගෙන කව්වා කන්ට ආසාවක්ද?....හෙහ්, හෙහ්, ඇත්තම කියාපං බලන්ට ...

      Delete
    2. මම මේ කල්පනා කලේ, Boss ෂර්ට් එකක් ඇඳගෙන, Tag Heuer ඔරලෝසුවක් අතේ බැඳගෙන, Boss සුවඳ විහිදුවගෙන, Armani බෙල්ට් දාලා, ( Polo Ralph Lauren …… එක්කොත් ඒවා ඕන නෑ ) Aston Martin DB9 කාරෙකක් එලවගෙන එන, හැන්ඩ්සම් පොරක් අතින් බත් කටක් කනවද නැත්නම්, ජීවිතේට නියපොතු කපලා නැති, හැඩපලු ගෙතුනු (උකුණොත් පිරිලා ඇති ) කොන්ඩයක් තියන, සබන් නොගා වතුරේ ගිලෙන, (ඊෂ්....හපොයි තව කොච්චර දේවල් තියනවද කියන්ට ) කවදාවත් කතා නොකරන ඔය වගේ උත්තුංග දේහධාරියෙක්ගෙන් බත් කටක් කනවද කියලා...හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.......

      Delete
    3. මේ මැඩම් එකක් කියන්නද?...බත් කටක් කවාගන්ට කෙනෙක් තෝරගන්න කොට ඔය රටේ නැති එක එක ජාතියෙ සේට් ඇඳං ඉන්නවද කියලවත් මොන සුවඳ ද හමන්නෙ කියලවත් මොන කාරෙකෙන්ද ඇවිල්ල බහින්නෙ කියලවත් නෙවෙයි හොයල බලන්ට ඕන....සේට් එක ගැලෙව්වම ඇතුලෙ ඉන්නෙ මොන ජාතියෙ මනුස්සයෙක්ද කියාල හොඳට හොයාල බලාපං .....

      මනුස්සකම පපුවෙ පිරිල තියනව නං ආයෙ වෙන අහවල් ලබ්බක්වත් බලන්ට එපා..ඒත් අනික් අතට ඔය උඹ කියාපුව ගැන හොයන්ට ලේසියි...පිටිං පේන්ට තියනවනෙ...ඇතුල තමයි හොයන්ට අමාරු...මනුස්සකම සෙනෙහස කියන එව්ව පිටට පේන්නෙ නැහැ නෙව....

      Delete
    4. // අමුඩයක් විතරක් ගහගෙන අඩ නිරුවතින් ඉන්න දඩයක්කාරය වගෙ ඌර්ණ රෝම ධාරී පාංසුකූල දේහදාරී හරි හතර රියං පුරුසයෙක්ගෙං පරිප්පුයි බතුයි මඩක්කුවක දාල අනාගෙන කව්වා කන්ට ආසාවක්ද?//

      මෙතන ඉතින් කොහෙද බොලේ සෙනෙහසක් ගැන සඳහන් වෙලා තියෙන්නේ. මම කීවේ ඔය අමුඩ කෙටියක් ඇඳගෙන අඩ නිරුවතින් ඉන්න කෙනාට වඩා අනික් කෙනා හොඳයි කියලා.:D

      Delete
    5. අති ගරු මැතිණියනි,බත් කටක් කවාගනු උදෙසා කෙනෙකු තෝරාගැනීමෙහිලා උදක්මැ සළකා බැලියයුතු නිර්ණායකයන් පිළිබඳ ඔබ දැනුවත් කලා පමණෙකි.Nothing more and nothing less....:) :)

      Delete
  5. නෑ නෑ ඒ දෙක විරුද්ධ සංජානනයන් නෙමෙයි, එකහෙලාම එකඟ වෙන්නෙ දෙකම එක ආකාරයෙන් ම ඇතිවන බවටයි!!!!

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්තම නෙවෙන්නං...අරුණි කිව්වම තමයි මතක් උනේ..ඒ සංජානන දෙකත් හැබෑට එකම වගෙ තමයි.හරියට එකම කාසියෙ දෙපැත්ත වගෙයි...:) :)

      එහෙනම් ඒ අදාල ඡේදයට පස්සෙ මම මෙහෙම සංශෝධනයක් ...සංශෝධනයක්මත් නෙවෙයි ඌණ පූරණයක් කරන්නම්....:)

      / දැඩි කුසගින්න සහ සිතෙහි පාවෙන්නක් බඳු සැහැල්ලුව යනු එකිනෙකට හාත්පසින්ම විරුද්ධ සංජානනයන් දෙකක් බව ඔබ එකහෙලා පවසනු මට නිසැකය.( සංජානනය = හැඟීම, Perception ) /

      '' මේ හිතේ හෑල්ලුවයි බඩ ගින්නයි දෙක කියන්නෙ එකට ඇතිවෙන්න පුලුවන් හැඟුම් දෙකක් නම් නෙමෙයි , නිකං පච කෙලින්නෙ නැතුව ඉඳහං බං '' කියල මයෙ ඇඟට ගොඩ වෙන්ට හදන්ට එහෙම එපල්ල..ආන්න පාතට ගිහිල්ල බලාපල්ල ඇස් එහෙම පිහදාල, අරුණිත් එහමම කියල තියනව...:) :)

      Delete
  6. අම්මෝ රවී අයියා තාම මේක ලියනවනෙ බොල.සමාවෙන්නෝනි කරදර හින්දා කාලෙකින් ගොඩ වැදුනෙ

    ReplyDelete
    Replies
    1. ඒකට මක් වෙනවද සිතුවම්....හෙහ්, හෙහ්, උඹට වෙච්ච දේවල් මම දන්නවනෙ.....

      අකම්පාල වෙන්න එපා මල්ලි, ජීවිතේට මූණ දීපං බය නැතුව...:) :)

      Delete
  7. කව්ද බං අර සිත්තරේ ඇන්දේ? ඒකෙ දැකලා පුරුදු ගතියකුත් තියෙනවා.

    දඩයක්කාරයත් හරිම සිනමානුරූපයි නේද බං? අර චිත්තරපටි වලත් මීක් නැතුව හැටක් එක්ක ගහගන්න පොර, තුවාලෙට බේත් දාන්න කෙල්ල අත තිබ්බ ගමන් මූණ ඇද කරලා, කෙඳිරි ගාන සීන් තියෙන්නෙ. ,

    තව, වෙඩි කාලා මැරෙන පොර, අන්තිමට රහස කියලානෙ බෙල්ල කඩා දාල හුස්ම ටික පිට කරන්නෙ.

    අර, මාර යුද්දයක් කරලා, සතුරො එක්ක සටන් කරලා, වෙඩි පාරවල් කාලා, ඊ තල පිට පසාරු කරගෙන ගිහින් තියෙද්දිත්, ඔය ගෙදරටම ඇවිත් මැරිලා වැටෙන්නෙ.

    ආන්න ඒවගෙ තමයි මේ ගැටිස්සිත්.

    අච්චර දුර ඇවිත්, දඩයක්කාරය හරියටම අඩි හතරක් මැනලා ගිහින් වාරු කරගත්ත ගමන්, සිහි නැති වුනානෙ! බලපං ඒකෙත් හැටි! පරිප්පුයි බතුයි කවලනෙ යන්තම් ගොඩ දාගත්තෙ.

    මේ කතාවේ "අයියා.......," කියන දෙබසට අමතරව, උඹට පුලුවන්, මතු සම්බන්ධයි කියන කොටසත්, උඹ කියන කෑල්ලක් හැටියට "මතු සම්බන්ධයි" කියලා ලියලා, කතාවෙ දෙබස් වැඩි කරලා අර දෙබස් මදිය කියලා කෑගහන නෑම්බියන්ගෙ හිත සනසන්න.

    මම අරකට hitchhiker කියලම දැම්මා බං. ඒ හැර, රියට අත ඇල්ලූ මගියා කියලා මාතෘකාවට දැම්මා..
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / කව්ද බං අර සිත්තරේ ඇන්දේ? ඒකෙ දැකලා පුරුදු ගතියකුත් තියෙනවා /

      අඩේ, ඕක ගත්තෙ නං ගූගල් ඉමේජස් වලින්....

      ඒත් උඹ කිව්වම මටත් නිකම් හුරු පුරුදු ගතියක් දැනෙනව වගෙ තමයි බොලේ...

      ම්ම්ම්...ඇන්ටන් බී. පෙරේරා මතකද?....ඒ කාලෙ සිත්තර පත්තරේ සල්ෆා කතාව ඇන්දෙ..පොරගෙ චිත්‍ර වලට ටිකක් හුරුගතියක් තියනව වගෙ කියල මට හිතෙනව...

      / අර, මාර යුද්දයක් කරලා, සතුරො එක්ක සටන් කරලා, වෙඩි පාරවල් කාලා, ඊ තල පිට පසාරු කරගෙන ගිහින් තියෙද්දිත්, ඔය ගෙදරටම ඇවිත් මැරිලා වැටෙන්නෙ /

      හෙහ්, ඔතන ඔය සීන් එකේ හෙන්රියො තියනව පොඩි සයන්ටිපික් බේසිස් එකක්..ඕක බොරුමත් නෙවෙයි හොඳද?

      ඕකට කියන්නෙ Mental Threshold Equilibrium කියලයි ඒ කියන්නෙ හිංගලෙං කිව්වොත් මානසික සීමාන්තික සමතුලිතතාව...පොඩි සරල උදාහරණෙකින් පැහැදිලි කරන්නද?

      මේ මගේම පෞද්ගලික අත්දැකීමක්...

      මේ කේස් එක උනේ මම නුවර ප්‍රොජෙක්ට් එහෙක වැඩ කරද්දි...මම සාමාන්‍යයෙන් ඒ දවස්වල උදේම වැඩට යන්නෙ බත් එහෙකුත් බැඳගෙන... මේ කියන දවසෙ මොකක් හරි සීන් එකක් නිසා දවල් බත් එක හම්බ උනේ නෑ...සම් ටයිම්ස් අපෙ ලොක්කිට ඔය අසනීපයක් වෙන්න ඇති...සම් ටයිම්ස් මම කලින් දවසෙ නකතං වෙන්ට ගහල ගෙදර ඇවිත් ඒකට උන්දැගෙ රිටර්න් එක වෙන්ට ඇති..මට මතක නෑ, ඔය මොකක් හරි එදා දවල් බත නෑ එච්චරයි මේ කතාවට අදාල ..හරිය?

      ඉතිං එදා දවාලට මයෙ කෑම කඩෙං...කරුමෙට කකුල් හතරයි කිව්වැහෙ කාපු වෙලලවෙ ඉඳල ඔන්න එනව බඩ පෙරලීගෙන...හවස් වරුවෙ තුං කාලක් හිටියෙ හෙන්රි ඔන්න කකුස්සෙ, කිව්වට විස්වාස කරපං...ඔන්න හවස් කරේ බස් එකේ එනව ගෙදර ...හප්පා...බඩ පැහෙනව එකසිය ගානට...ඒත් පුරුස දහිරිය යොදල සමාපත්ති සුවයට සම වැදිල කොහොම හරි කොන්ටෝල් කරගෙන ගෙදරට ආවය කියමුකො...

      ලොක්කි ඔන්න දොර ඇරිය...මම කෙලිම්ම ගියේ ටොයිලට් එකට...මොනවද ටොයිලට් එකේ දොර වහගෙන කලිසම ගැලෙව්ව විතරයි .....හෙහ්, හෙහ් , අනෙ අම්මප මේ බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි ඔන්න...බඩුම තමයි....ස්කොටිං පෑන් එක පැත්තක....බඩු හැම තැනම....කිව්වට විස්වාස කරපං පැයක් විතර හෝදලයි මාත් හත් පාරක් නාලයි යංතං ජාම් බේරගත්තෙ...

      එතනදි වෙන්නෙ මේකයි....අර දිගටම තිබ්බ කොන්ට්‍රෝල් එක අන්තිම මොහොතෙදි නැති වෙනව...අපෙ හිත දන්නවනෙ අදාල ඉස්තානයට ආවය කියල ..ඒකයි ඒකට හේතුව.....

      ඔය ගෙදෙට්ට ඇවිල්ල මැරිල වැටෙන සීන්ස් එක නම් අන්න එහෙමයි මම හිතන්නෙ...තනිකර බොරුමත් නම් නෙවෙයි....

      / මේ කතාවේ "අයියා.......," කියන දෙබසට අමතරව, උඹට පුලුවන්, මතු සම්බන්ධයි කියන කොටසත්, උඹ කියන කෑල්ලක් හැටියට "මතු සම්බන්ධයි" කියලා ලියලා, කතාවෙ දෙබස් වැඩි කරලා අර දෙබස් මදිය කියලා කෑගහන නෑම්බියන්ගෙ හිත සනසන්න. /

      අම්මප එළ අයිඩියා එක..මචෝ..නියමයි...කොහොමද මෙහෙම ලිව්වනං....

      / '' අයියා............. '' /

      / ඒ ඇගේ හඬයි. ඔහු සැඩපහරින් දිවිගලවාදුන් ඒ යුවතියගේ හඬයි.ගෙපැලේ මුවසම මත වැතිර ගැඹුරු නින්දකට වැදහුන් ඒ යුවතියගේ හඬයි.. /

      / ඔහු සෙමෙන් හිස හරවා බැලීය.ගෙපැලෙහි දොරටුව පසුබිමෙහි ඇය නැඟීසිටියේ ඔහු දෙස දීප්තිමත් දෙනෙතින් එක එල්ලේ බලා හිඳිමිණි /

      ඇගේ දීප්තිමත් දෑස් දෙසබලාගත්වනම සෙමෙන් නැඟිටගත් දඩයක්කාරයා ඈ වෙතට ගොස් ඇගේ දෑත තම දෑතින් තරව ග්‍රහණය කලේය.

      ඉක්බිති ඇගේ රත්වන් මුවමඬලට තම මුව ගැටෙනා නොගැටෙනා පරිදි ඈ වෙත පහත් වූ ඔහු තොල් විවර කොට මෙසේ කොඳුලේය.

      දඩයක්කාරයා වනාහී දැඩි නිශ්ශබ්ද තැනැත්තෙකු බව මම ඔබට මින් පෙර පැවසූවා ඔබට අමතක වීමට කිසිදු හේතුවෙක් නැති, ප්‍රිය අනවරත පාඨකය.

      අප කථා නායිකා සොඳුරු යුවතිය ඒ බැව් නොදන්නේ වී නමුදු මුල් වරට තම දිවි ගලවාගත් ඒ අසහාය පුරුෂයා තමන් අමතා පවසන්න ශ්‍රවණය කරනු වස් ඕ තොමෝ කන් හයා පොරොත්තු වී හුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

      ඈ දෑස් හයා බලා සිටියදී ඇගේ නීල දෑසෙහි කිමිදෙමින් ඔහු හැඟීම් බරව මෙසේ තොල මතුලේය.

      '' මතු සම්බන්ධයි..... ''

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...