106. බෝනික්කෝ... (ළමා ගීයක මා දුටු වැඩිහිටි අරුත)
(තීරණාත්මක දුරකථන ඇමතුමක් ලැබුනු තැනින් පෙර කොටස අවසන් වුනානේ. අද එතැන් සිට............)
එයට පිළිතුරු දුන්නේ නදී විසිනි.
“හෙලෝ“
“හෙලෝ. මම හෙක්ටර් කථා කරන්නේ. අක්කට දෙන්න ෆෝන් එක“
“හා මාමා. හෝල්ඩ් ද ලයින් මාමා.“ ඔහුගේ ගාම්භීර හඬින් නදී වෙව්ලා ගියාය.
“අම්මා... අම්මා... මාමා කථා කරනවා“
සිරිවර්ධන මහත්මිය කාමරයේ සිට විගස පැමිණ දුරකථනය අතට ගත්තාය.
“හෙලෝ මල්ලි... කියන්න.“ ඇය කණ්නාඩිය සකසා ගනිමින් නදී දෙසට නළල රැලි කර ගනිමින් පැවසුවාය. නදී සෙමින් පසු බා කාමරය වෙතට ගියද, දොර රෙද්ද අසලට ම වී අසා සිටියාය.
“අක්කා... මේක කරන්න බැහැ මේ විදිහට. සඳුන්ට මොන පිස්සුවක් වැහිලද? දවසක් ඇර දවසක් එනවා. එන දවසෙත් වේලාසන යනවා. මිනිහා මෙතැන ඉන්න නිසා, මං එළියට යනවා. මං ගිහින් අනිත් අතට මිනිහාත් යනවා. බාර දෙන්න තිබ්බ සයිට් 4ක් මාස 3ක් 4ක් ඩිලේ වෙලා. මං තාම මිනිහාට මේ ගැන කථා කලේ නැහැ. කථා කරන්න කලින් අක්කාව දැනුවත් කලේ“ හෙක්ටර් වීරසේකර සිය සොයුරිය හමුවේ සිය ගාම්‍භීර හඬින් ගුගුරන්නට වූයේය.
“අනේ මල්ලි. මං මොනවා කරන්නද? දැන් මං කියන විදිහට නෙමෙයි කාරණා සිද්ධ වෙන්නේ. මල්ලීම කියලා බලන්න. ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලානේ. ඒ මදිවට දැන් අඟේ ඉඳන් කණ කන්නත් පටන් අරං නේද?. මං නං මොකුත් කියන්නේ නැහැ මල්ලී. මල්ලී හොඳ තීරණයක් ගන්න“ යුවලගේ නිදන කාමරය දෙසට නෙත් යොමමින් කණ්නාඩිය මුහුණට තද කරමින් සිරිවර්ධන මහත්මිය පැවසුවාය.
“මගේ නැහැ ඔය අවවාද දිදි ඉඳිලි. මෙච්චර හරි ඉවසුවේ නෑ කම නිසා. අක්කා මට තීරණය ගන්න කිව්ව හින්දා මං කියන්නම් මගේ තීරණය. සඳුන් ව ටික කාලෙකට යවන්න වෙනවා නුවරඑළියේ ඔෆිස් එකට.“
“අනේ හොඳයි මල්ලි. යවන්න යවන්න. රස්සාව ගැන සැලකිල්ලක් නැහැ කියන්නේ ලොකු විනාශයක්නේ. මගේ එකා වුනත් වැරදි නං වැරදි තමයි. ඒක තමයි මගේ තීරණේ. යවන්න මල්ලී“ සිරිවර්ධන මහත්මිය පවසා සිටියේ ජයග්‍රාහී ලීලාවෙනි. ඉමහත් වූ සතුටක් ඇගේ හඬෙහි ගැබ් වී තිබිණ.
“හැබැයි එයාට වයිෆ් ව ගෙනියන්න බැහැ. සති දෙකකට සැරයක් වීකෙන්ඩ් එකට ගෙදර එන්න විතරයි පුළුවන් වෙන්නේ.“
“ආයේ මොනවා කියනවද මල්ලී? පවුල් පිටින් ගිහින් රස්සා කරන්න පුළුවන්ද? ආයේ දරුවෝ ඉන්නවා කියලැයැ, තාත්තාව නොදැක ඉන්න එක නරක් වෙන්න. එයා මෙහේ හිටපුවාවේ. පුතා විතරක් අරින්න. මල්ලී කවදත් ගන්නේ හරි තීරණ කියලා දන්න නිසානේ, මං මගේ දේපළ විකුණලා කොම්පැනියට වියදම් කලේ“ සිරිවර්ධන මහත්මිය සිය අයිතිවාසිකම පිළිබඳ වගන්තියද සිය කථාවට ඇතුලත් කිරීමට අමතක නොකලාය.
“කොම්පැනියේ ෆිෆ්ටි පසෙන්ට් ශෙයාර්ස් කවදා හරි සඳුන්ට තමයි අයිති වෙන්නේ කියලා මට අමතක වෙලා කථා කලා නෙමෙයි අක්කේ. නමුත් මේ කොම්පැනිය රැකුනොත් තමයි බෙදා ගන්න ශෙයාර්ස් ඉතිරි වෙන්නේ කියන එක මතක තියා ගන්න. හරි, වැඩේ ස්ථිරයි. එහෙනං මං තියනවා. තෙරුවන් සරණයි“
“හොඳයි මල්ලී. මේ යන විදිහට එයාට අයිති දේවල් දෙනවද නැද්ද කියලා මට ආපහු හිතන්න වෙලා තියෙන්නේ. ඒවා පස්සට. දැනට මල්ලී කියපු විදිහට කටයුතු කරමු. තෙරුවන් සරණයි“ සිරිවර්ධන මහත්මිය සඳුන්ට නොදී, යන දෙසක ගෙනියන්නට හැකියාවක්ද නැති දේපොළ වලට කෙරුමට යන්නේ කුමක්දැයි කා හටවත් පැහැදිලි නොවීය. අවම තරමින් ඇයටවත්.
*******************************************************************************
“ඉතිං, සඳුන් ගියාද?“ මෙතෙක් නැමී තිබුණු කොන්ද කෙලින් කර ගන්නා ගමන් වරුණි ඇසුවාය.
“ඔව් ගියා. එයාට නොගිහින් බැරි වුනා. මාව එක්කගෙන යන්න විදිහක් තිබුනේත් නැහැ. පෙරේදා නිවාඩු ඇවිත් ගියා. ආයේ එන්නේ සති දෙකකින්“ කඳුළු පිරි දෙනෙත් පිස දමමින් නදී පැවසුවේ, ගඟේ එහා ඉවුර තරම් දුරට බොඳවූ දෙනෙත් යොමු කරමින්.
“මොනවද බං ඒ කථා? සඳුන්ට බැරිද කෙලින් තීරණයක් ගන්න? සේරම බොරු? උඹ මෙතැනට හිර වෙලා. ඕනෑ නං ඔය රස්සාව දමලා ගහලා වෙන එකක් හොයා ගන්න බැරිද?“
“ප්ලීස් එයාට මොකුත් කියන්න එපා. මං හොඳටම දන්නවා එයා එහෙම කලේ නොකර ම බැරි නිසා. කොම්පැනියේ එයා සේවකයෙක් නෙමෙයි. එයා ඩිරෙක්ටර් කෙනෙක්. මාමා චෙයාර්මන්. ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ තීරණය මාමාගේ තීරණයට වෙනස් එකක් වෙන්නේ නැහැ. සඳුන් රස්සාව අත් හරිනවා කියන්නේ නිකම් ම නිකං රස්සාවක් අත් හරිනවා නෙමෙයි. අපේ මුළු අනාගතය වෙනස් කරගන්නවා කියන එක“ නදී පුළුවන් තරම් සඳුන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කලද, මිතුරියන්ගේ උපහාසය මුසු වුනු සිනා මුහුණු මදින් මද ඇය මැඩ පවත්වන්නට විය.
“හරි. එහෙනං ඇයි සඳුන්ට බැරි වුනේ ඩිරෙක්ටර් පවර්ස් යූස් කරලා තමන්ගේ වයිෆ්ව තමන් ලඟට ගන්න?“ වරුණි ඇසුවාය.
“එහෙම බැරි නම් ඇයි උඹව අම්මලාගේ ගෙදර ඇරලුවේ නැත්තේ? මේ වගේ ගිණි ගොඩක ඉන්නවාට වඩා උඹ ගෙදර ඉන්න කැමති බව එයාට අමුතුවෙන් කියන්න ඕනෑද?“ චමරි කීවාය.
ඒ යෝජනාව සඳුන්ට තබා තමන්ටවත් සිහි නොවුනු බව නදීට දිව්රා පැවසිය හැකිය. නමුදු එය වඩා යහපත් යෝජනාවක් සේ ඇයට හැඟිනි. චමරි පිළිබඳ කෘතඥ පූර්වක හැඟීමකින් ඇගේ සිත පිරිණි.
“තෑන්ක්ස් චමරි............... තෑන්ක් යූ වෙරි මච්. දැන් වෙලාව කීයද?“ සිය මිතුරියගේ මුහුණේ සහන් එළියක් ඇඳී යනු දුටු මිතුරියෝ පුදුමයෙන් පුදුමයට පත් වූහ.
“වෙලාව? වෙලාව 5.10යි. ඇයි මොකද එක පාරම වෙලාව ඇහැව්වේ?“ තමන් කී දෙයින් මිතුරියගේ හැඬුම් වැඩි විය යුතු වුවද ඒ වනවිට ඇය සතුටින් පසුවන බවක් පෙනෙන්නට වීම චමරි හට පුදුමයක් විය.
“සඳුන්ට කථා කරන්න පුළුවන් 5න් පස්සේ. ඒකයි“ යි පැවසු නදී සිය ජංගම දුරකථනයෙන් සඳුන්ට ඇමතුමක් ගන්නට උත්සහ දැරුවද ඔහුගේ දුරකථනය සම්බන්ධ කරගත් නොහැකි විය.
“එයාට සිග්නල් නැහැ වගේ. කමක් නැහැ. පස්සේ කෝල් කරලා කියනවා. ඔයා කිව්වා හරි. මං හරිම මෝඩයි. මෙච්චර දවසක් මෙතැනට හිරවෙලා දුක් වින්දා. මං දැන් යනවා අපේ ගෙදර. සඳුන් ආවහමත් එහෙට එන්න පුළුවන්නේ. කොච්චර දෙයක්ද අනේ ඔයාලා ආපු එක“යි සිනා සලමින් පැවසූ නදී මිතුරියන් සමගින් නිවස දෙසට පිය මනින්නට වූවාය.
ඇති වූ අනපේක්‍ෂිත තත්ත්වය ගැන සිතා ගත නුහුනු මිතුරියෝ තමන් අනගි උදව්වක් කල කලන මිතුරියන්සේ මුව මවාගෙන ඈ සමගින් යන්නට වූවෝය.
“ඉන්නවද ටිකක්. ගන්න දේවල් ටිකක් තියෙනවා. මං අරගෙන එන්නම්. ට්‍රයි ෂෝ එකක් අරං යමු.“ නදී පැවසුවේ නිවස ආසන්නයේදීය.
“මෙහෙම කරමු. අර දෙන්නා ටවුන් එකේ ඉන්නවානේ. අපි එහෙට යන්නම්. ඔයා ටවුන් එකට එනකොට කෝල් එකක් දෙන්න. එතනින් අපි නගින්නම්. අපි ගෙදර ගිහින් කථා කරමු. අපිට උඹ ගැන ගොඩක් දුකයි. නේද චමරි? අපි ඒ ගැන කරන්න පුළුවන් මොනවද කියලා ගෙදර ගිහින් බලමු“ වරුණි වහා පැවසුවේ, යමක් සිදු වුවහොත් ඒ රණ්ඩුවට තමන්ටත් සහභාගි වෙන්න සිදුවන නිසාවෙනි.
“හා එහෙනම්. බායි. සී යූ. ටවුමෙදි මීට් වෙමු“යි පැවසූ නදී නිවසට යන ගමන්ද සඳුන් සම්බන්ධ කරගන්නට උත්සහ දැරුවාය.
*********************************************************************************
“අම්මේ මං ගෙදර යනවා. අපේ අම්මා ගාවට“ නිවසට ගිය නදී අවැසි කලමනා සූදානම් කර ගැනීමෙන් අනතුරුව සිරිවර්ධන මහත්මියගේ කාමරයට ගොස් පවසා සිටියාය. එවිට ඇගේ මුහුණෙහි පලව තිබූ ජයග්‍රාහී පෙනුම සිරිවර්ධන මහත්මියගේ සර්වාංගයම කුපිත කරවන සුළුවිය.
“මොනවද කිව්වේ? ගෙදර යනවා? පුතා දන්නවද?“ ඉද්ද ගැසුවාක් මෙන් ඇඳෙන් කෙලින් වූ සිරිවර්ධන මහත්මිය ඇසුවාය.
“මං එයාට කියන්නම්. එයාගේ ෆෝන් එක වැඩ නැහැ. මං යනවා“යි පැවසූ නදී ඒ ගොම්මන් අඳුරේ ම පිටව ගියාය.
*********************************************************************************
“පුතා.......................“ සිරිවර්ධන මහත්මිය හඬන්නට වූවාය.
“ඇයි ඇයි අම්මා? මොකද? නදීට කරදරයක්ද?“ සඳුන් හොඳටම බියපත් වූ සේය.
“කරදරයක්? කරදරයක් තමයි, ඒත් එයාට නෙමෙයි අපට. එයා මාත් එක්ක රණ්ඩු වුනා. මට නොසෑහෙන්න කථා කීවා. කියලා කොහිද මන්දා යන්න ගියා.“ සිරිවර්ධන මහත්මිය තව දුරටත් හඬන්නීය.
“ගියා............. කොයි වෙලේද ගියේ? ඇයි මට කිව්වේ නැත්තේ?“
“මේ දැන් ගියේ.......... මං කිව්වා යන තැනක් පුතාට කියලා යන්න කියලා. ඇහුනේ නැහැ වගේ මේ රෑ කළුවරේ ම යන්න ගියා“
“ශිට්.....................................
. එයා එහෙම කලා එහෙනං.......................“ සඳුන්ට බොහොම කලෙකට පසු සිය දත් දෙපෙල තදින් එකිනෙක ගැටෙන හඬ ඇසිණි.
*******************************************************
“ආ දෙන්නා.............. දැන් ද එන්න මතක් වුනේ?“ එක් පෙම්වතකු තාලයට ඇසුවේය.
“ඔව් අනේ... යාළුවා මීට් වුනේ ගොඩ කාලෙකින්නේ... ඉතිං කථා කරන්න දේවල් ගොඩක් තිබුනා“ එක් පෙම්වතියක පිළිතුරු දුන්නාය.
“අනේ අනේ ඔයාලාගේ කථා. අපි නොදන්නවැයැ නේද මචං?“ එක් පෙම්වතකු අනෙකාට ඉඟි මැරුවේය.
“ආයේ මොනවද? එහෙං හොඳට කාලා බීලා, ඒ කෙල්ලගේ පවුලත් කැඩෙන තැනට වැඩක් සෙට් කරලා එන්න ඇති ෂුවර් එකටම“ පිරිමින්ටත් ඉවක් ඇතිවාද?
“අනේ යන්න අනේ යන්න. තේ ටිකක්වත් බිව්වේ නැහැ. දැන් යාළුවා එනවා එයාගේ ගෙදර යන්න. එයාත් එක්ක අපිත් එහේ යනවා. ඔයාලා හරි නරකයි අපිට අරක මේක කියනවා මෙතැන“ එක් පෙම්වතියක නෝක්කාඩු කීවාය. නමුදු ඔවුන් පැවසූ දෙය මොන තරම් දුරකට ඇත්තක්ද යන්න ඇය සේම අනෙකියද සිතින් මිණුම් ගත්තාය.
“හරියට හරි මචං. මුං දෙන්නා තේ ටිකක්වත් නොබී පවුල කාලා වගේ.“යි එකෙකු පැවසු විට දෙදෙනාම කොක් හඬලා සිනාසෙන්නට වූහ.
“නැහැ අනේ. එයාට ලොකු ප්‍රශ්නයක්. අපි එයාට උදව් කරන්න ඕනෑ. පව් අනේ. ඔයාලාට කොහිද ඕවා තේරෙන්නේ“
අනතුරුව දෙමිතුරියන් සිද්ධිය කෙටියෙන් පහදා දෙන්නට වූ අතර, මේ අතරේ පසු පසින් බැටරි පෙට්ටිය බැඳගෙන පා පැදියෙන් ස්වීප් වෙළඳාමේ යන මිනිසෙක් ගීතයක් ගුවනට මුසු කරමින් ඔවුන් අසලින් ඇදෙන්නට විය.
ගීතයට කන්දුන් දෙමිතුරෝ, මද වේලාවකින් වෑයමින් නවතාගත් සිනාවෙන් යුතු මුහුණින් එකිනෙකා දෙසත් දෙමිතුරියන් දෙසත් බලන්නට වූහ. අනතුරුව ඔවුන්ගේ සිනහව පුපුරා ගියේ අවට සිටියවුන්ද පුදුමයට පත් කරවමිනි.
“අන්න ඔයාලාගේ දවසේ ගීතය යනවා. අසරණ මිතුරිය ආවහම තාලේ නොවරදවා තුන්දෙනා එක්ක ම ගායනා කරනවා! අපිට පරක්කු වුනා අපි යනවා“යි එක් අයෙකු පැවසූ අතර අනතුරුව ඔවුන් පිටව යන ලදී.
*******************************************************
මේ හොඳ ලස්සන බෝනික්කා
තනි වී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කර ගෙන ආවේ //
කඳුළු වලින් කම්මුල් පෙඟිලා
ලස්සන රතු සායම් මැකිලා
බෝනික්කා අපි එක්කලා කිව්වා
රහසක් ඉකි බිඳලා
පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියේ අන්තිමයා
ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනවා ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා
මකුළු දැලෙන් රුවලක් බැඳලා
පුවක් කොලෙන් ඔරුවක් හදලා
බෝනික්කා නලවන්නයි යන්නේ
අපි ඔක්කොම නැගලා //
හප්පේ
ReplyDelete
ReplyDeleteම්හු.... අනුමත නොකරමි... නදී ජීවත්වෙන සමාජය තුල මෙවැනි තීරණයක් ක්‍රියාත්මක විය යුත්තේ මේ ආකාරයෙන් නෙවෙයි ( මට හිතෙන හැටි)..
තියෙන ප්‍රශ්ණ සහ අලුත් ප්‍රශ්ණ ඇතිවෙන පොටක්..
මෙච්චර කල් හිටිය එකේ තවටිකක් ඉවසලා සඳුන්ට කෝල් එකක් දීලා ගියානම් නේද හොඳ ? අනික බෝනික්ක කොහොමත් තරහ වෙලා ගෙදරින් ගිහින් අතරමන් වෙලානෙ හිටියෙ.. මෙයා එහෙම නැහැනෙ...:)
කොහොමවුනත් ලස්සනට ලියලා තියන නිසා කම්මැලි නැතිව කියෙව්වා..
මාත් අනුමත කරන්නේ නැහැ......... :) දෙන්නා තමයි මුල පටන් ම වරද්ද ගත්තේ. මමත් මම නිවාඩුවක් අරං ගෙදර ඉන්න දවස, ඉරිදා සෙනසුරාදාට, මහත්තයාට කියනවා අනේ ඔයාත් ඉන්නකෝ අනේ කියලා. ඒ කියපු ප්‍රමාණෙට එයා හිටියා නං එහෙම මේ වෙනකොට රස්සාවක් හොයා ගන්න වෙලා... :) වැඩිහිටියෝ වුනහම පියවරක් ගනිද්දි කොච්චර පැති හිතන්න වෙනවද? තමන් හා වටේ ඉන්න අය මොන වගේ අයද කියන එක කොච්චර වටහා ගන්න වෙනවද? හදිසි තීරණයකදී ඇති විය හැකි අතුරු ඵල මොනවද? වගේ කාරණා ගොඩක් ගැන හිත හිතා තමයි මං මේක ලිව්වේ ලකී. බොහොම ස්තුතියි ඔයා වටහා ගෙන තිබෙන විදිහ ගැන. ඒ බොහොමයක් කාරණා ඔයාටත් සිහිවෙලා.
ReplyDelete“පුතේ, දුව අන්න අම්මලාගේ ගෙදර යනවා කියලා ගියා. ඔයාට ගත්තට කනෙක්ට් කර ගන්න බැරි වුනා. මං මේ ට්‍රයි කරලා කරලා තමයි ගත්තේ. පුතා පොඩ්ඩක් එයාට අරං බලන්න. දුවත් ගන්නවා ඇති භාගවිට“ මේ වගේ පණිවුඩයක් නම් ලැබුනේ නදී ගියා කියන එක සඳුන්ට එච්චර බරපතල කාරණයක් වෙන්නේ නැහැ නේද? අනිත් අතට ඒ තරම් නිවුනු කෙනෙක් නම් ඒ අම්මා, නදීට යන්න වෙන එකකුත් නැහැ මයේ හිතේ. ඒක නිසා තමයි අවට ඉන්න මිනිස්සුන්ගේ සංනිවේදනයේ බරපතල කම වටහා ගෙන කටයුතු කරන්න වෙන්නේ.
ඉතිං ඔන්න ඔහොමයි වැඩේ. කියවන අපි මේ වගේ දෙයකදී කෙලින්ම තරුණ දෙන්නාගේ පැත්ත අරං කියවනවානේ. ඒත් ඒ දෙන්නා අතෙත් වැරදි තියෙනවා. අනිත් අය අතෙත් වැරදි තියෙනවා. වටේ පිටේ ඉන්න යාළුවෝ හිත මිතුරු වගේ පිරිස අනතුරුදායක මාර්ග පෙන්වනවා. ඔය හැමදේම මැදින් පරිස්සමින් යන්න වෙනවා.
සිංදුව ගැන කියනවා නම්, මට තාමත් හිතෙන්නේ මං සිංදුවට ගැලපෙන විදිහට කථාව යම් පමණකට ගොඩ නගා ගත්තා කියලායි ලකී. බෝනික්කා තරහා වෙලා ගිහිල්ලා ම නැහැ නේද? විල ඉවුරට වෙලා තනියෙම අඬ අඬා ඉන්නවා. කථාව කියලා අන්තිම හරියෙදි තමයි එයා කියන්නේ මං යනවා එනවද මා එක්කා කියලා............ ඒ පාර අනිත් අය කවදාවත් හදන්න බැරි දේවල් ටිකක් හදාගෙන එයාව නලවන්න හදනවා (අනේ මේ අරක මේක කියන්න එපා අනේ මං බොහොම අමාරුවෙන් මේ පාරෙන් කථාව ගෙනිච්චේ... :D :D :D)
රන්දි අක්කේ, ඔයාගෙ මුළු කතාවටම වඩා මගේ හිතට තදින්ම දැනුනේ ඔයාගෙ කමෙන්ට් එකේ තියෙන මෙන්න මේක.
Delete/* ඒක නිසා තමයි අවට ඉන්න මිනිස්සුන්ගේ සංනිවේදනයේ බරපතල කම වටහා ගෙන කටයුතු කරන්න වෙන්නේ. */
පුදුම ඇත්තක්!
කතාවත් ලස්සනයි ඉතිං. :) :) :)
ගෙයි ගිනි පිට නොදීයන් කීවෙ කට කහනවටද?
Deleteඅරක මේක කියන්න එපා කිව්වට කියන්න තියෙන දෙයක් කියන්න අනේ. අර කිව්වා වගේ. ඒ දේවල් හරි වටිනවා ඉදිරියේදී කරන වැඩ වලදී....... :)
ReplyDeleteමට හිතෙන්නේ මේ කතාවට රචකාගේ අදිසි හස්තය තදේටම දැනිලා තියෙනවා
ReplyDeleteඉඳලා කියලා යන්න තිබුණා... ඒත් වෙලාවෙ හැටියට තනියෙන් ගියා නං නැන්දම්මා ඒකටත් කතාවක් හදනවා.... ඒ සමහර නැන්දම්මලගේ හැටි.... මෙයත් ඒ ජාතියේ නේ... හි හි...
ReplyDeleteඕවට කියන්න් වෙන්නේ මෝඩ කම කියලා විතරයි... අනිත් එක කෙලින් කතා කරන්න කොන්ද පණ නැති වීම.... සමහර පිරිමි ළමයි ඉන්නවා දෙමවුපියෝ ඉස්සරහා කටක් අරින්න පණ නැති.. එහෙම අය නම් කසාද නොබඳින එකමයි හොඳ.... ඒක දෙමවුපියන්ට තියෙන ගෞරවේ කියලා කියයි දැන් කවුරුහරි... මම නම් කියන්නේ කොන්ද පණ නැති කම.. තමන්ගේ පවුල් ජීවිතේ හදාගන්න තමන්ට නිදහස නැත්තම් ඒ වගේ දෙමවුපියන්ට ගරු කිරීමෙන් වැඩක් තියෙනවද...
ඌහ් මේක මම කියවන්නේ නැතුව ඉන්න හිතනවා... මොකද මේවා කියවද්දි මගේ ලේ ටික රත් වෙලා මගේ ආයුෂ කොට වෙන්න ඉඩ තියෙන හින්දා... හි හි... මොකද මේ අත්දැකීම මගේ හිතේ තාම අලුත්.....
අනේ මන්දා මේ සමහර මානව සම්බන්ධතා නම් මොනවගෙද කියලා හිතාගන්න බෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හ්ම්ම්ම්ම්ම්
ReplyDeleteකතාව සිංදුවට ගානට ගැලපෙනවා (මම හුගාක් ආසා සිංදුවක්)
ReplyDeleteඔය විදියෙ නැන්දම්මලා - අම්මලා එක්ක එකට ජීවත් වීම ප්‍රයෝගිකව කරන්න බෑ. එවැනි මහන්තත්ත අම්මණ්ඩිලා කිසිම දේකින් සතුටු වෙන්නෙත් නෑ.
අය්යෝ මහ මෝඩ ගෑනු කෙනෙක්නේ. ඔහොම ගෑනු උදවියත් ඉන්නවද? මම නම් ගත්තා කාරෙක ගියා හොයාගෙන හස්බන්ඩ්ව වීක් එන්ඩ්ස්වල. කවුරු නවත්තන්ටද? හහ්....
ReplyDeleteඅපි නම් බයවෙයි නැන්දම්මලාට...හී හී...
එහෙම කොරන්නෙ ඔට්ටෙලියාවෙ වෙන්ටෑ?බුදු නොනෝ මේක සිරි ලංකාව :)
Deleteහ්ම්....හිතට වැදිච්ච කතාවක්. මාත් ආසම සිංදුවක්. අනේ මන්දා? "ගෙදර ගිනි පිටට දෙන්න එපා" කියන එක නම්, එතකොට වෙන්නෙ ඇතුලට වෙලා තැම්බි, තැම්බි ඉන්නනෙ. නිරිඇල්ල මහත්තයක් එක්ක එකඟයි
කොටස් දෙකම දැන් තමා කියෙව්වෙ.බැදපු ගමන් වෙනම ජීවත් වෙන්න ඕනෙ ටික කාලයක් යනකල්වත් මං හිතන්නෙ.අනිත් එක පවුල් ජීවිතේට ඇඟිලි ගහන්න බොසා ආවොත්නම් මං නම් ටක් ගාලා රස්සාවෙන් අයින් වෙනවා.මෙතන ප්‍රශ්නෙ ඉතිං නෝනටත් රස්සාවක් නැති එකයි.
ReplyDeleteඔයා කතාව අන්තිම ටික වේගෙන් ගිහිල්ලා කතාවට අසධාරණයක් කරලා වගේ මට නම් පේන්නේ, එහෙම හිතෙන්නෙ තව ටිකක් කියවන්න හිතෙන ලෝභ කමටද මන්දා, කොහොම උනත් ලස්සන සන්කල්පනාව, එක සින්දුවක් ගියපු දුර :)
ReplyDeleteඅප්පොච්චියේ හිතන්න දේ ගොඩයි . අපේ අම්ම නම් කිව්වේ දවසක් වත් තරහ වෙලා ගෙදරින් ගියොත් ඒක පුරුද්දකට යනවා කියලයි. අපේ අම්ම මට කියා දුන්න පාඩම අදටත් පිලිගන්නවා .
ReplyDeleteහැබැයි ඉතින් සුමිත් කිව්වා වගේ සමහරු එක්ක නම් ඉන්නම අමාරුයි. අනික් අතට කසාද බැන්ද අයට උපදෙස් දෙන්න ඕනත් හරිම පරිස්සමින්.
විවාහ ජීවිතේදි ඇතිවෙන ප්‍රශ්නෙකදි විතරක් නෙවෙයි කිසිම ප්‍රශ්නෙකදි කිසිම කෙනෙකුට කිසිම උපදෙසක් කිසිම විටකදි කිසිම තත්වයක් යටතේ කිසිම විදිහකින් දෙන්ට එපා කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ...
ReplyDeleteඒ වගේම ඕකෙ විලෝමයත් එහෙමම තමයි.කිසිම ප්‍රශ්නෙකදි...( අර උඩ වාක්‍යයෙ තිබ්බ කිසිම...කිසිම...කෑලි ටික මෙතෙන්ටත් කරුණාකරල දාගන්ට ) කිසිම කෙනෙකුගෙන් උපදෙසක් ගන්ටත් එපා....
මේ මගෙ ප්‍රතිපත්තිය...මම දැනුම් තේරුම් තියන දවසෙ ඉඳල.....
තමන්ගෙ මැට්ටං තම්මැට්ටම්....අන්න ඒ වගේ තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට....එහෙම කරන්ට බැරිවෙන එක තමයි මෙතන ප්‍රශ්නෙ...මම ඒකත් පිළිගන්නව.....හෙහ්, හෙහ්,