Wednesday, October 29, 2014

287. ආල වඩන යන තේරුම.......The Memories Would Never Go Away

A Painting by Adamaro Bardelli
පහුගිය සති දෙක තුනක් විතර මම දැම්මෙ පොඩි
කුමාරිහාමිගෙ වියුණුවෙ කමෙන්ට් හැටියට මම මම ලියපු
කතන්දර... අනුලා සහ රජිතාගෙ කතාව, අම්බපාලිගෙ කතාව
ඒ එහෙම කලින් මම ලියාපුව. වත්ගෙ සොඳුරුසිත වියුණුවටත්
මම ලිව්ව ඒ දවස්වල මාගල් වගෙ කතන්දර කමෙන්ට්ස්...
හෙහ්,හෙහ්, මේ ඇවිල්ල එයින් එකක්...ලොක්කා සහ
සංජුගේ කතාව......

වත්.....ඔබට බොහෝසේ ස්තූතියි...:) 


" හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා, "

ගීතයේ කියවෙන්නේ එසේය. මගේ හිත හීලෑනැති බව සැබෑවක් වුවද හිතෙන හිතෙන තැන නවතින්නක් නොවේ. හිත නවතින්නේ එකම තැනය.මම ඇය අමතක කිරීමට කොපමණ තැත් කලද එය කිසිසේත් කල නොහැක්කක් බව මට දැන් වැටහෙයි. 


අගුලු ලා වසා තිබූ මගේ හිතට පිවිසීමට ඇය මෙතරම් විගසින් සමත් වූයේ කෙසේද? ඊටත් වඩා ඇයට පිවිසීමට මම මගේ හද විවෘත කලේ මන්ද? පසුගිය මාස දෙක මුලුල්ලේම මගේ හිතට වද දුන්නේ මේ ගැටළුවයි. 


මේ සිත පෙළන දෙගිඩියාව තවත් ඉවසාගත නොහුණු මම දුරකථන නාමාවලිය පෙරලා අංකය සොයා ගෙන නෙළුව මහා විද්‍යාලයට ඇමතුමක් ගතිමි. 



" හෙලෝ, මේ.........මිස් සංජුට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? " 

" ආ.....ඉන්න මම පණිවිඩයක් යවන්නම්, මහත්තය කවුද? " 

මේ බොහෝවිට විදුහල්පති විය යුතුය. මෙයාට මොකටද ඒ විස්තර.? 

"ආ... මම.....මම…. මේ සංජුගෙ අයිය කෙනෙක්. " 

දුරකථනය සවනට තබා ගෙන මිනිත්තු කිහිපයක් සිටි මම එක්වරම එය ක්‍රියා විරහිත කලෙමි.මා එසේ කලේ ඇයිද යන්නවත් මට වටහා ගත නොහැකිය. 

නැවත දුරකථනය දෙස බලාගත්වනම සිටි මම රිසීවරය ඔසවා Redial බොත්තම තද කලේ " මේක හරි යන්නෙ නෑ, අද මේකට මොනව හරි කරන්න ඕනෙ " මටම කොඳුරා ගනිමිනි. 

නෙලුව විද්‍යාලයේ රිසීවරය එසවෙනු ඇසිණි. 

" හෙලෝ" 

ඒ ඇගේ හඬයි.මොහොතකට මට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි විය. 

"සංජු, මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? " 

මහත් අසීරුවෙන් මම තෙපලුවෙමි. 

නිහඬතාවයෙන් ගතවූ මොහොතකට පසු ඇගේ හඬ දුරකතන වයර් දිගේ ගලා ආවේය. 

" සර් කියන්නෙ මුණ ගැහිල කතාකරන්න නම්......මේ දවස්වල ඒක නම් ටිකක් විතර අමාරුයි.....මම වීක් එන්ඩ් එකම ගමනෙමයි ගත කරන්නෙ......ප්‍රශ්නයක් නෑ...සර්, සර්ට කියන්න තියෙන දෙයක් මෙහෙමම කියන්න......." 

" ඔයාව දකින්නත් ආසයි සංජු......වීක් එන්ඩ් එකේ එන්න, අපි හම්බවෙමු......මම ගෙදරටම ගිහිල්ල දාන්නම්, මොකද කියන්නෙ?" 

නැවත නිහඬ තාවයකි....

" සංජු ඔයා ඉන්නවද ළමයො? " 

" ම්ම්ම්ම්.....සර් හම්බවෙන එක ගැන අපි පස්සෙ කතා කරමු,........දැන් සර්ට කියන්න තියන එක කියන්නකො....." 

" ඒක කියන්න තමයි ළමයො මම කිව්වෙ හම්බ වෙමුය කියල, හා....කමක් නෑ,හරි .......එහෙනම් මම කෙලින්ම කියන්නම්කො,.......මට තවත් මේක හිතේ හංගගෙන ඉන්න බැහැ,ඔයා ගැන මගෙ හිතේ අදහසක් තියනවයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ? " 

"................................" 

" සංජු, මොකෝ ළමයො එක පාරට මියුට් බට්න් එක එබුවෙ? මා එක්ක තරහ උනාද? " 

"සර් මෙහෙම කිව්වට සර් මා එක්ක අමනාප වෙන්න එපා.....මම මේ කියන්නෙ අවංකවම ඇත්ත මට හිතෙන විදිහට........සර් ගැන මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මොන වගෙ අදහසක්ද කියල මට තාම හිතාගන්න බැරුවයි සර් ඉන්නෙ......ඒක ගෞරවය, ආදරය, සෙනෙහස ඔය ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා හැදිච්චි සංකීර්ණ හැඟීමක් කියලයි මට දැනට නම් හිතෙන්නෙ " 

ඇය කතාව නවත්වා මොහොතක් සිටියාය. ඇගේ හුස්ම වැටෙන හඬ පමණක් නෙලුවේ සිට පැමිණ මගේ සවනට පතිතවූ මිනිත්තු කිහිපයකට පසු මම කටහඬ අවදි කලෙමි. 

" නෑ සංජු මම අමනාප වෙන්නෙ නෑ, අමනාප වෙන්න කිසිම හේතුවක් මෙතන නැහැනෙව,......... ඔයාටම තීරණයක් ගන්න මම ඔයාට කාළය දෙන්නම්, ප්‍රශ්නයක් නෑ...........ඕන තරම් වෙලාව අරගෙන කල්පනා කරල, මා ගැන ඔයාගෙ හිතේ තියන හැඟීම මොන විදිහෙ එකක්ද කියල ඔයාම තීරණය කරන්න. " 

" අනේ...සර් මාත් එක්ක............" 

" නෑ, ළමයො, නෑ, ඔයාට ඕන විදිහට ඔයාගෙ ඉරණම තීරණය කරන්ට ඔයාට ඉඩ දෙන එක තමයි හරි විදිහ...... I understand perfectly, you decide for yourself.........i will accept whatever it is.......... Bye, Sanju " 

රිසීවරය ආපසු තබා ඒ දෙස මොහොතක් බලා සිටි මම එක් දිනක් පමණක් ඇගේ පහස ලැබූ පුටුව, මේසය සහ පරිගණකය දෙස හිස් බැල්මෙන් බලා සිටියෙමි. 

ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ගතවූ සතියක් ඉක්ම ගියේය. ඇයට අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙමැයි පැවසුවද අසීමිතව ඉවසීමට මසිත සූදානම් නැති බව මට හොඳින්ම පැහැදිලිය. 

පුතුට කවා පොවා නිදිකරවූ ඉක්බිති පසුගිය සතියම අලුයම දෙක පමණ වනතුරු මා ගෙවූයේ නිදන කාමරයෙන්ම පිවිසිය හැකිවූ කුඩා සඳළු තලයේය.පොසොන් පුරා සඳ සඳළු තලය එලි කරද්දී මඳ පමණ මත්වූ සිතින් යුතුව මම මගේ ජීවිතය පිළිබඳ පුනරාවර්ජනයක යෙදුනෙමි. 

ජීවිතේ කිසිදාක බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පසු යළි කිසිදිනෙක කිසිවෙකුට හදවත දොරගුළු නොහරින්නෙමැයි සපථ කලේ, මා එක්වරක් විඳි ඒ සිත අකර්මන්‍ය කරවන බලවත් වේදනාව නැවත වරක් විඳීම මට කිසිසේත් කල නොහැකිබව උදක්ම දත් හෙයිනි. 

එහෙත් ජීවිතය කිසිසේත්ම අපට සිතැඟි පරිදි හැඩ ගසා ගත නොහැකි බව දෙවන වරටත් පසක් කරමින් ඇය මා හදවතට අනායාසයෙන් පිවිසියාය. පිවිස එහි නවාතැන් ගත්තාය. 

හුලවාලි චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගයන දුක්බර එහෙත් මගේ ප්‍රියතම ගීයක් සෙමින් මිමිණුනේ මටද නොදැනීමය. 

කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා, 
දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා, 
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා, 
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා, 

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා, 
මල් ගෝමර පිපුණු ළමැඳ වසා ගනින් කියා, 
මගේ අතින් දුන් සළුවෙන් ළමැඳ වසා ගෙනා, 
රිදී පොටක් පළඳන්නට වරම් නැතිව ගියා, 

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී, 
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී, 
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී, 
ආල වඩන යන තේරුම බෝසත්කම සකී, 

ආදරය යනු පරිත්‍යාගයම මිස අන් කවරක්ද? එක් වරක් අනපේක්ෂිත පරිත්‍යාගයක යෙදෙන්නට සිදුවූ මට නැවත වරක් ආදරය වෙනුවෙන් පරිත්‍යාගයක යෙදෙන්නට නියම වී ඇත්නම් මම ඒ උපේක්ෂා සහගතව පිළිගන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? 

ගෙමිදුල අඹ ගසේ පොරකමින් සිටි වවුලෝ එක්වරම පැතිරී ගිය එළියකට බියවී හඬ නඟමින් පලා ගියෝය. 

උන් බියවීමට හේතුව උල්කාවකි. හන්තාන කන්ද ඉහලින් උල්කාවක් නිමේශයක් හාත්පස එළිය විහිදුවමින් පුපුරා ගියේය. 

කුඩා කල මෙවන් රාත්‍රියක උල්කාවක් පිපිරී ගිය වහාම අම්මා හෝ අප්පච්චි පවසන්නක් මගේ මතකයට නැඟිනි. 

" උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා " 

" මට ඕනෙ ඒ උල්කාපාතය ආයෙම දකින්නට " මම කීවෙමි, 

" ඒක හරියන්නෙ නෑ පුතා, ඒක ආයෙම කවදාවත් දකින්ට ලැබෙන්නෙ නෑ, ආයෙ කවදාවත්ම, " අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය. 

සංජු මගේ ජීවිතයට ඇතුලුවූයේද උල්කාවක් හා සමානව බව මට හදිසියේම සිහිවිය. ඇයද මොහොතක් මගේ ජීවිතය වෙලාගත් ගනඳුර දුරුකොට හාත්පස ඒකාලෝක කරමින් බැබලී නැවත කිසිදාක දක්නට නොලැබෙන ලෙස මගෙන් වෙන්ව ගිය උල්කාවක් නොවේද? 

ඇය උල්කාවක් මෙන් මොහොතක් මා දිවිය එලිය කොට නිවී ගියද මගේ ජීවිතය මුලුල්ලේ ඇගේ එළිය මතකයේ පවතින බව මම නිශ්චිතවම දැන සිටිමි. 

මා දහසක් දුක් දොම්නස් මැද ගෙවූ ඒ මෑත අතීතයේ මා සිත සනහා ගන්නට බොහෝසේ උපකාරී වූ නවකතාවක් වූ Nicholas Sparkes ගේ Message In The Bottle හදිසියේම මට සිහිවූයේ එහි ගැරට්ගේ ජීවිතය බොහෝසෙයින් මගේ ජීවිතයට සමාන වන නිසා විය හැක. 

තම ආදරණීය භාර්යාවගේ වියෝවෙන් දුකින් පිරුනු ජීවිතයක් ගත කරන ගැරට් අනපේක්ෂිතව හමුවන තෙරේසා නිසා ජීවිතය අලුතින් ඇරඹීමට තැත් කරන මුත් ඒ සියලු බලාපොරොත්තු සුන් වී යන්නෙ කොතරම් ඛෙදජනක ලෙසද? 

ජීවිතය කෙරෙහි මහත් කලකිරීමෙන් සිටි එකල සමහර මෙවන් රාත්‍රියන් හිදී, Message In A Bottle කතාව කියවා මා වෙනුවෙන් නැඟි ආත්මානුකම්පාවකින්ද, නැතහොත් ගැරට් කෙරෙහි ඇතිවුනු අනුකම්පාවෙන්දැයි අදටද මටම පැහැදිලි නොමැති හැඟීමකින් මම ඉකි බිඳිමින් හැඬුවෙමි. 

නිදන කාමරයට පිවිසි මම පුතුගේ පොරවනය යලි සකසා ඇඳ අසල පොත් රාක්කයෙන් Message In A Bottle ද රැගෙන යලි සඳළු තලයේ අසුන් ගතිමි. 

ගැරට් සමඟ යලි ඔහුගේ දුකින් පිරුණු ජීවිතයට පිවිසුණු මම කතාවේ අවසාන භාගයේදී තෙරේසා පවසන මේ වදන් ලඟ මොහොතකට නතර වීමි. 

" If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. " 

පොත පසෙක තැබූ මම අසල කනප්පුව මත තිබූ සටහන් පොත රැගෙන සිතෙහි පොදිකන හැඟුම් කුරුටු ගාන්නට වීමි. 

සෙනෙහසේ නවාතැන ඔබ සිතයි, 
මහද විල පිපි පියුම ඔබ වතයි, 
මඟ කියන පහන් තරු නෙතු යුගයි, 
පිය ලඳුනි මට වරම් නැති ලෙසයි, 

ඔබ සිනහ රැඳුනු වත සිතේ ඇඳි සිතුවමකි, 
නිල් නයන කැලුම් නිති නෙතේ රැඳි සිහිනයකි, 
නැවත කිසි දිනෙක අප හමු නොවෙන මුත් ළඳුනි, 
ඔබ නමින් බැඳි සෙනේ සදා මගෙ මතකයකි, 

හතරට නැවූ කොළය පොත තුලට රුවා පොතද රැගෙන නිදන කාමරයට ගිය මම පුතු අසලින් වැතිර ගතිමි. 

"හෙට මේක මම සංජුට පෝස්ට් කරනවා.එතනින් මගෙ ජීවිතේ ඒ පරිච්ඡේදයත් අවසානයි " 

සිතන අයුරු සියල්ල පහසු නොවන නිසාම, නින්ද අහලකට වත් නොපැමිණ මම හිමිදිරිය වන තුරුම නිදිවර්ජිතව සිටියෙමි. 

නිදිවර්ජිතව ගත කල රාත්‍රීන් බොහෝ ගණනකට පසු මම තීරණයකට එළඹියෙමි. 

මට බොහෝ අසීරු වූයේ පුතු නඟන පැනයන්ට පිළිතුරු දීමයි. 

" තාත්ති අර ආන්ටි ආයෙ එන්නෙම නැද්ද? " 

" ආයෙ එන එකක් නෑ පුතා," 

" තාත්ති හරි නරකයි ඒ ආන්ටිව එලවල දැම්ම, මම ඔයා එක්ක තරහම තරහයි," 

" අනේ නෑ, මගෙ රත්තරං, මම එහෙම කලේ නෑ, ඒ ආන්ටිමයි වෙන ඔෆිස් එකකට ගියේ," 

මම එසේ පැවසුවද පුතු මා කියන්න විශ්වාස නොකරන බව ඔහු මා දෙස බලා සිටි බැල්ම උදක්ම පවසයි. 

එහෙත් මම කුමක් කරන්නද? ඇත්ත තත්වය පුතුට වටහා දෙන්නේ කෙලෙසද? 

අවසන සංජුට කතාකල මම ඇය ගෙදර එන සතිඅන්තයක මා හා පැමිණීමට ඇය කැමති කරවා ගතිමි. 

ඒ අනුව සෙනසුරාදාවක ගාල්ලට ගිය මම ඇයත් සමඟ කොළඹ බලා ඒමට පිටත් වීමි. මෝටර් රථයේ අම්බලන්ගොඩට පැමිනෙන තෙක්ම අප අතර කිසිදු කතා බහක් නොවිනි. ලානිල් පැහැති බ්ලව්සයකින් සහ කළු පැහැ දිගු සායකින් සැරසී සිටි ඇය ගෙතූ කොණ්ඩය අතැඟිලි අතර පටලවමින් නිහඬව ඉදිරිය බලා සිටියාය. 

අම්බලන්ගොඩ අසල මගේ මිතුරෙකු පවත්වාගෙන යන මුහුද අසබඩ පිහිටි අවන්හලට ආසන්න වන විට මම ඇය ඇමතුවෙමි. 

" සංජු, මේ ළඟ මගෙ යාලුවෙක්ගෙ රෙස්ටෝරන්ට් එකක් තියනව. අපි දවල්ට මොනව හරි කාල යමු නේද? " 

ඇය එක්වරම මා දෙස හෙලූ බැල්ම වටහා ගැනීමට මට කිසිසේත් අපහසු නොවිනි. 

" මොකද ලමයො ඔහොම මා දිහා බලන්නෙ? දවල්ට කන්න විතරයි එතනට යන්නෙ, ඒත් එක්කම මම මෙතනම තෝරගත්තෙ මෙතන හරිම නිස්කලංකයි, මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියනව සංජු," 

එවර මඳක් සිනාසුනු ඈ හිස වනා එකඟත්වය පළකලාය. 

වම්පස මුහුද දෙසට විහිද ගිය අතුරු පාරෙ මඳක් ගියපසු හමුවන කුඩා හෝටලයට මෝටර් රිය ඇතුලු කල මම පෝටිකෝව යට රිය නතර කොට ඉන් බැස ගතිමි. 

" එන්න සංජු, බය වෙන්න එපා,.....එන්න ළමයො," 

ඇය තවමත් රථය තුලම සිටිනු දුටු මම රථයේ වම්පස දොර විවෘත කරමින් පැවසුවෙමි. 

ඇගේ අත අල්ලා ඇයට රියෙන් බැසීමට සහය වන්නට මගේ සිතේ එක්වරම ඇතිවූ පෙලඹවීම මම මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. 

එවර මා පසුපස පැමිණි ඇය පොල් රුප්පාවෙන් මනා කොට සෙවණ ලැබ තණ තීරුවේ පනවා තිබූ අසුනක මා අසලින්ම අසුන් ගත්තාය. 

මගේ මිතුරා අද මෙහි නොවූමුත් ඔහුගේ උපදෙස් පරිදි සියල්ල සූදානම් කොට තිබිනි. 

හෝටලයේ කලමනාකරු අප වෙත පැමිණියේය. 

" අපිට චිකන් ෆ්‍රයිඩ් රයිස්........... ම්ම්ම්....සංජු මොනාටද ඔයා කැමති? "

මම ඈ දෙස හැරී විමසීමි. 

" කමක් නෑ, ඒව හොඳයි, " 

ඈ මද සිනහවක් පාමින් පිළිතුරු දුන්නාය. 

" සංජු මම බියර් එකක් බිව්වට කමක් නැහැනෙ," 

මගේ ඊළඟ පැනයටද ඈ පිළිතුරු දුන්නේ මද සිනහවක් සමඟ හිස වනා එකඟතාවය පළ කිරීමෙනි. 

" ලාගර් බෝතලේකුයි................ මේ මිස්ට?....." 

මම ඇය දැස බැලීමි. 

" ලෙමන් ජූස් " 

ඇය පැවසුවාය. 

බියර් පෙණ බුබුලු නිවී යනතෙක් ඒදෙස බලා සිටි මම කටහඬ අවදිකලෙමි. 

" මම මේ කතාව කොහෙන් පටන් ගන්ඩද කියල මට මහ ප්‍රශ්නයක් සංජු. අනික් කාරණේ, මටම හිතා ගන්න බැහැ ඇයි මම ඔයා එක්ක මෙව්ව කියන්නෙ කියල. අපි දෙන්න දැක්කෙත් එකම දවසයි. ඒත් මටම හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මට බල කරනව මේ ඔක්කොම ඔයා එක්ක කියන්න කියල. මම මගෙ ජීවිතේ මුල ඉඳලම පටන් ගන්නම්,......... ඕකේ?, මම විතරයි අපෙ පවුලෙ දරුවෙක් හිටියෙ. ඒ නිසා ජීවිතේ මුල ඉඳලම මම ගත කලේ හුදකලා ජීවිතයක්. මම විවෘත කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. Introvert කියල කියන්නෙ. මම අන්න එහෙම කෙනෙක්. සිංහලෙන් කිව්වොත් සංවෘත. ඇතුලට නැවුණු.හැඟීම් සඟවාගෙන ඉන්න. මම අන්න එහෙම කෙනෙක්. " 

" මම විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. මම එයාට ඇත්තටම ආදරේ කලා. එයත් මට ආදරේ කලා කියල මම හිතනව. අඩුම ගනනෙ මුල් දවස් වල විතරක් වත්. මම නවකතා, කෙටි කතා , කවිපොත් කියවන්න පුදුම ආසාවක් තිබ්බෙ. එයා පොතක් පතක් අතින් ඇල්ලුවෙ වත් නෑ. ඒත් අපි දෙන්න සන්තෝසෙන් හිටිය. පුතා ඉපදෙන කල්ම. අඩු ගනනෙ මම එහෙම හිතනව. පස්සෙ වෙච්ච දේවල් වල හැටියට එය සන්තෝසෙන් ඉඳල නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නෙ. ...............මගෙ වැරැද්ද වෙන්න ඇති බොහෝ විට. මම දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට ඒ ගැන නිකමටවත් කිව්වෙ නම් නෑ." 

" ඔයාට අඩු ගනනෙ හිතාගන්න වත් පුලුවන් වෙයි සංජු එකපාරටම එයා මාවයි පුතාවයි දාල ගියාම මට ඒක කොච්චර ෂොක් එකක වෙන්න ඇතිද කියල,පුතා නැත්නම් මම ඇත්තටම දිවිනහ ගන්නව. ඒත් පුතා නිසා මට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පුතා වෙනුවෙන් මට ජීවත් වෙන්න උනා." 

උස් වීදුරුවේ පිරී තිබූ රන්වන් පැහැති බීර එක හුස්මට පානය කල මම නැවත වරක් වීදුරුව පුරවා ගතිමි. 

ඇය ලෙමන් යුෂ වීදුරුවට අතවත් තබා නැත. 

" සංජු.......මොකද කරන්නෙ ළමයො.....ඕක බොන්නකො..." 

" හරි , හරි සර් මම බොන්නම්, සර් කතාව කියන්නකො " 

ඇය වීදුරුව සුරතට ගත්තාය. 

" ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. " 

" හැබැයි කිසි දවසක මම මදාරට ආදරේ කලේ නෑ. අදත් නෑ. හෙටත්....... මම හිතන්නෙ නෑ. මදාරත් මම හිතන්නෙ ඒක දන්නව. ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි මම හිතන්නෙ." 

" මගෙ බිරිඳ මාව දාල ගියායිම් පස්සෙ මම හිතාගෙන හිටියෙ කිසිම කෙනෙකුට මගෙ හදවත විවෘත කරන්නෙ නැහැයි කියල. ඒ වින්ද වේදනාව ආයෙම විඳින්ඩ මට බැරි බව විතරක් මම දැන ගෙන හිටිය." 

" ඔහොම මගෙ පුතයි මදාරයි අතර බොහොම සරළව ගතවෙච්ච මගෙ ජීවිතය එක දවසක උඩු යටිකුරු උනා." 

බියර් ස්වල්පයක් පානය කල මම වීදුරුව මේසය මත තබා ඇය දෙස බැලීමි. 

ඇය ප්‍රශ්නාර්තයෙන් මදෙස බලා සිටියාය. 

" yes, Sanju that was you, one day you entered my life totally unexpectedly and......... you know what?.........turned it upside down,...yes, you did it," 

" සර්......මම????" 

" නෑ, නෑ, සංජු කළබල වෙන්න එපා. ඒක ඔයා හිතල කල දෙයක් නෙවෙයි. ඔයාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ බව මම හොඳටම දන්නවා. ඒත් සංජු ඒක තමයි උනේ." 

" පහුවදා ඔයා එයි කියල මම කොච්චර වෙලාවක් බලා හිටියද? පස්සෙ ඔයා කෝල් කරල කිව්වම ඔයාට වෙන රස්සාවක් හම්බ උනාය ආයෙ එන්නෙ නැත කියල මම හිතුව ඒකත් උනේ හොඳටය, මට ඔයාව මගෙ හිතෙන් අයින් කරගන්න පුලුවන් වේවිය කියල." 

" ඒ උනාට එහෙම උනේ නෑ, සංජු මට ඔයාව අමතක කරන්ඩම බැරි උනා. ඒ පාර තමයි මම ඔයාට කතා කරල කිව්වෙ මම එන්නම් අපි හම්බ වෙලා කතා කරමුය කියල." 

" මම ඇත්තටම දන්නෙ නෑ. ඔයාගෙ හිතේ මා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. එක අතකට මම මෙහෙම ඔයාට කියන එකත් වැරදියි. ඔයා මට වඩා බොහොම ලාබාලයි.ඔයාගෙ ජීවිතේ තියෙන්නෙ ඉස්සරහට. මම ජීවිතේ වරද්ද ගත්තු මනුස්සයෙක්.ඒ නිසයි මම කිව්වෙ මම මෙහෙම කියන එක වැරදියි කියල මගෙ හිත මට කියනව කියල. ඒත් මට ඒ ටික නොකියා බෑ සංජු, මම ඔයාට ආදරෙයි.................. ඔයා මට ආදරේ කලත් නොකලත් මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි." 

හිරු බැසයමින් පැවතුනි. මම හිස හරවා ඈ දෙස බැලීමි. ඇගේ දෑස කඳුලින් බරවී තිබිණි. සෙමෙන් මා වෙත පැමිණි ඇය මගේ උරහිසට හිසතබා කඳුලු පිරි දෑසින් මදෙස බැලුවාය. මම නැවී ඇඟිලි තුඩගින් ඇගේ කඳුලු පිස දමා අපරිමිත සෙනෙහසින් ඇගේ නලලත සිප හතිමි. 

" මගෙ ජීවිතේ හරියට දිය වැළකට අහුවෙලා වගෙ සංජු, ඔයා දන්නවද දියවැළකට අහුවුනාම වෙන දේ............ අපිට කවදාවත් බෑ දියවැලට විරුද්ධව පීනන්ඩ. පුලුවන් එකම දේ තමයි දිය වැලත් එක්ක ඔහේ යන දිහාවකට යන්ඩ ඇරල ජීවිතේ රැකගන්න එක. මටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒ විදිහෙ දෙයක් සංජු, මමත් දිය වැලකට අහුවෙල ගහ ගෙන යනව. මට බේරෙන්ඩ බෑ. මට මදාරව බඳින්ඩම වෙනව සංජු.මට වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ. I am really sorry Sanju, I have no other alternative, I am really really helpless, " 

මෙතෙක් මගේ උරහිස මත හිස හොවා සිටි ඈ කෙලින් වී හිඳ ගත්තාය. ඉන්පසු අත්බෑගයෙන් ලේන්සුවක් ගෙන දෙකොපුලේ ගලන කඳුලු පිස දැමුවාය. 

" කමක් නෑ, සර්, මගේ හිතේ සර් ගැන තියන හැඟීම මොකක්ද කියල දැන් කියල වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම. ඒ නිසා ඒක මගෙ හිතේම තිබුනාවෙ. කොහොම උනත් මම සර්ගෙ අනාගතයට හදවතින්ම සුබ පතනව.එහෙම විතරක් හිතාගන්ට සර් ඒ හොඳටම ඇති "' 

ඇගේ නිවස අසල මම රිය නැවැත්වීමි. ඇගේ සුරත ගෙන මගේ මුවට ලංකොට සිපගතිමි. ඈ මගේ උරහිසට හිස වාරුකොට මොහොතක් සිටියාය. මම අවසාන වරට ඇගේ දෙකොපුල දෑතින්ගෙන නලලත සිපගත්තෙමි. 

" ආයෙ අපි කවදාවත්ම හමුවෙන එකක් නැහැ සංජු එක අතකට ඒක එහෙම වෙන එකත් හොඳයි. නැත්නම් මට ඒක දරාගන්ට බැරිවෙයි." 

" මම යන්නම් සර්, හැමදේම වෙන්නෙ හොඳට කියල හිතා ගන්ට. මට වෙන කියන්ට දෙයක් නෑ......යන්නම් " 

ඇය සෙමින් සෙමින් පසුපස නොබලාම ඇගේ නිවස වෙත පානඟන අයුරු මම බලා සිටියෙමි. මගේ ජීවිතයෙන්ද සදහටම ඉවතට පානඟන අයුරු මම කඳුලු පිරි දෙනෙතින් බලා සිටියෙමි. 

රත් පියුමක්ය පිපුනේ නිල් විල මැද්දේ, 
අත දිග මදිය නෙලනට ඒ දිය ගැඹරේ, 
අසරණ සිතින් මම ඉන්නෙමි විල ඉවුරේ, 
පියුමේ රුව බලා සැනසෙමි මගෙ උරුමේ, 

නෙත කඳුලකින් පිරි දා ඔබ හමුවූයේ, 
සිත පිරි හැඟුම් කෙලෙසක පවසනු ලඳුනේ, 
කිසිදා යලිදු හමුනොවනා මුත් සසරේ, 
ඔබ රුව මතක නොමැකෙනු ඇත මගෙ සෙනෙහේ, 

I do not know how you got into my heart, 
I know only that you are there, 
And........ you will never ever leave me, 
Remember.........I don't want you to leave either, 



Tuesday, October 21, 2014

286. මැදවච්චිය...වව්නියා...පුලියන්කුලම්...මාන්කුලම්...කිලිනොච්චි..පරන්තන්..පලෙයි.. Welcome Back…. My Dearest Yaal Devi.



Image - Wikipedia

අරෙහෙ අර ළමය තාම කොස් කපනව තනියම. තවම මට බැරිඋනා නෙව ගිහිල්ල සුට්ටක් උදව්වක් වෙන්ට. බාර් වල කතාද, අනුලා සහ රජිතාගෙ කතාද එතනිං ගිහාම අම්බපාලිගෙ කතාද මෙකී නොකී හැටහුටාමාරක් කතන්දර කියන්ට උනානෙ කොස් කැපිල්ලට උදව්විල්ල පැත්තකට දාල. අද ඉඳගත්තෙ කොස් කපන ළමය ගැන ලියනවමයි කියල හිතාගෙන. ඒත් ඔන්න පහුගිය සුමානෙ ප්‍රවෘත්ති වල මුල්තැනක් ගත්තු සීන් එකක් හින්ද ආයම පාරක් ඒ වැඩේ කල්දාන්ටයි වෙලා තියෙන්නෙ... 

මේ කතාවත් ඇවිල්ල හිට බබලතෙක් ගැන තමයි...එයා තමයි යාල් දේවි... 

මම නමයෙ පන්තියෙ ඉන්දැද්දි අපෙ අප්පච්චිට මාරුවක් හම්බ උනා අනුරාධපුර කච්චේරියට. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් දහයෙපන්තිය අවසානෙ පැවැත්වුනු සාමාන්‍ය පෙළ විභාගය සහ දොළහෙ පන්තිය අවසානෙදි පැවැත්වුනු උසස් පෙළ විභාග අවලංගු කරල ඒ හිලව්වට 9 පංතිය අවසානෙ N.C.G.E. නොහොත් ජා.පො.අ.ස. විභාගය සහ තව අවුරුදු දෙකකින් H.N.C.E. නොහොත් ජා.උ.අ.ස. විභාගය අඳුන්වල දීල තිබ්බනෙ ඔය කාලෙ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල තමයි ඒ වෙනස් කිරිල්ල හැඳින්වුනෙ. අධ්‍යාපන ඇමති බදිඋද්දීන් මහමුඩ් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම යන මහත්වරු දෙන්න තමයි මේ වැඩේට මූලික උනේ. 

ඒත් 1977 ජූලි මහ මැතිවරණයෙන් එජාපෙ බලයට ආපු ගමං ප්‍රතිසංස්කරණ ඔක්කොම අලවංගු කරල ආයම පරණ සා/පෙළ සහ උ/පෙළ ක්‍රමේට ගියා. ජා.පො.අ.ස. තිබ්බෙ අවුරුදු දෙකයි. 75 සහ 76...මම 76 දි ඒ විභාගෙට වාඩි උනේ. රයිට් දැං එමු ආපහු යාල් දේවි කතාවට. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යාල්දේවී එක්ක සම්බන්ධ වෙන්නෙ මෙන්න මෙහෙමයි..කොහොමද? 

ඔය ජා.පො.අ.ස. විභාගෙට තිබ්බ විෂය මාලාව කලින් තිබ්බ සා/පෙළට වඩා ගොඩක්ම වෙනස්. සෞන්දර්ය විෂය කියල චිත්‍ර/නැටුම්/ සංගීතය අතරින් එකක් තෝර ගන්න ඕන.මම තෝරගත්තෙ නැටුම්. වෙන එකක් හින්ද නෙවෙයි එක තැනක ඉඳගෙන අත්ත කිලමතානු පූජාව කරනව වගෙ චිත්‍රෙ දිහාම බලාගෙන සායං උලන එකටයි ටැවුං ටැවුං කියල අර හිරමණේ නිකට යට ගහගෙන අර කෝටු කෑල්ලෙං කොච්චරවත් කමසෙයියාවක් නැතුව මදින එකටයි වැඩිය මගෙ හිත ගියෙ උඩ පැනල කැරකිල දෙකට නැවිල දෙපරැන්ද අස්සෙ ඔලුව ගහගන්න අඩව්, කස්තිරං අල්ලන්ට පුලුවන් නැටුම් වලට. 

ඒ එක්කම අලුතෙන්ම හඳුන්වල දුන්නු විෂයයක් තමයි ප්‍රාග් වෘත්තීය. අපි ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වෙ පී.වී. කියල . Pre-vocational Subject... ඒ යටතෙ හැම ළමයම විෂයයන් දෙකක් කරන්න ඕන. P.V. 1 සහ P.V. 2 කියල. පී.වී. වල තිබ්බ මට මතක විදිහට විෂයයන් විසි ගානක්ද කොහෙද…. 

මුද්‍රණ කර්මාන්තය, ලෝහ වැඩ, මැටි කර්මාන්තය, මැණික් කැපීම ඔය වගෙ නොයෙක් විෂයයන් තිබ්බ පිරිමි ළමයින්ට.. ගැහැණු ළමයින්ට, සූප ශාස්ත්‍රය, අත්කම්, විසිතුරු මල් වගාව, ඇඳුම් මැසීම ඔන්න ඔය වගෙ එව්ව....අපිට තිබ්බෙ ප්‍රා. වෘ. 1 - වාණිජ්‍යය සහ ප්‍රා.වෘ. 2 - මෝටර් යාන්ත්‍රික ශිල්පය..මෝටර් යාන්ත්‍රික ශිල්පය අපට ඉගැන්නුවෙ ජයලත් මහත්මය.මගෙ මතකෙ තියෙන්නෙ බොහෝවිට එතුමා ලා නිල් පාට අත්කොට කමිසයක් සහ කළු කළිසමක් ඇඳල පටි සපත්තු ( සැන්ඩ්ල්ස් කියන්නෙ අර..අන්න එව්ව ) දාල ඉන්නව. 

එතුමාගෙ තිබ්බ කළුපාට මයිනර් 1000 එකක්. තද දුඹුරු පාට සීට් දාල. ජයලත් සර් බොහොම ආදරෙයි ඔය කාර් එකට. අපෙ ඉස්කෝලෙ ප්‍රධාන කාර්යාලෙ දොරටුවත් එක්කම පැත්තක තිබ්බ තහඩු වහපු මඩුවක් වගෙ එකක්. ඕකෙ තමයි සර්ලගෙ කාර් සහ මෝටර් බයික්ස් නවත්තන්නෙ.ඒ කාලෙ එහෙමට යාන වාහන තිබුනෙ නෑ නෙව මිනිස්සුන්ට. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තය හෙළයේ මහා නවකතාකරු ගැන මම කලින් දවසක කිව්ව මතකයි නේ? එතුමාගෙ පොතක, බොහෝවිට සිරියලතා හෙවත් අනාථ තරුණී වෙන්න ඕන..මෙහෙම තිබ්බ මට මතකයි. '' එකල මෙකල මෙන් නොව ට්‍රෑම් කාර් තිබුනේද නැති. මිනිසුන් බොහෝකොට තම එදිනෙදා කටයුතු සඳහා ගමන් කලේ පයිනි." 

ඉතිං අපේ අර ඉස්කෝලෙ ගරාජ් එකේ නවත්තල තිබ්බෙ වැඩිපුරම වාහන දෙකයි. එකක් අපේ විදුහල්පතිතුමාගෙ වාහනේ. ඒක මට මතක විදිහට ෆෝඩ් ප්‍රිෆෙක්ට් එකක්. ඒ ඇරුනම ජයලත් සර්ගෙ මයිනර් එක.B.S.A. බයික් එකක ඉස්කෝලෙට ආපු සර් කෙනෙකුත් හිටිය.මට ඒ කවුද කියල නම් මතක නෑ. B.S.A. කියන්නෙ Birmingham Small Arms Company කියන එකේ Acronym එක. 

ඉතිං ජයලත් මහත්තය මෝටර් යාන්ත්‍රික ශිල්පය අපිට බොහොම උනන්දුවෙන් ඉගැන්නුව. එතුමාගෙ චිත්‍ර එහෙමත් හරිම ලස්සනයි. කළු ලෑල්ලෙ තනි කෙලින් ඉරි ගහනව නිදහස් අතින් ආය නෑ ඉද්ද ගැහුව වගෙ තමයි.දෙපහරේ එන්ජිම, සිව් පහරේ එන්ජිම, චූෂණ පහර, සම්පීඩන පහර ,බල පහර සහ පිටාර පහර ..ඔව්ව ඉස්සෙල්ල කළු ලෑල්ලෙ ඇඳල ඊට පස්සෙ පරණ අයින් කරපු පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් එක්කම ගෙනල්ල ප්‍රායෝගිකවම එන්ජිමක් ක්‍රියාකරන විදිහ ගැන කියල දුන්න. 

අපේ පංතියෙ මට පිටිපස්සෙ පේළියෙ හිටිය සරත්ගෙ තාත්තට තිබ්බ ගරාජ් එකක්. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුම පැත්තට යාර තුන් හාරසීයක් වගෙ යනකොට වම් පැත්තට තිබ්බ අතුරු පාරක්. කෑගල්ල පරණ ඉස්පිරිතාලෙ තිබ්බෙ ඔය පාරෙ ටිකක් දුර යනකොට.වැලිමන්නාතොට හන්දියෙ අලුත් ඉස්පිරිතාලෙ හැදුවට පස්සෙ උසාවිය පවත්වාගෙන ගියේ ඒ ගොඩනැඟිල්ලෙ. ඒ අතුරු පාර පටන් ගන්න තැනම තමයි ඔය ගරාජ් එක තිබ්බෙ. වම් පැත්තෙ. ජයලත් සර්ගෙ මයිනරේ රෙපයාර් කරන්නෙත් ඔය ගරාජ් එකේ. 

" සරත්..ඔයාලගෙ ගරාජ් එකට ගිහිල්ල තාත්තගෙන් ඉල්ලගෙන එන්න පරණ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක්. මම තාත්තට කියල තියෙන්නෙ..ආ..මේ තව හතර පස් දෙනෙක් එක්කලා යන්න..සෑහෙන්න බරයි. පරිස්සමින් පුතාලා හොඳද? " 

දවසක් නමයට වගෙ පන්තියට ආපු ජයලත් මහත්තය කිව්ව. 

ඒ කාලෙ අපි ඉස්කෝලෙ කට් කරනව තියා එහෙම දේවල් ගැන හිතන්නෙ වත් නැතිතරමට හිච්චි එවුං, ආය මොනවද ඔය වෙනකොට ඕන්නං ඇති දොළහක් වගෙ මට. ඉතිං නිල වශයෙන්ම ඉස්කෝලෙ වෙලාවෙ ටවුමට යන්ට අවසර ලැබුණයි කියන්නෙ ආය නෑ පුදුම තන්තෝසයක්. 

පෙට්‍රල් ෂෙඩ් එකත් එක්කම තියෙන සල්ගාදු එක පහු කරල ඊළඟ හන්දියෙන් වමට හැරිල අපි ගියා සරත්ලගෙ ගරාජ් එකට. 

ඒ දවස්වල ඉස්කෝලෙ කැන්ටිමට අපි කිව්වෙ ටක් ෂොප් එක කියල. කෙටියෙන් ටක් එක. ටක් එක කලේ ගුණේ මාම. එයාට උදව්වට හිටිය අවුරුදු විස්සක තරම එයාගෙ පුතා. එයාගෙ නම අපි දන්නෙ නෑ අයිය තමයි හැමෝම කිව්වෙ. වටේට ලෑලි ගහල තහඩු වහල තිබ්බ ටක් එකේ කොට බිත්තිය උඩ වැළමිටි දෙක තියල එල්ලීගෙන ඔන්න අපි යටි ගිරියෙං කෑගහනව. 

" මාමෙ..මාමෙ...පාං කාලයි වඩේ එකයි..ප්ලෙන්ටියයි..අයියෙ….අනේ පාං කාලයි..වඩේ දෙකයි...පාං....පාං...පාං.....වඩේ..වඩේ…" 

ගුණේ මාම බඩ මැදින් සරමත් වෙලාගෙන මාලු දැල් බැනියමකුත් ඇඳගෙන රට අඹ ලෑලි මේසෙ උඩ තියාගෙන කිසි කිසි ගාල පාං කපනව. ගාමිණී පොන්සේක චණ්ඩියා ෆිල්ම් එකේ ඇඳගෙන හිටියෙ ...අන්න ඒ ජාතියෙ බැනියමක් තමයි. මටත් ඔය වගෙ බැනියමක් අඳින්ට පුදුමාකාර ආසාවක් තිබ්බෙ. ඒත් මව් තුමිය නිෂේධ බලය පාවිච්චි කරල ඒ අදහස නිශ්ප්‍රභා කරල දැම්ම එක වංගියෙම.. 

" අනේ අම්මෙ…" 

" මේ..පිස්සුද ඔයාට?...එව්ව අඳින්නෙ රස්තියාදු කාරයො..හොඳට තියෙයි...ඔව්ව ඇඳගෙන පරෙ බැහැල යනකොට..ඔය ගැන ආය වචනයක්වත් කතා කරන්ට එපා පුතා..ඇහුණ නේද? " 

අච්චු පාං නෙවෙයි ටක් එකට ගන්නෙ ඔක්කොම තැටි පාං..දවල් එකොළහමාරට ඉන්ටිබල් එක. උදේ වරුවෙ පීරියඩ්ස් පහයි. ඉන්ටිබල් එකෙන් පස්සෙ පීරියඩ් තුනයි. ඔක්කොම අටයි. එකොළහ වගෙ වෙනකොට ඉස්කෝලෙ මැදිං තියෙන කන්ද නැඟගෙන රංවල බේකරියෙ බයිසිකල් කාරය පාං අරන් එනව ටක් ෂොප් එකට. ඉස්සරහයි පස්සෙයි බැඳපු ලී පෙට්ටි දෙකේම පාං පුරවල හින්ද මනුස්සය කන්දෙ බයිසිකලේ තල්ලු කරාන යන්නෙ බොහොම හෙමිහිට. 

හමන මඳ සුළඟත් එක්ක උණු උණු තැටි පාන්වල තෙල් සුවඳ ඉස්කෝලෙ පන්ති කාමර පුරා විහිදිල ගිහිල්ල කොල්ලො කුරුට්ටො හත් අට සීයකගෙ කුසගිණි බුර බුරා නග්ගවනව.බඩ පණුවො පිස්සුවෙන් වගෙ කෑගස්සවනව හයේ ඉන්දැද්දි අපෙ පන්තිය තිබ්බෙ මහ හෝල් එකෙනුත් එහා පැත්තෙ දෙමළ ඉස්කෝලෙ කිට්ටුවට වෙන්ට. ( අපෙ ඉස්කෝලෙ එක්කම උඩහට වෙන්ට වෙනම දෙමළ භාෂාවෙන් උගන්නපු දෙමළ විද්‍යාලයකුත් තිබ්බ අපේ ඉස්කෝලෙ නමින්ම ශාන්ත මරියා දෙමළ විද්‍යාලය කියල ) එතකොට ඔය පාං සුවඳ ඒ හැටි දුරට විහිදෙන්නෙ නෑ. ඒත් හතේ පන්තිය තිබ්බෙ ඉස්කෝලෙ උඩහට යන පාර අද්දරමයි. පාං සුවඳ වදින්නෙ ආය නෑ කණ හරහම තමයි..සමාවක් නෑ. 

පාං කාරය ගිය වෙලාවෙ ඉඳල අපේ සිහිය ටක් ෂොප් එකේ තමයි.මම ඉඳගෙන ඉන්න තැනට හොඳටම පේනව පීරියඩ් මාරුවෙන්ට එතකොට ඉන්ටවල් එක දැනුම් දෙන්ට එහෙම තඩි යකඩ ඇණේකිං පතබාන පරණ ලොරි රිම් එක එල්ලල තියෙන බැල්කනිය. සර් පාඩම ඉගැන්නුවට ඔය වෙලාවෙ මොහෙන්දෝජාරෝ, හරප්පාවත්, බීජාණුහරණයේ මූලධර්මවත් එහෙම නැත්තං පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ගැනවත් හිතේ මොකක්වත්ම හිටින්නෙ නෑ. වික්‍රමසිංහ අපේ ඔෆිස් එකේ පියුම් ඇණෙත් අරගෙන බැල්කනිය නඟින්නෙ කොය් වෙලාවෙද කියලයි ඇස් කුට්ටං විස්සක් තිහක් බලාගෙන ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. 

ටක් ෂොප් එකේ ඔහොම පාං සහ වඩේ ඇරෙන්න ඔය රෝල් කට්ලිස් වගෙ අනම්මනං තිබ්බ කියල මගෙ මතකයක් නෑ. ඒ කාලෙ මම හිතන්නෙ එහෙම කෑම ජාති සුලබ නෑ. ඔන්න සල්ගාදු එකේ නම් වීදුරු සෝකේස් වල දාල එව්ව තිබ්බ.පඩි ගත්තුදාට අම්ම ඔව්වයිං හත අටක් අරගෙන එනව. මගෙ කට්ලිස් එක මම පොඩ්ඩ පොඩ්ඩ කනව පැයක් විතර. පාං සහ වඩේ ගැන විස්තරේ මම කිව්වෙ රෝල්ස් එහෙම අපිට විශේෂ කෑමක් කියල කියන්ටයි. ඉතිං අර පිස්ටන් ක්‍රියාකාරිත්වය ගැන කියල දෙන්ට ජයලත් මහත්තයගෙ උපදෙස් පරිදි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් ගේන්ට සරත්ලගෙ ගරාජ් එකට අපි ගිය වෙලාවෙ සරත්ලගෙ තාත්ත කොල්ලෙක් යවල අපි ඔක්කෝටම රෝල්ස් එක්ක කිරිතේ ගෙන්නල දුන්න. 

ගරාජ් එකේ පිටිපස්සෙ ගහල තිබ්බ ලී බංකු උඩ වාඩිවෙලා රෝල්ස් කාල කිරි තේ එහෙමත් බීල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් කරේ තියාගෙන අපි ආපහු ඉස්කෝලෙට ආව. 

ඉතිං මේ විස්තරේ මම කිව්වෙ අන්න එහෙම ක්‍රෑන්ක් ෂාෆ්ට් ටවුම මැදින් කරේ තියාගෙන ඇවිල්ල තමයි අපි මෝටර් යාන්ත්‍රික ශිල්පය ඉගෙන ගත්තෙ කියල ඔබ තමුන්නාන්සෙලාට අවබෝද කරල දෙන්ටයි. ඉතිං මම නමයෙ පන්තියට පාස් උනාම අප්පච්චිට අනුරාධපුරේට මාරුවක් හම්බ උනාම ප්‍රශ්නයක් මතු උනා. ඒ කිව්වෙ අනුරාධපුරේ එක ඉස්කෝලෙකවත් මෝටර් මිකැනිසම් උගන්නන්නෙ නෑ. එහෙ තිබ්බෙ වෙන වෙන එව්ව. දිය කූඩැල්ලන් ඇතිකිරීම, උඳුපියලිය වගාව,ගස් ගෝන්නුන් නිරීක්ෂණය, දිය කුකුළන් පින්තාරු කිරීම..ඔන්න ඕවයි එහෙ ඉස්කෝලවල ප්‍රාග් වෘත්තීය විෂයයන්. ඉතිං මොකද කරන්නෙ? තව අවුරුද්දයි තියෙන්නෙ විභාගෙට. අවුරුද්දකින් අලුත් විෂයයක් ඉගෙන ගන්ටත් බෑනෙ. ඒ පාර මගෙ දෙමව්පියො තීරණය කලා අවුරුද්දක කාලයක් මාව මගෙ හොඳම යාලුවගෙ ගෙදර නවත්වන්ට. ඉතිං නමයෙ වසර මම ඉස්කෝලෙ ගියේ ඒ මගෙ යාලුවගෙ ගෙදර ඉඳල. අරූ ගොයියත් හොඳට දන්නව ඒ මගෙ යාලුව. අරූගෙත් ක්ලාස් මේට් කෙනෙක් ඊලඟ අවුරුද්දෙ ඉඳල..හෙහ්,හෙහ්, 

ඉතිං ඔන්න ඔහොම අපෙ පවුලෙ අනික් අය ගියයි කියමුකො අනුරාජපුරේට. මම කෑගල්ලෙ නැවතුනා. ඔන්න ඔය කාලෙ තමයි යාල් දේවිත් එක්ක මගෙ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තෙ. කෑගල්ලෙ ඉඳල මාසෙකට සැරයක් විතර මම අනුරාධපුරේ අපෙ ගෙදර යනව. 

අපෙ ගෙදර අපිත් එක්ක හිටිය අම්මගෙ අයියෙක්. මගෙ මාම. බොහෝවිට ඒ මාම අනුරාධපුරේ ඉඳල උදේ කෝච්චියෙ එනව. ඇවිල්ල ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මාත් එක්ක පොල්ගහවෙලට ගිහිල්ල අනුරාධපුරේට කෝච්චියෙ යනව. ඒ වෙලාවට තියෙන්නෙ රජරට රැජිණ. ඒ දවස්වල හතර හමාරට වගෙ පොල්ගහවෙලට එන්නෙ. ආපහු ඉස්කෝලෙ යන්ට කෑගලු එද්දි මම එන්නෙ උත්තර දේවි කෝච්චියෙ. යාල්දේවි කියන්නෙ යාපනේ යන එක. යාපනේ ඉඳල බෑක් ටු කලම්බෝ එන්නෙ ඇවිල්ල උත්තර දේවි. 

ඔහොම පුරා වසරක් දුම්රිය ගමනාගමනය කලාය කියමුකො. ඉනික්බිත්තෙන් ජා.පො. අ.ස. සමත් වී අනතුරුව මම් තෙමේ කොළඹ ආවයි කියලත් කියමුකො වැඩිදුර අධ්‍යාපනය පිණිස. 

යාල් දේවි එක්ක යන්තමට වගෙ තිබ්බ පයිරු පාසානය බොහොම වැඩි දියුණු උනෙ ඊට පස්සෙදි.කෑගල්ලෙ ඉන්නකල් මාව ගෙදර එක්ක යන්ට එක්කො අප්පච්චි එක්කො අර මම කියාපු මාම ඔය කවුරුහරි අනිවාර්යයෙන්ම ආව. මම තනියම ගෙදර එන්නම්ය කිව්වට අම්ම ඒ අදහස එකහෙලාම ප්‍රතික්ෂේප කලා. 

" අනේ අම්මෙ..මට පුළුවනි…" 

" පිස්සු කතා කරනවද? ඔයා තවම පොඩි වැඩියි. ඔය කරවල වාඩි වලටත් ළමයි අරගෙන යනව කියල කියනව..එපා එපා..තනියම නම් එන්න එපා.." 

කතාව එක අතකින් ඇත්ත. ඒ වෙනකොට මගෙ වයස අවුරුදු දහතුනක්වත් නෑ. 

ඊලඟ අවුරුද්දෙ මම කොළඹ ආව. ඒ වෙනකොට අපෙ මාමටත් රස්සාවක් හම්බ වෙලා. ඒ නිසා එයාටත් බෑ මාව එක්ක යන්ට කොළඹ එන්ට. අප්පච්චිටත් වැඩ රාජකාරි නිසා ඒකට ඉස්පාසුවක් නෑ. අන්තිමට මගෙ බලවත් ඉල්ලීමත් සළකලා බලලා බොහොම අකමැත්තෙන් අම්ම අවසර දුන්න තනියම කෝච්චියෙ එන්ට.මම ඉස්සෙල්ලාම තනියම ගෙදර ගියේ 77 ජූලි මහ මැතිවරණයට. අපෙ ඉස්කෝලෙ ගණන් කීරිමේ මධ්‍යස්ථානයක් නිසා සතියක්ද කොහෙද නිවාඩු දුන්න. නිවාඩු දුන්න පහුවදාම උදේ කොටුව ස්ටේෂන් එකට ගිහිල්ල ලෝඩ් බකිංහැම් වගෙ පෝළිමේ ඉඳල ටිකට් එකකුත් අරගෙන යාල්දේවි කෝච්චියෙ මම ගෙදර ගියා. 

කොටුව - අනුරාධපුර තුන්වන පංතියෙ ටිකට් එක එතකොට රු. 8.50 යි. ආ...තව එකක් කියන්න ඕන..පොල්ගහවෙල - අනුරාධපුර ටිකක් එකේ ගාන රු. 5.50 යි. යාල්දේවි දුම්රියේ ගමන කියන්නෙ වෙනස්ම විදිහෙ අත්දැකීමක්. කෝච්චියෙ තුන්කාලකට වඩා ඉන්නෙ දෙමළ අය. මම ඉතින් පොඩි එකානෙ. අනිවාර්යයෙන් සීට් එකේ ටිකක් එහාට මෙහාට වෙලා මටත් ඉඩ පොඩ්ඩක් දෙනව. දෙමලෙන් මොනවද කියනව ඒ අතරෙ. දෙමළ තෙරුම් ගන්ට කතා කරන්ට බැරි කම ගැන ඉස්සෙල්ලාම මම දුක් උනේ ඔන්න ඔය යාල් දේවියෙ ගමන් කරන අතරෙ. 

මහව ස්ටේෂන් එක තියෙන්නෙ හරියටම ටවුම මැද. යාල්දේවි මහව ස්ටේෂන් එකේ නතර කරාම ඔන්න කෝච්චියෙ ඉන්න සෙනඟ බාගයක් දනි පනි ගාල පෙට්ටිවලින් පැනල රේල්පාර දිගේ ආතබූත නැතුව දුවනව. පලවෙනි දවසෙ මට මේක හරි ප්‍රශ්ණයක්. කටත් ඇරගෙන මම බලා හිටිය මෙවුං මේ දුවන්නෙ කොහෙද කියල.වැටවල් අස්සෙං රිංගල කාණු වලිං පැනල කට්ටියම පාර දිගේ දුවල ඔන්න නොපෙනී ගියා. දෙමලු වේට්ටි උස්සගෙන, සිංහලයො සරං උස්සගෙන බොගොම සමඟියෙං එකාට එකා උදව් කරගෙන එක සීරුවට දුවගෙන ගියා. මම කටත් ඇරගෙන බලා ඉන්නව දැකල මා ගාව හිටපු වයසක අංකල්ට හිනා ගියා. 

" ඔය කොහෙද දන්නවද කට්ටියම දිව්වෙ? ඔතන එහා පැත්තෙ තියෙනව තැබෑරුමක්. මෙතන කෝච්චිය හැමදාම විනාඩි පහළවක් වගෙ නවත්තනව යාපනෙං කොළඹ යන කෝච්චිය මාරු වෙන්ට. ඒ අතර මොනව හරි ටිකක් බීගන්ටනෙ ඔය මෙලෝ සිහියක් නැතුව දිව්වෙ..අම්මාපල්ල මෙහෙමත් මිනිස්සු…" 

අංකල් කෝච්චි පෙට්ටිය දෙකක් වෙන්ට හිනා උනා. මටත් ඒ වෙලාවෙ හිනා ගියා. 

ඒ වෙලාවෙ එහෙම හිනා උනාට වැඩිකල් නොයාම මමත් ඒ වැඩේම කලානෙ. ඒත් මගෙ ටෙක් එකේ යාලුවො දෙන්නෙක් එක්ක එයිං එකෙක්ගෙ ගෙදර යන ගමං . උගෙ ගෙදර කැබිතිගොල්ලෑවටත් එහා. අනුරාධපුරේ ඉඳල කැබිතිගොල්ලෑවට යන බස් එක මැදවච්චිය පෝස්ට් ඔෆිස් එක ගාව නතර කරනව මේල් ගන්ට. 

" මචං මෙතන කොහොමත් තව විනාඩි විස්සක් වගෙ බස් එක නතර කරල තියනව. යමං ඔතනම එහා පැත්තෙ බාර් එකකුත් තියනව. " 

අපි තුං දෙනා ඩබල් එකේ දිව්ව බාර් එකට. ආය මොනවද ආපහු බස් එකට නැග්ගෙ දොරෙන් නෙවෙයි පිටිපස්සෙ ජනේලෙ ඇරල.හෙහ්,හෙහ්, 

පස්සෙ මම ඔය අනුරාදපුරේ ටෙක්නිකල් එකට යද්දි අපෙ පන්තියෙ හිටපු එක යාලුවෙක්ගෙ ගම ඇවිල්ල මහව.. මම දවසක් උගෙං නිකමට වගෙ ඇහුව අර මහව ස්ටේෂන් එකේදි මිනිස්සු ඔරේ රන් එක දෙන සීන්ස් එක ගැන. ඌ හිනා උනෙ බඩ අල්ලගෙන. 

" අඩේ උඹත් දැක්කද ඒ සීන් එක?...හිනා වෙලා පණ යනව බං..මිනිස්සු මෙලෝ සිහියක් නැතුව දුවන හැටි දැක්කම. ජන වාර්ගික අර්බුද මොකවත් නෑ. දෙමළ, සිංහල එකට දුවන්නෙ..එකට බොන්නෙ. උඹ දන්නවද දවස් තුනකට සැරයක් යාපනෙං තල් අරක්කු ලොරියක් පුරවල ගේනව ඔය බාර් එකට. මම හිතන්නෙ වවුනියාවෙන් මෙහා තල් අරක්කු තියෙන්නෙ ඔතන විතරයි. " 

කොළඹ කොටුවෙන් පටන් ගත්තම කන්කසන්තුරේ වෙනකල් යාල්දේවි නවත්තන ස්ටේෂන් මට කට පාඩම්. ඇයි දෙයියෝ සාක්කි අවුරුදු ...ම්....ම්ම්ම්ම් ඉන්ටලා බලන්ට... අවුරුදු හතරක් වගෙ තිස්සෙ මාසෙකට දෙපාරක් විතර ස්ටේෂන් එකක් ගානෙ බාසා තුනෙන්ම කණට ඇහෙන කොට ඕක කට පාඩං නොවී තියද? 

අනුපිළිවෙලට මෙහෙමයි... 

" පළමුවන වේදිකාවේ නවතා ඇති යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු හතයි තිහට කන්කසන්තුරේ බලා පිටත්වේ. එම දුම් රිය නවත්වන්නේ රාගම, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව,ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර, මැදවච්චිය, වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන්, පලෙයි, කොඩිකාමම්, චාවකච්චේරි, නාවක්කුලි, යාපනය, කොන්ඩාවිල්, චුන්නාකම් සහ කන්කසන්තුරේ. " 

යුද්දෙ හින්ද නතරවෙලා තිබ්බ යාපනය -කොළඹ අතර දුම් රිය ධාවනය පහුගිය ඔක්තෝබර් 13 වෙනිදා ආයම පටන් ගත්ත. යාල් දේවී අවුරුදු 24 කට පස්සෙ ආයෙම යාල්පානම් ගියා.මේ ආණ්ඩුව යුද්දෙ අවසන් කරල ගතවෙච්චි පහුගිය අවුරුදු 5 ඇතුළත උතුරෙන් දකුණට පාළමක් හදන්නට කරපු සාර්ථකම කර්තව්‍යය මේකය කියලයි මගේ වැටහීම සහ විශ්වාසය. 

යාල්දේවිය ධාවනය නොවීම හේතුකොටගෙන සාමාන්‍ය දෙමළ ජනයාට විඳිනට වූ කරදර සහ හිරිහැර පිළිබඳව මම දෙසවන් පිරීයන තුරු යාපනය අර්ධද්වීපයෙහි වෙසෙන දෙමළ මිතුරන් වෙතින් අසා ඇත්තෙමි.එබැවින් යාල්දේවිය යලි ධාවනය ඇරඹීම ජන වාර්ගික සහජීවනය සහ දිවයිනෙහි අභිවෘද්ධිය උදෙසා ගනු ලැබූ එක සාධනීය පියවරක් ලෙස මම දකින්නෙමි.

යාල්දේවිය පිළිබඳ පසු කතාවක්......... 

කැරළි කෝලාහල නිසා යාල් දේවී දුම්රිය ගමන නවතා දැමූ යුගයක් විය. මා කියන්නේ මහා යුද්දෙට පෙර 83 කලබල වලින් පසු යුගයක් ගැනය. කාලෙකට පසු යාල් දේවිය නැවත ගමන් ඇරඹුනි. එහි පළමු ගමන බලන්නට බොහෝ දෙනා අනුරපුර දුම්රියපොලට රොක්විය. අනුරපුරේසිටි දමිළ නෑදෑයින් අනුරපුරින් ගිනි තබා එළවා ගැනුනේ හැමෝගෙම උවමණාවට නොවේ. අතලොස්සක් වූ නරුමයින්ගේ උවමනාවටය. යාල් දේවියේ සද්දය නොමැතිව පිරිසකට නින්ද නොගියහ. තවත් පිරිසක් වෙලාවට අවදි නොවුනහ. ඒ තරමටම එය ජනදිවියට සමීපය. මේ නැවත ආගමනය දකින්නට ගියවුන් අතර මහින්ද චන්ද්‍රසේකරද විය. 

දුම්රිය පැමිණියේය. මහින්ද චන්ද්‍රසේකර අභිමුව නැවතුන මැදිරියේ කවුළුවෙන් යුවතියක් පිටත බලා සිටී. ඇය අනුරපුරින් එළවා ගත් කිසියම් යුවතියකගේ රුවට සමිප දැයි මහින්දයෝ කල්පනා කළහ. ඈ මුහුණේ කිසියම් අමනාප බැල්මක් වෙතැයි ඔහුට සිතුනි. අමනාප වන්නට හේතු ඕනෑවටත් වඩා තිබුණි. 

එහෙත් තමන් ඒ අමනාප බැල්මට ලක් නොවියයුතු බවය ඔහුගේ හිත කීවේ. වරක් ඈ නෙත් ඔහු නෙත් හා ගැටුණි. ඔහු සිනාසුනි. ඈ සිනා නොවී අහක බැලීය. සිනාසුණු විට යුවතියක් අහක බැලීනම් ඉන් ඇසෙහි කඳුළක් ජනිතවීමට තරම් මේමහින්දයෝ බොළඳයෙකු නොවිණි. එහෙත් ඔහු නෙතු කඳුළක් නැගුණි. ඒ අන්කිසිවක් නිසා නොවේ. සිහිනයෙන්වත් ඒ ගින්නට තමන් පිදුරු නොදැමූ කෙනෙකු බව ඇය නොදන්නා බව ඔහුට දැනුණු බැවිණි. ඒ නිසා ඔහු එම කඳුළු කැට තීන්තෙන් මෙලෙස ලියා තබන ලදි. 

උතුරින් එන දුම්රියෙ දේවී 
කවුළුව ළඟට වෙලා 
නොරවන් මට දේවී නැත මා 
කිසි වරදක් කරලා 

මාල තෝඩු තාලි සිලම්බු 
අමනාපෙන් අහක බලන්නේ 
ඔය නෝක්කඩු බැළුම් අගින් 
සෙනෙහසදෝ හඩා වැටෙන්නේ 

ගම හැර දි නුඹ ගියදා 
කෝවිල් යන හිත වැලපෙන්නේ 
අපි දෙවියන් සමගයි තව ඉන්නේ 
සිනා සිසී නුඹ බිමට බහින්නේ...... 


පද : මහින්ද චන්ද්‍රසේකර 
ස්වර : ගුණදාස කපුගේ 
හඬ : කරුණාරත්න දිවුල්ගනේ 


උතුරින් එන දුම්රියෙ දේවී .........

Wednesday, October 15, 2014

285. ඕ තොමෝ අම්බපාලි නම් වූවාය.


රත්නපුරේ බට්ටිගේ වැඩේ හින්ද මේ දවස්වල අම්බපාලිල ගැන එහෙම ගජරාමෙට කතාවෙනවනෙ. මම කාලෙකට ඉස්සෙල්ල අම්බපාලි ගැන ලියපු පොඩි කතාවක් මතක් උනා ඔන්න ඒ අස්සෙ...අම්බපාලි කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු නගර ශෝභිණියක්. නගර ශෝභිණියන් කිව්වෙ ඒ කාලෙ උසස් ගණයේ ගණිකාවන්ට, 

මේ දවස්වල අධික කාර්ය බහුලත්වය හින්ද අලුතෙන් කතන්දරයක් ලියන්ට නෑ ඉස්පාසුවක්..ඒ හින්ද මම කල්පනා කලා අර කියාපු කතාව පබිලිස් කලානම් මක් වෙනවද කියල.... මේකත් මේ පොඩි කුමාරිහාමි අම්බපාලි ගැන ලියපු වියුණු සටහනකට ටීකාවක් නැත්නම් කමෙන්ට් එකක් විදිහට ලියාපු එකක්. 

කතාවට කලින් අම්බපාලි ගැන පොඩි විස්තරයක් මේ.... 

භික්‍ෂු - භික්‍ෂුණී ,උපාසක - උපාසිකා යන සිව්වනක් පිරිස ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නිවන් සුව අවබෝධ කරගත්හ. යමෙක් ගිහි ව සිටියදී සෝවාන් ආදී මාර්ග ඵලයකට පත් වූ කල්හි පැවිදිව විදසුන් වැඩීම බොහෝ සෙයින් සිදුවන්නකි. ස්තී‍්‍ර - පුරුෂ දෙපක්ෂයටම ප‍්‍රවෘජ්‍යාව ලබා ගැනීමට හැකිවීම නිසා පුරුෂයන් මෙන්ම ස්තී‍්‍රන් ද බුදුහිමියන් කරා පැමිණ පැවිදිව මාර්ගඵලාවබෝධ කොට ගත්හ.කුල, ස්තී‍්‍රන් පමණක් නොව වෙසඟනන්ද බුදුන් වහන්සේ වෙත පැමිණ පැවිදි ව රහත් වූ බව සූත‍්‍රගත තොරතුරු වලින් හෙළි වේ. ඇය වනාහි “අම්බපාලි තෙරණිය” යි ථෙරීගාථා පාළියේ වීසති නිපාතයේ මේ පිළිබඳ සඳහන් වේ. ඇය පැවසූ වදන් සිහිපත් කිරීමට පෙර ඇගේ චරිත කථාව දැක්වීම කාලෝචිත යැයි හැඟේ. 

අම්බපාලි තෙරණිය වශයෙන් ප‍්‍රසිද්ධ වූ මෙම තෙරණිය ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප‍්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්‍ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. 

ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප‍්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතික ව උපන්නා ය. 

ඇය රූමත් නිසා ඇය ලබාගැනීමට රජකුමාරවරුන් යුද කිරීමට සූදානම් වූ හෙයින් විනිසුරුවරු ඇය නගර සෝභිනී තනතුරෙහි පිහිටුවා සටන විසඳූහ. ශ‍්‍රද්ධාවන්තියක වූ ඇය, උයනේ විහාරයක් ද කරවා බුදුහිමියන්ට පිදුවාය. තමාගේ පුතකු වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා පැවිදි ව විදසුන් වඩා රහත් වූවාය. 


විශාලාවට ඉහල අහසේ පෑයූ ඇසළ  සඳ, තවත් සහසක් සී මැදුරු කවුලු තුලින් මෙන්ම මේ කවුලුව තුලින් ද සිය සිසිල් සඳරැස් විහිදුවා ලීය. 

කොහේදෝ සිට පාව ආ වළාවකින් සඳ වැසී විශාලාව මොහොතකට දැඩි අඳුරක ගිලී ගියේය.නිමේශයකින් නැවත සඳ රැස් ගලා විත් මුලු ලොව සේම මේ කුටියද ආලෝකමත් විය. 

ඒ ආලෝකයෙන් නැහැවුනු කුටිය මධ්‍යයේ වූයේ සුවපහසු සයනයෙකි. එහි වැතිරී ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ රූමත් කාන්තාවකි.සත්‍ය වශයෙන්ම ඇගේ වයස වසර හතළිහකට ආසන්න වූ නමුදු පෙනුමෙන් ඕ වසර තිහකට ද ලාබාල වූවාය. 

ඇගේ වෘත්තිය අනුව එසේ රූප ලාවණ්‍යයෙන් අගතැන් පත් විම අත්‍යාවශ්‍ය වූවකි. ඒ කෙසේද යත් ඕ වනාහී විශාලාවෙහි නගර ශෝභිනිය වූ වාය. මුළු මහත් දඹදිව් තලයෙහිම අගතැන් පත් රූප සුන්දරිය වූවාය. නමින් අම්බපාලිය වූවාය. 

වැඩිවිය පැමිණි දා සිටම පිරිමින් පිනවීම තම එකම කාර්ය භාරය කරගත් ඇගේ පහස සොයා පැමිණියන් අතර අභාවප්‍රාප්ත බිම්සර මහ රජතුමා මෙන්ම ඔහු පුත් විශාලාවෙහි වර්තමාන රාජ්‍යත්වය උසුලන අජාසත් ද විය.මතක ඇති කාලයක සිට සියලු සැප සම්පතින් අනූන දිවියක් ගත කල ද සියලු රූ සිරින් අගතැන් පත් වුව ද ඇය කලක සිට ගෙවූයේ බෙහෙවින් අතෘප්තිකර දිවියකි. 

කුමක්දෝ හරිහැටි වටහාගත නොහෙන අඩුවක් තම ජීවිතය සමඟ බද්ධ වී ඇතැයි හැඟුන ද ඒ කුමක්දැයි වටහාගැනීමෙහිලා ඕ අපොහොසත් වූවාය. 

ඒ අවිනිශ්චිතභාවය පැවතියේ පසුගිය පොහෝදින තෙක් පමණි. 

එදින කිසිවෙකුටත් හඳුනාගත නොහැකි සේ වෙස් වලාගෙන, මතක ඇතිදා සිටම සේවිකාව, යෙහෙළිය, අනුශාසිකාව වූ පුණ්ණා ද සමඟ විශාලාවේ මහ වීදියෙහි සරන ඇගේ නෙත පැහැර ගත්තේ වැල නොකැඩී සුදු වතින් සැරසී එකම දිශාවකට සන්සුන් ගමනින් පිය නඟන දහස් සංඛ්‍යාත ජන ගඟ දෙසටය. 

පුණ්ණා ද මේ දර්ශනයෙන් කුතුහලයට පත්වී ඇති බව අසලින් ගමන් ගන්නකු බණවා ඈ සෙමින් ඇසූ පැණයෙන් ස්ථිර විය. 

" පින්වත, සුදු වතින් සැරසී ඔබ සැම මේ පා නඟන්නේ කොයිබටද? '' 

ගමන අඩාල නොකොටම ඈ දෙස හැරී බැලූ අමුත්තා පිළිවදන් දුන්නේ දෙබැම ද ඉහලට නඟා ගනිමිනි. 

'' නැඟනිය තොප මේ විශාලාවෙහි නම් විය නොහැක. ඇයි නොදන්නෙහිද?....බුදුන් වහන්සේ සතියකට පෙර විශාලාවට වැඩම කල බව. එතුමෝ පිටි නුවර අඹ වනයෙහි තැනූ විහාරාරාමයක වැඩ සිටිමින් සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතල කරුණා පෙරදැරිවැ සද්ධර්මයක් දේශනා කරති. අප මේ උදක්ම පිය මනිනුයේ ඒ සද්ධර්ම ශ්‍රවණය උදෙසාමය.'' 

පියවර කිහිපයක් පසුපසට වී පාලි හා එකතුවූ පුණ්ණා ඇගේ කණට කෙඳිරීය. 

'' ස්වාමීනී අප ද සද්ධර්මය ශ්‍රවණය කිරීමට යමු ද? '' 

'' මම ද එසේ සිතුවා පමණයි පුණ්ණා...බුදුන් වහන්සේ ගැන මම පසුගිය දිනෙක මා වෙත පැමිණි වෙළඳ නායකයකුගෙන් තොරතුරු දැන ගතිමි.එතුමෝ ඉතා මධුර ධර්මයක් දේශනා කරන බවය මට දැන ගන්නට ලැබුණේ,'' 

ආරාමයේ ඉදිරිපස සුවිසල් අඹ තුරක සෙවනේ පනවන ලඳ අසුනක වැඩ සිටි බුදුන් වහන්සේ පාලිට සහ පුණ්ණාට දර්ශනය වූයේ යන්තමිනි. සෙනඟ අතරින් ඉදිරියට යමු යයි පුණ්ණා ඇවිටිලි කල ද කිසිවෙකු තමන් හඳුනා ගනිතැයි බියෙන් පාලි ඒ ප්‍රතික්ෂේප කලාය. 

ඔවුන් කොපමණ දුරින් සිටියද විශ්මයකට මෙන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීම ඇරඹූ පසු පාලීයට දැනුනේ එතුමෝ තමන් අරභයා ධර්මය දේශනා කරන බවෙකි. පුණ්ණාට හැඟුනේ බුදුන් වහන්සේ තමන් වෙනුවෙන්ම ධර්මය දේශනා කරන බවෙකි. එදින එහි රැස්ව හුන් සහස් සංඛ්‍යාත වී මිනිස් රාශියෙහි සියල්ලන්ටම හැඟුනේ බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කරනුයේ පෞද්ගලිකව තමන්ටම ලෙසය. 

එදින ධර්ම දේශනය අවසන් වනතුරු පාලිය සිටියේ එකට බැඳ ගත් දෑත ළය මත තබාගෙන බුදුන් වහන්සේගේ අසිරිමත් වත මඬල දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටිමිනි. 

ධර්ම දේශනය අවසන්ව නිවෙස් කරායන ජන සමූහය හා එක්ව පාලී ආපසු මැඳුරට පැමිණියේ සිහිනයෙන් ඇවිදින්නියක මෙනි. ස්වාමී දියණියට බාධා නොකල යුතු බව තම දීර්ඝ කාලීන පළපුරුද්දෙන් වටහාගත් පුණ්ණා ද මුවින් නොබැණ ඈ හා පැමිණියේ පියවර කීපයක් පසුපසිනි. 

මන්දිරයට පැමිණ සුව පහසු ආසනයක වැතිර ගත් පාලීගේ දෙපා අසල හිඳගත් පුණ්ණා උණුසුම් ජලයෙන් තෙමාගත් රෙදිකඩකින් ඇගේ දෙපා සම්බාහනය ඇරඹුවාය. 

'' ඔය සම්බාහනයෙන් කමෙක් නෑ. පුණ්ණා එන්න මෙතනට මා අසලට මට ඔබත් සමඟ බොහෝ වැදගත් කරුණක් පිලිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යයයි නොපමාව....'' 

තම ආසනය දක්වමින් පාලී නොඉවසිල්ලෙන් පැවසුවාය. 

උණුසුම් ජල බඳුන පසෙකට කල පුණ්ණා ස්වාමි දියණිය අසල අසුන් ගත්තේ ආසනයේ කෙලවර යන්තමිනි. 

'' ස්වාමීනී?......'' 

පාලිය දෙසට හැරුනු පුණ්ණා විමසුවේ ප්‍රශ්නාර්ථයක් රැඳුනු ස්වරයකිනි. 

'' පුණ්ණා..මම ඔබට මීට පෙරත් කීප වරක් පවසා සිටියා ඔබට මතක ඇති මගේ ජීවිතයේ කුමක්දෝ අතෘප්තිකර ස්වභාවයක්, නොසන්සුන් ගතියක් මම අත්විඳිමින් සිටින බව, '' 

'' එහෙමයි මට මතකයි.....'' 

'' අද තමයි මා හිතවත් පුණ්ණා...මම ඒ අතෘප්තිකර ස්වභාවය කිමෙක්ද යන්න නිවැරදිව හඳුනා ගත්තේ...එපමණක් නොව ඒ අතෘප්තිකර ස්වභාවයට කලයුතු ප්‍රතිකර්මය කුමක් ද යන්නත් මට අද ම කිසිදු සැකයෙකින් තොරව පසක් උනා පුණ්ණා.....මගේ හිත කියා නිම කල නොහැකි සතුටකින් පිරී ඉතිරිලා ගොසින් පුණ්ණා..... '' 

පාලී පැවසූයේ මුව පුරා සිනා සෙමිනි. 

පාලිය වෙත නැඹුරු වූ පුණ්ණා ඇගේ දෑත තරව ගෙන දෙනෙත වෙත එක එල්ලේ යොමු කොට ගත් බැල්මෙන් යුතුව සිනාසුනාය. 

" මාගේ ස්වාමීනී...ඔබ තුමියගේ සිතට යම් සතුටක් එලඹියේ නම් ඒ මගේ සිතට ද මහත්ම සතුටක් බව උදක්ම පැවසිය යුත්තක් නොවන බව මට සහතිකය.'' 

'' ඒ ගැන මට සැකයෙක් කොහෙත්ම නෑ මගේ දයාබර පුණ්ණා....මගේ ජීවිතය ඉදිරියට ගෙවිය යුතු අන්දම අද මම හොඳින්ම වටහා ගත්තා ගෞතම බුදුන් වහන්සේගේ දේශනයෙන්....සිත නිවා ගන්නා අන්දම උන්වහන්සේ මොනවට පැහැදිලි කලා පුණ්ණා....ඒ පමණයි සිත දමනය කිරීමේ ඒකායන මාර්ගය. '' 

එදින සිටම බුදුන් වහන්සේ කෙරෙහි ඇතිකොටගත් මහත් බැතියෙන් ඔදවැඩුනු පාලිය මේ පසුගිය සතිය ගත කලේ කිසි දිනක අත් නොවිඳි නිරාමිස ප්‍රීතියකිනි. 

ඇගේ දැහැන එක්වරම බිඳීගියේ කුටියෙහි ද්වාරයට තට්ටු කරමින් එහි ඇතුලුවූ පුණ්ණා කරණ කොටගෙනය. 

'' ස්වාමීනී,ප්‍රධාන සිටුතුමා ඔබතුමිය හමුවීමට පැමිණ සිටිනවා. '' 

'' මට බැහැ පුණ්ණා...කියන්න මම අසනීපෙන්ය කියා, '' 

'' එතුමා පසුගිය දින දෙකේමත් පැමිණියා...ඒ සැම දිනකම මම පැවසුවේ ඔබතුමිය අසනීපෙන්ය කියා...අදත් එසේ පැවසුවහොත් එතුමා කෝප වියහැකියි '' 

පුණ්ණා පැවසුවේ මන්ද ස්වරයෙනි. 

'' කමෙක් නැහැ පුණ්ණා....එතුමාගේ කෝපය මම පයට යටිපහු වන දුහිවිලි බිඳක් තරමට හෝ සළකන්නේ නැහැ..මින්පසු සිටුතුමා නොව මහරජතුමා පැමිණිය ද මගේ පිළිතුර එයයි.'' 

'' එහෙත් ස්වාමීනී, ඔබ තවමත් නිල වශයෙන් නගර ශෝභිනිය. එසේ සිටුතුමා ප්‍රතික්ෂේප කිරීම ඔබට අනතුරුදායක වන බවක් සිතෙන්නේ නැද්ද? '' 

'' ඔවුන් මට මොනවා කරන්නද පුණ්ණා...උපරිම වශයෙන් මගේ හිස ගසා දමාවි. මේ ගෙවන නිසරු ජීවිතයට වඩා ඒ දාහෙන් සම්පතකි.යන්න ගොස් සිටුතුමාට මා හමුවිය නොහැකි බව පවසා ආපසු එන්න. මට ඔබ හා සාකච්ඡාකිරීමට ඉතාම වැදගත් කරුණක් ඇත.'' 

'' එහෙමයි ඔබගේ කැමැත්ත එසේනම් මම ඒ ඉටු කරන්නම්, '' 

පුණ්ණා පිටව ගිය පසු නැවත ඇය කල්පනාවේ නිමග්න වූවාය. 

මඳ වේලාවකට පසු ආපසු පැමිණි පුණ්ණා ඇගේ සයනය අසලම වූ මිටි අසුනකට බර දුන්නාය. 

'' සිටු තුමා කුමක්ද පැවසූයේ? ඔහු කෝප වූවාද? '' ඈ ඇසුවේ මුවට නැඟුනු මද සිනහවක්ද සහිතවය. 

'' කිසිවක්ම පැවසුවේ නැහැ. එහෙත් පිටව ගියේ කෝපයෙන් තමා. මොනවාදෝ තොල මතුරමින් පිටව ගිය අන්දමින් ඒ බව මට නිසැකවම හැඟීගියා. '' 

'' ඒ කතාව ඇති. ඔවුන් කිසිවකුගේ කෝපයෙන් වත් සන්තුෂ්ඨියෙන්වත් මට මින්පසු කිසිම වැදගැම්මක් නැහැ. මින් පසු මට වැදගත් වන්නේ මගේ සිත දමනය සහ මගේ සිතේ සහනය පමණි.'' 

'' ඔබතුමිය මා හා වැදගත් කරුණක් සාකච්ඡා කිරීමට ඇතැයි පැවසූයේ? '' 

'' ආ, හරි, පුණ්ණා මට අවශ්‍යයයි බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමට. '' 

'' ස්වාමීනී?.....'' 

පුණ්ණා විශ්මයට පත් වූ ස්වරකින් විමසූයේ වහා පාලීගේ වත දෙස ඉඳුරාම නෙත් යොමු කරමිණි. 

'' ඔව් මා හිතවත් පුණ්ණා කියන්න ඔබ නොකියූ දේ?....ස්වාමීනී ඔබ නගර ශෝභිනිය...එසේ වූ කල කෙසේද ඔබ බුදුන් වහන්සේට දානයක් පිළිගන්වන්නේ?....හැරත් එවන් උතුමකු රජුන්, දෙවියන් බඹුන් ගෙන් පවා වැඳුම් ලබන එවන් උතුමකු ඔබෙන් දානයක් පිළිගනීවියයි ඔබ සිතනවාද?....කියන්න පුණ්ණා ඔබේ සිතේ හටගත්තේ මෙවන් සිතුවිලි නොවේද?...'' 

පාලී ඇසුවේ සිනාසෙමින් සැහැල්ලු කෙලිලොල් ස්වරයකිනි. 

පුණ්ණා බිමට හැරවූ නෙතින් යුතුව මුවින් නොබැන පසුවනු දුටු පාලී සයනයෙන් නැඟී සිට පුණ්ණා අසලින්ම අසුන්ගෙන තම දීර්ඝකාලීන මිතුරිය හිතවතිය වැළඳ ගත්තාය. 

'' පුණ්ණා, පුණ්ණා, ඔබ මා හා අමනාප වූවාද?....මගේ පුණ්ණා? '' 

'' නැත ස්වාමීනී, මා නිහඬ වූයේ ඔබ පැවසූයේ පරම සත්‍යය බැවිනි.'' 

'' හරි එසේනම් මාගේ අභිලාෂය පිලිබඳව ඔබේ අදහස? '' 

'' ස්වාමීනී...ඔබේ අදහස ඉෂ්ඨ වූවා නැතා ඒ අදහස මස්තක ප්‍රාප්ත කොට ගැනීමට මම මාගේ උපරිම උත්සාහය දිවි දෙවෙනි කොට යොදන්නට සපථ කරෙන්නෙමි.'' 

'' ඔබට ස්තූතියි මාගේ හිතවතිය එසේනම් අපි දැන්ම යමු බුදුන් වහන්සේ වැඩ වසන ආරාමය කරා..... ඔබ සූදානම්ද? '' 

'' එසේය මාගේ ස්වාමීනී....මා සූදානම්...'' 

රාත්‍රී අඳුර දුරු කොට  සඳ මඬල විශාලා නුවර ඒකාලෝක කල ඒ රාත්‍රියෙහි මඟට පිළිපන් පාලී සහ පුණ්ණා නොබෝ වේලාවකින් බුදුන් වහන්සේ වැඩ වසන අඹ වනයහි පිහිටි අරම කරා ළඟා වූවෝය. 

සඳ රැස් ගලා විත් මුලු අඹ වනයම ඒකාලෝක කල ඒ රාත්‍රියෙහි පාලී සහ පුණ්ණා ඒ මේ අත සක්මන් කලේ සතර අත හමා එන මඳ සුලඟ විනා කිසිදු මිනිස් ප්‍රාණියකු ඔවුනට මුණ නොගැසුණු නිසාවෙනි. 

අවසන අඹ වනයේ ඈත කෙළවරක සක්මන භාවනාවෙක යෙදී සිටි භික්ෂූන් වහන්සේ නමක ඇස ගැටුණු ඔවුහු එතුමා වෙත ආසන්නව පසඟ පිහිටුවා වැඳ වැටුණහ. 

'' නැඟී සිටින්න, නැඟනියනි, ඔබ සුවපත් වේවා, ඔබ මෙහි පැමිණියේ යම් අවශ්‍යතාවයක් උදෙසා නම් නොවලහා ඒ පවසන්න...'' 

'' එසේය ස්වාමීනි, බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමෙහි මාගේ බලවත් රුචියෙක් ඇත. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවෙක් ලබා ගනු රිසියෙන් මෙහි පැමිණියෙමි....'' 

නැඟී සිට එකත්පස්ව සිටි පාලි පැවසුවාය. 

'' මොහොතක් රැඳී සිටින්න, මම ආනන්ද තෙරණුවන්හට මේ බව සැලකොට සිටින්නෙම්.එතුමා ඔබ හමුවීමට මෙහි නොපමාව එනු ඇති. මඳක් රැඳී සිටිනු මැන.'' 

තෙරණුවන් සන්සුන් පියවරින් නික්ම ගිය පසු ඒ අසලම වූ ගලින් කල අසුනකට බර දුන් පාලී අවට සිරි නැරඹූයේ මහත් සේ උද්දාමයට පත් වූ සිතකිනි. 

'' බලන්න පුණ්ණා...මේ අරමෙහි පවතින ශාන්ත ස්වභාවය...අහා...කෙතරම් සිත නිවී සැනසෙන සුළුද? මට මගේ මුළු ජීවිත කාලයම මෙහි ගත කිරීමට ඇත්නම් ඊට වඩා වෙනත් යමක් මම ජීවිතයෙන් කොහෙත්ම බලාපොරොත්තු නොවෙමි.'' 

ඔවුන් කරා එලඹෙන භික්ෂුවක දුටු පාලි නැඟීසිටියාය. '' මේ ආනන්ද තෙරණුවන් විය යුතුයි '' ඇය පුණ්ණා වෙත හැරී සෙමෙන් පැවසුවාය. 

'' මේ පින්වතිය ද බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමේ අපේක්ෂාවෙන් පසුවනුයේ?...'' 

ඔවුන් අසලට ළඟාවූ ආනන්ද තෙරණුවෝ විමසූහ. 

'' එහෙමයි.....'' 

'' මේ පින්වතිය කවුද කියා කරුණාකර පවසනු මැන'' 

" මම අම්බපාලි '' 

පාලි සිහින් හඬින් පැවසූයේ පහලට හරවාගත් දෙනෙතිනි. තම නම පැවසීමට මෙතරම් විළිබර වූ දිනයෙක් ඇගේ මතකයට කෙසේවත් නඟා ගත නොහැකි වූ බැවින් ඇගේ වත රත්පැහැ ගැන්වුනේ නිතැනිණි. 

දෙනෙත් පහතට හරවාගෙන උන් බැවින් ආනන්ද තෙරණුවන්ගේ මුහුණෙහි වූ වෙනස ඈ නොදුටුවාය. 

'' මේ දිනවල දානයට නොයෙක් ගෘහපතීන්ගෙන ආරාධනා ලැබී ඇති බව සත්‍යයක්..එහෙත්....මඳක් පමා වන්න...මම බුදුන් වහන්සේ විමසා ඔබට ස්ථිර පිළිතුරක් ලබා දෙන්නම් නොපමාව.'' 

'' පුණ්ණා අපට සතුටුදායක පිළිතුරක් ලැබේවි කියා ඔබ සිතනවාද? '' 

පිටුපා යන ආනන්ද තෙරුන් දෙස මඳ වේලාවක් බලා සිටි පාලි පුණ්ණා දෙසට හැරී විමසුවාය. 

'' සමාවෙන්න....ස්වාමීනී...මම එසේ නොසිතමි....'' 

පුණ්ණා පැවසූයේ ගල් අසුනට බර දෙමිනි. 

" මම ද එසේ නොසිතමි...'' 

පාලී ද පුණ්ණා අසලම අසුන් ගත්තාය. 

සමාපත්ති සුවයෙන් බොහෝ වෙලාවක් ගත කල බුදුන් වහන්සේ දෑස් විවර කළහ. ආනන්ද තෙරණුවන් තමා ඉදිරියේ සිටිනු දුටු එතුමෝ මඳ සිනහවක් නඟමින් ආනන්ද තෙරණුවන් ඇමතුවෝය. 

'' කිමෙක්ද ආනන්ද? '' 

'' ස්වාමීනී, ඔබ වහන්සේට දානයකට ආරාධනා කිරීමට කාන්තාවක් පැමිණ සිටී.'' 

'' එසේනම් ඈ මෙහි කැඳවන්න ආනන්ද, '' 

'' එහෙත් ....ස්වාමීනී...'' 

'' ඔව් කියන්න ආනන්ද....ඔබට යම් ගැටළුවක්ද?....නොවලහා පවසන්න.'' 

" එසේය ස්වාමීනී.. ඒ කාන්තාව අම්බපාලියයි. '' 

'' ඉතින් ආනන්ද ගැටළුව කුමක්ද? '' 

'' ස්වාමීනී..ඇය වනාහී විශාලා නුවර නගර ශෝභිනියයි '' 

'' ආනන්ද ඒ ගැටළුවක් වන්නේ කෙසේදැයි මට නොවැටහේ...මට එහි කිසිදු ගැටළුවෙක් ඇත්තෙන්ම නැත. ඔබ ද ඒ ගැටළුවක් කර නොගන්න. '' 

'' එහෙත් ස්වාමීනී........'' 

'' ආනන්ද...මගේ ධර්මය අග රජ තුමාගේ දේවියට මෙන්ම නගර ශෝභිනියට ද එක සේ අදාලය.අග සිටු තුමාගේ දියණියට මෙන්ම වසුරු කද කරින් ගත් චණ්ඩාලයාගේ බිරිඳට ද එකසේ අදාලය.මා ඉදිරියේ, මගේ ධර්මය ඉදිරියේ කිසිම මිනිසකු හෝ ගැහැණියක අනෙකෙකුට වඩා උසස් නොවන්නා සේම පහත් ද නොවේ.ඔබ මේ පිළිබඳව පැහැදිළිව අවබෝධයකින් පසුවෙතැයි මම මෙතෙක් සිතා සිටියෙමි. '' 

'' එහෙමයි ස්වාමීනී...එහෙත් අම්බපාලියගේ දානය ඔබ වහන්සේ පිළිගත්තාය යනුවෙන් නුවර පුරා ප්‍රචාරය වූවාට පසු මහ ධන සිටුවරුන් සහ වෙළෙඳුන්ගෙන් ලැබෙන අනුග්‍රහය අඩු විය හැකියි. '' 

'' ආනන්ද...මට හෝ මගේ ධර්මයට හෝ ධනවතුන්ගේ අනුග්‍රහයක් හෝ රාජ්‍ය අනුග්‍රහයක් කිසිසේත්ම අවශ්‍ය නොවේ.එවන් බාහිර අනුග්‍රහයන් ගෙන් තොරව දෙපයින් ස්වාධීනව නැඟී සිටීමේ ශක්තියක් මාගේ ධර්මයට ඇති බව මම නිසැකවම දනිමි. එසේම එවන් අනුග්‍රහයකින් තොරම පැවතිය නොහැකි තත්වයක් උදා වූ දිනෙක මාගේ ධර්මයද අභාවයට යනු ඇති. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි කියා මා දෙසූ බව ඔබට අමතකද? නිසැකවම මාගේ ධර්මය ද එයට අයත්ය. එබැවින් කණගාටු නොවන්න.වහා ගොස් අම්බපාලිය මෙහි කැඳවන්න. '' 

බුදුන් වහන්සේ අභිමුවට එලඹි අම්බපාලි පසඟ පිහිටුවා වැඳ වැටුණාය. 

'' සුවපත් වේවා නැඟනිය නැඟී සිටින්න. '' 

'' ස්වාමීනී මම ඔබ වහන්සේට දානයක් පිළිගන්වනු කැමැත්තෙමි. '' 

'' ඔබගේ කැමැත්ත ඉටු වේවා නැඟනිය. හෙට දහවල් දානය සඳහා මම ඔබ මැඳුර කරා පැමිණෙන්නෙමි.'' 

'' ඔබ මා මැදුර කරා පැමිණෙනවා?....ස්වාමීනී එසේ අවශ්‍ය නොවේ. මම දානය පිළියෙල කොට මෙහි රැගෙන එන්නෙමි '' 

'' නැත නැඟනිය කිසිදු ගැටළුවෙක් කිසිසේත්ම නැත. මම හෙට ඔබේ මැඳුරට පැමිණෙන්නෙමි.'' 

'' ඒ මට මහත් ප්‍රීතියක් ස්වාමීනී, මම ජීවිතය කෙරේ බොහෝ සේ කලකිරී සිටින්නෙමි.මා සිතට වසර ගණනකට පසු යම් සහනයක් ලැබුණේ පසුගිය දා ඔබ වහන්සේගේ ධර්ම දේශනයට සවන් දුන් පසුවය.'' 

'' සිතෙහි සහනය ලඟා කර ගැනීම හෝ සිත අසහනයේම පවත්වා ගැනීම හුදෙක් පවත්නේ ඔබ අතේමයි නැඟනියනි, එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි. මට කලහැකි එකම කාර්යය මාර්ගය පෙන්වීම පමණකි. එම මාර්ගයේ ගමන් කොට සහනය සහ විමුක්තිය ළඟා කරගන්නවාද නැතහොත් සුපුරුදු පරිදි ජීවිතය අසහනයෙන් ගත කරනවාද යන්න ඔබම තීරණය කරන්න.'' 

'' එහෙමයි ස්වාමීනී....'' 

'' නැඟනිය ජීවිතය වනාහී උපතේ සිට මරණය දක්වාම නොනවතින දුක් සම්භාරයකි.ආශාවන් පසුපස නොනැවත දිව යාමෙන් අප තව තවත් ඒ දුකෙහිම ගැලෙනවා විනා ඉන් මිදීමක් නොවන්නේය.මෙතෙක් දුර ඔබ නොනැවත දිව ආ ජීවිතයට මොහොතකට සමු දෙන්න. නැවතී නැවත ආ මඟ දෙස ආපසු බලන්න, ඔබ පැමිණි මඟ දෙස ආපසු බලන්න. ඔබ කඳු මුදුනකට පැමිණ ඇත.කඳු මුදුනේ මඳක් ගිම් නිවාගෙන පැමිණි මඟ දෙස ආපසු බලා ඔබම තීරණයකට එලඹෙන්න ඉදිරියේ මවිසින් කුමක් කළ යුතුද කියා. තීරණය ඔබ අතේ. ජීවිතය ඔබේ සේම ජීවිතයට සහනය ළඟා කරගන්නේ කෙසේ ද යන තීරණය ද ඔබ සතුයි. '' 

'' සාදු ...සාදු...ස්වාමීනී, ඔබ වහන්සේගේ වදනින් පවා මසිත සිහිල් අඳුනක් ගැල්වූ කලෙක මෙන් සුවපත් වීයනු මට දැනෙයි....'' 

'' ස්වාමීනී...සමාවන්න......'' 

දොරටුව දෙසින් ඇසුණු ආනන්ද තෙරුන්ගේ හඬින් පාලී ඒ දෙස නෙත් යොමු කලාය. 

'' ඔව් ආනන්ද, කියන්න....'' 

බුදුන් වහන්සේ තමන් ඉදිරියට පැමිණි ආනන්ද තෙරුන්ට පැවසූහ. 

'' ස්වාමීනී අජාසත් මහ රජතුමා ඔබ වහන්සේ බැහැදැකීමට පැමිණ සිටී.'' 

'' එසේනම් ස්වාමීනී මට අවසර.....'' පාලී වහා නැඟී සිටියාය. 

'' නැත නැඟනිය....කිසිදු ගැටලුවෙක් නැත ඔබ රැඳී සිටින්න.ආනන්ද...රජතුමා මෙහි පැමිණෙන්නට දන්වන්න.'' 

ඉක්මන් ගමනින් පැමිණ බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණු අජාසත් නැඟී සිට පසෙකට වී හුන් පාලී දෙස බැල්මක් හෙලා නැවත බුදුන් වහන්සේ ඇමතුවේය.
'' ස්වාමීනී...මේ දිනවල් මාගේ සිතෙහි කිසිදු සහනයක් නැහැ....මපියානන් පිළිබඳ බියකරු මතකය මා සිතට නිතර වද දෙනවා.සිතට යම් සහනයක් ලඟාකර ගනු වස් හෙට පොහෝ දින ඔබ වහන්සේට දානය පිළිගැන්වීමට රුචියක් ඇතිවිය. එබැවින් හෙට රජ මැඳුරේ දානයට වඩින ලෙස ඔබ වහන්සේට ආරාධනය කිරීමට කැමැත්තෙමි.'' 

'' රජතුමනි...ඔබ සිතට සහනයක් ගෙන දේනම් මම ඒ ඇරයුම පිළිගන්නෙමි. එහෙත් හෙට දින මේ අම්බපාලියගේ මැදුරට දාන උදෙසා පැමිණීමට මම ආරාධනය භාරගතිමි.''

බුදුන්වහන්සේ පැවසූයේ පසෙක හිස පහත් කොටගෙන හුන් පාලී සිය සුරතින් දක්වමිනි. 

" එහෙමයි ස්වාමීනී. එසේනම් කමෙක් නැහැ.....ඔබ වහන්සේට මම වෙනත් දිනෙක දානයට ආරාධනය කරන්නෙමි.....එසේනම් මට අවසර....ඔබ වහන්සේ හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට මම ළඟදීම දිනෙක පැමිණෙන්නෙමි.මා සිතට සහනයක් ගෙන දිය හැක්කේ ඔබ වහන්සේට පමණි. '' 

'' ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක මා හමුවිය හැකියි රජතුමනි......'' 

'' එසේනම් මට අවසර ස්වාමීනී....'' 

බුදුන් වහන්සේට වැඳ නමස්කාර කොට රජු පිටත්ව ගිය පසු පාලී ද බුදුන් වහන්සේ අභිමුඛයට පැමිණ වැඳ වැටුණාය. 

'' මට ද අවසර ස්වාමීනී. ඔබ වහන්සේගේ වදනින් පවා මසිතට ලැබුණු සහනය ඉමහත්ය. '' 

'' යහපතක්ම වේවා නැඟනිය...... එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීම සිතේ සහනයට එකම හේතුවයි. ඒ මොහොතකට හෝ අමතක නොකරන්න.'' 

අරමේ අංගනයට පිවිසි පාලී එතෙක් එහි රැඳී හුන් අජාසත් රජතුමා දුටුවේ විශ්මයට පත් විය. 

'' රජතුමනි ඔබ තුමා?....'' 

'' පාලී මම ඔබ පැමිණෙන තෙක් පොරොත්තු වුණෙමි. ඔබට මා සමඟ මාගේ අස් රියෙන් මැදුර බලා ගමන් කල හැකියි.'' 

'' ඒත් රජතුමනි ඒ ඔබට අනවශ්‍ය ගැටළුවෙක් නොවන්නේද? '' 

'' මීටත් වඩා කුමන ගැටලු ද පාලී?.....අනෙක් කාරණය මම විශාලාවේ රජතුමා....එන්න මා හා...මම ඔබ ඔබේ මැදුර කරා රැගෙන යන්නම්....'' 

අස් රියෙහි රියැදුරු අසුනෙහි පසෙක පුණ්ණා අසුන් ගත් අතර පාලී රජු සමඟ රිය තුල වූ සුව පහසු අසුනට බර දුන්නාය. 

සඳ රැසින් නැහැවුනු විශාලා නුවර වීදී මේ මැදියම සහ අළුයම අතර කාලයෙහි පාළුවට ගොස් තිබිණි.සුදු අසුන් සිව් දෙනාගේ කුර ගැටෙන නාදය පමනක් වීදී සිසාරා විහිද ගිය ඒ රාත්‍රියෙහි රිය කවුළුවෙන් පිටත් බලා හුන් පාලීගේ සිතට පිවිසියේ අජාසත් හා ආලිංගනයෙහි වෙළෙමින් ගෙවුනු ඒ අතීතයයි. 

එකල දුටු මතින් ඇගේ සිත රාගයෙන් අවදිකල ඔහුගේ කඩවසම් රුව වයස්ගතවී නමුදු තවමත් කිසිදු වෙනසක් නොවුනු නමුදු ඈ සිතෙහි අද ඔහු කෙරෙහි පිරී ඉතිරී ඇත්තේ කිසිසේත්ම රාගයක් නොව තමා මෙන්ම අපමණ දුක් කම්කටොලු රැසකින් පරිපීඩිත තවත් මනුෂ්‍යයෙකු කෙරේ උපදින උපේක්ෂා සහගත අනුකම්පාවෙක් පමණි. 

'' පාලී මට ඔබෙන් යමක් ඉල්ලීමට අවසරද? '' 

රජුගේ හඬින් දැහැන් බිඳුනු ඕ තොමෝ උදක්ම රජුගේ මුහුණ කෙරේ නෙත් යොමු කලේ ප්‍රශ්නාර්ථයෙනි

" අහෝ රජතුමනි...ඔබ මෙපුර මහරජතුමාය. ඔබට මගෙන් අවශ්‍ය කුමක්ද?....පවසන්න.....'' 

'' මට අනෙක් හැම දෙයක්ම අඩු නැතිව තිබියද නැත්තේ අවශ්‍යම දෙයයි. එනම් හිතේ සහනයයි. මට හෙට ඔබේ මැදුරෙහි බුදුන් වහන්සේ උදෙසා පැවත්වන දානයට සහභාගි වීමට අවසරද?....මම ඔබෙන් ඉල්ලන්නේ එපමණයි.'' 

'' රජතුමනි...ඒ ඔබට ගැටළුවක් නොවේනම් මාගෙන් කිසිදු බාධාවෙක් උදක්ම නැත්තේමය.'' 

'' කුමන ගැටලුවක් ද පාලී....ඔබට බොහොම පිං...'' 

දෑතම දිගුකොට පාලීගේ සුරත ගත් අජාසත් ඒ තම මුවට ලංකොට අපමණ බැතියෙන් සිප ගත්තේය.දෑසට නැඟුනු කඳුලු බිඳක් වමතින් පිසලූ පාලී සඳරැසින් බැබලෙනා පුරා සඳ වලාකුළු රහිත අහසෙහි දිලෙනයුරු නිවීපහන්වූ සිතින් යුතුව බලා සිටියාය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...