Friday, October 10, 2014

284. අනුලා, රජිතා සහ එවන් තවත් සහසක් ගැහැණුන්ගේ කතාව……2


අම්මාපල්ල, මෙවුංට එක දවසක් ඉවසං ඉන්ට බැරි හැටියක්...හෙහ්,හෙහ්, මං හිතාන උන්නෙ අනුලගෙ කතාවෙ දෙවෙනි කොටස හෙට දාන්ටෙයි කියල. ඒ අස්සෙ අර අරූ කියාපි උන්දැට සම්පූර්ණ කතාව එකට කියවන්ට ඕන කියල. ඔන්න සිත්තමී ඒ පාර පොඩ්ඩිගෙ පරණ පෝස්ට් එකට සබැඳියකුත් දාපි.විලියොං කොලූගෙ නැන්ද කිව්ව වගෙ " මදැයි!!!! " හෙහ්,හෙහ්, ඒ හින්ද ඔන්න දෙවෙනි කොටසත් අදම දාන්ට මම කල්පනා කලා ඒ පාර...

අනුලා රැජින ගැන නොදන්න අයට දැනගන්ටත් එක්කල මුලින්ම දාන්නං සයුරී ඉතිහාසඥීය විසින් අනුලාවන් ගැන ලියාපු වියුණු සටහනක්..ඔය සයුරි ඇවිල්ල මහානාම හාමුදුරුවන්ගෙ ඇවැස්ස නෑන ඒ කාලෙ. දන්නවනෙ මහානාම හාමුදුරුවො කියන්නෙ කවුද කියල? රොෂාන් මහානාමගෙ කවුරුවත් එහෙම නෙවෙයි .මහානාම හාමුදුරුවො තමයි ඇවිල්ල මහාවංශෙ ලියැව්වෙ.ඉඳගෙන ලිව්ව එහෙම නෙවෙයි හොඳද? ඇවිල්ල ලිව්වෙ...හෙහ්,හෙහ්, 

ඔබට ස්තූතියි ..සයුරි. 

වළගම්බා රජතුමා ක්‍රි. පූ. 77 දී මිය පරලොව ගියාට පස්සේ මී ළඟට රජ කම ලැබෙන්නේ ඛල්ලාටනාග ගේත් අනුලා දේවිය (පසුව වළගම්බා රජු ගේ බිසව වූ) ගේත් පුත් "මහාචූලී මහාතිස්ස" ට - ක්‍රි. පූ. 76 -62 (බු. ව. 468 - 482). 

මේ රජතුමා සාමයෙන් අවුරුදු 14 ක කාලයක් රට පාලනය කරන අතරෙදි "නාග" කුමාරයා, එහෙමත් නැත්නම් වළගම්බා රජතුමා ගේත් සෝමා දේවිය ගේත් පුත්‍ර රත්නය, ජිවත් වෙන්නේ පෙරළි කාරයෙක් විදියට. සොරකම්, මං පැහැරීම් වැනි දේවල් කරපු නිසා ඔහුට "චෝරනාග" කියලා නමකුත් පට බැඳෙනවා. කට්ටියට මතක ඇති නේද කලින් ලිපියෙදි කිව්වා වළගම්බා රජ පවුල පලා යද්දී සෝමා දේවිය රථයෙන් බිමට බැහැලා අනිත් අයට පැනලා යන්න ඉඩ සලසලා දීපු හැටි. ඉන් පස්සේ සොලීන් දේවිය අල්ල ගෙන ගියා නේ. ඉතින් ඊට පස්සේ අවු. 14 ක් ගිහින් සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න තෙක්ම නාග කුමාරයා හැදුනේ වැඩුනේ මව් සෙනෙහස අහිමිව. වළගම්බා රජතුමාට වෙන බිරිඳක් හිටපු නිසාත් (අනුලා), ඇයටත් පුතෙක් ඉඳපු නිසාත් නාග කුමාරයා මොන වගේ පිඩනයක ඉන්න ඇත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? එහෙම වෙන එක දැන් කාලේ වගේම ඒ කාලෙත් ඇත්තටම ස්වාභාවිකයි. ඉතින් "නාග", "චෝරනාග" බවට පත් වීම එතරම් පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මම හිතන්නේ. 

කොහොම උනත් මහාචූලී මහාතිස්ස රජතුමා ක්‍රි. පූ. 62 දී මිය ගියාට පස්සේ චෝරනාග කුමාරයාට රජකම ලැබෙනවා - ක්‍රි. පූ. 62 - 50 (බු. ව. 482 - 494). මේ චෝරනාග රජතුමාගේ බිසවගේ නමත් "අනුලා". චෝරනාග රජ උනාට පස්සේ තමන් පෙරළිකාරයෙක් ව සිටි කාලයේදී තමන්ට සහය නොදීපු විහාර 18 ක් විනාශ කරලා දැම්මලු. මේ ආකාරයෙන් රජකම් කරපු චෝරනාග රජතුමා අවුරුදු 12 කට පස්සේ වස දීමක් නිසා මිය යනවා. එතුමාට වස දුන්නේ කවුද කියන එක ටිකක් විවාදාත්මකයි. සමහරු කියන්නේ වස දුන්නේ ඔහුගේ බිසව "අනුලා" විසින් කියලා. තවත් සමහරු කියන්නේ රජුගේ අරක්කැමියා විසින් වස දුන්නා කියලා. 

කොහොමහරි අන්තිමට චෝරනාග මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ මහාචූලී මහාතිස්ස ගේ පුත් "කුඩාතිස්ස" (ක්‍රි. පූ. 50 - 47) ට. ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 3 ක් පමණයි. ඔහුත් වස දීමක් නිසා මරණයට පත් වෙනවා. ඉන්පසු "ශිව" නම් රජ වාසල ආරක්‍ෂකයෙකු සමඟ විවාහ වන අනුලා බිසව ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවස් නොගොස් ඔහුටත් වස දී හදිසියේ මිය යන නිසා "වටුක" නම් දමිළ වඩු කාර්මිකයා සමඟ විවාහ වන අනුලා දේවිය ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවසක් යන්න මත්තෙන් ඔහුටත් අත් වෙන්නේ ශිව ට අත් උන ඉරණම මයි. ඉන්පසු අනුලාගේ ස්වාමියා සහ රජු බවට පත් වෙන්නේ "දාරුභාතිකතිස්ස" නම් දර ගෙන යන්නෙක්. ඔහුත් අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමඟම "නීලිය" නම් බමුණා සමඟ විවාහ වන අනුලා ඔහුට රාජ්‍ය බාර දෙනවා. මේ විදිහට වසරක් ඇතුලත කිහිප දෙනෙක්ම තමන්ගේ ස්වාමියා කරගෙන රජකම බාර දුන්නත් නොනිල වශයෙන් රාජ්‍යය පාලනයේ යෙදුනේ අනුලා බිසව කියලා හිතන්න පුළුවන්. මේ මරණ වලට වගකිව යුත්තා වන්නේ අනුලා බිසව බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් එය එසේමද යන්න ටිකක් අපැහැදිලි කාරණයක්. 

අවසානයේදී ඇය ස්වාමියන්ට රජකම බාර දීම පසෙක තබා තමාම රාජ්‍ය පාලනය බාර ගන්නේ හෙළයේ පළමු රැජිණ ලෙස ඉතිහාසගත වෙමින්. සැමියන්ට වස දීමේ සිද්ධිවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් කාමාධික කාන්තාවක් ලෙස අනුලා චරිතය හංවඩු ගැසීම එතරම් සාධාරණ නොවන බව මගේ පුද්ගලික මතයයි. "අනුලා රැජිණ" (ක්‍රි. පූ. 46 - 42) මේ ආකාරයට රට පාලනය කිරීම ඇරඹුවත් ඇයට එය කරගෙන යන්න ලැබෙන්නේ අවුරුදු 4 ක් පමණයි. මහාචූලී මහාතිස්ස ගේ දෙවැනි පුත්, එහෙම නැත්නම් කුඩාතිස්ස ගේ සොහොයුරු වන "කුටකණ්ණතිස්ස" අනුලා රැජිණ මරා රාජ්‍ය පවරා ගන්නවා. 

ලක් ඉතිහාසයේ අඳුරු යැයි සම්මත කාල පරිච්චේදයක් මෙසේ නිමා වන අතර දරුණු විදියට හංවඩු ගැසූ චරිතයක් ලෙස අනුලා රැජිණ ඉතිහාසයට එක් වෙනවා. ඒක කොයි තරම් දුරට සාධාරණයි ද කියලා හිතන එක ඒ චරිතය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් අයට බාරයි :) 


**********************************


" අපේ කඳවුරු භූමිය මැද තිබුන විසාල නුග ගහක්.......මේ නුග ගහේ බැඳල හිටියෙ අජිත.........ඒ වටේට වළල්ලක් වගෙ රැස් වෙලා හිටිය අනික් කට්ටිය ඔක්කොම.......මොන තරම් දරුණු සැඩපරුෂ පුද්ගලයො උනත්, එදා ඒ හැමෝම හිටියෙ බිමට හැරවුනු නෙතින්....මොකද හැමෝම අජිතට කැමතියි ඒ වගේම චෝරනාගගෙ නීතිය අනුව අජිතගෙ ඉරණම මොකක්ද කියල හැමෝම දැනගෙන හිටිය......." 

" අනුලා......එන්න කුමරියනි ඉදිරියට......" ඒ චෝරනාග. 

" මම හෙමිහිට ඉස්සරහට ගියා,........ ඇත්තටම ගියා නෙවෙයි යැවුන කිව්වොත් තමයි නිවැරදි, .....කට්ටිය දෙපැත්තට වෙලා මට ඉඩ දුන්න.....මම අජිත ආසන්නයටම ගියා.........එයාගෙ දෑසෙ තිබ්බෙ කිසිම ආකාරයකින්, බියක් එහෙම නෙවෙයි.......එයා මා දිහා බලල හිනා උනා........." මම ඔයාට ආදරෙයි අනුලා...".....අජිත එහෙම කිව්වෙ කාටත් ඇහෙන්ට.......මම හිතන්නෙ එයා දැනගෙන හිටිය එයාගෙ ඉරණම මොකක්ද කියල........ඒ නිසා එයා මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන ඒ වචන හතර කිව්වෙ දැඩි විශ්වාසෙකින්..." 

" හහ්...හහ්......හා.......අජිත නම් අනුලාට ආදරෙයිලු.....හරි අනුලා මොකද කියන්නෙ?.........ඔයත් අජිතට ආදරෙයිද?........චෝරනාගගෙ සමච්චල් ස්වරය නිසා මට ඇති උනේ අමුතුම ධෛර්යයක්........මේ මෘගයා මාවත් මෙතනම මරල දැම්මත් ඇත්ත කියන්ට ඕනය කියල මට හිතුන. " මමත් ඔයාට ආදරෙයි අජිත " මම කිව්වෙ අජිතගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලේ බලාගෙන.......ඔහුගෙ මුහුණ සිනහවකින් විකසිත උනා......" 

" වියරුවෙන් සිනාසෙමින් චෝරනාග මා වෙතට පැමිණෙනු දුටු මම එලෙසම සිට දෑ පියාගත්තෙ මගේ මරණය ආසන්න බව පැහැදිලි වුනු නිසා.......ඒත් චෝරනාග මා ළඟට ඇවිත් මගේ අතේ කිනිස්සක් තිබ්බ......හහ්...හහ්.....එහෙම ලේසියෙන් ඔයාට මැරෙන්ට දෙන්න බෑ අනුලා.......දැන් ගන්න මේ කිනිස්ස හොඳ ළමය වගෙ......අජිත ඔයාට ආදරෙයි කිව්වනෙ......මම අහල තියනව ආදරෙන් පිරිච්ච හදවතක් සිදුරු කරන්ට බෑ කියල විශේෂයෙන් ආදරය කරන අතින්ම අනින කොට...හරි අපි ඒ න්‍යාය අද පරීක්ෂා කරල බළමු. දැන් ගිහිල්ල බලන්ට අජිතගෙ හදවත මේ කිනිස්සෙන් සිදුරු වෙනවද කියල....හහ්.....හහ්....හා....." 

"චෝරනාග මට දුන්නු කිණිස්ස මම එහෙම්මම බිම දැම්මෙ සර්පයෙක් අතේ දැවටුනා වගෙ."

" හිනාවෙමින්ම බිමට නැවුණු චෝරනාග කිණිස්ස අහුලල ආයෙම මගෙ අතට දුන්න."

" අනුලා.....සෙල්ලම් කලා ඇති.....කරුණා කරල මම කියන විදිහට කරනවද?.......නැත්නම් මම ම ඒ වැඩේ කරනව.....ඒ කරල ඊට පස්සෙ වාරය ඔයාගෙ........හැබැයි මම කියන විදිහට කලොත් ඔයාගෙ ජීවිතේ බේරෙනව....මොකද කියන්නෙ?....තීරණය ඔයාගෙ......හහ්. හහ්...හහ්......චෝරනාගගෙ වියරු හිනා හඬ ආයෙත් කඳවුරු භූමිය සිසාරා පැතිරිලා ගියා." 

" අසංක........ මට ඒ වෙලාවෙ තීරණ තුනක් ගන්න අවස්ථාව තිබුන.....එක....... කිණිස්සෙන් ඇනල චෝරනාග මරල දාන එක......ඒ වැඩේ ලේසි වෙන්නෙ නෑ මොකද, චෝරනාග සන්නාහ පැළඳ ගෙන හිටියෙ ඒ වෙලාවෙ.......මෙහෙම තත්වයක් ගැන කල්තියා දැනගෙන හිටිය වගෙ.......සන්නාහයෙන් ආවරණය නොවුනු ස්ථානයක් හරියටම බලල ඇන්න උනත් මම දැනගෙන හිටිය අනිවාර්යයෙන් චෝරනාගගෙ සඟයො ඊට පස්සෙ කොහොමවත් මාව ඉතුරු කරන එකක් නැතිය කියල...........ඊට පස්සෙ අනිවාර්යයෙන් අජිතවත් මරනව." 

" දෙක.......අජිතව නොමරා ඉන්න එක......ඒත් මම දැනගෙන හිටිය චෝරනාග කිව්වදේ කරන කෙනෙක් කියල......මංකොල්ල කණ්ඩායමක නායකයෙක් හැටියට, අනික් සාමාජිකයන්ගෙ ගෞරවය හරිම වැදගත්. කිව්ව දෙ නොකලොත් අනිවාර්යයෙන් ඒ ගෞරවය නැතිවෙලා යනව......එහෙම උනොත් වැඩිකාලයක් නොගිහින් කණ්ඩායමේ නායකත්වයට තව කෙනෙක් සටන් වදිනව..........ඒ තත්වය වළක්වා ගන්ට නම් නායකය කිව්ව දේ කරන්ට ඕන.....ඒ නිසා මේ විදිහට වෙන්නෙත් අජිතයි මමයි දෙන්නම මිය යන එක." 

" තුන.....අන්තිම විකල්පය තමයි අජිතව මරන එක.......ඒකෙන් මගෙ ජීවිතේ බේරෙනව......ඒත් මට හිතාගන්ට බැරිඋනු දේ තමයි එහෙම දෙයක් කරල........මට ආදරය කරන අහිංසකයෙක් මරල දාල මට ජීවිතේ ඉතුරු කාලෙ මගෙ හෘදය සාක්ෂිය එක්ක ගත කරන්ට පුලුවන් වෙයිද කියන එක........" 

" මම කිණිස්සත් අතේ අරගෙන, දෙගිඩියාවෙන් එකෙල මෙකෙල වෙවී ඉන්දැද්දි අජිත කතා කලා.....බොහොම පැහැදිලි ස්වරයෙන්....." 

" අනුලා........වෙන කරන්ට දෙයක් නෑ......ඔයා චෝරනාග කියන විදිහට කලේ නැත්නම්, අපි දෙන්නටම මැරුම් කන්ට වෙනව.......ඒකෙ කිසිම තේරුමක් නෑ අනුලා........මම වෙනුවෙන් මගෙ ආදරය වෙනුවෙන් ඔයා ජීවත් වෙන්ට ඕන...........ඔයා මෙහෙම ජීවිතේ අවසානයක් කර ගන්ට ඕන කෙනෙක් නෙවෙයි.......මා වෙනුවෙන් ජීවත් වෙන්ට..........." 

" ඒ වචන ඇහුණම මටත් කල්පනාවට ආව අජිත කියන්නෙ ඇත්ත නේද කියල." 

" අසංක......මම හෙමිහිට අජිත ළඟට ගිහිල්ල, එයාගෙ ඇස් දෙක දිහාවෙ ටික වෙලාවක් බලා හිටිය....එයත් මා දිහා ඇහිපිය නොහෙලා බලා හිටිය......ඒ කරල මම ඇස් දෙක පියාගෙන කිණිස්ස ඉස්සුව....." 

" අනුලා ඇස් දෙක අරින්න.......මට ඔයාගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන මැරෙන්න ඕන.....අජිත හෙමිහිට කිව්වෙ මට විතරක් ඇහෙන්ඩ....." 

" මම ඇස් ඇරිය අසංක............මට ආදරය කරන ඒ ඇස් දෙක දිහාවෙ එක එල්ලේ ඇහිපිය නොහෙලා බලාගෙන මම අජිතට කිණිස්සෙන් ඇන්නා..........." 

" ඒ වෙලාවෙ මම දැක්ක දේවින්නාන්සෙගෙ ඇස් වල යන්තමට කඳුළු දිළිහෙනව.........මම ඔය එතුමිය කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට ගත්තට පස්සෙ එතුමියගෙ කඳුළු කියල දැක්කෙ එදා විතරමයි..........." 

" කඳුළු වලකාගන්නට දෝ දෙතුන් වරක වේගයෙන් ඇසිපිය හෙලල දේවීන්වහන්සෙ ආයෙම කතා කරගෙන ගියා......" 


" එදා ඒ නුග ගහ යට මම මැරුන අසංක......අද මේ ඉන්නෙ ඊට කලින් හිටපු අනුලා නෙවෙයි.........මුලු ලෝකෙටම වෛරකරන, විශේෂයෙන් පිරිමි සංහතියෙන්ම පළිගන්ට අධිෂ්ඨාන කරගත්තු , අනුලා කුමරියක් තමයි එදා ඒ නුග ගහ මුල අජිතගෙ ලෙයින් තෙමී ගිය කිණිස්ස අත ඇරියෙ......." 

" එදා ඉඳල මම කලේ ඒ මගේ අධිෂ්ඨානය ක්‍රියාත්මක කරපු එක...........චෝරනාග රජකමට පත් නොවුනානම් මගේ ඒ අධිෂ්ඨානය මාත් එක්කම වැළලිල යන්ට තිබ්බ පස් අස්සෙ.......ඒත් චෝරනාගගෙ කර්මය ද මගේ කර්මය ද.......ජාතියෙම කර්මය ද මට හිතාගන්ට බෑ එයා රජ උනා...........සාමාන්‍ය ගැහැණියක් නෙවෙයි අගරැජින හැටියට මට මගේ අධිෂ්ඨානය ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබුනා...." 

" චෝරනාගට මගෙ අතින්මයි මම වස දුන්නෙ...........අවුරුදු පහලවකට පස්සෙ මිනිහගෙ තුන් හිතකවත් තිබුනෙ නෑ, මම පලි ගනියි කියල.චෝරනාග වස මිශ්‍ර මිදියුෂ බීල, පපුව අල්ලගෙන කෙඳිරිගාන දිහාවෙ මම බලා හිටියෙ පුදුම සතුටකින්.....ඒ වෙලාවෙ මිනිහගෙ ඇස් වල තිබ්බ මරණ බය.........මගෙ හිතට ගෙනාවෙ පුදුම සතුටක්........අසංක හිතන්නෙ මම මහ කුරිරු යක්ෂණියක් කියලද අසංක? " 

" නෑ දේවීන්වහන්ස....ඔබ තුමිය ඔය කටුක අතීතය අමතක කරල දානව නම් මම කැමතියි....ඒත් මම කවුද ඔබතුමියට උපදෙස් දෙන්න.............ඔබ තුමිය මුහුණ දුන්නු සිද්ධියට මම මුහුණ දුන්න නම් මමත් බොහෝ විට ඔය දේම කරන්න තිබුණ......" 

" අන්න හරි අසංක.......මම කැමතියි කෙලින් කතාකරන පිරිමින්ට.......දැන් මෙහෙම හිතමු.....මම එදා පත්වෙච්චි තත්වෙ ගැන හිතාගන්ට මම අසංකට උදව්වක් කරන්නම්.........හරි.....දැන් මම කිව්වොත් අසංකට රජිතට කිණිස්සකින් ඇනල මරන්ට......නැත්නම් මම දෙන්නවම මරවනව කියල........හිහ්......හිහ්......හිහ්, "

" දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ........දේවින්නාන්සෙ මයෙ නමත් දන්නවද?..........." සවන් අදහා ගත නොවුනු මම බියපත් දෑසින් අසංකගේ මුහුණ බැලීමි. 

" ඒකනෙ කියන්නෙ......මමත් ඕකම ඇහුව," 

" දේවින්නානසෙ රජිත ගැන දන්නවද?......" මම ඇසූයේ බියපත් දෑසිනි."

" මොකෝ අසංක බය උනාද?.........බය වෙන්ට කාරණාවක් නෑ.....මාළිගාවෙ ආරක්ෂක සේනාංකයේ උප ප්‍රධානිය ගැන හැම දෙයක් ම අගරැජින දැනගෙන ඉන්ට ඕන නේද?............එහෙම නැත්නම් කොහොමද රාජ්‍ය පාලනය හරි හැටි කරන්නෙ?......දැන් තේරුණා නේද අසංකට?........දේවීන්නාන්සෙ ඇහුවෙ කොක් හඬලා හිනාවෙන ගමන්," 

" දේවින්නාන්සෙගෙ හිනාව එක පාරටම නැවතුන......ඊට පස්සෙ එතුමිය කතා කලේ මම කවදාවත් නාහපු හැඟීම්බර කටහඬකින්.........ආසන්නයෙම හිටපු මටත් ඇහෙන නෑහෙන ගානට......" 

" අසංක.......අර මහ කැළේ නුග ගහ යට සිද්ධිය මම අසංකට කිව්වනෙ............එදා ඉඳන් පිරිමින්ගෙන් පළිගන්න ගමන් මම හෙව්වෙ අජිත වගෙ පිරිමියෙක්......මගෙ හදවතේ එක අර්ධයක් පිරිමින්ගෙන් පළිගන්න දත් කූරු කන අතර අනික් අර්ධය ආදරය ඉල්ලල හඬා වැටුනයි කිව්වොත් ඒ කතාව හරියටම හරි අසංක........." 

" මේ අවුරුදු දහ අටක කාලෙදි මට හම්බ උනු පිරිමි දස දහස් ගානක් අතරෙ අජිතල එකම එක්කෙනයි හිටියෙ අසංක............." 

" දේවීන්නාන්සෙගෙ හඬ ටික ටික අඩුවෙලා ගිහිල්ල, අන්තිම කොටස කිව්වෙ රහසක් කොඳුරනව වගෙ........ මම එතුමිය දිහ බලාහිටියෙ මේ මොකවත් තේරුම් ගන්ට බැරුව.ඊට පස්සෙ එතුමිය හෙමිහිට නැඟිටල මා ලඟට ආව. ඒ කරල නැමිල මගෙ නලල සිප ගත්ත." 

" මම මොකවත් කරකියාගන්ට බැරුව එතුමිය දිහා බලන් හිටිය......." 

" ඔව් අසංක ඒ ඔබ..........ඒත් බයවෙන්ට කාරියක් නෑ.....මම රජිතටයි ඔයාටයි, අබ මල් රේණුවකින් වත් බාධාවක් වෙන්නෙ නෑ......මම දන්නව ආදරේ අගය......අමතක කරන්න එපා මමත් වතාවක් ඒ සුවය විඳපු කෙනෙක් බව........මම ඔයාගෙ නළල සිප ගත්තෙ තේරුමක් ඇතුව.......අජිත මාව සිප ගත්තු එකම එක වතාවෙ, එයා සිප ගත්තෙත් මගෙ නළල........ඒත් අපි දෙන්නම දැනගෙන හිටියෙ නැහැ ඒ සිපගැනීම කියන්නෙ අපි දෙන්නගෙ සමු ගැනීම කියල.........මමත් දැන් ඔයාට සමුදෙනව අසංක.........ඔයා යන්න....මම ඔයාව සේවයෙන් මුදා හරිනව....කොහොමත් රටේ තත්වය එච්චර සුබ නෑ......ඒ නිසා රජ මාළිගයෙන් පුලුවන් තරම් බැහැර වෙන තමයි නුවණට හුරු......යන්න අසංක, රජිතා වෙතට යන්න.....මගේ සුබ පැතුම්ද සමඟ," 

" මට මොනවත් කියාගන්ට හැටියක් තිබුනෙ නෑ....එක අතකට මම මොනවයි කියල කියන්ටද?.........දේවින්නාන්සෙ ගැන මගෙ පපුව පුරහම මතු උනේ මහා වේදනාවක්.....මම හෙමිහිට නැගිටල එන්ට ආව....මාළිගේ අංගනෙ මම දොර ගාවදි මම මොහොතක් නැවතිල ආපහු හැරිල බැලුව දේවින්නාන්සෙ දිහාවෙ........එතුමිය ගල් පිළිමයක් වගෙ මම යන දිහාවෙ හිස් බැල්මකින් බලා හිටිය......එතන මම දැක්කෙ තමන්ගෙ ස්වාමියාට වස දුන්නු ඔහු මියයනව බොහොම සතුටින් බලා හිටපු අනුලා දේවියක් නෙවෙයි...........පිරිමින්ගෙන් පළිගැනීම තම ජීවිතයේ එකම අරමුණ කරගත්තු අනුලා දේවියක් නෙවෙයි......මම දැක්කෙ වසර දහ අටක් මුලුල්ලේ තම මියගිය ආදරය සොයමින්, ඒ මත්තේම ජීවිතය විනාශ කර ගැනීම තම එකම අධිෂ්ඨානය කරගත් අනුලා නම් තවත් එක් අප සේම ලෙයින් මසින් ආශාවන්ගෙන් සැදුම්ලත් පෘතග්ජන කාන්තාවක්...." 

අසංකගේ කතාව කොපමණ මගේ සිත කම්පනය කලේද යත් මම ඔහුගේ දසරුවෙහි හිස හොවා හඬන්නට වීමි. 

මට කිසිදු ලෙසකින් බාධා නොකල හෙතෙම මා හඬා අවසන් වන තුරු ඉවසිල්ලේ සිට මගේ නිකටින් අල්ලා සෙමින් මගෙ වත ඔහු දෙසට හරවා ගත්තේය. 

" රජී,......... ඔයා ඇඬුවෙ ඇයි කියල මම ඇහුවොත්........" ඔහු මගේ දෑසට එබී ඇසුවේය. 

" මම වෙනුවෙන්.....දේවින්නාන්සෙ වෙනුවෙන්........අතීතයේ දුක් විඳපු, අදත් දුක් විඳින, අනාගතයේදීත් අනිවාර්යයෙන්ම දුක උරුම අප්‍රමාණ කාන්තා පරපුර වෙනුවෙන්......." 

ඔහුගේ පපුවේ හිස හොවාගත් මම නැවත ද හඬන්නට වීමි. 

36 comments:

  1. මම සිත්තමියාගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්ට එනකොට ‍බොලා පාර්ට් ටූත් දාලා නෙවැ.. එහෙනං මම ඒ කමෙන්ට් එක මේකට දාඤ්ඤං...

    -----------------------------------------------------

    බොලං සිත්තමියෝ,

    හපොයි ඔය ඇති අප්පා. මේක ලියනවා ලියනවා ඉවරයක් නෑනේ. කතන්දරේ තව ඉස්සරහටත් මගෙ ඔළුවේ තියෙනවා......
    .....මාළිගය ගිනිබත් කරලා රාජ්‍යය සිය පිය උරුමයට අනුව නැවත ලබාගත් හැටි. ඔය ඔක්කොම ඔළුවේ තියෙනවා, ලියන්ට ගියොත් හෙම මට ආයෙ වෙන වැඩක් කරගන්ට හම්බ වෙන එකක් නෑ.


    ඔය ඔක්කොම දැන් අවුරුදු තුනක් තිස්සෙ ඔළුවෙ තියාගෙන හිටියනෙ. දැන්වත් ඒ ටික ලියනවද කරුනාකරලා?

    ReplyDelete
    Replies
    1. බූරානිස්,

      හප්පා..සිත්තමී තුමී ලිව්වොත් ආය නෑ ඒකෙ හෝදන්ට දෙයක්...ආතල් ද බ්‍රේව් තමයි...නැද්ද?

      Delete
    2. රවි අයියා,

      හප්පොච්චියේ, මදැයි! ආයෙනං පෝස්ට් එක හරියට නොකියවා කමෙන්ට් කරන්ඩ හොඳ නෑ. අයියගෙ කළිං පෝස්ට් එක මං හරියට කියෙව්වෙ නෑනේ, උඩිං පල්ලෙන් බලාගෙන යද්දි කතාව මතක් වුනා, අන්තිමට පොඩ්ඩි අක්කගේ පෝස්ට් එක ගැන ලියලා තියෙනවා දැක්කා. වෙනදා පෝස්ට් කියවලත් මුකුත් නොකියා හොරෙන්ම යන මට වළව්වෙ ගෙවිච්ච පරණ මතකෙ ඇවිස්සිලා මොනවාහරි කියලා යන්ඩම ඕනෙ වුනානේ. මට හිතුණේ අයියා මුළු කතාවම එතන දාලා කියලනේ. අනේ, සොරි වෙන්ඩ ඕනේ ඔන්න.

      බූර් භයියා,

      ඒ ටික ඔළුවෙ තිබුණේ අවුරුදු බර ගාණකට කළිං ඔය කතාව වළව්වෙ ලීව වෙලාවේ නෙවැ. දැං එව්වා අමතකයිලු. :D

      Delete
    3. සිත්තමී,

      අපොයි බොලේ ඒක ගණං නොගනු මැන..මම පෝස්ට් එකෙත් කිව්ව වගෙ ඒකෙන් උනේ දෙවෙනි කොටස දවසක් කලින් දාන්ට උන එක විතරයි..නෝ පොබ්බොම් ඇටෝල්....හෙහ්,හෙහ්

      Delete
  2. පිස්සු හැදෙන කතා නේ මේවා .. මම දැනන් හිටියේ අනුලා දේවිය කියල රැජිනක් ලංකාවේ හිටිය කියල විතරයි . එකත් අර ඉස්කෝලේ ඉතිහාස පොතට පින් සිද්ද වෙන්න .. මෙහෙම සීන් කවුද දන්නේ ..

    දැන් එතකොට අනුලා කියන්නෙත් ලෙයින් මසින් ආශාවන්ගෙන් සැදුම්ලත් පෘතග්ජන කාන්තාවක්....!

    හොඳ ටි.වී සීරිස් හදන්න පුළුවන්නේ නේ අප්පා මේ කතා වලින්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / මම දැනන් හිටියේ අනුලා දේවිය කියල රැජිනක් ලංකාවේ හිටිය කියල විතරයි . එකත් අර ඉස්කෝලේ ඉතිහාස පොතට පින් සිද්ද වෙන්න .. මෙහෙම සීන් කවුද දන්නේ .. /

      ඔතන සීන් එක මෙහෙමයිනෙ මල්ලි..ඒ කෙසේද යත්....මහාවංශෙයි අර වංශෙයි මේ වංශෙයි ලියවිලා තියනවනෙ දැන් අරමයි මෙහෙමයි, මේම් මෙහෙමයි, ආං අරමයි කියල. ඔව්ව ඇත්තද කියල කවුද දන්නෙ? තනිකර බොරු වෙන්ටත් පුලුවන්, ඇත්ත ඇසුරෙන් ගෙතූ බොරු වෙන්නත් පුලුවන්, ඇත්තම වෙන්නත් පුලුවන්. මම කලේ අඩේ එහෙම නෙවෙයි..මෙහෙමත් වෙන්න බැරිද කියල මට හිතිච්චි දේවල් අනුව කතාවක් අලුතෙං ලිව්ව එක.

      ඉඳපං විජය-කුවේණි කතාවෙන් පටං ගත්තම ශ්‍රී වික්‍රම - ඇහැලේපොළ කුමාරිහාමි දක්වා සිංහලේ වංශ කතාව දවසක නිවී සැනසිල්ලෙ ඉඳගෙන ග්‍රන්ථාරූඪ කොරන්ට ඕන....හෙහ්,හෙහ්,...මල්ලි මේ.....දැන්මම දාපං ඕඩර් එකක්..පිටපත් සීමිතයි.

      Delete
    2. දැන් බලහන් පැතුම් කවුරුහරි වැරදිලාවත් තව අවුරුදු 200කින් විතර මෙ බ්ලොග කියෙවුවොත් මහවැලිය ගැන එතන වැඩකරපු එවුන් ගැන, පහුගිය කාලෙ සමාජය ගැන කොයිතරම් නම් වැරදිවිදියට හිතයිද.ඔකත් එ වගෙ තමයි

      Delete
    3. දමිත්,

      පිස්සුද බං? තව අවුරුදු 200ක් නෙවෙයි 50ක් වගෙ වෙනකොට මිනිස්සු කියල ජාතියක්වත් නැතිවෙයි කියලයි මට හිතෙන්නෙ...:(

      Delete
  3. එකක් කියවල කමෙන්ට් දාන්න බලනකොට තව එකක් දාල.කොහොම වුනත් සම්පුර්න කතාවම කියවන්න ලැබුන එක හොදයි.පවු නෙද අනුල.
    හා හා එකෙන් කමක් නැ අන්න අරලමය තාම කොස් කපනව යන්නෙ නැතෙයි පොඩ්ඩක් උදවුවට

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අම්මප එහෙ කොස් කපන ළමයෙකුත් ඉන්නව නේද? ඔන්න බලාපං නමත් මතක නැති හැටියක්....සුජාතද කොහෙද නේද? හරි...හරි ...විජහට යන්ට ඕන කොස් කැපිල්ලට සහයෝගය දෙන්ට...:)

      Delete
  4. ඉතිහාසය යනු කවදාවත් පරණ නොවන, අපූර්වත්වයකින් හෙබි, නොනවතින කතාවක්. එය මෙලෙස අපූර්වත්වයෙන් ඉදිරිපත් කිරීම, කීප අතකින් වැදගත් වෙනවා.

    1. නොදන්නා අය අපේ ඉතිහාසය ගැන යමක් දැනගන්නවා.

    2. ඉතිහාසය කියවන්නට යම් පෙළඹීමක් ඇතිවෙනවා.

    3. ඉතිහාසය ඉගැන්වීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කලයුතුය යන හැඟීම අදාළ පාර්ශ්වයන් තුළ ඇතිවන්නට ඉඩ තිබෙනවා.

    4. ඉතිහාසය මේ තරම් රසවත් විෂයයක්දැයි බොහෝ දෙනා සිතන්නට ඉඩ තිබෙනවා.

    5. චිත්‍රපටි නිෂ්පාදනය සඳහා කතා වස්තු සොයමින් ඉන අයට රුකුළක් වෙනවා.

    තව ටිකක් මේ ලේඛනය දියුණු කරගත්තොත් තිරකතාවක් ලියන්නටත් හැකිවෙයි. නරකද ඒ පිළිබඳව අධ්‍යයනයක් කළොත්?

    ඔබේ මේ ව්‍යායාමය ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ස්තූතියි බොහෝමත්ම ඔබට...ඔබ කියන්නට එකහෙලා එකඟයි.ඉතිහාසය විෂය දරුවන්ට නීරස නොවෙන නම් කලයුත්තෙ කතන්දර ආශ්‍රයෙන් ඉතිහාසය ඉගෙනුමට ආශාවක් උනන්දුවක් ඇති කරලීමයි. අපේ ඉතිහාසයෙ ඒ වගෙ සිත් ඇදගන්නාසුළු ලෙස ලිවිය හැකි අපූරු කතන්දර බොහොමයක් තියනව.

      Thanks again..Wicharaka....:)

      Delete
  5. රජිතාට විතරක් නෙමේ බං සත්තයි මටත් ඇඬුණා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මමත් ඔය බොහොම ඉක්මනට ඇස් තෙත්වෙන මනුස්සයෙක්...කතා ලියනකොටත් සමහරවිට මට ඇඬෙනව....:)

      Delete
  6. රවියෝ......උඹ, සයුරි, පොඩ්ඩි අනුලා දේවිය හා එක්කරන අදහස් මට මතක්වුනේ, මෑතකදි කොටස් 60 ගණනකින් අවසන්වූ 'සොඳුරු සිතැත්ති' නම් ටෙලිය අවසන්වූ වේලාවේ. මහා ලොකු බරපතල නාට්ටියක් නෙමේ. නමුත් සුදුමැණිකේ නම් චරිතය හරහා එලියට ගත්තේත් තව අනුලා දේවියක්ද කියා මට හිතුනා. ඒ ගැන ලියන්න සුදානමක් දැනට නැහැ. බලපු කෙනෙක් ලියන්න. උදයකාන්ති කුලතුංග නම් ඒ දක්ෂ ළමයා ඒ චරිතයට නැවුම් හැඩයක් දෙනවා.

    ඒක නෙමේ බන් මේක බලපන්. හැබැයි ඒ ගැන යමක් රිප්ලයි දාපන්.

    මර්වින්ගේ ඉතිහාස කතා, අරූට දෙන ආතල් එක

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඊයෙම මම ගිහිල්ල සොඳුරු සිතැත්තී අන්තිම කොටස බැලුව. වෙලාවක් හම්බ උනහම ටික ටික ඉතුරු හරියත් බලන්ට ඕන..ඒ කෙල්ලගෙ නම උදයකාන්ති කුලතුංග නෙවෙයි මචං උදයන්ති කුලතුංග..

      මේ දවස්වල බලන්නෙ නයිටීඇන් එකේ යන කතා ටිකයි ඊට අමතරව හුස්ම සහ ඔක්සිජන් සහ ගිණි අවි සහ ගිණිහෙළි .....නයිටීඑන් එකේ යන්නෙ පොඩි මාමා, හිම කඳු, ආදර දෑසක් සහ මුතුකැට සිහිනය...

      ෆුල් බිසී තමයි. ඒත් වෙලාව හොයාගෙන කොහොම හරි ඔය ටිකත් බලනව....:)

      Delete
    2. රවී...උදයන්ති කුලතුංග....තෑන්ක්ස් නිවැරදි කරාට. මම ගිනි කෙළිය බලනවා. ඒ එක් හේතුවක් නිසා. මම ඔක්සිජන් නම් කැමෙත්තෙන් බලනවා. මුතුකැට සිහිනයේ සේදිරිස් වෙදා මගේ වයිෆ්ගේ අක්කාගේ හස්බන්ඩ්. ඕකා මරු බුවා බං. දැන් නම් හරිම ධාර්මිකයි ඇත්තටම. භාවනා සහ අනිකුත් වැඩ. මටත් ටෙලිෆෝන් එකෙන් කතා කරොත් බීමේ ආදීනව කියනවා. ඒ ඇත්තටම තේරුම් ගත්ත එකෙක්. බොරු බයිලා නෙමෙයි. මායි ඌයි අමු පිස්සු නටලා තියෙනවා. මට තාම ඌ කියන ලෙවල් එකට එන්න බැහැ. ඌ යමක් කමක් දන්න එකෙක්. මං වගේ නෙමේ.

      Delete
    3. අරූ,

      අඩේ ....සේදිරිසා එතකොට උඹේ අයිය නේද? නියමයි...හෙහ්,හෙහ්,

      ගිණිකෙළියෙ ශ්‍රියන්තගෙ ඇක්ටිං කොහොමද? No work telling Eh?

      Delete
    4. රවී.......ශ්‍රියන්තයාගේ ඇක්ටිං මසුරං. ඒකේ මහේන්ද්‍රත් නියමෙට කරා. මම ඇල්බාටත් ආසයි. මචං ඇල්බට් තාම ජීවතුන් අතර ඉන්නවාලු. ඒ කාලේ උදේට සූස්තියක් ගහලා ඊට පස්සේ කසිප්පු ගහනවාලු. ඒකයි අර ඇල්බා හැම තිස්සෙම ඇස් පාත් කරන් ඉන්නේ. ඔය බව මට කිව්වේ ඇල්බාගේ චරිතය කරන සෝමසිරි ගමගේ.

      උඹ ගිරිකුළ බලන්නේ නැද්ද....හොඳ වැඩක්.

      සේදිරිස් කෑගල්ලෙ පොරක්.

      Delete
  7. රවිට ස්ටයිල් කීපයකින් හොඳට ලියන්න පුළුවන් . මේක ලියලා තියෙන්නේ 'අනුලා' ආරෙන්

    ReplyDelete
    Replies
    1. තිලක සිත,

      ස්තූතියි තිලකේ...:)

      Delete
  8. ඉතිහාස කතා දැන් ඇති.අර ලියාගෙන ආපු පිළිස්සු සැවුලෙකුගේ කතාව ඉවර කළා නං නරකද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      හරි හරි බං..... එහෙම කරමු....එහෙම කරමු....:)

      Delete
  9. තිබ්බ කුතුහලය නිසා සිත්තමී ගෙ ලින්ක් එකෙන් ගිහින් කොමෙන්ටු හරහා කතාවේ ඉතුරු ටික ඊයෙම කියෙව්ව. අද එකතු කරපු මහානාම හාමුදුරුවන්ගේ නෑනගේ කතාවෙන් තවත් විස්තර දැන ගත්ත. අර පළවෙනි කොමෙන්ට් එකේ බූරා කියල තියෙනව වගේ මේව හිතේ තියාගෙන හිටිය හොඳටම ඇති. අපිටත් දැන ගන්න ලස්සනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      හෙහ්..ඊයෙම ගිහිල්ල දෙවෙනි කොටසත් බැලුවය?......ස්තූතියි ඔබට...:)

      Delete
  10. හැමදාම වගේ හරිම ලස්සනයි රවී තුමා... පිරිමි සිතකින් ගැහැණු ජීවිතයක් ගැන සානුකම්පිතව බලා ලියවුනු අපූරු ලියමනක්..
    නිතර කොමෙන්ටු දැම්මත් නැතත්, මම නොවරදවාම මේ බ්ලොග් එක වගේම අනිත් බ්ලොග් ගොඩක් කියවනව.. කොමෙන්ටුවක් වත් කොටන්න කම්මැලි හිතෙන තරමට අත පය හිරි වැටිල මේ ඉන්නෙ..
    ඉතිහාසය ගැන ඔබතුමා කියන එකට මමත් එකඟයි. මමත් ඔය කොහෙදිද මන්ද කියෙවුව, ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් විසින් නිසා, පරාජිතයන්ට කියන්න තියන දේවල් යටපත් වෙලා යනව කියල. දැන් දැන් තත්වය වෙනස් වෙලා, තාක්ෂණයට පින් සිදු වෙන්නට, මලාලා වගේ අයගේ හඬ අපේ දෙසවන් කරා ලඟා වෙනව..

    ReplyDelete
    Replies
    1. ඒක් මානවික්ස්,

      / කොමෙන්ටුවක් වත් කොටන්න කම්මැලි හිතෙන තරමට අත පය හිරි වැටිල මේ ඉන්නෙ.. /

      එහෙම වෙනව බොලේ...මටත් වෙලාවකට ලියන්ට හිතෙන්නෙම නෑ. මරන්නා වගෙ ...හෙහ්,හෙහ්,

      / මමත් ඔය කොහෙදිද මන්ද කියෙවුව, ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් විසින් නිසා, පරාජිතයන්ට කියන්න තියන දේවල් යටපත් වෙලා යනව කියල. /

      ඒ කතාව සහතික ඇත්ත. ඉතිහාසය ලියන්නෙ ජයග්‍රාහකයින් නිසා අනිවාර්යයෙන් එයාලගෙ වර්ෂන් එක තමයි ලියවෙන්නෙ...විකල්ප අදහසකට, පරාජිතයට කියන්න තියෙන්නෙ මොනවද කියල අපිට දැනගන්ට විදිහක්ම නෑ..

      බොහොම ස්තූතියි....මානවී....:)

      P.S - මානවී කියල චරිතයක් තිබ්බ මම බොහොම ආස කරපු පොතක...මට මතක් වෙන්නෙ නැඇ ඒ පොත මොකක්ද කියල මේ වෙලාවෙ...:)

      Delete
  11. අප්පච්චියේ...දෙවැනි කොටස තමා මුලින් දැක්කේ. ඕන් පලවෙනි කොටසත් කියවලා ආවා. අනුලා, රජිතා වගේ සහසක් කාන්තාවන්ගේ කතාව ලිව්වට ඔන්න මගේ ප්‍රණාමය රවී අයියට. ඇත්තටම ඇඬේන සයිස් එකට ලියලා තියනවා. එලම කිරි. මට චෝර නාග ගැනත් ඇති වෙන්නේ ඔය විදියෙම අනුකම්පාවක් තමයි අප්පා...හය හතර නොතේරෙන කාලෙදිම අම්මව අහිමි උනා. සෝමා දේවි කරත්තෙන් බැස්ස හින්දා නෙව වළගම්බා රජ්ජුරුවොයි, එයාගේ අයියගේ බිසවයි, පුතයි මුළු පවුලම බේරුනේ. එදායින් පස්සේ නාග කුමාරයට අම්මා නැහැ. ලොකු තාත්තගේ නෝනා තමයි දැන් තාත්තගේ බිසව. එතකොට එයාගේ පුතාත් නාග පොඩි එකාට වද දෙන්න ඇති. :( ඉතින් ඌ ඉබේම හොරක් මංකොල්ලකාරයෙක් වෙන්න ඇති. ඕක ඇවිල්ලා සමාජ විද්දියාව. අද කාලෙත් ඔය ඕන තරම් ඔහොම ඒවා වෙන්නේ. අම්මපා මට මෙහෙම ලස්සනට ලියන්න පුළුවන් උනානම් නාගගේ කතාවත් ලියනවා ඕන්. මොකද කියන්නේ රවි අයියේ, ලියමුද?

    මහානාම හාමුදුරුවන්ගේ ඇවැස්ස නෑනා? :ඔ සෑහෙන තානාන්තරයක් නේ මට දීලා තියෙන්නේ :))

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඔන්න ඒ පාර මුන්දැට නාගගෙ කතාවත් ඕනලු...හෙහ්,හෙහ්..හරි හරි බලමුකො ඉතිං නැද්ද හොඳයි?

      ආයෙම වරක් ඔබට ස්තූතියි සයුරි....එක මා ලියූ කතාව අගය කිරීම වෙන්වෙන්..දෙක ..ඉස්කෝලෙ යන කාලෙ ඉගන ගත්තු ඉතිහාස පාඩම් බොහොම චිත්තාකර්ෂණීය ලෙස යලිත් ඉදිරිපත් කිරීම වෙනුවෙන්...:)

      Delete
    2. රවි, නාගගෙ කතාව වෙනස් විදියකට ලියපු නවකතාවක් කාලෙකට ඉස්සර කියවපු බවක් මතකයෙ තිබුන.. චෝරනාග ගෙ සැබෑ නම මහානාග.. මහාවන්සෙ ලියපු ඇත්තො කොහොමත් අභයගිරි පැත්තෙ රජවරු පල්ලෙහාට දාලනෙ තියෙන්නෙ..
      මේ ටික හොයගත්තෙ Google search එකක් දාල..

      පොතේ නම "චෝරනාග" ලේඛකයා කේ. ජී. කරුණාසේන පොතට 1990 ඩී. ආර්. විජේවර්ධන සම්මානය ලැබිල තියෙනව

      Delete
    3. අපූර්ව,

      විස්තරයට ස්තූතියි ඔබට ...ඔබ කිව්වයින් පස් සෙ මටත් මතක් උනා චෝරනාග පොත ගැන...:)

      Delete
  12. උඹ ඔය ඉතිහාස කතා අලුතෙන් ලියන එක ගැන නම් මම සතුටුයි. අපි ඉතාම කුඩා සාරාංශයක් දන්න කතා මේ වගේ ඩීටේල් කතාන්දරේකට දැම්මහම ගති තමයි. ඒත් මම අකමැති කාරණේ තමයි උඹ ටිකක් ඒකාකාරී විදිහට ඔය හැම ඉතිහාස කතාවක්ම 'සත්‍ය ප්‍රේමයකට' හරවන එක... උඹේ පර්සනල් ප්‍රිෆරන්ස් එක කෙසේ වෙතත්, කතා කාරයෙක් හැටියට ඔතනින් එහාට යන්න ඕනේ කියන එකයි මට නම් හිතෙන්නේ... මේක අවුරුදු කීපයක් පරන එකක් නිසා සමාව දෙන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. රවියා ඉතින් සත්‍ය පෙරේම බුරුංග රාජයා නෙව බං.. ඒකයි ඔය හැම තැනින්ම සත්‍ය පෙරේමෙ දෝරෙ ගලන්නෙ.. ඕකට පිහියකින් ඇන්නත් ගලන්නෙ ලේ නෙවෙයිලු.. සත්‍ය පෙරේමෙලු.. ඔන්න ඔහෙ සමාවක් දීලා දාහං..

      Delete
    2. තිසර,

      / ඒත් මම අකමැති කාරණේ තමයි උඹ ටිකක් ඒකාකාරී විදිහට ඔය හැම ඉතිහාස කතාවක්ම 'සත්‍ය ප්‍රේමයකට' හරවන එක…/

      චෝදනාව පිළිගනිමි. ඒ සමඟ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක්ම නොවෙතත් කරුණු කාරණා සිද්ධ වූ අයුරු පිළිබඳව යම් පැහැදිලි කිරීමකට මට අවසර....විජය - කුවේණි කතාවෙහි මෙන්ම අනුලා රැජිනගේ කතාවෙහිද මගේ පරමාර්ථය වූයේ ඉතිහාසයේ අපකීර්තිමත් පිරිමියකු සහ ගැහැණියක වෙනුවෙන් පෙනීසිට ඔවුන්ගේ පාර්ශ්වයෙන් තමන්ගේ කතාව ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දීමය. විජය තම බිරිඳ සහ දරු දෙදෙනා අනුකම්පා විරහිත ලෙස පලවා හැරි නරුමයකු සහ අනුලා කාම සම්භෝගයට දැඩිසේ ලොල් කල කාමිණියක එමෙන්ම තම වල්ලභයින් එකිනෙකා මරා දැමූ සැතිරියක ලෙස ඉතිහාසයෙහි ගැසී ඇති හංවඩුව අකා මකා දැමීමට කලයුත්තේ ඔවුන් ඇත්ත වශයෙන්ම ඔබ සහ අප වන් සාමාන්‍ය මිනිසුන් බවත්, එසේම අප මෙන්ම ආදරය ලැබීමට, ආදරය කිරීමට පසුබට නොවූ සෙනෙහෙබර පිරිමියකු සහ ගැහැණියක බවටත් ලොවට කියාපෑම බව මගේ අදහස විය. ඒ සඳහා කල යුත්ත නම් ඔවුන් සෙනෙහස විඳිනයුරු ඔවුන් ආදරය කල අයුරු සිත් කාවදින ලෙස සටහන් කිරීම බවද මම විශ්වාස කලෙමි.මේ ඒ අදහස පෙරදැරි කොටගෙන මවිසින් ගෙතුනු කතාවන් යුගලයයි.

      ජවිපෙ න්‍යායධරයින් විසින් සම්මුඛ සාකච්ඡාවන්හිදී නිතර මෙසේ පවසනු ඔබට මතකද? ඔවුන් යම් යම් අවස්ථාවල දී ක්‍රියා කල අන්දම පිළිබඳව හේතු ඉදිරිපත කරන ලෙස පවසන කල පිළිතුර බොහෝ විට මෙසේ වෙයි "සහෝදරයා, ඒ විශේෂිත අවස්ථාවෙහි පැවති වාස්තවික තත්ව අනුව ඒ සන්ධර්භය විසින් ඉල්ලා සිටියේ එවන් ක්‍රියා මාර්ගයක් ගන්න ලෙසයි. ඔබ අපිට දොස් පැවරීමෙන් වැඩක් නෑ. ඒ සන්ධර්භය විසින්ම ඉල්ලා සිටිදේ ඉටු කිරීම පමණයි අප කලේ..."

      පලි - හරි මල්ලි ඒ පඬි ටෝක් ඕන නෑ...නැද්ද? ඔබගේ විවේචනය සාදරයෙන් පිළිගතිමි. ඉදිරියෙහිදී ඒ අනුව කටයුතු කිරීමට අදිටන් ද සටහන් ද කොට ගතිමි...:)

      Delete
    3. බූරාභිධාන මා හිතවත් මළනුවනි,

      ඔබට සුබ උපන් දිනයක්!!!!!!!!!!!

      Delete
    4. තැන්කූ වේවා!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...