Monday, October 31, 2016

453. අසූචි හත්පොලේ පමණක් නොව හිස්මුදුනෙහිද සියතින්ම ආලේප කොටගත් සුපිරිසිදු මහතාගේ කථාව


පසුගිය මහ මැතිවරණයෙන් රනිල්ට මනාප ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් හිමිවිය.
මෙහි දැක්වෙනුයේ රනිල්ගේ ප්‍රචාරක පෝස්ටරයක් රැගත් ඔහුගේ ආධාරකරුවෙකි.

අපේ ගරු අගමැති උතුමෝ හත් පොලේ පමණක් නොව ඉස මුදුනේද අසූචි ආලේප කොට ගෙන වදාලෝය. අහෝ ඛේදයකි ඉරකි තිතකි.

අල්ලස් හා දූෂණයෙන් තොරව සියලු රාජ්‍ය මූල්‍ය ගනුදෙනු කටයුතු විනිවිද භාවයෙන් කරන්නෙමැයි පරසක්වල ගසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට අගමැති ලෙස දිව්රුම් දීමෙන් යම්තමට මාසයක් ගත වන්නට ද පෙර මහ බැංකු අධිපති ධුරයට ඔහුම සිංගප්පූරුවෙන් ගෙන්වා පත්කල අර්ජුන් මහේන්ද්‍රන් නම් මූල්‍ය විශාරදයෝ තම බෑණනුවන්හට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් අයුතු වාසියක් ලබා ගන්නට උපකාර කල බව දැන් නිල වශයෙන්ම සනාථවී ඇත. ඒ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එළිදැක්වීමෙනි.

මෙම මහා වංචාව පිළිබඳව තොරතුරු හෙළිදරව් වූයේ එය සිදුවූ ආසන්නයේමය. එනම් එසේ කරුණු හෙළිදරව්වී දැනට මාස දහ අටකට අධික කාලයක් ගෙවී ගොස් ඇත. මේ මුළු කාලය මුළුල්ලේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ.ජා.ප.ය කලේ පශ්චාත් භාගය කඩාදැමූ කඩියන් මෙන් රටපුරා දුවමින් මේ මහා මංකොල්ලය යට ගැසීමට තැත් කිරීමය. නැතහොත් එහි කිසිදු දූෂණයක් වංචාවක් සිදුවී නොමැතිබව පරසක්වල ගැසීමය. එසේද නැතහොත් අවම වශයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවුනද ඊට මහ බැංකු අධිපතිගේ කිසිදු සම්බන්ධයක් නොමැතිබව පෙන්වීමටය.

ඒ සඳහා රනිලාණන් පත්කල යූ.ඇන්.පී. පෙරකොරෝද තුන් කට්ටුවෙන් සැදි කමිටුවෙන් මහ බැංකු අධිපතියාණෝ නිදොස් කොට නිදහස් කරන ලදහ. එහෙත් උකුණු හිසක තරම් හෝ මොළයක් සහිත කිසිවෙකුට ඒ වනාහී හුදෙක් ධවල සුණු ආලේප කිරීමක් පමණක්ම බැව් රහසක් නොවීය. එසේ සුදුහුණු ආලේප කොට බුමුතුරුණ යටට තල්ලු කොට සියල්ල අවසානයයි අතපිසදමා ගැන්මට රනිල් ප්‍රමුඛ නඩය කුමන්ත්‍රණය කලද ඒ වැළකී ගියේ පොදු මහජනයා කෙරෙන් මෙන්ම දූෂණයට විරුද්ධව ජනාධිපතිවරණ සමයේ නැඟී සිටි සිවිල් සංවිධාන වෙතින් ඊට එල්ලවූ දැඩි විරෝධය හේතුකොටගෙනය.

අවසන ජවිපෙ සභාපතිත්වයෙන් යුත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් බැඳුම්කර මගඩිය පිළිබඳව විමර්ශනයක් කිරීමට ඉඩ දීමට රජයට සිදුවිය.

දැන් නිල වශයෙන්ම බිළාල තෙම පැසෙන් ඉවතට පැන ඇත්තේය. මිස්ටර් ක්ලීන්ගේ කීර්ති නාමය ඒ හා සමඟම නාය ගියේ අරණායක සාමසර කන්දේ පදාසයක් නායගියාටද වඩා දරුණු ලෙසටය. මිස්ටර් ක්ලීන් යන විරුදාවලිය වනාහී රනිලාණන් හට ශ්‍රී ලංකාවේ අගමැති පදවිය දැරීමට ඇති එකම සුදුසුකම බව මගේ අදහසයි.

එහෙත් මේ වාර්තාවෙහි ද බරපතල අඩුපාඩුවක් ඇත. මෙම බරපතල වඤ්ඡාව සිදුවූයේ රනිල්ගේ උපදෙස් මත බව අර්ජුන් මහේන්ද්‍රන් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කල බව වාර්තා විය. 2015 ජූනි මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මේ පිළිබඳව පරීක්ෂණ කෙරුනේ ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුතු එවකට පැවති පොදු ව්‍යාපාර කාරක සභාව මගිනි. මහේන්ද්‍රන් රනිල් පිළිබඳව මේ ප්‍රකාශය කලේ ඒ කාරක සභාව ඉදිරියේ විය යුතුය. ඒ කෙසේ වුවද ඒ සාක්ෂි සලකා නොබැලීම විශ්මය ජනකය.

සුනිල් හඳුනෙත්තිගේ කාරක සභාව රනිල් නිදොස් කොට නිදහස් කලේය. ඊට කාරක සභාවේ එ.ජා.ප. මන්ත්‍රී වරුන්ගේ බලපෑම ද බොහෝ සේ හේතුවන්නට ඇත. මෙසේ වඤ්ඡා කල දැවැන්ත මුදල් සම්භාරයෙන් වැඩි ප්‍රතිශතයක් 2015 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයේ එ.ජා.ප. අරමුදලට බැරකල බවටද චෝදනා ඇත. මෙම මගඩිය ආරම්භයේ සිට රනිල් ප්‍රමුඛ එ.ජා.ප.මන්ත්‍රීන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට පිටපොට ගසාගෙන දැඟලූ අන්දම අධ්‍යයනය කරන්නෙකුට මේ චෝදනාව පදනම් විරහිත ලෙස එක්වරම බැහැර කල නොහැක.

රනිලුන් එ.ජා.ප. නායකත්වයට පත්වූයේ ගස් නැති රටේ එඬරු ගහත් ගහක්වන න්‍යායෙනි. එල්ටීටීඊය විසින් එජාප මුල්පෙලේ නායකත්වය සමූල ඝාතනය නොකලේ නම් කිසිදු දේශපාලන පරිණතභාවයක් නොමැති රනිල්ට එජාප රජයක කැබිනට් ඇමති ධුරයකින් ඉහළට යාම සිහිනයක් පමණක්ම වන්නේය. ඔහුගේ දේශපාලන අපරිණත භාවයට 2001-2004 එ.ජා.ප. රජයේ අගමැති ලෙස ජනාධිපති චන්ද්‍රිකාගේ සටකපට පොරොන්දු වලට මුලාවී රාජ්‍ය බලය අහිමි කොට ගැනීම හොඳම උදාහරණයකි.

එලෙසම ස්ථානෝචිත නොවන විගඩම් කථා පැවැත්වීමෙහිලා ඔහුගේ හැකියාව ඉතා විශිෂ්ඨය. කුප්‍රකට පස්දුන් රට කථාව සහ බ්‍රේස්ලට් කථාව යමෙකුට ඉතා කලාතුරකින් පිහිටන මේ සහජ හැකියාවට මනා නිදසුන්ය. ඒ හැමෙකකින්ම ඔහුගේ ප්‍රතිරූපය පහසුවෙන් නිවැරදි කල නොහැකි සේ පළුදුවිය. ඒ සියළු සෘණාත්මක කරුණු මධ්‍යයේ වුව ඔහුට තම දේශපාලන දිවිය ඉදිරියට ගෙන යෑමට ආධාර වූ එක් ප්‍රධාන කරුණක් වූයේ රනිල් කිසිදු දූෂණයකට සම්බන්ධ නොමැතිබවට පොදු මහජනයා අතරවූ අචල විශ්වාසයයි. විමල් වීරවංශ වන් උපන්ගෙයි වාචාලයකු වුවද රනිල්ට දූෂණ චෝදනා එල්ල කීරිමට මැලිවූයේ එවැන්නක් කිසිවකු විශ්වාස නොකරන බව හොඳාකාරව දන්නා හෙයිනි.

එහෙත් මේ ජීවිත කාලයක් ගොඩනගාගත් ප්‍රතිරූපය යලි කෙලෙසකවත් ගොඩනැඟිය නොහැකි අන්දමට විනාශ කර ගැනීමට මිස්ටර් ක්ලීන්ට ගතවූයේ අගමැති පදවියට පත්කොට මාස තුනකටත් අඩු කාලයකි.

"කමක් නෑ ඔන්න ඔහෙ වෙන මොනව කරන්ටද? වෙන කවුරුවත් නැති එකේ රනිල්ම හොඳයි..අනික ඒ මනුස්සය අඩු ගානෙ හොරෙක් නෙවෙයිනෙ ඒකවත් මදෑ...." එසේ කියා සැනසුනු පොදු මහජනයා අතරට මම ද අයත්වීමි. එහෙත් රනිල්ට තිබූ ඒ එකම සුදුසුකමද ඔහු විසින්ම නිෂේධ කොටගෙන හමාරය. 

2015 ජනවාරියෙහි පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් ඉක්බිති අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේත් ජයග්‍රහණය මම ප්‍රාර්ථනා කලේ වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොව පුරා දසවසරක් බලපැවැත්වූ මරාගේ අධම පාලන තන්ත්‍රය වෙනස් කොට සාධාරණ, යුක්ති ගරුක සහ පාරදෘශ්‍ය පාලන තන්ත්‍රයක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවීම දැකීමේ අභිලාෂයෙනි.

එහෙත් ඒ අපේක්ෂාවන් රනිල් ප්‍රමුඛ එජාප මන්ත්‍රීන් විසින් බිඳදමා ඇත්තේ ඉතා සාහසික අන්දමිනි. 

එලෙසම මෙකරුණද පැවසිය යුතුමය. යහපාලන රජයක් පත්කිරීමෙහිදී ඒ වනාහී සියළු යුක්ති ධර්මයන් අනුව පෙර බුදුන් දවස ලිච්ඡවී රජදරුවන් මෙන් රාෂ්ඨ්‍ර පාලනයෙහි නිරතවේයයිද, නොබෝ කලකින් මෙදිවයින කේතුමතිය පරදන දෙව්ලොවක් හා සම වේයයිද මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඒ එජාප මන්ත්‍රීවරුද කලක සිට මේ මජර ජරාජීර්ණ දේශපාලනය නම් වූ නරාවලෙහි  බැස ක්‍රීඩා කරන්නෝ බව හොඳාකාරව දත් හෙයිනි. එහෙත් රනිල් කෙරෙහි මසිත යම් ප්‍රමාණයක විශ්වාසයක් පැවතිණි. ඒ ඔහු තම දූෂිත අන්තේවාසිකයින් යම් දෘඩ පාලනයකින් බැඳතබා ගනුතැයිද එසේම ඔවුනට රිසි පරිදි කටයුතු කීරිමට ඉඩ නොදෙනු ඇතැයි යන උපකල්පනය මත ගොඩනැඟුනු විශ්වාසයකි.

එහෙත් අහෝ ඛෙදයකි ඉරකි තිතකි. සුපිරිසිදු මහත්මා බලයට පත්ව නොබෝ කලකින් තමන්ද පසුගිය නීලකාස චෞරයන් ගෙන් කිසිදු වෙනසක් නොමැති බැව් සමස්ත මහජනතාවට සක්සුදක්සේ පැහැදිලි ලෙස තහවුරු කොට සිටියේ යලි වෙල්ලාවේ දමා තම්බා හෝ පිරිසිදු කොටගත නොහෙන ලෙස තම ප්‍රතිරූපයද විනාශ කොට ගනිමිනි. මේ අභාග්‍යමත් තත්වය කළමණාකරයට රජය ගන්නා පියවර කවරේද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටීම රටේ අභිවෘද්ධිය පතන සියල්ලන්ගේ යුතුකම මෙන්ම වගකීමද වේ.

එළෙසම කිසිලෙසකින් හෝ අධම මරා පාලනය යලි බලයට පත්වීම වැළැක්වීමද ඒ යුතුකම සහ වගකීමේම එක් කොටසකි.

Thursday, October 27, 2016

452. පූර්ව නිශ්චිත සමුගැන්මක මතක සහ ටැබූ සබ්ජෙක්ට්ස් නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා…

ලී බංකුවක් මත තැබූ කහ පැහැති මලක්..

Coincidence නැත්නම් සමපාත සිදුවීම් ගැන දන්නව නේද? ඒ කියන්නෙ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතැයි බැලූ බැල්මට දිස්වන සිදුවීම් දෙකක් එකවර එහෙමත් නැත්නම් ඉතා කෙටි කාල පරාසයක් තුල සිදුවීම. ඈස් ඇන් එග්සාම්පල් මේ වගෙ එකක්. කාලෙකින් හම්බවෙච්චි නැති යාලුවෙක් ඔන්න හීනෙං දැක්කයි කියමු. "මොකද එහෙම දෙයක් උනේ කවදාවත් නැතුව?" කියල පහුවදා හිත හිත ඉන්නකොට මෙන්න උගෙං කෝල් එකක් එනව. "මචං බොහොම අමාරුවෙං උඹේ නොම්මරේ හොයාගත්තෙ? ඉතිං ඉතිං කොහොමද දැං?" ඔන්න ඔහොම කියල...හෙහ්,හෙහ්,

මගෙ ජීවිතේ බොහොම බහුල සිදුවීමක් ඔය Coincidences කියන එව්ව. මම ඇවිල්ල හිටං සමපාත සිදුවීම් ප්‍රණත පුද්ගලයෙක් කියලත් කිව්වැහැකි...හෙහ්,හෙහ්.. ඉංගිරිසියෙන් කිව්වොත් Coincidences prone. Prone කියන එකේ සිංහල වචනෙ ප්‍රණත කියල මට කිව්වෙ මගේ හිතවත් මදුරතුමා. 

අද මේ කියන්න යන්නෙත් එහෙම සිදුවීමක් පිළිබඳව.

පහුගිය සතිඅන්තෙ ඒ කිව්වෙ කිවිදා මට ආරාධනාවක් ආවා මගෙ පරණ මිත්‍රයෙක්ගෙන් දිවා භෝජන සංග්‍රහයකට. අදාල මිත්‍රයා දැනට අවුරුදු හතරකට වගෙ කලින් දරුවො පාසල් යන වයසට එනකොට තම දරු පවුලත් හා සමඟ පෙරලා ශ්‍රී ලංකාවට ගිහිල්ල ඔන්න ඔය වාද්දුව පැත්තෙ තියෙන මනුස්සයගෙ මහ ගෙදර එහෙම රෙපයාර් කරල ඒකෙ පදිංචි වුනා. පස්සෙදි දරුවො එහෙමත් ඉස්කෝල වලට දාල මහාමාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක විදේශ සමාගමක රැකියාවක් එහෙමත් කලා. මම හිතන්නෙ සෑහෙන සතුටුදායක මට්ටමේ වැටුපක් එහෙමත් ලැබුනා.

පස්සෙ කොහොම හරි මේ පහුගිය දාක ආරංචි වුනා මිනිහ ආපහු මෙහෙ ඇවිල්ලය කියල. ඔෆිස් එකේ ඉන්දැද්දි ගිය සුමානෙ දවසක මගෙ යාලුවෙක් කතාකලා. යාලුව ඇවිල්ල සමරෙ. ඉස්කෝලෙ යන කාලෙ සමරෙ කියල නම් තිබිච්ච යාලුවන්ට අපි කිව්වෙ සමරේ අද නැත පුන්සඳ කෑලි කැපෙන ගනඳුර මැද කියල

"මචං රවී...පණිවිඩයක් කියන්ට කතා කලේ..වසන්ත ආපහු ඇවිල්ලලු."

"නැහ්? ඕකා ආයෙම එන්නෙ නෑ කියල නේද බඩුත් පටවගෙන ගියේ?"

වසන්ත ලංකාවට යන්ට බඩු පටවන දවසෙ මමත් ගියා උදව් වෙන්ට. 

"ඔව්..ඔව්..එහෙම තමයි හිතාගෙන ගිහිල්ල තියෙන්නෙ නං. ඒත් ඕකා අර හයිවේ ප්‍රොජෙක්ට් එහෙකනෙ වැඩ කලේ. ඒක පොඩ්ඩක් ඔන් හෝල්ඩ් වගේ හින්ද ස්ටාෆ් එක අයින් කරනවලු. ඒ පාර වසන්ත එන පොට හොඳ නෑ මාමෙ කෙල්ල ගෙට ගං කියල කලින්ම රෙසිග්නේෂන් දීල මෙහෙ ඇවිල්ල."

"ඉතිං ජොබ් එකක් හම්බවෙලාද?"

"තවම නෑ. ඒත් පරණ තැනට යන්ට පුලුවන්ය කියලයි කියන්නෙ. ඒ කාලෙ උගෙ හිටපු සෙක්ෂන් හෙඩ් තමයි දැං එතන එම්.ඩී. වසන්තයගෙ පරම බොක්ක. ලොක්ක කොහොමහරි මූව ගනියි."

වසන්ත ඒ කාලෙ වැඩ කලේ මෙහෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් උපදේශක සමාගමක.

"එහෙමනම් හොඳයි. මොකද උඹ දන්නවනෙ මේ දවස්වල මෙහෙ සිටුවේෂන් එක. ජොබ් එකක් හොයාගන්න එක කොහොමත්ම ලේසි නෑනෙ." 

වසර දෙකක පමණ කාලයක සිට බල පැවැත්වෙන බොර තෙල් මිළ පහළ යාම මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කොට ඇත. තථ්‍ය (Actual) ආදායම ප්‍රක්ෂිප්ත (Projected) ආදායමට වඩා බොහෝසේ පහළ වැටීම නිසා රජය සැළසුම් කල වියදම් විශාල වශයෙන් කපාහැර ඇත. නුදුරු අනාගතයට අත්‍යාවශ්‍ය නොවන සේ වර්ගකොට ඇති ඉදිකිරීම් බහුතරයක් තාවකාලිකව නවතා ඇත. එබැවින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීම මේ දිනවල බොහෝසේ දුෂ්කරය.

ඉතිං කොහොමහරි අර පරණ හිතවත් ප්‍රධානියගෙ අනුග්‍රහයෙන් වසන්තට කලින් වැඩ කරපු තැනම රැකියාවක් ආයෙම ලැබුනා. ඒ සන්තෝසෙටත් එක්ක තමයි වසන්ත ඔය පහුගිය සිකුරාදා පොඩි මධුපානෝත්සවයක් පැවැත්තුවෙ.

"ඔන්න මචං හෙට වරෙං නොවැරදීම හොඳද?" වසන්තය මට කතාකරල කිව්ව බෘහස්පතින්ද උදේ.

"වෙන කවුද බං එන්නෙ?"

"උඹ දන්න අය තමයි ගොඩක් එන්නෙ. ආ..කලින් මම මෙහෙ ඉන්දැද්දි ආශ්‍රය කරපු එකවුන්ටන්ට් කෙනෙකුටත් මම එන්ට කිව්ව."

වසන්තය හිත හොඳ එකා. ඒක හින්ද පහුගිය සිකුරාද මම ගියා එකොළහ වගෙ වෙනකොට. යනකොටත් දහ දොළොස් දෙනෙක්ම ඇවිත් හිටිය.

"මචං වරෙං වරෙං...මේ තමයි මම අර කිව්ව එකවුන්ටන්ට්...මිස්ටර් විජේසූරිය, මෙයාගෙ මල්ලි මේ ලඟදි බැන්දෙ ගම්පලින්. උඹත් පේරාදෙණිය කිට්ටුව නේද? සමහරවිට දන්නවත් ඇති. එහෙනං කතාවක් දාගෙන ඉඳහංකො. මම එන්නං පොඩ්ඩක් කුස්සිය පැත්තට ගිහිල්ල."

විජේසූරිය මා දිහා ටිකක් වෙලා බලා ඉඳල නළල රැළි කරගත්ත. "මට මේ..මේ...ඔබතුමා ..මේ නම මොකක්ද කිව්වෙ?"

"මම රවි.."

"ආ..මට මිස්ටර් රවීව හොඳට දැකල පුරුදුයි. ඒත් හරියට මතක් වෙන්නෙ නෑ කොහෙද කියල…ම්..ම්...ම්..."

ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක..මම සුටුපුටු ගාල මටම කියාගත්ත.

"මිස්ට රවී මොකවත් කිව්වද? " විජේසූරිය ඇහුව. 

"නෑ..නෑ..මම මේ කිව්වෙ මමත් දැන් මෙහෙ සෑහෙන කාලයක් වෙනවනෙ. ඔය කොහෙදි හරි ෆන්ක්ෂන් එහෙකදිවත් අපි හම්බ වෙන්ට ඇති. මේ.. මට මිස්ටර් කියන්න ඕන නෑ රවී කිව්වම ඇති. ඔයා මෙහෙ ඇවිල්ල කොච්චර කල්ද?"

"ආ..මම මෙහෙ ආවෙ අවුරුදු නමේකට වගෙ ඉස්සරහ…"

ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක කියල මම මටම කියාගත්තෙ ඇයි දන්නවද? විජේසූරියට මාව හරියට මතක නැතිවුනාට මට මිනිහව හොඳට මතයි. හරියටම කිව්වොත් මට මිනිහව හම්බවුනේ අවුරුදු හයකට වගෙ ඉස්සර. ඒත් මේ වගේම මගෙ තවත් යාලුවෙකුගෙ මේ වගේම මධු පානෝත්සවයකදි.

ඇත්තම කිව්වොත් මගේ මේ බ්ලොග් ලිවිල්ල ඇරඹීමට එක් උපස්ථම්භක පුඟුලෙක් ඔය මිස්ටර් විජේසූරිය. ඒත් එහෙම උපස්ථම්භක වුනාය කියල ඒ මනුස්සය හාංකවිසියක් දන්නෙ නෑ. ඒකයි ඒකෙ අවයවය. (ඔය අවයව කතාව කියන්නෙ අපෙ උන්දැගෙ අප්පච්චි. මගෙ මාමණ්ඩි )

උපස්ථම්භක කියන වචනෙ තේරුම දන්නව නේද? ස්ථම්භ කියන්නෙ කණුව නැත්නම් කුළුණ.අර ප්‍රේමදාස මහත්තය (ප්‍රේමදාස මහත්තය කියන්නෙ සියඹලා ගස්යට රස්සාවල් දෙන සජිත් මහත්තයගෙ තාත්තා. ප්‍රේමදාස මහත්තයව අඳුන්වල දෙන්ට වෙන්නෙ තව ටික කාලෙකිං අන්න එහෙම. The Father Of Sajith the Great Benefactor of Common Man Under The Tamarind Tree) රට පුරා හන්දියක් හන්දියක් ගානෙ හදාගෙන හදාගෙන ගියේ මොනවද? හෝරා ස්ථම්භ නොහොත් ඔරලෝසු කණු. 

ඉතිං උපස්ථම්භක කියන්නෙ යම් දෙයකට උදව්වෙන කියන තේරුම. චේතනාව අනුව කර්මය විපාක දෙන ආකාරයන් සිව් වැදෑරුම්ය කියල දන්නවනෙ නේද? බුද්ධාගම ඉගෙන ගෙන ඇතිනෙ හයේ හතේ පන්තිවල. ජනක කර්මය, උපස්ථම්භක කර්මය, උපපීඩක කර්මය සහ උපඝාතක කර්මය.

හරි හරි බුද්ධ ධර්මය ගැන පාඩම ඔය මදැයි. ආපහු එමු මම අර මිස්ටර් විජේසූරිය අඳුනගත්තු අන්දම ගැන විස්තරේට.

පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Predetermined Farewell, 

මගේ නමින් මුලින්ම බ්ලොගයක පළවූ නිර්මාණය මවිසින් හඳුන්වනු ලැබූයේ එසේය.

මගේ ඒ මුල්ම නිර්මාණය පලවූයේ 2010 ඔක්තෝබර් 27 වන දින ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේය. ඊට පලමු මාස මාස නවයකට ආසන්න කාලයක් මම බ්ලොග් කියවීමෙහි සහ අදහසක් පලකල යුතුයැයි හැඟුනු විටෙක කමෙන්ට්ස් දැමීමෙන් පමණක් සෑහීමට පත්වූයෙමි.

ඒ අතර මගේම අත්දැකීමක් ආශ්‍රයෙන් ලියැවුනු ඉහත කී කථාව මම ලියා අවසන් කොට තිබිණි.ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ, පාඨකයකු විසින් එවන ලදැයි සඳහන් වූ නිර්මාණයක් පළවී තිබෙනු දිනක් මම දුටිමි. ඒ සමග ටැබූ සබ්ජෙක්ට්ස් වලට අදාල, පාඨක නිර්මාණ වලට තම බ්ලොගය විවෘතබව ද ටැබූ පවසා තිබිණි.

වහාම මම මගේ නිර්මාණය ටැබූ වෙත යැවූ අතර, දින කිහිපයකින් ඔහු එය තම බ්ලොගයේ පළ කලේය.

ඊට ලැබුනු සිත දිරිගන්වන සුලු ප්‍රතිචාර බොහෝ වූ අතර දිගටම මසිතේ නැඟෙන සිතුවිලි අකුරු කිරීමට ඒ බොහෝසෙයින්ම දිරිගන්වන සුලු මූලාරම්භයක් වීය.

එසේම බ්ලොග් යනුවෙන් යමක් පවතින බව මම දැන ගත්තේද ටැබූට ස්තූති වන්නටය. ඒ සිද්ධියට ටැබූ සම්බන්ධ වන්නේ ඉතාම අහඹු සහ අභව්‍ය ආකාරයට වුවද සැකයකින් තොරව ඔහු එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය.

එම කථාව කෙදිනක හෝ ලිවිය යුතුයැයි මම සිතා සිටියෙමි.

කුඩා කාලයේ සිටම මම සම්මතයට විරුද්ධව යාමට ඇලුම් කලෙමි. වයස දහයක් හෝ දොළහක් පසුවෙද්දී මුල් වරට ඇසළ පෙරහැර නැරඹීමට ගිය මගේ මතකයේ නොමැකෙන ලෙස තැන්පත් වූයේ ගාම්භීර ලෙස බර අඩි තබමින් ඇවිද යන නිලමේ වරුන් නොව විදුලි බුබුලුවලින් සමලංකෘතවූ අලි ඇතුන්ගේ දෙපා බැඳ දමා තිබූ බරැති විලංගු වලින් නැගි අමිහිරි නාදයයි. විලක්කු එලියෙන් බැබලෙන කරඬුව නොව කරණම් ගසමින් නටන නැට්ටුවන්ගේ විඩාබර දෑසයි.

"අනේ අම්මෙ, අර අලියො පව්" කියා පෙරහැර නරඹා ආපසු එන විට අම්මා සමඟ පැවසූ බව මට තවම මතකය.

ඊට වසර දෙකකට පමණ පසු කාලයක සිදුවුවක් ද මගේ මතකයේ ඇත. ඒ දිනවල විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වූ වකවානුවක් විය. අපේ ඥාතීන් කිහිපදෙනෙකු ද ලොකු අම්මා ද සමග අම්මා දළඳාවේ අනුහස් පිලිබඳව කල කතා බහකට මමද ඒ අසල බංකුවක හෝ කුඩා පුටුවක වාඩිවී ඇහුම් කන් දීගෙන සිටියෙමි.

"දන්නවද ලොකු නංගී, මේ පාරත් දළඳා හාමුදුරුවො ඇතුල් මාලෙන් වඩම්මන කොට අහස කලු කරල වැස්සනෙ මහ වැස්සක්" අම්මා දෙසට හැරුනු ලොකු අම්මා පැවසූයේ ගෞරව සම්ප්‍රයුක්ත හඬකිනි.

"ඇත්තද අක්කෙ? හැම සැරේම ඉතින් ඕක වෙනවමනෙ" අම්මා ද පිළිතුරු දුන්නාය.

"මම මේ කල්පනා කලේ ලොකු අම්මෙ" හිස උස්සා, ලොකු අම්මා දෙස බැලූ මම පැවසුවෙමි. "ඔය මහ නියං කාල වල බැරිද, ඔය දළඳාව එලියට වඩම්මල වැහි වහින්ඩ වැඩ කරන්ඩ? "

"මොනවද පුතා මේ කියන්නෙ?" අම්මා මට තම නොමනාපය පලකලද, ලොකු අම්මා සිනාසුනා පමණක් බව මට තාමත් මතකය.

දැනුම් තේරුම් ඇතිවූ පසු, කිසිම දිනක මම බෝ ගස් හෝ පන්සල් පසුකරද්දී බසයේ ආසනයෙන් නැඟී සිටීමේ පුරුද්ද අනුගමනය නොකලෙමි. බුදුන් වහන්සේගේ ධර්මයට ගරුකලයුත්තේ හැකිතරම් දුරට ඒ අනුව දිවි ගෙවීමෙන් විනා, බෝ ගසක් පන්සලක් දුටු වහා මකුණෙකු කෑවාක් මෙන් හිඳිනා ආසනයෙන් පස්ස ඉස්සීමෙන් නොවන බව මගේ අදහස විය.

විවාහ වූ පසු බිරිඳ සමඟ බසයෙන් යද්දී, දළඳා මාළිගය අසල ඇය අසුනෙන් නැඟි සිටිද්දී, මම සුපුරුදු ලෙස නොනැගිට සිටියෙමි. දෙතුන් වරක් මෙසේ වූ ඉක්බිති ඇය මේ පිළිබඳව මගෙන් විමසුවාය.

"ඔතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දතක්ය කියල අපි දන්නෙ කොහොමද?, අනික ඒක එහෙමම උනත්, තමන්ගෙ ශරීර අවයව වලට ගරු කරන්නෙයි කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කොතනද? වැදගත්ම කාරණේ බුදු හාමුදුරුවො එහෙම කිව්ව උනත්, අපි ඒක එක පාරටම පිළිපදින්න ඕනද? අමතක කරන්න එපා, එතුමාම කියල තියෙනව කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා,තමන්ගෙ විචාර බුද්ධියෙන් කල්පනා කරල බලල පිළිගත හැකියයි හිතෙනව නම් පමණක්, පිළිගන්න කියලා,ඉතින් මම කරන්නෙ එතුමාගෙම උපදෙස් පිළිපදින එක" මම පිළිතුරු දුන්නෙ එහෙමයි.

සාවධානව මගේ පැහැදිළි කිරීම අහගෙන හිටියට, එයා නම් දිගටම නැඟිටින එක කර ගෙන ගියා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ අදහස පිළිගන්න බැරිනම්, තමන් කැමති තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඇයට ඇති පරම අයිතිය, විවාහ ලියාපදිංචි පොතේ තිත් ඉර උඩ අත්සන් කල වහාම අහෝසි වෙන්න විදියක් කොහෙත්ම නැහැනෙ.

මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි, වෙන කවුරුවත්ම මම හිතන විදිහට හිතන්නෙ නැහැ කියල මට හොඳටම තේරුණේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ සංවර්ධන ව්‍යාපෘතියක රැකියාවට ගියාට පස්සෙයි. ඒ ජන වාර්ගික ගැටලුව උග්‍රවී යුද්ධය ඒ ප්‍රදේශයේ ජන ජීවිතය උඩු යටිකුරුකොට තිබූ යුගයක්.

දෙමළ ජනයාට ස්වයං නිර්ණන අයිතිය ලබා දිය යුතුය කියන ස්ථාවරයෙ තමයි මම එදා ඉඳලම හිටියෙ. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති පරිණත ඒ වගේම මහ පොළවෙ පය ගහල ජීවත්වෙන ඉතාම ප්‍රායෝගික මිනිසුන් ජාතිය සහ ආගම සම්බන්ධ කාරණා වලදි කොපමණ පක්ෂග්‍රාහී වෙනවද කියන එක මට පසක් උනේ ඔන්න ඔය දවස්වල.

හැමදාම මේ ගැන තර්ක විතර්ක කරල, මගෙ එක බත් පිඟාන බෙදාගෙන කන යාලුවො තරහකරගන්නෙ මොකටද කියල, පස්සෙ පස්සෙ මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අත ඇරලම දැම්මා. මටතේරුම් ගන්නම බැරි උනේ මගෙ ඒ යාලුවො මගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් දැරීම නෙවෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයටත් තමන්ගෙම අදහස් දැරීමේ අයිතිය තියෙනවනෙ. මට තේරුම් ගන්නම බැරි උනේ, මගේ විරුද්ධ අදහස් දැරීමේ අයිතියට අභියෝග කරන්නට ඒ අයට අයිතියක් ලැබුනෙ කොහොමද කියල. මේ ගැන එයාලට පැහැදිලි කරල දෙන්න, මට එහෙන් සමුගෙන එනකනුත් බැරි උනා.

ඉතින් ඔන්න ඔහොම ඉන්දැද්දි තමයි අහම්බෙන් මට ටැබූව අඳුනාගන්න ලැබුනෙ,

මම මේ රස්සාවට ඇවිල්ල අලුත ගියා පොඩි සාදයකට. එහෙදි දැන හඳුනාගන්න ලැබුනා උගත්, ඒ කියන්නෙ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබපු මහත්මයෙක්. කොහොම හරි මේ මහත්මයා ඉතාම හොඳ පෙරාපු රත්තරන් වගෙ සිංහල බෞද්ධයෙක් බව කතාවෙන් බහෙන් තේරුන නිසා, මම ඔය කියන එව්වට හූමිටි තිබ්බ මිස, වැඩි දිග දුර කථා බහකට ගියේ නැහැ. මොකද මම දන්නව මේ ආකල්ප තියෙන අය එක්ක කථාබහ කරන එක හරිම අසීරුයි කියල,

කොහොම හරි කථාව ඇදිල ආව දළඳාව පැත්තට. දැන් මේ මහත්මය කියනව දළඳාවෙ හාස්කම් ගැන ඇස් දෙකත් උඩ තියාගෙන. මම කිසිම දෙයක් නොකියම හිටියා. අන්තිමට එතුමාම කිව්ව "ආ, ඔයා නුවර කිව්ව නේද? ඔයා ඉතින් හොඳටම දන්නව ඇතිනෙ මේ දෙවල් ගැන, කියන්නකො ඔයා හිතන්නෙ මොනවද මේ ගැන" කියලා

ඉතින් මොකද කරන්නෙ, මගෙන්ම අහන එකේ නොකියා කොහොමද?

"මම ඔය ගැන ඇත්තටම කථා කරන්න නම් කැමති නැහැ, ඒත් අහන නිසා කියන්නම්, දළඳාවෙ හාස්කම් ගැන කියනව නම් මතකයිනෙ අර 1998 දළඳා මාළිගාවට කොටි බෝම්බ ගැහුවා "

"ඔව්, ඔව්, මොකෝ මතක නැත්තෙ? හාස්කමකින්ම තමයි ඒ වෙලාවෙ දළඳාව බේරුනෙ, ඒකෙ ආයෙ කිසිම සැකයක් නැහැ "

"නැහැ, මම කියන්න ආවෙ නම් ඒක නෙවෙයි, මම නම් පිළිගන්නෙ නැහැ එතන හාස්කමක් උනාය කියල, දැන් එතන වැඳ පුදාගන්න ආව අහිංසක මිනිස්සු බරගානක් මැරුන නේද? දළඳාවට හාස්කම් තියෙනවනම් වෙන්න ඕනෙ ඒ අහිංසකයො එක්කෙනෙක් වත් නොමැරි අර බෝම්බ ගෙනාපු කොටි බෝම්බත් එක්කම විනාශ වෙන එක නේද? ඒ නැතුව වඳින්න ආපු මිනිස්සු බල්ලො බලල්ලු වගෙ මැරිල,දළඳාව විතරක් බේරෙන එක හාස්කමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ"

හැමදාම වෙන දේම එදා එතනත් උනා, දැඩි විවේචන සහ බැණ වැදීම් මැද මටත් මාව එතනට කැඳවාගෙන ගිය මගෙ මිතුරාටත් ආපසු එන්න සිදු උනා,

අපි එද්දි අර මහත්මයා මෙහෙම කියනව මට ඇහුනා, "දැන් බෝවෙලා ඉන්නවා මෙහෙම ජාතියක් ආගමක් නැති නරුමයො රැලක්, ඔය ටැබූ කියල බ්ලොග් ලියන්නෙත් මේ වගේම අදහස් තියෙන එකෙක්නෙ "

මේ කතාව ඇහුනම මට ලොකු ඕනකමක් ආසාවක් ඇතිඋනා කවුද මේ ටැබූ කියන්නෙ කියල දැන ගන්න, ඒ නිසා මම මගෙ යාලුවා මාර්ගයෙන් පහුවදා විස්තර හොයාගත්තා, එතනින් තමයි මම දැන ගත්තෙ බ්ලොග් ලියනවය කියල දෙයක් තියනවය, ඒවගෙ තමන්ගෙ අවංක අදහස් උදහස් වාරණයකින් තොරව (මේ මම එතකොට හිතාගෙන හිටපු හැටි) පළකරන්න පුලුවන්ය, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන්න පැකිලෙන මාතෘකා ගැන කතා කරන බ්ලොග් එකක්ය කියල,

මට ටැබූ හඳුනාගන්නට සහ ඒ මාර්ගයෙන් බ්ලොග් කියවීමට සහ ඉන්පසුව බ්ලොග් ලිවීමට, අවස්ථාව ලැබුනෙ ඉතාම අහඹු සහ අනපේක්ෂිත ආකාරයකටය කියල මම කලින් කිව්වෙ මෙන්න මේ නිසා.

දැං ආපසු වර්තමානයට නොහොත් බෑක් ටු ද ප්‍රසන්ට්....

ඉතිං ඔය සටහන මම ලිව්වෙ අවුරුදු පහකට වගෙ ඉස්සර අපේ සොඳුරුසිත අම්මණ්ඩිගෙ බ්ලොග් එකට. ටැබූ තම බ්ලොගයද වසා දමා අතුරුදන් වූ අලුත. ඒ සටහනේ අවසානයට මම මෙහෙමත් ලිව්ව

මේ ටික මම ලිව්වෙ ඇත්තටම අද ටැබූ බ්ලොග් අවකාශයේ නැහැ, ආයෙත් ලියයිද නැද්ද කියන එකත්,කාලයට සහ වෙනස් වන තත්ව අනුව තීරණය වෙන දෙයක්.

ආයෙ ටැබූ ලිව්වත් නැතත් මට කියන්න තියෙන්නෙ, ටැබූ ඔබට ස්තූතියි, අප ඇත්ත වශයෙන්ම අවශ්‍යයෙන්ම සිතිය යුතු එහෙත් අප විසින්ම අප කෙරෙහි ස්වයං වාරණයන් පනවාගෙන ඇති තහනම් මාවත් ඔස්සේ අපේ චින්තනය යොමුකරවීමට ඔබ ගත් උත්සාහයට මගේ ගෞරව පූර්වක ස්තූතිය!

මම මේ සටහන පටන්ගත්තෙ අහඹු සමපතනයක් නැත්නම් Coincidence එකක් ගැන කියලනෙ. ඒ ගැන පොඩි පැහැදිලි කීරිමක් කලොත් මෙන්න මෙහෙමයි. 

ඉතිං පහුගිය සිකුරාදා වසන්තයගෙ මධු පානෝත්සවය ඉවර වෙලා ඇවිල්ල පොඩ්ඩක් සැතපිල එහෙම ඉක්බිති හවස්ජාමෙ ඇහැරල කියල මම ඔය සොඳුරු සිතට ලියපු සටහන හොයල බැලුව මගෙ පරණ ෆයිල්වල. එතකොටයි දැක්කෙ මම අර කියපු මගෙ මුල්ම වියුණු සටහන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකේ පළවෙලා තියෙන්නෙ 2010 ඔක්තෝබර් 27 වෙනිද. ඒ කියන්නෙ ඒ සටහනේ සයවන සංවත්සරයට එතකොට තිබ්බෙ හරියටම දවස් හයයි. ඉතිං මට හිතුන ඔක්තෝබර් 27 වෙනිදා මේ විස්තරෙත් කියල ඒ ගැන පොඩි සමරු සටහනක් ලියන්ට ඕනය කියල. ඉතිං ඒ සටහන තමයි මේ. 

Tuesday, October 25, 2016

451. The Story Of My Marriage - 27 - මගේ ශ‍ය්‍යා කෝෂ්ඨය, රූ රැසේ අඳිනා ලෙසේ සහ Priority Banking Clients……



චෙන්නයිහි සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරය

දෙයියනේ කියල ජීවිතේ ඉස් ඉස්සෙල්ලම රස්සාවකට ගිහිල්ල මුල්ම දවසෙ හෙහ්, ඇත්තම කිව්වොත් මුල්ම දවසෙ නම් බැරිය, මුල්ම දවසෙ මුල්ම පැයේදිම රස්සාව නිකං මෛත්‍රීට දිල්රුක්ෂි එපාම වුනාවගෙ ඉත්තේරුවෙම්ම එපාම එපාම එපාම එපා වෙනවනම් මම හිතන්නෙ අනිවා එතන මොකක් හරි සීරියස් කේස් එකක්, එහෙම නැත්තං ලොකුම වැරැද්දක් තියනව. හැබැයි අපරාදෙ කියන්ට බෑ මේ ටිකත් කියලම ඉන්ට ඕන. එහෙම උනේ ඒ කිව්වෙ මට රස්සාව එපාම වුනේ මගෙ සේව්‍යයා නැත්නම් හාම්පුතා වන සිටි බැංකුවෙ වැරැද්දකින් නම් එහෙම නෙවෙයි.

ඇත්ත ඇති සැටියේ කිව්වොත් සිටි බැංකුවෙ ඉහල කලමණාකාරිත්වය මගෙ රස්සාව මට ප්‍රියමනාප කරන්ට, එතකොට සන්තෝසෙං කරගෙන යන්ට තුඩුදෙන විදිහෙ හැම දෙයක්ම කරල තිබුන. මොනව වුනත් ඇත්තම කියන්ට එපැයි, නැද්ද? උදේ මම යනකොටත් ඒ ගොල්ල මට වීදුරු වලින් හදාපු පොඩි ශය්‍යා කෝෂ්ඨයක් වෙන් කරල තිබ්බ. ශය්‍යා කෝෂ්ඨය කියන්නෙ Cubicle කියන එක. හොඳද? එම වදනෙහි නිරුක්තිය පිළිබඳව කිසිවක් නොදනිමි. තෙළ මධුරයා විසින් මා හට එසේ පවසන ලදී. 

ශය්‍යා කෝෂ්ඨයෙ මේසයක් සහ සැපපහසු පුටුවක්. මේසය මතුයෙහි අලුත්ම මාදිලියේ ඇකය-මත පරිගණකයක්. ඇකය-මත කියන වචනෙ දන්නවනෙ නේ? නොදැනිම දරුවන් ඇකයෙන් වැටුනා. අහල තියනව නේද? එහෙම වෙලා තියෙන්නෙ ගුත්තිල පණ්ඩිතයන්ගෙ වීණා වාදනය අහගෙන ඉන්නකොට ඒ රසයෙන් මත්වෙලා. "රෑ රැසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා........."

හෝව්..හෝව්..මේ වැඩේ හරියන මඟුලක් නෙවෙයි. දැං "රෑ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා" ගැන කියන්ට ගියොත් මේක දිගට දිගට දිගට ඇදිල ගිහිල්ල මහ විකාරයක් වෙනව. ඒ හින්ද ඒ ගැන ඊලඟ පෝස්ට් එකේදි ලියන්නං. මගේ විවාහයේ කථාවේ අතුරු කථාවක් (Story of my Marriage - A Digression) අන්න එහෙමයි මාතෘකාව. වෙරි ගුඩ් නෙවද? යස් ඔෆ් කෝස්. වෙරිම වෙරි ගුඩ්. ගුඩේ ගුඩ්.

හා හා පුරා කියල මට පැවරිච්චි රාජකාරිය තමයි සිටි බැංකුවෙ ඉන්නව වෙනම ප්‍රමුඛත්ව ගණුදෙනුකරුවන්ය කියල වර්ගීකරණය කරපු කට්ටියක්. ඉංගිරිසියෙන් කිව්වොත් Priority Banking Clients. ඒ වගෙ මහේශාක්‍ය පට්ටමක් දාල තියෙන්නෙ පොලිටිකලි කරෙක්ට්නස් එක ගැන හිතල. පොලිටිකලි කරෙක්ට්නස් ගැනත් මට තියෙනව කියන්ට දේවල් බොහොමයක්. ඒකත් අර අතුරු කථා වලට දාගමු. 

ඉතිං ප්‍රමුඛත්ව ගණුදෙනුකරුවන්ය කියල පොලිටිකලි කරෙක්ට් ටර්ම් එකෙන් හඳුන්වන්නෙ ඔය ගෝනි කනක්කුවෙ සල්ලි තියෙන කෝටිපතියො/පතිනියො. ඉංගිරිසියෙන් කලින් ඒ වගෙ අයට කිව්වෙ Stinking Rich කියල. එහෙම කියන එක ඒ හැටිම හරි නැති හින්ද තමයි ඔය Priority Banking Clients කියල සරුව පිත්තල නමක් හදල තියෙන්නෙ.

අපේ බැංකුවෙ ඔය කියන ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට් කෙනෙක් වෙන එක බොහොම පහසුයි. වෙරි ඊසි. ඇයට හෝ ඔහුට තියෙන්නෙ සල්ලි පෝර ගෝනි බාගයක් විතර කරේ තියාගෙන අපේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන එක විතරයි.ඇත්තටම එච්චරයි. දැට්ස් ඕල්. එහෙම කරන අය සැණෙකින් "ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට්" කියන කැටගරි එකට ස්වයංක්‍රීයව ඇතුලත් වෙනව. ඊට පස්සෙ ඒ කැටගරි එකට ලැබෙන මෙන්න මේ පහසුකම් ඇයට/ඔහුට ලැබෙනව.

දැං සාමාන්‍ය ගණුදෙනු කාරයින්ට ඉඳගන්ට තියල තියෙන්නෙ පුටු. අපේ ප්‍රමුඛත්ව ගනුදෙනුකරුවන්ගෙ/කාරියන්ගෙ පශ්චාත් භාග සතප්පවන්ට අපි එයාලට ලෑස්ති කරල තියනව බොහොම සුවපහසු කවිච්චි. ඉංගිරිසියෙන් නම් සෝෆා. එතකොට අපේ අවංක නිලධාරී මහතුන් කොහොමද තව කුට්ටියක් මේ ලොක්කගෙං නැත්තං අම්මණ්ඩිගෙ සල්ලි කණක්කුවෙං කඩාගන්නෙ කියල එයාලත් එක්ක සාකච්ඡා කරනකොට අපි එයාලට සංග්‍රහ කරනව බොහොම ප්‍රණීත පැණි බූන්දි බන්දේසියකින් සහ ඉතා රසවත්, කිරි මිශ්‍ර කල ඉස්තරම් තේ පිරවූ රජතමය කිරි තේ පෝච්චියකිං.

රජතමය කියන එක දන්නවනෙ නේද? රිදියෙන් නිමැවූ. නැත්තං රිදී මුවා. සිල්වර් ඩියර්.."No no no not deer. Deer run too fast, no catch..." ඒ කතාව අහල තියනව නේද?

ඒ වගේම ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට්ලට ලැබෙන තව වරප්‍රසාදයක්. අපෙ ඉන්නවනෙ Customer Services Managers නොහොත් පාරිභෝගික සේවා කළමණාකරුවො කියල ජාතියක් ආන්න ඒ මහා දැනුමැති බුද්දිමතුංගෙ සේවය ඕන වෙලාවක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමේ මහාර්ග අවස්තාව.

ඉතිං කිව්වම මොකද මමත් ඔය එක පාරිභෝගික සේවා කළමණාකරුවෙක්....හෙහ්..හෙහ්..ඒත් ඉතිං මගෙං ඉතාම ඥාණාන්විත මූල්‍ය ආයෝජන උපදෙස් ගන්ට එන කිසිම පාරිභෝගිකයෙක් දන්නෙ නෑ මම ඉන්නෙ මේ බැංකු රස්සාව අන්තිමටම එපා වෙලාය. මම මේ බල්ලෙක් නාවන්ට ගෙනියනව වගෙ මේ රස්සාවට එන්නෙ මාසෙ අන්තිමට අතට හම්බවෙන ගාණ ගැන බලාගෙනය. එතකොට මම මේ දුර කතර ගෙවාගෙන මේ ඇවිල්ල ඉන්නෙ එයාලගෙ මූල්‍ය සම්පත් වර්ධනයක් කොරන්ට තුං හිතකිංවත් හිතලා එහෙම නෙවෙයිය. එකම හේතුව මගෙ ප්‍රේමවන්තිය මේ නගරෙ ඉන්න නිසාය කියල. කොහොම දැනගන්ටද එක අතකට? මොකෝ මම ඔව්ව ඒ මිනිස්සු එක්ක කියන්ට යනවය?

ඉතිං ඔය ගනුදෙනු කාරයො අන්දල සල්ලි කඩාගන්න එකට අපේ බැංකු පාරිභාෂික වදන් මාලාව අනුව කියන්නෙ ගණුදෙනුකරු/කාරියට හිමි මූල්‍යමය සම්පත් ඔහුට/ඇයට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි විවිධ ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීම. කොහොමද වචන ටික විතරක්? මල් හතයි නේද? ඔහොම ආලවට්ටං දාල බරවචන මැදට රිංගවල කිව්වහම ඕනම සල්ලි කාරයෙක් දැපනෙ දාගන්ට පුලුවං. එහෙමත් කෙනෙක් ඒ කිව්වෙ ඔය හොඳටම තෙම්පරාදු වෙච්චි අංකූරෙක් වගෙ කෙනෙක් තමයි අපේ ඔය හබකට අහුනොවෙන්නෙ. ඔය දේවල්ගැන මම් මෙලෝ හසරක් දැනගෙන නොහිටියට මගේ අංශෙ අවශේෂ උදවිය ඔය සල්ලි කඩාවඩා ගන්න වැඩේට කප්ගහපු කස්ටිය. අංසේ මැනේජර් හෙවත් මගෙ ආසන්නතම ප්‍රධානියා නොහොත් ඉමීඩියට් බොස් තමයි මට ඔය ටික කියල දුන්නෙ රස්සාවට ගිය පළමුවෙනි දවසෙ පළමුවන වරුවෙ පළමුවන පැයේදිම.

එයා ඔය ටකරමකට ගල් ගහන්න වගෙ ඔය විස්තර කියවගෙන කියනවගෙන ගියාට මම ඔව්වට ඒ හැටි උනන්දුවෙන් ඇහුං කං දුන්න ඇති එකක් නෑ. මගේ ඉස්කබල අස්සෙ වද දුන්නු ප්‍රස්නෙ ඇවිදිල්ල හිට හවස ටිකක් කලිං මෙතනිං දිරාමාරු වෙලා ගිහිල්ල අනන්‍යා මුණ ගැහෙන්නෙ මොන විදිහෙංද කියන එක. රස්සාවට ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙම කලිං යන්ටද කියල අහන එකත් නිකං හොඳ නෑ හොඳ නෑ කියල එක අතකට හිතෙනවත් එක්ක.

ඉතිං මම යටතෙ ඉන්නව බැංකු නියෝජිතයො නොහොත් Bank Representatives නමින් හැඳින්වෙන ගණුදෙනු කාරයො එක්ක කෙලින්ම ඩීල් කරන අය අට දෙනෙක්. මේ නියෝජිතයො බහුතරයක් ලාබාල ඔය ඒ හැටිම ප්‍රසිද්දියක් නැති විස්ව විද්‍යාල වලින් එම්.බී.ඒ. වගෙ උපාධියක් ගත්තු අය. මම ඉතිං IIMA වගෙ ඉහලම පෙලේ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගත්තු හින්ද මම කොහොමත් එයාලට වඩා ඉහළ මට්ටමක තමයි ඉන්නෙ. එහෙම තමයි ඉන්දියාවෙ බැංකුවල, බැංකුවලම විතරක් නෙවෙයි කොහෙත් ක්‍රමය.

අනන්‍යා එක්ක එක කාමරේ ජීවත් වෙච්චි කාලෙ ඉගෙන ගත්තු වචනයක් දෙකක් ඇරෙන්ට මට දෙමල සම්ම ජාතියක් බෑ. අනික මම බැංකුවල වැඩ කෙරෙන විදිහ, විශේෂයෙන් මූල්‍ය ආයෝජනය ගැන මල පොතේ අකුරක් දන්නෙ නෑ. ඒ වුනාට මගෙ උපාධිය සහ තනතුර අනුව එහෙම නොදන්නාකම පෙන්නන්ට හොඳ නෑ. විශේෂයෙන්ම මගෙ ඉමීඩියට් බොස් නොහොත් ආසන්නතම ප්‍රධානියාට. මගෙ ඉමීඩියට් බොස් ඇවිල්ල මිස්ටර් බාලක්‍රිෂ්ණන් නොහොත් බාලා.

උදේ ආපු ගමන්ම මම ගිහිල්ල බාලාට අතට අත දුන්න.

"බොහොම සන්තෝෂයි ක්‍රිෂ්, ඔයත් අද ඉඳල අපේ පවුලෙ සාමාජිකයෙක්. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි"

"මොකක්? මේ මනුස්සය අනන්‍යාගෙ නෑදෑයො වත්ද? ඇයි දෙයියනේ, මේ යෝදි මට නිකමටවත් මේ ගැන කිව්වෙ නැති හැටි. කෝකටත් මේ ඥාති කතාව පැහැදිලි කරගෙන ඉන්න එක හොඳයි පාන්දරම" මම එහෙම මටම තොල මතුරගත්ත.

"මම අද ඉඳල පවුලෙ සාමාජිකයෙක් කියල කිව්වෙ මිස්ට බාලක්‍රිෂ්ණන් ඒ මොන පවුලෙද?"මම බාලාගෙන් ඇහුව. 

"පවුලෙ සාමාජිකයෙක් කියල කිව්වෙ ක්‍රිෂ් අපේ සිටි බැංකු පවුලෙ. වෙන කොහෙද ආයෙ? හිහ්..හිහ්.."

බාලා බොහොම සද්දෙට හිනාවුනේ ඒ පවුලෙ කතාව ලොකු විහිලුවක් වගෙ හිතලද මන්ද. කොහොම උනත් බාලගෙ අනන්‍යාට කිසිම සම්බන්ධයක් නැතිබව දැන් ගත්තු එක නම් මගෙ හිතට ගෙනාවෙ ලොකුම සැනසීමක්.

"ඉතිං ක්‍රිෂ් මම ඔයාට එකක් කියන්නං.අද ඔයාගෙ රස්සාවෙ පළවෙනිම දවසෙ. මේක කොයියම්ම මොහොතකවත් අමතක කරන්ට එහෙම එපා හොඳද? ඔයා ඇවිල්ල පුදුම වාසනාවන්ත තරුණයෙක්"

"ඔව්..ඔව්..මොනවට කියනවද ඒ හරිය? මේ වැඩි කාලෙකට ඉස්සර එහෙම නෙවෙයි. ඊයෙ රෑ. ඔව් ඊයෙ රෑ තව පොඩ්ඩෙං මේ පුදුම වාසනාවන්ත මම ත්‍රීවීල් කාරයො හතර දෙනෙක්ගෙන් බඩ කට පුරා ගුටි කනව ආය මදි නොකියන්ට" ඒ ටික මම හිතුව විතරයි. ඒත් එක්කම බාලාගෙන් මම ඇහුව මෙහෙම.

"ඒ කොහොමද? මොකක්ද මිස්ටර් බාලක්‍රිෂ්ණන් ඔය කියන මගෙ වාසනාව?"

"ඒ කොහොමද කියල අහන්නෙ?" බාලා මගේ මුහුණ දෙස දෑස් විදහා බලා සිටියේ එවන් ඉතා සරළ කාරණයක් හෝ තේරුම් ගැනීමට මට නොහැකිවීම ඔහුට මහත් පුදුමයක් බව අඟවමිනි. "ළමයෝ..තමංගෙ බැංකු ජීවිතය සිටි බැංකුවෙන් පටන් ගන්ට විශේෂයෙන්ම ප්‍රයෝරිටි බෑංකිං ක්ලයන්ට්ලගෙ අංශයෙන් පටන් ගන්ට සුවල්ප වාසනාවක් තියෙන්ට ඕනය කියලද හිතන්නෙ? ඕනම එම්.බී.ඒ. කාරයෙක් බෙල්ල කපාගන්ට උනත් එක පයිං කැමතිවෙනව මට හොඳටම ෂුවර් ඔයාට ලැබුන මේ අවස්ථාව වගෙ අවස්ථාවක් ලැබෙනවනම්. ආය ඒකෙ දෙකක් එහෙම නෑ." බාලා පැවසූයේ ඉතාමත් බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඪ කොටගෙන වචනයෙන් වචනයට තම හිසද ඉහල පහල සොළවමිනි.

"බෙල්ල කපාගත්තම ආය බැංකුවෙ වැඩට එන්නෙ කොහොමද?" මම බාලාගෙන් එසේ නොඅසා සිටියේ බොහෝ අසීරුවෙනි. එසේ ඇසීම වෙනුවට මම ඔහු දෙස බලා සිනාසුනෙමි. 

"ඉතිං ක්‍රිෂ්.................................ඔයා ලෑස්තිද මේ අභියෝග බාරගන්ට?"

"ලෑස්තියි..." මම යලිත් සිනාසුනෙමි. "මට තියෙන අභියෝගෙ හවස තුනටවත් මෙතනිං පැනගන්ට ක්‍රමයක් හොයාගන්න එක" ඒ සමඟම මම මටම තොල මතුරා ගතිමි.

"යමු මම ඔයාට අපේ කණ්ඩායම අඳුන්වල දෙන්නම්."

ප්‍රමුඛත්ව බැංකු අංශයෙහි නියෝජිතයින් අටදෙනෙක් වූහ. තරුණයින් හතර දෙනෙක් සහ තරුණියන් හතර දෙනෙක් වශයෙනි. ඔවුහු හිස ගිණිගත්තවුන්සේ පර්යේෂණ වාර්තා සහ අනෙකුත් අංශයන්ගෙන් ලැබුනු උපදෙස් පත්‍රිකා කියවමින් උන්නෝය. බාලා මට ඔවුන් එකිනෙකා හඳුන්වා දුන් නමුදු එක හා සමානව ශබ්ද වන ඔවුන්ගේ දමිළ නම් මට ඊලඟ මොහොතේදී සම්පූර්ණයෙන්ම අමතක විය.

බාලා තම අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කලේය. 

"දැං අටයි. සාමාන්‍යයෙන් කස්ටමර්ල එන්ඩ පටං ගන්නෙ තව පැය දෙකකිං විතර. ඒ කියන්නෙ දහයට වගෙ. අන්න එතකොට තමයි ක්‍රිෂ් යුද්දෙ පටං ගන්නෙ" 

 බාලා එසේ පවසමින් දෙඅත්ල එකිනෙක ගටා පිරිමැද්දේ "වරෙල්ලා ඕන එකෙක් මම ලෑස්තියි" යනුවෙන් අභිනයෙන් දක්වමින් යයි මට සිතුණි.

"හරි ක්‍රිෂ් මගේ ප්‍රතිපත්තිය තමයි කෝඩු කාරයො කෙලින්ම යුද්දෙට යවන එක. මොකද කියන්නෙ තරුණයා..? යුද්දෙට ලෑස්තිද?"

"ඔව් මිස්ට බාලක්‍රිෂ්ණන් මම ලෑස්තියි"

"හරි බොහොම සන්තෝසයි ඉලන්දාරියා. ප්‍රශ්ණ එහෙම මොකවත් තියනවනං දැං අහන්ඩ පුලුවං"

"එක ප්‍රශ්ණයයි තියෙන්නෙ මිස්ට බාලක්‍රිෂ්ණන්"

"හහ්..හහ්..හා... එක ප්‍රශ්ණයයි අහන්න තියෙන්නෙ කියන්නෙ තරුණයා ඔයා හරියටම තේරුම් අරං තියනව ඔයාගෙ කාර්ය භාරය මොකක්ද කියල. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි, බොහොමත්ම සන්තෝෂයි ඔව් බය නැතුව අහන්ඩ ක්‍රිෂ්..මොකක්ද ප්‍රශ්ණෙ?"

"මිස්ටර් බාලක්‍රිෂ්ණන්, මේ..මේ..පැහැදිලිව කියන්ඩකො දැං මම මොනවද කරන්න ඕන?...එහෙමත් නැත්තං මොනවද ඔයාල මගෙන් බලාපොරොත්තු වෙන්නෙ?"

Thursday, October 20, 2016

450. The Story Of My Marriage - 26 - අනන්‍යා සහ සමන් පිච්ච මල් පෙති.........


සමන්පිච්ච  මල් වරලසෙහි ගැවසූ
දකුණු ඉන්දියානු යුවතියක්






සෝපානයේ දොර විවරවූ පසු මගේ ගමන් මළුද අතින් කරින් එල්ලාගෙන යන්තමට කණමැදිරි එළියක් නිකුත්කල විදුලි බුබුළු කිහිපයකින් ආලෝකමත් වුණු කොරිඩෝවක් ඔස්සේ ගොස් මවෙත දිල්ලියෙහි කාර්යාලයෙන් ලබාදුන් චමරියෙහි ලිපිනයහි සඳහන් අංකය අනුව අදාල දොරෙහි සීනුව නාද කලෙමි. කවුරු හෝ පැමිණ දොර විවර කරන තෙක් කරෙහිවූ ගමන් මල්ල කොරිඩෝවේ පොළවෙහි එලා තිබූ නූල් පෑදී දුර්වර්ණ වීගිය කළාලය මත තබා සුරතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කල මට වේලාව රාත්‍රී දහයේ කණිසමට ඉතා ආසන්න බව දැකගත හැකි විය.

නිදිබර දෑස් දෑතින්ම පොඩි කරමින් සුවිසල් ඈණුමක්ද අරිමින් පැමිණියෙක් දොර විවර කලේය. 

"හායි…." මම සිනාමුසු මුහුණින් යුතුව පැවසුවෙමි. "මම ක්‍රිෂ්, දිල්ලියෙ ඉඳල ආවෙ..හෙට ඉඳල මම පාරිභෝගික මූල්‍ය අංශෙ වැඩ."

"කවුරු කිව්ව?...ආඅහ්..හහ්ගහ්" ඔහු විමසූයේ සුරතින් මුව වසා ඈණුම වළක්වා ගැන්මට තැත් කරමින්ය. එක් වරම ඔහුගේ දෑස නිදිමත පහව ගොස් දීප්තිමත් විය." ආ..ඔයා අර දිල්ලියෙ ඉඳල එවපු ..හරි හරි...උතුරෙ ඉඳල චෙන්නයි වලට පුහුණුවට දාපු එකම එක්කෙනා...එන්ඩ එන්ඩ ඇතුලට..මොකෝ මේ හැටි පරක්කු වුනේ?"

"මේ.... දන්නෙ නැද්ද? ප්ලේන් එක චුට්ටක් ඩිලේ වුනා."

ගමන් මළුද ඔසවාගෙන අඩක් විවරවූ දොර උරහිසින් තල්ලු කරගෙන මම නේවාසිකාගාරයේ ආලින්දයට පිවිසුනෙමි. නිදිමතින් පෙළෙන්නා දොර අසලම මුල්ලේ වූ යතුර තද කොට බිත්තියෙහි වූ විදුලි බුබුලක් දැල්වීය. සැණෙකින් දැල්වුනු විදුලි බුබුල ඒ හා සමඟම සැණෙකින් යලි නිවීගියේ දසතම ඝණ අන්ධකාරයේ ගිල්වමිනි. 

"වට් ද ෆක්?" දත්මිටි කමින් පැවසූ ඔහු බිත්තියෙහි අනෙක් කෙළවරවූ තවත් යතුරක් තදකොට යලි වෙනත් විදුලි බුබුලක් දැල්වීය. එයද සැණෙකින් නිවී යතැයි යන සැකයෙන් දෝ මද වේලාවක් එදෙස බල සිටි හෙතෙම "යන්තං ඒකනම් හරි වගේ" පවසමින් මවෙත හැරුණේය. 

"අනේ මන්ද මේ බල්බ්වල අවුලක්ද මේ ගෙදර වයරිංවල අවුලක්ද කියල, මාසෙකට අඩුම ගානෙ බල්බ් දහයක් දොළහක්වත් අලුතෙන් දාන්න වෙන එක වෙනවමයි. ආ..එහෙත් එහෙමද?"

"එහෙත් කිව්වෙ?" ඔහු විමසන්නේ කුමක් පිළිබඳවදැයි එක්වර වටහාගත නොහැකිවූ මම විමසූයෙමි.

"නෑ මම ඇහුවෙ මේ දිල්ලියෙත් මේ වගේද කියල? බල්බ් නිතරම ගහල යනවද?"

"ආ..නෑ..නෑ..එහෙම දෙයක් නම් දැනගන්ට නෑ"

"මේ බල්බ් මංගල්ලෙ හින්ද අමතකම වුනානෙ සොරි..මම රාමනුජම්" ඔහු මවෙත සුරත දිගු කරමින් පැවසීය. "IIMB එකෙන් "

IIMB යනු බැංගලෝරයෙහි පිහිටි ඉන්දීය කළමණාකාරිත්ව ආයතනය (Indian Institute of Management, Bangalore) යන්නෙහි මුල් අකුරු වේ. 2006 වසරේදී බැංගලෝරය යනුවෙන් ඉන්දියාව පාලනය කල ඉංගිරිසින් විසින් තම පහසුව පිණිස තනාගන්නා ලද වදන වෙනුවට, බෙංගලූරු යන කන්නඩ වදන නිලවශයෙන් යලි භාවිතයට ගැණිනි. ඒ ආසන්නයේදීම මැඩ්රාස් චෙන්නයි ලෙසද, කල්කටා කොල්කතා ලෙසද එලෙසම බොම්බාය මුම්බායි ලෙසද යලි හැඳින්වීම ඇරඹිණ.

විදුලි බුබුලේ ආලෝකයෙන් දිදුලන ඔහුගේ තද කළු පැහැ කෙසින් පිරුණු හිස දෙස මම විශ්මයෙන් බලා සිටියෙමි. සහතික ලෙසම ගැඹුරු නිද්‍රාවකින් මොහොතකට පෙර අවදි වූ බව නිසැක වුවද රාමනුජම්ගේ හිස මේ මොහොතකට පෙර තෙල්ගා පීරුවාක් මෙනි. සෑම කෙස් ගසක්ම තම නියමිත ස්ථානයටවී තැන්පත්ව සිටිනුයේ රාමනුජම්ගේ අණ කඩකිරීමට බියෙන් මෙනි.

බැංකු නිලධාරියකු ලෙස ඔහුට දීප්තිමත් අනාගතයක් ඇතිබවට කිසිදු සැකයක් නැත. එහෙත් මගේ පෙනුම? චෙන්නයි ත්‍රිරෝද රථ රියදුරු සංගමය සමඟ පිටත මහා මාර්ගයෙහි ඇල්ලූ අඩව්වෙන් පසු දහදිය වැකුණු උඩ බොත්තම් කිහිපයක් ඇරුණු සහ පැත්තක් කලිසමෙන් පිටතට පැන ඇති කමිසයක් හැඳ අවුල්වූ හිසකෙසින් යුතුවූ මා දිස්වනුයේ බැංකු නිලධාරියකු කෙසේ වුවද බැංකු ගිණුමක් හෝ විවෘත කරගැන්මට නොදන්නෙකු ලෙස විය යුතුය.

"මේ කාමරේ සෙන්දිල්ගෙ..අරකෙ අප්පලිංගම්," පටු කොරිඩෝවක් ඔස්සේ මා කැඳවාගෙන යමින් රාමනුජම් පැවසීය. 

කොරිඩෝවෙහි ඇතිරූ කහ පැහැ ෆ්ලෝ ටයිල් වලින් නිකුත්වූයේ යම් තරමකට කටුක සැර ගන්ධයකි. බොහෝ විට ඒ විෂබීජ නාශක දියරයක් විය හැක. 

"මේ මනුස්සයට හැමදාම කියනව පොළව හෝදන එක දවල්ට කරන්ට කියල. කවදාවත් කියන එකක් අහන්නෙ නෑ." රාමනුජම් පැවසූයේ මගේ හැකිලුනු නාසය දැක විය යුතුය. "මම මේ කිව්වෙ අපේ චමරිය බලාගන්න මනුස්සය ගැන. සිවදාස්." ඔහු යලිත් වැඩිදුර පැහැදිලි කලේ මගේ විමසුම් බැල්මට පිළිතුරු ලෙසය.

"අන්න අරක ඔයාගේ කාමරේ….." කොරිඩෝවේ කෙළවරෙහි දකුණු පස වූ සුදු පැහැ තීන්ත ආලේපකල දොරක් පෙන්වා රාමනුජම් පැවසීය.

"මේ..කන්න මොනව හරි තියෙයිද? ප්ලේන් එක පරක්කු වුන හින්ද මම මොකවත් කන්න නැවතුනේ නෑ. එයාපෝට් එකෙන් එළියට ඇවිල්ල කෙලින්ම මෙහෙටයි ආවෙ."

"මට ෂුවර්ම නම් නෑ. ඉන්නකො අපි බලමු" රාමනුජම් කොරිඩෝවේ වම්පසවූ කුස්සියෙහි විදුලි බුබුල දල්වා ශීතකරණය විවෘත කලේය.

"ආ..මුදවපු කිරියි බත් වගේකුයි නම් තියනව. මොකද කියන්නෙ? බඩගින්නට ඕන එකක් ඔට්ටුයිනෙ. ඔන්න ඔහෙ කාල දාන්න" රාමා බත් සහ මුදවන ලද කිරි අඩංගු භාජනය ශීතකරණයෙන් පිටතගෙන එහි වැසුම් හැර කුස්සිය මධ්‍යයේ වූ රවුම් මේසය මත තැබුවේය.



මුදවපු කිරි මිශ්‍ර බත් නොහොත්  Curd Rice

අසුනක් ලංකොට ගෙන මේසයට වාඩිවූ මම බත් සහ මුදවන ලද කිරි දෙස සැක මුසුව බලා සිටියෙමි. මම අධික කුසගින්නකින් පෙලෙමින් හුන් බව සැබැවි. එහෙත් ඒ භාජනයේවූ බත් සහ කිරි මිශ්‍රණය එක් කටක් හෝ මුව තුල බහාලීමට මට සිත එකඟ කොට ගැන්මට අපහසු විය. ඒ භාජනයේ වූයේ බත් ඉවූ භාජනයක පතුලෙහි ඉතුරුවූ බත් ස්වල්පයට මුදවපු කිරි භාජනයක් සෝදා හල ජලය මිශ්‍ර කලාක් මෙන්වූ පෙනුමකින් යුතු කිසිසේත් ප්‍රිය නූපදවන සුලු ආහාරයකි.

"මෙච්චරද තියෙන්නෙ රාම්?" මම හිස ඔසවා රාමනුජම් දෙස බැලීමි.

"ඔව්, මේ වෙලාවෙ නම් ඔච්චර තමයි, "

"එහෙමද? මේ වෙලාවට මේ කිට්ටුව මොකක් හරිම් කන්ඩ තැනක් එහෙම ඇරල තියනවද? රෙස්ටුරන්ට් එකක් වගේම නොවුනත් අඩුගානෙ පොඩි පෙට්ටි කඩයක් වත් එහෙම?"

"ම්හු, මේ වෙලාවට කෑම ගන්ට පුලුවන් තැනක් මේ කිට්ටුව නෑ" රාමනුජම් ඔහුගේ නාරං බිකක් මෙන් මහත්වූ යටි තොල පෙරලා හිස දෙපසට වැනීය. "ආ..මට තව පොඩ්ඩෙං අමතක වෙනව. ඔයාට දෙන්න ලියුම් දෙකක් තියනව." ශීතකරණය මතවූ ප්ලස්ටික් මල් පෝච්චිය යටවූ ලියුම් කවර දෙකක් අතට ගෙන මට දුන් ඔහු ශීතකරණයෙන් පිටතට ගත් වතුර බෝතලයකින් වීදුරුවකට වතුර පුරවා පානය කලේය. 

"එක ලියුමක් නම් මම යි ගෙනාවෙ. ඒක අපේ බැංකුවෙන්. අනික් ලියුම මේ සිවදාස් කිව්ව හවස කවුද ගෑණු ළමයෙක් ඔයාව හම්බ වෙන්න ආවයි කියල. ඒ ළමය ඔයා එනකල් ටිකක් වෙලා බලා ඉඳල පරක්කු හින්ද ආපහු ගියාලු. ඒ යනකොට මේ ලියුම දුන්නලු ඔයාට දෙන්ඩ කියල."

සිටි බැංකුවේ ලංඡනය සහිත ලියුම් කවරය පසෙක තැබූ මම අනෙක අතට ගතිමි. එහි මගේ නම ලියාතිබුණේ අනන්‍යාගේ අත් අකුරිනි. අනන්‍යා කෙරෙහිවූ මගේ සෙනෙහස මහද පුරා පැතිර යද්දී මම ඇගේ අත් අකුරු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අද දින සන්ධ්‍යා කාලයෙහි මම චෙන්නයි වෙත ලඟාවන බව දන්නා ඇය මා දැක ගැනීමේ බලවත් ආශාවෙන් මඬනා ලදුව සිටි බැංකුවේ නේවාසිකාගාරය වෙත තකහණියක් පැමිණ ඇත්තේය.

මම තවත් වරක් මුදවන ලද කිරි සහ බත් අඩංගු භාජනය දෙස මොහොතක් බලා සිටියේ එහි වූ ගොසරෑව කෙසේ හෝ ගිරිය දිගේ පහළට බැස්සවීමට උපක්‍රමයක් පිළිබඳව සිතමිනි. එහෙත් කෙලෙසකහෝ එවන් උපක්‍රමයක් සිතට නොනැඟුනු සඳ යලි භාජනය ශීතකරණය තුල බහා මට නියමිත කුටිය තුල වූ සයනයෙහි වැතිර ගතිමි.

ආලින්දයෙහි විදුලි බුබුලු නිවා දැමූ රාමනුජම් යලි ඔහුගේ කුටියට පිවිස දොර වසාගත්තේය. යලි නින්දට යාමට පෙර ඔහු නැවත වරක් යම් තෙල් වර්ගයක් ආලේප කොට හිස පීරා සකස් කොටගන්නේදැයි සැක හැර දැනගනු වස් ඔහුගේ කුටියේ දොරෙහි යතුරු සිදුරෙන් එබී බලන්නට ඇතිවූ බලවත් ආශාව මම මැඩගත්තේ ඉතා අසීරුවෙනි.

"උදේ කීයටද ඔයාව ඇහැරවන්ඩ ඕන?" තම කාමරයට යාමට පෙර රාමනුජම් මගෙන් විමසීය.

"කීයටද සාමාන්‍යයෙන් ඔෆිස් පටන් ගන්නෙ?"

"ඔෆිස් වෙලාවනම් නමය. ඒත් ට්‍රේනිං කාලෙ අටටවත් වැඩ පටන්ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් හතහමාර වෙනකොට ඔෆිස් යනව. එහෙම යන්ඩ අඩුගාණෙ පහටවත් නැඟිටින්ඩ නම් වෙනව."

ඒ සැණෙකින් මගේ මතකයට පැමිණියේ පසුගිය මාස දෙකක පමණ මා දිල්ලියේ මගේ නිවසේ ගතකල කාලයයි. බොහෝ දිනවල උදෑසන මා අවදිවූයේ නමයට පමණ තේ කෝප්පයකුත් රැගෙන මගේ මව පැමිණ මා කීද්දූ පසුවය. එවිටද මා සයනයෙන් නැඟී සිටින්නේ මවට යටි සිතින් බැණ වදිමිනි.

"දෙයියෝ සාක්කි! පාන්දර පහට? දිල්ලියෙ නං පාන්දර පහයි කියන්නෙ කට්ට කරුවල."

"මෙහෙ පහට යම්තමට වගෙ එළිය තියනව. හරි මම ඔයාට කතාකරන්නම්කො"

රාමනුජම් සහ උදෑසන පහට පිබිද රැකියාවට පිටත්වීම වන් නීරස කල්පනාවන් සිතින් අකා මකා හරිමින් මම සයනයෙහි හරි බරි ගැසී අනන්‍යාගේ ලිපිය කියවීම ආරම්භ කළෙමි.

හායි මගේ චෙන්නයි කොල්ලෝ, 

ඔයාට චෙන්නයි කොල්ලා කිව්වට කමක් නෑනෙ නේ? කොහොමත් ඔයා දැන් චෙන්නයි කොල්ලෙක් තමයි. දැනට එහෙම නෙවෙයි වුනත් ලඟදිම එහෙම වෙනවනෙ කොහොමත් නැද්ද මං අහන්නෙ....

මම හවස පහට විතර ඔයාව බලන්ඩ ආවා. ඒත් ඔයා ඇවිල්ල හිටියෙ නෑනෙ. මට කිව්වෙ හතර පහ වෙනකොට චමරියට එන්ඩ පුලුවන් වෙයි කියල නේද? මොකද වුනේ? ප්ලේන් එක පරක්කු වුනාද? හරි ඒ මොකක් හරි මට තවත් බලා ඉන්ඩ බෑ. අපෙ අම්මා හිතාගෙන ඉන්නෙ මම යාලුවොත් එක්ක සාරි ෂොපිං ගියාය කියල. ඒ හින්ද පුලුවන් ඉක්මනින් ආපහු යන්ඩ ඕන. අනික අම්මගෙ මූඩ් එක ටිකක් මේ දවස්වල හරි නැහැ. ඒ විස්තර පස්සෙ හොඳද?

කණගාටු වෙන්ඩ එපා. අපි ළඟදිම මුණ ගැහෙමු. ඔයාගෙ සිටි බෑන්ක් එක තියෙන්නෙ අන්න සාලේ වල. මම වැඩ කරන HLL ඔෆිස් එකේ ඉඳල ඒ හැටි දුරක් නෑ.

හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙන්නෙ මට බොහොම වෙලාවට ඔෆිස් එකේ ඉන්න වෙන එකක් නැහැ. මට තමිල්නාඩුව පුරහම යන්ඩ වෙලා තියෙන්නෙ. දන්නවද මොකටද කියල? තක්කාලි කෙචප් විකුණන්ඩ. 

වැඩේ එච්චරම ලේසි නෑ. මොකද තක්කාලි කෙචප් එකේ සියඹලයි, පොලුයි නෑ. ඒක ඉතිං කියන්ටත් දෙයක්ය නේද? ඒත් ප්‍රශ්ණෙ තමයි ඒ දෙක නැති සෝස් එකක් කෙචප් එකක් විකුණගන්න එක ලේසි නෑ. අපේ මිනිස්සුන්ගෙ දිවවල් පරම්පරා ගාණක් තිස්සෙ පුරුදුවෙලා තියෙන්නෙ ඒ රහ දෙකටනෙ.

ඒත් එහෙම කියල මම වැඩේ අල්ලල දාන්නෙ නෑ හරිද? දන්නවනෙ මේ අනන්‍යාගෙ හැටි..හිහ්..හිහ්...හරි මගෙ සුදා මම යනව එහෙනං. මගෙ කොණ්ඩෙ මේ වෙලාවෙ සමන් පිච්ච මල් කැටියක් ගහගෙන ඉන්නෙ. අපේ පාරම්පරික සිරිත් විරිත් අනුව එහෙම කරන්න ඕන. ඉතිං මම මගෙ කොණ්ඩෙ ගහගෙන ඉන්න සමන් පිච්ච මල් වලින් පෙති හත අටක කඩල ලියුං කවරෙ ඇතුලට දානව ඔන්න. ලඟදිම අපි මුණ ගැහෙන කල් මාව මතක් වෙන්ඩයි ඒ. හොඳද?

මගේ ආදරයත් සමඟම, 

අනන්‍යා 

දිගු සුසුමක් හෙලු මම සෙමෙන් ලියුම් කවරය දිග හැරියෙමි. සමන් පිච්ච පෙති කිහිපයක් මගේ ළය මත පතිතවිය. ඉන් නිකුත්ව මගේ නාසය හරහා විහිද ගොස් ළය මඬල පිරීගිය සුගන්ධය මට ඇගේ සුන්දර වත මඬල සිහිකලේ නිරායාසයෙනි. ඒ සමඟම ඒ මන මෝහනීය සුගන්ධය මම දිල්ලිය අතහැර මෙහි පැමිණියේ කුමකටදැයි යන්නද මට යලිත් සිහිපත් කරවීය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...