Thursday, October 20, 2016

450. The Story Of My Marriage - 26 - අනන්‍යා සහ සමන් පිච්ච මල් පෙති.........


සමන්පිච්ච  මල් වරලසෙහි ගැවසූ
දකුණු ඉන්දියානු යුවතියක්






සෝපානයේ දොර විවරවූ පසු මගේ ගමන් මළුද අතින් කරින් එල්ලාගෙන යන්තමට කණමැදිරි එළියක් නිකුත්කල විදුලි බුබුළු කිහිපයකින් ආලෝකමත් වුණු කොරිඩෝවක් ඔස්සේ ගොස් මවෙත දිල්ලියෙහි කාර්යාලයෙන් ලබාදුන් චමරියෙහි ලිපිනයහි සඳහන් අංකය අනුව අදාල දොරෙහි සීනුව නාද කලෙමි. කවුරු හෝ පැමිණ දොර විවර කරන තෙක් කරෙහිවූ ගමන් මල්ල කොරිඩෝවේ පොළවෙහි එලා තිබූ නූල් පෑදී දුර්වර්ණ වීගිය කළාලය මත තබා සුරතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කල මට වේලාව රාත්‍රී දහයේ කණිසමට ඉතා ආසන්න බව දැකගත හැකි විය.

නිදිබර දෑස් දෑතින්ම පොඩි කරමින් සුවිසල් ඈණුමක්ද අරිමින් පැමිණියෙක් දොර විවර කලේය. 

"හායි…." මම සිනාමුසු මුහුණින් යුතුව පැවසුවෙමි. "මම ක්‍රිෂ්, දිල්ලියෙ ඉඳල ආවෙ..හෙට ඉඳල මම පාරිභෝගික මූල්‍ය අංශෙ වැඩ."

"කවුරු කිව්ව?...ආඅහ්..හහ්ගහ්" ඔහු විමසූයේ සුරතින් මුව වසා ඈණුම වළක්වා ගැන්මට තැත් කරමින්ය. එක් වරම ඔහුගේ දෑස නිදිමත පහව ගොස් දීප්තිමත් විය." ආ..ඔයා අර දිල්ලියෙ ඉඳල එවපු ..හරි හරි...උතුරෙ ඉඳල චෙන්නයි වලට පුහුණුවට දාපු එකම එක්කෙනා...එන්ඩ එන්ඩ ඇතුලට..මොකෝ මේ හැටි පරක්කු වුනේ?"

"මේ.... දන්නෙ නැද්ද? ප්ලේන් එක චුට්ටක් ඩිලේ වුනා."

ගමන් මළුද ඔසවාගෙන අඩක් විවරවූ දොර උරහිසින් තල්ලු කරගෙන මම නේවාසිකාගාරයේ ආලින්දයට පිවිසුනෙමි. නිදිමතින් පෙළෙන්නා දොර අසලම මුල්ලේ වූ යතුර තද කොට බිත්තියෙහි වූ විදුලි බුබුලක් දැල්වීය. සැණෙකින් දැල්වුනු විදුලි බුබුල ඒ හා සමඟම සැණෙකින් යලි නිවීගියේ දසතම ඝණ අන්ධකාරයේ ගිල්වමිනි. 

"වට් ද ෆක්?" දත්මිටි කමින් පැවසූ ඔහු බිත්තියෙහි අනෙක් කෙළවරවූ තවත් යතුරක් තදකොට යලි වෙනත් විදුලි බුබුලක් දැල්වීය. එයද සැණෙකින් නිවී යතැයි යන සැකයෙන් දෝ මද වේලාවක් එදෙස බල සිටි හෙතෙම "යන්තං ඒකනම් හරි වගේ" පවසමින් මවෙත හැරුණේය. 

"අනේ මන්ද මේ බල්බ්වල අවුලක්ද මේ ගෙදර වයරිංවල අවුලක්ද කියල, මාසෙකට අඩුම ගානෙ බල්බ් දහයක් දොළහක්වත් අලුතෙන් දාන්න වෙන එක වෙනවමයි. ආ..එහෙත් එහෙමද?"

"එහෙත් කිව්වෙ?" ඔහු විමසන්නේ කුමක් පිළිබඳවදැයි එක්වර වටහාගත නොහැකිවූ මම විමසූයෙමි.

"නෑ මම ඇහුවෙ මේ දිල්ලියෙත් මේ වගේද කියල? බල්බ් නිතරම ගහල යනවද?"

"ආ..නෑ..නෑ..එහෙම දෙයක් නම් දැනගන්ට නෑ"

"මේ බල්බ් මංගල්ලෙ හින්ද අමතකම වුනානෙ සොරි..මම රාමනුජම්" ඔහු මවෙත සුරත දිගු කරමින් පැවසීය. "IIMB එකෙන් "

IIMB යනු බැංගලෝරයෙහි පිහිටි ඉන්දීය කළමණාකාරිත්ව ආයතනය (Indian Institute of Management, Bangalore) යන්නෙහි මුල් අකුරු වේ. 2006 වසරේදී බැංගලෝරය යනුවෙන් ඉන්දියාව පාලනය කල ඉංගිරිසින් විසින් තම පහසුව පිණිස තනාගන්නා ලද වදන වෙනුවට, බෙංගලූරු යන කන්නඩ වදන නිලවශයෙන් යලි භාවිතයට ගැණිනි. ඒ ආසන්නයේදීම මැඩ්රාස් චෙන්නයි ලෙසද, කල්කටා කොල්කතා ලෙසද එලෙසම බොම්බාය මුම්බායි ලෙසද යලි හැඳින්වීම ඇරඹිණ.

විදුලි බුබුලේ ආලෝකයෙන් දිදුලන ඔහුගේ තද කළු පැහැ කෙසින් පිරුණු හිස දෙස මම විශ්මයෙන් බලා සිටියෙමි. සහතික ලෙසම ගැඹුරු නිද්‍රාවකින් මොහොතකට පෙර අවදි වූ බව නිසැක වුවද රාමනුජම්ගේ හිස මේ මොහොතකට පෙර තෙල්ගා පීරුවාක් මෙනි. සෑම කෙස් ගසක්ම තම නියමිත ස්ථානයටවී තැන්පත්ව සිටිනුයේ රාමනුජම්ගේ අණ කඩකිරීමට බියෙන් මෙනි.

බැංකු නිලධාරියකු ලෙස ඔහුට දීප්තිමත් අනාගතයක් ඇතිබවට කිසිදු සැකයක් නැත. එහෙත් මගේ පෙනුම? චෙන්නයි ත්‍රිරෝද රථ රියදුරු සංගමය සමඟ පිටත මහා මාර්ගයෙහි ඇල්ලූ අඩව්වෙන් පසු දහදිය වැකුණු උඩ බොත්තම් කිහිපයක් ඇරුණු සහ පැත්තක් කලිසමෙන් පිටතට පැන ඇති කමිසයක් හැඳ අවුල්වූ හිසකෙසින් යුතුවූ මා දිස්වනුයේ බැංකු නිලධාරියකු කෙසේ වුවද බැංකු ගිණුමක් හෝ විවෘත කරගැන්මට නොදන්නෙකු ලෙස විය යුතුය.

"මේ කාමරේ සෙන්දිල්ගෙ..අරකෙ අප්පලිංගම්," පටු කොරිඩෝවක් ඔස්සේ මා කැඳවාගෙන යමින් රාමනුජම් පැවසීය. 

කොරිඩෝවෙහි ඇතිරූ කහ පැහැ ෆ්ලෝ ටයිල් වලින් නිකුත්වූයේ යම් තරමකට කටුක සැර ගන්ධයකි. බොහෝ විට ඒ විෂබීජ නාශක දියරයක් විය හැක. 

"මේ මනුස්සයට හැමදාම කියනව පොළව හෝදන එක දවල්ට කරන්ට කියල. කවදාවත් කියන එකක් අහන්නෙ නෑ." රාමනුජම් පැවසූයේ මගේ හැකිලුනු නාසය දැක විය යුතුය. "මම මේ කිව්වෙ අපේ චමරිය බලාගන්න මනුස්සය ගැන. සිවදාස්." ඔහු යලිත් වැඩිදුර පැහැදිලි කලේ මගේ විමසුම් බැල්මට පිළිතුරු ලෙසය.

"අන්න අරක ඔයාගේ කාමරේ….." කොරිඩෝවේ කෙළවරෙහි දකුණු පස වූ සුදු පැහැ තීන්ත ආලේපකල දොරක් පෙන්වා රාමනුජම් පැවසීය.

"මේ..කන්න මොනව හරි තියෙයිද? ප්ලේන් එක පරක්කු වුන හින්ද මම මොකවත් කන්න නැවතුනේ නෑ. එයාපෝට් එකෙන් එළියට ඇවිල්ල කෙලින්ම මෙහෙටයි ආවෙ."

"මට ෂුවර්ම නම් නෑ. ඉන්නකො අපි බලමු" රාමනුජම් කොරිඩෝවේ වම්පසවූ කුස්සියෙහි විදුලි බුබුල දල්වා ශීතකරණය විවෘත කලේය.

"ආ..මුදවපු කිරියි බත් වගේකුයි නම් තියනව. මොකද කියන්නෙ? බඩගින්නට ඕන එකක් ඔට්ටුයිනෙ. ඔන්න ඔහෙ කාල දාන්න" රාමා බත් සහ මුදවන ලද කිරි අඩංගු භාජනය ශීතකරණයෙන් පිටතගෙන එහි වැසුම් හැර කුස්සිය මධ්‍යයේ වූ රවුම් මේසය මත තැබුවේය.



මුදවපු කිරි මිශ්‍ර බත් නොහොත්  Curd Rice

අසුනක් ලංකොට ගෙන මේසයට වාඩිවූ මම බත් සහ මුදවන ලද කිරි දෙස සැක මුසුව බලා සිටියෙමි. මම අධික කුසගින්නකින් පෙලෙමින් හුන් බව සැබැවි. එහෙත් ඒ භාජනයේවූ බත් සහ කිරි මිශ්‍රණය එක් කටක් හෝ මුව තුල බහාලීමට මට සිත එකඟ කොට ගැන්මට අපහසු විය. ඒ භාජනයේ වූයේ බත් ඉවූ භාජනයක පතුලෙහි ඉතුරුවූ බත් ස්වල්පයට මුදවපු කිරි භාජනයක් සෝදා හල ජලය මිශ්‍ර කලාක් මෙන්වූ පෙනුමකින් යුතු කිසිසේත් ප්‍රිය නූපදවන සුලු ආහාරයකි.

"මෙච්චරද තියෙන්නෙ රාම්?" මම හිස ඔසවා රාමනුජම් දෙස බැලීමි.

"ඔව්, මේ වෙලාවෙ නම් ඔච්චර තමයි, "

"එහෙමද? මේ වෙලාවට මේ කිට්ටුව මොකක් හරිම් කන්ඩ තැනක් එහෙම ඇරල තියනවද? රෙස්ටුරන්ට් එකක් වගේම නොවුනත් අඩුගානෙ පොඩි පෙට්ටි කඩයක් වත් එහෙම?"

"ම්හු, මේ වෙලාවට කෑම ගන්ට පුලුවන් තැනක් මේ කිට්ටුව නෑ" රාමනුජම් ඔහුගේ නාරං බිකක් මෙන් මහත්වූ යටි තොල පෙරලා හිස දෙපසට වැනීය. "ආ..මට තව පොඩ්ඩෙං අමතක වෙනව. ඔයාට දෙන්න ලියුම් දෙකක් තියනව." ශීතකරණය මතවූ ප්ලස්ටික් මල් පෝච්චිය යටවූ ලියුම් කවර දෙකක් අතට ගෙන මට දුන් ඔහු ශීතකරණයෙන් පිටතට ගත් වතුර බෝතලයකින් වීදුරුවකට වතුර පුරවා පානය කලේය. 

"එක ලියුමක් නම් මම යි ගෙනාවෙ. ඒක අපේ බැංකුවෙන්. අනික් ලියුම මේ සිවදාස් කිව්ව හවස කවුද ගෑණු ළමයෙක් ඔයාව හම්බ වෙන්න ආවයි කියල. ඒ ළමය ඔයා එනකල් ටිකක් වෙලා බලා ඉඳල පරක්කු හින්ද ආපහු ගියාලු. ඒ යනකොට මේ ලියුම දුන්නලු ඔයාට දෙන්ඩ කියල."

සිටි බැංකුවේ ලංඡනය සහිත ලියුම් කවරය පසෙක තැබූ මම අනෙක අතට ගතිමි. එහි මගේ නම ලියාතිබුණේ අනන්‍යාගේ අත් අකුරිනි. අනන්‍යා කෙරෙහිවූ මගේ සෙනෙහස මහද පුරා පැතිර යද්දී මම ඇගේ අත් අකුරු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අද දින සන්ධ්‍යා කාලයෙහි මම චෙන්නයි වෙත ලඟාවන බව දන්නා ඇය මා දැක ගැනීමේ බලවත් ආශාවෙන් මඬනා ලදුව සිටි බැංකුවේ නේවාසිකාගාරය වෙත තකහණියක් පැමිණ ඇත්තේය.

මම තවත් වරක් මුදවන ලද කිරි සහ බත් අඩංගු භාජනය දෙස මොහොතක් බලා සිටියේ එහි වූ ගොසරෑව කෙසේ හෝ ගිරිය දිගේ පහළට බැස්සවීමට උපක්‍රමයක් පිළිබඳව සිතමිනි. එහෙත් කෙලෙසකහෝ එවන් උපක්‍රමයක් සිතට නොනැඟුනු සඳ යලි භාජනය ශීතකරණය තුල බහා මට නියමිත කුටිය තුල වූ සයනයෙහි වැතිර ගතිමි.

ආලින්දයෙහි විදුලි බුබුලු නිවා දැමූ රාමනුජම් යලි ඔහුගේ කුටියට පිවිස දොර වසාගත්තේය. යලි නින්දට යාමට පෙර ඔහු නැවත වරක් යම් තෙල් වර්ගයක් ආලේප කොට හිස පීරා සකස් කොටගන්නේදැයි සැක හැර දැනගනු වස් ඔහුගේ කුටියේ දොරෙහි යතුරු සිදුරෙන් එබී බලන්නට ඇතිවූ බලවත් ආශාව මම මැඩගත්තේ ඉතා අසීරුවෙනි.

"උදේ කීයටද ඔයාව ඇහැරවන්ඩ ඕන?" තම කාමරයට යාමට පෙර රාමනුජම් මගෙන් විමසීය.

"කීයටද සාමාන්‍යයෙන් ඔෆිස් පටන් ගන්නෙ?"

"ඔෆිස් වෙලාවනම් නමය. ඒත් ට්‍රේනිං කාලෙ අටටවත් වැඩ පටන්ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් හතහමාර වෙනකොට ඔෆිස් යනව. එහෙම යන්ඩ අඩුගාණෙ පහටවත් නැඟිටින්ඩ නම් වෙනව."

ඒ සැණෙකින් මගේ මතකයට පැමිණියේ පසුගිය මාස දෙකක පමණ මා දිල්ලියේ මගේ නිවසේ ගතකල කාලයයි. බොහෝ දිනවල උදෑසන මා අවදිවූයේ නමයට පමණ තේ කෝප්පයකුත් රැගෙන මගේ මව පැමිණ මා කීද්දූ පසුවය. එවිටද මා සයනයෙන් නැඟී සිටින්නේ මවට යටි සිතින් බැණ වදිමිනි.

"දෙයියෝ සාක්කි! පාන්දර පහට? දිල්ලියෙ නං පාන්දර පහයි කියන්නෙ කට්ට කරුවල."

"මෙහෙ පහට යම්තමට වගෙ එළිය තියනව. හරි මම ඔයාට කතාකරන්නම්කො"

රාමනුජම් සහ උදෑසන පහට පිබිද රැකියාවට පිටත්වීම වන් නීරස කල්පනාවන් සිතින් අකා මකා හරිමින් මම සයනයෙහි හරි බරි ගැසී අනන්‍යාගේ ලිපිය කියවීම ආරම්භ කළෙමි.

හායි මගේ චෙන්නයි කොල්ලෝ, 

ඔයාට චෙන්නයි කොල්ලා කිව්වට කමක් නෑනෙ නේ? කොහොමත් ඔයා දැන් චෙන්නයි කොල්ලෙක් තමයි. දැනට එහෙම නෙවෙයි වුනත් ලඟදිම එහෙම වෙනවනෙ කොහොමත් නැද්ද මං අහන්නෙ....

මම හවස පහට විතර ඔයාව බලන්ඩ ආවා. ඒත් ඔයා ඇවිල්ල හිටියෙ නෑනෙ. මට කිව්වෙ හතර පහ වෙනකොට චමරියට එන්ඩ පුලුවන් වෙයි කියල නේද? මොකද වුනේ? ප්ලේන් එක පරක්කු වුනාද? හරි ඒ මොකක් හරි මට තවත් බලා ඉන්ඩ බෑ. අපෙ අම්මා හිතාගෙන ඉන්නෙ මම යාලුවොත් එක්ක සාරි ෂොපිං ගියාය කියල. ඒ හින්ද පුලුවන් ඉක්මනින් ආපහු යන්ඩ ඕන. අනික අම්මගෙ මූඩ් එක ටිකක් මේ දවස්වල හරි නැහැ. ඒ විස්තර පස්සෙ හොඳද?

කණගාටු වෙන්ඩ එපා. අපි ළඟදිම මුණ ගැහෙමු. ඔයාගෙ සිටි බෑන්ක් එක තියෙන්නෙ අන්න සාලේ වල. මම වැඩ කරන HLL ඔෆිස් එකේ ඉඳල ඒ හැටි දුරක් නෑ.

හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙන්නෙ මට බොහොම වෙලාවට ඔෆිස් එකේ ඉන්න වෙන එකක් නැහැ. මට තමිල්නාඩුව පුරහම යන්ඩ වෙලා තියෙන්නෙ. දන්නවද මොකටද කියල? තක්කාලි කෙචප් විකුණන්ඩ. 

වැඩේ එච්චරම ලේසි නෑ. මොකද තක්කාලි කෙචප් එකේ සියඹලයි, පොලුයි නෑ. ඒක ඉතිං කියන්ටත් දෙයක්ය නේද? ඒත් ප්‍රශ්ණෙ තමයි ඒ දෙක නැති සෝස් එකක් කෙචප් එකක් විකුණගන්න එක ලේසි නෑ. අපේ මිනිස්සුන්ගෙ දිවවල් පරම්පරා ගාණක් තිස්සෙ පුරුදුවෙලා තියෙන්නෙ ඒ රහ දෙකටනෙ.

ඒත් එහෙම කියල මම වැඩේ අල්ලල දාන්නෙ නෑ හරිද? දන්නවනෙ මේ අනන්‍යාගෙ හැටි..හිහ්..හිහ්...හරි මගෙ සුදා මම යනව එහෙනං. මගෙ කොණ්ඩෙ මේ වෙලාවෙ සමන් පිච්ච මල් කැටියක් ගහගෙන ඉන්නෙ. අපේ පාරම්පරික සිරිත් විරිත් අනුව එහෙම කරන්න ඕන. ඉතිං මම මගෙ කොණ්ඩෙ ගහගෙන ඉන්න සමන් පිච්ච මල් වලින් පෙති හත අටක කඩල ලියුං කවරෙ ඇතුලට දානව ඔන්න. ලඟදිම අපි මුණ ගැහෙන කල් මාව මතක් වෙන්ඩයි ඒ. හොඳද?

මගේ ආදරයත් සමඟම, 

අනන්‍යා 

දිගු සුසුමක් හෙලු මම සෙමෙන් ලියුම් කවරය දිග හැරියෙමි. සමන් පිච්ච පෙති කිහිපයක් මගේ ළය මත පතිතවිය. ඉන් නිකුත්ව මගේ නාසය හරහා විහිද ගොස් ළය මඬල පිරීගිය සුගන්ධය මට ඇගේ සුන්දර වත මඬල සිහිකලේ නිරායාසයෙනි. ඒ සමඟම ඒ මන මෝහනීය සුගන්ධය මම දිල්ලිය අතහැර මෙහි පැමිණියේ කුමකටදැයි යන්නද මට යලිත් සිහිපත් කරවීය.

36 comments:

  1. කරුමයක් තියෙනවනම් ගෙවන්නම වෙනවනේ...
    ආයේ ඉතින් ක්‍රිෂ් කොළුවට කියල මොන වෙනසක්ද... ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      අන්න ඒකනෙ බං..:)

      කර්මඃ කර්මේන කර්මෝසභක්ති,
      දෙව්‍යානංච පරමේෂඃ විනාශ්කේතු,

      පුරාණ ඉරිසින්නාන්සෙල ඔහොම කිව්වයි කියන්නෙ මොකෝ පිස්සුවක් එහෙම තිබිලය?

      Delete
  2. හෙක්... හෙක්... චෙන්නායි කොල්ලටත් ළඟදිම සියඹලයි පොලුයි නැති තක්කාලි කෙචප් කන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එව්ව එහෙම තමයි බං, ඔය සක්කර දෙයියොත් බටකොල කෑවයි කියන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  3. කමෙන්ට් එකක් ලියන්න කලින් මට උඹෙන් අහන්න තියෙන්නෙ ඔය කියල තියෙන මුදවපු කිරි සමග මිශ්‍රකළ බත් හෙවත් කර්ඩ් රයිස් හෙවත් දෙමළෙන් කීවොත් තයිරි කවදහරි කාල තියෙනවද කියලයි?

    ReplyDelete
    Replies
    1. හැලප,

      යස් සර් I have...:)

      Delete
    2. එහෙනං ඒ බතේ රස ගැන අපි දෙන්නම එකඟයි නේ?

      Delete
    3. අඩේ ඔව්...කියල වැඩක් නෑ...එකහෙලාම එකඟයි, එකහෙලාම , එකහෙලාම...

      මෙතන ඔය කර්ඩ් රයිස් එක දෙකේ කොළේට දාල උපහාසාත්මකව ලියන්ට වුනේ බඝට් ගොයිය ලියල තියෙන්නෙ එහෙම හින්ද..එපමණකි ප්‍රිය මහතාණනි!

      Delete
    4. එහෙමද? උත්සාහ කොරල බලන්න ඕනෙ.. සම්බා,නාඩු,බාස්මතී .. මොන බත් ද වැඩියෙන්ම සෙට් වෙන්නෙ?

      Delete
    5. කර්ඩ් රයිස් එකට ආනමාළු ගෙඩියක් පොඩි කරගෙන කන්න ඕනෙ එතකොට තමයි ගස් මේව ගුණ වගේම රස

      Delete
    6. " ආ ...කර්ඩ් රයිස් ටිකක් තියෙනව..." රාමනුජන් එළියට ගත්තු භාජනේ තිබුණ දේ දැක්කම මට හිතුණෙ, ඕනෑකමින් හදපු කෑමක පෙනුමක් ඒකෙ තිබුනෙ නැති බවයි. ඒකෙ තිබ්බෙ මී කිරි භාජනේකට බැරි වෙලා බත් ටිකක් වැටුණහම තියෙන පෙනුම!
      "උපුටා ගැනීම: පිටුව.155 මොන මඟුලක්ද මන්දා,පරිවර්තනය,දිලීප ජයකොඩි.

      Delete
    7. හැලප,

      දැං මෙහෙමනෙ බං, වචනෙං වචනෙ බඝට් ලියල තියෙන විදිහටම පරිවර්තනය කරන එකේ තේරුමක් නෑනෙ නේද? මොකද ඒ වැඩේ කලිං එක්කෙනෙක් කරල තියනව. ඕන කෙනෙකුට ඒ පොත අරගෙන කතාව කියෙව්වැහැකි. මාත් ඒකම ආයෙ කරන එක වැඩක් ඇති දෙයක් නෙවෙයි.

      ඒකයි මම මේ විදිහට ලිව්වෙ. අනික තව මම එකතු කරපුව තියනව. අර බෙංගලූරු, කොල්කතා විස්තරේ එතකොට, විෂබීජ නාශක දියර කතාව එව්වත් බඝට්ගෙ කතවෙ නෑ. මේක පරිවර්තනයක්මත් නෙවෙයි ඇත්තටම. මෙව්වට කියන්නෙ ආලවට්ටමීකෘත පරිවර්තන. ඉංගිරිසියෙන් නම් Aalavattamized Translations...:)

      Delete
    8. රවී,
      ඔබේ පරිවර්තනය අවතක්සේරුවකට ලක්කිරීමට කිසිසේත්ම නොසිතුවෙමි. පරිවර්තන දෙකේ වෙනස පමණක් පෙන්වා දුන්නෙමි. ඔබේ පරිවර්තනය දිලීපගේ එකට වඩා සිත්ගන්නා සුළු බව දකිමි.

      Delete
    9. මේවා පඳුරුවර්තන :)

      Delete
  4. වෙනදා පෝස්ට් එක සිකුරිටි සයිස්, අද පෝස්ට් එක කම්කරු සයිස්. අර හිරිකිත හජ්ජරා කෑම කන්නෙ මොකාද ? චික්කිතරක්.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කර්ඩ් රයිස් එහෙම හත්ජරා කෑමක් නෙවෙයි බාං, ෂිඃ මාර රසයි. මෙතන වැඩේ මේ කතාව ඔරිජිනලි ලියපු මනුස්සය ඔන්න ඔහොමනෙ ලියල තියෙන්නෙ. ඔන්න මම කෝකටත් කියල කර්ඩ් රයිස් වල පෝටොස් එහෙකුත් දැම්ම.

      Delete
  5. අනන්‍යා.. මේ පාලු රාත්‍රිය සති ගානක් ගෙවන්න නොදී ඊලඟ කොටසත් අරන් ඉක්මනට එන්න.
    හා ද ? :)

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      හා..බං ඉතිං හා..හා...:)

      Delete
  6. මේක අපේ හැලපයියගෙයි ඉන්ද්‍රක්කගෙයි කථාව වගේ ලියලා අපේ හිත් කඩන්න එපා.

    ReplyDelete
    Replies
    1. මල්,

      නෑ බං නෑ..හැලපය තනිකර මොත්තෙනෙ ගෙනියන්නෙ...මම එහෙම නෑ හයිද?...අපි ලියනව කිව්වොත් ලියනව...නැත්තං ඒත් ලියනව...:)

      Delete
  7. දැන් ඉතින් ක්‍රිශ් කාරයා උදේ පහ වෙනකම්ම අනන්‍ය ගැන හින බල බලා ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. මනොජ්,

      ඒ ඕකා පහට නැඟිට්ටොත්නෙ...:)

      Delete
  8. සමන් පිච්ච කියන්නෙ මට පේන්න බැරි සුවඳක්. අපේ සීයගෙ සොහොනට මං හරි බයයි. ඒ සොහොන ළඟ සමන් පිච්ච වැලක් තිබුණ....

    ReplyDelete
    Replies
    1. තරිඳු,

      එහෙම යම් යම් විශේෂිත සුවඳ එක්ක බැඳුනු ප්‍රසන්න එමෙනම අප්‍රසන්න මතකයන් අප බොහෝ දෙනෙකුට තියනව.

      යූහු සුවඳ හා බැඳුනු බොහොම අමිහිරි මතකයක් මටත් තියනව. පස්සෙ වෙලාවක ඒ ගැන ලියන්නං...:)

      Delete
  9. දැන් කවුද මේ අනන්‍යයා කියන්නෙ? මට මතක නෑ නෙ!

    රාමනුජම් ඉන්නේ විග් එකක් දාගෙන වෙන්න ඇති. බලමු ඉස්සරහට. මේ කතාවේ තියන නරිනාටක වල හැටියට, එහෙම එකක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි.

    කතාව කියවද්දී අර අඳුරු බල්බ් වලින් එලිය වූ, පොලවෙන් යන්තමින් සැර ගඳ එන, කන්න හරි හමන් දෙයක් නැති නවාතැන ඇතුලට අපිත් ගියා වගේ දැනුණා. අනේ ඉතිo උදේ නමයට අම්මගේ තේ බොන්න අවදි වෙච්ච මනුස්සය. :)
    හැබෑටම අද පෝස්ට් එක මොකෝ මේ තරම් කොට?

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      / දැන් කවුද මේ අනන්‍යයා කියන්නෙ? මට මතක නෑ නෙ! /

      "මෙහෙවර පොඩි නෝනා ගාපිය බැලඩෝනා" කියල ඒ කාලෙ සිංදුවක් තිබ්බ. අන්න ඒ වගෙ මට කියන්ට තියෙන්නෙ "මෙහෙ වර මානවිකා, කාපිය අමු බල මාලා" කියල තමයි.

      මතකද මන්දා අපේ ගරු කටයුතු විමල් වීරවන්ස මැතිතුමා කාලෙකට ඉස්සර කිව්ව ජපන්නුන්ගෙ මතක ශක්තිය දියුණු වෙන්ට හේතුව අමු බල මාළු කන එකය කියල. ඒ හින්ද බොට තියෙන්නෙ වහාම තුං වේලටම අමු බල මාළු බුදින එක. ආය මොකෝ හොයාගන්ට අමාරුවක් කියලය නැද්ද මං අහන්නෙ?

      / හැබෑටම අද පෝස්ට් එක මොකෝ මේ තරම් කොට? /

      කොහෙද බොල කොට ? වචන 1535 ක් තියනව. සෙල්ලංද?

      Delete
  10. ඉස්සෙල්ලම කියන්න ඕනේ රවී අයියට තෑන්ස් කියලා... මොකද පින්තූර විස්තර කරලා දාල තියන නිසා....

    කතාව කියවගෙන යනකොටනම් අර කෑම එක ගැන සෑහෙන අප්පිරියාවක් ආවා... එච්චර අවුලක් නෑ කියුවනේද.... කොහොමද අනන්යගෙ මායන්...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      මීට පස්සෙ සෑම පින්තූරයක්ම විස්තර කරල දාන්නම්...:)

      /කතාව කියවගෙන යනකොටනම් අර කෑම එක ගැන සෑහෙන අප්පිරියාවක් ආවා... එච්චර අවුලක් නෑ කියුවනේද./

      කර්ඩ් රයිස් හරිම රසයි.මම අර කලිනුත් කිව්වෙ බඝට් මෙතන උත්සාහ කරල තියෙන්නෙ උපහාසය මතුකරන්න. ඇත්තම කිව්වොත් දමිලයන් සහ ඔවුන්ගේ චාරිත්‍ර විතරක් නෙවෙයි ඔහු උපහාසයට ලක් කරන්නෙ. ඔබට මතක ඇති මීට පෙර ඔහු පන්ජාබීන් සහ ඔවුන්ගේ ගති පැවතුමුත් නිර්දය උපහාසයට ලක් කලා.

      Delete
  11. කිරි එක්ක බත් කෑව හැකි. ලංකාවේ මුදවපු කිරි එක්ක බත් කන අය මම දැකලා තියෙනවා. මගේ යාලු ඉන්දියානු (අපිත් එක්ක එක තැන ඉන්න ) යාලුවෙක් ඔය බත් එක හදනවා. නරකම නෑ.

    "මගේ ආදරයත් සමගම මෙඩුසා" කීවොත් ඒකත් නරක නෑනේද කියලා කල්පනා කලේ. :)

    ReplyDelete
  12. රවී දන්නවද.. අපේ පුතා මාස 8 න් විතර පස්සේ කිසිම දෙයක් නොකා හිටියා, බත් කවන්නම බැරි උනා.. දවසක් මම අහම්බෙන් යෝගට් හැන්දක් එක්ක බත් කටක් කැව්වා.. හරිම ආසාවෙන් කැවා..ගොඩක් කල් එයා බත් එක්ක යෝගට් කැවා..මන් ඒක ටික ටික අඩු කරලා අපිට පුරුදු විදිහට වෙන වෙනම දුන්නා.. දැන් නම් හරි....

    මට තව දෙයක් මතක් උනා මේ කතාව කියවන කොට. අපි බැංකොක් ඉන්න කොට ඉන්දියන් ගෙදරක කෑමකට ගියා.. කෑම කාලා ඉවර වෙලා අතුරුපස බෙදුවේ අපි කාපු පිඟානටමයි... ඒ කාලේ අපි දෙන්නටම එහෙම කන්න හැකියාවක් තිබ්බේ නැති නිසා අතුරු පස එපා කියලා කිව්වා හිහී..

    දැන් පුතාගේ කෑම කෝස් එක නිසා අපිට ඕන විදිහකට කන්න පුලුවන්....:)

    ReplyDelete
  13. වෙනදා වගේම කතාව රහයි...

    අපිට මුලින් නුපුරුදු කියල හිතුනට කන්න හුරු උනාම ඔය වගේ කෑම වලත් රහක් තියනවා...හැබැයි රහට පිළියෙළ කලොත්...

    ReplyDelete
  14. අපි කුරුණෑගල පුත්තලම් පාරේ නිකවැරටිය කිට්ටුව ඉන්න කාලෙක දැක්ක මිනිස්සු දිවුල් කිරි එක්ක බත් කනවා. දිවුල් කියන්නේ එහෙ සුලභ පලතුරක්. දිවුල් වල ඇඹුල් ගතිය අඩු කරන්න දිවුල් කිරි හදන්නේ පොල් කිරි දාලා මම දන්න විදිහට. ඒ පැත්තේ කියන්නෙත් දිවුල් පොල් කිරි කියලා. බත් පිඟානකට දිවුල් කිරි දැම්මහම පෙනුම නම් අජූවයි.

    බටර් / මාජරීන් එක්ක බත් කන වෙජිටේරියන් මිත්‍රයෙකුත් මට ඉන්නවා.

    ReplyDelete
  15. දැන්නම් මේක දිගටම ලියවෙනවා වගේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...