Tuesday, October 25, 2016

451. The Story Of My Marriage - 27 - මගේ ශ‍ය්‍යා කෝෂ්ඨය, රූ රැසේ අඳිනා ලෙසේ සහ Priority Banking Clients……



චෙන්නයිහි සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරය

දෙයියනේ කියල ජීවිතේ ඉස් ඉස්සෙල්ලම රස්සාවකට ගිහිල්ල මුල්ම දවසෙ හෙහ්, ඇත්තම කිව්වොත් මුල්ම දවසෙ නම් බැරිය, මුල්ම දවසෙ මුල්ම පැයේදිම රස්සාව නිකං මෛත්‍රීට දිල්රුක්ෂි එපාම වුනාවගෙ ඉත්තේරුවෙම්ම එපාම එපාම එපාම එපා වෙනවනම් මම හිතන්නෙ අනිවා එතන මොකක් හරි සීරියස් කේස් එකක්, එහෙම නැත්තං ලොකුම වැරැද්දක් තියනව. හැබැයි අපරාදෙ කියන්ට බෑ මේ ටිකත් කියලම ඉන්ට ඕන. එහෙම උනේ ඒ කිව්වෙ මට රස්සාව එපාම වුනේ මගෙ සේව්‍යයා නැත්නම් හාම්පුතා වන සිටි බැංකුවෙ වැරැද්දකින් නම් එහෙම නෙවෙයි.

ඇත්ත ඇති සැටියේ කිව්වොත් සිටි බැංකුවෙ ඉහල කලමණාකාරිත්වය මගෙ රස්සාව මට ප්‍රියමනාප කරන්ට, එතකොට සන්තෝසෙං කරගෙන යන්ට තුඩුදෙන විදිහෙ හැම දෙයක්ම කරල තිබුන. මොනව වුනත් ඇත්තම කියන්ට එපැයි, නැද්ද? උදේ මම යනකොටත් ඒ ගොල්ල මට වීදුරු වලින් හදාපු පොඩි ශය්‍යා කෝෂ්ඨයක් වෙන් කරල තිබ්බ. ශය්‍යා කෝෂ්ඨය කියන්නෙ Cubicle කියන එක. හොඳද? එම වදනෙහි නිරුක්තිය පිළිබඳව කිසිවක් නොදනිමි. තෙළ මධුරයා විසින් මා හට එසේ පවසන ලදී. 

ශය්‍යා කෝෂ්ඨයෙ මේසයක් සහ සැපපහසු පුටුවක්. මේසය මතුයෙහි අලුත්ම මාදිලියේ ඇකය-මත පරිගණකයක්. ඇකය-මත කියන වචනෙ දන්නවනෙ නේ? නොදැනිම දරුවන් ඇකයෙන් වැටුනා. අහල තියනව නේද? එහෙම වෙලා තියෙන්නෙ ගුත්තිල පණ්ඩිතයන්ගෙ වීණා වාදනය අහගෙන ඉන්නකොට ඒ රසයෙන් මත්වෙලා. "රෑ රැසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා........."

හෝව්..හෝව්..මේ වැඩේ හරියන මඟුලක් නෙවෙයි. දැං "රෑ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා" ගැන කියන්ට ගියොත් මේක දිගට දිගට දිගට ඇදිල ගිහිල්ල මහ විකාරයක් වෙනව. ඒ හින්ද ඒ ගැන ඊලඟ පෝස්ට් එකේදි ලියන්නං. මගේ විවාහයේ කථාවේ අතුරු කථාවක් (Story of my Marriage - A Digression) අන්න එහෙමයි මාතෘකාව. වෙරි ගුඩ් නෙවද? යස් ඔෆ් කෝස්. වෙරිම වෙරි ගුඩ්. ගුඩේ ගුඩ්.

හා හා පුරා කියල මට පැවරිච්චි රාජකාරිය තමයි සිටි බැංකුවෙ ඉන්නව වෙනම ප්‍රමුඛත්ව ගණුදෙනුකරුවන්ය කියල වර්ගීකරණය කරපු කට්ටියක්. ඉංගිරිසියෙන් කිව්වොත් Priority Banking Clients. ඒ වගෙ මහේශාක්‍ය පට්ටමක් දාල තියෙන්නෙ පොලිටිකලි කරෙක්ට්නස් එක ගැන හිතල. පොලිටිකලි කරෙක්ට්නස් ගැනත් මට තියෙනව කියන්ට දේවල් බොහොමයක්. ඒකත් අර අතුරු කථා වලට දාගමු. 

ඉතිං ප්‍රමුඛත්ව ගණුදෙනුකරුවන්ය කියල පොලිටිකලි කරෙක්ට් ටර්ම් එකෙන් හඳුන්වන්නෙ ඔය ගෝනි කනක්කුවෙ සල්ලි තියෙන කෝටිපතියො/පතිනියො. ඉංගිරිසියෙන් කලින් ඒ වගෙ අයට කිව්වෙ Stinking Rich කියල. එහෙම කියන එක ඒ හැටිම හරි නැති හින්ද තමයි ඔය Priority Banking Clients කියල සරුව පිත්තල නමක් හදල තියෙන්නෙ.

අපේ බැංකුවෙ ඔය කියන ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට් කෙනෙක් වෙන එක බොහොම පහසුයි. වෙරි ඊසි. ඇයට හෝ ඔහුට තියෙන්නෙ සල්ලි පෝර ගෝනි බාගයක් විතර කරේ තියාගෙන අපේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන එක විතරයි.ඇත්තටම එච්චරයි. දැට්ස් ඕල්. එහෙම කරන අය සැණෙකින් "ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට්" කියන කැටගරි එකට ස්වයංක්‍රීයව ඇතුලත් වෙනව. ඊට පස්සෙ ඒ කැටගරි එකට ලැබෙන මෙන්න මේ පහසුකම් ඇයට/ඔහුට ලැබෙනව.

දැං සාමාන්‍ය ගණුදෙනු කාරයින්ට ඉඳගන්ට තියල තියෙන්නෙ පුටු. අපේ ප්‍රමුඛත්ව ගනුදෙනුකරුවන්ගෙ/කාරියන්ගෙ පශ්චාත් භාග සතප්පවන්ට අපි එයාලට ලෑස්ති කරල තියනව බොහොම සුවපහසු කවිච්චි. ඉංගිරිසියෙන් නම් සෝෆා. එතකොට අපේ අවංක නිලධාරී මහතුන් කොහොමද තව කුට්ටියක් මේ ලොක්කගෙං නැත්තං අම්මණ්ඩිගෙ සල්ලි කණක්කුවෙං කඩාගන්නෙ කියල එයාලත් එක්ක සාකච්ඡා කරනකොට අපි එයාලට සංග්‍රහ කරනව බොහොම ප්‍රණීත පැණි බූන්දි බන්දේසියකින් සහ ඉතා රසවත්, කිරි මිශ්‍ර කල ඉස්තරම් තේ පිරවූ රජතමය කිරි තේ පෝච්චියකිං.

රජතමය කියන එක දන්නවනෙ නේද? රිදියෙන් නිමැවූ. නැත්තං රිදී මුවා. සිල්වර් ඩියර්.."No no no not deer. Deer run too fast, no catch..." ඒ කතාව අහල තියනව නේද?

ඒ වගේම ප්‍රයෝරිටි බෑන්කිං ක්ලයන්ට්ලට ලැබෙන තව වරප්‍රසාදයක්. අපෙ ඉන්නවනෙ Customer Services Managers නොහොත් පාරිභෝගික සේවා කළමණාකරුවො කියල ජාතියක් ආන්න ඒ මහා දැනුමැති බුද්දිමතුංගෙ සේවය ඕන වෙලාවක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමේ මහාර්ග අවස්තාව.

ඉතිං කිව්වම මොකද මමත් ඔය එක පාරිභෝගික සේවා කළමණාකරුවෙක්....හෙහ්..හෙහ්..ඒත් ඉතිං මගෙං ඉතාම ඥාණාන්විත මූල්‍ය ආයෝජන උපදෙස් ගන්ට එන කිසිම පාරිභෝගිකයෙක් දන්නෙ නෑ මම ඉන්නෙ මේ බැංකු රස්සාව අන්තිමටම එපා වෙලාය. මම මේ බල්ලෙක් නාවන්ට ගෙනියනව වගෙ මේ රස්සාවට එන්නෙ මාසෙ අන්තිමට අතට හම්බවෙන ගාණ ගැන බලාගෙනය. එතකොට මම මේ දුර කතර ගෙවාගෙන මේ ඇවිල්ල ඉන්නෙ එයාලගෙ මූල්‍ය සම්පත් වර්ධනයක් කොරන්ට තුං හිතකිංවත් හිතලා එහෙම නෙවෙයිය. එකම හේතුව මගෙ ප්‍රේමවන්තිය මේ නගරෙ ඉන්න නිසාය කියල. කොහොම දැනගන්ටද එක අතකට? මොකෝ මම ඔව්ව ඒ මිනිස්සු එක්ක කියන්ට යනවය?

ඉතිං ඔය ගනුදෙනු කාරයො අන්දල සල්ලි කඩාගන්න එකට අපේ බැංකු පාරිභාෂික වදන් මාලාව අනුව කියන්නෙ ගණුදෙනුකරු/කාරියට හිමි මූල්‍යමය සම්පත් ඔහුට/ඇයට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි විවිධ ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීම. කොහොමද වචන ටික විතරක්? මල් හතයි නේද? ඔහොම ආලවට්ටං දාල බරවචන මැදට රිංගවල කිව්වහම ඕනම සල්ලි කාරයෙක් දැපනෙ දාගන්ට පුලුවං. එහෙමත් කෙනෙක් ඒ කිව්වෙ ඔය හොඳටම තෙම්පරාදු වෙච්චි අංකූරෙක් වගෙ කෙනෙක් තමයි අපේ ඔය හබකට අහුනොවෙන්නෙ. ඔය දේවල්ගැන මම් මෙලෝ හසරක් දැනගෙන නොහිටියට මගේ අංශෙ අවශේෂ උදවිය ඔය සල්ලි කඩාවඩා ගන්න වැඩේට කප්ගහපු කස්ටිය. අංසේ මැනේජර් හෙවත් මගෙ ආසන්නතම ප්‍රධානියා නොහොත් ඉමීඩියට් බොස් තමයි මට ඔය ටික කියල දුන්නෙ රස්සාවට ගිය පළමුවෙනි දවසෙ පළමුවන වරුවෙ පළමුවන පැයේදිම.

එයා ඔය ටකරමකට ගල් ගහන්න වගෙ ඔය විස්තර කියවගෙන කියනවගෙන ගියාට මම ඔව්වට ඒ හැටි උනන්දුවෙන් ඇහුං කං දුන්න ඇති එකක් නෑ. මගේ ඉස්කබල අස්සෙ වද දුන්නු ප්‍රස්නෙ ඇවිදිල්ල හිට හවස ටිකක් කලිං මෙතනිං දිරාමාරු වෙලා ගිහිල්ල අනන්‍යා මුණ ගැහෙන්නෙ මොන විදිහෙංද කියන එක. රස්සාවට ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙම කලිං යන්ටද කියල අහන එකත් නිකං හොඳ නෑ හොඳ නෑ කියල එක අතකට හිතෙනවත් එක්ක.

ඉතිං මම යටතෙ ඉන්නව බැංකු නියෝජිතයො නොහොත් Bank Representatives නමින් හැඳින්වෙන ගණුදෙනු කාරයො එක්ක කෙලින්ම ඩීල් කරන අය අට දෙනෙක්. මේ නියෝජිතයො බහුතරයක් ලාබාල ඔය ඒ හැටිම ප්‍රසිද්දියක් නැති විස්ව විද්‍යාල වලින් එම්.බී.ඒ. වගෙ උපාධියක් ගත්තු අය. මම ඉතිං IIMA වගෙ ඉහලම පෙලේ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගත්තු හින්ද මම කොහොමත් එයාලට වඩා ඉහළ මට්ටමක තමයි ඉන්නෙ. එහෙම තමයි ඉන්දියාවෙ බැංකුවල, බැංකුවලම විතරක් නෙවෙයි කොහෙත් ක්‍රමය.

අනන්‍යා එක්ක එක කාමරේ ජීවත් වෙච්චි කාලෙ ඉගෙන ගත්තු වචනයක් දෙකක් ඇරෙන්ට මට දෙමල සම්ම ජාතියක් බෑ. අනික මම බැංකුවල වැඩ කෙරෙන විදිහ, විශේෂයෙන් මූල්‍ය ආයෝජනය ගැන මල පොතේ අකුරක් දන්නෙ නෑ. ඒ වුනාට මගෙ උපාධිය සහ තනතුර අනුව එහෙම නොදන්නාකම පෙන්නන්ට හොඳ නෑ. විශේෂයෙන්ම මගෙ ඉමීඩියට් බොස් නොහොත් ආසන්නතම ප්‍රධානියාට. මගෙ ඉමීඩියට් බොස් ඇවිල්ල මිස්ටර් බාලක්‍රිෂ්ණන් නොහොත් බාලා.

උදේ ආපු ගමන්ම මම ගිහිල්ල බාලාට අතට අත දුන්න.

"බොහොම සන්තෝෂයි ක්‍රිෂ්, ඔයත් අද ඉඳල අපේ පවුලෙ සාමාජිකයෙක්. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි"

"මොකක්? මේ මනුස්සය අනන්‍යාගෙ නෑදෑයො වත්ද? ඇයි දෙයියනේ, මේ යෝදි මට නිකමටවත් මේ ගැන කිව්වෙ නැති හැටි. කෝකටත් මේ ඥාති කතාව පැහැදිලි කරගෙන ඉන්න එක හොඳයි පාන්දරම" මම එහෙම මටම තොල මතුරගත්ත.

"මම අද ඉඳල පවුලෙ සාමාජිකයෙක් කියල කිව්වෙ මිස්ට බාලක්‍රිෂ්ණන් ඒ මොන පවුලෙද?"මම බාලාගෙන් ඇහුව. 

"පවුලෙ සාමාජිකයෙක් කියල කිව්වෙ ක්‍රිෂ් අපේ සිටි බැංකු පවුලෙ. වෙන කොහෙද ආයෙ? හිහ්..හිහ්.."

බාලා බොහොම සද්දෙට හිනාවුනේ ඒ පවුලෙ කතාව ලොකු විහිලුවක් වගෙ හිතලද මන්ද. කොහොම උනත් බාලගෙ අනන්‍යාට කිසිම සම්බන්ධයක් නැතිබව දැන් ගත්තු එක නම් මගෙ හිතට ගෙනාවෙ ලොකුම සැනසීමක්.

"ඉතිං ක්‍රිෂ් මම ඔයාට එකක් කියන්නං.අද ඔයාගෙ රස්සාවෙ පළවෙනිම දවසෙ. මේක කොයියම්ම මොහොතකවත් අමතක කරන්ට එහෙම එපා හොඳද? ඔයා ඇවිල්ල පුදුම වාසනාවන්ත තරුණයෙක්"

"ඔව්..ඔව්..මොනවට කියනවද ඒ හරිය? මේ වැඩි කාලෙකට ඉස්සර එහෙම නෙවෙයි. ඊයෙ රෑ. ඔව් ඊයෙ රෑ තව පොඩ්ඩෙං මේ පුදුම වාසනාවන්ත මම ත්‍රීවීල් කාරයො හතර දෙනෙක්ගෙන් බඩ කට පුරා ගුටි කනව ආය මදි නොකියන්ට" ඒ ටික මම හිතුව විතරයි. ඒත් එක්කම බාලාගෙන් මම ඇහුව මෙහෙම.

"ඒ කොහොමද? මොකක්ද මිස්ටර් බාලක්‍රිෂ්ණන් ඔය කියන මගෙ වාසනාව?"

"ඒ කොහොමද කියල අහන්නෙ?" බාලා මගේ මුහුණ දෙස දෑස් විදහා බලා සිටියේ එවන් ඉතා සරළ කාරණයක් හෝ තේරුම් ගැනීමට මට නොහැකිවීම ඔහුට මහත් පුදුමයක් බව අඟවමිනි. "ළමයෝ..තමංගෙ බැංකු ජීවිතය සිටි බැංකුවෙන් පටන් ගන්ට විශේෂයෙන්ම ප්‍රයෝරිටි බෑංකිං ක්ලයන්ට්ලගෙ අංශයෙන් පටන් ගන්ට සුවල්ප වාසනාවක් තියෙන්ට ඕනය කියලද හිතන්නෙ? ඕනම එම්.බී.ඒ. කාරයෙක් බෙල්ල කපාගන්ට උනත් එක පයිං කැමතිවෙනව මට හොඳටම ෂුවර් ඔයාට ලැබුන මේ අවස්ථාව වගෙ අවස්ථාවක් ලැබෙනවනම්. ආය ඒකෙ දෙකක් එහෙම නෑ." බාලා පැවසූයේ ඉතාමත් බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඪ කොටගෙන වචනයෙන් වචනයට තම හිසද ඉහල පහල සොළවමිනි.

"බෙල්ල කපාගත්තම ආය බැංකුවෙ වැඩට එන්නෙ කොහොමද?" මම බාලාගෙන් එසේ නොඅසා සිටියේ බොහෝ අසීරුවෙනි. එසේ ඇසීම වෙනුවට මම ඔහු දෙස බලා සිනාසුනෙමි. 

"ඉතිං ක්‍රිෂ්.................................ඔයා ලෑස්තිද මේ අභියෝග බාරගන්ට?"

"ලෑස්තියි..." මම යලිත් සිනාසුනෙමි. "මට තියෙන අභියෝගෙ හවස තුනටවත් මෙතනිං පැනගන්ට ක්‍රමයක් හොයාගන්න එක" ඒ සමඟම මම මටම තොල මතුරා ගතිමි.

"යමු මම ඔයාට අපේ කණ්ඩායම අඳුන්වල දෙන්නම්."

ප්‍රමුඛත්ව බැංකු අංශයෙහි නියෝජිතයින් අටදෙනෙක් වූහ. තරුණයින් හතර දෙනෙක් සහ තරුණියන් හතර දෙනෙක් වශයෙනි. ඔවුහු හිස ගිණිගත්තවුන්සේ පර්යේෂණ වාර්තා සහ අනෙකුත් අංශයන්ගෙන් ලැබුනු උපදෙස් පත්‍රිකා කියවමින් උන්නෝය. බාලා මට ඔවුන් එකිනෙකා හඳුන්වා දුන් නමුදු එක හා සමානව ශබ්ද වන ඔවුන්ගේ දමිළ නම් මට ඊලඟ මොහොතේදී සම්පූර්ණයෙන්ම අමතක විය.

බාලා තම අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කලේය. 

"දැං අටයි. සාමාන්‍යයෙන් කස්ටමර්ල එන්ඩ පටං ගන්නෙ තව පැය දෙකකිං විතර. ඒ කියන්නෙ දහයට වගෙ. අන්න එතකොට තමයි ක්‍රිෂ් යුද්දෙ පටං ගන්නෙ" 

 බාලා එසේ පවසමින් දෙඅත්ල එකිනෙක ගටා පිරිමැද්දේ "වරෙල්ලා ඕන එකෙක් මම ලෑස්තියි" යනුවෙන් අභිනයෙන් දක්වමින් යයි මට සිතුණි.

"හරි ක්‍රිෂ් මගේ ප්‍රතිපත්තිය තමයි කෝඩු කාරයො කෙලින්ම යුද්දෙට යවන එක. මොකද කියන්නෙ තරුණයා..? යුද්දෙට ලෑස්තිද?"

"ඔව් මිස්ට බාලක්‍රිෂ්ණන් මම ලෑස්තියි"

"හරි බොහොම සන්තෝසයි ඉලන්දාරියා. ප්‍රශ්ණ එහෙම මොකවත් තියනවනං දැං අහන්ඩ පුලුවං"

"එක ප්‍රශ්ණයයි තියෙන්නෙ මිස්ට බාලක්‍රිෂ්ණන්"

"හහ්..හහ්..හා... එක ප්‍රශ්ණයයි අහන්න තියෙන්නෙ කියන්නෙ තරුණයා ඔයා හරියටම තේරුම් අරං තියනව ඔයාගෙ කාර්ය භාරය මොකක්ද කියල. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි, බොහොමත්ම සන්තෝෂයි ඔව් බය නැතුව අහන්ඩ ක්‍රිෂ්..මොකක්ද ප්‍රශ්ණෙ?"

"මිස්ටර් බාලක්‍රිෂ්ණන්, මේ..මේ..පැහැදිලිව කියන්ඩකො දැං මම මොනවද කරන්න ඕන?...එහෙමත් නැත්තං මොනවද ඔයාල මගෙන් බලාපොරොත්තු වෙන්නෙ?"

36 comments:

  1. Asa hithena kathawa.Niyama writing style eka!Ikmanata ithiri kotasath danna.

    ReplyDelete
    Replies
    1. සරත්,

      බොහොමත්ම ස්තුතියි සරත්, ඔබ නිරතුරුවම මට දෙන දිරිය මහ මෙරක් වගේ වටිනවා.

      මහමෙරක් කිව්වම මතක් වුනේ …:)

      මහාමෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි,
      වැලිකැටයක් මෙනි ඔබ මා ගැන සිතුවේ,
      වැලිකැටයක් මෙනි ඔබ මා ගැන සිතුවේ,

      නිර්මලා රණතුංග/ දයා ද අල්විස් යන ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනියන් දෙදෙන එකතුවී කල අපූරුම නිර්මාණයක්.

      Delete
  2. රවී තුමා, අද රචනා රටාව වෙනස් මොකද?

    (නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන්න එපාඅ යෝදියේ, මේ මනුස්සය මේක වෙනස් වෙනස් රටා වලින් හරි ලියන එක ලොකු දෙයක් නේද.. අර වෙන පට්ටන්දර කියව කියව හිටපු රවී තුමා ආයේ ට්‍රැක් එකට වැටුණ විතරයි ආව මෙතන ඒකෙ රටා හොයන්න)

    ඔන්න ඔහොම කිවුව මට, යටි හිත :)

    ඔය වැඩ කරන එක එපා වෙනවා නේද? එහෙම වෙන්නේ කලින් පනින්න බලාගෙන වැඩ කරනකොට. ඒ වැඩේට අවධානයෙන් කරනවා නම් දවස ගතවෙනවා තේරෙන්නේ නැති වැඩ ම, කලින් පනින්න හිතාගෙන ඔරලෝසුව දිහා බලාගෙන කරනකොට එපා වෙනවා.

    දැන් ඔතන ඔෆිස් එකේ අනන්‍යා හිටිය නම් කොහොමද, කලින් පනින්නේ නැහැ නේ, එහෙම නම් අනන්‍යා ළඟ දැවටී දැවටී කරන්න ලැබෙන ඕනෑම රාජකාරියක් හොඳින් කරනවා, ඔන්න දුරක වැඩක් හම්බුනොත් ආයේ ඕනවට එපාවට කරනවා.

    මේ කතාවල මේ වගේ ලොකු අභ්‍යන්තරයක් තියනවා, සරල වචන වලින් කිවුවට. :D

    බොහොම ස්තුතියි රවී තුමාට, මේක පරිවර්තනය කරනවාට :)

    ReplyDelete
    Replies
    1. S.I.P.B. මානවිකාවිය,

      දන්නවනෙ S.I.P.B. කියල කියන්නෙ මොකක්ද කියල නේද? දන්නෙ නැත්තං උදව්වක් කරන්නම් බොහොම ජනප්‍රිය ගීතයක කියවෙනව එහෙම මානවිකාවක් ගැන....හෙහ්, හෙහ්,

      / රවී තුමා, අද රචනා රටාව වෙනස් මොකද? /

      පොඩි වෙනසක් කරන්න හිතුන අනේ..අද කොටසෙන් කියවෙන කතාවට වඩාත් ගැලපෙන්නෙ එහෙම කටවහරට සමීප රටාවක්ය කියල හිතුන. ඒත් එක දිගට ලියල පස්සෙ කියවල බලද්දි නොදැනුවත්වම සමහර තැන්වල ඒ රටාව වෙනස් වෙලත් තිබ්බ. ආයම වෙනස් කලේ නෑ. එහෙමම තියෙන්න ඇරිය.

      / මේ කතාවල මේ වගේ ලොකු අභ්‍යන්තරයක් තියනවා, සරල වචන වලින් කිවුවට. :D  /

      ඔව් වොව් වොව්..මෙව්ව ඇතුලෙ තියනව ලොකු ලොකු අභ්‍යන්තර..තේරුණෙයි?

      බොහොම ස්තුතියි රවී තුමාට, මේක පරිවර්තනය කරනවාට :)

      You are mot welcome Madam…:)

      Delete
    2. එතකොට රවීට ඔය ඇතුලෙ නැතුව පිට අභ්‍යන්තරයක් තියෙන කථා හම්බ වෙලාම නැත්ද?

      Delete
    3. ඔය කියන්නේ මේක ගැන නේද?

      https://www.youtube.com/watch?v=GFeEPil_jf4

      ඒ උනාට රන් දෝලා, සහ පිරිවර, ඇත්තු, අස්සු, දැසි දස්සෝ, රන්පට, රන්සළු, මැදුරු බලාපොරොත්තුවෙන් නම් ආදරේ කියන්නේ නෑ :)

      අඩේ මේ ඉයන්තුමා අහන අපබ්‍රංස ! රවීතුමා, දීපන්කො දැන් උත්තර..

      Delete
  3. යන්තන් ඇති මේ කොටස ඉක්මනටම දලා වෙන කතාවක් පටන්ගන්නෙ නැතුව :)

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මීන් මනත ද එසේම කරන්නෙමැයි අදිටං කොට ගතිමි....:)

      Delete
  4. මානවිකාවි කියුව වගේ ස්ටයිල් එක වෙනදට වඩා ටිකක් වෙනස් වගේ... මට හිතුනෙ කියුවට කමක්නැද්ද මන්දා... දෙකක් දාගෙන වගෙයි කියලා:D කොහොම උනත් වෙනද වගේම මරු ඉතින්....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      ඔන්න ඉතිං ඕකනෙ උඹලත් එක්ක බැරි මේ රාජ්ජෙ කොරන්ට..( මගේ දිවංගත මිත්තණිය නිරතුරු තෙපලන්නකි )

      පාන්දර 3.28 ට මේ පෝස්ට් එක පබිලිස් කොරේ. ඒ කියන්නෙ මෙහෙ වෙලාව එකයි.එහෙම නිදිමරාගෙන බොලාගෙ පහං සංවේගය උදෙසා ලියල පබිලිස් කලාම බොලා කියනව දෙකක් දාගෙනද මන්ද කියල. දෙයියම්පල්ල මට මේ වෙලාවට තමයි ඉතිං....

      ඉට්ටැයිල් එකනම් ටිකක් වෙනස් තමයි..මානවික්ස්ට දුන්නු උත්තරේ මම එහෙම වෙන්ට හේතු කිව්ව...:)

      Delete
    2. /////දෙයියම්පල්ල මට මේ වෙලාවට තමයි ඉතිං..../////
      හිතෙන්නෙ ඇත්තටම දෙකක් දාගන්ට...

      එහෙමද:d

      Delete
    3. අපේ පහං සංවේගය උදෙසා රෑ ජාමෙත් "පහන්" දල්වන් ලියන රවීයියාට අපේ මෙව්වා එක.

      Delete
  5. දෙයියනේ කියලා ඉස්සරවෙලාම රස්සාවකට ගියාම තාටත් ඔහොම තමයි. මමත් ජොබ් එක පටන් අරගෙන එක සතියෙන් ලෝක මහා සංග්‍රාමයකට යන්න උනා. කෝඩු කාරයා නිසා උදේ 8 රෑ 10 දක්වා යුද්ධ කලා. ඒ අත්දැකීම නිසා දැන් ඕන යුද්ධයකට ඔට්ටුයි.

    ReplyDelete
  6. මං හිතන්නෙ කල්පනා කර කර ඉඳල ක්‍රිෂ්ට උදේ තමයි නින්ද යන්නෙ ඔය අල්ලපනල්ලේ රවී අයියා යනව සිටි බෑන්ක් එකට ජොබ් එක හම්බවෙන්නෙ රවී අයියට මේ යන විදිහට ක්‍රිෂ් එසැනිං පුවක් ගහකට කොටන්නත් බැරි නෑ :)

    ReplyDelete
    Replies
    1. අන්න මචං,මම හිතන්නෙත් එක තමයි වෙන්නට ඇත්තේ.

      Delete
  7. කොහොමද බොල ඔය බකට් කාරය මෛත්‍රීයි දිල්රුක්ෂියි ගැන දන්නෙ.
    මොක ලියන්න කලින් කොහේ හරි හංගල තිබ්බ කොටයක් හම්බඋනාද?

    ReplyDelete
  8. //මිස්ටර් බාලක්‍රිෂ්ණන්, මේ..මේ..පැහැදිලිව කියන්ඩකො දැං මම මොනවද කරන්න ඕන?...එහෙමත් නැත්තං මොනවද ඔයාල මගෙන් බලාපොරොත්තු වෙන්නෙ?//
    ඔය එක ප්‍රශ්නෙම ඇති මිස්ටර් බාලක්‍රිෂ්ණන්ට කලන්තෙ දාල වැටෙන්න උනත්. හැක්..

    ReplyDelete
  9. කියෙව්වා කියහල්ලාකො එක හුස්මට. මට හිතුනෙම අර 'සමබරතාව' පොතේ වෙන වර්ෂන් එකක් කියෝනවා කියලා. අර රූ රැසේ කතාව දිගටෝම කියාගෙන ගියානං 'මින් රළවුත් ගං වෙරළට රැස්වූ' එකෙයි 'නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා' එකේ සිංහල ව්‍යාකරණෙත් පැහැදිලි කරගෙනම යන්ට තිබුණා නෙව!

    ReplyDelete
  10. උඹේ හෙඩිමේ තිබුන "මගේ ශ‍ය්‍යා කෝෂ්ඨය" දැක්කාම, පෝස්ට් එක කියවිල්ල පැත්තක දාලා ඒ මොකක්ද කියලා බැලුවා. අම්මපා මට හිතුනේ රවියට බරපතල රෝගයක් හැදිලා..මූ ඉස්පිරිතාලේ ඉඳන් තමයි මේක ලියනවා ඇත්තේ කියලා. ඇයි බං ශයියාද මොකක්ද නැතුව ගැහුවම එන්නේ...ඩිම්බාධාර කෝෂ්ඨය, හයිඩැටිඩ කෝෂ්ඨය, බ්ලාස්ට කෝෂ්ඨය වගේ ඉස්පිරිතාල ඇඳන්ම මතක් වෙන ඒවා.

    ReplyDelete
  11. රවීයියා මේ කතාව ලියන් ආපු කලින් ස්ටයිල් එක තමයි හොඳ.මේ ස්ටයිල් එක මට පොඩ්ඩක් අවුල් වගේ.
    ක්‍රිශ් බාලාගෙන් අහන්නේ වැඩ ඉවර වෙන්නේ කීයටද කියලා අහයි කියලායි මම හිතුවේ.

    ReplyDelete
  12. MBA holder for a customer service role!!!! Incredible India!!!

    ReplyDelete
  13. අද flow එක එහෙම නැත්නම් විකාශනය වෙනස්.ඒවගේම තමා කාලාන්තරය බොහොම ටිකයි. විනාඩි 15ක් විනාඩි 30ක් අතර කාලයක්. හරියට දැන් පෙන්වන ඉන්ඩියන් මෙගා ටෙලියක් වගෙයි. ඒවගේම මුලිම්ම අතරින් පතර දැන්වීම් තිබුනත් කතාරසයට හානියක් වෙලා නෑ....

    ReplyDelete
  14. ada liyala thiyana vidiha henama aul.

    ReplyDelete
  15. මේක ඇති වගේ රවී. උඹේ කෑලි වල කථා මීට වඩා හොඳයි. කෝච්චියේ එක ඉවර කරපන්

    ReplyDelete
  16. කාලෙකින් ආවේ. අර ගෙදර මහ පොතක් තියෙන ඒත් මොකුත් මතක නැති එක්කෙනා ඇවිත් කමෙන්ට් එකක් දාපුවම ආයේ එනවා කමෙන්ට් කියවන්න

    ReplyDelete
  17. Ravi sir,

    ara harabara banku "pari-bhashika" valata obathuma sapayala thiyena arthakathana patta..!! very realistic..!!

    Mathu sambanda kathava eelanga sathiye balaporoththu vennada?

    ReplyDelete
  18. පුදුමයි එක ලග කොටස් දෙකක් ඉක්මනට දාලා.
    දෙකම කියෙවුවා සෑර්..

    ReplyDelete
  19. කවුද ශය්‍යා ?

    ReplyDelete
    Replies
    1. ශිවන්න්‍ය ගෙ බෝයි ‍ප්‍රෙන්ඩ්

      Delete
    2. ඇත්තටම ඔහොම වචනයක් තියේද?

      Delete
  20. //මුල්ම දවසෙ මුල්ම පැයේදිම රස්සාව නිකං මෛත්‍රීට දිල්රුක්ෂි එපාම වුනාවගෙ ඉත්තේරුවෙම්ම එපාම එපාම එපාම එපා වෙනවනම්// හපොයි .

    අර අන්තිම ප්‍රස්නෙ නම් මරු.

    ReplyDelete
  21. කෝ මනුස්සයො අපේ කොමෙන්ට් වලට රිප්ලයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මේ දිනයන්හි බොහොත් බිසීයෙමි.නව වියුණු සටහනක් ලියමින් සිටින්නෙමි. එය පළකල වහා පසුගිය සටහනට ලද ප්‍රතිචාරයන්ට පිළිතුරු සපයන්නෙමි.එතෙක් කමා කල මැනව සභාපති තුමනි!

      සිත් තැවුල් නොගත මැනව, සැමට පිළිතුරු දෙමි....:)

      Delete
    2. ඉට්ස් ඕකේ බේබි. හැක්..

      Delete
    3. [නව වියුණු සටහනක් ලියමින් සිටින්නෙමි] අලුතින් තව එකක් ද?

      ඉට්ස් ඕකේ බේබි x 2

      Delete
  22. මට මේ සීරීස් එකේ කොටස් බර ගානක් මිස් වුණානේ.. මුල ඉඳල හොයන් කියවන්න වෙනවා.. හැමදාම ඒක කරන්නේ නැති නිසා අලුත් කොටස් බලන්න හිතෙන්නේ නෑ.. බැරිද නිකන් මෙතෙක් කතාව කියල සාරාංශයක් දාන්න.. හෙහ් හෙහ්
    ඕනනම් Previously On The Story Of My Marriage කියල පොෂ් විදියට දාන්නත් පුළුවන්..


    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...