Showing posts with label They made a difference in my life.... Show all posts
Showing posts with label They made a difference in my life.... Show all posts

Friday, March 16, 2018

572. දෛවය සමඟ ගේම ඉල්ලූ ඉස්ටීවන් අයියාගේ නික්මයාම…

Stephen Hawking - One of the Greatest Minds of Our Time

පලි - (මෙතන පලි කියන්නෙ පසුව ලියමි කියල නෙවෙයි පළමුව ලියමි කියල හොඳද? ) 

බූරා මලය තමයි මට කිව්වෙ අර අනන්‍යාගෙ උරචක්‍රමාලෙ පොඩ්ඩකට පැත්තකිං තියල හෝකිං ගැන ලියාපන්ය කියල. කොහොමත් මම හෝකිං ගැන ලියන්න තමයි හිටියෙ. අර උරචක්‍ර මාලෙට වෙලා තියෙන්නෙ බං ඒක දැං අතාරින්ට බැරිකම නෙව. එහෙම බලනවනම් උරචක්‍ර මාලයක්ය කියනවට වඩා ගැලපෙන්නෙ ඒකට කොටි වලිගයක්ය කියන එක...හෙහ්,හෙහ්,

**********************************

මම මුලින්ම ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන දැනගන්නා විට මගේ වයස දහයකට දොලහකට වඩා වැඩි නැත්තේය. ඒ දවස්වල අපි හිටියේ කෑගල්ලේය. කාල වකවානු සහිතව කිව්වොත් එහෙම පසුගිය සියවසේ අටවන දසකයේ මැද බාගයේය. එහෙමත් නැත්තං හැත්තැ තුන හෝ හතර වගේ කාලයේය. 

කෑගල්ල ටවුම පිහිටා ඇත්තේ ප්‍රදාන වසයෙන් කොළඹ - නුවර මහා මාර්ගය දෙපස බව කෑගල්ල ගැන දන්නෝ දන්නවා ඇත. හරියටම මේ ටවුම මැද හරියේම මහ තැපැල් කන්තෝරුව ඉස්සරහම වගේ පාරෙන් අනික් පැත්තට පොඩි අතුරු පාරක් මම කියන මේ අතීතයේ තිබුනාය. ඒ පාරේ යාර (ඒ දවස්වල පාරවල්වල දුර මැන්නේ මීටර් කිලෝමීටර් වලින් නොව යාර, පර්ලොම් සහ සැතපුම් වලිනි.) තුන්හාරසීයක් වගෙ දුරක් ගිය තැන තනිකර කලු ගලින් නිමවුනු පල්ලියක් තිබ්බාය. හැමෝම ඊට කිව්වේ ගල් පල්ලිය කියාය. 

ඔන්න ඔය ගල් පල්ලිය පහුකරල කන්දක් නැඟල බැස්සම තිබ්බ පොඩි ගම්මානයක්. මට දැන් හරියකට මතක් වෙන්නෙ නෑ නම. ඒත් රතඹලකන්ද වගෙ නමක්ය කියල පොඩි මතකයක් තියනව. ඔය ගම්මානෙ නිජබිම කරගෙන හිටිය ඒ කාලෙ චණ්ඩියෙක්. නම ස්ටීවන්. හැමෝම කිව්වෙ ඉස්ටීවන් අයිය කියල. 

ඒ කාලෙ චණ්ඩි ඔය දැන් ඉන්න දෙකයි පණහෙ බොරු ෂෝ කාරයො වගෙ නෙවෙයි. වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම චණ්ඩි. මෝටර් සයිකලේ පිටිපස්සෙ පිලියන් ඉඳගෙන ඇවිල්ල ටී පණස් හයකිං පට පට ගාල තියාගෙන තියාගෙන ගිහිල්ල "යමාං යමාං පාගල යමාං" කියල පස්ස නොබල පලායන ඔය අද ඉන්න ජාතියෙ චණ්ඩි නෙවෙයි එදා හිටියෙ. පේස් ටු පේස් ගේමට බැහැල අතිං පයිං ගහ ගත්තු චණ්ඩි. 

අනික ඒ කාලෙ ඔය ඉස්ටීවන් අයිය වගෙ මිනිස්සු උනත් එහෙමට අසාදාරන වැඩ කලේ නෑ. වෑවලදෙණියෙ පන්සලේ පෙරහැර දවසෙ එහෙම නැත්තං බස් ස්ටෑන්ඩ් එක (මම මේ කියන්නෙ කෑගල්ලෙ ඔර්ලෝසු කණුව ගාව තියන පරණ බස් ස්ටෑන්ඩ් එක ගැන) ඉස්සරහ මුත්තු මාරි අම්මන් කෝවිලේ තේරුව වීදි සංචාරය කරන දාට ඔය පොලිසියෙ රාලහාමිලා එක්ක වලියක් දෙකක් දාගත්ත තමයි. මම හිතන්නෙ ඒ වලි පොලීසියෙ කස්ටියත් බලාපොරොත්තුව හිටියෙ. එහෙම වලියක් දෙකක්වත් නැත්නම් නිකං හිතට හරි නෑ වගෙ ගතියක් තිබ්බෙ. මගෙ හොඳම යාලුවෙකුගෙ තාත්ත පොලීසියෙ සාජං මහත්තයෙක් හින්ද මට ඒ ගැන කැට තියල කිව්වැහැකි. 

ඒ කාලෙ පොලිස් රාළහාමිල ඇන්දෙ දණිස්ස ගාවට තියෙන බාජු කොට කළිසම. කළු සපත්තු. දනිස් ගාවට කාකි පාට මේස් දාල. මේ මේස් එකක කාබන් පෑනක් ගහගෙන හිටියෙ. බොහෝවිට මේ පෑන තැඹිලි පාට බික් වර්ගයේ පෑනක්. පොලීසිය ඇතුලෙ බොහෝමයක් වෙලාවට උඩට ඇඳල හිටියෙ මේස් බැනියමක්. ජීප් තිබ්බෙ ලෑන්ඩ් රෝවර්. බොහෝවිට EN කාණ්ඩෙ එව්ව. මට මතකයි ඔය ජීප් හතර පහක් හැමදාම කෑගල්ල පොලීසිය ඉස්සරහ තිබ්බ බෝ ගහ යට එක පෙලට නවත්තල තියනව පාර පැත්තට මූණ දාල. 

ඉතිං ඔය මම කිව්වෙ ජීවිතේ මම දැනගෙන හිටපු එක ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන. 

තව මං දන්න ඉස්ටීවන් අයියල දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්න මම අඳුනගත්තෙ අර කෑගල්ලෙ ඉස්ටීවන් අයිය ගැන දැනගත්තට බොහොම පස්සෙ කාලෙක. දෙන්නම පොත් ලියපු අය. පුදුම වැඩේ කියන්නෙ දෙන්නගෙ නම් දෙකත් බොහොම සමානයි. එක්කෙනෙක් ඉස්ටීවන් කිං අනෙක් එක්කෙනා ඉස්ටීවන් හෝකිං. 

ඉස්ටීවන් කිං කියන්නෙ නවකථා කරුවෙක්. මගෙ ප්‍රියතම ලේඛකයෙක්. 

ඉස්ටීවන් හෝකිං ලේඛකයෙක් වෙනවට අමතරව ලෝක ප්‍රසිද්ධ Theoretical Physicist කෙනෙක්. එහෙම නැත්නම් න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. 

මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. කොටින්ම ඇස් දෙක පියාගෙන අයිසැක් අයියගෙයි ඇල්බට් අයියගෙයි එක පලෝලෙ තියන්ට පුලුවන් මට්ටමේ ගොබිලෙක් හැටියටයි අපේ මේ ඉස්ටීවන් අයිය සැළකෙන්නෙ. අයිසැක් අයිය කිව්වෙ අයිසැක් නිව්ටන් ගොයියට. එතනින් ගිහාම ඇල්බට් අයිය කිව්වෙ ඇල්බට් අයින්ස්ටයින් ගොබිලට. 

ඒ එක්කම එහෙනං අයිසැක් අයිය ගැන මේ කතාවත් ලියලම ඉන්නංකො. ඔය අයිසැක් අයිය ජීවිතේටම බැන්දෙ නැහැලු. ඒ තියා ජීවිත කාලෙටම ලිංගික කාය කර්මයෙ යෙදුනෙත් නැහැය කියලයි කියන්නෙ. හැබැයි ඔක්කොම වෙන්නෙ හොඳටෙයි කියල කියනවනෙ. බැරිවෙලාවත් අයිසැක් අයිය බැඳල හිටියනම් ගුරුත්වාකර්සනේ තවම හොයාගෙන නැතිවෙන්ටත් තිබ්බ. 

ඔන්න අපි හිතමු අයිසැක් අයිය බැඳල හිටියය කියල. එහෙනම් මෙහෙමයි අර ඇපල් සීන් එක සිද්ද වෙන්නෙ. ඔන්න ඇපල් ගහයට ඉඳගෙන ඉද්දි අයිසැක් අයියගෙ ඔලුවට ඇපල් ගෙඩිය පත බෑවෙනව. මිනිහ නැඟිටල දනිපනි ගාල ගෙදර දුවල අයිසැක් අක්කට මෙහෙම කියනව. 

"ඒයි ඒක නෙවෙයි බල්ලනකො වෙච්චි දේ.. මම අර අතන ඇපල් ගහ යට ඉඳගෙන ඉද්දි මගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනනෙ." 

"ඉතිං?" අයිසැක් අක්ක අහනව. 

"දන්නවද ඒකෙං අපිට හිතාගන්ට පුලුවන් දේ?" 

"හ්ම්ම්ම්...මම දන්නව…" අයිසැක් අක්ක මූන හපුටු කරගෙන කියනව. 

"මොකක්? ඔයා දන්නව? මොකක්ද ඔයා දන්නෙ?" අයිසැක් අයියට පුදුමයි අයිසැක් අක්කටත් ගුරුත්වාකර්සනේ ගැන අයිඩියා එක ඇවිල්ලද කියල 

"මොකක්ද කියන්නෙ? අදත් තමුං උදේම යන්ට ඇති ඇපල් ගහ යට ඉඳගෙන අර එහා ගෙදර තේඋඩිච්චි එක්ක කොමල කරන්ට...." 

"ඔයයිට පිස්සුද අනේ?..." 

"පිස්සු?....පිස්සු මට නෙවෙයි. මම දන්නව උදේ ඉඳල ඔතන ඇපල් ගහයට මොකද කරන්නෙ කියල...මේ මගෙං හැඳිපාරක් කන්නෙ නැතුව මේ ගෙට වෙලා ඉන්නව. කරන්ට වැඩක් නැත්තං අර සාලෙ පුරහම ගොඩ ගහල තියෙන්නෙ පොත්. එව්වයෙ දූවිලි පිහදාල දානව. ඔන්න මම නොකිව්වයි කියන්න එපා. ආයම දවසක් ඔය ඇපල් ගහයට ඉඳගෙන ඉඳල මට අහුවුනොත් එහෙම මම......." 

"හරි හරි මදැයි ඔය ගෝරනාඩුව. මම පොත් පිහදාන්නංකො…" 

අයිසැක් අයිය සාමකාමී මනුස්සය. ඒ හින්ද අක්ක කියාපු විදිහට එදා දවසම පොත්වල දූවිල්ල ගැසුව. හැබැයි එකක් තියෙන්නෙ අයියට තදටම තියනව ද පිනෑන්ස් නොහොත් පීනසේ. දූවිල්ල නහේට ගිහිල්ල එදා රෑ වෙනකොට මනුස්සයට ඔන්න සහලවලා පීනසේ. දවස් තුනක් ඇඳේ ඉඳලයි ඔන්න කොටිම්ම ආපහු නැඟිට්ටෙ. 

හැබැයි එකක් තියෙන්නෙ පීනස් අමාරුව හින්ද මනුස්සයට අර ඇපල් ගෙඩිය ඔලුවට වැටිච්චි සීන් එක සහමුලින්ම අමතක වෙලා ගියා. පහුවදයි අනික් පහුවදයි ඇඳේ හාන්සිවෙලා ඉන්න ගමං මිනිහ මතක් කරන්ට ෆුල් ට්‍රයි කලා මොකක්ද වැදගත් දෙයක් මට කල්පනා උනා නේද කියල. 

ඒත් එහෙම කල්පනා කරනව දැක්කම අයිසැක් අක්ක කෑගහන්ට ගත්ත "යකෝ ලෙඩ ඇඳේ ඉඳගෙනත් අර අල්ලපු ගෙදර දහදුරාවි ගැන නෙවද කල්පනා කරන්නෙ?" කියල. 

මේ මල වදේ හින්දම අයිසැක් අයිය ඒ ගැන කල්පනා කරන එකත් අත ඇරලම දාල නිකා හිටිය. ගුරුත්වාකර්සනේ හොයා ගැනිල්ල එතනිම්ම හබක් වූ සේක! 

ඔන්න ඔහොමලු අයිසැක් අයිය බැඳල හිටියනං සිද්ද වෙන්ට නියමිත වෙලා තිබ්බෙ. තේරුණෙයි ඔහෙලට? 


මෙම කාටූනයේ දැක්වෙන අයුරු ඇපල් ගෙඩියක් නොව නිව්ටන්ගේ
ඔලුවට පතිතවී ඇත්තේ කුරුල්ලකුගේ වසුරු පිඩකි. ඔහුගේ
සේවකයකු මෙසේ පවසමින් ඔහු සනසයි.
"හරි හරි ගණන් ගන්න එපා බොසා..ගුරුත්වාකර්සනේද
මොකක්ද එක හොයාගත්ත එකනෙ වැදගත් වෙන්නෙ.
අර අලජ්ජි කුරුල්ල රුන්න එක කියන්ට ඕන නෑනෙ.
අපි හැමෝටම කියමු බොසාගෙ ඔලුවට ඇපල් ගෙඩියක්
වැටුනයි කියල..වඩියුසේ? ඕකේ?"

ඉතිං ඒ අතුරු කතාවෙන් අනතුරුව ආපහු ප්‍රදාන කතාවට නොහොත් අපේ ඉස්ටීවන් අයියා ගැන කතාවට නැවත ප්‍රවිස්ට වෙමු. 

අපේ මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. ඒ වාක්‍යය ඇත්තටම කිව්වොත් වැරදියි. සැළකෙන්නෙ නෙවෙයි හරියටම කිව්වොත් සැළකුනේ වෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඒ ඉස්ටීවන් අයියා වැඩි දොහක් එහෙම නෙවෙයි මේ පහුගිය මාර්තු දාහතරවෙනිද අභාවප්‍රාප්ත වුනා නොහොත් මියගියා. 

1942 අවුරුද්දෙ උපන් මේ ඉස්ටීවන් අයියට වයස යන්තම් 22, 23 වගෙ වෙනකොට බොහොම කලාතුරකින් කෙනෙකුට වැලඳෙන බරපතල රෝගයක් වැලඳුනා. Motor neuron disease නමින් හඳුන්වන මේ ලෙඩෙන් කරන්න අපේ ශරීරයෙ ක්‍රියාකාරකම් පලනය කරන ස්නායු පද්ධතියෙ තියන නියුරෝන අක්‍රියාකාරී කරන එක. එහෙම උනහම අපේ සිරුරේ අවයව ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන. අන්තිමට ආහාර ගිලීම හුස්ම ගැනීම වගෙ ක්‍රියාවලීනුත් අඩපණවෙලා රෝගියා මියයනව. 

ඉතිං වෙලාව කියන්නෙ අපේ ඉස්ටීවන් අයියටම මේ ලෙඩේ හැදුන එකනෙ. 

"ඇයි මටම මෙහෙම වෙන්නෙ?" නැත්නම් "WHY ME?" 

එහෙමයි එහෙම වෙලාවට අපි කෑගහල අහන්නෙ? එක්කො අපි අදහන දෙයියෙක්ගෙං. දෙයියෙක් අදහන්නෙ නැත්තං තමන්ගෙන්ම. 

ඔය "Why me?" ප්‍රශ්ණෙට අපූරු පිළිතුරක් දීල තිබුන එක පාරක් අමරිකානු ටෙනිස් ශූර ආතර් ඈෂ්. ආතර් අයිය තමයි විම්බ්ල්ඩන් ටෙනිස් ශූරතාවය දිනපු පළමු කල්ලා. ඒ 1975 අවුරුද්දෙදි. පස්සෙ කාලෙක හාට් බයිපාස් සැත්කමක් කරද්දි ඔහුට වැරදීමකින් HIV අසාදිත ලේ පාරවිලයනය කරල තිබ්බ. ඒ හින්ද ඔහුට ඒඩ්ස් වැළඳුනා. 

පුවත්පත් වාර්තාකාරයෙක් ඔහුගෙන් මෙහෙම ඇහුව. 

"ආතර්...ඔබට කවදාවත්ම කෑගහල අහන්ට හිතිල නැද්ද Why me? කියල" 

ඒ ප්‍රශ්නෙට ආතර් අයිය මෙහෙම උත්තර දෙනව. 

"මම යූ.එස්. ඕපන් දිනුව. විම්බ්ල්ඩන් දිනුව පළමුවන කල්ලා වුනා. ලෝකෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකය වුනා. මිලියන ගණනක් හම්බ කලා. ඒ කොයිම වෙලාවකවත් මම Why me? කියල ඇහුවෙ නෑ. ඒ හින්ද මට මේ වෙලාවෙත් Why me? කියල අහන්න අයිතියක් නෑ." 

මට හිතෙන්නෙ අපේ ඉස්ටීවන් අයියගෙන් උනත් ඔය වයි මී ප්‍රශ්නෙ ඇහුවනම් ඔය උත්තරේම ලැබෙන්ට තිබ්බ ෂුවර් ඇන්ඩ් ෂොට්. 

තව කාරණයක් කියන්නද? ඔහොම රුධිර පාරවිලයනක් හින්ද ඒඩ්ස් හැදුනු ලංකාවෙ කමලිකා අබේරත්න වෛද්‍ය තුමිය මතකද? දිවයින පුරා අඩු ආදායම් ලබන දුප්පතුන්ට නොමිලේ වෛද්‍ය සායනයන් පැවැත්වූ එතුමිය හම්බන්තොට පැත්තෙ එවන් සායනයකට යද්දි රිය අනතුරකට ගොදුරුවෙලා සැත්කමක් කරන්නට සිදුවුනා. ඒ සැත්කම වෙලාවෙදි H.I.V. වෛරස් සහිත රුධිරය ලබා දීම නිසා ඇයට ඒඩ්ස් වැලඳුනා. මට මතක විදිහට 1996 නැත්නම් 97 වගෙ ඇය ඒඩ්ස් රෝගයෙන් මියගියා. ඒකත් බොහොම අවාසනාවන්ත ඛේදවාචකයක්. 

සාමාන්‍යයෙන් මේ Motor neuron disease රෝගයට ගොදුරුවුන කෙනෙක් උපරිම අවුරුදු 2-3 පමණයිලු ජීවත් වෙන්නෙ. අවුරුදු 10 පන්නල ජීවත් වෙන්නෙ බොහොමත්ම කලාතුරකින් කෙනෙක්ය කියලයි කියන්නෙ. හෝකිංටත් කියල තියෙන්නෙ උපරිම ජීවිත අපේක්ෂාව අවුරුදු දෙකයි කියල. ඒත් මේ මනුස්සය අවුරුදු පණස් පහක් ජීවත් වුනා. ඒක ඇත්තටම ආශ්චර්යයක්. 

අනික් අතට බලාගෙන යනකොට මේ ආශ්චර්යයට හේතුත් තියනව. අපේ ඉස්ටීවන් අයිය ධනවතෙක්. ලෝක පූජිත පුද්ගලයෙක්. ඒ හින්ද ලෝකෙ ඒ වෙනකොට තියන දියුණුම ප්‍රතිකාර සහ හොඳම මට්ටමේ Professional care giving ඔහුට ලැබුන. තවත් හේතුවක් මට හිතෙන්නෙ ඔහුට ජීවිතේ ඉලක්කයක් අපේක්ෂාවක් තිබුන. මම මේ දේ කරන්න ඕනමයි කියල. ඔයවගෙ පූර්ණ අකර්මණ්‍යතාවයට හේතුවන රෝගයකට ගොදුරුවුනු එහෙම සුවිශේෂී ඉලක්කයක් නැති අය මට හිතෙන්නෙ බොහොම ඉක්මනටම මිය පරලොව යනව. 

ඒ මොනව උනත් අවුරුදු 55 රෝද පුටුවකට සීමා වෙලා ගත කරපු ජීවිත කාලෙදි ඔහු කල කී දෑ අනන්තයි අප්‍රමාණයි. විශ්වයේ උපත පිළිබඳව මහා පිපුරුම් න්‍යාය අපේ ඉස්ටීවන් අයියා නව මානයකින් ඉදිරිපත් කලා. ඒ වගේම කළු කුහර සහ සාපේක්ෂතාවාදය ගැන ඔහු ඉදිරිපත්කල න්‍යායයන් ලොව පුරා ප්‍රසාදයට ලක්වුනා. ඔහුට නොබෙල් ත්‍යාගය නොලැබුනේ ඔහු ඉදිරිපත් කල න්‍යායයන් කිසිවක් මෙතෙක් නීරීක්ෂණාත්මකව ඔප්පු කිරීමට නොහැකිවූ නිසාලු. කළු කුහරයක් කවුරුත් තාම දැකල නැහැ. න්‍යායාත්මකව එහෙම එව්ව තියෙන්න පුළුවනි කියල විතරයි කියන්න පුලුවන්. 

ඉතිං කොහොම හරි අපි හැමෝටම කවදක හරි යන්ට වෙන ගමන ඉස්ටීවන් අයියා ගියා. 

ඔබට සුබගමන් ඉස්ටීවන් අයියේ!!! 

රෝද පුටුවේ සිට අඩ සියවසකට අධික කාලයක් මනසින් සැරිසැරූ කළු කුහර,නිහාරිකා,මන්දාකිණී අතර සැබවින්ම කල්පාවසානය තෙක් සිත්සේ සරන්නට ඔබට සුබ ප්‍රාර්ථනා!!! 

ඉස්ටීවන් අයිය ගැන වැඩිදුර විස්තර දැනගන්ට ඕමනා නම් පල්ලෙහයින් තියනව වීඩියෝ ක්ලිප්ස් කීපයක්....

                                            තම පියා පිළිබඳව ලුසී හෝකිංගේ ආවර්ජනා...

 
දෙවියන් පිළිබඳව......

                                                       පිටසක්වලින් බුද්ධිමත් ජීවීන්ගේ ආගමනය පිලිබඳව 
                                                                                     ඔහුගේ අදහස්...

                                                                                      Worm holes පිළිබඳව........

                                                                     මහා පිපුරුම් න්‍යාය පිළිබඳව ඔහුගේ අදහස්....

Tuesday, February 6, 2018

564. පතිරාජගේ නික්මයාම, වම් ඉවුරේ සිනමාව සහ ජෙප්පන්ට චන්දය දීම හෝ නොදීම....

ආචාර්ය ධර්මසේන පතිරාජ ...

මාතෘකාව කියවල නිකං හොල්මන් ද පොල්කොළ වෙලා ගියැයි ඔහෙල? නිකං රනිල් වික්‍රමසිංහ සහ යහ පාලනය කියල ලිව්ව වගේ නේහ්? තනිකරම විරෝධෝක්තියක් නොහොත් ඔක්සිමොරෝන් එකක් කියල හිතෙනව නේද?

රනිල්ගේ යහපාලනය කිව්වමනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔක්සිමොරෝන් එකක් නම් තමයි. ඒත් මගේ මාතෘකාව නම් එහෙම එකක් නෙවෙයි. එතන තියනව යම්කිසි අදෘශ්‍යමාන සම්බන්ධතාවයක් නොහොත් ඒක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...

ධර්මසේන පතිරාජ මහත්තය මියගිහිල්ල. මගෙ සිත්ගත් කවුරුහරි මියගියහම හරි එහෙම මියගිය කෙනෙක්ගෙ මරණ සංවත්සරයක් ආහම ඒ වෙනුවෙන් පොඩි සටහනක් බ්ලොග් එකේ ලියන එක මගෙ පුරුද්දක්. මීට කලින් මම ඒ වගෙ කීප දෙනෙක් ගැනම සටහන් ලිව්ව.


හැබැයි ඒ හැම සටහනක්ම අප අතරින් වියෝ වූ පුද්ගලයගෙ ගුණ කථනයක්ම වුනේ නෑ. හොඳ නරක ඒ වගේම වෙන වෙන වල් පල් ආරළු බූරලුත් ඒ අස්සෙ ලියවුනා මගේ සුපුරුදු සයිලියෙං. අන්න ඒක තමයි අපෙ හාන්දුන්නේ මගේ අනන්‍යතාවය නොහොත් අඤ්ඤකොරොස්භාවය...දඩිස්.....බිඩිස්....දඩ....බඩ....දඩ...තපෝස්...තපෝස්... හා...හා...හා...කලබල වෙන්ට එහෙම එපල්ල...ඒ මම පපුවට ගහ ගත්තු සද්දේ...හොඳේ...

හරි දැන් එමු අද මැයට නොහොත් අද මාතෘකාවට. ධර්මසේන පතිරාජ මහතාගේ අභාවය. ධර්මසේන පතිරාජ නොහොත් පතී කියන්නෙ ලාංකීය සිනමාවෙ නොමැකෙන සළකුණක් තියපු අධ්‍යක්ෂ වරයෙක්.

අහස් ගව්වෙන් පටන් ගත්තම එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ සහ පාරදිගේ...ඒ ඔහු නිර්මාණය කල සිනමාපට..ඉනික්බිතිව ඔහු කල නිර්මාණ ගැන මම සඳහන් නොකර ඉන්නම් මොකද ඒ එකක්වත් මට නරඹන්ට අවස්ථාවක් නොලැබුණු හින්ද.

පාරදිගේ චිත්‍රපටයෙ එක චරිතයක් මෙහෙම කියනව. මට මතක විදිහට විමල් කුමාර් ද කොස්තා වෙන්න ඕන....."අපිට මුල් නෑ ඒත් දළු දානව..." 

ඔය දෙබස් ඛණ්ඩය එදා ඉඳල අද දක්වාම නිතරම උපුටා දැක්වෙනව තරුණ පරපුරේ ඛේදවාචකය ගැන කියනකොට නැත්නම් ලියනකොට. ඔය දළු දාන කතාවඒ ඒ දවස්වල ඒ දවස්වල කිව්වෙ හැත්තෑව දශකයෙ මැද භාගයෙ වගෙ බොහොම ජනප්‍රිය කතාවක්...

පාරදිගේ තිරගත වුනේ මට මතක විදිහට 1980 අවුරුද්දෙ. ඒ කියන්නෙ චිත්‍රපටය හැදුනෙ 70 දශකයෙ මැද භාගයෙ වෙන්න ඕන. 70 දශකයෙ මැද භාගෙ කියන්නෙ ලෝකෙ පුරාම වාමාංශික රැල්ලක් පැතිරගිය කාලයක්. වියට්නාම් යුද්දෙන් ඇමරිකන් කාරයො පැරදීගෙන යනව. සෝවියට් දේසෙ බොහොම බලසම්පන්නයි. ඒ එක්කම චීනෙ, කියුබාව වගෙ රටවලුත් හොඳ දියුණු තත්වයෙ තිබ්බ. යටත් පිරිසෙයින් අපිට කිව්වෙ එහෙමයි. 

සෝවියට් දේශය, ස්පුට්නික් වගෙ සඟරා කියවල අපි හිතාගෙන හිටියෙ 20 වන සියවස ගෙවිල යන්ට ඉස්සර මුලු ලෝකෙම කොමියුනිස්ට් ක්‍රමයට හැරෙයි කියල. සියළු ධනය සැමදෙන අතර සමානව බෙදිල යන සැමට සෞඛ්‍ය පහසුකම් ආහාර නිවාස ප්‍රමාණවත් පරිදි ලැබෙන නිවහල් සමාජයක්, සමානාත්මතාවය රජයන සමාජයක්...එවන් නිවහල් නිදහස් උත්තරීතර සමාජයක් කරා අප රැගෙන යන්න උතුමාණනි!

ඒ දවස්වල ට්‍රෙන්ඩ් එක එහෙමයි....වාමාංශිකත්වය නොහොත් වමට බරවීම....කොහොමත් වම පොඩ්ඩක් බරයිනෙ..නේ?...දේහවිද්‍යාත්මකව බැලුවත් හෙහ්,හෙහ්....

ඉතිං ඒ හින්ද නැචුරලි මම හිතන්නෙ ලෙෆ්ටිස්ට්වීම නොහොත් වමට බරවීම නැඟල ගියා. 

කවි කෙටිකතා නවකතා ලිව්වත් සිනමා පටයක් නිර්මාණය කලත් වාමාංශික දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කරල තමයි ලියන්නෙ කරන්නෙ..සියළු කලා නිර්මාණවල අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන සමාජවාදී රාජ්‍යයක් කරා යන සිහිනය සාක්ෂාත් කොට ගැනීම විය යුතුයි...එහෙම තමයි කැච් ෆ්‍රේස් එක එහෙම නැත්නම් මුඛ්‍ය සටන් පාඨය...

අහස් ගව්ව සහ පාරදිගේ සිනමාපට දෙකේම තේමාව තරුණ අසහනය. අක්මුල් නැති තරුණ පරම්පරාව...ඒ දවස්වල පිළිගත් මතවාදය ඒකයි. ඒ කිව්වෙ තරුණ පරම්පරාවට ජීවන ක්‍රමයක් රජය සළසල දෙන්න ඕන. ඕනම රජයක් ඒ වගකීම ඉටු කිරීමට බැඳිල ඉන්නව.

ක්‍රමයෙන් ඒ අදහස් ගිලිහිල ගියාට අද උනත් ඒ සංකල්පයෙ නෂ්ඨාවශේෂ අප අවට තියනව. උපාධිධාරී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියල එකක් තියෙන්නෙ ඒ හින්දනෙ. ඒ වගෙ සංගමයක් තියෙන එකේ කිසිම වරදක් නෑ ඒකෙං කරන්නෙ එකතුවෙලා තම සාමාජිකයින්ගෙ විරැකියාවට යම් පිළියමක් යොදන්නට කටයුතු කරනවනම්. මොන විකාරද? එයාල කරන්නෙ දියව් දියව් අපට රජයේ රැකියා දියව් කියල පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන එක. නැත්නම් පෙළපාලි යන එක.ඒ කියන්නෙ එයාල කියන්නෙ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන එක රජයේ වගකීම කියල..

ඔය තරුණයින්ව බොහොම අපූරුවට බීලි බාගන්නෙ ඒ අයගෙ හැඟීම් අවුස්සල ඒවයින් වාසි ගන්නෙ පෙරෙට්ටො සහ ජෙප්පො. ඒ දෙගොල්ල ඔය වැඩේට බොහොම සමර්තයි. බොර දියේ මාලු බෑමට. බොර දියේ මාලු බාන්ට උපන් හපන් කෙවුලො ඔය දෙගොල්ලම…

ඉතිං ඒ දවස්වල තිබ්බ ට්‍රෙන්ඩ් එකේ විදිහට පතීල වම් ඉවුරේ සිනමාවක් ගොඩ නඟල ඒකෙ පතාක යෝදයො වුනා. ඒකට කිසිම විදිහකින් වැරැද්දක් කියන්න බෑ. කාලානුරූපවනෙ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. ඒ රැල්ල ඒ අවස්තාවෙ තිබ්බ ගතික තත්වයක් විසින් නිර්මාණය කල අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීමක්. එතන තියෙන්නෙ එච්චරයි.

ලෝකෙ කාලෙන් කාලෙට ඒ වගෙ එක එක රැළි එනව. මතවාද නිර්මාණය වෙනව. පස්සෙ කාලෙක ප්‍රත්‍යාවලෝකනයෙදි (In retrospect) අපිට පේනව එව්ව වැරදියි එහෙම නැත්නම් එහෙම නෙවෙයි වෙන්න තිබුනෙ කියල. ඒත් ඒ වෙනකොට කාලය ගලා ගිහිල්ල. එකම ගඟට දෙවරක් බහින්ට බෑ කියල කියන්නෙ නිකමට නෙවෙයිනෙ (You can never get into the same river twice) 

අද වෙනකොට ඔය වාමාංශිකයො කියන්නෙ මාරම පොරවල්ය කියල දේවත්වයෙන් අදහන සංකල්පය එහෙම්මම නැතිවෙලා ගිහිල්ල. ඇත්තම කිව්වොත් අද වාමාංශිකයො කියන්නෙ විහිළු කාරයො රංචුවක්. පරණ සමසමාජ කොමියුනිස්ට් අය ගැනනම් කතා නොකරන තරමට හොඳයි. ඔවුන්ගෙන් ගිලිහුනු රතු දජේ අතට ගත්තු එහෙම නැත්තං උදුර ගත්තු ජෙප්පො පෙරෙට්ටො උනත් ඊට දෙවෙනි නෑ.

අර ආන්ඩුවෙ දොස්තරල කියන පිස්සු හුටංල එක්ක එකතුවෙලා ලාල්කාංත නටන නාඩගමම දැක්කම හිතා ගත්තෑකි මේ රටේ කිසිම දවසක ජෙප්පො බලයට එන්නෙ නැත්තෙ මොකද කියල. ජෙප්පන්ට මම හිතන්නෙ තේරෙන්නෙ නැත්තෙත් ඒක. 

අර ජිජකුපාමය පස්සෙ වැටිල ඉන්න බයියො රැළ වගෙ අනුරල  දේවත්වයෙන් අදහාගෙන ඉන්න අන්ත වාදියො රැලක් ඉන්නව තමයි. ඒත් අනුරල බිමල්ල හඳුනෙත්තිල තේරුම්ගන්න ඕන ඒ එහෙයියො රැලේ චන්ද වලින් නම් මේ කපේට අඩුම ගානෙ ප්‍රාදේසීය සබාවක්වත් දිනන්න බැහැයි කියල.

ඒකට මධ්‍යස්ත පාවෙන චන්දවලින් බහුතරයක් කොහොම වෙතත් සෑහෙන ප්‍රමාණයක්වත් තමන්ට දිනාගන්න වෙනව. ඒත් අනේ ඇස් වහක් කටවහක් නෑ ජෙප්පන්ගෙ එහෙම වැඩ පිළිවෙලක් තියෙන බවක්නම් පේන්ට වත් නෑ.

අපි ඇත්තම කතා කරොත් ජේවීපී එක තමයි අද තියෙන දේශපාලන පක්ෂ අතරින් චන්දයක් දෙනව නම් දෙන්ට තියන එකම පක්සෙ. ඒත් මොන හේතුවක්ද මන්ද මට හිතෙන්නෙ රටේ බහුතර චන්ද දායකයින්ට සීනුවට චන්දයක් දෙන්ට හිත එකඟ කරගන්ට අමාරුයි.

අවසාන වශයෙන් තවත් එකක් කියන්න ඕන. පහුගිය පෝස්ට් එකකදි ඒ කිව්වෙ අර මහාචාර්ය තුමාගෙ දේශනය ගැන ලිව්ව පෝස්ට් එකට අජිත් දාපු කමෙන්ට් එකකට උත්තර දෙද්දි මම කිව්ව සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන මට හිතෙන විදිහ විස්තර කරල පොඩි සටහනක් ලියන්ට මගෙ අයිඩියා එකක් තියනවයි කියල.

මම කලින් හිතාගෙන හිටියෙ මේ සටහනේදිම ඒ ගැනත් ලියන්නම්ය කියල. ඒත් එහෙම ලිව්වොත් ඒක හරියන එකක් නෑ කියල හිතෙනව. එනිසාවෙන් ඒ ගැන එහෙනං තවත් දවසක ලියන්නම්ය...

Monday, January 30, 2017

477. ස්වර්ණාගේ ස්වර්ණ ජයන්තිය සහ 70 වසක් සපුරන සිංහල සිනමාව...

දඩයම චිත්‍රපටය - ස්වර්ණාගේ
රංග කෞශල්‍යයේ අග්‍ර ඵලය

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ගැන මොනවත්ම හරි ලියඤ්ඤම්ය කියල හිතාන මම ඉඳගත්ත නෙව. කොහොමින් කොහොමින් හරි මට ලියාගන්ට වුනේ පසුබිම විතරයිනෙ. පස්සෙ මම ඒ සටහන ඉවර කලේ ස්වර්ණා නම් ගැහැණිය සහ රංග ශිල්පිණිය ගැන ඊළඟට ලියන්නම්ය කියල පොරොන්දු වෙලා. දැන් මේ ඉටු කරන්ට යන්නෙ අන්න ඒ පොරොන්දුව..හොඳද?

ස්වර්ණා මුලින්ම රඟපෑවෙ සත්සමුදුරේ වුනාට ස්වර්ණගෙ ෆිල්ම් එකක් කියල මම මුලින්ම බැලුවයි කියන්නෙ හන්තානේ කතාව. දැන් ඔය බැලුවයි කියන්නෙ කියල මම ලිව්වෙ මොකද කියල පොඩි පැහැදිලි කිරීමක් නොහොත් ක්ලැරිෆිකේෂන් එකක් කරන්න ඕන. එහෙම ලිව්වෙ මෙන්න මේ හින්ද. ඔය සුට්ටි එකා සන්දියෙ බොහොම සිද්ධීන් තියනව මට ෂුවර් නෑ ඇත්තටම එව්ව මට මතක තියන එව්වද එහෙම නැත්තං අම්මල අප්පච්චිල අත්තම්මල නැත්තං වෙන කවුරුවත් හරි වැඩිහිටියො මට කිව්ව එව්වද කියල.

මම දැනට අවුරුද්දකට වගෙ ඉස්සරවෙලා පටන්ගත්ත මගේ ජීවිතේ ගැන ලියන්ට. දැනටම ඔය වාංපතුල් කතා එතකොට අභයගිරිකතා, කුකුළේගඟවිත්ති ආ..ගුරුවරියක සමඟ මගේ ජීවිතය එහෙම ලියල මම ඒ සිද්ධීන් වලින් සීයට පණහකට වඩා ලියල තියෙන්නෙ. ඒත් මට හිතුන ආයම මුල ඉඳල එක පිළිවෙලකට මට වෙච්චි දේවල්, මම කරපු දේවල් එහෙම ලියාගෙන යන්ට.

හැබැයි ඉතින් නමෝ විත්තියෙන්ම එකක් කියල තියන්ටම ඕමනයි. මෙලෝ යකෙකුට ආදර්ශයක් නම් ගන්ට බැරිවෙයි මයෙ කතාවෙන්. කතන්දරේ ලියල අන්තිමට මෙහෙම වියාචනයක් (Disclaimer) දාන්ට වෙයි අනිවාර්යයෙන්ම. "මගේ මෙම ජීවිත කථාවෙන් කිසිවකුට ගත හැකි කිසිදු ආදර්ශයක් උදක්ම නැත. ඉන් කිසියම් ආදර්ශයක් ගෙන කටයුතු කොට ඔබගේ ජීවිතයේ ඇතිවන සියළු අර්බුදයන්ට, අක්‍රමිකතාවයන්ට සහ අවදානම් තත්වයනට මගේ කිසිදු වගකීමක් ද නැත්තේමය."

ඉතින් ඔය ජීවිත කතාව ලියද්දි මට ඇතිවෙච්චි එක ගැටළුවක් තමයි අර කලින් කිව්ව වගෙ මට මතක සමහර බොහොම පුංචි කාලෙ සිද්ධීන් ඇත්තටම මගෙ මතකයේ තියනවද එහෙමත් නැත්තං පස්සෙ කාලෙක අම්මල අත්තම්මල එහෙම "සුට්ටි පුතේ පුතා පුංචි කාලෙ මෙන්න මෙහෙම උනාය මෙහෙම උනාය" කියල කියපු හින්ද මගෙ මතකයෙ තියනවද කියන එක.

දැන් මෙහෙම ගමු. මම ඉපදුනෙ සහ ජීවිතේ මුල්ම අවුරුදු තුන ගතකලේ බදුල්ලෙ. ඒ කාලෙ අපි හිටියෙ බදුල්ලෙ රේල්වේ ස්ටේෂන් එක පහු කරල ටිකක් දුරක් ගිහාම තියෙන රිවර්සයිඩ් රෝඩ් නැත්නම් ගඟ අද්දර පාරෙ. ගඟ අද්දර චිත්‍රපටය මතකද? ගඟ අද්දර චිත්‍රපටයෙ තිබ්බ අපූරු ගීතයක්. "ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී "...ඉතිං බදුල්ලෙ අපි හිටියය කිව්වෙ ගඟ අද්දර පාරෙ ගෙදරකනෙ. එතන ගඟ කිව්වෙ බදුලුඔයට. අපේ ගේ පහුකරල තවත් කිලෝ මීටර් පහලවක් විස්සක් වගෙ ගියාම ඔය බදුළුඔයම තමයි දුන්හිඳ දිය ඇල්ල වෙලා බොහොම අපූරුවට පහළට ඇද වැටෙන්නෙ.

බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න

දීපිකා එහෙම කියල මෙහෙමත් අන්තිමට කියනව.

කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සණ කිරිගරුඬින් කවිය වුණේ

එහෙම කියන්නෙ දුන්හිඳ දියණිය කියන්නෙ බදුළු ඔය මෑණියන්ගෙ දරුවෙක් හින්ද.

හරි දැන් මම මේ කියන්න ආවෙ තද වැහි කාලෙට බදුළුඔය පිටාර ගලනව. ඉතින් අපි ඔය රිවර්සයිඩ් ඉන්න කාලෙත් එක පාරක් බදුළුඔය පිටාර ගැලුවලු. අපි හිටපු ගෙදරත් අඩියක් වගෙ වතුරෙන් යට වුනාලු. ඒත් දවසකින් වගෙ වතුර බැහැල ගිය හින්ද වැඩි කරදරයක් වෙලා නෑ. ඉතිං මගෙ පොයින්ට් එක මේකයි. ඔය වතුර ගලපු සීන් එක මට මතකයි වගෙ. ඇඳක් උඩ නැඟල අත්තම්මට තුරුලුවෙල ගේ ඇතුලෙ පිරිල කැරකෙන වතුර දිහාවෙ බලා හිටපු මතකයක් මට තියනව. 

ඒත් මට ෂුවර් කරල කියන්ට බැරි මට ඇත්තටම එහෙම දෙයක් මතකද නැත්තං අම්මල අත්තම්මල පස්සෙ කාලෙක කිව්ව හින්ද එව්ව මගෙ මතකයෙ තියනවද කියන එකයි. ඒ වෙනකොට මගෙ වයස උපරිම අවුරුදු තුනක් ඇති. අවුරුදු තුනක දරුවෙකුට එහෙම මතකයක් තියෙන්න පුලුවන්ද කියල ඒ ගැන දන්න ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල තමයි දැනගන්න වෙන්නෙ. 

ඉතින් කෑගල්ලෙදි හන්තාන කතාව බලපු මතකයක් තියනව උනාට මට සහතික කරලම කියන්න බෑ ඒ මතකය ඇත්තක්මද කියල. බොහෝවිට ඇත්තක් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ අපි පොඩි එවුං කාලෙ අලුත් චිත්‍රපටයක් ආවම (එක්කො ඡායා නැත්නම් ටාසන් , ඒ කාලෙ කෑගල්ලෙ ටවුන් එකේ ඒ චිත්‍රපට ශාලා දෙක විතරයි තිබුනෙ. මිලානෝ හැදුවෙ පස්සෙ) ඒ ෆිල්ම් එක බලන්ට යන එක ඇත්තම කිව්වොත් මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක් (Medium scale project) ඉන්ටර්වල් එකේදි කන්ඩ සැන්ඩ්විචස් එහෙම හදාගෙන, බොන්ඩ නෙක්ටො එහෙම නැත්තං ෂැරෝනා එහෙමත් නැත්තං අලියා ක්‍රීම් සෝඩා බෝතල් හතර පහක් අරගෙන එව්ව බොන්ඩ වීදුරුත් ලොකු මල්ලක දාගෙන (ඒ කාලෙ ඔය ඩිස්පෝසබ්ල් කෝප්ප පිඟන් ගැන අපි අහලවත් තිබ්බෙ නෑ) අපි කට්ටියම එක්කෙනා පස්සෙ එක්කෙනා යනව පෙරහැරක් වගෙ. ගෙදර ඉන්න බල්ලො හතරදෙනත් එනව මඟක් දුරක් වෙනකල්. මිලී, රෝවර් ජම්බෝ සහ බිංගෝ... ඒ අපේ බල්ලන්ගෙ නම්.

හරි හරි දැන් ඒ අනවශ්‍ය කතන්දර ඇති. පහුගිය පෝස්ට් එකේදිත් හෙන්රි කියල තිබ්බ (හෙන්රි කිව්වට අර මාලදිවයිනේ පොඩි එවුං දන්න ඉංගිරිසි ටිකත් අඤ්ඤකොරොස් කරන්ට එහෙ ගිහිල්ල ඉන්න පිස්සු බුවා එහෙම නෙවෙයි හොඳද? අර අපේ ගත් කතුවර හෙන්රි) සුවර්නා කියල නම තිබ්බම ස්වර්ණා මල්ලවාරච්චි ගැන කියවන්ට කියල හිතාගෙන ආවට මේ ලියල තියෙන්නෙ වෙන ස්වර්ණෙක් ගැනනෙ කියල. ඒ හින්ද දැන්වත් ස්වර්ණා ගැන ලියමුකො.

හන්තානේ කතාව අධ්‍යක්ෂණය කලේ සුගතපාල සෙනරත් යාපා. චිත්‍රපටය ගැනනම් ඒ තරම් කිවයුතු දෙයක් නෑ. හන්තානේ කතාවත් එක්කම පෙන්නුව මතකයි මිනිසා සහ කපුටා කියල කෙටි චිත්‍රපටයක්. "හන්තානේ කතාව සමඟ නවදිල්ලි සිනමා උළෙලේ රජත මයුර සම්මාන දිනූ සුගතපාල සෙනරත් යාපාගේ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය" එහෙමයි ගුවන් විදුලියෙ එහෙම ප්‍රචාරය කලේ.

ඒ කාලෙ චිත්‍රපට පෙන්නනකොට විවේක කාලයෙන් පස්සෙ ආයම චිත්‍රපටය පටන්ගන්න ඉස්සර රජයේ චිත්‍රපට අංශයෙන් නිපදවපු වාර්තා චිත්‍රපට සහ ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් අඩංගු දර්ශන පෙන්වනවා. මේවා බොහොමයක් අමරිකන් තානාපති කාර්යාලයෙන් ලැබුනු එව්වා. ප්‍රථම සඳ ගමන පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපටයක් පෙන්නුවා බිනරමලී චිත්‍රපටය සමඟ. "බිනරමලී සමඟ මිනිසා ප්‍රථම වරට සඳ තරණය කල ජයග්‍රාහී මොහොත නරඹන්න" රේඩියෝ එකේ එහෙම ප්‍රචාරය කරල චිත්‍රපටයෙ නිෂ්පාදකයො වැඩිපුර ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට අද්ද ගත්ත. 

ඕක ඇහෙනකොට ඒ කාලෙ මම හිතුවෙ බිනරමලිත් නීල් ආම්ස්ට්‍රෝංල එක්ක හඳට ගිහිල්ලය කියල. ඒ වාර්තා චිත්‍රපටියෙ පෙන්නුව නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් නිකං හුළඟෙ පාවනව වගෙ හඳේ  එහෙ මෙහෙ ඇවිදිනව. එයාල ඒ ගොඩ බැස්සෙ හඳේ නිසල මුහුද (Sea of Tranquility) කියන ප්‍රදේශයට. මම ගෙදර ඇවිල්ල ඒ විදිහට ඇවිද්ද සෑහෙන කාලයක් යනකල්.

හන්තානෙ කතාවෙන් පස්සෙ සෑහෙන කාලයක් ස්වර්ණා අතුරුදන් වෙලා හිටිය මයෙ හිතේ අවුරුදු අටක් නමයක් තරම. ඒ කාලෙ එංගලන්තෙද කොහෙද ගිහිල්ල හිටිය කියල තමයි ආරංචිය. ස්වර්ණා ඔය කාලෙ හර්බට් රංජිත් පීරිස්ව කසාද බැඳල හිටිය වගෙ මගෙ මතකයක් තියනව. හර්බට් රංජිත් පීරිස් මතකයි නේද? එක්ටැම්ගේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ. කපුගේගෙ උන්මාද සිතුවම් ගීතය එන්නෙ ඒ ෆිල්ම් එකේ. "බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේ එක්ටැම්ගේ".....ඊට පස්සෙ මනුස්සය (මනුස්සය කිව්වෙ කපුගේ එහෙම නෙවෙයි හොඳද? හර්බට් රංජිත් පීරිස්) ප්‍රසිද්ධ වුනේ හිරුට මුවාවෙන් ටෙලි චිත්‍රපටය නිර්මාණය කරල. අර ඉඳිආප්ප කතාව...හැබැයි මට කිසිම මූලාශ්‍රයක් හොයාගන්ට බැරිවුනා මේ දෙන්න විවාහ වෙලා හිටියයි කියල...මගේ මතකය පමණයි...හෙහ්,හෙහ්

ඊට පස්සෙ ආයම ස්වර්ණා ආවෙ හංස විලක්..ධර්මසිරි බණ්ඩාරනායකගෙ හංස විලක් සමඟ...."හෙමින් සැරේ පියා විදා සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත්..සිතුම් සියොතුන්".....අසම්මත පෙම් සබඳතාවයක අනිවාර්ය අවසාන ඉරණම...එක්දාස් නමසිය අසූව වගෙ කාලෙක හංස විලක් කියන්නෙ සිංහල සිනමාවෙ ගතානුගතික පදනම් පුපුරවා හල සිනමා පටයක්. 

මම හංසවිලක් බැලුවෙ අනුරාධපුරේ සිත්තම්පලම් හෝල් එකේ. 1983 ජූලියෙදි ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා ආචාර්ය නලියන ද සිල්ව මහත්තයගෙ ගෝල බාලයො කියන විදිහට යුදෙව් ක්‍රිස්තියානි සහ බටහිර අධිරාජ්‍ය වාදීන්. ඔව් එයාල කියන්නෙ 83 ජූලි මිනිස් ඝාතන බෞද්ධයින්ට විරුද්ධව කල කුමන්ත්‍රණයක් කියලයි. එහෙම කලේ සිංහල බෞද්ධයින් අපකීර්තියට ලක් කරල ද්‍රවිඩ ජාතිවාදීන්ට ලොව පුරා පිළිගැනීමක් ලබාදෙන්ටලු.අනේ XX නන්නානේ...මේ වගෙ මෝල් කතා විස්වාස කරන මිනිස්සුත් ඉන්නවනෙ හැබෑටම...

ආ..ඊට කලින් මම බැලුව සත් සමුදුර....සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් 79 අවුරුද්දෙ කොළඹ රීගල් සිනමා හලේ තිබ්බ එතෙක් තිරගතවූ විශිෂ්ඨම චිත්‍රපට දහය තිරගත කෙරෙන සිනමා උළෙලක්. සත් සමුදුර, ගම් පෙරළිය, නිධානය, පරසතුමල්, රේඛාව, වැලිකතර ඔන්න ඔය චිත්‍රපට ඇතුළුව තවත් එව්ව. සිනමා උළෙල ආරාධිතයින්ට පමණයි. ඒත් චිත්‍රපට ප්‍රදර්ශනයට පැය බාගෙකට ඉස්සෙල්ල හිස් අසුන් තියනවනම් සාමාන්‍ය ගාස්තුව ගෙවල චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයින්ට පුලුවන්. මමයි මගෙ යාලුවෙකුයි ගිහිල්ල පෝළිමේ මුලටම වෙලා ඉඳල සත් සමුදුර සහ පරසතු මල් බැලුව. සත් සමුදුර අධ්‍යක්ෂණය ආචාර්ය සිරි ගුණසිංහ. නාලන්දෙ එවකට ප්‍රාථමික අංශයෙ විදුහල්පති ධර්ම ගුණසිංහ මහත්මයාගෙ වැඩිමහල් සහෝදරය.

ස්වර්ණට තිබ්බෙ අමුතුම හැඩයෙ මූණක්. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායනුකූල පිළිගැනීම අනුව ස්ත්‍රී රූපසම්පත්තිය මනින වැදගත් මිනුම් දණ්ඩක් වන සිසිවන වුවන නෙවෙයි. "පුරසඳ ලෙස ඔබ සමකල මගේ මූණේ..."  ගීතය ගයන්නේ මායා දමයන්ති පෙරේරා. අනෝජා වීරසිංහගෙ වැඩිමහල් සහෝදරිය.

මම පොඩි දවස්වල ඉඳලම ප්‍රියකලේ ස්වර්ණගෙ වගෙ හැඩයේ ස්ත්‍රී මුහුණු වලට. අර පුන්සඳ වගෙ මූණු වලට මගෙ කොහොමත් කැමැත්තක් තිබ්බෙ නෑ. කව කට්ටෙං රවුමක් ගැහුව වගෙ තියන මූණු මට අල්ලන්නෙම නෑ. මම ස්ත්‍රී රූප සෝබාව නිර්ණය කරන තවත් එක ලක්ෂණයක් තියනව. ඒ තමයි පාදයේ ඇඟිලි. හෙහ්..හෙහ්..ඒ ගැන වෙනම දවසක කතා කරමුකො හොඳද?

හංස විලෙන් පස්සෙ මම ස්වර්ණගෙ ෆිල්ම්ස් වලින් කතා කරන්න යන්නෙ දඩයම ගැන විතරයි. කැඩපතක ඡායා ගැන කතා කරන්නම දෙයක් නෑ. කතා නොකරන තරමට වසන්ත ඔබේසේකරටයි ස්වර්ණාටයි කරන ගෞරවයක් ඒක.

සුද්දිලාගේ කතාවෙත් මට හිතෙන්නෙ ස්වර්ණගෙ හොඳම රඟපෑම් දකින්නට ලැබුනෙ නෑ. ඊට පස්සෙ ස්වර්ණගෙ කිසිම චිත්‍රපටයක් මට බලන්නට ලැබුනෙ නෑ. ඒත් කමක් නෑ දඩයමෙන් පස්සෙ වෙන ඕනම රඟපෑමක් ඊට පහළ මට්ටමක මිසක් ඉහළ මට්ටමක තියෙන්න නම් බෑ. මට ඒක සහතිකයි.

දඩයම මම බැලුවෙ අනුරාධපුරේ විජේන්ද්‍ර හෝල් එකේ. ඒ 1984. දැන්නම් කොහොමද මන්දා ඒ කාලෙ විජේන්ද්‍ර හෝල් එක වටේටම මහල තිබ්බෙ ටකරං වලින්. මම එතකොට මගෙ පලවෙනි රස්සාව කරන්න ගමන්. අභයගිරි ව්‍යාපෘතියෙ. සේනක ගැන මම කලින් කියල තියනවනෙ අභයගිරි මතක සටහන් ලියද්දි. අන්න ඒ සේනක එක්ක තමයි මම දඩයම බැලුවෙ. ඒකෙ මට හොඳටම මතක දර්ශනය රත්මලී (ස්වර්ණාගේ චරිතයෙ නම රත්මලී) රවීන්ද්‍ර නොහොත් ජයනාත්ගෙ මෝටර් රථයෙ ඉස්සරහ වීදුරුව සුණු විසුණු වෙලා යන පරිදි දර ලීයකින් පහර දෙන අවස්ථාව.

ඊට පස්සෙ ජයනාත් ටික දුරක් ගිහිල්ල කාර් එක නවත්තල ආපහු හරව ගන්නව. ඊලඟට කැඩුණු වීදුරුව අස්සෙන් රත්මලී දිහා බාලගෙන ඉන්නව යකෙක් වගෙ. රත්මලී අතේ තියන දරලීය උස්සගෙන ඇසිපිය නොහෙලා බලා ඉන්නව "වරෙං උඹට ආයෙමත් දෙන්නම් මම" කියනව වගෙ. විජේන්ද්‍ර හෝල් එක මීයට පිම්බවගෙ. අපි ඔක්කොම සීට් වල අගිස්සටම වෙලා ඇසිපිය නොහෙලා බලා ඉන්නව තිරය දිහාවෙ. ජයනාත් ගියර් එක දානව. ඊට පස්සෙ කාර් එක රේස් කරල වේගයෙන් ගිහිල්ල රත්මලීව හප්පනව. ඇගේ අතේ තියන දරලීය පැත්තකට විසි වෙලා වැටෙනව. ඇය පාර අයිනෙ තණකොළ බිස්සක් මත මුනින් වැටෙනව. ජයනාත් ආපහු කාරෙක හරවගන්නව. ඊට පස්සෙ අයෙමත් වේගෙන් ගිහිල්ල රත්මලීව ආයෙම යට කරනව. අපි විජේන්ද්‍ර එකෙන් එලියට එන්නෙ හීනෙන් ඇවිදිනව වගෙ.

රත්මලී ජයනාත්ගේ මෝටර් රියේ ඉදිරිපස
වීදුරුව සුණු විසුණුවී යන පරිදි දර ලීයකින්
පහරදෙන ජවනිකාව

ඉතින් මේ සටහන සහ පසුගිය සටහන මම ලිව්වෙ ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට වසර පණහක් පිරීම නිමිත්තෙන්.

හැබැයි ඉතිං ඇත්තම කිව්වොත් මේ සටහන් දෙකේම ස්වර්ණා ගැන ලියවුනෙ බොහොම අඩුවෙන්. වැඩිපුරම ලියවුනෙ මගෙ ඔය වැල් වටාරං. ඒකෙ ඉතිං අමුතුවෙන් කියන්ට දේකුත් අය තියනවය ආය. නැද්ද? හැමදාම වෙන්නෙ ඔය ටිකනෙ. අනික ඉතිං ස්වර්ණා ගැන අපි වගෙ නෙවෙයි ඔය ඕන හැටිය ප්‍රබුද්ධ විචාරකයො ලියයිනෙ මාගල් වගෙ. ඒ හින්ද අපි ඔය පල්හෑලි ටිකක් ලිව්වට ස්වර්ණා තරහ වෙන එකකුත් නෑ. මෙව්ව කියවන ඔබ තමුන්නාන්සෙල තරහ වෙන එකකුත් නෑ.. එහෙමනෙ නේද? එහෙනං හාද?

ස්වර්ණා ගැන පහත සටහන මම උපුටා ගත්තෙ ශ්‍රී ලංකාවේ සිනමාව යූ ටියුබ් අඩවියෙන්

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වූ උපහාර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි.

වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකේය සිනමාවට සිදු කළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

“සිනමාවේ ගැහැණිය ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය” සමරු ග්‍රන්ථය ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකික රසිකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තරව ද ආදරය දිනාගත් විශිෂ්ට සිනමා චරිතයක් බවයි. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තවත් විශිෂ්ට සේවාවක් ඉටුකිරීමට එතුමියට හැකිවේවායි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.


ඉතිං තව වැදගත් සිද්ධියක් මතක් කරන්න ඕන. මේ පහුවෙච්චි ජනවාරි 21 වෙනිදට සිංහල සිනමාවට වසර හැත්තෑවක් පිරෙනව. පලමුවන සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව තිරගත වෙලා තියෙන්නෙ 1947 ජනවාරි 21 වෙනිද. මේ ඒ වෙනුවෙන් නිමවුනු වාර්තා වැඩ සටහනක්.....


Tuesday, January 24, 2017

475. සුවර්නා මලවිආරච්චි...........

මහනුවරට නොදුරු බතික් නිෂ්පාදනාගාරයක
බතික් කර්මාන්තයෙහි යෙදෙන ළඳුන්....

සුවර්නා මලවිආරච්චි කියන නම දෙමුහුං. දෙමුහුං කියන්නෙ ඉංගිරිසියෙන් හයිබ්‍රිඩ්. මේ දවස්වල දෙමුහුං අධිකරණ ගැන රටපුරා මහ විසාල හාහෝවකුත් යනව නෙව. 

සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කෑල්ලෙ නිර්මාතෘ අපේ අත්තම්මා. 

අපි අනුරාදපුරේ ඉන්දැද්දි අත්තම්ම ජයසිරිමා හාමුදුරුවං ගාව පල්ලෙහා වැලි මලුවෙ හැම පාලොස්වකටම සිල් ගත්ත. සිල් ගත්තට අත්තම්ම රැකපු සීලයක් නෑ. ඔය සිල් ගැනිල්ල උන්දැ කලේ වෙන මොහොකටවත් නෙවෙයි ගෙදරටම කොටුවෙලා ඉඳල ඇතිවෙලා මාසෙකට පාරක් තමන්ගෙ සම වයසෙ මිතුරියො හම්බවෙල පොඩි ආතල් එකක් ගන්ට. හෙහ්,හෙහ්, 

ඔය සිල් ගැනිල්ල ගැන උන්දැ කොච්චර උනන්දුද කියනවනං එක පාරක් සිල් අරගෙන ඇවිල්ල සතියක් ගතවෙන්ට කලින් ඔන්න පටන් ගන්නව මගෙ පස්සෙං එන්ට.

"මේ සුට්ටි පුතේ අර ලිතේ බලන්ටකො ඊලඟ පෝය කවදද කියල.."

උන්දැට මලපොතේ අකුරක් බෑ. මට ඉතිං වෙලාවකට තරහක් වගෙත් යනව මුන්දැගෙ මේ කරදරේට…

"මේ අත්තම්මට මොනව වෙලාද මන්ද...මේ එක පාරක් සිල් අරගෙන ඇවිල්ල ඔන්නං දවස් පහක් නැත්තං හයක් යන්ට ඇති. ආයම ලෑස්ති සිල් ගන්ට යන්ට.." ඔහොම කට ඇතුලෙං කියව කියව මම ගිහිල්ල ලිත බලනව.

"අත්තම්මෙ ……..ආය සිල් තියෙන්නෙ ලබන මාසෙ විසි දෙවෙනිදට.."

"ඒ කියන්නෙ අද මොනදාද?"

"අද ඇවිල්ල තිහනෙ. තව දවස් විසි තුනක් තියනව."

"සුට්ටි පුතා ඔන්න මට මතක් කරන්ට ඕන හොඳද?"

"හරි හරි මම මතක කරන්නංකො…. තව කල් තියෙන්නෙ ඔය ඕන හැටි" මම හෙමීට එතනිං ලිස්සල යනගමං උරහිස උඩිං ආපහු බලල කියනව.

සිල් කණ්ඩායමේ අවසේස සාමාජිකාවෝ අතරින් අපෙ අත්තම්මගෙ හොඳම යාලුව වුනේ සිල් මාතාවක්. ඇය කහ සිවුරක් ඇන්දට උපසම්පදාවෙලා නැහැ. ඒ කියන්නෙ භික්ෂුණියක් නෙවෙයි. දැනට ලංකාවෙ තියෙන තත්වය අනුව හික්ෂුණියක් ආයම කවදාවත් ඇතිවෙන්න බැහැ. උපසම්පදා ශික්ෂා පද අනුව එහෙමලු. පුරුස පක්සෙ උපසම්පදා නොවිච්ච අයට කියන්නෙ සාමනේර. ඉස්ත්‍රී පක්සෙ එහෙම අයට කියන්නෙ සිල් මාතාව. අත්තම්මගෙ හිතවත් සිල් මාතාවගෙ නම ස්වර්ණා. අත්තම්ම ඇයට ඇමතුවෙ සුවර්නා මෑණියො කියල.

හිටපු ගමං සුවර්නා මෑණියො අපෙ ගෙදරත් එනව. අත්තම්ම එක්ක වරුවක් විතර ධර්ම සාකච්ඡා එහෙම පවත්වල දවල් දානෙ එහෙමත් වළඳල හවස්කරේ අව්ව බැස්සම ආපහු වැඩම කරනව. ඔන්න ඔය කොකා පිළිමෙ පැත්තෙ ආරාමයක වැඩ හිටියෙ. 

අනුරාධපුරේ හිරගෙදරට යන පාර අයිනෙ තිබ්බ දැවැන්ත හිටි පිළිමයක්. ඒකෙ මුද්‍රාව "කොක්ඛ ප්‍රදර්ශන මුද්‍රාව". ඒ කියන්නෙ බුදු හාමුදුරුවො දකුණු අත නවල පාරෙ යන එන සැදැහැතියන්ට කොකා පෙන්නනව වාගේ බැලූ බැල්මට පේන්නෙ. ඒක හින්ද හැමෝම ඒකට කිව්වෙ කොකා පිළිමෙ කියල.

ප්‍රේමදාස මහත්තය මැරිච්ච තැන පස්සෙ හදපු ප්‍රේමදාස පිළිමෙත් ඔය වගෙ සීන් එකක් තිබ්බ. දකුණු අතේ මැදගිල්ල උඩට උස්සල අනික් ඇඟිලි හතර නවාගෙන හිටියෙ. ඉංග්‍රීසියෙං ඒ මුද්‍රාවට කියන්නෙ "Up yours mudra" කියල. සිංහලෙන් නම් අපිට කිව්වැහැකි "පශ්චාත්භාග අභ්‍යන්තර මුද්‍රාව" කියල.

හරි වැඩි විස්තර ඒ ඇති. ඒ මම පැහැදිලි කලේ සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කියන කොටස ආපු විදිහ නොහොත් නිදාන කතාව නොහොත් ට්‍රෙෂර් ස්ටෝරි.

දැන් ඔන්න මලවිආරච්චි කොටස ආපු අන්දම. මම   වයස හතරෙ  ඉඳල වයස දොළහ වගෙ වෙනකල් හිටියෙ කෑගල්ලෙ. අපි හිටියෙ කච්චේරියෙ නිලනිවාසවල. අපෙ ගෙදර තිබ්බෙ ටිකක් විතර බෑවුමක. 

ඊට උඩහිං තිබ්බ ගෙදර පදිංචි වෙලා හිටියෙ ඒත් අප්පච්චි එක්ක කච්චේරියෙ එකට වැඩකරපු සහෝදර නිලධාරියෙක්. මිස්ටර් සිල්වා නොහොත් සිල්වා අන්කල්. සිල්ව අංකල්ට තිබ්බ කළුපාට ස්කෝඩා කාර් එකක්. 4 ශ්‍රී එකක්. නොම්මරේ මට මතක විදිහට 474 හෝ 4174. ස්කෝඩා කියන්නෙ චෙකොස්ලෝවෙකියාවෙ නිෂ්පාදිත මෝටර් රථයක්. ඒ කාලෙ ලංකාවට රුසියන් වාහනත් ගෙන්නුව. ලාඩා එහෙම ගෙන්නපු රුසියන් කාර් ජාතියක්.

සිල්ව අන්කල්ගෙ පුතාල එක්ක තමයි මම ක්‍රිකට් එහෙම ගැහුවෙ. මිසිස් සිල්වා නොහොත් සිල්වා මහත්මිය බොහොම සාර්ථක බතික් ව්‍යාපාරයක් කලා. ඒ කාලෙ බතික් සරං, කමිස, දොරරෙදි එහෙම සුලභ නැහැ. ඒ නිසා සිල්වා මහත්මියගෙ ව්‍යාපාරයට හොඳ ඉල්ලුමක් තිබ්බා. ඇය මට මතක විදිහට කෑගල්ලෙ නගර සභාව ඉස්සරහ තිබ්බ ලක්සලට එහෙමත් බතික් ඇඟලුම් සැපයුවා.

සිල්වා ආන්ටිගෙ බතික් ව්‍යාපාරයෙ තව ගැහැණු ළමයි හතර පස් දෙනෙක් සේවය කලා. අපි මිදුලෙ ක්‍රිකට් ගහද්දි එතනම එහා කොස් ගහ යට මහ විසාල ඇලුමිනියම් කල්දේරම් දෙකක වතුර පැහෙනව. ඒ වතුරට රස්නෙ පිටම සායම් දාල බතික් කල යුතු රෙදි දානව. එහෙම මට මතක විදිහට එක එක පාටට වෙන වෙනම රෙද්ද දාන්ට ඕන. 

ටයි ඇන්ඩ් ඩයි කියන්නෙ ඒ එක බතික් කරන ක්‍රමයක්. තව ක්‍රමයක් රෙද්දෙ කොපිං පැන්සලේකින් මෝස්තරේ අඳිනව. ඊට පස්සෙ ඩයි නොවිය යුතු හරිය ඉටි රත් කරල වහල දානව. ඊට පස්සෙ ඩයි කරනව. අන්තිමට ඉටි අයින් කරල ආයෙම අවශ්‍ය පාටින් ඩයි කරනව.

කෑගල්ලෙ ඒ කාලෙ තිබ්බ සුප්‍රසිද්ධ බතික් ව්‍යාපාරය තමයි පර්ල් බතික්. ටවුන් එක පහු කරල නුවර පැත්තට යනකොට මීපිටි පල්ලමේ තිබ්බෙ. අපේ විචා නම් දැනගන්ට ඕන අනිවාර්යයෙන්ම. අනේ මනුස්සය මේ දවස්වල ගිලන්ව වැඩ වාසය කරනව කියල තමයි ආරංචිය. මේ එක්කම එහෙනං අපි අපේ විචා තුමාට ඉක්මන් සුවය පතමු!

විචා ඉන්නවයි කියන්නෙ ආමි හොස්පිට්ල් එකේ. එතන යකා නටනවයි කියලත් ඔන්න ඔය කවුද ලියල තිබ්බ. බට් අයි තින්ක් දැට්ස් සිම්ප්ලි මඩ් ස්ලිංගිං...මඩ වෙන්න ඕන..විචා එහෙමත් පිස්සු කෙලියිද මං අහන්නෙ... හෙහ්,හෙහ්, 

කෝකටත් මම මේ ටිකේ පත්තර එහම උනන්දුවෙන් බලනව. ටී.වී. ප්‍රවෘත්තිත් බලනව. හැබැයි තාම දැක්කෙ නම් නැහැ "යුද හමුදා රෝහලේ දැඩි අර්බුදයක්...සියළුම දොස්තරවරු වැඩ වර්ජනය කරති" වගෙ ප්‍රවෘත්තියක්. එහෙම නැත්තං "යුද හමුදා රෝහල තාවකාලිකව වසා දැමෙයි" එහෙමත් නැත්තං "යුද හමුදා රෝහල හදිසි නීතිය යටතට" එහෙම ප්‍රවෘත්තියක් නෑ කියන්නෙ තාම නම් අවුලක් නෑ කියන එක. "නෝ නිව්ස් ඊස් ගුඩ් නිව්ස්" කියලත් කියමනක් තියනවනෙ.

හරි මම අර කලින් කිව්ව සිල්ව ආන්ටි කතෝලික. කොහෙ හරි ප්‍රසිද්ධ කොන්වන්ට් එකක ඉංග්ලිෂ් වලින් අධ්‍යාපනය ලබපු හින්ද වෙන්න ඕන මම හිතන්නෙ සිංහල නම් එහෙම අමුතු විදිහට උච්චාරණය කලේ. රෙක්ස් කොඩිප්පිලිට කිව්වෙ රෙක්ස් කොඩිපිල්ලෙ කියල. එතකොට මල්ලවාරච්චි කියන නම එයා කිව්වෙ මලවිආරච්චි කියල.

"මිල්ටන් මලවිආරච්චිගේ සෝංග්ස් වලට මම බොහොම කැමතියි රවී.." අන්න එහෙමයි සිල්වා ආන්ටි කිව්වෙ . 

ඒ දවස්වල මිල්ටන්ගෙ අර "ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ ...කොටියෙකි මා මේ සීතල වතුරේ" සිංදුව එහෙම බොහොම ජනප්‍රිය වෙලයි තිබ්බෙ. මම ඒ කාලෙ ඔය සිංදුව කිව්වෙ එහෙමයි. අපේ නෑදෑ සනුහරේ කට්ටිය එකතු උනහම අනිවාර්යයෙන් මට කියල ඔය සිංදුවෙ මුල් පද කීපය ගායනා කරවනවාමයි. ඒත් කට්ටියම ඒ එක්කම මහ හයියෙං හිනාවෙන්නෙ මොකද කියල මට ඒ සුට්ටි එකා කාලෙ තේරුමක් තිබ්බෙම නෑ.

හරි දැන් පැහැදිලියි නේද මාතෘකාව හැදුනු විදිහ. එහෙනම් දැන් අපි යමු මුඛ්‍ය තේමාවට. ඒ තමයි ස්වර්ණා මල්ලවාරච්චි.... මෙතෙක් මේ ලියපු ඔක්කොම ඇවිල්ල පසුබිම හැදීම නොහොත් බෑක්ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන්....ඔහෙලට ඕනනම් පඳුරු තැලීම කියල ගෞරවාන්විතව හඳුන්වන්නත් පුලුවන්. ඒත් මම ඇවිල්ල ඔය ගරු නම්බු සත පහකට ගණං ගන්න මනුස්සයෙක් නෙවෙයි. ඒ හින්ද අපි පසුබිම සකස්කිරීම කියලම කියමු. ඒ ඇති හොඳටම. "ප්‍රිපෙයාරින් ද බෑක් ග්‍රවුන්ඩ් මෙටිකියුලස්ලි ඊස් අ ජොබ් හාෆ් ඩන්" කියල අර කවුදෝ කියලත් තියනවනෙ. මට මතක විදිහට ඇල්ෆ්‍රඩ් හිච්කොක් හෝ ස්ටැන්ලි කුබ්රික් වෙන්න ඕන.

එහෙනම් ස්වර්ණා නම් ගැහැණිය සහ රංගන ශිල්පිණිය ගැන අපි ඊලඟට කතා කරමු.

Friday, November 4, 2016

454. මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව...හෙළයේ මහා ගාන්ධර්වයාගේ නික්මයාම

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ - අමරදේව -
                  චිත්‍රය ජගත් කොස්මෝදර

"අර මගේ සිත්ගත් යුවතියගෙ කතාව මතකයි නේද?"

"මොන යුවතියද හලෝ? තමුසෙගෙ සිත්ගත් යුවතියන් කීදෙනෙක්ය කියල ඉන්නවද? අහවල් යුවතිය ගැනද ඔය කියන්නෙ?" 

"හරි හරි ඉතිං කලබල නැතුව ඉන්නවාකො කියන්ට. අර කොටුවෙ ඉඳල නුවර යන කෝච්චියෙදි මට මුණ ගැහුනු යුවතිය? අර එයාගෙ අම්ම ටොයිලට් එකට ගිහිල්ල වතුර නැතුව...?"

"ආ..හරි..හරි..ඒ යුවතිය ගැනද මේ කියන්නෙ? ඉතිං එයා ගැන මොකද?"

"නෑ මම මේ කියන්ට ආවෙ ඒ කතාව ඉවරයක් කලෙත් නෑනෙ මම"

"ආ..ඒක නං ගණං ගන්ට එපා..ඔහේ ඉතිං කවද්ද කතන්දරයක් එක දිගට ලියල ඉවර කලේ? ව්‍යාතිරේකයක් වෙන්නෙ එහෙම ඉවර කලොත් තමයි"

"හරි හරි මම වරද පිළිගන්නව.ඒත් එහෙම වෙන්ට හේතු කියන්ටත් එපාය"

"ඔහේ ඉතිං හේතු නං කියයි දාහක්. අර කිතුල් ගහට ගිය මනුස්සයටත්...නෑ මේ බැඳුංකර වංචාවට අතේ කෝට් වෙච්චි මහේන්ද්‍රනුත් අර කියල තියෙන්නෙ රට ආර්ථික අවපාතෙන් ගොඩගන්ට සද් බාවයෙනුයි ඒ මගඩිය කලේ කියල"

"මේ ඕන එකකට ඒ මනුස්සය ඇදල ගන්ට එපා හරිද?..මහේන්ද්‍රන්…..මහේන්ද්‍රන්….මහේන්ද්‍රන්..බැඳුංකර….බැඳුංකර….බැඳුංකර.... මට කියන්ට දෙනවකො විස්තරේ"

"හරි කියනව කියනව"

"මෙහෙමයි ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නෙ. ඔන්න මං එක කතාවක් එක දිගටම ලියල ඉවර කරන්ට කියල එක හිත් හිතාගෙන අදිස්ටාන පූර්වකව දෙයියම්පල්ල බුදුම්පල්ල කිව්වොත් කිව්ව ඔන්න කියල ඉන්නකොට අනපේක්සිත නොහොත් නොසිතූ වීරූ මොකක් හරි දෙයක් සිද්ද වෙලා ඒ මම හිතාගෙන හිටපු ක්‍රියා පටිපාටිය එහෙම්මම බිඳ වැටෙනව"

"අනේ මේ..... නිකං විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මොනවද ඔය අනපේක්සිත සිද්දි? එකක් කියනව බලන්ට අපිටත් දැනගන්ට"

"හරි ඉන්නවකො කියන්ට. වෙන මොකවත් ඕන නෑ. මේ අද වෙච්චි දේ බලනව"

"අද? අද මොකද්ද වුනේ?"

"මම ඔන්න ඊයේ රෑ දෙගොඩහරිය වෙනකල් ලිව්ව අර දුම්රියේ හමුවූ ඒ සොඳුරු යුවතියගෙ කතන්දරේ. ලියල ඉවරයක් කරල එක දිගටම දාන්ටයි හිතාගෙන හිටියෙ. ඉවරයක් වෙලා යන්ට. ඔය විනිස්චය කාරවරු එක දිගටම නඩු අහල ඉවරයක්ම කරල දාන්ට තීරණය කරන්නෙ අන්න ඒ විදිහට. බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිපතිට විරුද්ධව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 16 වන දින සිට නොකඩවා විභාගයට ගැනීමට මූල්‍ය වංචා පිළිබඳ මහාධිකරණ විනිසුරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද තීරණය කළේය. ඒ සඳහා අපක්ෂපාතී අති විශේෂ ජූරි සභාව වශයෙන් අතිගරු අධිනීතීඥ රනිල් වික්‍රමසිංහ (පා.ම.) අතිගරු අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.) අතිගරු ආචාර්ය හර්ෂ ද සිල්වා (පා.ම.) සහ අතිගරු සුජීව සේනසිංහ (පා.ම.) යන මහත්වරුන් කටයුතු කරනු ඇත."

"ඔය ඉතිං ඕකනෙ කියන්නෙ. දැං කවුද අර ඇම්ඩගෙ මැක්ක වගෙ ආයම මහේන්ද්‍රන්ව ඇදල ගත්තෙ."

"හරි හරි සොරි සොරි...ඉතිං වෙච්චි වැඩේ මේකයි. අර දුම්රියේ හමුවූ ඇය ගැන ලිය ලිය ඉන්නකොට මගෙ යාලුවෙක් කතා කලා. මචං දන්නවද වැඩක්? ....කියන්නෙ නැතුව දන්නෙ කොහොමද බං?.... හරි, හරි අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වෙලා.....නෑහ්? උදේ මම දැක්ක ජයවර්ධන පුර හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලාය කියල.......ඔව්..දැන් ටිකකට කලින් නැතිවෙලා තියෙන්නෙ."

"හප්පා. එහෙමද? "

"ඔව්නෙ. ඉතිං මම මේ කියන්ට ආවෙ මේකයි. ඉතිං අද අර යුවතිය ගැන පෝස්ට් එක පබ්ලිෂ් කිරිල්ල පැත්තක තියල මාස්ටර් ගැන සමරු සටහනක් ලියන්ටම වෙනව. හ්ම්ම්ම්….."

"ඔව්..ඔව්...එහෙම වෙන්ටම එපාය..හරි එහෙනං අද මාස්ටර් ගැන ලියමුකො."

ඉතිං ඔය ඉහත සංවාදය පැවැත්වුනෙ මගෙම උඩුහිතයි යටිහිතයි අතර. අමරදේව මාස්ටර්ගෙත් එහෙම උඩුහිත සහ යටිහිත අතර පැවැත්වෙන කතාබහක් ගැන කියවෙන ගීතයක් තියනව. ඒ ගීතයෙ උඩුහිත වික්ටර්... යටිහිත අමරදේව.

තද කළු පාටින් නොහොත් බෝල්ඩ් තියෙන්නෙ යටිහිත නොහොත් අමරදේව....

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුනු මොහොතක
ඔබේම දෙනෙතින් මා ඔබ දු‍ටුවා
ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ

ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ

පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
ගායනය - අමරදේව සහ වික්ටර්



මින්දද හීසර ගැන මම ලියල ඇති ඉසේ කෙස් ගානට. හෙහ්,හෙහ්, ඔලුවෙත් දැන් තියෙන්නෙ කෙස් ගස් හතර පහයි හින්ද බොරුමත් නෙවෙයි ඒ කතාව. ඒත් මේ වෙලාවෙ ආයම නොලියම බෑ.

සිංදුවක් කියන්නෙ මොන වගේ දෙයක්ද කියල යම්තමට අවබෝධයක් ලැබෙන වයසට එනකොට ඒ කියන්නෙ වයස අවුරුදු එකොළහක් දොළහක් වගෙ වෙනකොට සිංදුවක් අහන්ට අපිට තිබ්බ එකම ක්‍රමය ලක්ෂපාන බැටරි කෑලි හයක් දාපු ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක විතරයි. 

මම මේ කියන්නෙ අපි කෑගල්ලෙ ජීවත් වුනු කාලෙ ගැන. දවල් දවසෙ මම කොයිම වෙලාවකවත් ගෙදර නෑ. එක්කො අහල පහල ගෙදරක යාලුවො එක්ක ක්‍රිකට් ගහන්ට ගිහිල්ල නැත්නම් අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව. ඒ හින්ද සිංදුවක් කණට ඇහෙන්නෙ හවස හයෙං පස්සෙ වගෙ තමයි.

හවස හයට ප්‍රවෘත්ති අහන්ට ක්‍රියාත්මක කරන රේඩියෝ එක ඊට පස්සෙ රෑ එකොළහට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියල නිදාගන්ට යනකනුත් සමාන්‍යයෙන් එක දිගටම කතා කලා, සිංදු කිව්ව, කතන්දර කිව්ව.

ඔය සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැනත් පොඩි අතුරු කතාවක් තියනව. ඒ ඕක කියන්නෙ කවුද කියල අපි යාලුවො අතර ලොකු විවාදයක් තිබ්බ. මට හිතුනෙම අමරදේව මාස්ටර් කියල. ඒත් මගෙ යාලුවො බහුතරයක් කිව්වෙ සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති එහෙම කිව්ව සිරිල් රාජපක්ෂ කියල. ටං ටංට ටං, ටංට ටං ටං ටානා, බඩ පැත්ත සුදුවෙන්ට කිරිමැට්ට ගෑවා, මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. මෙන්න මධ්‍යාහ්න ප්‍රවෘත්ති..ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්....

ඉතිං මට කියන්ට ඕන කලේ ඔය කාලෙ අපිට සිංදු ඇහුනෙ ඔය රෑ රේඩියෝ එක දාල තිබ්බ කාල වකවානුවෙ විතරයි. එව්වයිනුත් හිතේ ඇඳුනෙ සිංදු බොහොම ස්වල්පයයි. අමරදේව මාස්ටර්ගෙ සන්නාලියනේ, වික්ටර්ගෙ පොඩි කුමාරිහාමියේ, ටී.එම්ගෙ රත්තරන් නෙත් දෙකින් සහ ජීවිතේ අමධාරා ..ඔන්න ඔය වගෙ එව්ව. 

ඒ කාලෙත් තාලෙකට සිංදුවක් කියන්ට පුලුවන් එකාට හොඳ පිළිගැනීමක් තිබ්බ එක පලෝලෙ කොල්ලො කෙල්ලො අතර. ඒත් වැඩේ තිබ්බෙ ඔය සිංදුවල වචන හරියටම දැනගන්න එක. යූ ටියුබ්, අයි ටියුබ්, රෙඩ් ටියුබ් තියා කැසට් එකක්වත් නොතිබිච්චි අපිට සිංදුවක වචන ලියාගන්ට තිබ්බ එකම ක්‍රමේ ඇවිල්ල රේඩියෝ එකේ සිංදුව ප්‍රචාරය වෙන වෙලාවට දනිපනිගාල කඩදාසියකුයි පැන්සලකුයි අරගෙන ලියාගන්න එක. ඒත් ඒක කොහොමටවත්ම ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩක් නෙවෙයිනෙ.

කොහොමහරි ඔය කාලෙ මගෙ ප්‍රියතම ගීතයක් වෙලා තිබුනෙ අමරදේව මාස්ටර්ගෙ මින්දද හී සර වැදී සැලෙන හද....ඒකෙ මින්දද හීසර වැදී සැලෙන හද, නංවන දුක්ගී ඔබට ඇසෙනවද? කියන මුල් පද විතරයි මම කොලේක ලියාගෙන පාඩම් කරගෙන තිබුනෙ.

ඉතිං කොයි වෙලෙත් ඕක කිය කිය මම එහෙ මෙහෙ ගියා. දවසක් අප්පච්චි ඇහුව "කොයි වෙලෙත් ඕක කිව්වට දන්නවද මින්දද කියන්නෙ කවුද?" කියල. මම ඉතිං "දන්නෙ නැතය" කියල කිව්ව. ඒ පාර අප්පච්චි මට මින්දද කියන්නෙ කවුද? මින්දදට එහෙම කියන්නෙ ඇයි එතකොට අපේ සාහිත්‍යයෙ මින්දදගෙ කාර්ය භාරය ග්‍රීක සාහිත්‍යයෙ කරන්නෙ ඊරෝස්ය, රෝම කාලෙ වෙනකොට ඒ වැඩේ බාරගත්තෙ කියුපිඩ්ය යනාදී වශයෙන් සියලු විස්තර කියල දුන්න.

කුමාර කරුණාරත්න ලියපු තුන් ඈඳුතු ආදර කතාවක් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනා. ඇතුගල්පුර පසුබිම් කොටගෙන ලියැවුනු පාසල් ප්‍රේමයක් තේමා කරගත් සිතට සිතක්, අතුරු මිතුරු සහ ඔබයි මමයි ඒ පොත් තුන.

එයින් එක පොතක තියනව පාසලේ වාරාවසාන ප්‍රසංගයේදි කථා නායකයා මින්දද හී සර ගීතය ගායනා කරන අවස්ථාවක්. ඒ ගීතය සම්පූර්ණයෙන්ම ඒ පොතේ පළකරලත් තිබ්බ. ඉතිං මගේ ප්‍රියතම ගීතය සම්පූර්ණයෙන්ම වචනත් සහිතව පලකරල තියනව දැක්කම මට පුදුම සන්තෝසයක්. වහාම සම්පූර්ණ ගීතයම පිටපත් කරගෙන මම විවේකීව ඉන්න වෙලාවට ගායනා කලා. ඉතිං කොහොම හරි මට ඔය ගීතය බොහොම ඉක්මනට කටපාඩම් වුනා. මම කලින් ලියපු මගෙ අතීත මතක කීප තැනකත් මම මේ ගීතය ගැන කියල ඇති. අදටත් මගෙ ප්‍රියතම ගීතයක් මින්දද හීසර....

මින්දද හීසර වැදී සැළෙන හද 
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද 
චන්දන මල් අතුරා ඇති යහනට 
කන්ද කපා පායන් රන් පුන් සඳ 

තුරඟකු පිට නැගි නීල වලාකුළු 
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ 
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම 
කුසුම් සිනා කැන් හද පුරවා 

මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි 
අන්ධකාර සළු පටින් මුදා 
නෙත් මිණි පහනින් පහන් කරනු මැන 
අනාගතේ මං පෙත පාදා 

ගී පද - මඩවල එස්. රත්නායක
ගායනය - ඩබ්.ඩී. අමරදේව



දෙපාරක් ඒ ලෙවල් කරල අසාර්ථක උනහම මම කාර්මික විද්‍යාලයට බැඳුන. ඒ 1982/83 අධ්‍යයන වර්ෂයට. මම කලේ ආධුනික සැලසුම් ශිල්පය. එක් අවුරුදු/දිවා/පූර්ණ කාලීන එහෙමයි ඒ පාඨමාලාවෙ වර්ගීකරණය.

ගමක කියල එක තැනක ජීවත් නොවුනු හින්ද ඒ වගේම අප්පච්චිගෙ රැකියා ස්ථාන මාරුවීම් අනුව තැන්තැන්වලට යන්ට වුන හින්ද සහ එහෙම ගියත් අපේ අසල්වැසියො වුනේ තවත් අපි වගේම රජයේ සේවකයො හින්ද කුඩා අවධියේ ඉඳල අවිච්ඡින්නව පැවත එන මිතුරො මට හිටියෙ නෑ. 

ඊට පස්සෙ ඉස්කෝලෙදි ආශ්‍රය කරපු යාලුවො උනත් ඉස්කෝලෙං අයිං උනහම සම්බන්ධතා බිඳිල ගියා. පාසල් අවධියෙන් පස්සෙ මම කොළඹ අත හැරල අනුරාධපුරේට ආවයින් ඒ සම්බන්ධතා බිඳ වැටීම පරිපූර්ණ වුනා. 

ඒ හින්ද අදටත් මගෙ ඉන්න පරණම හිත මිතුරො කාර්මික විද්‍යාලයෙදි මුණගැහුණු අය. අර මම කලින් කීප පාරක් කිව්වෙ වසන්ත ජයනන්ද ගැන එහෙම. ඒ ටෙක් එකේ මගෙ යාලුවො තමයි.

ඉතිං කාර්මික විද්‍යාලෙ දවල් කෑමට ඒ කාලෙ පැය එකහමාරක් දුන්න. බහුතරයක් මගෙ යාලුවො කෑම අරං එනව. මගෙ ගෙදර තිබ්බෙ කාර්මික විද්‍යාලෙ ඉඳල පයිං ගියත් විනාඩි දහයක වගෙ දුර. 

ඒ කාලෙ මට තිබ්බ ආර්.එම්.අයි. පුෂ් බයිසිකලයක්. ඕකෙ නැග්ගම ආය මොනවද විනාඩි හතරෙන් පහෙන් මම ගෙදර. ඒ විනාඩි හතර පහෙනුත් විනාඩි දෙකක් විතරම ගියෙ රේල් පාර උඩිං බයිසිකලේ උස්සං එන්ට වෙන හින්ද. 

" කෝ අත්තම්මෙ මට බත් බෙදුවද?"

එහෙම අහගෙනයි කුස්සිය පැත්තෙ බිලිං ගහට බයිසිකලේ හේත්තු කරල මම බිමට පනින්නෙ. දවල්ට ඒ දවස්වල ගෙදර ඉන්නෙ අපෙ අත්තම්ම විතරයි.

දණි පණි ගාල කෑවයිං නොකෑවයිං මම ආපහු බයිසිකලේට නඟිනව. ඒ අපෙ කුස්සිය පිටිපස්සෙ තිබ්බ පේර ගස් හතර පහෙං කඩාගත්තු පේර මල්ලකුත් බයිසිකල් හැඬල් එකේ එල්ලගෙන. ඒ ෂොපිං මලු ආපු අලුත. එව්වට ඒ කාලෙ කිව්වෙ සිරි සිරි මලු කියල.

"කොහෙද සුට්ටි පුතේ මේ ආපු පයිම්ම ආපහු යන්ට තනන්නෙ? කාපු බත්තැට හරහ වැටෙනකල් වත් ඉන්නෙ නැද්ද?"

කුස්සියෙ දොර ගාව තිබ්බ රම්ප ගහ යටට ඇවිල්ල අත්තම්ම ඉණට අත් දෙකත් තියාගෙන බෙරිහං දෙනව. 

"මට වැඩක් තියනව අත්තම්මෙ" මම ගිණිකසය වගෙ බයිසිකලේ පදින ගමම්ම ආපහු හැරිල උරෙස්ස උඩිං කෑගහනව. ඒ වෙනකොටත් මම මිදුල මැද්දෑවෙ තිබ්බ ජෑම් ගහත් පහුකරල ගේට්ටුව කිට්ටුවටත් ඇවිල්ල.

ආ... සිරි සිරි මලු, එතනිං ගිහාම ස්ප්‍රයිට්, ෆැන්ටා වගේම හූරන ලොතරැයිය නොහොත් සංවර්ධන ලොතරැයි ආවෙත් ඒ කාලෙ. මට මතකයි අනුරාදපුරේ තැපැල් කන්තෝරුව ඉස්සරහ තිබ්බ හයි ලයිට් ස්ටුඩියෝ එක අයිනෙ පාර අද්දර තමයි මුලින්ම ඔය හූරන ලොතරැයි වෙළඳ කුටියක් පටන් ගත්තෙ. අප්පේ මුල්ම දවස්වල එතනට පිරිච්ච සෙනඟ කන්දරාව. එතනම ඉස්සරහ තිබ්බ බස් හෝල්ට් එකක්. බස් වල යන්ට බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඒකෙ ඉන්ට ඉඩක් නෑ ඔන්න කොටින්ම. අපිත් ඔතන පොර කාල සංවර්ධන අරං හූරනව.

ඉතිං පේර මල්ලත් හැඬල් එකේ එල්ලගෙන මම පදිනව පැදිල්ලක් ආපහු ටෙක් එකට. ආය මොනවද අර ජපානෙ ඒෂියන් ගේම්ස් වලට ගිහිල්ල පාසානිබූත වෙච්චි බොනිෆස් පෙරේරා ඒ කාලෙ ලංකා සවාරිය පදිනව වගෙ. 

ඒ දණි පණිගාල ඩබල් එකේ ආපහු එන්නෙ අපේ කට්ටිය එක්ක එකතුවෙලා සිංදු කියන්ට. ක්ලාස් එකේ පිටිපස්සෙම පේලි දෙක තමයි අපේ ජල් සඝාර්.."ජල් සඝාර්" කියන්නෙ සත්‍යජිත් රායිගෙ සුප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒ වචන දෙකේ තේරුම සංගීත කාමරය කියන එක.

ජයනන්දට හොඳට සිංදු කියන්ට පුලුවන්. ඒ කාලෙම අපෙ පංතියෙ ඉගෙන ගත්තු කාලවර්ණ එහෙත් ප්‍රියමනාප යුවතියකට ජයනන්දගෙ උනන්දුවක් තිබ්බ. ඔය මම කියන කාලෙ වෙනකොට මනුස්සය තම ප්‍රේමය කෙලින්ම ප්‍රකාශ කරල තිබ්බෙ නෑ. ඒත් අපි හැමෝම වගෙ ඒ ගැන සහසුද්දෙම්ම දැනගෙන හිටියෙ. අදාල යුවතියටත් ජයේගෙ සෙනෙහස රහසක් වුනේ නෑ. 

ඔය අප්‍රකාශිත එහෙත් කිසිවකුට රහසක් නොවන අපූර්ව ප්‍රේමය හින්ද ජයේගෙ වාරය ආවම මිනිහ අනිවාර්යයෙන් කියන ගීතයක් තිබ්බ. 

"මේ ජයේ උඹ දැං කියපං සිංදුවක්. හැබැයි එකක් කියන්නං අර උඹෙ සුපුරුදු සිංදුව නම් ඔන්න බෑ" මම පාන්දරම ජයේට තර්ජනාංගුලිය ඔසවනව. 

"අනේ බං…" ජයේ බැගෑපත් වෙනව. 

"හ්ම්ම්ම්..හරි හරි අදට විතරක් එහෙනං කියපං…." වසන්ත අවසර දෙනව.. 

ජයේගෙ මූණෙ හිනා මලක් පිපෙනව... 

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....

ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව



මේ ඒ දිවා ආහාර විවේකයේදි නිතරම ගැයුණු තවත් ගීතයක්... බොල් වී අහුරු වෙල් සුළඟේ

ඔය බොල් වී අහුරු ගීතය ගැනත් තියනව අපූරු කතාවක්. මම ඔය ගීතය කියන්ට පටන්ගෙන දැනට අවුරුදු අවම වශයෙන් තිහක් තිස්පහක් වගෙ වත් වෙනව. ඒ කාල සීමාව ඇතුලත මධු පානෝත්සව, මිතුරු සුහද හමු ඔව්වයෙ ඔය කියන ගීතය කියන්ට ඇති නොගිණිය හැකි වාර ගානක්. ඒ හැම වෙලාවෙම මම කිව්වෙ "බොල්වී අහුරු මද සුළඟේ ගිය සේම දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම" කියල හෙහ්,හෙහ්, 

ඒ අහගෙන හිටපු එක උඩුම්බූරුවෙක්වත් මට නිකමටවත් කිව්වෙ නෑනෙ "යකෝ උඹ ඔය කියන විදිහ වැරදියි. ඔතන කියන්නෙ බොල් වී අහුරු මද සුළඟේ නෙවෙයි බොල් වී අහුරු වෙල්සුළඟේ කියලනෙ" කියල. බොහෝවිට ඕක අහගෙන හිටපු එව්වොත් ඕක දන්නෙ නැතුව ඇති. ඉතිං මට ඔය වැරැද්ද දවසක් පෙන්නල දුන්නෙ මගෙ අතීසාර මිත්‍ර මානවිකාවක් වන අපේ ජානුස් ගොයිය. "මොකක්ද බං උඹ මේ මද සුලඟක් ගැන කියන්නෙ? එතන කියවෙන්නෙ කෙහෙම්මල් මද සුළඟේ කියල නෙවෙයි වෙල් සුළඟේ කියලනෙ" අන්න එහෙමයි ඒ අම්මණ්ඩි කිව්වෙ.

බොල්වී අහුරු වෙල් සුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉද හිට දුටු වේලේ
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ

බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ 



ජානුසා ගැන කතාව ඇදිල ආපු හින්ද ඒ යෝදිත් කොණකට ගෑවිලා ඉන්න මාස්ටර්ගෙ තවත් අපූරු ගීතයක් ගැන කතා කරමු. මේ ගීතය ගැන ජානුස් එක පාරක් පෝස්ට් එකකුත් ලිව්ව. ඒක කියවල මම කමෙන්ට් එකක් දැම්ම මෙහෙම කියල 

"මම අහලත් නෑ නෙව මීට කලින්…..හතර විළි ලැජ්ජාවට එකතු උනු පස්වෙනි එක ඕං, අමරදේවගෙ මෙච්චර ලස්සන සිංදුවක් අහල නෑ කිව්වම……මොකදෑ කොරන්නෙ ඉතිං……ඔටුවෙක්ගෙ වල්ගෙ වත් හපන්ඩයි තියෙන්නෙ……හෙහ්, හෙහ්,"

උන්දැ මගෙ ඒ කමෙන්ට් එකට කෝචොක් එකකුත් දැම්ම "යකෝ උඹෙ ඉහ නිකට පැහුණෙ නියඟෙටද?" ඔන්න ඔහොම මොකක්ද කියල හෙහ්,හෙහ්,

පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
මිනිස් හඬින් තොර පාලු දිවයිනේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා

කණ කොක් සුද පමණයි බොල් අහසේ
ක්‍ෂිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන්
මුහුද හඬන හඬ සවනට නොනැඟේ

මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා…..!

සිත් සැණකෙළියේ සිතුවිලි සලෙලුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳි සැඟවේ සැඟවේ

පද රචනය - සුනිල් ආරියරත්න




1980 අවුරුද්දෙ සරසවිය චිත්‍රපට සම්මාන උළෙලට සමගාමීව කොටුවෙ රීගල් හෝල් එකේ එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙ හොඳම චිත්‍රපට දහය තෝරලා තිරගත කලා. ආරාධිත අමුත්තන්ට විතරයි නැරඹීමේ අවස්ථාව තිබ්බෙ. ඒත් පත්තරවල තිබ්බ දර්ශනය ආරම්භ කරන්නට විනාඩි පහළවකට ඉස්සෙල්ල හිස් අසුන් තිබ්බොත් සහන මිලකට ඒ චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මහජනයාටත් ලබා දෙන්ට කටයුතු සූදානම් කරල තියනවයි කියල.මමයි මගෙ යාලුවො දෙන්නෙකුයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නැරඹුවා පරසතුමල්, සත් සමුදුර සහ නිධානය.

ඒ අතරින් සත්සමුදුරේ මේ ගීතය අදටත් මගේ ප්‍රියතම ගීතයක්. සත් සමුදුරේ සිරිල් වික්‍රමගේ ධීවරයෙක්. නම ගුණදාස. ඔහුගේ මව දෙනවක හාමිනේ. තම එකම පුත්‍රයා මුහුදු ගිය එක රැයක මුහුද ප්‍රචණ්ඩව මාරාවේශ වෙනව. ඒ මහළු මව නිවස අසල වෙරලේ ගල් පරයකට බැරි මරගාතෙ ගොඩවෙලා ලන්තෑරුමක් හිසට ඉහළින් ඔසවාගෙන මරු විකල්ලෙන් දඟලන මහ මුහුද දිහා බලා ඉන්නව පුතා ආපහු එනකල්. ඒ වෙලාවෙ පසුබිමින් ඇහෙනව මාස්ටර්ගෙ ගැඹුරු එහෙත් ළයාන්විත හඬ...

මිනිත්තු හතකට ආසන්න කාලයක් ගැයෙන වැයෙන මෙම ගීතය දීර්ඝතම සිංහල ගීතය කියල මම කොහෙ හරි කියෙව්ව මතකයි.

සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ

සැලෙන රළ මත ගිලී ඉපිලී 
සැලෙන රළ මත ගිලී ඉපිලී 
ගලන සිතුවිලි මුළාවේ
ගලන සිතුවිලි
මුළාවේ

ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
(ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ 
බුර පුරා නැගි කුරිරු ජල කඳ 
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි
(ගිල ගනියි)

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - මහගම සේකර
තනු - සෝමදාස ඇල්විටිගල
සත් සමුදුර චිත්‍රපටියෙන්



මට බාල තියා වැඩිමහල්වත් සහෝදරයෙක් නෑ. ඒ හින්ද මල්ලිල ඉන්න අයියල මල්ලිලව අතින් අල්ලගෙන පාරෙ එක්ක යනකොට හිච්චි එකා සන්දියෙ මගෙ හිතට දැනුනෙ කියාගන්ට බැරි දුකක්.පස්සෙ කාලයත් එක්ක වියයුතු ලෙසම ඒ දුක ක්‍රමයෙන් තුනීවෙලා ගියාට අමරදේව මාස්ටර්ගෙ මේ ගීතයට මගේ ඇති දැඩි කැමැත්තට ඒ බාල සහෝදරයෙක් නැති අඩුවත් හේතු වෙන්න ඇති.

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා…

ගායනය – ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
තනුව – රෝහණ වීරසිංහ



බලා වැළපෙමි සොයාගනු බැරි හන්තාන සිහිනේ........අමරදේව සමඟ උමාරියා සිංහවංශ

"පසුබිම පේරාදෙණිය සරසවිය. යුගය සිංහල නාට්‍ය කලාව, සාහිත්‍ය කලාව, පේරාදෙණිය සරසවි බිම ඇසුරෙහි උත්කර්ෂයට නැංවෙන හැටේ දශකයෙ අග භාගය. එය හන්තානය මෙන්ම පේරාදෙණිය සරසවියෙ වලත් ප්‍රේමාන්විත යෞවන යෞවනියන්ගෙ හැගීම් හා සංවාදයේ යෙදුනු කාලයක්‌. මේ කාලයේදී සරසවියට එන සාහිත කලාවන් පරිශීලනය කළ තරුණ සිසුවියක්‌ ඒ වනවිට මැදිවියත් ඉක්‌මවමින් සිටිනා යුගයේ ප්‍රභාෂ්වර සාහිත්‍යක්‌කාර සරසවි ඇදුරුවරයා පිළිබද ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ මොහොත වනවිට සිය විවාහ දිවියෙන් පැරද සිටිනා මේ ඇදුරිඳු හා තරුණ සිසුවිය අතර උපදින සංවාදය තමයි මේ පදපෙළට නිමිත්ත වන්නෙ" මෙහෙම කියන්නෙ මේ ගීතයේ පද රචකයා ජානක සිරිවර්ධන.

පද පෙළෙහි වන විචිත්‍රත්වය සියක්‌ වරක්‌ තීව්‍ර වන්නේ මේ කතා නිමිත්ත හෙළිවන විටය. නව යෞවනියගේ ප්‍රේමාන්විත ආයාචනය ඇසේ. ඇය සිය හදවතේ ඇදගත් මහා පුරුෂයා දකින්නේ නෙළාගනු නොහැකි සිහිනය ලෙසය. හන්තානයේ පිපුණ සිහිනය ලෙසය. ජීවිතාවබෝධය රහිත මේ ප්‍රේමාන්විත යුවතියගේ ආයාචනය ඇදුරිඳු ඉවසන්නේ උපේක්‌ෂාවෙනි. හෙතෙම ඇයට ප්‍රේමයේ වේදනාවෙන් උපන් කඳුළින් යථාවබෝධය උපදවාගෙන ජීවිතය ගෙත්තම් කරගන්නා ආකාරය පහදයි. 

එහෙත් ඒ ගැඹුර වටහා ගන්නට මේ ප්‍රේමනීය යුවතිය නොපෙළඹෙන්නීය. ඇය ජීවත්වන්නේ මිණි මිණි පොදෙහි තෙමෙමින් දුහුල් මලින් ගැවසි පේරාදෙණිය සරසවියේ එළිමහන් රගමඩල මත ඔහුගේ දෑතේ උණුහුමට තුරුලු වීමේ සිහිනය තුළය. ඒ සිහිනයේ මිහිර වියපත් ඇදුරිඳුගේ චිත්තයෙහි ආලෝක පුංජයක්‌ දල්වයි. මේ මොහොත වනවිට ඔහු සිය පියඹගෙන් වෙන්වීමේ කම්පනයෙන් මිදී නැත. බිසෝතෙම වැදි රජ හා පලාගිය මොහොතේ සිට අඳුරු වූ රගහල වැනි සිය අඳුරු හදගැබ තුළට නොවඩින්නට ඔහු ඇය පොළඹවයි. 

එහෙත් ඇය තරුවක්‌ වූ ඔහුගෙන් පෙම් ගී අසමින් අමාවක ඝනඳුරේ ගිලී ඔහු හදවතට සද වඩිනතුරු ඉන්නට ප්‍රාර්ථනා කරයි. මේ ප්‍රේමාන්විත සංවාදය කෙළවර ඇදුරුතෙම සද දිය සදිසි ඒ ප්‍රේමයේ ගිලී කිමිදී යයි. හේ ඇයට ඒ මොහොතේ මුල්ම වරට සොඳුරිය ලෙස අමතනු ඇසේ.

(උපුටා ගැනීම දිවයින මීවිත.......)

බලා වැළපෙමි... 
නෙළාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ...

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ...

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...

හඬ මාධූර්යය - විශාරද අමරදේවයන් සමගින් උමාරියා
සත්සර - අරුණ ගුණවර්ධන
ගේය පද - ජනක සිරිවර්ධන




මහවන මැද කල්ප ගණනක් බවුන් වැඩීමෙහි නිරතව හුන් සෘෂිවරුන්ගේ පවා සිල් බිඳීමට යුවතියකගේ පා සළඹක් හඬනා රාවය සමත්වේ. මේ කුමරියක පා සළඹ සැළුනා....

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය 
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක



එරන්දතිය කියන්නෙ මිනිස් කතක් නෙවෙයි ඇය වනාහී නාලොව නාරජුගේ දියණිය. එරන්දතිය අපට හමුවන්නේ විධුර ජාතකයෙදි. මේ එරන්දතියගෙ රූ සිරි ගැන කියන්නේ අමරදේව සහ අමිතා වැදිසිංහ.

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා.... 
එරන්දතිය එනවා......

සිතක උපන් දොළ සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා....
එරන්දතිය එනවා.......

කෝමල ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා.. 
එරන්දතිය එනවා.....

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැලූම් නෙළාලා
පාද කිකිණි සොලවා...
එරන්දතිය එනවා.......

පණ්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ
සුනිල් සරත් පෙරේරා / වික්ටර් දළුගම




වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ චිත්‍රපටයෙන්...

මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ 
කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ 
අපට උරුම නැත නාඩන් හදවත 
අපට උරුම නැත නාඩන් හදවත 

තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා 
තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා 
ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ 
මග සොයනා ගමනේ 
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ

අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ 
අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා අපිත් කිරට හැඬුවා 
අපිත් කිරට හැඬුවා 
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා

ගායනය : පණ්ඩිත් අමරදේවයන් 




මේ වනාහී මහළු වියට කෙමෙන් එළඹෙන පෙම්වතුන් යුවලකගේ සංවේගජනක අන්දරයයි. එක් නරකෙසක් දැක රජකම අත්හැර තපසට ගිය මඛාදේව රජුලෙස ඔහුට ඇය අත්හැරිය හැකිද?

කොළොම් තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම්පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා

ගී පද : ලුෂන් බුලත්සිංහල
තනුව : ගුණදාස කපුගේ
ගායනය : ඩබ්.ඩී. අමරදේව




මේ නෙතු දෑලවරින් කතා කරන බමර පැටික්කිගේ කතාවයි...

බමර පැටික්‌කී
තුනු සිරි විලේ නටන බමර පැටික්‌කී
ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්‌කී

කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ 
නෙතු දෑලවරින් කියන කතාවේ
මත් සලෙළ සමේ මහිම උදාවේ

රඹ තුරින් තුරට පීත වලාවයි 
රන් දොරින් දොරට නීල නිලාවයි
රඹ තුරින් තුරට පීත වලාවයි 
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි 
පිපි මලින් මලට ආල ගුලාවයි

තනුව : වික්ටර් රත්නායක
ගායනය : අමරදේව




ජීවිතං අනියතං මරණං නියතං. මෙලොව උපත ලද අප සියල්ලෝම උපන් මොහොතේ පටන් මරණය හිස මත තබාගෙන සිටින්නෝය. මරණය වනාහී කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. 

එසේ හෙයින් හෙළයේ මහා ගාන්ධර්වයාණනි, ඔබ ඒ සනාතන ධර්මය හොඳින් වටහාගෙන සිටි බවට මට සැකයක් නැත. ඔබ අප වෙනුවෙන් කල සදාතනික අනේකවූ රමණීය කලානිර්මාණ රැස වෙනුවෙන් අපගේ බැතිබර ගෞරව පූර්වක ස්තූතිය පිළිගනු මැනව!

සුබ ගමන් මහතාණනි!

මමද ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව ඔබට මහත් සේ පෙම්කල බවද ඒ සමඟම පැවසීමටද ගරු මහතාණනි මට අවසර!!!

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාඳුනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි 
දුක් ගීයක් ලියනු මැනවි

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී

පද රචනය - මහගම සේකර
සංගීතය හා ගායනය - ඩබ්.ඞී. අමරදේව



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...