Friday, April 27, 2012

98. Life is Beautiful......... ජීවිතය ලස්සනයි.........

රූපවාහිනි වැඩසටහනක් නැරඹීමෙන් මුල් වරට දෙනෙතට කඳුළු පිරුනේ කළු හිසකෙස් ඇති රොබින්හුඩ් මිය ගියදා සේ මතකයේ ඇත. එයින් අනතුරුව නොයෙකුත් හින්දි චිත්‍රපටවල වීරයන් ගුටි කද්දි, වීරවීරිය නිවාස අඩස්සියට පත් වද්දී ඔවුන් වෙනුවෙන් හදපතුලෙන් නැගී ආ වේදනාවෙන් හොරෙන් හොරෙන් හැඬුවා මතකය.

තවද, ඉඳහිට හෝ ‘ක්යා මත්සේ ක්යාමත් තක්’ චිත්‍රපටයේ සේ වීරයා සහ වීරවරිය යන දෙදෙනාම හෝ එක්කෙනෙකු හෝ මියගිය විට බිම පෙරළි හඬන්නට ලැජ්ජාවෙන් ඉකි ගසමින් හැඬු හැටිද මතකය. ඒ ද නිදිමරාගෙනය. කාලයත් සමඟ රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපටවලට හඬන හැඬුම් අමතකව යාම පුදුමයට කාරණයකි.

දැන් විකාශය වන බොහොමයක් වැඩසටහන් බැලුවද පෙනෙන්නේ නැත. වෙන වැඩක් නැති වේලාවක හෝ යමක් ගැන කල්පනා කරමින් සිටින විට හෝ රූපවාහිනිය දල්වාගෙන නෙත් යොමා සිටීම හැර උවමනාවෙන් බලන්නට දෙයක් අද විකාශය වන්නේම නැති තරම්ය. දැන් කල්පනා කර බලන විට එකල ද වැදගත් වැඩසටහන් විකාශය වී නැති බව සිතෙන අතර එකල නිදිමරාගෙන චිත්‍රපට බැලූ අපි නම් වූ පොඩි එව්වෝ දැන් අහුවුනා නං පස්ස පැත්තට දෙකක් දී ඇඳට දමන බවද සහතිකය. :)


Life is Beautiful 


පසුගිය සෙනසුරාදා රාත්‍රී 10.30 ට පමණ රූපවාහිනිය දල්වා ගත්තේ ද කල් මැරීමේ උවමනාවට මිස යමක් දැකීමේ උවමනාවෙන් නොවේ. ඒ සැමිතුමා එයාලාගේ “කොල්ලෝ ටික” හා එක් ව වාර්ෂික අවුරුදු සැමරුමට එක්වීමට ගොස් සිටි නිසාය. කෙසේ හෝ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙමින් පැවති චිත්‍රපටය විනාඩි කිහිපයක් ගත වද්දීම මගේ අවධානය දිනා ගැනීමට සමත්විය. එය දුටුමතින් හිතුනේ චාලි චැප්ලින් ගේ කාලයේ නිපදවූවක් ලෙසය. එහි නම වූයේ, Life is Beautiful යන්නයි.


වේදිකා නාට්‍යයක සේ දෙබස් සහිත වූ එහි දිව ගිය ආදර කථාව සරළ, අතිශයින් සිත් ඇදගන්නා සුළු වූවක් විය. ඉහළ මධ්‍යම පාන්තික ඉතාලි ජාතික යුවතියක් හා තමාගේම පොත් හලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිව, සිය මාමාගේ ආපනශාලාවේ වේටර්වරයෙකු සේ සේවය කරන යුදෙව් තරුණයකු අතර ඇති ආදර කථාව ප්‍රේක්ෂකයා සිනා ගන්වමින් දිවයයි. ඔහු, ඇගේ සියලු නෑ හිතමිතුරන් ඉදිරිපිටදී සිය ආදරවන්තිය රැගෙන යන්නේ ඇය හා විවාහ අපේක්ෂිත ව සිටිනා තරුණයා අන්දමන්ද කරමිනි.




ඔවුන්ගේ පුත් ජොෂුවා හා ඔවුන් දෙදෙන ඉතාමත් සාමකාමී සතුටු පිරුණු පවුලක් ලෙස චිත්‍රපටය අපට පෙන්නුම් කරයි. ප්‍රධානම වැදගත්දේ මෙහි පියා සර්වසුභවාදි ලෙස සිතන අයෙකු වීමයි. කිසිම දුක්බර දේකට ඔහුගේ මුහුණට දුකක සේයාවක් වත් ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නැත.



දිනක් පිය පුතු දෙදෙනා ඔවුන්ගේ පොත් හල වෙත යන විට, අසල රසකැවිලි හලක් වෙත පුතු දිව යයි. “යුදෙව්වන්ට හා බල්ලන්ට ඇතුළුවීම තහනම්” එහි සඳහන් වැකිය දුටු පුතු හැකිලි පියා වෙත දිව එයි. ඒ ඔවුන් යුදෙව්වන් නිසාය. එහිදී පියා පුතු සනසන ආකාරය සරළය. සියුම්ය. විනෝදයක් ගෙන එයි. එහෙත් ඒ වැකි පෙලට යටින් දිව යන උපහාසය තේරුම් ගත යුතුව තිබේ.



කෙසේ හෝ ඒ ලස්සන පවුල වෙත අභාග්‍ය පැමිණේ. පුතුගේ උපන්දිනය දා අම්මා සිය මෑණියන් කැඳවාගෙන ඒමට ගොස් සිටියදි හිට්ලර්ගේ හමුදා විසින් පිය පුතු දෙදෙනාත් ඔවුන්ගේ නෑයින් සමූහයත් රැගෙන යයි. ජොෂුවාගේ අම්මා පැමිණ සිදු වී ඇති දෙය වටහා ගන්නී, ඇය ද විගස ඔවුන් පසු පස යන්නීය. ඇය යුදෙව් ජාතික කාන්තාවක් නොවුවත් හමුදා නිලධාරියා හා කථා කොට එම දුම්රියට ම නැග ගන්නීය. අනතුරුව දිව යන කථාව මා කියනවාට වඩා ඔබ ම නැරඹීම වඩා සුදුසු බව මා මෙන්ම ඔබද සිතනු ඇතැයි සිතමි. චිත්‍රපටය අවසන් වන විට බොහොම විට මා මෙන් ම ඔබද හඬමින් සිටිනු ඇති බව මට සිතේ. 





ඉතාමත් අනුවේදනීය වූ කථා ප්‍රවෘත්තියක්, සර්ව සුභවාදී චරිතයක් හා නාට්‍යමය ස්වරූපය භාවිතා කරමින් සාර්ථක ව ඉදිරිපත් කර තිබීම අපූරුය. පියෙකුගේ දාරක ස්නේහය, සැමියෙකුගේ ආදරය, මිනිසකුගේ දරාගැනීමේ ශක්තිය, ඕනෑම දුකක දී එයට සිනා මුසුව මුහුණ දීමේ හැකියාව ආදී වු නොයෙකුත් දේ මුළු චිත්‍රපටය පුරාවට ම අපට පෙන්නුම් කරයි. ඒ පියා තරම් දුක් කරදර දරා ගැනීමට සැබෑ ලෝකයේ මිනිසුන්ට නොහැකි වුවත්, තමන්ගේ ජිවන අන්දරය සාර්ථක ව ලියා ගැනීමට යහපත් මිනිසුන්ට මෙම චිත්‍රපටය ඉවහල් වනු නොඅනුමානය. 


 ජර්මන් බස නොදත්ත ද නාසි නිලධාරියා ගේ කථාව, සිය පුතුගේ හිත හැදෙන පරිද්දෙන්
පරිවර්තනය කරන්නට ඉදිරිපත් වෙමින්







හිට්ලර්ගේ වදකාගාර වල දී තිබූනු අප කියවා අසා තිබෙන තදබල නීති අනුව මෙහි දැක්වෙන සේ කටයුතු කිරීමට හැකි වූවාද යන්න නම් ගැටළු සහගතය. මූලික කථාවට හානී නොවන පරිදි කටයුතු කිරීම නිසා එසේ වන්නට ඇතැයි සිතමි.



දහසක් දේ කියැවුනු අවස්ථාව

මුළු කථාවම සර්වසුභවාදී පියා කේන්ද්‍ර කරගනිමින් ඔහු වටා දිව ගියද, අප චිත්‍රපටයෙන් කියවා ගත යුතු තවත් වැදගත් යමක් මම දිටීමි. මෙය කියවන මගේ මිතුරු පිරිස, පසු ලියැවිල්ලක් සේ මට ම එය ලියන්නට ඉඩ නොතබාවී දෝ කියා විමසා බලන්නට සිතුවෙමි. චිත්‍රපටය නරඹන්න. සමහරවිට සංවේදී ඔබ මනසට ද මසැසින් එය ගෙනයාවි.








චිත්‍රපටයේ වගතුග හා ලැබූ සම්මාන


මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Roberto Benigni මෙහි අධ්‍යක්ෂවරයා වන අතර Vincenzo Cerami හා එක්ව මෙය ලියා ඇත්තේද ඔහු විසිනි. චිත්‍රපටයේ ඔහුගේ බිරිඳගේ චරිතය රඟ දක්වන්නේ, සැබෑ ජීවිතයේද ඔහුගේ බිරිඳ වන Nicoletta Braschi වන අතර ඇය ඔහුගේ නිර්මාණ බොහොමයක ප්‍රධාන චරිතය රඟ දක්වා තිබේ.

පෙර දී සඳහන් කල පරිදි මෙය දුටු මතින් දැනෙන්නේ චාලි චැප්ලින් යුගයේ චිත්‍රපටයක් සේ වුවද, මෙය නිපදවා තිබෙන්නේ 1997 වර්ෂයේදීය. 1998 කැනාස් අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය 71 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සංගීතය,  හොඳම නාට්‍යානූරූපී චිත්‍රපටය, හොඳම විදේශ චිත්‍රපටය හා හොඳම නළුවා යන සම්මාන ද දිනාගෙන ඇත. එයට අමතරව හොඳම අධ්‍යක්ෂණය ආදී වූ තවත් සම්මාන තුනකට නිර්දේශ වී තිබේ.


 චිත්‍රපටය මෙතැනින් ඩව්න්ලෝඩ් කරගත හැකිය.

Friday, April 20, 2012

117. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....12




චක්රවාටයන් අතර වූ පරතෙරක් නොමැතිවූ රික්තයකට ඉතාම ආසන්න වූ හිස් අවකාශයෙහි පවතිනුයේ සදාකාලික අන්ධකාරයෙහි ගිලී පවත්නා ශිශිරයකි.ඒ පසු කොටගෙන පැමිණි පූර්වජ නීරීක්ෂක යානයෙහි ඉලක්කය වූයේ වාමාවෘත සර්පිලයක හැඩය ගත් මේ මධ්ය පරිමාණ චක්රවාටයෙහි එක් අන්තයක ග්රහලෝක නවයකින් සැදුම්ලත් ග්රහ මඬුල්ලක මධ්යයේ ධවල සහ පීත වර්ණයන් මුසුව බැබලෙන මධ්ය පරිමාණ සූර්යයෙකි.

පිටත වලල්ලේ වූ ග්රහයෝ සදාකාලික ශිශිරයක අධික ශීතලයේ මිදී පැවතුනු හෙයින් ජීවයක් ඇතිවීමට අවශ්ය තත්ව එහි කිසිදිනෙක ඇතිනොවන බව දුටු පූර්වජයෝ එහි පොරොත්තු නොවූවාහු, වායුමය සුවිසල් ග්රහයින් ද රක්ත වර්ණයෙන් දිදුලන්න වූ සාපේක්ෂව කුඩා වූ එක් ග්රහයෙක් ද පසු කොට සූර්යයා දෙසට නොනැවතී ආසන්න වූහ. රතු ග්රහයාගෙන් ඉක්බිතිව වූයේ ප්රමාණයෙන් ඒ හා ආසන්න වශයෙන් සමාන වුවද වෙනත් සියළුම ගති ලක්ෂණයන්ගෙන් ඒ හා හාත්පසින් ම වෙනස් වූ නීල වර්ණයෙන් දිදුලන ග්රහ ලොවකි.

ඒ වෙත ලඟාවීමට දින ගණනකට පෙරම එහි සෞන්දර්යය නෙත් පුරා උකහාගත් විශ්ව සංචාරකයින්ගේ සිත් සතන් නොමඳ ප්රීතියකින් විශ්මයෙකින් ඒ හැඟුම් දෙකටම වඩා චමත්කාරයෙකින් පිරී ගියේය. ඔවුන්ගේ යානයෙහි නීරීක්ෂක පුවරුවෙහි දිනෙන් දින මොහොතින් මොහොත විශාල වෙමින් භූ විශමතා ලක්ෂණ නිරතුරුව පැහැදිලි වෙමින් දිස්වූයේ ඔවුන් උපත ලද, විශ්වයේ බොහෝ දුර බැහැර පිහිටි ඒ සොඳුරු ලොවෙහි අනුරුවක් යැයි එක හෙලා කිව හැකි පමණ සුන්දර වූ එමෙන්ම අපූර්ව වූත් ග්රහ ලොවකි.

නිල් ග්ර‍හලොව වෙත ළඟාවූ ඔවුහු ඒ වටා ඉතාම ආසන්න වූ කක්ෂයකට පිළිපන්නෝ පියවි ඇසින් මෙන්ම වසර මිලියන ගණනක් තුල දියුණු කල සිය අසමසම තාක්ෂණයේ සහාය ද ලබමින් එහි මතුපිට කුමක් සිදු වන්නේද යන්න පිළිබඳව දැඩි කුතුහලයෙන් යුක්තව නීරීක්ෂණය කිරීමේ මෙන්ම කරුණු රැස්කිරීමේ, ගොනු කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ ද නිරත වූහ.

මා ඔබට මීට පෙර පැවසූවක් යලි මතකයට කැඳවීමට මොහොතකට අවසර දෙන්න ප්රිය සොයුර, සොයුරිය.....

'' විශ්වය පුරා පැතිරි ඊට සාකල්යයෙන්ම සර්වසම වූ තවත් ග්රහ ලෝකයෝ අනන්ත සංඛ්යාවෙක් වූහ. එහෙත් මේ නිල්වන් ග්රහලොවෙහි එක් විශේෂත්වයක් විය.එනම් බුද්ධියෙහි මූලාරම්භය වූ විඥාණයෙහි මූලික ප්රාථමික අවස්ථාව සුලඟින් විසිරි අළු අතරින් මතුව දිලෙනා ගිණි පුපුරු මෙන් මෙහි වරින් වර මතුව නැවත නිවී යාමයි. ''

එසේමය. නිල් ග්රහයා මත ජීවය ඇරඹී වසර මිලියන ගණනක් ගතවී තිබිණි. ලවණ මිශ්රිත සාගර ජලයේ ප්රාරම්භක අවධිය ගෙවූ ජීවය වියළි පොළව මතට සංක්රමණය වී දීර්ඝ ලෙස පරිණාමය වී අර්ධ මනුෂ්ය‍ අවධියට එළඹී තිබිණි.එහෙත් පරිණාමයේ ස්වාභාවික අනුයාත පියවර වන බුද්ධිය පහල වීමට පෙර ඇතිවිය යුතු සවිඥාණිකත්වය තවමත් නිල් ග්රහලොව මත ඇතිවී නොතිබිණි.

අර්ධ මනුෂ්යයා පරිණාමිකව සංවෘත අන්තයකට එළඹ සිටීම ඊට හේතුවය. ( Evolutionary Cul de sac ) මේ බාධාවෙන් මිදීම පරිණාමයේ ඉදිරියට යාමට අත්යාවශ්ය සාධකයක් වූවා මෙන්ම මිනිස් වර්ගයාගේ මතු පැවැත්මට ද ඒ ඉතා වැදගත් විය.එදවස නිල් ග්රහලොව මත පැවතියේ අතිශය අවදානම් සහගත පරිසරයකි.බොහෝ යෞවන වියෙහි පසුවූ බැවින් එහි යමහල්, භූකම්පා, කුණාටු ආදිය නිතොර හටගත් අතර ඒ තීව්ර තාවයෙන් ද වර්තමානයට වඩා බොහෝසෙයින් විනාශකාරී වූවෝය.

එලෙසම ඒ දුරාතීතයෙහි පරිණාමිකව වඳවී ගොස් මෙකල ශේෂ වූ පාෂාණීය ධාතු ( Fossils ) ආධාරයෙන් පමණකින් අප කෞතුකාගාරයන්හි නිර්මාණය වූ අනු රූ වලින් දැක බලාගන්නා වූ බොහෝ විසල් එමෙන්ම රුදුරු වූ තිරශ්චීනයෝ පොළව සිය පියවර හඬින් වෙව්ලුවා ලමින් ඒ මත ඇවිද ගියෝය. එපමණක් නොව සිතන්නට නොහැකිව අසරණ ව හුන් අර්ධ මනුෂ්ය වූ අපගේ මුතුන් මිත්තන්ගේ වාසස්ථාන වලට කඩා වැද අසරණ ව බියෙන් ත්රස්තව පළායාම හැර වෙනත් විකල්පයක් නොවූ ඔවුහු රිසිසේ විනාශ කලෝය.

ස්වභාවික එමෙන්ම විලෝපීයන්ගෙන් ද නිරන්තරයෙන් පැමිණෙන මේ අනතුරු හේතුකොටගෙන නිල් ග්රහ ලොව මත අර්ධ මනුෂ්ය ගහණය මේ වන විට පැවතියේ ඉතාම අන්තරායකාරී තත්වයකය.සත්ය‍ වශයෙන්ම ලොව පුරාම අර්ධ මිනිසුන්ගේ සංඛ්යාව දහසකට වැඩි වූවානම් ඒ නොසැලකිය හැකි තරම් වූ සංඛ්යාවෙකිනි.

ජීවය ඇරඹි අප්රිකා මහාද්වීපය හැරුණු කොට එදවස අඩ මිනිසුන් වාසය කලේ අසියාවේ ප්රදේශ කිහිපයක පමණකි.විඥාණය අවදි නොවුනහොත් පරිණාමිකව කිසිදු තොරතුරක් ඉතිරි නොකොට අතුරුදන් වී යාමේ නිසැක ඉරණමට මුහුණ දෙමින් ඔවුහු දසතින් නැඟෙන අනතුරුවලින් බොහෝ අසීරුවෙන් දිවිගලවාගමින් දැඩි අසරණ දිවිපෙවෙතක් ගත කලෝය.

මේ විනාශයෙහි මුවවිටෙහි හිඳිමින් නොනැසී පැවතීමට මහත් උත්සාහයක් ගන්නා එමෙන්ම එම සටනින් පැහැදිලි ලෙසම දිනෙන් දින පරාජය වන අර්ධ මනුෂ්යයින් අධ්යයනය කරමින් පූර්වජයෝ බොහෝ කාලයක් ගත කලෝය. කිසිදු හදිසියක් ඔවුනට නොවීය.ඔවුන් ඉදිරියේ ඇති කාර්ය භාරය මෙන්ම ඔවුන්ගේ තීරණය නිසා එක් ග්රහලොවකට මතු නොව එක චක්රවාටයකට මතුනොව මුළු මහත් විශ්වයටම ඈත අනාගතයේ දිනක ඇතිවිය හැකි බලපෑම පිළිබඳ පැහැදිලි අදහසක් තිබූ හෙයින් ඔවුනට කිසිදු හදිසියක් ඇත්තෙන්ම නොවීය.

නිල් ග්රහලොව පුරා සරමින් දීර්ඝ කාලයක් කල තියුණු අධ්යයනයකින්, දත්ත රැස් කිරීමෙන් සහ විශ්ලේෂණයෙන් පසු ඔවුහු අවසන එක්තරා නිගමනයකට එළඹියහ.

විශ්වය පුරා චාරිකාවෙහි නිරත වීමට පෙර පූර්වජයින්ගේ පාලන තන්ත්රයෙහි කැණි මඬල වූ උත්තරීතර මහ සභාව ( Supreme General Council ) රැස්ව ඒක මතික තීරණයකට එලඹියෝය.

උත්තරීතර මහ සභාව - වෙනත් ජීවී විශේෂ පිළිබඳව කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු නිර්ණායකයන් - ස්ථාවර නියෝග අංක 01 - Supreme General Council - Criteria to be followed when dealing with alien life forms - Standing Order No. 01

'' කිසිදු අයුරකින් කිසිම ජීවි විශේෂයක පැවැත්මට ස්වල්ප වශයෙන් හෝ බලපාන කිසිදු ක්රියාවකින් වැලකිය යුතුය. එකම ව්යාවතිරේකය ( Exception ) වනුයේ සවිඥාණකත්වයේ සහ බුද්ධියේ ප්රගමනයට එසේ මැදිහත් වීම අත්යාවශ්ය වූ විටකදී සියළු සාධක හොඳින් අධ්යයනය කොට සාධාරණ සහ සමබර තීරණයක් ගත යුතුය. අවසන් තීරණය ගත යුත්තේ උත්තරීතර මහ සභාව විසිනි. ''

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා කල නීරීක්ෂණ, ඒ ආශ්රයෙන් එළඹි නිගමනයන්, එසේම ගත යුතු ඉදිරි ක්රියා මාර්ග පිළිබඳව සිය නිර්දේශයන් ඇතුලත් සවිස්තර වාර්තාවක් උත්තරීතර මහ සභාව වෙත යැවූ නිල් ග්රහ ලොවෙහි ගවේෂණයෙහි යෙදෙන පූර්වජ කණ්ඩායම උත්තරීතර මහ සභාවෙහි ප්රතිචාරය බලාපොරොත්තුවෙන් ඉවසිලිමත්ම කල් ගත කලෝය.

Report No. 01 from Deep space expedition no. 1114 to Supreme general council

subject - Preliminary request for a formal waiver of supreme general council standing order no. 1 dealing with alien life forms,

Subsequent to careful, detailed and prolonged observations and analyzing of the dominant life form of this planet ( assigned identification no. 1963 ) herewith we submit our recommendations for your perusal.

1. The dominant life form; hereafter called the humanoids, demonstrates a vast potential hitherto unutilized in their brains for the development of consciousness and therefore intelligence of a remarkable capacity.

2. Unfortunately at present they are at the very verge of total extinction due to being imprisoned in a evolutionary cul de sac out of which an escape is nor foreseeable,

3. As just a nudge in the right direction would rectify this anomaly a waiver of standing order no. 01 is earnestly recommended.

4. Furthermore as per observations and analyzing we have selected an area just to the north of equator and at the southern end of the great land mass as the habitat of the group of humanoids with the maximum capacity of cerebral cortex, in extension displaying most potential for high level of intelligence.

End of transmission


මතු සම්බන්ධයි........

Tuesday, April 17, 2012

116. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....11




ඉතිං ඔන්න ඒ කතාව මහ දඩයක්කාරය දන්න විදිහට පුතාට කිව්ව....ඒත් ඇත්ත ඇති හැටියට කියනව නම් මහ දඩයක්කාරය දැන ගෙන හිටියෙ මේ අපූර්ව කතන්දරේ බොහොම පොඩි කොටසක් විතරයි...ඒ දන්න පොඩ්ඩ ගැන උනත් එයාට කිසිම තේරුමක් තිබුනෙ නෑ.

හරි මම පොඩි උදාහරණෙකින් ඒක පැහැදිලි කරන්නම් මෙහෙම...හිතන්න ඉතාම බලවත් ඒ වගේම බොහොම තෙදවත් සිටු පවුලක් ගැන. ඔන්න කාලයක් ගිහාම මෙයාල ධනයෙන් බලයෙන් පිරිහිලා ගිහිල්ල බොහොම අමාරු තත්වෙකට වැටෙනව.ඔන්න දැන් මේ පරපුරේ අය බොහොම අමාරුවෙන් දිවිගැට ගහ ගන්නෙ දර කපල කියමු. පරම්පරාවෙන් ආපු බොහොම බලසම්පන්න කඩුවක් තියනව ඒක තනි රත්තරන්. ඒත් දැන් ඒකෙන් මෙයාල කරන්නෙ දර කපන එක. කවුරුවත් දන්නෙ නෑ ඒකෙ වටිනාකම. මේ වගෙ එදා වේල හම්බ කරගෙන ජීවත්වෙන දර කපන්නෙක් ලඟ රත්තරන් කඩුවක් තියෙනවයි කියල කිසිම කෙනෙක් හිතන්නෙ නෑ. අඩු ගානෙ අර දර කපන්නවත් එහෙම දන්නෙ නෑ. පුරුද්දට රත්තරන් කඩුවෙනුත් කරන්නෙ දර කපන එක.

ඒ නිසා මහ දඩයක්කාරය පුතාට කිව්ව කතාව පැත්තක තියමු. ඇත්තටම වෙච්ච විදිහට මම කතාව මුල ඉඳලම කියන්නම්.

විශ්වය ඇරඹිණි. ඒ ඇරඹුනේ කෙසේදැයි ඔබ ද මම ද අප කිසිවකුද නොදනිමු. ඒ පිළිබඳව සිත වෙහෙසීම පසෙක තබා මගේ කථාව පැවසීමට ඉඩ දෙනු මැනවි.

විශ්වය ඇරඹී ගෙවීගොස් තිබුණේ ඉතා ස්වල්ප කාලයකි.ඒ වසර බිලියනයකට වඩා මඳක් අධික කාලයකි. ඉතා ස්වල්ප කාලයක්යයි මම පැවසූයේ සාපේක්ෂවය. විශ්වයේ වයස අද වන විට වසර බිලියන දහහතරකට ආසන්න වන බැවින් සාපේක්ෂව ඒ වනාහී ඉතා සුළු කාලයකි.

ප්රාථමික විශ්වය එදවස පැවතියේ ඔබට මට නොව අපගේ බුද්ධි මට්ටමට වඩා සහස්ර ගුණයකින් අධිකතරවූ බුද්ධි මට්ටමකින් යුතු ජීවීන් විශේෂයකට පවා වටහාගත නොහැකි තරමේ ව්යාකූල භාවයකි.

ක්රමයෙන් කාලය ගතවිය. ව්යාකූලතාවය ක්රමයෙන් පහවී යමින් තිබිණි. යම් යම් වස්තූන්ගේ හඳුනාගත හැකි පමණ වූ ස්වරූපයක් විද්යාමාන වෙමින් පැවතිණි.

පලමුව මන්දාකිණීන් ද,, දෙවනුව චක්රවාටයන් ද, අනතුරුව තාරකා පොකුරු ද, ඊටත් අනතුරුව තාරකාවෝ ද, විශ්වීය මූල ද්රව්ය‍ සපිරි නිහාරිකාවන්ගෙන් පාදුර්භූත වූහ.තාරකා වටා පරිභ්රමණය වන ග්රහලෝක නිර්මාණය වූයේ ඊට ද අනතුරුව අවසානයේදීය.

ග්රහලෝකයන් කෙමෙන් සිසිල් වූ කල්හි ඒ මත ද්රව ජලය ඇති වීමට තවත් කාලාන්තරයක් ගතවිය. ජීවය බිහිවනු වස් ද්රව ජලය අත්යා වශ්ය නොවූව ද ජීවය බිහිවීමේ කාර්යාවලිය කඩිනම් කරවීමෙහි ලා ඒ බොහෝ සේ ඉවහල් විය.

සීමා මායිම්, ඉම් ගම් මායිම් සිතාගැනීමට පවා අසීරු වූ මේ සුවිසල් විශ්වයේ නමෝ විත්තියෙන්ම විඥාණය පහළ වූයේ පියවි ඇසින් නොව තාක්ෂණය මේ සා දියුණු වූ වර්තමානයේ පවා කිසිදු උපකරණයකට දැකගත නොහැකි තරම් දුර බැහැර ප්රදේශයකය.

තාරකා විද්යානුකූල දුර මැනුම් ඒකක වලින් නම් ඒ ආලෝක වර්ෂ බිලියන විස්සකට ආසන්න දුර ප්රමාණයකි.

එතෙකුදු ලාබාල වූ විශ්වයේ තිඹිරි ගෙයිහි මුල්වරට ළදරු හැඬුම් හඬක් නින්නාද විය.ජීවය පහල වීම දුර්ලභය. අනුකම්පා විරහිත අතුරු අන්තරා බහුල වූ කල්හි එසේ පහල වූ ජීවය නොනැසී පැවතීම ඊටත් වඩා දුර්ලභය. එසේ පහළ වූ ජීවය විඥානය හටගැනීම තෙක් නොනැසී පැවතීම නම් ආශ්චර්යයක්ම විය.

විශ්ව තොටිල්ලෙහි කුළුඳුලේ උපත ලද්දාවූ ඔවුහු අපි පූර්වජයෝ ( Pioneers ) නමින් හඳුන්වමු.ක්රමයෙන් යොවුන් වියට සපැමිණි ඔවුහු විය යුතු ලෙසම තොටිල්ලෙන් නික්ම පරතෙරක් නොදැකිය හැකි වූ විශ්වයට පිවිසුණාහ. තොටිල්ලෙන් නික්මීමට පෙර සෑම දරුවෙක්ම තම අභිමතාර්ථ , ආකල්ප සහ සිතුම් පැතුම් පිළිබඳව අනුකම්පා විරහිත කඩඉම් පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුමය.

තොටිල්ලෙන් නික්මීමට පෙර දෙවරක්ම පූර්වජයෝද මේ පරීක්ෂනයෙන් අසමත් වූවාහු නිර්වාපිත වීමේ ප්රපාතයට ( Precipice of Extinction )ඇද වැටීමේ මුව විටටම පැමිණියාහුය. එහෙත් ඔවුනගේ ජාන කිටුවෙහි කලහකාරී ආවේගශීලී ජාන මැඩ පවත්වා විචාර බුද්ධියට සහ ඥාණයට මුල් තැනක් දුන් ජාන අවසන ජයග්රහණය කෙලෙන් ඔවුහු නිර්වාපිත ප්රපාතයට නොවැටී අවසන් මොහොතේ ආපසු හැරීමට සමත් වූහ. එහෙත් ඒ ඉතාම පටු නොගිණිය හැකි තරම්වූ දෝෂ තීරයකිනි ( Margin of Error )

මුළු මහත් විශ්වයේ බිහිවුනු සියළුම ජීවීන් කොට්ඨාශයක්ම තම පරිණාමයේ කෙදිනක හෝ මේ අනිවාර්ය පරීක්ෂණයට මුහුණ දී සමත් විය යුත්තේමය. සමාවන්න, එම ප්රකාශය මෙසේ සංශෝධනය විය යුතුය. තම තොටිල්ලෙන් නික්ම විශ්වයේ බිහිදොරින් ඇතුළුව තෙරක් නොපෙනෙන අනන්තය දක්වා සිත විශ්මයෙන් මුසපත් කරවන දසුන් නරඹමින් ඒ පිළිබඳව අධ්යයනය කරමින් සැරි සැරීමට රුචි වන්නා වූ සෑම ජීවීන් කොට්ඨාශයක් ම මේ පරීක්ෂණයට මුහුණ දී සමත් විය යුතුමය.

අවසන එම පරීක්ෂණයෙන් සමත් වූ පූර්වජයෝ මෙතෙක් තමනට සෙවණ දුන් තොටිල්ලෙන් නික්මී අසීමාන්තික විශ්වයේ සරන්නට වූහ. වසර මිලියන ගණනක් මෙසේ ගත වෙද්දී පලමුව තම සෞර ග්රහ මණ්ඩලය ද දෙවනුව තම චක්රවාටය ද ජයගත් ඔවුහු අවසන තමනට නිවෙස් වූ චක්රවාටයෙන් ද නික්මී මොහොතින් මොහොත, දිනෙන් දින තම ඥාණයෙහි නිම් වලළු පුළුල් කොට ගනිමින් නිදැල්ලේ දසත සරන්නට වූහ.

මේ අතර ඔවුනගේ තාක්ෂණය කාලය ගතවීමට සමානුපාතිකව දියුණු වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. ඉන්ධන දහනිත අභ්යාවකාශ යානා න්යාෂ්ඨික බලය වෙත වෙනස් වන්නට සියවස් කිහිපයක් ගත වූ නමුදු ඉන්පසු ඒ ක්වොන්ටම් ධාවකය වෙත පරිණාමය වූයේ සියවසකට ද මදක් අඩු කාලයකදීය.

ක්වොන්ටම් ධාවකයේ පරතෙරට පැමිණි ඔවුහු එහි උපකාරයෙන් ආලෝකයේ වේගයට ඉතාම ආසන්න වේගයකින් චක්රවාටයෙන් චක්රවාටයට සැරි සැරූහ. මන්දාකිණි වනාහී ඔවුනගේ ක්රීඩා පිටි වූහ. අපගේ සූර්යයා මෙන් දස දහස් වාරයක් පරිමාවෙන් යුතු සූර්යයෝ ඔවුනගේ ක්‍රීඩා උපකරණ වූහ.

කාලය සහ අවකාශය පිළිබඳ රහස ද මේ අතර තුර ඔවුහු අවබෝධ කරගත් නමුදු ඒ පිළිබඳව සිත්සේ කටයුතු කිරීම සිතාගත නොහැකි පමන විනාශයකට හේතු විය හැකි බව හොඳින් අවබෝධ කොටගෙන උන් හෙයින් ඒ තාක්ෂණය භාවිතා කලේ ඉතාමත්ම සීමිතව මෙන්ම දැඩි ප්රවේශමෙනි.

භෞතිකමය වශයෙන් මෙසේ පරිණාමය වන අතර සිත දියුණු කිරීමෙහිලා නිරතුරු යෙදුනු ඔවුනගේ එක් කණ්ඩායමක් භෞතික සිරුරු එක් තැනක තිබියදී සිත බොහෝ දුර යැවීමෙහිලා සමත් වූවෝය.මෙසේ භෞතික මෙන්ම පාර භෞතික යන ද්විත්වාකාරයෙන්ම දියුණුවේ පරතෙරට සපැමිණි පූර්වජයෝ දෙවි වරු යන නාමයෙන් හැඳින්වීමෙහිලා ඉතාම සුදුස්සෝ වූහ.

කොපමණ දියුණු තත්වයකට පත් වුවද කාලයේ මිහිදුම් සළුවෙන් වැසී ගිය ඒ ඈත අතීතයෙහි දිනෙක එක් කිසිදු වැදගත් කමක් නොමැති වූ කුඩා ග්රහලොවක ලවණ මිශ්රිත ජලයෙන් සැදි සාගරයක සිදු වූ ස්වකීය සම්භවය ඔවුහු අමතක නොකලෝය. මන්දාකිණි චක්රවාට සිසාරා සැරිසරනා අතර ජීවයේ ගිණි පුළිඟු මතුවී නිවී යන අයුරු දුටු කෙනෙහි ඊට රැකෙන්නට අවශ්ය ප්රාණ වායුව පිඹීමට ඔවුහු කිසි විටෙකත් මැලි නොවුනා සේම ඒ පූර්වජයයින් ලෙස තම කරමත පැවරුනු මඟ හැරිය නොහැකි වගකීමක් ලෙස ද සැලකූහ.

මේ අතර විශ්වයේ එක් නොවැදගත් චක්රවාටයක කෙලවරෙක, නොවැදගත් මධ්යම ප්රමාණයේ සූර්යයකු වටා භ්රමණය වන නීල වර්ණයෙන් බබලන ග්රහ ලොවක් විය.






විශ්වය පුරා පැතිරි ඊට සාකල්යයෙන්ම සර්වසම වූ තවත් ග්රහ ලෝකයෝ අනන්ත සංඛ්යාවෙක් වූහ. එහෙත් මේ නිල්වන් ග්රහලොවෙහි එක් විශේෂත්වයක් විය.එනම් බුද්ධියෙහි මූලාරම්භය වූ විඥාණයෙහි මූලික ප්රාථමික අවස්ථාව සුලඟින් විසිරි අළු අතරින් මතුව දිලෙනා ගිණි පුපුරු මෙන් මෙහි වරින් වර මතුව නැවත නිවී යාමයි.


මතු සම්බන්ධයි........

Saturday, April 14, 2012

115. සුබ නව වසරක් වේවා!!!




අවුරුද්ද කියන්නෙ වසරේ එක් වැදගත් දවසක්.අපි පොඩි කාලෙ ඇත්තටම ඒ දවස, තුන්සිය හැටහතර දවසෙම ජීවන අරගලයෙ යෙදී වෙහෙසෙන මිනිස්සුන්ට, එක දවසකට පොඩි විවේකයක් අරගෙන, කාල බීල තමන්ගෙ නෑ හිත මිතුරන් එක්ක සතුටු වෙන්න වෙන් කරල තිබුණු දවසක්.ඒ වගේම ඒ ජීවන අරගලයෙ යෙදෙද්දි නොවරදවාම ඇතිවෙන පොඩි පොඩි රණ්ඩු සරුවල්, හිත් නොහොඳකං, අමතක කරල ජීවිතේ අලුතින් පටන් ගන්න දවසක්.

හැමදෙයක්ම වෙනස්වෙනව. ජීවිතෙත් එහෙමයි....සියලු සංස්කාර ධර්මයෝ අනිත්යයයි කියල බුදු හාමුදුරුවො කිව්වෙ අන්න ඒ නිසා. ඉතින් අවුරුද්දත් වෙනස් වෙලා. අවුරුද්දෙ පරමාර්ථ සමරන ආකාරය ඒ ඔක්කොම වෙනස් වෙලා. ඒක ස්වාභාවිකයි. එහෙම වෙන්නම ඕන.

ඉතින් මේ වැදගත් දවසෙ එක එක්කෙනා ප්රාර්ථනා කරන්නෙ තමන්ට කැමති කැමති දේවල්. තම තම රුචිකත්වය අනුව.මම ප්රාර්ථනා කරන්නෙ මට හිතෙන විදිහට අද අපිට අත්යාවශ්ය, වැදගත්ම, ඒ වගේම අපිට නැතිම දේ ලැබෙන්ටයි කියල.





මගේ දයාබර මිතුරනි, මිතුරියනි...

රන්දිල් වාසනා සහ රනුලි ද සමඟ, සඳා සහ මම ද ඔබ සැමට සුබ නව වසරක් ප්රාර්ථනා කිරීමට එක් වෙන්නෙමු
.


Tuesday, April 10, 2012

114. කුමරියකට පෙම් කළෙමි.....A Love Story With A Difference



හවස් අතේ පොඩි පොදක් ගිය නිසා ගහකොල උනත් පණගහල ඇවිල්ල. දවල්ට කාල පොඩ්ඩක් ඇලවෙලා උන්නු ගමන් මට නින්ද ගියා නෙව.ආයෙම ඇහැරුනෙ පොද වැස්ස නිසා අපෙ අම්ම ඇවිල්ල කාමරේ ජනේලෙ වහන සද්දෙට........ලී ජනේලෙ වැහුවම කාමරේම අඳුරුයි.ආයෙම ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන උන්න, දන්නෙම නෑ ආපහු නින්ද යන කල්...

ආයෙ ඇහැරෙනකොට හවස පහත් පහුවෙලා. කඩුල්ල ළඟ හෙන්දිරික්ක පඳුරෙ මලුත් එක දෙක ඇහැරෙන්ට පටන්ගෙන.

ළිඳ ළඟට ගිහිල්ල මූණ හෝදගෙන එනකොට අම්ම කහට එකක් හදල.කුස්සියෙ බංකුවෙ ඉඳගෙන ඒකත් බීල මම නැඟිට්ට.

'' අම්මෙ මයෙ අර ලා නිල් පාට අත් කොට කමිසෙ කොහෙද? "

'' අන්න මම හෝදල ඉස්තිරික්ක කරල තිබ්බ. මැද කාමරේ අල්මාරියෙ ඇති, ලොකු පුතා මේ හවස් කරේ කොහෙ යන්ටද?''

අම්මගෙ කටහඬේ තිබ්බෙ උතුරායන ආදරය... මගෙ පපුව මැද්දෑවෙ උණුවට මොනවදෝ හිරවෙනව වගෙ මට දැනුන.

'' පන්සල පැත්තෙ ගිහිල්ල එන්නම් මයෙ අම්මෙ....''

තෙත් වේගෙන ආව දෑස අම්මට පෙනෙයි කියල මම එහෙම කියාගෙනම කුස්සියෙන් පිට උනා.

ගෙදරින් දොරට බහිනකොටම අම්ම ආව සාලෙට...

'' ලොකු පුතේ අනිද්ද සීට්ටු දානෙ..... පොඩි හාමුදුරුවන්ට මතක් කලානම්.....''

මම එහෙම්මම ආපහු හැරිල අම්ම දිහා බලල ඔලුව වැනුව...

'' හරි අම්මෙ මම කියන්නංකො ''

උණ බට කඩුල්ලෙන් පිටවෙල ගුරු පාර දිග දෙණියෙ කුරු කොස් ගහ දිහාට එනකොට වටින් ගොඩින් කලුව පාත්වෙන්ට පටන් ගෙන.

දොරගමු කන්දෙ රූස්ස මී ගස් ගොන්නෙ දවාලට එල්ලිල ඉන්න වවුල්ලු සේනාව පුරුදු විදිහට හතමුණේ කුඹුර උඩින් හුන්නස්ගිරිය පැත්තට පියාඹන්ට පටන්ගෙන තිබ්බ.මට වයස තුනක් හතරක් විතර කාලෙ අපෙ අප්පච්චිත් එක්ක හතමුණේ මහ නියර උඩ ඉඳගෙන වවුල්ලු හවහට ඉගිලෙනව බලාගෙන උන්දැගෙන් රටේ නැති ප්රශ්න අහපු හැටි මතක් වෙලා ආයෙම අර උණුවට උණු ගුලිය වගෙ එක පපුවෙ හිරවෙන්ට වගෙ ආව.

'' කොහෙටද අප්පච්චි එවුං ඔය යන්නෙ? ''

'' කෑම හොයාගෙන නෙව මයෙ පුතේ...''

'' දොරගමු කන්දෙ නැත්ද උන්ට කෑම? ''

'' නෑනෙව, වවුල්ලු ඔක්කොටම එහෙ කෑම නෑ.... ''

'' ඉතිං හැමදාම ආපහු එන්නෙ නැතුව ඇයි එවුං කෑම තියෙන තැන්වල නවතින්නෙ නැත්තෙ? ''

ඒ ප්රශ්නෙට අප්පච්චි දුන්නු උත්තරේ මතක නැති උනත් තමන් දන්න විදිහට බොරු නොකිය, ඒ වගේම ඉවසිල්ලෙන් උත්තර දෙන්න අප්පච්චි බොහොම මහන්සියක් ගත්ත කියලනම් මට හොඳටම මතකයි.

උන්දැ පාතරට. අකුරැස්ස කිට්ටුව..ඒ හරියට කියන්නෙ මලිදුව....මම මෙතෙක් කාලෙකට එකම පාරයි අප්පච්චිහෙ ගමේ ගිහිල්ල තියෙන්නෙ. ඒ මට අවුරුදු පහක් හයක් වගෙ කාලෙදි උන්දැගෙ අම්මගෙ, අපෙ ආතම්මගෙ මල ගමට.

අප්පච්චි ගුන්නෑපානට ඇවිත් තියෙන්නෙ අවුරුදු දහ අටක් විතර කාලෙ.ගුන්නෑපානෙ කඩ මන්ඩියෙ කඩයක් කරල තියනව උන්දැගෙ බාප්පොච්චි කෙනෙක්. කඩේ බඩු කිරන්ට ආපු ගමන තමයි අපෙ අම්මණ්ඩි එක්ක හාදවෙල බින්න බැස්සෙ. ඒ කතාව හරිම අපූරු කතාවක්. රෑ හඳ පායපු දවස්වල පිලේ පැදුරක් දාල ඒ උඩ ඈඳිගෙන උන්දැ ඔය ගමෙන් පිටවෙල කඩේ වැඩට ආපු විස්තරේ, එතනිං ගිහාම මයෙ අම්මව හදි ගැහිච්චි විස්තරේ රහකර කර කියනව මට දැනුත් මේ ඇහෙනව වගෙ.

කුරු කොස් ගහ යට ගල් රැන්දට වෙලා හීන දැක්ක මම එක පාරට ඇහැරුනේ පංසලේ ගංටාවෙ සද්දෙට.පාලොස්වක හෙටනෙව. අද බෝදි පූජාව.මේ වෙලාවෙ පන්සලේ සෙනඟ වැඩියි.

වැලිපාර දිහේ ගිහිල්ල පන්සලේ ප්රධාන දොරටුවෙන් ඇතුළු වෙන්න පුලුවන් උනත් මම දෙණියෙ සියාතු මාමලගෙ ගේ පිටිපස්සෙං ඉම නියරට බැහැල හඳ එළිය උතුරන ලියදි උඩින් පියමං කලේ හදිස්සියක් තිබුනෙ නැති හින්ද.

මේ ඉම නියරෙන් වම් පැත්තේ කමත එපිට කුඹුක් ගහ යට මහ ගල් තලාව. ඒ එක්කම නිල් කැටේට වතුර ගලායන දොළ උඩින් දාපු ඒ දණ්ඩ. මගෙ ජීවිතේ තියනකල් අමතක නොවෙන සැමරුම් රාශියක තෝතැන්න.මට සුසුමක් හෙලුනෙ ඉබේටම.

උණුවට පපුවෙන් මතු වෙලා උගුර දිගේ ඉහලට ආපු ගුලිය එක්ක මේ වෙලාවෙ නම් දෑස් තෙත් වෙන එක මට වළක්වා ගන්න බැරි උනා. දෑස් තදින් පියාගෙන ටික වෙලාවක් හිටියෙ කඳුලු වලක්වා ගන්නම නෙවෙයි. හිත සන්සුන් කර ගන්න.

වෙල මැදින් ගිහිල්ල දෙණියෙ ඇහැටුව ළඟින් පහතට බැස්සම පන්සලේ පිටිපස්සෙ ගේට්ටුව අත දික්කලා වගෙයි. මම එහෙං මෙහෙං සිමෙන්ති කැඩිච්චි පඩි පෙල නැඟල මලුවට ඇතුලු උනා.බෝදිය පැත්තෙ පොඩි හාමුදුරුවො තව කට්ටියක් එක්ක කතා කරකර ඉන්නව දැක්කත් මට ඒ පැත්තට යන්න හිත දුන්නෙ නෑ.සැරින් සැරේ වෙල් එලිය පිසගෙන හමා එන සුලඟේ බෝ පත් සැලුනෙ
ගීතයක තාලෙට.


පහන් පත්තු කරන්ට බෝධි ප්රාකාරෙ හදල තිබ්බ තුන් හුලස් කවුළු වල කවුදෝ දැන්මම පහන් කීපයක් පත්තු කරල. බෝධි පූජාවකට ආපු කෙනෙක් වෙන්ට ඕන.

නිවිල තිබ්බ පහනක් අරගෙන මම ඒකෙ තිරේ දැල්වෙමින් තිබුනු පහනක සිලට ලංකලේ ඒක පත්තු කරන්ට හිතාගෙන. එක පාරට ආපු හුළං පොදක් නිසා මම දෑතින්ම පහන් සිල මුවා කලා. බෝ පත් සිලි සිලි හඬින් හඬවමින් ගලා ආ සුළඟ ඒ වගේම බෝ පත් ආයෙම නිසල කරවමින් නිහඬ උනා.

එක්කම තිර දෙකම එකවර ඇවිලුනේ හාත්පසම කහපාට ආලෝකයක් විහිදුවාගෙන.දැල්වෙන පහන කවුලුවෙ සීරුවෙන් තියල මම පස්සට උනා.

'' ජයේ.......''

මගෙ කණ ළඟම ඇසුණු ඒ කටහඬ ඇසුණේ මගෙ හිතට රහසක් කියනව වගෙ..

'' චුට්ටි මැණිකෙ....''

එහෙම කියාගෙනම මම ඒ දිහාට හැරුණ. කහපාට පහන් සිල මේ වෙලාවෙ ආයෙම දැල්වුනේ මේ මොහොත බලාපොරොත්තුව නොඉවසිල්ලෙන් බලා හිටිය වගේ.

කහපාට පහන් එළිය වැටිල එයාගෙ මුළු මූණම කහපාටින් දිලිසුනා. ඇස් දිලිසුනේ කඳුලු නිසා ද කියල මට හරියටම නිච්චියක් නැති උනත් එහෙම වෙන්න ඕනය කියල මට හිතුන.

'' චුට්ටි මැණිකෙ ''

මම ආයෙම හෙමිහිට කිව්ව හිනාවෙන්න උත්සාහ කරන අතර.

එයා හිනාවෙන්න උත්සාහයක්වත් කලේ නෑ. දිලිසෙන ඇස් දෙකෙන් මට කවමදාවත්ම අමතක නොවෙන ඒ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා එහෙම්මම බලා හිටිය.


*********************************************************

සමාවෙන්න ඕන.....දඩයක්කාරය ලියන ගමන් පොඩි වෙනසකටත් එක්ක තව කතාවක් ලියන්න ඕනය කියල හිතුන. මම කලින් ලිව්ව
ජයේගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාව මතකෙයි?....ඒ කතාවෙම ඈදුතුවක් කියල කියන්නත් ඇහැකි වෙනම කතාවක් කියල කියන්නත් ඇහැකි....කොහොම හරි කමක් නැහැ මේකයි කතාව '' කුමරියකට පෙම් කලෙමි ''

දඩයක්කාරය ලියල ඉවර වෙලා කුමරියකගෙ කතාවෙ ඉතිරි හරිය ලියන්නම් හොඳද?

Thursday, April 5, 2012

113. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....10



අවකාශයෙහි ඉතා සැහැල්ලුවෙන් පාවෙමින් සිටි දඩයක්කාරයා වෙතට එසේම සුළං පොදක් සේ පැමිණියේ දඩයක්කාරයාගේ පියාණන්ය. ආසන්නයටම පැමිණ දඩයක්කාරයාගේ සුරත තදින් ග්රහණය කොටගත් ඔහුගේ සිනාමුසු මුහුණ දඩයක්කාරයාගේ සිතට රැගෙන ආවේ සිත පුරා පැතිරීගිය සතුටකි.

එහෙත් ඒ සමඟම දුටු දසුන යලිත් ඔහු සිත විශ්මයෙන් පුරවාලීය. සිදුවන කිසිදු දේකින් විශ්මය පත් නොවන්නෙමැයි අධිෂ්ඨාන කොට සිටියද සිත යලිදු වරක් විශ්මයපත් වීම වළකා ලීමට ඔහු කිසිසේත්ම සමත් නොවීය.

ඔහුගේ මෑණියෝ රැය පුරා දැල්වී උදෑසන නිවීයන ගිණි මැළයකින් නිකුත් දුම් රොදක් ඈත අවකාශයට පාවී යන්නාසේ පාව අවුත් පියාණන් සහ ඔහුට එකතු වූවාය.

ඇය ඔහුගේ සුරත තම වමතින්ද පියාණන්ගේ වමත ඇගේ සුරතින්ද අල්ලා ගත්තී ඔවුන් දෙදෙන දෙසම බලා සුන්දර සිනහවක් පෑවාය.ඇගේ රුව පෙරදින ගෙපැලේ සයනය මත වැතිර හුන් ඔහුට සුපුරුදු මෑණියන්ගේ රුවට කිසිදු අයුරකින් සමාන නම් නොවීය. සුරූපී සහ තාරුණ්යයේ ජවයෙන් ඔද වැඩී ගිය ඈ යොවුන් වියෙහිදී මෙසේ විනියැයි දඩයක්කාරයා උපකල්පනය කලේය.

දෑතින් තම ස්වාමියාගේ සහ පුත්රයාගේ අත් අල්ලාගත් ඈ ඔවුනද සමඟ පීඨිකාව ඉහල අහසේ උදෑසන හිරු එළියේ දිලෙන හරිත වන් තුරු ලතාදිය ඉහලින් පාව ගියාය.කෙමෙන් කුඩා වී ගිය තුරු ලතාදිය එක්වරම නොපෙනී ගියේ ඔවුහු ඝන අඳුරින් පිරී ගිය අවකාශයකට ඇතුළු වූහ.

දසත පැතිරුණු අඳුර හේතුකොටගෙන ඒ කෙබඳු ස්ථානයක් දැයි දඩයක්කාරයාට පැහැදිලි අදහසක් නොවූ නමුදු ඈත දිස් වන කුඩා ආලෝකයක් කරා තමන් වේගයෙන් ඇදීයන බව ඔහුට ස්වල්ප වේලාවක් ඉකුත් වීමෙන් අනතුරුව පසක් විය.

එවන් දෙයක් පිළිබඳව පූර්ව අත්දැකීමක් කිසිසේත්ම ඔහු සතු නොවූ බැවින් ඒ හා සමාන කල හැකි යමක් පිළිබන්ද ඔහු නොදත් නමුදු ප්රිය සොයුර සොයුරිය ඔබ හොඳින්ම දන්නා යමක් ඇසුරින් ඒ අවස්ථාව පැහැදිලි කිරීමට මට අවසර...

අඳුරු බිම්ගෙයක් තුලින් ඉදිරිය බලා යද්දී ඈත එක් කුඩා ආලෝකයක් දිස්වන අවස්ථාවක් සිහියට නඟා ගනු මැනවි. ඔබ ඔබට වැළැක්විය නොහැකි යම් බලවේගයක් මඟින් වේගයෙන් ඒ ආලෝකය දෙසට ඇදී යන අතර විය යුතු ලෙසම මොහොතින් මොහොත ඒ ආලෝකය විශාලවෙමින් දැල්වේ.

එවන් අවස්ථාවක් අත්විඳ නොමැති බැවින් දඩයක්කාරයා ඒ පිළිබඳව නොදැන සිටියද ඔවුන් මේ ඇදී යමින් සිටියේ සත්ය වශයෙන්ම එවන් බිම්ගෙයක් වන් තැනක් තුලිනි. ඒ අවකාශය සහ කාලය අනුයාත කරන එසේම ඒ අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීම සැදුනු බිම්ගෙයක් වැන්නක් යනු මට ඒ සඳහා ඉදිරිපත් කල හැකි නිවැරදිම නොවතුදු හොඳම නො එසේනම් ඉතාම ගැලපෙන නිර්වචනයයි.

මෙසේ ඇදී යන අතර මව සමඟ ගෙවූ ජීවිතයේ සියළු සිදුවීම් දඩයක්කාරයාගේ දෑස් ඉදිරියේ අතීතාවර්ජන සිතුවම් පටක් වර්ධිත ධාවන වේගයක් සහිතව ( Fast Forward ) නරඹන කලෙක මෙන් ඇඳී ගියේය.සමාවන්න....සිතුවම් පටක් යනු කුමක්දැයි අඳෝ සංසාරයක් හෙතෙම නොදත් බැවින් ඔහු ඒ දෙස විස්මයපත් හදින් යුතුව බලා සිටියා පමණි. ඒ කුමක්දැයි ඔහු කිසිසේත්ම නොදත්තේය.

අතීතාවර්ජනය නිමවීම ද ඔවුහු අවකාශයේ පිවිසෙන විටම දුටු කුඩා ආලෝකය වෙත ළඟා වීමද එකම මොහොතේ සිදුවිය. සත්ය වශයෙන්ම ඒ කුඩා ආලෝකයක් නොව මධ්යයේ පිහිටි එක් ඉතා දීප්තිමත් ආලෝක ගෝලයක් වටා කරකැවෙන දිදුලන මිහිදුමක් වැනි යමක් බව ඊට ආසන්න වූ කල දඩයක්කාරයාට ප්රත්යක්ෂ විය.

දිදුලන ආලෝකය වෙත ලඟාවත්ම කෙමෙන් වේගය අඩුවී ගිය අතර අවසන ආලෝකය ඉතා ආසන්නයෙහිදී ඔවුහු තිදෙන නතර වූහ.

දිදුලන ආලෝකය වෙත ලඟාවත්ම කෙමෙන් වේගය අඩුවී ගිය අතර අවසන ආලෝකය ඉතා ආසන්නයෙහිදී ඔවුහු තිදෙන නතර වූහ.

නිමේශයක් ගත වූ පසු......''පුතා මම යනවා''....ඒ අරුත් දෙන සිතුවිල්ලක් සිතට ඇතුළු වන්නා හාම මෑණියන්ගේ වමත ඔහුගේ සුරතින් ගිලිහී යනු දඩයක්කාරයාට වැටහිණි.

ඒ හා සමඟම ස්වාමියා සහ පුත්රයා යන දෙදෙනාගේම දෑත් වලින් තම දෑත මුදාගත් ඈ කෙමෙන් දිදුලන ආලෝකය වෙත පාව ගියාය. අවසන එතුලට වැද නොපෙනී ගියාය.

ජ්වලනය වෙමින් භ්රමණය වන ආලෝකය දෙස කිසිදු අරමුණක් නොමැති හිස් බැල්මෙන් එහි බලාසිටියෝ එක් පියෙක් සහ පුත්රයෙකි.තත්පර කිහිපයක් ද එසේත් නැතහොත් හෝරා කිහිපයක්ද යයි කිසිදු හැඟීමක් නොවූ කාලාන්තරයකට පසු '' පුතා, අපි යමු ආපහු'' මහ දඩයක්කාරයා පුත්රයා ඇණවීය.

හිස සැලීමෙකින් ඊට එකඟත්වය පල කල දඩයක්කාරයා තම පියාගේ සුරත දැඩිව ග්රහණය කොට ගෙන ආපසු ඒමට පිටත් විය.

කෙමෙන් අඳුරු අවකාශයෙන් මිදීගිය ඔවුහු නැවතත් පීඨිකාව ඉහළ උදෑසන හිරු එළියේ දිදුලන පියවි අහසට එක්වනම පිවිසියෝය.

එතෙකුදු මෑණියන්ගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස බද්ධ පර්යංකයෙන් හිඳ සිටි දඩයක්කාර පුත්රයා සහ පියාගේ දේහයන්ට ඔවුහු පිවිසියේ එක් වරමය.

සෙමෙන් දෑස් විවර කල දඩයක්කාරයා දුටුයේ එතෙකුදු දෑස් පියාගත්වනම තමන් ඉදිරියේ හුන් පියාණන්ය. ඔහු වත දෙස බලා සිටියදීම මහ දඩයක්කාරයා තම විසල් දෙනෙත් විවර කළේය. ගැඹුරු එමෙන්ම දහසක් අදහස් වලින් සපිරි බැල්මක් පුත්රයා වෙත හෙලූ ඔහු තම කටහඬ අවදි කලේය. ඒ සිතුවිලි මාත්රයක් නොව සත්ය වශයෙන්ම දඩයක්කාරයාගේ ප්රකෘති ස්වරයම විය.

'' පුතා. මම දන්නවා පුතාගෙ හිතට මේ ඊයෙ ඉඳල සිද්ද වෙච්ච දේවල් මහ බරපතල ගැටලුවක් වෙලා ඇති. ඒ වගේම මේ කිසිදේක අගක් මුලක් හොයාගන්න බැරුව පුතා මංමුලා වැලක් පෑගිලා කැලේ අතරමං වෙච්ච මනුස්සයෙක් වගෙ තුෂ්නිම්භූත වෙලා ඇති. කලබල වෙන්න එපා. මම පැහැදිලි කරල දෙන්නම් ඔක්කොම. කොහොමත් ඊයෙ වෙච්ච දෙයින් පස්සෙ මම තීරණය කලා පුතාට මේ ඔක්කොම විස්තර කිසිදෙයක් සඟවන්නෙ නැතුව කියන්නම ඕනය කියල ''

මහ වන මධ්යයේ අපූර්ව ශෛලමය මායිම් සළකුණු රාශියකින් සමන්විතවූ වෘත්තාකාර පීඨිකාවෙක එක් ස්ත්රියකගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස හිඳගත් අපූර්ව මිනිසුන් දෙදෙනෙක්. පියෙක් සහ පුතෙක්...

තම ශ්රේෂ්ඨ වූ පරපුර සහ හා බැඳුනු පෞඩ අතීතය පිළිබඳ අනුවේදනීය වෘත්තාන්තය තම එකම පුත්රයා සමඟ පැවසීමට සූදානම් වන පියෙක්.....

ඒ විශ්මයාන්විත අතීත අන්දරය තම පියාණන් ගේ මුවින්ම ශ්රවණය කිරීමට සැරසෙන ඒ පරපුරේ අවසානයා වූ පුතෙක්....

මතු සම්බන්ධයි........

Sunday, April 1, 2012

112. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....9



හාත්පස පැතිර ගිය දුබල සඳ එළියෙන් ඔහු දුටුවේ මධ්යයේ වූ ශ්වේත වර්ණ පාෂාණ වටයකින් මායිම් වූ කවය තුල එහා මෙහා සරන ආලෝක ධාරා සමූහයකි. සත්යය වශයෙන්ම ඒ වඩාත් සමීප වූයේ ආලෝක ධාරාවන්ට නොව ආලෝක ගෝල සමූහයකට බව ඒ දර්ශනය විද්යාමාන වූ ඇසිල්ලක් වූ මොහොතේ දඩයක්කාරයා පසක් කොට ගත්තේය.

ඒ විශ්මයාන්විත දර්ශනය පැවතියේ අසුරු සැණක් පමණෙකි.ඒ නිමේශයෙන් පසු යළිදු එතැන වූයේ දුබල සඳ එළියෙන් නැහැවීගිය මධ්ය පීඨිකාව පමණි.

පීඨිකාව මධ්යයේ වූ ශෛලමය පුවරුවක් මත සීරුවෙන් තම බිරිඳගේ දේහය තැන්පත් කල මහ දඩයක්කාරයා පුත්ර‍යා වෙත පැමිණ සුරත දිගු කළේය. තම අතෙහිවූ යවුල පියාණන් අත පත් කල දඩයක්කාරයා මවගේ දේහය අසලින්ම ඒ ශෛලමය පුවරුවේම අසුන් ගත්තේය.

දෑස තදින් පියාගත්වනම පියවර කිහිපයෙක් එහා මෙහා ගමන් කල මහ දඩයක්කාර තෙමේ පොළවෙහි එක් ස්ථානයක ආයත චතුරශ්රයක් යවුලෙහි තුඩඟින් ම සළකුණු කලේ එතුල භූමිය කණින්නට විය.

මවගේ දේහය අසල අසුන්ගත් දඩයක්කාරයා පියාණන් පොළොව කණිනායුරු නරඹමින් සිතුවිලි සයුරෙක නිමග්න වූයේය.ඔහුට සිතන්නට අවශ්ය පමණට ද වඩා කරුණු තිබිණි. ඊයේ දින; මේ අළුයම් කාලය බැවින් මේ අපූර්ව සිද්ධීන් දාමය ඇරඹුනේ ඊයේ දිනයේදීය; ඊයේ දින සිට මේ දක්වා සිදුවූ විශ්මයාන්විත සිද්ධීන් කිසිසේත් ඔහුට වටහාගත නොහැකි වූවද හේ ඒ පිළිබඳව වැඩි දුරටත් සිත වෙහෙස නොකලේය. බොහෝ ආසන්නයේම ඒ සියළු අභිරහස් සහ විශ්මයාවහ සිද්ධීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තමනට ලැබෙන බවට ඔහුගේ යටිසිතෙහි පැවති බලවත් විශ්වාසය ඊට හේතුවයි.

සති කිහිපයක් තිස්සේ නිතොර වට මහ වැසි හේතුකොටගෙන පොළව මතුපිට පස ලිහිල් වී තිබිය ද ඒ ලිහිල් ස්වභාවය රඳා පැවතියේ මහ දඩයක්කාරයාගේ දඟ යුග අඩක් නොපෙනී යන මට්ටමක් දක්වාම පමණෙකි. ඉන්පසු හුදෙක් කට්ට වූ දැඩි පොළවෙහි යවුල ගැටෙනා සවණ සූරාගෙන ඇසෙන නාදයෙන් පමණක්ම දසත වෙලා ගත් දැඩි නිශ්ශබ්දතාවය බිඳී ගිය යම් කාලසීමාවකට පසු මවගේ දේහය අසල දෑස පියාගත් වනම දැඩි කල්පනාවෙක නිමග්නව හුන් දඩයක්කාරයගේ දෙනෙත් විවර වූයේ එක වරම පීඨිකාව මධ්යයෙන් නැඟ ආ ඒ හඬ එනම් මහ දඩයක්කාරයා පොළොව කණිනා හඬ නතර වූ නිසාවෙනි.

හිස ඔසොවා විවර කල දෑස් එදෙසට යොමු කල ඔහු දුටුවේ කණින ලද වළෙන් ගොඩවී තමා දෙසට සෙමෙන් පියනඟන පියාණන්ය. දෑත් මෙන්ම දෙපය ද කණින ලද පස් තැවරී තිබියද කිසිදු වෙහෙසක ළකුණකුදු ඔහු කෙරෙහි විද්යාමාන නොවීම දඩයක්කාරයාගේ සිතට කිසිදු විශ්මයක් ගෙන නොආවේ මන්දැයි ඔහුම නොදත්තේය.ඒ පිළිබඳව සිත වෙහෙස කරවීමට පොරොත්තු නොවුණු හෙතෙම වහා නැඟීසිටියේ පියාණන් අතින් යවුල ගෙන පීඨිකාව මධ්යයේ වූ අඩක් කණින ලද්දාවූ වල වෙත පැමිණියේ එතුලට බැස කණින්නට වූයේය.

කැණීම අරඹා ක්රමයෙන් කාල වේලාව ගතව ගියද කිසිදු විඩාවෙක් ඔහුට දැණුනේම නැති. පොළව කැණීම අසීරු වූ අතරම වියළී ගිය පසෙන් එක් වරකට බිඳී ගියේ යවුලේ කුඩා තුඩගින් සිදුරු වන්නා වූ පස් බිඳෙක් පමණි. එහෙත් කිසිදු විඩාවක් නොදැනීම, එමෙන්ම සිරුරෙහි දහදිය බිඳකුදු නොනැඟීම ඒ කාර්යය අත්යන්තයෙන්ම පහසු කරවීය.

තවත් දෙවරක් පුත්රයා සහ පියාණන් කැණීමෙහි නියැලීම හුවමාරු කොටගත් පසු කැණීමෙහි ගැඹර ප්රමාණවත් බව තීරණය කල මහ දඩයක්කාරයා වළෙන් ගොඩ වී පැමිණියේ බිරිඳගේ දේහය තැන්පත් කර තිබූ ශෛලමය තලාවෙහි ඇගේ දේහය අසළ දණ බිම ඔබා ඒ දෑතින්ම ඔසවා ගත්තේය.

දේහය ද ඔසොවාගෙන කණින ලද වල අසලට පැමිණි මහ දඩයක්කාරයා සීරුවෙන් එතුලට බැස දේහය එහි තැන්පත් කළේය.

ඉන්පසු වලෙන් ඉවතට පැමිණියේ පුත්රයාගේ දෑස දෙස මොහොතක් බලා හිඳ සෙමෙන් පස් බිඳක් ගෙන දේහය මතට දැම්මේය. ස්වයංක්රීයවම මෙන් ඔහු අනුගමනය කල දඩයක්කාරයා ද පස් ගෙන මවගේ දේහය මතට දමමින් ඒ මිහිදන් කිරීමේ කටයුත්තට දායක විය.

කෙමෙන් කෙමෙන් තම මෑණියන්ගේ සිරුර පස් වලින් වැසී මිහිදන්ව යනු දුටු දඩයක්කාරයාගේ සිත් දැඩි ශෝකයකින් පීඩිත වුවද ඒ බලවත් වෑයමකින් මැඩපවත්වාගත් හෙතෙම අනලස්ව තම කාර්යයෙහි නියුක්ත විය.

ප්රයෝජනයට ගත හුනු කිසිදු මෙවලමෙක් නොවූ හෙයින්ම, කැණීමට ගත වූ කාලයට ආසන්න හෝ සමහරවිට ඊටත් අධික වූ කාලයෙක් පස් සියල්ල දමා වල වසා සිරුර මිහිදන් කිරීමට ගතවූයේය.එහෙත් කිසිදු හදිසියක් නොවුනු හෙයින් පියා සහ පුත්රයා සන්සුන්ව එමෙන්ම ඉතා විධිමත් ලෙස තම කාර්යයේ නියැලුනෝ දසත පැතිරි අඳුර දුරුකොට අළුයම හිරු රැස් දහරාවෝ පීඨිකාව මායිමෙන් ඔබ්බෙහි පිහිටි රූස්ස වනස්පතීන්ගේ අතු ඉති අතරින් පෙරී පැමිණියේ මෙතෙක් ඔවුනට ආලෝකය සැපයූ මන්ද චන්ද්රාලෝකය පලවා හරිමින් පතිත වන හෝරාව වන කල්හි තම ව්යායාමය සමාප්ත කලෝය.

අවසන් පස් බිඳ ද දමා නිමවූ ඉක්බිති පියාණන් ගේ ඇණැවුම අනුව; ඒ වදනින් නොව දූරානුභූතිය අනුවය, මහ දඩයක්කාරයාගේ ඒ අපූර්ව හැකියාව පිළිබඳව ඔබගේ ස්මරණයෙහි රැඳී ඇතිය යන්න මවිසින් මෙහිලා උපකල්පනය කොට ඇති බැව් කාරුණිකව සැළකුව මනාය;ඔහු පසුපස පියවර තබමින් පීඨිකාවෙන් පිටමංවැ තැනින් තැන උදා හිරු එළියේ දිලෙනා තුඟු ගල් කුළු වලින් සුසැඳි භූමි භාගයෙක් පසු කොට ගියේ නිල්වන් දියෙන් සපිරී ගලා හැලෙන්නා වූ දොළ පහරක් වෙතට ළඟා වූවෝය.

සිසිල් දිය පහරේ මනස්කාන්ත වූ දසුනින් සිත් පහන් වූ දඩයක්කාර තෙමේ වහා ඉණ වටක් එහි වැද සිත්සේ ස්නානය කොටැ ගතෙහි තැවරි දුහුවිලි ආදිය සෝධා හැර පිරිසිදු වූයේය.මහ දඩයක්කාරයා ද එසේම පිරිසිදු වූ ඉක්බිති පෙරළා පීඨිකාව වෙතට පැමිණියෝ මෑණියනගේ දේහය මිහිදන් කල වල අබියස ඈ හිස අබියස; මිහිදන් කිරීමෙහිදී ඇගේ හිස නැගෙනහිර දිශාවට පිහිටන පරිදි දේහය තැන්පත් කිරීමට මහ දඩයක්කාරයා වගබලාගත් බව ඔබට පැවසීමට ප්රිය සොහොයුර, සොයුරිය අමතක වීම පිළිබඳව මේ අවස්ථාවේ ඔබෙන් සමාව අයදිමි; දෙපස අසුන් ගත්තෝය.මෙතෙක් ඔහුට සුපුරුදු වූ ඇණ තබා අසුන් ගැනීම වෙනුවට මෙවර දඩයක්කාරයා හිඳ ගත්තේ බද්ධ පර්යංකයෙනි.එසේ කිරීමට කිසිවකුගේ ඇණවීමක් නොමැතිවම ඔහු එසේ ඒ ඉරියව්වට පිළිපන්නේ බොහෝ කලෙක සිට පුරුදු පුහුණු කල කලෙක මෙනි.

එසේ හිඳගත් ඉක්බිති දෑස් පියාගත් වනම නිමේශයක් ගෙවූ දඩයක්කරයාගේ සිතට පිවිසියේ පියාණන්ගේ රුව සහ ඔහුගේ සිතිවිලි මාත්රයකි.

'' පුත, කිසිවකට බිය නොවනු, ඔබ හා සමඟ මම නිබඳව පසුවන බව පමණක් තරයේ සිහි තබා ගනුව. මා විශ්වාස කරනු මැන. මා කෙරෙහි ඔබගේ පූර්ණ විශ්වාසය තැබීම පමණක්මය මම ඔබෙන් බලාපොරොත්තු වනුයේ,''

දඩයක්කාරයා අනුමැතිය පලකළේය. ඒ සිතුවිලි ආධාරයෙන්ම පලකල එකඟතාවයෙකි.

'' අගෙයි, පුත එසේනම් ඔබගේ සිත සියළු සිතුවිළි කෙරෙන් නිදහස් කරගනු මැන. පලමුව ඒ බොහෝ අසීරු කාර්යයක් සේ ඔබට වැටහෙනු ඇත.එහෙත් අදාල ක්රමවේදය පුරුදු පුහුණු කල පසු ඒ කිසිසේත් අසීරු කාර්යයක් නොවන්නේමය. ''

එසේ කරනුයේ කෙළෙසකද යනු කිසිදු අදහසක් නොමැත්තේ වුවද එසේ කිරීමට දඩයක්කාරයා උත්සාහ කලේය.

පලමුව ඔහු පියාණන් උපදෙස් දුන් පරිදි සිත සියලු හැඟුමින් විනිර්මුක්ත කිරීමට තැත් කලේය.ඒ වෑයම සාර්ථක වූයේ ද නැද්ද යනු දඩයක්කාරයා ඇත්තෙන්ම නොදත්තේය. ඉන් පෙර කිසිදු දිනෙක එවන් ක්රියාවක නියැලී නොමැති බැවින් එහි සාර්ථක භාවය පිළිබඳ ඇගයීමක් උදෙසා කිසිදු නිර්ණායකයක් ඔහු දැන නොසිටි නිසාම එසේ නොදැනීම පිළිබඳ ව කිසිසේත් විශ්මයට පත් විය යුතු නොවේ.

එක්වරම ඔහුට හැඟුනේ පීඨිකාව මධ්යයෙහි අසුන්ගෙන සිටි තැනින් ඉකුත්ව අවකාශයේ පාව යන්නාක් මෙන් වූ හැඟුමකි. මේ නුපුරුදු එමෙන්ම අපූර්ව හැඟීමෙන් ත්රස්ත වී ගිය දඩයක්කාරයාගේ සිත නැවත මඳක් හෝ සමනය වූයේ ඒ හා සමඟම සිත විනිවිද ගිය පියාණන්ගේ සිතුවිලි දහරකිනි.

'' සිතේ චකිතය පහකරගන්න පුත, සිත නිදහස් කර ගන්න, සිත පුළුන් රොදක් මෙන් සැහැල්ලුවී පා වීමට ඉඩ දෙන්න ''

පීඨිකාව ඉහල අවකාශයේ දඩයක්කාරයා පාවෙමින් සිටියේය.නෙත් පහලට යොමු කල ඔහු දුටුවේ මෑණියන්ගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස තවමත් අසුන්ගෙන සිටිය ඔහු සහ ඔහුගේ පියාණන්ය.කිසිසේත්ම අදහාගත නොහුණු මේ දර්ශනයෙන් බලවත් සේ විශ්මය පත්ව තුෂ්ණිම්භූත වූ දඩයක්කාර තෙමේ පීඨිකාව ඉහල අවකාශයෙහි පාවෙමින් මේ සිදුවන්නෙහි අගක් මුලක් වටහා ගන්නට උපරිම උත්සාහයක නිරත වෙමින් සිටියේය.

මතු සම්බන්ධයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...