Tuesday, April 10, 2012

114. කුමරියකට පෙම් කළෙමි.....A Love Story With A Difference



හවස් අතේ පොඩි පොදක් ගිය නිසා ගහකොල උනත් පණගහල ඇවිල්ල. දවල්ට කාල පොඩ්ඩක් ඇලවෙලා උන්නු ගමන් මට නින්ද ගියා නෙව.ආයෙම ඇහැරුනෙ පොද වැස්ස නිසා අපෙ අම්ම ඇවිල්ල කාමරේ ජනේලෙ වහන සද්දෙට........ලී ජනේලෙ වැහුවම කාමරේම අඳුරුයි.ආයෙම ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන උන්න, දන්නෙම නෑ ආපහු නින්ද යන කල්...

ආයෙ ඇහැරෙනකොට හවස පහත් පහුවෙලා. කඩුල්ල ළඟ හෙන්දිරික්ක පඳුරෙ මලුත් එක දෙක ඇහැරෙන්ට පටන්ගෙන.

ළිඳ ළඟට ගිහිල්ල මූණ හෝදගෙන එනකොට අම්ම කහට එකක් හදල.කුස්සියෙ බංකුවෙ ඉඳගෙන ඒකත් බීල මම නැඟිට්ට.

'' අම්මෙ මයෙ අර ලා නිල් පාට අත් කොට කමිසෙ කොහෙද? "

'' අන්න මම හෝදල ඉස්තිරික්ක කරල තිබ්බ. මැද කාමරේ අල්මාරියෙ ඇති, ලොකු පුතා මේ හවස් කරේ කොහෙ යන්ටද?''

අම්මගෙ කටහඬේ තිබ්බෙ උතුරායන ආදරය... මගෙ පපුව මැද්දෑවෙ උණුවට මොනවදෝ හිරවෙනව වගෙ මට දැනුන.

'' පන්සල පැත්තෙ ගිහිල්ල එන්නම් මයෙ අම්මෙ....''

තෙත් වේගෙන ආව දෑස අම්මට පෙනෙයි කියල මම එහෙම කියාගෙනම කුස්සියෙන් පිට උනා.

ගෙදරින් දොරට බහිනකොටම අම්ම ආව සාලෙට...

'' ලොකු පුතේ අනිද්ද සීට්ටු දානෙ..... පොඩි හාමුදුරුවන්ට මතක් කලානම්.....''

මම එහෙම්මම ආපහු හැරිල අම්ම දිහා බලල ඔලුව වැනුව...

'' හරි අම්මෙ මම කියන්නංකො ''

උණ බට කඩුල්ලෙන් පිටවෙල ගුරු පාර දිග දෙණියෙ කුරු කොස් ගහ දිහාට එනකොට වටින් ගොඩින් කලුව පාත්වෙන්ට පටන් ගෙන.

දොරගමු කන්දෙ රූස්ස මී ගස් ගොන්නෙ දවාලට එල්ලිල ඉන්න වවුල්ලු සේනාව පුරුදු විදිහට හතමුණේ කුඹුර උඩින් හුන්නස්ගිරිය පැත්තට පියාඹන්ට පටන්ගෙන තිබ්බ.මට වයස තුනක් හතරක් විතර කාලෙ අපෙ අප්පච්චිත් එක්ක හතමුණේ මහ නියර උඩ ඉඳගෙන වවුල්ලු හවහට ඉගිලෙනව බලාගෙන උන්දැගෙන් රටේ නැති ප්රශ්න අහපු හැටි මතක් වෙලා ආයෙම අර උණුවට උණු ගුලිය වගෙ එක පපුවෙ හිරවෙන්ට වගෙ ආව.

'' කොහෙටද අප්පච්චි එවුං ඔය යන්නෙ? ''

'' කෑම හොයාගෙන නෙව මයෙ පුතේ...''

'' දොරගමු කන්දෙ නැත්ද උන්ට කෑම? ''

'' නෑනෙව, වවුල්ලු ඔක්කොටම එහෙ කෑම නෑ.... ''

'' ඉතිං හැමදාම ආපහු එන්නෙ නැතුව ඇයි එවුං කෑම තියෙන තැන්වල නවතින්නෙ නැත්තෙ? ''

ඒ ප්රශ්නෙට අප්පච්චි දුන්නු උත්තරේ මතක නැති උනත් තමන් දන්න විදිහට බොරු නොකිය, ඒ වගේම ඉවසිල්ලෙන් උත්තර දෙන්න අප්පච්චි බොහොම මහන්සියක් ගත්ත කියලනම් මට හොඳටම මතකයි.

උන්දැ පාතරට. අකුරැස්ස කිට්ටුව..ඒ හරියට කියන්නෙ මලිදුව....මම මෙතෙක් කාලෙකට එකම පාරයි අප්පච්චිහෙ ගමේ ගිහිල්ල තියෙන්නෙ. ඒ මට අවුරුදු පහක් හයක් වගෙ කාලෙදි උන්දැගෙ අම්මගෙ, අපෙ ආතම්මගෙ මල ගමට.

අප්පච්චි ගුන්නෑපානට ඇවිත් තියෙන්නෙ අවුරුදු දහ අටක් විතර කාලෙ.ගුන්නෑපානෙ කඩ මන්ඩියෙ කඩයක් කරල තියනව උන්දැගෙ බාප්පොච්චි කෙනෙක්. කඩේ බඩු කිරන්ට ආපු ගමන තමයි අපෙ අම්මණ්ඩි එක්ක හාදවෙල බින්න බැස්සෙ. ඒ කතාව හරිම අපූරු කතාවක්. රෑ හඳ පායපු දවස්වල පිලේ පැදුරක් දාල ඒ උඩ ඈඳිගෙන උන්දැ ඔය ගමෙන් පිටවෙල කඩේ වැඩට ආපු විස්තරේ, එතනිං ගිහාම මයෙ අම්මව හදි ගැහිච්චි විස්තරේ රහකර කර කියනව මට දැනුත් මේ ඇහෙනව වගෙ.

කුරු කොස් ගහ යට ගල් රැන්දට වෙලා හීන දැක්ක මම එක පාරට ඇහැරුනේ පංසලේ ගංටාවෙ සද්දෙට.පාලොස්වක හෙටනෙව. අද බෝදි පූජාව.මේ වෙලාවෙ පන්සලේ සෙනඟ වැඩියි.

වැලිපාර දිහේ ගිහිල්ල පන්සලේ ප්රධාන දොරටුවෙන් ඇතුළු වෙන්න පුලුවන් උනත් මම දෙණියෙ සියාතු මාමලගෙ ගේ පිටිපස්සෙං ඉම නියරට බැහැල හඳ එළිය උතුරන ලියදි උඩින් පියමං කලේ හදිස්සියක් තිබුනෙ නැති හින්ද.

මේ ඉම නියරෙන් වම් පැත්තේ කමත එපිට කුඹුක් ගහ යට මහ ගල් තලාව. ඒ එක්කම නිල් කැටේට වතුර ගලායන දොළ උඩින් දාපු ඒ දණ්ඩ. මගෙ ජීවිතේ තියනකල් අමතක නොවෙන සැමරුම් රාශියක තෝතැන්න.මට සුසුමක් හෙලුනෙ ඉබේටම.

උණුවට පපුවෙන් මතු වෙලා උගුර දිගේ ඉහලට ආපු ගුලිය එක්ක මේ වෙලාවෙ නම් දෑස් තෙත් වෙන එක මට වළක්වා ගන්න බැරි උනා. දෑස් තදින් පියාගෙන ටික වෙලාවක් හිටියෙ කඳුලු වලක්වා ගන්නම නෙවෙයි. හිත සන්සුන් කර ගන්න.

වෙල මැදින් ගිහිල්ල දෙණියෙ ඇහැටුව ළඟින් පහතට බැස්සම පන්සලේ පිටිපස්සෙ ගේට්ටුව අත දික්කලා වගෙයි. මම එහෙං මෙහෙං සිමෙන්ති කැඩිච්චි පඩි පෙල නැඟල මලුවට ඇතුලු උනා.බෝදිය පැත්තෙ පොඩි හාමුදුරුවො තව කට්ටියක් එක්ක කතා කරකර ඉන්නව දැක්කත් මට ඒ පැත්තට යන්න හිත දුන්නෙ නෑ.සැරින් සැරේ වෙල් එලිය පිසගෙන හමා එන සුලඟේ බෝ පත් සැලුනෙ
ගීතයක තාලෙට.


පහන් පත්තු කරන්ට බෝධි ප්රාකාරෙ හදල තිබ්බ තුන් හුලස් කවුළු වල කවුදෝ දැන්මම පහන් කීපයක් පත්තු කරල. බෝධි පූජාවකට ආපු කෙනෙක් වෙන්ට ඕන.

නිවිල තිබ්බ පහනක් අරගෙන මම ඒකෙ තිරේ දැල්වෙමින් තිබුනු පහනක සිලට ලංකලේ ඒක පත්තු කරන්ට හිතාගෙන. එක පාරට ආපු හුළං පොදක් නිසා මම දෑතින්ම පහන් සිල මුවා කලා. බෝ පත් සිලි සිලි හඬින් හඬවමින් ගලා ආ සුළඟ ඒ වගේම බෝ පත් ආයෙම නිසල කරවමින් නිහඬ උනා.

එක්කම තිර දෙකම එකවර ඇවිලුනේ හාත්පසම කහපාට ආලෝකයක් විහිදුවාගෙන.දැල්වෙන පහන කවුලුවෙ සීරුවෙන් තියල මම පස්සට උනා.

'' ජයේ.......''

මගෙ කණ ළඟම ඇසුණු ඒ කටහඬ ඇසුණේ මගෙ හිතට රහසක් කියනව වගෙ..

'' චුට්ටි මැණිකෙ....''

එහෙම කියාගෙනම මම ඒ දිහාට හැරුණ. කහපාට පහන් සිල මේ වෙලාවෙ ආයෙම දැල්වුනේ මේ මොහොත බලාපොරොත්තුව නොඉවසිල්ලෙන් බලා හිටිය වගේ.

කහපාට පහන් එළිය වැටිල එයාගෙ මුළු මූණම කහපාටින් දිලිසුනා. ඇස් දිලිසුනේ කඳුලු නිසා ද කියල මට හරියටම නිච්චියක් නැති උනත් එහෙම වෙන්න ඕනය කියල මට හිතුන.

'' චුට්ටි මැණිකෙ ''

මම ආයෙම හෙමිහිට කිව්ව හිනාවෙන්න උත්සාහ කරන අතර.

එයා හිනාවෙන්න උත්සාහයක්වත් කලේ නෑ. දිලිසෙන ඇස් දෙකෙන් මට කවමදාවත්ම අමතක නොවෙන ඒ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා එහෙම්මම බලා හිටිය.


*********************************************************

සමාවෙන්න ඕන.....දඩයක්කාරය ලියන ගමන් පොඩි වෙනසකටත් එක්ක තව කතාවක් ලියන්න ඕනය කියල හිතුන. මම කලින් ලිව්ව
ජයේගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාව මතකෙයි?....ඒ කතාවෙම ඈදුතුවක් කියල කියන්නත් ඇහැකි වෙනම කතාවක් කියල කියන්නත් ඇහැකි....කොහොම හරි කමක් නැහැ මේකයි කතාව '' කුමරියකට පෙම් කලෙමි ''

දඩයක්කාරය ලියල ඉවර වෙලා කුමරියකගෙ කතාවෙ ඉතිරි හරිය ලියන්නම් හොඳද?

22 comments:

  1. ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංගිලා තිබ්බේ. ලස්සන ආදර කතාව. දැන් ඉතින් කුතුහලය ඇවිස්සුනු හන්දා කතාව ඉක්මනින් ලියන එකයි තියෙන්නේ.:D

    දඩයක්කාරයාගේ කතාව ඉවරවෙන්ට තව කොච්චර කල් යයිද? දඩයක්ක්කාරයාටත් ලම්යි ලැබිලා, එයාගේ බිරිඳ නැතිවෙලා එයත් ඔය විදියටම තමන්ගේ පුතාට එම කතාව කියලා දෙනකල් වගේ කාලයක් යයිද?:)

    ReplyDelete
    Replies
    1. / ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංගිලා තිබ්බේ./

      අම්මප කියාපං බලන්ට.... දැං මෙච්චර කාලයක් තිස්සෙ හිතේ මුල්ලක හිටිය උං දෙන්න... නේද?.........සික්, ඒකත් හිතේ මුල්ලක........

      මේ ඔය හිතේ අහුමුළු වල එක එකා පදිංචි කරගෙන ඉන්න එකනම් ඒ හැටි නුවණට හුරු වැඩක් නෙවෙයි ඇහුණැයි බොට?

      අවුරුද්දකට සැරයක් වත් ඔය ඉන්න එවුං එලවල එහෙම අහුමුළු ඔක්කොම අතු පතු ගාල ඩෙටෝල් ටිකක් කාරිය යහමිං දාල සුද්ද බුද්ද කරල දාපං.... හෙහ්, හෙහ්,

      / ලස්සන ආදර කතාව. දැන් ඉතින් කුතුහලය ඇවිස්සුනු හන්දා කතාව ඉක්මනින් ලියන එකයි තියෙන්නේ.:D /

      එසේමය...පස්සාන් දහසකට බුදු වෙන්ට වලව්වෙ හාංදුන්නේ......ගැත්තාට නියම කර වදාරනු මැන. ඔබතුමියගේ අණ පිලිපැදීමට නිරතුරු ඇප කැපවී සිටින්නෙමි.

      Of course... My lady, at your command 24/7 basis,

      / දඩයක්කාරයාගේ කතාව ඉවරවෙන්ට තව කොච්චර කල් යයිද? දඩයක්ක්කාරයාටත් ලම්යි ලැබිලා, එයාගේ බිරිඳ නැතිවෙලා එයත් ඔය විදියටම තමන්ගේ පුතාට එම කතාව කියලා දෙනකල් වගේ කාලයක් යයිද?:) /

      හෙහ්, හෙහ්, එව්ව කියන්ට බෑ...දන්නවනෙ මයෙ හැටි....කතාව හෙට ඉවර වෙන්ටත් පුලුවන්....ඇසළ නිකිණි දිහාට ඇදෙන්ටත් පුලුවන්...Unpredictable...thats my middle name....heh, heh,

      Delete
  2. අනේ හොඳා! දඩයක්කාරයගෙ කතාව කියවලා මොළේ මඤ්ඤං වෙලා තිබුනෙ.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, උඹ බේරුනයි කියලද හිතේ...හොඳ හුස්මක් එහෙම අරගෙන ලෑස්ති වෙයං ඊලඟ එපිසෝඩ් එකට.....දෙන්නං අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙලා යන්ට..:) :)

      Delete
  3. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ගියා යසිරු....:)

      Delete
  4. //'' ජයේ.......''
    මගෙ කණ ළඟම ඇසුණු ඒ කටහඬ ඇසුණේ මගෙ හිතට රහසක් කියනව වගෙ..
    '' චුට්ටි මැණිකෙ....''//

    පපුව කූං ගෑව බොල........... හෙහ් හෙහ් හෙහ්........ :)

    දඩයක්කාරයට ඉන්ටෝල් එකක් දුන්න එකනං හොඳයි. ඔය ගමේ විස්තරේ කියනකොට මට මතක් උනේ අපේ අම්මලයි ගම. එහෙත් ඔහොම කුඹුරු, වක්කඩවල්, වවුල් ගස් එමටයි

    ReplyDelete
    Replies
    1. / පපුව කූං ගෑව බොල........... හෙහ් හෙහ් හෙහ්........ :) /

      හෙහ්, හෙහ්, මට හිතාගත්තෑකි කූං ගෑවෙ මොකදෑ කියල...:)

      / දඩයක්කාරයට ඉන්ටෝල් එකක් දුන්න එකනං හොඳයි. /

      ඉහත බූරාභිධානගේ ටීකාවට මවිසින් සැපයූ ප්‍රතිචාරය කෙරේ ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.දඩයක්කාරයාගේ පුනරාගමනය පිළිබඳව බලාපොරොත්තුව සිටින මෙන් ඔබටද දන්වා සිටිමි.

      / ඔය ගමේ විස්තරේ කියනකොට මට මතක් උනේ අපේ අම්මලයි ගම. එහෙත් ඔහොම කුඹුරු, වක්කඩවල්, වවුල් ගස් එමටයි /

      අහ්, හක්මන දිහාවෙද කොහෙද නේ බොල ඒ?

      Delete
  5. මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා..
    හරිම ලස්සනයි..ඔන්න කලින් කතාවත් කියවලා ආවා..මේකෙ ලින්කුවක් ඒ කතාවටත් දැම්ම නම්..

    ReplyDelete
    Replies
    1. / මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා.. /

      අපි හැමෝටම තියෙනව එහෙම කාලයක් නේද රූ?...නැවත නැවත ස්මරණය කරමින් රස විඳිය හැකි...:) :)....ස්තූතියි....හොඳේ...

      Delete
  6. ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බලන්න ආපු ෆිල්ම් එක පැත්තක තියලා ට්‍රේලර් එක ගැන හිත හිත ඉන්න වෙලාවලුත් තියෙනවා. ඔන්න දැන් අපිට උනෙත් එහෙම වැඩක් තමයි. දඩයක්කාරයගෙ කතාව ඉක්මණටම ඉවර කරලා දාලා මේක ඉක්මණටම පටන්ගත්තනං හොඳයි වගේ රවි අයියේ. :D

    ජයසේනගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාව අයියා ඉවර කරපු විදිහට වඩා වෙනස් අවසානයක් තමයි මම එදා හිතේ මවාගෙන හිටියෙ, මතකද? මම කමෙන්ට් කළේ ඒ ගැන කියලා. බලමු, මේ ලස්සන කතාව මගේ ඒ හිතේ තිබ්බ විදිහේ එකක් වෙයිද කියලා. ගමේ පරිසරය ලස්සනට හිතේ මැවිලා පේනවා අයියා ලියලා තියෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. / ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බලන්න ආපු ෆිල්ම් එක පැත්තක තියලා ට්‍රේලර් එක ගැන හිත හිත ඉන්න වෙලාවලුත් තියෙනවා. ඔන්න දැන් අපිට උනෙත් එහෙම වැඩක් තමයි. දඩයක්කාරයගෙ කතාව ඉක්මණටම ඉවර කරලා දාලා මේක ඉක්මණටම පටන්ගත්තනං හොඳයි වගේ රවි අයියේ. :D /

      හෙහ්, හෙහ්, උඹලව කුල්මත් කරවල, රොමෝද්ගමනය කරවල එහෙම ගන්ට හිතාන තමයි මම මේ ජයේගෙයි චුට්ටි මැණිකෙගෙයි පලහිලව්ව ආයෙම හමස් පෙට්ටියෙං ඇදල එලියට ගත්තෙ...හෙහ්, හෙහ්, වැඩේ සාර්තකයි කිරිගහට ඇන්න වගෙ....

      / ජයසේනගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාව අයියා ඉවර කරපු විදිහට වඩා වෙනස් අවසානයක් තමයි මම එදා හිතේ මවාගෙන හිටියෙ, මතකද? මම කමෙන්ට් කළේ ඒ ගැන කියලා. බලමු, මේ ලස්සන කතාව මගේ ඒ හිතේ තිබ්බ විදිහේ එකක් වෙයිද කියලා. ගමේ පරිසරය ලස්සනට හිතේ මැවිලා පේනවා අයියා ලියලා තියෙන විදිහට /

      සුඛාවසානයක් නම් නෙවෙයි නඟේ :( :(........Bitter Sweet Ending එකක් කියල කිව්වොත් ඔන්න හරි, වැඩේ නරක ආශ්‍රය තමයි ඒකට හේතුව...අර උඹෙත් යාලුව...ආං ඒකා තමයි..නිකොලොස් ගොයිය ..ඒක එක්ක බෑ නෙව...ඒ යක්සය ලියල තියෙන අපූරු හිතට වදින කතා ඔක්කොම Bitter Endings තියෙන එව්වනෙ...ඔන්න බලාපං...The Note Book, Walk to Remember, Message in a Bottle....

      හෙහ්, හෙහ්, අනික අවසානය වියෝවක් එහෙම නැත්නම් දුකක් වෙන කතා වලට අපේ හිත ඇදිල යනව කියල මම හිතනව සුඛාවසානයක් සහිත කතා වලට වැඩිය. මම දන්නෙ නෑ ඔයා එකඟ වෙයිද කියල ඒත් මම නම් එහෙමයි :(

      මම මේ ලිව්වෙ අපෙ ලොකු අම්මලගෙ ගම ගැන හිතල....පොඩි දවස්වල එහෙ යනව මම ඉස්කෝල නිවාඩුවට....

      Delete
  7. අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ටි මැණිකෙවයි කරළියට ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. / අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ටි මැණිකෙවයි කරළියට ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ /

      ඔන්න ඕකනෙ කියන්නෙ....උඹල ඔහොම්මම නෙව....එහෙම හිතෙන හිතෙන විදිහට පුලුවන්ද බොල මිනිස්සු එලියට ගන්ඩයි ආයෙ පැත්තකින් තියන්ඩයි....උඹල ඒ වගෙ වැඩකොලාට අපිට පුරුදු නෑ ඔව්ව. අපෙ දෙමව්පියො අපිව හදල තියෙන්නෙ බොහ්හොම්ම්ම වැදගත් විදිහට.....අන්න ඒක දැනගං... :) :)

      මෙහෙම කොරමු නඟේ. විජහට දඩයක්කාරයගෙ කතාව ඉවර කොරල බහිමු අරුං දෙන්නගෙ පෙං පලහිලව්වට...හොඳේ?... :) :)

      Delete
  8. මට නම් මේ ට්‍රෙලර් එකේ හිතට වැඩුනු තැන් ගොඩයි.....

    අපෙන් දුරස් වෙච්ච ඒත් තාම අපි විඳින්න කැමති ඒ සොඳුරු පරිසරය, හිතින් වැලඳගන්න පුලුවන් ලියවිල්ලක් බන්
    එල............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... :)

      Delete
  9. අහවල් එකක්යැ රවී අයියෙ සීට්ටු දානෙ කියන්නෙ?මම ඔය ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. මාසෙ ඒ ඒ දවසට ගමේ පවුල් වලට බෙදල දෙනව හීලයි දවල් දානෙයි පන්සලට සපයන්ට.

      දායක සබාවෙදි බොහෝ විට සීට්ටුවක් ඇදල තමයි මේ දින තීරණය කරන්නෙ. ඒ නිසයි සීට්ටු දානෙ කියන්නෙ. සලාක දානෙ, මුර දානෙ කියන්නෙත් ඒකටම තමයි සිතුවම්............

      Delete
  10. චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම්. පරිසර වර්ණනාව නම් නියමය්..ඉස්සර පොඩිකාලේ තාත්තලාගේ ගමේ ගියාම ඔය අත්දැකීම් වින්ද.. මතක් වෙද්දීත් ආසය්..ඔන්න ඔහේ දඩයක්කරයව අර worm hole ද මොකක්ද දිගේ අවකාශේටම ඇරලා මේ කතාව පටන් ගමු අය්යේ..

    ReplyDelete
    Replies
    1. / චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම් /

      ආයෙ මතක් වෙන්ට ජයේට චුට්ටි මැණිකෙවත් චුට්ටි මැණිකෙට ජයේවත් කවදාවත් අමතක උනේ නෑ නෙව මෙකුවියෙ....හෙහ්, හෙහ්,

      '' Do you still remember me? "

      " Remember you?...all these years I was trying my best to forget you ''

      / ඔන්න ඔහේ දඩයක්කරයව අර worm hole ද මොකක්ද දිගේ අවකාශේටම ඇරලා මේ කතාව පටන් ගමු අය්යේ../

      ඉඳපං ඉඳපං එහෙමත් පුළුවන.පවුනෙ බොල ඒ අහිංසකය....:(

      Delete
  11. ලස්සනයි..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , නිරෝෂන්....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...