Monday, December 31, 2012

151. දැවැන්තයකුගේ නික්මයාම …….....He was truly a Giant Metaphorically as well as literally


 ඒ දවස්වල...... ඒ කිව්වෙ අපි පොඩි කාලෙ, ඉංග්‍රීසි භාෂාව උගන්නන්ට පටන් ගත්තෙ තුනේ පංතියෙ ඉඳල. ඉංග්‍රීසි කියවල තේරුම් ගන්ට මගෙ තිබ්බෙ පුදුම ආසාවක්, ඒ වගේම උනන්දුවක්....මොකද කියල හිතන්ට පුළුවනිද ඔයාලට ඒකට ප්‍රධාන හේතුව?..........වෙන මොහොකටවත් නෙවෙයි ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ පලවෙන ක්‍රිකට් තරඟ ගැන විස්තරේ කියවන්ට!!!!.......:) :)

පස්සෙ කාලෙක ඉංගිරිසියෙන් ලියවුනු නවකතා, කෙටි කතා, විචාර, ඉතිහාසය ගැන පොත්, ඔය හැම එකක්ම කියවන්ට බොහොම ඉක්මනින් හැකියාව ලැබුනෙත් බලාගෙන යනකොට ක්‍රිකට් වලට පිං සිද්ද වෙන්ට කියල කියතැහැකි...

හැත්තෑව දශකයෙ මැද හරියෙ....අර ටී.ජී.....අපේ පෙරකදෝරු නෝන මහත්තැං කියන විදිහට අපි ඇවිල්ල හැත්තෑව දශකයෙ යෞවන යෞවනියො නෙව....හෙහ්, හෙහ්, හේ.....ඇත්තටම බලාගෙන යනකොට ඒ කතාවෙ වැරැද්දකුත් නෑ තමයි...

කෑගල්ල.....ඒ දවස්වල බොහොම නිසංසල නිස්කලංක නගරයක්....කෑගල්ල විතරක් නෙවෙයි ඒ කාලෙ හැම නගරයක්ම බොහොම නිස්කලංකයි, නිශ්ශබ්දයි.....යොවුන් විය සහ ළමාවිය අතර අර එහාටත් නැති මෙහාටත් නැති සංක්‍රාන්ති යුගයෙ පසුවුනු අපි ගෙව්වෙ බොහොම ආශ්වාදජනක කාලයක්.....

ඔය කාලෙ මගෙත් මගෙ යාලුවන්ගෙත් එකම ක්‍රීඩාව වෙලා තිබ්බෙ ක්‍රිකට්...අපිට ඒ දවස්වල ඒක පිස්සුවක් වගෙ...ඉස්කෝලෙ පටන්ගන්න ඉස්සරවෙලා.... පීරියඩ් පහක් ගිහාම තිබ්බ ඉන්ටවල් එකේ.... 11. 30 විතර ඉඳල විනාඩි 20 යි .....ඊට පස්සෙ පුළුවන් උනොත් ඉස්කෝලෙ ඇරිල ආයෙම පැය බාගයක් විතර...තණකොල ගහක් නැති වැලි පිට්ටනියෙ අපි කලේ ක්‍රිකට් ගහන එක...පාට පාට රබර් බෝල.......විකට් එක ඇවිල්ල අපි පොත් ගෙනියන සූට්කේස් දෙකක් දිග අතට එක උඩ එක තියල පිටිපස්සෙං මුක්කුවක් ගහල...මුක්කුව බොහොම වෙලාවට පොල්පිති බිඩංගයක්....

ඔය සූට්කේස් දෙක එක උඩ තියල බැලන්ස් කරන්න යනව සෑහෙන වෙලාවක්....ඉතිං එකෙක් Clean Bowled උනොත් එහෙම තමයි සෙල්ලම....ආය හදාපල්ලකො විකට් එක දිව විකාගෙන...ඉන්ටවල් එක විනාඩි විස්සයි, දෙන්නෙක් පිට පිට Bowled උනොත් එහෙම ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්,

ඔය සූට්කේස් විකට් වැඩේ හින්ද දුවද්දී දැවී යාම් නැත්තං Run Out කරන්ට තිබ්බ අවස්තා බොහොමයක් මඟ ඇරුන..... මඟ ඇරුන නෙවෙයි ඇත්තටම අපි හිතා මතාම මඟ ඇරියා. විකට් එක ගාව විකට් කීපර් හිටියෙ නැත්නම් පිතිකරුවා දවාගන්ට කොච්චර හොඳ අවස්තාවක් තිබුනත් අපි ඈත ඉඳල විකට් එකට බෝලෙන් දමා ගහන එක කලේ නෑ. විකට් එක කඩල එකෙක් අවුට් කරල ඊට පස්සෙ විනාඩි දහයක් විතර අර අවුට් වෙච්ච එකාටයි බෝලෙන් දමල ගහපු එකාටයි අම්ම මෝ නැතුව බැණ බැණ විකට් එක ආයෙම හදනවට වඩා අර රන් එක නිරුපද්‍රිතව ගන්න ඉඩ දෙන එක හොඳයි කියලයි අපෙ පිළිගැනීම වෙලා තිබ්බෙ.

ඉස්කෝලෙ ක්‍රිකට් ගැහිල්ල ගැන ඒ..ඊට පස්සෙ ගෙදර ආහම අහල පහල කොල්ලො කුරුට්ටො එක්ක එකතු වෙලා කොහෙ හරි මිදුලක ආයෙම පටන් ගන්නව කිරිකැට් ගැහිල්ල...එහෙම සෙල්ලං කරද්දි අපි එක එක්කෙනා ඒ දවස්වල සුප්‍රකට ක්‍රීඩකයංගෙ නං ආරූඪ කර ගැනීමේ සිරිතකුත් තිබුන...

" අද මම සෝබර්ස් "...ඔන්න එකෙක් කියනව......ගැරී සෝබර්ස් ඒ වෙනකොට ක්‍රීඩා කලේ නැති උනත් අපි අතරෙ නාමාරූඪ කර ගැනීමේදි ඉහල ඉල්ලුමක් තිබුනු ක්‍රීඩකයෙක්.ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ල හිටිය ඒත් අපි අතර ජනප්‍රිය චරිත තමා, ඩොන් බ්‍රැඩ්මන්, ලෙනාඩ් හට්න්, රොහාන් කනායි, බිල් ලෝරි සහ මයිකල් තිසේරා....

" මම වෙස්ලි හෝල්…"කියල ඔන්න පලවෙනි ඕවර් එක ෆාස්ට් බෝලිං....ඊලඟ ඕවර් එකේදි දඟ පන්දු ..එතකොට මම ප්‍රසන්නා..නැත්නම් බේඩි.....:) :)


මම අද බ්‍රැඩ්මන්ය කියල පපුව එහෙම පුම්බගෙන නහයට කෙලින් බලාගෙන බැට් කරන්ඩ ගිහිල්ල පළවෙනි බෝලෙන්ම පොලු ගලෝල යන දවසුත් නැත්තෙමත් නෑ ඔන්න කිව්වම මක් වෙනවද?.....:( :(


අපි එක්ක සෙල්ලම් කරන්ට ඉඳහිටල ආපු අපෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් හිටිය...අවුරුදු තුන හතරක් වැඩිමල් මේ මනුස්සය මාර උසයි. ඒ දවස්වලත් මට හිතෙන්නෙ අඩි පහමාරක් වගෙ වෙන්න ඇති උස....අපිට තිබ්බ බැට් ඔක්කොම වගෙ අපෙ උසට හදාගත්තුවනෙ...මෙයාට ඒ බැට් මදි...තුන් කුදු ගැහිල ඉන්නෙ විකට් එක ගාව. අවුට් කරන එක අපිට කජු කන්න වගෙ. පස්සෙ පස්සෙ මිනිහ අපි එක්ක ක්‍රිකට් ගැහිල්ල අතෑරලම දැම්ම...මට හිතෙන්නෙ එපා වෙලාමද කොහෙද.....හෙහ්, හෙහ්,

අර සෙල්ලං කරද්දි එක එක්කෙනා නං දාගන්නව කියල මම කිව්ව මතකයි නේද?....මේ දීග ජන්තුවට අපි ඉස්තිරවම නමක් වෙන් කරලයි තිබ්බෙ...ටෝනි ග්‍රේග්....ඒ දවස්වල එංගලන්තෙ නායකය....ඒ එක්කම මම හිතන්නෙ ලෝකෙ උසම ක්‍රීඩකයා......අද මේ සටහන ලියන්ට හේතුබූත උනෙත් ටෝනිම තමයි. මේ පහුගිය සෙනසුරාද උදේ ටෝනි මියගියා පිළිකාවකින්....

සතියෙ හත් දවසෙම ක්‍රිකට් ගැහිල්ලට අමතරව තව ඔය පිස්සුවෙ එක අංගයක් තරඟවල විස්තර ප්‍රචාර අහන එක...ඔය පිස්සුව නිසාම ඕස්ට්‍රේලියාවෙ, එංගලන්තෙ සහ වෙස්ට් ඉන්ඩීස් වල වෙලාවත් එක්ක ලංකාවෙ වෙලාවෙ වෙනස ගැන මට හොඳ අවබෝධයක් තිබුන ඒ කාලෙදිම..එහෙම නැතුව බෑනෙ....මම මුලින්ම සජීවී විස්තර ප්‍රචාරයක් ඇහුවෙ 1975 මුල්ම ලෝක ශූරතාවය.....B.B.C. එකෙන් අරගෙන S.L.B.C. එකෙන් විසුරුවා හැරි විකාශනයෙන්......ඊළඟට 1975-76 වෙස්ට් ඉන්ඩිස් සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලිය ....පලවෙනි ටෙස්ට් එක බ්‍රිස්බේන්වල ඒක එච්චර අවුලක් නෑ ලංකාවෙ වෙලාවෙන් උදේ හයට මැච් එක පටන් ගත්තෙ.... සෙකන්ඩ් ටෙස්ට් එක පර්ත්, ඒක පටන් ගන්නෙ උදේ අටට...කිසි අවුලක් නෑ...ඊට පස්සෙ ඔන්න මෙල්බර්න්....එතන ටිකක් වැඩේ කචල්...වෙලාවෙ වෙනස පැය පහමාරක්...ඒ කියන්නෙ පාන්දර පහට නැඟිටින්න වෙනව...

අපේ ඒ දවස්වල තිබ්බෙ පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්..තඩි රෝදයක් කරකවල මීටර් අල්ලන්ට ඕන..ඕකෙ රෝදෙ කරකවද්දි මීටර් අහු උනාට රතු පාටට තිබ්බ ඉන්ඩිකේටර් එක වැඩ කලේ නෑ.ඉතින් මම කරන්නෙ ඕස්ට්‍රේලියාව අහුවෙන තැන පැන්සලකින් පොඩි ඉරක් ගහනව සිරස්ව..ඒ කරල එතන ලියනව කැපිටල් A අකුරක්. B.B.C. අහුවෙන තැන ඔන්න මොකක්ද?...E අකුරක්...

ඔය රේඩියෝව භාරව නිසි බලධාරී විදිහට ස්වයං පත්වීමක් ලබල හිටියෙ අපෙ මාම. අම්මගෙ ළඟම අයියට වැඩුමල් අයියට වැඩුමල් අයිය. මිනිහට ඇල්ලුවෙ නෑ..මේ රේඩියෝ එකේ එක එක දේවල් කුරුටු ගාන එක..ඒත් " මොනවද මේ මේකෙ ලියන්නෙ ? "...කියල සුටු පුටු ගෑව මිසක මට මොකවත් කියන්ට ආවෙ නෑ..:) :)

හරි ඔන්න මෙල්බර්න් වල මැච් එක අහන්ට මම උදේ නැඟිටිනව පහට...අපෙ තිබ්බ ඒ කාලෙ සිදුහත් කුමාරය අභිනිෂ්ක්‍රමනය කරන්ට යන්ට එලාම් එක තිබ්බ ඔරලෝසුව..ඒකම නොවුනත් ඒකෙම එක බැච් එකේ සහෝදරයෙක් අනිවාර්යයෙන්ම.තඩි බටර්ෆ්ලයි නට් එකක් වගෙ එකක් කරකෝල තමයි එලාම් එක තියන්න ඕන...ඊට පස්සෙ සබන් දාල අත හෝදනකල් ඉවසන්ට බෑ අතේ මළකඩ ගඳ....:)

එලාම් එක තියල ඇහැරල මම හෙමීට එනව සාලෙ බුදු පිළිමෙ ගාව පල්ලෙහ මේසෙ උඩ තියන රේඩියෝ එක ලඟට. සාලෙ ලයිට් එක දාගෙන අල්ලනව A.B.C. මෙල්බර්න්.... සද්දෙ හොඳටම අඩු කරල අහනව සජීවී විස්තර ප්‍රචාරය.... මොකද ගෙදර අනික් අය ඔක්කොම ගොරව ගොරව නිදි...මට පිස්සු තිබුනට එයාලටත් පිස්සු නෑනෙ.....ඔය අපෙ ට්‍රාන්සිස්ටර් එකේ තිබ්බ ලෙඩක්...සද්දෙ හිටපු ගමන් අඩු වැඩි වෙනව...ඔන්න මම හෙමීට කණත් ලංකරල අහගෙන ඉද්දි එක පාරට වැඩි වෙනව සද්දෙ.... කණත් බීරි වෙල යනව...

Incomes Lillee from the members end past umpire Bailhache right arm over the wicket to Fredericks, short of length outside the off stump, Fredericks drives on the up….ඔන්න එක පාරටම සද්දෙ වැඩිවෙනව,කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව..හෙහ්, හෙහ්,...... PAST COSIER AT POINT, THE BALL RUNNING…..

'' මොකද පුතා මේ පාන්දර ඇහැරගෙන කරන්නෙ? '' අම්ම එනව ඇහැරල......


'' මේ මැච් එකක් අහනව අම්මෙ…'' මම හෙමීට කියනව....


'' හා, හා,……. ඕකෙ සද්දෙ ටිකක් අඩුකරන්න..අනික් අය නිදිනෙ.. '' අම්ම යනව කුස්සියට

එංගලන්තෙ මැච් ගහනකොට කිසි අවුලක් නෑ...එයාල පැය පහමාරක් පරක්කුයි. මැච් එක පටන් ගන්නෙ හවස හතරට විතර..රෑ එකොලහට වගෙ ඉවරයි...වෙස්ට් ඉන්ඩීස් වල ගහන මැච් අහන එක තමයි පණයන සෙල්ලම...වෙනස පැය නමයහමාරයි...ඒ කියන්නෙ මැච් පටන් ගන්නෙ රෑ අටට විතර....ඉවර වෙන්නෙ පාන්දර තුනට....කොහොමද වැඩේ? ඒත් මට මතකයි ඉන්දියාව ලෝක වාර්තාවක් තියල ලකුණු 406 ක ඉලක්කයක් හඹා ගිහිල්ල දිනුව මැච් එක මම ඇහුව ඔය පාන්දර හීතලේ බෙඩ් ෂීට් එකකුත් පොරවගෙන....:) :)

ඔය විදිහට බොහොම නිසංසලේ ගලාගිය ක්‍රිකට් ක්‍රීඩාව එක පාරටම උඩු යටිකුරු වෙන්නෙ 1977 දි. කෙරී පැකර් නම් ඕස්ට්‍රේලියානු චැනල් 9 රූපවාහිනී ආයතනයෙ හිමිකරුවත් එක්ක එකතුවෙලා ඒ කාර්යයට උර දෙන්නෙ අපෙ කථානායකය...මිස්ටර් ටෝනි ග්‍රෙග්...ඒ කාලෙ එයා එංගලන්ත කණ්ඩායමේ නායකය..මට මතක විදිහට 1977 පෙබරවාරි විතර ලංකාවටත් ආව.දිවා රාත්‍රි විදුලි ආලෝකය මැද තරඟ පැවැත්වීම, නොයෙක් වර්ණ ඇඳුම් භාවිතය, සුදුවන් පන්දුවක් සහ කාලවර්න දර්ශන තිරයක් යොදාගැනීම ..ඒ කෙරී පැකර් සහ ටෝනි ග්‍රෙග් එක්ව සංවිධානය කල World Series Cricket තරඟාවලියෙන් හඳුන්වාදුන් නවතම විශේෂාංග.

අවුරුදු දෙකයි මේ WSC වැඩේ තියෙන්නෙ..1979 කෙරී පැකර් ඒ තරඟාවලිය නවත්වල දානව. කෙරී පැකර් එක්ක ගිවිසුම් අත්සන් කරල WSC තරඟ වලට සහභාගි වෙච්ච අනික් ඔක්කොම ඕස්ට්‍රේලියන්, බටහිර ඉන්දීය සහ එංගලන්ත ක්‍රීඩකයන්ට නැවත නිල වශයෙන් තම මව් බිම වෙනුවෙන් ක්‍රීඩා කරන්ට අවස්ථාව ලැබෙනව...ටෝනිට හැර!!!!!! ඒ තරඟාවලිය සංවිධානය කිරීමේ පාප කර්මය නිසාම ටෝනි ආයෙ කවදාවත් එංගලන්ත කණ්ඩායමේ දොර ඇරෙන්නෙ නෑ..ඔහු චැනල් 9 සේවයේ විස්තර විචාරකයකු විදිහට එදා ඉඳල කටයුතු කරනව...ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි නුවර පදිංචියටත් යනව දරු පවුල එක්කම....

ඇත්තටම ක්‍රීඩයෙක් විදිහට වඩා බහුතරයක් ටෝනිව දන්නෙ රූපවාහිනියෙ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට. ශ්‍රී ලංකාව එක්ක ඔහුගෙ තිබ්බෙ සංසාරගත බැඳීමක්. ඔහුගෙ විස්තර ප්‍රචාරය ඒ විදිහට කරන්ට පුළුවන් ටෝනිටම විතරයි. පිට්ටනියෙ ඉන්න අන්නාසි කාරයො, පපර බෑන්ඩ්ස් ඒ හැම කෙනෙක් ගැනම ඔහුට තිබුන මොනව හරි කියන්ට.ටෝනිට තිබුනු තව ඇබ්බැහියක් ඕවර දෙකක් අතර තරඟය නරඹන කාන්තාවන්ගෙ කුණ්ඩලාභරණ ගැන විස්තර කරන එක.

" Okay, while they change ends down there let’s get some real close shots of what the ladies are wearing on their ears….aah….look at that, that’s really nice……"

ටෝනිගෙ මේ මැච් එකක් වෙලාවෙ වෙන අනම් මනම් පෙන්නන පුරුද්ද නිසා එක පාරක් හරිම අකරතැබ්බකුත් උනාය කියනව..ගාල්ලෙ මැච් එහෙකදි කොටු බැම්ම උඩට වෙලා නොමිලේ මැච් බලන කට්ටිය ගැන විස්තරයක් කරන්ට ටෝනිට ඕන උනා. හරියටම වෙලාවට කැමරාව ෆෝකස් වෙලා තියෙන්නෙ කුඩයක් යට හිටපු කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි. ටෝනිට මදෑ මේක.......උං දෙන්නට කැමරාව අල්ලල දුන්න පොරි හැලෙන්ට ටෝක් එක විනාඩි පහක් විතර...කරුමෙය කියන්නෙ මේ කෙලී ගෙදරට ක්ලාස් යනවයි කියලයි ඇවිත් තියෙන්නෙ. උන්නෙ අම්ම දැකල මේ යෝදිව ටී. වී එකේ.

පස්සෙ කෙල්ලගෙ අයියල කට්ටිය ඇවිල්ල අර කොළුවට නෙලල මදි නොකියන්ට.ඕකෙ හැබෑ බොරු ගැනනම් ගැරන්ටියක් දෙන්ට අමාරුයි..ඕක තිබ්බෙ අර එක පත්තරේක යන්නෙ ****** හැදෙන සඳ කියල තීරුවක්. අන්න ඒකෙ. සීයට අනූවක් ඕකෙ යන්නෙ අතේ රෝල්.ඒ එක්කම තව ආරංචියක් ආව අර නිල් වෙන්ඩ කාපු කොල්ල උගෙ ගැන්සිය එක්ක ඇවිල්ල ගාල්ලෙ ස්ටේඩියම් එක ලඟ දවස් දෙකක්ම රැකල හිටියයි කියල ටෝනිට නෙලන්ඩ. හැබෑ බොරු නම් මන්ද….. ඒත් ඊට පස්සෙ අවුරුදු දෙකක් විතර යනකල් ටෝනි ගොයිය ලංකාව පළාතෙ ආවෙ නෑ නම් තමා...හෙහ්, හෙහ්,

ටෝනි සහ අපි...........මේ අපූරු සම්බන්ධය පටන් ගත්තෙ 1996 ලෝක ශූරතා තරඟාවලියෙදි..ඊට මාස තුනකට දෙකකට කලින් මුරලිගෙ ප්‍රශ්නෙදිත් ටෝනි අපේ පැත්තට හිටිය.....

"I just love the way these little Sri Lankans play," 
 
 
ටෝනි මෙහෙම කිව්වෙ මට මතක විදිහට පලවෙනි ගෲප් මැච් එකේදි..සිම්බාබ්වේ එක්ක…

"I really think they can win this World Cup if they play well."

 
 
 
Quarter Final ආවොත් ඒ ඇතිය කියල හිතාගෙන හිටපු අපටත් යකෝ ටෝනිත් මෙහෙම කියනව නං අපිට බැරි වෙන්ට හේතුවක් නෑනෙ කියල හිතෙන්ට පටන් ගත්තෙ ඔන්න ඊට පස්සෙ...:) :)

රොමේෂ් කළුවිතාරණට Little Kalu…. ඒ වගේම සනත් ජයසූරියට Master Blaster….. ඒ ටෝනි දාපු නම්....අර්ජුනට Captain Cool කියල නම දැම්මෙත් මට මතක විදිහට ඔහුම තමයි...

අවසන එදවස උදාවිය...1996 මාර්තු 17..ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය...

වසර සතලොසකට ආසන්න කාලයක් ගෙවී ගියද තවමත් සිතට නැඟෙන විට නෙත් තෙත් වන ඒ අවසාන මොහොත...අද මේ මොහොතේ වුවද මොහොතකට දෙනෙත් පියාගත් සඳ මට සැනෙකින් ඒ අසිරිමත් මොහොත සිතෙහි ඉතා පැහැදිලිව මවා ගත හැක.

විය යුතු ලෙසම අවසාන ජයග්‍රාහී පියවර....අර්ජුන සහ අරවින්ද.......කඳුලු පිරි නෙතින් දුටු ඔවුන්ගෙ බොඳවී ගිය රූ දසුන්.....එසේම වියයුතු ලෙසම එසඳ විස්තර ප්‍රචාරක අට්ටාලයෙහි සිටියේ ඔහුය...

" These Sri Lankans are giving the Aussies a real hiding,…."

අර්ජුන ෂේන් වෝන්ගේ පන්දුවකට Square Leg හරහා හයේ පහරක් එල්ල කල පසු ඒ ටෝනිගේ හඬ....

"A little fairytale".


ලෝක ශූරතාවය දිනූ පසු ඒ ජයග්‍රහණය ඔහු හැඳින්වූයේ එලෙසය.


"The thing that I like about these guys is that they not only win, but they win in style. It is only a small place, Sri Lanka, and what a moment this is for Sri Lankan people."

 
 
 
Yes, Tony…It was the greatest moment in the history of Sri Lanka…Well, that’s as far as my opinion goes at least……:) :)

So Thanks dear, for being such a great friend of us….and thanks for all the entertainment you provided in your own inimitable style…you are one of a kind…..

RIP & good bye Tony….. to all 6 - 6 " of you !!!!

 

 


Friday, December 28, 2012

150. කුමරියකගේ හාදුව……Waiting For The Kiss Of A Princess


නිල් දිය පිරි විල මත පාවෙමින් තිබූ නෙළුම් පතක් මතට වී හිඳ ඔහු ඇය දෙස බලා සිටියේ‍ය. තම විසල් දෑස නොපියා බලා සිටියේය. 

ඇය සෑම සවසකම විල් ඉවුර වෙත පැමිණියාය.බොහෝවිට පොතක් අතේ ඇතිවය. විල අසබඩ අහස උසට නැඟීගිය විසල් කුඹුක් ගස සෙවණේ හිඳගත් ඇය වරෙක මඳ සිනා නඟමින් වරෙක මුහුණ අඳුරු කර ගනිමින් පොත කියවූවාය. ඔහු ඈ දෙස බලා සිටියේය. නෙළුම් පත මත හිඳ ඇසිපිය නොහෙලා බලා සිටියේය. සමහර විටෙක ඇය පොත උකුල මත තබා විල් දිය දෙස බලා සිටියාය.ඔහුගේ නෙත ඇය නෙතට හමුවූ විට ඇය සිණාසුනාය. ඒ සොඳුරු සිනහව ඔහු සිත ඈ කෙරෙහි මහත් සෙනෙහසකින් පුරවාලීමට සමත් විය. 

" එයා මට ආදරෙයි. මා එක්ක හිනා වෙන්නෙ ඒකනෙ……"

 ඔහු සිතුවේය. 

සමහර දිනක ඇය පොත පසෙක තබා සිහින් හඬින් මියුරු ගීයක් ගැයුවාය. ඔහුද ඇගේ ගීතයට අත්වැල් ගායනයෙන් එකතු විය. ගීතය නවත්වා විසල් වූ දෑසින් ඔහු දෙස මොහොතක් බලා සිටි ඇය හඬ නඟා සිනාසුනාය. ඔහුද ඈ සමඟ සිනහ වූයේය. 

" එයා හිනා වෙනකොට හරිම ලස්සනයි....හිනා නොවෙනකොට ලස්සන නෑ කියල එහෙම නෙවෙයි මම කියන්නෙ...කොහොමත් ලස්සනයි...ඒත් හිනාවෙනකොට තවත් ලස්සනයි….." 

ඔහු තමාටම කියා ගත්තේ සිත ආදරයෙන් පිරී යද්දීය. 

කුමරියකගේ එකම සිප ගැන්මක් නිසා කුමරකු බවට පත්වූ සිය මුතුන් මිත්තකු පිළිබඳව කුඩා කල තම මිත්තණිය පැසසූ කථාව කිසිදිනෙක ඔහුගේ මතකයෙන් ගිලිහී ගියේ නැත. තමා ද එවන් කථාවක කථා නායකයා බවට එදවස සිටම ඔහු තුල බලවත් විශ්වාසයක් විය. 

මාසයකට පමණ ඉහතදී ඔහු කෙරේ තම සෙනෙහස ප්‍රකාශ කල ඔහුගේම නෑනන්ඩිය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට ද ඔහුට සිදුවූයේ එහෙයිනි. 

" මා එක්ක තරහ වෙන්න එපා. මම කුමාරයෙක්. කුමාරියක් ඇවිල්ල හාද්දක් දුන්නම මම කුමාරයෙක් වෙනව. ඒක මට සහතිකයි. "

ඔහු ඉවත බලාගෙන පැහැදිලි කළේය. 

" එතකොට ඔයා ඉන්නෙ ඒ සුරංගනා කතාවෙ වගෙ කුමාරියක් එනකල්ද? …" 

අවඥාවෙන් ඇගේ කට ඇදවී තිබෙනු දුටුවද ඔහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළේය. 

" ඒක සුරංගනා කතාවක් නෙවෙයි.සුරංගනා කතාවල ඉන්නෙ සුරංගනාවියො...ඒ කතාවෙ ඉන්නෙ මමයි කුමාරියෙකුයි. " 

ඔහු ඉවසිලිවන්තව පැහැදිලි කළේය. 

ඔහු බලා සිටියේ කුමරියක එන තුරුය. ඇය ඒ කුමරිය බවට ඔහු තුල කිසිම සැකයක් නොවීය. 

ඇය තමා සිපගෙන කුමරකු බවට පත් කරවීමට ඇත්තේ කාළය පිළිබඳ ගැටළුවක් පමණි. ඔහු එසේ සිතුවේය. 

හදිසියේම ඇය දින කිහිපයක් විල්තෙර වෙත නොපැමිණියාය. ඇය එන තුරු ඔහු දෑස් දල්වා බලාසිටියේ මහත් නොඉවසිල්ලෙනි. 

අවසන ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය.නෙළුම් පත මත හිඳ තවත් දෑස් දල්වා බලා සිටිය නොහැක. එක පිම්මකින් ඔහු විල් ඉවුරට ගොඩ විය. ඔහුගේ ඊලඟ පිම්ම ඇය විල්තෙර වෙත සැපත් වන පෙත් මඟ වෙතය. 

කැපූ ගල් අතුරන ලද පෙත් මඟ දිගේ ඔහු පිම්ම ගසමින් පැන්නේ බලවත් නොඉවසිල්ලෙනි. 

පෙත් මඟ අවසන් වූයේ උළු සෙවිලි කල මධ්‍යම ප්‍රමාණයේ නිවසක පසුපස ද්වාරයෙනි.එහි මොහොතක් රැඳුනු ඔහු නිවෙස වටා පනිමින් ගියේ ඇගේ හෝඩුවාවක් හෝ සොයමිනි.විවෘතව තිබුනු කවුලුවක එළිපත්ත මතට ඔහු ගොඩ වූයේ එකම පිම්මකිනි.ඔහු සිත ආහ්ලාදයෙන් පිරී ඉතිරී ගියේය. ඇය... ඔව.... ඔහුගේ කුමරිය කවුළුව අසලම වූ මේසය මත හිස නවාගත්වනම යමක් ලියමින් හුන්නීය. 

අඩක් විවරවූ මුවින් යුතුව ඔහු ඇය දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය. කුමක් හෝ වේවා තමා ලියමින් සිටි සටහන වෙත දැඩි අවධානයෙන් සිටි ඈ ඔහු නොදුටුවාය. රත් පැහැගත් පිරුණු යටි තොල සපාගනිමින් නලළ රැලි කර ගනිමින් ඇය නොකඩවා ලිව්වාය. ඔහු සෙනෙහස පිරුණු දෑසින් ඈ දෙස බලා සිටියේය. 

තමන් දෙස කිසිවකු බලාසිටින කල ඒ සවනේන්ද්‍රියකින් මෙන් අප බොහෝ දෙනෙකුට දැනේ. ඇයට ද එසේ දැනුනු බවට සැක නැත. ලිවීම නතර කොට මොහොතක් හිස පහත්කොටගෙනම හුන් ඇය සෙමෙන් හිස එසවූවාය.ඇගේ දෑසට ඔහු දෑස හමු විය. ඔහු ඈ දෙස බලා සිනාසුනේ හද පිරි සතුටිනි. මොහොතක් ඔහු දෙස බලාසිටි ඇගේ දෙනෙත් විසල් විය. ඉනික්බිති ඇය සිනාසුනාය. මද සිනහවකින් ඇරඹි ඒ හඬ නඟා සිනාසීමක් බවට පත් වීමට ගතවූයේ නිමේශයකි. 

ඇගේ සිනහ හඬ එක වරම මැකීගියේ ඒ ආරම්භ වුවා මෙන්ම ක්ෂණිකවය. ඊට මොහොතකට පෙර ඇගේ දෙබැම මෙන්ම නලළද රැලි ගැසුණු බව සේම දෑසට කල්පනාකාරී පෙනුමක් ආරූඪ වූ බවද ඔහු නොදුටුවේ ඔහු සිත ඈ පිළිබඳ ආශ්වාදජනක සිතිවිලි රැසකින් පිරී ඉතිරී තිබූ නිසාමය. 

වහා නැඟිට සිටි ඇය, හිඳ සිටි පුටුව පසුපසට ඇද මේසය වටා ගොස් ඔහු වෙත ආවාය. ජනේලයේ එළිපත්ත මත හිඳසිටි ඔහු ආසන්නයටම පැමිණි ඇය තම සුරත ඔහු වෙත දිගු කළාය. අධික ප්‍රහර්ෂයෙන් හදවත පුපුරා යන්නට ආසන්නවූ ඔහු හැකි පමණ පසුපස පාදයන්ට බර දී සිරුර එසවූයේ හැකි පමණ විගසින් ඇගේ සුරත මතට පැනීමටය. 

එක් වරම දිගුකල සුරත ආපසු පසුපසට ගත් ඇගේ දෙනෙතෙහි පල වූයේ බියකට ආසන්න හැඟීමකි. තමාට බිය වීමට කිසිදු කරුණක් නොමැතිබව මෙන්ම තමන් ඇයට ප්‍රේම කරන බව පැවසීමට ඔහු උත්සාහ කලේය. එහෙත් තවත් වරක් ඔහු දෙස ඉක්මන් බැල්මක් හෙලා කාමරයේ දොරටුව අසල වූ අල්මාරියක් වෙත යුහුව ගිය ඈ එහි වූ ලාච්චුවක් විවෘත කොට ඉන් සුදු පැහැති අත් වැසුම් යුවලක් පිටතට ගත්තීය. 

අත්වැසුම් පැළඳගත් ඕ මේසය යටට එබී කාඩ්බෝඩ් පෙට්ටියක ද ගෙන - බොහෝ විට ඒ පැරණි පාවහන් පෙට්ටියක් විය හැක - නැවත ඔහු වෙත සීරුවෙන් ලඟා වූවාය. 

සුදු අත්වැසුමින් ආවරණිත සුරත මෙවර ඇය ඔහු වෙතට දිගුකලේ යම් චකිතයකින් මෙනි. ඒ සුරත තමා වෙත ලඟා වනතෙක් නොසිටි ඔහු වහා කරණමක් ගසා නොවරදින ලෙස ඇගේ අත්ල මතට පැන්නේය. වෙනත් සාමාන්‍ය යුවතියක මෙවන් අවස්ථාවක බියෙන් ත්‍රස්තව කෑගසා ඔහු බිමට හෙලා පසුපසට පනිනු නියතය. එහෙත් ඇය විසල් වූ දෑසින් තම සුරත මත හිඳිනා ඔහු දෙස එක එල්ලේ බලා සිටියා විනා එවන් කිසිදු වෙනත් ප්‍රතික්‍රියාවක් නොදැක්වූවාය. 

මේසය මතවූ කාඩ්බෝඩ් පෙට්ටියට වමතට ගත් ඈ ඔහු සෙමින් එතුල තැබුවාය. ඇගේ සුරතින් කාඩ්බෝඩ් පෙට්ටිය තුලට යෑමට සිදුවීම ඔහු සිතට යම් තැවුලක් ගෙන දුන්න ද ඔහු ඒ හැඟීම එකෙනෙහිම ඉවත හලේය. 

" එයා ලෑස්ති මාව හැමදාම එයා ලඟම තියාගන්ට...එයාත් මට ආදරෙයි කියල ස්ථිර වෙන්ට ආය වෙන මොනවද ඕන සාක්කි.."

 ඔහු එලෙස සිතුවේ සිත සතුටින් පිරී යද්දීය. 

" එයා මට ආදරෙයි!... එයා මට ආදරෙයි!!... එයා මට ආදරෙයි!!! ………"

 ඔහු හැකි පමණ වෙර යොදා හඬ තැලුවේය. 

වික්ෂිප්ත වූ ඇය වහා කාඩ්බෝඩ් පෙට්ටියේ පියන්පත වසා දැමුවාය. 

ඝන අඳුරේ තනිවූ නමුදු අඳුර හොඳින් හුරු ඔහුට ඒ ගැටළුවක් නොවීය.ඇය පියන්පත විවරකොට තමා ඉවතටගෙන හාදුවක් දී කුමාරයකු බවට පත්කරන තෙක් ඔහු ඉවසිල්ලේ පොරොත්තු විය. 

කාලය කොපමණ ගත වීදැයි ඔහු නොදත්තේය.ඒ හෝරා අඩක්, හෝරාවක්, හෝරා දෙකක, වරුවක් හෝ දවසක් විය හැක.ඔහුට ඒ පිළිබඳව කිසිදු හැඟීමක් නොවීය. මහත් වූ සොඳුරු බලාපොරොත්තු රැසකින් ඔහුගේ සිත පිරී ඉතිරී යමින් තිබිණ. 

අවසන පෙට්ටියේ පියන ඉවත් විය.ඇය පලමුව පෙට්ටියට එබී බැළුවාය.අනතුරුව සුදු පැහැ අත් වැසුමක් පැළඳි සුරත පෙට්ටියට බහා ඔහු සීරුවෙන් පිටතට ගත්තාය.ඇගේ සුරතේ පහස විඳිමින් ඔහු මොහොතකට දෙනෙත් පියා ගත්තේය. 

ඇය මේ සැරසෙන්නේ හාදුවක් දී තමා කුමාරයකු බවට පත් කිරීමට බවට ඔහුට කිසිදු සැකයක් නොවීය. 


" එයා මට හාදුව දෙනකල් මම ඇස් පියාගෙනම ඉන්නව..එහෙමද හොඳ? නැත්නම් ඒ වෙලාවට ඇස් ඇරල එයාගෙ ඇස් දිහාවෙ බලා ඉන්න එකද?..." 

ඔහු දෑස් පියාගෙනම සිතුවේය. 

ඒ සමඟම පෙණහළු පුරවා දැනුනු කටුක ගන්ධයක් ඔහුගේ දෑස් ක්ෂණිකව විවර කලේ නිරුත්සාහකවය. ක්‍රමයෙන් සිරුර අකර්මණ්‍යව යනු හා සමඟම ඇය තමා උඩු බැලි අතට මේසය මත තිබූ ලී පුවරුවක දෑත සහ දෙපය විනිවිද යනසේ තියුණු තුඩගින් යුතු කුඩා ඇණ යොදා සවි කරනු ඔහුට දැනුණි. 

මිහිදුමක් ගලාවිත් දසත අඳුරුවන්නට වූයේ ද ඒ සමඟමය. විශේෂයෙන් වර්ෂා සමයේ උදෑසන හිරු එළිය පතිතව පළවා හැරීමට ප්‍රථම විල් තෙර ජල තලය වසා පැතිර පවත්නා මිහිදුම ඔහුට ක්‍රමයෙන් මැකී යන රූ දසුන් අතරින් සිහිවූයේය. 

පූර්ණ ගණඳුර ගලාවිත් ඔහු වසාගන්නට පෙර කෙමෙන් පියවී යන ඔහු දෙනෙතට අවසන් වරට දිස්වූයේ ඔහුට බොහෝ ආසන්නව දෑස් විදහා ඔහු දෙස බලා සිටිනා ඇගේ රුවයි. ඇගේ සුරතෙහි වූයේ සුදු පැහැයෙන් දිලිසෙන තියුණු මුවහතකින් යුතු කුඩා සැතකි. 

At last I met my dream princess, who was to kiss me and make me a prince. She was interested in me as much as I was in her, the only problem was she was more interested in my heart, to be precise how it works and whats more she wanted to find it out for herself.....( Waiting for The Kiss of A Princess ) 


************************************************** 

 සිත්තමී නඟා ලියාපු නෙළුම් කොලේ උඩ ගහපු ගිවිසුම වියුණු සටහනට ටීකාවක් හැටියටයි මේ කතාව පටන් ගත්තෙ ...ඒත් දන්නවනෙ ලියාගෙන යනකොට…. ලියාගෙන යනකොට...හෙහ්, හෙහ් 


Monday, December 24, 2012

149. මහා ගාන්ධර්වයකුගේ සමුගැන්ම.......Departure of a Legendary Virtuoso

ලෝකය තනි යායක් කියලනෙ දැන් කියන්නෙ...එතකොට ආය කියනව විශ්ව ගම්මානය කියලත්..ගමක සිද්ද වෙන දෙයක් වරුවක් යන්ට ඉස්සර ගමේ හැමෝම දැන ගන්නව වගේ රූපවාහිනී, ගුවන් විදුලිය...ඊටත් වඩා විශේෂයෙන්ම අන්තර් ජාලය නිසා ලෝකෙ වෙන ඕනම සිද්ධියක් අසුරු සැණෙන් අපේ දෙසවනට සහ දෙනයනට ළඟා වෙනව...
ඒත් සමහරවිට අපිට ඉතාම වැදගත් වන සිදුවීමක් අපි දැනගන්නෙ සෑහෙන දවසක් ගත උනාට පස්සෙ...සමහරවිට අද සෑම තත්පරයක් පාසා මාධ්‍යයන්ට එකතුවෙන තොරතුරු සාරාසංඛ්‍ය අසංඛ්‍ය සංඛ්‍යාව අතරෙ මේ සිදුවීම ඉතාම නොවැදගත් නිසා වෙන්න පුළුවන්. තෙරක් නොපෙනෙන මහ සයුරෙ පාවෙන පිදුරු කැබැල්ලක්...නැත්නම් තරු අපරිමිත සංඛ්‍යාවක් දිදුලන අහස් වියන යට පියා සලන එක් කදෝපැණියෙක්.

මෙහෙම මේ සටහන අරඹන්න හිතුනෙ මම බොහොම ආදරය කල පුද්ගලයෙක් මෙලොවින් සමුගෙන අදට දින දහතුනක්ම ගතවෙලා..ඒත් මම මේ සිද්ධිය දැන ගත්තෙ ඊයෙ. ඒත් දිවා ආහාර විවේකයෙදි පත්තරේ කියවනකොට අහම්බෙන්....සමහරවිට මේ දවස්වල ලෝකෙ පුරාම හැමෝගෙම අවධානය යොමුවූ අමරිකාවෙ වෙඩි තැබීම, ලෝක විනාශය අතරෙ මේ එතරම් වැදගත් නොවුනු ප්‍රවෘත්තියක් වෙන්න ඇති.

ඔහු රවි ශංකර්.... ලොව පසිඳු ඒ අපූර්ව ගාන්ධර්වයා..අග්‍ර ගණ්‍ය සිතාර් වාදකයා...පෙරදිග සහ අවරදිග මියැසීන් මුසු කොට සංගීතය විශ්ව භාෂාවක් බවට පත් කිරීමේ පුරෝගාමියා...





1982 වසර.....වසර තුනකට පෙර ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වාදුන් නමුත් දීප ව්‍යාප්ත විකාශය ඇරඹුනේ ඒ වසරෙ.......ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සජීවී විකාශයෙන් බිහිවූ රූපවාහිනී ළදරුවා...ඒ මුල් යුගයේ දෑස් දල්වා රූපවාහිනිය ඉදිරිපිට අනිමිසලෝචනයෙන් සෙල් මුවා පිළිම මෙන් හිඳවුන් අප ඉදිරියේ දිගහැරුනු මනස්කාන්ත වැඩ සටහන් කීපයක් විය. Blake's 7 , Big Valley, Six Million Dollar Man, Bionic Woman, Lone Ranger, Who pays the Ferryman ඒ අතරින් නිතැනින්ම මතකයට ඒ. ටයි මහත්තයාගේ හඬ කැවීම් ඒකකය වැඩ අරඹා නොතිබුනු එදවස අමරිකානු නුපුරුදු උච්චාරණය තෝරා බේරා ගැනීම මහත් අපහසුවක් වුවද කථාව රස විඳීමට ඒ කිසිසේත්ම බාධාවක් නොවිණි.

ඒ අතර එකම සංගීතමය වැඩ සටහන වූයේ මසකට වරක් විකාශය වූ නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගයයි...එහි වරක් විකාශය වූ මරියසල් ගායනා කල එදවස සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ Ottawan ගේ Hands up, baby hands up.... give me your heart, give me give me your heart .....ගීතය අදටත් මගේ මතකයේ රැඳී ඇත.

ඉරිදා රාත්‍රියෙහි ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයෙන් පසුව සව සංගීත නමින් බටහිර සංගීත වැඩ සටහනක් ද ප්‍රචාරය විය.මේ සව සංගිත යන නමෙහි අර්ථය එකල මට මහත් ප්‍රහේලිකාවක් විය. පසු කලෙක කුමන හෝ පත්‍රයක පලවූ ලිපියක මා කියවූයේ සව සංගීත යනු Evening music යන ඉංගිරිසි දෙවදන සිංහලට පෙරලා නිර්මාණය කරගත්තක් බවය. සවස සංගීත යන්න Too common බැවින් ඔවුන් එය සව සංගීත යනුවෙන් යෙදූ බව එහි පළවී තිබිණි!!!

එක් ඉරු දිනක රාත්‍රි ආහාරයෙන් පසු මම සයනයෙහි දිගාවී සිටියෙමි.සවසංගීත වැඩ සටහන මට කිසිසේත් ප්‍රියමනාප නොවූ නමුදු මපියාණෝ ඒ ඉතා උනන්දුවෙන් නැරඹූහ.එක් වනම සුපුරුදු සවසංගීත තේමා වාදනය වෙනුවට දෙසවන් සනහාලන ගැඹුරු සංගීත නාදයක් පසුතලය කොටගත් ලයාන්විත ස්ත්‍රී හඬක් ආලින්දයේ සිට නැඟී ආයේය.


'' He was the dazzling exponent of that mysterious eastern art, the Indian classical music, the god given gift to mankind..... at his fingertips the Sitar came to life…its haunting melodies reverberating through the minds of countless human beings, chasing away sorrows of hopelessness , grief of countless tragedies & filling every nook and corner of human mind with the elixir of wonder & hope, resonating with the wonder & sheer beauty of this god given art........... ''

සෙමෙන් සයනයෙන් නැඟී සිටි මම ආලින්දයට ගොස් රූපවාහිනිය ඉදිරිපිට අසුන් ගතිමි.ඒ මම ඒ අපූර්ව පුද්ගලයා දුටු මුල්වරයි. රවි ශංකර්...අපේ කළු සුදු අඟල් විස්සේ රූපවාහිනිය ඉදිරියේ දැහැන් ගතවූ මම ඉන් මිදුනේ පුරා හෝරාවකට පසුවය.

රවි ශංකර් සිතාරයෙන් සහ යෙහුඩි මෙනුහින් වයලීනයෙන් සවනට නොව හදවතට ආමන්ත්‍රණය කල එවන් එක් හෝරාවක දැහැන් ගතවීම් අවම වශයෙන් දෙකක් හෝ ඊට අනුයාත සති අන්තයන්හි ද ප්‍රචාරය වූවා මගේ මතකයේ රැඳී ඇත.සිතාරයකට අවම වශයෙන් අත තබා හෝ නොමැති වුවද පාසල් සමයේ සහෘදයකුගේ සිතාර් වාදනය අසා ( ඔහු අද දිවයිනේ දක්ෂතම සිතාර් වාදකයෙකි ) ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කොට මම ශාස්ත්‍රීය සිතාර් වාදනයක් රස විඳිය හැකි තරමට මගේ රසඥතාවය වර්ධනය කොටගෙන සිටියෙමි.එබැවින් East Meets West යනුවෙන් හැඳින්වුනු ඒ අපූර්ව ප්‍රසංගය මසිත හුදු වදනින් විස්තර කල නොහැකි චමත්කාරයකින් මෙන්ම ආහ්ලාදයකින් ද පුරවාලීය.

ඒ ප්‍රසංගය විකාශය වූ සති දෙක හෝ තුනට පසු රවි ශංකර් හෝ ඔහුගේ සිතාර් වාදනය පිළිබඳව වැඩි දුරටත් කරුණු සෙවීමට මඟක් නොවූ හෙයින් වියයුතු ලෙසම ඒ මගේ සිතින් ගිලිහී ගියේය. මේ මා විස්තර කරනුයේ දශක තුනකට ආසන්න කාලයකට පෙර යුගය බව ඔබට නැවත සිහි කැඳවමි. අන්තර් ජාලය පිළිබඳව අසා හෝ නොතිබුණු U.S.B. හෝ C.D. යනු ඉංගිරිසි හෝඩියේ තවත් අකුරු පහක් පමණක් වූ යුගයක රවි ශංකර් පිළිබඳ වැඩිමනත් තොරතුරු සෙවීම උගහට වීම විශ්මයට කාරණයක් නම් නොවේමය.

වසර කිහිපයක් ගත විය. උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ රාජ්‍ය ව්‍යාපෘතියක රැකියාවක් ලැබ මම නිවසින් පිටවීමි.මහ වන මැද නේවාසිකව ගෙවුනු තනිකඩ ජීවිතයට ඉසුඹුවක් වූයේ හිරු අස්තගතවන හෝරාවෙහි සද්ධි විහාරික සමරුචි සහෘදයන් හා එක්ව සතුටු සාමීචියෙහි යෙදීම පමනකි. ඊට උත්ප්‍රේරක වශයෙන් බොහෝවිට මත්පැන් ද යොදා ගැණිනි.මා හා එකම නිල නිවාසයෙහි විසූ එකෙක් ශාස්ත්‍රීය සංගීතය යම් තරමක් දුරට හැදෑරුවෙක් විය.සිතාරය වාදනයෙහි ද නිපුණ වූ හෙතෙම මුල් වර වැටුප් ලබා නිවෙස බලා ගොස්
 ආපසු එද්දී වයලීනයක් ද රැගෙන ආවේය.

පුරා සඳ ඈත දිඹුලාගල කඳු මස්තකය පසුබිම්කොට නැඟී අවට ඒකාලෝකකල බොහෝ නිහඬ රාත්‍රියන්හි විටින් විට උස් පහත්වන රැහැයි නාදයට කන් දෙමින් අපි උත්තර භාරතීය සංගීතය, රාග ආදී බොහෝ දේ ගැන කතා කලෙමු.සිතාරය, තම්පුරාව, එස් රාජය සහ දිල් රුබාව එදවස අපේ කතාබහට වස්තු විෂය 
විය. සාද නිවෙස ඉදිරිපිට වැඩුණු මයිල ගස යට රවුමට තැබූ වේවැල් පුටුවල අසුන්ගත් අපි ඔහුගේ වයලීන නාදයට සවන් දෙමින් මත්පැන් වීදුරු හිස් කලෙමු.

එක් සති අන්තයක නිවෙස බලා ගිය උක්ත සහෘදයා සඳු දින
 සවස පෙරලා පැමිණ අප නිවස ඉදිරියේ ජීප් රථයෙන් බැස්සේ මුව පුරා සිනාසෙමිනි.

'' අඩෝ රවිශංකර්ගෙ ඊස්ට් මීට්ස් වෙස්ට් රෙසයිටල් එකේ කැසට් එකක් හම්බ උනා. ''

 
එකෙණෙහිමම මසිත දිවගියේ වසර කිහිපයකට පෙර අතීතයක රූපවාහිනිය ඉදිරියේ මා ගෙවූ ඒ සොඳුරු සැඳෑවන් වෙතටය.

'' ඒයි එහෙනං අද මොනව හරි කරන්ට වෙයි.....මගෙ ගාව ඇති එකහමාරක් විතර…'' 


'' එව්ව හරි යන්නෙ නෑ බං. රවි ශංකර් අහන්ට...මම ගෙනාව ඒකට හරියන නියම බඩු...ඉඳපංකෝ පොඩ්ඩක් ''

 
ඔහු පැවසුයේ ඉඟිමරමිනි.

එදින පුරා සඳ නොවතුදු අඩ සඳක් පායා තිබුණු බව මට මතකය. මයිල ගසේ අතු පතරින් දිස් වූ අහස තැනින් තැන විසිර පැවති සුදුවන් වළා පසුබිම් කොටගෙන ඉගිල ගියෝ අහර සොයමින් නැගෙනහිර ක්ෂිතිජයේ කඳු වලල්ල කරා පියඹන වව්ලෝය.ඉතා ඉහළින් පියා සර කල උන් කෑගසන අමිහිරි නාදය ඉඳහිට අප සවනත වන්නේ හමායන සුළඟ මඳක් ඉහිල් වූ විටදී පමණි.

සාලයේ දොර අසලම වූ විදිලි කෙවෙණියට සවිකල පේණුවෙන් නික්මුනු රැහැන ඔස්සේ ගලා ආ විදුලි බලයෙන් පණ ලත් කැසට් වාදන යන්ත්‍රය අප අසල වූ තුන් පා කනප්පුව මත හිඳ අවට පරිසරයට මුදා හරින්නේ සිත මත් කරවන සිතාර් සහ වයලීන වාදනයකි.

මම අඩවන් වූ දෑසින් යුතුව ඊට සවන් දුන්නෙමි.

'' මේ... මේකෙං ඇදපං උගුරක්..... ''


අඩ හෝරාවක් පමණ වෙහෙසී නිමකල දුම් වැටිය හේ මා වෙත දිගු කළේය.

දුම් වැටිය දල්වා පපුව පුරා දුම් රොටු උකහාගත් මම හුස්ම ඉහලට ඇද දෑස් තරව පියාගතිමි.

සිතාරය සහ වයලීනයෙහි ඒක මිතිය ඔස්සේ මත්ව ඉපිලෙමින් කොහේදෝ පාවයන්නට තැත් දරණ සිත මම මුදා හැරියෙමි.

මයිල ගසේ අතු පතර අතර සිට මම වේවැල් පුටුවේ දිග ඇදී දෑස් පියාගත්වනම හිඳින මම දෙස බලා සිටියෙමි.

සාම්‍යනාමධාරී ඒ අනූපම ගාන්ධර්වයා තම සිතාරයේ තත් හඬවමින් ඒ නිමේශයෙහී අපූර්වත්වය සහස්වරකින් වර්ධනය කරමින් සිටියේය.

සුබ ගමන්...මහා ගාන්ධර්වයාණනි.....ඔබට සුබ ගමන්!!!

Thursday, December 20, 2012

148. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....28


උදෑසන සිටම වට ධාරාණිපාත වර්ෂාව කරණකොටගෙන දසත පැතිර ගිය ඇඟ කිලිපොලා යන ශීතල දඩයක්කාරයාට යම් තරමකට අපහසුවක් වුවද නින්දට පිවිසීමට ඔහුට ඒ කිසිසේත්ම බාධකයක් නොවීය. 

ඒ රාත්‍රි දෙගොඩහරිය විය යුතුය.එක්වරම ඔහු පිබිදිමට හේතුව නොදත් නමුදු උඩු බැලි අතට නිදාසිටි ඉරියව්වෙන්ම දෑස් විවර කල දඩයක්කාරයාගේ නෙතට දිස් වූයේ ගෙපැල තුල කැටිගැසුනු කෑලි කැපිය හැකි ඝණ අන්ධකාරයයි. 

එකවරම නැඟී නොසිටිය හේ ඔත්වනම සිට මොහොතක් සංවිභාගශීලී විය.පිටත ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන බව ගෙපැල වෙවුලුම් කමින් නැඟී එන ගිගුරුම් නාදය කිසිදු සැකයකින් තොරව කියා පෑවේය. ගෙපැල අභ්‍යන්තරය එකාලෝක කරමින් විහිද ගිය ආලෝක ධාරාවකට පසු ඒ පසුපස ඒ හා සමඟම පැතිර යන්නාවූ ගිගුරුම් හඬ දඩයක්කාරයාගේ සවන් විනිවිද ගියේය. ගිගුරුම් හඬ කෙමෙන් මැකී ගියේ සුපුරුදු නිශ්ශබ්දතාවය ගෙපැල තුලට ගෙන එමිනි. තම වම්පසින් ඇසෙන සිහින් ආශ්වාස ප්‍රශ්වාස නාදය ඔහු සවන් වන්නේ ඒ මොහොතේදීය. 

නිමේශයකින් ඒ සමඟම ගෙපැල අඳුර දුරුකල ආලෝකයෙන් ඔහුට දිස්වූයේ ඔහු අසල දණ ගසා සිටිනා ඒ යුවතියයි..එසේමය..ඒ සුද්දීය. 

දෙවුර වසා පෙරවූ සුදු පැහැ රෙදිකඩින් මෑත්ව අඩක් නිරාවරණය වූ ඇගේ ළය පෙදෙස වහ වහා උස් පහත් වූයේ භීතියකට පත්වූ කලක හෝ දැඩි ආවේගශීලී භාවයකට පත්වූ කලෙක මෙනි. ඇගේ විසල් වූ දෑස භීතියකට පත් වූ බවක් පල කල අතර වෙව්ලන පිරුණු රත් රත් පැහැ යටි තොල ඈ සිතෙහි පවත්නා ආවේගශීලී බව කියා පෑවේය. 

දඩයක්කාරයා ඇය දෙස වික්ෂිප්ත දෑසින් බලා සිටියේය.ඒ සමඟම ගෙපැලේ කටුමැටි බිත්ති අතරින් ගලා ආ ගිගුරුමක් යලි හාත්පස වෙව්ළුවාලීය. 

'' මට බයයි අයියෙ, '' ඇය සිහින් හඬින් කොඳුලාය. 

තමන් කරනුයේ කුමක්ද යන්න පිළිබඳව වැඩි දුර නොසිතාම දඩයක්කාරයා ඔහු දිගාවීසිටි මුව සම මත මඳක් පසෙකටවිය. ඒ නිහඬ ඇරයුම ඕ වහා වටහා ගත්තී ඔහු අසල දිගාවූවාය. 

දඩයක්කාරයා සහ සුද්දී!!!! අප කථා නායක තෙම සහ ඒ සොඳුරු යුවතිය!!! 

ගෙපැලෙහි අඳුර විටින් විට දුරුව ගියේ දෑස් ගිනිකණ වැටෙනා තරමේ විදිලි කෙටීම් හේතුකොටගෙනය.එක් වරම පුපුරා යන දැඩි ආලෝකය දඩයක්කාරයාගේ ඝන අඳුරට හුරුවූ දෙනෙත සැණෙකින් පියවීමට සමත් විය. ඒ සමඟම ඇසෙන ගිගුරුම් හඬ අපේක්ෂාවෙන් ඔහු දෑස් තදින් පියාගත්වනම පොරොත්තු විය. 

ඔහු අසල ඇය වැතිර හුන්නේ තම සිරුර ඔහු හා ස්පර්ශ නොවන පරිදිය. එහෙත් මේ අධික ශීත රාත්‍රියෙහි ඇගේ සිරුරින් නික්මෙන උණුසුම ඔහුට දැණින.ගිගුරුම් හඬක් සහ ආලෝක ධාරාවක් අතරතුර ගතවන කාල ප්‍රාන්තරයෙහිදී තදින් දෑස පියා ගත් වනම ළය පුරා හුස්ම ඉහළට ගත් දඩයක්කාරයාට නැහැ සිදුරු තුලින් ඇතුළුව පපුව පුරා පැතිර ගිය සුපුරුදු සුගන්ධයක් දැණිනි. 

දක්ෂිණ දිශාවෙහි සිට ආගමනිත, ඝනව වැඩුනු ඇස් බැමි යුගලයකින් ආවරණිත, තියුණු නෙතු සඟලකින් හෙබියා වූ පුද්ගලයකු පිළිබඳව මවිසින් සඳහන් කරනට යෙදුනු අයුරු ඔබගේ මතකයෙහි නොමැකී ඇතැයි මම උපකල්පනය කරමි.ගම්මානය කෙළවරෙක කුඩා කඩ බක්කියක් පළමුකොට ඇරඹූ හෙතෙම මේ වනවිට අවට වනවාසීන්ගේ අල්පේච්ඡ දිවියට අත්‍යාවශ්‍ය මෙන්ම ඔවුනට කිසිසේත් අවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ද තම කඩ බක්කියෙහි නිතොර රාක්ක පුරා අට්ටි ගසා ප්‍රදර්ශනය කලේ ඔවුනට ඒ සියල්ල මිලදී හෝ බොහෝ විට භාණ්ඩ හුවමාරුවෙන් ගන්නට බල කරමිනි. දින කිහිපයකට ඉහතදී මැරූ ගෝනකුගේ ගාතයක්ද රැගෙන ඔහු වෙත ගිය දඩයක්කාරයා තවමත් ඇසිරූ ලී පෙට්ටිවලම තිබූ මනා සුගන්ධයෙන් යුත් සබන් කැට කිහිපයක් ගෙන ආවේය. සබන් කැට කිහිපය ඔහු අතට දෙමින් ඝණව වැඩුණු බැමි යුගය යටින් වණික් කරුවා ඔහු දෙස හෙලූ විමසුම් බැල්ම හෝ සාවඥ මඳ සිනහව නුදුටුවාක් මෙන් දඩයක්කාරයා ආපිට හැරී තම දෙපා අසල තිබූ බඩු මල්ල ඔසවා ගත්තේය. 

දඩයක්කාරයා හා සමඟ ඔහුගේ ගෙපැළේ නිවසන යුවතිය කවුරුන්ද?....එසේම ඇය කොහේ සිට පැමිණියේද?..ඒ හැමටම වඩා ඇය හා දඩයක්කාරයා අතර පවතිනුයේ කුමනාකාර සම්බන්ධතාවයක්ද? මේ ගැටළු පිළිබඳව ගම්වාසීන් අතර නොයෙකුත් මති මතාන්තර මෙන්ම උපකල්පන, අනුමාන කිරීම් යනාදිය කොතෙකුත් පැවතුනේ නමුදු කිසිවෙකු ඒ පිළිබඳව දඩයක්කාරයාගෙන් විමසීමට පමණ ධෛර්යමත් නොවීය. ඔහු හා සමඟ මඳ වශයෙන් හෝ සම්බන්ධතා පවත්වාගෙන ගිය ඉහතකී වණික් කරුවා පවා දඩයක්කාරයාගේ නොසැළෙන දැඩි බැල්ම හමුවේ ඒ පිළිබඳව විමසීමට නිර්භීත නොවීය. 

ඝණ අන්ධකාරයෙහි මුව සම මත වැතිර ඇගේ ආශ්වාස ප්‍රශ්වාස හඬට සවන් දෙමින් හිඳිනා ඔහුගේ පපුව පුරා පැතිරගියේ එළෙස රැගෙන ආ සබන් සුවඳ මුසු ඇගේ සිරුරින් නික්මුණු සුද්දීටම ආවේණික වූ සුගන්ධයයි. 

ඒ සුවඳ පපුව පිරී යනසේ ඉහලට ඇද පෙණහළු පුරවා ගැන්මට දැඩි ආශාවක් උපන්න ද ඒ වෑයමෙන් මැඩගත් දඩයක්කාරයා එලෙසම නිසොල්මන්වම සිටියේය. 


එක්වරම ඉතා ආසන්නයේම පුපුරාගිය අකුණු පහරක ගිගිරුමෙන් ගෙපැල බිත්ති මතුනොව පියස්ස ද දෙදරා ගියේ ගත කිලිපොලන දැඩි ශීතල සුළං රැල්ලක් ද අඩක් විවරවූ පැළැල්ලෙන් ඔවුන් වෙත කඩා වද්දවමිනි. 

භීතියෙන් මුසපත්ව අව්‍යාක්ත රාවයක් නැඟූ ඕ දඩයක්කාරයාගේ ගෙල වැළඳ ඔහුගේ ළය මත මුහුණ සඟවා ගත්තීය. 

ආසන්නයේම අකුණක් පුපුරාගිය කල්හි ස්වාභාවිකව අනුයාත ප්‍රතිඵලය වනුයේ මේ වනවිට තරමක් තුරල් කොට තිබූ වර්ෂාව එක් වරම තිව්‍රතාව කිහිප ගුණයකින් වැඩි වී මානා සෙවිළි කල පියස්ස මත බොරළු පතිත වන්නාක් මෙන් ඇද හැලීමයි.ඒ මහ වැස්සට සවන් දෙමින් දඩයක්කාරයා මුව සම මත වැතිර සිටියේය. සුද්දී තවමත් බියපත්ව ඔහුගේ ළය මත මුහුණ සඟවාගත් පරිදි ඒ ඉරියව්වෙන්ම හුන්නාය. 

කෙමෙන් තම ඉරියව්ව මඳක් වෙනස්කල දඩයක්කාරයා දකුණත දිගහැර ඇගේ හිස මුදුව පිරිමදින්නට වූයේය.යුවතිය කුමක්දෝ සිහින් ස්වරයෙන් පවසනු කඩින් කඩ ඇසුණ ද වර්ෂාවේ කන්දොස්කිරියාව නිසා ඇය පවසන්න වටහා ගැන්මට ඔහු අසමත්විය. අකුණකින් පසු වසින මහ වැස්ස වැඩි වේලාවක් අල්ලා නොසිටී. ඒ එසේම කෙමෙන් වර්ෂාව තුරල් වී ගිය ඉක්බිති ඇය මුමුණන වදන් ඔහුට පැහැදිලිව ඇසුනේය. 


'' ඇයි අයිය මට මෙහෙම සළකන්නෙ?....මොකක්ද මගෙන් අයියට වෙච්චි වැරැද්ද?......මට මෙහෙම කරන්ට එපා අයිය…'' ඇය දිගටම ඔහු ළයට තුරුළුව හිඳගෙන තෙපලූයේ එම වදන් පෙළය. 

සළකන්නට එපා කියන්නේ කුමන විදිහේ සැලකීමකටදැයි ඔහු ඇසුයේ නැත. සලකන්නට එපා කියන්නේ මෙන්න මෙලෙස සැලකීමකටයැයි ඇය පැහැදිලි කලේද නැත. ඇය ඒ වදන් කිහිපය අතොරක් නොමැතිව කියාගෙන ගියාය. ඔහු මානා පියැස්සට වැහි බිඳු පතිත වන හඬට සවන් දෙන අතරම ඇගේ මිමිණුමටද සවන් දුන්නේය.ඒ ඇගේ හිස ද දකුණතින් පිරිමැදීම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඇය කෙරෙහි මෙතෙක් තමන් තුල නූපන් කුමන හෝ අපරිමිත වූ චමත්කාර ජනක හැඟීමකින් තම සිත පිරීයනු දඩයකකාරයාට දැණින. ඒ ගම් නායකයාගේ දියණිය වූ අනෙක් යුවතිය අරභයා උපන් හැඟීමට සාකල්‍යයෙන් සමාන වූවක් නොවන බව ඔහු ඉඳුරා දත්තේය. එහෙත් ඒ සමඟම තම ගත උණුසුම් වනු ඔහුට දැණින. ඒ හැඟීම වූ කලී හීං ඇළ අසබඩ කුඹුක් සෙවණෙහිදී ගම් නායක දියණිය හා ආලිංගනයේදී ඔහු තුල හටගත් හැඟීමම බව ඔහුට එක් වරම වැටහිණි. ඔහු තුල ඇතිවූ වෙනස එකෙණෙහිම වටහා ගත් සේ ඇය ද සිය ඉරියව්ව වෙනස් කොට ඔහුගේ ලය පෙදෙස සිප ගන්නට වූවාය. 

කෙමෙන් ඔහුගේ ගෙල පසුකොට ඉහළට ඇදී ඈ යුවතිය අඩවන් දෙනෙතින් ඔහු දෙස මොහොතක් බලා සිටියේ සෙමෙන් පහත්ව ඔහුගේ දෙතොල තරව සිප ගත්තීය. 

මනුෂ්‍ය වර්ගයාගේ සහජ පෙළඹවීමක් වන කාම සම්භෝගයෙහි යෙදීම ඔවුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයන්ගෙන් ඉතාම ප්‍රබල වූවකි. අනදිමත් කාලයක සිට මෙදියත අසංඛ්‍ය සංඛ්‍යාත ගැහැණුන් මිනිසුන් කාම සම්භෝගයෙහි යෙදී ඇත්තාහ. ඒ හුදු කාමාශාව හේතු කොටගෙන මෙන්ම වෙනත් බොහෝ අවශේෂ හේතූන් කරණ කොටගෙනද විය හැක. 

එදින ඒ ගෙපැලෙහි ඇතිරූ මුව සම මත දඩයක්කාරයා සහ සුද්දී කාම සම්භෝගයෙහි යෙදුනේ හුදෙක් කාමාශාව නිසාමද නැතහොත් යටි පෙලින් දිවෙන වෙනත් අරමුණක් ඒ සඳහා හේතුවිණි ද යන්න පිළිබඳව සිත් නොවෙහෙසා අපි ඒ එදින එහි සිදුවූව එලෙසින් සිදුවූ වග පමණක් සිත්හි තබාගෙන ඉදිරියට යමු. 

පසුදින හිමිදිරියේම දඩයක්කාරයා අවදි වූයේ ගෙමිදුල පුරා දුව පනින කොණ්ඩ කුරුල්ලන් යුවලකගේ සතුටු සාමීචි නාදයෙනි.කළු කපා එළිය බළල්ලෑවෙන් ඇතුළුව ඔහුට තුරුළුව නිදන යුවතියගේ මුහුණෙහි තැවරී ඇති අයුරු ඔහු හිස මඳක් ඔසවා බලා සිටියේය. තවමත් රත්පැහැගත් ඈ දෙතොල මඳක් විවර වූයේ මඳ සිනහවකිනි.හිස ඔසවා ඔහුගේ ළය යලිත් වරක් සිපගත් ඈ පසෙකට හැරී යලි නින්දට වන්නාය. පොරෝනය ගෙන ඇගේ දෙවුර සහ උඩුකය වසා දැමූ දඩයක්කාරයා සීරුවෙන් නැඟිට දොර පැළැල්ල විවරකොට ගෙපැලින් පිටවිය. 

පෙර දින රාත්‍රියෙහි වූ සිදුවීම ඔහු සිත බොහෝසේ වික්ෂිප්ත කලේය.ඔහුටම වටහා ගත නොහැකි යම් අවිනිශ්චිත කරුණක් හේතුකොටගෙන තමන් අතින් සිදුවූයේ වරදකි යන හැඟීම ඔහු සිතින් බැහැර කොටගත නොහැකි විය. 

සිත කළඹවන යම් සිදුවීමකට අනතුරුව ඒ පිළිබඳව සිත මෙහෙයවා සිතුවිලි නිරවුල් කොට ගැනීමෙහිලා ඔහු නිතැනින්ම පිවිසෙන ක්ෂේම භූමියක් ඇත.ඒ ගෙපැළ අසල වන රොද මායිමේ පිහිටි ගල් තලාවයි.ගෙපැලින් පිටවූ දඩයක්කාරයා කල්පනාවෙන් බරවූ හිසින් යුතුව ඒ ගල්තලාව වෙත ළඟාවී එහි වූ සිරස් ගල් පොත්තට පිටදී අසුන් ගත්තේය. 

හිරු උදාවී සැඩ හිරු රැස් ඔහු සිරුර උණුසුම් කරන තුරුම දඩයක්කාරයා ඒ හිඳි ඉරියව්වෙන් එලෙසම හුන්නේ සෙල්මුවා පිළිමයක් පරිද්දෙනි. 

මතු සම්බන්ධයි........ 

Thursday, December 13, 2012

147. කඳුළු නෙතගට නැඟුනි නොදැනිම, මතක මං පෙත ඇවිද යන සඳ.....

ටික කාලෙකට ඉස්සරවෙලා මම වැඩකලා විදේශීය ඉදිකිරීම් සමාගමක. ඔය මම කියන දවස්වල එයාල ගම්පල - නුවර එළිය මාර්ගය පුළුල් කිරීමේ කටයුතු වල යෙදිලයි හිටියෙ. ඉතින් ඔන්න මම වැඩ කලේ තවලම්තැන්න කියන හරියෙ.අපෙ ගෙදර පැණිදෙණියෙ නෙව. ඉන්ටසිටියක නැග්ගනම් පැයකුත් කාලක් වගෙ යන්නෙ ගෙදර එන්න.ඉතින් ඔය කාලෙ අත්‍යාවශ්‍යම රාජකාරියක් සෙට් වෙල රෑ දෙගොඩ හරිය වෙනකල් වැඩ කරන්ට උනේ නැත්නම් මම හැමදාම හවසට ගෙදර ආව. 

මොනවද...වැලිමඩ හරි නුවර එළියෙ ඉඳල හරි කොළඹ හෝ නුවර යන ඉන්ටසිටියකට ගොඩ උනානං පැයකුත් කාලක් වගෙ යන්නෙ...පේරාදෙණියෙ යුනිවසිටියෙ පිහිටීම ගැන දන්න අය දන්නව ඇති..අක්බාර් හෝල් එක ගාවින් බැහැල කැම්පස් එක මැදින් ඇවිදිල්ල කන්ද බැහැල රේල් පාර පැන්නම පැණිදෙණිය....විනාඩි දහයයි යන්නෙ. ( අමුවෙන් ආපු දවසට ) එහෙම නැත්නම් කීයද?..විනාඩි විස්සක්?..තිහක්?...ම්හු..වැරදියි...එහෙම සන්තර්පනය වුනු දවසට විනාඩි පහයි...අර කන්ද බහිනව එක ගැම්මට...මුලම පඩියට අඩිය තියන එක විතරයි...බෲඌස් ගාල කන්ද පල්ලෙහ මම....හෙහ්, හෙහ්, 

හරි හරි ඒ එක හුස්මට කඳු බැහැපුව අල්ලල දාමු..ඒ ගැන කියන්ට නම් නෙවෙයි මේ හදන්නෙ.....හරි මේකයි කතාව හොඳද?....ඔය තවලම්තැන්න පැත්තට හිටපු ගමං පාත් වෙනව මීදුම....හවස හතර වගෙ වෙනකොට සමහර දවස්වලට ඇහැට ඇඟිල්ලෙං ඇන්නත් පේන්නෙ නෑ........ඒ තරමට හතර වටේම සුදුම සුදු පාටිං වැහිල...හරි ඔන්න අතුරු ප්‍රශ්නයක්....ලංකාවෙ වැඩිම මීදුම තියෙන නගරය මොකක්ද කියල දන්නවද?..මට බුදු ෂුවර් කවුරුත් දන්නෙ නෑ හරි උත්තරේ...හෙහ්, හෙහ්, 

හරි ආයෙම කතාවට...මම මේ කියන දවසත් අන්න ඒ වගෙ තුන විතර වෙනකොට මීදුම කඳුබාපු දවසක්....ගන සැරේට මීදුම ආහම අපි වැඩ නවත්තනව...නවත්තනව කිව්වට වඩා හොඳයි නවත්තන්ට සිද්ද වෙනව කිව්වනං...මොකද ඔය මීදුම අස්සෙ පාර හදාගෙන ගියොත් අන්තිමට පාර හැදෙන්නෙ නුවර එළියට නෙවෙයි...:) :) 

ටවුම මැද තිබුන රෙස්ටොරන්ට් එකක්...සැර ජාති..බියර් ඔය කොයිවත් ඒකෙ වැරදුනේ නෑ...ඉතිං ඔහොම මීදුම ඇවිල්ල වැඩ නවත්තපු දවසට අපි කරන්නෙ ඔය රෙස්ටෝරන්ට් එකේ පොඩි කර්තව්‍යයක නියැලෙන එක. 

බස් එකේ ගෙදර යන්ටත් ඕන නිසා මම ඉතිං සැර ජාති බාවිතාවෙං වැලකෙනව. අර පට්ට හීතලේ ගහනව වෙව්ල වෙව්ල බීර...... 

ඔය ප්‍රස්තෝචිත දවසක් ඔන්න එහෙම දවසක්...රෑ හතට වගෙ ආව පාරට...ඔන්න එතකොටම මීදුම කපාගෙන ආව කොළඹ බස් එකක්....හෝව් හෝව් කියල අත දැම්ම ...නැග්ග...නිදිමත එකසිය ගානට..ඒත් බුදියෙන්ට බෑ....මගෙ යාලුවෙක් ඔහොම..... පේරාදෙණියෙන් බහින්ට හිටපු එකාට නින්ද ගිගිල්ල බැස්සෙ කෑගල්ලෙං....බොහොම අමාරුවෙං ඇහැ ඇරගෙනම ඇවිල්ල අතුරු ආන්තරාවක් නැතුව බැස්ස ඉංජිනියරිං ෆැකල්ටි එක ගාවින්...අර කලින් කිවා පල්ලමත් බැස්ස පස්ස බිම ඇණ ගන්නෙ නැතුව...ඔහොම වෙලාවට ඔය කකුල ෂුවර් නැති වෙලාවට කරන්න ඕන පල්ලමේ පස්සෙං පස්සට බහින එක..එදානම් ඒ විදිහට රිවස් එකේද කොහොමද මන්ද අවුලක් නැතුව පල්ලම බැහැල පාරට නං ගොඩ උනා ඔන්න. 

ඒ දවස්වල අපි හිටියෙ අපෙ ලොක්කි උගන්නපු ඉස්කෝලෙම ගුරු නිල නිවාසෙ.ඉස්කෝලෙ මැදිං පඩි දෙසිය ගාණක් නැඟලයි ක්වාටර්ස් එකට යන්ට ඕන...හප්පච්චියේ ඕකට ගෑස් සිලින්ඩරේ උස්සං යන්ට මම විඳින දුකක්...පස්සෙ කලේ ගෑස් සිලින්ඩරේ පල්ලෙහ ඉස්කෝලෙ ඔෆිස් එකේ තියල කුකර් එක පහලට ගෙනල්ල, උයල, හට්ටි පිටිං උඩහට අර ගෙන යන එක....හෙහ්, හෙහ්, 

ඔන්න ආයෙම කතාවෙං පිට පැන්න..හරි මම ඉතිං මයෙ පෙන් ටෝච් එකත් ගහගෙන ඔන්න නඟිනව හෙමීට පඩි පෙළ...සිංදුවක් එහෙමත් කියාගෙන.... 

මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා, 
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ, 
පා සුළඟිල්ලේ පදනම් අවදි නොවේ කුසුම් කැකුල නිදනා තුරා.... 

සඳ ගිරි පව්වේ පෙරදා සංසාරේ 
සැතපුණු දා දුටු කින්නර පෙම් සීනේ, 
මහලු වෙලා අද සඳ වාගේ යව්වන රෑ තරු බලාන උන්නාවේ... 

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නළ මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුළු සුවඳ දැනේ ලංවී... 

මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා, 
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ, 


සිංදුවෙ අන්තිම හරියට එනකොට ඔන්න ගේ දොරකඩටත් ඇවිදිල්ල කොහොමිං කොහොමිං හරි...අන්තිම මාත්‍රා ද අන්තරා ද පරාභව ද කොටස ( ජනූ..අනේ බොල මොකක්ද ඒකට කියන්නෙ?..උඹ නෙව ඔව්ව දන්නෙ...) හරි ඕන කෙහෙල්මලක් ඒ කොටස කිව්වෙ ඉස්සරහ දොරට ගහල තාලෙ අල්ලන ගමන්....සිංදුවත් ඉවර නං උනා... 

අඩේ කෝ මේ අම්මණ්ඩි ???????? 

ම්ම්ම්...ඇසුත් පුංචි කරල බැලුව….. ලයිටුත් ඔක්කොම නිවල...අම්මප තාම එච්චර රෑ වෙලත් නෑ නේද?....බලමු….. අඩේ තාම අටාමාරයිනෙ....මොකද බොලේ මේ?..... 

දොර හෙල්ලෙන්ට ගැහුව ටිකක් හයියෙං ඒ පාර.....ඔන්න සාලෙ ලයිට් එක වැටුන..සොයිබ දෙකයි දොර පොල්ලයි පන්නල ලොක්කි දොර ඇරිය....ම්ම්...නිදාගෙන හිටපු බවක් නම් පේන්නෙ නෑ....දොර ඇරියත් එක්කම මෙන්න ආපහු ගියා කාමරේට....මොකක් හරි ලොකු අවුලක් නම් වෙල තියනව...මම දොර ගාවම තිබ්බ නයෙ හාන්සි පුටුවෙ ඉඳගත්ත....ඕකෙ ඉඳගෙන තමයි මම පත්තර එහෙම බලන්නෙ.... 

ඒ කරල අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් දන්නවනෙ ඒ වචන දෙකේ තේරුම නේද?..ඒ කිව්වෙ ඇඟිලි තුඩට ලොං ගහක් ඇරගෙන ඒකෙ උඩ ඉඳල පහලට සහ පහල ඉඳල උඩට බලාගෙන යන ගමන් කල්පනා කරන එක...හරි අන්න එහෙම කල්පානා කලා බෝම ගැඹුරට මයෙං යං වැරැද්දක් වත් උනා දෝ හෝයි කියල..ම්හු එහෙම දෙයක් කොහොමටවත් මතකෙට එන්නෙ නෑ...නෑ...නෑම තමයි.... 

අන්තිමට නැඟිටල ගියා කාමරේට..මෙන්න මුන්ද ඇඳේ බිත්තිය පැත්තට හැරිල බුදි....පාත් වෙල බැලුව උරිස් එහෙම ගැස්සෙනවද කියල...එහෙම උනොත් නං කැටගරි ඒ ඩිසාස්ටර් එකක්...නෑ වෙලාවට එහෙම දෙයක් නම් පේන්ට නෑ....මම ඉඳ ගත්ත ඇඳෙන්… 

'' හරි දැං කියන්ටකො මොකද වෙල තියෙන්නෙ?... '' 

නෑ සද්දයක්…මීයාට අර කවුද පිම්බයි කියන්නෙ ..අන්න ඒ වගේ… 

'' මේ මොකද වෙලා තියෙන්නෙ කියනවද කරුණා කරල?...... '' 

ආයෙම ඇහුව බෝම ආදරෙං… 

" මොකවත් වෙලා නෑ....'' 

ඔන්න කියාපි බිත්තිය පැත්තට හැරිල ඉන්න ගමම්ම ….. 

ඔන්න මටත් ටිකක් විතර......ඒත් එහෙම හරි යන්නෙ නෑනෙ...හොඳට හුස්මක් ගත්ත උඩට...හෙමිට එකේ ඉඳල දහයට ගනන් කරමින් හුස්ම පිට කලා...හරි ඔක්කොම හරි හිත සංසුං …All Quiet On The Western Front………….. 

'' රයිට් ළමයා…... දැන් කියන්න බලන්න මොකද මේ වෙලා තියෙන්නෙ කියල....'' 

මම එයාගෙ උරහිසෙං ඇල්ලුව. 

එයා ඔන්න හැරුන මගෙ පැත්තට....ඇස් දිලිසුනේ ලයිට් එළියටද කඳුළු වලටද මන්ද… 

'' අද දිනේ කවදද?.......'' 

' හෑ????????....'' 

මගෙ කටත් ඇරුන බාගෙට....දෙසැම්බර් දහතුන නේද?....දෙය්යංටම ඔප්පු වෙච්චාවෙ....ලොක්කිගෙ බර්ත් ඩේ එක....දෙයියො සාලෙ හාංකවිසියක් වත් මතක් උනේ නැති හැටියක්...... 

මම එහෙම්මම ඔලුව පාත් කරගත්ත අත්දෙක ඔලුවෙ ගහගෙන... 

එයා ඒ පාර ඇඳේ ඉඳගෙන මගෙ උරහිසට ඔලුව තියාගත්ත… 

" මට දුක හිතුන....කමක් නෑ..ඒක අමතක කරල දාන්න...." 

අපෙ ගෙවල් කිට්ටුවම මීටර් දෙසීයක් විතර එහායින් ඔයිට සතියකට දෙහෙකට විතර ඉස්සර අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් දැම්ම..ඕකෙ මස් මාලු බිත්තර ඔක්කොම දාල පුදුම විදිහෙ රහට ස්පෙෂල් කොත්තුවක් දානව කියල ආරංචියක් ඇවිල්ල තිබුන. අපි දෙන්න කතා වෙල හිටියෙ එයාගෙ බර්ත් ඩේ එකට ඔතනිං කොත්තු දෙකක් ගෙනල්ල කමුය කියල 

'' හරි ඉන්නකො...තාම වහල නෑ කඩේ.....මම ගිහිල්ල කොත්තු දෙකක් අරගෙන එන්නං....'' 

මම නැඟිට්ට. 

'' ඕන නෑ අනේ මේ රෑ යන්ට..මම බත් ඉව්ව… '' 

'' හරි හරි බත් එක එහෙම්මම දාන්ටකො ෆ්‍රිජ් එකට...ඉන්න මම විගැහිං එන්නං. ….. '' 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා 
පෙර සංසාරේ ඇසුර මතක් වී... 

ලේන කුලේ සිට ආගිය මඟ තොට 
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ 
පසු පස ආවා සෙවනැල්ලක් වී... 

තැලී සෙනේ සිත සැලී හඬන විට 
වැටී දෙපා ලඟ යශෝදරාවෝ 
පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ.. 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා 

මම ආයෙම පඩි පෙල බැස්සෙ ඔහොම මුමුණමින්....ඉස්කෝලෙ මිදුලෙ මැදක් ඇවිල්ල හැරිල බලනකොට එයා හිටිය දොර ගාව මා දිහා බලාගෙන.... 

සුනිල් දිය පිරි විලක් විය හුදකලාවේ, 
සුපුල් රත් නෙළුමක් පිපුනි නෙත් මනාවේ, 
විසල් පිණි බිඳු පතිත වූ පෙති තලාවේ, 
වහල් විනි විල කමල රූ දිසි වෙලාවේ, 

පිපුණ මලෙකට පෙමින් බැඳි ඒ බමරිඳු, 
ලිහුණ මුහුලස ගැවසි මල් දම් වතුසුදු, 
විසුල පෙති මත රැඳුනු කල් නෙක පිණිබිඳු, 
මුහුණ දකිනට නුඹේ එන්නෙමි අමයුරු, 

සෙනෙහෙ ගඟුලක් ගලා ගිය සළකුණු දිගේ, 
මෙනෙහෙ කරනෙමි ඔබෙ වත දිසි මුල් දිනේ, 
වෙලෙන මඳනල කොඳුරනා නම ඔබ ප්‍රියේ, 
මෙලෙස යලි හමුවුනේ පෙර අප පැතු ලෙසේ, 

සසර ගමන ද එක්ව යමි ඔබ සමඟිනා, 
කවර අරුමෙක් වීද අප හමුවුනු එදා, 
සවන සපිරෙන සුපෙම් ගී පද අසමිනා, 
නතර නොවනෙමි කැටුව එමි ඔබ අත ගෙනා,

 

Tuesday, December 11, 2012

146. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....27


එදින පටන් දඩයක්කාරයා සහ සුද්දී, ( මහෝඝයෙහි ගසාගෙන පැමිණි ඒ අපූර්ව යුවතිය නමින් සුද්දී බව මේ දින කිහිපයට ඔබගේ මතකයෙන් බැහැරව ගොස් නොමැති බව උපකල්පනය කරන්නෙමි ) ඒකාකාරී ජීවන රටාවකට හුරු වූවෝය. තම සුපුරුදු නිශ්ශබ්ද සහ නිසංසල ජීවන රටාව යලි කිසිදිනෙක අනුගමනයකිරීමට නොලැබෙන බව මනාව වටහාගත් නමුදු දඩයක්කාරයා තම දෛවය අනුව නියම වූ පරිදි සුද්දී සමඟ ජීවිතයට කෙමෙන් හැඩගැසුණේය. 

සුද්දීගේ ආගමනයක් සමඟම දඩයක්කාරයාගේ ජීවිතය ඔහු කැමති වුවද අකමැති වුවද විශාල විපර්යාසයකට බඳුන් විය.මෙතෙක් ඔහු ගත කලේ වනයේ නිදැල්ලේ වැඩෙන වල් සතකුගේ ජීවිතයට වඩා ඉතාමත් මඳ වශයෙන් පමණක් වෙනස් වූ දිවියකි. 

හුදෙකලාව දිවිගෙවන සමයෙහි ගෙපැලෙන් බැහැරව දින දෙකතුනක් වනයේ වන සතුනගේ චර්යාවන් නරඹමින් මින් පෙර පය නොගැටුණු මහ හිමයේ දුර බැහැර ඉසව්හි කිසිදු අරමුණක් රහිතව ඉබාගාතේ සරමින්කාලය ගත කිරීමට දඩයක්කාරයාහට කිසිදු ගැටලුවක් උදක්ම නොවීය. එහෙත් සුද්දිය ඔහුගේ ජීවිතයට ඇතුළු වූ දා පටන් රාත්‍රියෙහි ඝනාන්ධකාරය වන පෙත වසා පැතිර යාමට ප්‍රථම ගෙපැල වෙත ළඟාවීමට ඔහු කෙළෙසක හෝ වග බලාගත්තේ ඒ තමන්ගේ යුතුකම බව වටහාගත් සෙයකිනි. 

එසේම දඩයක්කාරයා යනුවෙන් හැඳින්වුවද සතුන් ඝාතනය ඔහු දැඩි ලෙස පිළිකෙව් කළේය. දඩයම බලවත් ලෙස අරුචි කල දඩයක්කාරයෙක් යන්න ඔබට මහත් උත්ප්‍රාසාත්මක යෙදුමක් ලෙස දිස්වනුයේ නම් මම ඔබට කිසිසේත්ම දොස් නොපවරන්නෙමි.එසේමය ඒ උත්ප්‍රාසය දනවන්නෙකි. එසේම ඒ පරම සත්‍යය ද වන බව මම ඔබට පවසන්නෙමි. 

එදවස දඩයමට වූ බලවත් අකමැත්ත හේතුකොටගෙනම සහල් මිටක් හෝ ඉරිඟු කරලක් හෝ දෙකක් ගෙපැලෙහි සොයාගත නොහැකිවූ කල්හි දිනක් හෝ දෙකක් හීං ඇළෙහි ගලායන්නා වූ සිහිල් දියෙන් සැණහී නිරාහාරවම ගෙපිලෙහි වැතිර නින්දට යාම ඔහුට කිසිසේත් අරුමයක් නොවීය. 

එහෙත් සුද්දීගේ අනපේක්ෂිත ආගමනයත් හා සමඟම ඔහුගේ ජීවිතයේ නිරායාසයෙන් සිදුවූ දහසකුත් එකක් වෙනස්කම් අතර ප්‍රධාන වූයේ ද ප්‍රස්තුත කාරණයමැයි. බලවත් අකමැත්ත මැඩපවත්වාගෙන අවම වශයෙන් දින තුනකට වරක් හෝ දඩයමෙහි යෙදීමට ඔහුට සිදුවීය. දඩයමෙහි යෙදීමට දඩයක්කාරයා හට බල කෙරෙනු ලැබීය. 

ජීවිතයේ සිදුවන්නාවූ තමන් අරුචි දෑ උපේක්ෂාසහගතව නොසැළී පිළිගැන්මට ඔහුගේ වූ සහජ නැඹුරුව උක්ත කුදු මහත් විපර්යාස සියල්ල මුවින් නොබැණ ඉවසීමට මතු නොව ඒ තම ඉරණම යයි සිතා ඒ අනුව කටයුතු කිරීමටද දඩයක්කාරයාට උපස්ථම්භක වූයේය. 

හරිත තුරු ලතාදියෙන් සැදුම්ලත් වන පෙත ගෙපැලට අත පොවන මානයතෙක් නොනැවත වර්ධනය වූයේ අවම වශයෙන් කැති පහරක හෝ බාධාවකින් තොරවය. ගෙපැල සත්‍ය වශයෙන්ම වනයටම බිලි නොවූයේ වසරේ බක් මස පටන් නිකිණි වැස්ස දක්වා වූ වෙල්ලස්සේ හරිත පත් කසාවන් පරඬැල් බවට හැරවෙන දෘඩතර නියඟය වාර්ෂිකව ස්වභාවික මර්දකයක් ලෙස තම කාර්යය අනලස්ව ඉටු කල බැවිනි. 

යුවතිය ගෙපැලෙහි වාසයට පැමිණ බොහෝ දිනක් ගත නොවීය. මෙතෙක් කිසිදු උපද්‍රවයකින් තොරව වර්ධනය වූ වන බූටෑව ගෙපැල ඉදිරිපිට වූ කඩුල්ල ද ඉක්මවා පසු බසිනට සිදු වූයේය.ගෙපැල පසුපස බිත්තියට හේත්තු කොට මළ කා දුර්වර්ණ වී ගිය කැති තලයක් හරඹ කරමින් සුද්දී වෙහෙසෙන අයුරු දුටු දඩයක්කාරයා කම්මලට ගොස් පණ පොවාගෙන ආ කැති තලයකට මිටක් සවිකොට වන බූටෑව කපා හෙලි පෙහෙලි කිරීමට ඇයට සහාය විය. 

එතෙකින් නොනැවතුනු ඈ ගෙපැලෙහි කැඩී බිඳීගිය තැන් අඩුලුහුඬුකම් තමනට හැකි පරිදි සම්පූර්ණ කොට ඒ ප්‍රියමනාප මෙන්ම පිරිසිදු වාසස්ථානයක් බවට පත් කරවූවාය. 

ජීවිතය පිළිබඳ කිසිදු අරමුණක් හෝ ඉදිරි බලාපොරොත්තුවක් තබා යටත් පිරිසෙයින් ඒ පිළිබඳව කිසිදු හැඟීමකින් හෝ තොරව ඉබාගාතේ දිවි ගෙවූ අප කථානායක තෙමේටද මේ නව විපර්යාසයට හැඩ ගැසෙන්නට සිදූවූයේය. 

ගෙපැලෙහි පියස්ස හෙවිල්ලා අළුත් වැඩියා කරනු උදෙසා ඉළුක් රැගෙන එනු පිණිස දිනෙක සුද්දී උදෑසනින්ම කැති කොටයක් ද රැගෙන හීං ඇළ එගොඩ ඉස්මත්තේ චිරාත් කාලයක් හේන් කෙටීම උදෙසා ගැමියන් වන පෙත ගිණි ලෑම නිසාම හටගත් තලාව කරා පිටත් වනු දුටු දඩයක්කාරයාද ඇය පසුපස වැටුණේ කිසිදු නිශ්චිත අරමුණකින් තොරව නිරායාසයෙනි. 

එසේම තනමත්තක් උසට වර්ධනය වී පෙනෙනා තෙක් මානයේ පැතිරගිය ඉළුක් යායට වදින්නට තැත්කල සුද්දීගේ සුරත ග්‍රහණය කොට හෙතෙම ඇය නතර කරනුයේද කිසිදු නිශ්චිත අදහසක් හෝ අරමුණක් සහිතව නොව හුදෙක් නිරුත්සාහකවය. 

එහෙත් ඇගේ සුරතින් කැති කොටය රැගෙන ඈ දෙස මොහොතක් බලා හුන් දඩයක්කාරයා ඉක්බිති ඉළුක් යායට වැද ඉළුක් කපන්නට වූයේ තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙන්ම ඒ කුමක් උදෙසාද යන්න පිළිබඳවද නිශ්චිත වූ අදහසක් සිතෙහි දරාගෙනය. 

ඔහු ආයාසයකින් තොරව කැපූ ඉළුක් පඳුරු තැනින් තැන විසිරුවා දමනු දුටු ඇය හිඳගෙන හුන් ගල් තලාවෙන් බැස ඔහු ඇමතුවාය. 

'' මේ අයියෙ...ඔය කපන එව්ව තැං තැං වල විසු කොරන්නෙ නැතුව මේං මෙහෙම එක තැනකට ගොඩ ගහන්ටකො ......'' 

සිනා මුසු මුවින් ඈ පැවසූවට ඔහු හිස වනා එකඟතාවය පළකළේ නිරතව හුන් කාර්යය නැවැත්වීමකින් පවා තොරවය. 

කැපූ ඉළුක් සවිමත් කැබැල්ල වැල් පොටකින් තරව බැඳගත් ඔවුහු තුන් හතර වරකට ඒ හිස තබා රැගෙනවිත් ගෙමිදුලෙහි ඇතිරූහ. 

ගිණි උඳුනක උණුසුම පරදන දැඩි හිරු එළියේ වරුවක් අතුරා හේබා ගිය ඉළුක් එක්ට හිප්පා සවිමත්ව මිටි බැඳීමට දඩයක්කාරයාහට සුද්දී සහාය වූවාය. 

තරුණයා සහ තරුණිය එකතුව ගෙපැළෙහි වහල හෙවිල්ලා අවසන් වූයේ කළු කපා අඳුර අවට පරිසරය වසාගෙන හෝරාවකට ආසන්න කාලයක් ඉකුත්වූ ඉක්බිතිය. 

උදෑසන පටන් එක එල්ලේ විවේකයක් නොමැතිව වෙහෙස වීමෙන් කාර්යය අවසන් වන විට දඩයක්කාරයා මෙන්ම සුද්දීද බලවත් ලෙස විඩාවට පත්ව සිටියෝය. අවසන සියළු කටයුතු නිමා කල අනතුරුව මොහොතින් මොහොත කැටි ගැසෙන අඳුර අතරින් පිය මනිමින් ඔවුහු හීං ඇළේ වක්කලම වෙත ළඟා වූවෝය. 

ඒ මහා ගංවතුර බැසගොස් මසකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එලෙසම සුද්දී ඔහු හා වාසයට පැමිණ ද එලෙසම වූ කාලයක් ගෙවී ගොසිනි.මේ මුළු කාලය තුල දඩයක්කාරයා තරුණියගේ නිරුවත එකද වරක් හෝ නොදුටුවේය. එසේමය. එහි කිසිදු අරුමයක් නොමැත්තේය. ඒ දඩයක්කාරයා අවිඥාණකව එවන් අවස්ථා මඟ හැරීමට ක්‍රියාකල බැවිනි.බිම් කළුවර පතිත වෙද්දී ගොම්මනේ ගෙපැළ බලා එන දඩයක්කාරයා කිහිප දිනයක්ම හීං ඇළේ වක්කලමේ දිය කෙළිමින් සුද්දි ස්නානය කරන හඬ අසා හිටි පියවර නතර වූයේය.සිහින් හඬින් කුමක් දෝ කවි පද කිහිපයක් ද මුමුණමින් කෙළිදෙලෙන් ඇය ස්නානය කරන ශබ්දය මොහොතක් අසා හුන් දඩයක්කාරයා නිසොල්මනේ ගෙපැල වෙත පැමිණියේය. 

සුද්දි ස්නානය කරනුයේ පූර්ණ නිරුවතින් බව හොඳින් දන්නා නමුදු කිසිම විටෙක එදෙසට ගොස් ඇගේ නිරුවත නැරඹීමෙහි ලා කිසිදු පෙළඹවීමක් හෝ ආශාවක් තමා තුල ඇති නොවනුයේ මන්දැයි විශ්ලේෂණය කොට සිතා බැලීමට ඔහු කාලය මිඩංගු නොකලේය. ඒ ඔහුට තවත් එක් සංසිද්ධියක්ම පමණක්ම විය. 

ගම් නායකයාගේ තරුණ දියණිය හා සමඟ දඩයක්කාරයාගේ වූ ඉතා ලුහුඬු සම්බන්ධය පිළිබඳව මම ඔබට පැවසුවෙමි. එසඳ ඒ යුවතිය නෙත ගැටුනු වහාම දඩයක්කාරයාගෙ සිතතුල හටගත් ආශාව සහ අනුරාගය සුද්දී දුටු කල්හි ඔහු තුල හට නොගන්නේ මන්ද යන්න ඔහුට උභතෝකෝටික ගැටළුවක්ම වූයේය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර සිත වෙහෙසවීමට ඔහුට කිසිසේත්ම අවශ්‍ය නොවීය. 

එහෙත් දඩයක්කාරයා තම සුපුරුදු උපේක්ෂාවෙන් යුතුව අවලෝකනය කොට කිසිදු තැකීමකින් තොරව ඉවත හල ප්‍රස්තුත කාරණය පිළිබඳව ඒ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සුද්දීට කෙසේවත් හැකිවූයේ නැත. 

නව යොවුන් වියේ පසුවන යුවතියක සිතෙහි නිරායාසයෙන් හට ගන්නා වූ කාමාශාවට අතිරේකව ඇගේ චිත්තාභ්‍යන්තරය නිරතුරු කොණහමින් ඇයට වද දුන් තවත් එක් කරුණක් වූයේය. මව සහ පියා හැරෙන්නට මේ මිහි මත සුද්දීගේ ඥාතීයකු හෝ හිත මිත්‍රයකු වශයෙන් කිසිවෙකු ඇය දැන සිටියේ නැත.එබැවින් හුදු අහඹුවකින් ඇගේ ජීවිතයට ඇතුළු වූ දඩයක්කාරයා ඇයට එකම හිතු මිතුරා මෙන්ම ආරක්ෂකයා ද වූයේය. 

තම මතු දිවිය සුරක්ෂිත කොටගනු උදෙසා ගත යුතු ප්‍රශස්ත පියවර තම ආරක්ෂකයා හා සමඟ ඉතා සමීප සබඳතාවයක් ඇතිකරගැන්ම බව එකහෙලාම අවබෝධ කරගත් සුද්දී ඒ මුදුන්පත් කරගනු උදෙසා සියලු උපක්‍රම යෙදුවාය. 

එදවස හුදකලාව ජීවිතය ගෙවූ කල්හි දඩයක්කාරයා බොහෝ විට නින්දට වන්නේ පිල් කඩෙහිය. යුවතිය ඔහු හා වාසයට පැමිණි පසුවද එහි කිසිදු වෙනසක් නොවීය. සුද්දීට නිදනු පිණිස සවිමත් දඬු වලින් ඔහු ගෙපැලෙහි එක් පසෙක මැස්සක් තනා නිම කලේය. ඒ මත ඇතිරූ මුව සමක් මත ඇය නිදන අතර දඩයක්කාරයා සුපුරුදු ලෙස පිල්කඩෙහි නින්දට වන්නේය. 

යුවතිය ගෙපැළෙහි වාසයට පැමිණ ගත වී තිබුණේ දින කිහිපයකි. ඉර හැරුණු හෝරාවෙහි පටන් ඇරඹි පොද වැස්ස අඳුරු වැටෙන විටත් තුරල්ව නොතිබිණි.සුපුරුදු ලෙස පිල්කඩෙහි වැතිරගත් දඩයක්කාරයා කඩමාළු වී ගිය පොරෝණය තුල ඇකිලී නින්දට වන්නේය.එහෙත් මධ්‍යම රාත්‍රිය ගෙවීයන්නා හාම ඔහුගේ උරහිස දැඩිව සොලවා කිසිවකු ඔහු අවදිකරවීමට තැත්දරනු දැනී හේ වහා දැස විවර කලේය. 

ඇය ඔහු දෙස දැඩි අනුකම්පාවෙන් යුතුව විසල් කොටගත් දැසින් යුතුව බලා සිටියාය. 

'' අනේ අයියෙ…. අයිය මෙහෙම එළියෙ හීතලේ කුදහනකොට මම කොහොමද ඇතුලෙ නිදියන්නෙ?....එක්කො අය්යත් එන්ට ඇතුලට...නැත්නම් මාත් එනව මෙතනට…'' 


යුවතිය නිදන දඬු මැස්ස වූයේ පසුපස ගෙපැළෙහි බිත්තියට ආසන්නවය. දඩයක්කාරයා නිදන්නට වූයේ දොර පැළැල්ල අසලම අතුරාගත් වියළී දරදඬු වී ගිය මුව සමක් මතය. 

මෙසේ ගෙතුල නිදන්නට වන් බොහෝ දිනවල රාත්‍රියේ වශ්චිම යාමයක්ද ගතවනතුරු ඔහු නින්දට පිවිසීමට අපොහොසත් විය.කුඩා කල සිටම සුළු ශබ්දයකින් හෝ අවදිවන සුළු සැහැල්ලු නින්දකට පුරුදුව සිටි දඩයක්කාරයාට පියවර කිහිපයක් ඔබ්බෙන් නිදන සොඳුරු තරුණ යුවතියක හා සමඟ ඇය නොසලකා නින්දට පිවිසීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවිණි.එසේම ඔහු මෙන්ම ඇයද නිදි වර්ජිත බව එහා මෙහා පෙරළෙමින් වරින් වර නඟන සුසුම් හඬ කියාපෑවේය. 

එහෙත් කුමන හෝ දඩයක්කාරයාට වටහාගත නොහෙන යම් හේතුවක් නිසා ඇය කෙරෙහි කිසිදු අනුරාගී සිතුවිලි මාත්‍රයක් හෝ ඔහු සිතෙහි නූපන්නේය. 

මතු සම්බන්ධයි........ 

Monday, November 19, 2012

145. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....26


එදින රාත්‍රියෙහි , රාත්‍රිය නොව සත්‍ය වශයෙන්ම ඒ හිමිදිරිය යනුවෙන් නිවැරදි විය යුතුය, උක්ත යුවතිය තම සංවේගජනක අන්දරය පවසා අවසන්වන විට අරුණළු පතිත වනු වස් ඉතිරිව තිබුනේ හෝරාකට මඳක් අධික කාලයක් බැවිනි.

පෙරදිග අහස පැහැපත්වන්නට ආරම්භ වන හෝරාව ආසන්න වන විට ද ඇය ඔහු උරහිසට වාරුවීගත් අයුරු එලෙසම සිටියාය. පිළිවෙලට ඉහළ පහළ වැටෙන ඇගේ ආශ්වාසයෙහි දීර්ඝ සහ ගැඹුරු ස්වභාවය ඇය තද නින්දට පත්ව සිටින අයුරු කියා පෑවේය.

ඔහුගේ සුරත ඇගේ හිස පිරිමැදීම නතරකොට මේ වනවිට ඇගේ උරහිස වටා ගොස් ඈ ඔහු වෙතට වාරුකොටගෙන තිබිණි. අතැඟිලි වලින් ඇරඹි හිරිවැටීමක් සුරත පුරා කෙමෙන් විහිද ගියද ඔහු ග්‍රහණය ලිහිල් නොකොට ඒ ඉවසා සිටියේ ඇගේ නින්දට බාධා කිරීමට වූ දැඩි අකමැත්ත නිසාමය.

හිමිදිරි අහස පැහැපත් වෙද්දී උඩුකයට සහ දෙදණට යටින් අත් යවා ඇය ඔසවාගත් දඩයක්කාරයා ගෙපැල තුලට ගොස් පෙට්ටගම අද්දර එලා තිබූ මුවසමෙහි ඇය දිගාකලේය. ඇය පොරවාගෙන හුන් රෙදිකඩ පරෙස්සමින් සකස් කොට, ඇලයකට හැරී සුරත මත තබාගත් හිසැතිව නිදන ඇය දෙස මොහොතක් බලා සිටියේ, ගෙපැල දොරකඩ ආවරණය කල බට පැළැල්ල වසා දමා සුපුරුදු පරිදි ගෙපිල මතුයෙහි දිගා වූයේය.

උදෑසන දඩයක්කාරයා අවදිවන විට හොඳින් එළිය වැටී තිබිණි. ඔහු එක් වරම අවදි වූයේ සවණට වන් නුපුරුදු කිසියම් ශබ්දයක් හේතුකොටගෙන බව නිදිමත නම් වලාවන් අතරින් පායන හිරු මඬලක් පරිදි ක්‍රමයෙන් හැඟී ගියද ඒ කවර ශබ්දයක්දැයි එකහෙලා සනිටුහන් කොටගත නොහුනු හෙයින් හේ එක් වරම දෑස් විවර නොකොට මඳක් පොරොත්තු වූයේය.

එහෙත් කිසිදු ලෙසකිනුදු ඒ හඬ කුමක්දැයි හඳුනාගත නොහැකිවූ කල්හි ඔහු සෙමෙන් දෑස විවර කළේය.

දඩයක්කාරයාගේ නිවහන වූ ගෙපැල ඉදිරිපිට වූ රූස්ස කොහොඹ රුක පිළිබඳව මේ කථාවෙහි කිහිප විටකදී මීට පෙර සඳහන් කෙරුණු බව ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත්තේයයි යන උපකල්පනයේ පිහිටා සිට ඉදිරියට කථාව පැවසීමට මට අවසර දයාබර සහෘදය / සහෘදිනිය........

උක්ත කොහොඹ රුක සෙවණෙහි ඇය ගෙමිදුල අමදිමින් සිටියාය. අසල වූ වන බූටෑවෙන් සිඳ ගත්තේයැයි සිතිය හැකි හරිත වන් අතු රිකිලි කිහිපයක් එකට බැඳ නිමවාගත් දළ මුස්නයක් ආධාරයෙන් ඇය ගෙමිදුල අමදිමින් සිටියාය.

හිණෙන් නැවී ඉතා කඩිසර ලෙස ඇය එම කාර්‍ය්යෙහි නිරත වූවාය. පැය විසි හතරකට ද අඩු කාලයකට පූර්වයෙහී ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් මහෝඝයෙක ගසාගෙන පැමිණ, ආශ්චර්යයකින් මෙන් දිවි ගලවාගත්තියකගෙ කිසිදු ලක්ෂණයක් ඇය කෙරෙන් කිසිසේත්ම විද්‍යාමාන නොවීය.ඒ එසේමය. ජව සම්පන්න තාරුණ්‍යයෙන් මොනවට සපිරී ඔද වැඩුණු ඕ තොමෝ වහා අතීතයෙහි දුක්ඛ දෝමනස්සයන් යටපත් කොට ලා පියා ජීවිතය ඉදිරියට ගෙන යාමට ඉටා ගත්තාක් මෙනි.

කෙලින් වී හිඳ බිත්තියට වාරු වූ දඩයක්කාරයා ඔහුට පිටුපා අනලස්ව දැඩි අවධානයෙන් තම කර්තව්‍යයෙහි යෙදෙන ඈ දෙස අඩවන් දෙනෙතින් යුතුව බලා සිටියේය. මොහොතකින් ඔහු දෙතොලට මන්දස්මිතියක් නැඟුනේ නිරායාසයෙනි. ඒ මන්දස්මිතිය දෙතොල් විවරවන සිනහවක් බවට පත්වන්නට වෙර දරද්දී කිසිවෙකු තමා දෙස බලා සිටිනා වග සවනේන්ද්‍රියකින් දැනුනාක් මෙන් ඇය ඇමදීම එක වරම නවැත්වූවා සෙමෙන් හිස හරවා උරහිසට ඉහලින් ඔහු දෙස බැළුවාය.

ඉක්බිති ඇය සිනාසුණාය.

යෙදී හුන් කාර්‍යය එකෙණෙහිම නතර කල ඕ තොමෝ මිදුල අමදිමින් සිටි බෝලත්ත ද රැගෙන සෙමෙන් දඩයක්කාරයා වෙත පිය නැඟුවාය. එකද පරඬැලක් හෝ වියළි පත්‍රයක් ඉතිරි නොවනසේ මනාව අතුගා තිබූ ගෙමිදුල සුදු වැල්ලේ ඇගේ පා සටහන් එකිනෙක පසුපස සටහන් වූයේ බොහෝ ප්‍රවේශමෙන් ඇඳි චිත්‍රයක් මෙනි. පා සලකුණු පරීක්ෂාකිරීමෙන් ඕනෑම පුද්ගලයකුගේ දේහ ලක්ෂණ මෙන්ම ගතිගුණ පිළිබඳවද නිවැරදි අනාවැකි පැවසිය හැකිබව මහ දඩයක්කාරයා පැවසූවා මතු නොව ඒ ශාස්ත්‍රය ඉගැන්වූ බව ද දඩයක්කාරයාගේ සිතට එක වරම නැඟිනි.

එහෙත් දීර්ඝ කාලයකට ඉහත මහ දඩයක්කාරයා ඉගැන්වූ එම ශාස්ත්‍රය භාවිතයෙන් තොරවීම හේතුකොටගෙන මතකයෙන් මැකීගොස් තිබිණි.ඒ නැවත සිහියට නඟාගැන්මට කල උත්සාහය අසාර්ථක වූ කල ඔහු ඒ වෑයම අතහැර දැමීය.

දඩයක්කාරයා ආසන්නයෙම පිළෙහි හිඳගත් ඈ වරක් ඔහු දෙස හැරී බලා යලි ඉවත බලාගත්තී වදන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගනිමින් කථා කළාය.

'' මම ඊයෙ මයෙ කතාව කිව්ව අයියට.......අයිය කැමතිනම් විතරක් අයියගෙ කතාවත් මට කියන්න...''තම කථාව කෙසේ ආරම්භ කලයුත්තේද යන්න තීරණය කිරීම, ජීවිතයේ කිසිදිනක එක දිගට වචන දහයක් හෝ විස්සකට වැඩි සංඛ්‍යාවක් තෙපලා නොමැති දඩයක්කාරයා හට මහත් අපහසු කරුණක් වූයේය.

තම ජීවිත කථාව අරඹනුයේ කොතැනකින්දැයි තීරණය කරනු පිණිස දඩයක්කාරයා මොහොතක් දෑස් පියා ගත්තේය.

'' අයියගෙ නම මොකක්ද? ''ඈ එසේ ඇසුවේ දෑස් පියාගත්වනම පසුවන ඔහු දෙස මොහොතක් බලා සිටීමෙන් අනතුරුවය.

ඒ පැණයෙන් තිගැස්සුනු ඔහු වහා දෑස් හැර ඇය දෙස එක එල්ලේ බලා සිටියේ විශ්මය පත් දෑසිනි.

ඔහුගෙ බැල්ම දුටු ඇය හඬනඟා සිනාසුණාය.

'' මොකද මේ තුස්නිම්බූත වෙලා වගේ?...අයියට නැද්ද නමක් කියල එකක්?..'' ඇය තවමත් සිනාසෙන්නීය.

'' ඇත්තටම මට නමක් නෑ තමයි....'' ඇගෙ සිනහව කෙමෙන් වියැකී ගිය ඉක්බිති පැතිර ගිය නිශ්ශබ්දතාවය බිඳලමින් දඩයක්කාරයා තෙපලීය.

'' ඈ???? "'.....ඇගේ මුව විවර වූ අයුරු ඔහු දෙතොලට සිනගවක් ගෙන ආයේය.

'' එතකොට මිනිස්සු ඔයාට කතා කරන්නෙ... ඒයි මේ.... කියලද?...'' ඇගේ සිනා හඬ යලිදු ගෙමිදුල පුරා පැතිර ගියේ කොහොඹ අතු පතර සැඟව හුන් කොබෙයියන් යුවලක් වේගයෙන් පියාපත් සලමින් කොහේදෝ ඈතකට පළවා හරිමිනි.

'' මිනිස්සු මට කියන්නෙ දඩයක්කාරය කියලයි....'' සිනහව මැකීගිය ඉක්බිති දඩයක්කාරයා පැවසූයේ බැරෑරුම් ස්වරයකිනි.

'' ඒ ඉතිං අයිය දඩයං කරන නිසා වෙන්නැති...එහෙම නෙවෙයි ඔයයිගෙ අම්ම තාත්ත ඔයාට කතා කලේ මොනව කියලද?...''

'' පුතා කියල ...නැතුව ආයෙ වෙන අහවල් දෙයක් කියන්නද?...''
ඔහුගේ හඬෙහි වූ අවංක භාවය ඔහු මේ කරනුයේ රැවටිල්ලක් නොවන බව ඇයට ඒත්තු ගැන්වීය.

'' ආ...එහෙමද?......'' ඇය අවසානයේදී එය පිළිගත්තාය. එනම් දඩයක්කාරයාට දඩයක්කාරයා හැරුණු කොට වෙනත් නමක් නොමැති බව ඇය පිළිගත්තාය.

එසේ පිළිගත්බව ඇය හැඟවූයේ දෙතුන් වරක් හිස ඉහලට සොලවමින් ඔහු දෙස බලා සිනාසීමෙනි.

'' එතකොට අයියගෙ අපුච්චගෙ නම? ''හදිසියේම මතක් වූ පරිදි ඇය යළි විමසූයේ එක් වනමය.

'' ඒත් දඩයක්කාරයම තමයි.... '' ඔහුගෙ ස්වරයේ යාන්තමට තැවරී තිබූ නොඉවසිල්ල වටහා නොගත්තා හෝ නො එසේනම් වටහාගත්තද ඒ බව නොපෙන්වූවා විය හැක ඇය යලිදු සිනාමුසු මුහුණින් පිළිවිසියාය.

'' එතකොට අපුච්චයි අයියයි දෙන්නම දඩයක්කාරය කියල... ''ඇගේ පැණය අවසන් කිරීමට පෙර ඔහු කථාකලේය.යම්කිසිවෙකු පැණයක් විමසූ කල ඒ පිළිබඳව බොහෝසේ කල්පනාකොට ඉක්බිති ප්‍රවේශමෙන් වදන් තෝරා බේරාගෙන කෙටි පිළිතුරක් දෙනු විනා කිසිවෙකුගේ කථාවට බාධා කිරීමෙහිලා කිසිවිටෙක නොයෙදුනු බැවින් තමන්ගේ මේ හැසිරීම දඩයක්කාරයාටම මහත් විශ්මයට කාරණයක් විය.

'' නෑ අපුච්ච ඉන්න කාලෙ උන්දැ මහ දඩයක්කාරය...මම පොඩි දඩයක්කාරය...උන්දැ මියැදුනාට පස්සෙං පහු තමයි මම දඩයක්කාරය උනේ. ''

'' හරි, හරි.... ඒ කාලෙ අයිය පොඩි දඩයක්කාරය දැන් මහ දඩයක්කාරය..ආ..නෑ...නෑ...පොඩි දඩයක්කාරයෙක් දැන් නෑ නෙව ඒ නිසා අයිය නිකම්ම දඩයක්කාරය....එතකොට ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට අයිය මහ දඩයක්කාරය වෙනව...''
ඇය ඔහු දෙස නෙත් කොණකින් බැලුවාය.

'' එහෙමද දඩයක්කාර අයියෙ?......'' ඇය යලිත් වරක් හඬනඟා සිනාසුණාය.

ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට....එවන් අවස්ථාවක් පිළිබඳව සිහිනෙනුදු මින් පෙර සිතා නොසිටි දඩයක්කාරයා එක වරම කුමක් පැවසිය යුතුදැයි සිතාගත නොහුනේ නිරුත්තරව යුවතියගේ සිනාසෙන දෑස දෙස බලා සිටියේය.

දඩයක්කාරයා දෙස බලාගත්වනම සිටි ඇගේ සිනහව එක වරම අතුරුදන් වූයේය.

'' හරි හරි...අයියගෙ නම දඩයක්කාරය...අපුච්චගෙ නම මහ දඩයක්කාරය ..ඒ ටික දැන් මට කිව්වනෙ...දැන් අයිය කියනකො බලන්න අයියගෙ කතාව.... ''
දඩයක්කාරයා බොහෝ වෙලාවක් කොහොඹ ගස දෙස බලා සිටියේ තම ජීවිත පුවත යුවතිය හා සමඟ පවසනු පිණිස සිතුවිලි තෝරා බේරා එකලස් කරගනු පිණිසය. යුවතියද ඔහු කථාව ආරම්භ කරන තුරු නිසොල්මන්ව ඉවසිල්ලේ බලා සිටියාය.

අවසන සිතෙහි තව ජීවිත කථාව ගොණු කොටගත් දඩයක්කාරයා කථාව ඇරඹීය.

'' ඔන්න මෙහෙමයි අපෙ අප්පච්චි මට කිව්ව විදිහට අපේ කතාව.................... ''

හෝරා දෙකකට ආසන්න කාලයක් දඩයක්කාරයා තම කථාව ඇය හා සමඟ පැවසීය. කිසිදු හරස් ප්‍රශ්න විචාරීමකින් තොරව ඕ ඒ සාවධානව අසා සිටියාය.

කථාව මුළුමනින්ම පැවසීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගත වූයේ දඩයක්කාරයාට එක් දිගට බොහෝ වේලාවක් කථා කොට පුරුද්දක් නොවීම හේතු කොට ගෙනය. ඔහුගේ කථාව අතරතුර දීර්ඝ නිශ්ශබ්දතාවයන්ගෙන් ගෙවී ගිය විරාමයන්ද බොහෝ තිබුණි.

අවසන දඩයක්කාරයා කථාව නිමකලේය. ඒ අතර සෙමෙන් ඔහු වෙත ඇදී ඒ යුවතිය ඔහුගේ උරහිසට යලිත් වරක් හිස තබා වාරු වූවාය. ඉක්බිති නිරායාසයෙන්ම සිදුවිය යුතු ඊලඟ පියවර ලෙස දඩයක්කරයා ඇගේ උඩුකය වටා තම සුරත යවා ඇය වැලඳ ගත්තේය.

මම මෙහෙ නවතින්නද අයියා?...ඇය ඔහුගෙන් කිසිදිනෙක ඇසුවේ නැත.

ඔයා එහෙනම් මෙහෙ නවතින්න.....ඔහු ඇයට කිසිදිනෙක පැවසුවේද නැත.

එහෙත් ඒ තමන්ගේ ඉරණම බව තමන්ගේ දෛවය බව ඔහු මෙන්ම ඇයද එක පැහැර දැන සිටියෝය.ජීවිත ගමනේ නොයෙක් කම් කටොළුවලට බඳුන් වී මංමුලා වුනු මනුෂ්‍යයින් දෙදෙනෙකු වූ ඔවුහු ජීවිතයට මුහුණ දීමෙහිලා තමන්ගේ උරුමය මේ යයි හොඳින් වටහා ගත්තෝ ඊට නොපැකිල මුහුණ දීමට සිත් දැඩි කරගත්තෝය.

මතු සම්බන්ධයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...