නිල් දිය පිරි විල මත පාවෙමින් තිබූ නෙළුම් පතක් මතට වී හිඳ ඔහු ඇය දෙස බලා සිටියේය. තම විසල් දෑස නොපියා බලා සිටියේය.
ඇය සෑම සවසකම විල් ඉවුර වෙත පැමිණියාය.බොහෝවිට පොතක් අතේ ඇතිවය. විල අසබඩ අහස උසට නැඟීගිය විසල් කුඹුක් ගස සෙවණේ හිඳගත් ඇය වරෙක මඳ සිනා නඟමින් වරෙක මුහුණ අඳුරු කර ගනිමින් පොත කියවූවාය. ඔහු ඈ දෙස බලා සිටියේය. නෙළුම් පත මත හිඳ ඇසිපිය නොහෙලා බලා සිටියේය. සමහර විටෙක ඇය පොත උකුල මත තබා විල් දිය දෙස බලා සිටියාය.ඔහුගේ නෙත ඇය නෙතට හමුවූ විට ඇය සිණාසුනාය. ඒ සොඳුරු සිනහව ඔහු සිත ඈ කෙරෙහි මහත් සෙනෙහසකින් පුරවාලීමට සමත් විය.
" එයා මට ආදරෙයි. මා එක්ක හිනා වෙන්නෙ ඒකනෙ……"
ඔහු සිතුවේය.
සමහර දිනක ඇය පොත පසෙක තබා සිහින් හඬින් මියුරු ගීයක් ගැයුවාය. ඔහුද ඇගේ ගීතයට අත්වැල් ගායනයෙන් එකතු විය. ගීතය නවත්වා විසල් වූ දෑසින් ඔහු දෙස මොහොතක් බලා සිටි ඇය හඬ නඟා සිනාසුනාය. ඔහුද ඈ සමඟ සිනහ වූයේය.
" එයා හිනා වෙනකොට හරිම ලස්සනයි....හිනා නොවෙනකොට ලස්සන නෑ කියල එහෙම නෙවෙයි මම කියන්නෙ...කොහොමත් ලස්සනයි...ඒත් හිනාවෙනකොට තවත් ලස්සනයි….."
ඔහු තමාටම කියා ගත්තේ සිත ආදරයෙන් පිරී යද්දීය.
කුමරියකගේ එකම සිප ගැන්මක් නිසා කුමරකු බවට පත්වූ සිය මුතුන් මිත්තකු පිළිබඳව කුඩා කල තම මිත්තණිය පැසසූ කථාව කිසිදිනෙක ඔහුගේ මතකයෙන් ගිලිහී ගියේ නැත. තමා ද එවන් කථාවක කථා නායකයා බවට එදවස සිටම ඔහු තුල බලවත් විශ්වාසයක් විය.
මාසයකට පමණ ඉහතදී ඔහු කෙරේ තම සෙනෙහස ප්‍රකාශ කල ඔහුගේම නෑනන්ඩිය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට ද ඔහුට සිදුවූයේ එහෙයිනි.
" මා එක්ක තරහ වෙන්න එපා. මම කුමාරයෙක්. කුමාරියක් ඇවිල්ල හාද්දක් දුන්නම මම කුමාරයෙක් වෙනව. ඒක මට සහතිකයි. "
ඔහු ඉවත බලාගෙන පැහැදිලි කළේය.
" එතකොට ඔයා ඉන්නෙ ඒ සුරංගනා කතාවෙ වගෙ කුමාරියක් එනකල්ද? …"
අවඥාවෙන් ඇගේ කට ඇදවී තිබෙනු දුටුවද ඔහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළේය.
" ඒක සුරංගනා කතාවක් නෙවෙයි.සුරංගනා කතාවල ඉන්නෙ සුරංගනාවියො...ඒ කතාවෙ ඉන්නෙ මමයි කුමාරියෙකුයි. "
ඔහු ඉවසිලිවන්තව පැහැදිලි කළේය.
ඔහු බලා සිටියේ කුමරියක එන තුරුය. ඇය ඒ කුමරිය බවට ඔහු තුල කිසිම සැකයක් නොවීය.
ඇය තමා සිපගෙන කුමරකු බවට පත් කරවීමට ඇත්තේ කාළය පිළිබඳ ගැටළුවක් පමණි. ඔහු එසේ සිතුවේය.
හදිසියේම ඇය දින කිහිපයක් විල්තෙර වෙත නොපැමිණියාය. ඇය එන තුරු ඔහු දෑස් දල්වා බලාසිටියේ මහත් නොඉවසිල්ලෙනි.
අවසන ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය.නෙළුම් පත මත හිඳ තවත් දෑස් දල්වා බලා සිටිය නොහැක. එක පිම්මකින් ඔහු විල් ඉවුරට ගොඩ විය. ඔහුගේ ඊලඟ පිම්ම ඇය විල්තෙර වෙත සැපත් වන පෙත් මඟ වෙතය.
කැපූ ගල් අතුරන ලද පෙත් මඟ දිගේ ඔහු පිම්ම ගසමින් පැන්නේ බලවත් නොඉවසිල්ලෙනි.
පෙත් මඟ අවසන් වූයේ උළු සෙවිලි කල මධ්‍යම ප්‍රමාණයේ නිවසක පසුපස ද්වාරයෙනි.එහි මොහොතක් රැඳුනු ඔහු නිවෙස වටා පනිමින් ගියේ ඇගේ හෝඩුවාවක් හෝ සොයමිනි.විවෘතව තිබුනු කවුලුවක එළිපත්ත මතට ඔහු ගොඩ වූයේ එකම පිම්මකිනි.ඔහු සිත ආහ්ලාදයෙන් පිරී ඉතිරී ගියේය. ඇය... ඔව.... ඔහුගේ කුමරිය කවුළුව අසලම වූ මේසය මත හිස නවාගත්වනම යමක් ලියමින් හුන්නීය.
අඩක් විවරවූ මුවින් යුතුව ඔහු ඇය දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය. කුමක් හෝ වේවා තමා ලියමින් සිටි සටහන වෙත දැඩි අවධානයෙන් සිටි ඈ ඔහු නොදුටුවාය. රත් පැහැගත් පිරුණු යටි තොල සපාගනිමින් නලළ රැලි කර ගනිමින් ඇය නොකඩවා ලිව්වාය. ඔහු සෙනෙහස පිරුණු දෑසින් ඈ දෙස බලා සිටියේය.
තමන් දෙස කිසිවකු බලාසිටින කල ඒ සවනේන්ද්‍රියකින් මෙන් අප බොහෝ දෙනෙකුට දැනේ. ඇයට ද එසේ දැනුනු බවට සැක නැත. ලිවීම නතර කොට මොහොතක් හිස පහත්කොටගෙනම හුන් ඇය සෙමෙන් හිස එසවූවාය.ඇගේ දෑසට ඔහු දෑස හමු විය. ඔහු ඈ දෙස බලා සිනාසුනේ හද පිරි සතුටිනි. මොහොතක් ඔහු දෙස බලාසිටි ඇගේ දෙනෙත් විසල් විය. ඉනික්බිති ඇය සිනාසුනාය. මද සිනහවකින් ඇරඹි ඒ හඬ නඟා සිනාසීමක් බවට පත් වීමට ගතවූයේ නිමේශයකි.
ඇගේ සිනහ හඬ එක වරම මැකීගියේ ඒ ආරම්භ වුවා මෙන්ම ක්ෂණිකවය. ඊට මොහොතකට පෙර ඇගේ දෙබැම මෙන්ම නලළද රැලි ගැසුණු බව සේම දෑසට කල්පනාකාරී පෙනුමක් ආරූඪ වූ බවද ඔහු නොදුටුවේ ඔහු සිත ඈ පිළිබඳ ආශ්වාදජනක සිතිවිලි රැසකින් පිරී ඉතිරී තිබූ නිසාමය.
වහා නැඟිට සිටි ඇය, හිඳ සිටි පුටුව පසුපසට ඇද මේසය වටා ගොස් ඔහු වෙත ආවාය. ජනේලයේ එළිපත්ත මත හිඳසිටි ඔහු ආසන්නයටම පැමිණි ඇය තම සුරත ඔහු වෙත දිගු කළාය. අධික ප්‍රහර්ෂයෙන් හදවත පුපුරා යන්නට ආසන්නවූ ඔහු හැකි පමණ පසුපස පාදයන්ට බර දී සිරුර එසවූයේ හැකි පමණ විගසින් ඇගේ සුරත මතට පැනීමටය.
එක් වරම දිගුකල සුරත ආපසු පසුපසට ගත් ඇගේ දෙනෙතෙහි පල වූයේ බියකට ආසන්න හැඟීමකි. තමාට බිය වීමට කිසිදු කරුණක් නොමැතිබව මෙන්ම තමන් ඇයට ප්‍රේම කරන බව පැවසීමට ඔහු උත්සාහ කලේය. එහෙත් තවත් වරක් ඔහු දෙස ඉක්මන් බැල්මක් හෙලා කාමරයේ දොරටුව අසල වූ අල්මාරියක් වෙත යුහුව ගිය ඈ එහි වූ ලාච්චුවක් විවෘත කොට ඉන් සුදු පැහැති අත් වැසුම් යුවලක් පිටතට ගත්තීය.
අත්වැසුම් පැළඳගත් ඕ මේසය යටට එබී කාඩ්බෝඩ් පෙට්ටියක ද ගෙන - බොහෝ විට ඒ පැරණි පාවහන් පෙට්ටියක් විය හැක - නැවත ඔහු වෙත සීරුවෙන් ලඟා වූවාය.
සුදු අත්වැසුමින් ආවරණිත සුරත මෙවර ඇය ඔහු වෙතට දිගුකලේ යම් චකිතයකින් මෙනි. ඒ සුරත තමා වෙත ලඟා වනතෙක් නොසිටි ඔහු වහා කරණමක් ගසා නොවරදින ලෙස ඇගේ අත්ල මතට පැන්නේය. වෙනත් සාමාන්‍ය යුවතියක මෙවන් අවස්ථාවක බියෙන් ත්‍රස්තව කෑගසා ඔහු බිමට හෙලා පසුපසට පනිනු නියතය. එහෙත් ඇය විසල් වූ දෑසින් තම සුරත මත හිඳිනා ඔහු දෙස එක එල්ලේ බලා සිටියා විනා එවන් කිසිදු වෙනත් ප්‍රතික්‍රියාවක් නොදැක්වූවාය.
මේසය මතවූ කාඩ්බෝඩ් පෙට්ටියට වමතට ගත් ඈ ඔහු සෙමින් එතුල තැබුවාය. ඇගේ සුරතින් කාඩ්බෝඩ් පෙට්ටිය තුලට යෑමට සිදුවීම ඔහු සිතට යම් තැවුලක් ගෙන දුන්න ද ඔහු ඒ හැඟීම එකෙනෙහිම ඉවත හලේය.
" එයා ලෑස්ති මාව හැමදාම එයා ලඟම තියාගන්ට...එයාත් මට ආදරෙයි කියල ස්ථිර වෙන්ට ආය වෙන මොනවද ඕන සාක්කි.."
ඔහු එලෙස සිතුවේ සිත සතුටින් පිරී යද්දීය.
" එයා මට ආදරෙයි!... එයා මට ආදරෙයි!!... එයා මට ආදරෙයි!!! ………"
ඔහු හැකි පමණ වෙර යොදා හඬ තැලුවේය.
වික්ෂිප්ත වූ ඇය වහා කාඩ්බෝඩ් පෙට්ටියේ පියන්පත වසා දැමුවාය.
ඝන අඳුරේ තනිවූ නමුදු අඳුර හොඳින් හුරු ඔහුට ඒ ගැටළුවක් නොවීය.ඇය පියන්පත විවරකොට තමා ඉවතටගෙන හාදුවක් දී කුමාරයකු බවට පත්කරන තෙක් ඔහු ඉවසිල්ලේ පොරොත්තු විය.
කාලය කොපමණ ගත වීදැයි ඔහු නොදත්තේය.ඒ හෝරා අඩක්, හෝරාවක්, හෝරා දෙකක, වරුවක් හෝ දවසක් විය හැක.ඔහුට ඒ පිළිබඳව කිසිදු හැඟීමක් නොවීය. මහත් වූ සොඳුරු බලාපොරොත්තු රැසකින් ඔහුගේ සිත පිරී ඉතිරී යමින් තිබිණ.
අවසන පෙට්ටියේ පියන ඉවත් විය.ඇය පලමුව පෙට්ටියට එබී බැළුවාය.අනතුරුව සුදු පැහැ අත් වැසුමක් පැළඳි සුරත පෙට්ටියට බහා ඔහු සීරුවෙන් පිටතට ගත්තාය.ඇගේ සුරතේ පහස විඳිමින් ඔහු මොහොතකට දෙනෙත් පියා ගත්තේය.
ඇය මේ සැරසෙන්නේ හාදුවක් දී තමා කුමාරයකු බවට පත් කිරීමට බවට ඔහුට කිසිදු සැකයක් නොවීය.
" එයා මට හාදුව දෙනකල් මම ඇස් පියාගෙනම ඉන්නව..එහෙමද හොඳ? නැත්නම් ඒ වෙලාවට ඇස් ඇරල එයාගෙ ඇස් දිහාවෙ බලා ඉන්න එකද?..."
ඔහු දෑස් පියාගෙනම සිතුවේය.
ඒ සමඟම පෙණහළු පුරවා දැනුනු කටුක ගන්ධයක් ඔහුගේ දෑස් ක්ෂණිකව විවර කලේ නිරුත්සාහකවය. ක්‍රමයෙන් සිරුර අකර්මණ්‍යව යනු හා සමඟම ඇය තමා උඩු බැලි අතට මේසය මත තිබූ ලී පුවරුවක දෑත සහ දෙපය විනිවිද යනසේ තියුණු තුඩගින් යුතු කුඩා ඇණ යොදා සවි කරනු ඔහුට දැනුණි.
මිහිදුමක් ගලාවිත් දසත අඳුරුවන්නට වූයේ ද ඒ සමඟමය. විශේෂයෙන් වර්ෂා සමයේ උදෑසන හිරු එළිය පතිතව පළවා හැරීමට ප්‍රථම විල් තෙර ජල තලය වසා පැතිර පවත්නා මිහිදුම ඔහුට ක්‍රමයෙන් මැකී යන රූ දසුන් අතරින් සිහිවූයේය.
පූර්ණ ගණඳුර ගලාවිත් ඔහු වසාගන්නට පෙර කෙමෙන් පියවී යන ඔහු දෙනෙතට අවසන් වරට දිස්වූයේ ඔහුට බොහෝ ආසන්නව දෑස් විදහා ඔහු දෙස බලා සිටිනා ඇගේ රුවයි. ඇගේ සුරතෙහි වූයේ සුදු පැහැයෙන් දිලිසෙන තියුණු මුවහතකින් යුතු කුඩා සැතකි.
At last I met my dream princess, who was to kiss me and make me a prince. She was interested in me as much as I was in her, the only problem was she was more interested in my heart, to be precise how it works and whats more she wanted to find it out for herself.....( Waiting for The Kiss of A Princess )
**************************************************
සිත්තමී නඟා ලියාපු නෙළුම් කොලේ උඩ ගහපු ගිවිසුම වියුණු සටහනට ටීකාවක් හැටියටයි මේ කතාව පටන් ගත්තෙ ...ඒත් දන්නවනෙ ලියාගෙන යනකොට…. ලියාගෙන යනකොට...හෙහ්, හෙහ්
හයියෝ.. මෙඩ්ඩියෙක් වගේ.. අහිංසක ගෙම්බෙකුටවත් ඉන්න නොදෙන කෙල්ලො..
ReplyDeleteමං 1 නේ.. ගෙම්බටත් හොඳ වැඩේ.. ලොකු අතු අල්ලන්න යනවට.. ඔය සිදුවීමෙන් පස්සෙ තමයි,
Delete// කෙල්ලෙක් නිසා ගෙම්බෙක් වෙන්නෙපා// කියන කියමන ආවෙ
සුරතේ දිලෙනා,
Deleteසොඳ සැත දිවි තොර කරනා,
මහදේ නැඟෙනා,
සෙනෙහස නුඹ වෙතම තමා,
( Famous last words of a frog who wanted to be a prince )
ඔය විදියට ගෙඹි කුමාරයෙක් හම්බුවෙනකම් බලං ඉන්න කුමාරියොත් ඉන්නවා... ඒත් ඒ කිස් එකෙන් පස්සේ වෙන්නේ කුමාරිත් ගෙම්බියක් වෙන එක විතරයි...
ReplyDelete/ ඒත් ඒ කිස් එකෙන් පස්සේ වෙන්නේ කුමාරිත් ගෙම්බියක් වෙන එක විතරයි… /
Deleteහෙහ්, හෙහ්, එහෙම වෙන එක එක අතකට හොඳා හිරු..මොකද ඔය ගෙම්බොන්ව සිපගෙන කුමාරයො කලාට උංගෙ උපං ගෙයි ගති ඇරෙන්නෙ නෑ නෙව. කුමාරිත් එක්ක රාජ සබාවෙ ඉන්නකොට උනත් මැස්සො එහෙම පෙන්නන්ට බෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට දිව දාල අල්ලං කනව.
එතකොට කුමාරියො ගෙම්බියො උනාට අවුලක් නෑ. කුමාරියො කියන්නෙ කොහොමත් ගෙම්බියොන්ගෙ ගති ලක්සන අඩු වැඩි වසයෙන් තියෙන උදවිය නෙව. එයාලට ඒ නිසා අමාරු වෙන එකක් නෑ ඒ භූමිකාව කරන්ට :) :)
ම්..රවීගේ ගෙම්බාට පින්සිද්ධ වෙන්න සිත්තමීගේ බ්ලොග් එක පැත්තෙ ගොඩ වැදුනා..ස්තුතියි..
ReplyDeleteමට බොහොම සතුටුයි රූ....අපෙ සිත්තමී නඟා ඇවිල්ල බොහොම අපූරු හැකියාවන්ගෙන් අනූන මානවිකාවක්...දැක්කනෙ නේද?.....:) :)
Deleteඅපොයි පව් දෙයියනේ. මම මෙඩිසීන් නොකළේ හොඳ වෙලාවට කියලා ආයෙමත් හිතුණා. ඒ වෘත්තිය ගොඩක් උතුම්. ඒත් එතනට යන පාරේ යන්න හිත ගොඩාක් හයිය වෙන්න ඕනේ. මටනං ඒ වැඩේ බෑ.
ReplyDeleteඅයියට ස්තූති කරන්න වචන හොයාගන්න බෑ මට. මෙහෙම දෙයක් කියන්නම්කෝ. අයියා අයියගේ නමටම ගැලපෙන ක්‍රියාවෙන් යුතු වෙච්ච කෙනෙක්. රවි. ඉරේ රාජකාරිය මොකද්ද කියලා හිතලා බලන්නකෝ, එතකොට තේරෙයි මං කියාපු දේ. ගොඩාක් පින් රවි අයියේ. :)
/ ඉරේ රාජකාරිය මොකද්ද කියලා හිතලා බලන්නකෝ, එතකොට තේරෙයි මං කියාපු දේ. /
Deleteම්ම්ම්...ඉරේ රාජකාරිය නේද?...ආ, හරි....විටමින් D නොමිලේ බෙදන එක....ඔන්න බලාපං උඹ මා ගැන හිතාගෙන ඉන්නෙ එහෙමයි එතකොට නේද?...නොමිලේ විටමින් බෙද බෙද යන මනුස්සයෙක් කියලයි ..ඈ..බොල?
රවිගෙන් ලියවුනු ලස්සනම සටහනක්!!!
ReplyDeleteඔය වගේ ආදරේ බලාගෙන ඉන්න අයත් ඉන්නවා නේද කියලා පුදුම දුකක් හිතුනේ ගෙම්බා ගැන. ආදරේට ඇස් නෑ නේද?
ඒ එක්කම ඉතින් ගෙම්බටත් කුමාරියෙක්ම ඕනි උනානේ. එක අතකට ඒකේ ඇති වැරැද්දකුත් නෑ. අපි හැමෝම හොයන්නේ කුමාර , කුමාරියෝ තමයි.
/ ආදරේට ඇස් නෑ නේද /
Deleteආදරේට ඇස් නෑ නෙවෙයි බොල...ආදරේ දාගෙන ඉන්නෙ Blinkers ෆුල් ටයිම්. අන්න ඒකයි යථාර්තය පෙන්නෙ නැත්තෙ. Blinkers අයින් වෙනකොට වෙන්න ඕන හරිය වෙලා අහවරයි ...:) :)
/ අපි හැමෝම හොයන්නේ කුමාර , කුමාරියෝ තමයි. /
පිස්සුද අනේ?....කවුද එහෙම කියන්නෙ?....You can speak for yourself…:) :)
මේ ගෙම්බො සහ කුමාරියො ගැන....:) :)
බොහොම ලස්සනයි... සමහරුන්ට තමන් පණ වගේ ආදරය කරන ආදරයම තමයි විනාශය ලං කරන්නෙත්...
ReplyDeleteඇත්ත සිරා..ස්තූතියි....
Deleteජීවිතේ එහෙම තමයි බොලේ...ආධරය ෂුණ්ධර වරධඛී, ඛිෂිධා ෂමාවක් ණම් ණැථී....කියල අර සිංදු කියමින් ආණ්ඩු කොරන පොර කිව්වෙ නිකමටයෑ??
ආදරයෙන් විනාස වෙන්නේ ඇයි ? තේරුමක් නැති දෙයක්
ReplyDeleteඋනත් තේරුම් නොයන්නේ ආදරේ නිසාමයි ...
ඔව්ව ඔහොම හරියටම තේරුම් යන්නෙ නෑ සහන්...එහෙම තමයි ඒකෙ හැටි...හෙහ්, හෙහ්,
Deleteඅපේ රටේ කොයිතරම් ගෙඹි කුමාරයෝ ආදරේ වෙනුවෙන් දිවි පුදනවද ...හය්යෝ හැබැයි මට කවදාවත් ගෙම්බෙක් අල්ලගන්න ලැබිලා නැහැ ඒ කාලේ . අපේ දිහා බයෝ කාරියෝ දෙන්නෙක් හිටි නිසා උන් අහලක වත් නොසිට පලා ගොස් ..
ReplyDeleteමේ ලිපිය මන් කියවල නැහැ . ඒකාලේ මේ බ්ලොග් එක වැඩිය දන්නේ නැත්ද කොහෙද
පිස්සුද ළමයා?...මේක මම ලිව්වෙ මේ පහුගිය දෙසැම්බර්...එතකොට ඔහේ නිදහස් සිතුවිලි කියවන්ට අරගෙන සෑහෙන කාලයක්...මේක කොහොම හරි මිස් වෙන්ට ඇති...:)
Delete