Wednesday, July 15, 2020

651. කන්දකාඩු මතක සටහන්....


මේක මේ වැලිකන්දෙ ආයුධ සන්නද්ධව ඉන්න දවස්වල ගත්තු එකක්...:)

මේ දවස්වල කන්දකාඩු ගැන හැමෝම කතාවෙනවනෙ. ඔය කන්දකාඩු කිට්ටුව ඒ කියන්නෙ වැලිකන්දෙ ඉඳල කන්දකාඩු යන පාරෙ අතරමඟ තිබ්බ අපේ මහවැලි ඔෆිස් එකක්. ඒකෙ මම වැඩ කලා 1989 අගෝස්තු වගෙ ඉඳල 1990 ඔක්තොබර් වගෙ වෙනකල්. සිංහපුර ප්‍රාදේශීය නේවාසික ඉංජිනේරු කාර්යාලය - මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සිය. අන්න ඒකයි අපේ ඔෆිස් එකේ නම.... 

වැලිකන්දෙ ඉඳල සිංහපුරට තියෙනව කිලෝ මීටර් 14 විතර. තව කිලෝ මීටර් 8 වගෙ යන්ට ඕන කන්දකඩුවට. 

ඒ කාලෙ ඔතන තිබ්බෙ කන්දකඩුව රජයේ ගොවිපොළ...N.L.D.B. නොහොත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් තමයි ගොවිපොළ පාලනය කලේ. වැඩිපුරම කලේ කිරි පිණිස ගවයින් ඇතිකිරීම. ඉන්දියාවෙන් ගෙන්නපු මහ විසාල අං තට්ටු තියෙන ඒ පළාතේ කර්කශ දේශගුණයට හොඳින් ඔරොත්තු දෙන ගව වර්ගයක් තමයි වැඩිපුරම හිටියෙ. ගව පාලනයට අමතරව වී වගාව, බඩ ඉරිඟු, කව්පී සහ මුං වගාවත් කෙරුනා. අපි සතියකට සැරයක් විතර අපේ ජීප් එහෙක කට්ටියම පැටවිල ගිහිල්ල මුදවපු කිරි බඩ ඉරිඟු එහෙම අරගෙන එනව. 

මහවැලියෙ ඒ කාලෙ අංශ දෙකක් තිබ්බ. මම ඒ කාලෙ වැඩ කරපු M.E.C.A. නොහොත් මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සිය සහ M.E.A. නොහොත් මහවැලි ආර්ථික ඒජන්සිය. ම.ඉ.නි.ඒ. එකට බාර වෙලා තිබ්බෙ පාරවල් ,ඇලවල්, ඉස්කෝල එහෙම හදල මිනිස්සු පදිංචි කරන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් නිර්මාණය කිරීම. මිනිස්සු පදිංචි කරල ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් ඉටු කිරීම කලේ මහවැලි අර්ථික ඒජන්සියෙන්. 

අපි සිංහපුර ඉන්න කාලෙ මහවැලි ආර්ථික ඒජන්සියෙත් බොහොම සීමිත කාර්ය මණ්ඩලයක් එහෙ සේවය කලා මිනිසුන් පදිංචි කීරිමට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරමින්. ඒ අංශයෙ ප්‍රධානියා හැඳින්වුනේ කොට්ඨාශ කළමණාකාර යන නමින්. 1990 අගෝස්තු මාසෙ විතර එල්.ටී.ටී.ඊ. එකෙන් වැලිකන්ද සිංහපුර පාරෙ රැකල ඉඳල ඒ කොට්ඨාශ කළමණාකාර මහත්මයා වෙඩි තියල ඝාතනය කලා. 

ඔය ප්‍රේමෙ කොටි එක්ක සාම සාකච්ඡා පවත්වමින් ඉන්න දවස්. ඉන්දියන් සාම සාධක හමුදා එහෙමත් ඒ පැත්තෙ හිටිය. ඒ කාලෙ කොටි මහවැලියෙන් කරපු ඉදිකිරීම් වලට ජෙනරලි බාධා කලේ නෑ. එහෙම බාධා නොකරන්ට හේතුව උංගෙ ප්‍රොපෝස්ඩ් ඊළමට නැගෙනහිර පළාත විතරක්ම නෙවෙයි මනම්පිටිය පාළම දක්වා උතුරු මැද පළාතෙන් කොටසකුත් අයිති වෙලා තිබ්බ. ඒ හින්ද උං හිතන්න ඇති "එන්නප්පා.....උඹලට ඔච්චරම අකේ පුමාරුවක් තියනවනං ඇලවල් වැව් පාරවල් උඹලම වියදම් කරල හදපල්ල..අපි බොහොම ඉක්මනට ඊළම ගත්තම ඔය හදපුව ඔක්කොම අපිට තමයි. මොකෝ ආය උඹල හදපු ඇළවල් බිල්ඩිං එහෙම ලොරිවල පටවල අරං යන්ටද?" අන්න ඒ විදිහට. ඒ කාලෙ ඒ පැත්තෙ හිටපු කොටි නායකය බාලෝ එහෙම කියලමත් තිබ්බ..... 

දැං අපි ඔය මහ කැලේ මැද කිසිම ආරක්ෂාවක් නැතුව ගිහිල්ල මැනුම් කටයුතු, ගොඩනැඟිලි ඉදිකිරීම්, වැව් සහ ඇළවල් ඉදිකිරීම් අරව මෙව්ව ඔක්කොම කලානෙ. උංට ඕනනම් කිසිම බාධාවකින් තොරව අපේ නිලධාරීන්, සේවකයින් කොන්ත්‍රාත් කරුවන් ඔක්කොමල මරල දාන්ට තිබ්බ. අපේ හමුදාව ඒ කිට්ටුව හිටියට ඒ ගොල්ලන්ට බොහොම තහංචි දාල තිබ්බෙ ආණ්ඩුවෙන්ම. "No confrontation whatsoever with Tigers" එහෙමයි ආණ්ඩුවෙන් නියෝග දීල තිබ්බෙ හමුදාවට...

ඒත් ඒ කාලෙ අපේ ඔෆිස් එක  කිට්ටුවම තිබ්බ හමුදා කඳවුරේ ලොක්ක හිටියෙ කැප්ටන් කෙනෙක්. එතුමා අපට කිව්ව ආණ්ඩුවත් එක්ක සාම සාකච්ඡා තිබ්බට මේ කොටි කියන ජාතිය සත පහකට විස්වාස කරන්ට බෑ. ඒ හින්ද ඔය ගොල්ල කෝකටත් හදිසි තත්වයකදි වහාම අපේ ක්වාටර්ස් පිටිපස්සෙ තිබ්බ කැළේට පහු බහින්ට ලෑස්තිවෙලා ඉන්ටය කියල. එහෙම අනතුරක් ආවොත් එයාල සයිරන් එකක් තියනව ඒක ගහන්නම්ය කියලත් කිව්ව. ඒ සයිරන් එක කිලෝමීටර් දෙකක් වගෙ දුරට ඇහෙනව. 

අපිට ඒ කාලෙ මහවැලියෙන් ෂොට් ගන්ස් දීල තිබ්බ. හැමෝටම වගෙ අවි පුහුණුවකුත් දුන්න. ඇත්තටම කොටි ඇටෑක් එකක් ආවොත් ඔය ෂොට් ගන්ස් වලින් කරන්ට පුලුවන් දෙයක් නෑ. ඒත් එව්ව දුන්නෙ එකක් ආමි එකට සංඥාවක් විදිහට සහ පොඩි වෙලාවක් හරි අල්ලගෙන ඉන්ට පුලුවන් වෙයි කියල හිතපු හින්ද. කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් ඒ ෂොට්ගන්ස් පාවිච්චි කරන්න අවස්ථාවක් නම් ආවෙම නෑ.

ඔහොම තත්වයක් යටතෙ ආණ්ඩුවත් කොටින්ට පුලුවන් තරම් ඉඩ දෙද්දි කොටින්ට ඕන ඕන හැටියට සෙල්ලං දාන්ට පුලුවන්කම තියෙද්දි එකපාරටම මේ කරපු ඝාතනය ගැන අපිට හිතාගන්නවත් බැරිවුනා. ඒ කොහොම වෙතත් එව්ව හිත හිතා ඉන්න වෙලාවක් නැහැනෙ. අපි ඔක්කොම අර දඩ ටාටා හාෆ් බොඩි ලොරි වලට ඇඳ පුටු මේස කොට්ට මෙට්ට යනාදී සකල සබ්බ මනාවම පටවගෙන වැඩ ඔක්කොම අතෑරල දාල වැලිකන්දට පහු බැස්ස. 

අපි ආපහු සිංහපුරට ගියේ නෑ සෑහෙන කාලෙකට...මම වැලිකන්දෙ අවුරුද්දක් වගෙ ඉඳල බකමූණට ස්ථාන මාරුවක් ලැබිල එහෙට ගියා. ඉතිං ඔන්න ඔහොමයි කන්දකඩුව පිළිබඳ මගේ මතක... 

සිංහපුරදි ගෙවපු කාලය පිළිබඳව මම කලින් ලියපු කතා මහ හුඟක් තියනව...










LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...