Saturday, April 25, 2020

649. සකරබුර්ගෝ ගුණෝපේතං...


මාරක සකරබුර්ගයන් දෙපා නමදින ගාථා රත්නය
***************************************************

සත්තාහි නාතෝ අසංඛෙයිය,
කොරෝන නිරෝධේන විපරීත බුද්ධිං,
සකරබුර්ගෝ ගුණෝපේතං,
පාද කමලේන නමාමහං

මේ කොරෝනා නිරෝධායන සමයේහි තම වාසස්ථාන තුල සිරවී අන්දමන්දාකෘතවැ සිටින්නාවූ අසංඛ්‍ය සංඛ්‍යාත අසරණ ජනයාහට මනස විකෘතී වීමකින් තොරව එම කාලය ගෙවා ගැන්මට සහාය වන්නාවූ සකරබුර්ග උතුමාණන්ගේ පා පියුම් ඉදිරියේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන්නෙමි!!!

Wednesday, April 22, 2020

648. අපි නොදන්න ලයිව් - කතා කරන ඇතා....

ඇත්තු කතා කරන්නෙ නෑනෙ. ඒත් සමහරු ඇත්තු කතා කරනවයි කියල රැවටෙනව...

"අම්මට උඩු කොහොමද ඒ ඇතා?...මරු බඩුව නේද?"

"ඇයි මොකක්ද අනික් ඇත්තුංගෙයි මේ ඇතාගෙයි වෙනස? "

"වෙනස කියන්නෙ හලෝ මේ ඇතා කතා කරනව..."

"බොරු කියන්ට එපා.."

"බොරු නෙවෙයි හලෝ මේ ඇතා කතා කරනව..මගෙ කන් දෙකටම ඇහුණනෙ..මූ කතා කරනව..."

"බොරු නේද? "

"බොරු නෙවෙයි හලෝ...කවි සින්දු එහෙමත් කියනව..."

"නෑ?"

"නැත්තෙ නෑ... ඔව්..."

ඉතිං ඔය නිකම්ම සාමාන්‍ය නෝමල් ඇත්තු ඇවිල්ල හිට මාරම සිරා ඇත්තුය මේ වගෙ ඇත්තු දකින්ට ලැබෙන එකත් වාසනාවක්ය කියල රට වටේ ප්‍රචාරය අරින්ට ලෑස්ති වෙච්ච වෙනම සෙට් එකක් ඉන්නව...

එහෙම අයගෙන් කොටසක් මේ වැඩේ කරන්නෙ තමන්ට මොනව හරි ලාබ ප්‍රයෝජන එහෙම බලාගෙන..ඒ කිව්වෙ අඩුම ගණනෙ ඔය වගෙ අමුතු ඇත් රාජයෙක් ගැන රටපුරා ප්‍රසිද්ධ උනහම ඒ ඇතා බලන්ට වෑන් බස් වල පැටවිල එන මිනිස්සුන්ට අඩුම ගණනෙ බුලත් විටක්, සිගරට් එකක්වත් විකුණගෙන කීයක් හොයාගන්ට පුලුවනිය කියල හිතල මේ ප්‍රචාරය අරින අය.

අනික් අය ඇත්තටම මේ ඇතා කතා කරනවයි කියල අවංකවම විශ්වාස කරල අනික් මිනිසුන්ටත් ඒ ආශ්චර්යය බලන්ට අවස්ථාව ලබා දෙන්ට ඕනය කියල හිතන උදවිය.

කොහොම හරි අන්තිමට වෙන්නෙ මේ දෙගොල්ලොම රැවටෙන එක..ඒත් මේ රැවටෙන අය කවදාවත් පිළිගන්නෙ නෑ තමන් රැවටිලාය ඉන්නෙ කියල...එක්කො රැවටුනාය කියල පිලිගන්ට අකමැති හින්ද..ඒත් නැත්තං කවදකහරි ඇතා කතා කරයි කියල හිතාගෙන ඉන්න හින්ද...

ඒ හින්ද එයාල මුලාවෙන් මිදෙන්ටත් සූදානම් නැහැ. චිරාත් කාලයක් තිස්සෙ තමන් වැටිල ඉන්න මුලාවෙම ඇලී ගැලී ෆැන්ටසියක එහෙම නැත්නම් සුන්දර සිහිනයක කිමිදිලා ඉන්ට තමයි ඒ අය කැමති...

පහුගිය නොවැම්බර් මාසෙත් එහෙම දෙයක් උනා. බහුතරයක් කතා කරන්ට පුලුවන් ඇතෙක් ගැන හදපු ෆැන්ටසියකට රැවටුනා. දැන්නම් ඒ ඇතත් හරිම සාමාන්‍ය ඇතෙක්මය ඌට වචනයක්වත් කතා කරන්ට බැරිය කියල හැමෝම දන්නව. ඒත් අර රැවටිච්චි අය තවමත් ඒ ෆැන්ටසියෙම ඇලී ගැලී ඉන්නව.

ඒ කියන්නෙ තමන් අනුන්ව අන්දන්ට කියපු බොරුව අන්තිමට තමන්ම විශ්වාස කරනව...


Monday, April 20, 2020

647. සසරින් එතෙර වනු පිණිස......


ඡායාරූපය ගොසිප් නිව්ස් ලංකා වෙබ් අඩවියෙනි.

ඛේමා සහ උප්පලවණ්නා වනාහි සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවිකා තනතුරෙන් පිදුම් ලැබූ මෙහෙණින් වහන්සේලා වූහ.

ඒ භික්ෂුණී පරපුරෙහි අනාගතය භාරගැන්මේ මහත්වූ වගකීමට උරදෙන්නට සැදී පැහැදී සිටින්නී වුවද ඇය වනාහී තවමත් සත් හැවිරිදි කුඩා දැරියකි.

ඛේමා හෝ උප්පලවණ්නා මෙන් ඇය පැවිදි වූයේ සසර කළකිරීමෙන් අනතුරුව නම් නොවන බව නිසැකය. දරිද්‍රතාවයෙහි කරවටක් ගිලී ඉතා අසීරුවෙන් දිවිගෙවනා ඇගේ මව්පියෝ ඇය සසුනට පිදූයේ හුදෙක් වෙනත් විකල්පයක් නොවූ හෙයින්මය.

කසාවතක් දරා සිටියද ඇයද කෙළිලොල් වයසේ පසුවනා කුඩා දැරියක. පාවහන් වෙළඳ සැළෙහිදී ඇගේ සිත ඇදීගියේ ලාරත් පැහැ හුරුබුහුටි සෙරෙප්පු යුවළකටය. 

එහෙත් එය මිළදී ගැන්මට ඇගේ භාරකාරියන්වූ වැඩිහිටි මෙහෙණින් වහන්සේලා අත වූ මුදල ප්‍රමාණවත් නොවිනි. එබැවින් ඇයට කළු පැහැ සාමාන්‍ය රබර් සෙරෙප්පු යුවලකින් සෑහීමට පත්වන්නට සිදුවිය.

ඇගේ අපේක්ෂා භංගත්වයෙන් සොවින් පිරීගිය දෑස එම මොහොතේ එහි සිටි තරුණයකුගේ හද කම්පාවට පත් කළේය. වහා ඇගේ සිත්ගත් මිරිවැඩි යුවල මිළදී ගත් ඔහු දණ නවා පහත්ව එය ඇයට පිරිනැමීය. මේ අනපේක්ෂිත සිද්ධියෙන් විමතියට පත් ඇය විළියෙන් බරව වැඩිහිටි මෙහෙණියක පසුපස සැඟවුණාය.

"කමක් නෑ..ගන්න සුනන්දා..මේ මහත්මයාට බොහොමත්ම ස්තූතියි කියල ඕක ගන්න..." වැඩිහිටි මෙහෙණියෝ සිනහමුසු මුහුණින් යුතුව පැවසුවාය.

Friday, April 17, 2020

646. සොයුරු සෙනෙහස.....


Image : Malkiya - මල්කියා Web page

සසර ගමනත් නිමවෙනා තුරු,
සොයුරු සෙනෙහස බැඳුනු නිරතුරු,
රකිමි ඔබ මගෙ පණ පරිද්දෙන්,
සපථ කරනෙමි මගේ නැගණිය,
ඔබේ හිස මත සුරත තබමින්...

Until the day of my death or even beyond,
I will protect you with even my life,
I promise you my sister,
Gods above will bear witness....


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...