Saturday, April 30, 2011

සෙනෙහස මගේ, මහ මෙර වගේ......3 - අසුරු සැණෙකින් ජීවිතයම බිඳ වැටුනු දවසක්,






සෙනෙහස මගේ, මහ මෙර වගේ......1


සෙනෙහස මගේ, මහ මෙර වගේ......2

මම ගෙට ගිහිල්ල දවල්ට උයපු මඤ්ඤොක්ක කෑලි ටිකකුයි, කඩල වගේකුයි ගෙනැල්ල රන්බණ්ඩට දීල, ආයෙම පුටුවෙ දිගා වෙලා රන්බණ්ඩගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මිනිහට කතාව පටන් ගන්න කියල නොකියා කියමිනුයි.

" මේ පාර යන්නෙ මගෙ ගමට මහත්තය " වැට අයිනෙන් යන පාර පෙන්නල රන්බණ්ඩ කිව්ව. " අපෙ අත්ත නුවර කිට්ටුව කෙනෙක්. එයා තමා තරුණ කාලෙ මෙහෙ ඇවිත් පදිංචි වෙලා තියෙන්නෙ,ඒ කිව්වෙ සුද්දන්ගෙ කාලෙ "


මොකෙක් හරි නිශාචර කුරුල්ලෙක් ජෑම් ගහේ අතු අතරෙ ඉඳල ඉගිල්ලිල ගියා.ඒ දිහා ඔලුව හරවල බලල රන්බණ්ඩ " බස්සෙක්ද කොහෙද" කියල ආයෙම කතාව පටන් ගත්තා.

" මීට අවුරුදු පහලවකට විතර ඉහතදි, මට එතකොට විසි පහ ලැබුවා විතරයි, මම හරි දඩබ්බරයා. මාව ගමේ තියාගන්ඩම බැරි තැන අප්පච්චි මාව යැව්ව අත්තලගෙ ගමට නුවර කිට්ටුව ගුන්නෑපානට "

" කොහෙට කිව්ව, ගුන්නෑපානට? " ඇස් පියාගෙන කතාව අහගෙන උන්නු මම, එක පාරටම පුටුවෙ කෙලින් උනා.

" ඇයි, ඇයි මහත්තය දන්නවද ගුන්නෑපාන? "

මම මොකෝ නොදන්නෙ ගුන්නෑපාන? එයා......., ගිය සතියෙ ආයෙ නේන්නම මගෙන් වෙන් වෙලා ගිය එයා ගුන්නෑපානෙනෙ.

" නෑ, නෑ, එහෙමට දන්නෙ නැහැ, මගෙ යාලුවෙක් හිටිය ඒ කිට්ටුව,ඒකයි එහෙම ඇහුවෙ "

" මාව ගිහිල්ල නැවැත්තුවෙ නෑකමට මට මාම වෙන කෙනෙකුගෙ ගෙදර. මාමට හිටියෙ එකම දුවයි.පොඩි කඩ කෑල්ලකුත් තිබුන ඒ අයට. මම ඔය කඩෙත් වැඩ කරගෙන වත්ත පිටියත් බලාගෙන හිටිය "

" මගෙ නෑනගෙ නම සිරිමලී.නමටම ගැලපෙන ඒ වගෙ සිරියාවන්ත කෙල්ලෙක් මම කවදාවත් දැක්කෙ නෑ මහත්තය.ඒ කෙල්ල නිසා මම මගෙ මොරෝමකං ඔක්කොම අතෑරල දාල හොඳ මිනිහෙක් උනා. මගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් අරමුණක් ආව.මම මගෙ මුලු හදවතින්ම සිරිමලීට ආදරේ කලා. ඒ කෙල්ලත් මට ආදරෙයි කියල කවදාවත් වචනෙන් නොකිව්වට මට ආදරෙයි කියල මම දැනං හිටියා. එව්ව කවුරුත් කියන්ඩ ඕන නැහැ, මහත්තය, ඒ වගෙ දේවල් දැනෙන්නෙ පපුවට "

" ඔහොම කාලයක් ගිහාම, කඩේ ටික ටික දියුණු වෙලා වෙලඳාම සරු උනා.ඔය කාලෙ මගෙ මල්ලිව කඩේ වැඩට ගෙන්න ගන්ඩ කියල අප්පච්චි කිව්ව, ඒ නිසා මම මල්ලිවත් එක්කගෙන ආව. ඔන්න ඔතන තමයි මහත්තය මට වැරදුනෙ "

" මල්ලිගෙ නම හීන්බණ්ඩා.මල්ලි මට වඩා අවුරුදු තුනක් බාලයි. සිරිමලීගෙ වයසට මට වඩා ගැලපෙන්නෙ එයා. ඇවිත් ටික දවසකින්ම මට තේරුනා මල්ලි සිරිමලී ගැන උනන්දු වෙනවා කියල.මල්ලි මට වඩා හැඩ රුවයි, පිළිවෙලයි.අනික මලී මට සෙනෙහෙවන්ත උනාට එයා කෙලින්ම මට ආදරෙයි කියල කියල තිබුනෙත් නැහැ "

මේ වෙනකොට මට බොන එක අමතකම වෙලා තිබුනෙ. ඒත් රන්බණ්ඩගෙ වීදුරුව හිස් වෙලා කියල දැක්කම,ගෙට ගිහින් තව බෝතලයක් ගෙනැල්ල මූඩිය කඩල අතට දීල, මම ආපහු ඉඳ ගත්ත.වීදුරුවක් පුරවගෙන රන්බණ්ඩා ආයෙම කතාව කියන්න පටන් ගත්තා.

මේ කොයිම වෙලාවකවත්, මිනිහ මාදිහාවෙ කෙලින් බැලුවෙ නැහැ. හඳ එලියෙ මිදුලෙ එහෙ මෙහෙ දඟලන, කණමැදිරි එළි දිහාවෙ බලාගෙනයි, මිනිහ කතාව කිව්වෙ. මමත් පුටුවෙ දිගා වෙලා ඇසුත් පියාගෙන බොහොම ඈත ලෝකෙකින් ඇහෙන, ගලාඑන හඬකට ඇහුම් කන් දෙනව වගෙ අහගෙන හිටියා.

" මේ ප්‍රශ්නෙ මගෙ හිතට රැයක් දවාලක් නැතුව වද දුන්නා.එක අතකින් මගෙ සෙනෙහෙවන්ත කම. අනික් අතින් සහෝදරකම. ඒ ඔක්කොටම වැඩිය මලීගෙ හිතේ අපි දෙන්නගෙන් කාටද සෙනේ කියල හරියටම නොදන්න නිසා හිතේ තිබිච්ච දෙගිඩියාව "

කතාව නැවතුනා. මම දෑස් බාගෙට ඇරියා.රන්බණ්ඩා වීදුරුව උඩට උස්සල, කට්ටෙ ගානට අරක්කු වක්කරගෙන, එක හුස්මට බීල, ආයෙම කතාව පටන් ගත්තා.

" ඒ දෙගිඩියාව එක දවසක නැත්තටම නැති උනා මහත්තය.නැත්තටම නැතිඋනා. එදා මම මල්ලිව පිටත් කලා එන්ඩ තිබ්බ ණය වගයක් එකතු කරගෙන එන්ඩ.මල්ලියි මායි දෙන්නම කෑවෙ මලීලගෙ ගෙදරින්.එදා දෙක විතර වෙනකනුත් මල්ලි ආවෙ නැති නිසා මම ඒ ලඟම බඹ පණහක් හැටක් එහායින් තිබ්බ මලීලගෙ ගෙදෙට්ට ගියා බඩගිනි වැඩි නිසාම "

මම ඇස් ඇරල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන වීදුරුව අතට ගත්තා.

" ගෙදර ඉස්සරහ දොර ඇරල දාල තිබ්බ නිසා මම කෙලින්ම කුස්සියටම ගියා. කුස්සියට ඇතුල් වෙච්චි මම එහෙම්මම ගල් වෙලා දොරකඩ නැවතුනා. මල්ලියි මලීයි දෙන්න කුස්සියෙ බංකුවෙ වාඩි වෙලා. මලී මල්ලිගෙ උරහිසට වාරුවෙලා. මල්ලි මලීගෙ මූණ ඉඹිනවා. මගෙ අඩි සද්දෙවත් නෑහෙන තරමට ඒ දෙන්න එයාලගෙ ලෝකෙ "

කතාව නවත්තල රන්බණ්ඩා ලයිට් එලිය වටේ කැරකෙන මැස්සො දිහා බලාගෙන හිටියා. වීදුරුවෙ අරක්කු ඩිංග මම උගුරට හලා ගත්තා.

" මාව ඉස්සෙල්ලම දැක්කෙ මලී. බය වෙච්ච පාර එහෙම්මම නැඟිටල බිරාන්ත වෙලා බිම බලාගෙන හිටියා. මල්ලි හෙමිහිට මගෙ දිහා නොබලම එලියට ගියා "

" මමත් එහෙම්මම ටික වෙලාවක් ගොලු වෙලා හිටියා. මට කියාගන්ඩ දෙයක් හිතාගන්ඩ වත් බැරි උනා ඒ වෙලාවෙ.එක අතකට මොනවයි කියල කියන්ඩද?එහෙම සිද්ධියක් ඇස් පනා පිට දැක්කම, තමන්ගෙ මුලු ජීවිතේම ඇස් පනාපිට කඩා වැටුනම මොනවයි කියල කියන්ඩද? ඒ වගෙ වෙලාවකට වචන වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ මහත්තයා.කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහත්තයට තේරෙනව නේද මම කියන එක? " රන්බණ්ඩා කතාව පටන් ගත්තටම පස්සෙ පළවෙනි පාරට මගෙ මූණ බලල ඇහුවා.

මොනව කියනවද? රන්බණ්ඩා, ඔය වගෙ දේකට මමත් මූණ දීල තව සුමානයක් වත් ගියේ නැහැ, මම එහෙම කිව්වෙ නැහැ,ඔලුව විතරක් වනල ඔව් කියන එක ඇඟෙව්වා.

" එදා රෑ මම කෑවෙ නැහැ. කඩේ කලින්ම වහල දාල පිටිපස්සෙ කාමරේ ඇඳට වෙලා මගෙ ජීවිතේම කඩා වැටුනු හැටි හිත හිත හිටියා. ඔය දවස්වල මම අරක්කු බොන එක නවත්තලම දාල තිබ්බෙ. මලී මගෙ ජීවිතේට ඇතුලු උනාට පස්සෙ මට ඒ වගෙ දේවල්වල උවමනාවක් තිබ්බෙම නැහැ. ඒත් එදානම් මට හිත විකාර වෙනකල් බොන්ඩ ලොකුම ඕනකමක් තිබ්බට ඒකටවත් නැඟිටල එලියට යන්ඩ බැරි තරම් හිත වේදනාවෙන් පුපුරු ගහමින් තිබ්බෙ "

උදේ මම කඩේ ඇරියෙ නැහැ. ඉස්සරහ බංකුවෙ ඉඳන් පාර දිහාවෙ බලා ඉන්නකොට මල්ලි හෙමිහිට කඩුල්ල පැනල එනව මම දැක්කා.

" හීන්බණ්ඩා " මම කතාකලා. මල්ලි එහෙම්මම නැවතුනා. ඒත් මා දිහා බැලුවෙ නැහැ. " මල්ලි,මම අද ගමේ යනවා. ආයෙ එන්ඩ බලාපොරොත්තුවක් නැහැ. උඹ මේ කඩේ කරගෙන මෙහෙ හිටපං " මම අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.



මතු සම්බන්ධයි............

























Thursday, April 28, 2011

සෙනෙහස මගේ, මහ මෙර වගේ..............2 - සඳ දිය ගලා ගිය රැයක..............








එදා හවස තුනට විතර, නිහාල් මගෙ කාමරේට ආව.මම දවල්ට කාල නිදාගත්තු පාර, ඇහැරල, එහෙම්මම නැගිටින්න කම්මැලි කමේ, ඇඳේ විට්ටමට හේත්තු කරපු කොට්ටෙට බර වෙලා, බිත්තියෙ අලවල තිබ්බ, ගල්විහාරෙ හිටිපිළිමයෙ පින්තූරෙ දිහා බලාගෙනයි උන්නෙ.



" මහත්තය, අපි කට්ටිය දිඹුලාගල යන්නයි යන්නෙ, මහත්තයත් එනවද? "



" අනේ බෑ බං, උඹල ගිහිල්ල වරෙල්ලා, මම ඉන්නම් "



" මහත්තය, කවුරුවත් ඉතුරුවෙන්නෙ නැහැ, කෑම්ප් එකේ.වොචර් විතරයි "



" ඉතින් මොකද බං, කොටි එයි කියලයෑ, උඹල පලයල්ල "



ඔය කාලෙ එල්.ටී.ටී.ඊ. වැඩ කටයුතු අපි හිටපු හරියට එච්චර බලපෑමක් කලේ නැහැ.



" මහත්තය, එහෙනම් බත් මාලු මම මේසෙට බෙදන්නෙ නැහැ. හීතල වෙයි.මහත්තය බෙදාගෙන කන්න.ඉස්සරහ දොර වහල පිටිපස්සෙ දොර ලොක් නොකර තියන්න "



" හරි.....බං......හරි......ඔක්කොම හරි.....මට තේ එකක් හදල දීහංකො හොඳ එකා වාගෙ "



නිහාල් කට්ටියත් එක්ක ගියා..........හොඳ කොල්ලා.......ඔය නිහාල්ට අන්තිමට වෙච්චි වැඩේ දන්නවද?,.............. ඔයිට අවුරුදු හතර පහකට පස්සෙ, ඒත් මේ බිඳ වැටුනු ප්‍රේම පලහිලව්වකට, නිහාල් වහ බීල දිවිනසා ගත්තා.මම එතකොට වෙන සයිට් එකක වැඩ කලේ. අපි කට්ටියම මළගෙදරත් ගියා.ඒ මම මගෙ කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක්ගෙ මළගෙදරක ගිය මුල් වතාව. ඒ දර්ශනය මගේ හිතේ රැඳිල තිබුන සෑහෙන කාලයක් තිස්සෙ.



හරි, හරි,............සමාවෙන්ඩෝ, අතුරු පාරවල් වල යනව වැඩියි නේද?.........මොකද කරන්නෙ ඉතිං? මගෙ ගමන් ඔහොම තමයි, සමහර වෙලාවට යන්ඩ පිටත් වෙච්ච දිහා නෙවෙයි......ඔන්න වෙන කොහෙවත් ගිහිල්ල අන්තිමට බලනකොට,........ඔය වාගෙ ඔන්න දවසක්......අනේ සොරි, සොරි, ආයෙම ට්‍රැක් පැන්න නෙව, හරි දැන්නම් වෙන අනම්මනම් නැහැ කතාවම පමණයි,



කොතනද මම කතාව නැවත්තුවේ? ආ.....හරි, හරි, නිහාල් ගියා කට්ටියත් එක්ක.....මම හවස හය හයාමාර වගෙ වෙලා බිමට කලුවර වැටීගෙන එද්දි,අපෙ මිදුලෙ තිබ්බ ජෑම් ගහ යටට වේවැල් පුටුවකුයි කනප්පුවකුයි අරගෙන ගිහිල්ල වැඩේ පටන් ගත්ත. ඒ කිව්වෙ විරහ වේදනාවේ නිමග්නව ඇති සිත මත් කොට,තාවකාලික අස්වැසිල්ලක් ලැබීමේ කර්තව්‍යය පටන් ගත්ත.



දසතින් කලුවර ටිකින් ටික ගුලි ගැහෙද්දි, පොසොන් සඳ වීර ගස් ඉහලින් පායා ඇවිල්ල තරු පලවා හරිද්දි, බෝතලේ අඩකට ආසන්න ප්‍රමාණයක් හිස් වෙලා තිබුනා.හිතත් අර පුලුන් රොදක් සේ සැහැල්ලුවෙන්ම නොවුනත් පාවෙලා කොහේදෝ යන මට්ටමට ලංවෙලා තිබුනා.



බමන සිත ඔහෙ පාවෙන්න ඇරල මම කකුල් දෙකත් ඉස්සරහ තිබ්බ පරණ බුරුත කොටේ උඩට අරගෙන හැල්මේ දුවන වලාකුලු අතරේ හැංගි මුත්තම් කරන සඳ දිහා බලාගෙන හිටියා. සුන්දර අතීතය.........පෝය දිනක ඈ සමඟ සුදු වැලි අතුල පන්සල් බිමේ පියනැඟි අයුරු..........., මම කෙලින් වෙලා තව පොඩ්ඩක් වීදුරුවට වක් කරගත්තා.



" මහත්තයා................... " කම්බි වැට එහාපැත්තෙ සඳ එළිය නොවැටෙන අඳුරෙ ඉඳල, කවුදෝ කතා කරන සද්දෙට, මම වීදුරුව එහෙම්මම කනප්පුව උඩ තියල සරමත් අඳිමින් නැඟිට්ටා.ආ...... මම කිව්වෙ නැහැ නේද? අපෙ කම්බි වැට අද්දරින් තමයි, මේ පැත්තෙ තියෙන එක් පාරම්පරික ගම්මානයකට යන පාර විහිදෙන්නෙ.ඒ පාර ගම්මානෙ පහු කරල, තව කිලෝ මීටර් පහක් හයක් විහිදෙනව පොඩි කඳු ගැටයක තියෙන ආරණ්‍යකට.



" කවුද ඔය " මම දිග ඇරපු අත්ල නලලට තියල දෑස් මුවාකරගෙන ඇහුවා.අගුවෙ සවිකරපු විදුලි ලාම්පුවෙ එලිය විහිදෙන මානයෙන් එහා ගණ අඳුර නිසාවෙන් කවුද කතා කරන්නෙ කියල මට පැහැදිලිව පෙනුනෙ නැහැ. පුරුදු කටහඬක් නම් නෙවෙයි.



" මට වතුර ටිකක් දෙතෑකිද? " වැට ලඟට කිට්ටු උනු උස මනුස්සයෙක් ඇහුවා.



" එන්න, එන්න, ඔය ඔතන වම් පැත්තෙ කම්බි පොටක් පාත් කරල ඇති, එතනින් ඇතුලට එන්න." ඔය අපෙ ගෝලය, නිහාල් මහ ගේට්ටුවෙන් නොයා, විගැහින් යන්ඩ එන්ඩ හදා ගත්තු හොර පාරක්.



විදුලි එළිය විහිදෙන මානෙට ආවම තමයි, මම මිනිහගෙ හැඩ රුව දැක්කෙ. අඩි හයකට කිට්ටුව උසයි.වයස හතළිහකට කිට්ටු ඇති. රැවුළ ගනසැරේට සෑහෙන කාලයක් වැවිල තිබිල, කැපුවම ඇතිවෙන පිපිහලු ගතිය මූණෙ පේන්න තිබ්බා.අලුත් සරමකුයි කමිසෙකුයි ඇඳල හිටියට, ඒව කිලුටුවෙලා දාඩියෙන් තෙත් වෙලා තිබුනා.මිනිහගෙ ඇස් තමයි මට මතකම හිටියෙ. ඒ ඇස්වල කිසිම හැඟීමක් තිබුනෙම නැහැ.ඇස් මිනිසාගෙ ආත්මයේ කැඩපතයි කියන කතාව ඇත්තක් නම් මේ මනුස්සයගෙ මුලු ආත්මෙම මැරිලයි කියලයි මට එක පාරටම හිතුනෙ.



මම ගේ ඇතුලෙන් ගුරුලේත්තුවයි, වීදුරුවකුයි අරං ආපහු එනකොට,මිනිහ ජෑම් ගහ යට හරහට දාල තිබුනු, බුරුත කොටේ උඩ ඉඳගෙන ඉන්නව. පුරවල දුන්නු වතුර එක එක හුස්මට බීගෙන බීගෙන ගියපු නිසා, මම ගුරුලේත්තුව මිනිහ අතටම දීල මගෙ පුටුවෙ ඉඳ ගත්තා.



වතුර වීදුරු කීපයක්ම බීල මිනිහ කමිසෙ බොත්තම් දෙක තුනක් ඇරල පපුවට පිඹිමින්ම ජෑම් ගහට හේත්තු උනා.



" මම ටිකක් වෙලා මෙහෙම ඉන්නද මහත්තය? මුතුගල හන්දියෙ ඉඳන් පයිම්මයි ආවෙ. හරිම අමාරුයි "



මේ මනුස්සය ඒ කියන්නෙ කිලෝ මීටර් 10 විතර පයින්ම ඇවිත් තියෙන්නෙ. මම හිනා වෙලා ඔලුව වැනුව.
මිනිහ ජෑම් ගහට හේත්තු වෙලාම ඇස් පියා ගත්ත.



මම තව අරක්කු පොඩ්ඩක් වක්කර ගත්තා.බිව්වා.ඒ කරල මගේ කල්පනා ලෝකෙට සමවැදුනා.
ඔහොම මයෙ හිතේ ගියා, විනාඩි පාලහක් විස්සක් වාගෙ විතර. ඔය අතර, මම තව දෙකක් හෝ තුනක් තුනක් දාගත්ත වාගෙ මතකයි.



ඔය අව් අස්සෙ ඇස් පියාගෙනම, මගෙ ආසම සිංදුවකුත් හෙමීට මිමිනුවා "මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින දුටුවෙමි, මගේ සොඳුරිය තවත් ............. "



" ලස්සන සිංදුව, මමත් හරි කැමතියි" මිනිහගෙ කටහඬින් මම ආයෙ ජෑම් ගහ යටට ආව. ඇස් ඇරල බලනකොට මිනිහ කෙලින්වෙලා ඉඳගෙන මා දිහාම බලන් ඉන්නව.



" ආ......... ඇත්තද? " මිනිහ දිහා බලල හිනාවෙන ගමන් මම බෝතලේ අරන් දිගුකලා.



" කමක් නැද්ද? " කියල අහන ගමන්, මිනිහ බෝතලේ අතට ගත්තා.



" ප්‍රශ්නයක් නැහැ, තව තියෙනව" මම නැඟිටල තව වීදුරුවක් ගේන්න ගෙට යන ගමන් කිව්වා.



මම ගෙනැත් දීපු අසෝක වීදුරුවට මිනිහ කට කපල පුරව ගත්ත.මම දික්කරපු සෝඩ බෝතලේ, ඔලුව වනල කාරුණිකව ප්‍රතික්ෂේප කලා. සමහරවිට හිතන්න ඇති, මගෙ ගානෙ අරක්කු නිකම් හම්බ වෙන එකේ,සෝඩත් දාගන්න එක හරි නැහැය කියල.ඔලුව උස්සල , ජෑම් ගහේ අතු අස්සෙන් පායපු හඳ දිහාවෙ බලාගෙන, එක හුස්මට ගසල ඇරිය.ඒ කරල පිටි අල්ලෙන් තොල් පිහදාගෙන පැත්තට හැරිල කෙල පාරක් ගැහුව.



ඒ එක්කම දෙවෙනි වඩියත් ඒ ගානටම පුරව ගත්ත.තව බෝතල් දෙකක් තියනව කියල මට මතක තිබුනට මම කෝකටත් ගෙට ගියා වැඩේ ඉස්තිර කර ගන්න. මොකෝ හිටපු ගමන් මගෙ මිත්තරයො හදිසි කටයුතු වලට නොකියම බෝතලයක් දෙකක් අරන් යනව.බලනකොට බෝතල් දෙක නිරුපද්‍රිතව තියෙනව ඇඳ මුල්ලෙ.රයිට්, බය වෙන්න දෙයක් නැහැ. මම ආපහු ඇවිත් පුටුවෙ ඉඳ ගත්ත.



පලවෙනි එක තනියම ගසල ඇරියට දෙවෙනි ෂොට් එක ගන්න මිනිහ මම එනකල් හිටිය. අපි වීදුරු උස්සල එකිනෙකා දිහාබලල මඳ සිනාවක් පාල වීදුරු හිස් කලා.



ආයෙම රැහැයියන්ගෙ සද්දෙ මැදින් ගෙවුනු නිහඬ විනාඩි කීපයකට පස්සෙ " මගෙ නම රන්බන්ඩා" මිනිහ කිව්ව.
හරි මිනිහ මිනිහ කියල, මටත් දැන් එපාවෙලයි තිබුනෙ. මිනිහයි කිව්වම නිකම් මුහුණක් නැති අනන්‍යතාවයක් නැති තනිකරම කවන්ධයක් නෙව. රන්බණ්ඩා එහෙම නෙවෙයි. ඒ නමත් එක්ක, මිනිහට එක්වරටම අනන්‍යතාවයක්, හැඳුනුම්පතක් ලැබුනා.



" මහත්තය අර සිංදුවට කැමති මොකද කියල මම ඇහුවට කමක් නැද්ද? "



මේ වචන භාවිතය මම මිනිහගෙන්, සමාවෙන්න දැන් මිනිහට අනන්‍යතාවයක් තියනව නෙව, රන්බන්ඩගෙන් බලාපොරොත්තු උනේ නැහැ.



මම රන්බන්ඩ දිහා බැලුවම මිනිහ මගේ අදහස එක පාරටම තේරුම් ගත්ත.



" මහත්තයට පුදුම හිතෙන්ඩ ඇති. ඒකෙ අවුලක් නැහැ. මගෙ ප්‍රශ්නෙට මහත්තය උත්තර දෙන්ඩ අකමැතිනම් කමක් නැහැ "



" නෑ, රන්බන්ඩා, එහෙම එකක් නැහැ, ඇත්තටම ඔය සිංදුවෙන් කියවෙන්නෙ මගෙ කතාව "



" මම කැමති වෙන්න හේතුවත් මහත්තය ඒකමයි.ඔය මගෙත් කතාව.හැබැයි ටිකක් වෙනස් විදිහට "





මතු සම්බන්ධයි............


Tuesday, April 26, 2011

සෙනෙහස මගේ...., මහ මෙර වගේ..............1 - ප්‍රේමයකින් සමු ගතිමි



අදත් හඳ පායලා....හ්ම්ම්ම්ම්ම්..........පුරා හඳ.........වැලි කතරේ උදේ ඉඳන්ම සැඩ හිරු රැසින් කැකෑරුනු වැලි කැට සිහිල් වෙලාම නම් නෙවෙයි, ඒත් රත් වෙච්ච වැලි කැට වලට සඳ එළිය වැටුනම අමුතු ලස්සනක් මතු වෙනවා.සඳ එලිය දෝරෙ ගලා ගිය වැලි කතරේ නිරුවත් දෙපයින් ඇවිදින්න මගෙ තියෙන්නෙ පුදුම කැමැත්තක්.

ආපහු ගෙදරට ආවෙ ටිකක් හීතල හුළඟක් ආපු නිසයි. ඇවිල්ල සඳලුතලයෙ පුටුවෙ දිගාවුනා, මත්පැන් බෝතලෙත් අරගෙනම. ටිකෙන් ටික වැලි කතර සිසිල් වෙද්දි, පුරා හඳ ප්‍රමාණයෙන් අඩු වෙමින් මුදුන් වෙද්දි, විස්කි බෝතලෙත් මට්ටම පහළ යද්දි, මට හදිසියෙම මතක් උනා මේ සඳලු තලයට ගලන්නෙ, පොසොන් සඳේ සඳ කැන් නේද කියල..........ඔව්, පොසොන් සඳ තමයි.

ඒ එක්කම හිත එක මොහොතකින් ඇදිල ගියා තවත් මේ වගේම පොසොන් පුරා සඳ බැබලුනු නිසල රාත්‍රියකට. මම මේ වගේම තනි වෙලා, මත් පැන් බෝතලයක් පමණක් එක්ක ගෙවපු රාත්‍රියකට.

කාලය වසර විසිපහකට වගෙ ඉහත. ස්ථානය උතුරු මැද සහ නැහෙනහිර පළාත් මායිමේ රජයේ සංවර්ධන ව්‍යාපෘතියක වැඩ බිමක්.

ඒ මගෙ ප්‍රථම ප්‍රේමය නොසිතූ විරූලෙස බිඳවැටී, හදේ රිදුම් දෙන තුවාල වලට, වරෙක බෙහෙත් දමමින්, වරෙක තුවාල පාරවමින්, දැනෙන වේදනාවත් සතුටකැයි සිතමින්, සුළඟේ ඉබාගාතේ පාවෙන වියලි පරඩැලක් මෙන්, මා දිවි ගෙවූ අවදියක්.

පෙර කල පිනකට වාගෙ මේ වෙනකොට, මට ස්ථිර රස්සාවක් තිබුනු නිසා, මගේ තත්වෙ එච්චරම භයානක උනේ නැහැ. නැත්නම් නොවැරදීම මම ලොකු විනාසයක් කරගන්න එක සිකුරුයි.

ප්‍රේමය බිඳ වැටීමේ කතා පුවත මේ කියන්න යන සිද්ධියට කෙලින්ම අදාල වෙන්නෙ නම් නැහැ. ඒත් අදාල නොවෙන්නෙත් නැහැ.

ඒ නිසා ඇය හමුවූ අවසන් වතාවෙ, ඇත්තටම පෙම්වතුන් ලෙස හමුවූ අවසන් වතාව කිව්වොත් තමයි වඩාමත්ම හරි,ඉඳල ඔන්න මම කතාව පටන් ගන්නවා.

ඇය මට හැකි ඉක්මනින් එන්න කියල ලියුමක් එවල තිබුනා. ලියුමෙ වැඩි විස්තර නොතිබුනාට මට ඉවෙන් වගෙ තේරුනා මේ තමයි අවසානය කියල. පහුගිය මාස තුන හතර පුරාම අහස කලු කරල තිබුනු විදිහට ලඟ ලඟම මහ අනෝරා වස්සක් එන එක සිකුරුයි කියල මමත් දැනගෙන හිටිය. එයත් දැනගෙන හිටියා.

නුවරට ඇවිල්ල හමුවෙලා අපි දෙන්න කුරුණෑගලට ගියා. ඇය කැමති උනේ නැහැ නුවරදි හමුවෙන්න කවුරු හරි දැකල ගෙදරට ආරංචි වෙයි කියල.

කුරුණෑගල පුත්තලම් පාරෙ රෙස්ටෝරන්ට් එහෙක උඩ තට්ටුවෙ අපි කතාකලා.අපි කතාකලා කියන්නෙ එයා කතාකලා. මම අහගෙන හිටියා. මොකද මේ වෙනකොට මට කියන්න දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නැහැ.

සතියෙ දවසක් නිසා තව මේස දෙක තුනක විතරයි කට්ටිය හිටියෙ.එයා කතාව නැවැත්තුවෙ වේටර් ලඟට ආවට පස්සෙ.


" මම බියර් එකක් බොන්නද? "

මම ඇහුවෙ එයා දිහාට නැවිල රහසින් වගේ.මෙච්චර වෙලා කඳුලු පුරවන් හිටපු දෑසට සිනහවක් ආවෙ එතකොටයි.

" අපොයි බොන්න, බොන්න........ එකට දෙකක් බොන්නකො "

ඒ එක්කම සිනහව ආවටත් වඩා ඉක්මනින් මැකිල ගිහින් අර තිබුනු වේදනාව ආයෙමත් ඇස් දෙකේ පැතිරුනා.

හෝව්......හෝව්,.......ඔය ඇති.....ඔය හොඳටෝම ඇති,මේ වැඩේ හරියන්නෙ නැහැ.......මම මේ කියන්න ආපු කතාව කියනව වෙනුවට මගේ ප්‍රේම පුරාණයනෙ මේ කියන්නෙ.

ඒකෙ අරුමෙකුත් නැහැ. කාලයක් හිතේ තද කරන් හිටපු කතාවක් අවස්තාවක් ලැබුනු ගමන් එලියට පනින්නෙ වැහි කාලෙට මෙරු මතුවෙන්න වාගෙ.හරි ඒ කතාව ......මගේ පෙරේම පුරාණෙ පස්සෙ වෙලාවක නිවාඩුව කියමු.... හරි, දැන් මේ කියන්ඩ ආපු කතාව...........

එකම කාරණයක් විතරක් කියන්න අවසර දෙන්න, ඒ පෙම බිඳ වැටීමේ හේතු, ලිඛිත භාෂාවෙන් කිව්වොත් - ප්‍රථම ප්‍රේමයේ ශෝචනීයවූ අවසානයට හේතුභූත වූ කාරණාවන් පිලිබඳ විශ්ලේෂණයක් සහ විග්‍රහයක් - කොහොමද සිරා සබ්ජෙක්ට් එක නේද?

කෙටියෙන් බොහොම සරලව කිව්වොත් නමේ ප්‍රශ්නයක්. නමේ කිව්වට ඇත්තටම නම් නමේ දිග පිළිබඳ ප්‍රශ්නයක්. එයාගෙ නම දිගයි. මගේ නම කොටයි. ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ මතු උනේ.

එයාගෙ නම - සමරකෝන් රාජකරුණා රාජපක්ෂ පලිහවඩන ගුන්නෑපාන අමුණුගම පහල වලව්වේ සුභද්‍රා කුමාරිහාමි අමුණුගම. ඉස්කෝලෙ රෙජිස්ටරේ නම ලියද්දි හැමදාමත් රූල් දෙකක් නැත්නම් තුනක් ගියා එයාගෙ නම ලියන්ඩ.

මගේ නම.......ඔව් .....මගේ නම අතපත්තු ආරච්චිලාගේ ජයසේන. එච්චරයි, නම් දෙක බැලුවම හේතු කාරණා හිතාගත්තැහැකි නේද?

හරි පෙම් පුරාවත එපමණයි.ආයෙ අහන්නත් එපා. කියන්නෙත් නැහැ. ආයෙම මාතෘකාවට.
ඉතින් මම එයාගෙන් සහ එයා මගෙන් සමුගත්ත, නුවර ඔරලෝසු කණුව ලඟදි.......ප්‍රථම ප්‍රේමයේ අවසානය...............ප්‍රේමයක් නිමාවූ සඳ........

ඒ කරල මම පහුවදාම ආපහු වැඩට ආව. මට ඕනම කරල තිබ්බෙ තනි වෙන්න. තනි වෙන්න.......ඉඩ දෙන්න......මටයි......මගේ......හිතටයි..........

ඔය තනි වෙන වැඩේට, මම වැඩ කරපු හරිය ආයෙ නැහැ කියාපු පැත්ත. හද්ද කැලෑව. අපි ව්‍යාපෘතියෙ කාර්ය මන්ඩලේයි, ඉදිකිරීම් කටයුතු කරපු කොන්ත්‍රාත් කරුවොයි, ඇරෙන්න තව හිටියෙ බොහොම ඈත තිබ්බ පාරම්පරික ගම්මාන දෙක තුනක් විතරයි.

ප්‍රේමයෙන් සමුගෙන මම වැඩට ඇවිල්ල දවස් ඔන්නම් හතර පහක් යන්න ඇති. පොසොන් පෝයක් ආපි.උතුරු මැද පළාතේ වෙසක් පෝයටත් වැඩිය වැදගත් පෝය තමයි පොසොන්.අපි කැලේ මැද කඳවුරු ගහගෙන වැඩ කරපු හරියෙ ඉඳන් වැඩි දුරක නෙවෙයි දිඹුලාගල ආරණ්‍යය තිබුනෙ.පොසොන් පෝයත් එක්ක සති අන්තයකුත් යෙදිල තිබුනු නිසා අපේ කට්ටිය හැමෝම වගෙ ගම් රටවල් බලා ගියා.

පොසොන් දවසෙ, අපේ නිවාසයෙ ඉතිරි උනේ, මමයි අපිට ඉවුම් පිහුම් කල, නිහාල් කියන අපෙ වයසෙම තරුණ කොලු ගැටයයි විතරයි.

මතු සම්බන්ධයි............




Wednesday, April 20, 2011

72. දූ දුටු සැණකෙළි සිරි

අපේ අම්මා ගෙදර ඇවිත් කිව්වා ටිකිරි අයියා අම්මලාගේ අවුරුදු උත්සවේ ගැන බ්ලොග් ලිපියක් දාලා කියලා. ඒ ගමන්ම අම්මා කිව්වා අපේ දෝණිත් කවදා හරි මෙහෙම ලිපි ලියයි නේද කියලා. මං ඒ පාර කල්පනා කලා ආයේ මොනවද කවදා හරි අද හෙටම මාත් ලියනවා අම්මලාගේ අවුරුදු උත්සවේ ගැන ලිපියක් කියලා. ආයේ ඉතිං මං මගේ අම්මා ගේ සුදු දෝණිනේ. ඔන්න එහෙනං අම්මලාගේ අවුරුදු උත්සවේ මට පෙනුනු හැටියට මෙන්න මෙහෙම මං ලියනවා.



ඉතිං ඔන්න දවස උදා වුනා. ටිකිරි අයියාගේ අයියා, කෙහෙල්කොටුවේ චූටි අංකල් අම්මාට කථා කරලා කියලා තිබුනා මැරියන් ඇන්ටිත් එක්ක අපිත් එක්ක යන්න එනවා කියලා. ඔන්න ඔහොම එදා උදේ මීගමු පාර දිගේ එනකොට මං දැක්කා ටිකිරි අයියලා අපි ලඟින්ම එනවා. ටිකිරි අයියා මට අත වැනුවා. මාත් අත වැනුවා. වැනුවා තමයි, ඒ එක්කම මගේ තොප්පිය ගැලවිලා සරුංගලේ වගේ පාවෙලා ගියා.‍ තාත්තා මාවයි අම්මාවයි බස්සලා ගිහින් තොප්පිය හෙව්වත් ඒක හොයා ගන්න බැරි වුනා. අපරාදේ අළුත් තොප්පිය කියලා අම්මාට හිතුනා. ඒත් මට උම්මා එකක් දිලා අම්මා හිනා වුනා විතරයි මට බැන්නේ නැහැ, ඇයි ඉතිං මං තාම චූටියිනේ.


මගදී මම “අම්මා කුක්කූ...........” කිව්වාට අම්මා මාව ෂේප් කර ගන්නමයි බැලුවේ. ඇයි ඉතිං අම්මාගේ විච්චූරණේ ඉවරයිනේ ඔය වැඩේට ගියොත්. මාත් ඉතිං පව්නේ අම්මා, එක දවසයිනේ කියලා ඉවසාගන්න හිතුවා.

ඉතිං ඔන්න ඔහොම අපි හය දෙනා උත්සවේ තියෙන තැනට ආවා. ආච්චියි බාප්පායි මාව තියලා යන්න කිව්වත්, අම්මලා එක්කම එන්න ලැබුනු එක ගැන මට හරි සතුටක් දැනුනා. මං බයෙන් හිටියේ මාව දාලා අම්මලා යයි කියලා. ඒත් එහෙම වුනේ නැහැ.

ගේට්ටුව ගාවදී
මඩ පාට අංකල් කෙනෙක්, “ඇතුලතම එමු” කියලා හිනා වෙලා කිව්වා, ඒ අංකල්ගේ අතේ ආව් ආව්....... මයිලෝ ගොඩායි බනිස් ගොඩායි තිබුනා. ඇතුලට ආව ගමන් අංකල් කෙනෙක් “තිකත් තිකත් සල්ලි සල්ලි” කිය කියා දුවගෙන දුවගෙන ආවා. තාත්තා සල්ලි දුන්නත් අපට ටිකට් ලැබුනේ නැහැ. අම්මා එයාලාගේ කණ්ඩායමේ නිසා අපට ටිකට් දෙන්නේ නැහැ කියලා තමයි මට තේරුනේ.

ඊට පස්සේ අපි ඉස්සරහට ගියාම ආන්ටිලා අංකල්ලා අයියලා අක්කලා එක යායට වැඩ ගොඩායි.




කට්ටියක් බැලුම් පුම්බනවා. කට්ටියක් ඒවාට නූල් බඳිනවා. කට්ටියක් බනිස් කනවා. කට්ටියක් මයිලෝ බොනවා. මට හරි ආසා හිතුනා. ඔය කට්ටියෙන් කවුරු හරි මට පුම්බපු බැලුමක් නූලක ගැට ගහලා දුන්නා. ඒකත් අරං මායි තාත්තායි පිට්ටනියේ ඈතට ගිහින් සෙල්ලම් කලා. අම්මාත් ඔය මොන මොනවද කර කර හිටියා මං දැක්කා.



වැඩියෙම කළේ වැඩකට ඇති වැඩ නෙමෙයි කියලා මට හිතුනා. අම්මා රවුමක් කැරකෙන කොට ලෝක බොලෙත් රවුම් කාලක් විතර කැරකෙනවා කියලා තමයි තාත්තා නං කියන්නේ. ටිකකින් ආච්චියි බාප්පායි එනවා කියලා කිව්වාට පස්සේ තාත්තා ඒ දෙන්නාට ටිකට් ගත්තා. ඒ පාර නං අංකල් ටිකට් දෙකක් දීලා තිබුනා.!!!

ගිය වෙලේ ඉඳන් අපරාදේ කියන්න බැහැ මං පොටෝ ජෙනික් වගේ තමයි.









හැම අතින්ම මාමලා අයියලා සීයලා ඇවිත් මාව පොටෝ ගන්නවා. මාත් ඉන්න පුළුවන් හැම හැඩේටම ඉඳන් ඒවාට ඉතාමත් නිහතමානී ලෙස මගේ රූපය මුසු කරනවා. කොහොමත් කෙහෙල් කොටුවේ චූටි අංකල් හරි සෝයි. මාව දැක්කොත් ඇති එයාගේ කැමරාවේ ලයිට් පත්තු වෙනවා. එයා නං කියන්නේ ඒ ලයිට් දැක්කහම මට නිකම්ම හිනා යනවා කියලායි.

මම හිතාගෙන ම හිටියේ මේ අවුරුදු උත්සවේදී අර මුට්ටිය බිඳිනවාමයි කියලා. ඒකට මං ප්‍රැක්ටිස් කලා තාත්තා එක්ක. මේ ඒ වෙලාවේ ගත්ත පිංතූරයක්.


ඒත් කොහෙද මේ කට්ටිය මට තියා අපේ අම්මාටවත් ඒ මුට්ටියක් බිඳින්න බැරි තරම් උසින් ගැට ගැහුවානේ. කමක් නැහැ පතන් අංකල්, ලබන පාර මං ඔය අටවලා තියෙන අට්ටාලෙට නැගලා හරි බිඳිනවා බිඳිනවාමයි.

ඔන්න ඉතිං අංකල්ලා හතර පස් දෙනෙක් පහන් පත්තු කරලා අවුරුදු උත්සවේ පටන් ගත්තා.

ඉතිං උදේ පාන්දරමනේ. වැඩියේ කට්ටිය නැහැ. පහන් පත්තු කරන්න ආපු පොලිස් අංකල්ගේ අතින් තෑගි දෙන්න හොඳ සෙල්ලමක් මුලින් කරන්න ඕනේ කියලා හැමෝම වාගේ කථා වුනා. ඇයි එතකොට අනිත් සෙල්ලම් හොඳ නැත්තං මේකට දාගත්තේ මොකද කියලා ඒ වෙලාවේ මට හිතුනා. ඉතිං කොහොම හරි අයියලා අංකල්ලාගේ රේස් එක මුලින් තියන්න තමයි කට්ටිය කථා වුනේ. අම්මාගෙන් එක පොරයයි තාත්තාට දුවන්න යන්න කියලා. මං කිව්වා, කිව්වා අනේ අම්මේ තාත්තා කොහේ දුවන්නද? ඔන්න ඔහේ ඉන්න දෙන්න කියලා. කොහෙද අපේ අම්මාට වගේ වගක් නැහැ. තාත්තාව දුවවන්නමයි ලෑස්තිය. මයේ මොකෝ. මං යෑ දුවන්නේ? මේ වැඩිහිටියෝ කවදාවත් පුංචි අපට කන් දෙනවා කියලායෑ. දුවන්න ගිහින් නිකමට හරි තාත්තා වැටිලා උව්වා වුනා. කාටද කියන්නේ? අම්මාට තාත්තාවයි මාවයි තියාගෙන බයික් එක පදින්නත් බැහැ. ආයෙත් මයේ මොකෝ? මං අම්මාගේ උරහිසට ඔළුව තියා ගත්තා.

ඔන්න ඉතිං තාත්තාත් අර
වාසල අංකල් කියන්නා වගේ උසේන් බෝල්ත් වගේ ගිහින් පේළියට හිට ගත්තා.

(උඩ පිංතූරේ කෙලවරේ ම හිටපු තාත්තා දෙවැනි පිංතූරේ මැදට ආවේ කොහොමද මන්දා)




“ඈ.........”



තාත්තාගේ අහල පහළමට හිටන් ඉන්න එක්කෙනෙක් දැක්කා විතරයි අපේ අම්මා ඉනට අත් දෙකම තියාගෙන එහෙම කිව්වා. අසංග අංකල් රේස් දුවන්න යනවා මාත් එතකොට තමයි දැක්කේ. අම්මා උත්සවේට කලින් දවසක ගෙදර ඇවිත්, සංවිධායක මණ්ඩලේ කට්ටිය තරඟ වලට ඉන්නේ නැහැලු, කිය කියා නාහෙන් ඇඬුවා. මං ඔහොම ඇඬුවහම තමයි දෙන්නාටම වැරදි. අම්මා ඇඬුවහම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතිං ඔය සංවිධායකයෝ තරඟ වලට නොහිටිනු! කියලා පවත්තපු විරෝධතා වියාපාරයේ, තනි කකුලෙන් ඉදිරියෙන්ම හිටපු අසංග අංකල් මේ උදේ පාන්දරම තරඟ බිමට ඒම තමයි අම්මාගේ අත් ඉනට යවන්න හේතු වුනේ. ඒත් ඒ එක්කම මං අම්මාට කිව්වා ඇයි අම්මේ අම්මාට තේරෙන්නේ නැද්ද? ඔය සංවිධායක කට්ටිය නැත්තං මේ උදේ පාන්දර කවුද ඔය රේස් එක දුවන්නේ කියලා. ඉතිං ඒ සැනින් අම්මාට අසංග අංකල්, වාසල අංකල් වගේ අය ගැන අප්‍රමාණ සංතෝෂයක් පහළ වුනා මං හිතන්නේ. ඉතිං අසංග අංකල් මගක් දුවලා පහු බැස්සා මං දැක්කා. මං හිතන්නේ පළවෙනියා වුනාට පස්සේ තෑග්ග ගැනීම සංවිධායකයෙක් හැටියට හොඳ නැති නිසා වෙන්න ඇති.

ඉතිං ඊට පස්සේ තමයි අලි බබාලාගේ සෙල්ලම් ටික ටික පටන් ගත්තේ. උදේ පාන්දර අව්වේ එල්ලපු සීනි බනිස් ගල් බනිස් වෙනතුරු හොඳින් අව්
වේ වේලුනාට පස්සේ බනිස් කෑමේ මහා සංදර්ශනය ආරම්භ වුනා. නිකම් බනිස් නෙමෙයි සීනි බනිස්. අනේ ඉතිං මං වගේ හිච්චි පැංචියෙක් ඉන්නවා කියලා වගේ වගත් නැතුං මාමලා නැන්දලා අයියලා අක්කලා අර මාර සීයා එක්ක එකතු වෙලා බනිස් ගෙඩි ටික කාලා දැම්මා. එක්කෙනෙකුටවත් හිතුනේ නැහැ අනේ මේ පැංචිට එක ගෙඩියක් දෙන්න ඕනේ කියලා.

ඊට පස්සේ ඔන්න තවත් කෑමක්. අනේ මෙහෙමත් දෙමව්පියෝ කියලා මට හිතුනේ ඔය වෙලාවේ තමයි. යෝගට්! මං ආසම කෑමක්. අනේ ඉතිං
මේ මාව ආච්චි අතට දීලා අම්මා ගියා ඇස් බැඳ ගන්න, අර මොකටද? තාත්තාට යෝගට් කවන්න. මං හූ තිය තියා ඇඬුවට අම්මා නෙමෙයි ආවේ. ආච්චියි තාත්තායි බාප්පයි මාව පිට්ටනියේ ඈතට අරං ගියේ අම්මාට මට පේන්නේ නැතුං ඉන්න කියලා. මං නොදන්නවැයේ මෙයාලායේ වැඩ. මමත් ඇරියේ නැහැ. ඇඬුවා ඇඬුවා ඇඬුවා. කොහෙද තාත්තාත් මාව දාලා ගියා අත් බැඳගන්න. අර මොකටද? දුවං දුවං ඇවිත් අම්මා අතින් යෝගට් කන්න. අනේ ඇත්තට අපේ තාත්තා හිතත් ඉන්නේ එයා සෝයි බබා කියලා. අලි බබා වගේ ඉඳන් දුවන්න තියා ගත්තේ. ඒ මදිවට අතුත් බැඳලා. මං එහෙම ඔහොම දිව්වා නං ගෙදර සේරම මං පස්සෙන් දුවන් එනවා. ඉතිං මයේ මොකෝ කියලා මං ආයෙත් හිත හදාගෙන ආච්චි අතට වෙලා හිටියා.
ඔන්න දැන් තාත්තයි අයියලා මාමාලායි දුවන්න බලාගෙන ඉන්නවා.අම්මායි අක්කලා නැන්දලායි ඇස් බැඳගෙන යෝගට් කොප්ප ටික අතේ තියන් ඉන්නවා.

දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.


අනේ මං ඇස් වහ ගත්තා. අපේ අම්මායි තාත්තායි දුවන දිවිල්ල දැකලා. නිකමට හරි වැටුනා නං............ එතැන පස් දාලා තලලා කරලා හදලා දීලා තමයි එන්න වෙන්නේ කට්ටියට. කොහොම හරි එයාලා දුවාගත්තා මං හිතන්නේ 3 වෙනියට හරි 4 වෙනියට හරි. අම්මලා පස්සේන් දුවන් ආපු දෙන්නා නං ඩොම්මා වුනා. හැබැයි පොළොවට වැඩි හානියක් වුනේ නැහැ.

ඒ කැවිල්ල ඉවර වෙලා, අම්මා ඇවිල්ලා “අනේ මගේ සූකිරි පැටියෝ” කියලා මාවත් ශේප් කරගත්තා. ආයෙත් සැරයක් මං නිකමට වගේ “අම්මා කුක්කු.............” කියලා කියලා බැලුවා. ඒ පාර නං වැඩේ හරි ගියා.

ඕන් ටිකකින් තවත් වැඩක්. අනේ ඇයි අනේ අදවත් මට අම්මා අතට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ කියලා, මට මං ගැනම දුක හිතුනා. ‍අනිත් අතට අපේ අම්මායි තාත්තායි හිතන් ඉන්නේ මෙතැන ඉන්න හසී අක්කා, සුදාරක අයියා වගේ මෙයාලත් හිච්චි පැටව් කියලා. ඕන් ඒ පාර දෙන්නා එක්ක මාව ආයෙත් ආච්චිට පංගනාත්තු කරලා ගියා තොප්පි දාන්න. තාත්තා අම්මාට තොප්පි දානවා.


අම්මා
ටිෂානි අක්කාට තොප්පි දානවා. ඔය විදිහට දාගෙන දාගෙන යනවා. ඔහොම යනකොට එක පාරක් අම්මා පරදින්න ආවා. තාත්තා මෙතැන කොහොම වෙතත් ගෙදර ගිහින් ඉන්න ලැබෙන්නේ නැති නිසා ද කොහෙද සිංදුව නැවතුනාම අම්මාගේ ඔළුවට වැටෙන්න ගිය තොප්පිය නොදා ඔළුවට උඩින් අල්ලාගෙන බලාගෙන හිටියා. අම්මා නිකමට උඩ හරියට අත තියලා බැලුවහම මෙන්න තොප්පිය පාවෙනවා. තාත්තා නෙමෙයි පරාද අම්මා පරාදයි!!! කියලා මං මහා හයියෙන් කිව්වත් තාත්තා තොප්පිය අම්මාට දිලා ආවා. අනේ මෙන්න ටිකකින් අම්මාත් එනවා. දෙන්නම පරාදයි. ඔය නොදන්න තොප්පියක් දාන්න යන්නේ නැතුං මාත් එක්ක ඉඳන් බැලුම්බෝල නොගැහැව්වාට දෙන්නාටම හොඳ ම වැඩේ.

මට ඉතිං මේ අවුරුදු උත්සවේ දැන් ටිකින් ටික එපා වෙන තැනටම කටයුතු යෙදී ගෙන යෙදී ගෙන එන්න පටන් ගත්තා. ඇයි වදේ. ටිෂානි අක්කලා මට වඩා ලොකු වැඩියි වගේ.
අබීත අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. සුභාෂ් අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. ‍ටිකිරි අයියා ගිය අතක් නැහැ. මේ අම්මායි තාත්තායි මාව අරං ඇවිල්ලා මේ ගිණි අව්වේ, මට එපා වෙනවා........... කියලා මට හැම තිස්සේම හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ ආච්චි එනවා මාව ගන්න. ඔන්න මට එපා වෙනවා....... මට පිට්ටනිය වටේ දුවන්න හිතෙනවා හැංගෙන්න. ඇයි අනේ මං අම්මා අතේ ඉන්නම්කෝ......... කිය කියා මං ඇඬුවා. එයාලාට මං කියන දේ ඇහෙන්නේ නැහැ. මං අඬනවා කියලා විතරයි හිතන්නේ.

ඉතිං ඔන්න ඔහොම ඉන්න අතරේ මට නින්ද ගියා. ඒ ටිකට අම්මා මාව ආච්චි අතට දීලා ගිහින්නේ. ඇහැරලා බලද්දි තමයි දැක්කේ ඊ ලඟ කෝලම. මේන් අම්මා දුවන්න යනවා. අනේ ඇත්තට........ නෑ නෑ මං මොකුත් කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. ඇයි වදේ තාත්තාත් මේවාට උල්පන්දම් දෙනවානේ. ඔහේ දුවාගත්ත දෙන්. මට දුක අර දෙපැත්තේ ඉන්න අක්කලා ගැන. අම්මාගේ අතක් එහෙම වැදුනොත් මේ දෙන්නා කොයි ලෝකෙන් ඇහිඳින්න වෙයිද මන්දා.



ඕන් ඉතිං අපේ අම්මා හිතං ඇති එයා සුසන්තිකා ජයසිංහ කියලා, මීටර 100 දුවන්න යන්නේ. තාත්තා යාන්තම් මාවත් වඩාගෙන ගිහින් අසංග අංකල්ට කියලා කියලා තමයි මීටර් 100 මිටර් 50කට විතර අඩු කරගත්තේ. නැත්තං ඉතිං මේ වෙනකනුත් අම්මාට තෙල් බේත් කරන්න සිද්ධ වෙනවා කියලා මං නොකිව්වට තාත්තාට වැටහුනා. ඕන් ඉතිං යාන්තම් අම්මා දුවලා දුවලා ගිහින් හතර වෙනියා වුනා.

මොනවා වුනත් මට මගේ අම්මායි තාත්තායි ගැන ආඩම්බර නැතුවාමත් නෙමෙයි. දෙන්නා සූටියට සූටියේ හිටියාට දිනිල්ල කෙසේ වෙතත් ඕනේම කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන් තරමේ හිතේ හයියක් තියෙනවා නොවැ. “මල්ලී දිනන්න නෙමෙයි නිකමට සෙල්ලම් කරමු. එන්නකෝ අප්පා” කිය කියා ඔය හැම එකටම අම්මා
බාප්පාට කථා කලාට බාප්පා නෙමෙයි අනිවාර්යය පැරදුම බාර ගන්න ලැහැස්ති වුනේ. ඒකටත් එක්ක අපේ අම්මායි තාත්තායි.‍ හොය හොයා ගිහින් පැරදුනේ. ඒකත් නරකම නැහැ බැලුවහම. අම්මා හිතන් හිටියේ බාප්පාව අවුරුදු කුමාරයාට තියන්න කියලා. කොහෙද හිනා වෙවි, “ මේ පිස්සු කරන්න එපා අක්කේ” කිව්වා මිසක බාප්පා අඩුම ගානේ පුටුවෙන් නැගිට්ටේවත් නැහැ. පව් අප්පා අපේ අම්මා!!!

ඕන් මට දැන් සතුටුයි හිතෙන වෙලාව ලංවුනා. සේරම වැඩ ඉවරයිනේ.

දැන් ගෙදර යන්න තියෙන්නේ කියලා මං සතුටු වෙවි ඉන්නකොට මෙන්න බොලේ අර ලොකු ලණුව අදින්න කථා කරනවා. අම්මා කිව්වා බැහැ, මෙයා අඬනවානේ කියලා. ඒත් කොහෙද කෙහෙල් කොටුවේ චූටි අංකල්ගේ මැරියන් ආන්ටි “දෙන්න අක්කේ මෙයාව මට, ඔයා යන්න සපෝර්ට් ‍එකක් දෙන්න” කියලා කිව්වහම අම්මාට මේ ලෝකේ සිහියක් නැති වුනා. මාව දුන්නා ඒ ආන්ටි අතට. මෙන්න අම්මා පැනගෙන යනවා ලණුව අදින්න. මං ආපහු හූ තිය තියා ඇඬුවා, මැරියන් ආන්ටිට මාව ගත්ත මෝඩ කම කියලා හිතෙන්න
.
කොහෙද, මගේ අම්මාට එව්වා ඇහුනේ නැහැ. එයා ගජරාමෙට ලණුව අදිනවා, ඒ ලඟින්ම තාත්තාත් අදිනවා. අනේ අපරාදේ කියන්න බැහැ, මං ඇඬිල්ල අතරිනුත් හොඳට බලාගෙන හිටියේ, තාත්තලැයි පැත්තේ හිටපු අලි පැටව් වගේ කට්ටිය සේරම, වැලේ වනපු මගේ නැප්කීන්වගේ වැනිලා වැනිලා අනිත් පැත්තට ලස්සනට ඇදිලා ගියා. අනේ හරිම සංතෝෂයි ඒක දැක්කහම. ඒ තරම් ලස්සනයි. ඒ අස්සේ මට හිනාත් යන්න ආවා. එහෙම පුළුවන්ද, මං පුළුවන් තරම් හයියෙන් ඇඬුවා. නැත්තං ඕන් වෙච්චි දේට කැකිරි පල පලා ඉන්නවා මිසක් අම්මා නෙමෙයි එන්නේ මාව ගන්න. මගේ වැඩේ හරි ගියා අම්මා ඇවිත්, “අනේ මගේ පැටියෝ, සොරිම සොරි, දැන් එන්න එන්න” කියලා මාව වඩා ගත්තා. ඔය මට හැරුණු තරඟ දෙක තුනකුත් ඇති ඉතිං. මං දොයි වෙලාවේ මොනවා වුනාද කියලා මං දන්නේ නැහැ අනේ.

ඉතිං ඊට පස්සේ අපි ගිහින් වාඩි වෙලා, අවුරුදු කුමාරයා අයියායි අවුරුදු කුමාරි අක්කයි තෝරන හැටිත් බලන් හිටියා. එතකොට වාසල අංකල්, සෝයි සුයිට් අංකල්, මට දුන්නා යෝගට් එකක්. අම්මා මට ඒක කැව්වා. ස්තුතියි වාසල අංකල්.

ඊට‍ පස්සේ අර රැපල් ඩෝ ද මොකද්ද එකක් වෙන හැටි බලං ඉන්න පටන් ගත්තා. අපට ටිකට් නොලැබූනාට ආච්චිටයි බාප්පාටයි ටිකට් ලැබුනානේ. ඉතිං ඔන්න අම්මා ආච්චිට කිව්වා කෝ කෝ ටිකට් දෙක කියලා එළියේ හිටපු බාප්පා අතේ තිබුණු ටිකට් දෙක ගෙන්නාගෙන බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න පටන් ගත්තා. ටිකිරි අයියලාටත් තෑග්ගක් ලැබුනා. අපේ ටිකට් දෙකට තාමත් මොකුත් නැති පාටයි. ඔහොම ඔහොම අවසාන තෑග්ගටම ආවා. ඉතිං අබීත අංකල් මාර සීයාට කිව්වා එකක් ගන්න බලන්න කියලා. අනේ සුදු මාර සීයා!!! අච්චර ටිකට් ගොඩින් මාර සීයා අතට අහුවෙලා තිබුනේ අපේ බාප්පාගේ ටිකට් එකමයි. නිකම් නෙමෙයි, පළවෙනි තෑග්ගලු. හරි සෝයි. මායි අම්මායි තාත්තායි ලඟදී දවසක ඒ තෑග්ග ගන්න කිතුල්ගල ද කොහෙද යනවා කියලා තමයි කියන්නේ. මොකද බාප්පාට තාම පුංචි කෙනෙක් නැති නිසා අපට ම තමයි යන්න වෙන්නේ කියලා තමයි මට දැනුනේ.



මොනවා වුනත් මාර සීයා හරි ලස්සන සීයා කියලා මට ඒ වෙලාවේ හිතුනා.


ඉතිං ඊට පස්සේ අපි කේක් කෑවා. සිංදු දාලා හැමෝම එකතු වෙලා එතැන තැලිලා පොඩි වෙලා තිබුණු පොළොව තව ටිකක් තලලා, කරලා හදලා දුන්නා.



මේ ටිකට් මාමායි සුයිට් මාමායි තමයි වැඩියෙම මේ වැඩේට මහන්සි වුනේ.


පස්සේ මට හොඳටම මහන්සි නිසාත්, අම්මාටයි තාත්තාටයි ත් මහන්සි නිසාත් අපි ඉක්මනමට ආවා. ඒ එන්න කලින් අපි කට්ටිය සේරම එකට ඉඳන් පිංතූර ගොඩාක් ගත්තා. මේ එයින් එකක්.


ඇත්තටම චූටි මට ටිකක් මහන්සි වගේ දැනුනත් ඒ අවුරුදු උත්සවයට මං හරි ම කැමතියි.


පස්සේ ලියපුවා

ඕන් ඔහොමයි මට මේ අවුරුදු උත්සවය දැනුනේ. අපේ අම්මා ඒ උත්සවේදී ලැබුණු, අරුණි ශපිරෝ නැන්දාගේ පොත් කියවනවා මේ දවස් වල හරි හරියට. ඉතිං ඒ පොත් වල තියෙනවාලු මාව හදාගන්න ඕනේ විදිහ. ඔය විදිහට මං හොඳ දුවෙක් වෙලා, අම්මා වගේ ලොකු වුනාට පස්සේ මීටත් වඩා හොඳට මේ දේවල් ලියන්න හිතාගෙන ඉන්නවා. ඉතිං එතකං ඉඩ ලැබුනු වෙලාවට අම්මාගේ බ්ලොග් එකේ ලියන්නත් හිතාගෙන ඉන්නවා. මේ දාලා තියෙන පිංතූර අහලා නෙමෙයි ගත්තේ. පිංතූරු අයිති මාමලා අම්මාට බනින්න එපා හරිද? අම්මා පව්නේ. එහෙම නම් බුදු සරණයි හැමෝන්ටම.


















Friday, April 1, 2011

71. කිසිදා මැකී නොයන.......... ඉපැරණි ආලය

පසුගිය සති අන්තයේ තිබුනු රැස්වීමකට සහභාගි වෙන්න විහාරමහාදේවී උද්‍යානයට උදෑසනින් ම යන්නට සිදුවුනි. එය අවසානයේ දියැණියත් සැමියාත් සමගින් ඔහුගේ කාර්යාලයට ගියෙමි. හැමවිටම වාගේ එහි ගිය විට මා රැ‍‍ඳෙනුයේ එහි පෙන්ට්හවුසිය සමගින් ඇති රූෆ් ටෙරසය මතය. එ නම් 8 වෙනි හෝ 9 වෙනි මහල මතය. එයට විහාරමහාදේවියේ සතුටු උයන පරිශ්‍රයත්, විහාරමහා‍දේවියේ විශාල පරාසයකුත් හොඳින් දිස්වේ. සමහර දිනෙක රැස්වීම් වලට ප්‍රථම මෙහි රැඳී සිටින මම අප මිතුරන් එකිනෙකා එහි ඇදෙන අයුරු බලා සිටින්නෙමි. ඉදින් එදින දියැණිය එහි සැපැත් වූ සැනින් නිදන්නට වූ නිසාවෙන්, කවුළුවක් ආසන්නයේ තබා ගත් පුටුවේ අසුන්ගෙන දියැණිය ඔඩොක්කුව මත තබාගෙන අවට නරඹන්නට වීමි.


මේ මොහොතේ මගේ දෙනෙත් නිතැතින්ම ඇදුනේ ඒ ආසන්නයේ තිබුනු මගේ හදවත පතුලේම රැඳුනු ගොඩනැගිල්ලක වහලය මතයි. මට ඒ වෙලාවේ ඒ වහල පෙනුනේ අයිසින් කරන ලද කේක් ගෙඩියක් විලසිනි. ඒ තරමට ම මට එය කන්නට තරම් ඒ මොහොතේ සිතුවිලි පහළවිය.

ඒ ගොඩනැගිල්ල වෙන කිසිවක් නොව, මගේ පාසල් සමය ආරම්භයේ සිටම මාත් එක්කම සිටි, මගේ පාසල් සමයේ මුල්කාලයේ දිනපතා සවස් යාමයේ මා රැකබලා ගත්, මට හිතේ හැටියට මේසයක් මත පොතක් බදාගෙන නිදන්නට ඉඩදුන්, නිදි නැති වෙලාවට දහස් ගණනක් වූ සිය පොත් එකතුවෙන් එකක් කියවන්නට දුන්, ඒ මාහැඟි ස්ථානය කොළඹ මහජන පුස්තකාලයයි.

ආදරණීය පුස්තකාලය!

නුඹ මට මගේ ‍ගෙදර වගෙයි.

මම......... ඉස්සර නුඹ තුරුලේ සැනසුනු, නුඹෙන් මහත් වූ දැනුමක් ලද, එහෙත් දැන් මාසෙකට සැරයක්වත් ගෙදර නොයන ආදණීය දියැණියක් වගෙයි..........

මගේ පුස්තකාල ආගමනය

එම සිද්ධිය සිද්ධ වුනේ 1988 වර්ෂයේදීයි. ඒ මා පළවෙනි ශ්‍රේණියට ඇතුලත් වූ අවුරුද්දයි. පාසල් ඇරී අම්මාගේ කන්තෝරුවේ කටයුතු අහවර වන තෙක්, කාලයක් මම අම්මාගේ කන්තෝරුවේ නිදිකිරමින් කාලය ගත කෙරුවෙමි. සැබවින්ම නිදි කිරුවේ බොහොම අල්ප වශයෙන් බව කිවයුතුය. ඒ මන්ද යත් අම්මාගේ කන්තෝරු වාසීන් සමඟ සාකච්ඡා කිරීමට මට එමට කරුණු විය. ඒ අයටත් මාගෙන් දැන ගැනීමට බොහොම කරුණු විය. මට ඇවිදින්නට ද මැද මිදුල් දෙකකින් යුතු, මහා විශාල ඉඩ අවකාශයක් විය. (මට අමතක විය කීමට- මගේ අම්මා සේවය කරනුයේ කොළඹ මහා නගර සභාවේය. එකල අම්මා සේවය කලේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ධවල වර්ණයෙන් බබලමින් සිටිනා ඒ සුවිශාල ගොඩනැගිල්ල තුලය).

විටෙක මම කොමසාරිස්තුමා ඇත බව නැත බවට පෙරළමි. නැතහොත් නැත බව ඇත බවට පෙරළමි. ඒ ඇඟිලි තුඩින් ඉස්සීය. විටෙක යාබද දෙපාර්තමේන්තු වල සිටින අම්මාගේ ලබැඳි මිතුරියන් බලන්නට යමි. ඒ ආන්ටිලා හරි ම හොඳය. මා එන බව දන්නා ඔවුන් නොයෙකුත් කඩචෝරු, ලේන්සු පොඩි, වෛවර්ණ පැන්සල්, (කන්න හිතෙන තරම්) සුවඳ මකන කැබලි ලඟ තබාගෙන බලා සිටිති. ඔවුන් අම්මාටත් වඩා මාගේ මිතුරියන් මෙනි.

දැන් සිහිවන විටත් සිනහා පහළ වේ. ඇත්තටම මොන මොන බහුබූත කථා මං ඔවුන් සමඟ කියවන්නට ඇතිදැයි විටෙක මට සිතේ. ඒ තරමට ඔවුන් මගේ කථා අසන්නට කැමතිය. යන දිශාව පවසා ගියද, අම්මාට මා සොයා ගැනීමට කන්තෝරුව තුල දුරකථන ඇමතුම් දෙකක්වත් අඩුම වශයෙන් දීමට සිදුවේ. එයට හේතුව ගිය දිහාවේ සිට නැවත එන අතරමග තවත් යෙහෙළියන් මුණ ගැසීමට යෑමට මට සිදුවන නිසාය. මගේ පාසලේ මගේ පංතියේ යෙහෙළියකගේ අම්මාත් එම කන්තෝරුවේ වූවාය. ඒ ආන්ටි මා අමතන්නේ “සරුංගලේ ආ කොහෙද අද ඉගිලෙන්නේ” යනුවෙනි. මා ඒ කන්තෝරුවේ සැබවින්ම සැරුවේ සරුංගලයක් මෙන් සැහැල්ලුවෙන් බව සිහි කරන්නේ හිතේ පිරුනු සතුටකින් මෙන්ම ගෙවී ගිය කාලය පිළිබඳ සියුම් කණගාටුවක්ද සිතේ දරා ගනිමිනි. මට හිතෙන අන්දමට අද දින කුඩා දරුවෙකුට එසේ සරන්නට එම කන්තෝරු වාසීන් ඉඩ නොදෙනවා විය යුතුය.

ඉඳින් මගේ සරුංගල් ජීවිතයට යම්කිසි බාධාවක් එල්ල කරමින්, අම්මා තීරණයකට එළඹියාය. එනම්, සතියේ දින දෙක තුනක් හවස් යාමයේ මා මහජන පුස්ථකාලයේ, ළමා අංශයේ ගත කළ යුතු බවයි. සමහරවිට මුලදී එය මට වදයක් මෙන් දැනෙන්නටත් ඇති. ළමුන් මා මෙන් යාවජීව සාමාජිකත්වයෙන්, දහවල් 12 සිට හවස 4.30 වනතුරු එහි රැ‍ඳෙන්නේ නැති තරම් විය. බොහොම ළමුන් පැමිණියේ වර්ණ ඇඳුම් වලින් වුවද මම කෙලින්ම පාසලෙන් එහි යන බැවින් පාසල් නිල ඇඳුමින්ම පසු වුනෙමි.

මුල් කාලයේ, පොත් තෝරා, පොත් කියවා, පොත් බලා, බොහෝ විට පොත් ගොඩක් මේසේ උඩ තබා‍ගෙන, ඒවා බදාගෙන නිදන්නට පුරුදු වී සිටියෙමි. සමහර දිනෙක් අම්මා ඇවිත් ඇහැරවන තෙක් මම නිදි සුව වින්දෙමි. ඉන් පසුව අම්මාගේ අතේ එල්ලි වැනී වැනී ගිය මා, මට මේ මොහොතේ මැවී පෙනෙනවා වැනිය.

කෙසේ හෝ එහෙම ගත වූ සුළු කාලයෙන් පසුව කෙමෙන් කෙමෙන් පොත් කියැවීමට උනන්දුව වැඩි වත්ම නිදන්නට තිබූ උවමනාව ප්‍රතිලෝමව සමානුපාතික වී ගියා වැනි විය. මුලදී පුස්තකාලයේ බදදා දින නිවාඩු බැවින් එදිනට අම්මාගේ කන්තෝරුවට යෑමට ලැබිම ගැන සතුටු සිතින් පසු වුවද, පසුව “අයියෝ, අද පුස්තකාලේ යන්න නැහැනේ” කියා සිතෙන තරමට මම පුස්තක ලෝලියෙකු බවට පත් වී සිටියෙමි.

මුල් අවුරුදු 3ක් 4ක් යනතුරු අම්මා පුස්තකාලයේ සාමාජිකත්වය මට ලබා නොදුන්නාය. එයට හේතුව නංගිලා දෙන්නා කුඩා බැවින් ගෙදර ගෙනියන පොත් වලට සිදුවන්නට තිබූ අලාභහානී වැඩි කමයි. පසුව මම 4 වන හෝ 5 වන වසරේ පසුවන විට සාමාජිකත්වය ලදිමි. ඒත් ඒ කොන්දේසි සහිතවය. ලබාගන්නා පොත් පාසල් ගෙන යාම සපුරා තහනම් බව ප්‍රධාන මෙන්ම බරපතලම කොන්දේසිය විය. ඒත් මම අම්මාට හොරෙන් පොත් පාසල් ගෙන ගියෙමි. “මගුල් කෑම” කිරි කිරියේ අළුත්ම අලුත් පොතක් එසේ ගෙන යෑමෙන් නැති කරගැනීමට මා හට හැකි විය. මට සක් සුදක් සේ විශ්වාසයක් තිබුනේ මාගේ හොඳම මිතුරිය එය කියවන්නට ඉල්ලා ගත් බවයි. ඇය හඬමින් පැවසුයේ එසේ ගත්තද නැවත මට දුන් බවයි. මම ඇයට මා පත් වී ඇති තත්ත්වය හැඬූ කඳුලින් විස්තර කලෙමි. පසුව දින දෙකකට පසු ඇය ‍පොත ගෙනත් දුන්නාය. ඇගේ නැගණිය විසින් අඳින්නට යෙදුනු බලිකුරුටු කිහිපයක්ද එය සමග විය. කෙසේ හෝ මේ සිදුවීම මෙයින් හමාරවීම ගැන පුංචි කමට මං දෙවියන්ට පිංදුන් බව දැනුදු මට හොඳ හැටි මතකය.

එහෙත් එයින් පාඩමක් ඉගෙන නොගත් මම 7 වන වසරේදී, “විද්‍යා විනෝද කථා” නම්, බඳින ලද පොතක් නැති කරගෙන අම්මාගෙන් හොඳ හැටි බැනුම් අසා, අම්මාට දඩ ගෙවීමට සැලැස්සුවෙමි. බඳින ලද පොතක් නිසාවෙන් දඩය වැඩි ප්‍රමාණ විය.

එකල මා කියැවූ පොත් යනුවෙන් මා සතුව ලැයිස්තුවක් විය. එය 400 සීමාව පසුවෙමින් පවතිද්දී එම ලැයිස්තුවද ගෙදරදීම සොරකමකට ලක්විය. එය සොරා ගත් කෙනා ගැන ද අනුමානයක් මා සතුව ඇතත්, ඇය කුමන හේතුවක් අරඹයා මා හට පමණක් ම වටිනා, වෙන කිසිවෙකුට නොවටනා එම ලැයිස්තුව සොරකම් කලාදැයි දැනුදු වෙන වැඩක් නැති වේලා වලට කල්පනා කල යුත්තක්ව ඇත.

පෙරකී පරිදි, මා මෙන් යාවජීව සාමාජිකත්වයෙන් දින භාගයක් පුස්තකාලය තුල ගත කරනා ළමයින් වෙන නැති බැවින්, ළමා පුස්තකාලයට යැයි වෙන් කල වැසිකිලි එහි නැත. යනවා නම් යා යුත්තේ ලොකු අයියලා අක්කලා තුරුළු වී ඉන්නා කැන්ටිම පැත්තේ වැසිකිලියටය. එහි යෑම තබා, ඒ අසලින් එන විට ඇස් දෙක උඩ තබාගෙන ඒමද එකල මා දෙමව්පියන් විසින් තහනම් කරන ලද්දක් විය. ඉඳින් අම්මාගේ නියමය වූයේ, පුස්තකාල වාසී ආන්ටිලා භාවිතා කරන වැසිකිළිය මා විසින් භාවිතා කළ යුතු බවයි. හරස් ප්‍රශ්න මතුවුවහොත් “ස්ටාෆ්” යන වදන පමණක් පැවසීම ප්‍රමාණවත් බව අම්මාගේ අදහස විය. (කොළඹ මහජන පුස්තකාලය, කොළඹ මහා නගර සභාව යටතේ පාලනය වන ආයතනයකි. නමුදු අම්මා ස්ටාෆ් වූවාට මං? එමනිසාවෙන්දෝ ඒ වදන මගේ දිව අගට කිසි දා නොආවේය). ඉඳින් හරස් ප්‍රශ්න මතුවිය හැකි අවස්ථා අවම වන අවස්ථා මැනවින් අවබෝධකරගෙන, විගස ඒ පැත්තේ ගොස් පැමිණීම මගේ සිරිත විය. එයට හේතුව සමහර ආන්ටිලා, “ආ...... මේ බබා කොහෙද මේ යන්නේ?” කියා ඇසුවද, තවත් සමහර බැරෑරුම් ආන්ටිලා, “මේ ළමයා කවුද? කවුද කිව්වේ මේකට එන්න කියලා” වැනි ප්‍රහාරාත්මක වදන් එල්ල කරන බැවිනි.

මෙසේ කාලය ගත කරගෙන කරගෙන යනවිට සමහර දිනවලදී අනර්ඝ ගණයේ පොත් හතර පහ එක වර ලැබෙයි. ඒ කෙසේ වුවද ගෙදර ගෙන යා හැක්කේ පොත් දෙකක් පමණී. ඉඳින් මා විසින්ම සොයා ගන්නා ලද අතිබිහිසුණු, අතිභයංකර ස්ථාන කිහිපයක මේ පොත් සඟවා යෑම මගේ සිරිත විය. ඉතා උස්වූත්, කෙනෙකුට ලේසියෙන් ලඟා විය නොහැකි වූත් ස්ථාන වූ පොත් රාක්ක වල ඉහලම තලයේ රඳවමි. කිසිකෙනෙකුට දණ ගෑමෙන් තොරව ලඟා විය නොහැකි ස්ථාන වූ පොත් රාක්ක යට සඟවමි. වැඩි දෙනෙකු ලඟා නොවන අඳුරු පැහැයෙන් වැසුනු ඈත කෙළවරේ ඈතම රාක්කයේ සඟවමි. ඉංග්‍රීසි පොත් ගොඩේ සිංහල පොත් සඟවමි. (පුස්තකාලයේදී දිනක් හඳුනා ගත් මිතුරියක් උගැන්වූ පරිද්දෙන්) මහා විශාල පොත් දෙකක් මැද හීනි පොත් රඳවමි. මේ ආකාරය කී නොකී බොහෝ ආකාරයන් අනුගමනය කරමින් පොත් සඟවමි. මෙහි ඇති හොඳ ම දේ නම්, එසේ සඟවන්නට යන විට ඊට ප්‍රථම ඒ පැත්තේ ආ කෙනෙක් සැඟවූ අනර්ඝ පොත් හමු වීමයි. තවත් කල් යන විට මාස ගණනකට පෙර මා විසින්ම සඟවන්නට යෙදුනු පොත් හමු වීමද ඉතාමත් වටිනා කාරණයක් විය. තව තවත් කල් යන විට එකම යාවජීව සාමාජිකයා වූ මට සඟවන්නෝ සඟවන තැන් ඇතැඹුලක් සේ පැහැදිලි කාරණයක් වූ බැවින් අමුතුවෙන් අනර්ඝ පොත් සොය සොයා සිටීමට සිදු නොවීය.

මෙසේ කාලය ගතවීමෙන් මගේ ළමා කාලය ගෙවුනා සේම ළමා පුස්තකාලයේ ගතකල හැකි අවධියද මගෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය. එය එකළ නම් කවදා එළඹේදෝයි බලා සිටි කාරණයක් වුවද, පසුව මට වැටහුනේ වැඩිහිටි පුස්තකාලයට වඩා ළමා පුස්තකාලය මා හට සමීප බවයි. එහි කාලය ගත කරන්නට මගේ සිත කැමති බවයි. ඉඳින් උසස් පෙළ කරන සමයේ මිතුරියන් පාඩම් කරන්නට අදාළ ස්ථානයට යද්දී මම සෙමෙන් සෙමෙන් ළමා පුස්තකාලයට ඇදෙමි. එහි ඈත කෙළවරක සැඟවී මෙන් පාඩම් කටයුතු කරමි. අහෝ! නපුරු ආන්ටිලා පැමිණ මා එම ස්ථානයේ ගත කිරීමට නොසුදුසු තරමේ වූ වැඩිහිටියෙක් බැවින් වහාම එයින් පිටත් විය යුතු බව පවසයි. බොහෝ විට අම්මාගේ නම, රැකියාව පවසා ඒවායින් ගැලවුනද, ඔවුන් කොහොමවත් මා එහි සිටිනවාට කැමති නැති බව මා හට හැඟියයි. ඉඳින් ‍මගේ කළමණා එකතු කරගන්නා මම සෙමින් සෙමින් මිතුරියන් සොයා යන්නෙමි.


පුස්තකාලයේ සාමාජිකත්වයෙන් බොහෝ පොත් කියැවීමට මා හට හැකි විය. එයට හේතුව අම්මාගේත්, මගේත්, නංගිලා දෙන්නාගේත් අම්මාගේ කන්තෝරුවේ අක්කා කෙනෙකුගේත් වශයෙන් පොත් 10ක් අප අතට හැම සති දෙකකට වරක්ම පත් වීමයි. සති දෙකකදී පොත් 10 කියැව්වේ කෙසේදැයි දැන්නම් මට සිතා ගන්නට බැරි කරුණක්වී ඇත. එහෙත් සැබවින්ම එසේ කියැවූයෙමි. බස් රථයේදී, දුම්රියේදී, සමහර දිනවල රෑ එළිවනතුරු වශයෙන් කියැවූ පොත් ප්‍රමාණය ගණන් නැත. කිසිදිනෙක උඩින් පල්ලෙන් කියැවූයේද නැත. පටුනේ, පෙරවදනේ සිට පසුවදනක් වේ නම් ඒ දක්වාම කියැවූයෙමි.

පසු කලෙක පාසල් සමය අවසන් වීම ආසන්නයේදී ම සිදුවූ, පුස්තකාල සාමාජිකත්වය කල්පිරීම අළුත් කර නොගැනීමෙන් කොළඹ මහජන පුස්තකාලයේ දොරඟුළු මා හට වැසිනි. අනතුරුව බොහෝ විට පොත් මිලදී ගෙන කියවන්නට පුරුදු වූ බැවින් හා දැන් දැන් එහි සාමාජිකත්වය පිට පලාත් වාසීන්ට ලබා ගැනීම ඉතාමත් අපහසු කාරණයක් බැවින් පුස්තකාලය මට අමතකව ගියා වැනි විය.

ජනවාරී මාසයේදී කියැව්වාට පසුව පොතක් කියවන්නට කල් නොලත් බැවින්, පසුගිය දිනවල, කියවන්නට ම සිතා සිටින පොතක් ලදොද් හපා ගිලින තරමේ පොත්ගින්නකින් පසු වූ මා, ඇබ්නෝමල් මයින්ඩ්ස් බ්ලොග් අඩවියේ ද වර්ණනා කර තිබූ බුද්ධදාසි පොත ගතයුතු බව සැමියා හා දෙතුන්වරක් පැවසුවද දෙදෙනාටම තිබූ වැඩ අධික බව නිසා එය මග හැරිණ.

එසේ කාලය ගතවන විටය, මා හට පෙර කී අයිසින් කරන ලද වහල දකින්නට ලැබුනේ.

අහෝ! මාගේ කුසගින්න දෙගුණ තෙගුණ විය.

ඒ ගතවූ සොඳුරු යුගයට, ඒ පොත් මල් පිපුණු මල් ගොමුවට, සරුංගලයක් සේ සැහැල්ලුවෙන් පාවී යන්නට සිත උඩ පනිනවා වැනි විය.

එහෙත්........ චිත්‍රපටවල, නාට්‍ය වල මෙන් අපට අතීතයට යන්නට කාල යන්ත්‍ර නැත. අප කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයෝ නොවන මේ කාලය, අකාල සන්ධ්‍යාවක් නොවෙයි. එබැවින් නූඹ ඉවසා වැදෑරිය යුතුය මා දයාබර හෘදය.

එහෙත් මා හට අවස්ථා දෙකක් පෑදෙමින් පවතී. එකක් නම් දැනට මාගේ කාර්යාලය ඇති ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට විශාල පරිමාණයේ පුස්තකාලයක් පැවතීමයි.

දෙවැන්න නම් දැනට අවුරුදු 1 ½ වයස් වන දියැණියත් සමඟින්, තව අවුරුද්දකට දෙකකට පසුව මගේ ළමා කාලයට යායුතු වීමයි.

ඉඳින්.......... මා දයාබර පුස්තකාලය,

තව නොබෝ දිනකින්ම නුඹ දියැණියෝ නුඹ තුරුලේය. ඈ පිළිගන්නට අගනා පුස්තක පිළියෙන් සැරසී සිටිනු මැන.............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...